ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය ලියනගේ අමරකීර්ති මනුෂ්‍ය ආරක්ෂාව යන තේමාව යටතේ මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ජීවිතය පිළිබඳව බයෙන් අපේ මුහුණුවලින් අඩක් වැසී තිබෙන කාලයක අපේ ගෙවල්වලට පුපුරන ගෑස් එන කාලේ, අපේ ගෙවල්වල දරුවෝ ඉගෙන ගන්න ගස් උඩ, වහලවල් උඩ, කඳු උඩ නගින කාලයේ පෝෂ්‍යදායී ආහාර වේලක් මිලට ගන්න බැරි තරම් මිල […]
මනුෂ්‍ය ආරක්ෂාව යන තේමාව යටතේ මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ජීවිතය පිළිබඳව බයෙන් අපේ මුහුණුවලින් අඩක් වැසී තිබෙන කාලයක අපේ ගෙවල්වලට පුපුරන ගෑස් එන කාලේ, අපේ ගෙවල්වල දරුවෝ ඉගෙන ගන්න ගස් උඩ, වහලවල් උඩ, කඳු උඩ නගින කාලයේ පෝෂ්‍යදායී ආහාර වේලක් මිලට ගන්න බැරි තරම් මිල ඉහළ ගොස් තිබෙන කාලයේ මනුෂ්‍ය ආරක්ෂාව කියන්නේ මොකක්ද කියන එක ගැන හිතන එක ඉතාම වැදගත්. ජාතික ජන බලවේගයේ අපි ඒ විශේෂ මාතෘකාව ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අපේ රටේ පාලකයෝ ආරක්ෂාව ගැන නිතර කතා කරනවා. හැබැයි ඔවුන් ආරක්ෂාව යනුවෙන් කතා කරන්නේ ආණ්ඩුවේ ආරක්ෂාව පමණක් බව ජනතාව දවසින් දවස විඳින දුක්ගැහැටවලින් අපට පේනවා. අපට මනුෂ්‍ය ආරක්ෂාව අවශ්‍යයි. මනුෂ්‍ය ආරක්ෂාව සහිත රටක්, රකින රටක් හදන ගමන තමයි අපි ආරම්භ කර තිබෙන්නේ. නූතන සමාජයේ ආරක්ෂා ප්‍රභේද කිහිපයක් තිබෙනවා. එකක් ජාතික ආරක්ෂාව. විදේශීය අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීමෙන් අපේ රට ආරක්ෂා කර ගන්න එක වැදගත් දෙයක්. එය හුදෙක් හමුදා ගොඩනැඟීමෙන් විතරක් නොවෙයි. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රඥාව ඔස්සේ ඇතිකර ගත යුතු දෙයක්. රජයේ ආරක්ෂාව ගත්තොත් එය වැදගත් දෙයක්. අප ජීවත්වන රාජ්‍ය ව්‍යුහය ආරක්ෂා කර ගැනීම වැදගත් දෙයක්. එය මනුෂ්‍ය ආරක්ෂාවට ගැලපෙන ලෙස විකාශනය වෙමින් සකස් විය යුතුයි.
නමුත් මේ සියල්ල තිබුණත් මනුෂ්‍ය ආරක්ෂාව නොමැති නම් ඒ රට දියුණු රටක් ලෙස කියන්න බැහැ. අපේ රටේ මිනිසුන් සිටින්නේ සතුටින්, ප්‍රීතියෙන් නොවෙයි නම් එහි ඵලක් නැහැ. මනුෂ්‍ය ආරක්ෂාව වඩා හොඳින් දිදුලන තැන තමයි මනුෂ්‍ය ජීවිතය. අපි ජාතික ජන බලවේගයේ විදිහට කරන්නට සැලසුම් කරන්නේ ආහාරවලින් ආරක්ෂිත, අධ්‍යාපනයෙන් ආරක්ෂිත, සෞඛ්‍යයෙන් ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි. භාවමය වශයෙන් සුරක්ෂිත, කායික වශයෙන් සුරක්ෂිත රටක්. අන්න එහෙම රටක් තමයි මනුෂ්‍ය ආරක්ෂාව සහිත රටක් කියලා කියන්නේ. එවැනි රටක මිනිස්සු ගැඹුරු මනුෂ්‍ය වටිනාකම් සිත්වල දරාගෙන සිටිනවා. එවැනි රටක මිනිසුන් මානව හැඟීම්වලින් බැඳී සිටිනවා. එවැනි රටක මිනිසුන් එකිනෙකා වෙත මානව ගෞරුත්වයෙන් ජීවත්වෙනවා. එවැනි රටක මිනිස්සු එවැනි ගැඹුරු සිතිවිලි සිතනවා. නිර්මාණාත්මක පරිකල්පනයක යෙදෙනවා. අර්ථවත් කලාව රස විඳිනවා. අර්ථවත් විවේක ජීවිතයක් ගෙවනවා. පරිසරය සතා සීපාවා සමග සහජීවනයෙන් ජීවත් වෙන්න නිරන්තර අරගලයක යෙදෙනවා. එවැනි රටක පිරිමි පමණක් නොව කාන්තාවත් ආරක්ෂිතයි. එවැනි රටක අම්මලා පමණක් නොවෙයි දුවලා ආරක්ෂිතයි. එවැනි රටක දරුවා ආරක්ෂිතයි. ජනවාර්ගික බහුතරය පමණක් නොව සුළු ජන කණ්ඩායම් ආරක්ෂිතයි. එවැනි රටක එක සංස්කෘතියක් පමණක් නොව සියලු සංස්කෘතීන් ආරක්ෂිතයි. සියලු සංස්කෘතීන් සමග එකිනෙකා සමග සංවාදයක යෙදී සිටිනවා. මනුෂ්‍ය ආරක්ෂාව සැබැවින්ම තිබෙන රටක තත්වය මෙයයි. මනුෂ්‍ය ආරක්ෂාව සහිත රටක සියලු දෙනාට සාපේක්ෂ වශයෙන් සමාන ආර්ථික ශක්තියක් තිබිය යුතු යැයි අපි විශ්වාස කරනවා. එවැනි රටක් අපිට පිටරටින් ගේන්න බැහැ. හැබැයි අපේ රට එවැනි රටක් බවට පරිවර්තනය කළ හැකි බව අපි දන්නවා. එය පරිවර්තනය සාමූහික උද්යෝගයකින් කළ යුතු පරිවර්තනයක් විය යුතුයි. ඒ වෙනුවෙන් තමයි ඔබ සියලු දෙනා මෙහි මුළුදී සිටින්නේ. ඒ වැඩේට තමයි අපි ලබන මාසයේ සිට ජනතාව අතරට යන්න බලාපොරොත්තු වන්නේ.
මනුෂ්‍ය ආරක්ෂාව සහිත රට අපට තනියම හදන්න බැහැ. රටේ ජනතාව ජරාජීර්ණ දේශපාලන පක්ෂවල අයහපත් භාවයේ අන්ධකාරයෙන් එළියට ඇවිල්ලා අලුත් හුස්මක් ගත යුතුව තිබෙනවා. අපි ජාතික ජන බලවේගය හදමින් තිබෙන්නේ අලුත් හුස්ම තිබෙන තැන විදිහටයි. සහෝදරත්වයේ මේසය වටා සමානයන් ලෙස වාඩිවෙලා ආහාර ගනිමින් අපි කතා කරමු. මතවාදී බෙදීම්වල අගාධයන් උඩින් සහෝදරත්වයේ උණුසුම් අත්වලින් අපි එකිනෙකා වෙත බැඳෙමු. මේ කාලය පැමිණ තිබෙන්නේ එයටයි. ලෙඩ ඇඳට වැටුණු රටක් ගොඩගත හැක්කේ රටේ වැසියන්ගේ සහෝදරත්වයේ බලයෙන් පමණයි. මේ එයට කාලයයි. මා මේ කතා කරන වචනවල තිබෙන්නේ අපේක්ෂාවයි. අපේක්ෂාවක් කියල කියන්නේ දරාගන්න බැරි යථාර්ථයකට එරෙහිව අපේ අභ්‍යන්තරයෙන් එන පැනනැගීමක්. ඒ අපේක්ෂාව අප තුළ තනි තනිව නොව සාමූහිකව නැගුණු දවසක මේ රට පරිවර්තනය කරන එක කිසිවෙකුටත් නතර කළ නොහැකියි. ඒ නිසා තමයි අපි ජාතික ජන බලවේගය හදමින් ඉන්නේ. අපි ආර්ථික අර්බුදයකට වැටී තිබෙනවා.
ඒ විතරක් නොවෙයි, අපි රටක් ලෙස දරුණු ආධ්‍යාත්මික අර්බුදයකට වැටී තිබෙනවා. මේ ආධ්‍යාත්මික අර්බුදය ඛේදජනක ලෙස ප්‍රකාශයට පත්වෙන තැන තමයි මේ රට මෙච්චර වැටිලා තියෙද්දීත් තනි තනිව දියුණු වෙන්න, සාර්ථක වෙන්න පුළුවන් කියන ආත්මාර්ථකාමී හැඟීම. ජාතික ජන බලවේගය කියන්නේ මෙවැනි පුද්ගලවාදී ආකල්ප තිබෙන මේ රටේ සියලු මනුෂ්‍යයන්ගේ යහපත් හදවත්වල යහපත් ස්නායුවලට ආමන්ත්‍රණය කරන බලවේගයක්. මේ රටේ යහපත පතන මිනිසුන්ගේ හදවත්වල යහපත් සිතිවිලි සැඟවී තිබෙන තැන් විවර කරන්නයි, අපි ජාතික ජන බලවේගය ගොඩනඟමින් සිටින්නේ. යුක්තිය, සාධාරණය, ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදය කියන දේවල දේශීය මානයක් තිබෙනවා. අපි එය දේශීය වශයෙන් ජයගත යුතුයි. අපට එවිට තමයි පුළුවන් වෙන්නේ, අධ්‍යාපනය අතින්, සෞඛ්‍ය අතින්, සැනසිල්ල අතින් මනුෂ්‍ය ආරක්ෂාව සහිත රටක් බිහිකරන්න. ඒත් විසිඑක්වන සියවසේ අපි අපේ රට තුළ මනුෂ්‍ය ආරක්ෂාව ලෙස දකින්නේ ලෝකයේ තවත් වෙනත් රටවල සිටින ප්‍රගතිශීලී මනුෂ්‍යයන්ගේ ආශීර්වාදය, සහෝදරත්වය ඇතිව ගොඩනඟා ගත හැකි, ගොඩනඟා ගත යුතු ආරක්ෂාවක් හැටියටයි. අවට ලෝකය සමග යුක්තියේ සාධාරණත්වය පදනමින් සම්බන්ධතා පවත්වන්න අපි සූදානම්. අපේ අභිමානය නොනැසෙන ආකාරයෙන් සම්බන්ධතා පවත්වන්න අපි සූදානම්.
දූෂිතයන් හැම රටේම ඉන්නවා. ඒ වගේම දූෂිතයන්ට එරෙහි මහජන පැන නැග්මක් හැම රටේම තිබෙනවා. අන්න එහෙම තම තම රටවල යුක්තිය ඉල්ලන ජනතාව අපේ ගමන් සගයින්. ඒ නිසා අපි ලෝකය අමතලා කියන්නේ අපට උදව් කරන්න. අපිත් එක්ක මේ පරිවර්තනය කරන්න එන්න කියලා. අපේ පුංචි ගම්මිරිස් ඇටවලට ගෙවන මිල, අපේ ගම්වල දුප්පත් පැල්පත්වලට ගිහිල්ලා ඒ ගෙවල්වල ඉන්න දරුවෝ පාසල් අරගෙන යනවා කියලා, ලෝකෙට කියන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. ඒක තමයි අපි ගොඩනගමින් ඉන්නේ. අපේ තේවලට ඔබ ගෙවන මිල, අපේ ගම්වලට ගිහිල්ලා පැල්පත්වල දරුවෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරනව කියලා ලෝකෙට කියන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. ජාතික ජන බලවේගය ඒ ව්‍යාපාරය බවට පත්වෙනවා කියන විශ්වාසය අපට තිබෙනවා. තේ ටික, ගම්මිරිස් ඇට පමණක් නොවෙයි, ගම්මිරිස් ඇටයක් තරම් පුංචි කොමිපියුටර් චිප්ස් හදන්න පුළුවන් ජනතාවක් අපට ඉන්නවා. ඒ ජනතාව ගොඩනඟන්න අපිට උදව් කරන්න කියලා අපට ලෝකෙට කියන්න පුළුවන් පාලනයක් අපට අවශ්‍යයි. ඒ පාලනය තමයි අපි ගොඩනඟමින් ඉන්නේ.
ලෝකයේ බලවත් රටවල දේශපාලන හෘදසාක්ෂිය ඒ තරම් පහසුවෙන් උණු නොවන බව අපි දන්නවා. ඒ වුනත් ලෝකය පුරා යුක්තිය, සාධාරණත්වය අගයන ප්‍රගතිශීලී පුරවැසි පිරිසක් විසිර සිටිනවා. ලෝකයේ බොහෝ ජනයා දුප්පත්කමින් මිදෙනවා දකින්න ආසා කරන ගෝලීය පිරිසක් සහෝදරත්වයෙන් අමතන්න පුළුවන් පිරිසක් අත මේ රටේ පාලනය තිබිය යුතුයි. අපට ඩීල් එපා. අපිට කොමිස් එපා. අපට මේ රට ගොඩනඟන්න උදව් කරන්න කියලා අවංක ඉල්ලීම කරන්න පුළුවන් පාලනයක් අපට අවශ්‍යයි. අපේ සාමූහික හෘදසාක්ෂිය මිය ගිහිල්ලා නම් ගෝලීය ප්‍රගතිශීලීන්ගේ හෘදසාක්ෂිය උණුවෙන විලාසයෙන් අපට ඒ කතාව කියන්න බැහැ. අපි එහෙම හෘදසාක්ෂිය මිය ගිය ජනතාවක් නොවෙයි. මීට වඩා යහපත් රටක්, මීට වඩා යහපත් ලෝකයක් පිළිබඳව සිහින මිය ගිහින් නම්, බුද්ධිමය වශයෙන් භාවමය වශයෙන් මිය ගිය ජනතාවක් නොවෙයි අපි. ජාතික ජන බලවේගය මතුවී තිබෙන්නේ ඔබේ හදවතේ තවමත් තිබෙන අවංකත්වයේ යුක්තියේ සහෝදරත්වයේ ප්‍රාණයට ආමන්ත්‍රණය කරන්නයි. ජාතික ජන බලවේගයේ අපිට මේ වසංගත සමයක පවා මෙහි පැමිණ, සවන් දෙන ඔබ දකින අපට ඒ අලුත් ලෝකයේ පණ ගැහෙන හඬ ඇහෙනවා. තවදුරටත් අපව අපේ ඒකපුද්ගල සිහිනවල සිරකරලා, අපිට අපේ වැඩක් බලාගන්න කියන නොයෙක් දේශපාලන ව්‍යාපාර, පාලකයො ඉන්නවා. ඔවුන් මේ රට විනාශ කරන තුරු අපට බලන් ඉන්න බැහැ. අපි රොද බැඳ පැමිණ මේ සභාවේ අද ඉන්නවා වගේ මේ සිහිනය සැබෑවක් කරන්නට රොද බඳිමු.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ පසුගිය වර්ෂ තුනක කාලය තුළ මම ප්‍රශ්නයකට පිළිතුරක් සොයනවා. ඒ මගේ දියණිය තව වසර 10කින් මගෙන් අසන ප්‍රශ්නයයි. එයා අහාවි තාත්තේ මම හොඳට ඉගෙන ගෙන තියෙනවා, මට රැකියාවක් නැහැ. මට ආරක්ෂාව දැනෙන්නේ නැහැ. මට හොඳ ජීවිතයක් ගත කරන්න වෙන රටකට යන්න ඕනෙ, මම යන්නද? අන්න ඒ ප්‍රශ්නයට […]
පසුගිය වර්ෂ තුනක කාලය තුළ මම ප්‍රශ්නයකට පිළිතුරක් සොයනවා. ඒ මගේ දියණිය තව වසර 10කින් මගෙන් අසන ප්‍රශ්නයයි. එයා අහාවි තාත්තේ මම හොඳට ඉගෙන ගෙන තියෙනවා, මට රැකියාවක් නැහැ. මට ආරක්ෂාව දැනෙන්නේ නැහැ. මට හොඳ ජීවිතයක් ගත කරන්න වෙන රටකට යන්න ඕනෙ, මම යන්නද? අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් නැති හන්දා තමයි මම මගේ වෘත්තීය වගකීම්වලින් මඳකට මිදිලා දේශපාලනයට සක්‍රීයව දායක වෙන්න තීරණය කළේ. අපි ඉන්නේ විවෘත ආර්ථිකයක් ඇතුළේ. මේක ඇතුළේ සමාජ සාධාරණත්වය ඇති කරන්න නම් සම අවස්ථා ඇති කළ යුතුයි. අධ්‍යාපනයේ සම අවස්ථා දිය යුතුයි. ආර්ථිකයේ සම අවස්ථා දිය යුතුයි. එසේ නැතිනම් සාධාරණය මේ තුළ ලබාගත නොහැකියි.
ලංකාවේ මිලියන 8.6ක් විවිධ රැකියාවල නිරත වෙනවා. නමුත් රැකියාවක් වෘත්තියක් බවට පත්කර ගන්න බොහෝ දෙනෙකුට හැකිවී නැහැ. ලංකාවේ රැකියාවලින් 62%ක් අසංවිධිත රැකියා. ඒ කියන්නේ ඊටීඑෆ්, ඊපීඑෆ් ලැබෙන්නේ නැහැ. රැකියා අයිතිවාසිකමක් නැහැ. අපේ පවුලට ආදායමක් ලබාගන්න පුළුවන් වෘත්තියක් කරගන්න බොහෝ දෙනෙකුට බැරිවෙලා තිබෙනවා. ලංකාවේ පවුල් 70%ක් සාපේක්ෂ දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඔවුන්ට අපට මෙන් හැකියාවක් නැහැ. වෘත්තීය ගෞරවය අහිමිකර තිබෙනවා. රාජ්‍ය සේවකයාගේ වෘත්තීය ගෞරවය අහිමිකර තිබෙනවා.
ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයෙක් නම් ඔබ හිරවෙලා ඉන්න බව අපි දන්නවා. ඔබට තාක්ෂණය, ප්‍රාග්ධනය දෙන්න කවුරුත් නැහැ. ඔබේ විදේශ වෙළඳාමට සහාය දෙන්න කවුරුත් නැහැ. අපේ රට දුප්පත් රටක්. අපේ රටේ හැමෝටම ප්‍රාග්ධනය නැහැ. සුළු ව්‍යාපාරයක් පටන් ගන්න වුණොත් ප්‍රාග්ධනය නොමැති වීම නිසා මහා ව්‍යාපාර සමග තරග කරන්න බැහැ. තරගකාරිත්වය දෙන්න නම් රාජ්‍ය දායකත්වය ලබාගත යුතුයි. ඔබ සංස්ථාපිත සමාගමක වෙන්න පුළුවන්. ආනයන, අපනයන සමාගමක වෙන්න පුළුවන්. ප්‍රති අපනයන කරන සමාගමක වෙන්න පුළුවන්. අගය එකතු කරන සමාගමක වෙන්න පුළුවන්. අද ඔබේ ව්‍යාපාර අසාර්ථක වී තිබෙනවා. අපි වෘත්තිකයෝ, ව්‍යවසායකයෝ විදිහට තේරුම් ගන්න ඕනෙ පෞද්ගලික අරමුණු කරා යන්න හැදුවත් අපට තනි තනිව ඒ ඉලක්ක කරා යන්න බැරි බව.
සමස්ත රටම බිඳ වැටෙන කොට තමන්ගේ ජනතාව බිඳ වැටෙනකොට අපිත් බිඳ වැටෙනවා. මේ ක්‍රමය ඇතුළේ අපේ පෞද්ගලික අරමුණු අපට විසඳගන්න බැරි තත්වයක් ඇති වී තිබෙනවා. අපි කොහොමද මෙතනින් ඉදිරියට යන්නේ? අපි ආර්ථික න්‍යායවල මූලික තැනට එන්න ඕනේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වර්ධනය කර ගන්න ඕනෑ. අපට මානව ප්‍රාග්ධනය, තාක්ෂණය, ස්වභාවික සම්පත්වල ඵලදායිතාව වර්ධනය කර ගන්න වෙනවා. අපි ඒ දේ කරගත්තේ නැහැ. රටක් තමන්ට සාපේක්ෂ වාසිය තිබෙන නිෂ්පාදන හා සේවා කරන්න ඕනේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපට ඒ වාසිය තිබෙනවා. කෘෂි භෝගවල සාපේක්ෂ වාසියක් අපිට තිබෙනවා. නමුත් ඒවා ජාත්‍යන්තර තලයට ගෙන ගොස් ලෝක ආර්ථිකයේ අපේ කොටස අත්පත් කරගන්න අපට හැකි වුණේ නැහැ. ඒ වගේම අපේ රටට පිහිටීමේ නිරපේක්ෂ වාසියක් තිබෙනවා. ධීවර සම්පතේ වාසියක් තිබෙනවා. ඛනිජ සම්පත්වල වාසියක් තිබෙනවා. අද අපි ඒ නිරපේක්ෂ වාසිය විදේශිකයන්ට විකුණමින් ඉන්නවා. අපේ පාලකයන් අපට සිදුකර ඇත්තේ එයයි. ඔවුන්ගේ අරමුණ, අප ඔබලාගේ දරුවන්ගේ ජීවිත උසස් කිරීම නොවෙයි; ඔවුන් කෝටි ගණනක් වියදම් කර ඒ වගේ තුන් හතර ගුණයක් ඔවුන්ට සහ මිතුරන් අතර බෙදා ගන්න එකයි. අප මෙතෙක් තෝරා ගත්ත දෙයින් දේශපාලනික තෝරා ගැනීමක් කරන්න වෙනවා. ඒ සඳහා නිර්නායකයන් කිහිපයක් ලබාදෙන්න මම කැමතියි. පළමුවෙන්ම දේශපාලනය කරන්න එන කෙනාගේ අරමුණ බැලිය යුතුයි. එය පොදු අරමුණක් ද, පෞද්ගලික අරමුණක්ද කියලා බැලිය යුතුයි. ඔවුන්ගේ භාවිතය කුමක්ද කියා බැලිය යුතුයි. ජීවත්වෙන ආකාරය දැකගත යුතුයි. සහකම්පනයක් ඔවුන් තුළ තිබෙනවාද යන්න දැනගත යුතුයි. ඒ වගේම කණ්ඩායමක් තිබිය යුතුයි. තනි පුද්ගලයෙක් බලයට පත්කර අත්කරගත් විනාශය අප අත්දැක තිබෙනවා. එය සාමූහික ප්‍රයත්නයක් විය යුතුයි. එක දැක්මකට පෙළ ගැසිය යුතුයි.
මගේ විෂය ක්ෂේත්‍රය දත්ත විද්‍යාවයි. ලෝකයේ වැඩිම ඉල්ලුම තිබෙන්නේ එම විෂයයටයි. දත්ත විද්‍යාවෙන් කරන්නේ දත්ත පාවිච්චි කරලා, තීරණ ගන්න, ප්‍රශ්න විසඳන්න අවශ්‍ය දැනුම කළමනාකාරිත්වයට ලබාදීමයි. රටකටත් තිබෙන ප්‍රශ්න විසඳන්න අපට දත්ත පාවිච්චි කරන්න පුළුවන්. එයින් පුරෝකථනය කරන්න පුළුවන්. නමුත් අපේ පාලකයන්ට මේවායින් ප්‍රයෝජන ගැනීමට වුවමනාවක් නැහැ. මුළු ලෝකයම උපරිම කාර්මික විප්ලවයකට ගියාට අපේ රටේ කර්මාන්ත දෙවැනි කාර්මික විප්ලවයටවත් ගිහින් නැහැ. ඵලදායිතාව ඉහළ නංවාගෙන නැහැ. අපි ව්‍යාපාරික දූෂිත පැලැන්තියකට අපේ බලය සර්වජන ඡන්ද බලයෙන් හුවමාරුකර තිබෙනවා. ඒ බලය අපි නැවත ලබාගත යුතුයි. ඒ විසඳුමට යන්න නම් අපට අනිවාර්යයෙන් කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. අප නිර්මාණය කරමින් සිටින්නේ ඒ කණ්ඩායමයි. අපි තරුණ ප්‍රජාවට යෝජනා කර සිටින්නේ ඔබ සිටින තැන සිට නායකත්වය ගන්නා ලෙසයි.
ජාතික ජන බලවේගයේ විධායක සභික, ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගය දෙදහස් දහනවයේ දී ආරම්භ කළ ගමනේ තීරණාත්මක සහ වැදගත් සන්ධිස්ථානයකට අද පැමිණ සිටිනවා. කොවිඩ් බාධක මැද අපි කළ වැඩවල ප්‍රතිඵලයක් හැටියට අපේ නායකත්වයත්, විධායක සභාවත් හඳුන්වා දෙන්න අපට පුළුවන් වුණා. අප අතර තිබුණු සංවාද, ප්‍රතිපත්ති සකස් කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම මගින් මෙතැනට ඇවිත් සිටිනවා. […]
ජාතික ජන බලවේගය දෙදහස් දහනවයේ දී ආරම්භ කළ ගමනේ තීරණාත්මක සහ වැදගත් සන්ධිස්ථානයකට අද පැමිණ සිටිනවා. කොවිඩ් බාධක මැද අපි කළ වැඩවල ප්‍රතිඵලයක් හැටියට අපේ නායකත්වයත්, විධායක සභාවත් හඳුන්වා දෙන්න අපට පුළුවන් වුණා. අප අතර තිබුණු සංවාද, ප්‍රතිපත්ති සකස් කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම මගින් මෙතැනට ඇවිත් සිටිනවා. අපව ප්‍රශ්න කළ අය, අපව විවේචනය කළ අය බොහොමයක් අද මෙතැන ඉන්නවා. තවත් බොහෝ පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අප හා එක් වී සිටින බව මම දන්නවා.
ජාතික ජන බලවේගය කියන්නේ, සංවාද හරහා නොනැවැතෙන ක්‍රියාවලියක් තුළ ඉදිරියට යන සංවිධානයක්. අද වාගේ දවසක ජාතික ජන බලවේගය ගොඩනැඟීමට ප්‍රධාන හේතුව අපේ රට සහ අපේ ජීවිත මෙයට වඩා හොඳ ලස්සන, පහසු තැනක තැබීමටයි. එකිනෙකා පීඩනයට පත් කරනවා වෙනුවට එකිනෙකා රැකබලා ගන්නා, ස්වභාවධර්මය විනාශ කරනවා වෙනුවට පෝෂණය කරන, සංස්කෘතිකව දියුණු මානුෂීය සමාජයක් අපට හිමි විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම ලෝකයක් හදන්න වැඩපිළිවෙළක්, කැප වීමක්, දේශපාලන නායකත්වයක් සහ භාවිතාවක් අපට තියෙනවා. මේ වාගේම ගොඩක් පුද්ගලයන් සහ සංවිධාන තිබෙන බවත් අපි දන්නවා. ඒ හැමටම එකතු වෙන්න වේදිකාවක් තමයි, අපි ගොඩනඟා තිබෙන්නේ.
අද අපේ රට තිබෙන තැනට ඇදදැමූ ප්‍රධාන හේතුව අප අතර තිබිය යුතු බැඳීම්, සහයෝගය, සාමුහිකත්වය විනාශ කළ එකයි. එය ඉබේ සිදු වුණේ නැහැ. විනාශ කළා. සමාජයක් නැති බව ඉගැන්නුවා. තරගකාරිත්වයෙන් පිරුණු ආත්මාර්ථකාමී පුද්ගලවාදියෙක් සමාජයට හඳුන්වා දුන්නා. අප මුහුණ දෙන අර්බුද සාමාන්‍ය හෝ ස්වාභාවික බව අපට ඒත්තු ගැන්වූවා. මේ නිසා මේ තත්වයන් වෙනස් කරන්න බැරි බව අපට කීවා. එසේත් නැත්නම්, අප මුහුණ දෙන ගැටලු පුද්ගල දුර්වලතා හැටියට කිව්වා. ඒ නිසා තනි තනිව විසඳා ගන්නා හැටියට අපට බල කර දේශපාලනයෙන් අපව ඈත් කළා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ අප හුදෙක් නරඹන්නන් බවට පත් කළා. බලාපොරොත්තුව සහ සහකම්පනය වෙනුවට වෛරය සහ උදාසීන බව ඇති කළා.
අපට අන්තිමට සිදු වුණේ, පාලකයන් සහ ඔවුන්ගේ හිතමිතුරන් පොහොසත් වී අප හැම අතින්ම දුප්පත් වීමයි. මෙය වෙනස් කළ යුතුයි. සාමුහිකත්වය සහ පොදු බව කියන්නේ, පුද්ගල නිදහස සහ අනන්‍යතා දිය කිරීම නොවෙයි. පුද්ගල නිදහස රැකගනිමින්, සාමුහිකත්වය අගය කරන සමාජයක් හදන්න පුළුවන්. නමුත්, අද තියෙන්නේ, සමාජයත්, පුද්ගලයාත් අතර තුලනතාවක් නොවෙයි. අද තිබෙන වටිනාකම් සහ භාවිතාවලින් අපට කියන්නේ, පුද්ගල අරමුණු සහ තනි ගමනක් තිබෙන බවයි. එයින් විනාශ වෙලා තියෙන්නේ, අපේ බැඳීම්, සම්බන්ධතා සහ අපේ පවුල් මෙන්ම පොදු යහපත. එයින් යට කර තිබෙන්නේ, සෑම මිනිසකුම සොයන අන්තර් සම්බන්ධතායි. පොදු යහපත වෙනුවෙන් තිබෙන කැප කිරීම, සේවය කිරීමට තිබෙන උනන්දුව විනාශ කරලා තියෙනවා. තරගකාරිත්වය වාගේම මානුෂීය ගුණාංග අතර තුලනයක් අවශ්‍යයි. එම තුලනය නැති වීම නිසා ප්‍රශ්නවලට විසැඳුම් සොයන්න පුද්ගලයන් ලෙස පොළඹවා තිබෙනවා. නමුත්, අප අද මුහුණ දෙන්නේ පොදු සහ ව්‍යුහාත්මක ප්‍රශ්නවලටයි. අපේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය මේ සියලු දේ තුළම තිබෙන්නේ ව්‍යුහාත්මක පොදු ප්‍රශ්න. මේ නිසා මේ තත්වයන් වෙනස් කිරීමට ව්‍යුහාත්මක පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනය කර ගත හැක්කේ, සාමුහිකව මිස තනි තනිව නොවෙයි. අපව හිර කර තිබෙන මිථ්‍යාවන්, ආකල්ප, අවිද්‍යාත්මක අදහස් දැන් ප්‍රතික්‍ෂේප කරමින් යන්නේ. මුළු ලෝකයමත් අලුත් මාවතක් සොයනවා. අලුත් මාවතක් විවෘතයි. කොවිඩ් අර්බුදයෙන් පරිවර්තනය පිළිබඳ පාඩම් කිහිපයක් අපට ඉගැන්වූවා. ලෝකයම දැන් ඒ පරිවර්තනය වෙනුවෙන් පෙළැඹී සිටිනවා. ඒ අලුත් ලෝකය අප අභියස ඉදි වෙමින් තිබෙනවා කියන සුබ ආරංචිය අද උදේ අහන්න ලැබුණා. චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය අනුව ශිෂ්‍ය නායකයෙක් වෙලා සිටි ගේබි්‍රයෙල් වොරිඩ් ජයග්‍රහණය කර ජනාධිපති වශයෙන් තේරී පත්ව සිටිනවා. වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාට එය විශාල සංඥාවක් කියලා මම හිතනවා. අපට මේ ලෝකය පරිවර්තනය කරන්න පුළුවන් කියන විශ්වාසය මතයි, ජාතික ජන බලවේගය ගොඩනැඟුවේ. එන්න ! අපි වැඩ කරමු; වැඩ භාර ගනිමු; අපි කැප වෙමු; අලුත් ලෝකයක්, අදට වඩා ලස්සන ලෝකයක් හදන්න එකතු වෙමු; එය ගොඩනඟමු.
ජාතික ජන බලවේගයේ විධායක සභික, අධිනීතිඥ ලාල් විජේනායක මෙය අපේ රට ආර්ථික, දේශපාලනික, සමාජ සහ සංස්කෘතික වශයෙන් හැම පැත්තෙන්ම බිඳවැටී තිබෙන අවස්ථාවක්. නිදහස ලැබිලා අවුරුදු හැත්තෑතුනක් තුළ රට පාලනය කළ පාලකයන් මෙම කලාපයේ රටවල් අතුරින් ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්වයට බිඳවට්ටා තිබෙනවා. රට ඒ තත්වයට පත් කළ දේශපාලනය පරාජයට පත් කළ යුතුයි. අප පරාජය කළ […]
මෙය අපේ රට ආර්ථික, දේශපාලනික, සමාජ සහ සංස්කෘතික වශයෙන් හැම පැත්තෙන්ම බිඳවැටී තිබෙන අවස්ථාවක්. නිදහස ලැබිලා අවුරුදු හැත්තෑතුනක් තුළ රට පාලනය කළ පාලකයන් මෙම කලාපයේ රටවල් අතුරින් ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්වයට බිඳවට්ටා තිබෙනවා. රට ඒ තත්වයට පත් කළ දේශපාලනය පරාජයට පත් කළ යුතුයි. අප පරාජය කළ යුත්තේ, පුද්ගලයන් පමණක් නොවෙයි. ඔවුන්ගේ දේශපාලනයත් පරාජය කළ යුතුයි. ආර්ථික වශයෙන් අපේ රට වැටී තිබෙන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වාගේම අපේ සමාජය බිඳවැටුණු සමාජයක්. රටේ සිටින නොයෙකුත් ජන කොටස් ඒකරාශී කර ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ගොඩනඟන්න අසමත් වී තිබෙනවා. පාර්ලිමේන්තුව දිහා බැලුවාම මොන වාගේ පාලකයන් පිරිසක්ද පත් කර සිටින්නේ කියලා පැහැදිලි වෙනවා.
රට කොතෙක් දුරට බිඳවැටිලා ද කීවොත්, තරුණ පරම්පරාවේ හැම කෙනකුම අපේක්‍ෂා කරන්නේ රට දාලා යන්නයි. ඒ වෙනුවෙන් නොයෙකුත් මාර්ග සොයමින් ඉන්නවා. රට ගැන ඔවුන්ගේ සම්පූර්ණ විශ්වාසය බිඳවැටිලා. අනාගතයක් තිබෙනවා කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඉතාමත්ම භයානකම තත්ත්වය මෙයයි. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් වාමාංශික කොටස් එකතු වී ජාතික ජන බලවේගය පිහිටෙව්වා. අද මේ සමුළුව පවත්වන්නේ විකල්ප දේශපාලනයක් රටට හඳුන්වා දෙන්න. ඒ වාගේම විකල්ප වැඩපිළිවෙළක් සහ විකල්ප නායකයෙක් හඳුන්වා දෙන්න. ඒ වාගේම හැත්තෑපස් දෙනකුගෙන් සමන්විත විධායක සභාවක් හඳුන්වා දෙන්න. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව රට පුරාම ගෙනියලා ජනතාව සමඟ සාකච්ඡාවක් ඇති කිරීමට ක්‍රියා කරනවා. ඒ ප්‍රතිපත්ති තුළ යම් යම් වෙනස්කම් ඇති කිරීමට අවශ්‍ය නම්, ඊටත් ඉඩ තිබෙනවා. අපේ අපේක්‍ෂාව කඩාවැටුණු මේ රට නැවත ගොඩනැඟීම සඳහා අවශ්‍ය ආණ්ඩුවක් පිහිටුවන්න ක්‍රියා කිරීමයි. දිස්ත්‍රික් මට්ටමේ සම්මේලන ඉදිරියේ දී පවත්වා ජනතාවගේ අපේක්‍ෂා ඉටු කරන ආකාරයට ක්‍රියා කරමින්, බිඳවැටුණු රට නැවත ගොඩනැඟීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් එක් වන ලෙස සියලු දෙනාටම ආරාධනා කරනවා. ජාතික ජන බලවේගය පක්‍ෂ හෝ කණ්ඩායම් කිහිපයකට සීමා කර නැහැ. විකල්ප දේශපාලනයක් තුළින් බිඳවැටුණු රට ගොඩනැඟීමට එකතු වන සියලු දෙනාට පොදු මධ්‍යස්ථානයක් ලෙස මෙය ගොඩනඟනවා. අපි ජනතාවටත් මේ වටා ඒකරාශී වන ලෙස ආයාචනා කරනවා.
ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අපි ජාතික ජන බලවේගය පුළුල් කරමින් ඉන්නේ දැවැන්ත මහජන බලවේගයක් බවට පත්කිරීම වෙනුවෙන්. අපි ජාතික විධායක සභාව පත්කර ගත්තා. මේ ආරම්භයක් පමණයි. මේ ජාතික සභාව මීළඟට දිස්ත්‍රික් සභා පිහිටුවීමට මැදිහත් වෙනවා. මේ රටේ හැම ප්‍රාදේශීය සභා, නගර සභා කොට්ඨාසයක්ම, ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි අපි ජාතික […]
අපි ජාතික ජන බලවේගය පුළුල් කරමින් ඉන්නේ දැවැන්ත මහජන බලවේගයක් බවට පත්කිරීම වෙනුවෙන්. අපි ජාතික විධායක සභාව පත්කර ගත්තා. මේ ආරම්භයක් පමණයි. මේ ජාතික සභාව මීළඟට දිස්ත්‍රික් සභා පිහිටුවීමට මැදිහත් වෙනවා. මේ රටේ හැම ප්‍රාදේශීය සභා, නගර සභා කොට්ඨාසයක්ම, ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි අපි ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා හදනවා. විශ්වාසවන්ත අවංක හොඳ මිනිසුන්ගේ සංචිත බවට මේ සභා පත්කරනවා. අපි මේ රටේ ජනතාව පිළිබඳව පූර්ණ විශ්වාසය තබනවා. මේ ජනතාව තමයි මේ රට ගොඩනඟන්න අපිට තිබෙන ප්‍රධානම සම්පත. මේ මානව සම්පත පාවිච්චි කිරීම තමයි ආණ්ඩු බලය ලබා ගන්නා ඕනෑම දේශපාලන කණ්ඩායමකට තිබෙන අභියෝගය. අපි විශ්වාස කරනවා මේ රට ගොඩනඟන්න එතරම් අපහසු වන්නේ නැහැ කියලා.
2019දී සහ 2020දී ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව විශ්වාස කරලා. නමුත් ඉතාමත් කෙටි කාලයකින් මෙම විශ්වාසය බරපතළ ලෙස සිඳී යමින් තිබෙනවා. පසුගිය වසරකුත් මාස 08ක කාලය ගතවුණේ මේ රටේ සියලු දෙනාම බරපතළ ආකාරයේ ආර්ථික, සමාජීය හා දේශපාලනික ප්‍රශ්න ගණනාවකට මැදිකරමිනුයි. මැතිවරණ වෙලාවේදී ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ සහෝදර ජනතාවට පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ යන්නේ මිරිඟුවක් පසුපස බවයි. ජනතාවගේ බලාපොරොත්තු ඉක්මනින් කඩවෙන බවයි. මේ නිසා අපත් සමග එකතු වෙන්න කියලා ජනතාවට ඒ වෙලාවේ කිව්වා. නමුත් බොහෝ දෙනෙක් ඒ මොහොතේ ඒ ඉල්ලීමට එතරම් කන් දුන්නේ නැහැ. එතන විවිධ ජන කොටස් හිටියා. උගත්කමක් සහිත රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරමින් අවංකවම මේ රට ගොඩනඟන්න බලාපොරොත්තු වුණු විශාල පිරිසක් හිටියා. සමහරු රැකියා අතහැරලා දේශපාලනය කළා. විද්වතුන් ඉතාමත් බලාපොරොත්තු සහගතව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට එකතු වුණා. බොහෝ දෙනා විශ්වාස කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට අලුතින් පැමිණි කෙනෙක් නිසා, පරණ පුරුදු දූෂණ ක්‍රියාවලට තිත තියලා මේ රට ගොඩනඟන්න මැදිහත් වෙයි කියලා.
හැබැයි ඒ පසුපස ගිය බොහෝ දෙනා දැන් අතරමං වී සිටිනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ජාතික ව්‍යාපාරයක් බවට ජාතික ජන බලවේගය පත්කරන්න. අපි ඒ අයට බලාපොරොත්තුවක් ලබාදෙනවා. ඔවුන් අප වෙත දිනාගෙන ඔවුන්ට මේ රට වෙනස් කරන වගකීම සහ පාර්ශ්වකකරුවන් වීමේ වගකීම පවරන්න ඕනෑ. අවංක, විශ්වාසවන්ත බහුජන නායකත්වයක් ගොඩනඟාගෙන අපි ඔවුන්ට මේ රට ගොඩනැඟීමේ මහඟු කාර්යයට සම්බන්ධ වන්නට අවස්ථාව ලබාදිය යුතුයි. සියලු අවංක, දූෂිත නොවන, රටට ආදරය කරන හැමදෙනාටම ආරාධනා කරනවා. මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජීවත්වෙන ජනතාවට ආරාධනා කරනවා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා. මේ රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය හැර ඔබට වෙන මාවතක් නැහැ. ජාතික ජන බලවේගය ලෙස දැනට එකතු වී සිටින අපට පමණක් කළ හැකි කාර්යයක් නොවෙයි. මේ ඔබේත් රටයි. මේ අප සියලු දෙනාගේ රටයි. රටේ දරුවන් වෙනුවෙන් මේ රට ඉතිරි කළ යුතුයි. මේ රට ගොඩනැඟිය යුතුයි. ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා හොඳ පරිසරයක් ඇති කළ යුතුයි. අපට නොයෙක් කැපකිරීම් කරන්න වෙයි. ඒ සඳහා ඔබේ ශක්ති ප්‍රමාණයෙන් දායක වෙන්නැයි ආරාධනා කරනවා.
සාමූහික ප්‍රයත්නයකින් මිස රටේ පවත්නා මේ අර්බුදයෙන් තනි තනිව ගොඩ ආ නොහැකි බවත් ඊට විස¾දුම “ජාතික ජන බලවේගය” පමණක් බවත් ජාතික ජනබලවේගයේ හා ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. මෙවර ජනතාව, ජාතික ජන බලවේගය තෝරා ගැනීම ඔවුන් ගන්නා හොඳම හා නිවැරැදිම තීන්දුව බවද ඔහු පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (20දා) […]
සාමූහික ප්‍රයත්නයකින් මිස රටේ පවත්නා මේ අර්බුදයෙන් තනි තනිව ගොඩ ආ නොහැකි බවත් ඊට විස¾දුම “ජාතික ජන බලවේගය” පමණක් බවත් ජාතික ජනබලවේගයේ හා ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
මෙවර ජනතාව, ජාතික ජන බලවේගය තෝරා ගැනීම ඔවුන් ගන්නා හොඳම හා නිවැරැදිම තීන්දුව බවද ඔහු පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (20දා) කොළඹ පැවැති ජාතික ජන බලවේගයේ නියෝජිත මහ සමුළුව අමතමිනි.
මෙම විනාශකාරී දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතු බව හැම පුරවැසියකුටම මේ වන විට ඒත්තු ගොස් තිබෙන අතර, තනි තනිව මොන තරම් පොරබැදුවත් පවත්නා මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවද ඔහු පවසයි.
“මෙය ස්වාභාවික ව්‍යසනයක් නිසා සිදුවුණු දෙයක් නොවේ. අනුගමනය කරන ලද වැරැදි ආර්ථික හා දේශපාලන ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක වශයෙන් මෙය සිදුවී තිබෙනවා. ළිඳට වැටුණේ ළිං කටෙන් නම්, ගොඩ එන්න වෙන්නෙත් ඒ ළිං කටෙන්මයි. මේ විනාශකාරී තත්ත්වයට අපේ රට හෙළුවේ, වැරැදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් නිසා නම් උත්තර තිබෙන්නේත් නිවැරැදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් මේ මාතෘ භූමිය තුළ ස්ථාපනය කිරීමයි.
ජීවත්වීමට සරිලන ආදායම් මාර්ගයක් තිබෙන, තමන් කරන වෘත්තිය පිළිබඳව ගෞරවයක් අපේක්ෂා කරන බොහෝ පිරිස් රට හැර යනවා. ඔවුන් රට හැර යන්නේ රැකියාවක් සොයාගෙනම පමණක් නොවෙයි, සමාජ සුරක්ෂිතභාවයත් සොයාගෙනයි. නමුත්, තනි තනිව කොපමණ පොරබැදුවත්, මෙයින් ගොඩ එන්න බැහැ. සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ මේ වේදිකාව නිර්මාණය වෙලා තියෙන්නේ, එවැනි සාමූහික ප්‍රයත්නයක් වෙනුවෙනුයි. කැපකිරීම් සහ පරිත්‍යාග කිරීම් සඳහා කැපවූ මිනිසුන්ගෙනුයි. මෙතැනින් ඔබ්බට ඔබ එක්ව රටේ සියලු ජනතාව පෙළගැසිය හැකි මහජන ව්‍යාපාරයක් ලෙසට ජාතික ජන බලවේගය ගොඩනඟන බව සහතික කොට ප්‍රකාශයට පත් කරනවා” යැයිද ජ.වි.පෙ. නායකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.