Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“අපේ අදූෂිත බව සතුරන්ට අභියෝගයක් වී තිබෙනවා” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා-

-Colombo, November 13, 2023- මීට වසර 34කට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ, රෝහණ විජේවිර සහෝදරයා පක්ෂේ ප්‍රධාන ලේකම්ව සිටි උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ නායකයෝ, අපේ ගුරුවරුන් වූ සහෝදරියන් සහෝදරවරුන් විශාල ප්‍රමාණයක් ‘ඉල් මාසයේ’ අපි අනුස්මරණය කරනවා. ‘ඉල් මාසය’ අපේ මතකයන් අලුත් කරන, බොහෝ දේවල් ඉගෙන ගන්න මාසයක්. 1989න් පස්සේ අපට ඉල් මාසය අමතක […]

-Colombo, November 13, 2023-

මීට වසර 34කට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ, රෝහණ විජේවිර සහෝදරයා පක්ෂේ ප්‍රධාන ලේකම්ව සිටි උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ නායකයෝ, අපේ ගුරුවරුන් වූ සහෝදරියන් සහෝදරවරුන් විශාල ප්‍රමාණයක් ‘ඉල් මාසයේ’ අපි අනුස්මරණය කරනවා. ‘ඉල් මාසය’ අපේ මතකයන් අලුත් කරන, බොහෝ දේවල් ඉගෙන ගන්න මාසයක්. 1989න් පස්සේ අපට ඉල් මාසය අමතක කළ නොහැකිව තිබෙනවා. රෝහණ සහෝදරයා කියල තිබුණා “අපි වේලාසන අවදි වූයෙමු. අප වේලාසන අවදිවූ පමණින් වේලාසන හිරු පායන්නේ නැත. එහෙත් හිරු පායන විට, වේලාසන අවදි වී සිටීම අපට වාසි ගෙන දෙනු ඇත.” කියලා.

අපි හැමෝම කලින් අවදි වුණු මිනිස්සු. අපි දිගු කාලයක් අවදි වී සිටියා. ඉතාම අන්ධකාර රාත්‍රීන්, අති දුෂ්කර රාත්‍රීන් ගත කළා. කලින් අවදි වී සිටි අපට දැන් අලුත් ලෝකයක් සඳහා උදාවන ප්‍රභාතය, අලුත් හිරු කිරණ අපේ දෑස්වලට පෙනෙන්න පටන්ගෙන තිබෙනවා. 34 වැනි ඉල්මහ විරු සමරුවට පැමිණ සිටින්නේ නව සමාජයක් නිර්මාණය කිරීමේ ජයග්‍රහණයට අතේ දුර තබාගෙන. මේ අවස්ථාව මග හැර යාමට හෝ වරද්දා ගැනීමට කාටවත් අයිතියක් නැහැ. අප යා යුතු දිශාව, අරමුණු නැවත සිහිපත් කර ගන්න මෙය අපට හොඳ අවස්ථාවක්.

අපෙන් සමහරු අහනවා ඇයි අපි ඉතිහාසයේ ජීවත් වෙන්නේ කියලා. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන, ඉතා පැහැපත් අනාගතයක් වෙනුවෙන් වර්තමානයේ වැඩකරන මිනිස්සු. අපිට ජයග්‍රහණය කිරීමට අනාගතයක් තිබෙනවා. අනාගතය වෙනුවෙන් වැඩකිරීමේදී අපට ඉතිහාසය අවශ්‍ය වෙනවා. අනාගත ජයග්‍රහණවලට මඟ පෙන්වන්නේ ඉතිහාසයේ පාඩම්. අපේ රටේ තිබෙන මේ ඛේදවාචකයට හේතුවක් තමයි, පාලකයෝ පසුගිය කාලයේ ඉතිහාසය පැත්තකින් තැබීම. 1978 රට පාලනය කළ ජේ.ආර්. ජයවර්ධන පළමුවෙන්ම කළේ ඉතිහාසය පැත්තකින් තැබීම. ඉතිහාසයක්, අරමුණක්, ගැඹුරක්, අධ්‍යාත්මයක් නැති බොල් සමාජයක් නිර්මාණය කළා. ඒ සමාජ ඛේදවාචකයේ අපි ඔක්කෝම ගිලිලා ඉන්නේ. අපට ඉතිහාසය ඕනෑ. ඉතිහාසයේ ජීවත් වෙන්න නොවෙයි, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න. ඒ අවලාද ගහන මහත්වරුන්ට තාමත් ඉතිහාසයෙන් මිදෙන්න නොහැකි වී තිබෙනවා.

අපට අවලාද ගහන ඒ අය ජීවත්වෙන්නේ ජයවර්ධන විසින් නිර්මාණය කළ ඉතිහාසයේ. ඒ ගොල්ලෝ නිතරම කියන එකක් තමයි ‘88 භිෂණ සමය’. භීෂණයක් තිබුණා 1977 ඉඳලා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ භීෂණය. ඒකට මුහුණ දුන් ව්‍යාපාරය තමයි අපි. අපේ ව්‍යාපාරය මර්දනය කර, නායකයෝ ඝාතනය කරලා ජයවර්ධන ඉතිහාසයක් ලිව්වා. ඒ ඉතිහාසය තමයි මහින්ද රාජපක්ෂ අරගෙන යන්නේ. ඔවුන් ඉතිහාසය තම තමන්ට වුවමනා ආකාරයට ලියා ගන්නවා. අරගලයකින් පසුව ඉතිහාසය ලිව්වේ ජයග්‍රහණය කළ අය. සමාජ සාධාරණය වෙනුවෙන්, විමුක්තිය වෙනුවෙන් කළ අරගලයක් පරාජය වුණාට පසුව ඒ අරගලයට හානි වෙන අයුරින් ජයග්‍රහණය කළ අය ඉතිහාසය ලිව්වා. ඒ ඉතිහාසය වෙනස් කිරීමේ කාලය දැන් උදාවෙලා තිබෙනවා. මෙතෙක් ගෙන ආ වැරදි ඉතිහාසය වෙනස් කිරීමත්, අලුතින් ලිවීමේ වගකීමත් ඔබට, අපට පැවරිලා තිබෙනවා.

රෝමයේ වහල්කම පැවති යුගයේ, ඒ වහල්කමට එරෙහිව සටන් කළ ස්පාටකස් පාලකයන් විසින් ඝාතනය කළා. රෝම පාලකයන්ගේ ඉතිහාසයට අනුව ස්පාටකස් අපරාධකරුවෙක්. නමුත්, වසර ගණනාවකට පසුව අද ස්පාටකස් මුළු ලෝකයටම වීරයෙක් වෙලා තිබෙනවා. 1818 පැන නැගුණු ඌව වෙල්ලස්ස කැරැල්ල සුදු අධිරාජ්‍යවාදීන් විසින් කුඩුපට්ටම් කළා. කැරැල්ල මෙහෙයවපු කැප්පෙටිපොළලා සුදු පාලකයන්ට අනුව රාජ ද්‍රෝහීන්, ත්‍රස්තවාදීන් වුණා. සුදු පාලකයෝ ඉතිහාසය ලිව්වේ එහෙම. ඒ වගේම 1848 මාතලේ කැරැල්ල මෙහෙයවපු පුරන්අප්පු කණ්ඩායම ඝාතනය කළා. ඔවුන් ඉතිහාසය ලිව්වා පුරන්අප්පු කණ්ඩායම ත්‍රස්තවාදීන් බවට පත්කොට. ඒ ඉතිහාසය තමයි සමහරු අදටත් කරගහගෙන ඉන්නේ. ඉතිහාසය නැවත කියවා ගන්න, ලියන්න වුවමනා කාලයක් ඇවිත් තිබෙනවා.

මේ ඉතිහාසය 77න් පටන් ගන්න ඕනෑ. 1977 ජේ.ආර්. ජයවර්ධන බලයට ඇවිත් විධායක බලතල සහිත ආණ්ඩුවක් හදාගත්තා. තනි පුද්ගලයෙක් අතට බලය ගත්තා. ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කළා. විපක්ෂය මර්දනය කිරීමට පටන් ගත්තා. සියලු බලවේග මර්දනය කිරීමට පටන් ගත්තා. පොලීසි, හමුදාවට අමතරව වෘත්තීය සමිතිවලින් මැර කණ්ඩායම් හැදුවා. පත්තරවල ඒ මැර කණ්ඩායම් ‘තග් සංස්ථාව’ ලෙස හැඳින් වූවා. විශාල ලෙස ජනතාව පීඩාවට පත් කළා. 1980 ජූලි වර්ජනයට කලින් සෝමපාල නමැති කම්කරුවා ඝාතනය කළා. 80 ජූලි වර්ජනයේදී ලක්ෂයකට වැඩි පිරිසක් රැකියාවලින් එළියට දැම්මා. සමහරු දිවි නසා ගත්තා. විශාල කාලයක් රැකියා නැතිව සිටියා. ඒ ඉතිහාසය කිසිවෙක් කතා කරන්නේ නැහැ. එයින් නතර වුණේ නැහැ. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී මැර ඇමතිවරු යාපනයේ ඡන්ද පෙට්ටි සොරකම් කරලා ගිනි තිබ්බා. පුස්තකාලය ගිනි තැබුවා. උතුරේ විරසකයට බලපෑ එක කරුණක් ඒක. රනිල් කියන්නේ ඒ අවදියේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්. ධවල පත්‍රිකාවට එරෙහිව සටන් කළ ශිෂ්‍යන්ට පහර දුන්නා. අයිතිවාසිකම් ඉල්ලූ ජනතාවට පහර දුන්නා. අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහි සටනට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් නිසා එය ක්‍රියාත්මක කරන්න පාලකයන්ට නොහැකි වුණා. ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය සටන නිසා අධ්‍යාපනය රැක ගැනීමට හැකි වුණා.

එතනින් නොනැවතී ආණ්ඩුව විවේචනය කළ බොහෝ දෙනාට පහර දෙන්න පටන් ගත්තා. ‘ධර්මිෂ්ට සමාජයක්’ පොත ලියපු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ට මැරයන් ලවා කාණුවේ දාලා පහර දුන්නා. කාන්තා පෙළපාලියක් යන අවස්ථාවේදී විවියන් ගුණවර්ධන ඇතුළු කාන්තාවන්ට පහර දුන්නා. සමහර නඩු තීන්දු දුන් විනිශ්චයකාරවරුන්ගේ නිවෙස්වලට මැරයන් ලවා ගල් ගැස්සුවා. අධිකරණයට බලපෑම් කළා. ජේ.ආර්. ජයවර්ධනලා නිර්මාණය කළේ මෙවැනි ඉතිහාසයක්. ස්ත්‍රී දූෂණවලට සිරගත වී සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දීලා ඉන් නොනැවතී සාමවිනිසුරුකමත් දුන්නා. මෙවන් ඉතිහාසයකට වගකියන්නේ කවුද? රනිල් එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඔහුත් මේවාට වගකිව යුතුයි.

1982 ජනමත විචාරණයක් ගෙනාවා. 1983 මහ මැතිවරණය පැවැත්වූවා නම්, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට එනවා. ජේ.ආර්.ගේ හයෙන් පහේ බලය අහිමි වෙනවා. ඒක වළක්වන්න ඒ පාර්ලිමේන්තුවම තවත් අවුරුදු හයකට දීර්ඝ කර ගන්න ජනමත විචාරණයක් තිබ්බා. ඒක කොල්ලකාරී ජනමත විචාරණයක්. අපේ නායක රෝහණ විජේවීර සහෝදරයා ඒ ජනමත විචාරණයට එරෙහිව, අධිකරණයේ නඩුවක් දැම්මා. හැමෝම යටපත් කරගෙන වැඩ කළාට ජනතා විමුක්ති පෙරමුණ යට කරන්න බැහැ කියන එක ජේ.ආර්. තේරුම් ගත්තා. 1983 ජේ.ආර්.ලා නිර්මාණය කළ ජූලි ජාතිවාදී කෝලාහල පාවිච්චි කරලා ජනතා විමුක්ති පෙරමුණ, නව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂයත් තහනම් කළා. මාස කිහිපයකට පසුව කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයේ තහනම ඉවත් කළා. ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කළ ව්‍යාපාරයක්. ජනාධිපති ඡන්දයේදී ඡන්දෙ ඉල්ලලා රෝහණ විජේවීර සහෝදරයා පස් දෙනෙකුගෙන් තුන්වෙනියා බවට පත් වුණා. ඡන්දවලට ඉදිරිපත් වූ, ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි, මහජනතාව සංවිධානය කළ දේශපාලන ව්‍යාපාරයක් තහනම් කිරීමට තිබූ හේතුව මොකක්ද? අදටත් එයට හේතුවක් නැහැ. 1983 ජූලි කලබලවලට අපව සම්බන්ධ කළාට අපට නඩුවක් වත් නැහැ. පක්ෂය තහනම් කළා පමණක් නොවෙයි එය දිගින් දිගටම පවත්වාගෙන ගියා. රෝහණ විජේවීර සහෝදරයා, පක්ෂ තහනම ඉවත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා; ජනාධිපති ලේකම්ට ලිව්වා; මානව හිමිකම් සංවිධානයට ලිව්වා. ඒ අවදියේ පක්ෂයේ ලේකම් ලයනල් බෝපගේ සහෝදරයා අත්අඩංගුවට පත් වුණා. නිදහස් වී පැමිණ ජනාධිපති ලේකම් මැණික්දිවෙල හමුවෙලා කිව්වා තහනම ඉවත් කරන්න කියලා. එයට කිසිවෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. ජේ.ආර්.ට මිලදී ගත නොහැකි, යට කරන්න, බය කරන්න බැරි, ඒ අයගේ දේශපාලනට අභියෝගයක් වී අපේ පංතියෙන් නැගුණු මේ ව්‍යාපාරය විනාශ කිරීමේ සැලැස්මක හිටියා. ඒ ඉතිහාසය කිසිවෙක් කතා නොකරන්නේ ඇයි?

1988ක් අහම්බෙන් ආවේ නැහැ. 83 ජනතා විමුක්ති පෙරමුණ ආයුධ ගත්තාද? 84, 85, 86, 87 ආයුධ ගත්තද? නැහැ. අපි දිගටම තහනම ඉවත් කරවා ගන්න උත්සහ කළා. ‘තහනම ඉවත් කරන්න කියා’ මමත් පෝස්ටර් අලවලා තියෙනවා. ඒ පෝස්ටර් ගහපු සහෝදරවරු අල්ලගෙන ගොස් මරා දැමුවා. ඒ ඉතිහාසය ලියා තිබෙනවාද? පරීක්ෂණ තිබෙනවාද? 1987 මැයි දිනය තහනම් කළා. ජනතාව අභයාරාමයට එකතු වුණාම එතෙන්ට වෙඩි තිබ්බා. දෙන්නෙක් මිය ගියා. එපමණක් නොවෙයි, 1987 ගිවිසුම් අත්සන් කොට, ඉන්දියාවට ලංකාව පාවා දුන්නා. එතනදි දේශප්‍රේමී අරගලයක් පටන් ගත්තා. එය සිවිල් යුද්ධයක් දක්වා ගමන් කළා. ඒ සිවිල් යුද්ධය ඇතුලේ තමයි 88-89 ගැන කතා කරන්නේ. 88-89 ජයවර්ධනලා විසින් සැලසුම් සහගතව නිර්මාණය කළ එකක්. එය මඟහැර යාමට ගත් උත්සාහයන් ව්‍යවර්ථ වුණාම එයට මුහුණ දෙන්න සිදුවුණා. “දණින් වැටී ජීවත් වෙනවාට වඩා, දෙපයින් සිට මිය යාම උතුම්” කියලා අපිට විශ්වාසයක් තිබුණා. අදත් අපි දණින් වැටී ජීවත්වීමට සූදානම් නැහැ.

අද දේශපාලනය වෙනස් වෙලා. අපේ ව්‍යාපාරයත් සමග මහා ජනතා ව්‍යාපාරයක් ඒකරාශී වී ඉන්නවා. අද ලෝක දේශපාලනය වෙනස් වෙලා. ජනමාධ්‍ය පුළුල් වෙලා තිබෙනවා. ජනතාව අතරට වේගයෙන් තොරතුරු ගලාගෙන යනවා. ආණ්ඩුවෙ අය එකිනෙකාට නැහැ. දුර්වල වෙලා. ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් මිස මහජන බලයක් නැහැ. එදා කරපු සෙල්ලම් අද කරන්න බැහැ. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ‘කොළ කොටි’, ‘ප්‍රා’ වැනි නිල නොවෙන මැර කණ්ඩායම් හැදුවා. ජනතා විමුක්ති පෙරමුණ අපකීර්තියට පත් කරන්න, පෞද්ගලික පළිගැනීම් සඳහා ඝාතන ගොඩක් කළා. හමුදා පවුල්වල අය ඝාතනය කළේ කුමන්ත්‍රණයක් හැටියට. එදා තාක්ෂණය තිබුණා නම් ඒවා අහුවෙන්න තිබුණා. එක උදාහරණයක් ගත්තොත් ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයාගේ ඝාතනය ගැන එතුමාගේ බිරිඳ සහ දරුවන් තහවුරු කර කිවුවා ආණ්ඩුවත් එක්ක දැනුත් ඉන්න මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් ඝාතනයට හවුල් වුණා කියලා. ප්‍රසිද්ධියේ කීවත් දැනුත් ඒ ගැන පරීක්ෂණයක් කර නැහැ.

මේ ඉතිහාසයේ ගමන ගැන දන්නේ නැතිව රනිල් වික්‍රමසිංහලාගේ, රාජපක්ෂලාගේ ෆේස් බුක්වල ලියන මල්ලිලාට කියන්නේ ඉතිහාසය හරියට කියවා ගන්න කියලා. අපට මිනිස්සු වටිනවා. අපේ ව්‍යාපාරය හදලා තිබෙන්නේ, දැවැන්ත දුෂ්කරතා මැද වැඩ කරන්නේ අපි මිනිස්සුන්ට ආදරය නිසයි. අපි මිනිසුන්ගේ දුක නැතිකරලා සතුටින් තබන්න වැඩකරන ව්‍යාපාරයක්. අපි අද සමරන්නේ තමන්ගේ ජීවිත පැත්තක තියලා පොදු ජනතාවගේ ජීවිතවලට සතුට, වටිනාකම, ලබාදෙන්න ක්‍රියාකළ ව්‍යාපාරයක විරුවන්. ජනතා විමුක්ති පෙරමුණ 1988-89 කාලයේ සිද්ධි ගැන දකින්නේ ඒ විදිහට. රටක් හදන්න තිබුණු දැවැන්ත තරුණ පරම්පරාවක් විනාශ කළ දේශපාලනය පරාජය කර, අපි ඉදිරියට යා යුතුයි. ඒ ඉතිහාසය ඇතුලේ අපි අපේ අඩුපාඩුකම් දැක්කා. පාලක කණ්ඩායම්, රනිල් වික්‍රමසිංහ ඒ ඉතිහාසය ගැන අදටත් මොකුත් කියන්නේ නැහැ. දැන් අපි ඒ ඉතිහාසයෙන් ඉස්සරහට යා යුතුයි. රට මේ වන විට ඉතාමත්ම කණගාටුදායක තත්වයක තියෙන්නේ.

පරණ කරපු බොරුවම පාලකයන් අද ඉදිරිපත් කරන අයවැයෙනුත් සිදුකරමින් තිබෙනවා. ලක්ෂ 15කට රැකියා නැතිවී කර්මාන්තවල නිෂ්පාදනය 27%කින් බිඳ වැටිලා. අද මේ රටේ ආර්ථිකයක් නැහැ. රටේ තිබුණු කර්මාන්ත විකුණමින් කන්න පටන් ගත්ත ක්‍රියාමාර්ගය අද තැපැල් කන්තෝරු විකිණීම දක්වා ඇවිත් තිබෙනවා.

ඉල් සමරුවේ අත්දැකීම් අපි උපයෝගී කර ගන්නේ මානවවාදී දේශපාලනයක යෙදෙමින් සමාජයක් වෙනස් කිරීමටයි. මේ සමාජය වෙනස් කළ හැකි දැවැන්ත මිනිස් බලයක් සහිත, ධෛර්යය සහිත, අත්නොහැර සටන් කරන දේශපාලන ව්‍යාපාරයක් අපි ගොඩනඟා තිබෙනවා. දුෂ්කරතා අභිබවා අරමුණු කරා නොනැවතී යන දේශපාලන ව්‍යාපාරයක් තිබෙනවා නම්, ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. තත්වයන් එක්ක අලුත් වුණු, අලුත් විය හැකි බව ඔප්පු කළ තමන්ගේ හොඳම දේවල් ඉතිරි කර ගනිමින් වෙනස් වෙන එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. ආත්මාර්ථකාමීත්වයෙන් තොර මිනිසෙක් නිර්මාණය කළ හැකි බව අපේ පක්ෂය භාවිතයෙන් ඔප්පු කර තිබෙනවා. පොදු අරමුණක් සහිතව වැඩ කරන පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සිටින බව මහජනතාව පිළිගෙන තිබෙනවා. අවසානයේ ජීවිතත් කැප කළ හැකි, අරමුණු අත්නොහරින ව්‍යාපාරයක් බව ඔප්පු කර තිබෙනවා.

ඒ වගේම අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතුවී අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. දූෂිත, කළු ආර්ථිකයක් ඇතුළේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම, අදූෂිත දේශපාලන නායකත්වයක් නිර්මාණය කිරීම අදූෂිත සාමාජිකයින් නිර්මාණය කිරීම ඉතා අසීරු වැඩක්. අන්න ඒ අමාරුම වැඩේ අපි සිදු කර තිබෙනවා. ජාතික ජන බලවේගයට කැමති වෙන අය කැමති වීමට ප්‍රධානම හේතුව අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වීම බව සමීක්ෂණයකින් පවා හෙළි වී තිබෙනවා. එය සරල දෙයක් නෙවෙයි. දූෂිත නොවී සිටීම විහිළුවක් වූ සමාජයක ඒවා දරාගෙන ආදර්ශ දීම ලෙහෙසි වැඩක් නොවෙයි. හොරකම් කළාම විහිළු නොකරන, හිතවතෙකුගෙන් පරිත්‍යාගයක් ලැබීම විහිළුවට ලක්වුණු සමාජයක අපි අදූෂිත සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. දැන් ඔවුන්ට අපේ අදූෂිත බව අභියෝගයක් වී තිබෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන් දූෂිත නිසා ජේ.වී.පී. එකත් දූෂිතයි කියලා සමාජ මතයක් හදන්න. ඒ වෙනුවෙන් නිර්මාණය කළ ඇතැම් ප්‍රවෘත්තිවලට එරෙහිව අපි ක්‍රියාමාර්ග අරගෙන ඒවා නිර්මාණය කරපු අයට සමාව ගන්නත් සිදුවුණා. විශේෂයෙන්ම අනුර සහෝදරයා ඉලක්ක කරගත් මඩ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. ඔවුන් එකිනෙකා අතර අවලාද බෙදා ගනිමින් මේ ගෙනයන මඩ ව්‍යාපාරයෙන් ලේවලින් බැඳුණු අපේ සහෝදරත්වය බිඳින්න බැහැ. අපේ පක්ෂයේ සිටි වැරදි කළ අයට එරෙහිව අපි පියවර ගත්තා. මේ වගේ අපේ හොඳම ගුණාංගයන් රැකගෙන ඉදිරියට ඇවිත් සිටිනවා. අපේ ජීවිතයේදී එකතු කරගත් හොඳම දේවල් පක්ෂයට එකතු කරමින් පැමිණි ගමනේ මහජන කැමැත්ත මත බලය ගැනීමේ ඉලක්කයට අප ළං වී සිටිනවා.

ඉල්මහ විරු සමරුවේදී ඒ සහෝදර සහෝදරියන් අපට ලබාදී තිබෙන අත්දැකීම්, පරමාදර්ශයන්, සහ ඔවුන්ගේ අරමුණු අනුව වඩා යහපත් සමාජයක් නිර්මාණය කරන්න කැප වෙනවා. සාධාරණ සමාජයක්, යුක්තිගරුක මනුෂ්‍යයෙක්, නිවහල් ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ඉදිරියට ගිය ඔවුන් අතරමඟ මරා දමද්දී අපට වගකීම් බාරගන්න සිදුවුණා. ඉතා නුදුරු දිනයකදී ඔවුන්ගේ බලාපොරොත්තු මේ මහ පොළොවේ මල් ඵල ගන්වන දිනයක් එනවා. එය දූෂිතයන්ට, රනිල් වික්‍රමසිංහලාට, මහින්ද රාජපක්ෂලාට වළක්වන්න බැහැ. අපට තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා. එකතු කළ හැකි, එකතු කළ යුතු පිරිස්, අත්දැකීම්, දැනුම එකතු කරගෙන මහා දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමින්, ගුණයන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමේ වගකීම අපි හැමදෙනාටම තිබෙනවා. අපි මහජනතාවගේ පාලනයක් නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් සුදුසු මහජනතාවක් නිර්මාණය කිරීමට එකාවන්ව සංයමයෙන්, ඉලක්ක සහිතව, බොරුවලවල්වලට පය නොතබා, වඩාත් සටන්කාමීව මේ ගමන යන්න අපි ශක්තිමත් වෙන්න ඕනෑ. රෝහණ සහෝදරයා කිවුවේ මේ යුගයේ ප්‍රබලතම අවිය ‘අදහස්වලින්’ සටන් කිරීමයි කියලා. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා අදහස්වලින්, මතවාදයෙන් පරද්දලා ඉවරයි. දැන් තිබෙන්නේ රාජ්‍ය බලයෙන් පරද්දවන්න. ඒ වෙනුවෙන් ඉල් සමරුවෙන් ගත හැකි වටිනාකම් තිබෙනවා.

අපි ජීවත් වෙන්නේ ඉතාමත් විනාශකාරී නරුම සමාජයක. හැම දේකම මිල දන්නා, වටිනාකම් නොදන්නා සමාජය වෙනස් කර, මේ රට අපට ජීවත් විය හැකි හොඳ රටක් බවට පත්කිරීමේ අරමුණ ජයග්‍රහණය කරන්න ඕනෑ. තිස් හතරවෙනි ඉල්මහ සමරුවේදී අපි හැමදෙනාම අධිෂ්ඨාන කර ගනිමු තිස් පස්වෙනි ඉල්මහ සැමරුම මහජන පාලනයක් තුළ සමරන්න. මගේ කතාව අවසන් කරන්න කලින් රත්න ශ්‍රී විජේසිංහ ලියූ කවි පංතියක් උපුටා දක්වන්න කැමතියි. 1971 අරගලය ගැන ලියූ ඒ කවි පංතිය අදටත් ගැලපෙන ලොකු අර්ථයක් තිබෙන කවියක්.

ඉතිං යහළුවනි මල් පිපුණොත් ගසක

සැකක් නැතිය ඵලයක් හට ගනු නිසැක

සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක

වරෙව් පරාගණයට රොද බැඳ හනික

මේ දුෂ්ට සමාජය වෙනස් කර, වඩා යහපත් සමාජයක් අපේ දෑතින් නිර්මාණය කරන්න හැමදෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා.

Show More

“ජාතික ජන බලවේගය පිහිටුවන්නේ දූෂිතයින්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවත් දූෂිත පාලක කණ්ඩායමත් පළවා හරින පාලනයක්” -අනුර කුමාර දිසානායක-

-Hambanthota, November 12, 2023 මෙතෙක් දේශපාලනයේ නොයෙදුණු මෙවැනි පිරිසක් ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවක් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් දේශපාලකයන් විසින් අපේ රටත් ජනතාවත් විශාල ව්‍යසනයකට ඇදදමා තිබීම නිසා මේ සියලු දෙනාට දේශපාලනයේ ක්‍රියාකාරීව නියැලෙන්න සිදුවී තිබෙනවා. භාණ්ඩාගාරය පතුළටම හින්ඳවා තිබීම, නීතියක් නැති රටක් බිහිකර තිබීම, අපරාධකරුවන් නිදැල්ලේ සිටීම වැනි තත්වයන් දේශපාලනඥයන් විසින් මෙතෙක් […]

-Hambanthota, November 12, 2023

මෙතෙක් දේශපාලනයේ නොයෙදුණු මෙවැනි පිරිසක් ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවක් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් දේශපාලකයන් විසින් අපේ රටත් ජනතාවත් විශාල ව්‍යසනයකට ඇදදමා තිබීම නිසා මේ සියලු දෙනාට දේශපාලනයේ ක්‍රියාකාරීව නියැලෙන්න සිදුවී තිබෙනවා. භාණ්ඩාගාරය පතුළටම හින්ඳවා තිබීම, නීතියක් නැති රටක් බිහිකර තිබීම, අපරාධකරුවන් නිදැල්ලේ සිටීම වැනි තත්වයන් දේශපාලනඥයන් විසින් මෙතෙක් රට පාලනය කිරීමෙන් ලබාදී තිබෙන විනාශකාරී ප්‍රතිඵලයි. මෙයින් රට ගොඩගැනීමට නම් අනිවාර්යයෙන්ම ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට සිදුවී තිබෙනවා. මේ ව්‍යසනයෙන් ගොඩඒමට අපි තනි තනිව කොතරම් පොර බැදුවත් ගොඩ එන්න බැහැ. එයින් ගොඩ ඒමට නම් අපි සියලු දෙනාම සාමූහිකව පොර බදන්න ඕනෑ. මේ විනාශකාරී දේශපාලන අධිකාරිය වෙනුවට යහපත් දේශපාලන අධිකාරියක් බලයේ පිහිටුවන්න ඕනෑ. ජාතික ජන බලවේගය යනු යහපත් පාලනයක් ගොඩනැගීම සඳහා පිහිටුවා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරයයි. එය වටා ඔබ එකතු වී සිටින්නේ ඒ යහපත් දිසාවට මේ රට වෙනස් කරන්නයි.

ජනතාව මේ දක්වා කොතරම් රැවටීමට ලක්වී තිබෙනවාද? මහජනතාව එකතු වී ආණ්ඩුවක් පිහිටුවා අවුරුදු කිහිපයක් යන විට තමන්ට වැරදී ඇති බව තේරුම් ගන්නවා. 2019 ජනාධිපතිවරණයට හමුදාවේ සිටි රාජපක්ෂ කෙනෙක් එනකොට නිවැරදි තීරණයක් ගත් බවට කල්පනා කළත්, කෙටි කාලයකින්ම ජනතාව තේරුම් ගත්තේ “අනේ අපොයි අපට මේ මොකක්ද වුණේ!” කියලයි. අනෙක් කණ්ඩායම් කෙරෙහි විශාල අපේක්ෂාවකින් සිටි ජනතාව ඔවුන් අත්හැර විශාල වශයෙන් අප කෙරෙහි යොමු වෙමින් සිටිනවා. ඔවුන්ගේ අපේක්ෂාවන් දශමයකින්වත් කඩකරන්න අපිට අයිතියක් නැහැ. මමත් මේ වේදිකාවේ සිටින සෑම කෙනෙක්මත් ජනතාව හමුවේ ශපථ කොට කියා සිටින්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින් හෝ කඩනොකරන බවයි. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට නම්, පළමුවෙන්ම බලය ලබාගත යුතුයි. අපි සෑමදෙනාම මේ වැඩ කරන්නේ ඒ වෙනුවෙන්.

ලෝකයේ ශිෂ්ටාචාරය ගමන් කිරීමත්, සමාජ පරිවර්තනයන් සිදුවීමත්, දශක ගණන්වලින්, සියවස් ගණන්වලින් හෝ වසර දහස් ගණන්වලින් සිදුවෙනවා. අපි අපේක්ෂා කරන්නේ සුපුරුදු පරිදි ගලාගෙන යන දේශපාලනය නොවෙයි. එක පාලකයෙක් වෙනුවට ඒ පාලක කණ්ඩායමේම වෙනත් කෙනෙකුට බලය ලබාදීම විසඳුම නොවෙන බව හැමදෙනාම පිළිගන්නවා. අවසන් වරට 2019 පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභයත්, සජිත් ප්‍රේමදාසත් වේදිකාවේ දෙකට බෙදී ගහගත්තා. ගෝඨාභය වේදිකාවල කීවේ මහ බැංකුව කොල්ල කෑ රනිල් වික්‍රමසිංහලා හිරේ දාන්න, රනිල් විකුණු හම්බන්තොට වරාය නැවත පවරා ගන්න, පාස්කු ප්‍රහාරය සිදුවෙන්න ඉඩ හැරීම වැනි දේවල් සඳහා දඬුවම් කරන්න බලය ඉල්ලුවා. ජනතාව ඒ බලය දුන්නා. දැන් සිදුවී තිබෙන්නේ ගෝඨාභයට බලයට ගේන්න ලබාදුන් ඡන්දයෙන්, රනිල් එලවන්න ගැසූ ඡන්දයෙන් රනිල් බලයට ගෙන ඒමයි. මෙහෙම දේවල් වෙන්නේ කොහොමද? සුපුරුදු පරිදි පාලක කණ්ඩායම්වලට වේදිකාවේ සතුරන් ලෙස තවදුරටත් පෙනී සිටීමට නොහැකි වීමයි. පාලක කණ්ඩායම්වලට තවදුරටත් ඒ පාලනය පවත්වාගෙන යා නොහැකි පරිදි ඉහළින් අර්බුදය මෝරා තිබෙනවා. ඒ වගේම ජනතාවටත් සුපුරුදු පරිදි තවදුරටත් තමන්ගේ ජීවිත පවත්වාගෙන යාමට නොහැකි පහළින් මතුවෙන අර්බුදයත් මෝරා තිබෙනවා. ඒ කියන්නේ සමාජ පරිවර්තනයක් සඳහා ජාතික ජන බලවේගයට අවස්ථාවක් උදාවී තිබෙනවා.

අනෙක් පැත්තෙන් පාලකයන් මේ බලය දාලා යන්නේ නැහැ. ඔවුන්ට අහිමි වෙන්න බොහෝ දේ තිබෙනවා. ඔවුන්ගේ පරම්පරාවල් රජකරවීමේ අවස්ථා අහිමි වෙනවා. නීති විරෝධී ලෙස උපයාගෙන තිබෙන ධනය අහිමි වී ඒ අපරාධවලට දඬුවම් විඳින්න සිදුවෙනවා. ඔවුන් වටා සිටින දූෂිත වළල්ලට ව්‍යාපාර අහිමි වී ඇත්ත ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදාවෙනවා. බලය අහිමි වෙන්නේ රනිල් වික්‍රමසිංහලාට පමණක් නොවෙයි. දූෂිත වළල්ලේ පැවැත්මත් අහෝසි වෙනවා. දූෂිත නිලධාරී සුළු පිරිසටත් බලය අහිමි වෙනවා. ඔවුන් සියලු දෙනා එක්වී අපට විරුද්ධව සියලු දුෂ්ටකම් කරන ධන බලය, මාධ්‍ය බලය, රාජ්‍ය බලය, එකට ඒකරාශී වෙනවා. ඒ බලයට එරෙහිව අපට තිබෙන්නේ මහජනතාවගේ බලය. ඒ මහජනතාවගේ බලය අපි ඉතා හොඳින් සංවිධානය කරන්න ඕනෑ. තමන්ට පෞද්ගලිකව කිසිම දෙයක් අපේක්ෂාවෙන් කිසිම කෙනෙක් මේ වේදිකාවට ගොඩවෙලත් නැහැ, මේ අවස්ථාවට සහභාගී වෙලත් නැහැ. හැමෝම ඒකරාශී වී සිටින්නේ යහපත් දේ වෙනුවෙන්.

එක්සත් ජනපදයේ සුරක්ෂිත ජීවිත ගතකරන ශ්‍රී ලාංකිකයන් ඔවුන් කොපමණ ඉහළ පහසුකම සහිත ජීවිතයක් ගත කළත්, ලංකාවේ අලුත් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. මම එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකිකයන් හමුවීමට ගොස් සිටි කාලයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු එහෙ ගිහින් හිටියා. නමුත් ඒ කිසිවෙකුත් එක්සත් ජනපදයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් මුණගැසී තිබුණේ නැහැ. අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරමින් සිටිනවා. ඒ වගේම තවත් ප්‍රබලම කණ්ඩායමක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සංවිධානය කර තිබෙනවා. මෙතන රැස්වී සිටින බොහෝ දෙනෙකු ජීවිතය අනූනමයෙන් බේරා ගත් අයයි. ඒ වගේම ආබාධිතයන් වූ අයයි. ඔබ සියලු දෙනාම මරණය දැක දැක තමන්ගේ වෘත්තියේ නියැලුණු අයයි. ඒ නිසා අනෙක් සියලු බලවේගයන්ට වඩා ඔබ ජාතික ජන බලවේගයට සුවිශේෂී කියලා අපි කල්පනා කරනවා. අපි විතරක් නොවෙයි පාලකයිනුත් ඒ බව කල්පනා කරනවා. ඒ නිසා අනෙක් සියලු සංවිධාන පිහිටුවීමට වඩා වැඩි බාධාවන් ප්‍රමාණයක් මේ කෙරෙහි සිදුකෙරෙමින් පවතිනවා. සම්පත් තුයියකොන්තා මහත්මාට කඳවුරු වහන්න නියෝග කළත් අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය පරාජය කිරීමේ අවසන් අදියරටම පැමිණ සිටිනවා. ගෝඨාභයගේ ඉතිරි වුණු කොටේ අදින්න ජනතා බලයක් නැති රනිල් වික්‍රමසිංහට සිදුවී තිබෙනවා. ජාතික ජන බලවේගයට සහයෝගය දීම නිසා යම් අයෙකුට විශේෂ අසාධාරණයක් සිදුකරනවා නම්, එයට එරෙහිව සාමූහික ලෙස සටන් වදින කණ්ඩායමක් හැටියටයි අපි වැඩකරගෙන යන්නේ. ආණ්ඩුවේ කුඩා කුඩා කෙනෙහිලිකම් හමුවේ පැන දුවන කණ්ඩායමක් ලෙස නොවෙයි ඔබ සැම ජාතික ජන බලවේගයට සම්බන්ධ වී සිටින්නේ. රනිල්ගේ කෙනෙහිලිකම්වලට බය නම් මේ කිසිවෙක් මෙතට සහභාගී වෙන්නේ නැහැ.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය තවදුරටත් ගම්මට්ටමින්ම ගොඩනඟන්න ඕනෑ. මේ රට ගොඩනඟන්න නම්, විනයක් සහිත මිනිසුන් ඕනෑ. එවැනි මිනිසුන් සිටින තෝතැන්නක් තමයි මේක. ධෛර්යවන්ත මිනිසා, විශ්වාසවන්ත මිනිසා, විනයක් සහිත මිනිසා හමුවන්නේ ඔබ අතරින්. ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණවලට සුවිශාල කාර්යභාරයක් ඔබට පැවරී තිබෙනවා. නමුත් ඇතැම් අය ඡන්දයක් දෙයිද කියන ප්‍රශ්නය මතුකරනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ පටන් ගත් කිසිම වැඩක් ඉවර කළ කෙනෙක් නොවයි. හැමදාමත් බාගයකට යන කොට ඇන ගත්ත කෙනෙක්. එක්සත් ජාතික පක්ෂය පසුගිය මහා මැතිවරණයේදී බින්දුවට වැට්ටූ නායකයෙක්. 2015 වන විට තිබුණු ණය කන්ද වගේ දෙගුණයකට වඩා වැඩි ණය කන්දක් 2019 වන විට ගොඩගැසූ කෙනෙක්. මේ වෙලාවේ මහින්ද රනිල්ට පුටුව දුන්නේ දක්ෂයෙක් නිසා නොවෙයි; නාමල්ට අවස්ථාව සලසා ගන්නා තුරුයි. ලබන ඔක්තෝබර් 17ට පෙර ජනාධිපතිවරණය පැවැත්වූවහොත් රනිල්ට ඒ දක්වා සිටිය හැකියි. ජනාධිපතිවරණයට වෙට්ටු දාන්න ආවොත් ඊට කලින් යන්න වෙනවා. ලබන අවුරුදුදේ මේ කාලය වන විට අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් එනවා. ඒ අලුත් ආණ්ඩුව, අලුත් පාලනය ජාතික ජන බලවේගයෙන් පිහිටුවීම අපි සියලු දෙනාගේ වගකීමයි.

අපි සියලුම දෙනාට පැවරී තිබෙන්නේ කඩා වැටුණු රට ගොඩනැගීමයි. අපේ පාලනයක් යටතේ රටේ පුරවැසියන්ට නොලැබෙන කිසිවක් පාලකයාට නොලැබෙන ආදර්ශය ඉහළ සිටම ලබාදෙනවා. පොදු ජනයාටත් පාලකයටත් එකසේ වලංගු වන නීතියක් ක්‍රියාත්මක කරනවා. අපි ඔක්කෝම එකාවන්ව පොර බදා රට ගොඩනඟන පාලනය තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියන්නේ. මේ රට කඩා වැටීම සඳහා ප්‍රධානම හේතුව හොරකම සහ නාස්තිය බව මැනවින් සනාථ වී තිබෙනවා. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ආවාට පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලය වටා විශාල ධනස්කන්ධයක් ගොඩගැසුණා. ක්‍රීඩකයන් අතර විශාල ධනයක් ගැවසෙනවා. මහා ධනවතුන් ක්‍රිකට් ක්‍රීඩාව සමග ගැවසෙනවා. ලෝකයේම ක්‍රීඩාවත් එක්ක විශාල ධනස්කන්ධයක ගැවසෙනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති විශාල ධනය වංචාවෙන් දූෂණයෙන් පිරී තිබෙනවා. මේ ගැවසෙන සල්ලි බෙදා ගන්න පාලකයන්ගේ තිබෙන ගැටීම ක්‍රිකට් අර්බුදයක් වී තිබෙනවා. මේ ගිණුම්වල විශාල ධනයක් ගොඩගැහෙන්නේ නැත්නම් අපේ රටේ ක්‍රිකට්වලත් අර්බුදයක් නැහැ. දේශපාලනය අධිකාරිය, ක්‍රිකට් පාලක මණ්ඩලයට දූෂණ චෝදනා නගන විට පාලක මණ්ඩලය අනෙක් පැත්තට කියනවා ඇමතිවරයා සල්ලි ඉල්ලූ බව. ක්‍රීඩාව යට ගොස් ධනය බෙදා ගැනීමේ තෝතැන්නක් වී තිබෙනවා. දූෂිත පාලක මණ්ඩලය පළවා හරින්න පාර්ලිමේන්තුව ඇතුලේ දූෂිතයන් අත උස්සනවා. නමුත් ජාතික ජන බලවේගය දූෂිතයින්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවත් දූෂිත පාලක කණ්ඩායමත් පළවා හරින පාලනයක් පිහිටුවනවා.

Show More

“අභූත චෝදනා එපා. නොපැවැත්වූ ඡන්දයකට අපි හිටියේ නැහැ” -ජාතික ජන බලවේගයේ නායක, අනුර දිසානායක-

-Parliment, November 11, 2023- ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනතාවගේ හදවතත් සමග බැඳී තිබෙන ක්‍රීඩාවක්. එහි ජය හෝ පරාජයන් අවස්ථාවන්වලදී අපි සියලු දෙනාගේම කම්පනයන් ඇතිකරවනවා. මෙහි දිගින් දිගට සිදුවෙන පරාජයන් වියවුලක් ඇති කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, ක්‍රිකට් බෝඩ් එක, සාගල රත්නායක එකට සිටින පිලක්. හැමදාමත් පරාජිත පිල. එයට එරෙහිව සිටිනවා ජයග්‍රහණයන් අපේක්ෂා කරන ජනතාවගේ පිල. මේ […]

-Parliment, November 11, 2023-

ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනතාවගේ හදවතත් සමග බැඳී තිබෙන ක්‍රීඩාවක්. එහි ජය හෝ පරාජයන් අවස්ථාවන්වලදී අපි සියලු දෙනාගේම කම්පනයන් ඇතිකරවනවා. මෙහි දිගින් දිගට සිදුවෙන පරාජයන් වියවුලක් ඇති කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, ක්‍රිකට් බෝඩ් එක, සාගල රත්නායක එකට සිටින පිලක්. හැමදාමත් පරාජිත පිල. එයට එරෙහිව සිටිනවා ජයග්‍රහණයන් අපේක්ෂා කරන ජනතාවගේ පිල. මේ අතර ක්‍රිකට් පාලක මණ්ඩලය පවුල් තුනක් අත හැමදාමත් ගැවසෙනවා. මෙම පවුල් තුන විටෙක එකඟතාවයටත්, විටෙක විරසකභාවයටත් පත්වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි ආනා පුංචිහේවා වැනි ඉතාම හොඳ මහත්වරු ක්‍රිකට් බෝඩ් එකෙන් පන්නා දැමීමට රණතුංගලා, සුමතිපාලලා මේ අය එකට කටයුතු කළා. පාර්ලිමේන්තුවේදි විජිත හේරත් මේ වැරදි ක්‍රියාවන් ප්‍රකාශයට පත් කළාට පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ෂම්මි සිල්වා අපට සල්ලි දුන් බවක් ප්‍රසන්න රණතුංග කියනවා. ප්‍රසන්න රණතුංග කියන්නේ කවුද? කප්පම් ඉල්ලීමේ වරදට මහාධිකරණයෙන් දඬුවම් ලබපු, කෝටි දෙකහමාරක දඩයක්, ලක්ෂ විස්සක වන්දියක් හා වසර හතරකට ඇඟ බැඳපු, ලියාපදිංචි කප්පම්කාරයෙක්. සුද්දවන්තයන් විදිහට කතා කරන රණතුංග තමන් කවුද යන්න මතක තබාගන්න. ප්‍රසන්න රණතුංග ඔහුගේ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදි පැහැදිලි කිරීමක් කළ යුතුයි. අපට ෂම්මිගේ සල්ලි ඇවිත් තිබෙනවා නම්, එය කප්පමක් වෙන්න ඕනෑ. ප්‍රසන්න රණතුංග, කරන්න ඕනෙ, පාර්ලිමේන්තුවේ කටමැත නොදොඩා, ඒකට පරීක්ෂණයක් කර, නීතිය හමුවට ගෙනියන එකයි. මේක එළියට ගිහින් කියන්න කියා ප්‍රසන්නට මම කියනවා. හැබැයි මම, ප්‍රසන්නගේ කතා එළියෙත් කියනවා; මෙතනත් කියනවා.

විශේෂ ජයග්‍රහණ රැසක් ලැබුණාට පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයට විශාල මුදල් කන්දරාවක් ගලාගෙන ආවා. ඒ මුදල් කන්දරාව බෙදා ගන්න පාලක මණ්ඩලයේ රණතුංගලා තුන්දෙනෙක් එක කාලෙක හිටියා. ඒවා අපට මේ සභාවේ කියන්න බැරිද? අපි රණතුංගට කියනවා, අපට එල්ල කළ චෝදනා සනාථ කරන්න. නැතිනම් එළියට ගොස් කියන්න කියා.

ඊයේ ඡන්දය පිළිබඳව යෝජනාව බිස්නස් කමිටුවේදී සකස් කළා. විපක්ෂ නායකතුමා විසින් එම යෝජනාව ඉදිරිපත් කළා. ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙක් විසින් ස්ථිර කළා. මේ සිදුවීම් අනුව එතන ඡන්දයක් පවතින්නේ නැති බවට අප උපකල්පනය කරනවා. ඒ නිසා නොපවතින ඡන්දයක් වෙනුවෙන් අප සභාවේ සිටිය යුතු නැහැ කියන අදහස මත අපි සභාවේ සිටියේ නැහැ. දැන් ඇතැම් මාධ්‍යත්, විවිධ අයත් කියන්න උත්සාහ කරනවා, ඡන්දය පවත්වන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සිටියේ නැති බව. නමුත් ඡන්දයක් තිබ්බේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් නොපවතින අවස්ථාවල පාර්ලිමේන්තුව අවසන් වෙන තෙක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ නැහැ. එතන සිදුවුණේ එවැනි දෙයක්. ක්‍රිකට් බෝඩ් එකේ බහිරවයන් ගැන අපි කතා කරන්න පටන් ගත්තෙ අද නොවෙයි. හඳුන්නෙත්ති කෝප් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ මේ ක්‍රිකට් බෝඩ් එක කැඳෙව්වා. ලංකාවේ පළමුවෙනි වතාවට නියෝජ්‍ය කථානායකතුමාත් කැඳෙව්වා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිණුමක් ඇතිකොට තිබෙන බවත්, ඒ ගිණුම් පුද්ගලිකව ගනුදෙනු කිරීමට ඉඩදී තිබෙන බවත්, ක්‍රිකට් ආධාර සඳහා පාටියක් පවත්වා ඒ සල්ලි ඒකට බැර කරන්න හදපු බවත් ඒ අවස්ථාවේ හෙළිදරව් කර තිබෙනවා. මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට විශාල මුදල් කන්දරාවක් ගලාගෙන ආවාට පසුව, එහි වංචා, දූෂණ, නාස්තිය පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළත්, පිටතත් අපි කියා තිබෙනවා. ෂම්මි – ජයන්ත ධර්මදාස ප්‍රශ්නයේදිත් ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳවත්, මහජනයාගේ මුදල් නාස්ති කොට තිබෙන ආකාරය පිළිබඳවත්, ඒ ධනය තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කිරිම පිළිබඳවත්, පාලක මණ්ඩලයට විනයක් නැතිවීම, පාලක මණ්ඩලයට ආයතනයක් මෙහෙයවීමට විධිමත් දැනුමක් නොමැති වීම විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇතිවී තිබෙන අර්බුදයත් පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කොට තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම් නියෝජනය කරනවා යැයි හැඟීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබුණා. නමුත් අපි බොහෝ විට දුටුවා ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික හැඟීමෙන් කටයුතු කරනවා වෙනුවට, තමන් තරග වදින ශ්‍රී ලංකා කොඩිය යටතේ එයට තිබෙන ගෞරවය, එහි අභිමානය තම දෙවුර මත තිබෙනවාය කියන හැඟීමක් නැතිව කටයුතු කළ අවස්ථා අපි දුටුවා. ඒ නිසා ජාතික හා ජාත්‍යනතර වශයෙන් ක්‍රීඩකයන් අපකීර්තියට පත්වුණා. ඒ අපේ ලංකාව, අපේ ජාතික කොඩිය, අපකීර්තියට පත්වීමක්. හැබැයි අපි තේරුම ගත යුතුයි ඒ අවුරුදු 30ට වඩා අඩු, තරුණ දරුවන්. ඔවුන්ට ජනප්‍රියතාවයක්, මුදල්, සමාජයේ විශාල ගෞරවයක් ලැබෙනවා. එසේ වන විට ඔවුන්ට හොඳ හික්මීමක් ලැබිය යුතුයි. ඒ හික්මීම ලබාදිය යුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයයි. එසේ වුවත් විනයක් ලබාදිය යුතු පාලක මණ්ඩලයටත් විනයක් නැති බව පසුගිය දිනවල හෙළිදරව් වුණා. ෂම්මි – ධර්මදාසගේ පාලක මණ්ඩලය පිළිබඳව අපි ඒ විවේචන ඉදිරිපත් කළා. මම, ඇමතිවරයාට පෞද්ගලිකව කතාකොට “මේක නවතලා අතුරු පාලක මණ්ඩලයක් පත්කරන්න.” කියා යෝජනා කර තිබෙනවා. . එතුමා ඒ අවස්ථාවේ කියා සිටියේ ලෝක කුසලාන පැවැත්වෙන අවස්ථාවේ එය කළ නොහැකි බවයි. එය මම පිළිගත්තා. හැබැයි පසුවවත් පත්කරන්න කිවුවා. යම් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැවතීමට ඉඩකඩ තිබෙන බව පැවසුවා. මම කිව්වා “ඔබතුමා අයි.සී.සී. එකත් සමග කතා කර, මේ වැඩේ කරන්න” කියලා. එසේ අපේ ඉල්ලීමක් තිබුණා. අපි කටයුතු කළේ මේ පාලක මණ්ඩලයට රැකවරණය දෙන්න නොවෙයි; මේ අයව ඉවත් කරන්නයි. ඒ නිසා මෙවැනි අභූත චෝදනා නොකරන ලෙසට මම ඉල්ලීමක් කරනවා.

ඒ වගේම එතුමා පත් කළ අතුරු පාලක මණ්ඩලය පිළිබඳව අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. නඩු අහන්න වෙනත් කමිටුවක් දාන්න. වංචා, දූෂණ ප්‍රශ්න තිබෙනවා නම්, නීතිමය ප්‍රශ්න තිබෙනවා නම්, ඒවා විසඳීමට විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාගෙන් විමසා, ක්‍රිකට් බෝඩ් එකට වෙනත් කමිටුවක් දාන්න. එහෙම ක්‍රිකට් බෝඩ් එකක් පත්කරන්න එපා. නව ක්‍රිකට් බෝඩ් එකක් අවශ්‍ය මානසිකත්වයෙන් වැටී තිබෙන, තාක්ෂණික දුබලතාවයන් තිබෙන, ජයග්‍රහණයන් අහිමි වී තිබෙන, ක්‍රිකට් කණ්ඩායමකට ධෛර්යය දීලා, උත්තේජනය දීලා, දක්ෂතාවය, හැකියාව දියුණු කර, ගොඩඒම වෙනුවෙනුයි. ඒ ප්‍රයත්නයට වැදගත් මහත්වරු දැමිය යුතුව තිබුණා. මගේ පෞද්ගලික යෝජනාවක් මම එතුමාට කිව්වා. “සිදත් වෙත්තමුනි වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් මේකට දාන්න. ඒගොල්ලන්ව සෑම කෙනෙක්ම පිළිගන්නවා.” හැබැයි ඉන්න පාලක මණඩලය අයින් කොට, එතුමා දමන ඕනෑම පාලක මණ්ඩලයකට ආවඩන්න අපි ලැහැස්ති නැහැ. අපි හිතනවා ඉන්න කණ්ඩායම දූෂිතයි, විනාශකාරියි, රටට පරාජය ගෙනාවා, හොරකම් කර තිබෙනවා, අපේ ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් හෑල්ලුවට ලක්කොට තිබෙනවා. ඒ නිසා ඉන්න කණ්ඩායම වෙනස් කරන්න ඕනෑ. එසේ වෙනස් කරලා වැටී තිබෙන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හැකියාව, දක්ෂතාවය තිබෙන කණ්ඩායමක් යොදවන්න තිබුණා. එතුමා පත් කළ අතුරු කමිටුව පිළිබඳවත් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි පෙනී සිටින විට ක්‍රීඩා ඇමති, අපි ෂම්මි වෙනුවෙන් පෙනී සිටින බව පවසනවා.

ඒ ෂම්මි මහතා මම රූපවාහිනියේ හැරුණු විට කිසිදු අවස්ථාවක දැකවත් නැහැ. රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක සමග ෂම්මි වාඩිවී සිටිනවා රූපවාහිනියෙන් දැක තිබෙනවා. ක්‍රිකට් විවාදයේදී ප්‍රසන්න රණතුංගත්, රොෂාන් රණසිංහත් අප පිළිබඳව ඉදිරිපත් කර තිබෙන්නේ සාවද්‍ය කරුණුයි. ඒ වගේම ඒ අවස්ථාවේ ඡන්දයක් පැවතුණේ නැහැ. නොපැවැත්වූ ඡන්දයකට අපි හිටියේ නැති බවත් කිව යුතුයි.

Show More

ගලිගමුව බලමුළු ගැන්වූ NPP සමුළුව

-Colombo, November 12, 2023- පසුගිය නොවැම්බර් 11 වන දා සවස බල්ලපාන නගරයේදී ජාතික ජන බලවේගයේ ගලිගමුව ආසන සමුළුව පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා, ජාතික විධායක සභික වෛද්‍ය එච්. පී. ධම්මික සහෝදරයා, ප්‍රවීණ ගායක මිත්‍ර කපුගේ ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. අධික වැසි නොතකා මේ සඳහා විශාල […]

-Colombo, November 12, 2023-

පසුගිය නොවැම්බර් 11 වන දා සවස බල්ලපාන නගරයේදී ජාතික ජන බලවේගයේ ගලිගමුව ආසන සමුළුව පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා, ජාතික විධායක සභික වෛද්‍ය එච්. පී. ධම්මික සහෝදරයා, ප්‍රවීණ ගායක මිත්‍ර කපුගේ ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. අධික වැසි නොතකා මේ සඳහා විශාල ජනකයක් සහභාගී විය.

Show More

“දූශිත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කළ යුතුයි. පත්කරන අය ගැනත් ගැටලු තිබෙනවා” – විජිත හේරත්-

-Parliment, November 10, 2023- ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 9 දින පැවති පාර්ලිමේන්තු විවාදයේදි ක්‍රීඩා අමාත්‍යවරයාගේ උත්සාහය අගය කළ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, ඇමතිවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පිළිබඳ සිය කනස්සල්ල පළ කළේය. ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කර, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක […]

-Parliment, November 10, 2023-

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 9 දින පැවති පාර්ලිමේන්තු විවාදයේදි ක්‍රීඩා අමාත්‍යවරයාගේ උත්සාහය අගය කළ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, ඇමතිවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පිළිබඳ සිය කනස්සල්ල පළ කළේය.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කර, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළද, එම අතුරු පාලක මණ්ඩලය අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවකින් බල රහිත කලේය.

වත්මන් පාලනය දැඩි ලෙස විවේචනය කරන අර්ජුන රණතුංග මහතා අතුරු පාලක මණ්ඩලයේ ප්‍රධානියා හැටියට පත්කර ගැනීම තුළම ප්‍රශ්නකාරී තත්වයක් ඇතිවන බව විජිත හේරත් මහතා විවාදයේදී පෙන්වා දුන්නේය. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ මහතාගේ පත්කිරීම මෙන්ම ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල් මහතාගේ පුත්‍රයා ඇතුළත් කිරීම සම්බන්ධයෙන්ද හේරත් මහතා ප්‍රශ්න කළේය. මෙම ක්‍රියාවන් තුළින් ක්‍රිකට් පිරිසිදු කිරීමට ඇමතිවරයා ගන්නා උත්සාහය පිළිබඳ සැකයක් ඇති කරන බවද විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාවේ අරමුණ වූයේ, ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමත්, ක්‍රිකට් පාලක මණ්ඩලයට තනතුරුවලින් ඉවත් වන ලෙස බල කිරීමත්‍ ය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කල විට ඡන්ද විමසීමක් සිදු නොවෙයි. එම නිසා බොහෝ මන්ත්‍රීවරු සිය කථා අවසානයේ සභාවෙන් ඉවත්ව යාම සාමාන්‍ය තත්වයකි. විවාදය අවසානයේ බෙදීමක් අවශ්‍ය බව විපක්ෂය යෝජනා කලත්, ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කලේ එය ඒකාබද්ධ යෝජනාවක් වූ බැවින් ඡන්දයක අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ අනුව යෝජනාව ඒකමතිකව සම්මත වූ බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

ආණ්ඩු පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් 83ක් සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 59ක් එකතුව මන්ත්‍රීවරුන් 142 ක් සභා ගැබේ සිටි අතර උදෑසන පැමිණ සිටි ජාතික ජන බලවේගය (NPP) මන්ත්‍රීවරුන් දෙදෙනා ඔවුන්ගේ දිවා කාලයේ වෙනත් කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේ ඡන්දයක් නොපැවත්වෙන බව දැනුම් දුන් නිසාය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ඔවුන්ගේ කතාවලදී ජාතික ජන බලවේගය ඡන්දය දීමට නොසිට සභාවෙන් පිටවී ඇත්තේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩල නිළධාරීන්ගේ මූල්‍ය ආධාර ලබා තිබෙන නිසා විය හැකි බවට ජනතාවට පණිවිඩයක් දීමට දුර්වල උත්සාහයක් ගන්නා බවක් පේන්නට තිබුණි. මෙම කරුණම ඇතැම් මුද්‍රිත මාද්‍ය සහ සමාජ මාද්‍ය පුන පුනා හුවා දක්වමින් ජාතික ජන බලවේගය අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රචාරයන් ගෙනයනු ලැබුණි.

මේ වනවිට ජාතික ජන බලවේගය කෙරෙහි වැඩිවෙමින් පවතින පුලුල් ජනතා ප්‍රසාදය දුබල කිරීම මෙම ප්‍රචාරයන්ගේ අරමුණ බව පැහැදිලි යයි දේශපාලන විචාරකයෝ පවසති.

Show More

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

-Colombo, November 10, 2023- ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ඒකකයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද පැවැත්විණි. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය වෙනුවෙන් ටොම් සෝපර් මහතා, (පළමු ලේකම්) සහ නෙළුනි තිලකරත්න මහත්මිය (දේශපාලන උපදේශක) සහභාගී වූ අතර, ආචාර්ය හරිනි අමරසූරිය (පාර්ලිමේන්තු මන්ත්‍රී) සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න (ජාතික විධායක කමිටු සභික) යන මහත්ම […]

-Colombo, November 10, 2023-

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ඒකකයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද පැවැත්විණි. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය වෙනුවෙන් ටොම් සෝපර් මහතා, (පළමු ලේකම්) සහ නෙළුනි තිලකරත්න මහත්මිය (දේශපාලන උපදේශක) සහභාගී වූ අතර, ආචාර්ය හරිනි අමරසූරිය (පාර්ලිමේන්තු මන්ත්‍රී) සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න (ජාතික විධායක කමිටු සභික) යන මහත්ම මහත්මීන් රැස්වීමට එක් වූහ. . කාන්තා දේශපාලන සහභාගීත්වය ඇතුළු රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

Show More