Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ජනබල විරෝධයට දැවැන්ත ජන ගඟක්

-Colombo, November 18, 2023- බදු බර, බඩු මිල, විදුලි ගාස්තු අසීමිතව ඉහළ දමන, ජාතික සම්පත් විකුණන, මර්දන අණපනත් සම්මත කරන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ජාතික ජන බලවේගය විසින් පවත්වන විරෝධතා රැලිය සඳහා අති විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබුණි. නොවැ. 18 සවස 03.00ට දෙල්කඳ හන්දියේ සිට ඇරඹි ජන බල විරෝධතා පාගමනින් පැමිණි ජනතාව නුගේගොඩ ආනන්ද […]

-Colombo, November 18, 2023-

බදු බර, බඩු මිල, විදුලි ගාස්තු අසීමිතව ඉහළ දමන, ජාතික සම්පත් විකුණන, මර්දන අණපනත් සම්මත කරන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ජාතික ජන බලවේගය විසින් පවත්වන විරෝධතා රැලිය සඳහා අති විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබුණි.

නොවැ. 18 සවස 03.00ට දෙල්කඳ හන්දියේ සිට ඇරඹි ජන බල විරෝධතා පාගමනින් පැමිණි ජනතාව නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී සංවිධානය කර තිබූ ජන රැලියට සහභාගී වුහ. බදු බර, බඩු මිල, විදුලි බිල අසීමිතව ඉහල දමන, ජාතික සම්පත් විකුණන, මර්දන අණපනත් සම්මත කරන කොල්ලකාරී ජන පීඩක ආණ්ඩුවට එරෙහිව විරෝධය ප්‍රකාශ කරමින් “74 වසරක සාපය නිමා කරමු – ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන තේමාව සහිතව මෙම විරෝධතාව පැවැත්විණි.

ජනතාව පීඩාවට පත්කරන වත්මන් ආණ්ඩුව නිසැකවම පලවා හරින බව ජාතික ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙහිදී රැළිය අමතමින් පැවසීය.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ , ආචාර්ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, රංගන ශිල්පි සමාජ ක්‍රියාකාරී වමින්ද ජයසුරිය , ජාතික විධායක සභික ෂෙයික් මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍ර⁣සේකර් , ජාතික විධායක සභික මහාචාර්ය සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන අයද ජනතාව ඇමතූහ.

Show More

“ජනතාවගේ ශක්තිය ආණ්ඩුවට පෙන්වන්න සියලු දෙනා නුගේගොඩට එන්න” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

-2023 නොවැ. 17 දින පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව- රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහට රට බාරදීමෙන් පසුව මේ දක්වා පැමිණි ගමන් මාර්ගය වෙනස් කළ යුතු බව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබුණා. නමුත් කිසිම වෙනසක් නැතිව මේ දක්වා ගමන් කළ මාවතේම යමින් ජනතාවට ජීවත් විය නොහැකි තරමට පීඩනයන් එල්ල කර තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන අයවැය තුළ තිබෙන්නේ […]

-2023 නොවැ. 17 දින පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව-

රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහට රට බාරදීමෙන් පසුව මේ දක්වා පැමිණි ගමන් මාර්ගය වෙනස් කළ යුතු බව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබුණා. නමුත් කිසිම වෙනසක් නැතිව මේ දක්වා ගමන් කළ මාවතේම යමින් ජනතාවට ජීවත් විය නොහැකි තරමට පීඩනයන් එල්ල කර තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන අයවැය තුළ තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා කීයක් හෝ ඉල්ලා ගන්න ක්‍රියාකරන අතරේ සමස්ත අර්බුදයේ බර ජනතාව මත පැටවීමයි. අයවැය තුළ හෝ ඉන් පිට පීඩාවට පත් ජනතාවට සහන දීමේ ප්‍රායෝගික කිසිම වැඩපිළිවෙළක් නැහැ. රනිල් වික්‍රමසිංහලා වගකිව යුතු අර්බුදයේ බර තව තවත් ජනතාව මත පටවමින් වසරක් ඇතුළත විදුලි බිල තෙවරකින් 400%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දැම්මා. මේ නිසා ජනතාවට විදුලි බිල දරා ගන්න බැහැ වගේම කර්මාන්ත කඩා වැටීමට හේතු වී තිබෙනවා. විදුලි බිල වැඩිකිරීම, තෙල් මිල වැඩිකිරීම සහ ආනයන පාලනය නිසා කර්මාන්ත සහ ව්‍යාපාර 2000ක් පමණ වැසී ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ නිසා පසුගිය වසර එකහමාරක වගේ කාලය තුළ ලක්ෂ පහළොවකට පමණ රැකියා අහිමි වෙලා. බැංකු ණය ගත් ව්‍යාපාර 556ක් බැංකුවලට සින්න වෙලා. රටේ ආර්ථිකය තව තවත් දුර්වල කරන ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වී සිටින බව මේ දත්ත අනුව පැහැදිලියි. රට ගොඩගන්න දැක්මක්, සැලැස්මක් හෝ ඕනෑකමක් ආණ්ඩුවට නැහැ. එදා වේල ගතකරමින් පොදු ජනතාව විශාල පීඩාවකට ලක්කරමින් යනවා.

නැවත වටයකින් විශාල වශයෙන් බදු බර වැඩිකිරීමෙන් තවත් වටයකින් භාණ්ඩ මිල ඉහළ යනවා. පොදු ජනතාව මත මේ බර පටවා ආණ්ඩුව වටේ ඉන්න හුරතලුන්ට විශාල සහන ලබාදෙමින් ශත විසිපහට තිබුණු සීනි බද්ද රුපියල් 50 දක්වා වැඩිකිරීම වගේ ක්‍රියාමාර්ග ගන්නවා. සමස්ත අර්බුදය ජනතාව මත පටවා, විනාශකාරී මාවතේම ඇදගෙන යමින් පීඩාව තවදුරටත් ජනතාව මත පටවා ආණ්ඩුව වෙනත් රඟපෑම්වල යෙදී සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ මහින්ද රාජපක්ෂගේ මේ අයවැය සම්බන්ධ ස්ථාවරය ජනතාව හමුවේ තැබිය යුතුයි. එකිනෙකා තම තමන්ගේ ගැලවීම වෙනුවෙන් විවිධ කතා කියමින් යනවා. එවැනි විගඩම්වලින් ජනතාව තවදුරටත් රවට්ටන්න ඉඩදිය නොහැකියි. මේ අර්බුදයට මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාත් එකසේ වගකිව යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඔවුන් වගකිවයුතු බවට තීරණයක් දී තිබෙනවා. අධිකරණය මොනවා කීවත් ඔවුන් වගකීම ගන්නේත් නැහැ; බලය අත්හරින්නේත් නැහැ. වඩා යහපත් ජීවිතයක් අපේක්ෂා කරමින් මේ අයට බලය දුන් පොදු ජනතාවට කිසියම් සහනයක් දෙන්න ප්‍රායෝගික කිසිවක් කරන්නේ නැහැ. රජයේ සේවකයන්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක් පඩි වැඩිකරන බව කීවත් ජනවාරි මාසයේ සිටම බදු වැඩිකර තිබෙනවා. මේ තත්වයන්ට එරෙහිව පාරට බහින ජනතාව මර්දනයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, සමාජ මාධ්‍ය මර්දන පනත වගේ පනත් ගෙනඑමින් සිටිනවා. තම අයිතිවාසිකම් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළ ගුරු විදුහල්පතිවරුන්ටත් පහර දුන්නා. රටක් හදන්න තිබෙන ස්වභාවික සම්පත් සහ මානව සම්පත් විනාශ කරමින් යනවා.

ඉතිරි වී තිබුණු අවසන් සම්පත් ටිකත් විදේශ සමාගම්වලට විකුණමින් යනවා. තැපැල් කාර්යාලත් විකුණන් කන්න යනවා. රටක් ගොඩනඟන්න සිටින කර්මාන්තකරුවන් විදුලි බිල, ඉන්ධන මිල, බදු බර වැඩිකරමින් වට්ටනවා. අපනයනකරුවන් වට්ටනවා. රට ගොඩනගන්න මැදිහත් කර ගත හැකි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් මත විශාල බදු බරක් පටවලා රට අත්හැර යාමට සලස්වා තිබෙනවා. ජනතා විරෝධී, ජන පීඩක, ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටින මේ දුෂ්ට පාලනය පරාජය කළ යුතුව තිබෙනවා. ලංකාවට ලෝකය හමුවේ කිසියම් හෝ ගෞරවයක් ලබාගැනීමට තිබුණු ක්ෂේත්‍ර සියල්ලම විනාශ කරමින් යනවා. ඒ වෙනුවෙන් තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවත්, අපේ සංස්කෘතියත්, කර්මාන්තත් ජනතාවගේ සංස්කෘතියත් විනාශ කරමින් රට හිස් මුඩුබිමක් බවට පත්කරමින් සිටිනවා. මේ විනාශකාරී ගමන් මාර්ගයට පැලැස්තර විසඳුම් නැහැ. රනිල් වික්‍රමසිංහලා, මේ විනාශකාරී ක්‍රමය පරාජයට පත් කර ජනතාවාදී පාලනයක් බිහිකිරීම හැර වෙන උත්තරයක් නැහැ. මේ පාලනය පරාජය කිරීමට දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඒ අතරම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නත් සිදුවී තිබෙනවා.

ජනතාවගේ වගකීම වී තිබෙන්නේ මේ පාලනය පලවා හැරීම සඳහා දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කිරීමයි. අනික් පැත්තෙන් ආණ්ඩුවට ජනතා විරෝධීව කටයුතු කරන්න එපා කියලා අනතුරු අඟවන්නත් ඕනෑ. ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය 9% දක්වා අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තාවකින් ළඟදීත් හෙළිවී තිබුණා. මේ තුළ රනිල් වික්‍රමසිංහලා ව්‍යවස්ථාවට මුවාවී බලහත්කාරයෙන් රාජ්‍ය බලය උපයෝගී කර ගනිමින් පාලනය ගෙන යනවා. ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමේ සැලැස්මක් සහ මහජන බලය එකතු කරගෙන තිබෙනවා. වඩා සංයමයක් සහිත, වඩා සංවිධානාත්මකව අරමුණක් සහිතව ආණ්ඩුවට එරෙහි විරෝධයන් එල්ල කළ යුතුව තිබෙනවා. ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත්කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයකුත්, බලය ලබාගැනීම සඳහා ජනතාව සංවිධානය කිරීමේ ක්‍රියාමාර්ගත් ජාතික ජන බලවේගය දියත් කරමින් සිටිනවා. හුදකලා අරගල වෙනුවට සමස්ත ජනතාව එක්කර ගත් ක්‍රියාමාර්ග තුළින් මේ පාලනය අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමේ ඉලක්කය සහිතව ක්‍රියාකළ යුතුයි. මේ වෙනුවෙන් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ගවල එක් පියවරක් වශයෙන් නුගේගොඩදී දැවැන්ත විරෝධතා රැලියක් සංවිධානය කර තිබෙනවා. වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සංයමයකින් මේ පාලනය පෙරලා දැමීම දක්වා ඉදිරියට යා යුතුව තිබෙනවා. ජනතාව පීඩාවට පත්කිරීමට රනිල් වික්‍රමසිංහලාට ඉඩ දී බලාසිටින්න කිසිවෙකුට අයිතියක් නැහැ. සාමකාමීම උද්ඝෝෂණය කිරීමේ ජනතාවගේ අයිතිය පාවිච්චි කර, ජන පීඩක පාලනයට එරෙහිව තමන්ගේ විරෝධය පළ කිරීම නුගේගොඩින් ආරම්භ කරනවා. ජනතාවගේ ශක්තිය ආණ්ඩුවට පෙන්වන්න සියලුම දෙනා නුගේගොඩට පැමිණ ආණ්ඩුව පරාජය කිරීමේ සටනට එක්වන ලෙස ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවේ කාලය හමාර කළ යුතු බව ජනතාව තීරණය කර අවසන්” -ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

මේ පාලනය තම බල ව්‍යාපෘතිය, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් බව ඉතාමත්ම හොඳින් තහවුරු වී තිබෙනවා. ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන්ම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කළත්, තීරණාත්මක කරුණුවලදී ආණ්ඩුව පරාජය කරන්න ක්‍රියා නොකරන බව ඉතාමත්ම පැහැදිලියි. ජනතාව පීඩාවට පත් කළ ඔවුන්ට එරෙහිව ජනතාවගෙන් පැමිණීමට නියමිත දඬුවම තවදුරටත් කල්දමා ගන්න ඔවුන් කටයුතු කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඔහුට සුපුරුදු ඩීල් දේශපාලනයේ යෙදෙමින් ක්‍රියාකරන ආකාරය පැහැදිලියි. බුද්ධාගමත්, විවිධ සාහිත්‍ය කෘතිත් උපුටා දක්වමින් ඔහු විවිධ පාපෝච්චාරණයන් කරනවා. මහා ප්‍රබුද්ධ කතා කිවුවත් විකුණන් කෑම සහ ඩීල් දේශපාලනය හැර වෙන උත්තරයක් රනිල් වික්‍රමසිංහට නැහැ. වෙනස් වෙලා තිබෙන බවට ඉඟියක් ජනතාවට දෙන්න පාපෝච්චාරණයන් කළත් භාවිතයෙන් පැහැදිලි වෙන්නේ අබමල් රේණුවක තරමින්වත් වෙනස් වෙන්න සූදානම් නැති බවයි. අයවැය පිළිබඳ ප්‍රශ්න මතුකරන විට අයි.එම්.එෆ්. කොන්දේසි නිසා කිසිවක් කළ නොහැකි බව කියනවා. එහෙම නම් මුදල් ඇමති කෙනෙක් හෝ ආණ්ඩුවක් මොකටද? ආණ්ඩුවක්, කැබිනට් එකක් පත්කරන්නේ ජාත්‍යන්තර සංවිධාන එක්ක වැඩකරන අවස්ථාවල රටට අවශ්‍ය ජනතාවගේ පැත්තෙන් හිතන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමටයි. ජාත්‍යන්තර සංවිධානවල න්‍යාය පත්‍රත් තේරුම් අරගෙන අපේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරවන්න කටයුතු කළ යුතුයි.

මේ ආණ්ඩුවේ කාලය ඉවර කළ යුතු බව ජනතාව තීරණය කර අවසන්. මැතිවරණයක් ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පළවා හරින බව දන්නා ආණ්ඩුව ජන මතයට බයේ හැංගෙමින් ඉන්නවා. මේ තුළ පුරවැසියන් හැටියට අපිට විශල වගකීමක් තිබෙනවා. මේ රටේ අනාගතය, ප්‍රජාතන්ත්‍රවාදය, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් විය යුත්තේ පුරවැසියන්. පාලකයන් වගකීම් අත්හැර තිබෙන මොහොතක පුරවැසියන් වෙනදාටත් වඩා ශක්තිමත්ව එඩිතරව, අධිෂ්ඨානශීලීව, අරමුණු සහගතව ඒ වෙනුවෙන් ක්‍රියාකළ යුතු වෙනවා. ජාතික ජන බලවේගය සැමවිටම ජනතාව සමග විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. පුරවැසියාගේ වගකීම ඉෂ්ට කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට පුරවැසියන්ට අවශ්‍ය සංවිධාන ශක්තිය සහ නායකත්වය දෙමින් ඉදිරියට යන්න ඉතාම අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා. වැඩිකල් නොගොස් ජනතාවාදී පාලනයක් බිහිකිරීමේ ඓතිහාසික පරිවර්තනය වෙනුවෙන් අධිෂ්ඨානශීලීව ක්‍රියාකරනවා. එතෙක් පවතින පාලනයට හිස නමාගෙන සිටිය යුතු නැහැ. අපේ අප්‍රසාදය සහ විරෝධය පළ කළ යුතු වෙනවා. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් නුගේගොඩදී පවත්වන විරෝධතාවයට සියලු දෙනාම එක්වෙන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශවල මහත්ම මහත්මීන්ට අපි කියන්නේ ජනමතයක් නැති ආණ්ඩුවක් වෙනුවෙන්, රීලෝඩ් පොලිස්පතිවරයෙක් යටතේ අනීතික ක්‍රියාමාර්ගවල නොයෙදෙන ලෙසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ප්‍රශ්නය:- ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වයිද?

පිළිතුර:- ආණ්ඩුවේ කැමැත්ත අකමැත්ත අදාළ නැහැ. ව්‍යවස්ථානුකූලව ලබන අවුරුද්දේ ඔක්තෝබර් වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එය ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය ක්‍රියාකරමින් යනවා. පැවැත්විය යුතුව තිබුණු පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. පළාත් පාලන මැතිවරණය කල්දැමූ ආකාරයට ජනාධිපතිවරණය කල්දාන්න බැහැ. මහා මැතිවරණයක් කලින් පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ ගොල්ලන්ගේ කැමැත්ත මත. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීම හෝ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකියි. නමුත් ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. අපි ඕනෑම ඡන්දයකට ලැහැස්තියි. පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ අනිවාර්යයෙන්ම ඔවුන් පරදින නිසයි. අපි අපේ නායක අනුර දිසානායක සහෝදරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස සියලු බලවේගවල විශ්වාසයෙන් යුතුව නම් කර තිබෙනවා. මේ රට වෙනස් කර, අලුත් දේශපාලන පිටුවක් පෙරළන්න අනිවාර්යයෙන් අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එතෙක් ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වන්න සියලු දෙනාම ඒකරාශී වෙන ලෙස ඉල්ලා සිටිනවා.

Show More

ජාතික ජන බලවේගයේ නායකයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

-Colombo, November 17, 2023- අද (17) දින පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Bagle) මහතා අතර හමුවක් සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම හමුව සඳහා ඉන්දීය මහ […]

-Colombo, November 17, 2023-

අද (17) දින පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Bagle) මහතා අතර හමුවක් සිදුවිය.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම හමුව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එල්ඩෝස් මැතිව් (Eldos Mathew) මහතා ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයා ද සහභාගි විය.

Show More

ජාතික ජන බලවේගයේ කාන්තා නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට

-Colombo, November 16, 2023- ගාසා තීරයේ වහාම සටන් විරාමයක් සඳහා පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලකරමින් ජාතික ජන බලවේගයේ කාන්තා නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) අද ලිපියක් ඉදිරිපත් කරන ලදී. ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව පලස්තීනයේ කාන්තා හා ළමා අයිතිවාසිකම් කඩවීම්වලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, සියලුම […]

-Colombo, November 16, 2023-

ගාසා තීරයේ වහාම සටන් විරාමයක් සඳහා පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලකරමින් ජාතික ජන බලවේගයේ කාන්තා නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) අද ලිපියක් ඉදිරිපත් කරන ලදී.

ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව පලස්තීනයේ කාන්තා හා ළමා අයිතිවාසිකම් කඩවීම්වලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, සියලුම පාර්ශවකරුවන් සමඟ වහාම සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇත.

ආචාර්ය හරිනි අමරසූරිය (පාර්ලිමේන්තු මන්ත්‍රී), සමන්මලී ගුණසිංහගේ (ජාතික ජන බලවේගයේ විධායක සභික), වෛද්‍ය ස්වස්තිකා සමරදිවාකර (ජාතික ජන බලවේගයේ සාමාජිකා) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක රඝු මෙනන් වෙත අද මෙම ලිපිය කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාල පරිශ්‍රයේ දී පිළිගන්වන ලදී. තවද, කාන්තාවන් සහ ළමුන් සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති සුභසාධන කප්පාදු පියවරවල බලපෑම සහ කාන්තාවන් සහ ළමා සමාජ ආරක්ෂණය සඳහා අයවැය ප්‍රතිපාදන අඩු කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ-ආර්ථික හා දේශපාලන සන්දර්භය පිළිබඳ සාකච්ඡාවක් ද සිදු විය.

Show More

“අපේ වගකීම ජනතාවගේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්කිරීමයි” – ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා-

-Colombo, November 13, 2023- ඉල්මහ විරුවන් අහිමිව ගෙවී ගිය වසර 34 තුළ අපේ රට මුළුමනින්ම පාදඩකරණයේ ගොදුරක් බවට පත්වී තිබෙනවා. මහජනයාගේ දේපොළ තමන්ට සුවසේ භුක්ති විඳීමට අවශ්‍ය දේශපාලන පාදඩකරණයක් නිර්මාණය වී තිබෙනවා. මුළුමනින්ම විනාශ වූ සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මේ තත්වය ඕපපාතිකව නිර්මාණය වුණේ නැහැ. දේශපාලන පාදඩකරණයත්, අපරාධවලින් පිරුණු සමාජයක් නිර්මාණය වීමත් අර්ථික වශයෙන් රට […]

-Colombo, November 13, 2023-

ඉල්මහ විරුවන් අහිමිව ගෙවී ගිය වසර 34 තුළ අපේ රට මුළුමනින්ම පාදඩකරණයේ ගොදුරක් බවට පත්වී තිබෙනවා. මහජනයාගේ දේපොළ තමන්ට සුවසේ භුක්ති විඳීමට අවශ්‍ය දේශපාලන පාදඩකරණයක් නිර්මාණය වී තිබෙනවා. මුළුමනින්ම විනාශ වූ සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මේ තත්වය ඕපපාතිකව නිර්මාණය වුණේ නැහැ. දේශපාලන පාදඩකරණයත්, අපරාධවලින් පිරුණු සමාජයක් නිර්මාණය වීමත් අර්ථික වශයෙන් රට මුළුමනින්ම කඩා වැටීමත් වෙනුවෙන් ප්‍රබලතම පියවර තැබූයේ 1977 බලයට පත්වුණු ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවයි. එතෙක් පැවති සියලු සමාජ සංස්ථාවන් මුළුමනින්ම බිඳ දමා, ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම හකුළා, සාහිත්‍යධරයන්ට පහරදී වෘත්තිය සමිති ව්‍යාපාරය මුළුමනින්ම මර්දනය කොට, ඡන්ද නොතබා, මැතිවරණ කල්දැමීමේ ප්‍රෝඩාවන් අනුගමනය කළා. ජේ.ආර්. ජයවර්ධනගේ උඩතලයේ එම ක්‍රියාමාර්ගත් එක්ක බිම් මට්ටමේ මුළු දේශපාලන අධිකාරිය පාදඩයන් අතට පත්කරන්න පටන් ගත්තා. ගම් අන්ත දූෂිත තක්කඩින්ගේ පාලනයට නතුකර ගන්න පටන් ගත්තා. පෙස්ටස් පෙරේරලා, අධිකාරීලා වගේ ත්‍රාඩයින්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්න පටන් ගත්තා. මිනිසුන්ගේ සමාජ ගරුත්වය, එකිනෙකා අතර තිබූ බැඳීම් තූ තූ කොට විනාශ කර දැම්මා. මිනිසෙකුට මිනිසෙක් හැටියට තිබෙන ගරුත්වය අහෝසි කර දැම්මා. බොහෝ අය ජේ.ආර්. ජයවර්ධනගේ මෙම වියරු පාලනයට, තක්කඩි වුවමනාවට යටත්ව ජීවත් වෙන්න පටන් ගත්තා. එය යථාර්ථයක් ලෙස පිළිගන්න බොහෝ අය පෙළඹුණා.

එහෙත් මෙම විනාශකාරී ගමනට එරෙහිව පොදු සමාජයේ ගරුත්වය වෙනුවෙන් පොදු ජනතාවගේ නිදහස වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ආවා. දුෂ්ටත්වය, අපරාධකාරිත්වය, නියෝජනය කරන ජේ.ආර්. ජයවර්ධනගේ පිලත් අනෙක් පැත්තේ සමාජ ගරුත්වය, සමාජ සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණත් වශයෙන් 1980 මැද භාගය වන විට සමාජය තීව්‍ර බෙදීමකට ගමන් කර තිබුණා. මහා පොදු ජනයා මිනිස් ගරුත්වය වෙනුවෙන්, තමන්ගේ නිදහස වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග මහා ජන සන්නිපාතයක් ලෙස ගොඩනැගෙමින් ආවා. මෙන්න මේ ගැටුම අවසානයේදී මතවාදී ගැටුම වෙනුවට, වේදිකාවේ ගැටුම වෙනුවට, සන්නද්ධ ගැටුමක් බවට පෙරළුණා. ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපති වියරුවේ ගොදුරක් බවට අපේ රටේ දහස් සංඛ්‍යාත ජනතාව පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනඟන ලද, එයට මඟ පෙන්වන ලද පොදු ජනයාගේ අධ්‍යාත්මය කැඳවාගෙන එන ලද අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සටන් සගයන් විශාල පිරිසක් 1989 නොවැම්බර් 13දා ඝාතනය කරනු ලැබුවා. අපේ රටත් සමාජයත්, ආර්ථිකයත් ඒ ඛේදවාචකය මගින් රැගෙන ගිය ගමනට එරෙහිව සමාජ සාධාරණත්වය, යුක්තිය, නිදහස වෙනුවෙන් දිවි පිදූ අපේම සහෝදර සහෝදරියන් අද අපි සමරමින් ඉන්නවා.

අද අපේ සමාජය විශාල පරිවර්තනයක් ඉල්ලා සිටිනවා. මේ පරිවර්තනය සිදුකළ හැකි වන්නේ ඒ සඳහා වුවමනාව තිබෙන, දැක්මක් තිබෙන, අවංකභාවය තිබෙන, දරාගැනීමේ හැකියාව තිබෙන, හික්මීම තිබෙන, සංවිධානයකට විතරයි. හුදු පුද්ගල මාරුවකින් හෝ ආණ්ඩු මාරුවකින් මේක කරන්න බැහැ. මේ ව්‍යාපාරයට අවංකත්වය, ධෛර්යය, අලුත් දේශපාලන දැක්මක්, අවශ්‍ය හික්මීම සමාජ සාධාරණත්වය පිළිබඳ මනස, මිනිසුන්ගේ හදවතට සමීප ආධ්‍යාත්මය මේ ව්‍යාපාරයට කැඳවාගෙන එන්නේ කොහොමද? පොත-පතෙන්, සාහිත්‍යයෙන්, පමණක් එවැනි ව්‍යාපාරයක් ගොඩනඟන්න බැහැ. එය සිදුකළ හැකි වන්නේ, ලංකාවේ පමණක් නොව, ලොව පුරා සමාජ පරිවර්තනය සඳහා කැප වූ මිනිසුන් පිළිබඳ නිසි පරිදි අධ්‍යයනයකින් පමණයි. මා මේ බව කියන්නේ සමාජ ව්‍යාපාරයක් විශාල වශයෙන් ගොඩනැගෙමින් තිබියෙදී, 88-89 ගැන සමරන්නේ ඇයි? යනුවෙන් සමහර අය අසන නිසයි. මේ සමාජ පරිවර්තනය කරන්න නම්, අර ආධ්‍යාත්මය සහිත මිනිසුන් අවශ්‍යයි. මේ වේදිකාවේ සිටින මා ඇතුළු පිරිසක් රූපවාහිනියේ දකින, ඒ නිසාම සමාජයේ පිළිගැනීමක් තිබෙන අය වුණත් මේ ව්‍යාපාරය පිටුපස විශාල පිරිසක් සිටිනවා. අදත් මේ වේදිකාවේ සාර්ථකත්වය පිටුපස සිටින්නේ මේ ව්‍යාපාරයේ සිටින සහෝදර සහෝදරියන්ගේ කැපකිරීමේ ප්‍රතිඵලයයි. කැපකිරීම්, පරිත්‍යාග තුළින් සමාජය පරිවර්තනය කිරීමට සූදානම් මිනිස්සු ගොඩනැගී සිටීම අහම්බයක් නොවෙයි. අපේ පක්ෂයේ නිර්මාතෘවරයා ඇතුළු දස දහස් ගණන් සහෝදර සහෝදරියන් අපිට ඒ ආදර්ශය ලබාදී තිබෙනවා. ඒ අතීතය නැවත නැවත ආවර්ජනය කරමින් මේ නිශ්චිත සමාජ පරිවර්තනයට සූදානම් මොහොතේ වෙනදාටත් වඩා වැඩියෙන් ඒ අධ්‍යාත්මය අපේ ව්‍යාපාරයට කැටුව ආ යුතුයි. එහෙම නැතිව සුන්බුන් ගොඩකින් හදන ආණ්ඩුවකින් හෝ ව්‍යාපාරයකින් මේ පරිවර්තනය කරන්න බැහැ.

ඉතිහාසය සමග බද්ධ වූ ආධ්‍යාත්මික හුයෙන් වෙන්වෙලා මේ මහා සමාජ පරිවර්තනය සිදුකරන්න බැහැ. අදාළ ගුණාත්මක පරිවර්තනය සිදුකළ හැකි වන්නේ ඒ ගලාගෙන එන ආධ්‍යාත්මය තව තවත් ශක්තිමත් කර, ඉදිරියට ගෙනයාමෙන් පමණයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ගොඩනඟන්නේ එවැනි ආධ්‍යාත්මයක් සහිත සමාජ ව්‍යාපාරයක්. ගැඹුරින්ම සමාජ පරිවර්තනය කරන්න අවශ්‍ය නම් එය කළ හැකි වන්නේ අතීතයේ ආධ්‍යාත්මය වසා ඛණ්ඩනය කිරීමෙන් නොවෙයි. අපි නොබියව අතීතයේ සිදුවූ අඩුපාඩුකම් පිළිගන්න ලැහැස්තියි. 88-89 සිදුවුණු අඩුපාඩුකම් අනේක වාරයක් අපි පිළිගෙන තිබෙනවා. ඒ වගේම දහස් වාරයක් එහි ගුණාංග උකහා ගන්න මැලිනොවෙන ව්‍යාපාරයක් හැටියටයි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට යන්නේ. මෑත දශක දෙකක පමණ කාලයේත් අපේ පක්ෂය දුෂ්කරම අවස්ථා ගත කළා. සමහර දේශපාලන උපක්‍රම අපට වැරදුණා. එම වැරදීම් දේශපාලනය තුළ පමණක් රඳා පවතින්නේ නැහැ. පක්ෂය තුළට කිඳා බහිනවා. 2004 කාලයේ සමහර දේශපාලන උපක්‍රම වැරදීම අපේ ව්‍යාපාරය තුළට කාන්දු වුණා. ඒ නිසා ව්‍යාපාරය තුළ ඛණ්ඩනයන් ඇති කළා. නැවත 2012 වන විට ඇති වුණු පරාජයන් තේරුම් ගන්න බැරිව, ඔරොත්තු නොදී, ජයග්‍රහණයන් පිළිබඳව විශ්වාසයක් නැතිව තවත් ඛණ්ඩනයක් ඇති වුණා. මේ විදිහට පක්ෂය ඇතුලේ විවිධ අර්බුද සහ ගැටුම් ඇති වී දශක දෙකක් ගෙවුණා. එකට සිටි සමහර සහෝදර සහොදරියන් උපක්‍රමවලට හසුවී අපව චූදිතයන් බවට පත් කළා. ඔවුන්ද හවුල් වී ගත් තීන්දු තීරණවල චූදිතයන් බවට අපව පත් කළා. සතුරා විසින් ගොඩනඟන ලද අවලාදවලට එකට උත්තර දුන් සමහර අය එළියට ගිහින් සතුරාගේම අවලාද අපට එල්ල කළා.

මේ තත්වයන් අභ්‍යන්තරයේ පමණක් නොව සමාජ තලයේ ප්‍රකාශයට පත්වෙන්න පටන් ගත්තා. පසුගිය මැතිවරණ ප්‍රතිඵලයෙන් 3%ක අඩුවීම, අවලාදවලට, සමච්චල්වලට හේතු වුණා. ඇතුලෙනුත් බාහිරවත් එල්ලවුණු විශාල පීඩනයන් විඳිමින් ලැබෙන කුඩා හෝ අවස්ථාවන් ජයග්‍රහණය සඳහා පෙරළා ගැනීමට ධෛර්යය ගෙන ආවේ කවුද? ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් මේ ව්‍යාපාරය ගොඩනඟන්න හේතු වුණේ මේ ව්‍යාපාරය තුළ තිබෙන ආධ්‍යාත්මයයි. තනි තනි පුද්ගලයන්ගේ විශේෂතා නොවෙයි, අඛණ්ඩව ගලාගෙන එන්න ව්‍යාපාරයේ අධ්‍යාත්මික ප්‍රතිඵල එයට හේතුවයි. වර්තමාන නායක කණ්ඩායමේ විශ්මකර්ම හැකියාවක් නිසා අද තිබෙන ප්‍රතිඵල ලැබුණේ නැහැ. අඛණ්ඩව ගලාගෙන එන ඉල්මහ විරුවන්ගේ සමාජ යුක්තිය, සමාජ සාධාරණත්වය පිළිබඳව වගකීම් අත්නොහැරීමේ ප්‍රතිඵලයක් අද නිර්මාණය වී තිබෙනවා. ඒවා සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දේවල් නොවෙයි. එවැනි ව්‍යාපාරයකින් සමන්විත මිනිසුන්ගෙන් පමණක් මෙවැනි දේවල් කළ හැකියි. කුඩා ජයග්‍රහණයක් නැති විට පැත්ත මාරු කරන, විලාප දෙන රට තුළ පුද්ගලික විශේෂතාවලට වඩා ව්‍යාපාරය තුළ තිබෙන සාරය ඉවහල්වී තිබෙනවා. ඒ සාරය ගොඩනැගුණේ මේ පක්ෂය නිර්මාණය කළ දවසේ සිටයි. සමාජ තලයේ ඇති වී තිබෙන මහා බලාපොරොත්තුවලින් මෝහනය වී සමාජ ව්‍යපාරයකට ඉස්සරහට යන්න බැහැ. සමාජයේ විශ්වාසය, ගෞරවය, එකතු වෙන්න එකතු වෙන්න නැවත නැවතත් අපට බලකරන්නේ මෙහි ගැබ්වී තිබෙන සාරය උකහා ගන්නයි. අපි ඒ සාරය උකහා ගන්නවා.

ඔවුන් සමාජය සංවිධානය කරන්නේ නායකයන් උඩින් ඉන්න සහ සමාජය වහල්භාවයට ලක්වූ තත්වයක් අනුවයි. ඔවුන්ගේ පැවැත්ම සමාජ අගතීන් සංවිධානය කිරීමයි, ඊට පටහැණිව සමාජ සාධනීය දේවල් සංවිධානය කිරීම, සියලු දෙනා එක්ව සාමූහිකව වැඩකරන ප්‍රජාවක් සංවිධානය කිරීම අපේ වගකීමයි. එකිනෙකාට පැවරී තිබෙන වගකීම් තේරුම්ගත් සාමූහිකත්වයක් ඕනෑ. ඔවුන් ජාතිවාදය සංවිධානය කරනවා. ඇති තරම් එහි වේදනාවන් බුක්ති විඳි රටක් වෙලත් අදත් ඔවුන් එයම සංවිධානය කරනවා. ඊට ප්‍රතිපක්ෂව අපි ජාතික සමගිය සංවිධානය කරනවා. සමාජ සාධනීය ගුණාංගවලින් සංවිධානය කිරීමෙන් අප යහපත් පරිවර්තනයක් සිදුකරනවා. ඒ වෙනුවෙන් සාධනීය ගුණාංග සහිත පාලනයක් ගොඩනඟන්න ඕනෑ. දකුණේ ජනතාව අප කෙරෙහි අවධානය යොමුකරගෙන තිබෙන ප්‍රමාණයට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවගේ අවධානය දිනාගන්න සමත් වී නැහැ. ඒ නිසා වේගවත්ව ජාතිවාදය ප්‍රතික්ෂේප කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමානාත්මතා අයිතීන් මත සංවිධානය කිරීම ප්‍රමුඛතම කාර්යභාරය ලෙස ඉටුකරන්න ඕනෑ. එසේ නොවී ආණ්ඩු පිහිටුවා වැඩකුත් නැහැ. ඔවුන් කුලවාදයෙන් සමාජය සංවිධානය කරනවා. ඒ වගේම ව්‍යාපාරික පෙළැන්තිය අන්ත දූෂිතයන්ගෙන් සංවිධානය කරනවා. ඇත්ත කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සංවිධානය කරන්න ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැහැ. සැබෑ කර්මාන්තකරුවා, ව්‍යවසායකයා අපි සංවිධනය කළ යුතුයි. අපි අරමුණු කරන සමාජ පරිවර්තනයේ න්‍යෂ්ටිය වෙන්නේ සාධනීය ගුණාංග සහිතව සමාජය සංවිධානය කිරීමයි.

සාමූහික සමාජ පරිවර්තනයක් සිදුකිරීමේ ගුණාංග එකතු කර ගත හැකි වන්නේ ඉල්මහ විරුවන්ගේ ගුණාංගවලිනුයි. ඒ විරුවන්ගේ ආදර්ශ අපේ අධ්‍යාත්මය ඇතුලේ තිබෙන සංකේතයි. මෙම සංකේත අමතක කරනවා කියන්නේ හුදු එක්සත් ජාතික පක්ෂයක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් වීමයි. අන් කවරදාටත් වැඩියෙන් ඒ ආධ්‍යාත්මය අපට අවශ්‍යයි. බලයට කිට්ටු වෙන්න, කිට්ටු වෙන්න වඩාත් සාධනීය ආධ්‍යාත්මයන් උකහා ගත් පුද්ගලයන් සහ ව්‍යාපාරයක් බවට පත්විය යුතුයි. මේ ඉල්මහ සමරුව අන්කවරදාටත් වඩා වැදගත් වන්නේ ඊළඟ ඉල්මහ සමරුව අපගේ පාලනයක් යටතේ සැමරීමට අපේක්ෂා කරන නිසයි. පොදු පාලනයක් යටතේ මේ ගුණාංග සමාජයට ගෙනයන්න අවශ්‍යයි. මේ සමාජය දශක ගණනාවක් ආණ්ඩු පිහිටුවා යහපත් සමාජ පරිවර්තනයක් අපේක්ෂා කළා. නමුත් ඒ දශක ගණනාවක් රැවටීමට ලක්වී අසරණභාවයට වැටී සිටිනවා. අපේක්ෂාභංගත්වයේ පතුළටම තල්ලු වී සිටිනවා. එවැනි ජනතාවක් යළි රවටන්න අයිතියක් අපට නැහැ. ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන පාලනයක් ගොඩනඟන්න නම් ඉල්මහ විරුවන්ගේ ආධ්‍යාත්මය අපට ඕනෑ. ඒ ජනතාවට අපි අවංකවම ආදරය කරන්න ඕනෑ. ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම සඳහා අපි අවංකවම වැඩ කරන්න ඕනෑ. ඒ හැර හුදු ඡන්ද ලබාගැනීමේ අපේක්ෂාවක් පමණක් අපට නැහැ. පතුලෙන්ම එන අවංකභාවයෙන් අපි පෝෂණය වෙන්න ඕනෑ.

සමාජ පරිවර්තනය කිරීම සඳහා සුදුසු ව්‍යාපාරයක් අපි ගොඩනඟා තිබෙනවා කියන විශ්වාසය අපට තිබෙන්න ඕනෑ. සමාජයකට අපි හුදු සිහින, හුදු වචන නොදිය යුතුයි. ‘ආසියාවේ ආශ්චර්යය’ වගේ දේවල් ඔවුන් කියා තිබෙනවා. ඔවුන් කියනවා පමණයි; අපි කියන දේ කරනවා. ඒ නිසා අන් කවරාදාටත් වඩා වැඩියෙන් මේ ව්‍යාපාරයට සාමූහිකත්වය අවශ්‍යයි. දේශපාලන ජයග්‍රහණයක් තුළ අපේ පංගුව අත්කර ගැනීම සඳහා ගොඩනැගිය හැකි මානසිකත්වය දැන් තබාම අත්හැරිය යුතුයි. ජයග්‍රහණයේ කොතැනකවත් තමන්ගේ පුද්ගලික පංගුවක් නැහැ. ඒ සෑම තැනකම තිබෙන්නේ අපි හැමෝගෙම සාමූහික කොටස්. ජයග්‍රහණ අත්කර ගත හැකි වන්නේ, අපි අපේ පුද්ගලික සීමාව සටහන් කර ගැනීමෙන් නොවෙයි මහා මිනිස් සමාජයට නායකත්වය දියහැකි හැකියාවන් සහ දක්ෂතාවයක් තිබෙන කොටස් උරා ගැනීමෙන්.

අපි මේ ඉල්මහ සමරුව සමරන්නේ ඉතාමත් වැදගත් ඓතිහාසික අවස්ථාවක. සමාජය පරිවර්තනය කිරීම සඳහා මහා හඬක් රට තුළ පමණක් නොවෙයි, එක්සත් ජනපදයේ සිටින ලාංකිකයින් තුළ පවා පවතින මොහොතක. ඒ ලාංකිකයන් වඩා උසස් ජීවිතයක් ගත කළත්. අප කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ බලාපොරොත්තු එක්ක සූදු කෙළින්න, ඒවා බල සූදුවට හිලව් කරන්න අයිතියක් අපට තිබෙනවාද? ඒ බලාපොරොත්තු, බල සූදුව සමග කේවල් කිරීමේ තැනකට ගේන්න අපට කිසිදු අයිතියක් නැහැ. අපේ වගකීම ඒ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්කිරීමයි. එය යථාර්ථයක් බවට පත්කළ හැකි වන්නේ ව්‍යාපාරය හරියට ගොඩනැගුවොත් පමණක් බව මම නැවත නැවත අවධාරණය කරනවා. මේ රට පරිවර්තනය කිරීමට සමත් ව්‍යාපාරයක් අපට තිබෙන බව අපි දන්නවා. ඒ ධෛර්යයෙන් සතුරා ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිය හැක්කේ දේශපාලන ව්‍යාපාරයේ තිබෙන බලයෙන්. මේකක තමයි පණ. ඒ බව මතක තබාගන්න.

ජාතික ජන බලවේගය හැටියට පොදු ජනයා සංවිධානය කිරීමට අපි විශාල වැඩකොටසක් කරගෙන යනවා. එම ව්‍යාපාරයට අධ්‍යාත්මය කැඳවීමේ බලය ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි භාරගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඉල්මහ විරුවන් අන් කවරදාටත් වඩා අපේ හදවත්වලට ඇතුල් කර ගනිමු. අන් කවරදාටත් වඩා වැඩියෙන් ඔවුන්ගේ සාරය අපි අපේ ආධ්‍යාත්මයට එකතු කර ගනිමු.

Show More

“අපේ අදූෂිත බව සතුරන්ට අභියෝගයක් වී තිබෙනවා” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා-

-Colombo, November 13, 2023- මීට වසර 34කට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ, රෝහණ විජේවිර සහෝදරයා පක්ෂේ ප්‍රධාන ලේකම්ව සිටි උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ නායකයෝ, අපේ ගුරුවරුන් වූ සහෝදරියන් සහෝදරවරුන් විශාල ප්‍රමාණයක් ‘ඉල් මාසයේ’ අපි අනුස්මරණය කරනවා. ‘ඉල් මාසය’ අපේ මතකයන් අලුත් කරන, බොහෝ දේවල් ඉගෙන ගන්න මාසයක්. 1989න් පස්සේ අපට ඉල් මාසය අමතක […]

-Colombo, November 13, 2023-

මීට වසර 34කට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ, රෝහණ විජේවිර සහෝදරයා පක්ෂේ ප්‍රධාන ලේකම්ව සිටි උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ නායකයෝ, අපේ ගුරුවරුන් වූ සහෝදරියන් සහෝදරවරුන් විශාල ප්‍රමාණයක් ‘ඉල් මාසයේ’ අපි අනුස්මරණය කරනවා. ‘ඉල් මාසය’ අපේ මතකයන් අලුත් කරන, බොහෝ දේවල් ඉගෙන ගන්න මාසයක්. 1989න් පස්සේ අපට ඉල් මාසය අමතක කළ නොහැකිව තිබෙනවා. රෝහණ සහෝදරයා කියල තිබුණා “අපි වේලාසන අවදි වූයෙමු. අප වේලාසන අවදිවූ පමණින් වේලාසන හිරු පායන්නේ නැත. එහෙත් හිරු පායන විට, වේලාසන අවදි වී සිටීම අපට වාසි ගෙන දෙනු ඇත.” කියලා.

අපි හැමෝම කලින් අවදි වුණු මිනිස්සු. අපි දිගු කාලයක් අවදි වී සිටියා. ඉතාම අන්ධකාර රාත්‍රීන්, අති දුෂ්කර රාත්‍රීන් ගත කළා. කලින් අවදි වී සිටි අපට දැන් අලුත් ලෝකයක් සඳහා උදාවන ප්‍රභාතය, අලුත් හිරු කිරණ අපේ දෑස්වලට පෙනෙන්න පටන්ගෙන තිබෙනවා. 34 වැනි ඉල්මහ විරු සමරුවට පැමිණ සිටින්නේ නව සමාජයක් නිර්මාණය කිරීමේ ජයග්‍රහණයට අතේ දුර තබාගෙන. මේ අවස්ථාව මග හැර යාමට හෝ වරද්දා ගැනීමට කාටවත් අයිතියක් නැහැ. අප යා යුතු දිශාව, අරමුණු නැවත සිහිපත් කර ගන්න මෙය අපට හොඳ අවස්ථාවක්.

අපෙන් සමහරු අහනවා ඇයි අපි ඉතිහාසයේ ජීවත් වෙන්නේ කියලා. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන, ඉතා පැහැපත් අනාගතයක් වෙනුවෙන් වර්තමානයේ වැඩකරන මිනිස්සු. අපිට ජයග්‍රහණය කිරීමට අනාගතයක් තිබෙනවා. අනාගතය වෙනුවෙන් වැඩකිරීමේදී අපට ඉතිහාසය අවශ්‍ය වෙනවා. අනාගත ජයග්‍රහණවලට මඟ පෙන්වන්නේ ඉතිහාසයේ පාඩම්. අපේ රටේ තිබෙන මේ ඛේදවාචකයට හේතුවක් තමයි, පාලකයෝ පසුගිය කාලයේ ඉතිහාසය පැත්තකින් තැබීම. 1978 රට පාලනය කළ ජේ.ආර්. ජයවර්ධන පළමුවෙන්ම කළේ ඉතිහාසය පැත්තකින් තැබීම. ඉතිහාසයක්, අරමුණක්, ගැඹුරක්, අධ්‍යාත්මයක් නැති බොල් සමාජයක් නිර්මාණය කළා. ඒ සමාජ ඛේදවාචකයේ අපි ඔක්කෝම ගිලිලා ඉන්නේ. අපට ඉතිහාසය ඕනෑ. ඉතිහාසයේ ජීවත් වෙන්න නොවෙයි, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න. ඒ අවලාද ගහන මහත්වරුන්ට තාමත් ඉතිහාසයෙන් මිදෙන්න නොහැකි වී තිබෙනවා.

අපට අවලාද ගහන ඒ අය ජීවත්වෙන්නේ ජයවර්ධන විසින් නිර්මාණය කළ ඉතිහාසයේ. ඒ ගොල්ලෝ නිතරම කියන එකක් තමයි ‘88 භිෂණ සමය’. භීෂණයක් තිබුණා 1977 ඉඳලා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ භීෂණය. ඒකට මුහුණ දුන් ව්‍යාපාරය තමයි අපි. අපේ ව්‍යාපාරය මර්දනය කර, නායකයෝ ඝාතනය කරලා ජයවර්ධන ඉතිහාසයක් ලිව්වා. ඒ ඉතිහාසය තමයි මහින්ද රාජපක්ෂ අරගෙන යන්නේ. ඔවුන් ඉතිහාසය තම තමන්ට වුවමනා ආකාරයට ලියා ගන්නවා. අරගලයකින් පසුව ඉතිහාසය ලිව්වේ ජයග්‍රහණය කළ අය. සමාජ සාධාරණය වෙනුවෙන්, විමුක්තිය වෙනුවෙන් කළ අරගලයක් පරාජය වුණාට පසුව ඒ අරගලයට හානි වෙන අයුරින් ජයග්‍රහණය කළ අය ඉතිහාසය ලිව්වා. ඒ ඉතිහාසය වෙනස් කිරීමේ කාලය දැන් උදාවෙලා තිබෙනවා. මෙතෙක් ගෙන ආ වැරදි ඉතිහාසය වෙනස් කිරීමත්, අලුතින් ලිවීමේ වගකීමත් ඔබට, අපට පැවරිලා තිබෙනවා.

රෝමයේ වහල්කම පැවති යුගයේ, ඒ වහල්කමට එරෙහිව සටන් කළ ස්පාටකස් පාලකයන් විසින් ඝාතනය කළා. රෝම පාලකයන්ගේ ඉතිහාසයට අනුව ස්පාටකස් අපරාධකරුවෙක්. නමුත්, වසර ගණනාවකට පසුව අද ස්පාටකස් මුළු ලෝකයටම වීරයෙක් වෙලා තිබෙනවා. 1818 පැන නැගුණු ඌව වෙල්ලස්ස කැරැල්ල සුදු අධිරාජ්‍යවාදීන් විසින් කුඩුපට්ටම් කළා. කැරැල්ල මෙහෙයවපු කැප්පෙටිපොළලා සුදු පාලකයන්ට අනුව රාජ ද්‍රෝහීන්, ත්‍රස්තවාදීන් වුණා. සුදු පාලකයෝ ඉතිහාසය ලිව්වේ එහෙම. ඒ වගේම 1848 මාතලේ කැරැල්ල මෙහෙයවපු පුරන්අප්පු කණ්ඩායම ඝාතනය කළා. ඔවුන් ඉතිහාසය ලිව්වා පුරන්අප්පු කණ්ඩායම ත්‍රස්තවාදීන් බවට පත්කොට. ඒ ඉතිහාසය තමයි සමහරු අදටත් කරගහගෙන ඉන්නේ. ඉතිහාසය නැවත කියවා ගන්න, ලියන්න වුවමනා කාලයක් ඇවිත් තිබෙනවා.

මේ ඉතිහාසය 77න් පටන් ගන්න ඕනෑ. 1977 ජේ.ආර්. ජයවර්ධන බලයට ඇවිත් විධායක බලතල සහිත ආණ්ඩුවක් හදාගත්තා. තනි පුද්ගලයෙක් අතට බලය ගත්තා. ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කළා. විපක්ෂය මර්දනය කිරීමට පටන් ගත්තා. සියලු බලවේග මර්දනය කිරීමට පටන් ගත්තා. පොලීසි, හමුදාවට අමතරව වෘත්තීය සමිතිවලින් මැර කණ්ඩායම් හැදුවා. පත්තරවල ඒ මැර කණ්ඩායම් ‘තග් සංස්ථාව’ ලෙස හැඳින් වූවා. විශාල ලෙස ජනතාව පීඩාවට පත් කළා. 1980 ජූලි වර්ජනයට කලින් සෝමපාල නමැති කම්කරුවා ඝාතනය කළා. 80 ජූලි වර්ජනයේදී ලක්ෂයකට වැඩි පිරිසක් රැකියාවලින් එළියට දැම්මා. සමහරු දිවි නසා ගත්තා. විශාල කාලයක් රැකියා නැතිව සිටියා. ඒ ඉතිහාසය කිසිවෙක් කතා කරන්නේ නැහැ. එයින් නතර වුණේ නැහැ. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී මැර ඇමතිවරු යාපනයේ ඡන්ද පෙට්ටි සොරකම් කරලා ගිනි තිබ්බා. පුස්තකාලය ගිනි තැබුවා. උතුරේ විරසකයට බලපෑ එක කරුණක් ඒක. රනිල් කියන්නේ ඒ අවදියේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්. ධවල පත්‍රිකාවට එරෙහිව සටන් කළ ශිෂ්‍යන්ට පහර දුන්නා. අයිතිවාසිකම් ඉල්ලූ ජනතාවට පහර දුන්නා. අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහි සටනට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් නිසා එය ක්‍රියාත්මක කරන්න පාලකයන්ට නොහැකි වුණා. ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය සටන නිසා අධ්‍යාපනය රැක ගැනීමට හැකි වුණා.

එතනින් නොනැවතී ආණ්ඩුව විවේචනය කළ බොහෝ දෙනාට පහර දෙන්න පටන් ගත්තා. ‘ධර්මිෂ්ට සමාජයක්’ පොත ලියපු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ට මැරයන් ලවා කාණුවේ දාලා පහර දුන්නා. කාන්තා පෙළපාලියක් යන අවස්ථාවේදී විවියන් ගුණවර්ධන ඇතුළු කාන්තාවන්ට පහර දුන්නා. සමහර නඩු තීන්දු දුන් විනිශ්චයකාරවරුන්ගේ නිවෙස්වලට මැරයන් ලවා ගල් ගැස්සුවා. අධිකරණයට බලපෑම් කළා. ජේ.ආර්. ජයවර්ධනලා නිර්මාණය කළේ මෙවැනි ඉතිහාසයක්. ස්ත්‍රී දූෂණවලට සිරගත වී සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දීලා ඉන් නොනැවතී සාමවිනිසුරුකමත් දුන්නා. මෙවන් ඉතිහාසයකට වගකියන්නේ කවුද? රනිල් එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඔහුත් මේවාට වගකිව යුතුයි.

1982 ජනමත විචාරණයක් ගෙනාවා. 1983 මහ මැතිවරණය පැවැත්වූවා නම්, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට එනවා. ජේ.ආර්.ගේ හයෙන් පහේ බලය අහිමි වෙනවා. ඒක වළක්වන්න ඒ පාර්ලිමේන්තුවම තවත් අවුරුදු හයකට දීර්ඝ කර ගන්න ජනමත විචාරණයක් තිබ්බා. ඒක කොල්ලකාරී ජනමත විචාරණයක්. අපේ නායක රෝහණ විජේවීර සහෝදරයා ඒ ජනමත විචාරණයට එරෙහිව, අධිකරණයේ නඩුවක් දැම්මා. හැමෝම යටපත් කරගෙන වැඩ කළාට ජනතා විමුක්ති පෙරමුණ යට කරන්න බැහැ කියන එක ජේ.ආර්. තේරුම් ගත්තා. 1983 ජේ.ආර්.ලා නිර්මාණය කළ ජූලි ජාතිවාදී කෝලාහල පාවිච්චි කරලා ජනතා විමුක්ති පෙරමුණ, නව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂයත් තහනම් කළා. මාස කිහිපයකට පසුව කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයේ තහනම ඉවත් කළා. ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කළ ව්‍යාපාරයක්. ජනාධිපති ඡන්දයේදී ඡන්දෙ ඉල්ලලා රෝහණ විජේවීර සහෝදරයා පස් දෙනෙකුගෙන් තුන්වෙනියා බවට පත් වුණා. ඡන්දවලට ඉදිරිපත් වූ, ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි, මහජනතාව සංවිධානය කළ දේශපාලන ව්‍යාපාරයක් තහනම් කිරීමට තිබූ හේතුව මොකක්ද? අදටත් එයට හේතුවක් නැහැ. 1983 ජූලි කලබලවලට අපව සම්බන්ධ කළාට අපට නඩුවක් වත් නැහැ. පක්ෂය තහනම් කළා පමණක් නොවෙයි එය දිගින් දිගටම පවත්වාගෙන ගියා. රෝහණ විජේවීර සහෝදරයා, පක්ෂ තහනම ඉවත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා; ජනාධිපති ලේකම්ට ලිව්වා; මානව හිමිකම් සංවිධානයට ලිව්වා. ඒ අවදියේ පක්ෂයේ ලේකම් ලයනල් බෝපගේ සහෝදරයා අත්අඩංගුවට පත් වුණා. නිදහස් වී පැමිණ ජනාධිපති ලේකම් මැණික්දිවෙල හමුවෙලා කිව්වා තහනම ඉවත් කරන්න කියලා. එයට කිසිවෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. ජේ.ආර්.ට මිලදී ගත නොහැකි, යට කරන්න, බය කරන්න බැරි, ඒ අයගේ දේශපාලනට අභියෝගයක් වී අපේ පංතියෙන් නැගුණු මේ ව්‍යාපාරය විනාශ කිරීමේ සැලැස්මක හිටියා. ඒ ඉතිහාසය කිසිවෙක් කතා නොකරන්නේ ඇයි?

1988ක් අහම්බෙන් ආවේ නැහැ. 83 ජනතා විමුක්ති පෙරමුණ ආයුධ ගත්තාද? 84, 85, 86, 87 ආයුධ ගත්තද? නැහැ. අපි දිගටම තහනම ඉවත් කරවා ගන්න උත්සහ කළා. ‘තහනම ඉවත් කරන්න කියා’ මමත් පෝස්ටර් අලවලා තියෙනවා. ඒ පෝස්ටර් ගහපු සහෝදරවරු අල්ලගෙන ගොස් මරා දැමුවා. ඒ ඉතිහාසය ලියා තිබෙනවාද? පරීක්ෂණ තිබෙනවාද? 1987 මැයි දිනය තහනම් කළා. ජනතාව අභයාරාමයට එකතු වුණාම එතෙන්ට වෙඩි තිබ්බා. දෙන්නෙක් මිය ගියා. එපමණක් නොවෙයි, 1987 ගිවිසුම් අත්සන් කොට, ඉන්දියාවට ලංකාව පාවා දුන්නා. එතනදි දේශප්‍රේමී අරගලයක් පටන් ගත්තා. එය සිවිල් යුද්ධයක් දක්වා ගමන් කළා. ඒ සිවිල් යුද්ධය ඇතුලේ තමයි 88-89 ගැන කතා කරන්නේ. 88-89 ජයවර්ධනලා විසින් සැලසුම් සහගතව නිර්මාණය කළ එකක්. එය මඟහැර යාමට ගත් උත්සාහයන් ව්‍යවර්ථ වුණාම එයට මුහුණ දෙන්න සිදුවුණා. “දණින් වැටී ජීවත් වෙනවාට වඩා, දෙපයින් සිට මිය යාම උතුම්” කියලා අපිට විශ්වාසයක් තිබුණා. අදත් අපි දණින් වැටී ජීවත්වීමට සූදානම් නැහැ.

අද දේශපාලනය වෙනස් වෙලා. අපේ ව්‍යාපාරයත් සමග මහා ජනතා ව්‍යාපාරයක් ඒකරාශී වී ඉන්නවා. අද ලෝක දේශපාලනය වෙනස් වෙලා. ජනමාධ්‍ය පුළුල් වෙලා තිබෙනවා. ජනතාව අතරට වේගයෙන් තොරතුරු ගලාගෙන යනවා. ආණ්ඩුවෙ අය එකිනෙකාට නැහැ. දුර්වල වෙලා. ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් මිස මහජන බලයක් නැහැ. එදා කරපු සෙල්ලම් අද කරන්න බැහැ. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ‘කොළ කොටි’, ‘ප්‍රා’ වැනි නිල නොවෙන මැර කණ්ඩායම් හැදුවා. ජනතා විමුක්ති පෙරමුණ අපකීර්තියට පත් කරන්න, පෞද්ගලික පළිගැනීම් සඳහා ඝාතන ගොඩක් කළා. හමුදා පවුල්වල අය ඝාතනය කළේ කුමන්ත්‍රණයක් හැටියට. එදා තාක්ෂණය තිබුණා නම් ඒවා අහුවෙන්න තිබුණා. එක උදාහරණයක් ගත්තොත් ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයාගේ ඝාතනය ගැන එතුමාගේ බිරිඳ සහ දරුවන් තහවුරු කර කිවුවා ආණ්ඩුවත් එක්ක දැනුත් ඉන්න මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් ඝාතනයට හවුල් වුණා කියලා. ප්‍රසිද්ධියේ කීවත් දැනුත් ඒ ගැන පරීක්ෂණයක් කර නැහැ.

මේ ඉතිහාසයේ ගමන ගැන දන්නේ නැතිව රනිල් වික්‍රමසිංහලාගේ, රාජපක්ෂලාගේ ෆේස් බුක්වල ලියන මල්ලිලාට කියන්නේ ඉතිහාසය හරියට කියවා ගන්න කියලා. අපට මිනිස්සු වටිනවා. අපේ ව්‍යාපාරය හදලා තිබෙන්නේ, දැවැන්ත දුෂ්කරතා මැද වැඩ කරන්නේ අපි මිනිස්සුන්ට ආදරය නිසයි. අපි මිනිසුන්ගේ දුක නැතිකරලා සතුටින් තබන්න වැඩකරන ව්‍යාපාරයක්. අපි අද සමරන්නේ තමන්ගේ ජීවිත පැත්තක තියලා පොදු ජනතාවගේ ජීවිතවලට සතුට, වටිනාකම, ලබාදෙන්න ක්‍රියාකළ ව්‍යාපාරයක විරුවන්. ජනතා විමුක්ති පෙරමුණ 1988-89 කාලයේ සිද්ධි ගැන දකින්නේ ඒ විදිහට. රටක් හදන්න තිබුණු දැවැන්ත තරුණ පරම්පරාවක් විනාශ කළ දේශපාලනය පරාජය කර, අපි ඉදිරියට යා යුතුයි. ඒ ඉතිහාසය ඇතුලේ අපි අපේ අඩුපාඩුකම් දැක්කා. පාලක කණ්ඩායම්, රනිල් වික්‍රමසිංහ ඒ ඉතිහාසය ගැන අදටත් මොකුත් කියන්නේ නැහැ. දැන් අපි ඒ ඉතිහාසයෙන් ඉස්සරහට යා යුතුයි. රට මේ වන විට ඉතාමත්ම කණගාටුදායක තත්වයක තියෙන්නේ.

පරණ කරපු බොරුවම පාලකයන් අද ඉදිරිපත් කරන අයවැයෙනුත් සිදුකරමින් තිබෙනවා. ලක්ෂ 15කට රැකියා නැතිවී කර්මාන්තවල නිෂ්පාදනය 27%කින් බිඳ වැටිලා. අද මේ රටේ ආර්ථිකයක් නැහැ. රටේ තිබුණු කර්මාන්ත විකුණමින් කන්න පටන් ගත්ත ක්‍රියාමාර්ගය අද තැපැල් කන්තෝරු විකිණීම දක්වා ඇවිත් තිබෙනවා.

ඉල් සමරුවේ අත්දැකීම් අපි උපයෝගී කර ගන්නේ මානවවාදී දේශපාලනයක යෙදෙමින් සමාජයක් වෙනස් කිරීමටයි. මේ සමාජය වෙනස් කළ හැකි දැවැන්ත මිනිස් බලයක් සහිත, ධෛර්යය සහිත, අත්නොහැර සටන් කරන දේශපාලන ව්‍යාපාරයක් අපි ගොඩනඟා තිබෙනවා. දුෂ්කරතා අභිබවා අරමුණු කරා නොනැවතී යන දේශපාලන ව්‍යාපාරයක් තිබෙනවා නම්, ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. තත්වයන් එක්ක අලුත් වුණු, අලුත් විය හැකි බව ඔප්පු කළ තමන්ගේ හොඳම දේවල් ඉතිරි කර ගනිමින් වෙනස් වෙන එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. ආත්මාර්ථකාමීත්වයෙන් තොර මිනිසෙක් නිර්මාණය කළ හැකි බව අපේ පක්ෂය භාවිතයෙන් ඔප්පු කර තිබෙනවා. පොදු අරමුණක් සහිතව වැඩ කරන පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සිටින බව මහජනතාව පිළිගෙන තිබෙනවා. අවසානයේ ජීවිතත් කැප කළ හැකි, අරමුණු අත්නොහරින ව්‍යාපාරයක් බව ඔප්පු කර තිබෙනවා.

ඒ වගේම අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතුවී අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. දූෂිත, කළු ආර්ථිකයක් ඇතුළේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම, අදූෂිත දේශපාලන නායකත්වයක් නිර්මාණය කිරීම අදූෂිත සාමාජිකයින් නිර්මාණය කිරීම ඉතා අසීරු වැඩක්. අන්න ඒ අමාරුම වැඩේ අපි සිදු කර තිබෙනවා. ජාතික ජන බලවේගයට කැමති වෙන අය කැමති වීමට ප්‍රධානම හේතුව අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වීම බව සමීක්ෂණයකින් පවා හෙළි වී තිබෙනවා. එය සරල දෙයක් නෙවෙයි. දූෂිත නොවී සිටීම විහිළුවක් වූ සමාජයක ඒවා දරාගෙන ආදර්ශ දීම ලෙහෙසි වැඩක් නොවෙයි. හොරකම් කළාම විහිළු නොකරන, හිතවතෙකුගෙන් පරිත්‍යාගයක් ලැබීම විහිළුවට ලක්වුණු සමාජයක අපි අදූෂිත සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. දැන් ඔවුන්ට අපේ අදූෂිත බව අභියෝගයක් වී තිබෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන් දූෂිත නිසා ජේ.වී.පී. එකත් දූෂිතයි කියලා සමාජ මතයක් හදන්න. ඒ වෙනුවෙන් නිර්මාණය කළ ඇතැම් ප්‍රවෘත්තිවලට එරෙහිව අපි ක්‍රියාමාර්ග අරගෙන ඒවා නිර්මාණය කරපු අයට සමාව ගන්නත් සිදුවුණා. විශේෂයෙන්ම අනුර සහෝදරයා ඉලක්ක කරගත් මඩ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. ඔවුන් එකිනෙකා අතර අවලාද බෙදා ගනිමින් මේ ගෙනයන මඩ ව්‍යාපාරයෙන් ලේවලින් බැඳුණු අපේ සහෝදරත්වය බිඳින්න බැහැ. අපේ පක්ෂයේ සිටි වැරදි කළ අයට එරෙහිව අපි පියවර ගත්තා. මේ වගේ අපේ හොඳම ගුණාංගයන් රැකගෙන ඉදිරියට ඇවිත් සිටිනවා. අපේ ජීවිතයේදී එකතු කරගත් හොඳම දේවල් පක්ෂයට එකතු කරමින් පැමිණි ගමනේ මහජන කැමැත්ත මත බලය ගැනීමේ ඉලක්කයට අප ළං වී සිටිනවා.

ඉල්මහ විරු සමරුවේදී ඒ සහෝදර සහෝදරියන් අපට ලබාදී තිබෙන අත්දැකීම්, පරමාදර්ශයන්, සහ ඔවුන්ගේ අරමුණු අනුව වඩා යහපත් සමාජයක් නිර්මාණය කරන්න කැප වෙනවා. සාධාරණ සමාජයක්, යුක්තිගරුක මනුෂ්‍යයෙක්, නිවහල් ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ඉදිරියට ගිය ඔවුන් අතරමඟ මරා දමද්දී අපට වගකීම් බාරගන්න සිදුවුණා. ඉතා නුදුරු දිනයකදී ඔවුන්ගේ බලාපොරොත්තු මේ මහ පොළොවේ මල් ඵල ගන්වන දිනයක් එනවා. එය දූෂිතයන්ට, රනිල් වික්‍රමසිංහලාට, මහින්ද රාජපක්ෂලාට වළක්වන්න බැහැ. අපට තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා. එකතු කළ හැකි, එකතු කළ යුතු පිරිස්, අත්දැකීම්, දැනුම එකතු කරගෙන මහා දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමින්, ගුණයන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමේ වගකීම අපි හැමදෙනාටම තිබෙනවා. අපි මහජනතාවගේ පාලනයක් නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් සුදුසු මහජනතාවක් නිර්මාණය කිරීමට එකාවන්ව සංයමයෙන්, ඉලක්ක සහිතව, බොරුවලවල්වලට පය නොතබා, වඩාත් සටන්කාමීව මේ ගමන යන්න අපි ශක්තිමත් වෙන්න ඕනෑ. රෝහණ සහෝදරයා කිවුවේ මේ යුගයේ ප්‍රබලතම අවිය ‘අදහස්වලින්’ සටන් කිරීමයි කියලා. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා අදහස්වලින්, මතවාදයෙන් පරද්දලා ඉවරයි. දැන් තිබෙන්නේ රාජ්‍ය බලයෙන් පරද්දවන්න. ඒ වෙනුවෙන් ඉල් සමරුවෙන් ගත හැකි වටිනාකම් තිබෙනවා.

අපි ජීවත් වෙන්නේ ඉතාමත් විනාශකාරී නරුම සමාජයක. හැම දේකම මිල දන්නා, වටිනාකම් නොදන්නා සමාජය වෙනස් කර, මේ රට අපට ජීවත් විය හැකි හොඳ රටක් බවට පත්කිරීමේ අරමුණ ජයග්‍රහණය කරන්න ඕනෑ. තිස් හතරවෙනි ඉල්මහ සමරුවේදී අපි හැමදෙනාම අධිෂ්ඨාන කර ගනිමු තිස් පස්වෙනි ඉල්මහ සැමරුම මහජන පාලනයක් තුළ සමරන්න. මගේ කතාව අවසන් කරන්න කලින් රත්න ශ්‍රී විජේසිංහ ලියූ කවි පංතියක් උපුටා දක්වන්න කැමතියි. 1971 අරගලය ගැන ලියූ ඒ කවි පංතිය අදටත් ගැලපෙන ලොකු අර්ථයක් තිබෙන කවියක්.

ඉතිං යහළුවනි මල් පිපුණොත් ගසක

සැකක් නැතිය ඵලයක් හට ගනු නිසැක

සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක

වරෙව් පරාගණයට රොද බැඳ හනික

මේ දුෂ්ට සමාජය වෙනස් කර, වඩා යහපත් සමාජයක් අපේ දෑතින් නිර්මාණය කරන්න හැමදෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා.

Show More