Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

(-Colombo, November 14, 2024-) “උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා” – ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ජනපති කියයි ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය […]

(-Colombo, November 14, 2024-)

President Anura Kumara Dissanayake At Voting Place

“උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා”

– ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ජනපති කියයි

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය .

සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.

President Anura Kumara Dissanayake Speaking To The Media At The Voting Place

ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩ නැඟීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඇති කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

President Anura Kumara Dissanayake Greeting The People At The Voting Place

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බවද මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහා මැතිවරණයට තරග කරනු ලබයි. ආසන 29ක් ජාතික ලැයිස්තුව මඟින් තෝරා පත් කෙරේ.

Show More

“අපේ විනිශ්චයකරුවන් වන්නේ මහජනතාවයි” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-Colombo, November 13, 2024-) අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරට ඉල්මහ විරුවන් සමරන්නයි. අපි මීට ප‍්‍රථම අපේ විරුවන් සමරුවේ, බලය අත්පත් කර ගැනීම සඳහා පොර බදන ව්‍යාපාරයක් ලෙසටයි; බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශයන්, පරිත්‍යාගයන් උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසටයි. අද අපි ඔවුන් සමරන්නේ බලය අත්පත් කර ගත් ව්‍යාපාරයක් ලෙසටයි. […]

(-Colombo, November 13, 2024-)

අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරට ඉල්මහ විරුවන් සමරන්නයි. අපි මීට ප‍්‍රථම අපේ විරුවන් සමරුවේ, බලය අත්පත් කර ගැනීම සඳහා පොර බදන ව්‍යාපාරයක් ලෙසටයි; බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශයන්, පරිත්‍යාගයන් උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසටයි. අද අපි ඔවුන් සමරන්නේ බලය අත්පත් කර ගත් ව්‍යාපාරයක් ලෙසටයි. අද පැරණි අවධියේ අභියෝගයන් සහ අලූත් අවධියේ අභියෝගයන් අතර විශාල වෙනසකට අපිට මුහුණ දීමට සිදුවී තිබෙනවා. එය අපි තේරුම් ගත යුතුව තිබෙනවා.

එදා පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, දේශපාලන බල මණ්ඩලයේ සහෝදරවරු, මධ්‍යම කාරක සභාව ඇතුළු අපට යම් ආහාර වේලක් ලබාදුන් අය පවා ඇතුළත් විශාල පිරිසක් එදා ඝාතනය කරනු ලැබුවා. පාලක පංතිය, ඔවුන් ඝාතනය කිරීම දක්වා වූ කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වීමෙන් සිදුවුණේ පාලක පංතියේ ස්වභාවය, ඔවුන් අප කෙරෙහි දක්වන ප‍්‍රතිවිරෝධී ආකල්පයේ සැබෑ තරම තේරුම් ගත හැකියි.

අපි 1978 වසරේ යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට, ඉතාමත් සාමකාමීව ප‍්‍රවිෂ්ට වූවා. එම වසරේ පැවති අතුරු මැතිවරණවලට තරග කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරද්දී, අපි තරගයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට අපි තරග වැදුණා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මැතිවරණය කල්දැමීම සඳහා වූ ජනමත විචාරණයට එරෙහිව සටන් වැදුණා. මැතිවරණ ක්ෂේත‍්‍රය දෙස බැලූවත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හ`ඩ නඟන, එයට අනුකූලව වැඩ කරපු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කර ගැනීම සඳහා වෙහෙස වූ ව්‍යාපාරයක්. ඊට අමතරව මැතිවරණ පෙරමුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් ශක්තිමත්ව සටන් වැදුණු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් හැටියට කටයුතු කළ පක්ෂයක්. එසේ කටයුතු කරමින් සිටියෙදී 1983 ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද සිදුවීම් උපයෝගී කරගෙන, අපිව තහනම් කළා. ඔවුන් අපව නිශ්චිත හැරවුමක් ලෙසට තහනම් කරනවා. අපව දේශපාලන වශයෙන් තහනම් කිරීමට හේතු වන්නේ කුමක්ද? අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පිට පැන්නාද? අනවශ්‍ය ගැටුම් නිර්මාණය කිරීමට මැදිහත් වුණාද? නැහැ. ඔවුන් අපව තහනම් කිරීමට හේතු වන්නේ අපේ අරමුණුයි. අපි අපේ අරමුණ ජයග‍්‍රහණය කිරීම සඳහා තෝරාගෙන තිබෙන මාවත ඔස්සේ ජයග‍්‍රහණය සඳහා යමින් සිටියා. ඒ නිසා ඔවුන්ට විශාල වුවමනාවක් තිබුණා අපේ අරමුණු පරාජය කරන්න. ඒ අරමුණට ඔවුන් බිය වුණා.

අප විසින් තෝරා ගත යුතු මාවත් දෙකක් තිබුණා. එකක් අරමුණ අත්හැරීම. අනෙක තහනමට යටත්ව අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම. ඉල්මහ විරුවන්ගේ සුවිශේෂී ලක්ෂණයම තමයි, අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබියෙදී, අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරා ගැනීම. අපේ පැරණි සහෝදරවරුන්, විරුවන්, අරමුණු වෙනුවෙන් ඊට අනුරූපී කි‍්‍රයාමාර්ගවල ගමන් කළා. එවිට පාලක පංතියට ඊළඟට අවශ්‍ය වන්නේ කුමක්ද? අරමුණු මරා දමන්න නොහැකි නම්, අරමුණු දරන මිනිසුන් මරා දැමීම ඊළඟ පියවර වුණා. ඒ අවස්ථාවේ සිදු නොවිය යුතු දේ සිදුවුණා. එම සිදුවීම් පිළිබඳ සමාජයෙක් නොයෙක් සාකච්ඡුාවන් ඉදිරිපත් වුණා. නමුත් මිනිස් ඝාතනවලට හේතු වුණේ ඒ සිදුවීම් නොවෙයි. ඒ වකවානුවේ අප අතින් යම් සිදුවීම් සිදුවී තිබෙනවා නම්, අපව ඝාතනය කොට විනාශ කිරීමට හේතුව එම සිදුවීම් නොවෙයි. ඝාතනය කර විනාශ කිරීමට හේතුව අපේ අරමුණු. ඔවුන් කල්පනා කරන්නේ, අරමුණ පරාජයට පත් කළ හැකි වන්නේ, අරමුණ දරන මිනිසුන් ඝාතනය කොට විනාශ කිරීමෙන් පමණක් බවයි. එය කොයිතරම්ද කියනවා නම්, දේශපාලන ව්‍යාපාරයක මධ්‍ය කවය පමණක් නොව, පරිවාර කවයන් පවා ඝාතනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ඔවුන් අවසානයේදී කියන්නේ ”මැච් එක ඉවරයි” කියලා. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ අරමුණත් අවසන්, අරමුණු දරපු මිනිසුනුත් අවසන් කියන එක.

නැවත අපි 1989න් පස්සේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරනවා. අපට නැවත නැගිටින්න, නැවත මේ ව්‍යාපාරය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්කරන්න, අපට බලපෑම් ඇති කරන්නේ අරමුණුම තමයි. අපට ධෛර්යය දෙන්න, නැගිට්ටවන්නෙ අරමුණු තමයි. මකන්න බැරි, යටකරන්න බැරි අරමුණු අපේ ආධ්‍යාත්මය තුළ තිබෙනවා. නැවත අපිට නැගිටින්න, අපට සංවිධාන ගත වෙන්න නැවත ජයග‍්‍රහණය සඳහා ව්‍යාපාරය මෙහෙයවන්න අපිව පොළඹවන්නේ අරමුණු විසින් ඇති කොට තිබෙන බලපෑමයි. නැවත අපි 94න් පසුව දේශපාලන ගමන් මගට අවතීර්ණ වුණා. අපි පක්ෂයක් ලෙස විශාල හැලහැප්පීම්වලට මුහුණ දුන්නා. පරාජයන්ට මුහුණ දුන්නා. ව්‍යාපාරය ඇතුලේ බෙදීමක් ඇති වුණා. ඒ ඒ මොහොතට අදාළ යැයි ගත් තීන්දු පසුකාලෙක අපට වැරදුණා දැයි මානසික පීඩනයක් ඇති කළා. විශාල හැලහැප්පීම් මධ්‍යයේ අපි ජයග‍්‍රහණය කරා ගමන් කරමින් ආවා. සැප්තැම්බර් මාසෙ 21 අපි ජයග‍්‍රහණය අත්පත් කර ගන්නේ ඒ ගමන් මාවතේ තීරණාත්මක අවස්ථාවේදීයි.

මේ කෙටි ඉතිහාසය ආසන්න වශයෙන් පරිච්ෙඡ්ද හතරක් සලකුණු කරනවා. ඒ, 78 සිට 83 දක්වාත්, 83 සිට 89 දක්වාත්, 94 සිට පසුගිය සැප්තැම්බර් 21 දක්වාත්, සැප්තැම්බර් 21 සිට අනාගතය දක්වාත් වශයෙනුයි. සැප්තැම්බර් 21 සිට අනාගතය දක්වා වන අලූත් පරිච්ඡෙදය අපි ආරම්භ කොට තිබෙනවා. මේ සෑම පරිච්ඡේදයකම අපේ හැඩරුව, අපේ ප‍්‍රකාශනයන් තුළ, උපක‍්‍රමයන් තුළ, වැඩ රටාව තුළ සහ මුහුණ දී තිබෙන අභියෝගයන්හි විශාල වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් තිබුණත් අත්හරින්න බැරි අඛණ්ඩතාවයක් තිබෙනවා. ඒ තමයි අරමුණ. අපි ආරම්භ කර තිබෙන අලූත් පරිච්ඡේදයත් අරමුණු ඉටුකර ගැනීම සඳහා අවස්ථාවක්. ඔවුන් මේ අරමුණට බයයි.

එකක් තමයි දූෂිත, ප‍්‍රභූ තන්ත‍්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම. දෙක තමයි පුරවැසියන්ට නිදහස්ව හිතන්න, කටයුතු කරන්න, නිදහස ලබාදීම ගැන ඔවුන් බයයි. ඔවුන් සෑම විටෙකම කළේ පුරවැසියන් යටත් කොට තබාගෙන සිටීම. දේශපාලකයා තමන් විසින්ම ආරෝපණය කරගෙන පොරවාගෙන සිටින මහා ලෝගුව ගැලවෙනවාට බයයි. අපේ අරමුණුවලට බයයි. දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරනවාට ඔවුන් බයයි. මෙය කොයිතරම්ද කියනවා නම්, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද අයින් කරනකොට එයාලා කියනවා, තමන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් මේ තුළ තියෙනවා කියලා. ඝාතනය වුණොත් වගකියන්න ඔනෑ කියලා. ඔවුන් සෑම වෙලාවෙම බයවෙමින් තිබුණේ අරමුණු හා යහපත් ගුණාංගවලට අපේ සමාජයත්, ජනතාවත් මේ ඉන්න පියවරෙන් අලූත් පියවරකට ඔසවා තැබීම ගැනයි. මේ අවදියෙන් අලූත් අවදියකට ඔසවා තැබීම ඔවුන් බයයි.

ඒ නිසාම පසුගිය මැතිවරණ වේදිකාවේ සිදුවී තිබෙන්නේ කුමක්ද? විවිධ ලකුණු, හැඩහුරු සහිත වේදිකා ගොඩක් තිබුණා. ඒ වේදිකාවල අපේක්ෂාව බවට පත්වී තිබුණේ බලය අත්පත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සාධකය. බලයේ තිබෙනවා විශේෂත්වයක්. බලය විසින් බලය නිර්මාණය කරනවා. බලයකින් බලය ප‍්‍රසාරණය කරනවා. දැන් ඔවුන්ගේ අවශ්‍යතාවය බලය විසින් බලය තහවුරුවීම වැළැක්වීම. අපට පාර්ලිමේන්තුවේ බහුතරය අත්පත් කර ගන්න බැරිවෙනවා නම් එයින් කියන්නේ මොකක්ද? බලයේ දුර්වල බව. බලය යම් කාලයක් ස්ථාවරව පැවතුණහොත්, තවත් බලවත් වෙනවා. එවිට ඔවුන් කල්පනා කරන්නේ බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදීමයි. බලය ලබාගත්තාට පසුව බලය තහවුරු වීමට ඉඩ නොදීමයි.

ඔවුන් පොදු කෝව තුළ සිටියා. කෝව තුළ සිටියාට තීරණාත්මක ලෙස බල කඳවුරු දෙක වෙන්කිරීම සඳහා අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් අපි ආණ්ඩුව කියන බෙදුම් රේඛාව දැමූ විට ඒ අය අනෙක් පැත්තේ එක කවයකට, එක කඳවුරකට එකතු වී සිටිනවා. එය කොතරම් විසංවාදී කඳවුරක්ද බැලිය යුතුයි. එක පැත්තකින් වාමාංශික මුහුණුවරක් ගත් කණ්ඩායම් මෙහි කොටස්කරුවන් බවට පත්වී තිබෙනවා. ලිබරල්වාදී හැඩරුව ගත් කණ්ඩායම් සිටිනවා. ගෝති‍්‍රකවාදී, ජාතිවාදීන්, පැරණි නෂ්ටාවශේෂ කරේ තබාගෙන යන අය, සියලූ දෙනාම නොනිල එකඟතාවයකට ඇවිත් තිබෙනවා. අපේ ආණ්ඩුව නිසා ඔවුන්ට ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපට එරෙහිව එකම කඳවුරකට ගොනු වී සිටිනවා. සංකීර්ණව විසිරී සිටි කඳවුරු, ආණ්ඩුව බිඳ වැට්ටීම සඳහා එකට කටයුතු කළ හැකිද යන උත්සාහයට යොමු වී සිටිනවා.

අපට යළි යළිත් මේ බලය ආරක්ෂා කර දෙන්නේ, ශක්තිමත් කර දෙන්නේ අපේ අරමුණ අත් නොහැර සටන් වදින්න සූදානම් නම් විතරයි. මිය ගිය වීරවරියන්ට වීරවරුන්ට සාධාරණය, යුක්තිය ඉටුකිරීමේදී අන් කවරදාකටත් වැඩියෙන් අපේ අරමුණ ධාරණය කර ගත යුතු වෙනවා. දැන් අපට තිබෙන්නේ අරමුණ ඉටුකර ගැනීම සඳහා පොර බැදීමයි. අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මෙහෙයවීම, අපට අලූත් අදියරකදී තිබෙන අභියෝගයක්. ඒ මෙහෙයවීම අත්පත් කර ගැනීමට ආණ්ඩු බලයක් තිබෙනවා. නමුත් සාර්ථක කර ගැනීම සඳහා, මඟපෙන්වීම සඳහා මෙහෙයවීමට පක්ෂයට විශාල කාර්යභාරයක් තිබෙනවා. බලය ලබාගැනීම අපේ අවසන් අරමුණ නෙමෙයි. අරමුණ යථාර්ථයක් බවට පත්කර ගත යුතුයි. අපේ වගකීම්වල, සමාජයට පෙනී සිටින ආකාරයන් ආදියෙහි හැඩතල වෙනස්කම්වලට භාජනය වී තිබෙනවා. ඒ සියල්ලටම යටින් අරමුණ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක හරයාත්මක ලෙස තිබිය යුතුයි. අපි අලූතින් කල්පනා කළ යුතුව තිබෙනවා.

පළමුව අප පරීක්ෂාවට භාජනය වෙන්නේ අපේ ව්‍යාපාරය තුළයි. අද මහජනතාව අපට ලබාදුන් බලය ඇතුලේ අපි මහජනතාවගේ පරීක්ෂාවට භාජනය වෙනවා. අප කෙරෙහි පූර්ණ විශ්වාසය, අර්ධ විශ්වාසය, ඒ වගේම අප කෙරෙහි පරීක්ෂාකාරී විශ්වාසයක් තිබෙනවා. අපි පරීක්ෂාකාරී විශ්වාසය සමත්විය යුතුයි. අපි හැමවිටම ජනතාවගේ පරීක්ෂාවකට භාජනය වෙමින් ඉන්නවාය කියන මනෝභාවය අප තුළ තිබිය යුතුයි. නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකියි යන මනෝභාවයෙන් කටයුතු කළහොත් අපි පරීක්ෂාවෙන් අසමත් වෙනවා. අපේ විනිශ්චයකරුවන් වන්නේ මහජනතාවයි. එදා අපි ව්‍යාපාරය තුළ පරීක්ෂාවට භාජනය වුණා. අද මහජනතාව ඉදිරියේ පරීක්ෂාවට භජනය වී තිබෙනවා. ව්‍යාපාරය තුළදී සිදුවන අත්වැරැද්දක් ව්‍යාපාරය තුළ සාකච්ඡා කොට විසඳා ගත හැකියි. හැබැයි මහජනතාවගේ පරීක්ෂාවෙන් අසමත් වීම තුළ අපේ අරමුණු අසමත් වීමට භාජනය වෙනවා.

අපි අභියෝගයට ලක්වුණු සෑම අවස්ථාවකම අපේ අරමුණුවලට හානියක් නොවී ආධ්‍යාත්මිකව පවත්වා ගනිමින් මේ දක්වා ආවා. අපි හැමදෙනාම ඊට අනුරූප වන පරිදි වගකීම් වෙනස් කර ගත යුතුයි. මහජනයා පසෙක තබා බලය ඉත්තෙක් ලෙස පරිහරණය කරන්න පටන් ගතහොත් අපේ අරමුණු දියවී යනවා. මේ අලූත් තත්වයට අනුරූපී වන පරිදි වළක්වා ගැනීම කළ යුතුයි; වෙනස් විය යුතුයි. අපි හැම කෙනාම බලය විසින් ඇතිකර තිබෙන සීමා මායිම් පිළිබඳ තිර අධිෂ්ඨානයකට එන්න ඕනෑ. බලය අපේ අරමුණු කරා මෙහෙයවීමට තිබෙන මෙවලමක්ය යන සාධක අත්හැර කි‍්‍රයාත්මක වෙන්න පටන් ගත හොත් අපේ අරමුණු වෙනස් වෙනවා. දැන් අපි ”අලූත් ඇඳුම් ඇඳ ගැනීමට කාලය උදාවී ඇත”.

මේ ඉල්මහ විරු සමරුවේදී අපේ පැරණි සහෝදරවරුන්ට සහෝදරියන්ට කරන සාධාරණත්වයෙන් අඩක් නිම කොට තිබෙනවා. අපි ඉතා අසීරුතා, අභියෝගවලදී තීරණාත්මක උපක‍්‍රම තේරුවා. අපි කවුරුත් පොරබදලා ඒ උපක‍්‍රම ආරක්ෂා කරන්න සමත්වෙලා තිබෙනවා. සමහර උපක‍්‍රම ඉතාමත් අවදානම්. ඒ අවදානම් උපක‍්‍රමය එක් අදියරකින් පැන්නා නම්, අපේ ව්‍යාපාරය මෙතන නැහැ. ඒ සියල්ල මගින් අපි ජයග‍්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා.

අපි අන් සෑම අදියරකටම වඩා පරෙස්සම් සහගත විය යුතුයි. ඉතාමත් හොඳින් බලය හැසිරවිය යුතුයි. ගියවර සමුළුවේදී තිබුණු බර මේ සමුළුව වන විට ප‍්‍රමාණාත්මකව අඩක් අවසන් කර තිබෙනවා. අපේ විරුවන්ට සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් බරක් නැති නිදහස් මිනිසුන් ලෙස තව වසර කිහිපයකින් අපට ඉල්මහ සමරුව පැවැත්වීමට හැකි වේවි. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනා එකතු වෙමු.

“අපි ඔබ පවරාගෙන තිබෙන්නේ අපේ ඉතිහාසය අලූතින් ලියන භාරදූර කාර්යයයි”
-ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

අද මේ 35වැනි ඉල්මහ විරු සමරුව පවත්වන්නේ විශේෂත්වයක් තුළයි. මෙතෙක් අපි බලය ලබා ගැනීම සඳහා වෙහෙසෙන, ඒ වෙනුවෙන් සටන් කරන, කැපකිරීම් කරන පරම්පරාවක් හැටියට ඉල්මහ සැමරුම කළා. අද අපි ඉතිහාසයේ පළමුවැනි වතාවට මේ රටේ බලය පොදු ජනතාව අතට පත්වී ඇති මොහොතක ඉල්මහ සැමරුම පවත්වන්නේ, බලය තහවුරු කර ගනිමින් මේ රට ගොඩනැගීමට වෙර දරන පරම්පරාවක් හැටියටයි. ගිය අවුරුද්දේ ඉල්මහ සමරුව සමරද්දී අපි, ඊළඟ සමුළුව පවත්වන්නේ අපේ රජයක් යටතේදී බව කිවුවා. අපට එය ඉටුකර ගැනීමට අද හැකිවෙලා තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලබාගෙන මැතිවරණ පවත්වමින් යන වෙලාවක අපට නිරන්තරයෙන් සිහිවෙන්නේ අපේ මියගිය සහෝදරවරු, සටන් කළ, දිවි පිදූ අය හිටියා නම් හොඳයි කියලා. අපි මේ සමරන්නේ මීට අවුරුදු 35කට කලින් අපෙන් උදුරාගත් අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, හිටපු ප‍්‍රධාන ලේකම් ගමනායක සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් විශාල ප‍්‍රමාණයකගේ දිවිපිදීම, කැපවීමයි. ඔවුන් මේ ජයග‍්‍රහණයන් දැකීමට හිටියානම් කියන හැඟීම අනිවාර්යයෙන් එනවා.

කාල් මාක්ස් මිය ගිය වෙලාවේ, ඔහුගේ සොහොන අසළදී එංගල්ස් කථා කරමින් කිවුවා, ”මේ දර්ශනය දැක බලා ගැනීමට මාක්ස් මා ළඟ සිටියා නම්” කියලා. ඒ වෙලාව ලෝකයේම කම්කරු පංතිය පැය අටක සේවා දිනයක් ඉල්ලා ජයග‍්‍රහණය ලබමින් සිටි අවස්ථාවයි. අපි ජයග‍්‍රහණය ලබා සිටින මේ අවස්ථාවේ අපේ නිර්මාතෘ, නායකයන්, අනෙකුත් සහෝදර සහෝදරියන් අපි ළඟ සිටියා නම් මේ මොනතරම් උණුසම් මොහොතක් වෙනවා ඇද්ද? අපට පැවරී තිබෙන්නේ ඒ හැඟීම් හදවත තුළ රුවාගෙන අප පවරාගෙන තිබෙන කාර්යයන් ඉටුකරමින් ඉදිරියට යාමයි.

අපි ඔබ මේ පවරාගෙන තිබෙන්නේ අපේ ඉතිහාසය අලූතින් ලියන භාරදූර කාර්යයයි. අපි මේ රටේ විශේෂ පරම්පරාවක් වෙනවා. අපි අපේ රටේ දේශපාලනයේ ආර්ථිකය පිරිහිලා, දුප්පත්කම වැඩිවෙලා, මනුෂ්‍යත්වය පිරිහිලා, විය යුතු සියලූම ව්‍යසනයන් සිදුවුණු, නරකම කාලයක ජීවත් වුණු මිනිසුන්. අපි ජීවත් වුණේ අපේ රටේ පැවැති නව ලිබරල්වාදී ධනේෂ්වර ක‍්‍රමය පිරිහීමට පත්වුණු වෙලාවක, අපරාධ වැඩි වුණු වෙලාවක්, සමාජයක් තුළ පරම්පරාවකට දකින්න සිදුවෙන ඛේදවාචක සියල්ල දකින්න වුණු සමාජයකයි. ඒ පැරණි කුණුගඳ ගහන, ගෝත්‍රික ලක්ෂණ තිබුණු, දූෂිත වලව්කාර, ප‍්‍රභූත්වය අරමුණු කරගත් සමාජය වෙනස් කරලා අලූත් සමාජයක් හදන්න, ඒ වෙනුවට සමානත්වය, සහෝදරත්වය, සමගිය තිබෙන, ආර්ථිකයේ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, තිබෙන, මිනිසුන්ට මිනිසුන් වගේ ජීවත් විය හැකි, එකිනෙකාට ආදරය තිබෙන අලූත් සමාජයක් නිර්මාණය කරන්න අපි පටන් ගෙන තිබෙනවා. යුග දෙකක් එකවර නියෝජනය කරන පරම්පරා දෙකක් ලෙස තමයි අපි අද මේ එකතු වෙලා ඉන්නේ. පැරණි යුගයේ අත්දැකීම්, ආරම්භ කළ යුගය නිර්මාණය කර ගැනීම සඳහා උකහා ගැනීමට පුළුවන්කම තිබෙනවා. අපිට ඉතිහාසය ගොඩනඟනවා වගේම ඉතිහාසය ලියන්නත් සිදුවී තිබෙනවා.

මෑත ඉතිහාසය තුළ අප ගැන 80%ක පමණ ප‍්‍රබන්ධයක් තිබෙනවා. ඒ ප‍්‍රබන්ධය ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණේ අපව සිරකර තැබුවා. ඒ නිසාම අපට සමාජය තුළ තිබුණේ ඉතාම අවාසිදායක තත්වයක්. අපි වාමාංශිකය කියන එක ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප කරවීමට යොදා ගත්තා. ඒ නිසා පැවති දූෂිත ප‍්‍රභූ පාලනය තුළ, අධිපති පාලනය තුළ ඒගොල්ලන්ගේ මතවාදයක් නිර්මාණය කරලා, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රගතිශීලී බලවේගවලට සමාජයේ හිමිවිය යුතු තැන නැතිකරමින් සිටියා. අපි පිළිබඳව මිථ්‍යාවලින් පිරුණු, අසත්‍යයෙන් පිරුණු ඉතිහාසයක් ලියුවා. ඒ ඉතිහාසය තුළ තවමත් අසත්‍ය කරුණු මතක් කරමින් යන්නේ පාලක පංතිය පමණක් නොවෙයි. අපේ ඉතිහාසයට පිටුපාපු, එයින් කැඞී වෙන්වුණු අයත් ජනතා විමුක්ති පෙරමුණට මඩ ගැසීම අරමුණු කරගෙන තිබෙනවා. ඔවුන් ඉතිහාසය විකෘති කරමින් ඉන්නවා.

ඔවුන් කියන 88 – 89 භීෂණයක් තිබුණේ නැහැ. 1977 – 1990 දක්වා කාලය තුළ තමයි අපට භීෂණයක් සිදු වුණේ. ජේ.ආර්. ජයවර්ධන පාලනයේදී භීෂණයට ලක්වුණු අය තමයි අපි. ඒකෙ වින්දිතයන් අපි. වගකිවයුත්තන් තමයි එවකට එක්සත් ජාතික පක්ෂ පාලකයන්. මේ විශාල කාලපරිච්ඡේදය තුළ, ඒ භීෂණයට වගකිව යුතු, එය නිර්මාණය කළ අය නිර්දෝෂීන් බවට පත්වෙලා, අපට තිබෙන්නේ ඒකට ගොදුරු වුණු අය, එකට ප‍්‍රතිචාර දැක්වූ අය වැරදිකරුවන් බවට පත්වූ ඉතිහාසයක්. අපි පසුගිය ඉතිහාසය තුළ අරමුණු වෙනුවෙන්, සමාජයට කිසියම් දෙයක් ලබා දීම වෙනුවෙන්, අපි සටන් කොට තිබෙනවා. සන්නද්ධ පැත්තෙන් ගත්තත් ධනපති පංතියෙන් එන මර්දනයට එරෙහිව ප‍්‍රතිකි‍්‍රයා දැක්වීමක් තමයි කර තිබෙන්නේ. ඒ ඉතිහාසයේ සිදුවුණේ මොකක්ද යන්න අවබෝධ කර ගැනීමට අධ්‍යයනයක් කිරීම අවශ්‍ය වෙනවා. මෑත කාලයේදිත් සමහර පුද්ගලයන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මහජන මතය වෙනස් කිරීමේ අරමුණු සහිතව විවිධ සිද්ධි ඇසින් දුටු බව කියනවා. උදාහරණයක් ලෙස රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතනය ඇසින් දුටු බව කියන අය ඉන්නවා. ඉතිහාසය විකෘති කර තිබෙන්නේ පාලක පංතිය විසින් පමණක් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණෙන් පලා ගිය, එළවා දැමූ අපට ද්‍රෝහීකම් කළ අයත් අපට එරෙහිව විටින් විට ඉතිහාසය විකෘති කර තිබෙනවා.

ඒ නිසා අපිට ඉදිරි කාලයේ ලොකු කාර්යභාරයක් පැවරී තිබෙනවා, මේ නොලියූ ඉතිහාසය නැවත එකතු කරන්න, නැවත ලියන්න. අපේ රටේ අනාගත පරපුරට ගෙවුණු ඉතිහාසයේ සැබෑ කතාව උගන්වන්න ඕනෑකම තිබෙනවා. අපේ මියගිය සහෝදරවරු, ඉල්මහ විරුවන්, ඔවුන්ට හිමි සැබෑ තැන හිමිකර දෙන්න වුවමනාව තිබෙනවා. අපි ඉල්මහ සමරුව පැවැත්වූයේ ඔවුන් සිහිපත් කර, ඒ අත්දැකීම් තුළින් ශක්තිය ලබාගැනීමක් හැටියටයි. ඉල්මහ සැමරුමේදී අපට සිහිපත් වෙන කරුණු ගණනාවක් තිබෙනවා. අරමුණු වෙනුවෙන් කැපවීම, පරිත්‍යාගය, විශ්වාසය, අධිෂ්ඨානය, පවත්වාගෙන ගිය දේශපාලන සංස්කෘතිය, ඔවුන් තුළ තිබූ ගුණාංග අපි නිරන්තරයෙන් කතාකොට තිබෙනවා. වෙනස් විය යුතු තැන් වෙනස් කර ගැනීම පිළිබඳ කතාකොට තිබෙනවා. ලෝකයේ තත්වයන් වෙනස් වෙද්දී ඒකට අනුව තම අරමුණු අත්නොහැර, වෙනස්වීමට අසමත් නම්, එවැනි ව්‍යාපාරයක් පවතින්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ අඩුපාඩුකම් තිබියෙදී වුවත් තත්වය වෙනස් වෙද්දී එයට අනුව වෙනස් වෙන්න, සමත්වෙලා තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගෙන, ඝාතනය කිරීමට ටිකකට කලින් ආණ්ඩුව ඔහුගෙන් ප‍්‍රකාශයක් ගන්නවා. එය පසුව රූපවාහිනියෙන් විකාශය කරනවා. එයින් ”දැන් සියල්ල සතුරා දන්නවා. ඒ නිසා වෙනස් වෙන්න” කියලා එදා කිවුවා. ”කම්කරුවන් රැකියාවට යන්න, ඉගෙන ගන්න ළමයි ඉස්කෝලේ යන්න, සියල්ල වෙනස් කොට අලූතෙන් පටන් ගන්න”. රෝහණ සහෝදරයා සමුගත්තේ අන්තිම මොහොතෙත් අපට පණිවිඩයක් දීලා. සමහර අයට ඒ වෙනස තේරුම් ගන්න බැරි වුණා. අපි ඒ වෙනස තේරුම් ගත්තා. ඒ නිසා 1994 වෙන විට අපිට නැවත අපට ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කර ගන්න පුළුවන් වුණා. විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් අපි ආවා. මේ වන විට පොදු ජනතාවගේ කැමැත්තෙන් බලය ලබාගැනීමට හැකි වී තිබෙනවා.

අද අප ඉදිරියේ ඔවුන්ගේ අරමුණු ජයග‍්‍රහණය කරා ගෙන යන්නේ කෙසේද යන අභියෝගය තිබෙනවා. ඔවුන් සටන් වැදුණේ පුද්ගලික අරමුණක් වෙනුවෙන් නොවෙයි; පොදු අරමුණක් ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන්. පොදු අරමුණක් වෙනුවෙන් සියල්ල කැපකිරීමේ ගුණය ඔවුන් ළඟ තිබුණා. ඉල්මහ විරුවන් සමරන්න වටින්නෙත් ඒ නිසාමයි. ඒ නිකම්ම නිකම් මිනිසුන් නොවෙයි; ඒ යුගයේ බිහිවුණු විශේෂිත පුද්ගලයන්. එහෙම අය ලෝකයේ අඩුයි. අපි ඔවුන්ගේ සෙවණේ, ඔවුන්ගේ ආදර්ශයෙන් හැදුණු අය. ඒ නිසා අපි පැරදී සිටියෙදී වත්, ජයග‍්‍රහණය ලැබූ මොහොතේදී වත් ඔවුන් තුළ තිබූ අරමුණු අමතක කරන්න අපට අයිතියක් නැහැ.

මේ ව්‍යාපාරය ගොඩනඟන්න අපේ සහෝදර සහෝදරියන් විශාල දුකක් වින්දා. ඒ දුක් කන්දරා අපට අද නැහැ. දේශපාලන ව්‍යාපාරයක් හදන්න කිසිවක් නොතිබියදී, ඒ සඳහා අවස්ථාව නිර්මාණය වුණාම, ඒ තත්වයන් හරියට හඳුනාගෙන නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔවුන් සමත් වුණා. එයින් හරියටම අවස්ථාවන් තේරුම් ගැනීම වැදගත් බව අපට පෙන්වා දී තිබෙනවා. අවස්ථා තේරුම් ගෙන කි‍්‍රයාවට නඟන්නේ නැත්නම් ඒ අවස්ථා මගහැරී යනවා. ඒක අපට ඉගැන්නුවේ රෝහණ විජේවීර සහෝදරයායි. 1965 දේශපාලන ව්‍යාපාරයක් හදන්න තත්වයක් නිර්මාණය වුණාම, එවැනි ව්‍යාපාරයක් ගොඩනඟන්න පටන් ගත්තා. අතේ කිසිවක් තිබුණේ නැහැ. රැකියාවක් කළේ නැහැ. ලෝකයේ, සමාජයේ කවුරුත් ඔහුව දන්නේ නැහැ. අධ්‍යාපනය අතහැර ආව ශිෂ්‍යයෙක්. එසේ තිබියෙදීත් පැවති තත්වය තුළ ව්‍යාපාරයක් ගොඩනැගීමට ඔහුට ලොකු අධිෂ්ඨානයක් තිබුණා. පූර්ණ කාලීනයෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. කෙනෙකුට දරා ගන්න බැරි ප‍්‍රමාණයේ වෙහෙසක් දරන්න, පීඩාවක් දරන්න සිදුවුණා. අරමුණ වෙනුවෙන් ඔහුත්, ඒ සමග සිටි කිහිපදෙනාත් සියල්ල දරා ගත්තා. බස් එකේ යන්න මුදල් නැති වෙලාවට සැතපුම් ගණන් පයින් ගියා. කන්න නැතිව බඩගින්නේ සිටි අවස්ථා අපි අසා තිබෙනවා. පක්ෂයේ වැඩ කරගෙන යාමට අවශ්‍ය මුදල් නැති නිසා තිස්සමහාරාම බස් නැවතුම්පොළේ මුට්ට කර ගසා තිබෙනවා. එවැනි ව්‍යාපාරයක් ගොඩනගන්න එතරම් කැපකිරීම් කළ නායකයෙකු ගැන අපි අසා නැහැ. අඳින්න ඇඳුම් ගොඩක් තිබුණේ නැහැ. එදා යථාර්ථයට ඔහු එසේ මුහුණ දුන්නා. සමාජයෙන් උදව් නැති වෙලාවක, සමාජයෙන් කීර්තිය නොමැති අවස්ථාවක, සමාජයෙන් ප‍්‍රතික්ෂේප කරද්දී, ඔවුන් වැඩ කළා. සමාජයට හොඳ දෙයක් කර දෙන්න උත්සාහ කරන අවස්ථාවන්වල සමාජය අපිව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ ප‍්‍රතික්ෂේප කරද්දිත් ඒ ජනතාව වෙනුවෙන් වැඩකරන එක අමාරු දෙයක්. එසේ කිරීමට හැක්කේ විශේෂ පුද්ගලයෙකුට විතරයි. ඒ අයට අපි විප්ලවවාදීන් කියනවා. ඔවුන් ඒ කාර්යයන් කරගෙන නොසැලී ඉස්සරහට ආවා.

එවන් කාලයක් පසුකර ගෙන ඇවිත් දැන් අපට ජයග‍්‍රහණයන් දැන් තිබෙනවා. අපි ප‍්‍රසිද්ධයි. මිනිස්සු ආදරෙයි. අපට මේ ජයග‍්‍රහණයන් ලබා ගත හැකි වුණේ ඉල්මහ විරුවන්ගේ ආදර්ශයන් අපි රැකගත්ත නිසා. සමහර ආදර්ශයන් පවතින තත්වයන් විසින් අපට අත්හරින්න බල කරනවා. ඒ ආදර්ශයන් නැතිව වැඩ කිරීම ලෙහෙසියි වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ අමාරුකම් මැද්දේ සමහර ආදර්ශයන් ආරක්ෂා කර ගන්නා එක දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා වැදගත්. ඒ ආදර්ශයන් අලූත් සමාජයක් ගොඩනඟන්න වුවමනා වෙනවා. අපේ පූර්ණකාලීන සහෝදරවරු රැකියාවක් නොකර හිතවතුන්ගෙන් ජීවත් වීම, හාස්‍යයට ලක්කරපු තත්වයක් සමාජය තුළ තිබුණා. ඒ හාස්‍යයට ලක්කිරීම නිසා අපි අපේ අරමුණු වෙනස් කිරීමට ගියේ නැහැ. අපි අදත් ඒ අරමුණේ ඉන්නවා. අපේ රට වෙනස් කරන්න නම් එවැනි විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කරන්න පරම්පරාවක් ඉන්න ඕනෑ. එහෙම නැතිව මෙය වෙනස් කළ නොහැකි බව අපි විශ්වාස කරනවා.

1965 සිට නිර්මාණය වුණු ඒ ඉතා වටිනා ගුණාංග ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. නොගැලපෙන ඒවා අයින් කළ යුතුව තිබෙනවා. පැරණි සමාජය ඒ ගුණාංගත් සමග ගැටෙනවා. අපට උගන්වපු ගුණාංගයක් තිබෙනවා, ආත්මාර්ථකාමී වෙන්න එපා, හැමවිටෙකම පරාර්ථකාමී වෙන්න කියලා. ඒ ගුණාංගය මේ සමාජය සමග නිතර ගැටෙනවා. ආත්මාර්ථකාමී සමාජයක් ඇතුලේ ආත්මාර්ථකාමී නොවෙන සමාජයක් ඇති කිරීමට ගිය විට ලොකු ගැටුමක් ඇති වෙනවා. එයින් අපව දුර්මුඛ කළ හැකියි. එහෙම එකක් එද්දිත් එයට යට නොවී ඒය දරාගෙන හොඳ ගුණය ආරක්ෂා කර ගත්තොත් කිසියම් වෙලාවක ඒ හොඳ ගුණය සමාජගත වෙනවා. අපේ ව්‍යාපාරය තුළ තිබෙනවා කැපකිරීම් සහ පරිත්‍යාග. මේ සමාජය තුළ තිබෙන්නේ මිලක් හෝ නැවත ප‍්‍රතිඵලයක් බලාගෙන කරන දේවල්. නමුත් අපි වැඩකරන්නේ අපට පුද්ගලික ප‍්‍රතිඵල බලාගෙන නොවෙයි. ප‍්‍රතිඵල ලැබෙන්නේ සමාජයටයි. ඒ නිසා අපි කරන කැපකිරීම යම් වෙලාවක සමාජය ප‍්‍රශ්න කරනවා. එහෙම තිබෙද්දිත් ඒ ගුණය රකින්න, අපි සමත් වෙන්න ඕනෑ. ඒ ගුණය සමාජගත කරන්න අපි සමත් වෙන්න ඕනෑ. අපට එවැනි ගුණාංග රැකගන්න පුළුවන් වුණා. දැන් ඒවා පිළිගනිමින් තිබෙනවා. අපට ඒවා රැක ගන්න හැකි වුණේ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු මියගිය සහෝදරවරුන්ගෙන් ලබාගත් ආදර්ශය නිසයි.

අපි ඉස්සරහා තිබෙන්නේ අලූත් තත්වයක්. පැරණි සමාජය වෙනස් කරලා අලූත් සමාජයක් අපිට හදන්න තිබෙනවා. අලූත් ආර්ථිකයක් හදන්න ඕනෑ. අලූත් මිනිහෙක් හදන්න ඕනෑ. අලූත් මිනිහෙක් මෙන්ම අලූත් ආර්ථිකයක් හැදීම ගමන් කරන්නේ එකට. මේ දෙකට වෙන වෙනම ගමනක් නැහැ, එකට හැදෙන්න ඕනෑ. ආර්ථිකයක් හදන්න විද්‍යාත්මක සැලසුම් තිබෙනවා. අලූත් මිනිහෙක් හදන කොට කලින් සැලසුම්වලින් හදන්න බැහැ. අධ්‍යාපනය, ම`ගපෙන්වීම, ආදර්ශයන් අවශ්‍ය වෙනවා. මේ සමාජය තුළ පැරණි සමාජයේ සිටි මනුෂ්‍යයා වෙනුවට අලූත් මනුෂ්‍යයෙක් හදන්න ඕනෑ. අලූත් මානව පරම්පරාවක් නිර්මාණය කරන්න ඕනෑ. ඒක කරන්න නම් බලය හොබවන අය ඒ ආදර්ශය දිය යුතුව තිබෙන බවට විශ්වාස කරනවා.

අපි බලය ගෙන මාස එක හමාරක් තුළ පිළිගැනීමකට ලක්වෙලා තිබෙනවා. අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන බවට ඇගයීමක් සමාජය තුළ ඇතිවී තිබෙනවා. වරප‍්‍රසාද පාවිච්චි නොකරන, ජනතාවට වඩා උඩින් ඉන්න උත්සාහ නොකරන, බලය ගැනීමට පෙර තිබුණු කැපකිරීම, නිහතමානීකම බලය ගත්තාට පසුවත් පවත්වාගෙන යනවා කියන හැඟීම ජනතාව තුළ ඇතිවී තිබෙනවා. ඒ ජයග‍්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යා යුතුව තිබෙනවා. අපි රටක් හදන්න ඕනෑ. සමාජයක් නිර්මාණය කරන්න ඕනෑ. අපි පක්ෂයක් හදද්දී අනුගමනය කරපු, රැකපු, ආරක්ෂා කරපු ඒ ගුණාංග සියල්ලම සමාජයක් හැදීමේදීත් අපට ඉතා අවශ්‍යයි. මේ සමාජය වෙනස් කිරීමේදී කරන බලපෑමත් එක්ක එම ගුණාංග එකින් එක ලිහී යන්න පටන් ගත්තොත් අපට අලූත් සමාජයක් හැදීමට නොහැකි වෙනවා. එහෙම වුණොතින් අනතුරක් තිබෙනවා. මේ සමාජය වෙනස් කිරීමෙන් මිස සමාජයට ඕන විදිහට හැසිරෙන අය නොවෙයි කියන අධිෂ්ඨානයෙන් අපි ඉන්න ඕනෑ.

ඉතිහාසය අලූතෙන් ලියන අය විදිහට අපි අලූත් සමාජයක් හදන්න පටන් ගෙන තිබෙනවා. බලයේ සිටි අයගේ ගුණාංග අප තුළට රිංගවීමට ගන්නා උත්සාහයන් පරාජය කරමින් අප තුළ තිබෙන ගුණාංග සමාජයේ ගුණාංග බවට පත්කරන්න අරමුණු කර ගත්ත, පරෙස්සමෙන් හා ඉවසීමෙන් කරන දේශපාලන මැදිහත් වීමත් මතවාදී මැදිහත් වීමත් ආර්ථික මැදිහත් වීමත් අපට අවශ්‍යයි. අපට ජයග‍්‍රහණ අත්පත් කර ගත හැක්කේ එහෙම වුණොත් පමණයි. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට, විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනඟලා, නවකයන් එක්ක ගමනක් ආරම්භ කළා. 1965 පටන් ගත් දේශපාලන ව්‍යාපාරය පියවරෙන් පියවර තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිත් තිබෙනවා. ජනතාවගේ කැමැත්තෙන් බලය ලබා ගන්න අපි සමත් වෙලා තිබෙනවා. ඒ වගේම විවිධ හැකියාවන් තිබෙන, විවිධ විෂයයන්ගේ ප‍්‍රාඥයන් එක අරමුණක් කරා යොමු කරවා ගන්න අපි සමත් වුණා. අපේ ආදර්ශයන් මත පිහිටා සිටිමින්, පැරණි සහෝදරවරුන් ජීවමාන සාක්ෂි බවට පත්කර ගනිමින්, හැමදාම අපේ හෘද සාක්ෂි ප‍්‍රශ්න කරන අය බවට පත්කර ගනිමින්, හොඳම හොඳ ගුණාංග, මානවවාදී ගුණාංග වෙනස් නොකර සමාජයේ යහපත සඳහා යොදා ගනිමින් මේ ගමන යමු.

අපේ ජයගත‍්‍රහණයන්ගේ රහස තිබෙන්නේ අපි මෙතෙක් රැකගෙන ආ අපේ අරමුණු සහ අපේ ගුණාංග, සාමූහිකත්වය, සහෝදරත්වය, සමගිය, කැපකිරීම, පරිත්‍යාගය, සමාජයෙන් කිසිවක් බලාපොරොත්තු නොවී වැඩකිරීම වැනි හොඳ ක්‍රියාවන් එදාට වඩා ඉදිරි කාලයේදී අපට ඕනෑ වෙනවා. අපි ආණ්ඩුවක් කිරීම පක්ෂයක් හදනවාට වඩා සංකීර්ණයි. එසේ වුවත් පක්ෂයක් හදද්දී අප පාවිච්චි කළ හොඳ ගුණාංග රටක් හැදීමේදීත් අවශ්‍ය වෙනවා. ආණ්ඩු බලය ගත්තාට පක්ෂ සංවිධානය අහෝසි වෙන්නේ නැහැ. පෙරටත් වඩා හොඳින් තිබෙන්න ඕනෑ. සංවිධාන ගුණාංගවලින් මෙන්ම ඒවා රැකෙන්න ඕනෑ. සංවිධාන ප‍්‍රතිපත්ති රැකෙන්න ඕනෑ. අපිට ඕනෑම අභියෝගයක් ජය ගත හැක්කේ එවිටයි. සතුරන් පරදන්න හැකි වුණේ සංවිධාන ශක්තියෙනුයි. එයත් අපට රෝහණ විජේවීර සහෝදරයා දුන් ආදර්ශයක්.

35වන ඉල්මහ සමරුවේදී ඉතිහාසයේ පළමුවැනි වතාවට සතුටු සිතින්, යමක් දිනපු මිනිසුන් හැටියට ඉල්මහ සමරුවට එකතු වෙන්න හැකිවෙලා තිබෙනවා. මේ ජයග‍්‍රාහී සතුට සැබෑ සතුටක් කර ගන්න නම්, ආරම්භ කළ කාර්යය දිනවන්න ඕනෑ. සතුරන්ට අවස්ථාවක් නොදී ගොඩනඟන්න ඕනෑ. ජනතාවගේ සතුරා අතට බලයට පත්වීමට ඉඩකඩ නොතබා ජනතාවගේ සහයෝගයෙන් මේ පාලනය ඉස්සරහට ගෙන යන්න ඕනෑ. ජනතාවට පොරොන්දු වුණු ”පොහොසත් රටත් ලස්සන ජීවිතයත්” ලබා දෙන්න ඕනෑ. යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක් ජනතාවට ලබා දෙන්න ඕනෑ. එය නිර්මාණය කිරීමට අවශ්‍ය බලය අපි ලබාගෙන තිබෙනවා. ඒ බලය තුළ වඩාත් විචක්ෂණශීලී මිනිසුන් හාටියට වඩාත් නම්‍යශීලී මිනිසුන් හැටියට මානවවාදී ගුණාංග හිතේ දරා ගත් මිනිසුන් හැටියට මේ ගමන සාමූහිකව ගමන් කළොත් මේ ගමන යා හැකිව තිබෙනවා.

අපි මොන කාර්යය කළත් තනතුරු නොලැබුණත් කොතන සිටියත් වගකීම පොදුයි; වගකීම එකයි. ඒ තමයි මේ ලද අවස්ථාව පාවිච්චි කරලා අලූත් සමාජයක් හදන එක. 1965 සිට අපේ සහෝදරවරුන් ඒ අලූත් රට නිර්මාණය කරන්න අපි හැමදොම ධෛර්යයෙන් අත්වැල් බැඳගෙන, විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණවලට ගොදුරු නොවී, ඉදිරියට යා යුතුව තිබෙනවා. සතුරා කුමන අවලාද නැගුවත් නිවැරදි දිශානතියට ගමන් කිරීමට අපට හැකි වී තිබෙනවා. සියලූ බලවේග එකතු කරගනිමින් බලයක් නිර්මාණය කර ගනිමින් සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක් ගොඩනඟන්න පටන් ගෙන තිබෙනවා. ඉල්මහේ විරුවන්ට කළ හැකි එකම උපහාරය ඔවුන් පැතූ ලෝකය අපේ දෑතින් ඉදිකිරීම කියලා අපි අදත් කියනවා. මේ වෙනුවෙන් දිවිපිදූ සහෝදරවරු, ඒ වගේම කැපවුණු සහෝදරවරු බොහොමයක් ඉන්නවා. ඒ සියලූ දෙනා කැපවුණු, කළ කිසිවක් අපතේ ගිහින් නැහැ. අපේ සහෝදරවරු දිවි පුදා නිර්මාණය කරපු ව්‍යාපාරයේ අරමුණු අත්හැරියේ නැහැ; පාවා දුන්නේ නැහැ, දුෂ්කරතා මධ්‍යයේ අරමුණු ජයග‍්‍රහණය කරවීමේ දැවැන්ත කඩඉමකට එන්න හැකියාව ලැබී තිබෙනවා. දිවිපුදන අවස්ථාවේදී ඔවුන් ප‍්‍රාර්ථනා කළ ලෝකය ගොඩනැගෙන්න පටන් ගෙන තිබෙනවා. අපි අපේ පරම්පරාවේදී එම සමාජය ගොඩනැගීම අවසන් කරන බවට සපථ කරනවා.

Show More

“ජාතික ජනබලවේග ආණ්ඩුවේ හයිය රදා පවතින්නේ ජනතාව තබන විශ්වාසය මතයි2024දී රට පරිවර්තනය කිරීමට ලැබුණු අවස්ථාව ජයග්‍රහණයකින් තොරව අවසන් කරන්නේ නැහැ”-ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-රට හදන අපි එකට මාලිමාවට – කොළඹ දිස්ත්‍රික් විජයග්‍රාහී ජනරැලිය-) අද මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩවල අවසන් දිනයයි. මේක දිනන්නම ඕන ඡන්දයක්. මේ දිනන මැතිවරණය අනෙක් අයට ඇඬෙන්න දිනන්න ඕන. පහුගිය සැප්තැම්බර් මාසේ 21 වැනිදා මේ රටේ සිදුවුණේ සාමාන්‍ය දේශපාලන බරපෙරළියක් නොවෙයි. දූෂිත ප්‍රභූ පැලැන්තියෙන් පොදු ජනතාව අතට බලය හුවමාරු වීම සිදුවුණා. එයාලා හැමදාම කල්පනා කළේ […]

(-රට හදන අපි එකට මාලිමාවට – කොළඹ දිස්ත්‍රික් විජයග්‍රාහී ජනරැලිය-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Colombo

අද මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩවල අවසන් දිනයයි. මේක දිනන්නම ඕන ඡන්දයක්. මේ දිනන මැතිවරණය අනෙක් අයට ඇඬෙන්න දිනන්න ඕන. පහුගිය සැප්තැම්බර් මාසේ 21 වැනිදා මේ රටේ සිදුවුණේ සාමාන්‍ය දේශපාලන බරපෙරළියක් නොවෙයි. දූෂිත ප්‍රභූ පැලැන්තියෙන් පොදු ජනතාව අතට බලය හුවමාරු වීම සිදුවුණා. එයාලා හැමදාම කල්පනා කළේ ඒ පවුල් අතරම බලය රඳවා ගැනීමටයි. පහුගිය ජනාධිපතිවරණයදීත් එයාලා හිතුවේ එයාලගේ පවුලේ කාට හරි බලය යයි කියලා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එම කණ්ඩායම් දිහා බැලුවිට ඒක පේනවා. එක් කෙනෙක් ජනාධිපති මාමාගේ බෑනා, තව කෙනෙක්ගෙ තාත්තයි බාප්පයි ජනාධිපති පුතා ජනාධිපති වෙන්න උත්සාහ කළා. තව කෙනෙක්ගේ තාත්තා ජනාධිපති පුතා ජනාධිපති වෙන්න බැලූවා. නමුත් සිද්ධ වුණේ පළමු වතාවට දූෂිත ප්‍රභූ තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට බලය මාරුවෙන එකයි.

එයාලා එයාලගේ ජීවිත කාලේ ඇතුළත මෙවැනි බල හුවමාරුවක් වේ යැයි හිතුවේ නැහැ. ඒ අයගේ පවුල් අතේ බලය කේන්ද්‍ර කරගෙන ඉන්න පුළුවන් කියලා තමයි ඒ අය හිතුවේ. ඒ නිසා මේ ඡන්ද ප්‍රතිඵලය ඒ අය මානසික ආතතියකට පත් කරල තිබෙනවා.

එයාල දැන් කියන කතා හොඳ සිහියෙන් කියන කතා බව පේන්න නැහැ. ඔවුන්ට පරාජය දරා ගන්නත් බැරි තත්වයක් උදාවෙලා. ඒනිසා මොවුන් කියනවා සති තුනෙන් මාස හයෙන් ආණ්ඩුව වැටෙයි කියලා. ඒ සියල්ලම දුකට කියන කතා. මේ දේශපාලන පරිවර්තනය අපි දශක ගානක් බලාගෙන හිටියා. ඒ නිසාම රට ගොඩනැගීමකින් තොරව මේ ගමන ආපස්සට හරවන්න ඉඩ දෙන්නේ නෑ.

අද උතුරේ ජනතාවත් විශාල බලාපොරොත්තුවක් තබාගෙන අප දිහා බලාගෙන සිටිනවා. උතුර, දකුණ නැගෙනහිර, බටහිර මෙන්ම සියලු ආගම් නියෝජනය කරන ජනතාවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අද වන විට ගොඩනැගී තිබෙනවා. එනිසා මේ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් අප බලාපොරොත්තු වෙනවා.

The Crowd At The Victory Rally Of Colombo

දකුණේ දේශපාලන කඳවුරු උතුරට එරෙහිවත් උතුරේ දේශපාලන කඳවුරු දකුණට එරෙහිවත් අපේ රටේ දේශපාලන කඳවුරු බෙදී තිබුණා. රටේ දේශපාලනය බෙදී තිබුණේ එකිනෙකා කෙරෙහි කෝපය, වෛරය, අවිශ්වාසය, සැකය ව්‍යාප්ත කිරීමටයි. නමුත් රටේ ඕනෑම පුරවැසියෙකුට සමගියෙන් දේශපාලනය කිරීමට හැකි දේශපාලන ව්‍යාපාරයක් අද නිර්මාණය වී තිබෙනවා. විවිධ ආකාරයෙන් බෙදී තිබුණු රට, විවිධාකාරයෙන් සැකයෙන් බැලු රට, එක්සත්ව එක්සිත්ව ජාතික ජන බලවේගය කෙරෙහි අපේක්ෂාවකින් බලාගෙනන සිටිනවා. අපේ පාලනය ශක්තිය රඳා පවතින්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය මතයි.

අපේ රටේ දේශපාලන බලය කේන්ද්‍ර ගණනාවකට ව්‍යූහගත වී තිබෙනවා. පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රදේශීය සභාවට දේශපාලන ව්‍යූහය බෙදී ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නොවැම්බර් 14 වැනිදායි. ඉතිරි සෑම ව්‍යූහයකම දේශපාලන බලය අත්පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එමගින් සමීප දේශපාලන නායකත්වයක් සැපයීමට කටයුතු කරනවා. පැරණි දිශාවට දේශපාලනයේ ගමන් කරන්නට අවශ්‍ය නම් සමීප දේශපාලනයක් අවශ්‍ය නැහැ. රට සුබදායි දිශාවකට පරිවර්තනය කරන්න නම් සමීප දේශපාලනයක් අවශ්‍යයයි. නීතියේ විධානයේ ආධිපත්‍ය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට සමීප දේශපාලනයක් අවශ්‍යයයි. ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතුයි.

President AKD Addressing The Victory Rally Of Colombo

විනාශකාරී අත්දැකීම්වලින් පිරී තිබෙන රාජ්‍යයක්, එයින් මුදා ගැනීමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් තහවුරු කළ යුතුයි. ඒ සඳහා ජනතාවට මේ නොවැම්බර් 14දාට අවස්ථාව ලැබෙනවා. එහෙම කියනකොට හිටපු ජානාධිපතිවරයා කියනවා පුරුදු අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. අපි එතුමාට අභියෝග කරනවා එතුමට ඉන්න පුරුදුකාරයෝ දහ දෙනෙක්ගේ නම් කියන්න කියලා. එහෙම කියනවනම් අපි ඒ අය පුරුදු මොනවටද කියලා කියනවා. අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් උනාට දේශපාලනයට අලුත් නෑ. මේ අය තමන්ගේ ජීවිතයම කැප කරලා තිබෙන්නේ දේශපාලනයටයි. මේ රටේ සුගතිය වෙනුවෙන් ඒ අය කටයුතු කරලා තිබෙනවා. ඉඳ හිට හරි විපක්ෂයෙන් කට්ටිය එවනවා නම් අලුත් අය එවන්න. මොකද ඒ අයට අපි පාර්ලිමේන්තුවේ අලුත් පුරුදු කියලා දෙන්නම්.

මේ රට අලූත් දිශාවකට පරිවර්තනය කරන්න, මේ පාර්ලිමේන්තුව ක්ලීන් කරන්න ඕන. අපරාධකාරයෝ හිටිය පාර්ලිමේන්තුවක්, මිරිස් කුඩු කාරයෝ හිටපු පාර්ලිමේන්තුවක්, වංචනිකයෝ හිටපු පාර්ලිමේන්තුවක්, මුදලට විකිණෙන පාර්ලිමේන්තුවක්, දරුවන්ට බලන්න බැරි පාර්ලිමේන්තුවක්. මේ වගේ පාර්ලිමේන්තුවක් රටකට ඕනද? මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕන නැද්ද?
අපි හදන කැබිනට් එක ඇමතිවරු විසිපහට අඩුයි. ඊට අනුරූපී නියෝජ්‍ය ඇමතිකම් පමණයි. ක්‍රමානුකූලව මේ රට අලූත් පරිවර්තනයකට යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රට දේශපාලනයේ ප්‍රමිතිගත කිරීම සිදුකරනවා. මීට පෙර පාලකයින් රිසි රිසි සේ රට පාලනය කළා. වාහන ආනයනය නතර කර තිබියදීත් ඔවුන්ට වාහන ගෙන්වන්න පුළුවන්. වාහන ලියාපදිංචි නොකර මාර්ගය ධාවනය කරන්න පුළුවන්. නුවරඑළියේ ජනාධිපති මන්දිරයට අයත් ඉඩමේ කාබනික එළවළු වගා කරලා වාහන දාලා කොළඹට ගෙනත් ජනාධිපතිට වෙනම පරිභෝජනය කරන්න පුළුවන්. එතකොට කොහෙද දේශපාලනයට ප්‍රමිතියක්. ඒ නිසා දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. පැරදිලා යනකොට වාහන තිහ හතළිහ අරගෙන යනවා. ආරක්ෂාවට 200ක් 300ක් අරගෙන යනවා. පැය විසි හතරෙම තමන්ගේ ගෙදර මිදුලේ ගිලන් රථයක් නවත්තගෙන ඉන්නවා. හමුදා රෝහලට ලියාපදිංචි වෙලා විටමින් වර්ග ගණනාවක් අරගෙන තිබෙන බව ළඟදි හෙළිදරව් වී තිබෙනවා. එම විටමින් වර්ග ප්‍රමාණය බීල නෙමෙයි තියෙන්නේ කාලා. ජනාධිපති ධූරය කියන්නේ තමන්ට ඔරොත්තු දෙන ලෝගුවක් නොවෙයි කියලා ඒ අය පෙන්වලා තිබෙනවා. මේ කැත පන්නයේ දේශපාල සංස්කෘතිය අපි වෙනස් කරනවා. අපේ රටට නව ප්‍රමිතිගත දේශපාලනයක් අප හඳුන්වා දෙනවා.

President Anura Kumara Dissanayake Waaving At The Victory Rally Of Colombo

අපි බලය ගන්නකොට ලැබුණු ආණ්ඩුව ආර්ථිකය වශයෙන් හීන් නූලකින් එල්ලී තිබුණේ. කුඩා හෝ වැරදි දෙයක් සිදුවුණොත් කඩා වැටෙනවා. ඒ නිසා අපේ පළමු අභියෝගය බවට පත්වුණේ ආර්ථිකයට විශාල කම්පනයක් ඇති නොකර ආර්ථික දේහය සමනය කිරීමටයි. ආර්ථිකය යම් සමනයක් අත්පත් කරගන්නේ නැතුව මහා ජයග්‍රහණයකට හරවන්න බැහැ. අපි එම අභියෝගය ජය ගනිමින් තිබෙනවා. ඕනෑම අලූත් ආණ්ඩුවක් පැමිණි විට යම් දෙදරීමක් ඇතිවෙනවා. 2015දී නව ආණ්ඩුවක් බලයට පත්වූ විට කොටස් වෙළඳපල බින්දුවටම කඩා වැටුණා. නමුත් ඊටත් පහළ ආර්ථිකයක් තමයි අපට ලැබුණේ. අපි නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගත්තා. අපි ණය ප්‍රතිව්‍යූහගත කිරීම ආරම්භ කරලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. ලංකාවේ ආර්ථිකයේ ශ්‍රේණිය ඉහළ තලයකට ගෙනයෑමට කටයුතු කරමින් තිබෙනවා. ආර්ථිකය පිළිබඳ ස්ථාවරභාවයක් ඇති නොකර රටක් ලෙස ඉදිරියට ගෙන යන්න බැහැ. ආයෝජකයෝ, කර්මාන්තකරුවන් සැකෙන් ඉන්නවනම් ආර්ථිකය ස්ථාවර වෙන්නේ නැහැ.

එතෙක් ජනතාව බලා ගැනීමේ පියවර ගණනාවක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් මේ වන විටත් ලබා දෙනවා. පෙබරවාරි අග වෙනකොට නව අයවැයක් ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එතෙක් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වනතෙක් කෘෂිකර්මාන්තය පණ ගැන්වීමට කටයුතු කර තිබෙනවා. පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. ධීවරයන් සඳහා ඉන්ධන සහරාධාරයක් ලබා දුන්නා. රාජ්‍ය සේවකයන්ට මීළඟ අයවැයෙන් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දෙනවා. වෘත්තියවේදීන්ට විශාල බරක්ව පවතින උපයන විට බද්ද අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා.

Crowd At The Victory Rally Of Colombo

අපේ රටේ රාජ්‍ය පාලනයේදී, රාජ්‍ය සේවයේදී අප සිටින්නේ ලෝකය සමග බැලු විට ඉතා පිටුපසින්. බදාදට රාජ්‍ය සේවාවන්වල පෝලිම් වැඩිවෙන, තවමත් ලිය කියවිලි සහ ලිපිගොනු, අල්මාරි පවත්වාගෙන යන රාජ්‍ය සේවාවක් තිබෙන්නේ. පුරවැසියාට ගෙදර සිට තමන්ගේ අයදුම්පත යොමු කරමින් සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය අප ඩිජිටල් කරනය තුළින් ඇති කරනවා. ඒ සඳහා ඩිජිටල් ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයෙක් අප සමග ස්වේච්ඡාවෙන් එකතු වී සිටිනවා. රාජ්‍ය ආයතනවලට පත් කරපු සභාපතිවරු ගණනාවක් වැටුප් නොලබා අප සමග වැඩ කරනවා. එයාර් ලංකා එකේ සභාපතිවරයා වැටුපක් ගන්නේ නැහැ. නමුත් හිටපු එයාර් ලංකා එකේ සභාපතිවරයා තමන් එනකම් ගුවන් යානාත් නවත්තගෙන හිටියා.

අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. උතුරේ සමහර ප්‍රදේශ මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වෙමින් තිබෙනවා. ඒ වගේම මේ රටත් නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ගොදුරු බවට පත්වී තිබෙනවා. කේරල ගංජත් එහෙමමයි. මත්කුඩු විශාල ලෙස පැතිරෙමින් තිබෙනවා. මේ රට කුඩුවලින්, මත්ද්‍රව්‍යවලින් ගලවා ගන්නා බවට අපි සහතිකයක් දෙනවා. අපි දන්නවා අපේ රටේ මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පිටුපස ඉන්නේ දේශපාලකයෝ කියලා. මේක නතර කරලා දරුවන් මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්වෙන එක වළක්වන්න අපි කටයුතු කරනවා. අපි ආර්ථික වශයෙන් කඩා වැටිලා තියෙන්නේ. ඒ නිසා රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩ නැගිය යුතුයි.

President AKD With Harshana Nanayakkara And Lakshman Nipuna Arachchi At Stage Of The Victory Rally Of Colombo

පරන්තන් රසායනාගාරය නැවත අරඹනවා. එප්පාවල පොස්පේට් නිධිය භාවිතා කරලා පොහොර නිෂ්පාදනය ආරම්භ කරනවා. ඊට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයට පරන්තන් කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. යාපනයේ සිමෙන්ති කම්හල ආරම්භරනවා. වාලච්චේන කඩදාසි කම්හල අපි ආරම්භ කරනවා. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය නිස්සාරණය කරනවා. කර්මාන්තවල නව අවධියක් ඇති කරනවා.

අපේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය විශාල ප්‍රමාණයකින් වැඩිවෙලා තිබෙනවා. අමාරුවෙන් ආහාර වේලක් සපයා ගන්න මිනිස්සු, දුගීභාවය පෙන්නුම් කරන මිනිස්සු, මම හොඳට දැක තිබෙනවා. අපි අවුරුදු 75ක් අසූවක් ජීවත් වෙනවා, මේ අයට හොඳ ආහාර වේලක්, හොඳ සෞඛ්ය සම්පන්න දිවියක්, නිවසක් ලබාදීම, මානසික සුවයක් ලබාදීම, මුහුණේ සිනාවක් සහිත මිනිසුන් බවට පත්කිරීමට අපි කටයුතු කරනවා. දුප්පත්භාවයේ වේදනාව දැකපු මිනිස්සු හැටියට අපි ඒක කරන්නේ නැත්නම් කවුද කරන්නේ? දුප්පත්භාවයේ ඛේදවාචකයෙන් අපි මේ රටේ ජනතාව මුදා ගන්නවා.

මේ රට වෙනස් කිරීමට පරිවර්තනය කිරීමට අප සූදානම් නැත්නම් වෙනස් කරන්න කිසිවෙක් නැහැ. 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට මේ රට වෙනස් කරගන්න අවස්ථාව ලැබුණා. එතුමිය අවුරුදු 11ක් රට පාලනය කළා නමුත් රට වෙනස් කළේ නෑ. ඊළඟ අවස්ථාව ලැබුණේ 2019 වසරේදීයි. එහිදී රට වෙනස් කරන්න තියා ගෝඨාභය රාජපක්ෂටත් වෙනස් වෙන්න විදියක් නැති වුණා. එතුමා වසර දෙකහමාරෙන් ගෙදර ගියා. ඊළඟ අවස්ථාව ලැබුණේ 2024 දී අපිටයි. අපි මේ රට පරිවර්තනය කරන එක ජයග්‍රහණයකින් තොරව අවසන් කරන්නේ නැහැ.

Show More

“බංකොලොත්භාවයට පත්වී තිබෙන රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට පත් කරනවා” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී ගම්පහ දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.11 – ගම්පහ නගර සභා පිටිය-) නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පවත්වනවා. මොකක් වෙයිද? මම දවස් දෙක තුනකට කලින් කිවුවා මේ ඡන්දය දිනනවා. ඇඬෙන්න දිනනවා කියලා. මම දැක්ක දිනන්න කලින්ම කට්ටිය අඬනවා. අඬන්න ඕනෑ. මේ රටට කරපු අපරාධයට. ජනතාව දුක් පීඩාවන්ට හෙළීමට එයාලා අඬන්න […]

(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී ගම්පහ දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.11 – ගම්පහ නගර සභා පිටිය-)

President Anura Kumara Dissanayake Addressing The Crowd Of The Victory Rally Of Gampaha

නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පවත්වනවා. මොකක් වෙයිද? මම දවස් දෙක තුනකට කලින් කිවුවා මේ ඡන්දය දිනනවා. ඇඬෙන්න දිනනවා කියලා. මම දැක්ක දිනන්න කලින්ම කට්ටිය අඬනවා. අඬන්න ඕනෑ. මේ රටට කරපු අපරාධයට. ජනතාව දුක් පීඩාවන්ට හෙළීමට එයාලා අඬන්න ඕනේ. තවම අඬන්න පටන් ගත්තේ නැහැ. මේ රටේ දේශපාලන බලය තිබුණේ පවුල් කිහිපයක් අතේ. සාමාන්‍ය පුරවැසියන් නොසැලකිල්ලට භාජනය කරමින් ඔවුන් රට පාලනය කරගෙන ගියා. දශක හතකට වඩා වැඩි කාලයක් ඔවුන් විරාජමානව මේ රට පාලනය කළා. ඒ පැරණි දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය යටතේ තිබුණු බලය සැප්තැම්බර් 21වැනිදා පොදු ජනතාව අතට මාරු වුණා. එම බල හුවමාරුවේදී විශාලතම පිම්ම අරන් දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි. එය සාමාන්‍ය බල හුවමාරුවක් නොවෙයි. අපේ රටේ දේශපාලන බලය තාත්තා, බිරිඳ, දුව පාලනය කරපු කාලයක් තිබුණා. තව කාලයක තාත්තලා පුතාලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක මාමලා බෑනලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක අයියලා මල්ලිලා අතේ දේශපාලන බලය තිබුණා. ඒ දූෂිත ප්‍රභූ යාන්ත්‍රණයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු කරන්නම් මේ රටේ ජනතාව සමත් වුණා.

ඔවුන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමකට ලක්වේ යැයි ඔවුන් කිසිදා හිතන්න නැතුව ඇති. ඔවුන් හැමදාම හිතුවේ තමන්ගේ පවුලෙන් අනෙකාගේ පවුලට සිදුවන බල පෙරළියක් විතරයි. ඒ නිසා අද ඔවුන් විශාල වේදනාවකට, කෝපයට පත්ව සිටිනවා. මූණ කාගේද බලන්නේ නැතුව ටීවී එක දිහා බලාගෙන ඇහුවොත් මේ දවස්වල කියන්නේ එකම කතාවක්. මොකක්ද ඒ කතාව. සති තුනකින් ආණ්ඩුව වැටෙනවා කියලා. අවුරුද්දයි ආණ්ඩුව වැටෙනවා කියලා. මේ ආණ්ඩුවට පුරුදු නෑ කියලා. ලකුණු ගොඩයි, මූණු ගොඩයි, පාට ගොඩයි. හැබැයි එකම කතාව. එයාලට මේ පරාජය දරාගන්න බැහැ. ඒගොල්ලෝ පරාජයෙන් කම්පනයට පත් වී සිටිනවා. ගම්පහ දේශපාලන බලය හසුරවපු හැටි ඔබ දන්නවා. මිනුවන්ගොඩ පැත්තේ දේශපාලන බලය හසුරවපු අය අද ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. සමහරු හිතනවා මේ පාලනය බිඳ වට්ටන්න පුළුවන් කියලා. මේ රට ගොඩනැගීමකින් තොරව අපි බලය අත්හරින්නේ නැහැ.

සමහරු 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයට මේ පරිවර්තනය දරාගන්න බැහැ. මේ පරිවර්තනය බිඳ දැමීමට ඒගොල්ලෝ කල්පනා කරනවා. ජනතාව කල්පනා කරන්නේ රට දියුණු කරන්නයි. ඒ නිසා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්දය නොදුන් විශාල ප්‍රමාණයක් නොවැම්බර් 14 වැනිදා ඡන්දය ලබා දෙනවා. විපක්ෂයේ කල්පනාව ලංකාව වට්ටන්න. ජනතාවගේ කල්පනාව රට දිනවන්නයි. අපි ඒ අයට අභියෝග කරනවා සැප්තැම්බර් මාසේ 21වැනිදා ගත්ත ඡන්ද ප්‍රමාණවත් ලබා ගන්න කියලා.

The Crowd At The Victory Rally Of Gampaha

මම ඊයේ හිටියේ යාපනය දිස්ත්‍රික්කයේයි. ඒ ජනතාව දීර්ඝ කාලයකට පසුව අපිව වැළඳගෙන තිබෙනවා. සහෝදරයෙක් පණිවිඩයක් එවා තිබෙනවා ඊයේ යාපනයට අවුරුදු වගේ කියලා. උතුරු, දකුණු නැගෙනහිර භේදයකින් තොරව පොදු ජනයාගේ බලාපොරොත්තු අපේ පාලනය කෙරෙහි තබා තිබෙනවා. පැරණි පාලකයාට තිබෙන්නේ මේ රට වට්ටන්නේ කොහොමද කියන බලාපොරොත්තුවයි. ඒ අය කොච්චර ප්‍රතික්ෂේප වෙලාද කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද රැස්වීමක් තිබ්බේ නැහැ. එයාලා සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විශාල අවලාද නැගුවා. අද ඒවා අසත්‍ය බවට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙන්න ඉඩ නොදී ජයග්‍රහණයකින් කෙළවර කිරීම අපේ අරමුණයි.

දේශපාලන බලය කේන්ද්‍ර වී තිබෙන්නේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාව තුළයි. මේ බල ව්‍යුහයන් ඇතුලේ සමීපව දේශපාලන නායකත්වයක් ලබාදීම අවශ්‍යයි. ඒ සඳහා ජාතික ජන බලවේගය කණ්ඩායම් මේ දේශපාලන ව්‍යුහය තුළට ඇතුළත් කළ යුතුයි. අපි පසුගිය දින 48ක කාලය තුළ සිදු කළේ, මේ රට අස්ථාවරභාවයට වැටෙන්න ඉඩ නොදී පවත්වාගෙන යාමයි. රට ඉදිරියට ගෙන යාමට ඉහත කී දේශපාලන ව්‍යුහය සඳහා සමීප දේශපාලන නායකයන් ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට පිරිස් යැවිය යුතුයි. ඒ වෙනුවෙන් මාලිමාවෙන් මේ පාර්ලිමේන්තුව පිරවිය යුතුයි.

එතකොට කට්ටිය කියනවා අපිට හරි පාර පෙන්වන්න ඒගොල්ලොත් පාර්ලිමේන්තු එවන්නලු. ඇති තරම් කැලෑ පාරවල්වල ගිහිල්ලා දැන් කියනවා අපිට හරි පාර පෙන්නන්න පාර්ලිමේන්තු යවන්නලු. මේවා දුකට කියන කතා. මේ පාර හදන්න ඕනෑ ශක්තිමත් ආණ්ඩුවක්. මේ පාර පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුත්තේ ඒ නිසයි.

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Gampaha

අපේ රටේ දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. අපේ රටේ දේශපාලකයා බලය ලැබුනහම රිසි රිසිසේ ජනතා මුදල් පාවිච්චි කර තිබෙනවා. වාහන ආනයනය කිරීම තහනම් කාලයේ ඒ අයට වාහන ගෙන්වන්න පුළුවන්. ඒ අය හිතු හිතු දේ කරනවා. එයාලට ලියාපදිංචි නොකර වාහන පාරේ පදවන්න පුළුවන්. එම දේශපාලන අධිකාරියේ හිතුවේ තමන්ට රිසි රිසි දේ කිරීමට දේශපාලනය බලය ලැබී තිබෙනවා කියලයි. තමන්ට හිතුනාම කාබනික එළවලු කන්න ඕනේ කියලා නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ ඉඩමේ මිනිස්සු දාලා එළවළු වගා කරනවා. ජනාධිපති කාර්යාලයේ වාහන 863ක් තියෙනවා. ජනාධිපති ධූරය අතහැර යනකොට වාහනත් අරගෙන යනවා. සේවකයොත් අරගෙන යනවා. ඔවුන් හැමදාම හිතාගෙන හිටියේ ඔවුන්ට රිසිරිසි දේ කරන්න පුළුවන් කියලා.

ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේ රටේ දේශපාලනය ප්‍රමිතිගතකරණය කරනවා. කප්පම් දේශපාලනය නවතා දැමීමට කටයුතු කරනවා. දේශපාලනය පිරිසිදු කරනවා. දේශපාලන පිරිසිදු කරන්න ආරම්භක තැන පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමයි. දැනට තිබුණ පාර්ලිමේන්තුව එහෙට මෙහෙට විකිණෙන පාර්ලිමේන්තුවක්. සභා ගර්භය මැද එකිනෙකා රණ්ඩු කරන පාර්ලිමේන්තුවක්. පාසල් දරුවන්ට නැරඹිය නොහැකි පාර්ලිමේන්තුවක්. එහෙම පාර්ලිමේන්තුවක් මේ රටට ඕනෙද?
අප හදන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නත් පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නත් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතුයි.

මලිමාවෙන් මේ ඉදිරිපත් කර තියෙන කණ්ඩායම හැමදාම ජනතාවගේ පැත්තෙ ඉඳලා සටන් කරපු කණ්ඩායමයි. ඉඳ හිට හරි අනෙක් පැත්තෙන් කෙනෙක් එවනවා නම් එයත් අලුත් කෙනෙක් එවන්න. පරණ නරක ඇබ්බැහි වුණු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට එවීමෙන් පාර්ලිමේන්තුව අපිරිසිදු විය හැකියි.

Crowd At The Victory Rally Of Gampaha

දැනටමත් අපි තුන්දෙනාගේ ආණ්ඩුව වැදගත් තීරණ කිහිපයක් ගැන තිබෙනවා. මේ රටේ ආර්ථික හීන් නූලකින් ගැටගහලා තියෙන්නේ. ඒ නිසා මෙය සීරුවෙන් පියමන් කරගන්න ඕනෑ. ඒ නිසා අපි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය සමනය කරමින් සිටිනවා. ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන මේ වෙනවිටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් සමග තුන්වන සමාලෝචනය සිදු කරමින් තිබෙනවා. ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් එවිට අපිට අත්පත් කරගන්න පුළුවන්. දෙසැම්බර් මාසය වන විට ඉදිරි මාස හතර සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ලබන වසරේ ඉදිරිපත් කරන අයවැය මගින් ආර්ථික නව දිශානතියක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000ක් වැඩි කර තිබෙනවා. අස්වැසුම තව ලැබිය යුතු කණ්ඩායමක් සිටිනවාද කියා සමාලෝචනය කරමින් තිබෙනවා. ඊළඟ අයවැයෙන් උපයන විට බද්ද සාධාරණ අඩු කිරීමකට ගෙන එනවා. ආහාර පාන කිහිපයක වැට් බද්ද ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදායම් මාර්ග අහිමි පවුල් වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා යම් දීමනාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ලබන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම දීමනාව ලබාදෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 15,000ක පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදී තිබෙනවා. සහනාධාර දීමනාවන් හැමදාම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් වනතුරු යම් දීමනාවක් යම් සහනාධාරයක් ලබාදීමට අප කටයුතු කරනවා.දුප්පත්භාවයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති අපේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආර්ථික, අධ්‍යාපනික වැඩපිළිවෙක් සකස් කිරීමට කටයුතු කරනවා.

‘පිරිසුදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ හැම අතින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. කඩේකට ගියාම හොඳ ආහාර වේලක් ගැනීමේ හැකියාව, පාරෙන් පලතුරු එළවළු ගන්නවනම් එහි ප්‍රමිතිය පිළිබඳව විශ්වාසය, මිනිස්සුන්ට ජරාව කන්න දෙන එක නවත්වනවා. රට පුරා පිරිසිදු වැසිකිලි පද්ධතියක් නිර්මාණය කිරීම, විනයගරුක සමාජයක් ඇති කිරීම, පරිසර පද්ධතිය ආරක්ෂාව මෙම වැඩසටහන යටතේ තිබෙනවා. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ යටතේ ක්‍රියාත්මක කරනවා. කුණු ප්‍රතිචක්‍රීය කිරීම සඳහා කර්මාන්ත ශාලා ඇති කරනවා. මේ කලාපයේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. ඒ සඳහා අරමුදලක් ස්ථාපිත කරනවා.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය පිළිබඳ විශාල සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. දැනට අපේ රටේ රාජ්‍ය සේවය පවතින්නේ මීට දශක දෙකකට පෙර තිබෙන තැනකයි. තවමත් අපේ රටේ උප්පැන්න, ඔප්පු ලබා ගන්න රජයේ ආයතනවල පෝලිමේ ඉන්නවා. මේක දශක දෙකක පෙර ලෝකයයි. ඒ නිසා පෝලිමක් නැතිව ගෙදර සිට පුරවැසියෙකුට තමන්ගේ ඉල්ලීම රජයෙන් කළ හැකි පරිදි ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. ඉදිරි වසර තුන ඇතුළත ලංකාව ඩිජිටල්කරණය කරනවා. මේ සඳහා හාන්ස් විජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. වැටුපක් ගැනීමකින් තොරව එතුමා වැඩ කරනවා. හොඳ මිනිස්සු ආවහම හොඳ මිනිස්සු එකතු වෙනවා.

President Anura Kumara Dissanayake With Mahinda Jayasinghe And Anil Jayantha On Stage Of The Victory Rally Of Gampaha

සංචාරක කර්මාන්තය ආර්ථිකය සංවර්ධනය කරන හොඳ විභවතාවයක් පවතින ක්ෂේත්‍රයක්. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ලබන වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන වසර බවට පත් කරනවා. මේ සම්බන්ධයෙන් හෝටල් හිමිකරුවන් සමඟද සාකච්ඡා පවත්වා තිබෙනවා.

මේ රට නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් කරනවා. ඉහළ සිට පහළ පුරවැසියා දක්වාම මේ රටේ නීතියට යටත්. මත්ද්‍රව්‍යයෙන් තොර රටක්, අපරාධවලින් තොර රටක් අප නිර්මාණය කරනවා. රාජ්‍ය දේහය පුරා පැතිරී තිබෙන වංචාව දූෂණය ජාතික ජන බලවේගය විසින් අවසන් කරනවා. ජාතික ජන බලවේගය කණ්ඩායම තමන්ගේ පෞද්ගලික වුවමනාවක් නිසා දේශපාලනය කරන්නේ නැහැ. ණය ගෙවා ගන්න බැරුව, බංකොලොත්භාවයට පත්වී තිබෙන මේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට ජාතික ජන බලවේගය විසින් පත් කරනවා.

මෙච්චර කල් දේශපාලකයා කියන චරිතය පිළිබඳව ජනතාව හිතන් හිටපු ආකාරය වෙනස් වී තිබෙනවා. ජනාධිපති කියලා ලොකු ලෝගු පෙරවාගෙන හිටියේ. දැන් ජනතාවට තේරෙන්න ගන්නවා ජනාධිපතිවරයා, ඇමතිවරයා, මන්ත්‍රීවරයා කියන්නෙත් පොදු ජනතාව සමග වැඩ කරන මිනිස්සු කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැදගත්ම තීන්දුව ගන්න තියෙන්නේ නොවැම්බර් මාසයේ 14වැනිදායි. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

The Victory Rally Of Gampaha Crowd

“ජාතික ව්‍යාපාරයක් සමඟ එක් වී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ආඩම්බරයක්”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර-

ද්වේෂසහගත, අසත්‍ය සහ භීෂණකාරී චෝදනා අපට එල්ල කර තිබුණු අවස්ථාවක ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන්න විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය හැටියට අප විශාල දායකත්වයක් ලබා දුන්නා. පෞද්ගලිකව මාව ජනාධිපතිවරණයට පෙර සිටි ඇතැම් බලවේග විසින් හැඳින්වූයේ ත්‍රස්ත කල්ලියක නායකයෙක් හැටියටයි. වවුනියාව, ත්‍රිකුණාමලය ඇතුළු සියලුම දිස්ත්‍රික්කවල පාහේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 50,000ක් පමණ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සමඟ ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරනවා. සැප්තැම්බර් 22 වැනිදා භික්‍ෂුන් ඝාතනය කර මහා ලේ විලක් ඇති කිරීමේ ත්‍රස්ත කල්ලියක නායකයෙක් ලෙස මාව හැඳින්වූවා. අපට තිබෙන්නේ, පණ අදින මිනිසුන්ට අපේ අතින් පණ දෙන්න ගිනි ගන්න තැන ගිනි නිවන්න යෙදවූ දෑත්. යුද්ධය නිමා කළ පසුත් පන්සල්, පල්ලි, කෝවිල් ගොඩනඟන්න වෙහෙස වුණු දෑත් අපට තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් සියුම් ආඩම්බරයක් අපට තිබෙනවා. රට වට්ටා තිබෙන අවස්ථාවක මෙවැනි ජාතික ව්‍යාපාරයක් සමඟ එක් වී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ගැන සියුම් ආඩම්බරයක් තිබෙනවා.

දශක ගණනාවක් පුරා රටට කළ හැකි සියලුම අපරාධ සිදු කළ පිරිස් විසින් හෙළන ලද ප්‍රපාතයෙන් මේ රට ගොඩගැනීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය සහ සාමකාමීම බලහුවමාරුව සිදු කරමින්, ජාතික ජන බලවේගයේ විනය රට හමුවේ ඔප්පු කර තිබෙනවා. අප වාගේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එක් වී සිටින්නේ එවැනි විනයක් සහිත ව්‍යාපාරයක් සමඟයි. ඝාතන රැල්ලක්, මත්කුඩු ඇතුළු ජාවාරම්කාරී රැල්ලක්, කාන්තා හිංසන ඇතුළු අනාරක්‍ෂිත රට නැවත ආරක්‍ෂිත කිරීමට අප කැපවීමෙන් ක්‍රියා කරනවා. මේ රටට අවංකව වැඩ කරලා, කැපවීමෙන් වැඩ කර ලබා ගත් අත්දැකීම් රැසක් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් සියලු දෙනාටම තිබෙනවා. ඒ අත්දැකීම් සමඟින් අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දේශපාලන නායකත්වය දිය යුතු කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් උපරිම ඡන්ද ලබා දී පත් කර ගනිමු කියලා ඉල්ලා සිටිනවා.

Vijitha Herath And Team On Stage At The Victory Rally Of Gampaha

“සුදු රෙදි හොරුන්ට රැවටුණු කාන්තාවන් 2023දී ‘ගැහැනු අපි එකමිටට මාලිමාවට’ එකතු වූවා”
-ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික, මහා මැතිවරණ අපේක්‍ෂිකා හිමාලි වීරසේකර-

අද අපට දේශපාලන පිටියේ තරග කරන්න කිසිවෙක් නැහැ. ඒ වාගේම ආණ්ඩුව පිහිටුවන්න මාලිමාව හැර වෙන කිසිවකු ඇත්තෙත් නැහැ. මේ දක්වා වෙනත් පක්‍ෂවලට ඡන්දය දුන් ගම්, දනවු පිටින් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක්වෙමින්, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් ක්‍රියා කරන්න පෙරට එමින් සිටිනවා. මෙපමණ කාලයක් අපේ බහුතර කාන්තාවන් පිරිසක් සුදු රෙදි හොරුන්ට රැවටුණා. ඒ යුගය නිමා කරන්න 2023දී ආරම්භ කළ ‘ගැහැනු අපි එකමිටට’ එකතු වූවා. සක්‍රිය දේශපාලනයට අවශ්‍ය දේශපාලන ඥානය ලබා ගනිමින්, ලංකාව පුරා කාන්තාවන් තවදුරටත් ඒකරාශී වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ඉටු කරන කාර්යභාරය ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි. එහි හැරවුම් ලක්‍ෂ්‍යයන් ලෙස සැප්තැම්බර් 21 වැනිදාත්, නොවැම්බර් 14 වැනිදාත් ලියැවෙන බව ස්ථිරයි. නොවැම්බර් 14 වැනිදා ලබා ගන්නා ශක්තියෙන් පුරවැසියාගේ වැඩ කොටස ඉටු කරමින්, ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවන රටක් හැටියට ශ්‍රී ලංකාව ඔසොවා තබමු. ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දුන් ගම්පහ දිස්ත්‍රික්කය තව දුරටත් ශක්තිමත් කරමින්, මාතෘභූමියේ ජයග්‍රහණයට එක් වෙමු.

“උත්තරීතර පාර්ලිමේන්තුව වචනවලට සාධාරණය ඉටු කරන මිනිසුන් බහුතරයක් පාර්ලිමේන්තු යවමු”
-ප්‍රවීණ රංගන ශිල්පී, රොඩ්නි වර්ණකුල-

ගම්පහට නෑකම් කියන හෙන්රි ජයසේන නම් විශිෂ්ට නාට්‍යවේදියා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘හුණුවටය’ වේදිකා නාට්‍යය මෙරටට හඳුන්වා දුන්නා. ඒ නාට්‍යයේ “දෙයක් වේ නම්, යම් සුදුස්සාටම අයිති විය යුතුයි – ගොවි දන මනා වූ දිනිය යුතු සේම ගම්බිම්” කියන පද අපටම කීවා වාගෙයි. රජරට ගොවි බිමෙන් උපන් පුතකුට මේ රටේ ගොවි බිම් පමණක් නොවෙයි, මුළු රටේම වගකීම් පවරන්න ඔබත්, මමත් පියවර ගත්තා. සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඔබේත්, මගේත් අනුර සහෝදරයා නව වැනි විධායක ජනාධිපති ධුරයට පත් වුණා. විධායකයේ ක්‍රියාකාරීත්වය ගැන සතුටු වන අපට ඊළඟට පැවරී තිබෙන්නේ ශක්තිමත් ව්‍යවස්ථාදායකයක් පත් කර ගන්න. අපේ ජීවිත කාලය තුළ මහා මැතිවරණ කීයක් පසු කළාද? ඒ බොහෝ මැතිවරණ මැතිවරණ නොවෙයි, යුද්ධ. අපේ ආදරණීය පුරවැසියන්ට. යාන-වාහන ඇතුළු දේපොළවලට පමණක් නොවෙයි, ජීවිතවලටත් කොයි තරම් හානි සිදු කළා ද? යුද්ධවලින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ පුද්ගලයන් දිහා බැලුවාම අපි මෙතෙක් කරලා තිබෙන්නේ හොඳම දූෂිතයන් පාර්ලිමේන්තුවට යැවීමයි. ඒ නිසාම දූෂිත ආයතන මඟින් රටට යහපතක් වුණේ නැහැ.

නොවැම්බර් 14වැනිදා කියන්නේ යහපත්, මහත්මා දේශපාලන සංස්කෘතියක පහස විඳිමින්, අපූරු මහා මැතිවරණයක් ලබා ගන්නා දිනයයි. ආසනයේ නැත්නම්, දිස්ත්‍රික්කයේ හොඳම මිනිසුන් තෝරා ගැනීමට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර තිබෙනවා. උත්තරීතර පාර්ලිමේන්තුව කියන ලස්සන සිංහල වචනයට සාධාරණය ඉටු කළේ තුන්දෙනයි. ඉදිරි අනාගතයේ දී උත්තරීතර පාර්ලිමේන්තුව කියන වචනවලට සාධාරණය ඉටු කරන හොඳම මිනිසුන් විශාල බහුතරයක් පාර්ලිමේන්තුවට යවමු. ඒ වෙනුවෙන් ලොකු ගැම්මක් ගම්පහෙන් ලබා දෙන බව ස්ථිරයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කියමන තරමක් වෙනස් කර “රටක් වේ නම් යම්, සුදුස්සන්ටම අයිති විය යුතු” කියන චේතනාවෙන් අපි සියලුම දෙනා වැඩ කරමු.

“මම ජීවත් වන අයර්ලන්තය වැනි තත්ත්වයට අපේ රට ඔසොවා තබන්න ශක්තිමත් පාලනයක් ගොඩනඟමු”
-ජාතික ජන බලවේගයේ අයර්ලන්ත ශාඛාවේ විධායක සභික රුවන් සමරතුංග-

මම අවුරුදු තිස්පහකට වැඩි කාලයක් විදේශගතව ජීවත් වන අතර, එයින් අවුරුදු විස්සකට වැඩි කාලයක් අයර්ලන්තයේ ජීවත් වෙනවා. හොඳ සෞඛ්‍යයක්, හොඳ අධ්‍යාපනයක්, හොඳ ප්‍රවාහනයක් තිබෙනවා වාගේම නීතියේ විධානයේ ආධිපත්‍යය සහ ආර්ථික සාධාරණත්වය පවතින රටක්. මේ 14 වැනිදා අපි ගොඩනඟන ආණ්ඩුවෙන් අපේ රටත් ඒ මට්ටමට ගෙන යාවි කියලා මම විශ්වාස කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා දුන් ශක්තිමත් අත්තිවාරම සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ඔබ සැමට ගෞරවය පුද කරනවා. ඒ වාගේම වාර්තාගත ජයග්‍රහණයක් මේ 14වැනිදා ජාතික ජන බලවේගයට ලබා දෙයි කියලත් විශ්වාස කරනවා. මේ බලවේගය ජයග්‍රහණය කරා ගෙන යන්න නොපසුබස්නා ධෛර්යයෙන් ක්‍රියා කළ සියලු දෙනාටත් ගෞරවය පුද කරනවා.

“දෑස් පෙනෙන ඔබත් එක්ක මාලිමාවට කතිරය ගහන්න දෑස් නොපෙනෙන ලක්‍ෂ නවයක් ඡන්දපොළට එනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක සුගත් වසන්ත ද සිල්වා-

ජාතික ජන බලවේගය මේ වන විට ජයග්‍රහණය කර තිබෙන්නේ හැත්තෑහය වසරක යුද්ධයක්. අපෙන් බලය උදුරාගෙන, අපෙන් බලය කොල්ලකාලා, අපව දුකෙන් දුකට පත් කර සැප වින්ද දූෂිත ප්‍රභූ පංතියක දේශපාලනය අවසන් කළ යුද්ධය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා. ඒ නිසාම ජාතික ජන බලවේගයේ සහෝදරයෙක් විදියට මම ආඩම්බර වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ රටේ මා ඇතුළු ලක්‍ෂ 17ක් පමණ වන ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ඇතුළු කර තිබෙනවා. පොහොසත් රටේ ලස්සන ජීවිතයක් අප හැම දෙනාටම ලබා දෙනවාය යන පොරොන්දුව යථාර්ථයක් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන විසිනව දෙනා අතරට ආබාධ සහිත පුද්ගලයෙක් ඇතුළත් කර තිබෙනවා. එයට ස්තුතිය පළ කරමින්, දෑස් පෙනෙන ඔබත් එක්ක දෑස් නොපෙනෙන ලක්‍ෂ නවයක් ඡන්ද පොළට ඇවිත්, මාලිමාට කතිරය ගහනවා. ඒ වාගේම ශ්‍රවණාබාධිත ලක්‍ෂ ගණනක් දෙනා මාලිමාවට කතිරය ගහන්න එකතු වෙනවා. බුද්ධිවර්ධන ඌණතා තිබෙන පිරිසත් එකතු වෙනවා. ඔවුන් මේ දක්වා තහවුරු කර තිබෙන විශ්වාසයේ ක්‍රියාමාර්ගවලට තවදුරටත් ශක්තිමත් වෙමින්, සියනෑ කෝරලයේ ජනතාව 14 වැනිදා තවත් විශාල බලයක් ලබා දෙනවා. පොහොසත් රටක් අපි බලාපොරොත්තු වෙනවා. පොහොසත් රටක් නම්, ඒ රට ශිෂ්ටසම්පන්න වෙන්න ඕනෑ. අපේ ආබාධිත බව උසුලුවිසුළුවලට ලක් කරන, කොන් කරන රටක් සල්ලිවලින් පොහොසත් වුණොත්, ශිෂ්ටසම්පන්න බවෙන් පොහොසත් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය සල්ලිවලින් වාගේම මනුෂ්‍යත්වයෙන් පොහොසත් රටක්, පිරිපුන් රටක් උරුම කර දෙන බව ඒකාන්තයි. එහෙම නම්, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන සහ වෙනත් ආබාධ සහිත ලක්‍ෂ 17කට අධික ජනතාවටත් ඔබට වාගේම ලස්සන ජීවිත උදා වෙනවා. ඒ තරම් ගැඹුරු හැඟීමක් ආබාධ සහිත ජනතාවගේ ඇති වී තිබෙනවා.

“ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩනඟා ප්‍රතිපත්තිගරුක පුරවැසියන් බිහි කරමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහා මැතිවරණ ජාතික ලැයිස්තු අපේක්‍ෂිකා, මහාචාර්ය වසන්තා සුභසිංහ-

ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින්, සුඛෝපභෝගී ජීවිත ගත කළ දූෂිත දේශපාලකයන් රැළ සහ ඔවුන්ගේ සමීපතම නිලධාරී පැලැන්තියත් ඇතුළු චෞර වළල්ල මේ දක්වා රට විනාශයට ඇද දැම්මා. එය වෙනස් කරන්න නම්, දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව අපි අවධාරණය කළා. පසුගිය අවුරුදු දෙක, තුන තුළ අපි ඔබ හමුවට ඇවිත්, මේ බව තහවුරු කර දුන්නා. අපේ දරුවන්ට බෙහෙත් වෙනුවට වතුර, වස විෂ සහිත ආහාර ලබා දෙන අතර, ඔවුන්ගේ දරුවන්ට සිංගප්පූරුවෙන්, එංගලන්තයෙන් ගෙන්වන බෙහෙත් ලබා දී, වස විෂවලින් තොර ආහාර ලබා දුන්නා. යටිතල පහසුකම්වලට, දේශීය කර්මාන්ත නඟාසිටුවීමට යෙදවිය යුතු අපේ බදු මුදල් ඔවුන් විනාශ කළ නිසා ලක්‍ෂ පනස්හතක් අන්ත දුප්පත්කමට වැටී සිටිනවා. හොරාකමින්, පරිසරය දූෂණය කරමින් අවුරුදු ගණනාවක් දූෂිත පාලනයක් ගෙන යන කොට මහජනතාවත් තම තමන්ගේ පටු අරමුණුවලට ඇදී යනවා. ඒ නිසාම අපි සතුටින් ජීවත් වුණු ජාතියක් නොවෙයි. රෑට නින්දට යන්නේ හෙට උදේට දරුවන් පාසල් යැවීම, ආහාර ලබා දීම, රස්සාවක් ලබා දීම පිළිබඳ ගැටලුවලින් පිරිලයි.

ලස්සන ජීවිත තිබෙන රටක් බවට අපේ රට ගොඩනැඟිය යුතුයි කියන අදහස වටා අපි එක් වූවා. මත්ද්‍රව්‍යවලින් තොර ආරක්‍ෂිත සමාජයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව අපි හැම දෙනාටම දැනුණා. ඒ නිසාම සැප්තැම්බර් 21 වැනිදා නිර්භීත තීන්දුවක් ලබාගෙන එය වඩාත් ශක්තිමත් කිරීමේ අවස්ථාව මේ මස 14 වැනිදාට එළැඹී තිබෙනවා. පිරිසිදු ශ්‍රී ලංකාවක් බිහි කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පිරිසිදු දේශපාලකයන් ජයග්‍රහණය කරවා, ඊ ළඟ පියවර තබන්න අපි සියලු දෙනාම සූදානම්. ශිෂ්ටත්වය පිරි දේශපාලනයක් අපි ඇති කරමු. ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩනඟා ප්‍රතිපත්තිගරුක පුරවැසියන් බිහි කරමු.

“පැරැණි දේශපාලනයට සමු දී නව පුනරුද යුගයක් වෙනුවෙන් පෙළගැසෙමු”
-ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද ජයසිංහ-

දේශපාලන පරිවර්තනවල දී සුවිශේෂී කාර්යභාරයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉටු කර තිබෙනවා. සැප්තැම්බර් 21 සිදු කළ පරිවර්තනයේ දී වැඩිම දායකත්වයක් දැක්වූ ගම්පහ දිස්ත්‍රික්කය මෙම මස 14 වැනිදා තවත් පෙරළිකාරී, විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙනවා. ගම්පහ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, අපනයන කර්මාන්තය වාගේම සංචාරක කර්මාන්තය සහ ක්‍රීඩාව, අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් දරාපු දිස්ත්‍රික්කයක්. අපේ රට ගොඩනැඟීමේ දී සුවිශේෂී දායකත්වයක් මේ දිස්ත්‍රික්කයෙන් ලබා දිය හැකි බව එයින් පැහැදිලියි. පන්, ගිනිකෙළි, පිත්තල, මැටි වාගේම සාම්ප්‍රදායික ලෝහ කර්මාන්තයත් මේ දිස්ත්‍රික්කයට කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ කර්මාන්ත ගොඩනඟන්න පසුගිය පාලන කාලවල දී කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ගම්පහ දිස්ත්‍රික්කය ගොඩනඟන සංවර්ධන සැලැස්ම සකස් කර අවසන්. එහි දී සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කමත් මූලිකව අරගෙන තිබෙනවා. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉහළට ඔසොවා තබා සියනෑ ජනතාවගේ ආර්ථිකය ඉහළට ගෙන ඒම වෙනුවෙන් අප කටයුතු කරනවා. මේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් හතරක් පිහිටා තිබුණත්, අත්‍යවශ්‍ය මූලික පහසුකම් කිසිවක් ලබා දී නැහැ.

අපේ දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම තුළ අංග සම්පූර්ණ රෝහල් බවට සංවර්ධනය කරනවා. ක්‍රීඩාව පැත්තෙන් ගත්තත්, ඉහළින්ම ඔසොවා තැබිය හැකි පිරිසක් වෙනුවෙන් අපේ ක්‍රියාමාර්ග දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට අසාධාරණයට ලක් වී සිටින සණස තැන්පත්කරුවන් ඇතුළු පිරිසගේ ගැටලු විසඳන්නත් අපි සැලැසුම් කර තිබෙනවා. ‘සියනෑව’ කියන්නේ සියක් නෑයන් සිටින දිස්ත්‍රික්කයක්. දමිළ සහ මුස්ලිම් ප්‍රජාවත් නියෝජනය කිරීමේ අපේක්‍ෂකයන් අප ඉදිරිපත් කර සිටිනවා. මේ සියලු දෙනා අතුරින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් වැඩිම නියෝජිතයන් පිරිසක් තෝරා පත් කර යවමු. පැරැණි දේශපාලනයට සමු දී නව පුනරුද යුගයක් වෙනුවෙන් අපි හැම දෙනාම පෙළගැසෙමු. ඒ වෙනුවෙන් මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

“අපි හිටගන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මවුලවි මුනීර් මුලෆ්ෆර්-

මේ රට විනාශ කළ දූෂිතයන් පාර්ලිමේන්තුවට නැවත නොයවන ලෙස මෙතැනට නොපැමිණ සිටින සියලු ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. මේ රට විනාශ කිරීමට මූලික වූ පුද්ගලයන් වෙනත් පක්‍ෂවලින් වාගේම ස්වාධීන කණ්ඩායම්වලිනුත් ඉදිරිපත් වී සිටිනවා. මොන වෙස්මුහුණු බැඳගෙන ආවත්, අපි රැවටෙන්නේ නැහැ. අපි හිටගන්නේ, අපි යන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා. විදේශගත වී සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහත් ශක්තියක් ලබා දුන්නා. ඔවුන් එයින් ඔප්පු කළේ ඔවුන්ගේ හදවත හැම විටම මේ මහ පොළොවත් එක්ක බද්ධ වී තිබෙන බවයි. ඔවුන් හැම අවස්ථාවකදීම මේ රට හොඳ, යහපත්, නිවැරැදි තැනකට පත් කරන්න කල්පනා කරන බවයි. ඒ නිසාම ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් වියදම් කරගෙන පැමිණියා. එසේ පැමිණිය නොහැකි අය ඔවුන්ගේ ඥාති, මිත්‍රාදීන් දැනුම්වත් කර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළා. සිංහල, දෙමළ, මුස්ලිම් වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සියලුම දෙනා එක් වී ශ්‍රී ලාංකිකයි කියන රටක් අපි ගොඩනඟමු. අපි මාලිමාවේ එකට මේ මැතිවරණයට මුහුණ දෙමින්, මේ දක්වා ගොඩනඟා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. අපි ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනඟන්න කැප වී ක්‍රියා කරමු.

“ජාතික සමඟියේ සහ ජාතික විමුක්තියේ ආණ්ඩුව බිහි කර ගනිමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අමාත්‍ය විජිත හේරත්-

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මුළු රටම පාලනය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ අප තුන්දෙනෙක් අතට. කැබිනට් ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති වාගේම කාර්යභාරයක් නොමැති ඇමැති කියලත් ඇමැතිවරුන් එකසිය ගණනක් හිටියා. ඒ ජාතියේ ඇමැතිවරුන් නැවත සදහටම බිහි කරන්නේ නැහැ. ඒක මේ රටේ ජනතාව ලැබූ එක් ජයග්‍රහණයක්. අද මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් දවස. මැතිවරණයක් තිබෙනවාද කියලාවත් දැනගන්න නැහැ. ඉස්සර නම් කොහොමද? මැතිවරණයේ අන්තිම දවස් වෙන කොට ප්‍රතිවාදීන්ට එරෙහිව යුද්ධ කරනවා වාගේම එකම පක්‍ෂයේ හාදයෝත් මනාපවලට යුද්ධ කර ගන්නවා. ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි නිදහස්, සාධාරණ, සාමකාමී මැතිවරණයක් පවත්වන්න ලැබී තිබෙන්නේ මාලිමාවට ඔබ එදා ලබා දුන් කතිරයේ ප්‍රතිඵලය ලෙස ජනතාවට ජයග්‍රහණ ලැබීමෙනුයි. ඒ විතරක් නොවෙයි, ඇමැතිවරුන්, ඔවුන්ගේ ගෝලබාලයන්, පවුලේ අය, ඥාති මිත්‍රාදීන් පාවිච්චි කළ වාහනවල නාස්තිකාර වියදම් සියල්ල නතර වී තිබෙනවා. ඒකත් ජනතාව ලැබූ ජයග්‍රහණයක්. මේ සති හයට ජනතාවට සහනාධාර දීම ඇතුළු ගොඩක් දේවල් සිදු කර තිබෙනවා. අවුරුදු පහක වැඩ ආණ්ඩුව පිහිටුවා තවදුරටත් වේගවත් කරනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස කීවේ, මාලිමාව ජයග්‍රහණය කළහොත්, ඩොලර් එක රුපියල් හාරසියයට නඟින බවයි. දැන් තිබෙන්නේ දෙසිය අනූතුනට. මාලිමාවේ ආණ්ඩුව යටතේ රුපියල ඩොලරයට සාපේක්‍ෂව සියයට දහයකින් ශක්තිමත් වී තිබෙනවා. අප යටතේ කඩාවැටෙනවා කී කොටස් වෙළෙඳපොළ පසුගිය නොවැම්බර් පළමුවැනිදා මේ වසරේ ඉහළම වර්ධනය අත්පත් කර ගත්තා. අයි.එම්.එෆ්. නියෝජිතයන් එක්ක සාකච්ඡා කරමින්, බදු බර අඩු කරන්න, වැටුප් වැඩි කරන්න අදාළ සැලසුම් සකස් කරමින් සිටිනවා.

අපේ පාලනයක් යටතේ ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා ප්‍රචාරයක් යැව්වා. නමුත්, මේ වන විටත් ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, ජපානය විතරක් නොවෙයි, මැදපෙරදිග සහ ඇමෙරිකානු රටවල් මෙන්ම අප්‍රිකානු රටවල් සමඟ පවා ඉතාම හොඳ සම්බන්ධතා පවත්වාගෙන යනවා. අපේ පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දෙන්න චීන රජයෙන් අවශ්‍ය ආධාර හැටියට රුපියල් කෝටි 520ක් ලබා දී තිබෙනවා. පෑලියගොඩ, මොරටුව, කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසක අඩු අදායම්ලාභී පවුල් සඳහා නිවාස 1,996ක් නොමිලේ ඉදි කර දීමේ ව්‍යාපෘතිය අද උදේ ආරම්භ කළා. ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 200ක ආධාරයක් ලබා දෙන්න පොරොන්දු වී තිබෙනවා. ඉන්දියාවත් නව ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් ආධාර කරන්න පොරොන්දු වී සිටිනවා. නතර කර තිබූ ව්‍යාපෘති ගණනාවක් ජපානයෙන් ආරම්භ කරන්න සූදානමින් සිටිනවා. මහනුවර ජලසම්පාදන ව්‍යාපෘතිය, ගුවන්තොටුපොළ ඉදි කිරීම, රූපවාහිනී ඩිජිටල්කරණය ඒ අතුරින් මූලිකයි. ඒ වාගේම ගම්පහ නගරය ජලගැල්මෙන් මුදා ගන්න ලබන අවුරුද්දේ අයවැයෙන් රුපියල් මිලියන 7,500ක් යොදවන්න සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන නිවැරදිව කළමනාකරණය කර ගනිමින්, රටට වාසිදායක ලෙස ඉදිරියට ගෙන යනවා.

රටක් ලෙස ජනතාවාදී ක්‍රියාමාර්ග වේගයෙන් ඉදිරියට ගෙන යන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි. ඉන් පසුව ලබන වසරේදී ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වනවා. පළාත් සභා මැතිවරණත් පවත්වනවා. පළාත් පාලන වාගේම පළාත් සභා මැතිවරණත් ජයග්‍රහණය කර ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල අලුත්ම අලුත් මාලිමාවේ කණ්ඩායමකින් පිරිසිදු කිරීම් ආරම්භ කරනවා. ඒ නිසා රනිල්ලා, සජිත්ලා කියූ බොරු හෙළි වී අවසන්. ශක්තිමත් කරන්න විපක්‍ෂයක් ඉතිරි වෙලත් නැහැ. දැන් තිබෙන්නේ දුක් විඳින ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු කරමින්, ජයග්‍රහණ ලබාගෙන මාලිමාවේ බලය තහවුරු කිරීමයි. නොවැම්බර් 13 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක, සදාදරණීය රෝහණ විජේවීර සහෝදරයාත් ඇතුළු වීරෝදාර සගයන් ඝාතනය කළත්, අවුරුදු තිස්පහකට පසුව ඒ දිවිපිදූවන්ගේ උත්තරීතර බලාපොරොත්තුව ඉටු කිරීමේ දිනය නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. ඒ වීරෝදාර සටන් සගයන්ට උත්තමාචාර පිරිනමමින්, මේ රට ගොඩනඟමු; ශක්තිසම්පන්නව ඉදිරියට එමු. ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික සමඟියේ සහ ජාතික විමුක්තියේ ආණ්ඩුව බිහි කර ගනිමු.

Show More

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය

(-Colombo, November 11, 2024-) සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර […]

(-Colombo, November 11, 2024-)

Parate Meeting With The Senior Additional Secretary to the President for Finance and Economic Affairs, Mr. G. N. R. D. Aponsu

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

Parate Meeting Discussion

පරාටේ නීතිය (Parate Execution) ක්‍රියාත්මක කිරීම මේ වන විට අත්හිටුවා ඇති අතර එය ලබන දෙසැම්බර් මස 15වන දා කල් ඉකුත් වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ආර්ථිකයේ නිෂ්පාදනය හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Team At The Parate Meeting

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය.

මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

At The Parate Meeting

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ ආර්. ආර්. එස්. ද සිල්වා ජයතිලක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ඒ.ඩී. අමරකෝන්, සීමාසහිත ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහ ලේකම් ඉන්ද්‍රජිත් බෝයගොඩ, යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මනෝජ් අක්මීමන, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් පෙරේරා, කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් සමරනායක, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ප්‍රතිසාධන හා පුනරුත්ථාපන නිලධාරී නිරෝෂ් පෙරේරා, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තේවරතන්ත්‍රී යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Show More