(-Colombo, November 26, 2024-) ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් අද (26) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය කොමසාරිස් ලලිතා කපූර් මෙනවිය, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් මැතිව් ලෝඩ් මහතා සහ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ […]
(-Colombo, November 26, 2024-)
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් අද (26) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය කොමසාරිස් ලලිතා කපූර් මෙනවිය, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් මැතිව් ලෝඩ් මහතා සහ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ මහතා එක්ව සිටියහ.මේ වනවිට රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගන්නා ලදී.
(-Colombo, November 25, 2024-) ඊයේ (24) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයින් පිරිසක් ජවිපෙ නායකයින් හමුවිය. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයා සහභාගි විය. දීර්ඝ කාලයක් තිස්සේ චීන […]
(-Colombo, November 25, 2024-)
ඊයේ (24) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයින් පිරිසක් ජවිපෙ නායකයින් හමුවිය. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයා සහභාගි විය.
දීර්ඝ කාලයක් තිස්සේ චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර පවතින දේශපාලන මිත්‍රභාවය පිළිබඳවත් ඉදිරි ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙනුත් මෙහිදී අවධානය යොමු විය.
මේ අතර චීන නියෝජිත පිරිස ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ආණ්ඩුවට තේරී පත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද හමුවිය.
(-Colombo, November 18, 2024-) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක් හමු විය. තම රජය විසින් දිනා ගනු ලැබූ […]
(-Colombo, November 18, 2024-)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක් හමු විය.
තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වරක් තහවුරු කරනු ලැබීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළහ.
IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බව අවධාරණය කළේය.
ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවිමෙන් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය. තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම ආදී අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය.
පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳවද මෙහි දී ජනාධිපතිවරයාව දැනුවත් කළහ.
රට පාලනය කිරීම සහ දූෂණයට එරෙහි වීම යන කරුණු පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් විය. ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටන සඳහා තමන් හා තම රජය කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
එම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ආයතනික ව්‍යුහ වැඩිදියුණු කිරීම සඳහා තම රජය දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා IMF කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.
මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලැබූ අතර, එමඟින් ආර්ථිකය ප්‍රතිසාධනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූලික වටපිටාව සකස් කෙරිණි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
(-Colombo, November 18, 2024-) ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ සියලු ජනතාවට ස්තූතිවන්ත වෙනවා මෙවර මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් නැහැ ජාතික ජන බලවේගය අපේක්ෂා කරන අරමුණ ඉටු කිරීමට සියලු ජනතාවගේ සහාය සහ විශ්වාසය අවශ්‍යයි මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස […]
(-Colombo, November 18, 2024-)
ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ සියලු ජනතාවට ස්තූතිවන්ත වෙනවා
මෙවර මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් නැහැ
ජාතික ජන බලවේගය අපේක්ෂා කරන අරමුණ ඉටු කිරීමට සියලු ජනතාවගේ සහාය සහ විශ්වාසය අවශ්‍යයි
මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්‍රණයයි. ඔවුන්ට මේ නිදහස අවශ්‍ය වී තිබුණා
අපේ ජයග්‍රහණය විශාල වගේම ජයග්‍රහණය විසින් අප වෙත වන වගකීමේ බරද ඒ හා සමානයි
ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු !
අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති කියයි
අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අපේ ජයග්‍රහණය විශාල වගේම ජයග්‍රහණය විසින් අප වෙත පවරා ඇති වගකීමේ බර ඒ හා සමාන බවද ඒ වෙනුවෙන් අපි එකට වැඩ කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාතික ජනබලවේගය රජයේ අභිනව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (18) පෙරවරුවේ පැවැති උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
අපි කවුරුත් දන්නවා ලංකාවේ දේශපාලනයේ ඉතාමත් තීරණාත්මක හැරවුමක් සැප්තැම්බර් 21 වනදා සිදු වුණා. දීර්ඝ කාලයක් අප රට ගමන් කරමින් තිබු මාවත තීරණාත්මක ලෙස වෙනස් කිරීම සඳහා ජනතාව විසින් සැප්තැම්බර් 21 වනදා තීන්දුවක් ගනු ලැබුවා. ඉන් අනතුරුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී සැප්තැම්බර් 21 වනදා ගනු ලැබූ තීන්දුව තවත් ශක්තිමත් කරමින් අප කෙරෙහි මේ රටේ පොදු ජනතාව විශ්වාස තබා තිබෙනවා.
මෙම නව පරිවර්තනය සඳහා අපේ රටේ ජනතාව උද්යෝගයෙන් සහ උනන්දුවෙන් සහභාගී වූ බව අපි කවුරුත් දන්නවා. ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම නිරන්තරයෙන් වෙලී තිබුණේ උතුරට එරෙහි දකුණේ දේශපාලනයත්, දකුණට එරෙහි උතුරේ දේශපාලනයත් ලෙසයි. එසේ නැත්නම් එක් එක් ජන කණ්ඩායම් අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය කරන දේශපාලනයක්. නමුත් මෙම මැතිවරණයෙන් මුළුමනින්ම පෙන්නුම් කරන්නේ තවදුරටත් අපේ රටට බෙදීමේ දේශපාලනය වලංගු නොවන බවයි.
උතුරෙත්, දකුණෙත් නැගෙනහිරත්, බටහිරත් පොදු ජනතාවගේ අභිලාශයන් එකම කේන්ද්‍රයකට ගොනු කර ගැනීම සඳහා මෙවර මහ මැතිවරණය සමත්වී තිබෙනවා.
ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ ඒ සියලු ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපට ඡන්දය ලබා නොදුන්නත්, වෙනත් දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ලබා දුන්නත් අප අපේක්ෂා කරන මේ කාර්යයන් සහ අරමුණු ඔවුන්ගෙත් අරමුණු බවට පත්වන බව නිසැකයි. ලංකාවේ කිසිදු පුරවැසියෙකු බේදීමේ දේශපාලනය විශ්වාස කරනු ඇතැයි මම සිතන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ කිසිදු දේශපාලනඥයෙක් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම විශ්වාසය කරයි කියා මම සිතන්නේ නැහැ. මේ ආදි යහපත් දේ සෑම පුරවැසියෙකු තුළම ගැබ් වී තිබෙනවා. ඒ නිසා අපට ඡන්දය දුන් අය ඒ යහපත් දේ ඡන්දය හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඡන්දය නොදුන් ජනතාව තුළත් අප මේ අපේක්ෂා කරන අරමුණ තිබෙන බව අප දැඩි ලෙස විශ්වාස කරනවා.
ඒ නිසා මේ මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් මේ රටේ නැහැ. ජාතික ජන බලවේගය විසින් මේ රටේ අපේක්ෂා කරන ලද අරමුණු ඉටු කර ගැනීමේ දී මේ සියලු ජනතාවගේ සහායත් විශ්වාසයත් අපට අවශ්‍යයි. ඒ නිසා අප ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාමකාමීව ස්ථාපිත කරන්නේ කොහොමද, අනෙකාගේ දේශපාලන අයිතියට ගෞරව කරන්නේ කොහොමද කියන එක අප මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුව පෙන්වනු ලැබුවා.
මම හිතනවා එය මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක්. නමුත් අප විශ්වාස කරනවා එම අත්දැකීම අපේ රටේ සෑම පුරවැසියෙක්ම අපේක්ෂා කළ අත්දැකීමක් කියලා. ඒ වගේම මහ මැතිවරණයෙන් පසුවත්, මැතිවරණ කාල පරිච්ඡේදය තුළත් ලංකා ඉතිහාසයේ සිදු වූ සාමකාමීම මැතිවරණය පැවැත්වීමට අපේ පාලනය අවස්ථාව ලබා දුන්නා. එය ඔවුන්ගේ අයිතියක්. ඒ වගේම මේ මැතිවරණය ඓතිහාසික මැතිවරණයක්, මෙම මැතිවරණයේ සුවිශේෂීතා ගණනාවක් තිබෙනවා. ප්‍රමාණාත්මකව ගතහොත් ලංකා ඉතිහාසයේ මහ මැතිවරණයකදී ලබා ගන්නා ලද වැඩිම ජයග්‍රහණය, දේශපාලන ව්‍යපාරයක් ලෙස ගතහොත් මැතිවරණ ඉතිහාසයේ ආණ්ඩුවක් ලබාගත් පළමු ජයග්‍රහණය, අනිත් පැත්තෙන් ගතහොත් ජනතාවට සතුටු විය හැකි ජයග්‍රහණයක්. එවැනි ජයග්‍රහණයක් අප සහ අපේ පුරවැසියන්ට හිමි වූයේ කෙසේද, එම වෙනස්කම් අපේ රටට අවශ්‍යයි.
අප දැක තිබෙනවා අපේ රටට විවිධ ආකාරයේ ජයග්‍රහණය ලැබුණු සෑම විටම අපේ පොදු ස්වභාවය බවට පත්ව තිබුණේ පරාජිතයාට, එසේ නැත්නම් අනෙක් පාර්ශ්වයට හිත රිදවන, පීඩාවට පත් කරන ඉතිහාසයක්. නමුත් අප මෙම මැතිවරණයෙන් පසුව ස්ථීර ලෙසම අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. මහ මැතිවරණයෙන් පසුව අප එහි අඛණ්ඩතාව ආරක්ෂා කර තිබෙනවා.
සිදුවීම් සිදු විය හැකියි. එක් අවස්ථාවක සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැකියි. තවත් අවස්ථාවක ගැටුම්කාරී අවස්ථා පැවතිය හැකියි. නමුත් ඒවා ස්ථාවර වන්නේ නැවත නැවත ඒවා සිදුවීමෙන් පමණයි. ඒ නිසා මෙම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අප විවෘත කරන දොරකවුළු, පුරවැසියන්ට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ආරක්ෂා කර ගැනීම සඳහා වන අපේ බැඳීම ඒවා හුදු සිදුවීම් බවට පත්වෙනවා අවස්ථාවක්, දෙකකට පමණක් සිමාව වුවහොත්. නමුත් සෑම විටම එහි අඛණ්ඩතාව අප ආරක්ෂා කර ගතහොත් ඒවා හුදු සිදුවීම් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුරවැසියාගේ අයිතින් අඛණ්ඩව ආරක්ෂා කරමින්, තව
තවත් ගුණාත්මක තලයකට ගෙන ඒම අප වෙත පැවරී ඇති වගකීම වෙනවා. එය ආණ්ඩුවේ වැදගත් වගකීමක් කියා මා කල්පනා කරනවා.
විශේෂයෙන් මෙම මැතිවරණ ව්‍යාපාරයේ දී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල උද්යෝගයක්, ධෛර්යයක් අප වෙත ලබා දෙනු ලැබුවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස මැතිවරණයක් පිළිබඳ උනන්දුවක් දැක්වූ එක් අවස්ථාවක් මීට පෙර මැතිවරණ ඉතිහාසයේ තිබෙනවා. මම හිතනවා එම අවස්ථාවද අභිබවා යන ආකාරයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්වීමක්, දායකත්වයක් සහ ක්‍රියාකාරිත්වයක් මෙම මැතිවරණයේ දී ලබා දුන්නා.
ඔවුන් ලංකාවෙන් පිටත සිටියත් මෙම මැතිවරණයේ ප්‍රතිඵල ඔවුන් ඉතාමත් සතුටින්, උද්යෝගයෙන් යුතුව සැමරූ බව අප දන්නවා. අප ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
අපි දන්නවා සාමාන්‍යයෙන් මැතිවරණයකදී දේශපාලනයේ තිබෙන වැදගත්ම කොටස වන්නේ අපි දරණ මතය සහ අප දරණ අදහස් සමාජය වෙත ගෙන යාමයි. එම සමාජය වෙත ගෙන යාමේදී අප දේශපාලන ව්‍යාපාරයක් ලෙස යම් කාර්යයක් සිදු කළා වගේම ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍ය තුළ එම වගකීම කරට ගත් නව පරම්පරාවක් සිටියා. එම තරුණ පරපුරේ විශේෂ අපේක්ෂාවන් අප තේරුම්ගත යුතුයි. හුදු ඔට්ටුවක්, තරගයක්, ජයග්‍රාහකයා පරාජිතයා බෙදා ගැනීම සඳහා පොරයක් නොවෙයි සමාජ මාධ්‍ය තුළ පෙන්නුම් කළේ. ඒ තුළ පෙන්නුම් කළේ අලුත් තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සහ අරමුණුයි. ඒ නිසා අපි එයට බැඳි සිටිය යුතුයි. එය වැදගත් කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු දෙනාට අප මෙම අවස්ථාවේ දී ස්තූතිවන්ත වෙනවා.
නමුත් අප තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. විශාල බලාපොරොත්තුවක් සහිතව මෙම ජනතාවගේ නැගී සිටීමේ රහස කුමක්ද, දීර්ඝ කාලයක් අපේ රටේ පුරවැසියන් විවිධාකාරයේ පීඩාවන්ට මුහුණ දෙමින් සිටියා. නීතිය ඉදිරියේ අපේ රටේ පුරවැසියන් අසරණභාවයට, පීඩාවට පත්වූ අවස්ථා සුලබ දසුනක්. ඒ වගේම ආර්ථිකයේදී නොසළකා හරින ලද ජන කණ්ඩායමක් සිටිනවා. ඔවුන් ආර්ථිකය තුළ මිනිස් දූවිලි බවට පත්ව තිබෙනවා. නිසි පරිදි ආහාර වේලක් නැති, නිසි පරිදි නිවසක් නැති, නිසි පරිදි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථාවක් නොමැති ආර්ථික පීඩාවට ලක් වු ජන කණ්ඩායම් සිටිනවා.
ඒ වගේම තමන් නියැළෙන වෘත්තිය තුළ තමන්ගේ දැනුම සහ හැකියාව නිදහසේ යෙදවිය හැකිද? ඒ නිසා වෘත්තීවේදීන් තම වෘත්තිමය ක්ෂේත්‍රයේ තමන්ගේ කාර්යභාරයන් ඉටු කර ගැනීමේ දී මුහුණ දුන් පීඩාවන් ගැබ්වී තිබෙනවා. ඒ වගේම තමන් කතා කරන භාෂාව අනුව, තමන් අදහන ආගම අනුව සංස්කෘතීන් අනුව කොන් වූ පීඩාවට පත්වූ ජන කණ්ඩායමක් සිටියා. ඔවුන් හැම වෙලාවෙම කල්පනා කරනවා ශ්‍රී ලංකාව තුළ ඔවුන් හුදකලාවට ලක් වූ අය. ශ්‍රී ලංකාව තුළ ඔවුන් කොන් වූ අය, ශ්‍රී ලංකාව තුළ සම අයිතින් නියෝජනය කරනවා වෙනුවට කප්පාදු කරන ලද අයිතින් උරුම ජන කණ්ඩායමක් බව ඔවුන් කල්පනා කරනවා. ඒ නිසා එවැනි පීඩාවක් තිබුණා.
සෑම ක්ෂේත්‍රයකම ජන කණ්ඩායම් බැලුවොත් ඔවුන්ටම ආවේණික, ඔවුන්ටම අනන්‍ය වු පීඩාවන් රැසකට අපේ පොදු ජනතාව මුහුණ දුන්නා. මම දන්නවා නීතිය ඉටු කිරීම සඳහා උත්සාහ කරන රාජ්‍ය නිලධාරීන් මේ පීඩාවේ ගොදුර බවට පත්ව සිටියා. එයයි සත්‍ය තත්ත්වය. ඒ නිසා මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්‍රණයයි. ඔවුන්ට අවශ්‍ය වී තිබුණා මේ නිදහස. මේ විවිධාකාරයෙන් එල්ල වූ තිබු පීඩාවන්ගෙන් මිදීමේ අවශ්‍යතාවය ඔවුන්ට තිබුණා. ඒ නිදහසේ අවශ්‍යතාව ආමන්ත්‍රණය වන්නේ මේ ඡන්ද ප්‍රතිඵලයෙන්. එසේ නම් අපට කිසිදු අයිතියක් නැහැ එම පුරවැසියන්ට කප්පාදු කිරීමේ නිදහසක් ලබා දීමට. ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම පූර්ණ නිදහස අප තහවුරු කළ යුතුයි.
වෘත්තීයවේදීන් ලෙස තමන්ගේ දැනුම අනුව තමන්ගේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා අප ලබාදෙන නිදහස, නීතිය සහ සාමය ස්ථාපිත කරන නිලධාරීන්ට තමන්ගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අප ලබා දෙන නිදහස, ආර්ථිකයේ සාධාරණ පංගුවකට උරුමකම් කීම සඳහා අප දෙන නිදහස, තමන්ගේ ආගම, භාෂාව සංස්කෘතීන් අනුව පුරවැසියන්ට නිදහසේ ජීවත්වීම සඳහා තිබෙන අයිතිය මේ ආදී සියල්ල අප යළි තහවුරු කළ යුතුයි. ඒ නිසයි අප කියන්නේ පුනරුද යුගයක් කරා ශ්‍රී ලංකාව ගෙන යා යුතුයි කියලා.
මේ රටේ ජනතාවට මීට වඩා නිදහස් වාතාවරණයක් අප නිර්මාණය කළ යුතුයි. මේ ජයග්‍රහණය ලබා ගැනීමේ දී පොදු ජනයාගේ විශාල මැදිහත්වීමක් තිබු බව අප දන්නවා. අපේ දේශපාලන යාන්ත්‍රණය සමඟ සම්බන්ධ නොවු, අප මුණ නොගැසුණු, අපත් සමග කථා බහ නොකළ නම්, ගම, තැන් නොදන්න විශාල පිරිසක් අප වෙනුවෙන් වැඩ කළා. ඔවුන් බස් රියේදී, දුම්රියේදී, වැඩපළේදී, උත්සව අවස්ථාවකදී මේ සෑම අවස්ථාවකදීම විශාල පිරිසක් අපේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණා. ඒ වගේම මතක තබා ගත යුතුයි අප මෙම ජයග්‍රහණය සඳහා දීර්ඝ කාලයක් පොර බැදුවා. දශක ගණනාවක් පොර බැදුවා.
මා දන්නවා මෙහි සිටින බොහෝ පිරිසක් තමාගේ තරුණ කාලයේ සිට මෙම සිහිනය සඳහා පොර බැදුවා. මෙම පොර බැදීමේදී තමන්ගේ කාලය, ශ්‍රමය පමණක් නොවෙයි, තමන්ගේ ජිවිතය පවා මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප කළා. ඒ විතරක් නොවෙයි ආරම්භයේ ඉතා දුෂ්කර අවස්ථාවලදී මෙම ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට අපි මැදිහත්ව සිටියා. ඇතැම් අය අතරමැද දමා ගියා. එසේ වුවත් අපට මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ආරම්භයේදී, අතරමැදදි, ඕනෑම අවස්ථාවකදී ඔවුන් අපට සහාය ලබා දී තිබෙනවා. එයත් මෙම ජයග්‍රහණයට විශාල පිටිවහලක් වී තිබෙනවා.
ඒ නිසා අපට ආකාර දෙකක වගකීමක් තිබෙනවා. එකක් පොදු ජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරයක් වෙනුවෙන් තිබෙන වගකීම. බලය කියන්නේ ඉතා විශේෂ දෙයක් කියා අප විශ්වාස කරනවා. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් යළි යළි බලය වර්ධනය කරනවා. හැබැයි ඉතිහාසයේ දැක තිබෙනවා, ඒ වගේම ඇතැම් අය ප්‍රකාශ කරනවා බලය දූෂිතයි. අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි කියලා. ඇත්ත. බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. ඒ බව ඔප්පු කර තිබෙනවා. අපේ රටේ අවස්ථාවන් කිහිපයක් මෙවැනි බලයන් නිර්මාණය වී තිබුණා. හැබැයි එම බලයන්ගේ අවසන් ප්‍රතිඵලය ගතහොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. ඒ බලයන් හැමවිටම රටට, ජනතාවට අහිතකර ලෙස යෙදවුවා. ඇතැම් අය සිතන්න පුළුවන් අසීමිත බලයක් ලැබී තිබෙනවා. එම අසීමිත බලය අප කොතනට තල්ලු කරයිද කියන සැකය සමාජය නිර්මාණය වී තිබුණා.
කුඩා හෝ සැකයක් තියෙන හැම දෙනාටම මම කියන්නේ අපිට බලය තියෙන එක ඇත්ත. හැබැයි අපි ඒ වගේම මේ බලයේ සීමා මායිම් සහ මේ බලය විසින් අපිට සෙල්ලම් කරන්න අපිට මේ බලය විසින් අපට හසුරවන්න ලබාදී තිබෙන කොටුවේ ප්‍රමාණය අපි දන්නවා. අපි හැම දෙනාම තේරුම් ගත යුතුයි. බලය තිබෙනවා. හැබැයි ඒ බලයේ සීමා මායිම් අපට තිබෙනවා. ඒ වගේම ඒ බලයේ අරමුණක් තිබෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දෙන ලද යහපත් අරමුණු, අපේක්ෂා ඉටු කිරීම ඒ බලයට පැවැරී තිබෙනවා.
ප්‍රධාන දේ මේ බලය වගකීම් සහිතයි. කාටද? එක් පැත්තකින් පුරවැසියන්ට වගකීම් සහිතයි. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට වගකීම් සහිතයි. ඒ නිසා මම හිතනවා අනපනත්වලින් ව්‍යවස්ථාවලින් භාවිතාවෙන් කුමන ආකාරයේ බලයක් අපට නිර්මාණය කරලා දුන්නත් මේ බලය අප හැසිරවීමේදී අපි වගවීමට ලක්විය යුතුයි. එක පැත්තකින් පුරවැසියන්ට අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට. අන්න එතනින් තමයි සියල්ල ගලවා වියුක්තව බලය හොබ වන්න බැරි වෙන්නේ. අපට වගවීමක් තියනවා .බැඳීමක් තිබෙනවා .ඒ නිසා මම හිතනවා සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල වගකීමක් තියෙනවා කියලා.
ඔබ හැමදෙනාම තේරුම් ගන්න. මම අළුතින් කියන්න අවශ්‍ය නැහැ. ඔබට ඒ සීමා මායිම් තිබෙනවා. ඔබට වගවීමක් තියෙනවා. ඔබට බැඳීමක් තිබෙනවා. එය ආරක්ෂා කරයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් තවත් සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා.මෙතන කැබිනට් මණ්ඩලයට විතරක් නොවෙයි බොහෝ දෙනා පාර්ලිමේන්තුවටත් අලුත්. හැබැයි අපි දීර්ඝ කාලයක් අපි විවිධ අරමුණු වෙනුවෙන් විවිධ තලවල වැඩකළා. ඔබ වෘත්තිය වේගයෙන් හැටියට වැඩ කර තිබෙනවා. දේශපාලන ක්‍රියාධරයන් විදියට වැඩ කර තිබෙනවා. ඒනිසා ඔබ හැම දෙනාම කැබිනට් එකට අලුත්, පාර්ලිමේන්තුවට අළුත්, හැබැයි දේශපාලන අලුත් නැහැ. වැඩ කරන්න අලුත් නැහැ.
එනිසා අපි හිතනවා ජනතාවට අලුත් පන්නයේ ආදර්ශයන් ගණනාවක් මේ කැබිනට් මණ්ඩලයට අරන් දෙන්න පුළුවන් කියලා. ඒ වගේම රට අපේක්ෂා කරන ජයග්‍රහණයන් වල නියමුකාර්ය මේ තෝරාපත් කර ගනු ලැබූ කැබිනට් මණ්ඩලයට, ඔබට පුළුවන් බව මා විශ්වාස කරනවා. අපි ඉතා හොඳින් මෙහෙයවා වැඩ කටයුතු කළොත්, ඒ හැකියාව ඔබට තිබෙනවා, ඒ උවමනාව ඔබට තිබෙනවා, අපි පෞද්ගලිකව දන්නවා ඔබ අදූෂිතයි, ඔබ අවංකයි, ඔබට මේ කාර්යභාරය ඉටු කර ගැනීමට ධෛර්යයක් තිබෙනවා.
එනිසා ඔබ මේ කාර්යය අවංකව කරයි කියන දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. ඒ විශ්වාසයෙන් යුතුව තමයි අප කටයුතු කරන්නේ. ඒ වගේම දේශපාලනේ දී ගත්තොත් අපට එක වෙලාවකදී තිබුණේ දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාපාරය ගොඩ නගන්න ව්‍යාපාර ආමන්ත්‍රණය කරන්නයි. අපට යහපත් අරමුණු සමුදායක් තිබුණා. එම අරමුණු සමුදාය සාර්ථක කර ගැනීම සඳහා බලය අත්පත් කර ගැනීම සඳහා අප වැඩ කළා. එතකොට අපේ වැඩ රටාව.අපේ සටන් පාඨ, අපේ ක්‍රියාකාරකම්, ඒ ඔක්කොම තියෙන්නේ බලය අත්පත් කර ගැනීමේ සඳහා පොර බදන තලයේයි. අපි පොර බදලා, පොර බදලා, පොර බදලා මේ අවශ්‍යතාවය මේ රටේ පුරවැසියන්ට ඒත්තු ගන්වලා තිබෙනවා. ඒක තමයි ප්‍රතිඵලය. දේශපාලනය ජයග්‍රහණය කරලා තිබෙනවා. තවදුරටත් අපි මනින්නේ දේශපාලන සටන් පාඨයෙන් පමණක් නොවේ.
සැප්තැම්බර් 21 ට පෙර , නොවැම්බර් 14ට පෙර අපව මණිනු ලැබුවේ අපේ සටන් පාඨ අපේ මතවාදයන්ගේ තිබෙන මතවාද මතයි. හැබැයි නොවැම්බර් මාසයේ 14 වෙනිදායින් පසුව එය සිදු වන්නේ ආණ්ඩුකරණයේදී අප යහපත්ද නැද්ද කියන සාධකයෙන්. මීට පෙර අප මණිනු ලැබුවේ අපේ දේශපාලන ක්‍රියාකාරීත්වය හොඳද නරකද කියන එක. මෙතන සිට අපි මණින්නේ අපේ ආණ්ඩුකරණය යහපත්ද අයහපත්ද කියන සාධකයෙන්.
ඒ නිසා අපි දීර්ඝ කාලයක් දරණ ලද වෙහෙස , ජනතාවගේ අපේක්ෂාව, ඔවුන් අපේක්ෂා කරන අරමුණු මේ සියල්ල සාර්ථක කර ගැනීමේදී අපේ ඉලක්ක සඳහා මෙහෙයවීම සඳහා යහපත් ආණ්ඩුකරණය අවශ්‍යයි. තව දුරටත් අපව මැණෙන්නේ සටන් පාඨ, මතවාදවල නෙවෙයි. අපි අද සිට මැණෙන්නේ අපේ සටන් පාඨවලට කොතරම් පණ පොවන්න සමත් පාලනයක්ද ලෙසයි.
ඒ නිසා ජයග්‍රහණය විශාල වගේම මේ ජයග්‍රහණය විසින් අප වෙත පවරා තිබෙන වගකීම ඒ හා සමාන ලෙසම බරයි. සමහර අවස්ථාවල කිව්වා අපි ජයග්‍රහණය සඳහා පොර බදමු, ජයග්‍රහණයෙන් පසුව ඊට අදාළ ශක්‍යතාව , හැකියාව තිබෙන කණ්ඩායම් ඉදිරි පියවර ගෙන යයි කියලා. හැබැයි හොඳට හෝ නරකට ජයග්‍රහණය සඳහා පොර බඳන්නත් අපට සිදු වුණා. ජයග්‍රහණයෙන් පසුව ඒ කාර්යය සාර්ථක කර ගැනීමේ නියමුවරුන් බවට අප පත් වී තිබෙනවා.
ඒ නිසා ඔබ මත තමයි මේ සියල්ල තිබෙන්නේ. ඔබ තමයි කේන්ද්‍රය. ඔබ මොන තරම් ඔබගේ ක්ෂේත්‍ර ප්‍රතිඵලදායක ලෙස මෙහෙයවීමට, ඔබට පවරා තිබෙන වගකීම ඉටු කිරීමට සමත් ද? ඔබ මොන තරම් ඔබගේ පුද්ගලික චර්යාවන් බැඳීම්, ඉටු කරන්න සමත්ද? මේ මත තමයි අපේ ඊළඟ සමත් අසමත්භාවය තීරණය කරන්නේ.
සැප්තැම්බර් 21 සහ නොවැම්බර් 14 අපි අදියර දෙකකින් සමත් වීමක් තිබෙනවා. ඊළඟට අපි සමත් වෙනවද නැද්ද කියා තීරණය කිරීමේදී ඔබගේ පංගුව විශාලයි. ඒ අපට මෙය සාර්ථකත්වයෙන් කෙළවර කළ හැකි වෙන්නේ ඔබ යහපත් ආණ්ඩුකරණය සඳහා දක්වන වගවීම සහ බැඳීමෙන් තමයි. ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු. ඒ වෙනුවෙන් අපි එක්ව හඬ නඟමු.
(-Colombo, November 18, 2024-) නව අමාත්‍ය මණ්ඩලය 21 යි ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව […]
(-Colombo, November 18, 2024-)
නව අමාත්‍ය මණ්ඩලය 21 යි
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.
01 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍ය
මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය
ඩිජිටල් ආර්ථික අමාත්‍ය
02 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
03 විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
04 මහාචාර්ය චන්දන අබේරත්න මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
05 නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
06 සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
07 කේ. ඩී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය
08 අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
09 රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10 මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය
11 සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
12 ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13 බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
15 වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
16 සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17 සුනිල් කුමාර ගමගේ මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18 වසන්ත සමරසිංහ මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19 මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කම්කරු අමාත්‍ය
21 ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය
22 වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පරිසර අමාත්‍ය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.11.15-) පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මේ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඓතිහාසික දේශපාලන හැරවුමේ තීන්දුවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව දේශපාලන පක්ෂයක් මේසා විශාල ජයග්‍රහණයක් ලබාගත් පළමු වැනි අවස්ථාව මෙයයි. මේක අපේ රටේ ජනතාව එක පාලන යුගයක් නිමා කර නව යුගයක් […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.11.15-)
පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මේ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඓතිහාසික දේශපාලන හැරවුමේ තීන්දුවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව දේශපාලන පක්ෂයක් මේසා විශාල ජයග්‍රහණයක් ලබාගත් පළමු වැනි අවස්ථාව මෙයයි. මේක අපේ රටේ ජනතාව එක පාලන යුගයක් නිමා කර නව යුගයක් ආරම්භ කිරීම අරමුණු කරගෙන දී තිබෙන ජන වරමක්. මේ ජනවරම තුළ තිබෙන දේශපාලනය අපට පැහැදිලිව පෙනෙනවා. ආසන 225ක් තිබෙන පාර්ලිමේන්තුවේ ආසන 159ක් ජයග්‍රහණය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. මඩකලපුව හැර සෑම දිස්ත්‍රික්කයක්ම ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කර තිබෙනවා. උතුරේ යාපනය හා වන්නි දිස්ත්‍රික්ක දෙකම ජයග්‍රහණය කිරීමෙන් දේශපාලනයේ කැපී පෙනෙන විශේෂයක් පෙන්නුම් කර තිබෙනවා. නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක දෙක ජයග්‍රහණය කර තිබෙනවා. පසුගිය කාලයේ එක්තරා දේශපාලනයේ ආධිපත්‍යය දරාගෙන සිටි කඳුකර ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. අපේ රටේ සමස්ත ජනයා එක අරමුණකට ඇවිත් ජයග්‍රහණය සඳහා අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ අනුව මේ ලබාගත් ජයග්‍රහණය අති විශේෂ ජයග්‍රහණයක් කොට අපි සලකනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නියුතු අයත් 80%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදෙමින් මේ ජයග්‍රහණයට දායක වී තිබෙනවා. අපි මේ ලබා තිබෙන ජනවරම අංග සම්පූර්ණ, දේශපාලන බරක් සහිත ජනවරමක්. මෙතෙක් ආණ්ඩු පක්ෂ කිහිපයක් එකතු කර සන්ධානවලින් ගොඩනගාගත් ජයග්‍රහණයන්ට වඩා මේ ජයග්‍රහණයේ දේශපාලන ගැඹුරක්, හරයක් තිබෙනවා.
මේ නිසා අපිට වගකීමක් තිබෙනවා පළමුවෙන්ම ජනතාවට ස්තුති කරන්න. මේ ජයග්‍රහණය දක්වා මේ ව්‍යාපාරය මෙතෙක් රැගෙන ඒමේදී මුහුණ දුන් දුෂ්කරතා අමාරුකම් දරාගෙන සිටි බොහෝ දෙනෙක් සිටියා. කැපකිරීම් කළ, වෙහෙස වුණු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම උදව් කළ අය, ඡන්දෙ දුන් අය ඉන්නවා. දිගු කලක් තිස්සේ අමාරුකම් දරාගෙන මේ ව්‍යාපාරය අල්ලාගෙන ආ අය, ව්‍යාපාරයට උදව් කළ අයට ජාතික ජන බලවේගය විදිහට අපි ඒ සියලු දෙනාටම අපේ ආචාරය පුදකරනවා; ස්තුතිය පුදකරනවා. ඒ සියලු දෙනාගේම ධෛර්යය තමයි අපිට අලුත් රටක් හැදීම සඳහා අවස්ථාව උදාකර දී තිබෙන්නේ. මේ ජයග්‍රහණයේදී නන් අයුරින් සහයෝගය දක්වපු, ඡන්දය දුන්, උදව්කරපු, සියලු දෙනාටම අපේ ස්තුතිය, ගරුත්වය, ශීර්ෂ ප්‍රණාමය පුදකරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම උතුරේ ජනතාව ඉතිහාසයේ පළමු වැනි වතාවට අනෙක් ප්‍රදේශයකින් ඉදිරිපත් වූ නායකයෙක් ගැන විශ්වාසය තබා තිබෙනවා. උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව, කඳුකර ජනතාව ජාතිවාදය පසෙක දමා දකුණේ ජනතාව සමග අත්වැල් බැඳගැනීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ජාතිවාදී නායකයන් විසින් පතුරවපු බොරු, බේගල්, වැරදි මත, නොමඟ යැවීම් විශ්වාස නොකර, රටක් ලෙස එකට සිතලා අප සමග අත්වැල් බැඳ ගැනීම ගැන අපේ ස්තුතිය පුද කරනවා. අපේ මතය සමාජගත කිරීම සඳහා, තමන්ට කිසිවක් බලා පොරොත්තු නොවී අපට මුදල් ලබාදෙමින් උදව් කළ අයත්, මාධ්‍යවේදීන්, තමන්ගේ රැකියාවට තිබෙන අනතුරු පවා නොතකමින්, රට වෙනස් කිරීමේ අරමුණු සහිතව පොදු අරමුණකින් උදව් කළ විශාල පිරිස් හිටියා. ඒ හැමෝටමත් අපේ ස්තුතිය පුදකරනවා.
අපට ලැබී තිබෙන ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගෙන තිබෙනවා. ජනතාව විශාල විශ්වාසයක් අපි කෙරෙහි තබා තිබෙනවා. අපි ඒ විශ්වාසය ඒ වගේම රැකිය යුතුව තිබෙනවා. අවුරුදු 76ක කාලයක් පුරා රටේ දේශපාලන බලය හොබවපු දේශපාලන පක්ෂ පරාජයට පත්කර තමයි, මේ ජයග්‍රහණය අත්පත් කර දී තිබෙන්නේ. අපේ ජයග්‍රහණයේ වේගය බැලූ විට, පසුගිය ජනාධිපතිවරණයේදී අපි ලබාගත්තේ දළ වශයෙන් ඡන්ද 56,34,000ක ප්‍රමාණයක්. අපි එය මේ මහ මැතිවරණයේදී 68,63,000ක් දක්වා වැඩිකර ගැනීමට සමත් වී තිබෙනවා. මාස එකහමාරක් තුළ ලක්ෂ 12කින් වැඩිකර ගැනීමට අපි සමත් වෙලා තිබෙනවා. සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේදී 43,63,000ක පමණ ප්‍රමාණයක් ලැබුවා. නමුත් මේ මැතිවරණයේදී 19,68,000ක් දක්වා අඩුවී තිබෙනවා. ඔවුන්ගෙන් ලක්ෂ 24කට කිට්ටු ඡන්ද ප්‍රමාණයක් ගිලිහී තිබෙනවා. ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්දවලින් අඩක්වත් ලබාගැනීමට ඔවුන් අසමත් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ඡන්ද 22,99,000ක් පමණ ලබාගත්තා. මෙවර මැතිවරණයේදී ඔහුට ලක්ෂ 05 පමණ ප්‍රමාණයක් පමණයි, ලබාගත හැකිවී තිබෙන්නේ. ඔහුගෙන් ලක්ෂ 17ක් පමණ ගැලවී ගොස් තිබෙනවා. මේ මාස එකහමාරක් තුළ මේ දේශපාලන පක්ෂ බිඳවැටීමක් සිදුවී තිබෙනවා.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා, සමගි ජන බලවේගයේ අය සමාජය ඉදිරියේ කිවුව බොරු, බියවැද්දීම්, නිසා ජනතාව කිසියම් දෙගිඩියාවකට පත්වුණා. නමුත් ගෙවුණු මාස එකහමාර තුළදී ඔවුන්ගේ බොරුවල ප්‍රමාණය ජනතාව තේරුම් ගත්තා. අපි ආවොත්, ආර්ථිකය, කොටස් වෙළඳපොළ, කඩා වැටෙයි, දේපොළ පවරා ගනියි, කිවුවා, රුපියල බාල්දු වෙනවා කිවුවා. කාර් දෙකකින් එකක් ගනියි, ලේ වැගිරීම් සිදුවෙයි, අස්වැසුම කපයි, රටේ විශාල විනාශයක් වෙයි කිවුවා. ආගම අදහන්න දෙන්නේ නැහැ කිවුවා. එවැනි බිය වැද්දීම් කළ සමාජයක් ඇතුලේ තමයි අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ. නමුත් එයින් පසුව ගෙවුණු මාස එකහමාර තුළ ජනතාව තේරුම් ගත්තා ඒ ප්‍රකාශයන් සියල්ලම බොරු බව. ඒ නිසා අපිට උදව් කරන්න ජනතාවට ලෙහෙසි වුණා. බොරුවෙන් ජය ගන්න උත්සාහ කළ අය බොරුව නිසාම පරාජයට පත්වෙලා තිබෙනවා. පැරණි, වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත, ප්‍රභූ, ජනතාව මත ආධිපත්‍යය පටවාගෙන හිටපු, මහජන මුදලින් යැපුණු දේශපාලනය දැන් අවසන් වී තිබෙනවා. අපි ජනතාවට කියනවා පැරණි යුගය අවසන්. දැන් තිබෙන්නේ පොදු ජනතාවගේ දේශපාලනයක්. එය තේරුම් ගත් ජනතාවගේ සහයෝගයක් මේ ජයග්‍රහණය තුළ තිබෙනවා.
අපේ රටේ ජනතාව ජාතිවාදය ප්‍රතික්ෂේප කොට තිබෙන බව, මේ ප්‍රතිඵලයෙන් දකින්න පුළුවන්. උතුරට ගොස් උතුරේ ජාතිවාදී නායකයන් ජාතිවාදය අවුස්සන්න උත්සාහ කළා. අපේ සමහර ප්‍රකාශයන් විකෘති කර, ඒවා දෙමළ ජනතාවට එරෙහිව කළ ප්‍රකාශයන් බවට තහවුරු කරන්න උත්සාහ කළා. ඒ වගේම ජාතික ජන බලවේගයට එරෙහිව මුස්ලිම් ජනතාව පොළඹවන්න, මුස්ලිම් ජනතාව තුළ ජාතිවාදය වපුරවන්න කටයුතු කරමින් සිටියා. ආගම්වාදය අවුස්සන්න පටන් ගත්තා. එහෙත් ප්‍රතිඵලය විසින් පෙන්වා තිබෙනවා ඔවුන්ගේ එවැනි ප්‍රකාශයන් දෙමළ ජනතාව හෝ මුස්ලිම් ජනතාව බාරගෙන නැහැ. දේශපාලන නායකයන්ට වඩා ජනතාව ඉදිරියෙන් ඉඳිමින්, අවබෝධයෙන් කටයුතු කර තිබෙනවා. ජාතිවාදය, අන්තවාදය මත යැපුණු පැරණි දේශපාලනය අවසන් කොට තිබෙනවා.
ඒ වගේම ගතවුණු දින 50කට වැඩි කාලය තුළ, ජාතික ජන බලවේගයේ භාවිතය අපේ රටේ ජනතාව පිළිගෙන තිබෙන බව පේනවා. අපි සරල රාජ්‍ය පාලනයක් පටන් ගත්තා. මහජන මුදල් නාස්ති නොකර වැඩකරන්නේ කොහොමද කියා ඔප්පුකොට පෙන්නුවා. ජනතාවට වඩා උඩින් ඉන්න ප්‍රභූත්වයක් පෙන්නුවේ නැහැ. ජනතාව සමග වැඩ කරන සරල මිනිස්සු බව, අවංකව වැඩ කරන බව පෙන්නුවා. ඒවත් අපේ ඡන්ද වැඩිකර ගැනීමට හේතු කාරක වෙන්න ඇති කියා අපි හිතනවා. අපේ ජනතාව මේ ආකාරයෙන් අපව විශ්වාස කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කිරීමේ අභියෝගය අපට තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලය අපිට 2/3ක ඉක්මවා ගොස් තිබෙනවා. මේ ලැබී තිබෙන අධික බලය පරෙස්සමට පරිහරණය කරන්න අපි පරෙස්සම් වනවා. පාර්ලිමේන්තුවට 2/3ක වැඩි බලයක් දෙන්න එපා යන මතයක් ගොඩනැගී තිබුණේ ඇයි? 1977න් පස්සේ ලැබුණු අධික බලය පාලකයන් පාවිච්චි කළේ, ජනතාව මර්දනය කර, යටපත් කරලා, ජනතා හඬට ඇහුම්කන් නොදෙන, මහජන දේපොළ ඇති තරම් භුක්ති විඳින්නයි. ජනතාවට වඩා උඩින් ජීවත් වෙන, බලයෙන් ඉදිමෙන, මත්වෙන දේශපාලනයක් අතීතයේ තිබුණා. ඒක පරද්දන්න ඕනෑ.
අපි දේශපාලන බලයෙන් මත්වෙන්න යන්නේ නැහැ. මේ බලය ජනතාව දුන් බලයක්. එය අතිශය පරෙස්සමින් ජනතාවගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන වගකීමක අපි ඉන්නවා. ජනතාව පීඩාවට පත්කිරීමට හෝ බලයට පත්වුණු අයගේ පැවැත්ම සඳහා හෝ නොව මේ රට ගොඩනගන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, වංචා දූෂණවලින් තොර හොඳ පාලනයක් නිර්මාණය කරන්න, ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා මේ බලය පාවිච්චි කරන බවට අපි සහතිකයක් ජනතාවට දෙනවා. මේ ජනවරමේ ගැඹුර, බර අපට හොඳින්ම තේරෙනවා. අපි බාරගෙන තිබෙන්නේ සරල රටක් නොවෙයි. මේක විනාශ කරපු රටක්. ආර්ථික වශයෙන් බංකොලොත් කරපු, ණය බරින් මිරිකුණු, ණය බර නිසාම මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගහන්න සිදුවුණු රටක්, දුප්පත්කමින් පිරුණු තුන්වේල කන්න බැරි වුණු, අපරාධ වැඩි වුණු, මත්ද්‍රව්‍ය වැඩි වුණු, සෑම පැත්තකින්ම විනාස වුණු, ජාත්‍යන්තරය තුළ අපේ ප්‍රතිරූපය විනාශ වුණු රටක් අපි ඉදිරියේ තිබෙනවා. අපේ රට පාලකයන් මුළු ජීවිත කාලයම මහජන මුදල්වලින් ජීවත්වීමේ ක්‍රමය කර ගත් රටක්.
ඒ ක්‍රමය වෙනුවට හොඳ රටක් අපි හදන්න ඕනෑ. අපි හොඳ රටක් හදන්න ඕනෑ. අපි ඉදිරියේ ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අසාධාරණත්වය, ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න විසඳන්න, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම, පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, විනයගරුක රටක්, ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම, ණය ගෙවා, වැටුණු ආර්ථිකය ගොඩනගා ගැනීම, ජනතාවට ගෞරවයෙන් ජීවත් වීමට රටක් නිර්මාණය කිරීම, අභියෝග ලෙස අප ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝග දිනන්න මේ බලය පාවිච්චි කරනවා මිසක්, පක්ෂයක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැහැ කියන සහතිකය අපි ජනතාවට දෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේදි සහ මෙවර මැතිවරණයේදී, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. අපට ඡන්දයක් නොදුන් කෙනාව පීඩාවට පත් කරන ජය සැමරීමේ සංස්කෘතියක් අපි නිර්මාණය කළේ නැහැ. ඒ නිසා අපිට ඡන්දය නොදුන් අයට පවා මෙවර අපට ඡන්දයක් දෙන්න ලේසි වුණා. අපි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අපි උද්දාම වුණේ නැහැ. මේ ජයග්‍රහණයට අපි වගකියන්න ඕනෑ. මෙතනින් පස්සේ ජයග්‍රහණය කළ අය හා පරාජිතයන් කියා කණ්ඩායම් දෙකක් නැහැ. දේශපාලකයන් පැරදිලා. අපේ රටේ දේශපාලනයට ඒ අය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම මේ රටේ පුරවැසියන්. මේක රටේම ජයග්‍රහණයක්. මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර්, මැලේ, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු අපි හැමදෙනාම එකට එකතු වෙලා මේ වට්ටපු රට ගොඩගැනීම අපේ වගකීමයි. ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න. අපට තිබෙනවා ජාතික පුනරුද කාර්යභාරයක්. ජාතික පුනරුදයක්, ආර්ථික පුනරුදයක්, දේශපාලන පුනරුදයක්, සංස්කෘතියේ පුනරුදයක්, මිනිස් චින්තනයේ පුනරුදයක් නිර්මාණය කර, ලෝකය තුළ අපේ රට බැබලෙන රටක් බවට පත් කරන්න මෙතැන් සිට හැමදෙනාම වැඩ කරමු. පොදු ජනතාව අපට ලබාදුන් ජන වරම රට ජයග්‍රහණය කරවීමේ අරමුණ වෙනුවෙන් පමණක් පාවිච්චි කරන බවට සහතික කරනවා. මේ ජයග්‍රහණයට සියලුම අයුරින් සහයෝගය දුන් සියලුම දෙනාට සහෝදරාත්මක ස්තුතිය පළ කරනවා.