(-Colombo, March 08, 2024-) අද (08) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවිය. එමෙන්ම කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Mrs. Maribel Duarte Gonzalez මහත්මියද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙහිදී දීර්ඝ කාලයක් […]
(-Colombo, March 08, 2024-)
අද (08) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවිය.
එමෙන්ම කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Mrs. Maribel Duarte Gonzalez මහත්මියද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙනුත් මේ වනවිට කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සෘජු සම්බන්ධතාත් ඒවායේ ප්‍රගතිය සහ ගැටලු සහගත තැන් පිළිබඳවත් තානාපතිවරයා මෙහිදී අනුර දිසානායක සහෝදරයා දැනුවත් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කියුබානු රජයේ සහයෝගීත්වයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් ගිවිසුම්ගතවීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවත් එවැනි ව්‍යාපෘති තවත් මහද්වීප 03ක රටවල් සමඟ මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් තානාපතිවරයා පැහැදිලි කළේය.
113 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය – 2024 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙන්නේ සෑම වසරකම මාර්තු 08 වෙනිදාටය. කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ දිනයක අවශ්‍යතාවය කොමියුනිස්ට් ජාත්‍යයන්තරයට යෝජනා වන්නේ 1910දීය. කාන්තාව සමාජ බලවේගයක් ලෙස බලමුළු ගන්වන සහ ඇගේ ශක්තිය විදහාලන දිනයක් ලෙස වාමාංශික අරුතින් එදින ක්‍රියාකාරකම් පෙලගැස්වේ. මෙවරද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රීලංකාව තුලද පැවැති විවිධ […]
113 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය – 2024 මාර්තු 08
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙන්නේ සෑම වසරකම මාර්තු 08 වෙනිදාටය. කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ දිනයක අවශ්‍යතාවය කොමියුනිස්ට් ජාත්‍යයන්තරයට යෝජනා වන්නේ 1910දීය. කාන්තාව සමාජ බලවේගයක් ලෙස බලමුළු ගන්වන සහ ඇගේ ශක්තිය විදහාලන දිනයක් ලෙස වාමාංශික අරුතින් එදින ක්‍රියාකාරකම් පෙලගැස්වේ.
මෙවරද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රීලංකාව තුලද පැවැති විවිධ ක්‍රියාකාරකම් අතර ජාතික ජන බලවේගය නායකත්වයෙන් කාන්තාව මුහුණ දෙන ගැටළු මෙන්ම රටේ පොදු ජීවන ප්‍රශ්න අරඹයාද, පවතින මේ අසාධාරණ ක්‍රමයට එරෙහිව කාන්තාව සංවිධානය කිරීම අරමුණු කොට ගෙන දැවැන්ත උද්ඝෝෂණ දීපව්‍යාත්ත ලෙස විශාල කාන්තා සහභාගිත්වයෙන් සාර්තකව සිදුවිය.
~කලුතර~
~බදුල්ල~
~මහනුවර~
~අනුරාධපුර~
(-Colombo, March 07, 2024-) අපේ රටේ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ කඩා වැටෙමින් තිබූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ විදිහට බංකොලොත්භාවයට පත්වුණේ අහම්බයක් නිසා නොවෙයි. දශක ගණනාවක් තිස්සේ ක්‍රමානුකූලව කඩා වැට්ටූ ආර්ථිකයක, සමාජයක සහ දේශපාලන සංස්කෘතියක අවසානය තමයි මේ. මේ විශාල අර්බුදකාරී අවස්ථාවක් වගේම අලුත් දිශාවකට රට පරිවර්තනය කරන්නත්, අලුත් ඉතිහාසයක් ආරම්භ කරන්නත්, අවස්ථාවක් අපට ලැබී තිබෙනවා. මෙවැනි […]
(-Colombo, March 07, 2024-)
අපේ රටේ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ කඩා වැටෙමින් තිබූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ විදිහට බංකොලොත්භාවයට පත්වුණේ අහම්බයක් නිසා නොවෙයි. දශක ගණනාවක් තිස්සේ ක්‍රමානුකූලව කඩා වැට්ටූ ආර්ථිකයක, සමාජයක සහ දේශපාලන සංස්කෘතියක අවසානය තමයි මේ. මේ විශාල අර්බුදකාරී අවස්ථාවක් වගේම අලුත් දිශාවකට රට පරිවර්තනය කරන්නත්, අලුත් ඉතිහාසයක් ආරම්භ කරන්නත්, අවස්ථාවක් අපට ලැබී තිබෙනවා. මෙවැනි අර්බුද හරහා ජනතාවට ලැබෙන අත්දැකීම්වලින් අලුත් සමාජයක් ගොඩනැගිය හැකි වෙනවා. කඩා වැටුණු ගමන් මාර්ගය ගැන හොඳින් හිතලා අලුත් වෙන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගේ මැදිහත් වීමෙන් රට වෙනස් මාර්ගයකට ගන්න අවස්ථාව ලැබී තිබෙනවා.
එහෙම බලනකොට අද අපිට ආර්ථික ක්‍රම දෙකක් අතර තෝරා ගැනීමක් කරන්න සිදුවී තිබෙනවා. අපේ ජීවිත යම්තම් ගැටගහගෙන යන්න හැකියාවක් තිබෙනවා නම්, මොකක් වුණත් කමක් නැහැ, වගේ මත දරමින් මැද ඉන්න බැහැ. පැහැදිලිවම තෝරා ගැනීමක් කරන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ දියුණු වෙන්න නම්, පාලකයන් සහ පුරවැසියන් අතර, සමාජ සම්මුතියක් අවශ්‍යයි. අපි මහජන නියෝජිතයන් පත්කරන්නේ බලාපොරොත්තුවක් එක්ක. ඒ බලාපොරොත්තුව ඉටුකරාවි යැයි විශ්වාසයක් ඇතිවයි. නමුත් අද ඒ සම්මුතිය මුළුමනින්ම බිඳ වැටිලා. පාලකයන් දිහා, රජයේ යාන්ත්‍රණය දිහා, දේශපාලනය දිහා බලන්නේ අවිශ්වාසයෙන්. ඒ තුළින් සිදුවන්නේ තවත් මිනිසෙක් දිහාත් අවිශ්වාසයෙන් බැලීම වැඩිවීමයි. මිනිස් සම්බන්ධතා අතිශයින්ම දුර්වල තැනට වැටිලා. දේශපාලන, ආර්ථික පමණක් නොවෙයි සමාජ පැවැත්මට අවශ්‍ය සියලුම ක්ෂේත්‍රවලට මෙය බලපා තිබෙනවා. විශේෂයෙන් අධ්‍යාපනයට එය තදින් බලපා තිබෙනවා.
මේ අධ්‍යාපනයෙන් ලබාගත හැකි දේ පිළිබඳ දරුවන්ටවත් දෙමාපියන්ටවත් ගුරුවරුන්ටවත් විශ්වාසයක් නැති තවත් එක් ක්ෂේත්‍රයක් පමණක් බවට පත්වී තිබෙනවා. අධ්‍යපනය සම්බන්ධයෙන් ලොකු දැක්මක් හෝ විශ්වාසයක් නැහැ. පැවති දේශපාලනය විසින් නිර්මාණය කළ තත්වයක් මේක. අධ්‍යාපනය මෙතනින් මුදා ගන්න නම්, පවතින දේශපාලන සංස්කෘතිය සහ ආර්ථිකය මෙතනින් මුදා ගත යුතුයි. ඒ පරිවර්තනය ලෝක ඉතිහාසයේ විප්ලව, ඡන්ද, නිදහස් අරගල හරහා, පාරේ සටන් තුළින් වැනි විවිධ අන්දමින් සිදුවී තිබෙනවා. මැතිවරණයෙන් පත්කර ගන්නා ආණ්ඩුවක් තුළින් මේ පරිවර්තනය කරන්න අපි තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මේ ගත කරන්නේ සුවිශේෂී මොහොතක්. මැතිවරණයක් තුළින් පමණක් එවැනි පරිවර්තනයන් ඇතිකර ගැනීම හරි දුර්ලභයි. නමුත් 2024 කියන්නේ ලංකාවට සුවිශේෂී වසරක්. 2022 ජනතාව තුළින් පැන නැගුණු අරගලයෙන් පස්සේ, අවධිවීමක් හරහා වෙනස් වූ සහ වෙනස් වෙමින් පවතින දේශපාලනික අත්දැකීම් රැසක් සහ අවබෝධයක් ලබාගත් පුරවැසියන්ගේ ශක්තිය සංවිධාන ගතවන ඡන්දදායකයින් එක්ක මේ මැතිවරණයට සූදානම් වෙනවා.
පාර්ලිමේන්තුව තුළද, එයින් පිටද දේශපාලනඥයන්ගේ භාවිතාව පිළිබඳව මිනිසුන් ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කරනවා. ඔවුන්ට එරෙහිවන්න තවදුරටත් බය වෙන්නේ නැහැ. දියුණු වූ පුරවැසියන් සහ ඒ බව තේරුම් නොගත් පරණ ක්‍රමයම පවත්වාගෙන යන්න උත්සාහ කරන කණ්ඩායමක් වගේම ජනතා අභිලාෂයන් සමග වැඩකරන දේශපාලන ව්‍යාපාරයක් හමුවන සුවිශේෂී මොහොතක් මේක. මාලිමාව කෙරෙහි විශාල ජනතා ආකර්ශනයක් ලැබෙමින් තිබෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතිය තිබෙන නිසයි.
පස්වැනිදා බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීම ප්‍රධාන මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තියක් කරගෙන තිබුණා. නැවත වරක් රට බේරා ගන්න මොළ හතක් තිබෙන චරිතය රටට සම්ප්‍රාප්තවීම පිළිගන්න, බැසිල් රාජපක්ෂව කර උඩ තියාගෙන එනවා වගෙයි ප්‍රචාරය තිබුණේ. නමුත් එහෙම කිසිම දෙයක් සිදුවුණේ නැහැ. බැසිල් රාජපක්ෂ නියෝජනය කරන දේශපාලනය ජනතාවට අදාළ නැති බව තේරුම් ගන්න මේ සිදුවීමම, හොඳටම ඇති. ජනතාව පිළිකුල් කරන දේශපාලනය නියෝජනය කරන සියලු දෙනා වෙනුවෙන් එම ව්‍යාපෘතිය ගෙනයන්න පොරබදන කිහිපදෙනෙක් බැසිල් රාජපක්ෂ පිළිගන්න ගිහින් හිටියා. පුරවැසියන් එතන නැහැ.
ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් ජනාධිපති වී රට ගොඩගැනීමේ වීරයා බව ප්‍රකාශ කරමින් සිටිනවා. කෝවිඞ්, වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති, ගෝඨාභය රාජපක්ෂගේ කාලය තුළ නොතිබුණේ නම් රට කඩා නොවැටෙන බව ඔවුන් කියනවා. මේ කඩාගෙන වැටුණු අවස්ථාවේ ගින්දරෙන් මතුවූ වීරයෙක් වගේ රනිල් වික්‍රමසිංහ පැමිණි බව කියනවා. ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන, ආර්ථිකය පිළිබඳ හසල දැනුමක් තිබෙන රනිල් වික්‍රමසිංහට විකල්පයක් නැති බවත් කියනවා. නමුත් ඇත්ත තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ආර්ථිකය කඩා වැටීමේ බරපතළම තත්වය ජනතාවට ඇවිත් තිබෙන්නේ දැන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් පෙළ පංතිවල විශේෂයෙන්ම ශිෂ්‍යයන් නැතිවීම ප්‍රධාන ගැටලුවක්. මේ රට දාලා යාමේ එකම අරමුණ විතරයි ඔවුන්ට තිබෙන්නේ. අපේ තරුණ කාලයේ අසූතුනේ කළු ජූලිය, යූ.එන්.පී. භීෂණය, යුද්ධය අතරේ අපි හිටියා. එදා තරුණ පරපුරරේ ප්‍රබල මතය රට දාලා යන එක නොවෙයි. ෆයිට් එකක් දීලා රට හදන්න පුළුවන් කියන හැඟීම අපේ පරපුරට තිබුණා. අද තරුණ පරපුරට එහෙම හැඟීමක් වත් ඉතිරි වෙන්න පුළුවන් සමාජයක්, රටක් අද නැහැ. රනිල් වික්‍රමසිංහ යටතේ රට ස්ථාවර වෙනවා කියන විහිළුව කරන්නේ මේ තත්වය තුළ.
තව පැත්තකින් ආහාර අනාරක්ෂිතභාවය, සෞඛ්‍ය අනාරක්ෂිතභාවය, ජන ජීවිතයට ඍජුවම බලපැම් කරමින් තිබෙනවා. ආර්ථිකය ගැන දත්තවලින් කතා කිරීමට වඩා ජනතාවගේ ජීවිතය දෙස යථාර්ථවාදීව බලන්න ඕනෑ. එහෙම බලනකොට මේ ආර්ථිකය ස්ථාවර වී නැහැ. දියුණු වන මාර්ගයක නැහැ. ජනතාවගේ යහපැවැත්ම සුරක්ෂිතවන මට්ටමක නැහැ. අතිශයින්ම අස්ථාවර, කුමණ මොහොතකක කඩා වැටෙයිද, තවත් පීඩාකාරී ක්‍රියාමාර්ග කුමන මොහොතක ගනීද කියන වටපිටාවක් තිබෙන්නේ. ජාතික ජන බලවේගය එවැනි වටපිටාවක මැදිහත් වෙන්නේ එක් එක් ක්ෂේත්‍ර වෙන වෙනම අරගෙන ගොඩදාන්න නොවෙයි. රටට මුලින්ම දැක්මක් සහ ජාතික සැලැස්මක් අවශ්‍යයි. රටක් හැටියට, සමාජයක් හැටියට යා යුත්තේ කොතැනටද, එතැනට යන්න කළ යුත්තේ මොනවාද? ඒ ගමනේදී අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය සම්බන්ධයෙන් වෙන වෙනම වගේම පුළුල් ඒකාබද්ධ ක්‍රියාමාර්ගත් තිබෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් දැනුවත්භාවයෙන් යුතු පුරවැසියන් විශ්වාසයෙන් සහ බලාපොරොත්තුවකින් සම්බන්ධ කර ගැනීමත් මූලිකම කටයුත්තක්.
ජාතික ජන බලවේගය නව පුනරුදයක්, ජාතික වැඩ පිළවෙළක් ගැන කතා කරන්නේ ජනතාව සහභාගී කරගත් සාමූහික ඉලක්ක කරා යායුතු මාර්ගය තෝරාගෙන අපි සියලු දෙනා තම තමන්ගේ කොටස ඉටුකිරීම කළ යුතුයි. අපි සියලු දෙනාටම පැවරී තිබෙන ඒ වැඩ කොටස සැලසුම්කර සමාජගත කරමින් ක්‍රියාත්මක කිරීම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපගේ වගකීමයි. ගුරු වෘත්තියේ යෙදී සිටින වෘත්තිකයන් වන ඔබටත් පැවරුණු ප්‍රධාන කොටසක් තිබෙනවා. මේ පරිවර්තනයට අවශ්‍ය පුරවැසියෙක් බිහි කරන ප්‍රධානම ආයතනය අධ්‍යාපනයයි. මේ අධ්‍යාපන ක්‍රමය බිහි කරන්නේ රටට අවශ්‍ය පුරවැසියෙක් නොවෙයි. රටේ සංවර්ධනය සහ සමාජ අභිලාෂයන් සමග බද්ධ වූ මානුෂික, කාරුණික සංවේදී සමාජයක් වෙනුවෙන් පුළුල් මානව සම්පතක් බිහිකිරීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යභාරය කරගත යුතුයි. විභාග කේන්ද්‍රීය, කටපාඩම් කරන පවතින අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වන දියුණු පුරවැසියන් බිහි වෙන්නේ නැහැ. එයින් බාහිරව දියුණු පුරවැසියන් බිහිකරන අධ්‍යාපනය සැලසුම්කර ක්‍රියාත්මක කිරීම පමණක් වෙනුවට අධ්‍යාපනය, රටේ සංවර්ධනය සහ සමාජ පරිවර්තනයක් තුළින් නව පුනරුද යුගයක් ඇතිකිරීමට ක්‍රියාකාරීව මැදිහත් විය යුතුයි. ඒ සඳහා අපි තවදුරටත් සංවාද කර, අවබෝධයෙන් යුතුව ඔබට පැවරී තිබෙන කොටස වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටිනවා.
(-Colombo, March 06, 2024-) අද (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී රටවල් 06ක තානාපතිවරු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවූහ. පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid මහතා, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu මහත්මිය, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing මහත්මිය, එම තානාපති […]
(-Colombo, March 06, 2024-)
අද (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී රටවල් 06ක තානාපතිවරු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවූහ.
පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid මහතා, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu මහත්මිය, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing මහත්මිය, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් Heru Prayitno මහතා, මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Bin Adam මහතා, සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි Fathimath Ghina මහත්මිය යන රාජ්‍යතාන්ත්‍රිකයෝ එම රටවල් නියෝජනය කරමින් මෙම හමුව සඳහා එක්ව සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක සභික වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන සහෝදරවරුද මේ සඳහා සහභාගි වූහ.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කරන ලද අතර රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වා දුන්හ.
මාධ්‍ය හමුව – 2024.03.06 – ජාතික ජන බලවේගය මාර්තු 08වැනිදාට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙනවා. ඒ සුවිශේෂී දිනය පිළිබඳව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ හැටියට අදහසක් දෙන්න අපට තිබෙනවා. 1910 වැනි අතීතයේදී ඇමෙරිකාව දක්වා ඉතිහාසයක් කාන්තා දිනයට තිබෙනවා. කාන්තාවන්ගේ ඡන්ද අයිතියට අරගල කිරීමේ ප්‍රතිඵලයක් හැටියට විකාශනය වීමෙන් ජාත්‍යන්තර දිනය පසුකාලයක නම් කරනවා. කාන්තාවන්ගේ අරගල ඉතිහාසය, කාන්තාවන්ගේ […]
මාධ්‍ය හමුව – 2024.03.06 – ජාතික ජන බලවේගය
මාර්තු 08වැනිදාට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙනවා. ඒ සුවිශේෂී දිනය පිළිබඳව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ හැටියට අදහසක් දෙන්න අපට තිබෙනවා. 1910 වැනි අතීතයේදී ඇමෙරිකාව දක්වා ඉතිහාසයක් කාන්තා දිනයට තිබෙනවා. කාන්තාවන්ගේ ඡන්ද අයිතියට අරගල කිරීමේ ප්‍රතිඵලයක් හැටියට විකාශනය වීමෙන් ජාත්‍යන්තර දිනය පසුකාලයක නම් කරනවා. කාන්තාවන්ගේ අරගල ඉතිහාසය, කාන්තාවන්ගේ සුවිශේෂී ගැටලු ආදිය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනවා. ලංකාවේ ගැහැනුන් මේ වන විට යම් දෙයක් දිනාගෙන තිබෙනවා නම්, ඒවා ලැබී තිබෙන්නේ ඉතිහාසයේ කළ අරගල නිසයි. 1931 සර්වජන ඡන්ද අයිතිය ලබා ගැනීමේදී වුවත් ඒ කාලයේ සිටි කාන්තාවන් අරගල කර තිබෙනවා. විශේෂයෙන්ම වාමාංශික ඉතිහාසයේ කාන්තාවන් ඉදිරියට ඇවිත් කළ අරගල නිසයි. රට ගොඩනැංවීමට කාන්තාවන් තවදුරටත් ශ්‍රම දායකත්වය දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඉතාමත් අමාරුවෙන් ජීවත් වන ලංකාවේ ගැහැනුන්ට තවදුරටත් දෙන්න ඉතිරිවී නැහැ.
අයවැයෙන් කාන්තාවන්ට ළමයින්ට වෙන්කරන මුදල් 50%කින් කපා හැරියා. එයට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට පොල්දූව හන්දියේ අපි අරගලයක් කළා. සාමකාමී අරගලයට බියගුලු නායකයන් ජල ප්‍රහාර එල්ල කර, අමානුෂික ප්‍රහාර එල්ල කළා. වසර ගණනාවක් පුරා නිවාසවලට කොටුකර සිටි කාන්තාවන් අද වෙන විට මර්දනයට බිය නොවී ධෛර්යවන්ත විදිහට අරගලවලට එකතු වන්නේ දුෂ්ට පාලකයන් නිසාමයි. විශේෂයෙන්ම දිනෙන් දින උග්‍රවන ණය බර හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට ලංකාවේ කාන්තාවන් විශාල පිරිසක් ගොදුරු වී සිටිනවා. අපි තවදුරටත් මෙහෙම ජීවත්වීම අවශ්‍ය නැහැ. අපේ රටේ කාන්තාවන් නිවාස තුළත් එතනින් පිටත් අසීමිත වෙහෙසවී වැඩ කළත් ජීවත්වීම අසීරුවී තිබෙන්නේ බදුබර දරාගැනීමට නොහැකි වීමෙන්. තමන්ගේ සෞඛ්‍යය ගැන නොසිතා දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරමින් තවදුරටත් නිහඬව සිටින්න කාන්තවන් සූදානම් නැහැ. ගැහැනු අපි එක මිටට කියලා ජාතික ජන බලවේගය වටා විශාල කාන්තාවන් පිරිසක් දිනෙන් දිනම එකතු වෙමින් මේ ජඩ දේශපාලනය අවසන් කරන්න ප්‍රබෝධයෙන් ඉදිරිපත්වී සිටිනවා. මාර්තු 08 වැනි දිනට යෙදී තිබෙන කාන්තා දිනය අපි 10 වැනි දින රොද බැඳගෙන සමරන්නේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි.
“තමන්ගේ අභිමානය, ගෞරව රැකෙන එකම වේදිකාව මාලිමාව බව
කාන්තාවන් තේරුම් අරගෙන ඉන්නේ”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
මේ වසරේ කාන්තා දිනය ලංකාවේ ඓතිහාසික දිනයක් වන බවට කිසිම සැකයක් නැහැ. කාන්තාවන් සියලුම දෙනා වැඩකරන කාන්තාවන්. ඉතිහාසය පුරාම ඒ අරගල කළ කාන්තාවන් අනුස්මරණය කළා සේම මේ මාර්තු 08 ලංකාවට සුවිශේෂී වන්නේ අපේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට සංවිධානාත්මක දේශපාලනිකව බලමුළු ගන්වමින් අනාගතය පිළිබඳව තීන්දු කිරීමේ බලය ලබාගැනීමට ඉදිරියට එන ප්‍රවණතාවය නිසයි. මාතරින් පටන් ගත් ‘ගැහැනු අපි එක මිටට’ කියන සමුළුවලට පැමිණෙන ගැහැනුන් තවදුරටත් මේ දේශපාලන සංස්කෘතිය සහ ආර්ථික පීඩනය ඉවසිය යුතු නැති බව තේරුම්ගෙන සිටිනවා. ගෞරවාන්විතව, තමන්ගේ අභිමානය රැකගෙන ශක්තිමත්ව ගැහැනුන් හැටියට සාමූහිකව ගෙනඑන වේදිකාවක් තැනෙන තුරු ඔවුන් බලාගෙන සිටි බව අපිට තහවුරුවී තිබෙනවා. ජාතික ජන බලවේගය හැටියට ගැහැනුන්ට නායකත්ව දී ඔවුන් තුළ සැඟවී තිබුණු හැකියාව, දේශපාලන උවමනාව සහ නායකත්වයට වේදිකාව සකස් කර දීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. මේ කාන්තා දිනයට ඔවුන් ඉදිරිපත් වන්නේ තමන්ගේ භූමිකාව සහ අනාගතය පිළිබඳව දැනුවත්භාවයකින් යුතුවයි.
යූ.එන්.පී. ආණ්ඩුව එක්දහස් නවසිය අසූ ගණන්වල කාන්තා දිනය තහනම් කර කාන්තා දිනය සමරන්න ආපු ගැහැනුන්ට ප්‍රහාර එල්ල කර, අත්අඩංගුවට ගත් යුගයක් තිබෙනවා. කාන්තා දිනයේ ඇත්ත අරමුණු විකෘති කර, වාණිජ අරමුණු වෙනුවෙන් යොදාගත් ඉතිහාසයක් අපට තිබෙන්නේ. නමුත් 2024 කාන්තා දිනය නැවත වරක් අර්ථවත් කරන්න සංවිධානය වීමේ හැකියාව ලබාගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. ලාංකික ගැහැනිය ගැන පමණක් නොවෙයි, අපේ සහෝදරත්වය, බැඳීම, සාමූහිකත්වය ලෝකය වටා ඉන්න ගැහැනුන් එක්ක බෙදා ගන්නවා. එවැනි අවස්ථාවක ගාසාතීරයේ අතිශයින්ම ක්‍රෑර, අමානුෂික පීඩාවන්ට පත්වෙන දහස් ගණන් ගැහැනුන් සහ දරුවන් පිළිබඳව අප පෙනී සිටිනවා. ඒ ක්‍රෑරත්වය නවත්වන්න බලය තිබෙන රාජ්‍යයන් නිහඬව සිටින මොහොතක අපි ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. යුද්ධය කියන්නේ මනුෂ්‍ය සතා තුළ තිබෙන ඉතාමත්ම ක්‍රෑර, සාහසිකත්වය එළියට එන අවස්ථාවක්. යුද්ධ නැති සාමකාමී ලෝකයක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ගාසාතීරයේ සහෝදරියන්ට ළමයින්ට සිදුවන හානිය අවම කරන්න වහාම මැදිහත් වෙන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටිනවා.
“රට පාලනය කරන හොරු එකක මිටට තබා පැරදවීමට ගැහැනු එක මිටට සූදානම්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-
අපේ රටේ ඉන්න ගැහැනුන්ට සහ ලෝකයේ ඉන්න සියලුම ගැහැනුන්ට දෙන්න පණිවිඩයක් අපට තිබෙනවා. අපි ජීවත් වන ලෝකය දරුවන්ට සහ ගැහැනුන්ට අයිති නැහැ. ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික ලෝකය අපට අහිමිවී තිබෙනවා. නැතිවුණු ඒ ලෝකය ගැහැනුන්ට දිනා ගන්න ලෝකයේම ගැහැනුන් එකට එකතු වී කරන්න අරගලයක් තිබෙනවා. අරගල මාවතේ පමණයි අපේ රටේත් ලෝකයේත් ගැහැනුන් අයිතීන් දිනාගෙන තිබෙන්නේ. 1910දී කෝපන්හේගන් නගරයේ පැවති ලෝක සමාජවාදී නායිකාවන්ගේ දෙවන ජාත්‍යන්තරය අමතා ක්ලාරා සෙට්කින් සහෝදරිය ගැහැනුන් වෙනුවෙන් දිනයක් අවශ්‍ය බව යෝජනා කළා. ඒ දිනය මාර්තු 08 ලෙස නම් කරන්නැයි තවදුරටත් කළ යෝජනාව එදා සිටි සියලුම සමාජවාදී නායිකාවන් අනුමත කළා. 1911 සිට මේ දක්වා වසර 113ක් ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සිටිනවා. ඒ බව කියමින් මල්මාලා පැළැඳගෙන පාටි දාන්න ඕන දවසක් නොවෙයි. අපට විශාල අරගලයක් කරන්න තිබෙනවා. විශේෂයෙන්ම 2014දී දේශපාලන පරිවර්තනයක් කර, අලුත් යුගයක් ආරම්භ කරන්න අපට තිබෙනවා. එහි වැඩි කොටස තිබෙන්නේ ජනගහනයෙන් 52%ක් වූ අපේ රටේ කාන්තාවන්ට.
මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරගලයේදී අපට තිබෙන පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේ දැනුවත්භාවය අවශ්‍යයි. මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ ඒ ගැහැනුන්ගේ පරමාධිපත්‍යය බලය ලාභයට ගත හැකි බවයි. දේශපාලන වශයෙන් රවටමින්, බොරු කරමින්, මේ දක්වා බලය ලබා ගත්තා. එවැනි ගැහැනුන්ට දේශපාලන අවබෝධය ලබාදෙමින් විශාල පිරිසක් දැනුවත් කරන්න අපි කටයුතු කළා. අපේ රටේ සියලුම ගැහැනුන් මහපාරට බැස අරගල කරමින් මහපාරට බැස ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න සිදුවී තිබෙනවා. ගැහැනිය කිසි දවසක රවට්ටන්නේ නැති, ගැහැනියගේ හැකියාව සහ බලය ගැන අවබෝධයෙන් දේශපාලනික ගැහැනියක් බවට පත් කළ, ජාතික ජන බලවේගය වටා මේ රටේ සියලුම ගැහැනුන්ට එකතු වෙන ලෙස ආරාධනා කරනවා.
මහ බැංකුව හිස්කරන පාලකයන්ගේ සිට ග්‍රාමීය බැංකුවල සල්ලි සොරකම් කරන ග්‍රාමීය මට්ටමේ හෙංචයියන් දක්වා හොරකම දූෂණය ව්‍යාප්තවී තිබෙනවා. ආර්ථික ඝාතකයන් ලෙස අධිකරණයෙන් නම්කර සිටින රාජපක්ෂලා එක මොහොතක ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බවට පොරොන්දු වුණා. ඔවුන් එය කඩකළා. ඉන්පසු 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඒ පොරොන්දුවම දීලා කඩකර තිබෙනවා. මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය වෙනුවෙන් සිය දිවි නසාගන්න අපේ රටේ කාන්තාවන්ට සිදුවී තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා වෙනුවට ග්‍රාමීය බැංකුවල තිබුණු අපේ කාන්තාවන් තැන්පත් කළ මුදල් කොල්ල කෑම දක්වා ගිහින් තිබෙනවා.
අපට අවශ්‍ය මේ හොරුන් එකට තබා පරද්දන්නයි. ඒ වෙනුවෙන් අපේ රටේ ගැහැනුන් සාමූහිකව නැගී සිටිය යුතුයි. ලයිට් බින 400%කින් වැඩිකිරීම නිසා ගෙවල් ලක්ෂ දහයක විතර ලයිට් බිල් ගෙවා ගන්න බැරිව විදුලිය කපාදමා තිබෙනවා. එවැනි තාත්තා කෙනෙක් තමන්ගේ දරුවාට පාඩම් කරන්න අසල්වැසි නිවසකින් විදුලිය ගන්න යාමේදී අනතුරකින් මිය ගියා. විදුලි බල මණ්ඩලයේ සිදුකරන මාෆියාවන් සම්බන්ධව ජනාධිපති සහ ඇමතිවරයා ඇතුළු පාලකයන් වගකියන්න ඕනෑ. කාන්තාවන් අඳුරට පත්කළ විදුලි මාෆියාව අහෝසි කිරීමට ක්‍රියාකරනවා මිස තවදුරටත් සහන බලාපොරොත්තු විය යුතු නැහැ. ඡන්ද කාලයේදී විදුලි ගාස්තු අඩුකිරීම කියන්නේ ප්‍රෝඩාවක් විතරයි. එයට එරෙහිව ආලෝකයක්, ජීවිතයක්, අලුත් රටක් ගොඩනඟන්න ජාතික ජන බලවේගය සමග පෙරට එන්න කියලා ආරාධනා කරනවා. මහපොළොවේ ඉන්න ගැහැනුන් මෙරට ඉතිහාසයේ පළමුවෙනි වතාවට මහ පාරේ අරගල කරන හැටි ඉදිරියේදී බලාගත හැකියි. දෙන සහනයක් ඉක්මනින් ලබාදී ඉවත්ව යන ලෙස අපි මේ පාලකයන්ට අවධාරණය කරනවා.
“මෙතෙක් ආණ්ඩු ගෙන ගිය දූෂිත ගමන වෙනුවට නව මාතක් තොරගන්න
කාන්තාවන් පෙළගැසී තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-
ආර්ථික අර්බුදය එක පැත්තක තිබියදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක යෙදී සිටින අතරේ 113වැනි ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. මේ රටේ කාන්තාවන් සහ දරුවන් ඡන්ද ව්‍යාපෘතියට යොදා ගනිමින් ඉදිරියට යන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරනවා. නමුත් මෙතෙක් පැමිණි දූෂිත ගමට තිත තබන්න කාන්තාවන් තීරණය කර අවසන් බව අපි අවධාරණය කරනවා. තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අලුත් දේශපාලන ක්‍රමයක් සහ අලුත් දේශපාලන ප්‍රවාහයක් කෙරෙහි ජනතාව විශ්වාස තබා ඇති බව සනාථ වී තිබෙනවා. නිවාසයට පැටවී තිබෙන අසීමිත දරිද්‍රතාවය නිසා අපේ රටේ ලක්ෂ 43ක් වන පාසල් දරුවන්ගෙන් 54%කට අධ්‍යාපනික උපකරණ ලබාගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දී සිටිනවා. ආහාර, ඖෂධ, පාසල් පොත් පත් සහ උපකරණ මත අසීමිත බදු පනවා තිබෙන ආණ්ඩුවට එරෙහිව මුළු රටේම කාන්තාවන් ඒකරාශී කරගෙන මාර්තු 08වැනිදා සෑම දිස්ත්‍රික්කයකම උද්ඝෝෂණ මාලාවක් අපි සූදානම් කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම දැවැන්ත ජනතා නැගිටීමක් මේ ආණ්ඩුවට එරෙහිව සිදුකරනවා. ඒ වගේම එළඹෙන 10දා කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන කාන්තා සමුළුව වසර 76ක පාලනය වෙනස් කරන අවස්ථාවක් ලෙසත් යොදා ගන්නවා.
ඒ වගේම අදටත් මේ රටේ ජාතික සමගිය ගොඩනඟා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සාධාරණත්වය ඇති කර නැහැ. අතිමහත් කාර්යභාරයක් ඉටුකරන කාන්තාවන්ගෙන් ශ්‍රම බලකායට දායකත්වය සපයන්නේ 30%යි. සම ශ්‍රමයට සම වැටුප් අයිතිය දීර්ඝ කාලයක් තිස්සේ අපි ඉල්ලා සිටියත් තවමත් ලැබෙන්නේ නැහැ. ගර්භනී මාතාවන්ගෙන් 33%ක් සහ ලක්ෂ 10කට ආසන්න කාන්තාවන් සහ දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මෙතෙක් පවත්වාගෙන ආ පෝෂණ මල්ල ලබාදීමවත් ක්‍රමවත් ලෙස කරන්න අසමත් වුණු ආණ්ඩුව කාන්තාවන්ගේ ආර්ථිකයත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීනුත් හකුළමින් ක්‍රියාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු කළ පුද්ගලයෙකු පොලිස්පති ලෙස පත්කරගෙන ඔන්ලයින් පනත, ප්‍රතිත්‍රස්ත පනත වගේම මාධ්‍ය ආයතන නියාමන පනත වැනි පනත් සම්මත කර ගන්නත් උත්සාහ කරමින් සිටිනවා. ඔවුන්ගේ දේශපාලන බල අධිකාරිය පවත්වාගෙන යාමට දරන මෙම ප්‍රයත්නයන් හමුවේ ගැහැනුන්ට සහ දරුවන්ට සුරක්ෂිතභාවයක් තිබෙනවා දැයි අපි ප්‍රශ්න කරනවා. සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය තුළත් කාන්තාවන් ඉලක්ක කරගත් හිංසනයත් මුදාහැර තිබෙනවා. මේ තත්වයන් තුළ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අදහස, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ මූලික මිනිස් අයිතිවාසිකම් දිනාගැනීමට ජාතික ජන බලවේගය නායකත්වය ලබාදෙනවා. ජනතාව වෙනුවෙන් ක්‍රියානොකරන ආණ්ඩුව බදු අයකර ගැනීමට විතරක් අසීමිත ලෙස ක්‍රියාකරන ආණ්ඩුවට තවදුරටත් ජනතාව මුලා නොවෙන බව අවධාරණය කරනවා. මේ රටේ සිටින සෑම ගැහැනියකගේම ගෘහ ජීවිතය තට්ටු මාරු ක්‍රමයකින් උත්තර ලැබෙන්නේ නැහැ. මේ රටට අලුත් යුගයක් උදාකිරීම සඳහා 113වැනි ජාත්‍යන්තර කාන්තා දිනයේදී ක්‍රියාකරන බව අපි අවධාරණය කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබාදෙමින්
ප්‍රශ්නය: ගිනිගොඩක්ව තිබුණු රට ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තුවේදී මීට ටිකවෙලාවකට පෙර ප්‍රකාශ කළා. එය තවදුරටත් ඉදිරියට ගෙනයමින් සිටින බවත් කීවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුරු: අපිට නම් තිබෙන්නේ හිනා වෙන්න විතරයි. ඔහු එය කතාව කරන්නේ මැතිවරණ ව්‍යාපාරයට සූදානම් වෙන්න. ජනතාවගේ ප්‍රශ්න විසඳූ බවට ඔහුට කියන්න බැරි නිසා ඔය බොරු ගොඩක් කියනවා. 2022 මැයි 09දා අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණාම අපි ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන අතර, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළා. ඊට පස්සේ ජනාධිපති පාර්ලිමේනතුවෙන් තෝරා ගැනීමේ දී ඉදිරිපත් වුණේ ඔහු විතරක් නොවෙයි. තව දෙන්නෙක් ඉදිරිපත් වී සිටියා. අපේ නායක අනුර දිසානායකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුමත් ඉදිරිපත් වී සිටියා. පොහොට්ටුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ වැඩි බලයෙන් රනිල් වික්‍රමසිංහ පත්වුණා. ඔහු විතරක් ඉදිරිපත් වුණා කියන එක පට්ටපල් බොරු. ඔහුව පත්කර ගත්තේ පොහොට්ටුවේ ආරක්ෂාව වෙනුවෙන් මිස රට ගොඩගන්න නොවෙයි. ඔය ගිනි ගොඩකින් බේරා ගත්තා කියන එකම බොරු.
රට ගොඩ ගත්තා කීවාට ඇත්තටම සිදුකර තිබෙන්නේ ආර්ථිකය තවදුරටත් සංකෝචනය කිරීමයි. ණය උගුලේ ප්‍රතිඵල නිසා රට බංකොලොත් වුණා. අද ආර්ථික නොහැකියාව තුළ ජන ජීවිත කඩාවැටී තිබෙනවා. ගෙවල් ලක්ෂ 10ක විදුලිය කප්පාදුව ඔහුට පේන්නේ නැද්ද? ළමුන්ගේ පාසල් යාම අඩුවීම ඔහුට පේන්නේ නැද්ද? ආර්ථික අර්බුදයක් විසඳන බව කියා මිනිසුන්ගේ ජීවිත අමතක කර දාන්න අපට බැහැ. ආර්ථිකය ශක්තිමත් කරන්න විශාල කැපවීම් කර තිබෙන්නේ මේ රටේ දුප්පත්ම සහ කිසිම බලයක් නොමැති පුරවැසියෝ. අඩුම තරමේ ඔහු ඒ කැපවීම අගය කරන්න ඕනෑ. විදුලි බලමණ්ඩලය විශාල ලාභයක් ලබා තිබෙන්නේ දූෂණ සහ වංචා නැවැත්වීමෙන් නොවෙයි. මිනිස්සු විදුලියට ගෙවන ගාස්තු විශාල වශයෙන් ඉහළ දැමීමෙන්. මහ පොළොවේ පයගහලා නැති ඔහුට කියන්න කතාවක් අවශ්‍යයි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට කියන ඔවැනි කතා අපිත් මහජනතාවත් කිසිසේත්ම පිළිගන්නේ නැහැ.
ප්‍රශ්නය: බැසිල් රාජපක්ෂ නැවතත් පැමිණීමත් සමග පොහොට්ටුව පිබිදුණා කියලා කතාවක් තිබෙනවා. ඔබලාට අභියෝගයක් වෙයිද?
පිළිතුර: අනේ නෑ. කිසිසේත්ම අභියෝගයකුත් නෑ. අපි නම් මොන පිබිදීමක්වත් දැක්කේ නෑ. එන්න ඉස්සර පෙරහැරකින් ගේනවා කිවා නේද? ඒ පෙරහැරට මොකද දන්නෑ වුණේ. අපි නම් පෙරහැරක් දැක්කේ නෑ. එළියට බැස්සෙත් බොහොම අමාරුවෙන්. ආර්ථික ඝාතකයන්ට මේ රටේ ජනතාවගෙන් එළඹෙන මැතිවරණයේදී නිසි පිළිතුරු ලැබෙයි. ඔය කියන කිසිම දේශපාලනඥයෙක් ජනතාව එක්ක හිටගත්තෙත් නෑ. අදටත් නෑ. ඔවුන්ගේ බලය රැකගැනීම සඳහා උඩතලයේ දේශපාලන ඩීල් දැමීම එකම උපාය මාර්ගය. ජනතාව එක්ක ඇත්ත දේශපාලනය කරන්න ඔවුන්ට හැකියාවකුත් නෑ. තේරෙන්නෙත් නෑ. ඔවුන් තාම හිතන්නේ උඩ ඩීල් දාන්නත්, ජනතාව රවට්ටන්නත් විතරයි. මේ පාර වෙනස, කලින් වගේ ජනතාව රැවටෙන්නේ නෑ. ඔවුන් සියලු දෙනාම එකම වේදිකාවට ආවත් වැඩක් වෙන්නේ නෑ. ඒ දේශපාලන සංස්කෘතිය මේ අවුරුද්දේ අවසන් වෙනවා. ඒක කරන්නේ මේ රටේ ජනතාව.
ප්‍රශ්නය: ඒ දේශපාලන පක්ෂ හැම එකක්ම එකතු වෙලා ජාතික ජන බලවේගය තනිවෙන බව පේනනවා. එහෙම වුණොත් ජයග්‍රහණය කරන්න පුළුවන්ද?
පිළිතුර: එහෙම වුණොත් තවත් ලේසියි. එකතු වුණොත් අපිට හරිම ලේසියි. ජනතාවටත් හරිම ලේසියි. පැරණි ගඳ ගහන, දූෂිත දේශපාලනය වෙනුවට ජනතාවත් සහභාගී වෙන අලුත් දේශපාලනයකට රට ගෙනියන යුගයක් අපි ආරම්භ කරනවා. කණ්ඩායම් දෙක හරියටම බෙදුනම ජනතාවටත් අපිටත් හරිම පහසුයි.
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.03.04) රාජ්‍ය සම්පත් විකුණමින් අති විශාල ජාතික ව්‍යසනයක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව යුහුසුළුව ක්‍රියාකරනවා. පසුගිය අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද අප අනුගමනය කළේ යහපත් ප්‍රතිපත්ති නොවේ යනුවෙනි. ඔහු මෙතන අප කියලයි හඳුන්වන්නේ. නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 76ක […]
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.03.04)
රාජ්‍ය සම්පත් විකුණමින් අති විශාල ජාතික ව්‍යසනයක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව යුහුසුළුව ක්‍රියාකරනවා. පසුගිය අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද අප අනුගමනය කළේ යහපත් ප්‍රතිපත්ති නොවේ යනුවෙනි. ඔහු මෙතන අප කියලයි හඳුන්වන්නේ. නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 76ක කාලයෙන් 47ක් අවුරුද්දක් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් අගමැති සහ ජනාධිපති ලෙසත් කටයුතු කර තිබෙනවා. ඔහුගෙන් තොරව තිබෙන්නේ අවුරුදු 30ක්. ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය 77 සිට ප්‍රධාන නායක මණ්ඩලයේද ක්‍රියාකොට තිබෙනවා. එසේ ක්‍රියාකළ ඔහු රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද යහපත් ක්‍රියාවන් අනුගමනය නොකළ බව කියනවා. ඔහු සම්බන්ධ වුණු 47 අවුරුද්ද තුළ රාජ්‍ය ව්‍යවසායන් වගේම රටේ සම්පත් විනාශ කර, කිසිම හිරිකිතයකින් තොරව මෙවැනි ප්‍රකාශ සිදුකරනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කල්ලියට අප අවධාරණයෙන් කියන්නේ තමන් විසින් කළ අපරාධ ජනතාව මත පටවන්නේ නැතුව තමන් විසින්ම බාරගන්නා ලෙසයි. මේ පාලකයින්ගෙන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් අපරාධකරුවන් ලෙස අධිකරණයෙන් පවා ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය, මිල්කෝ සමාගම ඇතුළු ජාතික පශු සම්පත් මණ්ඩලයේ ආයතන වලින් සමහර ඒවා ලාභ ලබමින් තිබියදී පවා වගකීම් විරහිතව කුණු කොල්ලයට විකිණීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටිනවා. රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් ආර්ථික අපරාධ කරලා, එහි විපාක තක්කඩිකමින් ජනතාව මත පැටවීමටත් කටයුතු කරනවා.
අපේ රට මේ වනවිට විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනවලට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 30ක් පමණ ණයයි. ණය ගෙවීම අත්හිටුවීම සහ පොළී එකතුවීමත් එක්ක විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනවලට ඇති ණය ඩොලර් බිලියන 30 දක්වා වාර්ධනය වී තිබෙනවා. අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම් අත්සන් කරන කොට තිබුණේ ඩොලර් බිලියන 28.5යි. මේ ඩොලර් බිලිය 30න් ඩොලර් බිලියන 12.5ක්ම අවුරුදු 4 1/2ක දී ලබාගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී. මේ ආර්ථික අපරාධයේ ප්‍රධානම වගඋත්තරකරුවන් ඔවුන්. ඔවුන් දැන් ජනතාවට කියන්නේ ණය ගෙවන්න බැරි නිසා රටේ සම්පත් විකුණන බවයි. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහගේ, රාජපක්ෂලාගේ වත්තක ඉන්නවා නම් එහෙම කියන්න පුළුවන්. රටේ දේපොළ රනිල් වික්‍රමසිංහගේවත්, රාජපක්ෂ කල්ලියේවත් නොවෙයි. තමන් විසින් කරන ලද අපරාධවල වැරැද්ද ජනතාව මත පැටවීම අපි මුළුමනින්ම හෙළා දකිනවා. හෙළා දැකීම පමණක් නොව මෙයට එරෙහිව වෘත්තිය සමිති මට්ටමෙන් සහ ජනතාව ලෙස නැගී සිටිය යුතුයි.
රාජ්‍ය ආයතන විනාශයට ගමන් කරන්නේ කල් පැන ඇති නිසා නොවෙයි, රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, බණ්ඩාරනායකලා, ජේ.ආර්.ලා, දේශපාලන හෙංචයියන් මේ ආයතනවලට පත්කිරීම නිසයි මේ විනාශය සිදුවුණේ. ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන්නේ ඒ ආයතනයේ සේවය කරන අයගේ වරදකින් නොවේ. නිමල් සිරිපාල ගුවන් සේවා ඇමති ලෙස සිටියදී ජපන් ණය මත ක්‍රියාත්මක කරන්න ගිය ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම එරටෙන් නතර කළේ ඇමතිගේ වංචා-දූෂණ නිසා බව පැහැදිලියි. නමුත් විකාරරූපී කමිටුවකින් පරීක්ෂණ පවත්වා ඔහුව නිදහස් කළා. ඒ ඇමති පසුගිය දිනෙක ප්‍රකාශ කළේ ගුවන් යානයකට මීයෙක් ඇතුළුවීම නිසා ගුවන් යානා ප්‍රමාදවීමෙන් මේ ආයතනය විකුණා ගැනීමටත් නොහැකි වන බවයි. ශ්‍රී ලංකන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී පමණක් නොවෙයි, එවැනි මිලදී ගැනීම්වලට අත්සන් කළ ගිවිසුම් අවලංගු කිරීමේදී පවා පගාව ගත්තා.
මීළඟට රට ප්‍රවේශ වෙන්නේ ඩිජිටල් ආර්ථිකයට නම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතාමත්ම වැදගත්. ලංකාවේ අනාගත ආර්ථිකයේ කොන්ද ටෙලිකොම් ආයතනයයි. ඒ ආයතනය විකුණන්න කරන උත්සාහයේදීත් වංචා කිරීමට විරුද්ධව එක ටෙන්ඩර්කරුවෙක් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ආර්ථික විද්‍යාඥයන් යනුවෙන් නම්කර ගත් ගිරව් කණ්ඩායමක් ලබාදුන් උපදෙස් මත මේ රට බංකොලොත් වුණා. රජයට අයත් පශු සම්පත් මණ්ඩලය වැනි ආයතන විද්‍යාත්මක සැලැස්මක් මත ගොඩනැගූ ඒවා. ප්‍රමිතියෙන් යුතු කිරි ආහාර නිෂ්පාදනය කරන්න මිල්කෝ ආයතනයත් එයට පශු සම්පත් මණ්ඩලයට අයත් වතු 31ක් පමණ තිබෙනවා. නමුත් දැන් මේ ආයතනය විකුණන්න සූදානම් වෙන්නේ ඉන්දියාවේ රජයට සම්බන්ධ අමූල් කියන සමූපකාර සමාගමට. අපේ රටේ රාජ්‍ය අංශයට ව්‍යාපාර කරන්න බැරි බව කියා විකුණන්න දානකොට ඉන්දියාවේ රජයට සම්බන්ධ අයි.ඕ.සී. සමාගම, චීන රජයේ සිනොෆැක් ආයතන වගේ රාජ්‍ය ආයතනවලින් මේ රටේ ආයතන මිලදී ගන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදලින් රජය පවත්වාගෙන ගිය ආයතන විකිණීමේ ප්‍රධානම අරමුණ මංකොල්ල කෑමයි.
විනිවිදභාවයකින් යුතුව අපේ රටට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට අපි එකඟයි. ආයෝජන කැඳවා ගැනීමත් පවතින රාජ්‍ය ආයතන විකුණා දැමීමත් කියන්නේ දෙකක්. 1977 සිට 2017 දක්වා වසර 40ක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළේ දේශීය ව්‍යාපාර හෝ කර්මාන්ත ගොඩනැගීමේ ප්‍රතිපත්තියක් නොවේ. අවුරුදු 40ටම ලංකාවට ආව ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 40යි. පහළම මට්ටමේ ඉඳලා පගාව දීමට අවශ්‍ය නිසා විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. ලංකාවේ ජනතාව විසින් ගොඩනඟා පවත්වාගෙන ගිය ආයතන ගන්න පැමිණෙනවා මිස නව කර්මාන්ත සහ සේවා ආරම්භ කරන්න විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. අඩුම තරමේ රුකියා ටිකක් දෙන්න පුළුවන් ආයෝජන ලංකාවට එන්නේ නැහැ. ටෙලිකොම් ආයතනය, වරාය, ඛනිජ තෙල්, විදුලි බල මණ්ඩලය වගේ ආයතන මෙරට මහජන මුදලින් ගොඩනගාගෙන පවත්වාගෙන ගිය ආයතනයි. අඩුම ගානේ පාසල් දරුවන්ට පැන්සල් ටිකක් පෑන් ටිකක් හදන්න ආයොජකයන් එන්නේ නැහැ.
ජනතාවගෙන් කොන්වුණු දූෂිත පාලකයන්ගෙන් විකුණන දේපළ ගන්න ලෝකයේ ඉන්න දූෂිත ව්‍යාපාරිකයෝ එනවා. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළු ජාතික සම්පත් අත්‍යවශ්‍යයි. ලංකාවේ අනාගතය අහුරා දමන විකිණීම වෙනුවට ඇත්ත ආයෝජයන් කැඳවන ලෙස අපි රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා. සම්පත් විකුණා අසාර්ථක වීමක් සම්බන්ධයෙන් හොඳම උදාහරණය මහා බ්‍රිතාන්‍යයි. රටේ ජල සම්පත විකුණා දැමීමෙන් පසු ජනතාවට අවශ්‍ය ජලය සපයා ගන්න නොහැකිව බ්‍රිතාන්‍ය පාලකයන් සිටිනවා. ඒ රටේම දුම්රිය විකුණා දැමීමෙන් පසුව ගුවන් ගමනකට වඩා වියදමක් කෝච්චියෙන් යන්න දරන්න සිදුවී තිබෙනවා. දැන් නැවත පවරාගන්නත් බැරිව ඉන්නවා. හතළිස් අවුරුද්දක් තිස්සේ රට ඉන්දියන් සාගරයේ ගිල්වා දමා තිබෙනවා. ඉතිරිවී තිබෙන ජාතික සම්පත් ටික රැකගැනීමට මහානායක ස්වාමීන් වහන්සේලාත් වෘත්තීය සමිතිත් ගෙනයන ක්‍රියාමාර්ගවලට ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:
ප්‍රශ්නය: මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවක් හමුවට කැඳවා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
පිළිතුර: මහ බැංකුව හෝ වෙනත් ඕනෑම ආයතනයක සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩිකිරීමට අපි විරුද්ධ නැහැ. නමුත් ලංකාවේ මහ බැංකුව තමයි රටේ උද්ධමනය පිළිබඳ නිර්ණායක සකස් කරන්නේ. වැටුප් වැඩිකර ගත්තේ උද්ධමනය නිසා බව ඔවුන් කියනවා. මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන අර්ජුන් මහේන්ද්‍රන්, කබ්රාල්, කුමාරස්වාමි, ලක්ෂ්මන් දැන් ඉන්න නන්දලාල් වගේ සියලු දෙනාම මහ බැංකු වංචාවට පමණක් නොවෙයි, ආර්ථිකය ගිලා බැහීමටත් වග කියන්න ඕනෑ. ඔවුන් ඇතුළු තවත් කණ්ඩායමක් ගෙන ගිය ක්‍රියාමාර්ග නිසා, උද්ධමනය ඇති වුණාම තමන්ගේම වැටුප් වැඩිකර ගන්නේ ලංකාවේ උද්ධමනයට වඩා ඇමෙරිකාවේ හෝ වෙන රටක උද්ධමනයට සරිලන ආකාරයකින් බව අපිට පේනවා. මෙතන සදාචාරමය ප්‍රශ්නයකුත් තිබෙනවා. උද්ධමනය පමණක් නොවෙයි රටේ කර්මාන්ත පද්ධතියත් විනාශ කරන්න තීන්දු තීරණ ගත් අය මහ බැංකුවේ නිලධාරීන් වැටුප් වැඩිකර ගැනීමේ සදාචාර විරෝධී බුද්ධිමය වංචාවකුත් සිදුකර තිබෙනවා. ලෝකයේ සිටින කුප්‍රකට මූල්‍ය ජාවාරම්කරුවන්ට අපේ ආර්ථිකය හැසිරවීමේ හැකියාව තිබෙනවා. මේ වැටුප් වැඩිකර ගැනීම එවැනිම ක්‍රියාමාර්ගයක් බව පැහැදිලියි.
මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දැන් දේශපාලනය කරන්න පටන්ගෙන තිබෙනවා ඔහු මහ බැංකු අධිපති ධුරය දැරූ කාලය තුළදී මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ගත් ක්‍රියාමාර්ග මොනවා දැයි අපි ප්‍රශ්න කරනවා. රනිල් වික්‍රමසිංහගේ ණය කළමනාකරණ කමිටුවේ උපදේශකයෙක් ලෙස සිටින ඔහු දේශපාලන බිල්ලෝ මවන්න පටන්ගෙන තිබෙන බවත් අපි දකිනවා. ඔහු අධිපති ධුරය දැරූ කාලයේම ඉහළම පොලියට විදේශ පෞද්ගලික මූල්‍ය සමාගම්වලින් වැඩිම ණය ප්‍රමාණයකත් අරගෙන තිබෙනවා. නන්දලාල් වීරසිංහ ඔහු යටතේ නියෝජ්‍ය අධිපතිවරයෙක් ලෙස කටයුතු කළ බවත් මතක් කර දෙනවා. මේ බංකොලොත්භාවයට වගකිවයුතු විවිධ තරාතිරම්වල මෙවැනි පුද්ගලයන්ම අතිවිශාල වශයෙන් වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව කණගාටු වෙනවා.
ප්‍රශ්නය: විකුණු රාජ්‍ය ආයතන පිළිබඳව ඔබලාගේ පාලනයක් යටතේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද?
පිළිතුර: අපේ පාලනයක් යටතේ රාජ්‍ය ආයතන කිසිසේත්ම පුද්ගලීකරණය කරන්නේ නැහැ. අවශ්‍ය පරිදි කළමනාකරණය ප්‍රතිව්‍යුහගත කරනවා. ඒ කියන්නේ දේශීය හෝ විදේශීය අංශයට විකිණීම නෙවෙයි. ඉතාමත් පැරණි පාලනයන් තිබෙන ආයතන රටට සහ ජනතාවට වගකියන ආකාරයෙන් ගොඩනඟනවා. ඊට පස්සේ දැන් විකුණන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දුර්වල ගිවිසුම් මත වංචනිකව විකුණන ආයතන පිළිබඳව විමර්ශන සිදුකර නැවත සමාලෝචනයක් කරනවා. ඒ වගේම ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට ඍජුවම සම්බන්ධ ආයතන කෙරෙහි විශේෂ මැදිහත්වීමක් කරනවා. එකවරම පවරාගැනීම දුෂ්කර වේවි. පුළුල් විමර්ශනයකින් පසුව හඳුනාගන්නා ආයතනය ඉන් යම් ප්‍රමාණයක් හෝ මෙරට ආර්ථිකය ගොඩනගමින් ඊට අනුරූපී වන ලෙස නැවත පවරා ගන්න උත්සාහ කරනවා. දැනට ඉතිරිවී තිබෙන ආයතන රැකගැනීම වෙනුවෙන් ප්‍රමුඛතම අවධානය යොමු කරමින් ක්‍රියාකරනවා.