Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“ගැහැනු අපට සුදුසුම තැන බරපතළ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාකරන මාලිමාවයි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-

(-ලන්ඩන් කාන්තා සමුළුව – 16.03.2024-) අපි මේ මොකක්ද කරමින් ඉන්නේ කියන අත්දැකීම ඔබත් සමග බෙදා ගන්න මම කල්පනා කළා. ‘ගැහැනු අපි එක මිටට’ කියලා දිස්ත්‍රික් 16ක පමණ සමුළු අපි පැවැත්වූවා. ඒ දක්වා පැමිණි ගමන ගැන ටිකක් හිතන්න මටත් අවස්ථාව උදාවී තිබෙනවා. ඒ, 2019දී ජාතික ජන බලවේගය පටන් ගන්නකොට ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශය තුළ ජනාධිපතිවරණයකට සූදානමින් […]

(-ලන්ඩන් කාන්තා සමුළුව – 16.03.2024-)

අපි මේ මොකක්ද කරමින් ඉන්නේ කියන අත්දැකීම ඔබත් සමග බෙදා ගන්න මම කල්පනා කළා. ‘ගැහැනු අපි එක මිටට’ කියලා දිස්ත්‍රික් 16ක පමණ සමුළු අපි පැවැත්වූවා. ඒ දක්වා පැමිණි ගමන ගැන ටිකක් හිතන්න මටත් අවස්ථාව උදාවී තිබෙනවා. ඒ, 2019දී ජාතික ජන බලවේගය පටන් ගන්නකොට ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශය තුළ ජනාධිපතිවරණයකට සූදානමින් සිටින අවස්ථාවක්. මුලින්ම අපි ස්ත්‍රී ප්‍රඥ්ප්තියක් ඉදිරිපත් කළා. අනුර සහෝදරයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ මහජන පුස්තකාලයේ රැස්වීමක් පවත්වා ඒ ස්ත්‍රී ප්‍රඥ්ප්තිය අපි ඔහුට ඉදිරිපත් කළා. ඔහු එය පිළිගත්තා. ඒ අවස්ථාවේ සිට කාන්තා ප්‍රඥ්ප්තිය ජාතික ජන බලවේගයේ පිළිගැනීමට ලක්වුණා. ඒ ප්‍රඥ්ප්තියේ අපි විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළා. මහා මැතිවරණයේදී ගැහැනු අපිට 50%ක නියෝජනයක් අවශ්‍ය බව කියන විශේෂ ඉල්ලීමයි.

අනුර සහෝදරයා කතාව කරන අවස්ථාවේ මේ 50% ඉල්ලීමට එකඟ බව කිවුවා. ඒ වගේම වේදිකාවේ සිටි සියලුම කාන්තාවන්ට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන්න සූදානම් වන ලෙස කිවුවා. අපට 50%් අවශ්‍ය බව ඉල්ලා සිටියත් ගැහැනු අපට දේශපාලනය කරන එක එතරම් ලේසි දෙයක් නොවෙන බව තේරුම් ගත්තේ ඒ අවස්ථාවේදීයි. යම්කිසි ආකාරවලින් දේශපාලනයට සම්බන්ධ වන අපිත් අපේක්ෂකයන් වීමට මෙච්චර අකමැති නම්, අප හමුවේ තිබෙන අභියෝගය කොපමණදැයි තේරුම් ගත්තා. තිරය පිටුපස සිට කොපමණ කටයුතු කළත් ප්‍රඥ්ප්තිය යථාර්ථයක් කර ගන්න නම්, ගැහැනුන් දේශපාලනයට පැමිණීම පිළිබඳ අභියෝගය ජයගත යුතු බව තේරුම් ගත්තා. අන්න ඒ සංවාදය තුළ අපි මෙපමණ දුරක් ඇවිත් සිටින අතර, අනෙකුත් පක්ෂත් දේශපාලනයට ගැහැනුන් එකතු කර ගැනීම පිළිබඳව සිතා බලන්න පටන් ගත්තා. අපි ඉස්සර කිවුවේ “අපිට මල්පෝච්චි වෙන්න නම් අවශ්‍ය නැහැ” කියලා. අපිට දේශපාලනය කරන්න ඕනෑ පවතින තත්වයන් වෙනස් කරන්නයි. සමස්තයක් හැටියට ප්‍රචණ්ඩ, අප්‍රසන්න විශේෂයෙන් ගැහැනු අපට අප්‍රසන්න දේශපාලනය වෙනස් කිරීමටයි අපි ඉදිරිපත් වී සිටින්නේ. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර, අලුත් අර්ථයක් දෙන්න අපට අවශ්‍යයි. දේශපාලන ධාරාවට ඇතුල් වී සමාජය සමස්තයක් ලෙස වෙනස් කරමින් ඉදිරියට යාම සඳහා අප තෝරාගත් මාලිමාව ඒ සඳහා සුදුසුම තැන බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ මැතිවරණයකින් හුදු ඔළුගෙඩි මාරුකිරීමේ දේශපාලනයක් නොවෙයි. බරපතළ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාකරන මාලිමාව ගැහැනු අපට සුදුසුම තැන බව තහවුරු වී තිබෙනවා.

මේ ගමනේදී 2021 විතර දේශපාලනයට ජනතා සහභාගිත්වය ලබාගැනීම සඳහා කොට්ඨාස සභා පිහිටුවන්න තීරණය කළා. ගමේ නායකත්වය ගන්න සෑම ග්‍රාම සේවා වසමකම කොට්ඨාස සභා පිහිටුවන්න පටන් ගත්තා. බිම් මට්ටමේ දේශපාලන ව්‍යුහය ගොඩනඟන්න ලංකාවේ ග්‍රාම සේවා වසම් 14,000න් එකොළොස් දහසක පමණ කොට්ඨාස සභා පිහිටුවා අවම වශයෙන් නිලධාරී මණ්ඩලයෙන් 30%ක් වත් කාන්තාවන් සහභාගි කර ගන්න තීරණය කළා. මේ සභාවලට කාන්තා සහභාගිත්වය ලබා ගන්න මුලදී ඉතා අසීරු වුණා. අභියෝග රාශියකට මුහුණ දීමෙන් පසුව වෙනමම කාන්තා සභා පිහිටුවන්න අපි තීරණය කළා. හිතාගන්න බැරි ආකාරයෙන් ගැහැනුන් ඒ වටා එකතු වෙන්න පටන් ගත්තා. ගැහැනුන්ට ආරක්ෂිතව, ගැහැනුන්ගේ නායකත්වය යටතේ දේශපාලන වේදිකාවක් හැදෙන තුරු බලා සිටි ගැහැනුන් බහුතරයක් පුදුම විදිහට ඉදිරිපත් වුණා. ලංකාවේ රැකියාවලත්, නිවෙස්වලත්, ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුළත් බර අදින්නේ ගැහැනුන්. ලංකාවට ඩොලර් උපයන ප්‍රධානම ක්ෂේත්‍ර තුළ වැඩිම දායකත්වයක් දරන්නේ ගැහැනුයි. නමුත් ඔවුන්ට නිසි ඇගයීමක්, ගෞරවයක් ලැබිලා නැහැ. වැටුප් නොලබා කරන සුරැකුම් වැඩ එන්න එන්න දුෂ්කර සහ පීඩාකාරී වී තිබෙනවා. ලංකාවේ සමාජ ආරක්ෂණය ක්‍රමයෙන් කප්පාදු වී යනකොට ඒ බර ගැහැනියගේ උරමත පැටවුණා. උදාහරණයක් ලෙස අධ්‍යාපනයට රාජ්‍යයෙන් වැය කරන සම්පත් කපා හැරීම තුළ ගෘහණිය මත පැටවුණු බර ඉතා විශාලයි. ඒ වගේම ආණ්ඩුව පාසල් සිසුන්ගේ බෑග්වල මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට පැවරීම දක්වාත් දුර ගියා. ඒ බරත් පැටවුණේ අම්මාගේ කර මතට. අතිරේක පංතිවලට දරුවන් එක්ක යාම සහ ගෙන ඒම පැවරුණෙත් අම්මාට.

මම මේ කතා කළේ එක ක්ෂේත්‍රයක් ගැන පමණයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය, සහ ප්‍රවාහනය කඩා වැටීම තුළ විශාල වශයෙන් පීඩනයට පත් වුණේ ගැහැනියයි. ගැහැනු පිරිමි භේදයක් නැතිව බැංකු ණය ලබාගැනීමේ හැකියාව අවම වීම තුළ ක්ෂද්‍ර මූල්‍ය ණයවල ගොදුරක් සහ හිංසනයට පත්වුණේත් ගැහැනුයි. යුද්ධ සහ කෝලාහලවලින් ඇති වූ පීඩාවත් ගැහැනුන් දරන අතර 2022 දී ආර්ථිකය කඩා වැටීම නිසා තවත් දරුණු පහරක් එල්ල වුණා. ගෝල්ෆේස් අරගලය කියලා හැඳින්වූවත් රට පුරාම අරගල තිබුණා. ඒ විරෝධතාවල ඉදිරියෙන්ම සිටියේ ගැහැනු. හදවතේ දරාගෙන හිටපු, තවදුරටත් ඉවසා ගත නොහැකි වූ පීඩාව හමුවේ ගෙදරින් එළියට බහින්න පටන් ගත්තා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ ගැහැනුන්ට එකතු විය හැකි දේශපාලන අවකාශයක් නිර්මාණය කරමින් කාන්තා සභා පිහිටවූවා. 2023 දෙසැම්බර් 30 මාතරින් පටන් ගත් රැලි පිටුපස විශාල ක්‍රියාවලියක් තිබෙනවා. ඔබ දකින අතිශයින්ම සාර්ථක රැලි පිටුපස මාස ගණනක ක්‍රියාකාරකම් බොහොමයක් ගම්මට්ටමෙන්, සංවිධානය වීම සහ නායකත්වය දීමෙන් බිහි වූ තත්වයක්. ඉදිරියට තවත් ශක්තිමත් වෙමින් ගොඩනැගූ විධායක කමිටු රැස්වෙමින් මාලිමාව තුළ දිගින් දිගටම වැඩකරමින් යනවා.

ඔවුන් කවදාවත් හිතුවේ නැහැ ලංකාවේ ගැහැනුන් මේ ආකාරයෙන් ඔවුන්ගේ නායකත්වයට ශක්තිමත් පණිවිඩයක් දීමට ඉදිරිපත් වෙයි කියලා. අද සිදුවෙන විශිෂ්ටම දේ එයයි. අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය වෙනුවෙන් පෙළගැසෙන හොඳම බලවේගයත් එයයි. ගැහැනුන්ගේ ශක්තිය, හැඟීම්, කුළුගැන්වී එක අරමුණකට ඉදිරියට එනවා. අපේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය, සමාජ කඩා වැටීම වැනි ඍණාත්මක තත්වයන් රැසක් තුළ ඉතාම උසස් බලාපොරොත්තුවකුත් තිබෙනවා. ගැහැනුන්, තරුණයන්, ශිෂ්‍යයන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන් පෙළගැසෙන ජාතික ජන බලවේගය තිබෙනවා. ඊළඟ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනවන සරල දෙයක් නොවෙයි මේ සිදුවෙන්නේ. 17වැනිදා තරුණ සමුළු ආරම්භ වෙනවා. මේක ලාංකේය පුරවැසියා ගොඩනඟමින් ඔහුගේ මැදිහත්වීමෙන් විශාල සමාජ පරිවර්තනයක් සිදුකරන්න යන ගමනක්.

විදේශගත වී සිටින ඔබත් මේ මොහොතේ බැරෑරුම්කම තේරුම් ගෙන ලංකාව පරිවර්තනය කරන මොහොතක් ලෙස ගෙන ක්‍රියාකරන්න. ජනතාව සූරාකන දේශපාලන සංස්කෘතිය බාරගැනීමට සූදානම් පුරවැසියෙක් නොවෙයි තවදුරටත් ඉන්නේ. ඒ බව තේරුම් නොගත් දේශපාලන පක්ෂ ඔවුන්ගේ රැවටිලි තුළින් තවදුරටත් බලයේ රැඳී සිටින්න තවදුරටත් කල්පනා කරනවා. පුරවැසියන් ඉන්නේ හුදු ආර්ථික අර්බුදයක්, දේශපාලන අර්බුදයක් විසඳීම වැනි පටු තැනක නොවෙයි; සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙළගැසෙන තැනකයි. මේක රට අලුත් මඟකට පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනාම එකතුවිය යුතු මොහොතක්. ඒ පරිවර්තනය සරල ප්‍රතිපත්තිවලින් කළ නොහැකියි. එම සමාජ පරිවර්තනය වෙනුවෙන් ‘ගැහැනු අපි එක මිටට’ රට තුළ පමණක් නොවෙයි විදේශයන්හි පවා එකතු වෙමින් සිටිනවා. භෞතිකව ලංකාවට ඉතාමත් දුරින් සිටියත් මේ පරිවර්තනය වෙනුවෙන් විවිධ අංශවලින් ඔබට සහභාගි විය හැකියි. දුරකථන ඇමතුමක් දී, සමාජ මාධ්‍ය පණිවිඩයක් දී ලංකාවේ සිටින ඔබගේ සමීපතමයින් දැනුවත් කරන්න. මේ වසර රටේ තීරණාත්මක පරිවර්තනයක් සිදුකරන වසර බවට පරිවර්තනය කර ගනිමු.

NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
Show More

“ජනතාවට බර පටවා තිබීම සහ රාජ්‍ය සම්පත් විකිණීම පිළිබඳ වගන්ති අපේ පාලනයක් යටතේ නැවත සංශෝධනය කරන බව දැනුම් දුන්නා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.03.14) කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී අද (14 දින) උදෑසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වූවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් ලෙස මමත් මුදිත නානායක්කාරත්, ආර්ථික කවුන්සිලයේ සාමාජිකයන් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර සහ සුනිල් හඳුන්නෙත්ති සහභාගි වූවා. මූල්‍ය අරමුදලේ […]

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.03.14)

කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී අද (14 දින) උදෑසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වූවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් ලෙස මමත් මුදිත නානායක්කාරත්, ආර්ථික කවුන්සිලයේ සාමාජිකයන් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර සහ සුනිල් හඳුන්නෙත්ති සහභාගි වූවා. මූල්‍ය අරමුදලේ පීටර් බෲවර් සහ නියෝජිතවරියන් තිදෙනෙකු සහභාගි වූවා. එම සාකච්ඡාවේ මූලික හරය ජනතාවට දැනුම් දෙන්න මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව යොදා ගත්තා.

ආණ්ඩුව මූල්‍ය අරමුදලට යාමේ ප්‍රධාන අරමුණ දේශීය සහ විදේශීයව මෙරට විසින් ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුගත කර ගැනීමයි. මේ බව ප්‍රකාශ කර ගිවිසුම් අත්සන් කර, බොහෝ කාලයක් ගතවී තිබෙනවා. නමුත් විදේශීය ණය තවමත් ප්‍රතිව්‍යුහගත කර නැහැ. අපේ නියෝජිතයන් මේ පිළිබඳව අයි.එම්.එෆ්. නියෝජිතයන්ගෙන් විමසුවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාල රාමුව මොකක්ද? එහි ප්‍රගතිය කෙසේද? යනාදිය අපි විමසුවා. ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීමට ගත වන නිශ්චිත කාලයක් කිව නොහැකි බවයි. අදාළ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ආණ්ඩුව අපේක්ෂා කළ ප්‍රතිව්‍යුහගතකරණය තවමත් සිදුවී නැති බවත් ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළා. ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා ගැනීම, ණය පොලී ප්‍රතිශතය අඩුකර ගැනීම, යම් ණය ප්‍රමාණයක් මුළුමනින්ම කපා හැරීම වැනි ක්‍රියාමාර්ග අපේක්ෂා කළත් එවැන්නක් සිදු වී නොමැති බව ඔවුන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා.

අපේ රටේ වංචා, දූෂණ නතර කිරීමට අදාළව ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි ප්‍රශ්න කළා. වංචා, දූෂණ නතර කිරීම පිළිබඳ ආණ්ඩුව ගිවිසුම්ගතව සිටියත් ප්‍රායෝගිකව සුබවාදී කිසිවක් සිදුකර නැහැ. එපමණක් නොව බරපතළ පූර්වාදර්ශ ලබාදෙමින් කෝප් කමිටුවේදී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ සභාපතිත්වයෙන් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වූවත් අද තවත් හොරෙක්ව එම සභාපති ධුරයට පත්කර සිටිනවා. රනිල් වික්‍රමසිංහ ලෝකයටම මේ ආදර්ශය දුන්නේ කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට දිය යුතු බවට තිබුණු සම්ප්‍රදායත් බිඳලයි. අයි.එම්.එෆ්. එක සමග ආණ්ඩුව මොන ගිවිසුම් අත්සන් කළත් ප්‍රායෝගිකව විශ්වාසය බිඳ වට්ටවා ඇති බව අපි පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා පසුගිය දිනෙක විපක්ෂයට ආරාධනා කර තිබුණා, අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග සාකච්ඡාවකට පැමිණෙන්න කියලා. නමුත් ඒ සාකච්ඡාවට අයි.එම්.එෆ්. නියෝජතියන් නොපැමිණීම ගැන අපි ප්‍රශ්න කළා. ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ රජයෙන් එවැනි සාකච්ඡාවකට තමන්ට ආරාධනා නොකළ බවයි. නමුත් ජනාධිපති ජනතාවට කීවේ අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග සාකච්ඡාවට පැමිණෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ බවයි. නමුත් මුළු රටේම ජනතාව මාධ්‍ය හරහා අන්දන වැඩක් ආණ්ඩුව කර තිබුණා. අයි.එම්.එෆ්. සමග ගිවිසුම් අත්සන් කර, සියලුම ගාස්තු ඉහළ දමා, බදු ඉහළ දමා රටේ සම්පත් විකුණමින් ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ ආකාරයට විශාල වංචාවක් සිදුකරමින් අයි.එම්.එෆ්. නියෝජිතයන් නොමැතිව ආණ්ඩුවේ නියෝජිතයන් පමණක් සහභාගී වූ රැස්වීමකට විපක්ෂයට ආරාධනා කර තිබිලා. මූල්‍ය අරමුදල සමග අත්සන් කළ තාක්ෂණික සහයක වාර්තා ඉදිරිපත් නොකිරීම පිළිබඳව සුමන්දිරම් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර තිබුණා. එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බව අයි.එම්.එෆ්. නියෝජිතයන් අපට ප්‍රකාශ කළා. ආණ්ඩුව කිසිවක් නොසඟවන බව ප්‍රචාරය කළත් මේ වැදගත්ම වාර්තා කිසිවක් රටට හෙළි කර නැහැ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිව සිටියදී අයි.එම්.එෆ්. සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳව එදා රනිල් වික්‍රමසිංහත් ප්‍රශ්න කළා. එදා බැසිල් රාජපක්ෂ කීවේ එම රහස්‍ය වාර්තා ඉදිරිපත් කළ නොහැකි බවයි. අද රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරන්නෙත් ඒ ආකාරයෙනුයි.

අපි අයි.එම්.එෆ්. නියෝජිතයන්ට පැහැදිලිව පෙන්වා දුන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටීම පමණක් නොවෙයි, රාජ්‍ය ක්‍රමයේ බරපතළ දුර්වලතා තිබෙන බවයි. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවද අප අවධාරණය කළා. දැන් අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ජනතාවට බර පටවා තිබීමට සහ රාජ්‍ය සම්පත් විකිණීමට අදාළ වගන්ති අපේ පාලනයක් යටතේ නැවත සංශෝධනය කරන බව අපි දැනුම් දුන්නා. එය කේන්ද්‍රගත කරගෙනයි අද අපි සාකච්ඡා කළේ. මේ මූලික ස්ථාවරය මත සිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව අපි පෙන්වා දුන්නා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු:

ප්‍රශ්නය: ඊළඟ ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් යම් අදහසක් ඉදිරිපත් කළාද?

පිළිතුර: ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වුණේ නැහැ. ඒක අයි.එම්.එෆ්. එක පැත්තෙන් ගන්න තීරණයක්.

ප්‍රශ්නය: ඔබලා දූෂණ නතර නොවීම ඇතුළු ඔබලා ඉදිරිපත් කළ කරුණු එක්ක ණය වාරිකය ලබාදීම අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ගයකට ඔවුන් පෙළඹෙයිද?

පිළිතුර: අපි එහෙම කරන්න කිවුවෙත් නැහැ. ඔවුන් නතර කරන බව කීවෙත් නැහැ. ලංකාවේ අද තිබෙන ආර්ථික තත්වය අනුව ණය වාරිකය දෙන්න එපා කියන්න අපි කොහෙත්ම කටයුතු කරන්නේ නැහැ. අපි එවැනි දෙයක් කිවුවෙත් නැහැ. ඔවුන් ඒ ගැන කීවෙත් නැහැ.

ප්‍රශ්නය: කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව 19 සහ 20 දෙදින තුළ විවාදයට ගන්න තීරණය කර තිබෙනවා?

පිළිතුර: කථානායකවරයාගේ හැසිරීම කිසිසේත්ම පිළිගන්න බැහැ. පක්ෂග්‍රාහියි. පොලිස්පතිවරයා පත්කරීමේදී ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. දේශබන්ධු තෙන්නකෝන් පත්කිරීමට හතර දෙනෙක් පක්ෂ වෙලා, දෙදෙනෙකු විරුද්ධ වී දෙදෙනෙකු නිහඬව සිට තිබුණා. නිහඬව සිටි දෙදෙනාත් විරුද්ධ බවට අර්ථ දක්වා කථානායකවරයාගේ ඡන්දය පාවිච්චි කර තිබුණා. එය නීති විරෝධියි. ඒ අවස්ථාවේ ඡන්දය නොදී පසුව ලිපියකින් දැනුම්දීමයි කර තිබුණේ. කථානායකවරයාගේ භාවිතාව දිගින් දිගටම පක්ෂග්‍රාහියි. ඒ නිසා ඔහුට විරුද්ධව අපි අනිවාර්යයෙන් ඡන්දය දෙනවා.

ප්‍රශ්නය: අයි.එම්.එෆ්. සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කරන තුරු මහ පොළොවේ තිබෙන ඇත්ත තත්වය ඔවුන් දැනගෙන සිටියේ නැද්ද?

පිළිතුර: සමහර කරුණු දැනගෙන සිටියේ නැහැ. කෝප් කමිටුවේ සභාපති ධුරයට පත්වීම පිළිබඳව දැනගෙන සිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ සිදුවුණු පත්කිරීමේ ක්‍රියාවලිය අපෙන් තමයි ඔවුන් දැනගත්තේ. සමහර කරුණු ඔවුන් හොඳින්ම තහවුරු කරගෙන තිබුණා. උදාහරණයක් හැටියට වතු කම්කරු ජනතාවගේ ජීවිතය ගැන ඔවුන් නුවරඑළියට ගොස් අධ්‍යයනය කර තිබුණා.

ප්‍රශ්නය: ලංකාවේ ජනතාව අමාරුවෙන් ජීවත් වෙන බව ඔවුන් දන්නවාද?

පිළිතුර: අපි ඔවුන්ට කරුණු සහිතව පැහැදිලි කර දුන්නා. ඔවුන් අවබෝධ කර ගත්තාද කියන එක ඔවුන්ගෙන්මයි අහන්න ඕනෑ.

ප්‍රශ්නය: ඔබේ පාලනයක් යටතේ කොන්දේසි සංශෝධනය කරන්න ඔවුන් එකඟද? ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවෙන කොන්දේසිවලට ඔවුන් කැමතිද?

පිළිතුර: එකඟතාවයන් පිළිබඳ සංවාදයක් ඇති වුණේ නැහැ. අපි අපේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළා. අයි.එම්.එෆ්. සමග සාකච්ඡා දිගටම ගෙනයාම ගැන අපේ විරුද්ධත්වයක් නැති බවත්, නමුත් මේ කොන්දේසි ජනතාව පීඩාවට පත්වී සිටීම සම්බන්ධ කරුණු සමාලෝචනය කළ යුතු බව අපි පැහැදිලි කළා.

ප්‍රශ්නය: වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන් සෑහීමකට පත්වෙනවාද?

පිළිතුර: දේශපාලන කරුණු පිළිබඳව සාකච්ඡා කළේ නැහැ. ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු කරුණු 129 සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති බව ඔවුන් කීවා. දේශපාලන කරුණු සම්බන්ධයෙන් අපි අදහස් දැක්වූයෙත් නැහැ. ඔවුන් අදහස් දැක්වූයෙත් නැහැ.

ප්‍රශ්නය: අයි.එම්.එෆ්. ගිවිසුමේ අහිතකර කොටස් තිබෙන බව ඔබ කීවා. වංචා දූෂණ වැළැක්වීම සහ විකිණීමට අමතර තවත් කොන්දේසි තිබෙනවාද?

පිළිතුර:2022 මාර්තු මස දෙවැනි දා අත්සන් කළ මූල්‍ය අරමුදල සමග මූලික අවබෝධතා ගිවිසුම ප්‍රධාන කරුණු පහක් මත පදනම් වූ ප්‍රතිපත්ති ලෙස ඔවුන් දක්වා තිබුණා. බදු ඉහළ දැමීම සහ බදු සහන ඉවත් කිරීම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, රුපියල පාකර හැරීම, බලශක්තිය පිරිවැය මත මිල තීරණය කිරීම, සහ දූෂණයට විරුද්ධව සටන් කිරීම. මේ මූලික කරුණු පහ මත පදනම් වී අනෙකුත් තාක්ෂණික කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් එදා කීවේ “ෆයිට් එගේන්ස්ට් කරප්ෂන්” කියලා. ඒ ක්‍රියාවලිය ප්‍රායෝගිකව සිදු නොවෙන බව අපි පෙන්වා දුන්නා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු ආදායම් ලබාගත හැකි ආයතනවල ආන්දෝලනාත්මක වංචා අදටත් සිදුවෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ටිකර් වංචා අදටත් ක්‍රියාත්මක වෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිව යුතු ප්‍රධානම ආයතනය අදටත් මත්පැන් බදු වංචාව විශාල වශයෙන් සිදුකරනවා. හොර ස්ටිකර් ගැසීම නවත්වන්න අදටත් සමත් වී නැහැ.

Show More

IMF සහ NPP නියෝජිතයින් අතර හමුවක්

(-Colombo, March 14, 2024-) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි. පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති […]

(-Colombo, March 14, 2024-)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.

පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විමසීම් සිදු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ කැට්සියරිනා ස්විඩ්සෙන්කා Katsiaryna Svieydzenka සහ මානවී අබේවික්‍රම යන මහත්මීහුද සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගි වූහ.

Show More

කැනඩා මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

(-Colombo, March 13, 2024-) අද (13) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් සිදු විය. මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික […]

(-Colombo, March 13, 2024-)

අද (13) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් සිදු විය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා වන අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ඉදිරි කැනඩා සංචාරයට සුබපැතීමටද මහකොමසාරිස්වරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

Show More

“රට දූෂිත ක්‍රමවේදයෙන් බේරා ගැනීමේ දිශාවට පරිවර්තනය කර ගනිමු” -ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-

(ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව – 2024.03.12) අද වන විට රටේ ආර්ථික තත්වය ඇති වුණේ කොහොමද? එයට වගකිව යුත්තේ කවුරුද? එය විසඳාගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හදනවා වෙනුවට ඒ සියල්ලට වගකිවයුතු කණ්ඩායම විසින්ම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයන්න තිබෙන එකම පාර අයි.එම්.එෆ්. බවත්, අයි.එම්.එෆ්. එක සමග ගනුදෙනු කිරීමට සුදුසු කණ්ඩායම එම කණ්ඩායම […]

(ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව – 2024.03.12)

අද වන විට රටේ ආර්ථික තත්වය ඇති වුණේ කොහොමද? එයට වගකිව යුත්තේ කවුරුද? එය විසඳාගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හදනවා වෙනුවට ඒ සියල්ලට වගකිවයුතු කණ්ඩායම විසින්ම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයන්න තිබෙන එකම පාර අයි.එම්.එෆ්. බවත්, අයි.එම්.එෆ්. එක සමග ගනුදෙනු කිරීමට සුදුසු කණ්ඩායම එම කණ්ඩායම බවත් එම ගනුදෙනු ඉදිරියට ගෙනයෑම තුළින් මෙම ප්‍රශ්න විසඳිය හැකි බවත් පවසමින් සමාජය තුළ මිථ්‍යාවක් හදාගෙන යනවා. ඒ හමුවේ මහජනතාව මුහුණ දෙන සත්‍ය තත්වය පැහැදිලි කර දිය යුතුව තිබෙනවා.

පසුගිය දශක දෙකේදි ආණ්ඩු කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නම්, මෙවන් අර්බුදයකට රටට මුහුණ පෑමට සිදුවන්නේ නැහැ. රට විශාල සංවර්ධන ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා වගේම අයි.එම්.එෆ්. කතාවක් අදාළ වෙන්නේත් නැහැ. එයාලා පෙන්වනවා, ඔවුන්ගේ දූෂිත ක්‍රමය තුළ තිබෙන්නේ එකම විසඳුමක් බව. එම විසඳුම තිබෙන්නේ එයාලා ළඟ පමණක් බව. ඒ මොහොතේ අපි බලය ගත්තා නම් අයි.එම්.එෆ්. එකට නොගොස් ඉතාම පහසුවෙන් විසඳා ගත හැකි ඉඩකඩක් ලෝකය තුළ විවරවෙලා තිබුණා. ණය හිමියන් සමග විධිමත් සාකච්ඡාවකට යන්න තිබුණා. එසේ යාමට හැකියාව තිබුණේ වංචා, දූෂණවල නොයෙදුණු කණ්ඩායමකට පමණයි. මෙහිදී වර්තමානයේ තිබෙන ප්‍රශ්නයට අයි.එම්.එෆ්. එකට යාමට සිදුවී තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය කරන්නේ මොකක්ද? ඇත්ත වශයෙන් අපට මේ මොහොතේ එයින් එළියට එන්න හැකියාවක් නැහැ. ගිවිසුම පරිදි අයි.එම්.එෆ්. එක ආණ්ඩුවට ඉදිරිපත් කළේ, මූල්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීමට, “සමස්ත ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමට, ඔබට ලැබෙන ආදායම කළමනාකරණය කර ගන්න. ඔබේ රට දියුණු කර ගැනීමට ඔබේ ප්ලෑන් එකක් අරගෙන එන්න.” කියන එක. ආණ්ඩුව ඒ නිර්ණායක අරගෙන රට ගොඩගන්නා සැලසුම වෙනුවට එමගින් ඇතිවන සියලු බරපැන මහජනතාව වෙත පටවන තත්වයකට පත්කර තිබෙනවා. අයි.එම්.එෆ්. ආදායම කළමනාකරණය කරගන්න කියන කොට කරන්න ඕනෙ ආදායම උපයන මාර්ග වැඩිදියුණු කර ගන්නා එක. ආදායමේ නාස්තිය තිබෙන තැන් වෙනස් කර ගන්න ඕනෑ. ඒ වෙනුවට ආණ්ඩුව කර තිබෙන්නේ ආදායමත් විනාශ කර ගැනීමත් සාමාන්‍ය ජනතාවට බදුබර පැනවීමත් පමණයි. වංචා දූෂණ සිදුවීම නවතා දැමීමත් කර නැහැ.

අපිට මේ ප්‍රශ්නයේදී මහජනතාවගෙන් වරමක් ඉල්ලන්න සිදුවෙනවා. නැවතත් අයි.එම්.එෆ්.එකත් එක්ක සාකච්ඡා කර, විශේෂයෙන්ම ඉහළ මට්ටමේ තිබෙන විචල්‍යයන් පාලනය කරන්නෙත්, ආණ්ඩුවේ පිස්කල් කළමනාකරණය කරන්නේත් කොහොමද කියා සැලසුම් සකස් කිහිපයක් සකස් කොට තිබෙනවා. විශේෂයෙන් ආණ්ඩුවේ ආදායම සකස් කර ගන්නා ආකාරය, විදේශ විනිමය උපයා ගන්නා ආකාරය කොහොමද කියන එක. ඒ වගේම මේ ගත්ත ණය පිළිබඳව විමර්ශනයක් කොට, ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් සමග අනාගතයේදී රටේ ආර්ථිකය දියුණු කරන සංවර්ධන සැලැස්මක් එක්ක ඔවුන් එක්ක නැවත සාකච්ඡාවක් කරන්න අපට පුළුවන්කම තිබෙනවා. නැවත සාකච්ඡාවක් කරන්නේ මිනිසුන්ට ඇති වී තිබෙන ගැටලු අයින් කරලා සාමූහිකව ඉදිරියට ඒම වෙනුවෙනුයි. අපි මීට පෙරත් අයි.එම්.එෆ්. එක හමුවුණා. අපේ ස්ථාවරය පැහැදිලි කළා. ඔවුන් සාකච්ඡා කරන්න එකඟතාවයන් ලබාදුන්නා. මේ සතියේ අගභාගයේදී නැවතත් අපි අයි.එම්.එෆ්. සමග සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙහි සැබෑ වගඋත්තරකරුවන් හංගලා ආණ්ඩුව ඉදිරියට යන්න උත්සාහ කළත් එය අමාරුවී තිබෙනවා. අයි.එම්.එෆ්.එක නැවත ආණ්ඩුකරණය පිළිබඳ කරුණු සොයා බලන්නත් විශ්ලේෂණය කරන්නත් කටයුතු කළා. එහිදී ආණ්ඩුකරණයේ තිබෙන දුර්වලතාවයන්, වංචාවට පාර කපන හැටි, වංචාවට සම්බන්ධ වෙන හැටි විස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙනවා. 2023 වාර්තාව ඉදිරිපත් වුණත් එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ගොස් නැහැ. නීතිය සම්මතර කරගැනීම් වගේ දේ කළත් වැඩක් නැහැ, නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්. අනෙක් ආණ්ඩු වගේම එ.ජා.ප. ආණ්ඩුවත් වංචා, දූෂණවල යෙදුණා. ඒ වගේම මහ බැංකු බැඳුම්කර වංචාවේ මතුපිටින් ගත් විට ලියවිලිවලින් බැලූවිට හැමවිටම නීතිය ඇතුලේමයි වංචා කර තිබෙන්නේ. ඒ වෙන විට භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් කළා. ඩිරෙක් ක්‍රම වෙනුවට ඔප්ෂන් මෙතඩ් එක මාරු කළා. මතුපිටින් බලන විට ඔප්ෂන් මෙතඩ් එක හොඳයි. ඒ අය ඇතුළත තොරතුරු පාවිච්චි කරලා මේ වැඩේ ලස්සනට කළා. අදටත් ඒ පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා. ආණ්ඩුකරණය පිළිබඳ කරුණු විමර්ශනයේ රිපෝට් ගණනාවක් ඇවිත් තිබෙනවා. මේ ආණ්ඩු එයට මැදිහත් වෙන්නේ නැහැ. අදටත් ටේ‍රෂරි සහ බැඳුම්කර බිල්පත් නිකුත් කිරීමේදී මුදල් වෙළඳපොළේ ඉන්න කණ්ඩායම් විසින් බලය හොබවන කිහිප දෙනෙක් විසින් සූක්ෂමව පොලී අනුපාතය සහ තොරතුරු එහාට මෙහාට කරලා මහජනතාවගේම සල්ලි මහජනතාවටම ණයට දීලා මැදිහත්කරුවෝ විදිහට එකතුවෙලා බිලියන ගණන්වලින් ධනය උපයන අසාධාරණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ස්පෙෂල් කොමෝඩිටි ටැක්ස් ‘විශේෂ වෙළඳ භාණ්ඩ බදු’ මෙය හොඳ බදු ක්‍රමයක ලක්ෂණයක් නොවෙයි. හැම තිස්සේම මේවා පාවිච්චි කළේ, නිෂ්පාදකයාව ආරක්ෂා කරන්නවත් පාරිභෝගිකයා ආරක්ෂා කරන්නවත් නොවෙයි; ඔවුන් ළඟින් ඉන්න දෙතුන්දෙනෙකුට වාසි ගන්න. අවස්ථා දෙකකදී එහෙම කළා. සීනි බදු වංචාව අවස්ථා දෙකකදී කළා.

2015 ආණ්ඩුව කාලයේ අර්බුදයක් ඇති වෙනකොට විදේශ විනිමය සොයන්න අපනයනය වැඩිකරන්න ඕනෑ. අපනයන වැඩි කරන්න, නිෂ්පාදනය වැඩිකොට විවිධාංගීකරණයකට යන්න ඕනෑ. ඒ වෙනුවට මේ ආණ්ඩු යම් උපක්‍රම පාවිච්චි කරනවා. එහි ප්‍රධාන එකක් තමයි ප්‍රතිඅපනයනය කියන වංචාව හංගන එක. කරුංකා, ගම්මිරිස්, තේ, ප්‍රතිඅපනයනය කිරීම ඒ යටතේ සිදුකළා. ලෝකයේ අංක එකේ තේ අපනයනය කළ ලංකාව ප්‍රතිඅපනයනය යටතේ අංක 05ට වැටුණා. ඒ ආණ්ඩු මේ වංචාව දිගටම කළා. අද මුළු රටක්ම අර්බුදයක ඉන්නේ. හැබැයි ආණ්ඩුව නැවතත් ඒ තැනටම යන්න උත්සාහ කරනවා. 2024 පෙබරවාරි 19 වැනිදා අංක: 2372/04 අති විශේෂ ගැසට් එක කැබිනට් අනුමැතිය හරහා ඉදිරිපත් කොට තිබෙනවා. අපනයන ආදායම වැඩිකර ගැනීම සඳහා වැලිව් ඇඩඩ් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යම් යම් භාණඩ ආනයනය කිරීමට ඉඩ හරිනවා. ලෙහෙසියෙන්ම හොරා කෑ හැකි ඉඟුරු, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු වගේ භාණ්ඩ ටිකක් ආනයනය කරන්න ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

අයි.එම්.එෆ්. එක ඉදිරිපත් කළ ආණ්ඩුකරණය පිළිබඳ විමර්ශන වාර්තාවල විශේෂ ක්ෂේත්‍ර ගණනාවක අනතුරු ඇඟවීම් කර තිබෙනවා. “ඔබලාගේ රටේ පාලනය ඉතාමත් ගැටලු සහිතයි. විශේෂයෙන් රාජ්‍ය ක්‍රියාකාරකම් ගැටලු සහිතයි. එවා මග හරවා නොගතහොත් මිනිසුන්ට තව තවත් ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ඇතුලේ ආදායම් කළමනාකරණය පිළිබඳ දුර්වල තැන් තිබෙනවා. විශේෂයෙන් මිලදී ගැනීම්වලදී.” එහි සඳහන් වෙනවා. ප්‍රොකියුමන් මැනේජ්මන්ට් එක ඉතාම දූෂිතයි. අන්සොලිසිටඩ් ටෙන්ඩර්වලට යනකොට තරගකාරිත්වයක් කැඳවන්නේ නැහැ. ඇමතිවරයාට හෝ එම කණ්ඩායම්වලට විශාල වශයෙන් කොමිස්වලට යාමේ හැකියාව ලැබෙනවා. මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය පාරදෘෂ්‍ය නැහැ. තරගකාරී නැහැ. ඔබ දන්නවා බලශක්ති ක්ෂේත්‍රය ඉතාම වැදගත්. එය සේවයක් පමණක් නොවෙයි, ආර්ථිකයත් සමග ගැටගැසී තිබෙනවා. අනාගතයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ආණ්ඩුව ඒ බලශක්ති නිසි පරිදි හසුරුවලා, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩිදියුණු කරලා, රටේ බලශක්තිය අඩු මිලට මහජනතාවට ලබාදී, වෙළඳපොළ ප්‍රසාරණය කොට රට දියුණු කරනවා වෙනුවට එයිනුත් වංචා-දූෂණ සිදුකරන්න කටයුතු කරනවා.

මෑතකදී සාකච්ඡා කරපු ඒවා, ඕස්ටේ්‍රයාවට දීපු, ඉන්දියාවට දෙන්න යන ඒවායේ පවර් පර්චසින්වල ගිවිසුම් ගත්තාම, ඒවායේ මිලගණන් ඉතාම ඉහළයි. පුනර්ජනනීය බලශක්ති ඒජන්සියෙන් ලබාගත් වාර්තාවකට අනුව 2021 වෙනකම් ඒ ඒ බලශක්තිවල නිෂ්පාදන පිරිවැය ඉදිරිපත් කොට තිබෙනවා. 2010 සිට 2021 දක්වා පුනර්ජනනීය බලශක්ති අවුරුදු 10ක් ඇතුළත සූර්ය බලශක්තිය 88%කිනුත් සුලං බල ශක්තිය 68%කිනුත් ඉතා වේගයෙන් නිෂ්පාදන පිරිවැය පහළට ඇවිත් තිබෙනවා. ඒ වගේම එහි ධාරිතාව වැඩිවෙනවා. අපි අවධානය යොමු කළ යුත්තේ එවැනි ප්‍රභවයන්ට. මේ වාර්තාවට අනුව අපට යන පිරිවැය කිලෝ වොට් එකකට රුපියල් 10ත් 15ත් අතර මිලක්. හැබැයි අපි අවුරුදු දහයක වගේ අනාගතයකට පවර් පර්චසින් එකක් ගහන්න යනවා රුපියල් 50කට විතර ගන්න. රටට, ජනතාවට මොන වගේ බලපෑමක් වුවත් මේ පාලකයෝ තමන්ගේ මඩිතර කරගැනීමට හදනවා. මේ කණ්ඩායම් අපි ඉදිරියේ මවන චිත්‍රය, හුදෙක්ම අපි මුහුණ දී තිබෙන ප්‍රශ්නය ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීමට කරන වැඩක් නොවෙනවා පමණක් නොවෙයි, එය මෙවලමක් ලෙස පාවිච්චි කරලා, ඔවුන් හොරකම් කිරීමටත්, තමන්ගේ සුඛවිහරණය වැඩිකර ගැනීමටත් හදනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට බලය අත්‍යවශ්‍යයි. ඒ නිසයි, තවදුරටත් බලයේ රැඳී සිටීමට විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නේ. අපි වෘත්තිකයන්ට යෝජනා කරනවා, මේ තොරතුරු විශ්ලේෂණාත්මකව බලන්න, මේ අනතුර අවබෝධ කර ගන්න. මේ රට දූෂිත ක්‍රමවේදයෙන් බේරා ගැනීමේ දිශාවට පරිවර්තනය කර ගැනීමට කටයුතු කරමු.

“අපි ක්‍රියාත්මක කරන්නේ මහ ජනතාවගේ ආණ්ඩුවක් සමග මහජනතාවගේ වැඩපිළිවෙළක්”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති-

ජනාධිපතිවරයා මැදිහත්වෙලා හදපු එයි.එම්.එෆ්. එකත් සමග සාකච්ඡාවට අපි සහභාගි නොවුණේ ඇයි කියන ස්ථාවරය පැහැදිලි කිරීමටත්, රටේ මතුවී තිබෙන ආර්ථික තත්වයන් ගැන කතාකරන්නත් අපි මේ මාධ්‍ය හමුව පවත්වනවා. එයි.එම්.එෆ්. එකත් එක්ක අපේ පාලකයෝ එකතුවෙලා කාමරවල හදපු ගිවිසුම් ක්‍රියාත්මක කරන්න කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගත් ඒවා නොවෙයි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරන වෙලාවේදී, නිව්යෝර්ක්වලදී එයි.එම්.එෆ්. එකත් සමග කළ සාකච්ඡාවල ලේඛන, අත්සන් කරපු ගිවිසුම් ලේඛන ඉදිරිපත් කරන්න කියලා, රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරද්දී පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව අර බැසිල් රාජපක්ෂ හොර රහසේ අත්සන් කරපු ගිවිසුම අද ක්‍රියාත්මක කරනවා. රනිල් වික්‍රමසිංහත් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒවා වෙබ්සයිට්වල පළ කළාට පස්සේ අපි ඒවා අරගෙන පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. මේ රට අර්බුදයට පත් කළෙත්, ඒ අර්බුදයට පත්කරන්න ගිවිසුම් අත්සන් කළෙත්, රනිල් වික්‍රමසිංහලා විපක්ෂයේ අපිත් සමග සාකච්ඡා කොට එකඟතාවයන්ට ඇවිත් නොවෙයි.

අද ඒවායේ ප්‍රතිඵල විඳවා ගන්න බැරි වුණාට පස්සේ තව තවත් අර්බුදයට ගිහින් අපට සාකච්ඡාවලට කතා කරන එකේ තේරුමක් නැහැ. මේ සාකච්චාවට අපට එන්න කියන්නේ, සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා, රනිල් වික්‍රමසිංහගෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ඉල්ලීමකට අනුවයි. මේ අර්බුදයෙන් ගොඩයන්න අපිව හවුල්කර ගන්නවා කියන මතයක් සමාජගත කරන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. අපවත් පටලවාගන්න උත්සාහ ගන්නවා. අයි.එම්.එෆ්. එකට අප සමගත්, අපට අයි.එම්.එෆ්. සමගත් සාකච්ඡාවකට යන්න අවශ්‍යයි නම් ඒ සඳහා ක්‍රමයක් තිබෙනවා. මීට ප්‍රථමත් අයි.එම්.එෆ්. එක සමග අපේ ආර්ථික කවුන්සිලය සාකච්ඡා කළා. නැවත 14 දිනත් සාකච්ඡාවක් කරන්න යෝජනා කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති තැනින් තැන අහුලාගෙන රනිල් වික්‍රමසිංහ කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කුලියාපිටිය රැස්වීමේදී මතු කරන්නේ 2019 දී ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරපු ‘දේශයේ අපේක්ෂාව’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන යෝජනා ප්‍රායෝගික නෑ කියන එක. වික්‍රමසිංහලා, රාජපක්ෂලා හවුලේ වට්ටපු රට ගොඩගන්න අපේ යෝජනා ප්‍රායෝගික නැහැ කියලා කියන්නේ රට ණය කරපු, රටේ උපදින දරුවෙක් ලක්ෂ 12කට වැඩිය ණයකාරයෙක් කරපු, දෙකෝටි විසිලක්ෂයක් ජනතාවට ඉන්න රටක් නැති කරපු, බෙහෙත් පෙත්තක් බොන්න විදිහක් නැති කරපු, අධ්‍යාපනය නැති කරපු, විශ්‍රාමිකයාට විශ්‍රාමික ජීවිතයක් නැති කරපු රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා. රනිල් වික්‍රමසිංහ කියනවා “රනිල් වික්‍රමසිංහලා මේ රට වට්ටපු තරමට මේ රට ගොඩගන්න ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මදි” කියා. අපි මේ ප්‍රතිපත්ති සකස් කරන්නේ 2018 මහ බැංකු වාර්තා දත්තවලට අදාළව. ඒ දත්තවලට අනුව 2025දී ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළක් යටතේ අපි රට නගා සිටුවන හැටි කියා තිබෙනවා. මහ බැංකු මංකොල්ලකන විදිහට, අර්ථසාධකේ මංකොල්ලකන හැටියට 2022 රට බංකොලොත් කරන හැටි, බංකොලොත් කරන සැලැස්ම දන්නේ රනිල් වික්‍රමසිංහලා තමයි.

ජනතාව රවට්ටන්න රනිල් වික්‍රමසිංහලාට, සජිත් පේමදාසලාට අදටත් කරන්න තිබෙන්නේ තුට්ටු දෙකේ වැඩ. හාල් කිලෝ දහයක් විස්සක් බෙදාදෙන එක. මිනිස්සු හිඟමනට පත්කරලා, නැවතත් ඒ ඇස්බැන්දුමක් හදන්න උත්සාහ ගන්නවා. අපේ මේ ආර්ථික ප්‍රතිපත්ති විද්වත් මණ්ඩල සමග, මහජනතාව සමග සාකච්ඡා කර, හදන ප්‍රතිපත්ති. මේවා අතිශය ප්‍රායෝගික ක්‍රියාමාර්ග. කිසිදු අසාර්ථක ඉලක්කයක් අපි අරගෙන නැහැ. අපි මේ රටේ ක්‍රියාත්මක කරන්නේ මහ ජනතාවගේ ආණ්ඩුවත් සමග මහජනතාවගේ වැඩපිළිවෙළක්. අපි සෑම ආර්ථික ඉලක්කයකට වග කියනවා. සමහර මාධ්‍යවල බලශක්ති ගැන කතා කර අපව විහිළුවට ලක්කර තිබෙනවා, අපේ කාන්තාවන් දර උදුන්වලින් උයන්න පිහන්න ලැහැස්ති කරන්න සිදුවෙනවා කියනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 82 පිටුවේ බලශක්ති පිළිබඳ ක්‍රියාමාර්ග 23ක් සඳහන් කොට තිබෙනවා. ඉන් එකක් තමයි, ජෛව මූල බලශක්ති ප්‍රභවයන් (දර, පොල් කටු අඟුරු) භාවිතය පිළිබඳ පර්යේෂණ දිරි ගැන්වීම සමග එම ප්‍රභව භාවිතාව පිළිබඳ උපකරණ නවීකරණය කර ප්‍රචලිත කිරීම. අනිකුත් බලශක්ති ප්‍රභවයන් පැත්තකට දමා ලිපට බහිනවා කියන එක නොවෙයි. අපි 2019 ඉදිරිපත් කළේ බලශක්ති අර්බුදයට ඉදිරි වසර තුන ඇතුළත ක්‍රියාවට නැගිය හැකි ක්‍රියාමාර්ග 23ක්.

අද ඒගොල්ලන්ට ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගන්න බැරිතරමට බලපෑමක් කර තිබෙනවා. ඒවායේ විවේචනයට දෙයක් නැති තැන වචන ඇහිඳිනවා. එයාලට ප්‍රතිපත්තියක් නැහැ. ඔබ මේ ප්‍රතිපත්ති කියවන්න. සාකච්ඡා කරන්න. 2024 වසරේ සිට මේ රට හදන අලුත් සැලසුම් ක්‍රියාත්මක කරන්න ලැහැස්තියි. අප ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. ජාතික විද්වත් සංවිධානය සහ ගම් මට්ටමේ අපේ සංවිධාන එකතු වෙලා රටට ජාතික ප්‍රතිපත්ති මාලාවක් වගේම ගමට, දිස්ත්‍රික්කවලටත් සැලසුම් සකස් කරමින් ඉන්නවා. අපි ඉදිරියේදී මේ රට ගොඩනඟන සැබෑ විසඳුම් ක්‍රියාත්මක කළ හැකි අතිශය ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවන් ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා.

“යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ ”රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා මේ මාස දෙක තුන තුළ සූදානම් වෙනවා මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න. ඔවුන් දන්නවා ඔවුන්ට නැවත බලය ලබාගන්න බැහැ කියලා. ශ්‍රී ලංකන් ගුවන් සේවය කන්ඩෙම් කර, විකුණන්න නිමල් සිරිපාල කැසකවමින් ඉන්නවා. ලෝකයේ වටිනාම ගුවන් ගමනාන්තයක් තිබෙන, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ලෝකය තුළ නිමල් සිරිපාල ඇමතිවරයා මාධ්‍යවලට ඇවිත් අවිශ්වාසයක් ඇති කරනවා. මේ උත්සාහ ගන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කුණු කොල්ලයට විකුණා දැමීමටයි. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය කන්ද භාණ්ඩාගාරයට භාර ගන්න කියා ඉල්ලනවා. ඒ ගොල්ලන්ගේ දූෂිත ගුවන් බස් ගනුදෙනු, රාජපක්ෂවරුන්ගේ ඥාතීන් දමාගෙන බලු පැටව් ගේන්න නාස්තිකාරී ගුවන් යානා යවපුවා තිබෙනවා. එයාර් බස් ගනුදෙනුවෙන් කපිල චන්ද්‍රසේනලා පගාව ගත්ත බව එංගලන්තයේ අධිකරණයෙන් අනාවරණය වූ බව අපි දන්නවා. ඒවා මේ රටේ ජනතාවගේ ණය හෝ දඩ නොවෙයි. ඒ බර භාණ්ඩාගාරයට බාර දීලා, නිමල් සිරිපාලට කොමිෂන් ගන්න විකුණන්න ලැහැස්ති කරනවා. ඒ සමගම විදුලි බල මණ්ඩලය අලෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. වෘත්තිය සමිති අක්‍රිය කර, අයිතිවාසිකම් පාගා දමා, ලාභ ලබන විදුලි බල මණ්ඩලය විකිණීමට සූදානම් වෙනවා. කංචන විජේසේකර දන්නවා මේ රටේ ජනතාව එයාව තෝරා නොගන්නා බව. ඒ නිසා විදුලි බල මණ්ඩලය විකුණලා ගාණක් සොයා ගන්න උත්සාහ ගන්නවා.

ටෙලිකොම් එක, ගෑස් එක විකුණන්න සූදානම් වෙනවා. මන්නාරම් ද්‍රෝණියේ සුළං බලාගාර ව්‍යාපෘතිය අදානිලාට දෙන්න සාකච්ඡා කරමින් තිබෙනවා. මන්නාරම ගැන විශේෂයෙන් කතා කළ යුතුව තිබෙනවා. එය අධි සංවේදී ප්‍රදේශයක් හැටියට ජාත්‍යන්තරව හඳුනාගත් සංචාරක කුරුල්ලන් යන තැනක්. මිලියන 15ක පමණ සංචාරක කුරුල්ලන් අවුරුද්දකට ලංකාව හරහා ගමන් කරනවා. මේක කියන්නේ “ග්ලෝබල් බයොලොජිකල් සෙන්ටර්” එක සමීක්ෂණයක් අනුව කරන ලද ප්‍රකාශයක්. ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර විද්‍යාඥයන් සමීක්ෂණය කර තිබෙනවා. එවැනි තැනක සුළං බලාගාර හදන්න යනවා. අක්කර 10,000ක් පමණ මිනිසුන් පදිංචි ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුම් හදා තිබෙනවා. අවුරුදු 25කට ඩොලර් ශත 97ක ස්ථාවර මිලකට සුළං බලය මිලදී ගන්න සැලසුම් හදා තිබෙනවා. මෙය දැන් ඩොලර් ශත 22කට ගත හැකි දෙයක්. අපට 2044 වෙනකම් මිලදී ගැනීමට සිදුවෙනවා.

මේ රටේ පාර්ලිමේන්තුවවත්, අධිකරණයවත්, මේ රටේ ජනතාවවත් මේවා මේ ආකාරයෙන් විකුණන්න රනිල්ට බලය දීලා නැහැ. ඔහු ජන වරමක් නැති ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණයකට මාස පහක්, හයක් තිබියෙදී මේ ආකාරයට වෙන්දේසි සූදු කරනවා නම්, අනාගත පරම්පරා ගණනකට වගකියන්න තිබෙන බලශක්තිය, ගුවන් සේවය සහ අනෙකුත් ආයතන විකිණීමේ තීරණ ගන්න හදනවා නම්, මේ රටේ ජනතාවට ඒවාට විරුද්ධ වෙන්න ඕනෑ. ඒවගේම මේ මිලදී ගන්න හදන්නේ ජනවරමක් නැති ආණ්ඩුවකින්. ඊළඟට එන්නේ ජනවරමක් තිබෙන ආණ්ඩුවක්. ජනවරමක් තිබෙන ආණ්ඩුවලට සම්පූර්ණ ජනතාව බලය පවරනවා, ඔබ මිලදී ගත්ත දේවල් පිළිබඳව තීරණ ගන්න. ඒ නිසා ඒගැනත් සැලකිලිමත් වෙන්න කියා මිලදී ගැනීම්වලට ලංසු තබන අයට ඉල්ලීමක් අපි කරනවා. මේ රනිල් වික්‍රමසිංහ-රාජපක්ෂ හවුල් පාලනයට තවදුරටත් ජනවරමක් නැහැ අපේ සම්පත් විකුණන්න. මේ ජනවරමක් උරගා බලන්න සූදානම් වෙන මොහොතේ, මේ කොයි ක්‍රමයකින් හෝ විකිණීමට, මිලදී ගැනීමට සූදානම් වෙනවා නම්, ඒකේ ගනුදෙනුව බේරා ගන්න වෙන්නේ ඊළඟ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට. ඒ නිසා මේ ගනුදෙනුවලට ඔබ ලැහැස්ති වෙන්න එපා. මේ අපේ රටේ සම්පත් විකුණන්න සූදානම් වෙන ගනුදෙනු වහාම නතර කළ යුතුයි. ආණ්ඩුවට විකිණීමට ජනවරමක් නැහැ. පෞද්ගලික අංශය ශක්තිමත් කරනවාය කියන එකයි, රාජ්‍ය සම්පත් විකුණනවා කියන එකයි එකක් නොවෙයි; ක්‍රියාවලීන් දෙකක්.

“ආර්ථික අර්බුදය ඇති කළ අය සුවසේ සිටියෙදී, අහිංසක ජනතාව එහි ගොදුරු බවට පත්කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර-

2010 – 2014 කාලසීමාවේ අපේ දේශීය විදේශීය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම තිබුණේ 76.13%ක අගයකයි. 2022 වන විට මේ දේශීය විදේශීය ණය ප්‍රතිශතයක් ලෙස 113.8%ක් දක්වා වර්ධනය වුණා. ප්‍රශ්නය වෙන්නේ මේ ගොල්ලෝ දිගින් දිගටම ණය ගත් එක. 2007 – 2014 කාලය ඇතුළත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (අයිඑස්බී) මගින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5000ක පමණ ණය අරගෙන තිබෙනවා. 2015 – 2019 කාලය ඇතුළත යහපාලන ආණ්ඩුව ඩොලර් මිලියන පහළොස් දහසක් පමණ අයිඑස්බී මගින් ණය අරගෙන තිබෙනවා. රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යැයි කියමින් මේ ණය අරගෙන ඒවා අවභාවිත කරමින් ණය කන්දක් ගොඩගසා තිබෙන එක තමයි අද රටට ප්‍රශ්නයක් වී තිබෙන්නේ. ආණ්ඩුව මේ ණය බර අද ජනතාවට බාරදී තිබෙනවා. ණය ගැනීමේ වගකිවයුත්තන් කවුද, ආර්ථිකය කඩා වැට්ටවීමට වගකිවයුත්තන් කවුද කියා බැලුවොත්, රාජ්‍ය මූල්‍යය සම්බන්ධයෙන් දුර්වල ප්‍රතිපත්ති ගෙන තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව, වැරදි පිස්කල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ රට පාලනය කළ හැම දේශපාලනඥයෙකුම වගකියන්න ඕනෑ. මේ අය ආර්ථික අර්බුදය ඇති කරලා, ඔවුන් සුවසේ සිටියෙදී, එහි ගොදුරු බවට මේ රටේ අහිංසක ජනතාව පත්කර තිබෙනවා. ඔවුන් පළමුවෙනි වතාවට ජනතාවගේ ධනය ඍජුව සොරකම් කර තිබෙනවා. දෙවැනි වතාවට ඔවුන් බදු හරහා මහජනතාවගේ ධනය සොරකම් කරනවා. මේක තමයි තිබෙන විශාලම ගැටලුව.

මෙහිදී ජන ජීවිතය කොයිතරම් දුරට අඩාල වී තිබෙනවාද? අයිඑම්එෆ් කොන්දේසියක් අනුව ක්‍රියාත්මක වෙන 2023 අංක 16 දරන මහ බැංකු පනත නිසා, මෙතෙක් මහ බැංකුවේ තිබූ ආර්ථික ස්ථායීකරණ අරමුණ ඉවත් වී යනවා. අද වෙන විට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අති විශාල ප්‍රමාණයක් කඩා වැටී තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය මගින් ලක්ෂ 28කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අසරණ වී තිබෙනවා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අතර හිරවී තිබෙන්නේ ලක්ෂ 24ක් වන කාන්තාවන්. මහ බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට 8% පොලියට සෞභාග්‍යා ණය ලැබුණට මේ පනතත් සමග සෞභ්‍යාග්‍යා ණය නතර වී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පත් වී තිබෙන අපහසුතාවය ආවරණය කර ගන්න ණය යෝජනා ක්‍රමයක් මේ වන විට නැහැ. ප්‍රාදේශීය කාර්යාලය මගින් ලබාදුන් ණය සහන අහිමි වෙනකොට මහ බැංකුව වරින් වර තමන්ගේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත දැම්මාට සැබෑවටම පහළ දැමීම, අනෙක් බැංකුවල ණය දීම් මත පිළිබිඹු වන්නේ නැති බව අපට පැහැදිලිවම පේනවා.

වැඩි පොලියකට ණයක් අරගෙන අපේ ව්‍යවසායකයන්ට තවදුරටත් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට අපහසුයි. ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන ඒ මත හිරවීම නිසා කුඩා ව්‍යාපාර කරන කාන්තාවන් මේ වන විට අසරණ වී තිබෙනවා. ඔවුන්ට 1%ක් වගේ දවස් පොලියට ණය ගන්න සිදුවෙලා තිබෙනවා. එය අවුරුද්දට 365%ක පොලියක්. මේ විදිහට දිගින් දිගටම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටෙන කොට, ඒ නිසා රැකියා අති විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. එය සාමාන්‍ය පවුල්වල ආදායම්වලට තර්ජනයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවෙනවා. දැනට ජනගහනයෙන් භාගයක් පමණ දුප්පත්කමේ රේඛාවෙන් පහළට වැටී තිබෙනවා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2019 පවර්ටි ලයින් එක ලෙස පෙන්වා දී තිබෙන්නේ පුද්ගලයෙකුට ජීවත්වීමට අවශ්‍ය අවම ආදායම රුපියල් 6966ක් ලෙසයි. 2023 දෙසැම්බර් වෙනකොට ජීවත් වීමට අවශ්‍ය අවම මුදල රුපියල් 16,524ක් දක්වා වැඩිවෙනවා. අතිශය විශාල උද්ධමනයකට මුහුණදීමත් එක්ක තමයි දරිද්‍රතා රේඛාව ඉහළට යන්නේ. ජීවත් වීමට පුද්ගලයෙකුට අවශ්‍ය අවම මුදල 16,524ක් දක්වා වැඩිවුණාට කිසිම කෙනෙකුගේ වැටුප් මේ දක්වා වර්ධනය වෙලා නැහැ. ඒක තමයි ජනතාවට විඳින්න සිදුවී තිබෙන විශාල ප්‍රශ්නය. මෙසේ මිනිස් ජීවිත කඩා වැටෙන කොට රැකියා අහිමි වෙනකොට ලෝක ආහාර වැඩසටහනේ කියනවා 31%ක් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව. හේතුව වන්නේ ජීවත්වීමට අවශ්‍ය ප්‍රමාණවත් ආදායමක් කුමන ආකාරයකින් හෝ ඔවුනට ලැබෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආදායම අඩුවෙලා යනකොට, සේවා නියුක්ති අවස්ථා නැතිවෙලා යන කොට පවුල තුළ විශාලම පීඩනය ඇති වෙන්නේ කාන්තාවටයි. මේ තත්වයෙන් කාන්තාවන් ගලවා ගැනීමට රජයට කිසිදු වැඩපිළිවෙළක් ඇත්තේ නැහැ. බහුවිධ දරිද්‍රතා දර්ශකයට අධ්‍යාපනය, සනීපාරක්ෂාව, පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් ආදී සෑම දෙයක්ම අන්තර්ගත වෙනවා. ජනතාවගෙන් 78.3%ක් සිටින්නේ ග්‍රාමීය ප්‍රදේශවල. මේ 78.3%ක් වන ජනගහනයෙන් 80.9%ක්ම දරිද්‍රතාවයට පත්වී සිටින බව බහුවිධ දරිද්‍රතා දර්ශකයෙන් පෙන්වා දී තිබෙනවා. පසුගිය කාලසීමාව තුළ, මේ රටේ ජනතාවගෙන් වැඩිම පිරිසක් දරිද්‍රතාවයට පත්වී තිබෙනවා. ඒත් එක්කම යුනිසෙෆ් වෙබ් සයිට් එක පෙන්වනවා සෑම දරුවන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කුසගින්නේ ඉන්න බව. ළමුන්ගෙන් මිලියන 2.3ක් අවශ්‍ය ආහාර නැතිව අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණ දී තිබෙනවා.

රජය ඡන්දය ඉලක්ක කොට, රුපියල් 7500ක් සහ 15,000 අස්වැසුම මගින් දෙමින් ජනතාව රවටනවා. මිනිසුන්ට අවශ්‍ය ආහාර දෙන්න රජයට වුවමනාව තිබුණා නම්, මීට ප්‍රථම එය දෙන්න තිබුණා. නමුත් දැන් සංඛ්‍යාව වැඩිකරමින් තව පිරිසකට අස්වැසුම දෙන්න කටයුතු කරනවා. මේ රුපියල් 7500ක් සහ 15,000ක් දෙන්නේ හතර දෙනෙකු සිටින පවුලකටයි. එක් පුද්ගලයෙකුට රු.16,524ක් අවශ්‍යයි. එසේ නම් පවුලකට මේ මුදල සතියක් හෝ ජීවත්වීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සහනාධාර බෙදීම වෙනුවට ආර්ථිකය ප්‍රසාරණය කරලා මිනිසුන්ට ජීවත් වීමට උපායමාර්ග සලසා දෙන්න ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. භාණ්ඩ මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන මොහොතේ හාල් කිලෝ 10ක් දී මිනිස්සු රවට්ටන සංස්කෘතියක් තිබෙන්නේ. ජනතාව තේරුම් ගන්න ඕනෙ මේ තාවකාලික සහන එළියට එන්නේ ඡන්දය බලාපොරොත්තුවෙන් පමණක් බව. සැබෑවටම සහන දෙන්න අවශ්‍ය නම් රටේ නිෂ්පාදනය වැඩිකරලා, ආර්ථිකය ප්‍රසාරණය කරලා මිනිසුන්ට අවශ්‍ය සහන ලබා දෙන්න හැකියාව තිබෙනවා.

මේ රටේ 1950 -1959 අවධියේ බාහිර ණය, අපනයනවල ප්‍රතිශතයට අනුව 11.3%යි. හැබැයි 2022 වෙනකොට එය 307%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. අපනයන සැබෑ ලෙසම වර්ධනය වුණා නම්, අපේ අපනයන ණය ප්‍රතිශතය අඩුවෙන්න තිබුණා. සැබෑ ලෙස දරිද්‍රතාවය තුරන් කිරීමට අවශ්‍ය වී තිබුණා නම්, ජීවන තත්වය උසස් කිරීමේ වුවමනාව තිබුණා නම්, ආදායම් උපයන ක්‍රම රට තුළ නිර්මාණය කරන්න තිබුණා. ඒ නිසා තමයි අපි මේ රටට නිෂ්පාදන ආර්ථියක් අවශ්‍යයි කියා යෝජනා කරන්නේ. රජයේ ප්‍රධාන ආදායම් මාර්ග දළ දේශීය නිෂ්පාදනයෙන් 50%කට වඩා ලැබෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලින්. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙන කොට, ආදායම් උපයන මාර්ග ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැහැ. ජනතාවට ආදායම් කළමනාකරණය කිරීමට, ඉතිරි කිරීම සඳහා අවශ්‍ය දැනුම ඒ සඳහා මිනිසුන් යොමු කිරීමක් ඇති වෙන්නේ නැහැ. දරිද්‍රතාවයෙන් තුරන් කර ගැනීමට නම් සමජ බලගැන්වීමකට ගෙනියන්න ඕනෑ. සමාජය විසින් බලගන්වන්න නම්, මිනිසුන්ට කුසලතා ලැබෙන විදිහේ වැඩසටහන් තිබෙන්න ඕනෑ. එවැනි වැඩපිළිවෙළක් අපට පේන්න නැහැ. අපට දකින්න ලැබෙන්නේ සමාජ ආරක්ෂණ වැඩසටහනයි. මේ අස්වැසුම වගේ ඒවයින් පුංචි පුංචි සහන දුන්නාට, හාල් මලු බෙදුවාට කොයිම වෙලාවකවත් මේ ඇතිවෙලා තිබෙන දුගී බවේ දුෂ්ට චක්‍රයෙන් මුදා ගන්න හැකිවෙන්නේ නැහැ කියන එක පැහැදිලියි. ක්‍රියාත්මක වුණා නම් ඒ ඡන්දය ඉලක්ක කරගෙන ඡන්දයකදී පමණයි.

තිරසාර සංවර්ධනයක් මේ රටේ ඇති කරලා මිනිසුන්ගේ ජීවිත සැබෑ වශයෙන්ම උසස් තත්වයකට පත්කරන්න අවශ්‍ය නම් ජාතික ජන බලවේගය යෝජනා කරන විදිහේ දැවැන්ත ආර්ථික වර්ධනයකට ගෙන යා හැකි සමාජ පරිවර්තනයක්, නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ඕනෑ. මිනිසුන් නිෂ්පාදන කාර්යයට දායක වෙලා නිෂ්පාදනයේ ප්‍රතිඵල හැමෝටම භුක්ති විඳින්නට හැකි ආර්ථියක් ඇති කරන්න ඕනෑ. මෙතෙක් කිසිම පාලනයක් මේ රටේ මිනිසුන්ට සැබෑ ලෙසම උදව් කිරීමට, මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපි මිනිසුන්ට කියනවා මේ රැවටීම්වලට අහුවෙන්න එපා. සැබෑ තත්වය තේරුම් අරගෙන, සැබෑවටම ඔබේ ජීවිතය යහපත් කළ හැකි දේශපාලන ක්‍රමවේදයකට මේ රට පරිවර්තනය කරන්න එකතු වෙන්න.

Show More

“දැන් ඉන්නේ ගල් කැටයක්වත් අතට නොගෙන ඡන්ද ලක්‍ෂ 69ක් ගත් පාලකයා පලවාහැරි ජනතාවක්” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.10, හෝමාගම) ලංකාවේ මෑත ඉතිහාසයේ දේශපාලන පරිවර්තනීය කඩඉමක් පැමිණ තිබෙනවා. ඒ නිසා පාලක කණ්ඩායම මහ මැතිවරණයක් පවත්වනවාද, ජනාධිපතිවරණයක් පවත්වනවාද යන්න ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ ජනාධිපතිවරණයක් පවත්වන්න. මහා මැතිවරණයක් පවත්වනවා නම්, අපේක්‍ෂකයෝවත් හොයා ගන්න එයාට බැහැ. රාජපක්‍ෂලා හිතන්නේ රාජපක්‍ෂලාට ජනාධිපති මැතිවරණයට අපේක්‍ෂකයෙක් පවුලෙන් හොයා ගන්න […]

(ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.10, හෝමාගම)

ලංකාවේ මෑත ඉතිහාසයේ දේශපාලන පරිවර්තනීය කඩඉමක් පැමිණ තිබෙනවා. ඒ නිසා පාලක කණ්ඩායම මහ මැතිවරණයක් පවත්වනවාද, ජනාධිපතිවරණයක් පවත්වනවාද යන්න ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ ජනාධිපතිවරණයක් පවත්වන්න. මහා මැතිවරණයක් පවත්වනවා නම්, අපේක්‍ෂකයෝවත් හොයා ගන්න එයාට බැහැ. රාජපක්‍ෂලා හිතන්නේ රාජපක්‍ෂලාට ජනාධිපති මැතිවරණයට අපේක්‍ෂකයෙක් පවුලෙන් හොයා ගන්න බැරි නිසා මහා මැතිවරණයක් තිබ්බොත් හොඳයි කියලා. සජබ වාගේ පක්‍ෂයක් ගම්වල ඉතිරි වෙලා තිබෙන ඡන්ද ටික රැකගන්න කල්පනා කරනවා. කණ්ඩායම් තුනකට බෙදිලා හිටියත්, එකම පිරිසක් වන මේ අයට ජූලි මස 22 වැනිදා වන තුරු ජනාධිපතිවරණය තියනවාද, මහා මැතිවරණය තියනවාද කියලා කල්පනා කර කර ඉන්න වෙනවා. ඒ වාගේම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල උදේ නවයේ සිට සවස පහ දක්වා සාමාන්‍යයෙන් විවාද පවත්වනවා. මේ කාලය තුළ අපට ලැබෙන්නේ විනාඩි දහයයි. ඒ අයට පැය හතයි විනාඩි පණහක් ලැබෙනවා. ඒ මුළු කාලය තුළම අපව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. සමහර රූපවාහිනී විවාදවල නිවේදකයෝ හතර දෙනකුත්, දේශපාලකයකුත් ඉන්නවා. ඒ පස්දෙනාම අප ගැන කතා කරමින්, ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් හැම දෙනාම ලංකාවේ කවදාවත් නොතිබුණු දේශපාලන මානසික ආතතියකට ගොදුරු වී ඉන්නවා.

අද හෝමාගම මේ රැස්වීමට සහභාගි වී සිටින අම්මලා, සහෝදරියන් සහ දියණියන් දැක්කාම ඔවුන්ගේ ඒ මානසික ආතතිය තවත් වේගයෙන් ඉහළ යනවා. අප මුහුණ දී සිටින්නේ හුදු ආණ්ඩු මාරු කිරීමකට නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම දේශපාලන, ආර්ථික, සමාජ පරිවර්තනයක් සිදු කරන්න සූදානම් වෙනවා. මේ නිසා මෙතෙක් රට පාලනය කළ කණ්ඩායම් අවසානය දක්වා ඔවුන්ගේ බලය රැකගන්න උත්සාහ කරනවා. තමන්ගේ දේශපාලන බලය ආරක්‍ෂා කර ගන්නත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර තවත් මාධ්‍යවේදීන්ට පහර දුන්නා. තමන්ගේ ස්වාමියා අහිමි වුණු දුක දරාගෙන ඉන්න සන්ධ්‍යා එක්නැලිගොඩලාටත් සාධාරණය ඉටු විය යුතු නැද්ද? පෑන හසුරුවමින්, තමන්ගේ මතය හැසිරවීම නිසා ඔවුන් කිසිවකුත් ඝාතනය විය යුතු නැහැ. ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතේ පිටු ගණනක් ලසන්ත වික්‍රමතුංග පිරවූයේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වී ඉන්නවා. ලසන්ත වික්‍රමතුංග ගැන පරීක්‍ෂණ නැහැ. මේ රටේ ජනතාවගේ මූල්‍ය අපරාධයන් සිදු කිරීමේ කඩඉමක් මහ බැංකු කොල්ලයෙන් සිදු කළා. ඔවුන් කළ මූල්‍ය අපරාධ ගැන සොයා දඬුවම් දෙන බව කී පිරිස් අද රනිල් වික්‍රමසිංහ වටා වාගේම සමගි ජන බලවේගයට එකතු වී ඉන්නවා. ඔවුන් දඬුවම් ලැබිය යුතු මේ අපරාධවලින් ආරක්‍ෂා වීමට විවිධ උපක්‍රම යොදනවා. පරම්පරාව කේන්ද්‍රගත කරගෙන පැමිණි මේ වංචාකාරී, දූෂිත පාලනය පොදු ජනයා අතට මාරු වීමේ කඩඉමට පැමිණ තිබෙනවා.

දේශපාලනය සඳහා පිවිසීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු අපේ පාලනයක් යටතේ විවෘත කරනවා. ඔවුන්ගේ පෙළපතින් පැමිණි දේශපාලනය, සාමාන්‍ය ජනතාවගේ දූ-පුතුන් වෙත මාරු වීම වැළැක්වීම සඳහා කළ හැකි සියලු කුමන්ත්‍රණ සිදු කරනවා. මැද කොළඹ පිට්ටනියක් පුරවලා සහල් ගෙනැත් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මේ මැතිවරණයේදී ඔවුන් පොම්ප කරනවා. නමුත්, 2022 මැයි මාසේ 09වැනිදාට පෙර සිටි ජනතාව රැවටිය හැකි වුවත්, දැන් ඉන්නේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වාගේම හැටනවලක්‍ෂයක් ඡන්දවලින් පත් වුණු ජනාධිපතිවරයෙක් පලවාහැරිය ජනතාවක්. ඉරාකයේ සදාම් හුසේන් පලවාහරින්න ඇමෙරිකානු හමුදාව ගොඩබැස්සා. ලිබියාවෙත් ඒ වාගෙයි. නමුත්, ගල් කැටයක්වත් අතට නොගත් ජනතාව ඡන්දය ලක්‍ෂ 69ක් ලබා ගත් පාලකයාව පලවාහැරියා. ඒ නිසා ඔවුන් සෙල්ලම් කරන්න හදන්නේ අපි දේශපාලනය කරන අලුත් ජනතාවත් එක්කයි. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්‍ෂලා, සජිත් ප්‍රේමදාසලා දේශපාලනය කරන්න ලෑස්ති වෙන්නේ පැරැණි ජනතාවත් එක්ක. අපි දේශපාලනය කරන්නේ 2022 මැයි 09වැනිදායින් පසු වෙනස් වූ නව ජනතාවත් එක්ක. ඔවුන්ගේ එක රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් අපේ ප්‍රචාරක කටවල් දසදහස් ගණනක් තිබෙනවා. ඔබ කොතැනකට ගියත්, ඔවුන්ගේ අවලාද, මඩ, විකෘති කියුම්වලට එරෙහිව නිවැරැදි දේ පහදා දෙන්න.

රනිල්ගේ ඡන්ද කැම්පේන් එක ගෙනියන්න ආයතන තුනකට භාර දී තිබෙනවා. එක ආයතනයක් සකස් කර තිබෙන කැම්පේන් එකේ රනිල් ගැන හතරෙන් එකක් කියන කොට අප ගැන හතරෙන් තුනක් කියනවා. අප ගැන හදන්න භාර දීලා තියෙන්නෙත්, අපේ කෙනකුට. අසූඅට, අසූනවය කාලය ගැන බයක් හදන්න එක කැම්පේන් එකක් නිර්මාණය කරනවා. දෙවැනි එකේදී අපත් ටික කාලයක් ආණ්ඩුවල හිටි බව කියන්න උත්සාහ කරනවා. තුන්වැනි එක මේ වෙලාවේ අත්හදා බලන්න සුදුසු වෙලාවක් නොවෙයි කියන්න යොදා ගන්නවා. සල්ලි පොම්ප කරලා, දැන්වීම් හදන, පත්තර ගහන ප්‍රචාර සැලසුම් කර තිබෙනවා. අපේ රටේ ජනතාවගේ ධනය කොල්ලකා ජනතාව මේ ප්‍රපාතයට හෙළන ලද පාලකයන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණ පවත්වා, දඬුවම් පැමිණවීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. මෙතැනට පැමිණ සිටින කිසිවකුත් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පැමිණි අය නොවෙයි. අප අතර තිබෙන්නේ මේ රටත්, මේ රටේ ජනතාවටත් මෙයට වඩා යහපත් ජීවිතයක් ගොඩනැඟීම පිළිබඳ පොදු අරමුණ පමණයි. ඒ අරමුණ වෙන කිසිවකුටවත් කොපි කරන්න බැහැ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන වටුවන් දඩයම් කරන්න වැද්දා හෙළුෑ දැලෙන් සාමූහිකව ගැලවී යාමේ නායකත්වය බෝධිසත්ව වටුවා විසින් ලබා දුන්නා. ගැහැනු අපි එකමිටට තේමාව වටා එක්වී සිටින්නේ මේ රට පරිවර්තනය කිරීම සඳහායි. අපි ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර වේදිකාවේ කතා කළත්, ඒ ක්‍රියාමාර්ගවල වැඩිම බරක් දරන්නේ, ක්‍රියාකාරී වන්නේ වේදිකාව ඉදිරිපිට සිටින ඔබ සියලු දෙනායි. මෙය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ශක්තිය, ධෛර්යය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.

මැතිවරණ ජයග්‍රහණය කියන්නේ අවසානය නොවෙයි, රට ගොඩනැඟීමේ ආරම්භයයි. එහි පළමු කාර්යය ජනතාවගේ ආහාර වේල ලබා දීම සහතික කිරීමයි. අපේ රටේ මහා පරිමාණ හාල්මෝල් හිමියන් කිහිප දෙනකුගේ ඒකාධිකාරී වෙළෙඳපොළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බිඳදමා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සහල් ලබා දීමටත් ගොවියාට සාධාරණ මිලක් ලබා දීමටත් යාන්ත්‍රණයක් සකස් කරනවා. එළවළු, පලතුරු සම්බන්ධ වෙළෙඳපොළත් ඒ වාගේම නැවත සකස් කිරීමට පස්අස්වනු නාස්තිය අවම කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පළමුකොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනවා. වස-විෂවලින් තොර ආහාර වේලක් ලබා දීමත් සහතික කරනවා. දෙවනුව පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමේ කෙටිකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. පරීක්‍ෂණ පහසුකම්, ඖෂධ ප්‍රමාණවත් තරම් ලබා දීම මාස දෙක තුනක් තුළ තහවුරු කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය තුන්වැනි හදිසි අවශ්‍යතාව ලෙස ප්‍රමුඛත්වය ලබා දෙනවා. තමන් විඳින දුක තමන්ගේ දරුවාට ලබා නොදීමේ චේතනාවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැප කිරීමක් දෙමාපියන් කරනවා. මේ වන විට මුළු පාසල් පද්ධතියම කඩාවැටී තිබෙන තත්වය වෙනස් කර ඒ ගැන නැවත විශ්වාසයක් ඇති කරනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරමින්, සියලුම වෘත්තීන්වලට ගැළපෙන අධ්‍යාපනයක් ලබා දීමේ දිගුකාලීන සැලැසුම් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් වූ සමාජ ආකල්ප පරිවර්තනයකුත් අපි ඇති කරනවා. අද ගෙදරට බරක් වී තිබෙන දරුවාගේ අධ්‍යාපනය එයින් මුදාගෙන රජයේ වගකීමක් බවට පත් කර ගන්නවා. අපේ රටට ඕනෑ දැනුමෙන්, නිපුණතාවෙන් යුක්ත පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයක්. ලෝකයත් එක්ක තරග කළ හැකි දරුවන් නිර්මාණය කරන අධ්‍යාපනයක් අපට ඕනෑ. ඔවුන්ට ඕනෑ කරන්නේ ඡන්ද කාලයට ෆෝම් කොළ පුරවන, අරක්කු වීදුරුවට යට වෙන, නාමල්ලාගේ පිටිපස්සෙන් යන දරුවන්. ලෝකයේ නව දැනුම උකහාගෙන ඉදිරියට යන සමාජ විනයක් සහිත දරුවන් බිහි කරන අධ්‍යාපනයක් අපි නිර්මාණය කරනවා. ඒ වාගේම විනයක් සහිත නීතිගරුක සමාජයක් බිහි කිරීමට මෙතෙක් පැමිණි මාවතෙන් අනාගතයේ රට ගොඩනඟන පරිවර්තනීය වෙනසක් කළ හැකි ආණ්ඩුවක් බලයට පත් කරගත යුතුයි. එයින් පසුව කාන්තාවන්ටත්, ඇකයේ නැළවෙන දරුවන්ටත් සුරක්‍ෂිතභාවය තහවුරු වන රටක් ගොඩනැඟීමේ පරිවර්තනය වෙනුවෙන් ජයග්‍රහණය කරා ධෛර්යයෙන් ගමන් කරන ලෙස ආරාධනා කරනවා.

“එකමිටට එකතු වුණු ගැහැනුන් නොනැවැතී පෙරට ගමන් කරමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ-

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය අප සැමරුවේ මහපාරේ අරගල කරමිනුයි. රට පුරාම ඉන්න අධිෂ්ඨානශීලී ගැහැනුන් එකමිටට එකතු කරගෙන යන ගමනේදී කාන්තා දින සැමරුමෙන් දින දෙකකට පසුව අප කොළඹදී හමුවී තිබෙනවා. කොළඹ දිහා හැමෝම ඇස් ඇරගෙන බලාගෙන සිටියා. රතු කැකුළු, සුදු කැකුළු හාල් කිලෝ දහය බැගින් බෙදන සමුළු ඒ පැත්තෙන් තරගෙට පටන්ගෙන තිබෙනවා. ඒ වෙනුවට ජාතික ජන බලවේගයේ අපි අභිමානවත් ලෙස ජීවත් වෙන්න කැමැති කොන්ද තිබෙන ගැහැනුන් ලෙස රට ගොඩනැඟීමේ වගකීම වෙනුවෙන් එකතු වී සිටිනවා. ඔවුන් බෙදා දෙන සහල්වලින් කුස පුරවා ගන්නවා වෙනුවට අපේ පුංචි දරුවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි රටක් බිහි කිරීමට මෙසේ ඒකරාශී වී සිටිනවා.

හැමදාමත් පරාධීනව සිටින දේශපාලන සංස්කෘතිය වෙනුවට දැක්මක් සහිතව ප්‍රගතිශීලී කොටස් සමඟ එකමිටට එකතු වන ගැහැනුන් ජීවිතය විඳිමින්, ජීවිතය අවබෝධ කර ගනිමින්, දේශපාලනයේ යෙදීමට පෙරමුණ ගෙන සිටිනවා. මොනිකා රුවන්පතිරණ කිවිඳිය මේ විදියට කියා තිබෙනවා. “එක් පරම්පරාවක සොහොන් බිම පා තබා, නව පරම්පරාවේ කළල රුව දුටිමි ඇය” අවුරුදු හැත්තෑහයක පාලනය අවසන් කර සොහොන් ගෙට යවා අලුත් පරම්පරාවක් බිහි කරන කළල රුව දරාගෙන, අලුත් සමාජය බිහි කරන, නොනිඳා කටයුතු කරන මේ එකමිටට එකතු වුණු ගැහැනුන් නොනැවැතී පෙරට ගමන් කරමින් සිටිනවා. අභියෝගයට මුහුණ දෙන ශක්තිවන්ත ගැහැනුන් හැටියට ජයග්‍රහණය කරා පා නඟමින් සිටිනවා.

-පොදු අරගලයේ අවසන් ජය සතුටින් ජීවත් විය හැකි රටක් සහ සමාජයක් දිනාගැනීමයි-
“ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා ව්‍රායි කැලී බල්තසාර්”

ජාතික ජන බලවේගයේ වේදිකාව තුළ කාන්තා අපට කතා කරන්න විශේෂ අවස්ථාවක් තිබෙන බව 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී ඉතා හොඳින් තහවුරු වුණා. ඒ වාගේම 2020 මහා මැතිවරණයෙන් ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කළ පසු අවශ්‍ය සෑම අවස්ථාවකදීම අරගල බිමේදීත්, පාර්ලිමේන්තුවේදීත් හඬනැඟීමට කටයුතු කර තිබෙනවා. දුක්, කරදර තුරුලු කරගෙන, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින්, සමහර විට තනියෙන් වුවත්, දරුවන් තුරුලු කරගෙන රැකබලා ගන්නා ගැහැනුන් අපි. මත්ද්‍රව්‍යවලින් දරුවන් බේරා ගන්න පොරබදන ගැහැනුන් අපි. දවසකට රුපියල් එක්දහස් පන්සීයක්වත් හොයා ගන්න වැඩ කිහිපයක් කරමින්. සෑම තැනදීම පීඩාවට පත් වන ගැහැනුන් අපි. හැඟීම් නැති තෙතමනයක් නැති පාලකයන්ගේ වංචාවට, දූෂණයට වන්දි ගෙවන උගුලකත් අපව හිර කර තිබෙනවා.

මේ එළැඹී තිබෙන්නේ මේ පාලනය නිමා කරන යුගයයි. අපේ ඉතිහාසයේ යම්කිසි හෝ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා නම්, ඒ හැම දෙයක්ම ලබාගෙන තිබෙන්නේ සාමුහික අරගල තුළිනුයි. 1931දී අපේ රටේ ගැහැනුන්ට ඡන්ද අයිතිය ලබා ගන්නත් ලොකු අරගලයක් කළ බව ඉතිහාස සටහන්වල තිබෙනවා. දැන් අප ඡන්දයටත් වඩා ලොකු දෙයක් ඉල්ලන්නේ. අපි සංවිධානය වී, ශක්තිමත් වී මේ රට වෙනස් කරන ඓතිහාසික කාර්යභාරයේ කොටස්කරුවන් වන්නයි, මේ සියලු දෙනාම රැස්වී සිටින්නේ. අපි මේ කරන කාන්තා විප්ලවය ගැන තව ටික දවසකින් ලියන්න ගනීවි. අප සියලු දෙනාගේම පොදු අරගලයේ අවසාන ජයග්‍රහණය සතුටින් ජීවත් විය හැකි රටක් සහ සමාජයක් දිනාගැනීමයි.

“නිර්මාණය කරන අලුත් ලෝකය සුරකින්න ගැහැනු අපි ශක්තිමත්ව එකතු වෙමු”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය-

ගැහැනු අපි එකමිටට මාලිමාවට සමුළුවට බාධා කරන්න කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ උපක්‍රම පාවිච්චි කර තිබෙනවා. දිස්ත්‍රික්කය පුරාම විවිධ බඩු බෙදනවා. සමෘද්ධි තිබෙන අය රැස්වීම්වලට කැඳවා තිබෙනවා. ඒ හැම දේම මැද්දේ අපේ සමුළුව සාර්ථක කර ගැනීම තමයි, ලංකාවේ දේශපාලනය වෙනස් වී තිබෙන බවට හොඳම සාක්‍ෂිය. නිකම්ම නිකම් ගැහැනු ටිකක් එකතු කර ගත් ව්‍යාපාරයක් නොවෙයි, මේක. සාකච්ඡා කරමින්, අධ්‍යයනය කරමින් ගැහැනුන්ගේ නායකත්වය වෙනුවෙන් විශේෂ වේදිකාවක් සියලුම දෙනා එකතු කර ගනිමින් නිර්මාණය කරනවා. මෙය ප්‍රධාන ධාරාවන් වෙනස් කරමින්, සියලු දෙනා සමඟ සාමුහිකව යන ගමනක්. පාර්ලිමේන්තුව ඇතුළු මහජන ආයතනවල කාන්තා නියෝජනය අංකවලින් වැඩි කරන එක අපේ මූලික අරමුණ නොවෙයි. බැරෑරුම් සමාජ පරිවර්තනයක් සිදු කර සියලුම ක්‍ෂේත්‍රවල පීඩනය අවසන් කිරීම අපේ මූලිකම අරමුණයි. පීඩාව නඩත්තු කරමින් පවත්වාගෙන යන ව්‍යුහයන් වෙනස් කිරීම අපේ දේශපාලනයයි. පීඩාවේ ප්‍රධාන වින්දිතයන් වන ගැහැනු අපි දැනුවත්ව මැදිහත් වී මේ ක්‍රමය වෙනස් කිරීමේ අයිතිය තිබෙනවා.

අපේ ස්ත්‍රී ප්‍රතිඥාවේ සඳහන් වන්නේ සියලු ක්‍ෂේත්‍රයන් සලකා බලමින්, පුළුල් සහ ගැඹුරු පරිවර්තනයක් සිදු කිරීමටයි. ඒ පරිවර්තනය සිදු කරන්න අපට බලය අවශ්‍යයි. 2024 තීරණාත්මක වන්නේ මේ ගැඹුරු පරිවර්තනය වෙනුවෙන් ක්‍රියා කරන අපට විරුද්ධව සිටින සියලු දෙනා පරාජය කිරීමේ වසර වන නිසයි. තවදුරටත් ගැහැනු අපි රැවටෙන්න සූදානම් නැහැ. අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා අනෙක් දේශපාලන පක්‍ෂත් ගැහැනුන් ගැන සිතන්නට පටන් ගන්නවා නම්, ඒ ගැන අප සතුටු වනවා. අපට මෙය මැතිවරණ උපායමාර්ගයක් පමණක් නොවෙයි. පීඩනයට එරෙහි වෙමින්, පවතින ක්‍රමය වෙනස් කිරීම ඉදිරියට ගෙන යන විට අද සමස්ත ගැහැනුන්ම ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. මෙයට කලින් නායිකාවන් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාර සහ අවලාද විවිධ ක්‍රම මඟින් දියත් කර තිබෙනවා. ගැහැනු අපි තමයි, හැමදාමත් මේ ලෝකයට අලුත් ජීවීන් බිහි කරන්නේ. ඒ අලුත් ජීවීන් රැකගනිමින්, ආරක්‍ෂා කරන්නේත් අපි. ඒ අලුත් ලෝකය නිර්මාණය කරන්න වාගේම ඒ අලුත් ලෝකය සුරකින්න ගැහැනු අපි තව තවත් ශක්තිමත් වෙමින් එකතු වෙමු.

“වියට්නාම් කාන්තාවන් උමංවලින් එළියට ආවා වාගේ අපේ කාන්තාවනුත් නොකඩවා එළියට එමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ලක්‍ෂ්මන් නිපුණආරච්චි-

දේශපාලනයෙන් තොරව ජීවත් වන්න බැහැ කියලා ඔප්පු වුණු තැන අපේ රටේ කාන්තාවන් වියට්නාමයේ කාන්තාවන් උමංවලින් එළියට ඇවිත්, ඇමෙරිකානු හමුදාව සමඟ සටන් කළා වාගේ නොකඩවා එළියට එමින් සිටිනවා. මෙයට පෙර අපි ගෙවල්වලට ගිහින්, දේශපාලනය කතා කරන කොට කාන්තාවන් ඒ කතාවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත්, දැන් ඔවුන් පෙරටම ඇවිත්, වියට්නාම් කාන්තාවන් ඇමෙරිකානු හමුදාව පලවාහැරියා වාගේ ධෛර්යයකින් අරගල කරමින් සිටිනවා. ඔක්තෝබර් 17වැනිදාට පෙර කිසියම් දවසක එළැඹෙන ඕනෑම මැතිවරණයකදී ඇමෙරිකානු හමුදාව එළවන්න උමංවලින් එළියට ආ වියට්නාම් ගැහැනුන් වාගේ මේ කාන්තාවන් ඡන්දපොළට ඇදී යනවා. ඒ අවස්ථාව ආවාම කලිසම හැළෙද්දිත්, එල්ලිලා ඉන්න මේ පාලකයන් ඇතුළු සියලු දෙනාටම තනතුරු දාලා යන්න සිදු වනවා.

ජනතාවගෙන් සූරාගත් මුදල්වලින් කොළඹ දිස්ත්‍රික්කය පුරා බෙදන බඩු ලබා ගත්තාට කමක් නැහැ. බොහොම අමාරුවෙන් ජීවත් වන ගැහැනුන් විශාල කැප කිරීමක් කරමින්, මෙතැනට ඇවිත් සිටිනවා. වියට්නාමයේ කාන්තාවන් අතිශය කැප කිරීම් කරමින්, තමන්ගේ මවුබිම බේරා ගන්න සටන් කළ ආකාරයෙන් මේ මාස කිහිපයේ කැප කිරීම් කරමින්, කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ඉහළින්ම ඔසොවා තබන ලෙස ඉල්ලා සිටිනවා.

“සමස්ත කාන්තාවන්ටම නායකත්වය දෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-

මෙතෙක් රට පාලනය කළ අය ලංකාවට අත් කර දී තිබෙන සමාජ, ආර්ථික, දේශපාලනික පරිහානිය නිසා අපි හැමෝම දැකපු සිහින බොඳ කර තිබෙනවා. අපි මෙතෙක් කොටු වී සිටි දේශපාලන පක්‍ෂ අමතක කර අපේ දරුවන් වෙනුවෙන් නිදහසේ හුස්ම ගත හැකි රටක් සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම වෙනුවෙන් බිහි කරන්න අධිෂ්ඨානශීලීව පෙළගැසී සිටිනවා. ලෝකයේ සෙසු රටවල් අත්පත් කරගෙන තිබෙන සංස්කෘතික සහ සමාජයීය නිදහස අහිමි කර තිබෙන්නේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය විසිනුයි. මේ කොල්ලකාරී ආර්ථිකය සහ දූෂිත දේශපාලනය අවසන් කර ඉදිරියට යන්න අප සියලු දෙනා ප්‍රායෝගිකව පෙළගැසී සිටිනවා. නමුත්, මෙතෙක් රට පාලනය කළ පිරිස් අපව බෙදා වෙන් කර ඔවුන්ගේ පරම්පරාවල් වෙනුවෙන් සියලු කටයුතු සිදු කර ගත්තා. සාම්ප්‍රදායිකව වැඩිහිටි උරුමයෙන් දේශපාලනය කරනවා වෙනුවට කාන්තාවන්ට සැබෑ ලෙසම ජයග්‍රහණ අත්පත් කරගත හැකි ගැහැනු අපි එකමිටට ජාතික ජන බලවේගය වටා පෙළගැසෙමින් සිටිනවා.

සමස්ත කාන්තා පරපුරට ම ඉදිරියට එන්න ධෛර්යය දුන්, ශක්තිය දුන්, මඟපෙන්වූ සහ නායකත්වය දුන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණක් බව අපි ඉතා අවධාරණයෙන් කියනවා. මෙයින් ඉදිරියට අපි නිර්මාණය කරගත යුත්තේ මොන වාගේ රටක්ද? සාමකාමී, සහජීවනයෙන් යුක්ත, නිදහස් සංස්කෘතියක් බිහි කරන පාලනයක් අපට ඕනෑ කරනවා. ඒ තුළ ගැහැනුන් හැටියට අපි අසාධාරණයට, අයුක්තියට සහ අසමානත්වයට ඇදදමන සියලු කොන්දේසි ඉවත් කරමින්, ආර්ථික සාධාරණත්වය සහිත සංස්කෘතික නිදහසක් නිර්මාණය කරගත යුතුයි. එවැනි පාලනයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අපි රොදබඳිමින් සිටිනවා. එම පාලනය නිර්මාණය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. මේ දක්වා අප ගමන් කළ මාවතේ හෙළා තිබූ අභියෝග ජයගත හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකමිටට එකතු වීමෙන් පමණයි. අපේ දරුවන් වෙනුවෙන් බාධාවකින් තොරව ඉදිරියට යා හැකි රටක් නිර්මාණය කිරීමේ වගකීම අප අපේ දෙඋර මත පටවාගෙන තිබෙනවා. මෙතෙක් එකතු නොවූ සියලු දෙනාටත් අප සමඟ එකතු වන ලෙස ආරාධනා කරනවා.

Show More