Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“ජනතාවට තීරණාත්මකව බලපාන අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැහැ” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.08) මේ වන විට සමාජයේ කතා බහට ලක්වෙන වැදගත් ප්‍රතිපත්තියක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර තිබෙනවා. “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” යනුවෙන් හැඳින්වෙන ඒ ප්‍රතිපත්ති මාලාව මගින් මේ දක්වා යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන තිබෙනවා. […]

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.08)

pressnpppress

මේ වන විට සමාජයේ කතා බහට ලක්වෙන වැදගත් ප්‍රතිපත්තියක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර තිබෙනවා. “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” යනුවෙන් හැඳින්වෙන ඒ ප්‍රතිපත්ති මාලාව මගින් මේ දක්වා යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාල සහ ඉන් පිට කණ්ඩායම්වලත් සාකච්ඡාවට ලක්වී තිබෙනවා. මෙය අධ්‍යාපනයට කරනු ලබන ඉතාමත් ප්‍රතිගාමී මැදිහත්වීමක් විදිහටයි අපි දකින්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්න තිබෙනවා.

අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමන ගැටලු මධ්‍යයේ වුවත් මේ දක්වා පවතිනවා. එසේම එය සුරක්ෂිත විය යුතු බව අපි සියලු දෙනාම පිළිගන්නවා. අපේ රට මේ තත්වයෙන් හෝ පවත්වාගෙන යාමට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කොතරම් දායක වුණාදැයි අපි සියලු දෙනාටම අවබෝධයක් තිබෙනවා. හඳුන්වාදී තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මේ පවතින තත්වයත් ආපසු ගෙනයන්නයි උත්සාහ කරන්නේ. පුද්ගලීකරණයේ දිසාවට යොමු කරමින් තිබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නොවෙයි, මේ ප්‍රතිපත්ති රාමුව තුළ පාසල්වල පවා නිදහස් අධ්‍යාපනයේ මූලධර්මවලට ප්‍රහාර එල්ල කීරීමක් දකින්න තිබෙනවා. අතිශයින්ම සරල විදිහට අධ්‍යාපනයේ අරමුණු ඉදිරිපත් කරමින් දැක්මක් නැති පසුගාමී කරුණු මේ තුළ ඇතුළත් වෙනවා. මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වගකීම දරන කෙනෙක් නැහැ. අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා. එහි මුලින්ම ජාතික අධ්‍යාපන කොමිසම ප්‍රතිපත්ති සම්පාදනයේ සිටිනවා. නමුත් අධ්‍යාපන කොමිසන් සභාව මේ ගැන දන්නේ නැහැ. එය නිෂ්ක්‍රීය කරනු ලැබ තිබනවා.

මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් නිවේදනයක් නිකුත් කළා. උසස් අධ්‍යාපනයට මෙයින් සිදුවන බලපෑම පිළිබඳව සවිස්තර කරුණු ඉදිරිපත් කර තිබුණා. එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් ප්‍රශ්න කරන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවේ කොහෙන්ද කියලයි. අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ ගැන නොදන්නා බව කියනවා. මෙය නිකුත් කර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුද්‍රාවෙන්. මේ සම්බන්ධයෙන් නිල වගකීමක් දරන අධ්‍යාපන කොමිසම හෝ විෂය භාර ඇමති හෝ නොදැනගෙන මේ වාර්තා නිකුත් වන්නේ කාගේ අවශ්‍යතාවලට අනුවදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, වෙනත් වගකිව යුතු ආයතන කිසිවක් නොදැනගෙන අඩුම තරමින් ව්‍යවස්ථා සභාව වත් නොතකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැසිරෙන බව මෙයින් යළිත් තහවුරු වෙනවා. ඔහුට ඕනෑ කමිටු මගින් ප්‍රතිපත්ති සකස් කර, අදාළ නිල ව්‍යුහය සම්පූර්ණයෙන්ම ඉවත දමා ජනවරමක් නැති මේ ජනාධිපති ක්‍රියා කරනවා. එය අතිශයින්ම භයානක දෙයක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ රටම ප්‍රතික්ෂේප කළ දේශපාලන කඳවුරක නියෝජිතයායි. ඔහුට කිසිම ජනවරමක් නැහැ. ව්‍යවස්ථාවෙන් පැනවුණු සීමිත වගකීමක් පමණයි තිබෙන්නේ. තව මාස කිහිපයකින් එය අවසන් වෙනවා. ඒ අතරතුර රටටත් ජනතාවටත් තීරණාත්මක ලෙස බලපාන තීන්දු තීරණ ගන්න ඔහුට කිසිම අයිතියක් නැහැ. ඔහුට කිසිම අයිතියක් නැති ප්‍රදේශවලට කඩා වැදී කරන මේ ක්‍රියාවලට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ මොහොතේ ආණ්ඩුවේ එක් එක් අය විවිධ ප්‍රතිපත්ති රාමු ඉදිරිපත් කරනවා. රනිල් වික්‍රමසිංහගෙන් එකක්, විජේදාස රාජපක්ෂගේ කමිටුවෙන් තව යෝජනාවලියක්, ඇමතිවරයා තව යෝජනාවලියක් ගැන කතා කරනවා. ඒ එකක්වත් නිවැරදිව ඉදිරිපත් වුණේ නැහැ. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ කමිටුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මමත් හිටියා. ඒ කමිටු වාර්තාවට විරෝධය පාමින් මම අත්සන් කළේ නැහැ. සමගි ජන බලවේගයේ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාට එයට අත්සන් කළා. ඔහු ළඟදී සඳහන් කර තිබුණා මම එයට අත්සන් නොකළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නිසා කියලා. ඒ යෝජනාවලට අපි එකඟ නොවෙන නිසා තමයි අත්සන් නොකළේ. නමුත් ඔහුගේ පක්ෂයත් ඒ පිළිබඳව ඒකමතික තැනක නැහැ. ඒ කමිටුවේ යෝජනාවලට අත්සන් කළත් ඔහුගේම නායකයා විශ්වවිද්‍යාල ආචර්යවරුන් හමුවේ ප්‍රකාශ කළේ “එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මේ වාර්තාවට අත්සන් කළාට නායකයා හැටියට මම ඒ වාර්තාව පිළිගන්නේ නැහැ” කියලා. එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාට මම යෝජනා කරන්නේ අපේ ප්‍රතිපත්ති තීරණ ගැන කතා කරනවාට වඩා ඔහුගේ පක්ෂයේ ඒකමතිකත්වයක් නැති කරුණු ගැන අවධාරණය කිරීම හොඳයි කියලා.

pressnpppress

“මින් ඉදිරියට බිහිවන විශ්වවිද්‍යාල පළාත් සභාවලට පවරන්න රනිල් යෝජනා කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය දිලීප විතාරණ-

අපේ රටට 1931 නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමෙන් පසු ඉදිරිපත් කරන බරපතළම සංශෝධනය ආණ්ඩුවෙන් යෝජනා කර තිබෙනවා. විවිධ කාලවල විවිධ අභියෝගවලට ලක්වෙමින් තිබුණත් උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මූලික පදනමෙන්, මූලික හරයෙන් මෙතුවක් කල් පැවතුණා. අවුරුදු 93ක් පමණ වන නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට එල්ල කරන දැවැන්තම ප්‍රහාරයක් හැටියට අලුත් සංශෝධන හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ සම්පූර්ණ හරය වෙනස් කරන යෝජනාවලියක්. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ලිබරල් දෘෂ්ටිය යෝජනා කරන ප්‍රධානම කොන්දේසියක් වන්නේ අධ්‍යාපනයෙන් රාජ්‍යය ඉවත් විය යුතුයි කියන එකයි. අභියෝගවලට ලක්වුණත් සංකල්පීයම ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සියලුම කලාපවල ක්‍රියාත්මක වුණා. මෙයින් යෝජනා කරන්නේ ශිෂ්‍යයන්ට තවදුරටත් නොමිලේ අධ්‍යාපනය නොලැබෙන බවයි; මුදල් ගෙවා ඉගෙන ගත යුතු බවයි. රජයෙන් උසස් අධ්‍යාපනයට මෙතෙක් යෙදවූ මුදල් නවතින බවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍යයන්ගෙන් එකතු කරන මුදල් මත සහ රාජ්‍යයෙන් ලබාදෙන ණය මත පවත්වාගෙන යමින් ණය ගෙවන්නත් විශ්වවිද්‍යාලවලට යෝජනා කර තිබෙනවා. ලෝකයේ මේ වන විට කුප්‍රකටභාවයට පත්ව තිබෙන ශිෂ්‍යයන්ට ණය ලබාදීමත් යෝජනා කර තිබෙනවා. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් විසින් ලබාගත් මෙවැනි ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා පත්ව සිටින ඛේදනීය තත්වය ගැන බරපතළ සාකච්ඡා පවතිනවා.

මධ්‍යම ආණ්ඩුව ප්‍රාථමික සහ ද්වීතික අධ්‍යාපනයෙන් ඉවත්වී පළාත් සභා රාමුවට භාරදීමට නියමිතයි. දැනට මධ්‍යම ආණ්ඩුව යටතේ පවතින ජාතික පාසල් පවා පළාත් සභාවලට බාරදෙන්න යෝජනා කරනවා. මෙහි තිබෙන දේශපාලන අර්ථය තේරුම් ගැනීම ඉතාම වැදගත්. 1987 සිට හරියට ක්‍රියාත්මක නොවුණු යාන්ත්‍රණයක් පළාත් සභාවල තිබෙන්නේ. එවැනි තැනකට ප්‍රාථමික සහ ද්වීතියික අධ්‍යාපනය තල්ලු කර දැමීම තුළින් රාජ්‍යය සහමුලින්ම අධ්‍යාපනයෙන් ඉවත්වීමේ මුල් පියවර තබනවා. 2014න් පස්සේ පළාත් සභා ඡන්දයක් වත් පවත්වා නැහැ. එවැනි තැනකට ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය බාරදීමටයි සූදානම් වෙන්නේ. මින් ඉදිරියට විශ්වවිද්‍යාල බිහිකරනවා නම් ඒවත් පළාත් සභාවලට පැවරීමට යෝජනා කර තිබෙනවා. මින් මතුවට ජාතික විශ්වවිද්‍යාල බිහි නොවෙන බව එයින් කියවෙනවා. ඒ වගේම ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයට මුදල් වෙන්කිරීමට තීරණය කරන්නේ අදාළ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මත සහ ඒ පාසල් පවත්වාගෙන යාමේ තත්වය මත බව කියා තිබෙනවා. එයින් සිදුවන්නේ දැනට පවතින ජනප්‍රිය, බලවත් පාසල්වලට රජයේ මුදල් වෙන්කිරීම් සිදු වීමයි. කුඩා පාසල්වලට සම්පූර්ණයෙන්ම අරමුදල් නොමැති වී යනවා. තව පැත්තකින් අධ්‍යාපනය ලබාදීමේ භාෂා මාධ්‍යය ලෙස ඉංග්‍රීසි යෝජනා කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවට විශේෂ තැනක් දීමේ හේතුව මත මේ වන විට යම් තරමකින් හෝ රැකී තිබෙන සමාජ සාධාරණත්වය සහමුලින්ම අහෝසි වෙනවා.

ඕනෑම අලුත් ප්‍රතිපත්ති රාමුවක සම්පාදකයින් කවුදැයි පළමුවෙන් හඳුන්වා දෙනවා. නමුත් මෙහි එම වගකීම් දරන කණ්ඩායමක් සඳහන් කර නැහැ. නමුත් සමාජ මාධ්‍යයේ සංසරණය කෙරෙමින් තිබුණු වාර්තාවක් අනුව ඒ වෙනුවෙන් 25 දෙනෙකු මැදිහත් වී තිබෙනවා. ඔවුන් අතර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නැහැ. විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දිගටම මැදිහත්වීම් කරගෙන යනවා. ඒ වගේම ගුරු සංගම් හෝ ශිෂ්‍ය සංගම් කිසිවක් 25 දෙනාගේ කණ්ඩායම තුළ නැහැ. අධ්‍යාපනය ව්‍යාපාරයක් ලෙස දකිනා විවිධාකාර පිරිස් මේ තුළ සිටිනවා. රාජ්‍ය නිලධාාරීන් හැරුණු කොට පෞද්ගලික විශ්විවිද්‍යාල නියෝජනය කරන අය, මහාපරිමාණ සමාගම් සහ නව ලිබරල් ආර්ථිකයේ න්‍යායාචාර්යවරුන් එකතු වී මේ ප්‍රතිපත්ති රාමුව සකස් කර තිබෙනවා. 1931 සිට ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් විසින්ම මේ විකාර සහගත ප්‍රතිපත්ති රාමුව ගෙන ඒම බැරෑරුම්ම කාරණයක් වෙනවා. මෙපමණ කල් තිබුණු කිසිම ආණ්ඩුවක් නොකළ මේ තරම් බැරෑරුම් ප්‍රහාරයක් නිදහස් අධ්‍යාපනයට එල්ල කරන්නේ කෙසේ දැයි අපි ප්‍රශ්න කරනවා.

pressnpppress

“අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් රජය ඉවත් කරන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව පෙළගැසිය යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අනුර කරුණාතිලක-

අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපන පනත වගේම ලංකාව අත්සන් කර තිබෙන ආර්ථික, සමාජීය හා සංස්කෘතික ජාත්‍යන්තර ප්‍රඥ්ප්තිය යන මූලික කරුණු දෙක ඉතාම වැදගත්. ජාත්‍යන්තර ප්‍රඥ්ප්තිය මගින් සියලු දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන අයිතිය තහවුරු කර තිබෙනවා. නිදහස් සමාජීය පුරවැසියෙක් නිර්මාණය වන්නේ අධ්‍යාපනයෙන් බව පිළිගන්නවා. ඒ වගේම සියලු ජාතිකත්වයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සාමය සහ සමගිය තහවුරු වන්නේ පුරවැසියන්ගේ අධ්‍යාපනයෙන් බව පිළිගන්නවා. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සහ ද්විතීයික අධ්‍යාපනය ඒ වෙනුවෙන් තහවුරු කළ යුතු බව පිළිගන්නවා. ඕනෑම මට්ටමක අධ්‍යාපනයක් ලබා ගැනීමේ සමාන ප්‍රවේශයක් පුරවැසියන්ට තිබිය යුතු බව පිළිගෙන තිබෙනවා. තමන්ගේ හැකියාව සහ විභවතාවය මත රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ ප්‍රතිලාභ ලබාගැනීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් සඳහන් වෙනවා. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මේ මූලධර්ම සියල්ල අමතක කරමින් සකස් කළ ප්‍රතිපත්ති රාමුවක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කළහොත් ගුණාත්මක අධ්‍යාපනය සමාජයේ එක් කොටසකට පමණක් සීමාවීම වැළැක් විය නොහැකියි. මේ වන විටත් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පවතින විෂමතාවයන් වඩාත් පුළුල් කරමින් තහවුරු කරන්න මේ යෝජනාවලියෙන් ඉඩ සැලසෙනවා.

ආයෝජන සහ සම්පත් යනුවෙන් නම්කර තිබෙන මාතෘකාව යටතේ මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට 12 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන්ට ගෙවීමට ඇති හැකියාවට බාධා නොවෙන ලෙස ක්‍රියා කළ යුතු බව සඳහන් වෙනවා. මේ කියන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම්ද ඇතුළුව පාසල්වලට මුදල් අයකර ගැනීමට මේ වන විට තිබෙන බාධාවන් සියල්ල ඉවත් කරන බවයි. ඒ වගේම විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කරමින් වෙනම ජාතික උසස් අධ්‍යාපන කොමිසම යනුවෙන් ආයතනයක් හඳුන්වා දී රාජ්‍ය, රාජ්‍ය නොවන, ජාතික හා පළාත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන ප්‍රමිතීන් සහතික කරන්න යෝජනා කර තිබෙනවා. උසස් අධ්‍යාපන ආයතනවලට මුදල් ලබාදීමේ ක්‍රියාවලියෙන් ඉවත් වී අධ්‍යාපන ප්‍රමිතිය සකස් කිරීම පමණක් මෙයින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට පවරනවා. මුදල් අයකර ගැනීම, සිසුන් බඳවා ගැනීම, පරිපාලනය ඇතුළු සියලු කටයුතු ඒ ඒ අධ්‍යාපන ආයතනයට පවරා දීමට යෝජනා කරනවා. මෙයින් අදහස් කරන්නේ ආදළ ආයතන තමන්ගේ මුදල් සොයා ගත යුතු බවයි. සමහර විට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ අධ්‍යාපන ප්‍රමිතීන් අඩුකර වැඩියෙන් සිසුන් ඇතුළත් කරගෙන වැඩියෙන් මුදල් උපයා ගැනීමටත් මෙයින් ඉඩ ලැබෙනවා. අනෙක් පැත්තෙන් මුදල් ජනනය කර ගැනීම සඳහාම වූ පාඨමාලා හඳුන්වා දෙන්නත් යොමු වෙනවා.

මේ දක්වා නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මූලික කරගෙන මේ නව ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කර ඇති බව පැහැදිලියි. රජයෙන් අධ්‍යාපනයට මුදල් යෙදවිම, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම, සියලු දෙනාටම අධ්‍යාපනය ලබාදීමේ වගකීමෙන් රජය ඉවත්වීම, යන කටයුතු එකවර අවසන් කරන යෝජිත ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සියලු දෙනා පෙළගැසිය යුතුයි.

pressnpppress

මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න

ප්‍රශ්නය:- මේ ප්‍රතිපත්ති රාමුවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව අතර වෙනසක් තිබෙනවාද?

ආචාර්ය හරිනි අමරසූරිය:- අධ්‍යාපන ධවල පත්‍රිකාවටත් වඩා අතිශයින් භයානක එකක් මේ ඉදිරිපත් කර තිබෙන්නේ. අධ්‍යාපනයෙන් රජය ක්‍රමානුකූලව ඉවත්වීමේ ආරම්භය ධවල පත්‍රිකාවෙන් ගෙන ආවා නම් මෙය ඊටත් වඩා පුළුල් පරාසයකට විදිහී යනවා. ධවල පත්‍රිකාවෙන් බලපෑම් සිදුවූයේ උසස් අධ්‍යාපනයට. නමුත් යෝජිත ප්‍රතිපත්ති රාමුව පාසල් අධ්‍යාපනයෙනුත් රජය ඉවත්වීමේ අතිශය භයානක යෝජනාවක්.

අදටත් පාසල් අධ්‍යාපනය රාජ්‍යයෙන් ක්‍රමානුකූලව ඉවත් කරමින් දෙමාපියන්ට විශාල මූල්‍ය බරක් බවට පත්කර තිබෙනවා. එය මේ දක්වා සිදුවන්නේ නොනිල මට්ටමකින්. එය රජයේ ප්‍රතිපත්තියක් හැටියටම ක්‍රියාත්මක කරන්නයි මේ සූදානම් වෙන්නේ. පාසල්වලට මුදල් අය කිරීමේ අයිතිය තහවුරු කරන්නේ ඒ නිසයි. නමුත් රජයෙන් තහවුරු කළ යුත්තේ ආර්ථික පසුබිම කුමක් වුවත් දරුවෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතියයි. නමුත් මෙයින් තහවුරු කරන්න යන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන අයිතියයි. මේ යෝජනා කර තිබෙන විදිහට ගරු වැටුප් ගෙවීම වුවත් පාසලකටම කරගන්න සිදුවේවි. හරි නම්, දුප්පත් පාසල්වලට රජය වැඩියෙන් මැදිහත් වී ශක්‍යතාවයන් වැඩිකර ගැනීමට උදව් කළ යුතුයි. නමුත් මේ ප්‍රතිපත්ති රාමුවෙන් යෝජනා කරන්නේ එවැනි පාසල් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමයි. මේ යන විදිහට අධ්‍යාපනයත් කොම්පැනියක් වෙනවා. ආණ්ඩුවත් කොම්පැනියක් වෙනවා. ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ව්‍යාපාර කළමනාකරණය කිරීම සඳහා පමණක් වෙන්න පුළුවන්.

Show More

“නායකත්වයේ දේශපාලන ආදර්ශය රටට ලබා දී ජාතික පිබිදීමකින් රට ගොඩනගමු” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(2024.04.06 – රජරට මහසඟ සමුළුව – අනුරාධපුරය – ජාතික භික්ෂු පෙරමුණ) අපේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක්ව වසර සිය ගණනක් පැවතුණා. 1948දි අපි නාමික නිදහස ලබාගෙන දැනට වසර 76ක් ගෙවී තිබෙනවා. ඇත්තටම අපට හදවතට එකඟව සමරන්න නිදහසක් තිබෙනවාද? ආපසු හැරී බැලුවොත් සුද්දා හඳුන්වා දෙන ලද කොල්බෲක්, සෝල්බරි ආණ්ඩුක්‍රමයන්ගේ නෂ්ටාවශේෂයන් තමයි අපේ ආණ්ඩුක්‍රමවලට ඇතුළත් කළේ. පසු […]

(2024.04.06 – රජරට මහසඟ සමුළුව – අනුරාධපුරය – ජාතික භික්ෂු පෙරමුණ)

Sangasamulu-Rajarata

අපේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක්ව වසර සිය ගණනක් පැවතුණා. 1948දි අපි නාමික නිදහස ලබාගෙන දැනට වසර 76ක් ගෙවී තිබෙනවා. ඇත්තටම අපට හදවතට එකඟව සමරන්න නිදහසක් තිබෙනවාද? ආපසු හැරී බැලුවොත් සුද්දා හඳුන්වා දෙන ලද කොල්බෲක්, සෝල්බරි ආණ්ඩුක්‍රමයන්ගේ නෂ්ටාවශේෂයන් තමයි අපේ ආණ්ඩුක්‍රමවලට ඇතුළත් කළේ. පසු කාලෙකදි ඉන්දියාව අප මත බලෙන් පටවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් අපේ ව්‍යවස්ථාවලට ඇතුළත් වුණා. අපිටම කියා රාජ්‍ය ක්‍රමයක් අපි හදාගෙන නැහැ. සුද්දා අපට හඳුන්වා දෙන ලද පරිපාලන ක්‍රමයන් තමයි අපේ රටේ දැනට පවතින්නේ. අපේ භූගෝලීය ස්වභාවය, ජන සංයුතියේ ව්‍යාප්තිය, ඒ මත පදනම් වූ විද්‍යාත්මක පරිපාලන ක්‍රමයක් අපි හදාගෙන නැහැ. අවුරුදු 76ක් ගෙවී තිබියදී පවා අපිටම කියලා රාජ්‍ය ක්‍රමයක් හා පරිපාලන ක්‍රමයක් හදාගෙන නැහැ. අපේ ස්වාධීනත්වය අත්පත් කරගෙන නැහැ. ඒ වගේම අපිටම කියලා සංවර්ධන ආර්ථික මාදිලියක් අදටත් නැහැ. අපේ රටේ තිබෙන භෞතික සම්පත්, අපේ රටේ ඉන්න මානව සම්පතත් එක්ක යොදා ගනිමින් සංවර්ධනය කරන්නේ කොහොමද? ඒ සඳහා අපේ ස්වෛරීත්වය, භෞතික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදනය මත පදනම් වුණු ආර්ථික මාදිලියක් හරහා රට ගොඩනගන්නෙ කොහොමද කියන වැඩසටහනක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ. අපේ ණය ප්‍රමාණය ගැන බැලුවාම ඒක හොඳටම තේරෙනවා. අපි වැඩියෙන්ම ණයවෙලා තියෙන්නේ චීනෙට, ඉන්දියාවට, ජපානයට, අයි.එම්.එෆ්. එකට, ඇමෙරිකාවට. ජනාධිපතිවරයා කිව්වා අයි.එම්.එෆ්. වැඩසටහන අවසන් වන තෙක් මැතිවරණ පවත්වන්න විදිහක් නැහැ කියලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය බලය අයි.එම්.එෆ්. වැඩසටහනට යට කර තිබෙන්නේ. අපි ආර්ථික වශයෙන් නිදහස්ද? උත්තරීතර වූ ජනතා පරමාධිපත්‍ය බලය පාලකයන්ගේ වැරැද්දෙන්ම අපි අයි.එම්.එෆ්. එකට පවරා තිබෙනවා. ඒ කියන්නේ අපට ආර්ථික නිදහස ඇතේතේම නැහැ.

සිංහල, දෙමළ, මුස්ලිම් වගේම බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් විවිධ ජන කොටස් අවුරුදු 76ක කාලය තුළ ගහගන්නවා, මරාගන්නවා වගේ පෙනුණා. ඇත්ත වශයෙන්ම ජනතාව අතර එවැන්නක් නැහැ. අපේ පාලකයෝ බලයට එන්නත්, බලය පවත්වාගෙන යන්නත් ජාතිවාදය පාවිච්චි කළා; අදත් ජාතිවාදය පාවිච්චි කරනවා. පාස්කු ප්‍රහාරයට වසර පහක් ගෙවී තිබෙනවා. පාස්කු ප්‍රහාරය, ආගමික අන්තවාදී කොටසක් පාවිච්චි කරලා එක්තරා කණ්ඩායමක් දේශපාලන බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අද වන විට තේරුම් ගොස් තිබෙනවා. අවුරුදු 76ක් ගතවීත් අපේ රටේ ජාතික සමගිය, ආගමික සහජීවනය ගොඩනගන්න අසමත්වෙලා තිබෙනවා. බුදුරජාණන් වහනසේගේ ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා, නීරෝගී වෙත්වා. එක් ජාතියක් පමණක් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියා බුදුරජානන් වහන්සේ දේශනා කළේ නැහැ. නමුත් අපි රටක් විදිහට ශ්‍රී ලාංකේය ජාතිය සුවපත් වේවා කියන තැනකට තවම ඇවිත් නැහැ. අපේ පාලකයෝ හිතාමතාම දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් ජාතික සමගිය නැතිකර තිබෙනවා. අපිටම අනන්‍ය වෙච්ච රාජ්‍ය ක්‍රමයක් හා පරිපාලන ක්‍රමයක් සකස් කර ගැනීමට අපි හැමෝටම වගකීමක් පැවරී තිබෙනවා. රටට ගැලපෙන සංවර්ධන මාදිලියක් අපි විසින්ම සම්පාදනය කර ගනිමු. ඒ සමගම රට තුළ ජාතික සමගිය ගොඩනැගීමේ වගකීම අපි සියලු දෙනා වෙත පැවරී තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීමට තමයි ඔබ වහන්සේලා අපි සාමූහිකව ඒකරාශී වෙලා තිබෙන්නේ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා අපි කවුරුත් කෑ ගහන්නේ මේ රටත් ශ්‍රී ලාංකේය ජාතියත් මේ තත්වයෙන් මුදා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්.

Sangasamulu-Rajarata

අපේ රට බංකොලෙත් වෙන්න ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. බලයට ආව හැම පාලකයෙක්ම නිෂ්පාදනය බිඳ වැට්ටුවා. එදා කන්තලේ – සීනි, ඔරුවල – යකඩ, කැලණියේ – ටයර්, බලංගොඩ – පිඟන්, අනුරාධපුරේ – උළු ටික, හැදුවා. අදටත් අභයගිරිය, ජේතවනය නිර්මාණය කරන්න යොදා ගත්ත මැටි කොහොමද හදාගත්තේ කියන එක ලෝක විද්‍යාඥයන්ටත් සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. පුරා විද්‍යාඥයන් පරීක්ෂණ කළා. ඒ තරම් සවිමත්ව කළේ කොහොමද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙලා තිබෙනවා. ඉතිහාසයේ අපි ශක්තිමත් නිෂ්පාදනයක් මත පදනම් වුණු රටක්. පරාක්‍රම සමූද්‍රය, මින්නේරි වැව, තිසා වැව, කලා වැව හදා තිබෙනවා. යෝධ ඇළේ හැම හැතැප්මකට අඟලක බැස්ම ඇති කර තිබෙනවා. රුවන්වැලි සෑයේ කොත් වහන්සේ අංශක 90කට පිහිටුවා තිබෙනවා. ඒ නිර්මාණශීලී දායකත්වය, ඉතිහාසයේ අපේ රට තුළ සිටි ජනතාවගේ හැකියාවයි. එහෙම උරුමයක් තිබුණු රටක් වුණත් අද මේ පාලකයෝ ඒ සියල්ලත් විකුණාකන තත්වයකට පත්වෙලා. අපේ වැව් ඇතුළු ජාතික සම්පත් සියල්ල, විකුණලා රට ණය කරලා, බංකොලොත් කරලා දැන් කියනවා ඉස්සරහට යන්න විදිහක් නැහැ කියලා. අපේ රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරලා ආර්ථිකය කඩා වැට්ටුවා. එදා සිට මේ රටේ ක්‍රියාත්මක වෙන දේශපාලන, සංස්කෘතිය අපේ ආර්ථිකය කඩා වැටෙන්න හේතුවක්. ඒ සංස්කෘතිය තුළ හැම ආර්ථික ව්‍යාපෘතියක් පිටුපස්සේ හොරකම, වංචාව, නාස්තිය, දූෂණය ගැට ගැහුණා.

දැන් අපි සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. මුලින්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. නිෂ්පාදනය මත පදනම් වුණු රටක් ගොඩනගන්න ඕනෑ. එසේ නම් මේ පාලකයන් අපි ඉවත් කළ යුතුමයි. රටට ආදරය කරන, සැබෑ දේශප්‍රේමී, සැබෑ ජනතා හිතවාදී කණ්ඩායමක් මේ රටේ පාලනය බලය අතට ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් අපට ආණ්ඩු බලය අවශ්‍ය වෙනවා. එය හුදෙක් ජනාධිපතිවරයෙක් පත් කළ පමණින් කරන්න බැහැ. තනි පුද්ගලයෙකුට මේ ජාතික විශාල කර්තව්‍යයක් ගොඩගන්න බැහැ. ඒ සඳහා අපි සියල දෙනා එකු වෙන්න ඕනෑ. ගොවි ජනතාව, වැඩකරන ජනතාව, ධීවර ජනතාව, තරුණ පරම්පරාව, කාන්තාවන්, වතුකර ජනතාව, උතුර, දකුණ, නැගෙනහිර සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා මේ රට දෙපයින් සිටුවන තැනට ගේන්න ඕනෑ. එතනදී ඔබ වහන්සේලාට විශාල නායකත්ව වගකීමක් පැවරෙනවා. ඔබ වහන්සේලාගේ වචනය, ආදර්ශය ඉතාම ප්‍රබලයි. ජාතික කටයුත්තකට දායකත්වය දෙන්න අපේ හාමුදුරුවන් වහන්සේලාගේ පෙරමග නායකත්වය ගැනීම අද අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා හුදෙක් ජනාධිපතිවරණයකින් බලය හුවමාරු වූ පමණින් මේ ජාතික කර්තව්‍ය ඉටුවෙන්නේ නැහැ. බලය හුවමාරු වුණාට පස්සේ මේ රට ගොඩනඟන්න විනයක් සහිත, නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක් අපි හදන්න ඕනෑ. මේ රටේ මිනිස්සු තුළ මනුස්සකම හදන්න ඕනෑ.

අද පොදු පරාර්ථකාමිත්වය නැති වෙලා තිබෙන්නේ. බුදුරජානන් වහන්නේ අංගඤ්ඤ සූත්‍රයේ දේශනා කළේ “දුප්පත්කම ඇතිවෙන කල්හි හොර හතුරෝ බිහිවේ. හොර හතුරෝ ඇතිවෙන කල්හි අවි ආයුධ බිහිවේ. අවි ආයුධ ඇති වෙන කල්හි අපරාධ, දූෂණ, වංචා, මිනීමැරුම් සමාජ අපරාධ ඇතිවේ” කියලයි. අද සියල්ල කෙලෙසීමට පත්වෙලා. අපරාධ වැඩිවෙලා. පූජනීය වූ ආගමික සංස්ථාවත් අද මේකේ ගොදුරක් බවට පත්වෙලා. මේක අපි තේරුම් ගත්තාට මදි. මෙය වෙනස් කරන්න ඕනෑ. වෙනස් කරන්න අපි නායකත්වය ගන්න ඕනෑ. ජාතික භික්ෂු පෙරමුණට, ජාතික ජන බලවේගයට ජාතික මෙහෙවරක් කිරීම සඳහා බලකිරීමක් සමාජයෙන් ඇවිත් තිබෙනවා. ඒ බලකිරීමත් එක්ක අපි සියලු දෙනාටම එකතු වෙලා මේ රට නව පරිච්ඡේදයකට වෙනස් කිරීමේ වගකීම අපේ දෙවුර මතට ගන්න සිදුවී තිබෙනවා. අපි එකතු වෙමු. ඔබ වහන්සේලාගේ අනුශාසනා, උපදෙස් දේශපාලන නායකයන් විදිහට අපිට ඉතාමත් අත්‍යවශ්‍යයි. අද ගමේ ජනතාව ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ අතරමං වුණු ජනතාව එතැනින් මුදා ගැනීම සඳහා මාර්ගෝපදේශයක් සපයන්න කියලා. ඒකට මඟපෙන්වන්න කියලා. අද අපි හැමෝටම වගකීමක් තිබෙනවා මේ විනාශයේ අගාධයෙන් රට මුදා ගන්න. ඒ ජාතික මෙහෙවරට අපි දායක වෙමු. නායකත්ව වගකීම අපි බාර ගනිමු. ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මහා දැවැන්ත ජනතා බලවේගයක් අවශ්‍යයි. අපි සියලු දෙනාම එකතු වෙලා වැඩකරලා, නායකත්වයේ දේශපාලන ආදර්ශය රටට දෙමින් ජාතික පිබිදීමකින් මේ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමු.

Sangasamulu-Rajarata
Show More

“අපට අවශ්‍ය ආණ්ඩුවක් ඇටවීම නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැගීමයි” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

(ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.04.07) මහා මැතිවරණයක් පවත්වනවාද? ජනාධිපතිවරණයක් පවත්වනවාද කියලා සංවාදයක් ජනගත කර තිබෙනවා. රාජපක්‍ෂලාගේ කණ්ඩායම මේ රටේ ජනතාවගේ විශාලම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන බලයට ඇවිත්, අද වෙන කොට ජනාධිපතිවරණයකදී ඉදිරිපත් කරන්න අපේක්‍ෂකයෙක් නැතිව සිටිනවා. ජනාධිපති අපේක්‍ෂක හැටියට පවුලෙන් කෙනෙක් හොයා ගන්න බැරි වෙලා ඉන්න අතරේ පවුලෙන් පිට දෙන්න සූදානමකුත් නැහැ. […]

(ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.04.07)

මහා මැතිවරණයක් පවත්වනවාද? ජනාධිපතිවරණයක් පවත්වනවාද කියලා සංවාදයක් ජනගත කර තිබෙනවා. රාජපක්‍ෂලාගේ කණ්ඩායම මේ රටේ ජනතාවගේ විශාලම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන බලයට ඇවිත්, අද වෙන කොට ජනාධිපතිවරණයකදී ඉදිරිපත් කරන්න අපේක්‍ෂකයෙක් නැතිව සිටිනවා. ජනාධිපති අපේක්‍ෂක හැටියට පවුලෙන් කෙනෙක් හොයා ගන්න බැරි වෙලා ඉන්න අතරේ පවුලෙන් පිට දෙන්න සූදානමකුත් නැහැ. ඇත්තටම පොහොට්ටුව කියන්නේ පක්‍ෂයක් නොවෙයි, සීමාසහිත පවුලේ ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයට මහා මැතිවරණයකින් මන්ත්‍රීකම් දහයක්, පහළොවක් ගන්න මුලින් මහා මැතිවරණයක් තියන්න උත්සාහ කළා. ඒක හරියන්නේ නැහැ. අපි හැම දෙනාටම රට වෙනස් කරන ජනාධිපතිවරණයක් වෙනුවෙන් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැම දෙනාම පෙළගැසී සිටිනවා. එක කාලයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජාතික සමඟියේ සංකේතයක් හැටියට තිබුණා. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව දිනවන ජනාධිපතිවරයෙක් ජාතික ජන බලවේගයෙන් පත් කර ගන්න අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වෙනවා. අපට අවශ්‍ය ආණ්ඩුවක් අටවා ගන්න, ඇමැතිකම් ගන්න නම්, ජනතාව අතරට එන්න ඕනෑ නැහැ. පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින කට්ටිය එකතු කර ගත්තා නම්, අපි මූලික වී ආණ්ඩුවක් අටවා ගන්න පුළුවන්. එහෙම හදන ආණ්ඩුවකින් රටට වැඩක් නැහැ. අපට ඕනෑ ආණ්ඩුවක් අටවන්න නොවෙයි, ජනතාවාදී පාලනයක් පිහිටුවා වට්ටපු රට ගොඩනඟන්නයි.

අපට නැති කළ අභිමානය ගොඩනඟා ජනතාවට සතුටින් සිටිය හැකි රටක් බිහි කිරීම සඳහා ජනතාවට වග වෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ. අපේ රටේ ජනගහනයෙන් ශක්තිමත්ම බලවේගය වන කාන්තාවන් එකතු කර නොගෙන රට ගොඩනඟන්න බැහැ. තේ, රබර් වතුවල වැඩ කරන්නෙත්, ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සහ මැදපෙරදිග ගෘහසේවයේ යෙදී සිටින්නෙත් කාන්තාවන්. ඔවුන් රටට විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා දෙනවා. හේනේ, කුඹුරේ වැඩ කරමින්, ගෙදර සියලු කටයුතු කරන්නෙත් කාන්තාවන්. ජාතික ජන බලවේගය කාන්තාවන් වේදිකාවේ සැරැසිල්ලක් ලෙස නොව රට දිනවීමට ඔවුන්ගේ ශක්තිය එකතු කර ගනිමින් සිටිනවා. කාන්තාවන් ලෙස ඔබ ඡන්දය පාවිච්චි කර ගොඩනඟන ආණ්ඩුවක රට හැදීමේ කටයුතුවලට ධෛර්යයෙන් මැදිහත් වෙන අධිෂ්ඨානයෙන් පෙරට එන්න ඕනෑ.

මීට ටික කලකට කලින් මහින්ද රාජපක්‍ෂත් එක්ක හිටපු කණ්ඩායම ඩලස් අලහප්පෙරුමත් එක්ක ගිහින් එයින් කොටසක් ඊයේ පෙරේදා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ගියා. ඒ අය ඔය පුටුවලින් නැඟිටලා, රනිල් වික්‍රමසිංහ එක්ක යයිද කියලා කියන්නත් බැහැ. ඔය එහෙට මෙහෙට පනින කිසිම අවස්ථාවාදියෙක් ජාතික ජන බලවේගයට ගන්නේ නැහැ. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙත් මේ දවස්වල ගිනිකෙළි. චන්ද්‍රිකා කුමාරතුංග නඩුවක් දාලා මෛත්‍රීපාල සිරිසේනගේ පක්‍ෂ සභාපතිත්වය තහනම් කළා. අපි සියලු දෙනා රටේ බලය ගන්න උත්සාහ කරන අතර, ඒ ගොල්ලෝ පක්‍ෂයේ බලය අල්ලන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුමලාගේ පිරිස ගත්ත එක්ක තිස්ස අත්තනායක දන්නේ කලින් දවසේලු. ඒවා අවස්ථාවාදී රංචුගැසීම් මිස පක්‍ෂ නොවෙයි. ජනතාව දැනුවත් කරමින්, ඒකරාශී කරන පක්‍ෂ එකයි තියෙන්නේ, ඒ ජාතික ජන බලවේගය පමණයි. ලංකාවේ දැවැන්තම මහජන ව්‍යාපාරය එයයි.

මේ දවස්වල තරගයට බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. මේ දක්වා ඡන්ද කාලයේදී ඒ ගොල්ලෝ අපායේ ඉන්ටවල් වාගේ ජනතාවට සැලැකුවේ. මේ පාරත් අපායේ ඉන්ටවල් අරගෙන රැවටෙන්න බැහැ. දැන් අපි උපාය දන්නවා, ඒ නිසා අපායේ වැටෙන්නේ නැහැ. ඡන්දේ එන නිසා පාසල් ළමුන්ට දිවා ආහාර වැඩසටහනක් පටන්ගෙන ජනාධිපති ගිහින් බත් බෙදන්නත් පටන්ගෙන තිබෙනවා. අපේ රටේ දරුවෝ උදේට කන්න නැතිව ඉස්කෝලෙට ඇවිත් කලන්තේ දාලා වැටුණා. ඒ දරුවන්ට බත් ටිකක් දෙන්න අපේ රටේ ගුරුවර, ගුරුවරියෝ ඉතිහාසයේ පළමු වතාවට බත් බැංකුවක් හැදුවා. අවුරුදු ගාණක් තිස්සේ කන්න නැතිව හිටි දරුවෝ ගැන කවුරුත් බැලුවේ නැති බව අම්මා, තාත්තා දන්නවා. දැන් අපට ඕනෑ ඡන්ද කාලෙට ඇවිත්, බත් හැන්දක් බෙදන ජනාධිපති කෙනෙක් නොවෙයි, රට හදලා, දරුවන්ට තුන්වේල කාලා ඉන්න හැකි ආර්ථිකයක් ගොඩනඟන පාලනයක්. එහෙම ජනාධිපති කෙනෙක් සහ පාලනයක් පිහිටුවන්න හැකියාව තියෙන්නේ, ජාතික ජන බලවේගයට පමණයි. රනිල් වික්‍රමසිංහ පරණ ක්‍රමයට හාල් බෙදලාත් ඡන්ද ගන්න බලනවා. රනිල් එක්ක තරගයට හාල් බෙදන්න සජිත් ප්‍රේමදාසත් ඇවිත් ඉන්නවා. සජිත් ප්‍රේමදාස අපව කොපි කරලා කාන්තා සමුළු තියන්න පටන් ගත්තා. මුලින් තියපු සමුළුවලට කාන්තාවන් ආවේ නැති නිසා හාල් මලු ගොඩ කරලා, පේන්න තියලා, කාන්තාවන් ගෙන්වා ගන්න උත්සාහ කළා. ඔවුන් බඩු බෙදීමෙන් දේශපාලනය කරන සංස්කෘතිය මෙවර අපි වෙනස් කරන්න ඕනෑ, ජනතාවගේ හෘදය සාක්‍ෂියේ ඡන්දය කිසිම භාණ්ඩයකට හුවමාරු නොකරන පාලනයක් පිහිටු වන බව අපි සහතික කරලා කියමු. හාල් කිලෝ දහයකට, පහළොවකට ආත්මය පාවා දෙන මිනිසුන් නොවන බව අපි ඔප්පු කර පෙන්වන්න ඕනෑ.

මේ දක්වා රට දුප්පත් කර ඒ දුප්පත් ජනතාවට හාල් කිලෝ පහක් දීලා ඡන්දය ගන්න උගුලක් අටවලා තියෙන්නේ. ජනතාවගෙන් කොල්ලකා ගොඩ ගහ ගත් ධනය ටිකක් යොදවා කාන්තාවන්ට සිල්රෙදිත්, පිරිමින්ට අරක්කුත් බෙදන ක්‍රමයකින් බලය අරගෙන ඊට පස්සේ ජනතාවගේ ධනය කොල්ලකනවා. ඡන්දයක් කිට්ටු වුණාම ඒ ධනයෙන් කොටසක් යොදවලා, නැවත බලය ගන්න විෂම චක්‍රයකට ගෙන යන සූදුව නවත්වන්න ඕනෑ. ලබන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයෙන් ඒ ගොල්ලන්ගේ බල සූදුව අපි අවසන් කරනවා. රනිල් වික්‍රමසිංහගේත්, මේ ආණ්ඩුවේත්, මේ ක්‍රමයේත් කල් ඉකුත් වීමේ දිනය දැන් ගහලා ඉවරයි. ඔක්තෝබර් පහ හෝ දොළොස් වැනි සෙනසුරාදා මේ ක්‍රමයේ කල් ඉකුත් වෙනවා. කල් ඉකුත්වූ සියලු දෙනා පැත්තකට දා අලුත් රටක් හදන්න හැකියාව තිබෙන පාලනයක් අප බිහි කරනවා. ත්‍රිකුණාමලයට තිබුණු විශාලතම සම්පත කන්තලේ සීනි කම්හල. ඒක වහලා දාලා සීනි පිටරටින් ගේනවා. මේ කර්මාන්ත නැවත ගොඩනඟා මහජන සහභාගිත්වය සහිත නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනෑ, ඇමැති මණ්ඩලයකට විතරක් තනිවම ආර්ථිකයක් හදන්න බැහැ. ඒකට මහජනතාවත් ඕනෑ. ඒ මහජනතාවට සාධාරණ ප්‍රතිලාභ ලැබෙන්නත් ඕනෑ. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික කණ්ඩායමේ ඉන්න එරාන් වික්‍රමරත්න රටේ දේපළ විකුණන්න ඕනෑ බව කියනවා. සජිත් ප්‍රේමදාස ළඟ ඉන්න ආර්ථික ඔස්තාද් කෙනෙක් වන එරාන් වික්‍රමරත්න කියන්නේ මැදපෙරදිග තෙල් විකුණනවා වාගේ අපත් සම්පත් විකුණන්න ඕනෑ කියලා. මැදපෙරදිග තෙල් විකුණනවා මිස තෙල් නිධිය විකුණන්නේ නැති බව එයා දන්නේ නැහැ. අපේ රටේ කිරි ගොවිපොළවලට අයිති අක්කර තිස්අටදාහක් විකුණන්න යනවා. අප කරන්නේ මේ කිරි ගොවිපොළවලින් කිරි නිෂ්පාදනය කරලා කිරි විකුණන එකයි.

අඩු ගාණේ තමන්ගේ ප්‍රතිපත්තිය ගැන අවබෝධයක් නැති මිනිසුන්ට මේ රට හදන්න බැහැ. විවාදයකට කතා කරන්නේ බොරුවට. අපි අපෙන් අනුර සහෝදරයා ඉදිරිපත් කරමින්, ඒ ගොල්ලන්ගේ සජිත්ට එන්න කියලා කීවා. සජිත් එනවා නම්, ඒ බව ලිඛිතව කියන්න. අපි ඒ විවාදයට ලෑස්තියි. එහෙම එන්නේ නැතිනම්, ඒ බවත් ලිඛිතව කියන්න. ඒ අනුව මොකද කරන්නේ කියලා අපි සලකා බලන්න ලෑස්තියි. ආර්ථික නිදහස, ස්වාධීනත්වය දිනාගැනීමේ අලුත්ම නිදහස් අරගලයක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල අයිතිය ජනතාවට තියෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් ආර්ථික ස්වාධීනත්වය දිනාගෙන ජාතික සමඟිය ඇති කරන්න ඕනෑ. අනුර සහෝදරයා යාපනයට ගිහින් කීවේ ගනුදෙනුවකට නොආ බවයි. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟා රට ගොඩනඟන්න එක් වන ලෙස සියලු දෙනාට ආරාධනා කළා. මේ දිස්ත්‍රික්කයේදී අපි කියන්නෙත් ඒ කතාවමයි. ජාතික සමඟිය තියෙන දේශපාලන සංස්කෘතියත්, හොරකම, වංචාව, දූෂණයට එරෙහි සංස්කෘතියත් අපි ගොඩනඟනවා. ඒ වාගේම හොරාකාපු ධනය සියල්ලම නැවත අත්පත් කර ගන්නවා. ඒ වාගේම මන්ත්‍රීවරයාත්, ඇමැතිවරයාත් ප්‍රභූන් නොවෙයි, මහජන සේවකයන් බවට පත් කරන සංස්කෘතියක් ගොඩනඟනවා. ඒ වාගේම කාන්තාවන්ට නිදහසේ මහමඟ යන්න පුළුවන් සමාජ සංස්කෘතියක් ගොඩනඟනවා. අඩුම තරමින් අපේ දරුවන්ටවත් මේ වැනි පීඩාවන් නොවන පාලනයක් අපි ගොඩනඟමු. අප ඉදිරියට මොන බලවේග ආවත්, ඉතිහාසය වෙනස් කරන ගැහැනු බහුතරය එකමිටට එකතු වී අලුත් පාලනයක් බිහි කරන බවට අපි අධිෂ්ඨාන කර ගනිමු. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකට එකතු වී, කාන්තාවන් ලෙස එකමිටට එකතු වී අධිෂ්ඨානයෙන් ක්‍රියා කරමු. ජනතාවාදී පාලනයක් දක්වා මොන බලවේග ආවත්, නොසැලී ඉදිරියට යමු. රට ගොඩනඟමු.

Gahanu-Api-Trinco

“ජනතාවාදී පාලනයක් කියන්නේ මුළු රටම ජයග්‍රහණය කරවීමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය-

ලංකාවේ සිදු වන්නේ මොනවාද කියලා මුළු ලෝකයම බලා ඉන්න මොහොතක රට තීරණාත්මකව වෙනස් කරන්න ඔබ, අපි වැනි ගැහැනුන් විශාල වැඩ කොටසක් භාරගෙන තිබෙනවා. අප භාරගෙන තිබෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම පමණක්ම නොවෙයි. ඉතිහාසය පුරාම ආණ්ඩු හැදුවේත්, ආණ්ඩු එළවලා දැම්මෙත් ගැහැනු අපි. මෙතෙක් කල් අපව ගණන් ගත්තේ මැතිවරණ කාලයේදී විතරයි. බොරු පොරොන්දුවලට රැවටිලා, ඡන්දය දීලා අපි තමයි ආණ්ඩු පිහිටුවූයේ. අවුරුදු හැත්තෑහයක් තිස්සේ තට්ටුමාරු ක්‍රමයට ඒ ගොල්ලෝ බලයට ඇවිත් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. තව සතියකින් උදා වෙන අවුරුද්ද වෙනුවෙන් 2019 ඉඳලා කෑම මේසය හදන්න ගන්න කැවිලි සඳහා අවම වියදම සියයට 126%කින් වැඩි වෙලා. මේ අවුරුද්දේදී සියයට දෙකකින් අඩු කරලා පාලකයන් ආර්ථිකය හොඳ බව කියනවා. ඇත්ත බඩු මිල මොකක්ද කියලා අපි දන්නවා. 126%ක් බඩු මිල වැඩි කරලා දැන් අඩු වූ බවට බොරු සංඛ්‍යා කියලා අපව රවට්ටන්න බැහැ. මේ පාර අපි වෙනස් වෙන්නේ ඡන්දය දීලා පැත්තකට වෙලා බලා ඉන්න නොවෙයි, රට හදන්න නායකත්වය ගන්නයි. තව දුරටත් රැවටෙන්න අප සූදානම් නැහැ. අද දළදා මාලිගාව පෙන්වන්නත්, බස්වලින් කට්ටිය ගෙන යනවාලු. ඒකෙන් පේන්නේ ගැහැනු අපට බය වෙලා තියෙන තරම. අපි තවමත් ආණ්ඩුව හදලාත් නැතිව ඒ ගොල්ලොත් වෙනස් වෙනවා නම්, ඒක හොඳ දෙයක්.

අපි මේ මැතිවරණයක් දැකලා කරන දේවල් නොවෙයි. අවුරුදු ගාණක් කල්පනා කරලා, සැලැසුම් කරලා මේ රටේ ගැහැනුන්ට බලය ලබා ගන්න දැනුවත් කිරීම් මේ කරන්නේ. රට පිළිබඳව තමන්ගේ ජීවිත පිළිබඳව තීන්දු තීරණ ගන්න හැකි සමාජයක් අපි හදනවා. ගැහැනුන්ට එකතු විය හැකි ආරක්‍ෂිත, ආදරණීය, අපට ගරු කරන අභිමානවත් ලෙස සිටිය හැකි තැනක් අපි නිර්මාණය කරනවා. මේක ක්‍රමානුකූලව යන ගමනක්. මේ ක්‍රමය වෙනස් කරන්න නම්, අනුර සහෝදරයා ජනාධිපති කර ජනතාවාදී පාලනයක් අපි පිහිටුවන්න ඕනෑ. ජනතාවාදී පාලනයක් කියන්නේ ඒ ආණ්ඩුවේ බලය අප අතට අරගෙන මාලිමාවේ අය විතරක් නොවෙයි, මුළු රටම ජයග්‍රහණය කරවීමයි. ගමේ ගැහැනුන් එකතු කරගෙන සංවිධාන පිහිටුවමින්, අපි යන්නේ නිකම් තනතුරු පිරිනමන්න නොවෙයි. අපට ඉදිරියටත් වැඩ තිබෙනවා. අප සියලු දෙනා එකතු වෙලා ජනතාවාදී පාලනයක් කියන සිහිනය හැබෑ කර ගන්න ඕනෑ. පාලකයාට බර කරගෙන තිබෙන ධනය, වරප්‍රසාද සියල්ල ජනතාවගේ පැත්තට ගන්න ඕනෑ. පාලකයාත්, පුරවැසියාත් අතර වෙනසක්, දුරස්ථභාවයක් තියෙන්න බැහැ. අපේ සල්ලි වියදම් කරමින්, ඔවුන් සුරසැප විඳින අතර, අපට දුක් විඳින්න සිදුවී තබෙන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. අපේ බදු මුදල්වලින් බලය පවත්වාගෙන යමින්, එය තමන්ගේ උරුමයක් ලෙස සලකන අය අපට විවිධ චෝදනා කරනවා. සින්දු කීවත්, නැටුවත්, කතා කළත්, හිනා වුණත් අන්වීක්‍ෂයකින් බලමින්, වැරැදි හොයනවා. මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයේ විනෝද වෙමින්, සතුටින් සිටීමේ අයිතිය අපට තිබෙනවා. අප කාගේවත් දේවල් හොරකම් කරලා නොවෙයි, සතුටු වෙන්නේ. අපි බතුයි, ලුණුයි කෑවත්, ඒක කන්නේ අභිමානයෙන්.

කාලයක් තිස්සේ අපට ප්‍රතිපත්ති නැහැ කියලා කෑගැහැව්වා. ප්‍රතිපත්ති තියෙනවා කියලා, අවුරුදු 76ක් තිස්සේ රට පාලනය කළ අය රට බංකොළොත් කරලා අපේ ප්‍රතිපත්ති කොහිද කියලා අහනවා. සතියෙන් සතියට අලුත් මාතෘකා ගෙනැවිත් පුස් වෙඩි වාගේ විනාශ වෙලා යනවා. අලුත්ම මාතෘකාව විවාදයකට එන්නලු. විවාද කරන්න අපි සූදානම්. ඒකට පිළිවෙළක්, කලාවක් තියෙනවා. ඉස්සර වෙලාම එන්නේ ජනාධිපතිවරණය. මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැති අය විවාද කරලා තේරුමක් නැහැ. අපි අපේ අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නම්. ඒ ගොල්ලන්ට ඕනෑ නම්, සජිත් ප්‍රේමදාසත්, රනිල් වික්‍රමසිංහත් ගෙනැල්ලා ජනතාව ඉදිරියේ විවාදයක් තියමු. ඒක කීවාම මුහුණ දෙන්න බැරිව යට යනවා. ඔය විවාද මාතෘකාව ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයාව යට යවන්න ඇතුළෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් හැටියටද කියලත් මම හිතනවා. මාධ්‍යවේදීන් අනුර සහෝදරයාව ප්‍රශ්න කරන විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්න කරනවා ඔබ දැක තිබෙනවාද? මාධ්‍යවේදීන් තුන්හතර දෙනා එකතු වී ප්‍රහාර එල්ල කරමින්, අනුර සහෝදරයාව ප්‍රශ්න කරනවා. සජිත් ප්‍රේමදාසව කවදාවත් එහෙම ප්‍රශ්න කරලා නැහැ. එහෙම තියෙද්දී, ඔහුගේම පක්‍ෂයේ අය ගෙන ආ විවාදය නිසා සජිත් ප්‍රේමදාසටත් ඒ ගැන කතා කරන්න සිදුවී තිබෙනවා. සමගි ජන බලවේගය කීවාට අපට කියන්න වෙන්නේ අසමගි බලවේගය කියලා. ඔවුන්ගේ නායකයාට ඔවුන් හරස් වෙනවාද කියලා මට නම සැකයි. ඒ විදියට නායකයාව අමාරුවේ දාන්න අවශ්‍ය නැහැ. ඕක සමහර විට රනිල් වික්‍රමසිංහගේ සැලැසුමක්ද දන්නෙත් නැහැ, සජිත් ප්‍රේමදාසව අමාරුවේ දාන්න. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඕනෑම කුමන්ත්‍රණයක් කර බලයේ ඉන්න සිතුවිල්ල විතරයි.

ගැහැනු අපි බලාගෙන හිටියා හොඳටෝම ඇති. අපි සියලු දෙනා එකතු වී ඉන්නේ රට හදන අරමුණින්. ඒ වෙනුවෙන් පැහැදිලි සැලැසුමක් තියෙනවා. අපි සියලු දෙනාම එකඟ වී ප්‍රතිපත්ති හදන මූලධර්ම තිබෙනවා. අපි ඉතාමත් ක්‍රමානුකූලව, එකමුතුව සාමුහික හැඟීමකින්, සාමුහික අරමුණකින් සියලු දෙනාගේම ජීවිත යහපත් කරන්න ක්‍රියා කරනවා. අපේ ශක්තිය ඒක. ඒ වෙනුවෙන් ඉවසන්න තව ටිකයි දිනයි තිබෙන්නේ. අපි මේ ගමන නවත්වන්නේ සියලු දෙනාටම සතුටෙන ජීවත් විය හැකි රටක් හැදීමෙන් පමණයි. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙමු. ගැහැනු අපි එකමිටට. ජයවේවා!

Show More

“දිළිඳුභාවය ඔවුන්ට දේශපාලන පාපන්දුවක් වුණත් අපට අවසන් කළ යුතු සමාජ ඛේදවාචකයක්” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(NPP සමෘද්ධි ජාතික සාමුහිකය – මාතර දිස්ත්‍රික් සමුළුව – 2024.04.07) පසුගිය කාලයේ ආණ්ඩු ගොඩනඟන, ආණ්ඩු පෙරළන ක්‍රියාවලියේ සක්‍රිය, සැලකිය යුතු දායකත්වයක් සමෘද්ධි නිලධාරීන් විසින් දැරුවා. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ග්‍රාමීය දිළිඳු ජනතාව ඉලක්ක කර ගත් දේශපාලනයක්. ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක කළා. සමෘද්ධිය ලබා දීම, සමෘද්ධිය කැපීම දෙකම තෝරා ගත්තේ ඔවුන්ගේ […]

(NPP සමෘද්ධි ජාතික සාමුහිකය – මාතර දිස්ත්‍රික් සමුළුව – 2024.04.07)

Samurdhi-Matara

පසුගිය කාලයේ ආණ්ඩු ගොඩනඟන, ආණ්ඩු පෙරළන ක්‍රියාවලියේ සක්‍රිය, සැලකිය යුතු දායකත්වයක් සමෘද්ධි නිලධාරීන් විසින් දැරුවා. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ග්‍රාමීය දිළිඳු ජනතාව ඉලක්ක කර ගත් දේශපාලනයක්. ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක කළා. සමෘද්ධිය ලබා දීම, සමෘද්ධිය කැපීම දෙකම තෝරා ගත්තේ ඔවුන්ගේ බල වුවමනාව වෙනුවෙන්. ඔවුන්ගේ බලය පරාජයට පත් කොට නව දේශපාලන හැරවුමක් වෙනුවෙන් සමෘද්ධි නිලධාරීන් අපත් සමඟ එක් වී සිටීමම විශාල ජයග්‍රහණයක්. කෙනෙක් ආර්ථික වශයෙන් දුප්පත් නම්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, දරුවන්ට නිසි අධ්‍යාපනයක්, ඒ පවුල්වලට නිසි පෝෂණයක් නැති බව තහවුරු වෙනවා. ඒ විතරක් නොවෙයි, දුප්පත් ජනතාව සමාජයේ කොන් කිරීමට භාජනය වෙනවා. පාසලේදී, පොලිසියේදී, බස් එකේදී, බැංකුවේදී හැම තැනකදීම පුරවැසියන් කොන් කිරීම සඳහා දුප්පත්කම යොදාගෙන තිබෙනවා. අනෙක් පැත්තෙන් දුප්පත්භාවය විසින් සමාජයේ විවිධ අපරාධවලට බහුතරයක් තල්ලු කිරීමක් සිදු කෙරෙනවා. ඒ වාගේම දුප්පත්භාවය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම අතරත් සම්බන්ධයක් තිබෙනවා. පවුල් කඩාවැටීමටත් ඒක හේතු වෙනවා. දුප්පත්කම කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි, ඊට එහා යන ඛේදවාචකයක්.

සහනාධාර අවශ්‍යද යන සංවාදයක් සමාජයේ ඇති කර තිබෙනවා. නමුත්, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල පවා දුප්පත් ජනතාව ඒ ව්‍යසනයෙන් මුදා ගැනීම ආණ්ඩුවේ වගකීමක් ලෙස අරගෙන තිබෙනවා. කොවිඩ් වසංගතය වෙලාවේ ඒ පුරවැසියන් රැකබලා ගන්න විශේෂ වැඩපිළිවෙළවල් පවා ඒ රටවල හඳුන්වා දෙනු ලැබුවා. ඕනෑම ආර්ථික ව්‍යසනයකදී ආර්ථිකයෙන් පිටමං කෙරෙන පොදු ජනයා රැකබලා ගැනීම සමාජයීය වාගේම ආණ්ඩුවක වගකීමක්. එය අත්හරින්න බැහැ. කොවිඩ් වසංගතයට පෙර ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.4%ක් දිළිඳු ජනයා රැකබලා ගන්න යොදවනු ලැබුවා. බංග්ලාදේශයේ 0.8%ක්. වියට්නාමයේ 1.6%ක්. නමුත්, ශ්‍රී ලංකාවේ 0.4%යි. මේ කලාපයේ දිළිඳු ජනයා කෙරෙහි අඩුම අවධානය යොමු කර තිබෙන රට ශ්‍රී ලංකාවයි. එංගලන්තය වාගේ රටක විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ඔවුන් රැකබලා ගන්නවා. ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දිළිඳු ජනතාව රැකබලා ගැනීමත්, ඔවුන් ආර්ථිකයට ඇතුළත් කර ගැනීමත් ක්‍රියාත්මක කරනවා. 1970දී හඳෙන් හරි හාල් ගෙනැත් නොමිලේ හාල් සේරු දෙකක් දෙන බව කීවා. 1977දී ධාන්‍ය රාත්තල් අටක් ලබා දෙන බව කීවා. 1989දී ‘ජනසවිය’ දෙන බව කීවා. ඒ වාගේම සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දාන්නත්, බත් කෑමෙන් පසු ගස්ලබු කෑල්ලක් කන්න ලබා දෙන්නත් ආදී වශයෙන් දිළිඳු ජනයා ඉලක්ක කර ගත් දේශපාලන ව්‍යාපෘති ඉදිරිපත් කළා. 1994දී ‘සමෘද්ධිය’ත්, බැසිල් රාජපක්‍ෂ ‘දිවිනැඟුමත්’, රනිල් වික්‍රමසිංහ ‘අස්වැසුම’ බවටත් පත් කරගෙන දිළිඳු ජනයා ඉලක්ක කරගෙන යනවා. දිළිඳු ජනයා ඔවුන්ගේ දේශපාලනයේ ඉලක්කය කර ගැනීමට නම්, ඒ ජනතාව දුප්පත්කමේ ගිලටීනයේ හිර කර තබා ගත යුතු වෙනවා. 21වැනි මේ සියවසේ හාල් කිලෝ විස්සක් බෙදා දී ඡන්දය ලබා ගැනීමට කල්පනා කරනවා. ජනතාව දිළිඳු බවේ පතුලටම හිර කිරීමෙන් පස්සේ හාල් කිලෝ පහට, හාල් කිලෝ විස්සට ඡන්දය ලබාගත හැකි දැයි බලනවා.

Samurdhi-Matara

ඡන්දය ඉල්ලන අය සහ ඔවුන්ට ඡන්දය දෙන අය අතරේ කොතරම් වෙනස්කම් තිබෙනවාද? වේදිකාවේ සුකුමාර ජීවිත ගත කරන අය ඉන්නා අතර, වේදිකාව ඉදිරිපිට දුප්පත්කමේ පතුලේම යාචකභාවයට පත් කළ ජනතාවක් ඉන්නවා. කෑම පැකැට් එකක්, රුපියල් දාහක්, අරක්කු කාලක්, සාරියක් බෙදා රැස්වීම්වලට ගෙන්වා ගන්න උත්සාහ කරනවා. මේ ජනතාව දිළිඳු බවේ පතුලටම හිර කර නැත්නම්, ඇත්ත දේශපාලන සංවාදය එළියට එනවා. ඒ සංවාදය කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, පුරවැසියන්ගේ නිදහස, වංචා, දූෂණ, මහජනයාගේ ධනය හොරකම් කිරීමේ අපරාධය වාගේ සංවාද ඉදිරියට එනවා. හොරකම් කිරීම අපරාධයක් ලෙස භාර නොගෙන ඒ හොරකම් කළ දෙයින් සුළු කොටසක් ජනතාවට බෙදා දීම ලබාගෙන සැනසීමට පත් වෙන ජනතාවක් නිර්මාණය වී සිටිනවා. දුප්පත්භාවය විසින් සියලු සමාජ සාරධර්ම පසෙකට හෙළා තිබෙනවා. ඒ නිසා දුප්පත්භාවය පවත්වාගෙන යාම ඔවුන්ගේ දේශපාලනය බවට පත් කර තිබෙනවා. 2009 වර්ෂයට කලින් ලංකාවේ දුප්පත්භාවයේ සිටියේ මිලියන 03යි. අද දුප්පත්භාවය ලක්‍ෂ 70යි. මාසික ඒකපුද්ගල ආදායම රුපියල් 17,317ට වඩා අඩු අය දුප්පත් අය ලෙස සලකනවා. අපේ රටේ තුනෙන් එකක් දුප්පත්භාවයේ වෙළී සිටිනවා. ඡන්ද කාලයේදී සමෘද්ධි දීමනාව වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගේනවා. ‘අස්වැසුම’ මුලින් සැලැසුම් කර තිබුණේ එයට සහභාගී කර ගන්න පවුල් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කිරීමටයි. නමුත්, හදිසියේ ඡන්දය එන නිසා ඒ සහනාධාරය දෙන පිරිස වැඩි කරමින් ඉදිරියට යනවා. ඊට අමතරව හාල් කිලෝ විස්ස ගාණේ අතිරේකව ලබා දෙන්නත් ලෑස්ති වෙනවා. දිළිඳුභාවය පිළිබඳ ප්‍රශ්නය ඉතිහාසය පුරාම ඔවුන්ගේ දේශපාලන පිටියේ පාපන්දුවක් බවට පත් කරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපට දිළිඳුභාවය සමාජ ඛේදවාචකයක්; ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්; සමාජ අර්බුදයක් පිළිබඳ ප්‍රශ්නයක්.

දිළිඳුභාවයෙන් පෙළෙන ජනතාව එයින් මුදා ගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් පිළිබඳව දන්නේවත් නැතිව ළමුන් මිය යනවා. පාසල් 1200ක දරුවන් අධ්‍යාපනයට අත්හැර ගොස් සිටිනවා. ඒ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමේ සාධාරණ අවස්ථාව මඟහැර තිබෙනවා. ආරම්භයේ දීම ඒ දරුවන්ව අධ්‍යාපනයෙන් පිටමං කිරීමට දුප්පත්භාවය හේතු වී තිබෙනවා. අපි මේ ප්‍රශ්නය ඡන්ද ලබා ගැනීමේ මෙවලමක් ලෙස නොව සමාජ ඛේදවාචකයක් ලෙස දකිනවා. අපට පෞද්ගලිකව ගත්තොත්, දුප්පත්කම පැෂන් එකක් නොවෙයි, ජීවිතය පිළිබඳ අත්විඳීමක්. ග්‍රාමීය දුප්පත් ජනතාව එයින් මුදා ගැනීම සඳහා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ආරම්භයේ ජනතාවට ආහාර ලබා දීම, සෞඛ්‍ය පහසුකම් ලබා දීම, දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වැනි සෘජු සහනාධාර පුරවැසියන්ට ලබා දී ක්‍රමානුකූලව සක්‍රිය ආර්ථික වැඩපිළිවෙළක කොටස්කරුවන් බවට පත් කර ගනිමින්, ආධාරවලින් මුදා ගන්න ඕනෑ. අපේ ප්‍රතිපත්තිය ඒක. දිළිඳු ජනතාව සක්‍රියව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කර ගන්නා තෙක් සෘජු මැදිහත් වීමකින් ඔවුන් රැකබලාගත යුතුයි. ශ්‍රී ලංකාවේ පළාත් අනුව වැඩිම පිරිසක්, සියයට 48%ක් දුප්පත්භාවයේ සිටින්නේ ඌව පළාතේ. දකුණු පළාතේ සියයට 41%ක්. සබරගමුවේ සියයට 40ක්. මධ්‍යම පළාතේ 38%ක්, උතුරු පළාතේ 33%ක්, උතුරුමැද පළාතේ සියයට 31%ක් වශයෙන් දුප්පත්භාවය විසිරී තිබෙනවා. කොළඹින් පරිබාහිරව ග්‍රාමීය දුප්පත්භාවය වැඩියි. ජාතික නිෂ්පාදිතයෙන් සියයට තිස්හයක් බස්නාහිරට කේන්ද්‍රගතව තිබෙනවා. දකුණු පළාතේ සියයට නවයයි. ඌව පළාතේ සියයට හතරයි. උතුරුමැද පළාතේ සියයට පහයි. ඒ පළාත්වල ජනතාව ජාතික නිෂ්පාදිතයට දායක කරගෙන තියෙන ප්‍රමාණය අඩුයි.

Samurdhi-Matara

දුප්පත්භාවයෙන් ජනතාව මුදා ගැනීමේ පළමු පියවර සෘජු සහනාධාර වන අතර, දෙවැනි පියවර ආර්ථිකය ප්‍රසාරණය කිරීමයි. කොළඹ කේන්ද්‍රගත කර ගත් ආර්ථිකයේ සිට ගම් දක්වා ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕනෑ. ග්‍රාමීය දුප්පත්භාවය පදනම් කරගෙන නව ආයෝජන සහ එයට අනුරූපී බදු ප්‍රතිපත්තියක් හදන්න අපි ලෑස්තියි. බස්නාහිර පළාතට වඩා ඌව පළාතට ගෙන යන ආයෝජනවලට අමතර බදු සහන ලබා දෙන්න අපි සූදානම්. ඒ වාගේම පොලී අනුපාතත් ඒ ආකාරයෙන් වෙනස් වන නව සංවර්ධන බැංකුවක් අපි පිහිටුවනවා. ගමේ ඉන්න කෙනා ගමේම ජීවත් වෙමින්, ආර්ථිකයට දායක වනවා මිස ගමෙන් කොළඹට ඇවිත්. කොන්ක්‍රීට් ඇනීමෙන් දුප්පත්භාවයෙන් මිදෙන්නේ නැහැ. තුන්වැනි පියවර දැනටමත් ග්‍රාමීය ජනතාව ආර්ථිකයේ නියැළී සිටින ප්‍රභවයන් සංවර්ධනය කිරීමයි. ගොවියා, කුඩා තේ වතු හිමියා, ධීවරයා, සංචාරක ව්‍යාපාරයේ නියැළෙන්නා ආදී වශයෙන් දැනටමත් සම්බන්ධ වී සිටින ප්‍රභවයන් විද්‍යාත්මකව ඵලදායී ලෙස සංවර්ධනය කරන්න ඕනෑ. නිසි ආදායමක් ලැබෙන්නේ ඒ තුළින්. ග්‍රාමීය දුප්පත්භාවයෙන් මුදාගෙන ආර්ථිකයෙන් පිටමං කර සිටින මිනිස් දූවිලි සේ සලකන ජනතාව ආර්ථිකයේ ගෞරවනීය කොටස්කරුවන් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ වෙනුවෙන් හතරවැනි පියවර නව ආර්ථික ප්‍රභවයන් හඳුන්වා දීමයි. මේ ආකාරයෙන් අඛණ්ඩව පොරබැදීමෙන් ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගන්නවා. ඒ වෙනුවෙන් ක්‍රියාකාරී යාන්ත්‍රණය බවට පත් වන්නේ සමෘද්ධි නිලධාරී කණ්ඩායමයි. සියල්ල දේශපාලනීයකරණයට ලක් කර තිබෙන ක්‍රමයෙන් මුදා ගන්නා අතරම පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් කිසිවකුත් යොදවා ගන්නේ නැහැ. බෙදන දේශපාලනය වෙනුවට ගොඩනඟන දේශපාලනය රටට හඳුන්වා දෙනවා. තව පැත්තකින් ග්‍රාමීය ක්‍ෂුද්‍ර මූල්‍ය ණය විශාල සමාගම් අතේ කේන්ද්‍රගත වී තිබීම වෙනස් කිරීමේ බැංකු හඳුන්වා දෙන්නත් ඕනෑ. අඩු පොළී අනුපාතයකට ග්‍රාමීය ජනතාවට ණය දෙන්න සමෘද්ධි බැංකු පද්ධතිය ක්‍ෂුද්‍ර මූල්‍ය පද්ධතියකට පරිවර්තනය කළ හැකියි. දැනටමත් රුපියල් බිලියන 238ක වත්කම් මේ බැංකුවලට තිබෙනවා. සමාජ ආරක්‍ෂණ අරමුදලේ බිලියන 14කුත්, ස්ථිර තැන්පතු අරමුදලේ බිලියන 43ක් පමණත්, ලොතරැයි අරමුදලේ බිලියන 19ක් පමණත් තිබෙනවා.

මේ සමෘද්ධි බැංකුම ක්‍ෂුද්‍ර මූල්‍ය ණය බවට පරිවර්තනය කරන්න ආසියානු සංවර්ධන බැංකුව වාගේ ආයතනවලින් ආධාර ලබා ගන්න පුළුවන්. මේ වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරයේ කටයුතු කරන ඔබ සියලු දෙනා වෙත නව සේවා ව්‍යවස්ථාවක් සකස් කර දෙනවා. දේශපාලන ව්‍යාපෘතියක් නොව අපි හැමෝම එක් අරමුණකට වැඩ කරන අත්හළ නොහැකි සමාජ කාර්යභාරයක් ඉටු කරන පිරිසක් හැටියට ක්‍රියා කළ යුතුයි. එන්.පී.පී. පාලනයක් යටතේ අපි හැම දෙනාම එකතු වී දිළිඳු බවේ ඛේදවාචකයෙන් වේදනා විඳින ජනතාව මුදා ගැනීමේ එකම අරමුණකින් අපි ක්‍රියා කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකාවන්ව ක්‍රියා කරමු කියා ඉල්ලා සිටිනවා.

Samurdhi-Matara
Show More

“ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානය අපට දුන්නේ 71 අප්‍රේල් විරුවන්” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා-

(53 වැනි අප්‍රේල් විරු සමරුව – පොළොන්නරුව 2024.04.05) ඔබ අපි හැමදෙනාම පොළොන්නරුවට මේ එක්වී සිටින්නේ අප්‍රේල් විරුවන්ගේ 53වැනි සමරුව වෙනුවෙන්. මේ වගේම සැමරුම් ගාල්ලේ බද්දේගම සහ පුත්තලම නාත්තන්ඩියේදිත් පවත්වනවා. මේ සමාජය වෙනස් කිරීම සඳහා පොදු ජනතාව අතට බලය ලබා ගැනීමේ විශ්වාසයකින් කටයුතු කරමින් සිටින අවස්ථාවක 1971 අරගලයේදී දිවිපිදූ අපගේ ප්‍රේමණීය සහෝදරයන් මතක් කර ගනිමින් ඔවුන්ගේ […]

(53 වැනි අප්‍රේල් විරු සමරුව – පොළොන්නරුව 2024.04.05)

Tilvin-Polonnaruwa-April-Commemoration

ඔබ අපි හැමදෙනාම පොළොන්නරුවට මේ එක්වී සිටින්නේ අප්‍රේල් විරුවන්ගේ 53වැනි සමරුව වෙනුවෙන්. මේ වගේම සැමරුම් ගාල්ලේ බද්දේගම සහ පුත්තලම නාත්තන්ඩියේදිත් පවත්වනවා. මේ සමාජය වෙනස් කිරීම සඳහා පොදු ජනතාව අතට බලය ලබා ගැනීමේ විශ්වාසයකින් කටයුතු කරමින් සිටින අවස්ථාවක 1971 අරගලයේදී දිවිපිදූ අපගේ ප්‍රේමණීය සහෝදරයන් මතක් කර ගනිමින් ඔවුන්ගේ අත්දැකීම් අපට ලබාගැනීම අත්‍යවශ්‍යයි.

එදත් අපි රට ගමන්කරමින් තිබුණු බංකොලොත් තත්වය පිළිබඳව දැක්කා. දැන් අවුරුදු දෙකක් පුරා ගොඩ එන්න බැරිතරමට බංකොලොත් වී තිබෙනවා. ජනතාව පීඩා විඳිමින් සිටින දරාගත නොහැකි මේ ආර්ථිකයෙන් මිදිලා විකල්ප ක්‍රමයකට ගමන් කිරීම අවශ්‍ය වෙනවා. දේශපාලනික වශයෙනුත් රට වට්ටා තිබෙනවා. රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේම රට ගොඩනැගීමට අවශ්‍ය සම්පත් වේගයෙන් විකුණමින් පරාධීන රාජ්‍යයක් බවටත් පත්කර තිබෙනවා. 1971 සටන් කළ අපේ සගයින් කල්පනා කළේ දණින් වැටී ජීවත් වීම වෙනුවට නිදහස ලබාගත යුතුයි කියලා. අදත් අපට තිබෙන්නේ නාමමාත්‍රික නිදහසක්. ඒ නිසා නව නිදහස් අරගලයක් අවශ්‍ය වී තිබෙනවා. මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන කඳවුර ඇතුළු මේ පාලකයන් ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉස්සර මහ මැතිවරණයක් පවත්වන්න සාකච්ඡා කළේ රාජපක්ෂලාට ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපේක්ෂකයෙක් නැති නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වෙනකොට පක්ෂයේ බලය ලබාගන්න සටන් කරනවා. අපි රටේ බලය ලබාගන්න අරගල කරනවා. ඩලස් අලහප්පෙරුම එක්ක අයින් වුණු කණ්ඩායම බෙදී කොටසක් ස.ජ.බ. එක්ක ගියා. මේ නිසා අවුල් වුණු ස.ජ.බෙ. තව කොටසක් කැඩිලා එක්සත් ජාතික පක්ෂයට යන්න සූදානම් වෙනවා. රට ආර්ථික වශයෙන් කඩා වැටීම විතරක් නොවෙයි, මේ දක්වා පාලනය කළ පිරිස්වලට බරපතළ දේශපාලන අර්බුදයකුත් නිර්මාණය වී තිබෙනවා. ඒ අතර අපිත් බලය ගන්න ජනතාව සංවිධානය කරමින් යනවා. එළඹෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර ලෙසම මාලිමාව ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.

Tilvin-Polonnaruwa-April-Commemoration

අපි උත්සාහ කරන්නේ වෙනස් පාලනයක් පිහිටුවන්නයි. ඒ පාලනයකින් දැන් වට්ටා තිබෙන රට ගොඩගෙන ශක්තිමත් ස්ථාවර ආර්ථියක් හදන්න ඕනෑ. එය හදන්න දැවැන්ත ජනතා සහභාගිත්වයක් ඕනෑ. රටේ සමස්ත ජනයාම සහභාගි කර ගන්න ජාතික පිබිදීමක් ඕනෑ. රට නව පුනරුදයකට ගෙනයන්න මුළු මහත් ජනයා පෙළගස්වමින් ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානයෙන් අපි කටයුතු කරමින් යනවා. 1971 සටන් කළ අපේ සහෝදරවරුන්ගේ අපේක්ෂාව වූයේ යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක් සහ නිවහල් මිනිසෙක් බිහිකිරීමයි. අපි ගොඩනගන ආර්ථිකයේ ප්‍රතිලාභ කාටත් සාධාරණ ලෙස බෙදා හරින්න ඕනෑ. විවෘත ආර්ථිකයේ බොහෝ මිනිසුන් ආත්මාර්ථකාමිත්වය නමැති අයිස් වතුරේ ගිල්වා පාසල් අධ්‍යාපනයේ සිටම සාමූහිකත්වය අත්හැර දමා මනුෂ්‍යත්වය අහිමි කර තිබෙනවා. අපි ගොඩනගන්න ඕනෑ අනෙකාගේ දුක දැනෙන සහකම්පනය සහිත සාමූහික සමාජයක්. අපේ සමාජයේ කාන්තාවන්ට ආරක්ෂාවත් ගෞරවයත් නැහැ. නරුම අදහස් තිබෙන මිනිස්සුත් එක්ක රටක් ඉස්සරහට ගෙනියන්න බැහැ. 1971 සහෝදරවරුන් තුළ මනුෂ්‍යත්වය, ගෞරවය, සටන්කාමිත්වය, මිනිසුන්ට ආදරය කිරීම, හොඳින්ම තිබුණා. ඔවුන් අපට කියා දුන්නේ ජනතාවට ආදරය කරන්නයි. සමාජය ඇතුලේ තිබිය යුත්තේ වෛරය, කුහකකම, පීඩාව, එදිරිවාදීකම් නොවෙයි, ආදරයයි. අපි නිර්මාණය කරන්න ඕනෑ එකිනෙකාට ආදරය කරන්න පුළුවන් සමාජයක්. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා රට ගොඩනැගීමේ සටන් පාඨය වෙනුවෙන් එකතු කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයෙ පමණයි. අනුර සහෝදරයා උතුරට ගිහිල්ලා කියා සිටියේ වට්ටපු රට අපි ගොඩනගමු කියලයි. ජාතික සමගිය ගොඩනගලා ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගමු කියන සටන් පාඨය අපි ඉදිරියට ගෙනයනවා. ඒ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් අපට තිබෙනවා.

අපි අලුත් විදිහට හිතන්නේ නැතිනම් අලුත් සමාජයක් ගොඩනගන්න බැහැ. අපි තුළ සාමූහිකත්වය නැත්නම් අපිට සාමූහික සමාජයක් ගොඩනගන්න බාැහැ. අපි අනෙකාට ආදරය කරන්නේ නැතිනම් ආදයෙන් පිරුණු සමාජයක් අපට ගොඩනගන්න බැහැ. අපි කැපකිරීම් කරන්නේ නැත්නම් රටක් ගොඩනගන්න බැහැ. මානව වර්ගයාට ආදරය කරන්න, කැපකිරීම් කරන්න සාමූහික අරගල කරන්න ඉගෙන ගන්න තිබෙන හොඳම තැන 1971 සහෝදරවරුන්ගේ දිවි පිදීමේ ආදර්ශයයි. අපි එයින් පන්නරය ලැබූ පිරිසක්. දැවැන්ත සමාජ පරිවර්තනයක් සඳහා වගකීමක් සහ වගවීමක් අපට තිබෙනවා. අවුරුදු 76ක් පුරා විශේෂයෙන් 1977න් පස්සේ විනාශ කළ සමාජයක් අපට තිබෙන්නේ. හැමදේකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා සමාජයක් පසුගිය අවුරුදු හතළිස් ගණන පුරා බිහිකර තිබෙනවා. අනෙක් හැමදෙයක වගේම මිනිසුන්ගේ මිලත් දන්නවා, ඒත් වටිනාකම දන්නේ නැති සමාජයක් තිබෙන්නේ. සරල ආණ්ඩු මාරුවක් නොවෙයි, සමාජය ගැඹුරින් වෙනස් කිරීමේ වගකීමක් අපට තිබෙනවා. මේ වෙනුවෙන් අපි පෙළගැසෙමින් එන අතර, සතුරන් විශාල වශයෙන් කලබල වී සිටිනවා. මේ නිසා එක පැත්තකින් සමගි ජන බලවේගයේ පිරිසක් ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාද කරන්න අපිට අභියෝග කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ අපිව හිරකරපු අයම අපට විවාදයකට කතා කරනවා. ඒ අයට අපි උත්තර දුන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති අය වෙනුවට ජනාධිපතිවණයකදී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමග ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා අපි කියලා තිබෙන්නේ. දැන් ඒ අය ඊට කලින් අනෙක් අය කරන එක හොඳ නැද්ද කියා අහනවා. රූපවාහිනී නාලිකාත් ඒකට ලැහැස්ති වෙනවා. සජිත් ප්‍රේමදාස තනියෙන් මොනවා හරි කීවොත් ඇරෙන්න රූපවාහිනී සංවාදවලට ඇවිත් නැහැ. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි.

Tilvin-Polonnaruwa-April-Commemoration

අනෙක් පැත්තෙන් මැදපෙරදිග තෙල් විකුණනවා වගේ අපේ රටේ සම්පත් විකුණන්න අනුමැතිය දෙන අය තර්ක ඉදිරිපත් කරමින් විවාදයක් ගැන කියනවා. මැදපෙරදිග තෙල් විකුණනවා මිසක තෙල් ළිං විකුණනවාද? ඔවුන් තෙල් නිධිය නොවෙයි නිෂ්පාදිතය විකුණන්නේ. අපි කිරි විකුණනවා වෙනුවට ගොවිපොළ විකුණන්න ලැහැස්ති වෙන්නේ. මේ හාදයන්ට ඕක තේරෙන්නේ නැහැ. ඔන්න ඔය සරල දේවත් තේරෙන්නේ නැති අයට අපි කියන්නේ විකුණන් කෑමේ ප්‍රතිපත්තිය වෙනුවට රට හදන ප්‍රතිපත්තියකට යන්න ඕනෑ. අනෙක් පැත්තෙන් කියනවා නම්, වෙනත් විවාදයක් කරන්න අපි ඒක ඒ වෙලාවට බලාගනිමු. දැන් ඔවුන් විශේෂයෙන්ම රූපවාහිනී සංවාදවලදී කරුණුමය වශයෙන් උත්තර දෙන්න බැරිවෙනකොට 88-89 ගැන කියනවා. 1971ටත් අදාළව විකෘති කර තිබෙන ඉතිහාසය ගැන අපි ටිකක් කතා කළ යුතු වෙනවා. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා. 1971 ගැන ඒගොල්ලන්ට අනුව අපට කියන්නේ කැරලිකාරයෝ කියලා. ඒ කාලයේ ප්‍රචාරය කළ අවලාදයක් වුණේ අවුරුදු 55ට වැඩි අය මරාදමනවා කියලා. 1980 දශකය අවසානයේ එහෙම තමයි. ඔවුන් දැවැන්ත මර්දනයක් දියත් කර, ඉතිහාසය ඔවුන් ලිව්වා. ඒ ගොල්ලෝ වැරදියට ලියූ ඒ ඉතිහාසය අපි ඉතා ඉක්මනින් නැවත ලියන බව අවධාරණය කරනවා. ඒ ඉතිහාසය නැවත ලියන පරපුර අපි. ඇත්තටම 88ට පටන් ගත්තේ ඊට බොහොම කලින්, 1978 ඉඳලා. ඒ නොදන්නා අයගේ දැනගැනීමට අපි කියන්නේ 78-90 දක්වා විශාල කාල පරිච්ඡේදයක ජයවර්ධන – ප්‍රේමදාස භීෂණයක් තිබුණු බවයි. ඒ ඉතිහාසය අපි හරියට තේරුම් ගත යුතු වෙනවා.

1977 මැතිවරණයෙන් 5/6ක බලයක් අරගෙන ආව ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව වෙනස් කොට අලුත් ව්‍යවස්ථාවක් එක්ක විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නා. එදා ඔහු කීවේ විධායක ජනාධිපති ධුරයෙන් ගැහැනියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගැහැනියෙක් කරන්නත් හැර අනෙක් හැම දෙයක්ම කළ හැකි බවයි. ඔහු තමන්ගේම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන සාක්කුවේ දාගත්තා. ජේ.ආර්. තමන්ගේ පක්ෂයටවත් ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ නැහැ. දැන් ඔය කටමැත දොඩවන මහත්තුරුන්ට කියන්නේ. ඊට පස්සේ 1980 ජූලි වර්ජනයට විරුද්ධව අත්‍යවශ්‍ය නියෝග පනවනවා. හදිසි නීතිය දාලා ලක්ෂයකට වැඩි රජයේ සේවකයන් එළියට දැම්මා. එතනින් නතර නොවී වර්ජකයන් කනත්තට යවන බව කීවා. වැඩවර්ජන සහ සාමකාමී උද්ඝෝණවලට ගහන්න වෙනම මැර කණ්ඩායම් ගොඩනැගුවා. උපාලි විජේවර්ධනගේ දිවයන පත්තරේ ඒ මැර කණ්ඩායම්වලට “තග් සංස්ථාව” කියලා නමක් දැම්මා. 1980 ජූලි වර්ජනයට කලින් ඒ මැරයන් යොදවා පහරදී සෝමපාල නම් කම්කරුවෙක් ඝාතනය කළා. ඒ වගේම රට පුරා මැර ඇමතිවරු කණ්ඩායමක් සිටියා. 1978න් පස්සේ, අපි ප්‍රසිද්ධ දේශපාලනය කරගෙන යනනොට අපට පහර දුන්නා. කැකිරාවේ මහින්දසෝම, කඩුවෙල පෝල් පෙරේරා, මහියංගනයේ කැප්ටන් සෙනෙවිරත්න වගේ මැර ඇමතිවරු භීෂණ පාලනයක් ගෙන ගියා.

Tilvin-Polonnaruwa-April-Commemoration

ඊට පස්සේ 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය පැවැත්වූවා. ඇමතිලා මැරයෝ අරගෙන යාපනයට ගිහින් දකුණු ආසියාවේ වටිනාම පුස්තකාලයට ගිනි තබා මැතිවරණ භීෂණයක් ඇති කළා. ඒ වෙනුවෙන් ගාමිණීලා තුන්දෙනෙක් මූලික වී ක්‍රියාකර තිබුණා. ගාමිණී දිසානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ගාමිණී ලොකුගේ. උතුරේ යුද්ධයක් නිර්මාණය වෙන්නත් මේ තත්වය බලපෑවා. 1982 අධ්‍යාපනය විනාශ කරන්න රනිල් මැදිහත් වී ගෙන ආ ධවල පත්‍රිකාවට විරුද්ධව උද්ඝෝෂණය කළ සිසුන්ට පොලිස් අශ්වයන් යොදවා පහර දුන්නා. ඒ කාලයේ අපේ නායකත්වයේ තිබුණ ශිෂ්‍ය ව්‍යාපාරයට ඒ ප්‍රහාරවලට ලක්වෙමින් ධවල පත්‍රිකාව පරාජය කරන්න හැකි වුණා. එයින් නතර නොවී කාන්තා දිනයකදී පෙළපාළි ගිය සමසමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධනට පහර දුන්නා. ඒ වගේම ජාත්‍යන්තර දෘෂ්‍යාබාධිත දිනයේදී දෘෂ්‍යාබාධිතයන් විසින් පැවැත් වූ සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කළ උද්ඝෝෂණයකට පහර දුන්නා. ‘ධර්මිෂ්ට සමාජය’ පොත ලියූ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාට කාණුවක දමා පහර දුන්නා. ඒ වගේම සමහර නඩු තීන්දු දුන් විනිසුරුවෙන්ගේ නිවාස ඉදිරියට ගොස් “හූ” කියා ගල්ගැහුවා. ගෝනාවල සුනිල් කියන එක්සත් ජාතික පක්ෂයේ මැර ස්ත්‍රී දූෂකයාට ජනාධිපති සමාව දී නිදහස් කරගෙන මුළු දිවයිනටම බලපාන සාමදාන විනිශ්චයකාර ධුරයක් දුන්නා. ජේ.ආර්.ගේ මැරයන් ගැටඹේ පන්සල කොටුකර කටු කම්බි ගැහුවා. එතනිනුත් නතර නොවී 1983 මහ මැතිවරණය නොතියා බලය රැකගන්න 1982 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයක් පවත්වා අන්ත දූෂිත මැතිවරණයක් ඉතිහාසයට එක් කළා. 1983 කළු ජූලිය නිර්මාණය කළේ ඉන්පසුවයි. අපි මේ කියන්නේ ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන් ගැන නොවෙයි. ජයවර්ධනය පාලනයෙන් කළු ජූලිය නිර්මාණය කර අහිංසක දෙමළ ජනතාවට පහර දී මරා දමමින් ගෙන ගිය විනාශය පිළිබඳවයි. ‘සිරි පතුල’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කේ. වෙන්කට් නිර්මාණකරුවා පණපිටින් පුච්චා මරා දැමුවා. දෙමළ ජනතාවට අයත් රටේ දේපොළ කොයිතරම් ප්‍රමාණයක් විනාශ කළාද? ඒ කළු ජූලිය යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජය පක්ෂය තහනම් කළා. අනෙක් පක්ෂ දෙකේ තහනම පස්සේ අයින් කර, ජනතා විමුක්ති පෙරමුණේ තහනම දිගටම පවත්වාගෙන ආවා. අපි කිසි වරදක් කර තිබුණේ නැහැ. අපිට කිසිදු නඩුවක් තිබුණේ නැහැ. ඔවුන් ඇති කළ, ජූලි කලබල උපයෝගී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම ගැන මොකද කියන්නේ කියලා 1988-1989ට ඇඟිල්ල දික් කරන අයගෙන් අපි අහනවා. එය අපට එරෙහිව ක්‍රියාත්මක කළ දේශපාලන කුමන්ත්‍රණයක්.

එයින් නතර නොවී අපේ පක්ෂයේ නායකයින්ගේ ඔළුවලට රුපියල් පනස්දහ ගානේ ලන්සු තිබ්බා. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ වගේ පස්දෙනෙකු අල්ලා ගත් අයෙකුට පනස් දහස බැගින් දෙන බවට ප්‍රචාරය කළා. අපේ රටේ කවුරුත් ඒ පනස් දාහ ගන්න ගියේ නැහැ. අපේ පක්ෂය තහනම් කළාම අපි කරගෙන ගියේ ඒ තහනම ඉවත් කර ගැනීමේ දේශපාලනයයි. තහනම් කර වසරක් වන විට රට පුරාම “ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර වසරයි. තහනම වහා ඉවත් කරනු” කියලා පෝස්ටර් ගැහුවා. මෙහෙම ගිහින් ආණ්ඩුව 1987 ඉන්දියාවට යටවෙලා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. ඊට එරෙහිව රට පුරාම විරෝධයක් ආවා. ගිවිසුම අත්සන් කර ආව ඉන්දීය අගමැති රජිව් ගාන්ධි වෙනුවෙන් පැවැත්වූ පෙළපාළියේදී නාවික භටයෙක් රයිපල් බඳෙන් ඔහුට පහර දුන්නා. එයා අපේ පක්ෂයේ සහෝදරයෙක් නොවෙයි. මේ ගිවිසුමට විරුද්ධව රට පුරාම ජනතාව ලක්ෂ ගණනින් පෙළපාලි ගියා. කොටුව බෝ ගහ ළඟට ආව පෙළපාලියට වෙඩි තබලා සාමකාමී ජනතාව 147ක් ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් ඝාතනය කළා. අන්න එහෙම ආව මර්දනයට ප්‍රතිචාර දක්වන එක තමයි සිදුවුණේ. අපව තහනම් කර තිබූ ව්‍යාපාරයක් හැටියට ප්‍රතිචාර දක්වන්න අපට සිදු වුණා. 1988 කියන්නේ ක්‍රියාවක් නොවෙයි, ප්‍රතික්‍රියාවක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී මහා භීෂණ පාලනයට අපි දැක්වූ ප්‍රතික්‍රියාවක්. අපේ රටේ ජනතාව ඝාතනය කරන්න ඔවුන් නිල නොවන හමුදා හැදුවා. ‘කොළ කොටි’, ‘කළු බළල්ලු’, ‘කහ බළල්ලු’, ‘ඝ්‍රා’, ‘ප්‍රා’ වගේ සංවිධාන හදාගෙන අපේ රටේ තරුණ තරුණියන් දහස් ගණනින් ඝාතනය කළා. බොහෝ ඝාතන සිදු කර, ඒවා තහනම් කර තිබූ අපේ මත පැටෙව්වා. විජය කුමාරතුංග ඝාතනය එක්සත් ජාතික පක්ෂයෙන් කළ බව ඒ සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිfමේ හෙළි වුණු බව චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රසිද්ධියේ කීවා. එයා පස්සෙදි එක එක කතා කීවාට ජනාධිපති කොමිමේදී කරුණු හෙළි වී තිබුණා. ප්‍රසිද්ධ ගීත රචකයෙක් වූ ප්‍රේමකීර්ති ඝාතනය කර අපේ පිට දැම්මා. ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ, දරුවෝ, මහින්ද රාජපක්ෂගේ මුහුණටම කියා තිබෙන්නේ ප්‍රේම් මරපු ඝාතකයා මහින්ද රාජපක්ෂ සමග සිටින බවයි. එවැනි භීෂණ ව්‍යාපාරයක් ගෙනියලා 60,000කට කිට්ටු අපේ රටේ ජනතාවක් මරා දැම්මා. ඒවාට ප්‍රතිචාර දක්වීමේදී සිදු නොවිය යුතු දේවල් සිදුවී ඇති බව අපි පිළිගෙන තිබෙනවා. ඒ කාලයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඇමතිවරු රට පුරාම විශාල වධකාගාර ප්‍රමාණයක් පවත්වාගෙන ගියා. එකක් තමයි රනිල්ගේ බටලන්ද. රිචඩ් ද සොයිසා, නීතිඥ විජේදාස ලියනාආරච්චි වැනි අය ඝාතනය කිරීම දක්වා මහා අපරාධ ප්‍රමාණයක් සිදු කළා. ඉතිහාසය විකෘති කර ප්‍රශ්න කරනවා වෙනුවට ජේ.ආර්. සහ ප්‍රේමදාස පාලනයෙන් ප්‍රශ්න කරන ලෙස අපිව ප්‍රශ්න කරන අයට අපි කියනවා.

Tilvin-Polonnaruwa-April-Commemoration

ඉතා දුෂ්කර කොන්දේසි මැද්දෙත් ප්‍රචණ්ඩ නොවී දේශපාලනය කළ හැකි බව 1990න් පස්සේ අපි ඔප්පු කොට තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ චම්මික සුදන්ත, උද්ඝෝෂණයකදී මාතලේ සිරිදාස සහෝදරයා, අම්බලන්ගොඩ නයිදුවාවඩු සහෝදරයා ඇතුළු සහෝදරවරු ඝාතනය කළා. කටුවනදි ජූලම්පිටියේ අමරේ වෙඩි තියලා රැස්වීමක් සිටි දෙන්නෙක් ඝාතනය කළා. අපි ප්‍රචණ්ඩකාරී වුණේ නැහැ. 88-89 ගැන අපි වෙනම කතා කරමු. අද සතුරන් කලබල වෙලා ඉන්නේ. පරාජයෙන් වියරු වැටිලා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ගමන් මඟ නතර කරන්න උත්සාහ කරමින් ඉන්නේ. අපිට වගකීමක් තිබෙනවා. ඉතිහාසය නිරවුල් කරන්න ඕනෑ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ. හොඳ දේවල් ඉතිරි කර ගන්නත්, අයින් කළ යුතු දේවල් අයින් කරන්නත් පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි.

1971 අරගලයේ සහෝදරවරුන්ට හදවතේ විශ්වාසයක් තිබුණා. මේ ජරාජීර්ණ සමාජය වෙනුවට යහපත්, සාධාරණ සමාජයක් ගොඩනඟන්න. සහෝදරත්වය, සාමූහිකත්වය තිබෙන මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් ගොඩනඟන්න ඕනකමක් තිබුණා. සටන් කළේ ඒ වෙනුවෙන්. දැන් අවුරුදු 53කට පස්සේ අපේ රට වෙනස් වෙලා. ඒ සමාජය නිර්මාණය කිරීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ වෙනස් කිරීම කළ හැක්කේ මුළු මහත් ජනතාවත් සමගයි. රටක් වෙනස් කරන්න නායකයෝ කිහිප දෙනෙකුට බැහැ. නායකයෙකුට පක්ෂයකට පුළුවන් නායකත්වය දෙන්න. අද අපි මහා ජනතාවක් සංවිධානය කර, මහා දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කරන්න සමත් වෙලා තිබෙනවා. වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, දේශප්‍රේමී සියලු බලවේග එකතු කර තිබෙනවා. අපේ සමාජයට අවසාන වශයෙන් විශ්වාස කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ සහිත ජාතික ජන බලවේගය කියලා සමාජය පිළිඅරගෙන තිබෙනවා. එතනට මේ ව්‍යාපාරය ගේන්න හැකි වුණේ 1971 සහෝදරවරු කළ කැපකිරීම් සහ ඔවුන්ගේ දෘෂ්ටිය මතයි. ඔවුන් විශ්වාස කළා යහපත් සමාජයක් ගොඩනැගිය යුතුයි හා හැකියි යන්න. ඒ සමාජය අප ඉදිරියේ පෙළගැසී තිබෙනවා. වියරු වැටුණු විරුද්ධවාදීන් ඉදිරියටත් තව නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. මේ පැත්තෙන් අවලාද ගහනවා. අනෙක් පැත්තෙන් ජනතාව මිලදී ගැනීමට උත්සාහ ගනිමින් ඉන්නවා.

Tilvin-Polonnaruwa-April-Commemoration

පාලක කණ්ඩායම්වලට ජනතාව ඉදිරියේ හැමදාම තිබුණේ උත්තර දෙකයි. එක්කෝ මර්දනය නැතිනම් වරදාන දෙන එක. මේ කාලයේ එයාලට බලයක් නැති නිසා මර්දනය අපහසු වෙලා තිබෙනවා. ඒ වගේම අපිව මිලදී ගන්නත් බැහැ. දැන් බඩු බෙදන්න පටන් අරගෙන තිබෙනවා. දරුවන්ට කෑම බෙදන්න පටන්ගෙන තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර කන්න නැති දරුවන් පාසලේ රැස්වීමෙදි කලන්තෙ දාලා වැටුණා. එතනදි පිහිට වුණේ ගුරුවරු. එදා ඒක රනිල්ට පෙණුනේ නැහැ. අපේ රටේ ලොකුම අර්බුදය මේ නිකම් දීපු එක කිව්ව රනිල් අද උත්සව සමයේ හාල් කිලෝ 20ක් බෙදන්න පටන්ගෙන තියෙනවා. අපට දවස් පහකට කන්න දීලා අවුරුදු පහකට රට කන්න ඉල්ලනවා. අපට ප්‍රතිපත්තිමය දේශපාලනයක් අවශ්‍යයි. දැක්මක් මත, ප්‍රතිපත්ති මත රට වෙනස් කරන්න දේශපාලනයක් අවශ්‍යයි කියලා මුලින්ම උගන්වපු කණ්ඩායම තමයි 1971 සහෝදරවරු. හාල් කිලෝ පහකට අපේ ඡන්දය වෙනස් නොකරන බව අපි සමාජයට කියන්න ඕනෑ. අපි ඉදිරියේ මොනතරම් දුෂ්කරතාවයක්, අභියෝග ආවත් ඉස්සරහා දණ ගහන්නේ නැති පිරිසක් කියන එක සහතික කොට කියනවා. අපි අවලාදවලින් සැලෙන්නේ නැහැ. එංගලන්තේ වින්සටන්ට් චර්චිල් කියා තිබෙනවා “ඔබ ගමනක් යන විට අතරමගදී ඔබට බුරන හැම බල්ලාටම ගලකින් ගහන්න නතර වුණොත් ගමන යන්න වෙන්නෙ නැහැ” කියා. ලෙනින් සහෝදරයා වරෙක “වස්කා නමැති බළලා ඇහුම්කන් දෙයි, එහෙත් දිගටම කාගෙන කාගෙන යයි” කිවුවා. ඒ ගොල්ලෝ මොනතරම් අවලාද නැගුවත්, බාධා මොනතරම් ඇති කළත් මේ සටන අපි ජයග්‍රහණයෙන් තොරව ආපසු හැරෙන්න දෙන්නේ නැති බවට අපි 53වැනි අප්‍රේල් සමරුවේදී සහතික වෙනවා.

ඔබ, අපි විශාල කාලයක් හීනයක් හිතේ තද කරගෙන ආවා. අපේ දූ දරුවන්ට, මුළු මහත් ජනතාවට සතුටින් ජීවත් වෙන්න සමාජයක් හදන්න. එකිනෙකාගේ දුක දකින, සහකම්පනය තිබෙන, හදවතේ තෙතමනය තිබෙන මිනිස්සු ඉන්න සමාජයක් හදන්න. ශක්තිමත් ආර්ථිකයක් හදලා එහි ප්‍රතිලාභ හැමෝටම බෙදිලා යන සමාජයක් හදන්න. අපේ රට ලෝකයේ ප්‍රබලයෙක් ලෙස සිටින රටක් හදන්න. ඉතා දුෂ්කර, දීර්ඝ ගමනක් ආවා. රත්න ශ්‍රී කවියා කිවුවා වගේ “ආ ගමන දුෂ්කරයි – විටෙක අපි ඇද වැටුණා සැබැයි – එහෙත් නතරව එතැන – වැලපිය යුතු නොවෙයි – අප යා යුතුයි” අපි ඒක විශ්වාස කළා. අපි ජයග්‍රහණය පේන මානයට ඇවිත් තිබෙනවා. අපේ රට ලෝකයේ තිබෙන සුන්දරම රට බවට පත්කළ යුතුව තිබෙනවා. ඒ සඳහා 1971 අරගලයේ දිවි පිදූ සහෝදර සහෝදරියන්ගෙන් අත්දැකීම් එකතු කර ගනිමු. ධෛර්යය, ශක්තිය, විශ්වාසය එකතු කර ගනිමු. අරමුණ කෙරෙහි නොසෙල්වී ගමන් කිරීමේ ගුණය අපි එකතු කර ගනිමු. අපි ඔක්කොම එකට වෙළිලා, එක කණ්ඩායමක් හැටියට මේ සටන ජයග්‍රහණය කරමු.

Show More

“උතුරේ, දකුණේ, නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු” -ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක-

(ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව – 2024.04.04 දින යාපනයේදී) අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට රැකියාවක් නැහැ. අපේ කාන්තාවන් විශාල ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා. අපේ රටට ගත්ත ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක හිරවෙලා, කිසිදු ආයෝජකයෙක් එන්නේ නැති […]


(ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව – 2024.04.04 දින යාපනයේදී)

Jaffna-Teachers-AGM

අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට රැකියාවක් නැහැ. අපේ කාන්තාවන් විශාල ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා. අපේ රටට ගත්ත ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක හිරවෙලා, කිසිදු ආයෝජකයෙක් එන්නේ නැති රටක් බවට පත්වෙලා. අලුත් ණයක් අරගන්න බැරිතරමට ලෝකය තුළ විශ්වාසය බිඳ වැටිලා. මේ රට ගොඩනගන්න අපට අවශ්‍යයි. අපි ඔබ හමුවෙන්න ආවේ මේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? මේ රට ගොඩනගන්නේ කොහොමද කියලා කතා කරන්න.

අපේ රටේ ඇතිවී තිබෙන මෙම අර්බුදය ස්වභාවික විපතක ප්‍රශ්නයක්ද? මහා ගංවතුරක්, සුළි කුණාටුවක්, සුනාමියක් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්ද? නැහැ මෙය අපේ රට දීර්ඝ කාලයක් පාලනය කරන ලද කණ්ඩායම් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්. විශේෂයෙන් අපේ රට අනුගමනය කරන ලද දේශපාලන සංස්කෘතියත්, ආර්ථික ප්‍රතිපත්තියත්, මේ අර්බුදය ඇතිකර තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ දේශපාලන සංස්කෘතියත්, ආර්ථික ප්‍රතිපත්තියත් වෙනස් වෙන්න ඕනෑ. අපි දන්නවා මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව. උතුරේ ජනතාව ජනාධිපතිවරණයකට උනන්දු නොවෙන බව අපි දැක තිබෙනවා. අපේ රටට ජනාධිපතිවරයෙක් තෝරන එක, කොළඹ නායකයෙක් පත්කරගන්නා සිංහල ජනතාවගේ වැඩක් වගේ අදහසක් තිබෙනවා. අපේ රටේ තෝරන ලද ජනාධිපතිවරුන් අනුගමනය කළ ප්‍රතිපත්ති උතුරටත් දකුණටත් විනාශකාරී ලෙස බලපා තිබෙනවා. ඒ නිසා රටට නායකයන් තෝරා ගැනීමේදී උතුරේ ජනතාවගේ සක්‍රීය මැදිහත්වීම අවශ්‍යයි කියා අපි සිතනවා.

Jaffna-Teachers-AGM

අපි ඔබව හමුවෙන්න ආවේ, ඔබලාට 13 ප්ලස් දෙන්නම්, ෆෙඩරල් දෙන්නම්, ඔබ අපට ඡන්දෙ දෙන්න කියා ඉල්ලන්න නොවෙයි. අපි ඔබ හමුවෙන්න ආවේ මේ රට කඩා වැටී තිබෙන විපත්තියෙන් ගොඩගන්නේ කොහොමද කියා කතා කරන්න. දීර්ඝ කාලයක් අපේ නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට අපේ රට ගොඩගන්න පුළුවන්ද කියා කතා කරන්න. අපි හැමදෙනාටම කියන්නේ අපේ රටට අලුත් පාරක් ඕනෑ කියලා. ඒ නිසා අපි ආවේ අලුත් පාරක් සොයා බැලීම ගැන කතා කරන්න. අපේ රට වෙනස් කරන්න නම්, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය මොකක්ද? ඉතාමත් විනාශකාරී පොලිටිකල් කල්චර් එකක් තමයි මේ රටේ තියෙන්නේ. වංචාවෙන් දූෂණයෙන් පිරී තිබෙනවා. භාණ්ඩාගාරයට එන මහජනයාගේ ධනය ඇමතිවරුන්ගේ ගිණුම්වලට, කූට ව්‍යාපාරිකයන්ගේ ගිණුම්වලට හරවා තිබෙනවා. භාණ්ඩාගාරයට ආපු ධනය දේශපාලකයන් නාස්ති කරනවා, සොරකම් කරනවා.

ඔබ දන්නවා බාල බෙහෙත් චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරගතකරලා. රටේ ජනාධිපතිවරයාට මහ බැංකුව මංකොල්ල කෑම පිළිබඳව චෝදනාවක් තිබෙනවා. වර්තමාන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කෑ ගහලා කිව්වා ජනාධිපතිවරයා බැංකු හොරෙක් කියලා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කෑගහලා කිව්වා මහින්ද රාජපක්ෂ හොරෙක් කියලා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නැද්ද?

Jaffna-Teachers-AGM

අපේ රටේ උතුරේ ජනතාවත්, දකුණේ ජනතාවත් මේ දූෂිතයන්ගේ ග්‍රහණයට අසුවී ඉන්නවා. මේ දූෂිතයන් උතුරෙත් දකුණෙත් අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරමින් ඉන්නවා. අපේ රට ගොඩනගන්න මේ දූෂණය නතර කළ යුතුයි. අපි ජාතික ජන බලවේගය ඒ වැඬේ කරන බවට ඔබට සහතික වෙනවා. මහජනයාගේ ධනය නාස්තිකරන දේශපාලනය නතර කරන්න ඕන නැද්ද? අපේ රටේ කිසිදු මූල්‍ය රෙගුලාසියකට අනුව ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල් ගෙවන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් අමාත්‍යවරයාට අවශ්‍ය වෙන මුදල්, ප්‍රතිපාදනය කොට දෙනවා. හැබැයි, ඇමතිවරුන්ගේ ගෙවල්වල වතුර බිල්, ලයිට් බිල් ගෙවන්නේ මහජනතාවගේ ධනයෙන්. සමහර ඇමතිවරුන්ගේ මාසික ලයිට් බිල එක්ලක්ෂ තිස්දාහයි. ගෙවන්නේ මහජනතාවගේ ධනයෙන්. වැසිකිළි කැසිකිළි පහසුකම් දෙන්නේ මහජනයාගේ ධනයෙන්. ඇමතිවරයාට, බිරිඳට, ඔහුගේ දරුවන්ට මහජනතාවගේ ධනයෙන් වාහන ලබාදෙනවා. මේ නාස්තිකාර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නැද්ද?

ජනාධිපතිවරයාට විදෙස් සංචාරය සඳහා අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඒ වෙන්කළ මුදල් ජනාධිපතිවරයා අවුරුද්ද පටන් ගන්නකොටම වියදම් කර ඉවරයි. පසුගිය දිනෙක රුපියල් මිලියන 200ක් ඔහුගේ විදෙස් සංචාර සඳහා වෙන්කර ගත්තා. තනි පුද්ගලයෙක් වෙනුවෙන් එතරම් මුදලක් දැරිය යුතුද? මේ අපේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගේන්න, දරුවන්ට උගන්වන්න, පහසුකම් දෙන්න, ගමේ පාර හදන්න, පානීය ජල ව්‍යාපෘතියක් දියත් කරන්න, තිබෙන සල්ලි, අතළොස්සක් නාස්තිකරමින් තිබෙනවා. අන්න ඒ දේශපාලන සංස්කෘතිය අපි නතර කරන්න ඕනෑ.

Jaffna-Teachers-AGM

ඒ විතරක් නොවෙයි, අපේ රටේ අපරාධ, කුඩු ව්‍යාපාර පිටුපස්සේ ඉන්නේ දේශපාලකයන්. අපරාධකරුවන්, කුඩු ව්‍යාපාරිකයන් රටක් පාලනය කරනවා. එහෙම රටකට ඉදිරියට යන්න හැකිද? අපේ රටේ නීතියක් තිබෙනවා. පොඩි අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. උඩ අය නීතියෙන් බේරෙනවා. වර්තමාන පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවම් ලබපු කෙනෙක්. ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තිබෙනවා. එහෙම කෙනෙක් කොහොමද, රටේ නීතිය සාධාරණව ඉටුකරන්නේ. සියලුම සංස්ථා කඩා වැටී තිබෙන්නේ. එහෙම රටකට ඉස්සරහට යන්න හැකිද? ඔබට යම් ප්‍රශ්නයක් වෙලා පොලීසියට ගියොත් සාධාරණත්වය ඉටුවෙයි කියා විශ්වාසයක් තිබෙනවාද? එහෙම විශ්වාසයක් නැහැ. අපි ඉදිරියේ තිබෙන්නේ කඩා වැටුණු රාජ්‍යයක්. උතුරේ, දකුණේ, නැගෙනහිර බේදයකින් තොරව, අපි කඩා වැටුණු රාජ්‍යයේ ගොදුර බවට පත්වී තිබෙනවා.

මෙතරම් ව්‍යසනයක් වී තිබියදී, රටකට කළ හැකි සෑම අපරාධයක්ම කර තිබියදී, ඒගොල්ලෝ බලයේ ඉන්නේ කොහොමද? මොකක්ද ඔවුන් බලය පවත්වාගෙන යාමේ රහස. ඔවුන් බලය පවත්වා ගන්නේ ජාතිවාදයෙන්. අනෙක් ප්‍රශ්න සියල්ලම යට කරලා සිංහල නායකයන් රට, ආගම, ජාතිය බේරා ගැනීම කියන බෝර්ඞ් එකෙන් රට අවුස්සනවා. ඒක තමයි ඔවුන්ගේ පැවැත්ම. උතුර, නැගෙනහිරත් එහෙමයි. ජාතිවාදය, මේ විනාශකාරී දේශපාලකයන්, ඔවුන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධකය බවට පත්කරගෙන තිබෙනවා. අපට ජාතික සමගිය ගොඩනැගීමේ දැක්මක් තිබුණේ නැහැ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ සමගිය වැළැක්වුවා. සුද්දා එදා අපේ රට පාලනය කළේ අපව බෙදා වෙන්කරලා. 1505 සිට 1948 දක්වා විදේශීය බලවතුන්ගේ ආදිපත්‍යයට අපි යටත් වෙලා තිබුණා. 1815 සිට 1948 දක්වා මුළුමනින්ම සුද්දාගේ ආධිපත්‍යයට මුළු රටම යටත් වෙලා තිබුණා. අවරුදු 133ක්ට පස්සේ රට බාර ගත්ත කළු සුද්දා ඊටත් වඩා වැඩියෙන් අපව බෙදුවා. අපට ජාතික සමගිය නිර්මාණය කරන්න බැරි වුණා. 1948 නිදහස ලබලා 1949 පුරවැසි පනත ගේනවා. කඳුරට ජනතාවගේ දේශපාලන අයිතිය අහෝසි කළා. ඒකට විරුද්ධව 1949 දී චෙල්වනායගම් මහතා ‘තමිල් අරසු කච්චි’ ගොඩනඟනවා. 1956දී භාෂා ප්‍රශ්නයත්, 1958දි දෙමළ සිංහල කෝලාහලයත් පැන නගිනවා. 1981 දි යාපනයේ පුස්තකාලය ගිනි තියනවා. 1983දි ජූලි කලබල ඇති කරනවා. 2009 යුද්ධය අවසන් වෙනවා. යුද්ධය අවසන් වුණාට පසුව මේ ප්‍රශ්නය විසඳුනාද? 2015 වෙනකොට වඳ කොත්තු, වඳ ඇඳුම් එනවා. 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා. මුළු ඉතිහාසයම ගැටුම්කාරී ඉතිහාසයක්.

අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් යනු අනෙකාට එරෙහි දේශපාලනය. දකුණේ සිංහල ජනතාව සංවිධානය කරන්නේ උතුරට එරෙහිව. උතුරේ දෙමළ ජනතාව සංවිධානය කරන්නේ සිංහල ජනතාවට එරෙහිව. මුස්ලිම් ජනතාව සංවිධානය කරන්නේ සිංහල ජනතාවට එරෙහිව. මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට එරෙහිව සංවිධානය කරනවා. ඒ දේශපාලනය කළේ අපේ සීයලා, අපේ අම්මලා, තාත්තලා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා. මෙය නැවත ඇතිවෙන්න දෙන්න ඕනද? අපේ පරම්පරාවේ ලේවලින් මේ පොළොව තෙත් වුණා. දෙමව්පියන්ගේ කඳුළු ගංගාතරම් ගැලුවා. බිරින්දෑවරුන්ට ස්වාමීන් අහිමි වුණා. දරුවන්ට දෙමව්පියන්, දෙමව්පියන්ට දරුවන් අහිමි වුණා. රටම ඛේකවාචකයක් වුණා.

Jaffna-Teachers-AGM

අපි මේ ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි, ඒ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්. අපි උතුරේ ඇත්ත දේශපාලන නායකයන්ට කියන්නේ, ඔබ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සැබවින්ම කල්පනා කරනවා නම්, අපි එකතු වෙන්න ඕනෑ. අපි උතුරේ නායකයන්ට ආරාධනා කරනවා උතුරේ දේශපාලන ප්‍රශ්නය විසඳීමේ දේශපාලනය බවට පත්කර ගනිමු. අපි එක්වෙලා එක ආණ්ඩුවක් හදමු. අපි අලුතින් හිතමු. අපි එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී නොවෙන්න පුළුවන්. ඒත් අපිට දැනෙනවා ඔබගේ වේදනාව. අපි හදන්න ඕන අලුත් රටක්. අපේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. ඒ භාෂාවන් දෙකටම සම අයිතිය තිබෙනවා. රාජ්‍යයත් එක්ක තමන්ගේ භාෂාවෙන් ගනුදෙනු කිරීමේ අයිතිය තිබෙනවා. දෙමළ පුරවැසියෙකුට, පොලීසියට ගොස් තමන්ගේ භාෂාවෙන් පැමිණිල්ලක් කිරීමේ අයිතිය තිබෙනවා. රජයට තමන්ගේ භාෂාවෙන් ලිපියක් යවනවා නම්, තමන්ගේ භාෂාවෙන් පිළිතුරු ලැබිය යුතුයි. ඒ නිසා රාජ්‍ය ආයතනවලට, ත්‍රිවිධ හමුදාවන්ට, රාජ්‍යයේ වැදගත් ක්ෂේත්‍රයන්ට දෙමළ තරුණ තරුණියන්ගේ අනුපාතය වැඩි කළ යුතුයි කියා අපි සිතනවා.

ආගමත් එහෙමයි. ආගම යනු තමන්ගේ විශ්වාසය. ඔබ ඉපදෙන්නේ හින්දු, දෙමළ පරිසරයේ. ඔබගේ ආගම, ඔබගේ සංස්කෘතිය හින්දු-දෙමළ සංස්කෘතියක් වෙනවා. මා ඉපදෙන්නේ සිංහල, බෞද්ධ පරිසරයක. මගේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. ඒ නිසා ඔබගේ විශ්වාසය පහත්කොට මගේ විශ්වාසය උසස් කොට සැලකිය හැකිද? සෑම කෙනාටම තමන්ගේ ආගම ඇදහීමේ, ආරක්ෂා කරගැනීමේ අයිතිය තහවුරු වෙන රාජ්‍යයක් අපේ රටේ බිහිවිය යුතුයි. ඓතිහාසික පුරාවස්තු සොයා ගන්නකොට, අපි රණ්ඩු පටන් ගන්නවා. අපේ වගකීම මොකක්ද? එම පුරාවස්තු ජාතික උරුමයන්සේ සලකා, ආරක්ෂා කොට, සංරක්ෂණය කොට, අනාගත පරම්පරාව වෙනුවෙන් සුරැකීම තමයි අපේ වගකිම. ඓතිහාසික ස්ථාන මතුවීම අපි ගහගන්න ඕන දෙයක්ද? අපේ එකිනෙකාගේ සංස්කෘතික වෙනස්කම් තිබෙනවා. ඔබගේ ප්‍රධාන උත්සවය තෛපොංගල්, මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන උත්සවය රාමසාන්, සිංහල ජනතාවගේ ප්‍රධාන උත්සවය වෙසක් උත්සවය. කතෝලික ජනතාවගේ ප්‍රධාන උත්සවය නත්තල්. ඒ අපේ සංස්කෘතික අනන්‍යතාවයන්. අපි සමාජයක් ගොඩනඟන්න ඕනෙ කොතෙන්ටද? එක් සංස්කෘතියක් බැහැර කරන, අනෙක් සංස්කෘතිය උසස් කියන සමාජයකටද? අනෙකාගේ සංස්කෘතීන්වලට ගරුකරන, පිළිගන්න නව පරම්පරාවක් අපට අවශ්‍ය නැද්ද? ඒ පරම්පරාව ගොඩනැගීමේ අවශ්‍යතාවය අපට තිබෙනවා. මේ පැරණි, ජාතිවාදී, ගෝත්‍රිකවාදී ඒවා සියල්ල අයිති පැරණි සමාජයට. ජාතිවාදය, ආගම්වාදය, ප්‍රතික්ෂේප කරන, එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරන, නව සමාජයක් අපේ රටට අවශ්‍යයි. ඒ නිසා අපි හැමදෙනාම පැරණි ඇඳුම් ගලවා දමා නව ඇඳුම් ඇඳගැනීමේ කාලය උදාවී තිබෙනවා. අපි පැරණි යක්ෂයාගේ පැරණි ලෝගුවේම ඉන්නවාද? වෛරය, ක්‍රෝධය, ලේ, ගැටුම්, වෙඩි උණ්ඩ, වෙඩි බෙහෙත් සුවඳ පැතිරුණු ලෝගුව ඇඳගෙන අනාගතයට යනවාද? එය ගලවා දමා ජාතික සමගියේ නව ඇඳුම ඇඳගෙන ඉදිරියට යනවාද? අපි ඔබට ආරාධනා කරන්නේ අන්න ඒ වෙනුවෙන් සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි.

Jaffna-Teachers-AGM

අපි ගනුදෙනු කරුවෝද? මා වෙළෙන්දෙක් නොවෙයි. ගනදෙනුකරුවෙක් නොවෙයි. මා ඇතුළු අපේ ව්‍යාපාරය යෝජනා කරන්නේ මේ රට ගොඩගන්න අපි සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි. අපේ අනාගත දරුවෝ යුද්ධ කරන්නේ නැති රටක් අපිට අවශ්‍යයි. අපේ අනාගත පරම්පරාවට මේ රට ගොඩනගමින් ජීවත් වෙන්න හොඳ ආර්ථිකයක් අවශ්‍යයි. අපිට නව දේශපාලනයක් අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ, අන්න ඒ නව දේශපාලනය වෙනුවෙන් එකතු වෙමු කියලයි. අපිට ඡන්දෙ දෙන්න කියලා මම ඔබට කියන්නේ නැහැ. මම යෝජනා කරන්නේ අපි එකතු වෙලා සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි. ආර්ථිකය ගමන් කරමින් තිබෙන දිසාව හොඳද? නීතියේ විධානයේ ආධිපත්‍යය හොඳද? අපේ අධ්‍යාපනය හොඳද? අපේ ගොවි ජනතාවගේ ජීවිතය, ධීවර ජනතාවගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය හැකිද? අපේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසය තැබිය හැකිද? ඒ කිසිවක් නැති, රාජ්‍යයක් මේක.

මේ සියලු ප්‍රශ්න අපේ රටේ දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න. අර්බුදයේ හේතුව දේශපාලනය නම්, විසඳුම තිබෙන්නෙත් දේශපාලනයෙන්. අපේ රටේ ජාතිවාදය දේශපාලන ජාතිවාදයක්. තම තමන්ගේ පැවැත්ම හා බලය ජාතිවාදය මත පැවැත්ම සකස් කර තිබෙන දේශපාලනයක්. මෙය වෙනස් කළ හැකි වන්නේ කෙසේද? ජාතිවාදී දේශපාලනයට එරෙහිව ජාතික සමගිය දේශපාලනය අතට ගැනීමෙන් විතරයි. අපට ආඩම්බරයක් තිබෙනවා දකුණේ බහුතරය ජාතිවාදයට එරෙහි කොඩිය අතට අරගෙන තිබෙනවා. උතුරේ ඔබට ආරාධනා කරන්නේ ජාතිවාදී කණ්ඩායම් ඉන්නවා නම්, ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ සටන ඉදිරියට ගනිමු. මේක අපේ පරම්පරාවේ වගකීමයි.

Jaffna-Teachers-AGM

ඒ වගේම මේ රට ගොඩනැගීමට ආර්ථිකයේ විශාල පරිවර්තනයක් අවශ්‍යයි. අපට ඉතිහාසයේ කාර්මීකරණය පිළිබඳ යම් දැක්මක් තිබුණා. ඒ සියල්ල විනාශ වුණා. පරන්තන්වල රසායනික කම්හලක් තිබුණා. වාලච්චේනේ කඩදාසි කම්හලක්, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලක් තිබුණා. අද ඒ කාර්මීකරණය කෝ. උතුරේ කුඩා ගම්මානවල රෙදිවිවීමේ මධ්‍යස්ථාන තිබුණා. සියලු ආයතන විකුණා දැමුවා. නැතිනම් වසා දැමුවා. මුළුමනින්ම ජාතික ආර්ථිකයේ කොන්ද විනාශකර දැමුවා. යාපනයේ සැර මිරිස්, මුරුංගා, රතු ළුෑණු අපේ ගමේ පොළට ආවා. අද සියල්ල විනාශ වෙලා. මේ දේශපාලන අධිකාරියට අපේ ජාතික නිෂ්පාදන ඉස්සරහට ගෙනියන්න සැලැස්මක් තිබුණේ නැහැ. උතුරු පළාතේ හොඳ කිරි නිෂ්පාදනයක් තිබුණා. අද කිසිවක් නිෂ්පාදනය කර ගන්න බැරි රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා.

නිදහස ලබා ගත්තාට පස්සේ, ඉන්දියාවේ ජාතික නායකයන්ට රට කුමන දිසායට ගෙන යා යුතුදැයි දැක්මක් තිබුණා. ඉන්දියානු දැක්ම ඔවුන් විසින් ගොඩනඟන අනාගතය අද ජයග්‍රහණ අත්පත් කරගනිමින් තිබෙනවා. හඳට යන ඉන්දියාවක්, කලාපයට වාහන, බෙහෙත්, ආහාර, තාක්ෂණය බෙදන ඉන්දියාවක් නිර්මාණය වුණේ කොහොමද? ඒ ඉන්දියාවේ අබ්දුල් කලාම්ට ජනාධිපතිවරයෙක් වෙන්න, මන්මෝහංසිංහට අග්‍රාමාත්‍යවරයෙක් වෙන්න, කුලහීන යැයි සමිමත කාන්තාවකට ජනාධිපති ධුරය හොබවන්න පුළුවන්කම තිබෙනවා. විවිධ ජාතීන් සිටින, විවිධ ආගමික ඇදහීම් තිබෙන විවිධ සංස්කෘතීන් තිබෙන රට එක කොඩියක් යටතට ගෙනඒමට පුළුවන්කම ලැබිල තිබෙනවා. අපේ ඉතිහාසය ගැටුම්වලින් පිරුණු ඉතිහාසයක්. අලුත් දේශපාලන පරිවර්තනයක් පටන් ගනිමු. උතුරේ දෙමළ ජාතික නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපි එකතු වෙමු. උතුරේ ජනයා, නැගෙනහිර ජනයා, දකුණේ ජනයා සියලු දෙනා නියෝජනය කරන ආණ්ඩුවක් හදමු. ඒ සඳහා සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි මේ පටන් ගන්නා ලද කුඩා පියවර අපේ රට විශාල ජයග්‍රහණයකින් කෙළවර කළ හැකියි කියා අපි විශ්වාස කරනවා.

Show More