Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“ඇමතිවරුන්ගේ බිල්පත් සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් ගෙවන්නේ පාර්ලිමේන්තු අනුමැතියක් පවා නොමැතිවයි” -ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා-

(-2024.04.04 – ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ මාධ්‍ය හමුව-) විගණකාධිපතිවරයා විසින් රජයේ මූල්‍ය අවභාවිතාව පිළිබඳ කරුණු විශාල ප්‍රමාණයක් හෙළි කර තිබෙනවා. රට අගාධයට වැටී මහජනතාවට ජීවිත පවත්වාගෙන යා නොහැකි වී තිබෙන කාලයකත් මහජනතාව නොදත් තොරතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම් ප්‍රමාණයක් මේ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිකරනවා. ලංකාවේ විශාලතම වියදම් සිදුකරන්නේ රජයේ දෙපාර්තමේන්තු ඇතුළු මහා භාණ්ඩාගාරයේ […]

(-2024.04.04 – ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ මාධ්‍ය හමුව-)

විගණකාධිපතිවරයා විසින් රජයේ මූල්‍ය අවභාවිතාව පිළිබඳ කරුණු විශාල ප්‍රමාණයක් හෙළි කර තිබෙනවා. රට අගාධයට වැටී මහජනතාවට ජීවිත පවත්වාගෙන යා නොහැකි වී තිබෙන කාලයකත් මහජනතාව නොදත් තොරතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම් ප්‍රමාණයක් මේ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිකරනවා. ලංකාවේ විශාලතම වියදම් සිදුකරන්නේ රජයේ දෙපාර්තමේන්තු ඇතුළු මහා භාණ්ඩාගාරයේ යැපෙන ආයතනවලින්. රජයේ මහා භාණ්ඩාගාරය ජනතාවගෙන් බදු මුදල් එකතු කළ පළියට හිතුමතේ වියදම් කරන්න අයිතියක් නැහැ. අදාළ වියදම් සිදුකළ යුත්තේ අයවැය සම්බන්ධයෙන් පවතින විධිමත් ක්‍රියාවලියට අනුවයි. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරන වියදම් ඇස්තමේන්තුවලින් සමස්ත රජයේ අයවැය ලේඛනය සකස් කර, පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවා. මුදල් ලබාදෙන්නේ අයවැය මගින් අනුමත වියදම් ඇස්තමේන්තුවක් සඳහා පමණයි.

ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම් පත්කර සිටින්නේ අනුමත වියදම් ශීර්ෂවලට අදාළව කටයුතු කරනවාද යන්න තහවුරු කිරීමටයි. නමුත් ලංකාවේ අනුමත කළ අයවැයට අනුව වියදම් ක්‍රියාවලිය සිදුනොකළ බව දිගටම දකින්න ලැබෙනවා. මේ ක්‍රියාවලිය එක පැත්තකින් රාජ්‍ය දේපළ අවභාවිතයක් වන අතර, පොදු දේපළ පනත ඇතුළු නීතිමය විධිවිධානවලට එරෙහිව කටයුතු කිරීමක්. මේ ආකාරයෙන් නීති විරෝධීව අමාත්‍යවරුන් සහ අමාත්‍ය ලේකම්වරුන් කාලයක් පුරා සිදුකරන මූල්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රමාණයක් හෙළිකරනවා. අමාත්‍යවරයාගේ නිල වාහන, පෞද්ගලික කාර්ය මණ්ඩලය, ඉන්ධන සහ දුරකථන වියදම් දීමනා ඇතුළු වරප්‍රසාද වියදම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත් කරන චක්‍රලේඛයක් මගින් පාලනය කෙරෙනවා. මේ ආකාරයෙන් කැප්පෙටිපොළ මාවතේ තිබෙන අමාත්‍යාංශ නිල නිවාසවල පාවිච්චි කරන විදුලිය, ජලය ඇතුළු බිල්පත් අදාළ ඇමතිවරයා විසින්ම මුලදී ගෙවීම් සිදුකළත් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් මගින් ඇමතිවරයාගෙන් රුපියල් දහසක මුදලක් අයකරගෙන ඉතිරිය අමාත්‍යාංශයෙන් ගෙවන්න අනුමැති ලබා ගත්තා. ඒ කැබිනට් සංදේශයේම ආරක්ෂක තත්වය යහපත් වූ පසු මුළු බිල්පතම ඇමතිවරයා විසින් ගෙවිය යුතු බවත් සඳහන් කර තිබුණා. නමුත් 2010දී රාජ්‍ය පරිපාලන ඇමතිවරයා නැවත කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර, නිල නිවාස ලබාගෙන නොමැති ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ නිවාසවල ජලය සහ විදුලිය බිල්පත් අමාත්‍යාංශයෙන්ම ගෙවීමට අනුමැතිය ලබා ගත්තා.

ඊට අමතරව ඇමතිවරුන්ගේ මේ බිල්පත් ඔවුන්ගේ මුදලින් ගෙවා එය ආවරණය කර ගැනීමට විශේෂ දීමනාවක් ලබා දීමේ කැබිනට් සංදේශයක් මුදල් ඇමතිගේ අනුමැතියෙන් ඉදිරිපත් කළා. ඒ අනුව ජල සහ විදුලි බිල්පත් අමාත්‍ය කාර්යාලයට යවා අමාත්‍යාංශ වියදම්වලින් එම සියලු බිල්පත් ගෙවීමට අවස්ථාව සලසාගෙන තිබෙනවා. අද වෙනකොට ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු යන සියලු දෙනාගේ විදුලිය, ජලය සහ වෙනත් සනීපාරක්ෂක සේවා බිල්පත් නීති විරෝධී ලෙස මහජන මුදලින් ගෙවමින් සිටිනවා. මේ බිල් ගෙවීම පිළිබඳ තොරතුරු, තොරතුරු පනත යටතේ අපි ලබාගෙන තිබෙනවා. නිදර්ශනයක් වශයෙන් නාගරික සහ නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ බිල් ගෙවීම පිළිබඳ විස්තර ඉදිරිපත් කළ හැකියි. ජල බිල, විදුලි බිල, නිවාසයේ ආරක්ෂක සහ සනීපාරක්ෂක සේවා සඳහා වියදම් ලබාගෙන තිබෙනවා. ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශයෙන් රජයේ ආරක්ෂක අංශ යොදවා ආරක්ෂාව ලබාදී තිබියෙදී පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය ලබාගැනීම වෙනුවෙන් මේ ඇමතිවරයා මාසිකව රුපියල් 94,054ක් වැය කරමින් සිටිනවා. ඊට අමතරව ඔහුගේ සනීපාරක්ෂක සේවා සඳහා රුපියල් 80,000කට වැඩි මුදලක් අමාත්‍යාංශයෙන් ගෙවනවා. ඔහුගේ සියලු පෞද්ගලික වියදම් ලෙස මාසයක් සඳහා අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ගෙවා දමනවා.
ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහින්ද අමරවීර ඇමතිවරයාගේ ජල සහ විදුලි බිල රුපියල් ලක්ෂය ඉක්මවා මාසිකව ගෙවනවා. ටී.බී. හේරත් රාජ්‍ය ඇමති සහ මොහාන්ද සිල්වා යන රාජ්‍ය ඇමතිවරු දෙදෙනාගේ බිල්පත් මහජන මුදලින් ගෙවනවා. ක්‍රීඩා රාජ්‍ය ඇමති, රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමති ආදී වශයෙන් මහජන මුදලින් බිල්පත් ගෙවා දමමින් සිටිනවා. මියගිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා ඒ ආකාරයෙන්ම ගෙවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ ඍජුව වගකීම් බාරගන්නේ නැහැ. පසුගිය කාලයේ පැවැති ආණ්ඩු සියල්ලකම ඇමතිවරුන් මේ ආකාරයෙන් ක්‍රියාකර තිබෙනවා.

ජනතාව ඉතා අසීරුවෙන් ජීවත් වෙන නිසා හාල් කිලෝ 10ක් ලබාදීමේ ව්‍යාපෘතියක් පටන්ගෙන තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ට මාසයකට සහල් කිලෝ 10ක් ලබාදෙන අතර, ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ සනීපාරක්ෂක බිල ලෙස රුපියල් 80,000 ඉක්මවා ගෙවනවා. ඒ වගේම පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීම සඳහා දවසකට රුපියල් 110ක් බැගින් මාසයකට රුපියල් 2420ක් වැය කරමින් සිටියෙදී පාර්ලිමේන්තු අනුමැතියක් පවා නොමැතිව ඇමතිවරුන්ගේ බිල්පත් සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් ගෙවනවා. මෙයින් විශාල වශයෙන් අවදාමට පත්වන්නේ ගෙවීම් අනුමත කරන රජයේ නිලධාරීනුයි. අමාත්‍යාංශ ලේකම්වරයාට වගකීම පැවරෙන්නෙත් නැහැ.

ගණකාධිකාරීවරුන් වැනි නිලධාරීන් තමන්ගේ රැකියා පවා අනතුරට ලක්කර ගනිමින් ඉහළ නියෝග අනුව මෙම බිල්පත් ගෙවීමට ක්‍රියාකරමින් සිටිනවා. තොරතුරු පනත යටතේ අප ලබාගන්නා මේ තොරතුරු හෙළිදරව් කිරීම් නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තොරතුරු ලබාදීම අතපසු කරමින් සිටිනවා. පැරණි බිල්පත් සියල්ල ගෙවා දැමීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කරමින් සිටින බවද වාර්තා වෙනවා.

“බලතල ඉක්මවා කටයුතු කිරීමට සිදු වීමෙන් නිලධාරීන් අසරණ වෙනවා”
-විශ්‍රාමික සහකාර විගණකාධිපති කේ.ජී.පී.ඩබ්. ගමගේ-

රාජ්‍ය මුදල් සම්බන්ධ සියලු වගකීම් පාර්ලිමේන්තුවට පවතින බැවින් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට වියදම් කිරීම සඳහා මුදල් ලැබෙන්නේ එම අනුමැතිය ඇතිවයි. මේ මූල්‍ය බලතල ඉක්මවා කටයුතු කරන්න බැහැ. නමුත් මේ වන විට එවැනි කටයුතු සිදුකරමින් සිටිනවා.

රාජ්‍ය මූල්‍ය පිළිබඳව විගණනය කිරීම විගණකාධිපතිතුමාගේ කාර්යභාරය වී තිබෙනවා. එක් එක් ආයතනවලට වාර්ෂිකව වෙන්කරන මුදල් පිළිබඳව විගණනයක් සිදුකිරීම විගණකාධිපතිවරයාගේ මූලික කාර්යභාරයක්. ඒ ආයතනවලින් වාර්ෂික ගිණුම් වාර්තා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. එම ගිණුම් වාර්තා පිළිබඳව විගණකාධිපතිවරයා විමර්ශන සිදුකර අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කාරක සභා දෙක මගින් මෙම ගිණුම් වාර්තා පිළිබඳව විශ්ලේෂණයන් සිදුකරනවා. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, අදාළ චක්‍රලේඛ සහ විධිවිධානයලට පටහැණිව ගෙවීම් සිදුකර තිබෙනවා නම්, එම ගෙවීම් අවිධිමත් ගෙවීම් ලෙස සටහන් කරනවා. 2018/2019 විගණන පනත අනුව අවිධිමත් ගෙවීම් සම්බන්ධයෙන් අධිභාර පැනවීමේ හැකියාව විගණකාධිපතිවරයාට ලබාදී තිබෙනවා. ඒ අනුව එම අවිධිමත් ගෙවීම් අයකර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම මෙම මූල්‍ය පරිහරණය පිළිබඳව විගණකාධිපතිවරයා ලබාදෙන වාර්තාව අනුව ක්‍රියාකිරීමේ බලය අදාළ ආයතනවලට පැවරෙනවා. ඒ අනුව නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලතල නොඉක්මවා කටයුතු කිරීමට වගබලාගත යුතු වෙනවා. නමුත් සිදු වන බලපෑම් හමුවේ බලතල ඉක්මවා කටයුතු කිරීමට සිදු වීමෙන් නිලධාරීන් අසරණ වෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා වරලත් ගණකාධිකාරී රංජිත් දිසානායක, විගණන සේවා සංගමයේ හිටපු සභාපති ටී. සුරවීර සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විගණන අධිකාරී ඩබ්.ඩී.සී. රංජිත් යන අයවලුන්ද සහභාගි වී සිටියහ.

Show More

“ඉතිහාසයේ තිබුණු අපේ බෙදීම් අමතක කරලා, රට හදන මේ ඓතිහාසික වැඩපිළිවෙළට එකතු වෙන්න කියන ආරාධනාව අපි කරනවා…” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

(අම්පාර දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.31 – ජාතික ජන බලවේගය) මේ සමුළුව සාර්ථක කර ගන්න මාස ගණනාවක් තිස්සේ මහන්සි වුණා. මේක අතිශයින්ම ඓතිහාසික වැඩක්. ගැහැනුන් දේශපාලනිකව සන්නද්ධ වෙලා, දේශපාලනිකව සංවිධානය වෙලා, මේ ආකාරයෙන් එකතු වුණු අවස්ථා ලෝකයේ කොතැනකවත් දැකලා නැහැ. අපට මෙය අලුත් අත්දැකීමක්. අපි මේ කර තිබෙන්නේ මේ රට වෙනස් තැනකට ඔසවා තබන්න පුළුවන් […]

(අම්පාර දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.31 – ජාතික ජන බලවේගය)

Gahanu-Api-Ampara

මේ සමුළුව සාර්ථක කර ගන්න මාස ගණනාවක් තිස්සේ මහන්සි වුණා. මේක අතිශයින්ම ඓතිහාසික වැඩක්. ගැහැනුන් දේශපාලනිකව සන්නද්ධ වෙලා, දේශපාලනිකව සංවිධානය වෙලා, මේ ආකාරයෙන් එකතු වුණු අවස්ථා ලෝකයේ කොතැනකවත් දැකලා නැහැ. අපට මෙය අලුත් අත්දැකීමක්. අපි මේ කර තිබෙන්නේ මේ රට වෙනස් තැනකට ඔසවා තබන්න පුළුවන් කාන්තා නායිකාවන් බිහි කරන එක. දේශපාලනය ගැන හීනෙකින්වත් හිතුවේ නැති අපේ කාන්තාවන්, දේශපාලන නායකත්වය ගන්න සූදානම් බව පෙන්නුම් කර තිබෙනවා. අලුතෙන් කාන්තා නායිකාවන් බිහි වෙනවා. ඒක මේ රටට තීරණාත්මකයි. අපි අනිවාර්යයෙන්ම මේක වෙනස් කරනවා. අපට පුළුවන් වෙලා තිබෙනවා, ගැහැනු ශක්තිය රටට විතරක් නොවෙයි, මුළු ලෝකයටම පෙන්වන්න. ගැහැනු අපට අවස්ථාවක් දුන්නොත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන, උපරිම බලපෑමක් කරන්න පුළුවන් ශක්තියක් අප තුළ තිබෙනවා කියලා.

ඉන්දියාවේ ඉන්නවා ප්‍රසිද්ධ ලේඛිකාවක්, අරුන්දතී රෝයි නමින්. ඇය එක තැනකක ලියලා තිබෙනවා “අලුත් ලෝකයක් බිහිකරන්න පුළුවන් විතරක් නොවෙයි, අලුත් ලෝකයක් බිහි වෙමින් යනවා, නිශ්ශබ්දව හොඳට ඇහුම්කන් දුන්නොත් ඒ අලුත් ලෝකය හුස්ම ගන්නවා අපිට ඇහෙනවා කියලා.” ඒ අලුත් ලෝකය ඔබ නිර්මාණය කරමින් යනවා. ඒක අපට තවදුරටත් සිහිනයක් නොවෙයි. අලුත් ලෝකයක් බිහි වෙමින් යන්නේ. අලුත් ලෝකයක් අපි හදනනවා. වඩා සාධාරණ, සියලු දෙනාටම අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන්, සමානාත්මතාවයට ගරු කරන ආදරණීය අලුත් ලෝකයක් ඔබ දැන් නිර්මාණය කරමින් ඉන්නේ.

ඒ සඳහා අපට මේ අවුරුද්දේ තීරණාත්මක වැඩක් තිබෙනවා. මේ මැතිවරණය අපට දිනන්න විතරක් නොවෙයි. ගැහැනු අපි එකතු වෙලා මේක කොහොම හරි දිනවනවා. අපි සහෝදරවරු ටිකත් පාර්ලිමේන්තුවටත් යවනවා. අපේ අනුර සහෝදරයාව ජනාධිපතිත් කරනවා. ඒක කරලා එතනින් ඉවර වෙන්නේ නැහැ අපේ වැඬේ. අපි රට හදන්න ඕනෙ. අපි කරන්න බලාපොරොත්තු වෙන ඒ සමාජ පරිවර්තනය රැකගන්නත් අපි ඉදිරිපත් වෙන්න ඕනෙ. මේකෙ බරපතළකම, ගැඹුර අපි හොඳින් තේරුම් ගන්න ඕනෙ. මේක තවත් එක් වෙනසක් ගැන කතාවක් නොවෙයි. මේක තවත් එක් මැතිවරණයක් නොවෙයි. මෙතෙක් බලයට ආව හැම පක්ෂයක්ම, වෙනසක් කරන බවට පොරොන්දු වුණා. යූ.එන්.පී. භීෂණය ඉවර වෙලා චන්ද්‍රිකා කුමාරතුංග පත්කරන්න පාරට මුලින්ම බැස්සෙත් ගැහැනු. චන්ද්‍රිකා මහත්මියත් පොරොන්දු වුණා වෙනසක්. 2015 යහපාලන ආණ්ඩුවත් වෙනසක් පොරොන්දු වුණා. ගෝඨාභය රාජපක්ෂත් වෙනසක් පොරොන්දු වුණා. ජාතික ජන බලවේගය මේ වෙනස කරන්නේ කාගෙවත් පොරොන්දු මත නොවෙයි. මේ වෙනස කරන්නේ අපිමයි. මෙතෙක් කාලයක් අපේ ඡන්දෙ දීලා පැත්තකට වෙලා බලා ඉන්න සිද්ධ වුණේ. අපි වෙනුවෙන් කරන සංවර්ධන දිහා අපට බලාගෙන ඉන්න සිදුවුණේ. ඒ තීන්දු තීරණ ගන්න තැන්වල අපි නැහැ. අපට ඇහුම්කන් දෙන්නේ හෝ අදහස් විමසන්නේ හෝ නැහැ. අපි වෙනුවෙන් මේ ප්‍රතිපත්ති හැදෙන්නේ නැති බව දැන දැනත් ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපේ මුදල් වංචා කරන බව දැනගෙන, දූෂණයේ යෙදෙන බව දැනගෙන අපේ දරුවන් බඩගින්නේ ඉන්න බව දැනගෙන අපි හූල්ල හූල්ලා බලාගෙන සිටියා මිසක් අපට බලයක් තිබුණේ නැහැ මේවා වෙනස් කරන්න.

Gahanu-Api-Ampara

නමුත් මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ අපි බලයට පත්වෙනවා. අපි හැමෝම පාර්ලිමේන්තුවට යනවා නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විශාල මන්ත්‍රීවරියන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා. ගමේ, වැඩපොළේ, පාසලේ, රෝහලේ, අප ඉන්නවා. අපි හැමතැනම ඉන්නවා. අපි ඉන්න හැමතැනකම මේ රට වෙනස් කරන ක්‍රියාවලියට අපි සක්‍රීයව සහභාගී වෙනවා. ඒ නිසා අපි කවුරුත් වෙන කවරු හෝ මේ දේ කරන තුරු බලාගෙන ඉන්නේ නැහැ. මේ පාර වෙනස වෙන්නේ මේ වැඬේ කරන්නේ අපිමයි. ඒ ක්‍රියාවලියේ තීරණාත්මක වැඩක් හැටියට අපට සවන් දෙන නායකයෙක් අපි ජනාධිපති කරන්න ඕනෙ. මේ අවුරුද්දේ ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ අපට ඇහුම්කන් දෙන ගැහැනු අපට සංවේදී ගැහැනු අපේ කතන්දරවලට වටිනාකමක් දෙන, අපේ ජීවිතවලට වටිනාකමක් දෙන, අපේ හඬට සවන් දෙන ආණ්ඩුවක් හදන්නත් ඕනෙ. ඒ දෙක අපේ පළවැනි වැඩ.

ඒ වෙනුවෙන් අපි ඉදිරි මාස හය හත තුළ මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. දැනටත් අපි කැපවීම රාශියක් කර තමයි මෙතනට එන්නේ. ඒ මහන්සිය කිසිසේත් අපතේ යන්නේ නැහැ. අපි සියලු දෙනාම එකතු වෙලා පොදු අරමුණකින් මේ රට හදන වැඬේ වෙනුවෙන් තමයි කරන්නේ. අපෙන් හැමදාම බලාපොරොත්තු වුණේ කැපවීම්, දරා ගැනීම්. කවදාවත් සහභාගිත්වය ඉල්ලුවේ නැහැ. අපේ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. අපේ ඡන්දයෙන් බලයට පත්වෙලා අපව පැත්තකට දාලා යන ආණ්ඩු තමයි මෙච්චර කල් පත්වුණේ. මේ අවස්ථාවේ අපව මගහැර යන්න බැහැ. අපව සහභාගී නොකර යන්න බැරි බව පාලකයෝ තේරුම් ගනිමින් යනවා. ඒ නිසා තමයි වෙනත් පක්ෂවල අයත් ගැහැනුන් ආමන්ත්‍රණය කරන්න වැඩ සටහන් ආරම්භ කර තිබෙන්නේ. ඒක හොඳයි. නමුත් අපි දන්නවා ජාතික ජන බලවේගයේ වෙනසක් තිබෙනවා.

අපි පත්කරන ආණඩුවත්, වැඩපිළවෙළත් ආරක්ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. මෙච්චර කාලයක් මේ රටේ වරප්‍රසාද ලබාගෙන මේ රට පාලනය කිරීම තමන්ගේ උපතින් ආව අයිතියක් උරුමයක් හැටියට හිතාගෙන හිටපු පාලකයෝ කලබලවෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් පක්ෂ හැටියට වෙන් වුණාට ජාතික ජන බලවේගය පරදවන්න ඕනෙ කියන තැන ඔවුන් ඔක්කෝම එකතු වෙන්නේ. ඒ මේ සිදුවෙමින් යන විශාල සමාජ පර්වර්තනයට ඔවුන්ට තිබෙන බය. ඒගොල්ලෝ දන්නවා මෙතන සිදුවෙන්නේ නිකම්ම නිකම් ආණ්ඩු මාරුවක් නොවෙන බව. ඊට වඩා බරපතළ සමාජ පරිවර්තනයකට තමයි සූදානම් වෙන්නේ කියලා. ජනතාවාදී ආණ්ඩුවක් ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පත් කිරීමටත් ඒ ක්‍රමවේදය තුළින් මේ රට දියුණු කරන්නටත් තමයි අපි සූදානම් වෙන්නේ කියන එක දන්නවා. ඒ ක්‍රමය යටතේ විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ පාලකයන්ටත් රටේ නීතිය බලපානවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ නීතිය සැමට ක්‍රියාත්මක වෙනවා. මෙච්චර කාලයෙක් මේ රටේ සිදු නොවුණේ නීතිය හරියට ක්‍රියාත්මක නොවුණු එක. නීතිය ක්‍රියාත්මක කරන්න දේශපාලනඥයෝ ඉඩ දුන්නේ නැහැ. මාලිමාව රජයක් යටතේ නීතිය ස්වාධීන වෙනවා. නීතිය ක්‍රියාත්මක කරමින් ජනතා මුදල් සොරකම් කරපු ජනතාව පීඩාවට පත්කරපු ඒ ප්‍රතිපත්ති හදපු ඒ අයට නිසි දඬුවම් ලැබේවි. පළි ගැනීමේ සංස්කෘතියක් අප තුළ නැහැ. විශේෂයෙන් ගැහැනු අපි දන්නවා පළි ගැනීම තුළින් වෙන්න තිබෙන හානිය අපි අත්විඳ තිබෙනවා. ඔබ සියලු දෙනාට වගකීමක් තිබෙනවා මාලිමාව කෙරෙහි බොරු බියක් ඇති කරන්න ගන්නා උත්සාහය අපි පරාජය කරන්න ඕනෙ. මෙතනට එන්න කැමති පිරිස් අපි එකතු කරන්න ඕනෙ. ඉතිහාසයේ තිබුණු අපේ බෙදීම් අමතක කරලා, සියලු දෙනාම ආමන්ත්‍රණය කරලා, රට හදන මේ ඓතිහාසික වැඩපිළිවෙළට එකතු වෙන්න කියන ආරාධනාව අපි කරනවා. අම්පාර දිස්ත්‍රික්කව බහු සංස්කෘතික දිස්ත්‍රික්කයක්. ඔබ බෙදීම්වල විපාක හොඳට අත්විඳ තිබෙනවා. සියලු දෙනා බෙදීම් වෙනුවට එකතු කරන, වෛරය වෙනුවට ආදරය කරන සමාජයක් ගොඩනඟන්න ඔබේ නායකත්වය අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් සූදානම් වෙන්න, ශක්තිමත් වෙන්න, සංවිධානය වෙන්න. දැනුමෙන් සන්නද්ධ වෙන්න. ඔබගේ දායකත්වය අපට ලබාදීම අපට ලොකු විශ්වාසයක් වගේම ලොකු ශක්තියක්. ඒ විශ්වාසය දීම පිළිබඳවත්, ආදරය අපට දීම පිළිබඳවත් ඔබට ස්තුතිවන්ත වෙනවා.

Gahanu-Api-Ampara

“අපි හැමෝම එකතු වෙලා එකිනෙකා තුළ බැඳීම් ඇති කරන මානව දම්වැල ශක්තිමත් කරමු…”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා – සමන්මලී ගුණසිංහ-

ගැහැනුන් විදිහට අපි හැමෝම අසීමිත ලෙස දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් ඉතා අසීරු ජීවිත ගෙවන්නේ. හැමදාම දුක් වින්ද ගැහැනු දහස් ගණන්, ජීවිතය කියන්නේ මොකක්ද කියාවත් නොදැන මේ මහපොළොවට පස් වුණා. ජාතික ජන බලවේගයේ අපට පුළුවන් වුණා, ගැහැනියගේ ජීවිතයට වටිනාකමක්, අර්ථයක් ලබාදෙන්න. මේ සමාජය වෙනස් කරන්න ඕනෙ කියන තැනට, “ගැහැනු අපි එක මිටට” කියන තේමාව යටතේ එකතු කරන්න අපිට පුළුවන් වුණා. අපිත් සමග අත්වැල් බැඳගත් අම්පාරේ සහෝදරියන් ගැන අපි සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා. අපි දහසක් කම්කටොලු මැද, බලාපොරොත්තු රහිතව ජීවිත ගෙවන අය. ඒ වේදනාව ඊළඟ පරම්පරාවට උරුම වෙන බවත් දැක්කා. ඒ උරුමය කරුමයක් බවට පත්කර ගන්නේ නැතිව, ඊළඟ පරම්පරාවට ඉතිරි කරන්නේ නැතිව ජාතික ජන බලවේගයත් සමග එකතු වී ජීවිත වෙනස් කරන පෙර ගමන්කාරියක් වෙන්න ඔබ ඇවිත් තිබෙනවා.

පසුගිය කාලයේ අපේ දරුවෝ කන්න නැතිව පාසල්වල ඇද වැටෙද්දී, පාසල් එන්න විදිහක් නැතිව පාසල් මගහැර දරුවන් ඉන්න කොට, වේදනාව වැඩි වුණේ අපේ අම්මලාගේ. ගෙවල් ඇතුලේ අපේ දහසක් අම්මලා කඳුළු වැගිරුවා. පාලකයෝ එවා දැක්කේ නැහැ. දරුවගේ පාසල් පොත්ටික අරගෙන දෙන්න බැරිවෙද්දී, කෑම පෙට්ටියට කෑම ටිකක් දාලා දෙන්න බැරි වෙද්දී අම්මලා දුක දරා ගත්තා. අපේ ගැහැනු තනිවම මේ ප්‍රශ්නවලට උත්තර හෙව්වා. තනි තනිව මේ සමාජ ප්‍රශ්නවලට උත්තර සොයන්න බැහැ. ඒ ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ සමාජය තුළ බව අපි දන්නවා. හැබැයි මොනතරම් අමාරුකම් තිබුණත් අපේ දරුවන්ට පිහිට වුණෙත් තවත් අම්මා කෙනෙක් තමයි. අපේ ගුරුවරියන් පාසල්වල බත් බැංකු, සපත්තු බැංකු, ඇඳුම් බැංකු ආරම්භ කළා. කෑම වේලක් දෙන්ඩ බැරි අම්මලා දරුවා පාසලට එවද්දී, අපේ ගුරුවරියන් “පුතේ කෑම පෙට්ටියේ කෑම එකක් ඇති” කණට කර කියමින් දරුවන්ගේ කුසගින්න නිවන්න කටයුතු කළා. ගුරුවරියන් අම්මලා විදිහට ඒ කෑම ප්‍රශ්නෙට උත්තර සෙව්වේ එහෙමයි. තමන්ගේ කෑම එකට අමතරව කෑම දෙක තුනක් පාසලට රැගෙන විත් දරුවන්ගේ කුසගින්න නිව්වා. ඒ දරුවෝ දන්නේ නෑ, ඒ කෑම කවුද දුන්නේ කියලා. ඒක අදෘශ්‍යමාන මානව ප්‍රේමයක්. තමන්ගේ පාසලේ දරුවෝ ටික රැකගත්තේ එහෙමයි.

Gahanu-Api-Ampara

නමුත් දැන් ඡන්දයක් ලංවෙද්දී අපේ දරුවන්ට කෑම කවන නායකයෝ ඉන්නවා. කෑම අනල කවන, හොටු පිහින, දරුවන් වඩා ගන්න නායකයෝ ඉන්නවා. මේව තමයි ඡන්ද ගුණ්ඩු. අපේ දරුවන් දහස් ගණන් මන්දපෝෂණය හැදිල තිබියදී, අම්මලාට කන්න නැතිව තිබියදී, දරුවන් පාසලේදි ඇදගෙන වැටෙද්දී උණුවුණේ නැති දේශපාලන හදවත් දැන් උණුවෙලා, කැමරාවත් අරගෙන ඇවිත්, දරුවන්ට බත් අනලා කවනවා. අපේ අම්මලා නැවතත් රැවටෙයි කියලා දේශපාලකයෝ හිතනවා. මේ අම්මලා දැන් ඕවට රැවටෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ අපි ගැහැනුන්ව දැනුවත් කර තිබෙන්නේ. අපි මේ පාලකයන්ට කියනවා, අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරලා, අපේ දරුවන්ගේ රට උගසට තියලා, විකුණලා, දරුවන්ට ආරක්ෂාවක් නැති සමාජ වටපිටාවක් හදලා, මත්ද්‍රව්‍යවලින් පිරුණු සමාජයක් බිහිකරපු එවැනි පාලකයෝ අපේ රටේ පාලකයන් කර ගන්න තවදුරටත් ගැහැනු අපි කැමති නැහැ. ඔය තුන්ගොල්ලෝ එකට ආවත් ජාතික ජන බලවේගය අද ජයග්‍රහණය කරලා ඉවරයි. ඒ මොකක් නිසාවත් නොවෙයි, අපේ රටේ බහුතරයක් ගැහැනු දේශපාලන වශයෙන් ශක්තිමත් වූ නිසා බව අභිමානයෙන් කියන්න පුළුවන්. මේක තමයි අපි හදන්න හදන අදෘශ්‍යමාන මානව බැඳීම. අනෙක් අයට නොපෙනෙන ඒ අදෘශ්‍යමාන මානව බැඳීම හැම අම්මා කෙනෙක්ගේම හිතේ තියෙනවා. දයාව, අනුකම්පාව දරුවන් සියලු දෙනාම මගේ කියන ඒ හැඟීම අපේ රටේ නායකයන්ට විහිළුවක් වුණාට අපේ අම්මලාට විහිළුවක් නොවෙයි. අම්මලා දන්නවා දරුවන් ආරක්ෂා කර ගන්න මොනතරම් ශක්තිමත් මානව දම්වැලක් අපට ඕනද කියලා. ඒ මානව දම්වැල හැදුනු දවසට තමයි අපේ පුංචි දරුවන්ට ආරක්ෂාවක් තිබෙන්නේ. ඒ නිසා අපි හදමු කවුරුත් එකට එකතු වෙලා මානව දයාවෙන් පිරි ඒ අදෘශ්‍යමාන හැඟීමක් තිබෙන ඒ මානව දම්වැල ශක්තිමත් කරමු. ඒ දම්වැලේ ශක්තිමත් පුරුකක් ශක්තිමත් ස්ථානයක් ඔබ අරගන්න. එතකොට අපිට පුළුවන් වෙයි රට ගැන හැඟීමක් තිබෙන, ආදරයක් තිබෙන සහෝදරියක් අපේ රටට ගොඩනඟන්න. ඒ තමයි ආරම්භය.

හතර දෙනෙක්ගෙන් සමන්විත පවුලකට ජීවත් වෙන්න දෙසැම්බර් මාසයේදී අවශ්‍ය වුණා රු: 66096/-ක්. ජනවාරි මාසයේදි ඕන වෙනවා 68056/-ක්. රුපියල් 2000/-කට ආසන්න මුදලක් අලුතෙන් සොයන්න වෙලා තිබෙනවා. ආදායම වැඩි වුණේ නැහැ. එතකොට සිද්ධ වෙන්නේ අම්මට නොකා ඉන්න. දරුවා පාසල් යවන්නේ නැතිව ඉන්න වෙනවා. 76 වසරක් ප්‍රශ්න විසඳුවේ නැති පාලකයෝ ඉදිරියටත් මේ රට හදයිද. අපට අද අවශ්‍යයි අලුත් වෙනසක්. ඒ සඳහා ජාතික ජන බලවේගය දිනවන්න නම් ඔබ ගමට යන්න ඕනෙ. ගම සංවිධානය කරන්න ඕනෙ. ඔබ දැන් නායිකාවක්. මේ රට හදන්න ඕනෙ ඔබ. මේ රටේ අයිතිකාරියන් ඔබ. ඊළඟ පරම්පරාවට මේ රට උරුම කරන්න, ඕනෙ ඔබ. එහෙම නම් මේ වගකීම ගන්න ඕනෙ ඔබ. අපට තව තියෙන්නේ දවස් 173යි. ඒ හැම දවසක්ම, පැයක්ම, තත්පරයක්ම ඔබට වටිනවා. ඒ අනෙකා මේ දම්වැලේ පුරුකක් බවට පත්කර ගන්න. සමාජය වෙනස් කරන්න නම් ගැහැනිය වෙනස් වෙන්න ඕනෙ. ගැහැනිය වෙනස් වෙලා තිබෙන්නේ. ඒ නිසා සමාජය වෙනස් වෙනවා. ඔබ ගමට යන්න. දැනුවත් කරන්න. සංවිධානය කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය තිබෙනවා. ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස ඔබට ආරාධනා කරනවා.

Gahanu-Api-Ampara

“අපේ දරුවන් වෙනුවෙන් මේ රට හදමු. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ගොඩනඟමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික – සරෝජා සාවිත්‍රී පෝල්රාජ්-

මේ දිගාමඬුලු දිස්ත්‍රික්කය දීඝායු කුමාරයාගේ දිස්ත්‍රික්කය. ගොවිතැනට නම් දරාපු සංස්කෘතික අනන්‍යතාවයන් ගොඩක් තිබෙන, විවිධත්වයන් ගොඩක් තිබෙන දිස්ත්‍රික්කයක්. දිගාමඬුල්ලට අනන්‍යවූ භාෂාවක්, ජනකතා සාහිත්‍යයක්, වෙනම ආහාර සංස්කෘතියක් තිබෙනවා. ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර, දේව ඇදහීම් ක්‍රම සියල්ල ගත්තාම දිගාමඩුල්ලේ ජනතාව සුවිශේෂී ජන කොට්ඨාසයක්. වර්තමානයේ වැඩිම මුස්ලිම් ජන ගහනයෙන් 41% කට ආසන්න පිරිසක් මුස්ලිම් ජනගහනය, 35% – 38%කට ආසන්න පිරිසක් සිංහල ජනගහනය, 18% – 21% ක් අතර දෙමළ ජනගහනය. වාර්ගික සමගිය, ජාතික සමගිය පදනම් කරගෙන සතුටින් ජීවත්වෙන්න තිබෙන ඕනෑකමත් එක්ක සිංහල, දෙමළ, මුස්ලිම් අප සියලු දෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන් දේශපාලන ක්‍රමයක්, ආර්ථික සාධාරණත්වයක්, ලබාදෙන්න පුළුවන් වේදිකාව තමයි මේ ජාතික ජන බලවේගයේ වේදිකාව.

අපේ ආර්ථිකය ඇතුලේ, ජනගහනය ඇතුලේ විශාල දායකත්වයක් දක්වන ජනගහනයෙන් වැඩිම පංගුවක් වුණු කාන්තාවන් හැටියට අපට උරුම වී තිබෙන්නේ මොනවගේ තත්වයක්ද? ලංකාවේ කාන්තාවන් ඉටුකරනු ලබන ගෘහ සුරැකුම් ආර්ථිකය පිළිබඳ පාර්ලිමේන්තුවේ කතා කරන ලද පළමුවැනි කාන්තා මන්ත්‍රීවරිය හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය. පාර්ලිමේන්තුව මෙතෙක් තමන්ගේ වරිග පරම්පරාවෙන්, පිය උරුමයෙන්, ස්වාමි පුරුෂයා අහිමි වීමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් හිටියට, මේ රටේ දුක්විඳින කාන්තාවන්ගේ ඒ සුරැකුම් කාර්යය පිළිබඳව කතා කළේ නැහැ. දැක්මක් ඇති දේශපාලන ව්‍යාපාරයක් හැටියට, කාන්තා නායකත්වය තුළ කාන්තාවන්ට වගකියන දේශපාලන ව්‍යාපාරයක් හැටියට කතිර ගහන්න විතරක් පාවිච්චි කරපු කාන්තා බලය දේශපාලන ප්‍රවාහයක් හැටියට, සමාජයේ ගාමක බලයක් හැටියට සමාජයේ බලවේග තීරණය කරන ප්‍රධාන බලවේගයක් බවට පත්කළ එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. ගෙදර දරුවන්ට කන්න දෙන එක, අධ්‍යාපනය ලබාදෙන එක, ගෙදර එක්තැන් වුණු වියපත් පරම්පරාව රැකබලා ගැනීම ගෘහනියගේ අනිවාර්ය කාර්යයක් වෙලා තිබෙනවා. ලෝකයේ දියුණු රටවල්වල තමන්ගේ රටේ ඉන්න පුරවැසියා තමන්ගේ රටේ ඉන්න දරුවන් පෝෂණීය පුරවැසියන් බවට පත් කරන එක ඒ රටවල ආණ්ඩුවේ වගකීමක්.

Gahanu-Api-Ampara

ලංකාවේ විතරක් ඒක අම්මලාගේ වගකීමක් වෙලා තිබෙනවා. ලෝකයේ දියුණු රටවල්වල, ජනතාව ගැන සංවේදී පාලකයන් සිටින රටවල්වල තමන්ගේ රටේ පුරවැසියාට රටේ දරුවන්ට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීම ආණ්ඩුවේ වගකීමක්. අපේ රටේ තමන්ගේ දරුවාට උගන්වා ගන්න එක හැම අම්මා කෙනෙකුගේ වගකීමක් වෙලා. පාසල් දරුවාට පාසල් උපකරණ ටික අරන් දෙන්න බැරි වුණාම, පාසල් ගාස්තු ගෙවා ගන්න බැරි වුණාම තමන්ගේ කණ කර උගස් තියලා ඒවා ලබාදෙන්නේ අම්මා. විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් නොයෙක් දුක්විඳපු දරුවන්ට තමන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ හීනය සැබෑ කරගන්න බැරි වුණාම, මේ රටේ අම්මලා තමන්ට දෑවැද්දට ලැබුණු කනකර උගස් තියලා, ඉන්න තිබෙන ගෙය උගස් තියලා, දරුවා විශ්වවිද්‍යාලයට යවන්න, පිටරට යවන්න, ගුවන් ටිකට් පත අරන් දෙන්න, තමන්ගේ මුළු ජීවිතයම සින්න කරන අම්මලා ඉන්නේ. ලෝකයේ අනෙක් රටවල්වල එහෙම නැහැ. තමන්ගේ රටේ ඉන්න පුරවැසියා දැනුමෙන් සන්නද්ධ කරන එක ඒ රටේ ආණ්ඩුවේ වගකීම. නීරෝගී පරපුරක් නිර්මාණය කිරීම. ළමා මන්දපෝෂණය තුරන් කිරීම, සුරැකුම් ආර්ථිකය ඇතුලේ ඒක අම්මලාගේ වගකීමක් නොවෙයි. ඒක ආණ්ඩුවේ වගකීමක්. පුරවැසියා ශක්තිමත් පුරවැසියෙක් කරන එක, විද්‍යාර්ථීන් කරන එක, ප්‍රාමාණික නිපුනයන් කරන එක ලෝකයේ රටවල්වල දැක්මක් තිබෙන පාලකයෝ සිදුකරනවා. ඔලිම්පික් ක්‍රීඩාවල් කරන රටවල් තමන්ගේ රටේ ධාවන ශූරයන්, ශූරියන් නිර්මාණය කරන්න අවුරුදු ගණන් සැලසුම් කරනවා. තමන්ගේ රටේ යුවතියන් රූප රාජිනියන් කරන්න දැක්මක් ඇතිව සැලසුමක් ඇතිව කටයුතු කරනවා. න්‍යෂ්ටික විද්‍යාඥයන් බිහිකරවන්න, ගගනගාමීන් නිර්මාණය කරන්න, අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් බවට පත්කරන්න, තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ලෝකයේ තමන්ගේ රටට තැන අල්ලා ගන්න තමන්ගේ රටේ පුරවැසියන්ට දෙන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය දෙන්න ඒ රටේ පාලකයෝ දැක්මක් සකස් කරනවා. ඔබේ දරුවාට ඉගැන්වීම ඔබේ වගකීම වෙලා තිබෙනවා. ඔබේ නිවසේ සිටින වියපත් වුණු වැඩිහිටියා බලාගැනීම ඔබේ වගකීම වෙලා තිබෙනවා.

අපි ගොඩ නගපු රට මොකක්ද? මෙච්චර කල් දැක්මක් නැතිව වැඩ කරපු දේශපාලන කඳවුරුවල නායකයන්ගේ ඇස් ඇරෙන්න පටන්ගෙන තිබෙනවා. මේ රටේ පුරවැසියා වෙනුවෙන් වගකියන ආණ්ඩුවක් නැහැ කියන පණිවිඩය දෙමින් ජාතික ජන බලවේගය දිනෙන් දින අවදි කරද්දී තමයි මේ කාන්තාවන් අවදි වුණේ. සෑම දිස්ත්‍රික්කයක්ම එකාවන්ව නැගී සිටිනවා. 52%ක් වුණු කාන්තාවන් තේරුම් අරගනිමින් ඉන්නවා. මේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි. ජනතාවට වගකියන ජනතාවාදී පාලනයක් ඇති කළ යුතුයි කියන එක තේරුම්ගෙන තිබෙනවා. රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන වැය ශීර්ෂය කප්පාදු කර තිබෙනවා. පසුගිය වසරේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙන් කළ වැය ශීර්ෂය කප්පාදු කරලා, මේ රටේ පාලකයෝ සුරසැප විඳිමින් ඉන්නවා. ඔවුන් අතහරින රාජ්‍ය වගකීම ඔබත් මමත් අපා දුක් විඳිමින් දරාගෙන ඉන්නවා. ආණ්ඩුවේ වගකීම බදු ගෙවන ජනතාවගේ දරුවන් සුරක්ෂිත කිරීම, දරුවන්ට පෝෂණය ලබාදීම, ඉස්පිරිතාලේ බෙහෙත් ටික ලබාදීම, ප්‍රවාහනයට අදාළ වන ලෙස පහසුකම් සැපයීම, වැඩිහිටියන් රැකබලා ගැනීම. මේ වගකීම් පැහැර සිටින ආණ්ඩුවට තවදුරටත් එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. ජාතික ජන බලවේගයේ අපි මේ වගකීම් ගැන ගෙන් ගෙට ගිහින් දැනුවත් කරනවා. ඔබේ අයිතිය අපි ඉල්ලා සිටිනවා. මේ රටට, ජනතාවට වගකියන ආණ්ඩුවක් ඇති වෙන්නට ඕනෙ. ඒක තමයි ජනතාවාදී ආණ්ඩුව කියන්නේ. ඒ නිසා මේ රටේ දුක් විඳින සෑම ගැහැනියකටම තමන්ට කියා ජීවිතයක් තිබෙනවා. මේ ජීවිත දරා ගන්න බැරි අම්මලා කී දෙනෙක් දිවි නැතිකර ගන්නවාද? තමන්ගේ දරුවන්ට වසදී තමනුත් ජීවිතය නැති කර ගන්නවා. අම්මලා, තාත්තලා මේ දිවි හානිකර ගැනීම් දිනෙන් දින වැඩිවෙලා තිබෙනවා. මෙතෙක් අපේ රට පාලනය කළ පාලකයෝ ජනතාව මේ ඛේදවාචකයට ඇද දමා තිබෙනවා. වගකීම් පැහැර හරින ආණ්ඩු රටකට අවශ්‍ය නැහැ. ජනතාවට වගකියන ආණ්ඩුවක් තමයි පත්කර ගන්න ඕනෙ.

Gahanu-Api-Ampara

දැන් මේ ආණ්ඩු කියනවා දුප්පතාගේ හිතවතාලු. “දුප්පතාගේ හිතවතා කියන සටන් පාඨය” ලංකාව වැනි රජයක, පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා නම් ඔවුන් ලැජ්ජා විය යුතුයි. ජනතාව දුප්පත් කළේ කවුද? අදත් ජනතාව සූරා කන්නේ කවුද? ජනතාවගේ ප්‍රශ්න අදටත් ඔවුන්ගේ දේශපාලන පොරපිටියේ බලයට ඒම සඳහා පාවිච්චි කරමින් තිබෙන්නේ කවුද? දැන් හාල් කිලෝ 20ක් බෙදමින් ඉන්නවා. ඒ බෙදපු දෙවල්වලට ඡන්දය දීපු කාලය ඉවරයි. ජනතාවට තමන්ට තුන්වේල සරිකර ගන්න බැරිකරපු ආණ්ඩු අද වෙනකොට ජනතාවගේ මේ ප්‍රශ්න විකුණා කමින් තිබෙනවා. හතලිස් තුන් ලක්ෂයක් වූ පාසල් දරුවන්ගෙන් ලක්ෂ 16කට උදෑසන ආහාරවේල දෙන්න සූදානම් කර තිබෙනවා. බඩු මිල අඩුකරන්න සූදානමින් ඉන්නවා. ජන රැල්ල මාලිමාවට හැරෙන කොට තමයි පාලකයාට හාල් බෙදන්න, විදුලි බිල අඩුකරන්න, උදෑසන ආහාරවේල දෙන්න මතක් වුණේ.

අද පාස්කු ප්‍රහාරය සිදුවී හරියටම අවුරුදු පහක් පිරෙන දවස. අදටත් යුක්තිය ඉටු නොවුණු ප්‍රශ්නයක් හැටියට තිබෙනවා. ඊයේ ඔබ දැක්කා කරුණා අම්මාන් අලුත් පක්ෂයක් හදාගෙන රනිල්ට සහාය දක්වන්න සූදානම් වෙලා ඉන්නවා. රට විනාශ කරපු පාලකයෝ තමන්ගේ බලය වෙනුවෙන් එදා දරුවන් බලහත්කාරයෙන් අරගෙන ගිහින් යුද්දෙට පාවිච්චි කරපු කරුණා අම්මාන් එක්ක දේශපාලන පොර පිටියේ කරට අත දාගෙන ඉන්නවා. මේ රටේ යුද්ධය නිර්මාණය කරලා අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ව විනාශ කරපු පාලකයෝ අද උන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් උන්ට එකතු වෙන්න පුළුවන් වෙලා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනාම එකතු වෙලා ජාතිවාදී මේ නරුම රැළ එලවා දමන්න ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙන්න. අම්මලාගෙන් 14%ක් එක වේලක් බඩගින්නේ ඉන්නවා තමන්ගේ දරුවන්ට කන්න දෙන්න. “උපන් රටට නුඹ වැඩියා මිසක පුතේ – වැදූ මවට නුඹ වැඩිවා නොවේ පුතේ” ඒකෙ කියනවා “නැව් නැගලා දුර රටකට යන්න පුතේ” ජාතික ජන බලවේගයේ අපි කියනවා අපි මේ රටේ රැඳෙමු. මේ රට ගොඩනඟමු. අපේ දරුවන් වෙනුවෙන් මේ රට හදමු. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ගොඩනඟමු. ඒ සඳහා කටයුතු කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. ඒ සඳහා අපි ශක්තිමත්ව නැගී සිටින්නට ඕනෙ. අපි අලුත් සහෝදරියන් හඳුනාගෙන තිබෙනවා, හැකියාවන්ගෙන් පරිපූර්ණ දිස්ත්‍රික්කවලට වගේම ජාතික මට්ටමේ නායකත්වය සපයන්න පුළුවන් විශාල ප්‍රමාණයක් සහෝදරියන් හමුවී තිබෙනවා. ඒ හැම කෙනෙක්ම ස්වේච්ඡාවෙන් කැපවෙමින් වැඩ කරනවා. අපි මේ රටේ තකිරය විතරක් ගහන්න පාවිච්චි කළ ඒ කාන්තා බලය සමාජය වෙනස් කරන නව ජාතික පුනරුදය සඳහා කාන්තා බලය ඒකරාශී කරපු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය. එය ඔබේ දරුවන්ට නිදහස, විමුක්තිය, සාමය හා සතුට ලබාදෙනු ඇති.

Gahanu-Api-Ampara

“අද අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත කාන්තා බලවේගය මාලිමාව වටා ඒකරාශී වී සිටිනවා. මේක ඓතිහාසික අවස්ථාවක්…”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී – වසන්ත පියතිස්ස-

අද අම්පාර දිස්ත්‍රික්කයට ඓතිහාසික දවසක්. අම්පාර දිස්ත්‍රික්කයේ යළි සංවර්ධන කටයුතු ආරම්භ වෙලා ග්‍රාමීය වශයෙන්, ඓතිහාසික වශයෙන් පැරණි ගම්මාන සහිත ජනාවාස තිබිලා, 1949 ගල්ඔය ව්‍යාපාරය යටතේ ඩී.එස්. සේනානායක සමුද්‍රය ආරම්භ කරලා, එතැන්සිට මේ දක්වා ආව ගමන් මග තමයි ඒ. එහෙත් දේශපාලනික වශයෙන් සංවිධානාත්මකව අම්පාර නගරයට යම් කාන්තා පිරිසක් එකතු වුණා නම් ඉතිහාසයේ වැඩිම කාන්තා පිරිසක් අරමුණු සහගතව, ඉලක්ක සහගතව එක මිටකට එකතු වුණු දැවැන්තම කාන්තා රැළිය අද අම්පාර නගරයේ මුළු දෙනවා.

අම්පාර දිස්ත්‍රික්කය කියන්නේ ඉතා දුෂ්කරතා ගොඩයි. බාධක ගොඩයි. අගහිඟකම් ගොඩයි. ප්‍රශ්න ගැටලු ගොඩයි. ඒ සියල්ල මතින් තමන්ගේ ජීවිතය, තමන්ගේ පවුල ඉතා අමාරුවෙන් ඉස්සරහට තල්ලු කරගෙන යන සමාජයක ජීවත් වෙන තවත් එක්තරා පිරිසක් තමයි අම්පාරේ ගැහැනුන් කියන්නේ. ඔබ මුහුණ දෙන දුක් වේදනා, ප්‍රශ්න, ගැටලු, පීඩනය, ඉතිහාසයේ කිසිදිනෙක මේ රටේ පාලකයෝ හඳුනා ගෙන නැහැ. ඒ හඳුනා නොගැනීම හේතුකොටගෙන ඔවුන්ව විශ්වාස කරලා, නැවත නැවතත් විශ්වාස කරලා බැරිම තැන ඔබ අද ඇත්ත සොයාගෙන ඇවිල්ල අද අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත කාන්තා බලවේගය මාලිමාව වටා ඒකරාශී වී සිටිනවා. මේක ඓතිහාසික අවස්ථාවක්. හේනේ, කුඹුරේ වැඩ කරන, ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන, අලින් එක්ක ඔට්ටුවෙන, සතා සීපාවන් එක්ක ඔට්ටුවෙන, මහපොළොවත් එක්ක ඔට්ටු වෙන, අතේ කරගැට පිරුණු, ගැහැනුන් තමයි මේ ඉන්නේ. ඔබට විමුක්තිය අවශ්‍යයි. යුක්තිය, සාධාරණත්වය, සංවර්ධනය, යහපත් අනාගතයක් ඔබටත්, දරුවන්ටත් අත්‍යවශයයි. තවදුරටත් ඉවසන්න බැහැ. යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න, එය පසිඳලන්න ඔබත් අද පාරට බැහැලා තිබෙනවා. ආදරණීය අම්මේ, අක්කේ, නංගී මේක තමයි පාර. ආපසු හැරෙන්න එපා. මෙහි කෙළවර තමයි ක්ෂේම භූමිය තියෙන්නේ. ඔබේ දරුවාට අධ්‍යාපනයේ ප්‍රතිඵල ලැබෙන, ඔබේ දරුවාට රස්සාව ලැබෙන, ඔබේ ප්‍රශ්න-ගැටලු නිරාකරණය වෙන මාවත මේ මාවතයි. ඒ නිසා මෙය ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතුයි. මේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය, මැති ඇමතිකම් ගත්තු, මහත්තුරු බලයට ආවාට පස්සේ, ඔබේ ගමේ, ඔබේ ගොවිපොළේ පොහොර ටික කප්පාදු කරද්දී පාර්ලිමේන්තුවේ විමලවීර මහත්තයලා අත ඉස්සුවේ නැහැ. වීරසිංහ මහත්තයා, දොස්තර මහත්තයා ඊට විරුද්ධව අත ඉස්සුවේ නැහැ. ඒවට පක්ෂපාතී වුණා. විදුලි බිල 300%කින් 400%කින් වැඩි කරද්දී, ඒකට පක්ෂව විමලවීරලා අත ඉස්සුවා. මේ රටේ සම්පත් දේපළ විකුණද්දී ඒ ගොල්ලෝ ඒකට පක්‍ෂව අත ඉස්සුවා. ඔබේ දරුවාගේ අනාගතය බිඳ වැටෙද්දී, ඔබේ බලාපොරොත්තු සිහින එකින් එක බොඳ වෙද්දී ඒ දෙස සිනහමුසු මුහුණින් බලාගෙන තමන්ගේ මඩි තරකර ගත්තු පාලක රැළක් මේ දිගාමඩුල්ලේ ඉන්නවා.

මේ දේශපාලන ගමන අවසන් කරන්න ඕනෙ. ඒ සඳහා තමයි මේ බලමුළු ගැන්විලා තිබෙන්නේ. අදත් අම්පාරේ ගම්මාන විශාල ප්‍රමාණයක හාල් කිලෝ 20 බෙදනවා. ඒ වගේම දේශපාලන මැදිහත්වීම් මත විනෝද චාරිකා සැලසුම් කර තිබෙනවා. මරණාධාර රැස්වීමේ සිට අනෙකුත් සුබසාධන සංවිධාන විශාල ප්‍රමාණයක් ගම්මානවල අද දිනයේ දාගෙන තිබෙනවා. එහෙම දාගෙන තිබියදීත් ඔබ මෙතනට ආවේ මේ රට ගැන හිතලා. තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා. ඔබට ගෞරව කරනවා. ඔබ ඉදිරියට එන්න ඕන. ඔබ තව තවත් ධෛර්ය සම්පන්නව ශක්තිමත්ව දුෂ්කරතා අභියෝග ජය ගනිමින් මේ ගමන ඉස්සරහට යන්න ඕනෙ. තව මාස හතයි. මේ දූෂිත ජරාජීර්ණ දේශපාලනය තව පෝය හත අටකින් නවත්වලා මාලිමාවේ රජයක් බිහිවෙන එක සහතිකයි.
අපි ඔබට යෝජනා කරන්නේ මේ ගමන ඉදිරියටම යන්න. අපි අම්පාරේ සිට මහඔය, පදියතලාව, මහියංගනය දක්වා යද්දී, අම්මලා විඳින දුක්වේදනා පේනවා. අපිට පේනවා උදේ පාන්දර කිරි ටික දොවාගෙන, තමන්ගේ හරක් ටික ගාලෙන් ලිහාගෙන ඈත කැලේට ගිහිල්ලා, ඒ හරකුන්ට කෑම කවාගෙන රෑ වෙලා ගෙදර එන අම්මලා, අක්කලා, නංගිලා ඉන්නවා මහඔය, පදියතලාවේ. මෙතන ඉන්නවා එහෙම අම්මලා, අක්කලා, ඒ වගේම උදේ පාන්දර හේනට ගියාට පස්සේ බඩඉරිඟුවලට පස් දාලා, කව්පිවලට පස්දාලා අස්වැන්න නෙළනකම් සතා සීපාවාගෙන් ඒක බේරා ගන්න පැල් රැකලා, හේන් රැකලා කුසට ආහාරයක් නැතිව දුක්වේදනා විඳලා ලැබෙන සොච්චම් ආදායමෙන් දරුවන්ට උගන්වන අම්මලා, අක්කලා මෙතන ඉන්නවා. විමලවීර, රනිල් රාජපක්ෂ උඹලා ඒක දන්නවාද? උඹලා අවුරුදු කීයක් මේරට පාලනය කළාද? මගේ දරුවාගේ අධ්‍යාපනය, මගේ දරුවාගේ අනාගතය කොහොමද කියලා හූල්ලා වැටෙනවා මේ අම්මලා. අපි යනකොට දකිනවා දරුවෝ පාසලට යන්න බස් එකක් නැතිව පාරේ ඉන්නවා. ඒ අහිංසක දරුවෝ එන එන වාහනේට අත දානවා. අලි එනකොට ආපහු ගෙදර දුවනවා. ඉස්කෝලේ අඩුපාඩුකම් එමටයි. අම්මෙක් අප්පෙක් නැති දරුවෝ වගේ. මේ රටේ මිනිස්සු හරිහමන් රස්සාවක් නැතිව දුක්විඳිනවා. බස් එක එනකම් පාරේ ඉඳගෙන බත් කවනවා. අපි මහපාරෙදි මේවා දැකලා තිබෙනවා. ඒ වගේම විභාගෙ දවස්වලට පාරේ ඉඳගෙන අම්ම පොත කියවනවා, දරුවා අහගෙන ඉන්නවා. මහා ලොකු ලෝකයක් දිනන්න නොවෙයි. තමන්ගේ දරුවාට හොඳ හෙටක් හදන්න මහා බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා අපේ අම්මලා. හරියට ගෙයක් නෑ, අඳින්න පළඳින්න නෑ. හරියට කෑම ටික නෑ. පහසුකම් කිසිවක් නෑ. එහෙම සමාජයක අපි තාමත් ජීවත් වෙන්නේ.

Gahanu-Api-Ampara

පාලකයෝ අපේ රීරි මාංසෙ උරා බීලා හත්මුතු පරම්පරාවකට හරි හම්බකරගෙන සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. ඔවුන්ගේ ඒ ජීවිත යළි යළිත් ස්ථාපිත කර ගන්න, ඒ බලය රැකගන්න මේ අහිංසක අම්මාවරුන්ට සිල්රෙදි බෙදනවා. ඡන්දෙ කාලෙට සාරිකටු බෙදනවා. බත් පැකට් බෙදනවා. හාල් කිලෝ ගණන් බෙදනවා. ඔබේ අනාගතය සොරා කනවා, මේ සොර දෙටුවෝ. ඒ නිසා ආදරණීය කාන්තාවනි ඔබ ශක්තිමත්ව, ධෛර්යසම්පන්නව, එඩිතරව පෙරට එන්න. මේ මාතෘ භූමිය අනාගත පරපුර බේරා ගන්න නම් අන් මගක් නැහැ. ඒ අභියෝගයට අපි මුහණ දී සිටිනවා. අපි ඔබට යෝජනා කරන්නේ ඔබේ ගමේ අනෙකුත් අම්මලා, අක්කලා, නංගිලා දැනුවත් කරන්න. තමන්ගේ හිතවතුන්, ඥාතීන්, අසල්වාසීන් දැනුවත් කරන්න මේ විනාශකාරී, වංචාකාරී, ප්‍රෝඩාකාරී, දූෂිත හොර නඩය පළවා හරින්න අපි එකතු වෙන්න ඕන කියන පණිවිඩය දෙන්න. ඊට අදාළව ඓතිහාසික සමුළුවක් තමයි මේ පැවැත්වෙන්නේ. මෙහි වගකීම බාරගත්ත, නායකත්වය බාර ගත්ත සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරියන්ට සුවිශාල වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනහමාරක පමණ ගැහැනුන් පිරිසක් අම්පාර දිස්ත්‍රික්කය තුළ ඉන්නවා. ඒ සැමට නායකත්වය දීමේ වගකීම ඔබේ දෙවුරමත තිබෙනවා. ඒ අභියෝගය, අවශ්‍යතාවය කිසිලෙසකින් වත් අත්හරින්න එපා. සාම්ප්‍රදායික සිතිවිලි, අදහස්, ගතානුගතික පැවැත්මවල්, ගෙදරට, කුස්සියට සීමාවෙලා තිබුණු ජීවිතය අවසන් කරමින් අපි අලුත් ලෝකයට පිය නගමු.

ආදරණීය සහෝදරියනි අපට අන් මගක් ඉතිරි කර නැහැ. ශ්‍රේෂ්ඨ දාර්ශනික ලෙනින් සහෝදරයා කියා තිබෙනවා, “රටක පාලක පංතිය දූෂිතයි නම්, රටකපාලක පංතියේ හදවතක තෙතමනයක් නැතිනම් රටේ ජනතාව සම්බන්ධව ඒ පාලකයෝ හොරකම් කරමින්, වංචාවේ යෙදෙමින්, බොරු කියමින්, රටේ දේපළ සම්පත් විකුණමින් කටයුතු කරන පාලක පංතියක් නම්, ඒ රටේ ගැහැනුන් යනු තවදුරටත් කුස්සියේ වහලියකි. නිවසේ වහලියකි.” ඔබේ දෑතින් ඔබ කරන මෙහෙවර අනන්තයි අප්‍රමාණයි උදේම අවදිවෙන්නෙත් ඔබ, අවසානයේ නිදාගන්නෙත් ඔබ. ගෙදර සියලු කාර්යභාරයන් ඔබට පැවරිලා තිබෙනවා. ඔය දෑතට, මනසට ඉතා වෙහෙසයි. කුස්සියේ මුල්ලකට වෙලා ඔබ අඬනවා. ඒක හොඳින්ම දැනෙන එකම දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. ඒ නිසා අපි හැමෝම ශක්ති සම්පන්නව ධෛර්ය සම්පන්නව ඉදිරියට ගිහිල්ලා මේ රට ජයග්‍රහණයේ දිශානතියට යොමු කරමු. ජයග්‍රහණයෙන් කෙළවර කරමු. තවදුරටත් දූෂිතයන්ට, බොරුකාරයන්ට තවදුරටත් නොරැවටෙමු. මුළු මහත් අනාගත පරපුරක අනාගතය රැඳී තිබෙන්නේ ඔබේ දෙවුර මත. දෑත මත කියන එක මතක් කර ගනිමින් මේ සමාජ වගකීමට මැදිහත් වෙමු. ඒ සඳහා ඔබ ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

Show More

UNDP සහ NPP අතර හමුවක්

(-Colombo, April 01, 2024-) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කරනු ලැබ ඇති තම වැඩසටහන් පිළිබඳව ජාතික ජන බලවේගයට පැහැදිලි කළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ, රටේ පවතින ආර්ථික තත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ ආර්ථික […]

(-Colombo, April 01, 2024-)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කරනු ලැබ ඇති තම වැඩසටහන් පිළිබඳව ජාතික ජන බලවේගයට පැහැදිලි කළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ, රටේ පවතින ආර්ථික තත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ ආර්ථික ගැටලු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවත් ඔවුන්ගේ වාර්තාවට එම තොරතුරු ඇතුල් වී ඇති බවත් පෙන්වා දුන්හ.

මෙම හමුව සඳහා එම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota), ප්‍රතිපත්ති විශේෂඥ චන්ද්‍රිකා කරුණාරත්න, මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික බිමල් රත්නායක එක්වී සිටියහ.

Show More

“දූෂිත දේශපාලනය අතුගා දමා, අපි මේ රටට නව යුගයක් ගොඩනඟනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න-

(-ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.30-) ඔබේ කාගේත් තිබෙන බලාපොරොත්තුව, වසර 76ක දූෂිත දේශපාලනය පරද්දලා නව ජනතාවාදී දේශපාලනයක් මේ රටේ බිහිකර ගන්න. මේ 2024 කියන්නේ ලංකාවේ ඓතිහාසික වසරක්. අපි කවුරුත් පිළිගන්නවා විශේෂයෙන් කාන්තාවන් රට තුළත් ලෝකය තුළත් ආර්ථික ක්‍රියාවලිය තුළ සමාජීයවත් ගෘහය තුළ පෞද්ගලිකවත් විශාල වැඩ කොටසක් කරනවා. කාන්තාව විමුක්තිය ඉල්ලනවා නම් ඒ […]

(-ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.30-)

Gahanu-Api-Kegalle

ඔබේ කාගේත් තිබෙන බලාපොරොත්තුව, වසර 76ක දූෂිත දේශපාලනය පරද්දලා නව ජනතාවාදී දේශපාලනයක් මේ රටේ බිහිකර ගන්න. මේ 2024 කියන්නේ ලංකාවේ ඓතිහාසික වසරක්. අපි කවුරුත් පිළිගන්නවා විශේෂයෙන් කාන්තාවන් රට තුළත් ලෝකය තුළත් ආර්ථික ක්‍රියාවලිය තුළ සමාජීයවත් ගෘහය තුළ පෞද්ගලිකවත් විශාල වැඩ කොටසක් කරනවා. කාන්තාව විමුක්තිය ඉල්ලනවා නම් ඒ විමුක්තියේ තිඹිරිගෙය නිර්මාණය වෙලා තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළයි.

පසුගිය දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන් විවිධ දේශපාලන රැස්වීම්වලට ගෙනියන්න ඇති. ඒත් ඔබට එක වැඩක් බාර දෙන්න නැතිව ඇති. ඒ බාර නොදුන් වැඩේ තමයි අපි මේ ඔබට බාරදී තිබෙන්නේ. අද මෙතන කෑගල්ල දිස්ත්‍රික්කයේ විධායක සභාවට කාන්තාවන් 50කට වැඩි පිරිසක් තේරී පත්වුණා. කෑගල්ල වෙනුවෙන් නායකත්වය දෙන්න මේ සහෝදරියන්ට හදවතින්ම මම ශක්තිය හා ධෛර්යය, සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන් නායකත්වයෙන්. මෙතුවක් කලක් ලංකාවේ කාන්තාවන්ට දේශපාලනයේ තැනක් දී තිබුණා නම්, ඒ තාත්තා මැරුණොත් දුවට ගිය, මහත්තයා මැරුණොත් බිරිඳට ගිය වැන්දඹු දේශපාලනය තුළයි. ඒක පවුල් දේශපාලනයක්. අන්න ඒ දේශපාලනයට තිත තියලා, මේ මහපොළොවෙන් උපන් කාන්තා නායකත්වයක් හදා තිබෙන දේශපාලනයක් තිබෙනවා නම්, ඒ ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාව කියා අද ඔප්පු කර තිබෙනවා. ප්‍රශ්න තිබෙන තැනින්ම නායකයෝ එන්න ඕනෑ. කරගැටයක්වත් මතු නොවුණු, මහා ධනකුවේර පවුල්වල උපත ලබපු අයට පොදු මහ ජනතාවට සේවය ගන්න බාර දුන්නා. ඔවුන් ඔවුන්ට සේවයක් කර ගත්තා. කාන්තා හෝ පිරිමි සැබෑ නායකයෝ බිහි කරන්න ඕනෑ ජනතාව අතරිනුයි.

මේ 2024 වසරේ ඇරඹෙන්නේ මිනිස්සු ජාතික වශයෙන් එකතු වෙලා රට ගොඩනඟන්න වෙර දරන ඓතිහාසික යුගයක්. කාන්තාවෝ අද හිංසනයට, පීඩාවන්ට, නොසලකා හැරීම්වලට, අතවරවලට පත්වෙලා. ඒ පුරුෂයන් නිසාම නොවෙයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නේ නැතිව පීඩාව වෙනස් කරන්න බැහැ. අපි මේ උත්සාහ ගන්නේ එක පාලක කණ්ඩායමක් වෙනුවට තවත් එක පාලක කණ්ඩායමක් බිහිකර ගන්න නොවෙයි; පවතින ක්‍රමය වෙනුවට විකල්ප ක්‍රමයක් මේ රටට ගේන්න. මේ පවතින දේශපාලන ක්‍රමය අතුගා නව ආර්ථික ක්‍රමයක් ගොඩනඟන්න ඕනෑ. ඒකට තමයි ජාතික ජන බලවේගය මේ වෙහෙස ගන්නේ. ඒ සඳහා සෑම බලවේගයක්ම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මේ රටේ කාන්තා හිංසනය වැඩිපුරම තිබෙන්නේ ගෙවල්වල නොවෙයි. පාර්ලිමේන්තුවෙන්, ජනාධිපති මන්දිරයෙන්, අරලියගහ මන්දිරයෙන් තමයි, ඔබව හිංසනයට පත් කරන්නේ. බඩු මිල වැඩිකරන්නේ, බදු ගහන්නේ, ඉස්කාගාර ටික දාලා දෙන්නේ, කුඩු ගේන කට්ටිය බිහිවෙලා ඉන්නේ, පාතාලෙ නිර්මාණය වී තිබෙන්න් ඒ තැන්වලින් තමයි. අයුක්තිය, අසාධාරණය නිර්මාණය කරන්නේ. ජාතිවාදය, ආගම්වාදය, යුද්ධ, කලකෝලාහල නිර්මාණය කරන්නේ ඔවුනුයි. ජාතික ජන බලවේගය අතට පාලන බලය ගිය දාට ඔය හිංසනය හමාරයි. මේ රටට සහනය ගේන්න අපි සූදානම්.

කාන්තාවට සාහිත්‍ය තුළ, කලාව තුළ තැනක් දීලා තිබෙනවා. නමුත් රටේ ලෝකේ ඒ තැන දීලා නැහැ. ඒ තැන අපි දිනාගත යුතු තැනක්. ඒකට එකතු විය යුතුව තිබෙනවා. දැන් මැතිවරණය ආසන්න වෙනකොට දේශපාලන පොරපිටිය රත්වෙමින් එනවා. බඩු මලු, සල්ලි, අරක්කු බෙදනවා. ජනතාව එකතු කරලා මුලා කරනවා. ඒ ඔළුගෙඩිවලයි මේ ඔළුගෙඩිවලයි වෙනසක් තිබෙනවා. මෙතන ගැඹුරක්, බරක්, හරයක් තිබෙනවා. මේ දහස් සංඛ්‍යාත කාන්තාවන් එකතු වුණේ පොරොන්දු දීලා, බත් පැකට් දීලා, රවට්ටලා නොවෙයි. රට ගැන හිතලා ආපු ජනතාවක් මේ ඉන්නේ. මෙතන ගුණය, හරය වැඩියි. මෙවැනි ජනතාවක් අනිවාර්යයෙන් මේ රට ගොඩගන්නවා. රැවටීමෙන් තොරව, දැනුමෙන් සන්නද්ධ කරලා, අවබෝධය හදලා හදවතට හැඟීම ගෙනත් මේ රැස්කර තිබෙන්නේ. හිස්තැන්වලට මිනිස්සු එකතු වෙලා ගොඩනැගිය හැකි රටක් නැහැ.

Gahanu-Api-Kegalle

මේ රටේ කීර්තිමත් සාහිත්‍යවේදියෙක්, ගීත රචකයෙක්, ලේඛකයෙක් වූ ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා කාන්තාවට තැන දීලා අපූරු ගීතයක් ලිව්වා. නන්දා මාලිනිය විසින් ඒ ගීතය ගැයුවා.

මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා

ලංකා ඉතිහාසය වෙනස් කරන ප්‍රබලම කොටස්කාරයෝ බවට පත්වෙන්නේ කාන්තාවන් බව මේ එකතුවෙන් පේනවා. කාන්තාවන්ගේ මේ ප්‍රබෝධමත් නැගිටීම ගැන රටේ පාලකයෝ අන්දුන් කුන්දුන් වී බලා සිටිනවා. මේ සමාජය උඩුයටිකුරු කළ හැකි සන්නිවේදන හැකියාව තිබෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ටයි. අපේ රටේ ගත්තත්, ලෝකයේ ගත්තත් ඔබ විවිධ හැකියාවන්ගෙන් යුක්ත අපතේ හැරි මානව ප්‍රාග්ධනයක්. මේ රට ඔබෙන් හොඳම ප්‍රතිඵලය ගත්තේ නැහැ. ඊළඟට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදෙන කොට ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය වාර්තා වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ. දූෂිතයෝ පැත්තකට දාලා, ගැහැනු පිරිමි එකතු වෙලා මේ රට හදමු.

මේ රට ගිලා බස්සපු රටක්. සෑහෙන්න දේවල් ගොඩගන්න තිබෙනවා. ඒකට විශාල බලයක් යොදන්න ඕනෑ. මේ රට ගොඩනගන්න ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ලංකාව විදේශිකයන්ට අවුරුදු 443ක් යටත් වෙලා හිටියා. අපේ රටේ නිදහස් ව්‍යාපාරයක් තිබුණේ නැහැ. 1948 නිදහස ගන්න කොට නිදහස් සටන් ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයක් තිබුණා. මහත්මා ගාන්ධිලා, නේරුලා, චන්ද්‍රබෝස්ලා එකතු වෙලා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙන්න දැවැන්ත පීඩනයක් ඇති කරලා නිදහස ලබා ගත්තා. 1948 අපේ රටටත් නිදහස දීලා ගියා. අවුරුදු 76ක් ගිහින් බලන කොට ලැබුණු නිදහසකුත් නැහැ, ලෝකයේ බංකොලොත් රාජ්‍යයක් ලෙස නම්කර තිබෙනවා. මේකට වගකියන්න ඕනේ අවුරුදු 76ක නිල් – කොළ පාලනය. අපේ රටේ ආර්ථිකය වැටිලා, කර්මාන්ත වැහෙනවා, ව්‍යාපාර වැහෙනවා, රැකී රක්ෂා අහිමි වෙනවා, පාලකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියට දැන් බදු ගහනවා. බඩුමිල වැඩි කරනවා. දඩ ගහනවා. රටම හිංසනයට, පීඩනයට පත්වෙමින් තිබෙනවා. මාධ්‍ය තුළ කියනවා තිබුණු වලෙන් රට ගොඩ එනවා, කියලා තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිවෙලා කියමින්, ප්‍රශ්න හංගන්න හදනවා. එදා බඩු මිලට වඩා අද බඩු මිල තුන්ගුණයකින් වැඩිවෙලා. පීඩාව හංගන්න හදනවා. තුන්වේල කන්න නැහැ මන්දපෝෂණය වැඩිවෙලා. උගත්තු, දරුවෝ රට අතහැර යනවා.

ඉතිහාසයේ බලවේග සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග විදියට බණ්ඩාරනායක මහත්තයලා එකතු කළා. අද ඒ බලවේග නැහැ. ඒ බලවේගවල හොඳම ගුණය, අවංකකම එකතු වෙලා වෙලා ඉන්නවා. පූජ්‍ය පක්ෂය එකතු වී මහා සඟ සමුළු පවත්වනවා. ගොවියෝ දැවැන්ත බලවේග ලෙසත් ඒ වගේම ධීවරයාත් විවිධ ක්ෂේත්‍රවල ඉන්න කම්කරුවෝත් ගුරුවරු, වෛද්‍යවරු, එකතු කරමින් මේ වගේ සමුළු පැවැත්වෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පිහිටුවා තිබෙනවා. ව්‍යාපාරිකයන් වගේම ත්‍රී විලර් එකමුතුවත් පිහිටුවමින් තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ගොඩනඟා තිබෙනවා. තව ටික දිනකින් ජාතික ජන බලවේගයේ පොලිස් සාමූහිකයත් පිහිටුවනවා. දැවැන්ත ව්‍යාපාරයක් වන සමෘද්ධි ව්‍යාපාරය මූලික කරගෙන සමෘද්ධි සාමූහිකය ගොඩනඟමින් යනවා. ජාතික ව්‍යාපාරයක් හැටියට සිංහල දෙමළ, මුස්ලිම් කිසිදු බේදයක් නැතිව සියලු බලවේග එකතු කරමින් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නව පුනරුදයක් ගොඩනැගීමට මේ වගේ කාන්තාවන් පෙරමුණටම ගෙනයනවා.

වැටුණු රටක් ගොඩගන්න ලේසියි. ගිලා බැස්සූ රටක් ගොඩගන්න අමාරුයි. අපි උරදීලා තිබෙන්නේ ඒ අමාරු තැනින් රට ගොඩගන්න. තවමත් අප වටා එකතු වුණු නැති අයට අපි ආදරයෙන් ආරාධනා කරනවා අපේ දරුවන් වෙනුවෙන් මේ රට ගොඩගන්න අපිත් එක්ක එකතු වෙන්න. ජාතික ජන බලවේගයෙන් දරුවන්ට රටක්, රටට හෙටක් අපි අනිවාර්යයෙන්ම ගොඩනඟනවා. නිදැල්ලේ සිටින වැරදිකරුවන්ට අධිකරණයෙන් දඬුවම් ලබාදීමට අපි ක්‍රියාකරනවා.

Gahanu-Api-Kegalle

පැත්තෙන් පැත්ත අඳිමින් නිල්-කොළ රෙද්ද
හැත්තෑ හය වසක් රට කෙරුවා සුද්ද
කෑගලු ගැහැනු අද එක මිටකට එක්ව
මේකයි උන්ව හැඳි ගාවන අවුරුද්ද කියලා හැමෝම සූදානම් වෙන්න.

මැතිවරණ පිළිබඳව අවිනිශ්චිතතාවය ගොඩනඟමින් යනවා. මොන ප්‍රචාර ගෙනගියත් ලබන නොවැම්බර් මාසය වන විට අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරනවා. දැන් දූෂිත කණ්ඩායම් ඔක්කෝම එකට එකතු වී අපට එරෙහිව මඩ අවලාද නිර්මාණය කරනවා. අපි බලවත් වෙනකොට ජනතාවට බඩු බෙදීමත් වැඩිකරනවා. බඩු මිල පහත දානවා. මහ බැංකු වංචා බදු සල්ලි, සීනි බදු වංචා සල්ලි, ඉස්කාගාර අපි ළඟ නැහැ. ඒවාට විරුද්ධව අපි ජනතාවට දැනුම බෙදනවා.

අපි මේ ගමන ආවේ තනතුරු තානාන්තර බලාගෙන නොවෙයි. ඔවුන් වනසපු රට අපේ ජීවිත කාලය තුළදී අපේ දෑතින් අපේ දරුවන්ට ගොඩනඟා දීමේ හීනයක් අපට තිබෙනවා. දූෂිත දේශපාලනය අතුගා දමා, මේ රටට නව යුගයක් අපි ගොඩනඟනවා. ඔවුන් රටේ සම්පත් විකුණමින්, ණයට කමින්, හොරා කමින් රට විනාශ කළා. ඔබේ දිස්ත්‍රික්කය ගොඩනගන්න තිබුණු බෝගල පතල විකුණා දැම්මේ කෝටි 36.5කට. කහටගහ පතල එක්කෝටි හැටලක්ෂයකට වික්කා. රනිල්ලා අදත් විකුණනවා. කිරි මණ්ඩලයට අයිති ඉඩම් විකුණනනවා. වතුර විකුණන්න පනතක් ගෙනත් තිබෙනවා.

පවුල් පාලනය අවසන් කර, නිෂ්පාදන කර්මාන්ත මූලිකකර ගත් ආර්ථිකයක් අපි ගොඩනඟනවා. නිෂ්පාදන ආර්ථිකයක් තුළ පොදු ජනතාවගේ අත මිටට සාධාරණ ලෙස ආදායම් බෙදා දෙන්න සලස්වනවා. ජාතිවාදය, ආගම්වාදය සදහටම තිත තියනවා. රටටත් ලෝකයටත් ගැලපෙන හොඳම අධ්‍යාපනය අපේ දරුවන්ට ලබාදෙනවා. ජනාධිපතිගේ සිට දේශපාලකයන් හැටියට රටට ආදර්ශ ලබාදෙනවා. අරපිරිමැස්මෙන්, අල්පේච්ඡතාවයෙන් වැඩකර ජනතාවට ආදර්ශ ලබාදෙනවා. සියලුම මිනිසුන් එක්ව එකට පොරබදමින් නව පුනරුද යුගයකට රට ගේනවා. කලාකරුවන් ඒ වෙනුවෙන් නිර්මාණ බිහිකරාවි. රටේ ගොවියන් අලුත් තාක්ෂණය එක්ක විදේශ වෙළඳපොළටත් ගැලපෙන බෝග වගාකරාවි. ඒ වෙනුවෙන් පස්අවුරුදු සැලසුම් අපි හදනවා. ජාතික ජන බලවේගය වටා එක්රැස්වී යුක්තිය, සාධාරණත්වය, මනුෂ්‍යත්වය තිබෙන, බතබුලතින් සරුවූ, නැණ නුවණින් පොහොසත් වූ අභිමානවත් රටක් හදන්න අපි සියලු දෙනා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමු.

Gahanu-Api-Kegalle

“ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-

අද අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිලාද කියන පාඩම් ගණනාවක් උගන්වා තිබෙනවා. මේ සමාජය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනා එකඟ වෙලා තිබෙනවා. ඔබ ඇතුළු අපි කවුරුවත් දේශපාලනය කරන්න හිතපු අය නොවෙයි. අපි මුහුණ දෙන අභියෝග, ගැටලු තනි තනිවම විසඳන්න බැහැ, අපි එකතු වෙලා උත්තර සෙවිය යුතුයි කියන තීරණයෙන් හා අධිෂ්ඨානයෙන් අපි එකතු වී සිටිනවා. අපේ ශක්තිය පිළිබඳව අපි මෙතරම් කාලයක් හිතුවේ නැහැ. අපි ඒක පළමුවැනි වතාවට මාතරින් තේරුම් ගත්තා. අපි එය මුළු ලෝකයටම පෙන්නුවා.

මේ දේශපාලන වේදිකාව මත කලාව සාහිත්‍යය, ගීත, නැටුම්, ගැයුම් ඉදිරිපත් වුණා. ගැහැනු අපේ ශක්තිය, ආදරය පෙන්නුම් කරන ගැහැනු කතා, සිංදු ලියවෙලා තිබෙනවා. වරක් පත්තිනි දේවිය හැටියටත් වරෙක කාලි දේවිය ලෙසත් ආමන්ත්‍රණය කර තිබෙනවා. කුණ්ඩලකේසි මතක් වෙලා තිබෙනවා. මේ සියල්ලම අපි ගැන කියැවුණු කතා. අපේ ශක්තියත්, ධෛර්යයත් දැනිලා වේදිකාව තුළ අදහස් ප්‍රකාශ වුණා. අපිව සාගරයක් හැටියටත් විස්තර කළා. කුණාටුවක් හැටියටත් හඳුන්වා දුන්නා. ඒක ඇත්ත. සාගරයක් තරම් ගැඹුරුයි. අපි සියලු දෙනා තුළම ඒක තිබෙනවා. ගැහැනු අප විසින් හැදුණු කුනාටුව නතර වෙන්නේ මේ රට සුද්ධ කරලා. අපි නිවාඩුවක් ගන්නේ මේ රට පරිවර්තනය කරලා. නවත්වන්නත් බැහැ. නවත්වන්නෙත් නැහැ. ඒ ශක්තිය තමයි අද මේ සමාජයට දැනෙන්නේ. අද බලයේ ඉන්න අයටත්, බලයට එන්න හදන අයටත් දැනිලා තිබෙන්නේ. සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය, අභිමානය තිබෙන කාන්තා බලය තමයි අද මේ රට හොල්ලලා තිබෙන්නේ. ගැහැනු අපි ශක්තිය එකතු කරමින් මේ රට තීරණාත්මක ලෙස වෙනස් කර ඉවරයි. ඒක අපට දේශපාලන තලයේ දැනෙනවා. අද සමාජයේ විවිධ කණ්ඩායම්, මේ සමාජ පරිවර්තනය වළක්වන්න හදන අය කලබල වෙලා තිබෙනවා. මේ නිසා අපට විවිධ ප්‍රශ්න, විවිධ කතා, විවිධ අභියෝග එල්ල කරනවා. දේශපාලන රූපවාහිනී සංවාදයකට ගියත්, වේදිකාවේත් මාතෘකාව එකයි. ඒ තමයි ජාතික ජන බලවේගය පුරවැසියන් සමග ඇති වෙමින් යන සමාජ සම්මුතිය, ගොඩනැඟෙමින් යන විශ්වාසය බිඳින්නේ කොහොමද කියන එක තමයි දේශපාලන ප්‍රතිවාදියාගේ ලොකුම අරමුණ.

ඔවුන් ප්‍රශ්න කිහිපයක් අපට එල්ල කරනවා. අපට ප්‍රතිපත්ති නැතිලු. 2019 මැතිවරණ අවස්ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව අරගෙන ඒකෙ අඩුපාඩු අපට පෙන්නුම් කරනවා. අපි කියන්නේ කලබල වෙන්න එපා. අපි මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ වුණාම, අපේ වැඩපිළිවෙළ අපි එළියට දමන්නම්. එතකොට අපි සංවාද කරමු. ජාතික ජන බලවේගය කියන්නේ දේශපාලන දර්ශනයක් මත, ඒ දර්ශනයෙන් ලබාගත් මූලධර්ම පදනම් කරගත්, ප්‍රතිපත්ති හදමින් යන ඒ ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩපිළිවෙළකුත් ජනතාවට ඉදිරිපත් කරන ව්‍යාපාරයක්. මීට පෙරත් අපි එසේ කර තිබෙනවා. මේ වතාවෙත් අපි ඒක කරනවා. අපේ වැඩපිළවෙළ තුළ වෙනස් වෙන ස්වභාවයකුත් තිබෙනවා. අද රට තුළ සමාජ තත්ත්වය තුළ ඇතිවෙලා තිබෙන කොන්දේසිවලට අනුකූලව අපේ වැඩපිළවෙළ ඉදිරිපත් කරනවා. අපි අලුත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. අපේ මූලධර්ම වෙනස් කරන්නේ කලාතුරකින්. මේ මූලධර්ම දේශපාලන දර්ශනය තුළින් ලබාගන්න නිසා අපිට මූලධර්ම වැදගත්. ඒ ගැන ලොකු විස්තරයක් නොකීවාට, එය සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය තිබෙන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් හැදෙන දේශපාලන දර්ශනයක්. ඒ අනුව තමයි අපේ ප්‍රතිපත්ති හදන්නේ. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයත්, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයත් එහි ප්‍රධානම මූල ධර්ම හැටියට අපි දකිනවා.

මේ රටේ ප්‍රතිපත්වලින් අඩුවක් නැහැ. ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයට අපට ආරාධනා කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක්, ඒකට අදාළ පාලනයක් රටේ බිහිවෙලා නැති නිසා. මේ රටේ පාලකයන්ට ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න බැහැ. ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළොත් ඒගොල්ලන්ට හොරකම් කරන්න, දූෂණයේ යෙදෙන්න, නාස්ති කරන්න බැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රතිපත්ති අදාළ නැහැ. ඔවුන් දේවල් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ හිතමිතුරු චෞර වළල්ලේ වුවමනාවට. විද්‍යාව, දත්ත, විශ්ලේෂණය, ජනතා සහභාගිත්වය තුළින් හැදුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොවෙයි. ඒ නිසා අපි හිතනවා ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න නම්, දේශපාලන වෙනසක් අවශ්‍යයි. ඒ දේශපාලන වෙනස වෙනුවෙන් තමයි මේ සියලු දෙනාම පෙළගැසෙමින් යන්නේ. ඒ දේශපාලන වෙනසට තමයි මහජන නියෝජතයනුත්, පුරවැසියනුත් අතර අලුත් සමාජ සම්මුතියක් සඳහා මේ සාකච්ඡාව ගෙනියන්නේ. මේ සියලු දෙනාම එකතු කරන්නේ. ඒ අලුත් සමාජ සම්මුතිය අනුව තමයි අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් අපි ගොඩනගන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒ දේශපාලන වෙනස සිදුවෙන්නේ නැතිව මේ රටේ තිබෙන හොඳම ප්‍රතිපත්ති ගෙනාවත් වෙනස කර ගන්න බැහැ. මේ අවුරුද්ද තුළ ප්‍රතිපත්ති අනුව ජනතාව මුල්කර ගත් ජනතාවාදී පාලනයක් පිහිටුවීමේ අරමුණ ඉටු කර ගත යුතුයි. ඔබගේ අනුමැතිය අනුව තමයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.

Gahanu-Api-Kegalle

මේ දේශපාලනය පරිවර්තයන කිරීමට නම් අපි සියලු දෙනාගෙන් ඉටුවිය යුතු කාර්යයක් තිබෙනවා. අපිට තීරණාත්මක මැතිවරණයක් එනවා, ඒ මැතිවරණය අපි දිනනන්න ඕනෑ. ඒ වගේම ඒ ජයග්‍රහණය අපි ආරක්ෂා කර ගන්න ඕනෑ. නායක මණ්ඩලය පමණක් නොවෙයි, අප නියෝජනය කරන දේශපාලන සංස්කෘතියත්, දේශපාලන භාවිතාවත් අපි ආරක්ෂා කරන්න ඕනෑ. ඒ වෙනුවෙනුත් අපි මේ වෙලාවේ සූදානම් විය යුතුයි. මේ සමාජ පරිවර්තනය තුළ අපේ දේශපාලන සංස්කෘතියත්, දේශපාලන භාවිතයත් ප්‍රබල වෙනසකට භාජනය කරනවා. ඔබ බැලුවොත් මීට පෙර මේ රටේ සිදුවුණු සියලුම මැතිවරණවලින් පස්සේ පත්වුණු හැම ආණ්ඩුවක්ම මොකක්ද කළේ, ප්‍රතිවාදියාගෙන් පළි ගන්නවා. තමන්ට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ලංකර ගන්නවා. තමන්ට වෙනස් අදහස් දරන රාජ්‍ය නිලධාරීන් එළවා ගන්නවා. තමන්ට වැඩ කළා කියන පාක්ෂිකයන්ට වරප්‍රසාද බෙදනවා. අනෙක් අය කොන්කරනවා. එතකොට හැම මැතිවරණයක්ම අවසානයේ ආණ්ඩුවේ මුල්කාලයේ රාජ්‍ය අනුග්‍රහයෙන්ම පළිගැනීම් සිදු කරනවා. ඔය සංස්කෘතිය ක්‍රියාත්මක කරපු, ඒ සංස්කෘතිය මේ රට තුළ තහවුරු කළ අයම තමයි අපට පළිගන්නවා කියන චෝදනාව එල්ල කරන්නේ. ඒ කණ්ඩායම තුළ තමයි මැර බලය තිබෙන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කර මේ රටේ සියලුම ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද තමන්ට පක්ෂපාතී අයට පමණක් බෙදන, ඒ දේශපාලන සංස්කෘතිය ආරම්භ කළේ සහ පවත්වාගෙන ගියේ ඒ කණ්ඩායම තමයි.

අදටත් අපි ගම්වලට ගියාම, මෙවැනි සමුළු පවත්වන කොට අනෙක් පැත්තෙන් “මාලිමාවේ රැස්වීමට ගියොත් අස්වැසුම කපනවා. ඊළඟ දවසේ ට්‍රාන්සර් කරනවා” කියලා තර්ජනය කරනවා. අදටත් ඔය පණිවිඩය ඒගොල්ලෝ කියනවා. මෙවැනි දවස්වලට හදිසියේ බඩු බෙදන්න ගම්වල කට්ටිය ලැහැස්ති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මොකක්ද? ඒ ගොල්ලන්ගේ පළිගැනීමේ දේශපාලනය අදටත් කරගෙන යනවා. අදටත් ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය තුළ තිබෙන්නේ එවැනි අරමුණක්. ශිෂ්ට සම්පන්න රටක ආණ්ඩුවක් පත්වුණාම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් විතරක් නොවෙයි, මුළුරටම වෙනුවෙන්. නමුත් අවුරුදු 76ක් තුළ ආණ්ඩු පත්වුණේ ඒ ආණ්ඩු හිතවතුන් වෙනුවෙන් විතරයි. ඒ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කරනවා. අපේ ආණ්ඩුව තුළ අපි බලන්නේ නැහැ කාටද උදවු කළේ, කවුද අපට උදව් කළේ කවුද අපට ඡන්දෙ දුන්නේ, කවුද අපිත් එක්ක වැඩ කළේ, ඒ ගොල්ලන්ට විශේෂ වරප්‍රසාද නොවෙයි. ආණ්ඩුව පත්වුණාට පස්සේ සියලු දෙනාටම සාධාරණව, සියලු පුරවැසියන්ට සමානව සලකනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවුල් පසුබිම, පක්ෂපාතිත්වය අදාළ වෙන්නේ නැහැ. නීතිය කැඩුවා නම් ඒකට ක්‍රියාත්මක වෙන්න පොලීසිය, අධිකරණය තිබෙනවා. ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න අපේ ආණ්ඩුව බාධාවක් වෙන්නේ නැහැ. ඒකත් මතකයේ තබා ගන්න. මේ දවස්වල වුණත් බලයේ ඉන්න අයගේ බලපෑම මත වැරදි දේවල් කරන්න පෙළඹෙන නිලධාරීන්ට අපි කියනවා පරෙස්සම් වෙන්න. නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න. විශේෂයෙන්ම මැතිවරණ කාලය තුළ ඔවුන්ට ඕන දෙවල් කරවා ගන්න, නීති උල්ලංඝනය කරන්න විශාල බලපෑමක් නිලධාරීන්ට එල්ල වෙනවා. නමුත් රටේ නීතියට ගරු කරන්න. අලුත් දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලන පක්ෂපාතිත්වයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ගැහැනු අපට මේක අතිශයින්ම වැදගත්. ඒ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය තුළ බොහෝ විට බැට කෑවේ අපි. මේ රට ලේ විලක් බවට පත්වුණු අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒවායේ වැඩිම බලපෑම් ආවේ ගැහැනු අපට. ඒ නිසා ගැහැනු අපි විශ්වාස කරනවා මේ රටට සුවපත්වීමක් අවශ්‍යයි. මැර බලයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් පළිගැනීම නිසා දුක්වින්දා ඇති. අපේ දරුවන්, සහොදරවරුන්, සහොදරියන්, ආදරවන්තයන් නැතිවුණා හොඳටම ඇති. මේ රට ලේ හැලුවා හොඳටෝම ඇති. මේ රට සුවපත් කිරීමේ හැකියාව තිබෙන්නේ ගැහැනු අපට. ඒ නිසා අපේ නායකත්වය මේ සමාජ පරිවර්තනයට අතිශයින්ම වැදගත් වෙනවා. අපි සියලු දෙනා තුළම ඒ හැකියාව තිබෙනවා. අපි දරුවෙක් නලවන්න, වැඩිහිටියක් සනසන්න, තව කෙනෙක්ගේ දුකට ඇහුම්කන් දෙන්න, කෙනෙක් තේරුම් ගැනීමේ හැකියාව අපේ සංස්කෘතිය තුළ වැඩියෙන් ලැබී තිබෙන්නේ ගැහැනු අපටයි. අපේ සමාජ පරිවර්තනය තුළ අපේ සහෝදරවරුන් තුළත් ඒ හැකියාව වර්ධනය වෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ හැකියාව අදටත් අප තුළ තිබෙන නිසා, මේ රට සුවපත් කරන, ආදරය මත සංවිධානය වුණු ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්, සියලු දෙනා සුරැකෙන ඒ ක්‍රියාවලියට නායකත්වය ගැහැනු අපෙන් ලැබිය යුතුයි.

ඔබ මේ සම්බන්ධ වෙන සමාජ පරිවර්තනය දිහා බලන් ඉන්නෙ අපේ රටේ අය විතරක් නොවෙයි, මේකෙ බලපෑම ලෝකෙටම දැනී තිබෙනවා. මෙතරම් විශාලව දේශපාලනිකව සන්නද්ධ වුණු ගැහැනු බලවේගයක් ලෝක ඉතිහාසයේ මීට පෙර තිබී නැහැ. මේ වෙනස තීරණාත්මකයි; ඓතිහාසිකයි. ඔබ ඉතිහාසය වෙනස් කරන ඉතිහාසය අලුතින් ලියන ගැහැනුන් බවට පත්වෙලා ඉවරයි. අපි අලුතින් ලියන ඉතිහාසය තුළ නායකත්වය ගන්න දැන් අපි සූදානම් විය යුතුයි. ඒ සමාජ පරිවර්තනය ආරක්ෂා කිරීමටත් අපි ඉදිරිපත් විය යුතුයි. ඒ පරිවර්තනය කළායින් පස්සේ නිදහස්, නිවහල්, දුක නැති, අරගල කරන්න ඕන නැති සමාජයක් බිහිකරන්න අපට පුළුවන් වෙයි. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

Gahanu-Api-Kegalle

“අප ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක්”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර-

සමාජය නිර්මාණය කරන ඒ අභීත ගැහැනිය ඔබයි. අපි අපේ ශක්තිය හඳුනාගෙන නැහැ. කාන්තාව මේ සමාජයේ ආර්ථික ක්‍රියාවලියට විවිධ ආකාරයෙන් දායක වෙනවා. තේ දළු නෙළලා, කිරි කපලා මේ රටට ඩොලර් උපයන ගැහැනිය ඔබයි. ඈත ගමක අකුරු ලියන්න දන්නේ නැති කාන්තාව ඇඟිලි අත්සන ගහලා, තමන්ගේ පවුලේ සමීපතමයන් දාලා මැදපෙරදිග ගිහින් අපේ රටට ඩොලර් ගේනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 52%කට වඩා අපේ ආර්ථිකයට දායක වෙනවා. මේ ක්ෂුද්‍ර කර්මාන්ත ඇතුලේ අපේ කාන්තාව වැඩි පිරිසක් විශාල දායකත්වයක් දක්වනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා කාන්තාවන් විශාල පිරිසක් පීඩාවන් රැසකට මුහුණ දී තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයට විශාල ලෙස මුහුණ දෙන්නේ ඇය ව්‍යවසායිකාවක් ලෙස මේ ක්ෂේත්‍රයට දායක වෙන නිසයි. ඊට අමතරව වැටුප් ලබන කාන්තාවන් ගැන හිතුවොත් ප්‍රධාන පෙළේ රැකියාවල නියැලී ඉන්නේ 7.8%යි. රැකියා කරන කාන්තාවන්ගෙන් බහුතරය සාමාන්‍ය රැකියා කරන අයයි. හැබැයි මේ රටේ ආර්ථිකය හදන්න ඇය සුවිශාල දායකත්වයක් දක්වනවා. මේ ආර්ථිකය ගොඩනඟන්න, ඩොලර් හොයන්න දායක වෙන කාන්තාවට 76 වසර ඇතුළෙ ප්‍රති උපකාර විදිහට මේ පාලකයන්ගෙන් මොනවාද ලැබුණේ. ඔබට නිසි වැටුපක්, ඇගයීමක්, සැඳෑ සමය සතුටින් ගෙවන්න කිසියම් මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුණද, නැහැ. මේ රටේ කම්කරු නීතිය ඇතුලේ දේශපාලනඥයෝ දිනා දුන්නේ මොනවාද?

1948ට පෙර සිට කාන්තාවට ඡන්ද අයිතිය ලැබුණාට, අපෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔවුන් අපිව නියෝජනය කරන්නේ නැහැ. ඔවුන්ගේ මතය නියෝජනය කරමින් වෙනත් පැතිවලට, සල්ලිවලට විකිණෙනවා. ඔබ වෙනුවෙන් කතා කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම නම් මේ පාලන ක්‍රමය තවදුරටත් අරගෙන යන්න ඕනද? බොහෝ කාන්තාවන්ගේ අත, කණ, කර උගස් කර තිබෙන්නේ. පවුල්වලින් 35%ක් තමන්ගේ වටිනා සම්පත් උගස්කර තිබෙන්නේ. එයින් 22%ක්ම එසේ කර ඇත්තේ තමන්ගේ දරුවාට කන්න දෙන්න, දරුවා පාසල් යවන්න වැනි ප්‍රාථමික අවශ්‍යතා සපුරා ගන්න. ජනතාවගේ ප්‍රාථමික අවශ්‍යතාවත් ඉටුකර දෙන්න බැරි පාලනයක් මොකටද කියා හිතෙන්නේ නැද්ද? වසර 36ක්ම මේ රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය. ඒ ගොල්ලෝ මේ රට පාලනය කරන කොට වර්තමාන ජනාධිපතිවරයා අවස්ථා හයකදී අගමැති ධුරය දරා තිබෙනවා. නමුත් දැන් ඔහු 2048 වෙන කොට රට හදන්න ප්ලෑන් හදනවා. ඔහු ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හොබවා තිබෙනවා. ඒ අවස්ථාවල මොනවද ඔබට දුන්නේ. තවදුරටත් මොනවා හෝ කරයි කියා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

මේ දවස්වල ලස්සන කෙටි නාට්‍ය බලන්න පුළුවන්. ඔබේ දරුවගේ ආහාර වේල ඉස්කෝලෙන් හම්බවෙනවා. අම්මගේ තාත්තාගේ වැටුප එක අතකින් බදු වශයෙන් කොල්ලකමින් දේශපාලනඥයා පාසලට ඇවිත් අනෙක් අතෙන් කෑම වේල දෙන්නේ ඔබටවත්, දරුවටවත් ආදරේ හින්දා නොවෙයි; ඔවුන්ට ඡන්ද නැති හින්දයි. දරුවා බඩගින්නේ එසෙම්බ්ලියේදි කලන්තේ දාලා වැටෙද්දී, දරුවගේ බත් එකෙ මැල්ලුමයි, බතුයි තිබෙද්දී, ඔබ බත් ටිකක්, මිරිස් කුඩු ටිකක්, ලුනු ටිකක් ඉහගෙන කද්දි කිසිම දේශපාලනඥයෙකුගේ ඇස් ඇරුනේ නැහැ. ඡන්දයක් ළඟ එනකොට ඔවුන්ට දරුවන්ගේ කුසගින්න දැනෙන්න පටන් අරගෙන.

Gahanu-Api-Kegalle

ඔබ සිතිය යුත්තේ තමන්ගේ දරුවාට පෝෂණීය ආහාර වේලක් දෙන්න පුළුවන් විදිහට අම්මගේ තාත්තාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නායකත්වයක් ගැනයි. දැන් විවිධ විදියේ සංවිධාන හැදෙමින් පවතිනවා. ඔබට සහල් කිලෝ දහය ගානේ අප්‍රේල්, මැයි මාසෙට ලැබෙන්න නියමිතයි. තව බොහෝ දේවල් ලැබේවි. ගෑස් මිල, පෙට්්‍රල් මිල අඩුවේවි. කිරිපිට මිල ඊයේ අඩු වුණා. ඔබ නොසිතන ආකාරයේ කේතුමතී සුරපුරයක් මවාවී. ඔබ රැවටුණොත් ඔබගේ දරුවාගේ අනාගතය ඔබ 76 වසරක් පුරා විඳි ජීවිතයටත් වඩා ඛේදාන්තයක් වෙනවා නොඅනුමානයි. ඒ නොමිලේ ලැබෙන සෑම දෙයක්ම ගන්න. හැබැයි ඒවා ගැන හොඳ පරීක්ෂාවෙන් ඉන්න. නැතිනම් ඔබට නොමිලේ සත්තු වත්ත බලන්න ගිය අයට වුණුදේට මුහුණ පාන්න සිදුවේවි. අනෙක ඔබ මතක තියා ගන්න ඔය නොමිලේ දෙන්නේ ඔබගේ පර්ස් එකෙන් අරගත්තු බදු සල්ලි බව. ඔබ කැමති වුණත් නැති වුණත්, වක්‍ර බදු ලෙස ඔබ 40,000කට ආසන්න මුදලක් රජයට ගෙවනවා. ඒ සල්ලිම තමයි ඔය හාල් කිලෝ දහයක් වෙලා, මහන මැෂින් එකක්, නැතිනම් පෝෂණ මල්ලක් වෙලා එන්නේ. ඒක ඔබට ගන්න අයිතියක් තිබෙනවා.

කාන්තාවන් හරිම බුද්ධිමත්. කාන්තාව වෙනස් වුණොත් අනෙක් අය වෙනස් වෙනවා වගේ නොවෙයි. මාග්‍රට් තැචර් කියනවා “ඔබට මොකක් හෝ කියන්න දෙයක් තිබෙනවා නම්, පිරිමියෙක්ට කතා කරන්න. ඔබට මොකක් හරි වැඩක් කර ගන්න තිබෙනවා නම් කාන්තාවකට කියන්න” කියලා. ඒ කාන්තාවගේ ශක්තිය හඳුනා ගත් හින්දයි ඒ විදිහේ ප්‍රකාශයක් කළේ. ඒ නිසා ඔබේ ශක්තිය ගැන ලඝු කර හිතන්න එපා. මේ රට පරිවර්තනීය වෙනසකට ගෙනියන්න ඔබේ ශක්තිය ප්‍රමාණවත්. හැබැයි තනි තනි වශයෙන් කාන්තාවන් ගත්තාම අපිට මේ සමාජය පරිවර්තනය කරන්න බලයක් නැහැ. ඔබ නීතිඥවරියක්, වෛද්‍යවරියක්, ගුරුවරියක්, ගෘහණියක් වෙන්න පුළුවන්. ගමට, සමාජයට වැඩිම වැඩිම දායකත්වය දෙන ගැහැනුන්ට, වැඩ ඇරී වැඩට යන ගැහැනුන්ට මේ රටට දැවැන්ත ශක්තියක වෙන කාන්තාවන්ට හැම කෙනෙකුටම මේ සමාජය පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසයි අපි එක මිටට කාන්තාවන් එකතු කරන්නේ. විවිධ ශක්තීන් තිබෙන කාන්තාවන් එකට එකතු වුණොත්, ඒ සියලු ශක්තීන් බලයක් විදිහට ගොඩනැගෙනවා. ඒ බලය ඕනෑම අභියෝගයට එරෙහිව නැගී සිටින්න ප්‍රමාණවත්. ජාතික ජන බලවේගය කාන්තා බලය ගොඩනගන්නේ ජයග්‍රහණය කර අපි ප්‍රාර්ථනා කරන ඒ දේශය ගොඩනඟන්නයි.
ඔබට, මට කැමති විදිහට ඇති තරම් නිෂ්පාදනය කරන්න පුළුවන් ආර්ථිකයකුයි අපි ගොඩනඟන්නේ. ඔබට කැමති විදිහට සම කොටස්කරුවන් වෙන ආර්ථිකයකුයි අපි ගොඩනඟන්නේ. ඔබ කැමති විදිහට ආර්ථිකයට ඇතුළු වෙන්න පුළුවන්, ඔබට වැඩ කරන්න පුළුවන්. හම්බකර ගන්න පුළුවන්. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අපි ඇති කරනවා. අපි හැමෝටම ආර්ථිකයේ සාධාරණ පංගුවක් ලබාදෙනවා. මෙතෙක් පැවති මේ ජරාජීර්ණ ක්‍රමය වෙනස් කරලා, ලස්සනට ජීවත් වෙන රටක් හදන්න නම්, ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගත්තා වගේම ඔබ, අප හදන ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්විය යුතුමයි. ඔබ ප්‍රාර්ථනා කරන දේශය ගොඩ නගන්න නම්, ඔබ ඡන්දය දීලා විතරක් මදි. ඔබ එහි කොටස්කරුවෙක් ලෙස එකතු වෙන්න.

අපි එකාවන්ව එකතු වෙලා වැඩකරමු. අපි සංවිධානය වෙමු. හැම කාන්තාවක්ම තමන්ගේ උපරිම දායකත්වය මේ සඳහා ලබාදෙමු. අපි අපේ ලෝකයක් ගොඩනඟමු. අපේ දරුවන්, ඔබ, අපි සතුටින් ඉන්න, ඔබට මට සමාන වටිනාකමක් හම්බවෙන ලස්සන සමාජ ක්‍රමයක් නිර්මාණය කරමු. එකිනෙකාට ගරු කරන, එකිනෙකාට ආදරය කරන ඒ ලස්සන ලෝකය නිර්මාණය කරන්න අපි දායක වෙමු. මාලිමාව දිනවලා මේ රට නැවත ගොඩනඟන ඒ කාර්යයට දායක වෙන්න කියා ඔබට ආරාධනා කරනවා.

Gahanu-Api-Kegalle
Gahanu-Api-Kegalle
Gahanu-Api-Kegalle
Gahanu-Api-Kegalle
Gahanu-Api-Kegalle
Gahanu-Api-Kegalle
Gahanu-Api-Kegalle
Gahanu-Api-Kegalle
Show More

“ගෝඨාභයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්‍රබල පණිවිඩයක් ලබාදෙනවා” -ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-

(-මාධ්‍ය හමුව – 2024.03.26 – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ-) පසුගිය දිනෙක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් පිළිබඳ ඔහුට දැනුමක් ඇති බව. ඒ සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්නත්, ඊයේ (25 දින) අභියාචනාධිකරණය විසින් ලබාදු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නත් අපි මේ මාධ්‍ය හමුව පවත්වන් තීරණය කළා. දේශපාලන […]

(-මාධ්‍ය හමුව – 2024.03.26 – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ-)

npplpress

පසුගිය දිනෙක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් පිළිබඳ ඔහුට දැනුමක් ඇති බව. ඒ සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්නත්, ඊයේ (25 දින) අභියාචනාධිකරණය විසින් ලබාදු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නත් අපි මේ මාධ්‍ය හමුව පවත්වන් තීරණය කළා.

දේශපාලන පළිගැනීම් සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ කොමිසම විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට විරුද්ධව දී තිබූ තීන්දුව අභියාචනාධිකරණය විසින් බල රහිත කරනු ලැබුවා. මේ කරුණු දෙකම ජාතික වැදගත්කමකින් යුත් කරුණු දෙකක් නිසා ඒ සම්බන්ධව ජනතාව දැනුවත් විය යුතු යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විදිහට අපි විශ්වාස කරනවා.

2015 ජනවාරි මාසෙ 09දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පසුව ක්‍රියාත්මක වුණු අපරාධ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2019 නොවැම්බර් 19දායින් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පසුව කොමිසමක් පත්කරනු ලැබුවා. 2015 ජනවාරි මාසයේ 09දා සහ 2019 නොවැම්බර් මාසේ 19 අතර කාල පරාසය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ, එෆ්.සී.අයි.ඩී., මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය, අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාව, මගින් කරනු ලැබූ යම් විමර්ශන මගින් යම් රජයේ සේවකයෙක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක නිලධාරියෙක්, ත්‍රිවිධ හමුදා හෝ පොලීසියේ නිලධාරියෙක් පීඩාවකට පත්වෙලා තිබෙනවා නම්, ඔවුන්ගේ පීඩාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තමයි මේ කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ. මේ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතා. ඊට අමතරව සාමාජිකයන් දෙදෙනෙක් හිටියා. හිටපු අභියාචනාධිකරන විනිශ්චයකාර, චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු යන අය. මේ කොමිෂන් සභාව ආරම්භ කලායින් පස්සේ මේ සභාව වෙතට 2015 -2019 අතර කාල සීමාව තුළ කළ අපරාධ විමර්ශනවලට අදාළ විමර්ශන නිලධාරීන්, සමහර නඩු මෙහෙයවපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රජයේ නිලධාරීන් මේ කොමිෂන් සභාවට කැඳවනු ලැබුවා, විවිධ අය විසින් කරනු ලැබූ පැමිණිලි බලන්න.

අනුර දිසානායක මහත්මයාට විරුද්ධව තිබුණු පැමිණිල්ල අර තිබුණු නිලධාරී ගොඩට අයිති වෙන්නේ නැහැ. ඔහු දේශපාලකයෙක්. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත්, පොලිස් දෙපාර්තමේන්තුවටවත්, එෆ්.සී.අයි.ඩී. යටවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුවටවත් අයිති වෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව පැමිණිලි කර තිබුණේ පුද්ගලික පුරවැසියෙක්. මේ කාරණා දෙකටම කොමිෂන් සභාවට බලය දීපු ගැසට් පත්‍රයට අනුව අනුර දිසානායක මහතාට විරුද්ධව කිසිම ආකාරයකට ඒ කොමිෂන් සභාවට විමර්ශනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කෙසේ නමුත් උපාලි අබේරත්න කොමිෂම, අනුර දිසානායක මහත්තයාට විරුද්ධව ඔහුගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කරන්න ඕනෑ කියලා නිර්දේශයක් ලබාදුන්නා. ඊට අමතරව අපරාධ නඩු පවරන්න ඕනෑ කියලත් නිර්දේශයක් ලබාදුන්නා. මේ නිර්දේශය ලබාදෙන්නට පෙර ඉහත කියන ලද නෛතික තත්වයන්වල අනුර දිසානායක මහත්තයාට විරුද්ධව තිබෙන මේ නඩුව ගෙනියන්න බැරි ගැටලුව, අපි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළා. අභියාචනාධිකරණයේ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇවිත් පොරොන්දුවක් දුන්නා ඔහුට විරුද්ධව නඩුව ඉදිරියට ගෙනියන්නේ නැහැ අභියාචනාධිකරණයේ නඩු තීන්දුව අවසන් වන තෙක් කියලා. කෙසේ නමුත් ඒ නඩුව එසේ තිබියදී ඔහුට විරුද්ධව තීන්දුවක් ලබාදුන්නා. ඒකට විරුද්ධව තමයි අභියාචනාධිකරණයට අනුර දිසානායක මහතා රීට් අයදුම්පතක් ඉදිරිපත් කළේ. මේ රීට් අයදුම්පත අනුව අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා, මේ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දී තිබූ බලය අතික්‍රමණය කොට ලබාදුන් තීන්දුවක් කියලා. තවත් නඩු විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ වාසියට තීන්දු ලබාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ආකාරයේ නඩු 10ක් 11ක් විතර තවමත් විභාග වෙමින් පවතිනවා.

මේ කොමිෂන් සභාවේ හැසිරීම ගැන විශාල විවේචනයක් මුල් කාලයේ සිට තිබුණා. සමහර නඩු අවසන් වුණේ පැමිණිලිකරුගේ සාක්ෂිය මත පමණයි. වගඋත්තරකරුට සිතාසි ඇවිත් තිබුණේ නැහැ. වගඋත්තරකරු මෙම කොමිෂන් සභාවේ ඔහුට විරුද්ධව විමර්ශනයක් කරන බව දන්නේවත් නැහැ. කෙසේ හෝ කැකිල්ලේ ස්වභාවයේ කොමිෂන් සභාවක් ක්‍රියාත්මක වුණා. මේ කොමිෂන් සභාවේ වියදම රුපියල් මිලියන 21ක්. මේවා මහජන මුදල්. මේ කොමිෂන් සභාව දී තිබෙන තීරණ පහක් ඔවුන්ට නැති බලයක් ක්‍රියාත්මක කළා කියලා අභියාචනාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් කියන්නේ මේ රටේ අධිකරණ ධූරාවලියේ ඉහළම ධුරයක්. මෙවැනි විනිශ්චයකාරවරයෙක් කියන්නේ පහළ සිට ලොකු ගමනක් ආව පුද්ගලයෙක්. මේ රටේ ජනතාව මහේස්ත්‍රාත්වරයෙකුගෙන් වුවත් සාධාරණ නඩු විභාගයක් බලාපොරොත්තු වෙනවා. මෙම කොමිෂම ඉදිරියේ විභාග වුණු නඩු මොනවාද? තරුණයන් එකොළොස් දෙනෙක් ඝාතනය කළ නඩුව, එක්නැළිගොඩ නඩුව, උදයංග වීරතුංගට විරුද්ධ නඩුව. ඒ නඩුවල විත්තිකරුවන් ඇවිත් මේ කොමිෂම ඉදිරියේ පැමිණිලිකරුවන් විදිහට නඩු ඉදිරිපත් කළේ. සමහර නඩු මහාධිකරණවල, මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙනවා. මහාධිකරණයේ තිබෙන තරුණයන් එකොළොස් දෙනාගේ නඩුව, ඉවත් කරන්න කියලා මේ කොමිෂන් සභාව නිර්දේශයක් දෙනවා නීතිපතිවරයාට. එක්නැලිගොඩ සම්බන්ධයෙනුත් එහෙමයි. මේ ආකාරයෙන් ඉතාම පක්ෂග්‍රාහී විදිහට සහ විනිශ්චයකාර පරිචයක් නොමැති පුද්ගලයන් සේ මේ තීන්දු තීරණ ලබාදී තිබන බව පැහැදිලියි.

මේ කොමිෂන් සභාව ඇත්තටම පත්කරනු ලැබුවේ කුමන හේතුවකටද යන කාරණය ඉතාම පැහැදිළියි. මේ කොමිෂන් සභාව මගින් විභාගයට ගනු ලැබූ සියලුම දේවල් රාජපක්ෂලාට සම්බන්ධ නඩු. අනෙක් පාර්ශ්වය කැඳවන්නේ නැතිව, සාක්ෂි විභාගයක් නැතිව එහෙම තීන්දු ලබාදෙන කොට මොකක්ද මේ සමාජ දේහයට සිදුවන විනාශය. මුළු මහත් සමාජයම ඉතාම බරපතළ ලෙස අරාජිකත්වයකට පත්වෙනු ලබනවා. මේ තීන්දු ඓතිහාසික තීන්දු වෙනවා. විනිශ්චයකාරවරු වුණත්, විශ්‍රාම ගත්තාට පස්සේ විධායකයට ඕන ඕන විදිහට නටන්න සූදානම් වෙන්න එපා කියන පණිවිඩය තමයි අභියාචනාධිකරණයෙන් මේ තීන්දුවෙන් ලබාදී තිබෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය දිනෙක මාධ්‍යයට කිව්වා පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සම්බන්ධයෙන් ඔහුට දැනුමක් තිබෙනවා කියලා. එක පැත්තකින් මෙය බරපතළ ප්‍රකාශයක්. ඔහු ඒ ප්‍රකාශයේදී කියනවා “මට මේක ප්‍රසිද්ධියේ කියන්නත් බැහැ. මම මේක රහසිගතව විනිශ්චයකාරවරුන්ට කියන්නම්” කියලා. ඔහු හිටපු සේනාධිනාකයා. ත්‍රිවිධ හමුදාවටම අණදෙන්නා. ඒ වගේම මේ රටේ සිටි ප්‍රධාන පුරවැසියා. නැවත දෙවැනි ප්‍රකාශයක් කරනවා, “මට මේක සති තුනකට විතර කලින් කෙනෙක් කිව්වා” කියලා. පළමු ප්‍රකාශයේ ඇති බරපතළකම වැටහුණාට පසුවදෝ දෙවැනි ප්‍රකාශයට යන්නේ. මේ රටේ අපරාධ විමර්ශන ආයතනවලට විශාල වගකීමක් පැවරිලා තිබෙනවා, ඔහු මේ කිව්වේ මොකක්ද කියා සොයා බලන්න. ඒ වගේම නීතිපතිවරයාටත් වගකීමක් තිබෙනවා පොලීසියට අවශ්‍ය උපදෙස් සහ අදාළ නියෝග නිකුත් කරන්න. රටේ සිටි ප්‍රධාන පුරවැසියා ලෙස ඔහුට වගකීමක් තිබෙනවා මේ මේ අය සම්බන්ධයි කියා කියන්න. ඔහු ඒක කියන්න බැඳී සිටිනවා. අපේ රටේ නීතිය ගත්තාට පස්සේ සාක්ෂි සැඟවීම හෝ අපරාධකරුවන් සැඟවීම අපරාධ වරදක්.

මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ. එහි පැහැදිලිව සඳහන් කොට තිබෙනවා සාක්ෂි සැඟවීම, අපරාධකරුවන් සැඟවීම වරදක් බව. ඔහුගේ ප්‍රකාශය මත විමර්ශනයක් ආරම්භ කළ යුතු වෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත්වරයාට රහසිගතව ප්‍රකාශයක් දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ 127වැනි වගන්තිය අනුව පුළුවන්කම තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට යොමු කරලා, එතැන් සිට විමර්ශනය ආරම්භ කරන්න පුළුවන්. මේ කරුණ සම්බන්ධයෙන් විශේෂයෙන් විමර්ශනයක් අනිවාර්යයෙන් ආරම්භ කළ යුතු වෙනවා. හිටපු ජනාධිපතිවරයාට විශේෂ වගකීමක් තිබෙනවා, ඔහු සේනාධිනායකයා, ප්‍රධාන පුරවැසියා, විධායකයේ ප්‍රධානියා, ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා මේ සියල්ල තිබියදී මේ සියල්ල වෙනකොට ඔහුට මේ කාරණය සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙනවා.

npplpress

“මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශය තවත් දේශපාලන කුමන්ත්‍රණයක්ද කියලා සැකයි”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමයේ නීතිඥ උපුල් අබේවික්‍රම-

හිටපු ජනාධිපතිවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන පසුගිය මාර්තු 22 මහනුවරදී ප්‍රකාශයක් කළා, 2019 අප්‍රේල් මාසයේ කිතුනු බැතිමතුන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ මොහොතේ පවතින මැතිවරණ තත්වයන් තුළ, පාලනයට කෑදර, බලකාමී දේශපාලනඥයන්ගේ යම් දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කිව නොහැකියි. ජාතික ජන බලවේගය හැටියට අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාව කම්පනයට පත්කළ සිදුවීම පිළිබඳව නැවතත් ජනතාව ආන්දෝලනයට පත්වී සිටිනවා. යුක්තිය පසිඳලන ආයතනයන් වන නීතිපතිතුමාට, අධිකරණ පද්ධතියට, විමර්ශන ආයතනවලට සහ පොලීසිටත් මේ කාරණාව සැහැල්ලුවෙන් සලකන්න හැකියාවක් නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ 174 වගන්තිය යටතේ ඉතා පැහැදිලිව කියනවා “යම් රජයේ සේවකයෙක් වශයෙන් රජයේ සේවකයෙකුට දැනුම්දීමට හෝ යම් කරුණක් ගැන තොරතුරු සැපයීමට නීත්‍යානුකූලව බැඳී ඇති තැනැත්තෙකු විසින් නීතියෙන් අවශ්‍ය ආකාරයට හා වේලාවට එබඳු දැනුම්දීමක් හෝ තොරතුරු සැපයීමක් පැහැර හරිනු ලැබුවහොත් ඔහුට දඬුවම් කළ හැකි බව”. එසේම “එම වරද වැළැක්වීමේ කාර්ය සඳහා හෝ වරදකරුවෙකු අත්අඩංගුවට ගැනීම පිණිස බාධා වක් වන කාරණාවක් නම් ඔහුට අවුරුදු දෙක දක්වා සිරදඬුවම් දිය හැකි බව” එම දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියේ සඳහන් වෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ මොහොතේ, අපි ඊයේ දිනයේදිත් ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට ගරු නීතිපතිතුමා හමුවෙලා ඔහුගෙන් ඉල්ලීමක් කළේ, නීතිපතිතුමාට මේ තත්වයට මැදිහත් වෙනලෙසට. (“ජනාධිපතිවරයා දන්නා තොරතුරු අධිකරණ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් දැන් කර තිබෙනවා.”) ඒ තත්වය උඩ අපි ඉල්ලීමක් කළා පොලීසියට උපදෙස් දෙන්න, මේ ප්‍රකාශය සටහන් කරලා, වහාම අධිකරණයට කරුණු වාර්තා කරලා, බී වාර්තාවකින් මොහුගේ ප්‍රකාශය විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ප්‍රකාශය ලබාදීමට සලස්වලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කටයුතු කිරීම සඳහා උපදෙස් ලබාදෙන ලෙස.

විශේෂයෙන් අපි සඳහන් කරන්නේ දේශපාලන ප්‍රයෝජන සඳහා තමන්ට අවශ්‍ය අවශ්‍ය වෙලාවට මේසා විශාල ඛේදවාචකයක් පාවිච්චි කරන්න මේ රටේ ජනතාව තවදුරටත් ඉඩදිය යුතු නැහැ. අපි යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයට සහාය වන ප්‍රජාවක් හැටියට නීතිඥයන් හැටියට මේ ප්‍රශ්නය බරපතළ කාරණාවක් ලෙස දකිනවා. ඒ අනුව අපි ඉල්ලීමක් කරනවා අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මේ තැනැත්තා කියා තිබෙනවා‘ අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ස්වේච්ඡාවෙන් මේ ප්‍රකාශ කරන්න කැමතියි’ කියා. ඔහුගේ ස්වේච්ඡාභාවය ලෝකයටම පැහැදිලියි. ඔහුට තිබෙන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් කළාම පොලීසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් දන්නා තොරතුරු, “සති තුනකට පෙර මේ සිද්ධිය කිව්වේ කවුද?” විමසා මේ විදිහට මේ පිළිබඳ ගැඹුරු ලෙස මැදිහත් වෙන්න. මේ කරුණ ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකුටම කියනවා, මේ සිද්ධිය ලඝුකොට සලකන්න දෙන්න එපා. කළ හැකි සියල පීඩනයන් මේ ආයතනවලට එල්ල කළ යුතුයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවටත්, කාදිනල් හිමිපානන් ඇතුළු කතෝලික ජනතාවටත්, මේ රටේ ශිෂ්ඨසම්පන්න සියලු පුරවැසියන්ටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින ඇත්ත තත්වය දැනගන්න ඕනෑ. මේ අපරාධයට සම්බන්ධ තැනැත්තන් මේ සිද්ධිය අවුරුදු පහක කාලයක් තොරොම්බල් කර කර යනවා. ශිෂ්ට සමාජයක් මෙය හෙළා දැකිය යුතුයි. අද වෙනතුරු මේ සිද්ධිය සම්බන්ධයෙන් පිරිසිදු පරීක්ෂණයක් සිදුකර නැහැ. මේ සම්බන්ධයෙන් අවශ්‍යවන මැදිහත්වීම කරන්න සෑම කෙනෙකුටම වගකීමක් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට ඉතාම ඕනෑකමින් බලා සිටිනවා. මේ සම්බන්ධව ඉතා ළඟින් නිරීක්ෂණය කොට, අවශ්‍ය උපදෙස් ලබාදී, පොලීසිය මෙහෙයවන ලෙසට, අපි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

Show More

මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ජාතික ජන බලවේගයේ සොව පළවේ

(-Colombo, March 26, 2024-) පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ. අද (26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු […]

(-Colombo, March 26, 2024-)

පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ.

අද (26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තැබීය.

Vijitha@Russian-Embassy
Show More