Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව

(-Colombo, April 19, 2024-) 2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද වන විට වසර පහක් ගත වී ඇත. එම අවාසනාවන්ත දිනයේදී දෙව්මැදුරු තුනකටත් සංචාරක හෝටල් කිහිපයකටත් එල්ලකරනු ලැබූ අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයින් දෙසිය හැත්තෑතුන්දෙනෙකු […]

(-Colombo, April 19, 2024-)

Easter-attack

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද වන විට වසර පහක් ගත වී ඇත. එම අවාසනාවන්ත දිනයේදී දෙව්මැදුරු තුනකටත් සංචාරක හෝටල් කිහිපයකටත් එල්ලකරනු ලැබූ අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයින් දෙසිය හැත්තෑතුන්දෙනෙකු (273) හට ජිවිත අහිමි වූ අතර, පන්සියයකට අධික පිරිසක් පූර්ණ හෝ අර්ධ ආබාධිතයන් බවට පත් වූහ. එසේ අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන් ට සහ එකී ප්‍රහාරය මගින් විනාශයට පත්වූ දේපල වෙනුවෙන් රජයට වගකීමක් ඇති බවත්, එම වගකීම මේ වන තෙක් නිසියාකාරව ඉෂ්ඨකර ඇත්තේද යන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඇති බවත් ජාතික ජන බලවේගය වශයෙන් පහත කරුණු ජනතාවගේ අවධානයට යොමු කරනු ලබන අතර, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කර සිටිමු.

1. පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කොට ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් වන අතර එකි අපරාධයට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම් කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛ කටයුත්ත වන්නේය

2. පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙරාතුව ඒ පිළිබඳව නිසි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ සහ එම ප්‍රහාරය සම්බන්ධව සිදු කළ විමර්ශන වෙනතකට හරවා, එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින්, එම ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු පාර්ශවයන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැලැක්වූ ආරක්ෂක අංශවල නිලධාරීන් සහ වෙනත් නිලධාරීන්ද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඊට වගකිවයුතු සෑම දේශපාලන බලධාරීයෙක්ම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම

3. i. පාස්කු වින්දිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණ ලද මූලික අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද

ii. දැනටමත් ජනාධිපති විසින් පත්කරන ලද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවල ඇතුළත් දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද තරාතිරම නොබලා අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරන අතර

iii. අනාගතයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළව පත්කරනු ලැබීමට නියමිත විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශද පදනම් කරගනිමින් ඊට වගකිවයුතු දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවද අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරනු ලැබේ

4. මෙම ප්‍රහාරයට අදාළව දැනට විභාග වෙමින් පවතින නඩු, ප්‍රමුඛතා පදනමක් (Priority Basis) මත හැකි ඉක්මණින් අසා නිමකිරීමට අදාළ අංශවලට ඉල්ලීම් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම

5. මෙම ප්‍රහාරයට සම්බන්ධව මේ වනවිට මෙරටින් පැන ගොස් සිටින සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සහ මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න ඔවුන් මාර්ගයෙන් විමර්ශනය කිරීම සහ එසේ අනාවරණය වන සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම

6. මෙම ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ජීවිත සහ දේපළවලට නිසි ආකාරයේ වන්දි ක්‍රමවේදයක් හඳුන්වාදීම, ඔවුන් පත්ව ඇති මානසික ව්‍යාකූලභාවයන්ගෙන් ඔවුන් මුදවා ගත හැකි ආකාරයේ මනෝවිද්‍යාත්මක වැඩපිළිවෙලක් හඳුන්වා දීම

7. මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂ කොමිෂන් සභා සහ වෙනත් විමර්ශන මගින් හෙළිකරගත් තොරතුරු පදනම් කරගනිමින් තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු රාශියක් පවතින බැවින්, ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂා කර සත්‍ය විමර්ශනය කරගැනීමට සහ පීඩාවට පත් පාර්ශවයන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අරමුණු කරගනිමින් පූර්ණ අධිකරණ බලැති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කොට එහි නිර්දේශයන් මත ඉතා කෙටි කලක් තුළ, මෙම ප්‍රහාරයන් දියත් කිරීමට කුමන්ත්‍රණය කළ අයවලුන්ට සහ විවිධ අයුරින් ඊට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ මත දඬුවම් පැමිණවීමත්, කිසිදු පැකිලීමකින් තොරව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් සිදු කරනු ලබන බවත් ශ්‍රී ලාංකේය ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමු.

Show More

ජාතික ජන බලවේගය කාදිනල් හිමියන් හමුවෙයි…

(-Colombo, April 19, 2024-) 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුහ් මැල්කම් රංජිත් හිමියන්ට පිළිගැන්වීම අද(18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් […]

(-Colombo, April 19, 2024-)

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුහ් මැල්කම් රංජිත් හිමියන්ට පිළිගැන්වීම අද(18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත්ය.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි විය.

NPP-meet-Kardinal
NPP-meet-Kardinal
NPP-meet-Kardinal
NPP-meet-Kardinal
NPP-meet-Kardinal
Show More

නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් කරගනිමු!

අලුත් අවුරුදු පණිවිඩය (-Colombo, April 13, 2024-) ශ්‍රී ලාංකේය සිංහල සහ දෙමළ ජනතාව විසින් නව අවුරුදු උදාව නිමිති කර ගනිමින් උත්සවාකාරයෙන් සමරනු ලබන මහා සංස්කෘතික උළෙල මෙවර අප්‍රේල් 13 දිනට යෙදී තිබේ. සාම්ප්‍රදායික විශ්වාසය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම අනුව එළඹෙන අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වන සිංහල දෙමළ […]

අලුත් අවුරුදු පණිවිඩය

(-Colombo, April 13, 2024-)

Sinhala-Hindu-New-Year

ශ්‍රී ලාංකේය සිංහල සහ දෙමළ ජනතාව විසින් නව අවුරුදු උදාව නිමිති කර ගනිමින් උත්සවාකාරයෙන් සමරනු ලබන මහා සංස්කෘතික උළෙල මෙවර අප්‍රේල් 13 දිනට යෙදී තිබේ. සාම්ප්‍රදායික විශ්වාසය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම අනුව එළඹෙන අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වන සිංහල දෙමළ ජනතාවට අපි සුභාශිංසන එක්කරනු කැමැත්තෙමු.

අලුත් අවුරුදු උත්සවය නිවසේ ඇති ද්‍රව්‍යවල සිට ජන ජීවිතයට සම්බන්ධ සියලු අංගයන්හි අලුත් වීමක් හෝ අලුත් කර ගැනීමක් සමග බැඳී තිබෙනවා පමණක් නොව එය පෙරළා ජන ජීවිතයට සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක්ද වේ. කලක් පවත්වාගෙන පැමිණි අනවශ්‍ය දෑ ඉවත් කර ගේදොර මෙන්ම ජීවිතයද නැවුම් බවකින් පුරවා ගැනීමට එය ඉඩකඩ නිර්මාණය කරයි. එම නැවුම් බවට මෙතෙක් තමන් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමට කරනු ලබන පෙළඹවීමද ඇතුළත්ය.

පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බොහෝ පිරිසකට නව අවුරුද්ද තම අපේක්ෂාව අනුව උත්සවාකාරයෙන් සැමරීම පිළිබඳව සිතීම පවා වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. එසේ වී ඇත්තේ චක්‍රයක් සම්පූර්ණ කරමින් අලුත් අවුරුද්ද උදා වූ නමුදු, පැවති හා පවතින පාලනයන් විසින් වසර 76ක් පුරා ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම හේතුවෙනි. ලැබෙන පළමු මොහොතේම පවත්නා දුෂ්ට හා දූෂිත සමාජ ආර්ථික දේශපාලන චක්‍රයෙන් ඉවත් වී බංකොලොත් වී ඇති රට ඉන් ගොඩගන්නා වූ සහ දියුණු හා සාධාරණ සමාජයක් වෙත ඔසවා තබන්නා වූ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමට එළඹි අලුත් අවුරුද්ද විසින් ඉඩහසර විවර කර ඇත. අලුත් අවුරුද්දේ ඇති කර ගන්නා වූ ප්‍රාර්ථනා සැබැවින්ම ඉටු වනු ඇත්තේ එවැනි තත්වයක් තුළ පමණි.

උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ එම සුභ නැකත එළඹෙන තුරුය. රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇතැයි අපි සුභාශිංසනය කරමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.04.13

Show More

ජනමාධ්‍ය නිවේදනයයි

(-Colombo, April 10, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බැවින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුව තිබේ. දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ අප […]

(-Colombo, April 10, 2024-)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බැවින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුව තිබේ.

දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ අප පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් 2023.01.09 දින හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සමගය. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විසින් විවිධ මාධ්‍යයන්හි ජාතික ජන බලවේගයට එරෙහිව කරුණු දක්වමින් සිටි තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද අදහස්වලට ප්‍රතිචාර ලෙසය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා කවර හෝ හේතුවක් මත එම විවාදය පිළිබඳ අභියෝගය භාර නොගත් අතර පසුව ඒ වෙනුවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය සමග ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කිරීම පිළිබඳ මාතෘකාවක් ඉදිරිපත් කර සිටියහ. දැන් විවාදය පිළිබඳ මුල් සංවාදය යටපත් කරමින් දෙවෙනුව ගෙනා විවාද යෝජනාව පිළිබඳ සංවාදයක් ඉදිරියට ගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් ගන්නා උත්සාහය ඊයේ (09) දින නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මගින් කූට ප්‍රාප්තියට පත්ව ඇති බව අපි නිරීක්ෂණය කරමු.

එම නිවේදනයේ ඔහු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය විවාදය මඟහරිමින් සිටින බවටත් විවාදය සඳහා පළමුවෙන් යෝජනා කළේ තමන් බවටත් ජාතික ජන බලවේගය අතීතය අමතක කර ඇති බවටත් චෝදනා කරයි. එහෙත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයට ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විවාදයක් මඟහැරීමේ අවශ්‍යතාවක් කිසිසේත් නොමැති අතර ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, ලොව දියුණු රටක් බවට ගොඩනැගීමට අදාළ උපායමාර්ගික සැලසුම් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් එය සතුය. විවාදයක් පිළිබඳව ගොඩනැගුණු මුල්ම සංවාදය අනුවත්, 2024 වර්ෂයේ එලඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙසත් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම විවාදය පැවැත්වීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කරමු. එසේම මේ තත්වය තුළ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නේ කවුදැයි ජනතාවට අතිශය පැහැදිලි වනු ඇතැයිද සිතමු.

මේ සියල්ල සලකා බලමින් අපි පහත යෝජනා සමගි ජන බලවේගය වෙත ඉදිරිපත් කරනු කැමැත්තෙමු.

  1. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයක් පැවැත්වීමට අප සූදානම්ය.
  2. යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් හා ඒ අනුව එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම්ය. *

මේ තත්වය තුළ විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය
2024.04.10

Show More

“ජාතික තරුණ සේවා සභාව තිබෙන්නේ රනිල්ගේ දේශපාලන ප්‍රොජෙට් කරන්නද?” -සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර-

(සමාජවාදී තරුණ සංගමයේ මාධ්‍ය හමුව – 2024.04.10) බලහත්කාරී ලෙස ජන වරමකින් තොරව ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රොජට් එකක් ජාතික තරුණ සේවා සභාවේ සම්පත් උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ජනතාව සමග බැඳීමක් නැති රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ, මාධ්‍ය සහ ඇතැම් හමුදා නිලධාරීන් යොදා ගනිමින් ක්‍රියාත්මක වුණා. එය අසාර්ථක වූ තැන පාසල් […]

(සමාජවාදී තරුණ සංගමයේ මාධ්‍ය හමුව – 2024.04.10)

syu-press

බලහත්කාරී ලෙස ජන වරමකින් තොරව ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රොජට් එකක් ජාතික තරුණ සේවා සභාවේ සම්පත් උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ජනතාව සමග බැඳීමක් නැති රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ, මාධ්‍ය සහ ඇතැම් හමුදා නිලධාරීන් යොදා ගනිමින් ක්‍රියාත්මක වුණා. එය අසාර්ථක වූ තැන පාසල් සිසුන් යොදාගෙන මාධ්‍ය ප්‍රචාරයන් දියත් කළා. එයත් අසාර්ථක වූ තැන රාජ්‍ය නිලධාරීන් කැඳවා මාධ්‍ය සංදර්ශන පැවැත් වූවා. අලුත්ම ප්‍රචාරක ව්‍යාපාරය තුළ ජාතික තරුණ සේවා සභාවේ තරුණ සම්මේලන ඔහුගේ බල දේශපාලන ක්‍රියාවලියේ කොටසක් ලෙස යොදාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාක්ෂි ගණනාවක් අප සතුව පවතින අතර, එයින් කොටසක් මෙහිදී හෙළිකරනවා.

“යූත් සමිට් – 2024” යන ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වී පසුගිය 07වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයද යොදා ගනිමින් පැවැත් වූවා. මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභා සහකාර අධ්‍යක්ෂ, නිකුත් කර තිබෙන ලිපියක ප්‍රධාන කරුණු ගණනාවක් අඩංගු වෙනවා. ඔහු යෞවන සමාජ දිස්ත්‍රික් ලේකම් වෙත යවන ලද ලිපියේ ඒ වෙනුවෙන් රජයේ නිලධාරීන් වෙතද රාජකාරි පවරා ඇති ආකාරය දැක්වෙනවා. තරුණ තරුණියන් 500ක් සවස 2.00 වන විට මහනුවර ජානාධිපති මන්දිරයට සම්බන්ධ කිරීම, තරුණ සේවා නිලධාරීන් ඒ වෙනුවෙන් නිශ්චිත රාජකාරිමය පැවරීම මගින් යොදා ගැනීම, ප්‍රවාහන පහසුකම්වලට බස්රථ අටක් යොදවා තිබීම සහ මුදල් වෙන්කර තිබීම, ජනාධිපති වෙත අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සුදුසු තරමින් හඳුනාගෙන ඒ අයගේ නාමලේඛනය එදිනට පෙර දැනුම් දීම යන කටයුතු පවරා තිබෙනවා. තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්, පළාත් අධ්‍යක්ෂ, තරුණ සේවා නිලධාරීන්, නිස්කෝ සම්බන්ධී කාරක නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ට මෙහි පිටපත් යොමු කර තිබෙනවා.

තරුණ සේවා සභාවෙන් යැවූ ලිපියට අමතරව රනිල් වික්‍රමසිංහලා මාධ්‍යයට මුදා හැරි ප්‍රචාරක පෝස්ට් එකක් තිබෙනවා. එහි සඳහන් කර තිබෙන්නේ “මගෙන් පටන් ගමු, තරුණ සමුළුව” කියලා. ඒ වගේම සංගීත ප්‍රසංගයකුත් පැවත්වා දේශපාලන ප්‍රොජට් එක දියත් කර තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන රැලි පැවැත්වූවාට අපේ කිසිම විරෝධයක් නැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය ජනාධිපති ධුරයේ බලය, ව්‍යවස්ථාව, මහජන මුදල් සහ රාජ්‍ය ආයතන යොදා ගනිමින් දේශපාලනය කිරීමයි. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න නම්, ව්‍යාපෘති වාර්තාවක් මුලින්ම ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ ව්‍යාපෘති වාර්තාව කොහෙද කියා අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම රනිල්ගේ තරුණ සමුළුව කරන්න තරුණ සේවා සභාවේ මුදල් වෙන්කරන්නේ, ජනාධිපති මන්දිරය යොදා ගන්නේ කොහොමද? ඒ වගේම රනිල්ගෙන් ප්‍රශ්න අහන්න තරුණ තරුණියන් තෝරා ගැනීමේ වගකීම පවරා තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට. තරුණ සේවා සභාව ගොඩනඟා තිබෙන්නේ රනිල්ගේ දේශපාලන ප්‍රොජට් කරන්නද?

ඒ වගේම මේ වර්ෂය වෙනුවෙන් අයවැයෙන් තරුණයන්ට අලුතින් වෙන්කළේ රුපියල් මිලියන 1000යි. ඒ අනුව එක් තරුණයෙක් වෙනුවෙන් දිනකට වෙන්වෙන්නේ රුපියල් 212යි. අපි කියන්නේ ඉදිරි මාස 06 තුළ “රනිල්, ඔයා දේශපාලනය කරන්න. ඒ වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවත් එයට වෙන්කර තිබෙන මුදල් ප්‍රමාණයත් වැය කරමින් මේ කරන දේශපාලනය කැතයි.” කියන එකයි. එය අපේ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක්. මේ සම්බන්ධයෙන් යම් නීතිමය පියවර ගත හැකිදැයි අපි සොයා බලනවා. මේ කරන තුට්ටු දෙකේ දේශපාලනය අනුමත කරනවාද කියලා ස්මාර්ට් දේශපාලනයක් ගැන කථා කරන හැමදෙනාගෙන්ම අපි අහනවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් තවදුරටත් සංවර්ධනය විය යුතුයි. ලෝකයේ නව තත්වයන්ට ගැලපෙන ආකාරයෙන් එය ඉදිරියට ගෙන යනවා වෙනුවට අනික් ආයතන වගේම එයත් දේශපාලනීකරණය කළා. මේ නිසාම අපේ රටේ පාලකයන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ දේශපාලන ප්‍රොජෙට් එක වෙනුවෙන් මේ ආයතනය යොදා ගත්තා. පාලකයන්ගේ දරුවන්ගේ දේශපාලන ප්‍රොජට් තරුණ සේවා සභාව තුළින් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

syu-press

තරුණ සේවා සභාාවේ වර්තමාන සභාපති පසිඳු ගුණරත්නගෙන්, තරුණ කටයුතු ඇමති හරීන් ප්‍රනාන්දු යන අයගෙන් අප නිශ්චිත ප්‍රශ්න කිහිපයක් අහනවා. යොවුන් සමාජ සම්මේලනයේ නිලවරණය අවුරුදු දෙකකට වරක් පැවැත්විය යුතු වෙනවා. නමුත් දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඒ නිලවරණය කල්දමා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පාලකයන්ගේ ස්ථාවරයට අපි ප්‍රශ්න කරනවා. තවත් පැත්තකින් යෞවන සමාජ සම්මේලනයේ ලේකම් තරිඳු නලීන් ක්‍රියාකරන ආකාරයත් ප්‍රශ්න කරනවා. මෙම තනතුරට පත්වෙන්නේ අපේ රටේ තරුණ සම්මේලනයේ සාමාජිකයන්ගේ ඡන්දයෙන්. එහි මූලික නිලතල දරන අය නිශ්චිත දේශපාලන ධාරාවක ක්‍රියාකාරීව යෙදෙන්නේ නැහැ. නමුත් තරිඳු නලීන් එක්සත් ජාතික පක්ෂයේ ගලගෙදර ආසනයේ සංවිධායක ලෙස කටයුතු කරමින් ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණය කිරීම අපි ප්‍රශ්න කරනවා.

ඊට අමතරව අනෙකුත් ආයතනවල වගේම තරුණ සේවා සභාවේ සිදුකරන දූෂණ, වංචා පිළිබඳවත් තොරතුරු ටිකක් හෙළිකරන්න තිබෙනවා. 2023 දෙසැම්බර් 31වැනිදා නෙළුම් කුලුණේ පැවැත්වූ ප්‍රසංගයට රුපියල් මිලියන 22ක් වියදම් කර තිබෙනවා. දිස්ත්‍රික්කයකින් 50ක් බැගින් සියලුම දිස්ත්‍රික්කවලින් මේ සඳහා තරුණයන් ගෙන්වාගෙන තිබෙනවා. ඒ තරුණයෝ ගෙන්වාගත් බස් රථවලට වැය කළ මුදල වගේම කෑම බීම සඳහා වැය කළ මුදල මේ රුපියල් මිලියන 22ක තුළ නැහැ. මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රොජෙට් රිපෝට් එකෙන් ප්‍රධාන කරුණු දෙකක් හෙළිවෙනවා. කෝවිඩ් වසංගතයත් සමග තරුණ තරුණියන්ට ඇති වූ මානසික පීඩනය දුරුකර ගැනීම සහ තරුණ සේවා සභාවට ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස ප්‍රසංගය පවත්වන බව සඳහන් වෙනවා. නමුත් වෙළඳ කුටි ඉදිකිරීමේ සහ ඇතුල්වීමේ ටිකට් පත් රුපියල් 1000 බැගින් එකතු කිරීමෙන් ලද ආදායමට මොකද වුණේ කියලා අපි ප්‍රශ්න කරනවා. රජයේ ව්‍යාපෘතියකදී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය නොකළ යුතු බව සාමාන්‍ය පිළිගැනීමක් තිබෙනවා. නමුත් මේ ප්‍රසංගයේදී බියර් ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ කෙසේදැයි ප්‍රශ්න කරනවා. රටේ පළාත් නවයේම මෙවැනි ප්‍රසංග නවයක් පැවැත්විය යුතු බවට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 90ක් දැනටමත් වෙන්කරගෙන තිබෙනවා.

ගාල්ලේ පළවෙනි සංදර්ශනය කරන්න උත්සාහ කළත්, එහි සිටින සංස්කෘතික සංගම් ඇතුළු සංවිධානවලින් එය නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා. ගාල්ලේ පැවැත්වීමට තිබූ ප්‍රසංගය අහෝසි කළ පසු රුපියල් ලක්ෂ 12 1/2 වියදම් කර, ක්ෂණිකවම “දහඅට සන්නියක්” නටන්න යොදා ගත්තා. මේ වෙනුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන්ම තරුණ තරුණියන් ගෙන්වනවා. ප්‍රවාහන වියදම්, කෑම බීම වියදම් ඇතුළු අනෙකුත් වියදම් මේ ලක්ෂ 12 1/2 ඇතුළත් නැහැ. ඉරාජ්ගේ දේශපාලනය සම්බන්ධයෙන් ඔහුට තිබෙන අයිතිය ගැන අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහුගේ වීඩියෝවලින් කියැවෙන්නේ පළාත් නවයට වෙන්කළ අර රුපියල් මිලියන 90න් අදාළ ක්‍රියාමාර්ග දියත් කිරීමේ කාර්යය ඔහුට පවරා ඇති බවයි. තරුණ සේවා සභාවේ මේ ව්‍යාපෘතිය බාරදී තිබෙන්නේ තමන්ට බව ඉරාජ් කියනවා. ඉරාජ්ගේ පුද්ගලික සල්ලිවලින් දහඅට සන්නිය නටනවා නම් අපට කමක් නැහැ. සංස්කෘතික වශයෙන් පවතින දේවල් ඒ ඒ අය කරගත්තාට අපට කමක් නැහැ. නමුත් මේ දහඅට සන්නිය ඉරාජ්ගේ ප්‍රොජට් එකක්ද තරුණ සේවා සභාවේ ප්‍රොජට් එකක් ද කියලා සභාපතිවරයා පිළිතුරු දෙන්න ඕනෑ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කුලියාපිටියේ පවත්වන ලද තරුණ රැලිය එක්සත් ජාතික පක්ෂයේ වැඩක්. ඒ වෙනුවෙනුත් තරුණ සේවා සභාව පාවිච්චි කර, නැටුම් කණ්ඩායම් හයක්, වෑන් හතරක් කැබ් රථයක් යොදාගෙන තිබෙනවා. ඒ ගිය වාහනවල අංක පවා අප සතුව තිබෙනවා. රනිල්ලා ගෙනයන පාලනය නිසා තරුණ තරුණියන් විශාල පිරිසක් විදේශග වෙන්න පාස්පෝට් පෝලිමේ ඉන්නවා. නමුත් ඒ පෝලිම එයාර්පෝට් එකේ නැහැ. ඔවුන්ට රටින් පිටවී යන්න වත් හැකියාවක් නැහැ. එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් තරුණ තරුණියන්ට ඇඳුමක් ගන්නවත් හැකියාව නැතිව තිබියදී රනිල් වික්‍රමසිංහලාගේ දේශපාලන ප්‍රොජට් එක වෙනුවෙන් ඬෙඟා නටනවා. ‘ස්මාර්ට් තාරුණ්‍යය’ කියලා හැඳින්වූවත් මේ දක්වා පැමිණි කැත, මජර දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙනයමින් සිටිනවා. තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් 2022 නැගී සිටියේ මේ මජර දේශපාලනය අවසන් කරන්න; නාස්තිය නතර කරන්න. අපේ රටේ තරුණයන් වෙනුවෙන් පවතින දේපළ යොදා ගනිමින් ගෙනයන ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස ජනාධිපති සහ අනෙකුත් සියලුම වගකිව යුතු දේශපාලනඥයන්ටත් නිලධාරීන්ටත් අපි අවධාරණය කරනවා. පසුගිය කාලයේ මහින්දලා වෙනුවෙන් කඩේ ගිය නිලධාරීන්ට අවසානයේ උසාවිවල සහ බන්ධනාගාරවල ගත කරන්න සිදුවුණා. එවැනි අනීතික ක්‍රියාමාර්ග අනුගමනය නොකරන ලෙස මේ නිලධාරීන්ගෙන් අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහින්ද ජීව සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානිකා මධුරංගි යන සාමාජික සාමාජිකාවන්ද සහභාගි වී සිටියහ.

syu-press
Show More

සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටිමු.

(රාමසාන් දින පණිවිඩය – 2024.04.10) ඉස්ලාම් බැතිමතුන් විසින් පුරා මාසයක කාලයක් ආරක්ෂා කර ගත් උපවාස සමයේ අවසානය සනිටුහන් කරන රාමසාන් උත්සවය මෙම අප්‍රේල් 10 වැනි දිනට යෙදී ඇත. එම උත්සවය සැමරීමට එක්වන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට අපි ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමමු. දෛනික ජීවිතයේ දුෂ්කරතා ඉවසීමෙන් දරා ගනිමින් මාසයක කාලයක් පුරා ආරක්ෂා කරගන්නා උපවාස […]

(රාමසාන් දින පණිවිඩය – 2024.04.10)

Ramadhan-Wish

ඉස්ලාම් බැතිමතුන් විසින් පුරා මාසයක කාලයක් ආරක්ෂා කර ගත් උපවාස සමයේ අවසානය සනිටුහන් කරන රාමසාන් උත්සවය මෙම අප්‍රේල් 10 වැනි දිනට යෙදී ඇත. එම උත්සවය සැමරීමට එක්වන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට අපි ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමමු.

දෛනික ජීවිතයේ දුෂ්කරතා ඉවසීමෙන් දරා ගනිමින් මාසයක කාලයක් පුරා ආරක්ෂා කරගන්නා උපවාස ශීලය තුළ ඉතිරි කර ගත් ධනය තම සහෝදර ජනයාට උදව් උපකාර කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනීම රාමසාන් උත්සවයේ අරමුණයි. රාමසාන් වත්පිළිවෙත් වර්තමාන දූෂිත සමාජ ක්‍රමය විසින් මිනිසුන් අතරින් බලහත්කාරයෙන් ඈත් කරවමින් තිබෙන මනුෂ්‍යත්වය හා පරාර්ථකාමය ආදී ගුණාංගයන් නැවත ජීවිත තුළට කැඳවීමට ගන්නා උත්සාහයකි.

වසර හැත්තෑහයක දූෂිත දේශපාලනය විසින් රටත් ජනතාවත් ඇද දමනු ලැබ ඇති ආර්ථික සහ සමාජීය ව්‍යසනය අපි අත්දකිමින් සිටිමු. එසේම බලලෝභී දේශපාලන වුවමනාකම් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය මත මිනිසුන් බෙදා වෙන් කර තැබීමේ දුෂ්ට ප්‍රවණතා සහ ඒ වෙනුවෙන් මහපොළොව ලෙයින් පෙඟී ගිය ආකාරයද අපි දැක ඇත්තෙමු. කෙසේ වුවද මෙම දුෂිත බලලෝභී දේශපාලන සංස්කෘතිය සහ එහි දුෂ්ට වුවමනාකම් මේ වන විට මුළුමහත් ජන සමාජය විසින් දැනුවත්ව ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට පැමිණීම සතුටට කරුණකි. දූෂිත පාලකයින් බිය ගෙන සිටින්නේ මෙම ජන මතයටය. සියලු ජනතාවන්ට තමන් අයත් ජාතිකත්වය ඉක්මවා සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටින්නට සහෝදරත්වය මත පදනම් වූ රාමසාන් උත්සවය විසින් ලබා දෙන මඟපෙන්වීම අපි අගය කරමු.

ශ්‍රී ලාංකේය දේශය නව පුනරුද යුගයක් අරඹන්නට සූදානමින් සිටින ඓතිහාසික වසරක, රාමසාන් සමරන ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට සහෝදරත්වයේ නාමයෙන් එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අත්වැල් බැඳගැනීමට අපි ආරාධනා කරමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.04.10

Show More