Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

සරත් අඹේපිටිය විනිසුරුතුමා ඝාතනය කිරීම, රජීව් ගාන්ධිට පහර දීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගත්තේ නැහැ

දේශපාලන අවශ්‍යතා මත පුද්ගලයන් රඳවා තැබීමට නියෝග නිකුත් කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාලකයන් අත්තනෝමතික ලෙස යොදා ගන්නා අතර සරත් අඹේපිටිය විනිසුරුතුමා ඝාතනය කිරීම සහ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට මෙරට නාවික හමුදා සෙබලෙකු විසින් පහරදීම වැනි ක්‍රියා එම පනත යටතට අදාළ කර නොගත් බව ජේෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර අනාවරණය කරනු ලැබීය. ඊයේ (10) දිනට […]

දේශපාලන අවශ්‍යතා මත පුද්ගලයන් රඳවා තැබීමට නියෝග නිකුත් කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාලකයන් අත්තනෝමතික ලෙස යොදා ගන්නා අතර සරත් අඹේපිටිය විනිසුරුතුමා ඝාතනය කිරීම සහ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට මෙරට නාවික හමුදා සෙබලෙකු විසින් පහරදීම වැනි ක්‍රියා එම පනත යටතට අදාළ කර නොගත් බව ජේෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර අනාවරණය කරනු ලැබීය.

ඊයේ (10) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් පැවැත්වූ ත්‍රස්තවාදය “වැළැක්වීමේ පනත අහෝසි කරනු“ යන සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව පැවසීය.

එහිදී නීතිඥවරයා පළකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.

අද දෙසැම්බර් 10 ලෝක මානව හිමිකම් දිනය වශයෙන් නම් කර තිබෙන්නේ, විශ්ව මානව හිමිකම් දිනය ප්‍රකාශයට පත් කිරීම අනුව යමින්. සෑම පුරවැසියකුම මිනිසකු වශයෙන් උපත ලැබීම නිසා ජාති, ආගම්, කුල ආදී භේදයකින් තොරව මානව හිමිකම් ලැබී තිබෙනවා. ඒ අනුව අප තුළ පහළ වන සිතුවිලි, ගීත, කවි, වෙනත් සාහිත්‍යාංගයකින් හෝ මෝස්තර නිර්මාණයකින් හෝ තවත් පුද්ගලයන්ට සන්නිවේදනය කිරීමට තිබෙන අයිතිය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වශයෙන් හඳුන්වන්න පුළුවන්. නීතියට කලින් මේ ලෝකයට මිනිසුන් බිහි වුණා. ඒ අතීතයේ ප්‍රබලයා ජයග්‍රහණය කර දුබලයා පරාජයට පත් වුණු නීතියක් නැති සමාජයක් තිබුණා. පහුගිය කාලයේ ප්‍රබලයෝ භීතියට පත්වී සිටි බව අපි දැක්කා. මොහොතකට හෝ නීතියක් නැති තත්වයකට පත් වුණාද කියලා අපි කල්පනා කරන්න ඕනෑ. නීතියක් නැති කාලයේත් භීතියෙන් මිදීමේ මාවතක් අවශ්‍ය වුණා. ඒ අනුව බිහි කරගත් ආයතනයකට අප සතු බලතලවලින් කොටසක් පවරා අපට එන උවදුරුවලින් අපව ආරක්‍ෂා කර ගැනීමේ බලතල පවරා ජනතා බලයෙන් පාලකයන් බිහි කර ගත්තා.

ජනතාව සතු සියලු බලතල පාලකයාට දුන්නේ නැහැ. බලතල කොටසක් පාලකයාට පවරා දුන්නා. මානව හිමිකම් කියන්නේ එසේ පවරා නොදුන් බලතල කොටසක්. මේ අයිතිවාසිකම් ජනතාවගෙන් උල්ලංඝනය කළ නොහැකියි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ වගන්ති අටකින් කොටස් තුනක්ම පරමාධිපත්‍ය බලය ගැන විග්‍රහ කර හතරවැනි වගන්තියේ සිට ජනතාවගේ පරමාධිපත්‍ය බලය පවරා දෙන ආයතන පිළිබඳව විග්‍රහ කර තිබෙනවා. නීති පැනවීමේ බලය, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය සහ නීතිය අර්ථනිරූපණය කිරීමේ බලය පවරාදී තිබෙනවා. මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය කියන තවත් අයිතිවාසිකම් දෙකක් කිසිවකුටත් පවරා නොදී අප සතුව තිබෙනවා. අප මිනිසකු වශයෙන් උපත ලැබූ නිසා අනුල්ලංඝනීය බලතල හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ වාගේම ඡන්දය කල්දැමීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට අර්ථනිරූපණය කර තිබෙනවා. රජයක් වර්ණනා කිරීම හෝ විවේචනය කිරීමේ හෝ අයිතිය තිබෙනවා නම්, ලොකු නිදහසක් තිබෙනවා. අප තුළ මතුවන අදහස් සන්නිවේදනය කරන්න බාධා කරන විට විශාල වශයෙන් දැනෙනවා. දෙදෙනකුට පුවරුවක් අරගෙන පේව්මන්ට් එකේ ගමන් කරන්න නොදී විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා අවහිර කරනවා නම්, එතැන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තිබෙනවා.
ලංකාවේ මානව හිමිකම් පිළිබඳව පුළුල් පරාසයක විග්‍රහ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රකාශන ගණනාවක මානව අයිතිවාසිකම් පිළිබඳව කරුණු දැක්වෙනවා. ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිර්වචන විකෘති කර අරගලයක් ව්‍යවස්ථාවට අනුව කළ යුතු බවට මතයක් ගෙන යනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව දැඩි වේදනාවකින් පසුවන අවස්ථාවක එක්සත් ජාතීන්ගේ විශ්ව මානව අයිතිවාසිකම් නිර්වචනයක් ඉදිරිපත් කර තිබෙනවා. “පුරවැසියා අත්තනෝමතිකත්වයට එරෙහිව අවසාන විකල්පයක් ලෙස විප්ලවකාරී ලෙස නැඟීසිටීමට අවම මානව අයිතිවාසිකම් හිමි වන බව” සඳහන් කර තිබෙනවා. ඒ වාගේම අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් මිදීම, භාෂණයේ නිදහස වාගේ තත්වයන් තහවුරු කරන්න රජයකට සල්ලි වියදම් වෙන්නේ නැහැ. රජය වැරදි වැඩ නොකර අත්තනෝමතික නොවී සිටිනතාක් දුරට සිවිල් අයිතිවාසිකම් ආරක්‍ෂා වෙනවා. මුදල් වියදම් වෙන්නේ නැහැ. මේ කොටස ආර්ථික අයිතිවාසිකම් සහ සමාජ, සංස්කෘතික අයිතිවාසිකම් වශයෙන් හඳුන්වා තිබෙනවා. ඉන්දියාවෙත් මේ තත්වය තහවුරු කර තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම යටතේ මේ තත්වය තහවුරු වෙනවා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “පොදු ජනතාවගේ යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණව” බෙදා දිය යුතු බව සඳහන් කර තිබෙනවා. ඒ වාගේම “ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර නොවන සේ ක්‍රියාත්මක වන බවට රජය වගබලා ගත යුතුය” යනුවෙන් සඳහන් වෙනවා. තව පැත්තකින් “ජනතාවගේ යහපතට හේතු වන පරිදි රජය විසින් පරිසරය ආරක්‍ෂා කොට සුරක්‍ෂිත කළ යුතුය” කියලත් තහවුරු කොට තිබෙනවා. පොදු දේපළ සුරක්‍ෂිත කර පොදු දේපළ නාස්ති කිරීමට විරුද්ධව, දූෂණයට ලක් කිරීමට එරෙහිව සෘජුව නැඟීසිටීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් හැටියට හඳුන්වාදී තිබෙනවා. කුමන දේශපාලන මතයක් දැරුවත්, පොදු දේපළ ආරක්‍ෂා කිරීමට, ඒ පිළිබඳව විසම්මුතියේ යෙදීමට, පොදු දේපළ ආරක්‍ෂා කිරීමට හඬනැඟීමේ අයිතියක් තිබෙනවා. පසුගිය කාලයේ ගෑස් සිලින්ඩර පිපිරීම පිළිබඳව විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. එක නඩුවක්වත් පවරා නැහැ. නමුත්, සාෆි වෛද්‍යවරයාගේ වඳ සැත්කම් පිළිබඳව නඩු පවරා තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ ජාත්‍යන්තර ප්‍රජාව පවා පිළිගත් මූලික අයිතිවාසිකම් යටතේ ජනතාවගේ නැඟීසිටීමක් අහුරා තබන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ක්‍රියාත්මක වෙනවා.

විවාහය ලියාපදිංචි කිරීමට අදාළව, ඉඩම් ලියාපදිංචි කිරීමට අදාළව යනාදී වශයෙන් පනත් සම්මත කර ගත හොත්, ඊට අදාළ නිර්වචන නිශ්චිත වශයෙන් දක්වා තිබෙනවා. සෑම පනතක් ගේන කොටම අදාළ මූලික පනතේ හරයට අදාළ නිර්වචන නිශ්චිතව ලබා දී තිබෙනවා. නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ‘ත්‍රස්තවාදය’ යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද කියලා නිර්වචනය කර නැහැ. 1979 ඉඳලා යුක්තිසහගත ලෙස කාර්යක්‍ෂමව අපරාධ පිළිබඳව විමර්ශනය කර භාවිත වීම අඩපණ කර මිනිසුන්ව කූඩු කරන්න මෙය භාවිත කර තිබෙනවා. ඒ තුළ විශේෂයෙන් දක්වා ඇති පුද්ගලයන්ට එරෙහිව සමහර අපරාධ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව දක්වා තිබෙනවා. මිනීමැරීම, සොරකම් කිරීම, මංකොල්ලකෑම, රටේ අපරාධ නීතිය යටතේ දඬුවම් කළ හැකි වරදවල්. නමුත්, මේ පනත අනුව එකී වරදවල් වරදක් වශයෙන් නැවත හඳුන්වාදී තිබෙනවා. ත්‍රස්තවාදය යනු කුමක්දැයි නිර්වචනය නොකර විශේෂයෙන් නම් කළ පුද්ගලයන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, මන්ත්‍රීවරුන්, අධිකරණ විනිශ්චයකාරවරුන් විශේෂයෙන් ආරක්‍ෂා කළ යුතු බව දක්වා තිබෙනවා. නමුත්, අපේ රටේ විනිසුරු සරත් අඹේපිටිය නඩු තීන්දුවක් ලබාදී ගෙදර යන අතරේ වෙඩි තබා ඝාතනය කළා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කළේ නැහැ. අපරාධ නීති යටතේ අපරාධකරුවන් හඳුනාගෙන දඬුවම් නියම කළා.

අපේ රටේ ආර්ථික අපරාධ ඇතුළු අපරාධවලට එරෙහිව විශාල ජනතා නැඟීසිටීමක් සාමකාමීව සිදු කළා. නමුත්, ඒ අරගලයෙන් මූලික ප්‍රතිලාභ ලැබූ පුද්ගලයාම අත්සන් කිරීමේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගෙන දෙදෙනකු සිරගත කර තිබුණා. ඒ වාගේම වචනවලින් හෝ සංඥාවලින් ජාතිය, ආගම පදනම් කරගෙන පීඩනයට ලක් කරනවා නම්, ත්‍රස්තවාදීමය කටයුත්තක් බව මේ පනතේ සඳහන් කර තිබෙනවා. එහෙම නම්, වෛද්‍ය සාෆිට එරෙහිව ප්‍රචාර ගෙන ගිය අය මේ පනත යටතේ විමර්ශනය කළ යුතුයි. එහෙම දෙයක් කරන්නේ නැහැ. සමහර චීවරධාරීන්ට විරුද්ධව මෙය යොදා ගත හැකි අවස්ථා පසුගිය කාලයේ තිබුණා. නමුත්, සාධාරණ වශයෙන් මෙය යොදා නොගෙන පාලකයන්ට බිය ඇති වූ අවස්ථාවල සාමකාමීව විරෝධය පළ කිරීම් මර්දනය කරන්න දිගින්දිගටම යොදාගෙන තිබෙනවා. රජීව් ගාන්ධිට පහරදීම මේ පනත යටතේ දණ්ඩනයට ලක් කළ යුතුව තිබුණා. නමුත්, එහෙම කළේ නැහැ. ඒ පහරදීමට හමුදා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළා. නමුත්, රටේ මහජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැනනඟින අවස්ථාවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම යොදාගෙන තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරක්‍ෂිත කිරීමට තනිව හෝ සාමුහිකව හෝ කටයුතු කළ අයට විරුද්ධව මේ පනත භාවිත කර තිබෙනවා. අවුරුදු ගණනාවක් මේ පනත යටතේ රඳවා ගැනීම් සිදුකර තිබෙනවා. අසාධාරණ ලෙස එසේ රඳවා ගත් අයකුට වන්දි ගෙවීමේ හැකියාවක් හෝ මේ පනතෙන් ආවරණය කර නැහැ.

මානව හිමිකම් සංස්කෘතියක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන සීමාවලට පිටින් යම් නීතියක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතිබිය යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට පෙළගැසෙමු කියන ආරාධනය මම සියලු දෙනාටම කරනවා.

Show More

රට ගොඩනැගීමේදී විදෙස්ගත ශ්‍රමිකයන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා – අනුර ඉතාලියේදී කියයි

ශ්‍රී ලංකාව මේ වනවිට ඇද දමා තිබෙන ප්‍රපාතයෙන් යළි ගොඩ නැගීමේදී සාමුහික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බවත් එම සාමූහික ක්‍රියාකාරීත්වයේ ප්‍රමුඛ කාර්යභාරයයක් විදෙස් ගත ශ්‍රමිකයින්ට කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කළේය. ඔහු මෙම අවධාරණය කළේ ඉතාලියේ නාපොලි නගරයේ පසුගිය 10 වෙනිදා පැවති හමුවකදී ය. එම අවස්ථාවට ශ්‍රී ලංකිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර […]

ශ්‍රී ලංකාව මේ වනවිට ඇද දමා තිබෙන ප්‍රපාතයෙන් යළි ගොඩ නැගීමේදී සාමුහික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බවත් එම සාමූහික ක්‍රියාකාරීත්වයේ ප්‍රමුඛ කාර්යභාරයයක් විදෙස් ගත ශ්‍රමිකයින්ට කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කළේය.

ඔහු මෙම අවධාරණය කළේ ඉතාලියේ නාපොලි නගරයේ පසුගිය 10 වෙනිදා පැවති හමුවකදී ය. එම අවස්ථාවට ශ්‍රී ලංකිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර එරට වාමාංශික පක්ෂ නියෝජනය කරමින් ආරාධිතයන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියහ. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එම හමුවේදී කළ කතාවේ සාරාංශය පහත පළ කෙරේ.

“ඉතාලියේ සිටින ඔබ ලංකාව සුන්දර රටක් වේ යැයි ප්‍රාර්ථනයකින් කටයුතු කරන බව අපි දන්නවා. මෙයට පෙර අප සමග කටයුතු කළ අයත්, වෙනත් දේශපාලන ව්‍යාපාර සමග සම්බන්ධවී කටයුතු කළ අයත් විශාල පිරිසක් මෙතැන සිටින බව මම දන්නවා. අපේ රට ගමන් කරමින් තිබෙන මාවතින් වෙනස් කළ යුතුයි කියන එක අපි සෑමදෙනෙක්ම දන්නවා. මේ මාවතේ ඉදිරිය විනාශකාරී අන්තයක් මිස සුබදායක එකක් නොවෙයි. අපේ රටේ දැන් පවතින අර්බුදය ආර්ථිකයට ලඝු කරන්න බොහෝ අය උත්සාහ කරනවා. නමුත් එහි පතුලේ තිබෙන්නේ දේශපාලන සංස්කෘතිය. ඒ නිසා අනුගමනය කරමින් තිබෙන දේශපාලන සංස්කෘතියත් ආර්ථිකයත් දෙකම එකට ගෙන වෙනස් කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගය බාරගන්න සූදානම්.

මම ලංකාවෙන් පිටත් වුණේ අයවැය විවාදය අවසන්වීමත් සමග. පාර්ලිමේන්තුවේ මේ අයවැය ජයග්‍රහණය කළත්, රට තුළ, ජනතාව අතර එය ජයග්‍රහණය කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ජනතාවගේ ඇත්ත මතය නොවෙයි. එවැනි පාර්ලිමේන්තුවක් වෙනුවට ජනතාවගේ ඇත්ත මතය, වුවමනාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුවක් පත්කර ගන්න ඕනෑ. මේ අයවැය ලේඛනය අනුව ලබන අවුරුද්දේ මුළු වියදම රුපියල් කෝටි ලක්ෂ අටයි. ආසන්න වශයෙන් කෝටි ලක්ෂ පහක් ණය ගන්නවා. ඒකෙන් කියන්නේ රජයේ වියදම්වලට ප්‍රමාණවත් ආදායම් භාණ්ඩාගාරයට නොලැබෙන බවයි. කෝටි ලක්ෂ අටෙන් කෝටි දෙලක්ෂ විසිදහසක් වියදම් කරන්නේ ලබාගෙන තිබෙන ණය පොලිය ගෙවන්න. කෝටි ලක්ෂ දෙකක් වියදම් කරන්නේ ණය වාරික ගෙවන්න. මුළු වියදම කෝටි ලක්ෂ අටක් වෙනකොට කෝටි හාරලක්ෂ විසිදහසක් වියදම් කරන්නේ ණය වාරික සහ පොලිය ගෙවන්න. 2022 ආණ්ඩුවේ මුළු ආදායම කෝටි ලක්ෂ දෙකයි.

රටක ආරක්ෂාව රඳා පවතින්නේ ඒ රට කොතරම් ආර්ථික අතින් ශක්තිමත්ද කියන සාධකය මත. ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක ආරක්ෂාව, අභිමානය, රඳා පවතින්නේ නැහැ. බංගලාදේශයේ අගමැතිනිය කියන්නේ ලංකාව වැටුණු තැනට බංගලාදේශය වැටෙන්න දෙන්නේ නැහැ කියලා. කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කියන්නේ ලංකාව ණය අරගෙන සිදුවූ විපත කෙන්යාවට සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා. රටක් බංකොලොත් වීම පිළිබඳව ජාත්‍යන්තර නිදර්ශනවලට ගන්නේ ලංකාව. අපිට අභිමානයක් ලෝකය හමුවේ නැහැ. අද සිදුවී තිබෙන්නේ එළඹෙන වසරේ ණය වාරික සහ පොලී ගෙවන්නවත් ආදායමක් භාණ්ඩාගාරයට නොලැබීමයි. ආණ්ඩුවේ ආදායම ටි්‍රලියන 03ක් වෙනකොට ණය වාරිකය සහ පොලිය ගෙවන්න ටි්‍රලියන 4.2ක් වියදම් වෙනවා. වසරකට ණය පොලී සහ වාරික ගෙවන්න තරම්වත් ආදායමක් නැති තත්වයට මේ රට දීර්ඝ කාලයක් පාලනය කළ පාලකයන් විසින් ඇදදමා තිබෙනවා. ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැන ලියනකොට 2022 අප්‍රේල් 12 වැනිදා නිල වශයෙන් බුන්වත් භාවයට පත්වුණු බව ප්‍රකාශ කළ කළු දිනයක් බවට පත්වෙනවා.

ලෝකයේ ගොඩක් රටවලට තිබෙන සම්පත්වලට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් අපට තිබියෙදී මේ තත්වයට ඇදදමනු ලැබ තිබෙනවා. මේ සම්පත්වලින් ප්‍රයෝජන ගත හැකි ජනතාවක් රටේ ඉන්නවා. මෙගාවොට් විසිදාහක් සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් මන්නාරමේ තිබෙනවා. ජල විදුලි ඒකකයක් නිෂ්පාදනයට වැය වෙන්නේ රුපියල් 1.38යි. මේ සෑම දෙයක්ම තිබිලත් ණය ගෙවාගන්න බැරි රටක් බවට පත්කර තිබෙනවා. භාණ්ඩාගාරයට රුපියල් වගේම රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගන්න බැරිවී තිබෙනවා. ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙලෙනවා. කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටී ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම බිඳවැටී තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය විශාල වශයෙන් බිඳවැටෙමින් තිබෙනවා. රට හැරයන පිරිස වේගයෙන් වැඩිවෙනවා. වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන්, බැංකුවල ඉහළ කළමනාකරුවන්, සහ සියලු වෘත්තිකයන් රට හැර යනවා. මේ තත්වය ඇතිවුණේ ස්වභාවික ව්‍යසනයක් නිසා නොවෙයි. මේ තත්වය අපේ රටේ පාලකයන් විසින් රටට ඇතිකරන ලද තත්වයක්. ඕමාන් රටේදී අපේ සොහොයුරියන්, දියණියන්, ගණිකා වෘත්තියට වෙන්දේසියේ විකුණන තත්වයට වහල් වෙන්දේසිය වගේ ඇදදමා තිබෙනවා. ඩුබායි රටේ සංචාරක වීසා මත ගිය හතළිස් දාහක් දෙනා හවුහරණක් නැතිව සිටිනවා. මේ තත්වය ඉදිරියට ගලාගෙන යන්න දෙනවාද? නැත්නම් වෙනස් කරනවාද? අපි මිනිස්සු නම් මේ විදිහට තව අඟලක්වත් ඉස්සරහාට යන්න නොදිය යුතුයි.

රට දුප්පත් වුණාට පාලකයන් පොහොසත් වී ගිණුම් උතුරා යනවා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට, කර්මාන්තශාලා ඇති කිරීමට සහ රැකියා ඇති කිරීමට යෙදවිය හැකි ධනය ඉතා කුඩා කණ්ඩායමක් කොල්ලකා තිබෙනවා. මේ කණ්ඩායමේ ඉහළින්ම දේශපාලනඥයන් ඉන්නවා. ඩීල් දාන ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින කණ්ඩායමක් ඉන්නවා. මාධ්‍ය හිමිකාරයන් පිරිසකුත් ඉන්නවා. ඡන්දවලදී නාගයින් මවන්නේ ඔවුන්. පොලීසියේ අසූඅටදාහකින් පනහක් වගේ ඉහළ පිරිසක් වගේම 2500ක් පමණ ඉන්න පරිපාලන සේවයේ ඉතා කුඩා පිරිසක් නීතිය පසිඳලන තැනත් ඉතා කුඩා පිරිසක් දූෂිත වළල්ලේ ඉන්නනවා. මේ කුඩා වළල්ල පළවා හැර ජනතාව වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්න අපි ක්‍රියා කළ යුතුයි. කෝවිඩ් වසංගතය අවස්ථාවේ අපේ රටට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් කොල්ලකන්න පුළුවන් චෞර වළල්ලක් ඉන්නේ. අපේ රට දීර්ඝ කාලයක් පාලනය කළේ ඔවුන්. අපි සියලු දෙනා එකතු වී මේ චෞර වළල්ලෙන් රට මුදවා ගත යුතුයි. දෙපිරිසක් විදිහට බෙදී සිටින මේ පක්ෂ දෙකක් නැහැ. ඔවුන් එක පෙරමුණක්. පසුගිය ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික නොවෙන දේශපාලකයෙක් යුද්ධය නිම කිරීමට දායක වුණු අයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවෙන් ඡන්දය දෙන්න ඉතාලියේ සිට ගිය පිරිසකුත් ඉන්නවා. සෑමදෙනෙක්ම බලාපොරොත්තු වුණේ රට ගොඩගැනීම වෙත සුබවාදී ආකල්පයන්.

මහ බැංකු මංකොල්ලය සිදු කළ හම්බන්තොට වරාය වික්ක රනිල් වික්‍රමසිංහ පළවා හරින්න ගෝඨාභයට ඡන්දය දුන්නා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වැරදිකරුවන් දඬුවම් කරන්න රනිල් වික්‍රමසිංහ පළවා හැර ගෝඨාභයට ඡන්දය දන්නා. නමුත් දැන් සිද්ධ වෙලා තිබෙන්නේ ගෙදර යැවූ රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා වශයෙන් පාලනය ලබාදීමයි. මේ දෙගොල්ල එකම පිරිසක් බව තහවුරු කරන්න ඕනෑවටත් වැඩිය කරුණු තිබෙනවා. මහා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා පලවා හැර පොහොට්ටුවට ඡන්දය දුන්නත් පොහෝට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පාලකයා බවට පත්කර ගත්තා. ඕනෑම කෙනෙක් අසීරුම තත්වයකට පත්වුණු අවස්ථාවක උදවු ඉල්ලන්නේ සමීපතම පුද්ගලයන්ගෙන්. රාජපක්ෂලා අමාරුවේ වැටුණු වෙලාවේ රනිල් වික්‍රමසිංහ ඒ හැමදෙනාම බේරා ගත්තා. ඒගොල්ලෝ එකම කණ්ඩායමක් හැටියට ඉන්න අතරේ අපේ පංතියේ ජනතාව බෙදී රණ්ඩු වෙනවා. නමුත් ඒ ගොල්ලෝ කවදාවත්ම නොබෙදී සිංහල, දෙමළ, මුස්ලිම් හැටියට වගේම ආගම් හැටියට බෙදා වෙන්කරමින් තිබෙනවා. නමුත් අපි සියලු දෙනා එක කණ්ඩායමකට එකතු වී ඔවුන් පළවා හැරිය යුතුයි.

රටේ සියලු සම්පත් විකුණා දමමින් අතීතයේ ක්‍රියාකළා වගේම අයවැය මගිනුත් තවදුරටත් විකුණන්න යෝජනා කරනවා.විශාල ලාභයක් ඉපයූ ලභයක් ඉපයූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ ඒ යටතේ තිබෙන ලිට්රෝ ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්ස් සමාගම එකටම විකුණන්න ලෑස්ති වෙනවා. ගිය අවුරුද්දේ මිලියන 13,844ක් ලාභ ලැබූ ටෙලිකොම් සමාගම විකුණන්න ලෑස්ති වෙනවා. බලාගාර ටික විකුණන්න සූදානම් වෙනවා. මේ බලාගාර ටික ගන්න මිනිහා පළවෙනි මොහොතේ සිට ලාභ ලබනවා. මේ විකිණීමේ ආර්ථික, දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනෑ. විහාරමහාදේවී, දුටුගැමුණු, රට රැක්ක විරුවා, වගේ නම්වලින් පෙනී සිටි අයට රැවටුණු කාලය අවසන් කළ යුතුයි. ජනතාව පළවා හැරි රනිල් වික්‍රමසිංහ, සියල්ල දන්නා ලෙස පෙනී සිටින සජිත් වගේ අයට තවදුරටත් ජනතාව රැවටිය නොහැකියි. නීතිඥ සංවිධාන, අපේ ආරක්ෂක සංවිධාන, ලංකාවේ ඇත්ත ව්‍යවසායකයින් හඳුන්වාදීම් ජනවාරි මාසයේදී සිදුකරනවා. රටට සිදුවී තිබෙන විනාශය පිළිබඳ අවබෝධයකින් යුතු පිරිස එකතු වී රට ගොඩනැගීමට පෙළගැස්වීමයි දේශපාලනය කියනේනේ. ජාතික ජන බලවේගය රටට සිදුවී තිබෙන විනාශය ගැන ඒ විනාශයේ දිග පළල ගැන එයින් ගොඩඒමේ මාවත ගැන ජනතාව සමග සංවාදයේ යෙදෙනවා. මේ කාර්යයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

ඉතාලියේ ජීවත්වන ඔබ ජාතික ජන බලවේගයේ කොඩිය ඉහළින් එසෙව්වොත් එය ඔබේ ගමට ගෙනයන ලොකුම පණිවිඩය වෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ රැල්ල නිර්මාණය කළේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්. මේ නාපොලි නගරයේ ඒකරාශී වී සිටින පිරිස දකිනකොට සුළං හමන දිසාව ගැන අවබෝධ කර ගන්න පුළුවන්. රට වෙනස්කිරීම අරමුණු කරගෙන දීර්ඝ කාලයක් විවිධ පක්ෂවලට ඡන්දය දීලා ඇති. නමුත් කිසි වෙනසක් වෙලා නැහැ. නමුත් අපි අංශ කිහිපයකින් වෙනස් කිරීම පටන් ගන්නවා. විධායක ජනාධිපති ධුරය වෙනුවට පාර්ලිමේන්තුවට බලය පැවරෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. හැත්තෑ අටේ සිට අවුරුදු 44ක් තිබුණු විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේදී ඔප්පු කර තිබෙන්නේ ව්‍යයසනයන් පිළිබඳවයි. ඒ වගේම පිල් පනින දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ වගන්ති ව්‍යවස්ථාවට ගේනවා. පනින අයගේ මන්ත්‍රී ධුර අහෝසි කර, ඇමති මණ්ඩලය ව්‍යවස්ථාවෙන්ම සීමා කරනවා. දෙවනුව වංචා දූෂණ නතර කිරීම වෙනුවෙන් දඬුවම් කිරීමත්, හොරා කාපු දේපොළ නැවත පවරා ගැනීමත් සිදුකරනවා. අපේ රටේ ජනතාව දුක්වේදනා විඳින්නේ පාලකයන් මහජන මුදල් කොල්ලකෑ නිසයි. මිනිස්සු කියන්නේ සල්ලි නෙවෙයි. මිනිසුන්ට අධ්‍යාත්මික ජීවිතයක් තිබෙනවා. මැදපෙරදිග රටවලට යන අම්මලාගේ ප්‍රාර්ථනාවලට මොකක්ද වී තිබෙන්නේ? මේ තත්වය අවසන් කිරීමට හොරකම් කළ මහජනතාවගේ දේපළ නැවත පවරා ගන්නවා. වංචා – දූෂණ සම්පූර්ණයෙන්ම නතර කරනවා.

ජිනීවා මානවහිමිකම් කොමිසමේ ඉතිහාසයේ පළවෙනි වතාවට ආර්ථික අපරාධ කියන්නේ මානවහිමිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර වශයෙන් අපේ රට සම්බන්ධයෙන් තිබෙන්නේ හොරුන් රජකරන රටක් හැටියටයි. මේ රට ගොඩනඟන්න දූෂිතයන්ට දඬුවම් කර, හොරකම් කළ ධනය පවරා ගන්නේ ජාතික ජන බලවේගය පමණයි. රට ගොඩනැගීම සඳහා අවංකව කැපවන පිරිසක් සිටින්නේ, ධෛර්යයක් තිබෙන මිනිසුන් සිටින්නේ ජාතික ජන බලවේගයේ විතරයි. තනි තනි මිනිසුන්ට, ඉන්ද්‍රජාලිකයන්ට රටක් හදන්න බැහැ. මිනිසුන්ගේ හැකියාවන් වගේම දුබලතාවයනත් තිබෙනවා. නායකයන් කියන්නේ දුබලතාවයන් අවම කර, දක්ෂතාවයන් ඉදිරියට ගැනීමට ක්‍රියාකරන පිරිසක්. මීඩියා ප්‍රබන්ධවලින් සැබෑ නායකයන් ගොඩනඟන්න බැහැ. සාමූහිකව අත්වැල් බැඳගෙන සාමූහක තීන්දු ගන්නා සභාවන් පිහිටුවනවා. තනි මිනිසුන්ගේ පාලනය වෙනුවට සාමූහික පාලනයක් ගෙනයන වෙනස්කම අපි සිදුකරනවා.

ව්‍යවසායකයා, ධීවරයා, කුඩා කර්මාන්තකරුවා වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඒකාබද්ධ වුණු යාන්ත්‍රණයකින් කෙටි කාලයක් තුළ රට ගොඩනැඟීම කළ හැකියි. විදෙස්ගත ලාංකිකයින් උපයාගෙන තිබෙන ධනය රට ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කරන්න සියලු පහසුකම් දෙන ආර්ථික වෙනස්කම් ජාතික ජන බලවේගය සිදුකරනවා. අපිට ක්ෂණිකව අවශ්‍ය ඩොලර් ලබාගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල දායකත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් විශ්වාසවන්ත පාලනයක් අපි බිහිකරනවා. ඔබ රටට එවන හැම ඩොලරයක්ම ආයෝජනය ආකාරය අන්තර්ජාලයට එකතු කරනවා. දැන් ඔබ යවන ඩොලර්වලට ඔවුන් ලෝකයේ තිබෙන හොඳම වාහන පාවිච්චි කරනවා. අපේ පාලනයක් තුළ ඔබ යවන හැම ඩොලරයකටම වගකීමක් තහවුරු කරනවා. මේ මූලික වෙනස්කම් කරමින් රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ඒ ගොඩනැගීමේ ක්‍රියාවලියේදී විදෙස්ගත ශ්‍රමිකයන්ට පැවරී තිබෙන කාර්යභාරය වෙනුවෙන් අපි හැමදෙනාම අත්වැල් බැඳගනිමු.“

– lankatruth

රශ්නවලට පිළිතුරු | Anura Dissanayake | මිලානෝ ජනහමුව | 2022.12.11

Show More

‘ත්‍රස්තවාදියා’ යන ලේබලය කිසිම කෙනකුට එරෙහිව භාවිත නොවන සමාජයක් අපි නිර්මාණය කර ගත යුතුයි

පාලකයන්ගේ අත්තනෝමතික අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමට පාදක කර ගන්නා “ත්‍රස්තවාදියා“ යන ලේබලය කිසිම කෙනෙකුට එරෙහිව භාවිතා නොවන සමාජයක් නිර්මාණය කර ගත යුතු බව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අවධාරණය කරයි. “PTA අහෝසි කරනු“ යනුවෙන් නම් කළ ජාතික ජන බලවේගයේ නීතිඥවරු සංවිධානය කළ සම්මන්ත්‍රණය අමතමින් ඇය මේ බව […]

පාලකයන්ගේ අත්තනෝමතික අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමට පාදක කර ගන්නා “ත්‍රස්තවාදියා“ යන ලේබලය කිසිම කෙනෙකුට එරෙහිව භාවිතා නොවන සමාජයක් නිර්මාණය කර ගත යුතු බව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අවධාරණය කරයි.

“PTA අහෝසි කරනු“ යනුවෙන් නම් කළ ජාතික ජන බලවේගයේ නීතිඥවරු සංවිධානය කළ සම්මන්ත්‍රණය අමතමින් ඇය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් දැක්වූ කරුණු පහත පළ කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අපි විරුද්ධ විය යුත්තේ ඇයි කියන දේ මේ මානව හිමිකම් දිනයේදී වඩාත් වැඩි අවධානයට ලක්වී තිබෙනවා. මේ පනත යටතේ චෝදනා කර වසන්ත මුදලිගේ දැනටත් රිමාන්ඞ් භාරයේ රඳවාගෙන සිටිනවා. නමුත්, පසුගිය වසර තිහක පමණ කාලය තුළ විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් ජනතාව මේ පනතේ වින්දිතයන් බවට පත් වුණා. මුස්ලිම් වීම නිසාම පාස්කු ප්‍රහාරයෙන් පසුව ලාංකික රාජ්‍යයේ විශේෂ පීඩනයකට, මර්දනයකට ලක් කළා. අරාබි භාෂාවෙන් රචිත ‘කුරානය’ ළඟ තබා ගැනීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර තිබුණා. අදටත් ඔවුන් සිරගත කර සිටිනවා. පසුගිය අවුරුදු හතළිහ පුරා මේ පනත යටතේ රඳවාගෙන සිටින දෙමළ සිරකරුවන් සිටිනවා. සිංහල කතා කරන දකුණේ සමාජය මේ පනතින් ගැලවී සිටි සමාජයක් නොවේ. 1980 දශකයේ පැවැති ආණ්ඩුව දකුණේ තරුණයන්ව මර්දනය කරන්න මේ පනත ක්‍රියාත්මක කළා. 1979දී තාවකාලික පනතක් හැටියට හඳුන්වා දුන් මේ පනත ක්‍රියාත්මක කරන්න තරම් පසුබිමක් ලංකාවේ තිබුණාද? ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අදහසක් හැටියට ත්‍රස්තවාදය සලකනවා. නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවට මේ පනත යටතේ ඇත්තටම කර තිබෙන්නේ වාර්ගික ගැටුම් තීව්‍ර කිරීම, විවිධ දේශපාලන මතධාරීන් මර්දනය කිරීම සහ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් එවැනි පිරිස් ඉවත් කිරීමයි.

විශේෂයෙන් 1983 ජූලි මාසයේ නිර්මාණය කළ පසුබිම යටතේ නව සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. ඒ වන විට 1982 ජනාධිපතිවරණයට පවා ඉදිරිපත්වී සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවේ නියැළී සිටියා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ දේශපාලනය කිරීම එවකට සිටි තරුණයන්ට ජේ. ආර්. ජයවර්ධන පාලනයෙන් දැඩිලෙස සීමාකර තිබුණා. අතුරුදන් කිරීම්, වධ බන්ධනවලට ලක් කිරීම් සාමාන්‍යකරණය කර රාජ්‍යයේ එක් කොටසක් හැටියට මේ තත්වයන් නඩත්තු කරමින්, ජනතාවට එරෙහිව අපරාධ සිදු කළා. නමුත්, එයට එරෙහිව කිසිදු යුක්තියක් ඉටුකර ගත නොහැකි රාජ්‍යයක් බවට ලංකාව පත්කර තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අද යොදා ගන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එදා ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුල් පෙළේ කොටස්කරුවෙක්. මේ පනතේ තිබෙන මූලිකම ගැටලුව වන්නේ සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවකුට හිමි වන අයිතිවාසිකම් අහෝසි කර තිබීමයි. උදාහරණයක් හැටියට පොලිසියෙන් අත්අඩංගුවට ගත් පසුව අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයකු යටතේ සුපරීක්‍ෂණයට ලක්වෙනවා. ‘බී’ වාර්තාවකින් මහෙස්ත්‍රාත්වරයකුට කරුණු දැක්වීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දෙනවාද? නැද්ද? යන්න තීරණය කරනවා. ඕනෑම සැකකරුවකුට මේ අයිතිවාසිකම් හිමියි.
නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයේ සුපරීක්‍ෂාව ඉවත් කරනවා. ආරක්‍ෂක ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් කරන රැඳවුම් නියෝග මඟින් ඕනෑම සැකකරුවකු ත්‍රස්තවාදියකු බවට පත් කළ හැකියි. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ රඳවාගෙන සිටින්නේ ආරක්‍ෂක ඇමැති ලෙස රනිල් වික්‍රමසිංහගේ අත්සන යෙදීමෙන්. ඔවුන් රඳවාගෙන සිටීමට සාක්‍ෂි තිබෙනවාද යන්න අදාළ වන්නේ නැහැ. මේ පනත යටතේ ආරක්‍ෂක ඇමැති කිසිවකු ඉදිරියේ හෝ කරුණු දැක්විය යුතු නැති අත්තනෝමතික බලයක් පාවිච්චි කළ හැකි වෙනවා. අවුරුදු දහය හෝ පහළොව දක්වා මේ පනත යටතේ රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටින්නේ අදාළ පුද්ගලයාම ලබාදුන් සාක්‍ෂිය උපයෝගී කරගෙනයි. මේ පනතින් ලේබල් කළ පසුව සියලු මානව හිමිකම් අහෝසි කෙරෙනවා. ප්‍රංශ විප්ලවයට පෙර බැස්ටීලයට දානවා කියන්නේ, මේ වාගේ තත්වයකට. ඕනෑම පුද්ගලයකුගේ සියලු සිවිල් අයිතිවාසිකම් අහෝසි කර අපරාධය ඔප්පු කිරීමෙන් තොරව අපරාධකරුවකු හැටියට සලකමින් ක්‍රියා කරනවා. මිනීමරුවා, හොරා, ස්ත්‍රී දූෂකයා වැනි චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත අර්ථකථන තිබුණත්, මේ පනත යටතේ ‘ත්‍රස්තවාදියා’ යන්න අර්ථකතනය කිරීමේ හැකියාව තිබෙන්නේ රාජ්‍යයට පමණයි. මේ පනතේ භයානකකම තිබෙන්නේ මෙතැනයි. රාජ්‍යය අල්ලාගෙන සිටින පුද්ගලයන්ට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කරනවා. පත්තරයට ලිපියක් ලියන මනුෂ්‍යයකු වුවත්, මේ පනත යටතේ ත්‍රස්තවාදියකු ලෙස හඳුන්වන්න පුළුවන්.

අපි කරන්නේ මොකක්ද කියන එක, වෙනස් අදහස් ඉදිරිපත් කිරීම මේ පනත යටතේ ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කිරීමට හේතු වෙනවා. ආර්ථික අසමබරතාවට එරෙහිව, ජාතිවාදයට එරෙහිව සටන් කිරීම, සමානාත්මතාව, යුක්තිය ඉල්ලා අරගල කිරීම ත්‍රස්තවාදියා ලෙස ලේබල් කිරීමට හේතු වෙනවා. ජනතාවගේ පැත්තෙන් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීම අප පිළිගත්තේ නැතත්, මුස්ලිම් තරුණයකු හෝ දෙමළ තරුණයකු ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීම අප විසින් පිළිගන්නා තත්වයට මානසිකත්වය ගොඩනඟා තිබීම බරපතළ තත්වයක්. දේශපාලන වශයෙන් විස පැතිරවීමට හැකි ආකාරයෙන් මේ පනත යොදාගෙන තිබෙනවා. ඒ හැර ත්‍රස්තවාදය වැළැක්වීමට මේ පනත කිසිලෙසකින්වත් දායකවී නැහැ. මේ පනත ප්‍රචණ්ඩ තත්වයන් ඇතිවීමට පෙර සම්මත කරගත් එකක්. මේ පනත නිසා ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හකුළා තිබෙනවා. ‘ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත’ කියන පනතකුත් 2018 හඳුන්වා දුන්නා. ඒ පනත සම්මත වුණේ නැහැ. නමුත්, ඒ කෙටුම්පතට අනුව වැඩ වර්ජන පවා ත්‍රස්තවාදය වශයෙන් හැඳින්විය හැකි තත්වයක් තිබුණා. ඇත්තටම ත්‍රස්තවාදියා නිර්මාණය කරන්නෙත් එවැන්නෙක් ප්‍රතිනිර්මාණය කරන්නෙත් පවතින ආණ්ඩුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ, සාමකාමී වැඩවර්ජන මේ යටතේ මර්දනය කළ හැකියි. ජනතාවට එරෙහිව, එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරූ, ජනතාව තුළ අවිශ්වාසය ඇති කළ මේ පනත අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතුයි. ඊට අමතරව කිසිම කෙනකුට එරෙහිව ‘ත්‍රස්තවාදියා’ යන ලේබලය කිසිම කෙනකුට එරෙහිව භාවිත නොවන සමාජයක් අපි නිර්මාණය කර ගත යුතුයි.

– LANKATRUTH

Show More

පාලකයන්ගේ හැසිරීම් නිසා රටේ බ්‍රෑන්ඩ් එකට හානි වුණා

“රටේ බ්‍රෑන්ඩ් එකට හානි වුණේ අරගලකරුවන් නිසා නෙවේ පාලකයන්ගේ හැසිරීමෙන්” යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. “මේ දිනවල රාජ්‍ය සේවය රටට බර කියලා කියනවා. රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක් වෙලා තියෙනවා කියන එකත් රහසක් නෙවෙයි. මේ තත්ත්වය තුළ විශාල ව්‍යාකූල තත්ත්වයක් අමාත්‍යාංශ, රාජ්‍ය සේවය තුළ නිර්මාණය වෙමින් තියෙනවා. අද කතා කරන අමාත්‍යාංශ […]

“රටේ බ්‍රෑන්ඩ් එකට හානි වුණේ අරගලකරුවන් නිසා නෙවේ පාලකයන්ගේ හැසිරීමෙන්” යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

“මේ දිනවල රාජ්‍ය සේවය රටට බර කියලා කියනවා. රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක් වෙලා තියෙනවා කියන එකත් රහසක් නෙවෙයි. මේ තත්ත්වය තුළ විශාල ව්‍යාකූල තත්ත්වයක් අමාත්‍යාංශ, රාජ්‍ය සේවය තුළ නිර්මාණය වෙමින් තියෙනවා. අද කතා කරන අමාත්‍යාංශ තුනත් වැදගත්. එහිදී විදේශ අමාත්‍යංශය ගැන කතා කළොත් විදේශ අමාත්‍යාංශය කියන්නේ මේ වෙලාවේ අපට ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. අපේ රටේ ප්‍රතිරූපය මේ වෙනවිට විශාල හානියක් සිදු වී තිබෙනවා. ඒ හානිය අවම කිරීමත් එය නිවැරදි කිරීමටත් විදේශ අමාත්‍යාංශයට විශේෂ වගකීමක් තිබෙනවා.

“අපි විදේශයට සේවකයන් වැඩිපුර යවන්න උත්සාහ කරන මෙවැනි කාලයක් තුළ ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒ ශ්‍රී ලාංකේය ප්‍රජාවට සේවය කිරීම විශාල වගකීමක්. හැබැයි මේ අනුව අපිට සතුටු වෙන්න බැරි කාරණා බොහොමයක් තිබෙනවා. මේ වෙද්දි විදේශ දූත කණ්ඩායම් Embassy තානපති කාර්යාල වසා දැමීම ගැන කතා කරනවා. ඒවා මොන පදනමකින්ද මොන ගණනකින්ද කරන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. වසර ගණනාවකට පෙර සයිප්‍රස්, නෝර්වේ, ජර්මනිවල කොන්සල් ජනරාල් කාර්යාල වසා දමලා තිබෙනවා. මේවා මුදල් ඉතිරි කරන්න වසා දැමුවා නම් එහිදී මුදල් කොපමණක් ඉතිරි වූයේද කියා අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම මේ කාර්යාල පවත්වාගෙන යෑමට වඩා දූෂිතයන් කරන ගනුදෙනු ගැනත් අපි ප්‍රශ්න කරනවා.”

“බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කිව්වා රටේ බ්‍රෑන්ඩ් එකට හානි වුණේ අරගලකරුවන්ගේ හැසිරීම් නිසා කියලා. අපි කියනවා අරගලකරුවන්ගේ හැසිරීම් ගැන බලන්න පෙර පාලකයන්ගේ හැසිරීම් ගැන බලන්න කියලා.”

Show More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කාල් මාක්ස්ගේ අර්ථ නිරූපණයට හරියටම ගැලපෙනවා

නීතිය පාලකයාගේ අවියක් බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ කාල් මාක්ස් කළ ප්‍රකාශය වර්තමානයේ ආණ්ඩුවේ අවශ්‍යතා අනුව පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරයෙන් මනාව තහවුරු වෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙන්වා දෙති. එම නීතිඥ සංවිධානය ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ සුනිල් වටගල මේ බව අවධාරණය කළේය. එම මාධය හමුවට නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි සහ නීතිඥ අකලංක උක්වත්ත යන […]

නීතිය පාලකයාගේ අවියක් බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ කාල් මාක්ස් කළ ප්‍රකාශය වර්තමානයේ ආණ්ඩුවේ අවශ්‍යතා අනුව පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරයෙන් මනාව තහවුරු වෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙන්වා දෙති.

එම නීතිඥ සංවිධානය ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ සුනිල් වටගල මේ බව අවධාරණය කළේය. එම මාධය හමුවට නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි සහ නීතිඥ අකලංක උක්වත්ත යන අය ද සහභාගී වූහ. මෙම අවස්ථාවේදී වැඩි දුරටත් නීතිඥ සුනිල් වටගල දැක්වූ අදහස් පහත පළවේ.

අවසානයේ බෝලය පාස්කර තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාටයි. මේ වැඩේ පටන් ගත්තේ දේශපාලන වුවමනාවකින්. ඒ දේශපාලන වුවමනාව කරපින්නාගෙන යන්න වෙලා තිබෙන්නේ මේ ආයතන දෙකටයි. නීති විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලයේ නීති විද්‍යාව සම්බන්ධයෙන් කාල් මාක්ස් කියන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයාගේ මතයක් ගෙනහැර දැක්වූවා. “නීතිය වනාහි පාලකයාගේ අවියයි.” කියලා. නීතිය කියන්නේ ගලේ කෙටූ අකුරක්වත් මඩේ හිටවූ ඉන්නක්වත් නොවෙයි කියලා අර්ථ නිරූපණයක් තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කාල්මාක්ස් කියන දාර්ශනිකයාගේ අර්ථ නිරූපණයට වැටෙන පනතක්. පාලකයන්ට වුවමනා මිනිසුන්ව දඩයම් කරන්න හැදූ පනතක්. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මේ පනත වහා අහෝසි කළ යුතු බව අපි කියන්නේ ඒ නිසයි. ආණ්ඩුවේ පටු දේශපාලන වුවමනාවන් මුදුන් පත්කර ගැනීමට මේ පනත පාවිච්චි කරන බව යළි යළිත් පැහැදිලි වෙනවා. පසුගිය 18වැනිදා වෙනකොට වසන්ත මුදලිගේටත් සිරිධම්ම හිමිටත් විරුද්ධව තිබුණු රැඳවුම් නියෝග අවසන්. දැන් ඒ දෙදෙනාම ඉන්න ඕනෑ අපි අතර. තවදුරටත් රඳවා ගැනීමේ රහස මොකක්ද? ඔවුන් රඳවාගෙන දින 81ක් පිරුණු දවසේ අපි ඔවුන් බලන්න ගියා. ඔවුන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබෙන නඩුව විභාගයට ගෙන වහාම මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් ලෙස නියෝග ලැබුණා. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මා වින්දිතයන් පෙනීසිටියා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් දවස් දෙකකට පසු තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඔවුන් ඉදිරිපත් කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි දින 90 අවසන් වූ පසු අපරාධ නීති සංග්‍රහය යටතට අදාළ වෙනවා. ඒ අනුව ඇප දීමේ අවස්ථාව නීතිපතිවරයාට ලැබෙනවා. නමුත් තංගල්ල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කර සිටි වසන්ත මුදලිගේ කොළඹ අංක 08 උසාවියට වැඩිදුර වාර්තාවක් ගොනු කිරීමේ කරුණු දක්වමින් ඉදිරිපත් කළා. නොවැම්බර් 11දා තංගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය යටතේ යළි එම උසාවියට ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අදාළ සිදුවීම් කොළඹ අධිකරණ කලාපයේ සිදුවී තිබෙන නිසා එයට ඉදිරිපත් කරන බව කීවා. නමුත් වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥතුමා තංගල්ල අධිකරණයට ඉදිරිපත් කළ යුතු ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් අදාළ පොලිස් නිලධාරීන් කිසිදු ප්‍රගති වාර්තාවක් ගෙනවිත් තිබුණේ නැහැ. අදාළ ප්‍රගති වාර්තාව කොළඹ අංක 08 අධිකරණ සේප්පුවේ දමා තිබෙන ජාතික ආරක්ෂාවට අදාළ වාර්තාවක් බව පොලීසියෙන් දන්වා තිබුණා. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කර තිබෙන්නේ 25දා අධිකරණය හමුවේ එම නිලධාරියාම පෙනී සිටිමින් අදාළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවයි. දැන් සිදුවී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවත් නීතිපතිවරයාත් ආණ්ඩුවත් හිරවී සිටීමයි. පොලීසියත් නීතිපතිවරයාත් තවදුරටත් මෙය කරගහගෙන යනවා නම්, මොකද වෙන්නේ?
තවදුරටත් කල්මරනවා නම්, ඉතාම පැහැදිලි වෙන්නේ පොලීසියත් නීතිපතිවරයාත් දේශපාලනය කරන බවයි. තංගල්ල උසාවියේ ගරු මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ “සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන්හි ප්‍රගතිය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ කාර්ය පටිපාටිය හා ප්‍රතිපාදන අනුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කළ යුතු බවට තීරණය කළෙමි.” යනුවෙනි. මේ නියෝගයට වෙට්ටු දාන්න බැහැ. පානදුරේ සිට සාමකාමී පා ගමනට පැමිණි කාන්තාවන්ට බාධා කළ පොලීසිය පොලිස් කාන්තාවන් පවා හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒ ගැන විමර්ශනය කර තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිර්භය නිර්දේශ තුනක් කර තිබෙනවා. එහි අන්තිම නිර්දේශයේ තිබෙන්නේ මේ වැනි සිදුවීම් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සිදු නොවිය යුතු බවයි. දේශීය වත් ජාත්‍යන්තර වත් ලංකා මාතාවගේ කීර්තිය පොලිස් දෙපාර්තමේන්තුවෙන් අහිමිකරමින් සිටින බව එහි දක්වා තිබෙනවා. මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුව වහාම විනයකට යටත් කරන ලෙස පොලිස්පතිට නියෝග කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් රඳවා තබාගෙන මුදා හරින අයගේ ජීවිත සම්බන්ධයෙන් නීතිපතිවරයා වේගයෙන් මැදිහත් වී වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට යුක්තිය ඉටුකරන ලෙසට අපි බලකර සිටිනවා.

Show More

නීතිපති සහ පොලිසිය දේශපාලනය කරනවා

පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් ආණ්ඩුව ගෙන යන දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන් මෙහෙයවන බවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා නැගීය. එම මාධ්‍ය හමුවට සහභාගී වූ නීතිඥ අකලංක උක්වත්ත මේ බව කරුණු සහිතව පෙන්වා දුන්නේය. නීතිඡවරයා දැක්වූ අදහස් පහත පළවේ. පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් අත්හළ නොහැකියි. ඒ බලය […]

පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් ආණ්ඩුව ගෙන යන දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන් මෙහෙයවන බවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා නැගීය.

එම මාධ්‍ය හමුවට සහභාගී වූ නීතිඥ අකලංක උක්වත්ත මේ බව කරුණු සහිතව පෙන්වා දුන්නේය. නීතිඡවරයා දැක්වූ අදහස් පහත පළවේ.

පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් අත්හළ නොහැකියි. ඒ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජනතාව පාරට බැස්සා. ඒ පාරට බැසීම නම් කළේ අරගලය කියලා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරමින් ජේ.ආර්. ජයවර්ධන ආවේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. මහින්ද රාජපක්ෂගේ සිට මේ ආණ්ඩුව දක්වා ක්‍රියාත්මක කරන්නේ ඒ ප්‍රතිපත්තිමයි. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් විසින් සිදුකළ වරද ධර්මිෂ්ඨ පාලනයක් මේ රටේ ඇතිකිරීම සම්බන්ධයෙන් විරුද්ධ වීමද? ව්‍යවස්ථාව බිඳ ත්‍රස්ත ක්‍රියාවක් කර, ඒ නිසාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිට දැන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ඒ නිසාද? 1979 ඇති කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ ධර්මිෂ්ඨ සමාජය බිහිකිරීමට විරුද්ධව ක්‍රියාකරන අය මැඩපැවැත්වීමටද? වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි එවැනි ක්‍රියාවක් කර තිබෙනවා නම්, මේ රටේ බහුතර ජනතාවක් විසින්ද එය සිදුකර තිබෙනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් හඬ නැගීම මර්දනය කිරීමට යොදා ගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය යන්නට පැහැදිලි නිර්වචනයක් නැහැ. අහිංසක මිනිසුන්ව කොටු කිරීමට එය යොදා ගන්නවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර ප්‍රදේශය බාරව සිටි සන්නද්ධ නායක කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අයට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදවා ගත්තාද? කේ.පී. සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එදා විපක්ෂයේ සිට ලොකු විවේචන තිබුණා. ඒ කේ.පී.ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත්තාද? නමුත් අරගල කාල වකවානුවේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ ගල් කැටයක් හරි අතින් අරන් ඉන්නවා කවුරු හරි දැක්කාද? අපිට ලැබෙන්න තිබෙන දේවල් ආණ්ඩුවේ උදවිය හොරකම් කරල, සූරා කාලා තිබීම ගැන අපිට ප්‍රශ්න කරන්න බැරිද? ආරක්ෂක ඇමතිවරයාගේ අත්සන අනුව දින 90ක රැඳවුම් නියෝග යටතේ සිටි මේ දෙදෙනා සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබුණා. රනිල් රාජපක්ෂ ඒ රැඳවුම් නියෝග දීර්ඝ නොකර දින 14න් 14ට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. දැන් නීතිපතිතුමා යටතේ මේ දෙදෙනා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් දින 90ක් රඳවාගෙන සිටියාට ඒ කාලය පුරාම දින 03කදී පැය පහක් පමණක් ප්‍රශ්න කර තිබුණා. ඒ අවස්ථා තුනේදීම වසන්ත මුදලිගේ ප්‍රශ්න කර ඇත්තේ තමන් කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද කියලයි. ඒ ප්‍රශ්නයට උත්තර නැහැ.

ඒ මුළු කාලයේම පොලීසියෙන් ප්‍රශ්න කර තිබෙන්නේ නිට්ටඹුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම, ජනාධිපති මන්දිරයට ඇතුළු වීම, අරලියගහ මන්දිරයට ඇතුළු වීම, ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම යන කාරණා ගැනයි. මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනටමත් අත්තනගල්ල උසාවියේ මිනීමැරුම් චෝදනා සම්බන්ධ නඩුවක් තිබෙනවා. අනෙක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්තනගල්ල සහ කොටුව උස්විවල දැනටමත් නඩු පවරා තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දෙදෙනා රඳවා ගෙන ඉන්නේ මොකටද? අධිකරණවල නඩු පවරා තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන්. ඒ චෝදනා සියල්ල දණ්ඩ නීති සංග්‍රහය යටතේ තිබෙන්නේ. එහෙම නම්, නීතිපතිවරයා යටතේ අත්තනගල්ල සහ කොටුව උසාවිවල පවරා තිබෙන නඩුවලට මොකද වෙන්නේ? නීතිපතිතුමා පොලීසියට උපදෙස් දෙනවා. දින 90ක් තිස්සේ පොලිස් විමර්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිතුමා සවිඥානක වෙන්න ඕනෑ. දින 90ක් පසුවී තිබියදී විමර්ශන අවසන් නැහැ කියන්නේ හිරිහැර කිරීම හැර වෙනත් අරමුණක් නැති බවයි. දැන් නීතිපතිතුමා මේ දෙදෙනාට ඇප නොදීමට පවතින හේතු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නීතිපතිතුමා වගකියන්නේ ජනරජයට සහ මේ රටේ ජනතාවට මිස කාලයෙන් කාලයට පත්වෙන ආණ්ඩුවලට නොවෙයි.

පාස්කු ප්‍රහාරය අතට අරගෙන ගෝඨාභය රාජපක්ෂ බලයට ඇවිත් මුලින්ම කළේ හිස්බුල්ලා නීතිඥ මහත්මයා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමයි. සහරාන් සම්බන්ධයෙන් මහාධිකරණයේ පවත්වාගෙන යන නඩුවේ හිස්බුල්ලා මහත්මයා වගඋත්තරකරුවෙකු කර සිටිනවාද? නැහැ. එහෙම නම්, ඒ කාලෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන බොරුවක් කළ බව පැහැදිලියි. දවස් 90කට වැඩිය රඳවාගෙන සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති සහ නීතිපති වගකියන්න ඕනෑ. සහරාන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතිහාසය මෙහෙම නම්, වසන්ත මුදලිගේ සහ සිරිධම්ම නිදහස් කිරීමේ අවකාශය නීතිපතිතුමාට තිබෙනවා. තමන්ගේ නීතිමය භාවිතය ඒ සම්බන්ධයෙන් ඉෂ්ට කරන ලෙස නීතිපතිතුමාට අපි අවධාරණය කරනවා.

Show More