-Colombo, February 19, 2024- ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් අද (19) පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික […]
-Colombo, February 19, 2024-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් අද (19) පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම් (Matthew Wordinghem), දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් (Alex Smith) සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න (Neluni Thilakaratne) සහභාගී වූ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය වෙනුවෙන් ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි වූහ.
-Colombo, February 18, 2024- සතියක ගොඩගැසී තිබුණු වැඩ ඉවර කර, අලුත් සතියක් ආරම්භ කරන්න තිබෙන දවසෙදි, ගමේ සමිති සමාගම්වලට සහභාගි වෙන්න තිබෙන දිනයේදී අම්මලා, අක්කලා, සොහොයුරියන් මෙතනට සහභාගි වීමෙන් ඔප්පු කර තිබෙන්නේ කුමන බාධක අභියෝග පැමිණියත් ඉදිරියට යන බව සහතිකයයි. අපිට මේ වැඩේ කළ හැකියි කියලා විශාල ධෛර්යයක් විශ්වාසයක් ඇතිවී තිබෙනවා. මෙයට පෙර කෙනෙක් හම්බන්තොට […]
-Colombo, February 18, 2024-
සතියක ගොඩගැසී තිබුණු වැඩ ඉවර කර, අලුත් සතියක් ආරම්භ කරන්න තිබෙන දවසෙදි, ගමේ සමිති සමාගම්වලට සහභාගි වෙන්න තිබෙන දිනයේදී අම්මලා, අක්කලා, සොහොයුරියන් මෙතනට සහභාගි වීමෙන් ඔප්පු කර තිබෙන්නේ කුමන බාධක අභියෝග පැමිණියත් ඉදිරියට යන බව සහතිකයයි. අපිට මේ වැඩේ කළ හැකියි කියලා විශාල ධෛර්යයක් විශ්වාසයක් ඇතිවී තිබෙනවා. මෙයට පෙර කෙනෙක් හම්බන්තොට ඉඳලා කුරුණෑගල දිස්ත්‍රික්කය සොයාගෙන පියාඹාගෙන ආවා. එයාට ඡන්දය දුන් අයත් මෙතන ඉන්නවා. ඒ පැරණි ඉතිහාසය දිහා ආපසු හැරී බලනකොට අපි හැමදෙනාටම සනාථ වී තිබෙන්නේ ඒ ඉතිහාසය වෙනස් කළ යුතු බවයි. අපේ රටට, අපේ ජනතාවට හොඳ කලක් යයි කියන සුබ සිහිනය දිහා දීර්ඝ කාලයක් අපේ අම්මලා බලාගෙන සිටියා. දරුවෙක් ඉපදුනාම කේන්දරේ බලනකොට අපලයි කීවාම දරුවාගේ අපල දුරුවෙන්න බාරහාර වුණා; බෝධි පූජා කළා. කිරි අම්මාවරුන්ගේ දානය දුන්නා. ඒ හැමදේම කරලා මහින්දලාට කතිරය ගැහුවා. හෙනහුරා පරද්දන්න ගෙදර බාරහාර වෙන අතරෙ කතිරය ගහලා හෙනහුරාව මහපුටුවට ගෙනාවා. දරුවාට මේ රටට, ජනතාවට, ලබලා තිබෙන හෙනහුරා පලවා හරින්න තොවිලය තියලා හරියට කපන්න ඕනෑ. ඔක්තෝබර් 17ට කලින් ඒ සුබ මුහුර්තය එනවා. සමහර අය කියනවා ජනාධිපතිවරණය එන්නෑ වගේ කියලා. එහෙම එන්නේ නැතිනම් හෙනහුරාට කලින්ම යන්න වෙනවා. ජනාධිපතිවරණය නොපවත්වා වෙට්ටු දාන්න රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම්, එයාට සිදුවෙන්නේ බොහොම කලින්ම ගෙදර යන්න.
සමහර අය කියනවා, “මාර සටකපට මෑන්. තනි මිනිහා, ජනාධිපති වුණා” කියලා. ඒ බොරු. ඉස්සෙල්ලාම අගමැතිකම ගන්න කියලා යෝජනා කළේ සජිත් ප්‍රේමදාසට. සජිත් ප්‍රේමදාස ගත්තා නම් රනිල් තවමත් තනි මන්ත්‍රී. ඊට පස්සේ ෆොන්සේකාට ගන්න කීවා. එතුමා කීවා දවස් තුනක් දෙන්න කියලා. ගෝඨාභය හිරවී තිබුණු හිරවිල්ලට දවස් තුනක්වත් ඉන්න බැරිව රනිල්ට කීවාම එක පයින් බාරගත්තා. හෘද සාක්ෂියක් නැති මිනිස්සුන්ගෙන් ජනාධිපති වීම වීරකමක් නොවෙයි, ලැජ්ජා නැතිකම. එයා මාර වැඩකාරයෙක් නොවෙයි. අනිවාර්යයෙන්ම ජනාධිපතිතිවරණය පවත්වන්න ඕනෑ. වැරදි ගමන් මාර්ගය වෙනස් කර, නව ගමන් මාර්ගයකට අපේ රට අවතීර්ණ කරන්න බොහෝ දෙනෙකුට ඕනෑවී තිබෙනවා. ඒ සඳහා ලොකුම කාර්යභාරය පැවරී තිබෙන්නේ අපේ රටේ කාන්තාවන්ටයි. විදෙස් රැකියා ලබාදෙන වැඩිම ඒජන්සි තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. වැඩියෙන්ම කාන්තාවන් විදෙස්ගත වුණෙත් කුරුණෑගලින්. ඔවුන්ගේ බලාපොරොත්තු තුනයි තිබුණේ. දරුවන්ට හොඳට උගන්වන්න හිතාගෙන විදෙස්ගත වුණත් අම්මාගේ ආරක්ෂාව සහ සෙනෙහස නැතිව බොහෝ දරුවන්ගෙ ජීවිත විනාශ වුණා. දෙවැනි අපේක්ෂාව වුණේ නොතෙමී ඉන්න ගෙයක් හදා ගන්න. ඒ වැඩෙත් සාර්ථක වුණෙත් නැහැ. ඊළඟ බලාපොරොත්තුව වුණේ ත්‍රී විලර් එකක් නැතිනම් බට්ටා ලොරියක් ගන්න. නමුත් මේ බලාපොරොත්තු කිසිවක් ඉටුකර ගන්න බැරිව පවුල් විනාශ වුණා. ගම්වල පවුල් සුණු විසුනු වී විනාශ වුණා. එයින් වැඩිම වේදනාවට ලක්වුණේ අම්මා.
ගම්වල මිනිසුන්ට විශාල ආදායම් නොතිබුණු බව ඇත්ත. නමුත් අපි අතර සාමකාමී ජීවිතයක් ගත කරන ගෙදරක් තිබුණා. නමුත් දැන් මුළු ගොවිතැනම විනාශ වෙලා. බීජ ගොවිපොළවල් වසාදමා ආනයනික බීජ මිල ඉහළ ගියා. ට්‍රැක්ටර් කුලිය ඉහළ ගියා. කෘමිනාශක මිල ඉහළ ගියා. සතා සීපාවාගෙන් වගාව විනාශ වුණා. තිබුණු අස්වැන්නත් සාධාරණ මිලකට විකුණාගන්න බැරි වුණා. මේ ගම් බිම් සුණු විසුණු වී පවුල් ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටුණා. ඒ සියල්ලේ වැඩිම වේදනාව තිබෙන්නේ කාන්තාවන්ට. බස්රථවලදී කාන්තාවන්ට පීඩා කරන අය අත්අඩංගුවට ගන්න සිවිල් ඇඳුමෙන් සැරසුනු කාන්තාවන් යොදවා තිබියෙදී ඇයට පීඩා කළ අයෙක් අත්අඩංගුවට ගත් බවට අද ප්‍රවෘත්තියක් පළවී තිබෙනවා. මෙතන ඉන්න අම්මලාත් මේ රැස්වීමට යන්න කෙල්ල ගෙදර දාලා යන්නේ කොහොමද කියලා කල්පනා කළා නේද? තමන්ගේ දියණියට, තමන්ගේ නැගණියට ආරක්ෂාවක් නැති නීතියක් නැති රටක් පවතින්නේ. කාන්තාවකට අතවරයක් සිදුවුණාම පොලීසියට ගිහින් පැමිණිලි කරන්න මැලිවෙනවා. මෙහෙම හිරවුණු, බයවුණු, පීඩාවට පත්වුණු කොට්ඨාසයක් හැටියට අපේ රටේ කාන්තාවන් ජීවත් විය යුතු නැහැ. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කිරීමේ ප්‍රධානම කාර්යභාරය ඉටුකිරීමට කාන්තාවන් ධෛර්යය සම්පන්නව ඉදිරියට ඇවිත් තිබෙනවා.
මේ සොහොයුරියන්ගේ පිබිදීම කොපි කරන්න සමහර අය උත්සාහ කරනවා. මේ තිබෙන්නේ හුදු ඡන්දයක් සඳහා වූ පිබිදීමක් නොවෙයි, මේ නැගිටීම තිබෙන්නේ විනාශකාරී කණ්ඩායම පළවා හැරීම සඳහා මහා ගැහැනු බලවේගයක් හැටියට. මෙතන තිබෙන්නේ හැඟීම්, හෘදය සාක්ෂිය, ශක්තියක්, පිබිදීමක්, අධිෂ්ඨානයක් සහ විශ්වාසයක්. ඒගොල්ලන්ට ඔළුගෙඩි ටිකක් රැස්කරන්න පුළුවන් වුණත් ඒ කිසිවෙකුට මේ ආධ්‍යාත්මික හැඟීම් ලබාගන්න බැහැ. අපි වැඩක් කරන කොට පුංචි පුංචි ගැටීම් එනවා, වැඩේ සාර්ථකව නිම කළාම එකිනෙකා බදාගෙන හඬනවා. මම අපේ සතුරන්ට කියන්නේ මේ අධ්‍යාත්මය කොපි කරන්න බැරි බවයි. ETI ආයතනයේ මුදල් තැන්පත් කර, මුළු සේසතම අහිමි වූ අයත් මෙතන ඉන්නවා. මේ පාලකයෝ ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැත්ත ගත්තා මිස වේදනාවට පත්වුණු ජනතාවගේ පැත්ත ගත්තේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවස්තු විනාශ කළ නගරාධිපතිගේ පැත්ත තමයි පාලකයා ගත්තේ. පාලකයා ගත්තේ ජනතාවගේ පැත්ත නොවෙයි, රට විනාශ කරන්නන්ගේ පැත්ත. පාලකයා ගත්තේ කුඩු වසංගතය පතුරුවන ජාවාරම්කාරී අපරාධකරුවන්ගේ පැත්ත. අපේ රටේ පාලකයන් රෝගීන්ට විදින බෙහෙත්වලින් ගසා කෑ කෙහෙලිය රඹුක්වැල්ලගේ පැත්ත ගත්තා. පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගයෙන් ඔහුව ආරක්ෂා කළා. ඒ නිසා මේ පාලකයන් සම්බන්ධයෙන් ජනතාවට සාධාරණ කෝපයක් තිබෙනවා. කුරුණෑගල සාෆි වෛද්‍යවරයා ඉතාමත් දක්ෂ සිසේරියන් සැත්කම් පිළිබඳව ප්‍රකටත්වයක් දරාගෙන සිටියා. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ඔහු වෘත්තිය ජීවිතයේදී ක්‍රියා කළා. නමුත් පාලකයන් වඳ සැත්කම්, ගර්භාෂ යුද්ධ ගැන බොරු ප්‍රචාර කරමින් උද්ඝෝෂණ කර අපිව කෙටෙව්වා. මේ ගැහැනුන් එකතු වී පෙන්නුම් කරමින් තිබෙන්නේ ඒ පාලකයන්ට එරෙහි වේදනාවේ, කෝපයේ හඬ. ඉවසන්න එපා, ඒ වගේම බය වෙන්නත් එපා. අපි මේ රටේ ඉපදුනේ, ඒගොල්ලොත් මේ රටේ ඉපදුනේ. අපිත් මව්කුසෙන් ඉපදුනේ. ඒගොල්ලොත් මව් කුසෙන් ඉපදුනේ. අපි මව්කිරි බිව්වේ. ඒගොල්ලොත් කිරි බිව්වේ. ඒ නිසා කිසි කෙනෙක් සැලෙන්නත් එපා. බය වෙන්නත් එපා. අපි මේ වැඩේ කරන්න ඕනෑ. මේ මහා ජනතා නැගිටීම ඔවුන්ට පාලනය කරන්න බැරි තැනකට ඇවිත් තිබෙන්නේ.
කඩේකට ගිහින් ගන්න දරුවාගේ පොත් ටිකේ ඉඳලා කිරි පැකට් එකේ ඉඳලා හැමදේකටම බදු ගහන පාලකයන් අරක්කු ෆැක්ටරිකාරයන් බදු කොල්ලකන්න ඉඩදී තිබෙනවා. දශක ගණනාවක් ඉවසුවා. දැන් මේ කෝපය සහ නැගිටීම වළක්වන්න ඒ අයට බැහැ. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා ඔප්පු දීලා, අස්වැසුම දීලා, හාල් කිලෝ 20ක් දීලා, ගොඩයන්න. ලැජ්ජයි. ගම්වල අපි අටු පිරෙන්න අස්වද්දපු මිනිස්සු. රනිල් වික්‍රමසිංහ හිතනවා නම්, අද ඉන්නේ අරක්කු වීදුරුවට, සිල් රෙද්දට, තහඩු ටිකට, වැසිකිළි පෝච්චියට, රැවටුණු ජනතාවක් නොවෙයි. හැටනව ලක්ෂයක් ඡන්දයෙන් පත්වුණු තුනෙන් දෙකක ආණ්ඩු බලයක් තිබුණු පාලකයන්ව පළවා හරින ජනතාවක් අද ඉන්න බව ඔවුන් මතක තබා ගත යුතුයි. පාර බහින්න බැරි වුණත් ඔවුන්ව පළවා හරින්න ප්‍රාර්ථනා කළ ජනතාවක් ඉන්නේ. ඔවුන් අද ජාතික ජන බලවේගය වටා එකතු වී සිටින බව මතක තබා ගත යුතුයි. කරු ජයසූරියලා, චන්ද්‍රිකා කුමාරතුංගලා එකතු වෙලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාවක් කියමින් යනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මම නම් විධායක ජනාධිපති ක්‍රමය භුක්ති වින්දා කියලා. ගම්වල මේවාට කියන්නේ මරු කියවනවා කියලා. එකතු වෙන්න පුළුවන් ලොකුම සන්ධානය හදන බව තව කොටසක් කියනවා. ලංකා ඉතිහාසයේ ලොකුම සන්ධාන දෙකයි හදලා තිබෙන්නේ. රනිල්ලාට විරුද්ධව රාජපක්ෂලා හැදූ සන්ධානයත් රාජපක්ෂලාට විරුද්ධව රනිල්ලා හැදූ සන්ධානයත් කියන දෙකයි. දැන් ඒ දෙකම එකතු වෙලා ජාතික ජන බලවේගයට විරුද්ධව සන්ධාන හදලා තිබෙනවා. ඊළඟ ජනාධිපතිවරණ වේදිකාවේ සාටකය දාගත් – මහින්ද, ටයිකෝට් දාගත් – රනිල්, ඔසරි ඇඳගත් – චන්ද්‍රිකා, තරු පටි ගහගත් – ගෝඨාභය, පොළොන්නරුවේ ගැමියා – මෛත්‍රීපාල සිරිසේන, විකට ඇඳුම් තරගයක් වගේ දකින්න පුළුවන්. දැන් සාකච්ඡා යන්නේ සජිතුයි රනිලුයි එකතු කරන්නේ කොහොමද කියලා. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට පිරෙව්වොත් ඔය කවුරු එකතු වුණත් වැඩක් නැහැ.
මේ දක්වා දේශපාලනය තිබුණේ පිරිමින්ගේ වැඩක් විදිහටයි. අද ලංකාවේ දේශපාලනය තිබෙන්නේ ගමේ සක්‍රීයම ගැහැනුන් අතේ. අලියෙක් ගැහුවාම ඉස්සෙල්ලාම ඒ ගෙදරට යන, මරණාධාර සමිතියට යන, ක්ෂුද්‍ර මූල්‍ය සමිතියට යන, පාසල් සමිතියට යන, පෝයදාට සිල් ගන්න, සක්‍රීයම කණ්ඩායම දැන් ඉන්නේ ජාතික ජන බලවේගය වටායි. එළඹෙන ඕනෑම මැතිවරණයකින් මේ රටත් ජනතාවත්, විනාශකාරී මාවතෙන් මුදා ගන්නා ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙරට එමු. ඡන්දයෙන් කරන්නේ විනාශකාරිත්වය පළවා හැරීම වගේම රට ගොඩනැගීමේ ආරම්භය ගැනීමයි. කුඩා වුණත් දැවැන්ත බලයක් තිබෙන මේ රට ගොඩනඟන්න පුළුවන්. දරුවන්ට අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර, මානසික නිදහස, මූලික වශයෙන්ම ආරම්භයේදී ගොඩනඟනවා. මොන අවලාද ආවත් කුමන තර්ජන ආවත්, අපි මෙය ජයග්‍රහණයෙන් කෙළවර කරනවා කියන අධිෂ්ඨානයෙන් වැඩ කරමු. ඉදිරි මාස හතයි තිබෙන්නේ. ඒ මාස හත තුළ අධිෂ්ඨානයෙන් වැඩකර ශක්තිමත් බලයක් ගොඩනැගිය යුතුයි. ඒ බලය තිබනේනේ ජනාධිපති අතේවත් පාර්ලිමේන්තුව අතේවත් නොවෙයි; ඔබ අතෙයි. ඉන්දියාවෙන් නිල ආරාධනය ලැබුණේ පාර්ලිමේන්තුවේ තුනක් ඉන්න අපිට. ඒ ඇයි? ජනතාවගේ බලය තිබෙන්නේ, අපිත් එක්ක බව සනාථ වී ඇති නිසයි. බලය ලබාගැනීමෙන් පසුව එය ආරක්ෂා කර, ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාමේ හැකියාව තිබෙන්නෙත් ඔබ අතෙයි. මීමැසි පොදියක් වගේ මහා බලවේගයක් ගොඩනඟමු. ඉතාමත් අසීරු කාලයේ මේ ව්‍යාපරය ගොඩනැගීම සඳහා ඉමහත් වැඩකොටසක් කළ සහෝදර සහෝදරියන් මෙතන ඉන්නවා. අපිට අතපසුවීම් වුණා, පසුබෑම් වුණා, විශාල අවලාද ආවා, එහෙත් ඒ සියල්ල අභිබවා අපි ඉදිරියට යමින් සිටිනවා. දීර්ඝ කාලයක් තිබුණු සුබ ප්‍රාර්ථනාවන් මල් ඵල ගැන්වීමේ ආසන්නයට අපි ඇවිත් සිටිනවා. ජයග්‍රහණය තෙක් අපි සියලු දෙනාම නොසැලී ඉදිරියට යමු කියලා අපි ආරාධනා කරනවා.
“මනුෂ්‍යත්වය ගොඩනඟන සමාජයක් බවට අපි පත්විය යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය-
ඔබ සැමට මේ බිමේ ප්‍රමාණවත් ඉඩකඩක් නොමැතිවී තිබෙන බව පෙනෙනවා. හේතුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය අවශ්‍ය භූමිය ලබාගන්න ඉඩ දුන්නේ නැහැ. මේ ඉඩම පුද්ගලික අයිතිකරුවෙකු සතු හිස් ඉඩමක්. ඉඩ නොමැතිකම නිසා ඔබ අපහසුතාවයට පත්වී තිබෙනවා. ඒ ගැන අපි ඔබෙන් සමාව ඉල්ලනවා. මේ පෙන්වන්නේ දේශපාලන කුහකත්වය. අපව අව්වේ තබා, වතුර ගහලා, කඳුළු ගෑස් ගහලා නවත්වන්න බැහැ. ඔබේ අභිමානවත් කොන්ද තිබෙන ගැහැනුන් බව අද පෙන්වා තිබෙනවා. අපි මෙය ජයග්‍රහණයෙන් මිසක් ආපසු හැරෙන්නේ නැහැ කියන පණිවිඩය ඉතාමත් නිර්භීතව, අධිෂ්ඨානශීලීව සමාජයට පෙන්වා තිබෙනවා. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
මට එවා තිබෙන කවියක්,
ගෙදරට කොටුව මෙතරම් කල් තැබු ගැහැනු
වැඩකට නැතැයි බහුතරයක් සිතු ගැහැනු
සටනට ඇවිත් ඉන්න හැටි දැක්කම මුහුණු
රටකට අවැසි නුඹ වැනි දිරියක් ඇති ගැහැනු
මේ වෙනකොට ඔබ ගැන අලුත් සාහිත්‍යයක් බිහිවෙනවා. කවි ලියැවෙනවා. චිත්‍ර ඇඳෙනවා. ඔබේ නිර්භීතකම, ඔබේ සටන්කාමී බව නිර්මාණය වෙනවා. ඔබේ වටිනාකම හොඳින් තේරුම් ගන්න. ඔබේ නම් ඉතිහාසගත වෙනවා නොඅනුමානයි. මේක සුවිශේෂී පරිච්ඡේදයක්. ඔබ සියලු දෙනා එහි කොටස්කරුවන්. ඔබ කිසිවෙක් පුද්ගලික අරමුණක් ඇතිව පැමිණ නැහැ. අලුත් රටක් ගොඩනැගීමේ සාමූහික අරමුණකින්, අභිලාෂයකින් මෙතනට පැමිණ තිබෙන්නේ. මේ සමාජය වෙනස් කරලා අපි සියලු දෙනාටම සාධාරණව, නිදහස්ව ජීවත් වෙන්න හැකි සමාජයක් ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් ඔබ මෙතනට පැමිණ තිබෙන්නේ. අවුරුදු ගණනක් කිසිම දෙයක් නොලබා සාමූහික අරමුණ වෙනුවෙන්, සියලු දෙනාම වෙනුවෙන් ඇපකැප වී වැඩ කරන ගැහැනු මෙතනට රැස්වී සිටිනවා. අපේ ව්‍යාපාරය තුළම තිබෙන එය සුවිශේෂී ලක්ෂණයක්.
අපෙන් උදුරා ගත්ත සතුට, අපට අහිමි කළ සතුට ලබාගන්න, අරගල කරන්න මෙතනට පැමිණ තිබෙන්නේ. අපේ ආහාර සුරක්ෂිතතාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සියල්ලම අපෙන් උදුරාගෙන, වනසා තිබෙනවා. අපේ මනුෂ්‍යත්වයත් උදුරාගෙන තිබෙනවා. එකිනෙකා ගැන දැනෙන සහකම්පනය, සාමූහිකත්වය, කරුණාව, ආදරය අපෙන් උදුරාගෙන තිබෙනවා. මගතොට යනකොට අපට සුරක්ෂිතතාවයක් නොදැනෙන්නේ ඒගොල්ලන් අපෙන් මනුෂ්‍යත්වය උදුරාගෙන තිබෙන නිසා. අපව ආත්මාර්ථකාමිත්වයෙන් ලඝු කර, එකිනෙකාගෙන් දුරස් කර, එකිනෙකාට වෛර බඳින, එකිනෙකා සමග සටන් කරන තැනකට තල්ලු කර තිබෙනවා. ඒ දේශපාලන සංස්කෘතියත්, සමාජ ආර්ථික වැඩපිළිවෙළත් නිසා අපව ආත්මර්ථකාමී තැනකට තල්ලු කර තිබෙනවා.
මානවයා යනු තනියෙන් ජීවත් විය හැකි අයෙක් නොවෙයි. බැඳීම් අපට අවශ්‍යයි. අපට කන්න බොන්න තිබුණත් අප තුළ මානව දයාව නැතිනම්, හැඟීම් නැතිනම් ජීවිතය අර්ථවත් වෙන්නේ නැහැ. අපි රොබෝවරු, මැෂින් වගේ වෙනවා. අපට අහිමි කළ අපේ මනුෂ්‍යත්වය, තවදුරටත් උදුරාගන්න දෙන්න සූදානම් නැහැ කියන පණිවිඩය තමයි මේ දී තිබෙන්නේ. ඉස්සර සතෙක් මැරුණාම කම්පාවෙන අපි දැන් මිනිස්සු බඩගින්නේ මැරෙනවා කිසිම කම්පාවක් නැහැ. දැරියන් අපයෝජනයට ලක්වෙලා මිය යනවා, බෙහෙත් නැතිව මිනිසුන් මියැදෙනවා, මේවා ප්‍රවෘත්තියක් පමණක් වෙලා. දත්ත බවට පමණක් පත්වෙලා තිබෙනවා. කලා බීලා පමණක් ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්ද? අපේ සිහින සැබෑ කරගන්න පුළුවන් කියන විශ්වාසය අවශ්‍යයි. එකිනෙකා පිළිබඳ විශ්වාසය අපි තුළ තිබිය යුතුයි. ඒ තුළින් තමයි අපිට ඇත්ත සතුට ගෙනත් දෙන්නේ. ජීවිතයට ඇත්ත අර්ථයක් ගෙනැත් දෙන්නේ එවැනි දේ තුළින්. ගැහැනු අපට එය හොඳටම දැනෙන දෙයක්. දුෂ්ට පාලකයන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවලිය තුළින්, දූෂිත දේශපාලන සංස්කෘතිය තුළින් උදුරාගෙන තිබෙන්නේ අපේ ජීවිතවල වටිනාම දේවල්.
ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේම අපේ මනුෂ්‍යත්වය, සාමූහික වගකීම් ගොඩනඟන එක, සමාජීය වගකීම් ගොඩනඟන ක්‍රියාත්මක වෙන සමාජයක් බවට අපි පත්විය යුතුයි. ගැහැනු අපි එකතු වෙලා ඉන්නේ ඒ අරමුණු වෙනුවෙන්. මනුෂ්‍යත්වයට ඉඩක් තිබෙන, සහකම්පනයට තැනක් තිබෙන සියලුම ජීවයන්ට පරිසරයට වටිනාකමක් දෙන සමාජයක් අපට අවශ්‍යයි. අපේ ආණ්ඩුවක් යටතේ අපි හදන ජනතාවාදී පාලනයක් තුළ අපට අවශ්‍ය මොකක්ද කියන එක අපි තවදුරටත් සංවාද කරමු. ගැහැනුන්ට වටිනාකමක් දෙන, ගැහැනුන්ට ඇහුම්කන් දෙන, සහකම්පනය තිබෙන සමාජයක්, මානුෂීය සමාජයක් ගොඩනැගීමේ වගකීම අප සතුයි. දහසක් බලාපොරොත්තු සහ ඒ සිහින සැබෑ කරන්න ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම මහන්සි වී වැඩ කරමු. ඒ සඳහා ශක්තිය ධෛර්යය ඔබ ඔබට පතනවා.
“අලුත් මාවතක් දිනාගන්න සටනක් අප හමුවේ තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-
ඇතුගල් පුරවරයේ අද එකතු වුණු ඔබ ඔප්පුවක් ගන්න, හාල් කිලෝ 10ක් ගන්න, ඇස් කණ්ණාඩියක් ගන්න, වැසිකිළි පෝච්චියක් ගන්න, සිල් රෙද්දක් ගන්න, සපත්තු කුට්ටමක්, පොතක් ගන්න මෙතනට ආවේ නැහැ. ඔබ අවුරුදු 76ක් මේ රටේ සිදුවුණු දේ දැක්කා, අපේ පුංචි දරුවන්ට සිදුවෙන විනාශය දැක්කා. ඇතුගල් පුරවරය බාර් පුරවරයක් කරලා, අපේ දරුවන්, ස්වාමි පුරුෂයන් බිලි ගත්තා. මේ විනාශය නවතන්න අවදිවුණු බලවේගය තමයි මේ ගැහැනු බලවේගය. කුස්සියට අපව හිරකරපු, බැමිවලින් බැඳ තබපු කාලය අවසන් කරන තීරණය අරගෙනයි ඔබ මෙතනට පැමිණියේ. අපිට පැවරී තිබෙනවා මේ ගමන වේගවත් කරන්න. ගැහැනු එක මිටකට එකතු වෙද්දී, පාලකයෝ බයවෙලා ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා එකට එකතු වෙමින් ඉන්නවා.
ජල කළමනාකරණය කරනවා කියමින් වතුර ටික විකුණන්න යද්දී, කිරි ගොවියා මහමගට දාන්න යද්දී, නාමල් කරුණාරත්න සහෝදරයා ප්‍රමුඛව සියලු ගොවියන් එයට විරුද්ධව නැගී සිටියා. ඉඩම් ටික ආරක්ෂා කර ගන්න, වතුර ටික බේරා ගන්න, දරුවන්ව මත්ද්‍රව්‍යවලින් බේරා ගන්නේ කොහොමද, දරුවන්ට නිදහස් රටක් හදාගන්න කියන අභියෝග අප ඉදිරියේ තිබෙනවා. නමුත් මේ දූෂිත නායකයන් නැවතත් බෙදන සංස්කෘතිය පටන්ගෙන තිබෙනවා. ඔබ දේශපාලනිකව සන්නද්ධ වී එකට එකතු විය යුතුයි. මාලතී ද අල්විස් සහ කුමාරි ජයවර්ධන පර්යේෂිකාවන් දෙදෙනා විසින් රචිත “මුතු විසිකිරීම” පොතේ මෙහෙම සටහනක් තිබෙනවා. 1927දී ගැහැනියට ඡන්ද බලය දෙන්න යෝජනා කරද්දී එක් දේශපාලනඥයෙක් මෙසේ ප්‍රකාශ කරනවා. “ඌරන් ඉදිරියේ මුතු විසි නොකරන්න. මන්ද යත් ඔවුන් හැරී ඔබව කෑලි කරනු ඇත. යුරෝපීය ස්ත්‍රීන්ට ගැලපෙන දේ අපට නොගැලපේ” මේ කියන්නේ මොකක්ද? ඡන්ද අයිතිය ශ්‍රී ලංකාවේ ගැහැනුන්ට ගැලපෙන්නේ නැහැයි කියන එක. ගැහැනුන්ට ඉගෙන ගන්න, ඡන්දය පාවිච්චි කරන්න අයිතියක් නැහැ. ඔවුන් සිටිය යුත්තේ කුස්සිය මුල්ලේ. මේ පොතේ සඳහන් වෙනවා 1880දි කාන්තාවන්ගේ සාක්ෂරතාවය 3%ක් බව. 1926දී විශ්වවිද්‍යාලයට ශිෂ්‍යාවන් 15දෙනෙක් යනවා. අද වෙනකොට විශ්වවිද්‍යාලවලට යන ප්‍රමාණය 60% ක් 70%ක් පමණ වෙනවා. එහෙත් තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුව තුළත් පළාත් පාලන ආයතන තුළත් කාන්තාවන් ඉන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක්. කාන්තාවන් විදිහට ඔබට අයිතියක් තිබෙනවා, ඡන්දය දෙන්න වගේම තීන්දු තීරණ ගන්නා තැන්වලට යන්න, නායකත්වය ගන්න. ඔබට වගකීමක් තිබෙනවා ගමක් විදිහට, රටක් විදිහට අවදි වෙන්න, දැනුවත් කරන්න, එකතු වෙන්න. එහෙම වුණොත් අපට සමාජ පෙරළියක් කරන්න පුළුවන්. අපේ නිදහස ලබාගන්න, අලුත් මාවතක් දිනාගන්න සටනක් අප හමුවේ තිබෙනවා. ඒ සටන මුවහත් කරන, ශක්තිය ධෛර්යය සපයන බලය තමයි ගැහැනු බලය. ඒ සඳහා අපි එකට එකතු වෙමු.
-Colombo, February 17, 2024- අපේ රටේ වසර 76ක සාපය නිමාකිරීම වෙනුවෙන් සමස්ත බලවේග එකතුකරමින් යන අතරේ ජාතික ජන බලවේගය ඓතිහාසිකව කාන්තාවන් බලවේගයක් ලෙස එකතු කර ගත්තා. කාන්තාව නිකම්ම නිකම් ඡන්දය දෙන පිරිසක් නොවෙයි, ආණ්ඩු හදන ඒ ආණ්ඩුත් එක්ක එකතු වී රට ගොඩනඟන ගෞරවණීය පිරිසක් විදිහට එකතු වෙමින් සිටිනවා. ඔවුන් ඓතිහාසික බලවේගයක් ලෙස දැන් ක්‍රියාකරමින් ඉන්නවා. […]
-Colombo, February 17, 2024-
අපේ රටේ වසර 76ක සාපය නිමාකිරීම වෙනුවෙන් සමස්ත බලවේග එකතුකරමින් යන අතරේ ජාතික ජන බලවේගය ඓතිහාසිකව කාන්තාවන් බලවේගයක් ලෙස එකතු කර ගත්තා. කාන්තාව නිකම්ම නිකම් ඡන්දය දෙන පිරිසක් නොවෙයි, ආණ්ඩු හදන ඒ ආණ්ඩුත් එක්ක එකතු වී රට ගොඩනඟන ගෞරවණීය පිරිසක් විදිහට එකතු වෙමින් සිටිනවා. ඔවුන් ඓතිහාසික බලවේගයක් ලෙස දැන් ක්‍රියාකරමින් ඉන්නවා. තව මාස අටකින් විතර අපේ යුගය නිර්මාණය වීමේ ආරම්භක ජනාධිපතිවරණය පැමිණෙනවා. ජනාධිපතිවරණය කල්දාන්න වංගු ගහන්න බැහැ. එහෙම වංගු ගහන්න කවුරු ඉඩ දුන්නත් අපි ඉඩ නොදෙන බව සහතික කර කියනවා. වංගු ගහන්න ආවොත් පාරට බැහැලා ඒගොල්ලන්ව එලවා දාන්න කාන්තාවන් එක මිටට පෙරමුණ ගන්නා බව සහතිකයි.
බැරිමරගාතේ රනිල් වික්‍රමසිංහත් ජනාධිපතිවරණයට ලැහැස්ති වෙන බව පේනවා. පාර්ලිමේන්තු සැසිවාරය කල්තියලා කථානායක පුටුවේ වාඩිවෙලා කතා කරන්න රනිල් වික්‍රමසිංහ ආසයි. පාර්ලිමේන්තුව අමතා කීවේ 2048 දී රට ගොඩනඟන්න අවස්ථාව දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ගෝලයෙක් වන වජිර අබේවර්ධන කීවා 2048දී රට හැදිලා, යුරෝපයේ සුදු කාන්තාවෝ මෙහෙ ගෘහ සේවයට එන බව. ඉඩම් ඔප්පු දෙන්නම් කියලා රට වටේම ඉන්න අය දඹුල්ලට එකතු කළේත් ජනාධිපතිවරණයට එන්නයි. මාතලේ දිස්ත්‍රික්කයේ සහෝදරියන් දහස් ගණනක් මේ ඇවිත් ඉන්නේ ඔප්පු ගන්න නොවෙයි. රට වට්ටපු උන් එළවලා රට ගොඩනඟන්න ලැහැස්තියි කියන පණිවිඩය දෙන්නයි මේ ඇවිත් ඉන්නේ. හාල් මල්ලක් බෙදලා ඡන්ද එකතු කරන්නත් රනිල් උත්සාහ කරනවා. හාල් මල්ලකට, ටකරන් තහඩුවකට, ඡන්දය දීලා ආණ්ඩු හැදූ යුගය අවසන් බව අපි එයාට කියන්න ඕනෑ. මේක අලුත් යුගයක්, මාලිමාවේ යුගයක්. හාල් නොවෙයි රත්තරන් බෙදුවත් මේ රටේ කාන්තාවන් මාලිමාව ජයග්‍රහණය කරවන්න සූදානම් කියන තීන්දුව අරගෙනයි ඉන්නේ.
අපි ඉදිරියේ තිබෙන අභියෝගය සුළුපටු එකක් නොවෙයි. හොඳ දෙයක් තිබෙන තැනකට හොඳ දෙයක් දෙන එක අමාරු වැඩක් නොවෙයි. නරක දෙයක් තිබෙන තැනකට හොඳ දෙයක් දිය හැකි වන්නේ ධෛර්යවන්ත මිනිසුන්ට පමණයි. නරකම නරක රටක් වෙනුවට හොඳ රටක් ගොඩනඟන්න ධෛර්යවන්ත ගැහැනු රොද බැඳගනිමින් සිටිනවා. නිෂ්පාදන මාර්ග බිඳ වට්ටා, ව්‍යාපාර බිඳවට්ටා, අපිට ජීවත් වෙන්න ආදායම් මාර්ග උපයා ගන්න බැරි බංකොලොත් කරපු රටක් තිබෙන්නේ. අපි ජීවත් වෙන්නේ, ණයට අරගෙන හොරා කාලා ණය ගෙවා ගන්න බැරි බව ලෝකය කියූ රටකයි. 1948 නිදහස ලබනකොට ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකයක් තිබුණු රට අන්තිමයා කර තිබෙන්නේ. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් සමස්ත ජනයා සම්බන්ධ කරගත් විශාල කාර්යභාරයක් තිබෙනවා. අදටත් අපනයන ආර්ථිකයේ විශාල පංගුවක් දරන්නේ තේ සහ ඇඟලුම් කර්මාන්ත තුළ කාන්තාවනුයි. විදේශ රැකියාවලින් වැඩිපුර ඩොලර් එවන්නෙත් කාන්තාවන්. නමුත් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා සමස්ත ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රමාණවත් මුදලක් වෙන්කර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න ඕනෑ. ඒ වගේම කුණු වුණු සමාජයක් වෙනුවට මිනිස්කම තිබෙන සමාජයක් නිර්මාණය කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් මහජන ධනය වංචාවෙන්, දූෂණයෙන් හොරා කෑ අයට දඬුවම් කරනවාමයි.
මුදල් වෙනුවෙන් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. කාන්තාවන්ට ගරු කිරීමක් නැතිව අපරාධ කරන රටක් තිබෙන්නේ එකිනෙකාට ගරු නොකරන අපි කාටවත් ජීවත් වෙන්න නොහැකි සමාජයක් මේ තිබෙන්නේ. භාෂා අතර ගැටුම්, ආගම් අතර ගැටුම්, අඳින ඇඳුම් අතර තිබෙන ගැටුම් වෙනුවට සහකම්පනයක් මනුෂ්‍යත්වයක් තිබෙන රටක් අපට ඕනෑ. ආදරය තිබෙන රටක් අපට ඕනෑ. විශාල සමාජීය පරිවර්තනයක් කර, අපි අලුත් මනුෂ්‍යයෙක් හදන්න ඕනෑ. දරුවන්ට ආදරය තිබෙන, කාන්තාවන්ට ගෞරවයෙන් සලකන සහකම්පනය තිබෙන සමාජයක් අපි හදන්න ඕනෑ. වඩා යහපත් සමාජයක් හදන්න අපි සියලු දෙනාම අත්වැල් බැඳගන්න ඕනෑ.
නිදහස කියලා මුහුදට වෙඩි තියලා මාළුවන් බයකර ජාතික කොඩිය ඉස්සුවාට නිදහස තිබෙනවාද? අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ අයිතිය අපට නැහැ. රටේ ගොවියන්ට ඉඩම් ඔප්පු දෙන්න කියලා දඹුල්ලට ගෙන්වන අතරේ රජය සතු කිරි ගොවිපොළවල් ටික අමුල් සමාගමට විකුණනවා. හම්බන්තොට වරාය, කොළඹ වරායේ ජැටි, තෙල් ටැංකි විකුණා තිබෙනවා. ඉතිං රට නිදහස්ද? මේ තත්වයන්ට එරෙහිව ඇත්ත නිදහස ලබාගන්න නව පන්නයේ නිදහස් අරගලයක් අපට ඕනෑ. යමක්කමක් තිබෙන රට දාලා යා හැකි සියලු දෙනාම රට දාලා යනවා. ඒ වෙනුවට රට ගොඩනගමු කියන ධෛර්යය තිබෙන මිනිසුන් අපි පුබුදුවා ගන්න ඕනෑ. ඒ අතරේ ධෛර්යය තිබෙන ගැහැනුන් එක මිටට එකතු වී රට හදනවා කියන පණිවිඩය දෙන්නයි ඔබ මෙතනට ආවේ. ජාතික ජන බලවේගය ජාතික පුනරුද යුගයක් ඇතිකරමින් කර්මාන්ත ගොඩනඟා, ව්‍යාපාර ගොඩනඟා සැබෑ නිදහස දිනාගෙන රට ගොඩනැගීම සිදුකරනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම ජාතික අරමුණක් වෙනුවෙන් වැඩකරන්න ඕනෑ. බලය වෙනුවෙන් මේ දක්වා සිටි පාලකයන් ජනතාව ආගම් වශයෙන්, ජාතිකත්ව වශයෙන් බෙදා තිබූ යුගය අවසන් කරනවා. දියුණු සංස්කෘතික සමාජයක් සහිත මිනිසුන් ගොඩනැගීම අවශ්‍යයි. අද තිබෙන නරුම සමාජය වෙනස් කළ හැක්කේ හැමදේකම මිල දන්නා නමුත් වටිනාකම නොදන්නා පවතින මේ ක්‍රමය වෙනස් කිරීමෙනුයි.
අපි ඉදිරියේ තිබෙන්නේ ලොකු වැඩක්. හැමදෙයක්ම නැවත ප්‍රතිනිර්මාණය කරන්න ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙනවා. තමන්ට පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තු නොවී ස්වේච්ඡාවෙන් වැඩකරන මහා දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. මේ දක්වා බලයේ සිටි අය ඡන්දය ගත්තෙත් අනිත් පැත්තට පැන්නෙත් ඇමතිකම් ගන්න. මේ තත්වය වෙනස් කරන්න ගැහැනුන් එක මිටට බලය ගන්නත් පෙර එකතු වී මේ විදිහට සංවිධානය වෙනවා නම්, බලය අරගෙන රට හදන්න නායකත්වය දෙන විශාල පිරිසක් මේ වේදිකාවේ ඉන්නවා. මේ දක්වා බලය ගත්ත කණ්ඩායම් ජනතාවට කැපකිරීම් කරන්න කියලා ඔවුන් සොරකම් කළා. ඒ පැරණි දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් කරන්න මේ සියලු දෙනාම ලැහැස්තියි. ගුරුවරියන්ට දරුවන්ටත් ගමේ ඉන්න කාන්තාවන්ට සමාජයටත් මෙතෙක් පැමිණි වැරදි, විනාශකාරී මාවත ගැන කරුණු පැහැදිලි කර දිය හැකියි. වසර 76ක ඉතිහාසය වෙනස් කර, අලුතින් ලියන්න පටන් ගන්නේ මේ අවුරුද්දේදි. පාලකයන් කල්පනා කරන්නේ ගැහැනුන් ඉක්මනින්ම රවටන්න පුළුවන් කියලයි. හාල් මල්ලක් දීලා, දිනා ගන්න පුළුවන් කියලා. මේ අවමානයෙන් කාන්තාවන්ව මුදා ගත හැක්කේ ඔබ සියලුදෙනාටයි. හාල් මල්ලක් වෙනුවෙන්, පොරොන්දුවක් වෙනුවෙන් වෙනස් නොවී ජනතාවගේ පාලනයක් වෙනුවෙන් නොනැවතී ගමන් කරන බලවේගය කාන්තාවන් බව ඔප්පු කරන්න ඕනෑ. රට ගොඩනැගීමේ කාර්යයේ ප්‍රධාන කොටස්කාරියන් කාන්තාවන් බව ඔප්පු කරන්න ඕනෑ. කාටත් සතුටින් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ ප්‍රධාන කොටස්කරුවන් වීමේ සතුට ඔබ සැමට තිබෙනවා. ජනාධිපතිවරණය, මහා මැතිවරණය කියන මොන මැතිවරණය ගෙනාවත් ඒ ගොල්ලෝ සිංහාසනයෙන් බස්වා නව රටක් බිහිකරන්න සූදානම් කියන පණිවිඩයයි මේ දෙමින් සිටින්නේ.
ආදරණීය සහෝදරියනි, අපේ දරුවන්ට අනාගතයක් නැති කළ, ආර්ථිකය විනාශ කළ, අපිට සතුට නැති කළ 76 වසරක සාපය නිමාකරන්න ගැහැනුන් ලැහැස්ති බව ගමෙන් ගමට ගොස් කියන්න. කිසිවෙකුටත් නැවත කාන්තාවන්ව රැවටිය නොහැකි බව ගෙයින් ගෙට ගිහින් ජනතාවට කරුණු අවබෝධ කර දෙන්න. ලැබෙන පළවෙනි අවස්ථාවේම දුෂ්ට පාලනය නිමාකර ජයග්‍රහණය කරන තුරු නොනැවතී පෙරට යන බව තහවුරු කරන්න. සතුරන් පලවා හැර ජනතාවගේ ජයග්‍රහණය, මවුබිමේ ජයග්‍රහණය, දරුවන්ගේ අනාගතයේ ජයග්‍රහණය ලබාගැනීමෙන් තොරව නොනවතින බව තහවුරු කරන්න. නව නිදහස් අරගලයකින් මවුබිම ගොඩනැගීම දක්වා සමස්ත ජනතාව සමග පෙළ ගැසී ජයග්‍රහණය කරන බව ඉතිහාසයේ සටහන් කරන්න.
“දරුවන් වෙනුවෙන් වූ සිහින සැබෑ කර ගත හැකි සමාජයක් හදන්න අපට අවශ්‍යයි”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
රට පුරාම ගැහැනුන් අවදි වීමත් සංවිධානය වීමත් අපි දකිනවා. එය විශිෂ්ටයි. සති ගණන් මාස ගණන් ගෙයින් ගෙට ගොස් ඔබ සියලු දෙනා සමග සංවාද කර ඇතිවුණු පිබිදීමත් සංවිධානය වීමක් මුළු රට පුරාම තිබෙනවා. ගැහැනු අපි එක මිටට කියන තේමාවෙන් ජාතික ජන බලවේගය වටා එකතු වීමයි තිබෙන විශිෂ්ටත්වය. මේ රටට අවශ්‍ය පරිවර්තනයේ නායකත්වය ඔබ සියලු දෙනා ගන්නා බවයි මේ පෙන්නුම් කරන්නේ. වේදිකාවේ ඉන්න අතරේ ලැබුණු පණිවිඩ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් කතා කරන්න මම කල්පනා කළා. හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක පහ වසර සිසුන් සිවු දෙනෙක් ඇද වැටී රෝහල්ගත කර තිබෙනවා. අපේ ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් පාසල ගැන අභිමානවත් විශ්වාසයක් අපි කාටත් තිබුණා. දරුවාගේ ආරක්ෂිතභාවය ගැන තිබූ ඒ විශ්වාසය විනාශ කරමින් යනවා. පාසල් තාප්ප කඩා වැටී දරුවන් මිය යනවා. පාසල තුළ දරුවන් සුරක්ෂිතයි කියන විශ්වාසය ගොඩනඟන්න නොහැකි වී තිබෙනවා. ගෙදර සාමදානයක් නැති මට්ටමට පවුල් සංස්ථාවත් කඩා වැටී තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යය, අධ්‍යාපනය, යන සියල්ල අපට අහිමි වී තිබෙනවා. රෝහලකදී නිසි ලෙස ඖෂධ ලැබී නිරෝගී වීම ආශ්චර්යයක් බවට තිබෙන තැනට ඇවිල්ලා. මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ අපේ මනුෂ්‍යත්වය සහ ආදරණීය බැඳීම් ඛේදවාචකයක් වී තිබෙනවා.
මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ ගැහැනු පිරිමි අපි ඔක්කොම හිරවෙලා. උදේ සිට රෑවෙන තුරු අරගල කරන්නේ එදිනෙදා බිල් ටික ගෙවා, දරුවා පාසලට යවා, යන්තම් බෙහෙත් ටිකක් අරගෙන, හුස්ම අරගෙන ජීවත් වෙන්නයි. ඒ වෙනුවෙන් ගෙවල් ඇතුලේ මොන තරම් යුද්ධයක් කරනවාද? අවම වශයෙන් යහපත් නින්දක්වත් නැහැ. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බෙහෙත් ටික ගන්න අතිශයින්ම අමාරු තීරණ ගන්න වෙනවා. ඇය ගැන තිබෙන වටිනාකම, අභිමානය නැති වෙන තීරණ ගන්න සිදුවී තිබෙනවා. රට අත්හැර රැකියා සොයාගෙන අම්මලාට තාත්තලාට යන්න සිදුවී තිබෙනවා. දරුවන් එක්ක කතා කරන්න අපිට වෙලාවක් නැහැ. දරුවෙක් පොඩි වරදක් කළත් දෙමාපියන්ට තරහා යනවා. බඩගින්නට කන්න, බෙහෙත් ටික ගන්න, යන්තම් දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙන්න සහ බිල් ගෙවන්න ලොකු සටනක් කරන්න සිදුවී තිබෙනවා. ඊට එහා ජීවිතයක් ගැන කිසිසේත් හිතන්න බැහැ. මේ සමාජ ආර්ථික ක්‍රමය තුළින් විනාශ කර තිබෙන්නේ අපේ ආර්ථිකය විතරක් නොවෙයි, අපේ මනුෂ්‍යත්වයයි. අපේ බැඳීම්, ජීවිතවලට අර්ථයක් දෙන සම්බන්ධතාවල ගුණාත්මකභාවය නැතිකරලා, දෙමාපියන්ට දරුවන් එපා වෙලා. දරුවන්ට දෙමාපියන් එපා වෙලා. එකිනෙකාට, එකිනෙකා එපා වෙලා.
මානුෂීය සම්බන්ධතා මෙතරම් විනාශ කළ සමාජයක් දියුණුයි කියන්න පුළුවන්ද? මේ සමාජයේ රැකගන්න දේවල් ඉතිරි වී තිබෙනවා කියා කියන්න පුළුවන්ද? අපි ඉන්නේ ආර්ථිකය කඩා වැටීමක විතරක් නොවෙයි, සමස්ත ඛේදවාචකයකට මුහුණ දෙන්නේ, ඒ බව තේරුම්ගත් ගැහැනුන් ඉවසුවා ඇති, දැන් වෙනස් වෙන්න ඕනෑ. කියලා තීරණය කර අවසන්. මෙවැනි සමාජයක් අපි තවදුරටත් ඉවසිය යුතු නැහැ කියන අධිෂ්ඨානය අපි සියලු දෙනා තුළ තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්නයි, අපි සියලු දෙනා එක්වී සිටින්නේ. තවත් ආණ්ඩු වෙනස් කිරීමකට නොව බරපතළ සමාජ පරිවර්තනයකින් අපේ මනුෂ්‍යත්වය නැවත සොයා ගන්නයි සියලු දෙනා පෙළගැසී සිටින්නේ. අපේ මානව සම්බන්ධතාවලට නව ගුණාත්මක අර්ථයක් දෙන්න, මනුෂ්‍ය ගතිගුණවලට ප්‍රමුඛතාව දෙන්නයි අපි පෙළගැසෙන්නේ. ගැහැනු අපි තුළ පත්තිනි දේවිලා විතරක් නොවෙයි, කාලිත් ඉන්නවා. අපේ ඉවසීමේ සීමාව පැන්නාම කාලිත් එළියට පනිනවා. මේ ක්‍රමය තුළ තවදුරටත් අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. දරුවන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ.
අපට අවශ්‍යයි අපේ දරුවන් වෙනුවෙන් සිහින දකින්න සහ ඒ සිහින සැබෑ කරගන්න පුළුවන් සමාජයක් හදන්න. ඒ සමාජය ගොඩනැගීමේ ඓතිහාසික වෙනස වෙනුවෙන් අපි හැම එකතුවී සිටිනවා. කාන්තාවන් තුළ තිබෙන නායකත්වය, දක්ෂතාවය, එඩිතරභාවය රට වෙනුවෙන් කැප කරන්නයි මේ කාන්තාවන් සංවිධානය වෙන්නේ. ගැහැනුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන වේදිකාවක් අපේ සමාජයට අවශ්‍යයි. ඒවාට ඇහුම්කන් දෙන සමාජයක්, දේශපාලන නායකත්වයක් අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ගොඩනඟා තිබෙන වේදිකාව මාලිමාවයි. අපේ වටිනාකම, අපේ සතුටට ඉඩක් තිබෙන සමාජයක් බිහිකරන්න නම් බලය අවශ්‍යයි. මීළඟට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක සහෝදරයා බව සමාජය පිළිඅරගෙන අවසන්. මීළඟ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව සමාජය පිළිගෙන අවසන්. එතැනින් එහා නිදහස් සමාජයක්, ගැහැනුන්ට නිදහසේ ඉන්න පුළුවන් රටක් බිහිකිරීමේ වගකීම අපි සියලු දෙනාටම තිබෙනවා. සතුටින්, සාමදානයෙන්, ආදරයෙන් පිරුණු සමාජයක් ගොඩනඟන්න අපි සියලු දෙනාම එකතු වෙමු.
-Colombo, February 13, 2024- යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (13) පස්වරුවේදී ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා […]
-Colombo, February 13, 2024-
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (13) පස්වරුවේදී ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද අවධානයට ලක් විය.
එසේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety bill) පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම හමුව සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි ලාර්ස් බ්‍රෙඩාල් (Lars Bredal) මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.
-Colombo, February 13, 2024- මෙරට සිටින රුසියානු නියෝජ්‍ය තානාපති Alexander Dyagilev අද (13) ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවී තිබෙනවා. ඒ අංක 404, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන තැන පිහිටි සිය තානාපති කාර්යාලයේ දී යි. මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන චමින්ද […]
-Colombo, February 13, 2024-
මෙරට සිටින රුසියානු නියෝජ්‍ය තානාපති Alexander Dyagilev අද (13) ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවී තිබෙනවා. ඒ අංක 404, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන තැන පිහිටි සිය තානාපති කාර්යාලයේ දී යි. මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන චමින්ද ජයසූරිය සහ මුදිත නානායක්කාර එක්ව තිබුණා. රුසියානු තානාපති කාර්යාලයේ උපදේශක German Fedorov ද එක්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, දෙරට අතර වන දීර්ඝ කාලීන මිත්‍රත්වය, දෙරට අතර සහයෝගය සහ මෙරටේ මෙන්ම ජාත්‍යන්තර දේශපාලන තත්වය පිළිබඳවද මෙම හමුවේ දී සාකච්ඡා වී ඇත. එමෙන්ම ඉදිරි මැතිවරණයන් පිළිබඳවද තානාපති නිලධාරීන්ට කරුණු පැහැදිලි කළ බව වාර්තා වේ
“දුෂණයෙන් තොර රාජ්‍ය පාළනයක් ගැන ඔවුන් විශ්වාසය තබමින් සාකච්ඡා කළා. ඒ වගේම මෙරට තේ සඳහා රුසියානු වෙළඳපල තව තවත් පුළුල් කිරීම සම්බන්ධව ඔවුන් අපට සහය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ වගේම රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත එවීමට හැකි උපරිම දායකත්වය ලබා දෙන්නත් ඔවුන් කැමැත්තෙන් පසුවෙනවා. මෙරට බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත් අපි සාකච්ඡා කළා.
දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය මේ රටේ වර්ධනයවීම මෙන්ම එහි ජනප්‍රියත්වය පිළිබඳව ඔවුන් නිරීක්ෂණය කරන බව පවසුවා. අපගේ ඉන්දීය සංචාරය පිළිබඳවත් ඔවුන් සතුට පළකලා”යි මෙම හමුවට එක්වූ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් සඳහන් කරනවා.
-Colombo, February 10, 2024- (මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව) මේ “ගැහැනු අපි එක මිටට” එකතු වෙන ජාතික ව්‍යාපාරය මීට පෙර යම් යම් අවධිවල වෙනත් හැඩවලින්, වෙනත් නම්වලින් ආවා. සමාජය වෙනස් කරන්නත් ඒ සඳහා කාන්තාවන් සංවිධානය කරන්නත් ආරම්භයක් අරගෙන තිබුණා. ඒ ආරම්භ කළ යෝධ ගැහැනිය, ඒ ධෛර්යය, ශක්තිමත් කැපවීම, එකතු කළ, අද මේ ව්‍යාපාරයේ පදනම තමයි […]
-Colombo, February 10, 2024-
(මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව)
මේ “ගැහැනු අපි එක මිටට” එකතු වෙන ජාතික ව්‍යාපාරය මීට පෙර යම් යම් අවධිවල වෙනත් හැඩවලින්, වෙනත් නම්වලින් ආවා. සමාජය වෙනස් කරන්නත් ඒ සඳහා කාන්තාවන් සංවිධානය කරන්නත් ආරම්භයක් අරගෙන තිබුණා. ඒ ආරම්භ කළ යෝධ ගැහැනිය, ඒ ධෛර්යය, ශක්තිමත් කැපවීම, එකතු කළ, අද මේ ව්‍යාපාරයේ පදනම තමයි සමන්මලී ගුණසිංහ සහෝදරිය. ශිෂ්‍ය අවධියේ ඉඳලා දශක තුනක පමණ කාලයක් පූර්ණකාලීනව කාන්තාවන්ට ශක්තිය දෙමින්, අඛණ්ඩව, සියලු ප්‍රතිගාමී බලවේගවලට අභියෝග කරමින්, මේ ව්‍යාපාරය මෙතෙක් දුරට ගෙන ඒමට අතිශය, දැවැන්තම කැපකිරීම කළ ගැහැනිය ඇයයි. දෙවන අදියරේදී යෝධ පියවර තබන්න මැදිහත් වුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, හරිනි අමරසූරිය සහෝදරිය. ඇය සමග ව්‍රායි සහෝදරිය, කෞෂල්‍යා ආරියරත්න, මහාචාර්ය සීතා බණ්ඩාර සහෝදරිය මේ වේදිකාවේ සිටිනවා. ගෙවිලියන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, විවිධ රාජ්‍ය සේවයේ නියැලුණු, වතු ක්ෂේත්‍රයේ නියැලුණු, පෞද්ගලික සේවයේ අය, විශ්‍රාමික හමුදා සේවයේ නියැලුණු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියලුම සමාජ විවිධ ස්ථරවල පීඩිත හා ප්‍රගතිශීලී ගැහැනු මේ සමුළුව නියෝජනය කරනවා.
ලක්ෂාන්ත අතුකෝරල කවියා විසින් ලියූ කවියක් තිබෙනවා, “වැඩ ඇරී වැඩට යති, ගැහැනු” කියලා. මෙතන සිටින බොහොමයක් ගැහැනු වැඩ ඇරී වැඩට යන අය. ඒ කියන්නේ දවසේම වැඩවල යෙදෙන අය. වී.අයි. ලෙනින් සහෝදරයා කාන්තාවන් සම්බන්ධව ලියන ලද ‘කාන්තා විමුක්තිය’ පොතේ තිබෙනවා, ‘කාන්තාවට විමුක්තිය ලැබෙන්න නම්’ වැඩ ඇරී වැඩට යන ගැහැනු කියන කතාව ඉවර කරන්න ඕනෑ කියලා. අවුරුදු 76ක් අපි භුක්ති විඳපු දේ තමයි ‘වැඩ ඇරී වැඩට යන ගැහැනු’ ලෙස නිර්මාණය වෙන්නේ. අපි ජාතික ජන බලවේගයේ අපි හැමෝම එකතු වෙලා නිර්මාණය කර ගනිමු “වැඩ ඇරී ගෙදර යන ගැහැනු”. අපි එහෙම නිර්මාණය කර ගනිමු. ලෙනින් සහෝදරයා කාන්තා විමුක්තිය පොතේ කියනවා, ගෙදර ෆැක්ටරි තුනක් තිබෙනවා. රෙදි ෆැක්ටරිය, ආහාර ෆැක්ටරිය, දරුවන් රැක බලා ගැනීම. මේ ෆැක්ටරි ගෙදරින් එළියට ගන්න ඕනෑ. එතකොට ආදරය, සෙනෙහස, බැඳීම් තිබෙන නිවසක් ඉතිරි වෙනවා.
රුවන් බන්දුජීව කවියාගේ “මීළඟ මීවිත” පොතේ ‘කුණ්ඩලකේශි’ කවි පෙළේ බිරිඳක් සැමියෙකුගේ සියලුම ක්‍රියාවන් ඉවසමින්, ආදරයෙන් සැලකීමත් ඔහු තම දියණිය විනාශ කළ මොහොතේ ඇය මිනීමරු ගැහැනියක් වෙන ආකාරයත්. අද, අපේ පාලකයෝ රටේ දරුවොත් විනාශ කරලා තිබෙන්නේ. මේ යූ.එන්.පී., ශ්‍රී ලංකා මේ විවිධ පක්ෂවල නායකයන්ට අපි ආදරය කළා. අපේ දරුවො ටික ටික විනාශ කළා, සොරකම් කළා, ගස් ටික, වැලි ටික විනාශ කළා. ඒත් අපි ඉවසුවා. අපේ දරු පරම්පරාව විනාශ කර තිබෙන්නේ. අපේ අනාගත දරුවන්ටත් අත තබලා තියෙන්නේ. දැන් රටේ ගැහැනු තවදුරටත් ඉවසනවාද? තවදුරටත් මේ පාලකයන්ට ඉඩ දෙනවාද? මේ සමුළුවේදී තීරණයක් අරගෙන යන්න. “ගැහැනු අපි එක මිටට” නැගිටිනවා හැර, මේ පාලකයන් විනාශ කරන්න වෙන උත්තරයක් අපට නැහැ. මහනුවර දිස්ත්‍රික්කයේ මෙතනට රැස්වූ සියලු ප්‍රගතිශීලී, පීඩිත සහෝදරියන්ට ශක්තිය ධෛර්යය ලැබේවා!
“සාධාරණය සිතිය හැකි, ආදරය තිබෙන සියලු දෙනාම එකතු කර ගත යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
මේ වීරවරියන් බිහිවෙන යුගයක්. මේක තමයි රටට අවශ්‍ය වෙන වෙනස. 2020 අපි මහනුවර ගැහැනු කිහිප දෙනෙක් එකතුවෙන් සාකච්ඡාවක් ආරම්භ කළා. දීර්ඝ කාලීන වැඩපිළවෙලක ප්‍රතිඵල තමයි මේ. ඉතිහාසය පුරාවට විවිධ දේශපාලන පක්ෂ බලයට ඒම සඳහා ගැහැනුන් පාවිච්චි කර තිබෙනවා. ඒ බල ව්‍යාපෘති තුළ ගැහැනුන්ට කිසිම වටිනාකමක්, නියෝජනයක් ලැබුණේ නැහැ. 1931 ඡන්ද අයිතිය ලැබුණා. අපට පාර්ලිමේන්තුව තුළ 1948 සිට 5% ඉක්මවා ගිය කාන්තා නියෝජනයක් තිබුණේ නැහැ. ජාතික ජන බලවේගයේ අරමුණ වන්නේ, අපව පාවිච්චි කරන යුගය අවසන් කර, අපට වටිනාකමක්, දේශපාලන ජීවිතයක් ඒ සඳහා අවස්ථාවක් උදාකර ගැනීමයි.
ඉතිහාසයේ ප්‍රභූ පංතිය විසින් ආරක්ෂා කළ සමාජ ක්‍රමය තුළින් අපට ලැබුණේ දෙවැනි පුරවැසියන්ගේ තත්වයක්. අපේ හඬක් නඟන්න, සංවිධානය වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අධිරාජ්‍යවාදීන්ගේ හා ප්‍රභූ පංතියේ බලපෑම නිසා අපි ඉතා පටු තැනකට කොටු වුණා. එක්දහස් නවසිය පනස් ගණන්වල, හැට ගණන්වල පැවති වෘත්තිය අරගලවලදී කාන්තාවන් ඉදිරියෙන් හිටියා. බදුල්ල, මොනරාගල ඉඩම් කොල්ලය සිදුවෙන විට එළියට බැස්සේ ගැහැනු. අපේ රටේ ගැහැනු සමාජ සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී ඉඳලා තිබෙනවා. ඒ ගැහැනුන්ගේ ධෛර්යය මත බලයට ආපු සෑම කණ්ඩායමක්ම අවසානයේ ගැහැනුන්ව අමතක කරදැම්මා.
මේ තවදුරටත් අපේ හඬ නොසලකා යා හැකි ගමනක් නොවෙයි. ඔබ අරගල කර ලබාගෙන තිබෙන මේ අවස්ථාව සුවිශේෂිත්වයත් ඓතිහාසික වටිනාකමත් අවබෝධ කර ගන්න. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. තවදුරටත් ඔබ මත පැටවී තිබෙන පීඩනය ඉවසා ගැනීමේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අපේ දරුවන්ගේ අනාගතය මේ ආකාරයෙන් විනාශ කරන මේ පාලකයන්ට තවදුරටත් ඉඩ දෙන්න බැහැ කියන තීරණය අපි අරගෙන තිබෙනවා. කුණ්ඩලකේශී මන්නයක් අරගත්තාට, අපි මන්නයක් අරගන්නේ නැහැ. අපි කාටවත් කොටන්න යන්නේ නැහැ. ගැහැනු අපට තිබෙනවා ඊටත් වඩා ශක්තිමත්. අපට අසීමිත ලෙස ආදරය කරන්න පුළුවන්. අපට අවශ්‍ය වෙන්නේ ඒ ආදරය හරහා අපට වෙනස් කරන්න පුළුවන් සමාජයක්. මේ සාමූහික ක්‍රියාවලිය තුළ අපි සෑම දරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉපදෙන්න ඉන්න දරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා. එහෙම පෙනී සිටිය හැක්කේ අපි තුළ ඇති අසීමිත ආදරය නිසා. ඒ ආදරය හරහා අපට ලැබෙන සංවිධාන ශක්තිය, දේශපාලන දැනුම හරහා ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකියි. අපට මේ පාලකයෝ ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මේ පෙනී සිටින්නේ, ගැහැනුන් හැටියට අපට ආරක්ෂිතව ජීවත් වෙන්න, දරුවන්ට බලාපොරොත්තුවක් ඇති කරන්න. මේක වෙනස්ම විදිහේ විප්ලවයක්. ලංකා ඉතිහාසයේ මෙතෙක් කල් නොදුටු විප්ලවයක්. කැරැල්ලක්. මොකක්ද මේ කැරැල්ල. කවදාවත් දැනුන්නේ නැති, තමන්ගේ වටිනාකමක් දැනුන්නේ නැති, කවදාවත් තමන්ගේ අගයක් තේරුම් නොගත් ගැහැනුන් තමයි අද එළියට බහින්නේ. ඔබට ලැබී තිබෙන්නේ ඔබට ලැබිය යුතු තැන. මෙතෙක් සමාජය අහිමි කළ තැන ඔබේ ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ලබාගෙන තිබෙනවා. මේක කිසිසේත් ආපසු හැරවිය නොහැකියි.
මේ මැතිවරණ අවුරුද්දක්. අපට ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍යයි. ඔබ ගෙයින් ගෙට යන්න. මෙතනට පැමිණීමට නොහැකි වූ දහස් ගණන් ගැහැනුන් ළඟට යන්න. සාධාරණය සිතිය හැකි, වෙනත් අය ගැන සහකම්පනය තිබෙන, ආදරය තිබෙන සියලු දෙනාම එකතු කර ගන්න ඕනෙ. එකිනෙකා හමුවෙන්න. ඔවුන්ගේ කතාව අහන්න. අනෙකෙකුගේ කතාවට වටිනාකමක් දෙන තැනැත්තෙකු බවට පත්වෙන්න. ඒ තුළ තමයි අපට මේ ව්‍යාපාරය ගොඩනඟාගත හැකිවන්නේ. මේ රට ගොඩනැගීමේදී අපට දැනුම අවශ්‍යයි. අධ්‍යාපනය අවශ්‍යයි. අපි හදන සමාජය මොන වගේ වෙන්න ඕනෙද කියන තීරණය අපි ගන්න ඕනෑ. මේ සමාජය වෙනස් කරන පරපුර බවටත්, එය රන් අකුරෙන් ලියැවෙන ඓතිහාසික පරපුර බවටත් ඔබ පත්වෙනවා.
“රට නව පුනරුද යුගයකට අවතීර්ණ කළ යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න-
මාතරින් ඇරඹුණු ගැහැනු සමුළුවෙන් අපේ විරුද්ධවාදීන් සලිත වෙන්න පටන් ගත්තා. කාන්තාවන්ට ජවයක් එන්න පටන් ගත්තා. පණිවිඩයක් රටට දුන්නා, රටේ අනාගතය බාර පොදු ජන යුගයකටයි. ජාතික ජන බලවේගයටයි. කාන්තාවන්ට මේ සමාජයේ නිසි තැන, වටිනාකම දුන්නේ නැහැ. දේශපාලන අයිතිය පිරිමියා අතේ තබා ගත්තා. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කාන්තාවන් හා පිරිමින් හරි හරියට එකතු වී මේ රට අනිවාර්යයෙන් ගොඩනගනවා. දේශපාලනයේ කාන්තාවන්ට තැනක් නැතත් සාහිත්‍යයේ තැනක් තිබුණා.
පෙරදිග ලෝකයේ බැබලුණු මුතු ඇටය
මුළු රට කොල්ල කෑ හොරු රැළකට යටය
බෝගම්බරදි ගැහැනුන් අද එක මිටය
හොරු පරදන බවට අද නම් එය අත උඩය
අද පාලකයන්ට පෙන්වා තිබෙනවා, උඹලා මෙතෙක් කලක් දීපු දස වද තුරන් කර දාන්න ජාතික ජන බලවේගය වටා ඉන්න සකලවිධ බලවේග සූදානම් බව කියන පණිවිඩය දී තිබෙනවා. මීට දවස් හයකට කලින් නිදහස් දිනේදි, රනිල් වික්‍රමසිංහ ජාතික කොඩිය ඉස්සුවා. මේ කොඩිය උස්සන්න ලෝකයෙන් ණය, ආධාර හැටියට ගෙනාව සල්ලි, වැට් ගහලා, බදු ගහලා ගත්ත සල්ලි කෝටි 30කට ආසන්න මුදලක් වැය කළා. රට මේ තත්වයට පත්වී ඇති මොහොතක මෙවැනි උත්සවයක් කරන්න ඕනෙද?
මීට වසර 34ක පෙර බූස්ස කඳවුරේ සිටි කෙනෙක් පොතක් ලිව්වා, “ඒත් අපි පියාඹමු” කියලා. ඒ පොතේ අද වෙන දේ දැකලා මේ විදිහේ කවියක් ලිව්වා.
සිංහයා වුණත් නුඹ තිරිසන් සතෙකි කැලේ
කඩුවක් අරන් කොඩියක් මැද මොකද බොලේ
ගුවනේ ලෙලෙන අසිපතකින් කිමද පලේ
බැහැපන් බිමට සිඳපන් ගෙල ද්‍රෝහි රැලේ
මේ රටේ අභිමානවත් බව සිංහයාගෙන් පිළිබිඹු වෙනවා. කඩුවෙන් එඩිතරභාවය. අපිට තිබෙන කඩුව තමයි හිත, ධෛර්යය, වචන. ඒ සියල්ල මේ දුෂ්ට පාලකයෝ පන්නලා දමන්න පාවිච්චි කරන්න කියලා තමයි ඒ කිවුවේ. තුන්වේල කන්න නැහැ. අධ්‍යාපන නිදහස, සෞඛ්‍ය නිදහස, අදහසක් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරලා. අපට මේවා දිනාගන්න සිදුවෙලා. රටේ නායක රනිල් ලෝකෙන් හිඟාගෙන ඇවිත්, රාජාසන කතාවෙදි කියනවා උත්සව සමයට පමණක් හාල් කිලෝ 20ක් දෙනවා කියලා. මේ ඡන්දයක් ඉදිරියේ නායකයෙක් කරන රාජාසන කතාව. ඕව දෙන්නේ අපි බලවත් නිසා, අපි දුර්වල වුණා නම් හාල් කිලෝ 20ක් නැහැ; අස්වැසුමත් නැහැ. අවුරුදු 76ක් උන් අපිව රැවැට්ටුවා නම් අපිත් උන් රවට්ටමු.
රටට අවශ්‍යයි ජාතික ව්‍යාපාරයක්. නව පුනරුද යුගයක්. කාන්තාවන් අයිතිවාසිකම් දීලා, කෘෂිකර්මාන්තයට පණ දීලා, අධ්‍යාපනය නගා සිටුවලා, සෞඛ්‍යය නගා සිටුවලා මේ රට නව පුනරුද යුගයකට අවතීරණ කළ යුතුයි. සංවර්ධනය තෙවදෑරුම් වෙනවා. භෞතික සංවර්ධනය හා අධ්‍යාත්මික සංවර්ධනය නගා සිටුවන්න ඕනෑ. ජාතික සමගිය, ආදරය, මෛත්‍රිය, කරුණාව, මනුස්සකම තිබෙන්නේ එතන. තෘප්තිය, සාධාරණය තිබෙන්නේ එතන. ඒක ගොඩනගන්න විනය හදන්න ඕනෙ. ඒකට හොඳ මාධ්‍ය තමයි, කලාව, අධ්‍යාපනය, ජන මාධ්‍යය. මේ සියල්ල පාවිච්චි කරලා මහා පුනරුද යුගයකට සූදානම් වෙන්න ඕනෙ. අපට විශාල කාර්යභාරයක් තිබෙනවා. අපට ඉදිරියේ එන අනගි අවස්ථාව මගහැර ගන්න එපා. කාන්තාවන්ට හිංසනය ගේන තැනක් තමයි පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය. ජනාධිපති මන්දිරය. ජාතික ජන බලවේගය එක් අත්වැල් බැඳ ගන්න කියා අපි ඉල්ලා සිටිනවා.