Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“අපි කරන්න යන්නේ ජනතාව සියවස් ගණනක් දුටු සිහිනය සැබෑ කරලීමයි” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී කළුතර ජන රැලිය – 2024.09.18-) අද ප්‍රචාරක කටයුතුවල අවසන් දවස. ඡන්දය සෙනසුරාදා. නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. අපේ රටේ ජනතාව අලුත් පරිවර්තනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳිමින්, යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් සටන් කරමින් සිටියා. නමුත්, අපට අවසන් ජයග්‍රහණය ඒ දශක ගණනාව පුරා ලබා ගන්න නොහැකි වුණා. සැප්තැම්බර් […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී කළුතර ජන රැලිය – 2024.09.18-)

Anura Kumara Dissanayake At The Public Rally Of Kaluthara

අද ප්‍රචාරක කටයුතුවල අවසන් දවස. ඡන්දය සෙනසුරාදා. නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. අපේ රටේ ජනතාව අලුත් පරිවර්තනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳිමින්, යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් සටන් කරමින් සිටියා. නමුත්, අපට අවසන් ජයග්‍රහණය ඒ දශක ගණනාව පුරා ලබා ගන්න නොහැකි වුණා. සැප්තැම්බර් මාසයේ 21 වැනිදා ඒ ජයග්‍රහණය අපට ලබා ගන්න පුළුවන්. අපේ පැරැණි පරම්පරාව, මුතුන්මිත්තෝ මේ පීඩිතභාවයෙන් මිදෙන්න අසාධාරණය වෙනුවට සාධාරණ සමාජයක්, අයුක්තිය වෙනුවට යුක්තිගරුක සමාජයක්, අශිෂ්ටත්වය වෙනුවට ශිෂ්ටත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් උත්සාහ දැරුවා. ඒ උත්සාහයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේ 21 වැනිදා ලැබෙන බව සහතිකයි. එම ජයග්‍රහණයේ දී අප විසින් සැලසුම් සකස් කිරීම, වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ හැකි පිරිස හඳුනා ගැනීම, සමාජයට මතය ගෙන යාම සඳහා කතා කිරීම වැනි කටයුතු කළත්, මේ ජයග්‍රහණයේ විශාලතම වැඩ කොටස කළේ ඔබ සියලු දෙනායි. අවුරුදු කිහිපයක් කොට්ඨාස සභා පිහිටුවමින්, කාන්තා සභා පිහිටුවමින්, ගෙයින් ගෙට යමින් විශාල වෙහෙසක් දරලා මේ ප්‍රතිඵලය අත්පත් කර ගත්තා. මෙයට පෙර දේශපාලනඥයන් ඡන්දය ගැන ඇඟිලි ගැන්නත්, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාව ඇඟිලි ගනිමින් මේ ඡන්දය දෙස බලා සිටිනවා.

ජාතික ජන බලවේගය වටා මේ නැඟිටීම වෛරී ප්‍රකාශනයක් බව සමහර අය කියනවා. අනෙක් පක්‍ෂ කෙරෙහි වෛරය, කෝපය ඇති වූ ජනතාව අප වටා එක් වීම ආරම්භය වෙන්න පුළුවන්. හැබැයි, අද ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටින්නේ අනාගතය කෙරෙහි අපේක්‍ෂාසහගත පරිවර්තනයකට ලක් වූ ජනතාවක්. ජාතික ජන බලවේගය වටා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී වී සිටින්නේ අනාගතය පිළිබඳව සුබ සිහිනයක් අපේක්‍ෂාවෙන්. දිගු පියවරක ආරම්භය වන්නේ ඒ වෙනුවෙන් තබන පළමු පියවරයි. සැප්තැම්බර් 21 තබන්නේ දිගු පියවර ගණනාවක ආරම්භයයි. ආරම්භයේ දීම අපේ වෙනස්කම් අපි තහවුරු කොට පෙන්වන්න ඕනෑ. ඡන්දපොළට ගිහින් මාලිමාව ඉදිරියේ කතිරය සටහන් කර ජයග්‍රහණයෙන් පසුව අනෙක් පක්‍ෂයට ඡන්දය දුන් අයට නිය තුඩකින්වත් හානියක් වෙන්න දෙන්න එපා. අපේ දේශපාලන සංස්කෘතියේ වෙනස අපි පෙන්වන්න ඕනෑ. ඡන්දය දක්වා අපි බෙදිලා ඉන්න පුළුවන්. ඡන්දයෙන් පසුව රට ගොඩනැඟීම සඳහා ඒ සියලු දෙනා එකතු කර ගන්න ඕනෑ. ඡන්ද ගැටුමක් ඇති කර ගන්න අනෙකුත් පාර්ශ්වයන් උත්සාහ කරනවා නම්, ඔබ කිසිසේත්ම එයට දායක වෙන්න එපා. පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට පැවරී තිබෙන රාජකාරී සීමාව ඇතුළේ එවැනි ගැටුම් ඇති වීම වැළැක්වීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, පාලකයන් ජනතාවට වඩා උඩින්, නීතියට වඩා උඩින් ඉන්න තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර දේශපාලන අධිකාරිය නීතියට යටින් තබන තත්වයක් ඇති කරනවා. පුරවැසියා හා සමානව එකපෙළට ඉඳගත හැකි නව දේශපාලන සංස්කෘතියක් පියවරෙන් පියවර අපි සකස් කරනවා.

Crowd Of The Public Rally Of Kalutahra

ඒ වාගේම අපේ රටේ කිසිදු තැනක කිසිදු විටෙක ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ දෙන්නේ නැහැ. ජාතිවාදී, ආගම්වාදී මතවාද ලංකාවේ තිබෙන්න බැහැ. තිබිය හැක්කේ ජාතික සහ ආගමික සමගියේ මතවාද පමණයි. අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඉතා හොඳින් ඒ ආදර්ශය ලබා දී තිබෙනවා. අපේ මැතිවරණ වේදිකාවේ ජාතිවාදී, ආගම්වාදී වාගේම අනෙකාගේ සංස්කෘතිය හෙළාදැකීමේ සටන් පාඨ අපි යොදා ගත්තේ නැහැ. නමුත්, කනගාටුවෙන් හරි කියන්න ඕනෑ සජිත් ප්‍රේමදාසගේ මුළු කඳවුරම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා මතවාද පැතිරවූවා. අපි ආවාම පෙරහැර නතර කරනවා, හාමුදුරුවන් වහන්සේලාට දානය නැති වෙලා යනවා, ජාතික කොඩිය වෙනස් කෙරෙනවා, නිරාගමික රටක් හැදෙනවා ආදී වශයෙන් ඉතාමත් කැත විදියට අවලාද නඟන්නට පටන් ගත්තා. සංස්කෘතිකමය වශයෙන් පවතින ඇදහිලි සහ ගෞරවයට පත් වූ සංවේදී වූ තැන් ඔවුන් යොදා ගත්තා. හාමුදුරුවන් වහන්සේලාට දානය පිරිනමන්නේ ශ්‍රී ලංකා. යූඑන්පී, ජේවීපි කියලා බෙදීම් හදාගෙනද? ඒවා අපේ ජාතියේ, සංස්කෘතියේ උරුමයන්. ශිෂ්ටාචාරයේ වැදගත් ස්ථාන. හැබැයි, රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා ඒවා ඉතාමත්ම කැත ලෙස තමන්ගේ දේශපාලන වේදිකාවේ යොදා ගත්තා. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාව ළඟට ගිහින්, හජ්ජි, රාමසාන් උත්සව දෙකක් පවත්වන්න ඉඩ නොදී එකකට සීමා කරන බව කීවා. පස් වරක් වන්දනාමාන කරන ජනතාවට දිනකට එක් වරක් වන්දනාමාන කරන්න දෙන බව කීවා. රැවුල වවන්න දෙන්නේ නැහැ කිවුවා. කවදාවත් දේශපාලන වේදිකාවකට නොගත යුතු දේවල් ඔවුන් ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රිකවාදී සටන් පාඨ සජිත් ප්‍රේමදාසලාගේ මුළු මැතිවරණ ව්‍යාපාරය තුළම දියත් කරන්නට පටන් ගත්තා.

එක අතකින් මම පුදුම වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසට මේ රටේ ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු ගැඹුරු සංකල්ප පිළිබඳව අදහසක්වත් නැහැ. මඩ සහ අසත්‍ය ප්‍රකාශ කිරීම තමයි, ඔහුගේ දේශපාලනය. අලි ප්‍රශ්නය තිබෙන දිහාවලට ගිහින් අලි මන්තරය පාඩම් කරවා විසඳුම් දෙන බව ගැඹුරු දැක්මක් තිබෙන කෙනෙක් නම්, කියනවා ද? ගැඹුරු චින්තනයක් තිබෙනවා නම්, රටේ හැම පාසලකටම විදේශීය කෝටිපතියන් සම්බන්ධ කරවන බව කියනවා ද? කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟීම පිළිබඳ අදහසක් වෙනුවට බොත්තමක් එබුවාම සියල්ල කෙරෙන බව කියනවාද? අපේ රට මුහුණ දී තිබෙන ගැඹුරුතම මූලයන්, වර්ධනය වුණු ආකාරය, විසඳුම් සෙවීම පිළිබඳව හාංකවිසියක්වත් නැහැ. ජාතිවාදය, ආගම්වාදය, අනෙකාගේ සංස්කෘතික අනන්‍යතාව අපේ දේශපාලනයට යොදා නොගැනීම මේ යුගයේ විශිෂ්ටතම දේශපාලන ආදර්ශයයි. එය ලබා දුන්නේ ජාතික ජන බලවේගයෙන් වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි උතුරට ගිහින් මේ කතාව ඒ විදියටම කියනවා. නැඟෙනහිරත් ඒ විදියටම කියනවා. දකුණට ඇවිත්, ඒ විදියට ම කියනවා. එය ඒ ආකාරයෙන් කිව හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. අපි ඒ ගැන සතුටු වෙනවා. ආරම්භයේදී අපට ජයග්‍රහණය දකුණෙන් විතරක් හිමි වේවි දැයි යම් සැකයක් තිබුණා. දකුණෙන් පමණක් ලබන ජයග්‍රහණ අපේ අනාගත දේශපාලන ඉලක්ක ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නැහැ. පසුගියදා අපි නැඟෙනහිර පළාතේ නගර ගණනාවක ජන හමු පැවැත්වූවා. ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව මේ හා සමානවම අපට ඇහුම්කන් දෙන්න ඇවිත් හිටියා. යාපනයට ගිහින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු නිලධාරීන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අපි හමුවුණා. ඔවුන් සඳහන් කරන්නේ උතුරේ ජනතාවගෙන් විශාල පිරිසක් ජාතික ජන බලවේගය කෙරෙහි ප්‍රසාදයකින් සිටින බවයි. උතුර නියෝජනය කරන මන්ත්‍රීවරයකුගෙන් මම තැපැල් ඡන්දය අපට කොහොම ද කියලා ඇහුවා. ඔහු සඳහන් කළේ මුල දී සියයට 10ක් පමණ තිබේ යැයි කියා කල්පනා කළත්, දැන් එය සියයට 40 ඉක්මවා ගොස් ඇතැයි අනුමාන කරන බවයි.

Anura Nalinda And Tilvin On Stage At The Public Rally Of Kalutahra

උතුර, දකුණ වෙන් වෙලා කළ දේශපාලනයත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වෙන් වෙලා කළ දේශපාලනයත් එකට එකතු කරන්න ජාතික ජන බලවේගය අද සමත් වී සිටිනවා. ඒ වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලු ආගම් අදහන ජනතාව එකතු කරන ලද දේශපාලනයකට සමත් වී සිටිනවා. ඒ නිසා අපි ඡන්දයෙන් ජයග්‍රහණය කරන්න පෙර සිටම අපි ඒ සම්බන්ධයෙන් රටට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් හිමි කර දී තිබෙනවා. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වී සිටින ජනතාව කිසිදු ජාතිකත්ව හෝ ආගමික බෙදීමකින් තොරව රැකබලා ගැනීම අපේ වගකීමක්. කෙටි කාලයක් වෙනුවෙන් ජීවත් වීම අසීරුම ජනතාවට රුපියල් 10,000 සිට රුපියල් 17,500ක් දක්වා දීමනාවක් ලබා දෙනවා. ආසියාවේ වැඩිම අපේ විදුලි බිල, අඩුම විදුලි බිල බවට පරිවර්තනය කරනවා. සෞඛ්‍යය, ආහාර, අධ්‍යාපනය සඳහා ඇතුළු කර තිබෙන බදු මුළුමනින්ම නිදහස් කරනවා. ආර්ථිකය පිළිබඳ ගැඹුරු පරිවර්තනයන්ට යන්න කලින් ජනතාව වෙනුවෙන් මෙම සුබසාධන කටයුතු සිදු කරනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය, නිවාස, ආහාර පුරවැසියන් සම්බන්ධයෙන් ලබා දීම රජයකට අත්හැරිය නොහැකි වගකීමක්. කෙටි කාලයක් ඇතුළත මඟී ප්‍රවාහනයෙන් 70%ක් යළි පොදු ප්‍රවාහනයට කැඳවීම අපේ අපේක්‍ෂාවයි. පඩිය මුළුමනින්ම වැය කර ලීිසිං ගෙවා වාහනයක් ගැනීම වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා. ඒ වාගේම නිරෝගීසම්පන්න ජීවිතයක් ලබා දීම වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවයක් ස්ථාපනය කරනවා. පවුලේ වෛද්‍යවරයාගේ සිට ඉන් ඉදිරියට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා යා හැකි මඟපෙන්වීමක් ලබා දෙන සෞඛ්‍ය පද්ධතියක් ස්ථාපනය කරනවා. ඒ වාගේම දෙමවුපියන්ටත් බර, දරුවන්ටත් බර මේ අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් මුළුමනින්ම නිදහස් කර රජයේ වගකීමක් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා. එය පරිවර්තනයක් නොවෙයිද?

ලබන 21 වැනිදා සිදු කරන්නේ හුදෙක් පාලකයෙක් ඉවත් කර තව කෙනෙක් පත් කර ගැනීම නොවෙයි. මේ සිද්ධ කරන්න යන්නේ සියවස් ගණනක් අප දුටු සිහිනයක් ඉටු කිරීමයි. මෙයට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කිරීමේ යුග පෙරළියයි මේ සිදු කරන්නේ. නිෂ්පාදනයට පණ දිය හැකි සියලුම තැන් හඳුනාගෙන යළි පණ දෙමින්, පුනරුද යුගයක් ඇති කරනවා. ඒ වෙනුවෙන් ගොවියා, ධීවරයා, කම්කරුවා, තරුණයා පමණක් නොවෙයි, රාජ්‍ය සේවකයන් වාගේම පොලිසියේ මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක අංශවල අයත් තම තමන්ගේ ක්‍ෂේත්‍රවල නව හැඟීමකින් ඉලක්කසහගතව ක්‍රියාත්මක කරනවා. අපි සිදු කරන්නේ පතුලටම ඇදවැටුණු රටක් ගොඩගැනීමයි. ඒ යන ගමනේ දී රනිල් වික්‍රමසිංහ කියනවා, ජාතික ජන බලවේගය ආවාම ගෑස් නැති වෙයි, තෙල් නැති වෙයි කියලා. ඔහු ඒ නිධිවල අයිතිකාරයාද? ඇත්ත කතාව ගත්තොත්, ඒ සියලු පෝලිම් නිර්මාණය කිරීමේ මූලිකයා රනිල් වික්‍රමසිංහයි. ගෝඨාභය අසරණයා බෙල්ල දුන්නා. ඇත්ත කතාව ඒක. 2022 අප්‍රේල් මාසයේ ණය ගෙවන්න බැරිව පොල්ල තිබ්බේ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගත් ණය ගෙවාගත නොහැකි වීම නිසයි. විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ගන්න සල්ලි නැතිව ගියා. අර්බුදයේ නිර්මාපකයා රනිල් වික්‍රමසිංහයි. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩවත්, ගුණාත්මකවත්, හිඟයකින් තොරව ලබා දීමටත් තමයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්නේ. ඩොලර් හිඟයක් රටට නිර්මාණය කළ රනිල් වික්‍රමසිංහ අද කියනවා, අපි ආවාම ඩොලරය රුපියල් 400ට නඟිනවා කියලා. නමුත්, ඒ තත්වය ඇති කළේ රනිල් වික්‍රමසිංහලා. හේන්, කුඹුරු පුරන් වුණා. රනිල් වික්‍රමසිංහලා අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය කංකුන්, ලුණු, මුංඇට, උඳු, කව්පි, කුරක්කන්, බිත්තර, බීජ වර්ග, ඖෂධ වර්ග හැම දේම පිටරටින් ගෙන ඒමයි. සියලු නිෂ්පාදන බිඳවට්ටා, කාන්තාවන් රට යැවීම එකම විදේශ විනිමය මාර්ගය බවට පත් කර ගත්තා. කාන්තාවන් රට යැවීම ඩොලර් උල්පත බවට පත් කර ගත්තා. ඩොලර් හිඟ වෙන කොට තිබෙන ඒවා විකුණාගෙන, ඩොලර් ණයට ගත්තා. ආර්ථිකය කඩාවැටුණේ එහෙමයි.

Crowd At The Public Rally Of Kalutahra

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ තත්වය අනෙක් පැත්ත හරවා ඩොලර් එළියට යන එක වළක්වා ඩොලර් ගලාගෙන ඒම වර්ධනය කර ගන්න ක්‍රියාමාර්ග ගන්නවා. 1977 පාර්ලිමේන්තුවට ඇවිත්, මේ රට හපයක් බවට පත් කර මේ දක්වා විවිධ ධුර දරමින්, ඔහු තවමත් රැඳී ඉන්නවා. මහින්ද රාජපක්‍ෂලා පාර්ලිමේන්තුවට ඇවිත්, අවුරුදු පණහකටත් වැඩියි. මේ රට හපයක් බවට පත් කරලා, පැරැණි ගෝත්‍රිකවාදී, අසාර්ථක රාජ්‍යයක් බවට පත් කර ගත් පාලකයන්ගෙන් මේ රට 21 වැනිදා නිදහස් කර ගන්නවා. ගෝඨාභය අසරණයා මේ රට අනාථ කර දැම්මා. ලැජ්ජාශීලීත්වයට පත් වුණේ 69 ලක්‍ෂයක් ජනතාවයි. 2015 රනිල් – මෛත්‍රී හයිබි්‍රඩ් ආණ්ඩුවක් හදන්න ජනතාව ලක්‍ෂ ගණනින් ඡන්දය ලබා දී අසරණභාවයට පත් වුණා. මේ සියලු තත්වයන් වෙනස් කරන්න 2024 සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය ලබා දුන් බව දශක ගණනාවකට පස්සේ වුවත්, ආඩම්බරයෙන් කිව හැකි තත්වයකට මේ රට පරිවර්තනය කරනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය දශමයකින්වත් කඩ වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සියවස් ගණනක් මඟහැරුණු ජයග්‍රහණය ලබා ගන්න අත්නොහැර එක් වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

Anura Kumara Dissanayake Nalinda Jayathissa And Tilvin Silva At The Public Rally Of Kalutahra

“රට හැදිය හැකි වැඩපිළිවෙළක් ඇති, අවංක මිනිසුන් සිටින්නේ ජාතික ජන බලවේගයේ පමණයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

මේ මැතිවරණ කාලය පුරාම පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ මහත්වරුන් මහජන සාමය ආරක්‍ෂා කරන්න රාජකාරියෙන් ඔබ්බට ගිය විශේෂ මැදිහත් වීමක් කළ බව ඒ අයට ගෞරවයෙන් සඳහන් කරන්න ඕනෑ. ජනාධිපතිවරණය අවසන් වී නව ගමන යන්න මේ දූෂිත පාර්ලිමේන්තුව විසුරුවා හැර දරුවන්ගේ උසස් පෙළ විභාගයට කලින් මහා මැතිවරණය පවත්වා අලුත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගෙන නැවුම් රටක, අලුත් ගමනක් යනවා. ජාතික ජන බලවේගය ප්‍රමුඛ මහජන ව්‍යාපාරය කෙරෙහි ඔබ තැබූ විශ්වාසය ආරක්‍ෂා කරන්න ඔබ හිතුවාටත් වඩා අපි හැම දෙනාම ඇපකැප වන බව සහතික වෙනවා. ප්‍රචාරක කටයුතු සිදු කළ කාලය තුළ ජාතික ජන බලවේගයේ ආසන්නයටවත් එන්න වෙනත් කිසිදු දේශපාලන පක්‍ෂයකට හැකි වුණේ නැහැ. සජිත් කියන්නේ මොන තරම් කොන්ද පණ නැති බියගුල්ලෙක් ද කියන එක සජිත් ඊයේ දවසේත් ඔප්පු කළා. අපේ අනුර සහෝදරයා අනුරාධපුරයේ රැස්වීමක් කරලා, කුරුණෑගල රැස්වීම් තුනක් කරලා, මීරිගම රැස්වීමකුත් කරලා ‘සිරස’ රූපවාහිනියේ වැඩසටහනට ගියා. මේ සියලු රූපවාහිනී නාලිකාවලින් තමන්ගේ ප්‍රතිපත්ති කියන්න අවස්ථාව ලබා දුන්නා. ඒක රූපවාහිනී විවාදයක් නොවෙයි. සජිත් අනුර සහෝදරයාට බය වන එක සාධාරණයි. මැයි මාසයේ විවාදයෙන් පැනලා ගියෙත් ඒක නේ. අපේ අනුර සහෝදරයා කොළ කෑල්ලක් අතේ නැතිව අවශ්‍ය කරුණු නිවැරැදිව කතා කර කරුණු ඉදිරිපත් කිරීම ගැන බය වීම පිළිගත වුවත්, ‘දෙරණේ’ මාධ්‍යවේදී කලිඳුට බය වන්නේ ඇයි? 21 වැනිදායින් පස්සේ මාස තුන, හතරක් යන තුරු සජිත් ප්‍රේමදාසව හොයා ගන්නත් නැති වන බව මතක තබා ගන්න.

ඒ නිසා තමයි, චම්පික රණවක එතැනට රිංගලා, සජබයේ නායකත්වය ගන්න බලාගෙන ඉන්නේ. සජිත් කියනවා, එයාත් එක්ක ටීම් එකක් ඉන්නවාලු. ඩලස් අලහප්පෙරුම එක්කෙනෙක්. මාස කිහිපයකට පෙර සජිත් ගැන ඩලස් කී දේ මොනවා ද? සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම, කුකුළු කූඩු වාගේ ගෙවල් සෑදීම වාගේ දේවල් දත්ත සහිතව හෙළි කළා. චම්පික රණවක සජිත්ට කීවේ, ‘ලාමක ටිං ටිං’ කියලා. ඒ ටීම් එකේ කිරිඇල්ල, හකීම්, රිෂාඩ් කෝ? ඒ ගොල්ලෝ හංගලා, වෙන කීප දෙනෙක් දාගෙන ඉන්නවා. රනිල් මහ බැංකුව කඩන කොට අත උස්සපු ටීම් එකේ වැඩි හරියක් සජිත් ළඟ. මේ රට ණය උගුලක හිර කරන්න අත උස්සපු ටීම් එකේ වැඩි හරියක් ඉන්නේ එතැන. මේ රට හදන්න පුළුවන්, දැක්මක් තිබෙන, වැඩපිළිවෙළක් තිබෙන, අවංක මිනිස්සු ඉන්න එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. අපේ සංවර්ධන සහ පර්යේෂණ ප්‍රතිපත්තිය හදන්න දායක වුණු ගෝමික උඩුගමසූරිය ඇමෙරිකාවේ හුස්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සම්බන්ධ ප්‍රධානියා. පේටන්ට් බලපත්‍ර 10කට වැඩි සංඛ්‍යාවක හිමිකරුවෙක්. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති හදන්න මූලික වශයෙන් ඔහු දායක වුණා. ඔහු කළුතර ප්‍රදේශයේ ජීවත් වූ මේ ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය ලැබූ ලෝකය පිළිගත් විශිෂ්ටයෙක්. ඒ වැනි සිය දහස් ගණනක් ජාතික ජන බලවේගය සමඟ එක් වී රට ගොඩනඟන්න ඉදිරිපත් වී සිටිනවා. මේ තත්වයට දේශපාලනිකව මුහුණ දිය නොහැකිව ජනතාව තුළ භාණ්ඩ හිඟය, ආගම් ගැන බොරු ප්‍රචාර ගෙන යමින්, බියවද්දන්න හදන බොරු ප්‍රචාරවලට එරෙහිව ජනතාවට කරුණු කියා දීම ඉදිරි දවස් දෙක තුන තුළ ඔබ සියලු දෙනාට භාරයි. මේ රටේ පටු, තුච්ඡ, නින්දිත දේශපාලනය කරන්න දෙන්න බැහැ. මේ රට විනාශ කළ හැම දෙනා ම එකට තියලා පරද්දන්න පුළුවන් ඓතිහාසික දිනය එන්නේ 21 වැනිදාට. රෝහිතයි, රාජිතයි, සංජීවයි, ලක්‍ෂ්මන් විජේමාන්නයි හැම දෙනාම දැනුත් පරද්දලා ඉවරයි. අපි මෙතැන දසදහස් ගණනක් ජනතාව ඒකරාශී කරගෙන රැස්වීම් පවත්වන කොට රට විනාශ කළ දේශපාලනඥයෝ රනිල් වික්‍රමසිංහ එක්ක ඒ වාගේම සජිත් ප්‍රේමදාස එක්ක. අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවීමේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙන දිස්ත්‍රික්කය බවට කළුතර දිස්ත්‍රික්කය පත් කරන්න.

Anura Nalinda And Tilvin On Stage At The Public Rally Of Kalutahra

“ජනතාව රොද බඳින්නේ තමන්ගේ දෑතින් රට ගොඩනඟන අපේක්ෂාවෙන්”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීලා දකුණෙන් ප්‍රචාරක රැලි ආරම්භ කළ අපි බස්නාහිරෙන් ප්‍රචාරක රැලි අවසන් කරනවා. රට පුරා ගිය අපට විශ්වාසවන්ත මුහුණු, ධෛර්යයසම්පන්න මුහුණු දැක්කාම මේ සූදානම් වන්නේ ජනාධිපතිවරණයක දිනන්න පමණක් නොවෙයි, විශාල පරිවර්තනයක් වෙනුවෙන් බව අපට ඉතාම පැහැදිලියි. අපේ රටේ ජනතාව විශාල කාලයක් “මහින්ද රාජපක්‍ෂට ජයවේවා” කිවුවා. එයාලට ජය වුණා, රට වැටුණා. “රනිල් වික්‍රමසිංහට ජයවේවා” කිවුවා. එයාලට ජය වුණා, රට වැටුණා. ඉතිහාසයේ පළමුවැනි වතාවට අපේ පංතියේ කෙනෙක්, අපේකම දැනෙන, අපේ සුවඳ දැනෙන, අපේ සහෝදරත්වය, ළෙන්ගතුකම දැනෙන අපේම කෙනෙක් පත් කර ගන්න සූදානමින් සිටිනවා. අනුර සහෝදරයා කතා කරන කොට ඔබලාගේ මුහුණුවල තිබුණු සතුට මම දැක්කා. සමහර අයගේ ඇස්වල යම්තම් කඳුළු තියෙන හැටිත් මම දැක්කා. අපි හැමෝම සතුටින්, ඇස්වල කඳුළු පුරවාගෙන අපේ ජීවිතයේ ප්‍රාර්ථනා කළ දකින්න ආශාවෙන් සිටි අසිරිමත් මොහොත තව දින තුනකින් දකින්න පුළුවන්. ඒ අසිරිමත් මොහොතේ සාක්‍ෂිකරුවන් වෙන්න අපි හැම දෙනාම පුලපුලා බලාගෙන හිටියා. සමාජ පරිවර්තනයක කාලයක් හැමටම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ පරිවර්තනයේ කොටස්කරුවන් ලෙස හැමෝටම දායක වෙන්න ලැබීම ගැනත් සතුට පුරවාගෙන ඉන්නේ. අනුර සහෝදරයා ජනාධිපති කරවලා රස්සාවක් ගන්න, කොන්ත්‍රාත් ගන්න, දරුවා හොඳ ඉස්කෝලයකට දා ගන්න බලාගෙන කිසිවකුත් මෙතැනට ඇවිත් නැහැ. මේ ඇවිත් ඉන්නේ අපි සාමුහිකව එක් වී මේ රට අපේ දෑතින් ගොඩනඟන්න ඕනෑ කියන කර්තව්‍යයට දායකත්වය දෙන්නයි. රටක් වෙනස් කරන්න පුළුවන් එවැනි ජනතාවකටයි. අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවලා, ඒ ජයග්‍රහණය යටතේ අප කිසිවකුටත් පෞද්ගලිකව යමක් ලබා ගන්න බලාපොරොත්තුවක් නැහැ. මේ වේදිකාවේ ඉන්න කිසිවකුත් එවැනි බලාපොරොත්තුවකින් පැමිණි අය නොවෙයි. අපි පොහොසත් රටක් හදලා, ඒ පොහොසත් රටේ අපේ දරුවන් ලස්සනට ජීවත් වෙනවා දකින්න අප කාටත් සිහිනයක් තිබෙනවා.

අපි මෙතෙක් කල් පැමිණි ගමනේ ඉදිරි දින කිහිපය තීරණාත්මකයි. අද රාත්‍රියෙන් පස්සේ රැස්වීම් තියන්න බැහැ, ගෙයින් ගෙට යන්න බැහැ, මාධ්‍ය සාකච්ඡා තියන්න බැහැ. නීතියෙන් තහනම්. ඒ නිසා ඉදිරි දවස් දෙකේ අපට විරුද්ධ කණ්ඩායම් රට පුරා විශාල දුර්මත පැතිර වීමේ හැකියාවක් තියෙනවා. ඒ වාගේම ‘වට්ස්ඇප්’ මාධ්‍යයෙන් බොරු මත ප්‍රචාරය කරන්න ඉඩ තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල බොරු මත පළ කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපි නීතිමය පියවර ගන්න කොට පෙරහැර ගිහින් ඉවරයි. සමාජ මාධ්‍යවල සහ වට්ස්ඇප් පණිවුඩවලින් එන බොරු මත දැක්ක ගමන් නිවැරැදි කරන්න මැදිහත් වෙන්න. අපට හිතා ගන්න බැරි අතිශයින්ම නරක ප්‍රචාර අන්තිම මොහොතේ යවාවි. ඒ කිසිවකින් සැලෙන්නේ නැතිව පවතින ගැටලු අපේ හිතවතුන් සමඟ කතා කර විසඳා ගනිමින්, ජනාධිපතිවරණ ඉතිහාසයේ ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවීමේ දායකත්වයට කළුතර දිස්ත්‍රික්කයත් ලබා දීම වෙනුවෙන් අපි කවුරුත් වැඩ කරන්න ඕනෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් 38 දෙනාගෙන් තුන්, හතර දෙනෙක් හැරුණුකොට අනෙක් අය දැකලාවත් නැහැ. ඒ තුන්, හතර දෙනා අතුරින් නාමල් රාජපක්‍ෂලාව දාලා, ඒ ගොල්ලෝ වටේ හිටපු කණ්ඩායම අද රනිල් වික්‍රමසිංහ ළඟටත්, සජිත් ප්‍රේමදාස ළඟටත් ගිහිල්ලා. ඇප නැති වෙලා යන ප්‍රතිඵලයක් එන බව පැහැදිලියි. ඊට පස්සේ තව දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා වාගේ පෙනුණාට එක පැත්තකින් එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අනෙක් පැත්තෙ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු උපනායක සජිත් ප්‍රේමදාස ඉන්නවා. ඒ නායකයෝ දෙන්නා දිහාත්, වේදිකාව දිහා බැලුවාමත් මට නම් පෙනෙන්නේ හොරු විතරයි. රට හදන්න පුළුවන් කෙනෙක් පේන්නවත් නැහැ. ඒ ගොල්ලෝ කතා කරන්න පටන් ගත්තාම තියෙන එකම මාතෘකාව ‘ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක’ විතරයි. අපේ වේදිකාවේ අනුර දිසානායක. රනිල්ගේ වේදිකාවේත් අනුර දිසානායක. සජිත්ගේ වේදිකාවේත් අනුර දිසානායක. අද හැමෝම කතා කරන්නේ අනුර සහෝදරයා ගැන. මම දේශපාලනය කරන්න පටන් ගත්තේ හැත්තෑඅටේ දී. ඊට අවුරුද්දකට කලින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ. රටට කරපු හොඳ දෙයක් නැහැ.

The Public Rally Of Kalutahra People

එයාගේ මාමා ඉන්න කාලේ දෙන්නා එකතු වෙලා ජාතිවාදය ඇවිස්සුවා. උතුරට ගිහින් පුස්තකාලය ගිනි තියලා, ඡන්ද පෙට්ටි කොල්ලකන්න දායක වුණා. අසූතුනේ දී ජාතිවාදී කෝලාහල ඇති කරලා, දෙමළ ජනතාවගේ දේපොළ කොල්ලකන්න මැදිහත් වුණා. ඊට පස්සේ බටලන්දත් තියාගෙන හිටියා. ඒ හැර වෙන කියන්න දෙයක් නැහැ. මේ දවස්වල සිහිකල්පනාව ටිකක් අඩු වෙලා වාගෙයි පෙනෙන්නේ. එක වෙලාවකට කියනවා, ‘වට්ටපු ආර්ථිකය ගොඩ ගත්තා’ කියලා. ඊට පස්සේ ආයේ කියනවා, ‘එයා නැති වුණොත්, සති තුනෙන් රට කඩාගෙන වැටෙනවා’ කියලා. එයා ආර්ථිකය ස්ථාවර කරලත් නැහැ. අපි ආවාම රට කඩාගෙන වැටෙන්නෙත් නැහැ. ඔය විදියට හිතුවොත්, රනිල්ට මැරෙන්නත් බැහැ. රනිල් මැරුණොත්, රට කඩාගෙන වැටෙනවා. කටුගස්තොට පැත්තේ කෘත්‍රිමව තෙල් පෝලිම් හැදුවා වාගේ ගොඩක් දේවල් ඉදිරි දින කිහිපය තුළ දී කරන්න බලාවි. ජනතාව බියවද්දමින් යන රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ. අනෙක් පැත්තෙන් තාත්තා ජනාධිපති නොවුණා නම්, සජිත් ගැන අපි කවුරුත් දන්නේ නැහැ. තමන්ගේ කියලා කිසිම හැකියාවක් නැහැ. එයාගේ රැකියා දීමේ ප්‍රතිපත්තිය උස නම් සෙකියුරිටි, මිටි නම්, කම්කරු නිසා චම්පිකට ලැබෙයි, සිකියුරිටි භාර අමාත්‍යාංශයක්. ඩලස්ට හම්බ වෙන්නේ කම්කරු අමාත්‍යාංශය. ඔන්න ඔය වාගේ ළාමක ටිං ටිං උත්තර කියන මිනිහෙක් ජනාධිපති කරන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. කිසි වගකීමක් නැති, කරන්නේ මොකක්ද කියලා දන්නේ නැති, තාත්තා ගැන කතා කර කර ඉන්න පුතෙකුට රටක් භාර දෙන්න පුළුවන්ද? ඒ හැම කෙනාම අසාර්ථකයි කියලා ජනතාව දන්නවා.

ඒ අය අතරේ අපේ පංතියේ අනුර කුමාර සහෝදරයා ඉන්නවා. 1988දී දේශපාලනයට ඇවිත්, අමාරුවෙන් ජීවිතය බේරාගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ඇවිත්, බෞද්ධ සංගමයේ සභාපති වෙලා හිටියා. බෞද්ධ විරෝධී කතාවක් කිය කියා යන්නේ මේ බෞද්ධ සංගමයේ සභාපතිට. අවුරුදු විසිහතරක්ම පාර්ලිමේන්තුවේ හිඳිමින්, විවිධ වගකීම් දරා අත්දැකීම් සහිතව වාගේම පුළුල් දැනුමක් සහිතව ඕනෑම ප්‍රශ්නයකට උත්තර දිය හැකි දැනුමක් ලබාගෙන තිබෙනවා. මේ රටේ මේ වෙලාවේ උඩින්ම ඉන්න දක්‍ෂම දේශපාලනඥයා අනුර දිසානායක සහෝදරයා. රනිල්ලාට, සජිත්ලාට එයත් එක්ක හැරෙන්නවත් බැහැ. අපි අපේ රටේ මෙතෙක් කල් බිහි වුණු දැවැන්තම මහජන ව්‍යාපාරය ගොඩනඟා, එහි නායකයා ලෙස අනුර සහෝදරයාව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර සිටිනවා. රට රකින්න සහ රට හදන්න පුළුවන් සියලුම බලවේග එක් කර ගත් දැවැන්ත මහජන ව්‍යාපාරයක නායකයා හැටියට අනුර සහෝදරයා ඉදිරිපත් වී සිටිනවා. අපි අනෙක් අය වාගේ ඇහින්දාස් විදියට කට්ටිය එකතු කරගෙන මේ ඡන්දයට ආවේ නැහැ. ඒ ආවේ ජනාධිපතිකම අරගෙන කංකෙඳිරි ගාන්න නොවෙයි. අපි ඇවිත් සිටින්නේ වට්ටපු රට ගොඩගෙන, අපි කවුරුත් එකතු වී කාටත් සතුටින් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කරන්නයි. අපේ ජයග්‍රහණයෙන් පසුව එය අවලස්සන වනවාට, කළු පැල්ලමක් එකතු වනවාට එය දශමයකින්වත් අපවිත්‍ර වෙනවාට අපි කවුරුත් කැමැති නැහැ. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන එකම ඡන්දය බවට මේ ඡන්දය පරිවර්තනය කර ගනිමු. ඉදිරි දවස් කිහිපයේ කිසිවකුට පරද්දන්න බැරි දැවැන්තම දැවැන්ත මහජන බලයක් බවට මාලිමාව පත් කිරීම වෙනුවෙන් ඡන්ද හදමු. මම මෙතැනට එනකොටත්, පණිවිඩ ලැබුණා, කවියකින් අවසන් කරන්න කියලා. සෑහෙන කලකට පෙර හිරගෙයක අපේ සහෝදරයකු ලියූ කවියකින් මම අවසන් කරන්නම්.

“කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරැහැලි කැබැලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත-පය හකුල්ලා
නැඟිටපල්ලා, නැඟිටපල්ලා නුඹලාගේ වාරය ඇවිල්ලා”

පීඩාවට පත් වුණු ජනතාවනේ, අපි ඔක්කොම සහෝදරත්වයෙන් දෑත් බැඳගෙන රට ගොඩ ගනිමු; රට හදමු. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් නිර්මාණය කර ගනිමු. ඒ සඳහා හැම දෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා.

Show More

“අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සාමකාමීව ඡන්දපොළට ගොස් අනුර සහෝදරයා ජයග්‍රහණය කරවන්න” -ජාතික ජන බලවේගයේ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර-

(-ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ මාධ්‍ය හමුව – 2024.09.18-) පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ශ්‍රී ලංකාවාසී ජනතාවට උදාකර දීම පිණිස පුනරුද යුගයක් ඇරඹීමේ අපගේ මැතිවරණ ව්‍යාපාරය ලංකාව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආමන්ත්‍රණය කරමින් අවසන් ජයග්‍රාහී රැලිය අද සැන්දෑවේ නුගේගොඩදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. චෞර කල්ලි නැති, පනින රිලවුන් නැති, එකම විනයානුකූල දේශපාලන ව්‍යාපාරය ලෙස ජාතික […]

(-ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ මාධ්‍ය හමුව – 2024.09.18-)

J M Wijebandara At NPPL Press Conference

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ශ්‍රී ලංකාවාසී ජනතාවට උදාකර දීම පිණිස පුනරුද යුගයක් ඇරඹීමේ අපගේ මැතිවරණ ව්‍යාපාරය ලංකාව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආමන්ත්‍රණය කරමින් අවසන් ජයග්‍රාහී රැලිය අද සැන්දෑවේ නුගේගොඩදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. චෞර කල්ලි නැති, පනින රිලවුන් නැති, එකම විනයානුකූල දේශපාලන ව්‍යාපාරය ලෙස ජාතික ජන බලවේගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව අපගේ විරුද්ධවාදීන් පවා පිළිගෙන තිබෙනවා. රූපවාහිනී සංවාදයකට මුහුණ දෙන්න බැරි, අඩුම ගානේ තනිවම හෝ සංවාදයකට එන්න බැරි, අපේ ප්‍රතිපත්තියක් පිළිබඳ තාර්කික විවේචනයක් එල්ල කරන්න බැරි ප්‍රතිවාදීන් මේ අවස්ථාවේ විවිධ මඩ ප්‍රචාර ගෙන යනවා. ජාතික ජන බලවේගය විසින් නිරාගමික රාජ්‍යයක් පිහිටුවනවා යන්න ප්‍රධානම මඩ ප්‍රචාරයක්. ශ්‍රී ලංකාවාසී ජනතාවගේ හැඟීම් අවුස්සා අවිනිශ්චිතතාවක් ඇති කරන්න මේ වැනි ප්‍රචාර ගෙනයනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා රාජ්‍යය බෞද්ධාගමට මුල්තැන දෙන අතර, අනෙකුත් ආගම්වලට නිසි තැන දීමට බැඳී සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය ප්‍රතිපත්ති ප්‍රකාශයක් මගින් වෙනස් කරන්න බැහැ. ඒක පක්ෂයකට වෙනස් කරන්නත් බැහැ. 83 වැනි වගන්තියෙන් කියන්නේ නව වැනි වගන්තියෙන් ආගම් සම්බන්ධයෙන් දී තිබෙන ප්‍රතිපාදන ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකියි කියන එක. ඒ නිසා මේ රට නිරාගමික රාජ්‍යයක් කරන්න කිසිම ආණ්ඩුවකට ජනතාවගෙන් අහන්නේ නැතිව බැහැ. ජාතික ජන බලවේගය නිරාගමික රාජ්‍යයක් පිහිටුවනවා කියන එක පුස් තර්කයක් පමණයි. අපි ඇති කරන්නේ විනයානුකූල, නීතියේ විධානය සහිත සියලුම දෙනාට සතුටින් ජීවත් විය හැකි සමාජයක්. ඒ සමාජය තුළ එකිනෙකාගේ සංස්කෘතික අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීම තහවුරු කරනවා. තවත් පැත්තකින් බංගලිදේශයේ ඡායාරූප ප්‍රචාරය කර බිය ගැන්වීමට උත්සාහ කරනවා. ඒ වගේම 2022 පැවැති සාමකාමී ජන අරගලය ජාත්‍යන්තරව පිළිගත් සිවිල් ජනතාවගේ අරගලයකින් අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් ඉවත් කරනු ලැබුවා. එහිදී පුරවැසියන් හැසිරුණු බව හඟවන වීඩියෝපට මේ අවස්ථාවේදී ප්‍රචාරය කරලා මඩ ගැසීමට උත්සාහ කරනවා. නමුත් 2022 ජන අරගලයකින් පැවැති ඒ පාලනය වෙනස් කිරීම වෙනත් සංසිද්ධියක්. 2024 සැප්තැම්බර් 21 සිදුවෙන්නේ ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලය වෙනස් කිරීමක්. සැප්තැම්බර් 21 දාට ජනතාව රොද බැඳගෙන එන්නේ මෙතෙක් ජනතාව මහමඟට බසිමින් ඉල්ලා සිටි ඡන්ද අයිතිය ප්‍රයෝජනයට ගන්නා බවටයි. නමුත් මඩ පෝස්ටර දියත් කිරීමක් මගින් අනාගමික රාජ්‍යයක් ඇති කරනවා යැයි කියමින් ප්‍රචාරය කිරීමට තරම් ප්‍රතිවාදීන් පහත් තත්වයට ඇද වැටිලා.

ඒ වගේම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම පිළිබඳව විවිධ ප්‍රචාර යවනවා. ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව දැනගෙන පළාත් පාලන මැතිවරණය කල්දැම්මා. එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කුමක් හෝ වෙට්ටුවක් දමා ජනාධිපතිවරණය වළක්වයි කියලා තවත් ප්‍රචාරයක් යැව්වා. නමුත් මේ මැතිවරණයෙන් අනුර කුමාර සහෝදරයා ජනාධිපති වීම නියතයක්. පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ඇතුළු රාජ්‍ය බල ව්‍යුහයන් ස්වාධීනව කටයුතු කරන බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා සාමකාමී මැතිවරණයක් පවත්වා බල හුවමාරුවකට සූදානම් වෙනවා මිස, අදින් පසුව මැතිවරණ නීතිය උල්ලංඝනය කර, අපේ අනුගාමිකයන් කිසිදු කටයුත්තක් නොකරන බව ස්ථිරයි. ඒ වගේම ප්‍රතිවාදීන් ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සාමකාමීව ඡන්දපොළට ගොස් අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන ලෙස ඉල්ලා සිටිනවා.

Jayantha Dehiaththage At NPPL Press Conference

“සමස්ත සාමූහික පුරවැසියන් ලෙස එක්වී මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න”
-නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ-

අපි ගත කරමින් සිටින්නේ මේ රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත්ම තීරණාත්මක මොහොතක්. මේ රටේ ජනතාව සිස්ටම් චේන්ජ් එකකට පෙළ ගැසී සිටියත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව එය සිදු කළේ නැහැ. මේ මහ පොළොව මත ජනතාවගේ පාලනයක් ස්ථාපිත කරන්න පෙළගැසී සිටිනවා. ආර්ථිකයේ යහපත් පරිවර්තනයක් සිදුකර, ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් ජනතාව පෙළගැසී සිටිනවා. ජනතාවගේ මේ අපේක්ෂා මුදුන්පත් කර දිය හැකි අපේක්ෂකයා අනුර කුමාර දිසානායක බව මේ දක්වා ඔහුගේ කැපකිරීම්වලින්, අධිෂ්ඨානයෙන් පෙන්වා දී තිබෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් සිදුකිරීමට ඔහු කැපවී සිටිනවා. ඔබ 21 වැනිදා මාලිමාව ඉදිරියේ ගහන කතිරය මේ රටේ සැබෑ ජනතාවාදී පාලනයක් පිහිටුවන ඡන්දයක්. ඒ නිසා තරුණ ප්‍රජාව මෙන්ම සමස්ත සාමූහික පුරවැසියන් ලෙස එක්වී මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන ලෙස ඉල්ලා සිටිනවා.

Nilanthi Kottahachchi At NPPL Press Conference

“කාන්තාව දේශපාලන කරළියේ විශාල භූමිකාවක් ඉටුකිරීම වෙනුවෙන් පෙරට පැමිණ සිටිනවා”
-නීතිඥ නිලන්ති කොට්ටහච්චි-

අපි 76 වසරක් පැමිණි ගමන්මඟේ උඩුගම් බලා පිහිනා ජයග්‍රහණයක් අපේක්ෂා කරන මොහොතක් මේක. තමන්ගේ රහසිගත ඡන්දයෙන් මේ ක්‍රමය වෙනස් කරන බව මේ දක්වා රට පාලනය කළ අයට ජනතාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයක් දෙනා ඡන්දය දෙන්න සුදුසුකම් ලබා තිබෙනවා. ජනතාව තීරණාත්මක සාධකයක් වී සිටිනවා. ඡන්ද අයිතිය නැති ලක්ෂ 50ක පමණ ජනතාව වෙනුවෙන් තීරණය ගන්නේ ඡන්ද අයිතිය හිමි අයයි. දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව අතරින් බහුතරයක් දෙනා මේ වන විට කියන්නේ රට අනුරට බවයි; රට වෙනස් කිරීම සඳහා අපි ජාතික ජන බලවේගය සමග බවයි. මෙවැනි මොහොතක මාලිමාවේ බව කියමින් ප්‍රචණ්ඩත්වය වපුරන වෛරී සහගත කටයුතු කරන අය සම්බන්ධයෙන් මාලිමාවේ නීතිඥයන් හැටියට අපි ඉතාම අවධානයෙන් ඉන්නවා. එවැනි අකටයතුකම් කරන අය නීතිය හමුවට ගෙනයාම වෙනුවෙන් ඉතාම ඉවසිලිමත්ව, බුද්ධිමත්ව ක්‍රියාකරන බව පැහැදිලියි. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකරාවි. යම් නොසන්සුන්කාරී බවක් ඇති කළහොත් එයට එරෙහිව සංසිඳුවීමේ පැත්තෙන් විශාල කාර්යභාරයක් කාන්තාවන්ට කළ හැකියි. මේ දේශපාලන වෙනස ඇති කිරීමේ විශාල කාර්යභාරයක් කාන්තාවන්ට පැවරී තිබෙනවා. කාන්තාව දේශපාලන කරළියේ විශාල භූමිකාවක් ඉටුකිරීමේ කාර්යභාරය වෙනුවෙන් පෙරට පැමිණ සිටිනවා. 1965 සිට ඉතාම අසීරු අවස්ථාවලදී පවා ජනතාව වෙනුවෙන් කටයුතු කළ දේශපාලනය ජය ලබා අනිවාර්යයෙන්ම ජනතාවාදී පාලනයක් පිහිටුවීමට කටයුතු පෙළගැසී අවසන්.

Susantha Dodawatte At NPPL Press Conference

“ජනතාව ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය වටා රොද බැඳගෙන අවසන්”
-නීතිඥ සුසන්ත දොඩාවත්ත-

ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ ජාතික මහා සමුළුව 2800ක් පමණ සහභාගී වූ නීතිඥයන්ගෙන් යුතුව ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වූවා. මේ රටේ සුවහසක් නීතිඥ ප්‍රජාව ජනතාව දැනුවත් කරමින් අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයට අප ක්‍රියාකරමින් සිටින අතර, පසුගිය කාලයේ බෙදී සිටි ප්‍රජාව තවදුරටත් එවැනි බෙදීම් නැති එකම කණ්ඩායමක් බව පැහැදිලි කර අවසන්. 20 වැනි සියවසේදී අපට මඟහැරුණු පුනරුදය 21 වැනි සියවසේදී ළඟාකර ගන්න පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කරගෙන රොද බැඳගෙන අවසන්. ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර සහෝදරයා නියත වශයෙන්ම තේරී පත්වෙනවා. ඒ ප්‍රතිඵලය මගින් රටේ දේශපාලන සංස්කෘතිය වංචාව, දූෂණයෙන් තොරව ස්ථාපිත කිරීම වෙනුවෙන් අඩිතාලම ලබාගන්නවා. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සාමකාමීව ප්‍රතිඵලය භුක්ති විඳින්නේ කෙසේද යන්නත් සම්බන්ධයෙන් ඉතිහාසයට අත්දැකීමක් එකතු කර දෙනවා. මේ මැතිවරණයෙන් අනතුරුව රටේ සමස්ත ජනතාව අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළගැසෙන බව ස්ථිරයි.

Kosala Daarabe At NPPL Press Conference

“බෞද්ධ විරෝධී ප්‍රචාරවලට, භීෂණකාරී තත්වයක් පිළිබඳ ප්‍රචාරවලට ඡන්දයෙන් පිළිතුරු දෙන්න”
-නීතිඥ කෝසල දාබරේ-

මැතිවරණවලදී ජනතාව හැමදාම ඉල්ලුවෙ වෙනසක්. බලයට පත්වූ පාලකයන් ජනතාවට වෙනස පෙන්වලා කොකා පෙන්වීමයි ඉතිහාසය පුරාම කළේ. 69 ලක්ෂය යනුවෙන් උපහාසයට ලක්වී සිටින්නේ, තාප්පවල චිත්‍ර ඇන්ද, ස්වේච්ඡාවෙන් තවත් කටයුතුවලට දායක වූ පිරිසක්. ඔවුන් උපහාසයට ලක්වීම සුදුසු නැහැ. වෙනසක් ඉල්ලූ මිනිසුන්ට තමන්ම පත්කර ගත් පාලකයා එළවා දමා තවදුරටත් වෙනස වෙනුවෙන් කැප වෙන්න සිදුවුණා. එහි කූටප්‍රාප්තිය ලෙස ජනතාව 2024 සැප්තැම්බර් 21දා සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් භේදයක් නැතිව ජාතික ජන බලවේගය වටා විශාල වශයේ එක්රොක් වෙමින් සිටිනවා. මෙයට පෙර උතුරට, නැගෙනහිරට, වගේම කඳුකරයට අයිති ජනතාවගේ ඡන්ද වෙනුවෙන් අයිතිකාරයෙක් හිටියා. එවැනි නායකයන්ට තවදුරටත් මේ භූමියේ ඡන්ද ගොඩවල් ලෙස දේශපාලනය කරන්න බැහැ. ඒ නිසාම ජනතාවට බෞද්ධ විරෝධී ප්‍රචාර, භීෂණකාරී තත්වයක් පිළිබඳ ප්‍රචාර වැනි විවිධ ප්‍රචාරයන්ට හසු නොවී ඡන්දයෙන් පිළිතුරු දෙන ලෙස ඉල්ලනවා. ඒ වගේම බල හුවමාරුව නිසි ආකාරයෙන් සිදුකරන්න පෙළගැසෙන ලෙස ඉල්ලා සිටිනවා.

Anusha Kulasekara At NPPL Press Conference

“යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දේශපාලනඥයන් ඇඟිලි ගහන යුගයක් නැවත ඇති වන්නේ නැහැ”
-නීතිඥ අනුෂ කුලසේකර-

අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය නියතයක් වී තිබෙන පසුබිමක ඔහුගේ විරුද්ධවාදීන් සියලුම ක්ෂේත්‍රවල රජයේ නිලධාරීන් හට මෙන්ම ව්‍යාපාරිකයන් ඇතුළු අනෙකුත් කණ්ඩායම් වෙතද අනියත බියක් ඇති කිරීමට උත්සාහ කරනවා. චෞර දේශපාලනයේ සහකරුවන් වූ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මේ රටේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට හෝ සේවකයෙකුට අංශු මාත්‍රයක හෝ ප්‍රතිලාභ කප්පාදුවක් සිදුවන්නේ නැහැ. ශ්‍රී ලාංකේය රාජ්‍යය එලෙසින්ම පවතිද්දී රාජ්‍යය පාලනය කිරීම, මෙහෙයවීම සඳහා අලුතින් ආණ්ඩුවක් පත්වෙනවා. ඒ වගේම නීිතියේ ආධිපත්‍යය සුරකින ආණ්ඩුවක් පිහිටුවන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිසුරුවරුන්ද අපහසුතාවයට පත්වෙන ආකාරයේ ප්‍රකාශ රාජ්‍ය නායකයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකර, අධිකරණයට ගල් ගැසීමේ ක්‍රියාවලියක් ජාතික ජන බලවේගය යටතේ හෝ අනාගතයේ නැවත දකින්නේ නැහැ. අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දේශපාලනඥයන් ඇඟිලි ගහන යුගයක් මෙරට ජනතාවට නැවත දකින්නේ ලැබෙන්නේ නැහැ. දේශපාලන සිතැඟියාවන් ඉටුනොකරන අගවිනිසුරුවරුන් කැකිල්ලේ නඩු විභාගවලින් නෙරපා හරින ක්‍රියාවලියක් නැවත දකින්න ලැබෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නීතියට යටත් ආණ්ඩුවක් මිසක් නිීතියට උඩින් ඉන්න ආණ්ඩුවක් නොවෙයි. සාමූහික ජනතාවගේ ආදරණීය සමාජයක් පිහිටුවීමේ දේශපාලන සද්කාර්යය වෙනුවෙන් අනුර කුමාර දිසානායක සහෝදරයාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලනවා.

Upul Kumarapperuma At NPPL Press Conference

“කට කතාවලට කිසිවෙක් රැවටිය යුතු නැහැ”
-ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-

හමුදාවේ සහ පොලීසියේ ඉහළ නිලධාරීන් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කරන බවට කට කතාවක් ඊයේ ප්‍රචාරය කර තිබුණා. මෙවැනි කට කතාවලට කිසි කෙනෙකුත් රැවටිය යුතු නැහැ. අපි සියලුම කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ පවතින නීතිවලට යටත්ව පමණයි. ඒ සම්බන්ධයෙන් මම අවධාරණය කරනවා.

NPPL Press Conference

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ප්‍රශ්නය: ඔබලාට ප්‍රතිපාර්ශ්ව අය වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දායක වෙන්නේ කොහොමද?

පිළිතුර: පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන මගින්, ඒ ඒ මට්ටම්වලදී සිදුකෙරෙන පරීක්ෂණ අනුව යම් චුදිතයෙක් අධිකරණයට ඉදිරිපත් කරනවා. එවැනි ඕනෑම අවස්ථාවක තමන්ගේ සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටින්න ලංකාවේ ඕනෑම නීතිඥවරයෙකුට අයිතියක් තිබෙනවා. පැමිණිල්ල මෙහෙය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. චූදිතයන් වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥයන්ට අවසර තිබෙනවා. ජාතික ජන බලවේගයේ රජයක් ආවා කියලා ඒකට බාධාවක් වෙන්නේ නැහැ. අපරාධ හෝ අනෙකුත් චෝදනා එල්ලවන ඕනෑම පුරවැසියෙක් අධිකරණයකින් වැරදිකරුවෙකු කරන තෙක් නිර්දෝෂීභාවයන් වෙනුවෙන් වූ අයිතිය දී තිබෙනවා. ඒ වගේම අපරාධ නඩු සම්බන්ධයෙන් මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින්න ඒ චූදිතයාට නීතිඥවරයෙකු ලබාගත නොහැකි නම්, රජයේ වියදමෙන් නීතිඥයෙකු ලබාදෙනවා. අභියායචකයෙකුට ඔහුගේ වියදමෙන් නීතිඥවරයෙකු ලබා ගත නොහැකි නම්, පුරවැසියෙකු හෝ වෘත්තියවේදියෙකු යම් පක්ෂයකට ඡන්දය දුන්නා කියලා ඒ පක්ෂයේ ලේබලය අලවා පැත්තකට කරන්න බැහැ. යුක්තිය පසිඳලීමේදී අධිකරණය දෙපාර්ශ්වයටම ඇහුම්කන් දෙනවා. උදාහරණයක් හැටියට පොට්ටනවුෆර් මහාධිකරණයේ විනිසුරුවරයෙකු ඝාතනය කළ අවස්ථාවේදී දෙපාර්ශ්වයටම නීතිඥවරුන් ලබාදීමෙන් පසුවයි නඩු විභාගය සිදු කළේ.

Show More

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පවතින මජර දේශපාලනය අතුගා දමනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – හිරියාල, මැල්සිරිපුර – 2024.09.17-) ඡන්ද ව්‍යාපාරය අවසන් වේගෙන එන විට අද ඒකේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගයයි. මේ සිද්ධ වෙන්න යන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි. දශක ගණනාවක් අපේ රට පාලනය කළ මේ පාලකයෝ අපිට අවසානයේ ඉතුරු කරලා තියෙන්නේ හැම අතින්ම කඩා වැටුණු රටක්. ජනතාවගෙන් 68%කට පෝෂ්‍යදායී ආහාර වේලක් […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – හිරියාල, මැල්සිරිපුර – 2024.09.17-)

ඡන්ද ව්‍යාපාරය අවසන් වේගෙන එන විට අද ඒකේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගයයි. මේ සිද්ධ වෙන්න යන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි. දශක ගණනාවක් අපේ රට පාලනය කළ මේ පාලකයෝ අපිට අවසානයේ ඉතුරු කරලා තියෙන්නේ හැම අතින්ම කඩා වැටුණු රටක්. ජනතාවගෙන් 68%කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ කියලා මහා බැංකු වාර්තාවෙම තිබෙනවා. හරිහමන් අධ්‍යාපනයක් නැති දරුවෝ, සිහින කඩා වැටුණු තරුණයෝ, හරිහමන් බෙහෙතක් හේතක් ගන්න බැරි හව්හරණක් නැති මව්පියෝ ඉන්න රටක් බවට අපේ රට පත්වෙලා.

නීතියක් නැති, විනයක් නැති, අපරාධවලින් ගහන රටක්, සියල්ල විනාශයට පත්වෙච්ච රටක්, බවට අපේ රට පත්වෙලා තිබෙනවා. මේක තමයි අපි කියන 76 වසරක ශාපය. මේ සැප්තැම්බර් 21 වැනිදා එළඹෙන්නේ අපේ රට අන්න ඒ ශාපයෙන් මුදා ගන්නා දිනයයි. මීට කලින් ආණ්ඩුව හැදුවේ මාධ්‍ය විසින්. ඔවුන් විසින් ගොතන ලද ප්‍රබන්ධ මගින්. වැඩකරන විරුවෝ, මොළ හතේ නායකයෝ, කියලා මාධ්‍ය විසින් ප්‍රබන්ධ නායකයන් හදනවා. මාධ්‍ය විසින් බිය, සැකය, අවලාද පතුරුවනවා. එහෙම කරලා තමයි මෙතෙක් ආණ්ඩු හැදුවේ. අද සමහර මාධ්‍යවලින් යම් තරමකට අපිට සහයක් තිබෙනවා. හැබැයි ඊට එහා ගිය ජනතාවගේ ස්වයං ක්‍රියාකාරිත්වය මගින් තමයි අපිට ජයග්‍රහණය ගෙන දෙමින් සිටින්නේ. ඒ නිසා ලංකාවේ පළමු වතාවට මැර බලය, රාජ්‍ය බලය, ධන බලය, මාධ්‍ය බලය පරදමින් ජනතා බලය පෙරට පැමිණ තිබෙනවා.

Crowd At The Victory Rally Of Malsiripura

ජාතික ජන බලවේගයේ අරමුණ අපේ රටටත්, රටේ ජනතාවටත් යහපත් තත්වයක් උදාකර දීම තමයි. මම කියන්නේ මේ උදාර කර්තව්‍යයේ කුඩා කොටසක් පමණයි. ඔබ සියලු දෙනා තමයි විශාලම කොටස. අසාධාරණයට, අයුක්තියට එරෙහිව මේ රටේ ජනතාව දිගු කාලයක් තිස්සේ සටන් කරමින් ඉන්නවා. නමුත් අපිට ජයග්‍රහණය අත්පත් කර ගන්න බැරිවුණා. අද අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාව ලැබී තිබෙනවා. අපේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් තබා ගන්න එපා. මෙවර අපි ජයග්‍රහණය කරනවා. නියතයි. සැප්තැම්බර් 21 උදාවන්නේ ජාතික ජන බලවේගය මේ රටේ ආණ්ඩු බලය ගැනීමේ ආරම්භයයි. අපි පියවරෙන් පියවර මේ රට හදනවා. පළමුව දේශපාලනඥයන් ඒ සඳහා ආදර්ශය ලබාදිය යුතුයි. අපේ රටේ දේශපාලනය කිවුවේ බදා ගැනීමට. බැකෝ යන්ත්‍රවලින් විශාල විදිහට බෙදා ගැනීමට. එහෙම කළේ වෙන කිසිවක් කරලා නොවෙයි. භාණ්ඩාගාරයේ ධනය හොරකම් කරලා. මහජනතාවට ලැබිය යුතු ධනය හොරකම් කරලා.

අපේ රට හදන්න නම් පළමුව මේ රටින් මේ මජර දේශපාලනය අතුගා දැමිය යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහතික ලෙසම එය ඉටුකරනවා. පාර්ලිමේන්තුවට ගියාම අවුරුදු 05ටම දින 20යි සහභාගි වෙන්න ඕනෑ. ඊට පස්සේ ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. අපේ ගොවි ජනතාව කොන්ද කුදුවෙලා, හම ඇකිළිලා, අවුරුදු 70 – 75ක් වෙලත් අමාරුවෙන් කුඹුරු කොටනවා. විශ්‍රාම වැටුපක් නැහැ. මේක සාධාරණද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපා හරිනවා. ජනතාවට නැති සියලු වරප්‍රසාද අපි අහෝසි කරනවා. ජනාධිපතිවරයාගේ සිට එය කරනවා. හිටපු ජනාධිපතිවරුන් ජනතා මුදලින් නඩත්තු කරන එක හා ඔවුනට දෙන වරප්‍රසාද කපා හරිනවා. සජිත් ප්‍රේමදාස අපි කරන කියන හැම දෙයක්ම කොපි කරනවා. හැබැයි මේවා නම් කොපි කරන්නේ නැහැ. එයා කිවුවොත් මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් අහෝසි කරනවා කියලා ඔක්කොම වේදිකාවෙන් බැහැලා යනවා.

Anura Kumara Dissanayake At The Victory Rally Of Malsiripura

ජනතාවට දේශපාලකයා කෙරෙහි විශ්වාසයක් ගෞරවයක් තිබෙන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා. ලෝකය දිනන්න පුළුවන් විදියට අපි අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සැලසුම් කරනවා. මේ විනාශයේ මුවදොරට රැගෙන ගිහින් තිබෙන රට, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ඉන් මුදාගෙන දියුණුව කරා රැගෙන යන දිනය තමයි සැප්තැම්බර් 21. මේ කිසි දැක්මක් නැති අපේ රටේ දේශපාලකයන් පැරණි ජාතිවාදී, ආගම්වාදී මඩ ගොහොරුව නැවත අවුස්සන්න පටන් අරගෙන තිබෙනවා.

නුවර දළදා පෙරහැර කියන්නේ සජබ හෝ පොහොට්ටුවට හෝ යූඑන්පී එකට ලියලා දිපු එකක් නොවෙයි. ඒවා අපේ රටේ සංස්කෘතික උරුමයන්. අපේ රටේ ජනතාවගේ ඓතිහාසික උරුමයන්. ජාතියේ උරුමයන්. නමුත් මේ දේශපාලකයෝ කරන්නේ මොකක්ද? ඒවා ගේනවා ඡන්ද වේදිකාවට. අපි ආපුවහම පෙරහැර නතර කරනවලු. හැබැයි කට්ටිය පෙරහැරේ බලා ඉන්න, අපි ආපුවහම උසාවි යන්න. හිරගෙවල් ඇතුළට යන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපුවහම පන්සල්වලට දානය නැති වෙනවලු. දාන දෙන්නේ පක්ෂද? ආණ්ඩුද? ගැසට් ගහලද? ඒවා අපේ ශිෂ්ටාචාරයට අයිති දේවල්. ආගම පිළිබඳ ශ්‍රද්ධාව. සජබ වේදිකාවේ ඒව දේශපාලන සටන් පාඨ බවට පත්කරගෙන. ඒවා ජාතික උරුමයන්. ජාතික කොඩිය පවා ඡන්ද වේදිකාවට ගේනන ඕනෑ එකක් නොවෙයි. ඒවා රටේ ජාතික උරුමයන්. ඒවාට නිසි ගෞරවය අපි ලබා දෙන්න ඕනෑ. ජාතික කොඩිය අයිති පක්ෂවලට නොවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම අයිති ජාතික දෙයක්. ඒ ගොල්ලන් කියනවා අපි ආපුවහම ජාතික කොඩිය වෙනස් කරන්න යනවලු. සජබ වේදිකාවේ අද තිබෙන්නේ මඩ, අවලාද පමණයි.

The Victory Rally Of Malsiripura Crowd

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අතේ තියාගෙන කියනවා අපේ පාලනයක් යටතේ අපි නිරාගමික රාජ්‍යයක් හදනවලු. එක හාමුදුරු නමක්, පොතේ නැති පට්ටපල් බොරු දෙසාබානවා. අපි ඒ පොඩි හාමුදුරුවන්ට නම් යැව්වා එන්තරවාසියක්. අපි කවදාවත් හාමුදුරුවන් වහන්සේලා සමග නඩු කියන්න කැමති අය නොවෙයි. නමුත් මේ කැත වැඩය කොතනදි හරි නතර විය යුතුයි. හිස්බුල්ලා එරාවුර්වලට ගිහිල්ලා ඒ වගේම බේගල් මුස්ලිම් ජනතාවට කියනවා. මුස්ලිම් ජනතාවගේ අවුරුද්දකට රාමසාන් සහ හජ්ජි කියලා ප්‍රධාන ආගමික උත්සව දෙකක් තිබෙනවා. අපි ආපුවහම එකක් කරනවාලු. මුස්ලිම් ජනතාව දවසකට පස්වතාවක් වන්දනා කරනවා. අපි බලයට ආවොත් ඒක නතර කරනවලු. අපිට වෙන වැඩ නැහැනෙ. අපි ආපුවහම මුස්ලිම් ජනතාවට රැවුල් වවන්න දෙන්නෙ නැතිලු. මම එරාවුර්වලටත් ගිහිල්ලා කිවුවා මමත් රැවුල වවාගෙන ඉන්නෙ කියලා.

ජාතිය, ආගම වැනි දේවල් කිසි දිනෙක දේශපාලන වේදිකාවට ගත යුතු දේවල් නොවෙයි. ඒවා ජාතික උරුමයන්. අපේ ශිෂ්ටාචාරය. ඒවා දේශපාලනික සටන් පාඨ කරගත යුතු නැහැ. නමුත් සජබ මුළු වේදිකාවම අද ඒවා අතට අරගෙන. මේ රට ගොඩනඟන හැටි, ආර්ථිකය ගොඩනඟන හැටි, විදේශ සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟන හැටි වැනි ගැඹුරු දේවල් සජිත්ට සාකච්ඡා කරන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා තමයි අර වගේ පහත් ගණයේ කතා එයාගෙ වේදිකාවල කියන්නේ. ඉස්කෝල ටික විදෙස් කෝටිපතියන්ට බාරදෙනවාලු. ප්‍රාදේශීය සභා ටික ලෝකෙ වෙන පළාත් පාලන සභාවලට බාර දෙනවලු හදන්න. අන්තිමට සජිත් කියයි මුළු රටම විදේශවලට බාර දෙනවා කියලා. ඒ වගේ සිඟිති ආතල් කතා තමයි සජිත් කියන්නේ.

The Victory Rally Of Malsiripura Addressing By Anura Kumara Dissanayake

ඊළඟට රනිල් කියනවා එයා ආවේ නැතිනම් ගෑස් ටික නැතිවෙයිලු. ඒ කියන්නේ රනිල් ළඟ වෙන්න ඇති ගෑස් නිධිය තියෙන්නේ. ආයිමත් කියනවා එයා ආවෙ නැතිනම් තෙල් නැති වෙයිලු. ඒ කියන්නේ රනිල් අරාබියේ සුල්තාන්ද? තෙල්, ගෑස් නැති කළේ රනිල් වික්‍රමසිංහලා. අපේ රට ලෝකයේ වාණිජ වෙළඳපොළෙන් ඩොලර් කෝටි 1500ක් අරන් තිබෙනවා. මේ 1500න් ඩොලර් කෝටි 300ක් ගත්තෙ මහින්ද. ඩොලර් කෝටි 1200ක් ගත්තා රනිල්. එයා පාලනය කළ අවුරුදු 4 1/2ට ආසියානු සංවර්ධන බැංකුව ණයවලට අයකරන පොලිය 1%යි, 2%යි. රනිල් වික්‍රමසිංහ වාණිජ වෙළඳපොළෙන් ගත්ත ණයවලට පොලිය 6%යි. 7%යි. එහෙමයි රනිල්ලා මේ රට උගස් තිබ්බේ. මේ රට බේරා ගන්න තමයි මාලිමාවේ ආණ්ඩුව එන්නේ. අපිට විශ්වාසයි. මේ රටේ ජනතාව මේ 21වැනිදාට තියෙන ජනාධිපතිවරණයේදී ඡන්ද පෙට්ටි මාලිමාවේ ඡන්දවලින් පුරවනවා. දැන්නම් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කිසිවෙකුටත්, මොන දේ කළත් වළක්වන්න බැහැ. ඒක ඒ තරමටම සහතිකයි. අපේ ජයග්‍රහණයෙන් පස්සේ අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදමු.

Fred Senevirathne Addressing The Victory Rally Of Malsiripura

“මේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවට නව පුනරුද යුගයකට පා තබනවා”
-ජාතික ජන බලවේගයේ ‘අදිටන’ සාමූහිකයේ රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-

දූෂිත දේශපාලන පක්ෂ තමන්ගේ රැස්වීම් සඳහා මහජනතාව එකතු කර ගැනීමට අරක්කු කාලක්, බත් පැකට් එකක්, අතට මුදලක් දී රැලිවලට කැඳවා ගන්නා පරිසරයක් තුළ කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර මෙතනට රැස්වී සිටින දස දහස් සංඛ්‍යාත ඔබ දුටු විට මා තුළ විශාල ගෞරවයක් ඇති වෙනවා. ඔබ අපිට ශක්තියක්. මගේ කතාවට ප්‍රථම ඔබට සුභ ආරංචියක් දැනුම් දීමට තිබෙනවා. මම අදිටන සමූහයේ ක්‍රියාකාරිකයෙකු ලෙස පසුගිය අවුරුදු 1 1/2ක පමණ කාලය තුළ ලංකාව වටේම ඇවිද්දා. අපේ ව්‍යාපාරය වෙනුවෙන් අපි ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් හමු වුණා. ඒවගේම ඔවුන්ගේ පවුල්වල උදවියත්, වටපිටාවේ මහජනතාවත් සමග කතා බහ කළා. ඒ අනුව අපේ දේශපාලන ගණන් බැලීමට සහ ඒ ලද අත්දැකීම්වලට අනුව මේ වන විට ජාතික ජන බලවේගය දිනවීම සඳහා කෝටියකට ආසන්න ජනතාවක් පෙළගැසී සිටින බව මම නිර්භයවම ප්‍රකාශ කර සිටිනවා.

ඔබේ ආසනයත් ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 30,000කට වඩා වැඩි ප්‍රමාණයකින් අපේ අනුර සහෝදරයා ජයග්‍රහණය කරන බව මම ස්ථිරවම ප්‍රකාශ කර සිටිනවා. එහෙම කියන්නේ මිනිසුන්ගේ සිතුම් පැතුම්වලින් මම උකහා ගත් දේවල්වලින්. මම ඔබගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒක නිසා මා සමග අමනාප වෙන්න එපා. පළමු ප්‍රශ්නය ඔබලා මේ දවස්වල කන්නේ බොන්නේ කොහොමද? මේකට උත්තර දන්න බොහෝ අයට අපහසුයි කියලා මම දන්නවා. අම්ම තාත්තා නොකා හිටියත් දරුවට කන්න දෙන මව්පියන් ඉන්න රටක් මේක.

Malsiripura Victory Rally

මගේ දෙවැනි ප්‍රශ්නය මෑතදී ඔබ අලුත් ඇඳුමක් පැළඳුමක් ගත්තද, පවුලේ අයට එහෙම අරන් දුන්නාද? ඒකටත් දැන් ඔබේ හිතේ තිබෙන උත්තරය මම දන්නවා. මම ඊළඟට අහනවා ඔබ කොපමණ කලකින් චිත්‍රපටයක් බැලුවාද? කියලා. පවුලේ අය සමග නාට්‍යයක් බලන්න ගියාද? ඒකට ඔබේ උත්තරයත් මම දන්නවා. ඔබ විනෝද ගමනක්, වන්දනා ගමනක් ගියාද? ඒ ගැන හිතන්නවත් පුළුවන්ද? අපි කවුරුත් ආසයි පිටතට ගිහිල්ල හෝ ගෙදරට ගෙන්නා ගෙන විශේෂිත කෑමක් බීමක් පරිභෝජනය කරන්න. නමුත් අද අපිට එහෙම කරන්න පුළුවන්ද? මේවට උත්තර ඔබේ හිත ඔබට කොඳුරා කියාවි. ඇයි අපිට මෙහෙම වුණේ. මේකට මෙතෙක් මේ රට පාලනය කළ දේශපාලනඥයන් මෙන්ම මහජනතාව හැටියට අපිත් වගකිව යුතු නොවේද?

නැවතත් මේ පාලකයෝම පත්වුණොත් මේ රටට කුමක් වේවිද? හැබැයි හොඳ වෙලාවට මේ සැරේ එහෙම වෙන්නේ නැහැ. මේ සැරේ ඒ ඔක්කෝම ගෙදර. මේ 21 වැනිදායින් පසු ජාතික ජන බලවේගයේ රජයක් මේ රට තුළ ගොඩ නගනවා නියතයි. ඒ සඳහා අපිට තිබෙන සහතිකය කුමක්ද? ඒ තමයි ජාතික ජන බලවේගයේ නායකයාගේ සිට පහළම සාමාජිකයා දක්වා තිබෙන දේශපාලන භාවිතය. ඔවුන්ට නිවැරදි දැක්මක් තිබෙනවා රට හදන්න ඔවුන්ට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අවසාන වශයෙන් අපි ඔබට එකක් කියනවා. මේ 21 අපේ අනුර සහෝදරයා ස්ථිර ලෙසම ජනාධිපති වෙනවා. ඊළඟට එන මහ මැතිවරණයත් අපි දිනනවා. ඒ වගේම මේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවට නව පුනරුද යුගයකට පා තබනවා.

Show More

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එන්නේ පාලකයො වට්ටපු රට ගොඩගන්න” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අකුරැස්ස – 2024.09.16-) මෙතන රැස්වෙලා ඉන්න දස දහස් ගණන් ජනයා දෙස බලන විට අපි දිනන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. හැබැයි ඒ වගේම අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව මේ දින 04 තුළ අපිට විරුද්ධව කරන්න පුළුවන් සියලුම පන්නයේ කැත වැඩ ටික කරන බවත් ඒ වගේම අපි දන්නවා. ආගම්වාදයේ, […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අකුරැස්ස – 2024.09.16-)

Anura Kumara Dissanayake Addressing The Victory Rally Of Akurassa

මෙතන රැස්වෙලා ඉන්න දස දහස් ගණන් ජනයා දෙස බලන විට අපි දිනන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. හැබැයි ඒ වගේම අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව මේ දින 04 තුළ අපිට විරුද්ධව කරන්න පුළුවන් සියලුම පන්නයේ කැත වැඩ ටික කරන බවත් ඒ වගේම අපි දන්නවා. ආගම්වාදයේ, ජාතිවාදයේ ප්‍රතිවිපාක අපේ රටේ ජනතාව හොඳටම අත්වින්දා අපි දැක්කා. දැන් නැවතත් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ වේදිකාවට ගෙනත් තිබෙනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසලා, තිස්ස අත්තනායක, චරිත හේරත් වගේ අය ආගම හා ජාතිය පාවිච්චි කරලා අපිට අවලාද නගමින් ඉන්නවා. සමහර හාමුදුරුවරු යොදාගෙන කියනවා අපි ආවාට පස්සේ පන්සල්වලට දානෙ වේල නතර කරනවා කියලා. සජිත්ගේ වේදිකාවට නැගපු සමහර හාමුදුරුවන් වහන්සේලා කියනවා, අපි බලයට ආපසු ජාතික කොඩිය නැති කරනවා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි වගන්තිය අයින් කරනවා කියනවා.

සජිත්ලා අපිට මේවා කියන්නේ ජාතිවාදී සංවිධාන තමන්ගේ වේදිකාව උඩ තබාගෙන. සජිත්ගේ වේදිකාවේ ඒවා කියන කොට රිෂාද් බදියුදීනුත් ඒ වේදිකාවේ ඉන්නවා. යාපනයේ ටී.එන්.ඒ. නායකයොත් ඉන්නවා. අද මේ ගොල්ලන්ගේ මැතිවරණ වේදිකාව අවලාදවලට පමණක් සීමා වෙලා. එච්චරටම ඔවුන් අසරණ වෙලා. මේවා අසරණභාවයේ ප්‍රකාශන. ඒවා කලබල වීමේ ප්‍රකාශන. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවහම රටේ ආර්ථික අස්ථාවරභාවයක් ඇති වෙනවලු. බඩු මිල ඉහළ යයිලු. තෙල් නැතිවෙයිලු. ගෑස් නැතිවෙයිලු. ඒවා නැති කළේ කවුද? ඒවා නැති කළේ ඒගොල්ලොනේ. ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ණය අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 15 1/2ක්. ඒ 15 1/2න් 12 1/2ක්ම අර ගත්තේ රනිල් වික්‍රමසිංහගේ අවුරුදු 4 1/2ක කාලය තුළයි. ඒ ගත්ත ණය තමයි දැන් ගෙවා ගන්න බැරිව ඉන්නේ. බැඳුම්කර විකුණලා ගත්ත ණය රනිල් වික්‍රමසිංහගේ කාලයේ ගත්තු ඒවා. මේ රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්න මූලික වැඩ කොටස ඉටුකළේ රනිල් වික්‍රමසිංහලා. එහෙම කරපු රනිල් කියනවා, අපි ආවම ආර්ථිකය වැටෙනවලු. අපි රනිල්ට කියන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එන්නේ ඔය පාලකයො වට්ටපු රට ගොඩගන්න.

The Victory Rally Of Akurassa Crowd

දකුණු කොරියාව, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව අපිට පහළ සිටි රටවල්. අද ඒ රටවල් ඔක්කෝම අපිව පහුකරගෙන ගිහිල්ලා, මහජන ධනය නාස්ති කරමින්, හොරකම්, දූෂණයේ යෙදෙමින් ඉබාගාතේ යන රටක් හදලා, ණය අරගෙන ගෙවා ගන්න බැරි තරමට රට ණය උගුලක හිර කරලා, බෙහෙත් නැති, රැකියා නැති, රටක් හදලා, තරුණ තරුණියන්ට වෙන විකල්පයක් නැතිව රට අතහැරලා යන තත්වයට පත් කරලා තියෙන්නේ මේ කණ්ඩායමයි. ඒ වගේම ව්‍යාපාරික මහත්වරුන්ට ව්‍යාපාර කරගෙන යන්න බැරිව කඩා වැටෙන තත්වයකට පත්කරලා. පාරිසරික අර්බුද හදලා. දැන් ජනතාවට කියනවා තව සැරයක් එයාට දෙන්නලු රට හදන්න. රනිල්, සජිත් ඔයගොල්ලෝ මේ රටට කරපු හරිය හොඳටම ඇති. කරුණාකරලා පැත්තකට වෙන්න. අපි සූදානම් මේ රට භාරගෙන රට පියවරෙන් පියවර ගොඩනඟන්න. මහ බැරෑරුම් ජාතික ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියන්නකො. අඩුම තරමේ මේ පාලකයන් රටේ සරල ප්‍රශ්න ටිකක්වත් විසඳන්න සූදානම් වෙන්න ඕනෑනේ.

මේ ප්‍රදේශයට සතියක් වැස්සොත්, මේ අකුරැස්ස නගරය වතුරෙන් යට වෙනවා. ඒ විතරක් නොවෙයි, අවට ප්‍රදේශවල නගරත් වතුරෙන් යට වෙනවා. දශක ගණනාවක් මේ රට පාලනය කරලා අඩුම තරමේ මේ වතුර ටික කළමනාකරණය කරලා මේ පළාත්වල ගංවතුර පාලනය කර ගැනීමටවත් මේ රටේ පාලකයන්ට වැඩපිළිවෙළක් නැහැ. දැන් ඊයේ පෙරේදා ඩලස් අලහප්පෙරුම කියනවා සජිත් ළඟ ප්ලෑන් එකක් තියෙනවලු. ඩලස්, මහින්ද ළඟත් හිටියා; ගෝඨාභය ළඟත් හිටියා; චන්ද්‍රිකා ළඟත් හිටියා. මෙච්චර කල් පොල් ගෑවද? දැන් කියනවා, සජිත් ළඟ තියෙනවලු මරු ප්ලෑන් එකක්. මේ තිබෙන සියලු බාධක ඉවත් කරලා, මේ පළාත් ගංවතුරෙන් මුදා ගන්න සැලසුම් තිබෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. සැප්තැම්බර් 21 ජයග්‍රහණය ගැන අපිට කිසිදු සැකයක් නැහැ. මෙතෙක් රටේ දේශපාලන සංස්කෘතිය තුළ තිබුණ, පරාජිත පාර්ශ්වවලට හිරිහැර කරන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා.

Anura Kumara Dissanayake At The Victory Rally Of Akurassa

අපි බලය ගත් පසුව රට හදන සැලසුම් ක්‍රියාවට නඟන්න යම් කාලයක් ගත වෙනවා. මොකද, අපි මැජික් පොල්ලක් අතේ තියන් බලයට එන්නේ නැහැ. අපි බලය ගන්නේ ඉන්ද්‍රජාලිකයෙක් ලෙස නොවෙයි. අපි බලය ගන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට. ඒ නිසා මේ කඩා වැටුණු රට ගොඩනැගීම සඳහා පියවරෙන් පියවර අපි සැලසුම් හදලා තිබෙනවා. ක්‍රියාවට නඟන්න. එතකල් ජනතාවට මූලික අවශ්‍යතා සපුරන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ කියනවා 2048 දි එයා රට හදනවා එතකල් ඉන්න කියලා. හැබැයි 2048 වෙනකොට රනිල්ට අවුරුදු 99යි.

ජාතික ජන බලවේගයේ අණ්ඩුව රට හදන සැලසුම් ක්‍රියාවට නගලා ඒවායේ ඵල දරන තෙක් ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා පනවලා තිබෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. විදුලි බිල ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කිරීමේ සැලැස්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රියාවට නඟනවා. ආර්ථිකය හදලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තත්වයක් උදාවෙන තුරු අපේ ආණ්ඩුව ජනතාවට මේ සහන සලසනවා. එතෙක් තෙල් මිල, ගෑස් මිල අඩු කිරීමට පියවර ගන්නවා. සැප්තැම්බර් 21 අපි ජයග්‍රහණය කරලා දිවුරුම් දීලා, ඉතා කෙටි කාලයකින් මේ ජරා, කැත, මජර දේශපාලන සංස්කෘතිය වේගයෙන් ශුද්ධ කරලා දානවා. මහ මැතිවරණය දිනලා අපි මේ රටේ අලුත් ජනතා ආණ්ඩුවක් හදනවා. රටට අලුත් ආදර්ශයන් දෙන, ජනතාව අප ගැන තැබූ විශ්වාසය තහවුරු කරන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය ගොඩඟනවා.

Few Of The Crowd At The Victory Rally Of Akurassa

සජිත් ප්‍රේමදාස කොහෙද ගිහිල්ලා කියනවා එයා ආවහම බාර් පර්මිට් අහෝසි කරනවලු. මම කියනවා සජිත් ප්‍රේමදාසට ඔයාගේ පක්ෂයේ බාර් පර්මිට් ගත්ත කට්ටිය සේරටම ඉස්සරවෙලා අයින්කරලා පෙන්වන්න කියලා. රනිල්ගෙන් බාර් පර්මිට් ගත්තේ සජබ මන්ත්‍රීවරු. ඒ ගොල්ලෝ බෙදාගෙන කරන්නේ ඒ වගේ වැඩ. පුළුවන්නම් නැහැ කියලා කියන්න. මම ඔප්පු කරලා පෙන්වනවා. රනිල්ට කියලා හන්තානෙන් අක්කර 12 1/2ක් ගන්න අවසර ඉල්ලපු කබීර් හෂීම් ඔබලා දකින්න ඇති. රනිල් වික්‍රමසිංහ ගාවට ගිහිල්ල ඇඹරි ඇඹරි මරික්කාර් කාර් පර්මිට් ඉල්ලන හැටි ඔබලා දකින්න ඇති. මේ ගොල්ලෝ එකට බෙදාගෙන කන අය. මේ ගොල්ලෝ දශක ගණන් පාර්ලිමේන්තුවේ හිටියා. මදිද මේ රටටත්, ජනතාවටත් දුන්නු වදය? දැන් ඔයගොල්ලෝ පැත්තකට වෙන්න. මේ රටේ ජනතාවට ගෑස්, විදුලිය, තෙල් අඛණ්ඩව ලබාදීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්නවා.

රනිල් කියනවා අපි ආවහම ඩොලරය අහස උසට නගිනවලු. රනිල් හිතන් ඉන්නේ ඩොලරය කියන්නේ බැලුමක් කියලාද? රනිල් බැලුම උඩ වාඩිවෙලා ඉන්නවා. එයා නැගිට්ට ගමන් ඒක උඩ යනවා. එහෙමද? අපිට සහතිකයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුණට පස්සේ කාලය තමයි මේ රටට වැඩිම ඩොලර් ඇදී එන කාලය. රනිල් නැවත කියනවා එයා නැති වුණොත් රටට තෙල් එන එක නතර වෙයිලු. තෙල් සැපයුම ඇණහිටියිලු. මොකද? රනිල් කියන්නේ අරාබියේ තෙල් ළිඳවල් තියෙන සුල්තාන් කෙනෙක්ද? රනිල් වික්‍රමසිංහලා කළේ රටින් ඩොලර් පිටට යන ආර්ථිකයක් හදපු එක. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරන්නේ ඩොලර් රටට එන ආර්ථිකයක් හදන එක. අපි අනවශ්‍ය දේවල් රටට ගෙන ඒම සඳහා ඩොලර් වැය කරන්නේ නැහැ. හදන්න පුළුවන් හැම දෙයක්ම අපි රට තුළ හදනවා. ඩොලර් උපයන්න පුළුවන් ආර්ථිකයක් අපි හදනවා. බලයට ඇවිත් ඉතාම කෙටි කලකින් අපි මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නඟනවා. ඉන්පසු ආර්ථිකය ගොඩනඟන වැඩපිළිවෙළ පියවරෙන් පියවර දියත් කරනවා. අපි 21 වැනිදා බලය ගන්නේ අන්න ඒ නව යුගයකට මේ රට කැඳවාගෙන යන පරිවර්තනය සඳහායි.

Nandasiri Kimbiyahetti At The Victory Rally Of Akurassa

“හොරු අල්ලන්න දැනට ඉතිරි වී තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගයයි”
-රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි-

අපේ රුහුණු විශ්වවිද්‍යාලය ස්ථාන 07ක ව්‍යාප්ත වෙලා තිබෙනවා. අපි මේ ළඟදි විශ්විවිද්‍යායේ ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ආදීන් අතර එක්තරා සමීක්ෂණයක් කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරු 590ක් දැනට සක්‍රීය සේවයේ ඉන්නවා. ඒ අතරින් 50දෙනෙක් පමණ පිටරට ගිහිල්ලා දැනට ලංකාවේ නැහැ. ඉතිරි ආචාර්යවරුන් 550දෙනෙක් අතර, ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අපි සමීක්ෂණයක් කළා. ඒ අනුව රනිල් වික්‍රමසිංහට 16යි. නාමල් රාජපක්ෂට අනුග්‍රහය දක්වන 04දෙනයි. දිලිත් ජයවීරට අනුග්‍රහය දක්වන එක්කෙනයි. කිසිදු මතයක් පළ නොකරන 03දෙනයි. සජිත් ප්‍රේමදාසට අනුග්‍රහය දක්වන 12දෙනයි. ඒ ටික එකතු කළාම ඔක්කෝම 36යි. 590න් ඉතිරි සියල්ල අනුර කුමාර දිසානායක සහෝදරයාට. ඒ සියල්ලම අද ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. එහි ප්‍රතිශතය 87%ක්.

ඔබ කලින් හිතන්න ඇති ඔබේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තු යන අය ඔබේ මතය නියෝජනය කරයි කියලා. නමුත් ඒක එහෙම වුණාද? පසුගිය කාලයේ ඔබ ඡන්දය දුන්න අය දිහා බලන්න. ඔබ කිවුවා රනිල් මහා බැංකුව කැඩුවා, වරාය වික්කා ඒ නිසා රනිල්ව එලවන්න ඕනෑ කියලා. ඒකට අපිට ඡන්දය දීලා වරමක් දෙන්න කිවුවා. ඔබ වැඩිම මනාප දීලා මේ පළාතෙන් යැවුවා නිපුණ රණවකව. දෙවැනියට කරුණාට දුන්නා. තුන්වැනි තැනට මනාප දීලා යැවුවා ඩලස් අලහප්පෙරුමව. හතර වැනි තැනට යැවුවා කංචන විජේසේකරව. පස්වැනි තැනට යැවුවා මහින්ද යාපාව. දැන් මොකද වෙලා තිබෙන්නේ. ඩලස් ගිහිල්ලා නැවතුණා සජිත් ළඟ. අනෙක් අය රනිල්ව ජනාධිපති කරන්න ඡන්දය දුන්නා. දැන් ඒ ගොල්ලෝ නියෝජනය කරන්නේ ඔබේ මතයද?

Crowd At The Victory Rally Of Akurassa

අපි නායකත්වයට තෝරා ගන්නා කෙනාට නායකත්ව ගුණාංගද තිබිය යුතුයි. ඔබ මේ ජනාධිපතිවරණයේ ඉදිරි පෙළ ඉන්න තුන්දෙනා සසඳා බලන්න. පසුගිය ‘සටන’ වැඩසටහන ඔබ බැලුවා නම්, එයම ප්‍රමාණවත් අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපතිකමට සුදුසුයි කියලා තීරණය කරන්න. අනෙක් නායකයෝ මොනවද කියන්නේ. ‘මම තමයි පොර. මට කාගෙවත් උපදෙස් ඕන නැහැ’ කියලා. හැබැයි අනුර සහෝදරයා කිසිම දාක එහෙම කියලා නැහැ. නායකයෙක් සතු ගුණාංගයක් තමයි ඒ ඒ කුසලතා තිබෙන පිරිස් හඳුනාගෙන, ඔවුන්ගෙන් රටට උකහා ගන්න පුළුවන් හැකියාවන් කළමනාකරණය කරගෙන, ඔවුන්ගෙන් රටටත්, ජනතාවටත් ගත හැකි සේවය ලබා ගැනීම. අනුර සහෝදරයා එය මැනවින් අවබෝධ කරගෙන ඉන්නවා. ඒක ඔබ දැන් දකිනවා. ඒක ඔබ අත්විඳිනවා. ඊළඟට හැමෝම දැන් කියනවා නේද දූෂණය, වංචාව නතර කරනවා කියලා. ඒකට ඔබ අප හැමෝම කැමතිනේ. නාමල් රාජපක්ෂත් එහෙම කියනවා නේද? එහෙනම් ඒක පටන් ගන්න ඕනැ එයාලගේ ගෙදරින්.

දූෂණය නතර කරන්න නම් එම නායකයා දූෂිතයෙක් නොවෙන්න ඕනෑ. වංචාකාරයෙක්, කොමිස්කාරයෙක් නොවෙන්න ඕනෑ. අල්ලස් ගත්ත කෙනෙක් නොවෙන්න ඕනෑ. අත් දෙකේ ලේ තැවරුණු කෙනෙක් නොවෙන්න ඕනෑ. හිතලා බලන්න මේ සුදුසුකම් මේ තුන්දෙනාගෙන් කාටද තියෙන්නේ කියලා. සමහරු 88-89 ගැන කියලා ජාතික ජන බලවේගයට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. රනිල් ඕක කියන්නෙ නැහැ. කියපු ගමන් එළියට එනවා බටලන්ද, සූරියකන්ද. සජිත් ප්‍රේමදාස ඒක කියන්නේ නැහැ. එයාගේ ගෝලයෝ තමයි කියන්නෙ. ඇයි ඒ කියලා ඔබම හිතලා බලන්න. දැන් මේ මොනවා කිවුවත් මේ වන විට දූෂිතයෝ කොතනද ඉන්නේ කියලා බලන්න. රනිල්ව වටකරගෙන කට්ටියයි, සජිත්ව වටකරගෙන කට්ටියයි. අර පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවෝ තමයි ඒ දවස්වල කිවුවේ සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලෙන් කෝටි 120ක් හොරා කෑව කියලා. හැබැයි දැන් ඒ හාමුදුරුවෝ ඉන්නවා සජිත් ළඟ. සජිත් ළඟ ඉඳන් කියනවා, එයාට තමයිලු රට ගොඩගන්න පුළුවන්. ඒ දවස්වල ඩලස් අලහප්පෙරුම කිවුවා, සජිත් ප්‍රේමදාස නිවාස සංවර්ධන අධිකාරිය බාරව ඉන්න කාලෙ ඒකෙ රුපියල් කෝටි 640ක විතර වංචාවක් සිදු වුණා කියලා. ඒ ගොල්ලෝ කවුරුවත් හොරු අල්ලන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම්, හොරු අල්ලන්න දැනට ඉතිරි වෙලා තිබෙන එකම බලවේගය තමයි ජාතික ජන බලවේගය.

අනුර සහෝදරයාගේ දැක්ම දිහා බලන්න. ඔහුට තිබෙනවා අපට නොපෙනෙන, ඔහුට පෙනෙන ඉදිරි දැක්මක්. අනෙක් අයට මේ රටේ දැවෙන තැවෙන ප්‍රශ්නවලට තියෙන්නේ සරල සිල්ලර ‘ටිං ටිං උත්තර’ පමණයි. හරියට අර ඉංග්‍රීසි පුළුවන් නිසා ‘ඉංග්‍රීසියෙන් කතා කරලා සුද්දන්ගෙන් රටට ආධාර ගන්න තමාට පුළුවන්’ වගේ ලොසින්ජර කතා. සජිත් තව වෙලාවක කියනවා අලි මිනිස් ගැටුමට එයා ළඟ තියෙනවාලු උත්තරයක්. මොකක්ද උත්තරය එයා ළඟ තියෙනවලු අලි එලවන බලගතු මන්තරයක්. මේ වගේ පිස්සු කතා කිය කියා යන නායකයෙක් නොවෙයි ජාතික ජන බලවේගයට ඉන්නේ. අනුර සහෝදරයා අපේ රට ගොඩනඟන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කර තිබෙන්නේ මේ රටේ ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න පළපුරුද්ද, හැකියාව, විශේෂඥ දැනුම, අත්දැකීම් තිබෙන විද්වතුන් එකතු කරලා. රට හදන ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න මේ 21 වැනිදාට ඔබේ වටිනා ඡන්දය දසලක්ෂ ගණනින්, කෝටියකින් මාලිමාවට ලබාදී අනුර සහෝදරයා ජනාධිපති කරවන්න. රට හදන්න එකතු වෙන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

Show More

“පරාජය හමුවේ වියරුව හැසිරෙන පිරිස්වල ව්‍යාජ ප්‍රචාර පිළිබඳව අවදියෙන් ඉන්න” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.17-) කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙනවා වාගේම සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතිනවා. මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම් සමහර මාධ්‍ය නාලිකා පාවිච්චි කරමින්, විවිධ අපහාස, මඩ, අවලාද ගෙන යනවා. තමන්ගේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කර දී, […]

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.17-)

කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙනවා වාගේම සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතිනවා. මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම් සමහර මාධ්‍ය නාලිකා පාවිච්චි කරමින්, විවිධ අපහාස, මඩ, අවලාද ගෙන යනවා. තමන්ගේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කර දී, ජනතාවගේ ඡන්දය ලබා ගන්නවා වෙනුවට ජනතාව තුළ භීතියක් නිර්මාණය කිරීම සඳහා සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහට එකතු වී සිටින පොහොට්ටු කණ්ඩායම සහ එවැනි තවත් කණ්ඩායම් ජාතික ජන බලවේගය මත ප්‍රචණ්ඩත්වයේ ලේබලය අලවන්න උත්සාහ කළා. ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කළ තැන්වලින්, ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු භාර දී තිබෙන පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් අපට කල් ඇතිව තොරතුරු ලැබුණා. රටේ මහජනතාව තමන්ගේ බලයක් හැටියට මහජන බලයක් ගොඩනඟන්න සූදානමින් ඉන්නේ. අපේ ප්‍රතිවාදියාගේ ප්‍රචාරක කටයුතුවලට කුමන හෝ හේතු නිසා සම්බන්ධ වීමට සිදු වී තිබුණත්, ඔවුන්ගේ හෘදය සාක්‍ෂියට අනුව කුමන්ත්‍රණකාරී කටයුතු අප වෙත හෙළි කරමින් සිටිනවා. මෙයට මාස තුනකට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු භාර දුන් ආයතනය තුළින් ඔහුගේ මූලික සැලැසුම් අපට ලැබුණා. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපව සම්බන්ධ කර දැක්වීමට දරන ලද උත්සාහය මුල් වටයේදීම අසාර්ථක වුණා.

ඊට අමතරව සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත්, පොහොට්ටුවේ කණ්ඩායමත් එවැනිම කටයුතු සැලසුම් කර තිබුණා. අනෙකුත් සියලු කටයුතු අසාර්ථක වූ පසුව 2022 මැයි මස 09 වැනිදා කටුනායක සහ යම් වෙලාවක මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදු වූ යම් යම් ක්‍රියා වර්තමානයේ සිදු වන ඒවා බව පෙන්වන්න වීඩියෝ පට අලුතින් මුදාහැර තිබෙනවා. ගෝල්ෆේස් සාමකාමී අරගලයේ සිටි මහජනතාවට ආණ්ඩුවේ මැරයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඇති වූ යම් යම් සිද්ධීන් සම්බන්ධ වීඩියෝ පට මේ ලෙස මුදාහරිනවා. ආරක්‍ෂක රාජ්‍ය ඇමැති, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගෝල්ෆේස් පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන් දැයි හෙළි කළා. ප්‍රචණ්ඩකාරීන් මෙහෙයැවූ, මහින්ද රාජපක්‍ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳව වීඩියෝ පටවලින් කවුරුත් දැක්කා. ගෝල්ෆේස් පහර දීමට පසුව මහජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ රටෙන් පලා යාමට සූදානම් වන පිරිස් පිළිබඳව මහජනතාවගේම ඇතැම් පිරිස් පූර්ව අවධානයක සිටියා. එවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවන්නට ජනතාව පාඩම් ඉගෙනගෙන තිබෙනවා. අප මුලින් ම කියන්නේ, පැරැණි වීඩියෝ දැක්කාට කලබල නොවන ලෙසයි. මාලිමාවේ යැයි හැඟවෙන දුරකථන ඇමතුම් ලබාදී සමහර අයට තර්ජනය කිරීම් පිළිබඳව අපට වාර්තා වෙනවා. එවැනි තර්ජනය කිරීම් ලැබෙන දුරකථන අංක පිළිබඳව වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපටත් ඒ පිළිබඳව දැනුම් දුන්නොත්, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කරනවා. අපට ඡන්දය නොදෙන හෝ වෙනත් මතයක් දරන කිසිවකුට මෙවැනි දුරකථන ඇමතුම් ලබා දීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ.

අපට චෝදනා එල්ල කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඇති වූ ප්‍රශ්නය, මහජන පුස්තකාලයේ පහර දීම වාගේම ඉඳුරුව රෝහලේ රෝගියකු සම්බන්ධ සිද්ධියක් ආදී වශයෙන් හුදෙකලා සිදුවීම් නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කළා. එයද අසාර්ථක වුවත්, එවැනි ක්‍රියාමාර්ග ඉදිරි දින කිහිපයේ දීත් ගත හැකි බවට අපි අනතුරු අඟවනවා. තවත් සමහර තැනක මාලිමාවේ ටී ෂර්ට්, කැප් තොප්පි පැළඳගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට උත්සාහ කළොත්, වහාම පොලිස් ස්ථානවලට දැනුම් දෙන්න. දැන් සිටින පාලකයන් මෙන්ම පැරැණි පාලකයන්ද මහජන බදු මුදල්වලින් ගෙවූ නාස්තිකාර ජීවිත අහිමි වීම වැළැක්වීමට මේ වැනි කූට උපක්‍රම යොදන්න උත්සාහ කරනවා. නිල නිවාසවල හැඳි-ගෑරුප්පු, ඇඳ-ඇතිරිලි, මදුරු කොයිල් වැනි දේ පවා ගන්නේ මහජනතාවගේ බදු මුදල්වලින්. ඒ වරප්‍රසාද අහිමි විම පිළිබඳව භීතියට පත් වූවන් ගෙන යන ප්‍රචාරවලට හසු වෙන්න එපා. සැප්තැම්බර් 22 වැනිදායින් උදා වන්නේ පශ්චාත් මැතිවරණයේ සාමකාමීම අවස්ථාවක්. අලුත් ජනාධිපතිවරයා විසින් නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට, පොලිසියේ ස්වාධීනත්වය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවකාශය සලසා දෙනවා. තව පැත්තකින් ජනතාවගේ හදවත් තුළ තිබෙන ආගමික භක්තිය මැතිවරණ වෙනුවෙන් යොදා ගන්නා ආකාරය අප 1950 ගණන්වල සිටම දැක තිබෙනවා. අවශ්‍ය වේලාවට ආගම ඔවුන්ගේ දේශපාලන තුරුම්පුවක් ලෙස යොදා ගන්නවා. විශේෂයෙන් සජිත් ප්‍රේමදාසගේ ගෝලයන් විසින් ඉතාමත්ම සාහසික සහ මුග්ධ ලෙස හාමුදුරුවන් වහන්සේලා තුන්නමකුත් යොදාගෙන තිබෙනවා. මහා සංඝරත්නය මෙන්ම බෞද්ධ ජනතාවත් මේ ප්‍රචාර පිළිගන්නේ නැහැ. නමුත්, සමාජ මාධ්‍යවල මෙන්ම ප්‍රධාන මාධ්‍යවලත් යම් ඉඩක් ඒ වෙනුවෙන් යොදාගෙන තිබෙනවා.

අප යළි යළිත් අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ සඳහන් පරිදි බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී බුදුදහම පෝෂණය කිරීමේ වගකීම රජය සතුව පවත්වාගෙන යන බවයි. ඒ වාගේම කතෝලික, හින්දු, ඉස්ලාම් කියන අනෙකුත් ආගම්වලටත් අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය ක්‍රියා කරන අතර, ඒ ආගම් ඇදහීමට ජනතාවට තිබෙන අයිතිය පිළිගන්නවා. එසේ තිබියෙදී, සජිත් ප්‍රේමදාසගේ කොන්ත්‍රාත්තුව භාර ගත් හාමුදුරුවන් වහන්සේලා කිහිප නමක් සහ තවත් කිහිප දෙනෙක් දිගින්දිගටම අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. මෙයට අදාළ එක පෝස්ට් එකක්වත්, එස්.එම්.එස්. එකක්වත් ෂෙයාර් කරන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි පෝස්ට් නිර්මාණය කරන අයට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර තිබෙනවා. තවත් පැමිණිලි ප්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ වාගේම වීඩියෝ පට විකෘති ලෙස සංස්කරණය කරමින්, මුදාහරිමින් සිටිනවා. අපේ ඕනෑම ප්‍රතිපත්තියක් විවේචනය කළාට කමක් නැහැ. ඒ අයිතිය ජනතාවට තිබෙනවා. අප පිහිටුවන්නේ, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ජනතාව වෙත උපරිම වශයෙන් තහවුරු කෙරෙන ආණ්ඩුවක්. සජිත් ප්‍රේමදාස, තුෂාර ඉඳුනිල්, තිස්ස අත්තනායක, සුජීව සේනසිංහ, පාහියංගල ආනන්ද සාගර හිමි වැනි අය ගෙන යන කූට ප්‍රකාශ සහ කූට ලේඛන සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශවලට අපි කර තිබෙන පැමිණිලි පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ආකාරය ගැන අප විමසිල්ලෙන් සිටිනවා.

මේ රටේ ජනතාව එක කොඩියක් යටට එකතු වී අලුත් දේශපාලන ගමනක් යන්න සූදානම් වීම නොඉවසන පිරිස් දෙමළ සහ මුස්ලිම් ජනතාව රවටමින් සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඒ ලෙසම ක්‍රියාත්මක කරන බවට සමහර කණ්ඩායම් සමහර තැන්වලදී පොරොන්දු දී තිබෙනවා. දකුණට ඇවිත්, එවැනි පොරොන්දු වහන්න ආගම් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරනවා. බෞද්ධ ජනතාව වාගේම මුස්ලිම් ජනතාව තුළත් භීතියක් ජාතික ජන බලවේගයට එරෙහිව ඇති කරන්න පත්‍රිකා බෙදමින්, උත්සාහ කරන කණ්ඩායම් පිළිබඳව අපට වාර්තා වී තිබෙනවා. රාවුෆ් හකීම්ට එරෙහිව එන්තරවාසියක් යැවුවා. ඉන් පසුව ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර ගන්න උත්සාහ කර තිබුණා. නමුත්, සමහර කණ්ඩායම් මුස්ලිම් පල්ලි ළඟ අපට එරෙහිව පත්‍රිකා බෙදීමට සූදානම් වීමේ තොරතුරු ලැබී තිබෙනවා.

මේ බංකොලොත් දේශපාලනයට රටට අනාගතයක් උදා කරන්න බැහැ. අපට ලෝකයේ අත්පත් කරගත යුතු තැනක් තිබෙනවා. ඒ වෙනුවෙන් ආර්ථික ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබා දී රට ගොඩනඟන්න ඕනෑ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ගෝලබාලයෝ රොත්ත තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවට පැහැදිලි කරනවා වෙනුවට අපට එරෙහිව මඩ, අවලාද ප්‍රචාර දියත් කරමින් සිටිනවා. තව පැත්තකින් සැප්තැම්බර් 21 අනුර සහෝදරයා ජයග්‍රහණය කළාම රටේ තෙල්, ගෑස්, භාණ්ඩ හිඟයක් ඇති වන බවට ප්‍රචාරය කරන්නට උත්සාහ කරමින් සිටිනවා. නමුත්, මෙවැනි ප්‍රචාරවලට කිසිසේත් ම බිය නොවන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ඡන්දයක් වැනි අවස්ථාවල ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් විසින් තමන්ගේ මෙරට තුළ සිටින පුරවැසියන් වෙත සාමාන්‍යයෙන් නිකුත් කරනු ලබන නිවේදනයක් තිබෙනවා. තමන්ගේ රටවල පුරවැසියන් විදේශ රටවල සංචාරයේ යෙදෙන අවස්ථාවල දී සංචාරක ගමනාන්තයේ රටවල් තුළ මැතිවරණ පවත්වනවා නම්, ඔවුන් සාමාන්‍යයෙන් මෙවැනි නිවේදන නිකුත් කරනවා.

ප්‍රචාරක කටයුතුවලට ඉතිරි වී තිබෙන අවසන් පැය 36 සහ ඉන් පසුව ඡන්දය ආරම්භ කිරීමට පවතින පැය 48කට අඩු කාලසීමාව තුළ පරාජය හමුවේ වියරුව හැසිරෙන පිරිස් ගෙන යන ප්‍රචාර පිළිබඳව අවදියෙන් ඉන්න. අතීතයේ දේශපාලන අත්දැකීම් සමඟ හොඳින් කල්පනා කර මේ දේශපාලන බල හුවමාරුව සාමකාමීව සිදු කරන්න එක් වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතා රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැත්වූ සජීවී සාකච්ඡාවෙන් මතු වූ කරුණු පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

සජිත් ප්‍රේමදාස සාමාන්‍යයෙන් සාකච්ඡා මඟහැර යන කෙනෙක්. ඡන්දයට පෙරදී පවා හැම රූපවාහිනී නාලිකාවකම පක්‍ෂ නායකයන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ගෙන්වාගෙන සම්මුඛ සාකච්ඡා පවත්වනවා. අපේ පක්‍ෂයේ නායක, අනුර කුමාර සහෝදරයා මෙම වැඩසටහන්වලට ඇති තරම් සහභාගී වී තිබෙනවා. මාධ්‍යවේදීන් නඟන ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දී තිබෙනවා. කොළ කෑල්ලක්වත් අතේ නැතිව හොඳ මතක ශක්තියකින්, සංයමයකින් පිළිතුරු ලබා දීම පිළිබඳව විශේෂ අගැයීමක් සමාජයේ පවතිනවා. එවැනි අවස්ථාවකට සජිත් ප්‍රේමදාස සහභාගී වෙනවා අපි දැක්කේ නැහැ. සමහර මාධ්‍ය ආයතන ඔහුට ආරාධනා කර තිබුණත්, ඒවායින් මඟහැර සිටියා. ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා අතර විවාදයක් පවත්වමු කියලා සූදානමක් තිබුණා. ජාතික ජන බලවේගය පැත්තෙන් එය සම්බන්ධීකරණය කළ මා දින ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නා. අප දින අටක් ඔහුට ලබා දී තිබුණා. එම දින අටම ප්‍රතික්‍ෂේප කළා. අවසානයේ දී ඔහු අපට දිනයක් ලබා දෙන ලෙස දැන්වූවා. ඒ ආවෙත් නැහැ. අපට ආරාධනා කළ නාලිකාවකට ගොස් සජිත් ප්‍රේමදාස නැතිව අපට ඒ සාකච්ඡාව තියන්න සිදු වුණා. සජීවී සාකච්ඡාවලට ඔහු බයයි. ගෝඨාභය රාජපක්‍ෂටත් ඔය වැනි තත්වයක් තිබුණා. සමාජ මාධ්‍යවල මෙන්ම රූපවාහිනී මාධ්‍යවල එවැනි සාකච්ඡා ගණනාවක් ඉදිරියේදීත් පැවැත්වෙනවා.

Show More

නබිතුමන් මෙන් වෙනස් ලෙස සිතීමේ ආරම්භකයින් වෙමු!

(-Colombo, September 16, 2024-) ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහම්මද් නබිතුමාගේ උපන් දිනය හෙවත් මිලාද් උන් නබි දිනය අදට (16) යෙදී තිබේ. එය උත්සවාකාරයෙන් සමරනු ලබන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමු. දුර්වලව, බලවත් ගෝත්‍රවල යටත්වීම්වලට ලක්වෙමින් අරාබිකරය පුරා විසිරී පැවති කුඩා කුඩා පාලන ප්‍රදේශයන් එක් කරමින් අරාබියට ශක්තිමත් රාජ්‍යයක් බිහි කළේ […]

(-Colombo, September 16, 2024-)

ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහම්මද් නබිතුමාගේ උපන් දිනය හෙවත් මිලාද් උන් නබි දිනය අදට (16) යෙදී තිබේ. එය උත්සවාකාරයෙන් සමරනු ලබන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමු.

දුර්වලව, බලවත් ගෝත්‍රවල යටත්වීම්වලට ලක්වෙමින් අරාබිකරය පුරා විසිරී පැවති කුඩා කුඩා පාලන ප්‍රදේශයන් එක් කරමින් අරාබියට ශක්තිමත් රාජ්‍යයක් බිහි කළේ නබිතුමාය. එවැන්නක් කළ හැකි යැයි කිසිවෙකුත් විශ්වාස නොකළ යුගයක වෙනස් ලෙස සිතූ නබිතුමා, ඒ වෙනස් ලෙස සිතීමේ ආරම්භකයා මෙන්ම එය ක්‍රියාවට නැගූ ආගමික නායකයෙක්ද විය.

සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව සහෝදරත්වයේ නාමයෙන් එකට අත්වැල් බැඳගනිමින් නව වෙනසක් අබිමුව සිටින මොහොතක වෙනස් ලෙස සිතමින්, රටේ සාම්ප්‍රදායික ගමන වෙනස් කරලන්නා වූ ඒ සැබෑ වෙනස සමග පෙළගැසීමට මිලාද් උන් නබි දිනය ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ශක්තිය සහ ධෛර්ය ගෙන දෙනු ඇතැයි අපි සුභපතමු.

අනුර කුමාර දිසානායක

ජනාධිපති අපේක්ෂක

ජාතික ජන බලවේගය

2024.09.16

Show More