Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“මුළු රටේම ඉන්න කාන්තාවන් වටා කේන්ද්‍රගතවී තිබෙන පවුල්වල ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනේන්නේ නැහැ.” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-

-Colombo, January 05, 2024- මේ වෙනකොට අපේ රටේ ජනතාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දරාගත නොහැකි අන්දමේ බඩු මිල වැඩිවීමයි. පවුලේ ගෘහණියට, අපේ අම්මලාට බඩු මිල වැඩිවීමේ පීඩාව වැඩියෙන්ම දැනෙනවා. මුළු රටේම ඉන්න කාන්තාවන් මුහුණ දෙන පවුලේ ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනේන්නේ නැහැ. 2024 අවුරුද්ද ලබද්දී සෑම කෙනෙකුටම දැනුනේ මහ භයානක ආර්ථික කඩාවැටීමක සේයාවක්. හෙට දවසේ ජීවත් වෙන්නේ […]

-Colombo, January 05, 2024-

මේ වෙනකොට අපේ රටේ ජනතාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දරාගත නොහැකි අන්දමේ බඩු මිල වැඩිවීමයි. පවුලේ ගෘහණියට, අපේ අම්මලාට බඩු මිල වැඩිවීමේ පීඩාව වැඩියෙන්ම දැනෙනවා. මුළු රටේම ඉන්න කාන්තාවන් මුහුණ දෙන පවුලේ ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනේන්නේ නැහැ. 2024 අවුරුද්ද ලබද්දී සෑම කෙනෙකුටම දැනුනේ මහ භයානක ආර්ථික කඩාවැටීමක සේයාවක්. හෙට දවසේ ජීවත් වෙන්නේ කොහොමද, වැට් බදු බරට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන මහා කම්පනයක් සියලු දෙනාටම තිබුණේ. පත්තරේ එක පැත්තක අවුරුදු සුබ පැතුම් පළකර තිබුණත් අනෙක් පැත්තේ ජනවාරි පළමුවැනිදාම වැට් වදින හැටිත් තිබුණා. “භාණ්ඩ වර්ග 97කට අලුතින් වැට් ගහනවා, ඩීසල්, පෙට්්‍රල්, ගෑස්වලටත් වැට් වදිනවා. මේ නිසා උද්ධමනය වැඩිවෙනවා.” වැනි විවිධ මාතෘකාවලින් ප්‍රවෘත්ති පළවෙලා තිබුණා. අම්මලා නිරාහාරව සිටිමින් දරුවන්ට එක වේලක් හැර එක වේලක් හෝ කන්න දෙන්න පෙළඹේන්න තරම් පීඩාකාරී උද්ධමනයක් තිබෙන්නේ. දරුවන්ගේ දුක, කාන්තාවනගේ දුක, ජීවන බර, ආණ්ඩුවට, ඇමතිවරුන්ට තේරෙන්නේ නැහැ.

මිනිසුන්ගේ ආදායම රුපියලකින්වත් වැඩිවෙලා නැහැ. රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10000/-කින් වැඩිකරන බව කීවත් අනෙක් සියලු ජනතාව මත පටවන වැට්බදු බර දරාගන්නේ කොහොමද? 2024 අයවැය සම්මත කර ගන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ගෙම්බන් වගේ පනින්න පටනගෙන තිබෙනවා. නමුත් ඔවුන් සම්මත කර දුන් අයවැය අනුව භාණ්ඩ හා සේවා මත මේ වර්ෂයේදී රුපියල් බිලියන 2235ක් අයකර ගන්න සූදානම් වෙනවා. මේ දක්වා 15%ක් වූ වැට් බද්ද 18% දක්වා වැඩිකර තවත් භාණ්ඩ හා සේවා 97ක් අලුතින්ම එකතු කර එක්වරම 18%ක බද්දක් ගැහීමෙන් මේ රුපියල් බිලියන 2235 එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ බදු ගහන්නේ රටේ සංවර්ධනයට නොවෙයි.
ජනවාරි මාසයේ සිට එක පුද්ගලයෙකුට මාසයකට රුපියල් 38000ක ණය පොලී ගෙවීමට සිදුවී ඇති බව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරාල පෙන්වා දී තිබෙනවා. අපි ගෙවන බදුවලින් මේ තරම් විශාල ණය පොලියක් ගෙවිමට සිදුවි තිබෙන්නේ සංවර්ධනයේ මුවාවෙන් ණය අරගෙන කොල්ලකෑම කළ නිසයි. රාජ්‍ය ආදායමෙන් 93%ක් බදු මගින් ලබාගන්න ආණ්ඩුව ක්‍රියාකර තිබෙනවා.
මේ විදිහට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත බදු පනවමින් ජනතාවට කියන්නේ තණකොළ කන්නද? අපේ රටේ ජනතාව මත බදු ගහලා හෙම්බත් කරලා, පීඩාවට පත්කර, නිහඬකර තබන්න ආණ්ඩුව සූදානම් වුවත් ජනතාව ඊට සූදානම් නැහැ. ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට ගම්නියම්ගම් කරා ගිහින් ආර්ථික ඝාතකයන් කවුද කියන එක ජනතාවට පැහැදිලි කරනවා. මේ බදු එකතු වුණාම අපේ රටේ මන්දපෝෂණයට, ගැබිණි මව්වරුන්ගේ නීරක්තියට මොකද වෙන්නේ? දරුවන්ගේ අනාගතය අනාරක්ෂිතයි. අපේ අම්මලාට පටිතදකර ගන්න කියන පාලකයන් සියලු සුඛ විහරණයන් බුක්ති විඳිනවා. දැන් අපිට කාලය ඇවිත් තිබෙන්නේ මේ ක්‍රමය වෙනස් කර, ආර්ථික ඝාතකයින්ට දඬුවම් දෙන්න. ආර්ථික ඝාතකයින් පිල් මාරුකර, ඇඳුම් මාරුකර බලයට එන්න සූදානම් වෙනවා. ඒ තත්වය වෙනස් කරන්න ගැහැණුන් ළඟ ඉතිරි වී තිබෙන්නේ ධෛර්යය විතරයි. මෙ ධෛර්යයෙන් අලුත් රටක ගොඩනඟන්න ජාතික ජන බලවේගය සමග එක්වන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.

“රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැහැ.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්

අවුරුදු සුභ පැතුම් එවන කාලයට අපිට කෙටි පණිවිඩ ලෙස ලැබුණේ භාණ්ඩ හා සේවා මිල වැඩිවීම පිළිබඳ පණිවිඩයි. ඒ තුළින් මේ අවුරුද්ද සුබ කරගන්න පෙළ ගැසෙන්නේ කොහොමද කියන එකයි අපිට සාකච්ඡා කර ගන්න වී තිබෙන්නේ. වැට් බදු වැඩිකිරීමට කලින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෑතකදී කළ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ලංකාවේ නිවාස 60.5%කගේ මාසික ආදායම පහත වැටී අපේ නිවාස 91%ගේ මාසික වියදම වැඩිවෙලා. මේ සංඛ්‍යා දත්තවල 91%ක් කීවාට නිවාස සියයට සියයකම වගේ පවතින්නේ මෙවැනි තත්වයක්. අවු: 03 – 21ක් අතර අපේ දරුවන්ගේ අධ්‍යාපනය 54.9%කින් බිඳවැටෙන්න ආර්ථික අර්බුදය හේතුවී තිබෙන බව එම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙනවා. දෛනිකව කුලී ලබන අය අදටත් රුපියල් 1500/- -2000/- අතර ආදායමක් ලබන්නේ. තවත් සමහර අය දවසට රුපියල් 1000/-ටත් අඩුවෙන් වැඩ කරනවා. දවසට රුපියල් 2000/- ගානේ ගත්තත් මාසයකටම ලැබෙන්නේ රුපියල් 60,000/-යි. ලයිට් බිල්, වතුර බිල්, ප්‍රවාහන වියදම් දරා ගනිමින් ආහරපාන ටිකවත් ගන්නේ කොහොමද? දරුවන් සහ මව්පියන් ඉන්න පවුල්වල මේ රුපියල් 60,000/- ජීවත් වෙන්න ප්‍රමාණවත් නොවෙන නිසා ආච්චිලා පවා වැඩ සොයාගෙන යනවා.

අපේ ගෘහණියන්, ගැහැනුන්, පවුල් සංස්ථාව මෙවැනි අර්බුදයක සිටින අතර හදිසියේ රෝගී වුවහොත් රජයේ රෝහලකින් පවා කරගත නොහැකි පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් කරගත යුතුයි. ඖෂධ මිලදී ගත යුතුයි. මේ නිසාම 2023 අගභාගය වන විට රන් භාණ්ඩ උගස් තබා ණය ලබාගැනීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉස්සර රන් භාණ්ඩ උකස් තබා ණය ගත්තේ හදිසියකට වුණත් දැන් එදිනෙදා ආහාරපාන ලබාගන්න, ලයිට් බිල් ගෙවා ගන්න, උකස් ණය ගන්න සිදුවී තිබෙනවා.

පාසල් වාරය අලුතින් පටන්ගන්නකොට අලුත් පොත් ලැයිස්තුවට රුපියල් විසි දහසේ සිට විසිපන්දාහ දක්වා මුදලක් වැයකරන්න සිදුවී තිබෙනවා. දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුල් මේ බර දරාගන්නේ කොහොමද? අපේ කුටුම්භ තුළ ශාරීරික පීඩනයට, මානසික පීඩනයට ගොදුරුවී පවුල් සම්බන්ධතා පවත්වාගෙන යාමත් ගැටලුවක්වී තිබෙනවා. සමාජ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. එකතු කරගත යුතු වුවත් එකතු කර නොගත් බදු රුපියල් බිලියන 900 ඉක්මවා තිබෙන බව ඇතැම් වාර්තා සඳහන් කරනවා. සාමාන්‍ය ජනතාව මත අලුතින් වැට් බදු පනවන්නේ මෙන්න මේ ආකාරයට දූෂණය, හොරකම, වංචාව තවදුරටත් කරගෙන යන්න ඉඩදී තිබෙන පසුබිමකයි. ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට අපි රටේම කාන්තාවන් ඇතුළු සියලු දෙනා දැනුවත් කරමින් ඉදිරියට යනවා. තමන්ගේ අයිතීන් දිනාගැනීමට නිර්භයව මේ ගමන යන්න එන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. සතුට කියන්නේ අපේ අයිතියක්. රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැහැ.

“ජාත්‍යන්තරයට අයි.එම්.එෆ්. එකට මැජික් පෙන්වා සතුටු කිරීමේ පදනම මත ආණ්ඩුව ක්‍රියාකරනවා.”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

රටක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු කිහිපයක් තිබෙනවා. සාධාරණවීම, සමස්ත ආර්ථිකයේ කොටසක්වීම, විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම, අක්‍රමිකතා අවම වන ලෙස ක්‍රියාත්මක කිරීම, සහ බදු ගෙවන්නන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් විය යුතුයි. මේ කිසිම මූලධර්මයක් අද වෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වන විටත් ඉතාමත්ම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වුණු බදු ප්‍රතිපත්තිය මත වැට් බදු පනවා තිබෙනවා. දැන් අවුරුදු දෙකක් පුරා ක්‍රියාත්මක කරන ආර්ථිකය හැකිළීමෙ ප්‍රතිපත්තිය තුළ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිකරලා. ආර්ථිකයට සහභාගීවීමේ හැකියාව ජනතාවට අහුරා තබා මේ යන ගමන ජනතාවගේ පැත්තෙන් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව බදු සහ ආර්ථිකය ගැන කල්පනා කරන්නේ ගිණුම් තුළනය කිරීමේ පැත්තෙන් පමණයි. ආර්ථිකය අවසන් වශයෙන් බලපාන මිනිස් ජීවිත, පවුල් ජීවිත, සහ රටේ සමස්ත පුරවැසියන් ගැන කිසිම තැකීමක් නැහැ. මිනිසුන් කියන්නෙත් සංඛ්‍යා ලේඛන විතරක් හැටියට පාලකයන් හිතනවා නම්, එවැනි පාලකයන් මේ ආකාරයේ ආර්ථික තීන්දු තීරණ ගන්නවා. මේ ආණ්ඩුවට මිනිසුන් හෝ මිනිසුන් ජීවත් වීම ගැන කිසිම අදාළත්වයක් නැහැ. ජාත්‍යන්තරයට අයි.එම්.එෆ්. එකට මැජික් පෙන්වා සතුටු කිරීමේ පදනම මත ආණ්ඩුව ක්‍රියාකරනවා.

අලුතින් පැනවූ බදු නිසා මහජනතාවට පීඩා එල්ලවෙනවා වගේම සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවෙනවා. සියලුදේම කප්පාදුකර අවමයෙන් ජීවත් වීම ගැන හැමදෙනාම කල්පනා කරන්නේ. පොල් සම්බෝලයට ලූණු දාන්නේ කොහොමද කියලා ගෘහණියන් කල්පනා කරනවා වගේම, ආර්ථිකයට සම්බන්ධ ව්‍යවසායකයනුත් කල්පනා කරනවා. මේ දක්වා දෙමාපියන් “මොනවා කළේ නැතත් දරුවන්ට උගන්වන්න ඕනෑ.” කියලා කල්පනා කළා. නමුත් අද වෙනකොට දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කරවනවා. මොන ක්‍රමයකින් හෝ ආදායමක් සොයා ගන්න තැනට අවුරුදු 15-16 දරුවන් යොමුකර තිබෙනවා. ජනතාවගේ එදිනෙදා පීඩනය ගැන කිසිම සංවේදීභාවයක් නැති බව ඔවුන් කරන කියන සෑම දෙයකින්ම පැහැදිලියි.

විකල්ප නැති බවට ජනාධිපතිවරයා කියන කතාව තක්කඩි කතාවක්. ඕනෑම ප්‍රශ්නයකට විකල්ප තිබෙනවා, උත්තර තිබෙනවා. කුමන විකල්පයක් තෝරා ගන්නවා දැයි තීරණය වෙන්නේ අපි දරණ මතවාදයත් ජනතාව සමග තිබෙන සම්බන්ධතාවයත් උඩයි. ජනතාව මත බර පටවන්න ඕනෑ කියන තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීම, බදු නිසා ආර්ථිකය සංකෝචනය නොවීම සහ බදු ක්‍රමය විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නවා. පාරිභෝගිකයාගෙන් අයකරන වැට් බද්ද ඒ ආකාරයෙන්ම භාණ්ඩාගාරයට ලැබෙනවාද? යන්න විමසා බැලීමේදී ක්‍රමවේද තිබෙනවාද? මිනිස්සු බදු බරින් මිරිකා තිබුණත් ඒ බදු භාණ්ඩාගාරයට ගන්න තාක්ෂණය ක්‍රියාත්මක කර නැහැ. තවදුරටත් තමන්ගේ බලය ආරක්ෂාකර ගැනීම ගැන පමණයි ඔවුන් කල්පනා කරන්නේ. මේ රටේ ගැහැනුන් නිර්භීත, ධෛර්යමත් පිරිසක් බව ඉතිහාසය පුරා ඔප්පුකර තිබෙනවා. අපේ රට අවදානමට පත්වුණු සෑම අවස්ථාවකම ගැහැනුන් ඉදිරියට ඇවිත් තිබෙනවා. නැවත වතාවක් එවැනි මොහොතක් ඇවිත් තිබෙනවා. ගැහැනු අපි නායකත්වය ගත යුතුයි. තවත් සංවිධානය වෙමින් මේ වසරේදී දුෂ්ට පාලනය අවසන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

ප්‍රශ්නය: වැට් බද්ද ටික කාලයකට පැනවූ බව ජනාධිපති ඇතුළු ආණ්ඩුව කියනවා. ඒ බව පිළිගන්න පුළුවන්ද?

පිළිතුරු: අපේ රටේ බදු ප්‍රතිපත්තිය ළඟ ළඟම වෙනස් කරනවා. ඒ වෙනස් කිරීමම ප්‍රශ්නයක්. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් නැති එක ලොකු ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් බදු අයකරලා ආර්ථිකයක් ශක්තිමත් කරන්න බැහැ. බදු කියන්නේ සමස්ත ආර්ථික සැලැස්මක කොටසක්. ආදායම් එකතු කරන එකම මාර්ගය බදු නම්, ඒ ආර්ථිකයට ගොඩයන්න බැහැ. ණය බර සහ ආර්ථිකය සංකෝචනය වීම යන ප්‍රධාන ගැටලු දෙකට අපි මුහුණදී සිටිනවා. ආදායම් සොයන එකම මාර්ගය බදු කියලා හිතනවා නම්, ඒ තරම් මෝඩ සිතුවිල්ලක් තවත් නැහැ.

ප්‍රශ්නය: අවුරුදු 18 වැඩි සියලු දෙනාට බදු අයකිරීමේ පින් අංකයක් ලබාගත යුතු බවට නියමකර තිබෙනවා. මේ තුළින් ඇතිවන විපාක මොනවාද?

පිළිතුර: ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින මොහොතක ජනතාව එක සැලැස්මක් තුළට එකතුකර ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. දිගින් දිගටම උද්දච්චකම පෙන්වන ආණ්ඩුවකට ජනතාව එකතුකර ගෙන ආර්ථිකය ගොඩනගා ගන්න බැහැ. සමස්තයක් ලෙස ටැක්ස් ෆයිල් එකක් තිබීම පිළිගත හැකි වුවත්, අපේ රටේ එය හඳුන්වා දෙන්නේ මිනිසුන්ගේ ජීවිත අතිශයින්ම අවුල්කර, පීඩාවට පත්කර තිබෙන පසුබිමකයි.

Show More

මොණරාගල වෛද්‍ය වෘත්තිකයනුත් පෙරට එයි

-Colombo, January 04, 2024- මොනරාගල දිස්ත්‍රික්කය තුළ සේවය කරන වෛද්‍යවරුන් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර විෂේශ හමුවක් පසුගිය 04 වෙනිදා පැවැත්විණි. මෙම සාකච්ඡාව ජාතික විද්වත් සංවිධානයේ මොණරාගල දිස්ත්‍රික් සංවිධානය හා එක්ව ඊට සම්බන්ධ වෛද්‍යවරුන් (NIO Doctors) විසින් සංවිධානය කළ අතර, එදින රාත්‍රි 9.00 සිට 11.30 දක්වා මොනරාගල පොතුවිල් පාරේ පිහිටි […]

-Colombo, January 04, 2024-

මොනරාගල දිස්ත්‍රික්කය තුළ සේවය කරන වෛද්‍යවරුන් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර විෂේශ හමුවක් පසුගිය 04 වෙනිදා පැවැත්විණි. මෙම සාකච්ඡාව ජාතික විද්වත් සංවිධානයේ මොණරාගල දිස්ත්‍රික් සංවිධානය හා එක්ව ඊට සම්බන්ධ වෛද්‍යවරුන් (NIO Doctors) විසින් සංවිධානය කළ අතර, එදින රාත්‍රි 9.00 සිට 11.30 දක්වා මොනරාගල පොතුවිල් පාරේ පිහිටි fප්‍රාෂිගෙස්ට් උත්සව ශාලාවේ දී පැවැත්විණි. මේ සඳහා මොනරාගල දිස්ත්‍රික්කය තුළ සේවය කරන විශේෂඥ්‍ය වෛද්‍ය වරුන්, වෛද්‍යවරුන්,දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හා සහකාර වෛද්‍ය නිලධාරීන් සහභාගි වූහ.

Show More

“මේ සිදුව තිබෙන්නේ දකුණු අත විසින් වම් අතට වෙඩි තැබීමක්…” -ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ සභාපති නීතිඥ හේමක සේනානායක-

-Colombo, January 04, 2024- ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස මේ මාධ්‍ය හමුව පවත්වන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වයන් පිළිබඳවත්, වැලිගමදී සිදුවූ පොලිස් නිලධාරියෙකුගේ ඝාතනය පිළිබඳවත් දැනුවත් කිරිමට. ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් ලෙස දූෂණය, වංචාව, අපරාධ හෙළාදකින දේශපාලන ව්‍යාපාරයක්. පාතාලයට, කුඩුවලට, මත්ද්‍රව්‍යවලට එරෙහිව පොලිසිය විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට නීතිඥයන් ලෙසත්, ජාතික ජන බලවේගය ලෙසත් ඒ ක්‍රියාවන්වලට අපේ […]

-Colombo, January 04, 2024-

ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස මේ මාධ්‍ය හමුව පවත්වන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වයන් පිළිබඳවත්, වැලිගමදී සිදුවූ පොලිස් නිලධාරියෙකුගේ ඝාතනය පිළිබඳවත් දැනුවත් කිරිමට. ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් ලෙස දූෂණය, වංචාව, අපරාධ හෙළාදකින දේශපාලන ව්‍යාපාරයක්. පාතාලයට, කුඩුවලට, මත්ද්‍රව්‍යවලට එරෙහිව පොලිසිය විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට නීතිඥයන් ලෙසත්, ජාතික ජන බලවේගය ලෙසත් ඒ ක්‍රියාවන්වලට අපේ සහයෝගය තිබෙනවා. අපේ ආණ්ඩුවක් යටතේත් මේ පාතාලයන් මර්දනය නිවැරදිව ඉදිරියට ගෙනයාමට සූදානම්.

ලංකාවේ පොලීසිය ඉතා දක්ෂ කණ්ඩායමක් වගේම ඕනෑම අපරාධයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අවශ්‍ය යටිතල පහසුකම් තිබෙනවා. හැබැයි පොලිසියට සොයාගත නොහැකි වූ හා විසඳා ගැනීමට නොහැකි වූ සෑම අපරාධයක් පිටුපස දේශපාලනඥයෙක් ඉන්නවා. අපි මෙතනදි මත්ද්‍රව්‍ය මාතෘකාව ලඝු කොට ගන්නවා. ලංකාදීප පුවත්පතේ පසුගිය දිනෙක වැලිගම සිද්ධිය සම්බනධයෙන් ප්‍රධාන සිරස්තලයේ සඳහන් වුණා “පොලිසියෙන්, පොලිසියට” වෙඩි තැබූ බව. අපි මෙතෙක් ඉතිහාසයේ හමුදාව විසින් හමුදාවට වෙඩි තබා හෝ පොලිසිය විසින් පොලිසියට වෙඩි තබා මිනිස් ඝාතන සිදුකළ බවක් අසා නැහැ. අපි රූපවාහිනී ප්‍රවෘත්තිවල දුටුවා පොලීසිය බාර අමාත්‍යවරයා මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වන්දි ලබාදෙන බවත්, ඇමතිවරයා පවා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කළා. මේ සිදුවීම කියන්නේ පොලිසිය බාර අමාත්‍යවරයා යටතේ තිබෙන එක යුනිට් එකකින් තවත් යුනිට් එකකට වෙඩි තැබීමක්. ඒ කියන්නේ දකුණු අත විසින් වම් අතට වෙඩි තැබීමක්. මෙවැනි සිද්ධියකදි අමාත්‍යවරයාට උදම් අනන්න හෝ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන්න බැහැ. මෙවැනි බරපතළ, සාහසික සිදුවීමක් පිළිබඳව මෙවැන්නක් සිදුවූයේ කෙසේද යන්න ගැන පැහැදිලිවම පරීක්ෂණයක් පැවැත්විය යුතුමයි.

මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ අයට මරණය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට අවශ්‍ය වුවහොත් ඒ වන්දි නඩුවේ විත්තිකරුවන් බවට පත්කරන්නේ කවුද? මෙවැනි ආකාරයේ නීතිය අතට අරගෙන, නීතිය අයුතු ලෙස පාවිච්චි කරමින්, දේශපාලනඥයන්ට උවමනා ආකාරයෙන් යුක්තියේ මෙහෙයුම ක්‍රියාවට නඟමින් සිදුකරන සාහසික ක්‍රියාවන්වලට අපේ විරෝධය සහ විවේචනය ඉදිරිපත් කරනවා. මෙම ක්‍රියාවන් අත්හිටුවීමක් සිදුවිය යුතුයි. රටේ ජනතාවට බිය ගෙනඒමට ආයුධ ඉදිරියට ගැනීම, වෙඩි තැබීම් සිදුකිරීම, අධිකරණයමය නොවන මරණයන් සඳහා කටයුතු කිරීම, වැනි රාජ්‍ය ත්‍රස්තය ක්‍රියාත්මක වීමට තිත තැබීමක් කළ යුතුයි. මේ ආණ්ඩුව ගෙනයන මේ ක්‍රියාදාමය ජාතික ජන බලවේගය දැඩිලෙස හෙළා දකිනවා. මත්ද්‍රව්‍ය සහ අපරාධ නතර කිරීම සඳහා ඔබට විශ්වාසය තැබිය හැකි එකම කණ්ඩායම ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක පමණක් බවත් ප්‍රකාශ කරනවා.

යුක්තිය නමින් අයුක්තිය සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. මේ පොළොව තුළ යුක්තිය ස්ථාපනය කරන්නේ අධිකරණය මිස පොලීසිය නොවෙයි.”
-නීතිඥ අකලංක උක්වත්ත

වෘත්තීමය නීතිඥයන් ලෙසත්, ජාතික ජන බලවේගය ලෙස අපේ සාමූහිකයත් යුක්තිය පසිඳලීම සඳහා වංචා, දූෂණ, මත්ද්‍රව්‍ය, හා පාතාලය වැනි සමස්ත අපරාධයන් වැළැක්වීම සඳහා ගනුලබන ක්‍රියාවන්ට අපගේ ප්‍රසාදය හා ඒ සඳහා අපගේ සහාය පළ කරනවා. ඒ යුක්තිය තුළ වැඩ බලන පොලිස්පතිතුමාගේ වැඩ බැලීම තුළ යුක්තිය වෙනුවෙන් අයුක්තියක් සිදුවෙනවා නම් ඒ සම්බන්ධව කතා කිරීමේ අයිතිය නීතිඥවරුන් ලෙස අපට තිබෙනවා. මාටිං ලූතර් කිං පවසා තිබෙනවා, “කිසියම් තැනක සිදුවෙන අයුක්තියක් සෑම විටම යුක්තියට එරෙහිව සිදුවන්නක්” බව.

මෙම සිදුවීම සම්බන්ධව කරුණු දෙකක් මම ප්‍රශ්නාර්ථයක් ලෙස කැටිකොට දක්වන්නම්. ඇමතිතුමාගේත් වැඩබලන පොලිස්පතිතුමාගේත් 2006 සිට 2009 දක්වා කාලය තුළ එතුමා මිරිහානේ එස්.එස්.පී. එතුමා නුගේගොඩ ඩිවිෂන් එකෙන් දකුණු පළාතේ මෙහෙයුමකට ගිහින් මෙවැනිම දෙදෙනෙක් හෝ එක්කෙනෙක් ඝාතනය වුණා. ඒ අවස්ථාවේ 2006 සිට 2009 දක්වා සිටි අයි.ජී. තමයි ඉලංගකෝන් මහත්තයා. එදා සිදුකළ එම වරද නිසාම ඉලංගකෝන් මහතා චක්‍රලේඛයක් ඉදිරිපත් කළා “යම්කිසි අවස්ථාවක තමන්ගේ පොලිස් බල ප්‍රදේශයෙන් පිට බල ප්‍රදේශයකට ගොස් වැටලීමක් කරනවා නම්, අනිවාර්යයෙන් ප්‍රාදේශීය පොලිස් බල සීමාවේ තිබෙන පොලිස් ස්ථානය දැනුවත් කළ යුතුමයි” කියලා. අද දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති වශයෙන් ඉන්න අවස්ථාවේ තමන්ට එදා සිදුවුණු වැරැද්දට අදාළ චක්‍රලේඛනය නැවත ඔහු විසින්ම උල්ලංඝනය කර තිබෙනවා. ඔහු පොලීසියේ ඉහළම නිලධාරියා. පොලිස්පතිතුමා නිකුත් කළ ආඥා පනත තුළ අයි.ජී. මෙන්ම වැඩ බලන අයි.ජී.ත් බැඳී සිටිනවා. ඩී.අයි.ජී., එස්.එස්.පී. පහළ සිටින සියලුම නිලධාරීන් බැඳී සිටිනවා. අයි.ජී.ට කිසිම වරප්‍රසාදයක් නැහැ. මුක්තියක් නැහැ.

වැලිගම සිදුවීම සම්බන්ධයෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ කේ.ඩී.එච්. වාහනයකින් පැමිණ අදාල ඩබලිව්. ෆිෆ්ටීන් නමැති හෝටලයේ වැටලිමක් කරන අවස්ථාව සම්බන්ධව වැලිගම පොලීසිය දැනගෙන තිබී නැහැ. මාධ්‍ය ප්‍රකාශකගේ මුල් ස්ථාවරය වුණේ අදාළ කුඩු ව්‍යාපාරික පුද්ගලයෙකුගේ ගෝලයන් හා ඔහුගේ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් මාතර දකුණු ප්‍රදේශයේ දෙදෙනෙකුගෙන් එක්කෙනෙක් එම ස්ථානයේ නැවතී සිටියා. ඒ නිසා 2023 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ අළුයම එතැනට ගියා. එම හෝටලය දෙසින් වෙඩි තැබුවා. එයට ප්‍රතිචාර ඔවුන් දැක්වුවා. නමුත් මෙම විමර්ශනයේදී අනාවරණය වෙන්නේ හෝටලය දෙසින් වෙඩි තැබීමක් සිදුනොවුණු බව. හොටලයේ නවාතැන් ගෙන සිටි පිරිස වෙඩි තැබීමේ සිද්ධිය ගැන ප්‍රශ්නය ආවට පසුව 119ට කතා කර තිබෙනවා. 119න් වැලිගම පොලිසියට සම්බන්ධ වුවාට පසුව වැලිගම පොලීසිය ඒ අවස්ථාව වන විටත් යුක්තියේ මෙහෙයුමට හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා. එම නිලධාරීන් පැමිණ වෙඩි තබමින් සිටි වෑන් රථයට වෙඩි තබනවා. එම වෙඩි ප්‍රහාර දරාගත නොහැකිව ඔවුන් පළා යනවා. අවසානයේ ඉමදුවේදී අධිවේගී මාර්ගයේ පිවිසුම් ස්ථානයට ඇතුළත් කිරීමේදී එම ස්ථානයේ සිටි නිලධාරියා විසින් මෙම වාහනය නවත්වනවා. වාහනයේ පිටුපස දැඩිසේ රුධිර වහනය වූ අයෙක් හා පණ අදිමින් සිටි කෙනෙක් දැක තිබෙනවා. එම නිලධාරියා වාහනයට යාමට නොදී ඇම්බියුලන්ස් එකක් ගෙන්වා තුවාලකරුවන් රෝහලට යවනවා. වාහනය මුදාහැරීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී එකේ ප්‍රධාන අධ්‍යක්ෂකගේ ඇමතුමක් ලැබුණ බවට තොරතුරු තිබෙනවා.

මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ඇයි ඉමදූවට දැම්මේ, කරාපිටිය රෝහලට යන්න? මනුස්සයෙක් මරණාසන්න මොහොතක සිටින අවස්ථාවක රෝහලකට යැවිය යුත්තේ ළඟම තිබෙන රෝහලකටද, දුර තිබෙන රෝහලකටද? ආසන්නවම මාතර හා වැලිගම රෝහල් තිබෙනවා. ඉමදූව දක්වා පැමිණීම අපට සැකයට හේතු වෙනවා. අපට තිබෙන ප්‍රශ්නය තමයි යුක්තිය මුවාවෙන් සිදුකරන අයුක්තිය. ලැබී තිබෙන තොරතුරු අනුව කේ.ඩී.එච්. එකේ තිබෙන නම්බර් ප්ලේට් එක පවා ව්‍යාජයි. ඉමදූවේදී නතර කළේ නැතිනම් මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම යට යනවා. වැලිගම පොලීසිය නොපැමිණියේ නම්, පොලීසිය-පොලීසිය අතර වෙඩි තැබීමක් සිදුනොවුනේ නම්, හෝටලයේ කිසිවෙකු හෝ මිය ගියා නම්, ඒ වගකීම ගන්නේ කවුද? මෙය කරළියට එන්නේ නැහැ. මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මාධ්‍ය ප්‍රකාශක දන්නේ නැහැ.

එස්.සී.එෆ්.ආර්. මූලික අයිතිවාසිකම් නඩුවේ 107/2011 යටතේ වැඩබලන පොලිස්පතිට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දුන්නා. පෞද්ගලික මුදලින් ලක්ෂ පහක් ගෙවන්න කිව්වා. ඒ පෙත්සම්කරුවන් කියා සිටියා ඉතා අමානුෂික හා කෲර ලෙස සැලකූ බව. එහෙම කෙනෙක් ආරක්ෂා කරන්න පොලිස් ඇමතිට පුළුවන්ද?

දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත් උතුරු දිශාව බාරව පත්වුණේ 2015දී. දැනට අවුරුදු 09ක් වෙනවා. මේ මත්ද්‍රව්‍ය මෙහෙයුම කරන්න වැඩබලන පොලිස්පති වෙන්නම ඕනෑද? පොලීසිය බාර ඇමති ප්‍රසිද්ධියේ කිව්වා මේ වැඩ බලන පොලිසපතිවරයා කුමන තත්වයක් යටතේවත් ඉවත් කරන්න නොදෙන බව. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ීක්‍ත්‍ඍ/107/2011 අංක දරන මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් වැරදිකරුවෙකු කර, කෲර සහ අවමන් සහගත ලෙස ක්‍රියාකර ඇති බව තීන්දු කළා. පැමිණිලිකරුට පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවා ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තීන්දුකර තිබුණා. අධිකරණයෙන් මෙවැනි තීන්දුවක් ලැබී තිබෙන නිලධාරියෙකු පොලීසියේ තියාගන්නවාද? මෙවැනි තීන්දුවක් වෙනත් නිලධාරියෙකුට ලැබුණා නම්, තනතුරෙන් පහළ හෙළනවා. ඒ වගේම මැයි 09වැනිදා අරගලයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වගේම ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ සල්ලි නිසි ක්‍රියාවලියකින් බාර නොදීමට අදාළ නඩු දෙකක් ඔහුට විරුද්ධව තිබෙනවා.

මෙවැනි පුද්ගලයෙක් වැඩබලන පොලිස්පති හැටියට පත්කර මොනම තත්වයක් යටතේවත් එම තනතුරෙන් ඉවත් නොකරන බව දේශපාලන නායකත්වය ප්‍රකාශ කරනවා. එහෙව් රටකට අධිකරණයක් මොකටද? රටේ නායකයා බැඳුම්කර වංචාව පිළිබඳව චෝදනා ලැබූවෙකු වී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කප්පම් ගැනීමේ වැරදිකරුවෙකු වී මහජන ආරක්ෂක ඇමති ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් දී තිබෙද්දී පොලිස්පතිවරයා මූලික අයිතිවාසිකම් කඩ කරද්දී තවදුරටත් ඔවුන් රට පාලනය කිරීම තුළ පුරවැසියාට යුක්තිය ඉටු වෙයිද? පොලීසියට යුක්තිය විසඳන්න බැහැ, අධිකරණය තියෙන්නේ ඒකට. පොලීසියට හැකියාව තිබෙන්නේ අදාළ විමර්ශන නිසියාකාරව සිදුකර අධිකරණයට සහාය දැක්වීමයි. මේ පොළොව තුළ යුක්තිය ස්ථාපනය කරන්නේ අධිකරණය මිස පොලීසිය නොවෙයි. යුක්තිය මෙහෙයුම නමින් අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයෙක්ම සැකකරුවෙකු මිස වැරදිකරුවෙකු නොවේ. මොන නාටක රඟ දක්වා හෝ වැඩබලන පොලිස්පති, පොලිස්පතිවීම ලොකුයිද? වැලිගමදී වෙඩි වැදී මියගිය උපුල් චමින්ද පොලිස් නිලධාරියාගේ දරුවන්ට තාත්තෙක් නැතිකරලා, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවීම ලොකුයිද? ඒ බිරිඳට සැමියෙක් නැති කරලා දේශබන්දු පොලිස්පතිවීම ලොකුයිද? අපේ ප්‍රශ්නය ඒකයි.

අපි මේ කතා කරන්නේ මිනිස් ජීවිත දූවිලි බවට පත්කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගත යුතුයි කියන ස්ථාවරයේ ඉඳලයි.”
-ජාතික ජන බලවේගයේ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල

වැලිගම සිද්ධිය සහ ප්‍රශ්නගත මෙහෙයුම් සම්බන්ධයෙන් පවතින නීතිමය සිද්ධාන්තය මොකක්ද? වැලිගම වෙඩිතැබීමේ පිටුපස කතාව පිළිබඳව ප්‍රධාන මාධ්‍යයේ වගේම සමාජ මාධ්‍යවලත් විශාල කතාවක් යනවා. මේ මාධ්‍යවල ඇතිවී තිබෙන සංවාදයෙන් හෙළිවන කරුණු පිළිබඳව පවත්වන පරීක්ෂණය මොකක්ද?

වැලිගම වෙඩිතැබීමෙන් පසුව දෙහිවල හෝටලයක් කඩා ඉවත් කිරීමේ නාටකය රඟ දැක්වූවා. ඒ හෝටලය විවෘතකර තිබෙන්නේ නාමල් රාජපක්ෂ, හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, ඒ.එම්.එෆ්. ෆවුසි වගේ එවකට හිටපු මැති ඇමතිවරුන් සහභාගිත්වයෙන්. හෝටලය සම්බන්ධයෙන් ලබාගත යුතු අවසර පත්‍ර සියල්ල ලබාගෙන තිබෙන බව හෝටලය සම්බන්ධයෙන් කරුණු දක්වන පාර්ශ්වයන් කියනවා.

ඒ වගේම තව තුන්වෙනි සිද්ධියකුත් තිබෙනවා. ඒ සිද්ධියට රටේ සමස්ත ජනතාවගෙන් වැඩි පිරිසකට බලපානවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මේ කතා කරන්නේ මිනිස් ජීවිත දූවිලි බවට පත්කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගත යුතුයි කියන ස්ථාවරයේ ඉඳලයි. නමුත් දැන් සිදුකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නැති මිනිසුන් පවා පොලිස් ස්ථානවල රඳවා තබාගෙන සිටීමයි. තමන් ජීවත්ව සිටින ප්‍රදේශයේ පොදු ජනතාව වෙනුවෙන් පෙත්සම්වලට අත්සන් එකතු කරපු කාන්තාවන් පවා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ පොලීසියෙ රඳවාගෙන සිට තිබෙනවා. මේ වන විට රටේ පවතින විශාල ආණ්ඩු විරෝධය වටා එකතුවෙන ජනතාව බියට පත්කිරීමේ දොරට තමයි මෙ තට්ටු කරන්නේ.

විදුලි බල මණ්ඩලය කොටස්වලට කඩා විකිණීමට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටිනවා. ඔවුන්ව බිය ගන්වන්න බොරු චක්‍රලේඛ නිකුත් කරනවා. මත්ද්‍රව්‍ය මෙහෙයුම් නාමයෙන් මේ සිදුකරන්නේත් එවැනි කටයුත්තක් දැයි විශාල සැකයක් අපට තිබෙනවා. මිනිසුන් විශාල වශයෙන් බියට පත්කර තැබීමට ගෙනයන උත්සාහයක් දැයි විශාල සැකයක් අපට තිබෙනවා.

වැලිගම මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී සිදුවී තිබෙන්නේ ඉඳුරුවේ ආචාරියාට සිදුවුණු දේ වගේ දෙයක්. වැලිගම මෙහෙයුමට පිටස්තර පොලිස් කණ්ඩායමක් යවන්නේ අධිකරණයෙන ගත් “A” වාර්තාවක්වත් අරගෙන නොවෙයි. හෝටලය කඩන්න ලබාගත් අධිකරණ නියෝගයක් තිබුණෙත් නැහැ. යුක්තිය කියන වචනය ඉදිරියට දමා වෙනත් මෙහෙයුම්, පටු පෞද්ගලික අරමුණු ඉටුකර ගන්න උත්සාහ කරනවාද කියන සැකය ජාතික ජන බලවේගය මතුකරනවා. මේ ගෙනයන ක්‍රියාමාර්ග තුළින් ප්‍රජාතන්තවාදය නීතියේ බලය ප්‍රශ්න කරන්නේදැයි බලවත් සැකයක් අපට තිබෙනවා.

Show More

රත්නපුර වෛද්‍ය වෘත්තිකයෝ රට හදන සටනට එක්වෙති

-Rathnapura, January 03, 2024- ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් වෛද්‍යවරුන් විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ හමුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කුරුවිට Grand Gardian උත්සව ශාලාවේදී 2024 ජනවාරි 03 වන බදාදා රාත්‍රී 9.00 සිට අති සාර්ථකව පැවැත්විණ. විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍ය නිළධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, ලියාපදිංචි වෛද්‍යවරුන් සහ […]

-Rathnapura, January 03, 2024-

ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් වෛද්‍යවරුන් විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ හමුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කුරුවිට Grand Gardian උත්සව ශාලාවේදී 2024 ජනවාරි 03 වන බදාදා රාත්‍රී 9.00 සිට අති සාර්ථකව පැවැත්විණ.

විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍ය නිළධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, ලියාපදිංචි වෛද්‍යවරුන් සහ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ. එම අවස්ථාවට; ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ සැලසුම් ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ සමන්ත විමලරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ජාතික විද්වත් සංවිධානයේ ලේකම් සහ ජාතික ජනබලවේගයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක ශ්‍රේණිධාරී විදුහල්පති ශාන්ත පද්මකුමාර සහෝදරයා, ජාතික විද්වත් සංවිධානයේ දිස්ත්‍රික් විධායක සභික සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය සරත් ආනන්ද මහතා, ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු සංසදයේ වරලත් සිවිල් ඉංජිනේරු රංජිත් කරුණාතිලක මහතා, ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සමූහයේ නීතීඥ ස්වර්ණ මල්ලිකාරච්චි මහතා, අවිස්සාවේල්ල මූලික රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් ලාල් කන්දෙවත්ත මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික ඇහැළියගොඩ මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරී ශාන්ත අබේවික්‍රම මහතා, ජාතික විද්වත් සංවිධානයේ; රත්නපුර දිස්ත්‍රික් සභාපති ආයුර්වේද වෛද්‍ය ගීත් වික්‍රමරත්න මහතා, ලේකම් ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය සුරේකා දිසානායක මහත්මිය, හිටපු සභාපති වෛද්‍ය තුෂාර ජයසූරිය මහතා, සංවිධායක වෛද්‍ය ජනක සේනාරත්න මහතා, ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍යවරුන්ගේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ද සහභාගී වූහ.

සාකච්ඡාවේදී, වෛද්‍යවරුන් විසින් අසන ලද ප්‍රශ්න අතර, රටේ සංස්කෘතිය සහ දේශපාලනය ගැනත්, ගමේ බිම් මට්ටමේ ඡන්ද දිනාගන්නා වැඩපිළිවෙල ගැනත්, ආර්ථික සංවර්ධනයේ උපායමාර්ග සහ බදු ප්‍රතිපත්තිය ගැනත්, නිදහස් අධ්‍යාපනය සහ සබරගමුව වෛද්‍ය පීඨයේ අර්බුදය ගැනත්, බුද්ධි ගලනය ගැනත්, ජාත්‍යන්තර දේශපාලන සබඳතා සහ විදේශ තානාපති සබඳතා පිළිබඳවත් ඇතුළත් වූ අතර අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් ඉතා පැහැදිලි ලෙස ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ විසඳුම් විග්‍රහ කරමින් පිළිතුරු දෙන ලදී.

පැමිණි පිරිස ඉතා හොඳින් සක්‍රියව සාකච්ඡාවට සහභාගී වූ අතර බලාපොරොත්තු සහගත අනාගතයක් වෙනුවෙන් දේශපාලන සවිඥ්ඥාණකභාවය ඇතිකරගැනීම පිළිබඳව පිරිසට ස්තූති කළ අනුර කුමාර දිසානායක සහෝදරයා ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් යහපත් රටක් හැදීම වෙනුවෙන් රටේ රැඳී සිටින ලෙස වෛද්‍යවරුන්ගෙන් හෘදයාංගම ඉල්ලීමක් කළේය.

මධ්‍යම රාත්‍රිය වනවිට වැඩසටහන සාර්ථක නිමාවක් සනිටුහන් කළේ නැවත නැවතත් මෙවැනි සාකච්ඡා අවැසි බවට වෛද්‍යවරුන්ගෙන් ලද ඉල්ලීම්ද සමගය.

Show More

කිලිනොච්චියේ පොන්නාවේලි ගම්මානයේ ජනතා නියෝජිතයින් අනුර හමුවෙයි

-Colombo, January 03, 2024- කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැනීම්වලට එරෙහි ජනතා නියෝජිතයින් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා හමුවෙයි. දින 150 කට වැඩි කාලයක් එම ගම්මානය ඇතුළු ගම්මාන 5ක ජනතාව අඛන්ඩ විරෝධතා ව්‍යාපාරක නියැලී සිටි…

-Colombo, January 03, 2024-

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැනීම්වලට එරෙහි ජනතා නියෝජිතයින් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා හමුවෙයි. දින 150 කට වැඩි කාලයක් එම ගම්මානය ඇතුළු ගම්මාන 5ක ජනතාව අඛන්ඩ විරෝධතා ව්‍යාපාරක නියැලී සිටි…

Show More

“මේ වර්ෂය සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩගන්නා හැරවුම් වර්ෂය කරගනිමු” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, January 02, 2024- ‘රටට නොකියන විකිණීමේ ඇත්ත’ සම්මන්ත්‍රණය, කොළඹ පදනම් ආයතනය මේ අවුරුද්ද අපේ රටේ ජනතාවට ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක්. මෙතෙක් දියත් කළ ගමන වේගවත් කර, අපේ රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටිනවා. ජනවාරි මාසය ඇතුළත විදුලි බල මණ්ඩලය කොටස් කර, විකිණීමට අවශ්‍ය පනත, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය වැනි ආයතන විකිණීමේ ක්‍රියාවලිය […]

-Colombo, January 02, 2024-

‘රටට නොකියන විකිණීමේ ඇත්ත’ සම්මන්ත්‍රණය, කොළඹ පදනම් ආයතනය

මේ අවුරුද්ද අපේ රටේ ජනතාවට ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක්. මෙතෙක් දියත් කළ ගමන වේගවත් කර, අපේ රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටිනවා. ජනවාරි මාසය ඇතුළත විදුලි බල මණ්ඩලය කොටස් කර, විකිණීමට අවශ්‍ය පනත, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය වැනි ආයතන විකිණීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි. එයට එරෙහිව පැනනගින ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට ප්‍රතිත්‍රස්ත පනත, සමාජ ජාලා මර්දනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ රට ආපසු හැරවිය නොහැකි පන්නයේ විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් වේගයෙන් ගැනීමට ආණ්ඩුව කැසකවන අතර, දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි අපේ රටේ නව ජාතික පිබිදීමක් ඇති කර, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟමින් ජනතාව ඊට සම්බන්ධ කරගෙන ඔවුනට ප්‍රතිලාභ ලබාගෙන නව ආර්ථික ගමනකට ප්‍රවිෂ්ට වීමේ මතවාදය සමාජගත කරමින් සිටිනවා. අපරාධ මැඩපැවැත්වීමට නීතියේ විධානය, ආධිපත්‍යය, පිහිටුවන්නේ කෙසේදැයි අපි සැලසුම් සකස් කරමින් සිටිනවා. අපේ ජනතාවත්, රටත් ව්‍යසනයට හෙළන ලද මහාපරිමාණ වංචා, දූෂණ කෙළපැමිණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නව ගමනකට අවතීර්ණ වීමේ සාකච්ඡාව අප ගෙනයනවා. ලංකා ඉතිහාසයේ දේශපාලන ව්‍යුහයේ තීව්‍රම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. ඒක Do or die වර්ගයේ සටනක්.

මේ සටන අපි පරාජයට පත්වුණොත් අපේ රටත් ජනතාවත් නින්දාගතභාවයේ, අසරණභාවයේ පතුළටම ඇද වැටෙනවා. අපි මේ සටන ජයග්‍රහණය කළොත් නව බලාපොරොත්තු, අපේක්ෂාවන් සහිතව මේ රට නව දිශාවකට ගෙනයා හැකියි. ඒ නිසා මේ ගොඩනැගෙමින් තිබෙන දේශපාලනය සාමාන්‍ය දේශපාලනයක් වගේ නොවෙයි. ලංකා ඉතිහාසයේ තීරණාත්මක බෙදීමේදී ජාතික ජන බලවේගයේ අපි ජනතාවත් සමග කවර ආකාරයේ පොදු සම්මුතියකට ආ යුතුදැයි පළල් ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. වැඩකරන ජනතාව, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, ආගමික නායකයින්, විද්වතුන් ආදී වශයෙන් වූ අපි සියලු දෙනාම මේ රට මුදා ගැනීමේ පොදු සම්මුතියකට එළඹීමේ සාකච්ඡාවට ප්‍රවිෂ්ට වී සිටිනවා. ඒ අතරේ අනෙක් කඳවුර කුණු එකතු කරමින් සිටිනවා. ඔවුන් තැන තැන විසිරී සිටින කුණු එකතු කරන අතරේ අපි ජනතාව ඒකරාශී කරනවා. අපි මේ වසරට ප්‍රවේශ වී සිටින්නේ තීරණාත්මක ජයග්‍රහණයකින් සටන කෙළවර කරනවා කියන දැඩි අධිෂ්ඨානයෙන්. මේ නිසා අපි හැමදෙනාටම විවේක කාලයක් නොමැතිව වෙනස සඳහා කටයුතු කළ යුතු වෙනවා. පවතින අර්බුදයේම හේතුවක් නිසා ඔවුන් විකිණීම සිදුකරනවා. පැමිණි ආර්ථික ගමන විසින් නිර්මාණය කළ අර්බුදයේම ප්‍රතිඵලයක් තමයි විකිණීම. අනෙක් පැත්තෙන් විකිණීමත් මේ ආර්ථික අර්බුදයට හේතුවක්. මේ විකිණීම ඕපපාතිකව සිදුවූවක් නොවෙයි, මෙතෙක් අනුගමනය කළ ආර්ථික ක්‍රියාවලියේම ප්‍රතිඵලයක්.

මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණු ක්ෂේත්‍ර ගණනාවක් මේ අර්බුදය විසින්ම වැට් බද්දට ඇතුළත් කර තිබෙනවා. තෙල් මිල ඉහළ යාම සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇති කරන නිසා, මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණා. තෙල් මිල ඉහළ යාම තෙල් පරිභෝජනය කරන කෙනාට පමණක් නොවෙයි, සමස්ත ආර්ථික දේහයටම බලපාන සංවේදී කරුණක්. පාසල් උපකරණ මිල ඉහළ යාම දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සංවේදී ලෙස බලපානවා. සෞඛ්‍ය උපකරණ, ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය, සෞඛ්‍ය සේවාව වැට් බද්දෙන් නිදහස් කර තිබුණේ ජන ජීවිතයට සමීපව බලපාන නිසයි. නමුත් අර්බුදය විසින් මේ සියලු ක්ෂේත්‍රවලට අලුතින් වැට් බදු පනවා තිබෙනවා. රජයේ වියදම්, ණය ගෙවීම සහ පොලී වාරික ගෙවීම සඳහා මේ වසරේ රුපියල් බිලියන එකොළොස්දහස් පන්සිය දහහතරක් වැය වෙනවා. නමුත් වැට් බද්ද ඇතුළු මේ සියලු පීඩාවන් ජනතාව මත පටවා ලබාගත හැකි මුළු ආදායම රුපියල් බිලියන හාරදහස් එකසිය හැටහතරයි. ණය වාරික ගෙවීම පසෙක තැබුවත් රුපියල් බිලියන හත්දහස් අටසිය විසිහයක් මේ වසරේ වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. බිලියන 3000කට වැඩි ප්‍රමාණයක් අතිරේක වශයෙන් ණය ගන්න සිදුවෙනවා. මේ අර්බුදය තිබෙන්නේ දත්ත ඇතුලේ පමණක් නොවෙයි සමාජ ජීවිතය ඇතුලෙත් තිබෙනවා. ගෙවුම් ශේෂ හිඟය, අයවැය හිඟය වගේ මහප්‍රාණ ආර්ථික වචනවල සැඟවී තිබෙන අර්බුදය සමාජ ජීවිතයට බලපෑම් කරමින් තිබෙනවා. ළඟදී නිකුත් කළ නිල සංඛ්‍යා ලේඛන අනුව පාසල් දරුවන්ගෙන් 57%ක් පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම නතර කර හෝ අඩු කර තිබෙනවා. තවත් 19%කට ආසන්න පිරිසක් පුද්ගලික පංතිවලට යන එක නතර කරලා. ආර්ථික අර්බුදයෙන් සමාජයට කරන බලපෑම දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැට්ටීම දක්වා ගමන් කර තිබෙනවා.

ඒ වගේම පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වයට ඇදවැටී නිසි පරිදි ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිනවා. විශාල ප්‍රමාණයෙන් රැකියා අහිමි කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කඩා වැටීම වැනි ක්ෂේත්‍රවලට අර්බුදය බලපා තිබෙනවා. පරාටේ නීතිය අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 1183කට විරුද්ධව දේපළ අත්පත් කරගෙන තිබෙනවා. මේ ව්‍යාපාර බොහෝ දුෂ්කරතා මැද සමහර විට පරම්පරා කිහිපයක කැපවීමෙන් ගොඩනඟා ගත් ඒවා. නිවැරදි ආර්ථික දැක්මක්, රාජ්‍ය මැදිහත්වීමක් යටතේ මේ ව්‍යාපාර ගොඩනැගී තිබුණේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලික කැපවීම් සහ ධෛර්යවන්තභාවය මත ගොඩනැගී තිබුණු ඒවා. මේ අර්බුදයෙන් ජන ජීවිත කඩා වැට්ටවීම මේ වගේ විවිධ ක්ෂේත්‍රවලට බලපා තිබෙනවා. ආණ්ඩුවෙන් කියන්නේ විකුණා දැමීම මාර ආර්ථික උපායමාර්ගික සැලැස්මක් කියලයි. ඇත්ත ඒක නොවෙයි. විකිණීමත් මේ ආර්ථික අර්බුදයේම ප්‍රතිඵලයක්. ඖෂධ ගෙන්වීමේදී, බදු අයකිරීමේදී, හොරකම් කරනවා වගේම විකිණීමේදීත් වංචා දූෂණවල තෝතැන්නක් වී තිබෙනවා. ආර්ථික අර්බුදය නිසා විකුණනවා වගේම අතයට ගනුදෙනු සඳහාත් ඔවුන් විකිණීම යොදා ගන්නවා. විකිණීම පිටුපස තිබෙන ඇත්ත යටි වුවමනාව මේක.

අයවැය හිඟයෙන්, විදේශ ණය ගෙවාගත නොහැකි වීමෙන්, වෘත්තිකයන් ඇතුළු පිරිස් රට අත්හැර යාමෙන් පෙන්වන්නේ ආර්ථික අර්බුදයේ ගැඹුරයි. ආර්ථික අර්බුදයේ ගැඹුර පෙන්වන්නේ, දත්ත ඇතුලේ විතරක් නොවෙයි. රනිල් වික්‍රමසිංහට ආර්ථික අර්බුදය කියන්නේ දත්ත පමණක් නිසා ඔහුගේ විසඳුම ගිණුම් තුලනය කිරීමයි. නමුත් ජාතික ජන බලවේගයට මේ අර්බුදය යනු දත්තවලින් පෙන්වනවාට වඩා සමාජීය ජන ජීවිතයේ වේදනාවන් පිළිබඳ අත්දැකීම්වලින් කියැවෙන්නක්. දත්ත ඇතුලේ වගේම මිනිසුන්ගේ ජීවිත ඇතුලෙත් අපි අර්බුදය දකිනවා. රනිල් වික්‍රමසිංහ මිනිස් ජීවිතවල අර්බුදය දකිනවා නම්, ඖෂධවලට, පාසල් උපකරණවලට බදු ගහන්නේ නැහැ. වැට් බද්ද විසින් ජනතාවගේ ජීවිතවලට ඇති වී තිබෙන මාරාන්තික ස්වභාවය අපි කියාදිය යුතු නැහැ, ඔවුන් එය අත්විඳිමින් සිටිනවා. අපි අර්බුදය දකිනවා පමණක් නොවෙයි ඊට විසඳුම් සොයා ගන්නත් වෙහෙසෙන ව්‍යාපාරයක්.

විකිණීමට හේතු දක්වන මහත්වරුන් අපිට කරුණු කිහිපයක් කියනවා. ජනතාවගෙන් එකතු කර ගන්නා බදු ආදායම් පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට වියදම් නොකරන්නේ නම්, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ලබාදීමට යෙදවිය හැකි බව කියනවා. ඔය වගේ කතාවක් කියන්නේ අද විතරක් නොවෙයි. යුද්ධය පැවති කාලයේත් ඔය වගේම කතා කීවා. යුද්ධයේදී මල්ටි බැරල් උණ්ඩවලට දවස් 24කදී දරන වියදම නතර කරගතහොත් රෝහල් දෙකක් ඉදිකළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන කීවා. නමුත් එහෙම වුණාද? පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන අද කියන්නෙත් ඒ දේමයි. යුද්ධය අවසන් කළ විට සුඛිත මුදිත වෙන බව කී ඔවුන් අද කියන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීමෙන් සුඛිත මුදිත විය හැකි බවයි. නමුත් එය බොරුවක්. අපේ රටේ රාජ්‍ය වතු පුද්ගලික සමාගම් 21කට වික්කා. එයින් සමාගම් 18ක්ම පාඩු ලබනවා; බැංකුවලට පොලු තියලා. ඒ වගේම වැඩ කරන සේවකයන්ට රුපියල් 1000ක වැටුපක් දෙන්න බැරි නම් ඒ පෞද්ගලීකරණයෙන් ඇති වැඬේ මොකක්ද? ඒ වගේම අද අපේ රටේ තේ කර්මාන්තය රැඳී තිබෙන්නේ පහත රට කුඩා තේවතු හිමියන් අතේ. විකිණීමෙන් සාර්ථක වෙනවා නම්, මෙහෙම වෙන්නේ කොහොමද? මූල්‍ය සමාගම් හතක්, කර්මාන්ත 41ක් වතු 21ක්, අනෙකුත් ආයතන 23ක් ආදී වශයෙන් මේ වන විට විකුණා තිබෙනවා. විකුණන්න තිබෙන ප්‍රමාණයට වඩා විකුණූ ආයතන සංඛ්‍යාව වැඩියි. විකුණන ලද සිලෝන් ඔක්සිජන්, සම්භාණ්ඩ සංස්ථාව, ලක්ස්ප්‍රේ ආයතනය, තෙල් සංස්ථාව සතුව තිබූ නයිලෝන් සමාගම, මත්තේගොඩ පේෂකම්හල, තෙල් හා මේද සංස්ථාව, මහවැලි මෙරීන් සමාගම, හිඟුරාන සීනි, කඩදාසි සංස්ථාව, වගේ ආයතන රැසක් විකුණුවා. අද ඒ එකක්වත් තිබෙනවාද?

ඔවුන් කීවේ භාණ්ඩාගාරයට විශාල වැය බරක් දරන්න සිදුවී තිබෙන ආයතන විකුණූ බවයි. නමුත් ඒ කතාවත් බොරු. ඒ අතරේ පසුගිය වසරේ මිලියන දොළොස්දහසක් ලාභ ලැබූ රක්ෂණ සංස්ථාව, ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් ටෙලිකොම් ආයතනය පසුගිය වසරේ රුපියල් මිලියන 10,000ක් ලාභ ලැබුවා. මේ ආයතනත් විකුණන්න දාලා තිබෙනවා. තරගකාරී බව කියන ගෑස් සමාගම් දෙකෙන් රජයට අයත් සමාගම ජනවාරි 01දා සිට මිල වැඩි කළේ රුපියල් 685කින්. පෞද්ගලික සමාගම රුපියල් 755/-කින් වැඩි කළා. 2023 සැප්තැම්බර් දක්වා රජයේ ගෑස් සමාගම රුපියල් මිලියන 5639ක ලාභයක් ලබා තිබෙනවා. ආණ්ඩුවට ගෑස් සමාගම තිබුණේ නැතිනම් මොකද වෙන්නේ? දැන් රජයේ ප්‍රධාන බැංකු දෙක විකුණන්න පැහැස්ති වෙනවා. ලංකා බැංකුව සහ මහජන බැංකුවට ලංකාව පුරාම ශාඛා තුන්සිය ගණනක් තිබෙනවා. ඒ අතරින් ශාඛා සියයක් පමණ පාඩු ලබනවා. බැංකු සේවාව ලබාදීමේ වගකීම තිබෙන්නේ රජයට. පෞද්ගලික අංශයේ නම් කරන්නේ යොදවන මුදලට ලාභය උත්පාදනය කර ගැනීමයි. නගරයේ බැංකු ක්‍රියාකාරිත්වයෙන් ලබන ලාභය ගම්වලින් ලබන්නේ නැහැ. ගිරාඳුරුකෝට්ටේ ලංකා බැංකු ශාඛාව පාඩු ලබනවා. එහෙත් ඒ ප්‍රදේශයේ ජනතාවට බැංකු සේවාව ලබාදෙන්න ඕනෑ. යුද්ධය අවසන් කළ පසු පදවිය බෝගස් හන්දියේ ලංකා බැංකු ශාඛාව ආරම්භ කළේ කන්ටේනරයක් ඇතුලේ. ඒහෙම කළේ, පුරවැසියන්ට බැංකු සේවාව ලබාදෙන්න ඕන නිසා. පෞද්ගලික අංශයේ බැංකු ශාඛා එන්නේ ඊට පසුව. රජයේ ගිණුම් පවත්වාගෙන යන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ගිණුම් දෙකේ අයිරාව රුපියල් බිලියන 7000ක් වෙනවා. භාණ්ඩාගාරයේ සල්ලිත් නැතිව තිබියදී තෙල් සංස්ථාවට තෙල් ලබාදෙන්න රාජ්‍ය බැංකු දෙක මැදිහත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් එහෙමයි. අපේ වගේ කුඩා ආර්ථිකයක රාජ්‍ය අංශයේ මේ බැංකු පද්ධතිය තියාගන්න ඕනෑ. 2022 ලංකා බැංකුවේ ලාභය බදු ගෙවූ පසුව රුපියල් බිලියන 32යි. බිලියන 13ක් රජයට බදු ගෙවා තිබෙනවා. මහජන බැංකුව බිලියන 14ක ලාභයක් උපයා තිබෙනවා. බිලියන 08ක් බදු ගෙවා තිබෙනවා.

ඒ වගේම ලංකා බැංකුවේ අක්‍රීය ණය, බිලියන 325ක් සහ මහජන බැංකුවේ 300ක් වශයෙන් බැංකු දෙකේ බිලියන 625ක් තිබෙනවා. රුපියල් කෝටි 62,500ක් අක්‍රීය ණය ලෙස තිබෙන අතර එයින් භාගයක් අයකර ගතහොත් මේ බැංකු දෙක ශක්තිමත් කරන්න පුළුවන්. දයා ගමගේගේ සමාගම මහජන බැංකුවට විතරක් කෝටි 160ක අක්‍රීය ණය තිබෙනවා. එයා සම්පත් බැංකුවටත් බිලියන තුනක පොලු තබා තිබෙනවා. මෙන්ඩිස් අරක්කු සමාගම කෝටි 350ක් මහජන බැංකුවට පොලු තියලා. ආණ්ඩුවේ හිතවතුන්ට මේ ආකාරයට ණය ලබාදීමෙන් අර අක්‍රීය ණය ප්‍රමාණය එකතු වී තිබෙනවා. ඒ වගේම පෞද්ගලීකරණය පිටුපස වැරදි විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා. ඉන්දියාවට යම් ආයෝජන කොටසක් එන විට චීනයටත් දෙන්න වෙනවා. කොළඹ වරායේ ජැටි විකිණීම උදාහරණයක්. සාරවත් ඉඩම් අක්කර 28,000ක් පශු සම්පත් මණ්ඩලයට තිබෙනවා. මේ ආයතන කඩා වට්ටවා ‘අමුල්’ සමාගමට විකුණන්න සූදානම් වෙනවා. මේ විදිහට රටේ සම්පත් විකුණුවාම අපට බලය අරගෙන වැඩක් නැතිවෙයි නේද කියලා සමහර අය අහනවා. ඒ නිසා මේ විකිණීමේ ක්‍රියාවලිය නවත්වන්න අරගලයක් ගෙනයනවා හා සමානවම ජාතික ජන බලවේගයේ පාලනයක් පිහිටුවන්නත් අරගල කළ යුතුයි. මේ රට ගොඩනැගීම පහසු නැති බව ඇත්ත. ඉතාමත් පහළට කඩා වැටුණු අගාධයක තිබෙන රටක් අපට ලැබෙන්නේ. සනීපකාරී ජීවිතයකින් මෙයින් අපට ගොඩ එන්න බැහැ. අපේ රටේ සෑම පුරවැසියා තුළම නව පිබිදීමක අවශ්‍යතාවය තිබෙනවා. රට ගොඩනැගීමේ ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව නව ජාතික පිබිදීමක් අවශ්‍යයි.

අපිට ජාතික පිබිදීමකින් නිර්මාණය වුණු රාජ්‍යයක් නොවෙයි තිබෙන්නේ. ඉන්දියාවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නේරු, මහත්මා ගාන්ධි, පාතෙල්, සුබාෂ් චන්ද්‍රබෝස් ගෙනගිය ඒකාබද්ධ ජාතික සටනක් තිබුණා. ඉන්දියාව ගොඩනැගීමේ පිබිදීම බවට පත්වුණේ ඒ ජාතික ව්‍යාපාරයයි. දෙවන ලෝක යුද්ධයේදී බෝම්බ හෙළා විනාශ වුණු ජපානය ගොඩනැගීමේ ස්ථිර අධිෂ්ඨානයක් ඔවුන්ට තිබුණා. කලක් ජපන් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක් බවට පත්ව රජ පෙළැන්තියෙන් පීඩාවට පත්ව තිබූ චීනය නව ජාතික හැඟීමකින් සටන් කළා. අද චීනය ලෝකයේ දැවැන්තම ආර්ථික ශක්තියක් අත්පත් කරගෙන තිබෙනවා. බි්‍රතාන්‍යයට එරෙහිව එක්සත් ජනපදයේ ජාතික සටනක් තිබුණා. වියට්නාමයේ ඇමරිකාවට එරෙහිව ජාතික සටනක් තිබුණා. රුසියාවේ සාර් පාලනයට එරෙහිව සටනක් තිබුණා. ලෝකය පුරා මිනිසුන්ට නව ජාතික පිබිදීමක් ඇතිවන නිදහස් සටන් තිබුණා. ඒ ජාතික පිබිදීමෙන් රටවල් සංවර්ධනයේ ඉදිරියටම ගියා. නමුත් අපේ රටේ 1848 සිට 1948 දක්වා සුද්දා පාලනය කළ කාලය තුළ කිසි නැගිටීමක් සිදුවුණේ නැහැ. ඒ නිසා අපිට ජාතික පිබිදීමක් තිබුණේ නැහැ. ඉන්දියාවේ නේරුලා ඉන්නකොට අපට දොන් ස්ටීවන්ලා සිටියා. ඉන්දියාවේ ගාන්ධි ඉන්නකොට අපට ජූනියස් රිචඞ්ලා සිටියා. ඉන්දියාවේ පාතෙල්ලා ඉන්නකොට අපට සොලමන් ඩයස්ලා සිටියා. අපිට හිටියෙ ඒ වගේ පරාධීන නායකයන්.

ගොවියා, ධීවරයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවන් තම තමන් ගැන සිතමින් කටයුතු කරනවා වෙනුවට නව ජාතික පිබිදීමකින් කටයුතු කළ යුතු වෙනවා. 2024 කියන්නේ ජාතික හැඟීමකින් යුතු ජනතාවක් ඊට අදාළ දේශපාලන නායක්වයක සිටින ජාතික ජන බලවේගයේ අතට සුක්කානම ලබාදීමේ වර්ෂයයි. මේ වර්ෂය තුළ ජාතික හැඟීමකින් පිබිදී අපි සියලුම දෙනා සාමූහික ප්‍රයත්නයකින් කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා.

නීති විරෝධී ආණ්ඩුව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරමින් සිටිනවා…”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත

මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ ආර්ථික, සමාජීය, වශයෙන් ඉතාමත් වැදගත් හෙළිදරව් කිරීම් රැසක් කරන්න. මෙය හුදෙක් තොරතුරු හෙළිදරව් කිරීමකට වඩා ඉදිරියට ගිය දෙයක්. මහජනතාව සතු සම්පත් තෝරාගත් පුද්ගලයින් කණ්ඩායමකට ලබාදීම හුදෙක් ආර්ථික ගනුදෙනුවක් පමණක් නොවෙයි. ඒ කතාවේ ඇත්ත හෙළිදරව් කරගෙන අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න කතා කළ යුත්තේ ඒ නිසයි. විවිධ තාක්ෂණික නිර්වචන ඔස්සේ එනම් පුද්ගලීකරණය, යනුවෙන් ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට බාරදිය යුතු බවට මතයක් හදනවා. ඇත්තටම පෞද්ගලික අංශයට ආර්ථිකයේ විශාල කාර්යභාරයක් තිබෙන බව ඇත්ත. ඒ ඇත්ත යට සැඟවිලා මහජනතාව සතු විශාල දේපළ ප්‍රමාණයක් කුණු කොල්ලයට විකිණීමේ ජාවාරමක ආණ්ඩුව යෙදී සිටිනවා. විකිණීම සඳහා ඔවුන් රාජ්‍ය අංශය අකාර්යක්ෂම බවත් පුද්ගලික අංශය කාර්යක්ෂම බවත් කියනවා. විශේෂයෙන් රාජ්‍ය ක්ෂේත්‍රය දේශපාලනීකරණය කර ඇති නිසා, අකාර්යක්ෂමතා ගැටලු තිබෙන්නට පුළුවන්. තව පැත්තකින් පුද්ගලික අංශයට දුන්නාම තරගකාරිත්වය වැඩිවී නව උත්පාදන බිහිවෙමින් සමාජයට යහපත් ප්‍රතිඵල අත්වෙන බව කියනවා.

අනෙක් පැත්තෙන් ගත් විට මහජනතාවගේ බලයෙන් ආණ්ඩුවක් පත්කරගෙන ආර්ථික, දේශපාලනික කටයුතු මෙහෙය වන අතර, ඇතැම් සුවිශේෂී අංශ ඉතාමත් වගකීමෙන් රාජ්‍ය හිමිකාරිත්වය යටතේ මෙහෙයවන්න ඕනෑ. එවැනි අංශවල පරමාර්ථය ලාභ ඉක්මවා ගිය අරමුණුයි. ආර්ථිකය නිවැරදි දිශාවට ගෙන ඒම, ආර්ථිකය ස්ථායීකරණය කිරීම සහ ආර්ථික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම වැනි කාර්යයන්, ලාභය අරමුණුකොට නොගෙන රාජ්‍ය අංශය විසින් පවත්වාගෙන යා යුතුයි. මේ දක්වා සිදුකළ විකිණීම් සහ නැවත රජයට අත්පත් කර ගැනීම කර තිබෙන්නේ මහජනතාවගේ ජීවිත උසස් කිරීමේ අරමුණින් නොවෙයි; පවතින ආණ්ඩුවලට යම්තම් මුදලක් ලබාගෙන චෞර වළල්ලට වැඩි වාසි ගෙනදෙන්නයි. ජනසතු කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම යන දෙකම ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ පටු අරමුණින්. රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් මහජනතාව ගොඩගැනීම නොව බලයේ සිටින කණ්ඩායම තවදුරටත් බලය පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තර සොයා ගන්න අයි.එම්.එෆ්. නියෝග අනුව ඔවුන් ක්‍රියාකරනවා. එකම උත්තරය අයි.එම්.එෆ්. පමණක් බව ජනගත කරන්න උත්සාහ කරනවා. වෙනත් විකල්ප නැහැ, වෙනත් ආකාරයකට ක්‍රියාකළ නොහැකියි යනුවෙන් මතයක් හැදීමම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ඔවුන් මිථ්‍යාව සමාජගත කරමින් සඟවා තබන ප්‍රධාන කරුණු රැසක් අයි.එම්.එෆ්. වාර්තාවේ තිබෙනවා.

ආදායම් පාලනයත් වියදම් කළමනාකරණයත් සිදුකළ යුතු බව අයි.එම්.එෆ්. එක නියෝග කර තිබෙනවා. ආර්ථිකය ගමන් කරන දිසාව, මිනිසුන්ගේ ජීවන තත්වය කඩාවැටීම, ව්‍යාපාර කඩාවැටීම වැනි කරුණු ඔවුන්ට අදාළ වෙන්නේ නැහැ. විචක්ෂණභාවයකින් තොරව වැට් බද්ද වැනි බදු පනවන්නේ ඒ නිසයි. පවතින දූෂිත ආර්ථික ක්‍රමය ඇතුලේ ඔවුන්ගේ ඇස්තමේන්තුගත ඉලක්කවලටවත් යන්න ලැබෙන්නේ නැහැ. වක්‍ර බදු සියයට සියයකින් පමණ වැඩිකර ආදායම් ඉහළ දමා ගැනීමට ඔවුන් දරන උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් වියදම් කළමනාකරණයට අදාළව අකාර්යක්ෂමතාවය සහ නාස්තිය අඩුකර ගන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. ආදායම් වැඩිකර ගැනීමේ සහ වියදම් අඩුකර ගැනීමේ උපක්‍රම දෙකෙන් එකක් වත් මේ ආණ්ඩුවට ලෙහෙසියෙන් කර ගත හැකිවෙන්නේ නැහැ. අයි.එම්.එෆ්. එක ප්‍රධාන නිර්ණායක තුනක් ආණ්ඩුවට ලබාදී තිබෙනවා. පළමුවැන්න 2025 වන විට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3 දක්වා වර්ධනය කර ගන්න ඕනෑ. දෙවනුව 2032ට පෙර ආණ්ඩුවේ සමස්ත ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95% දක්වා අඩුකර ගන්නත් වාර්ෂික ණය ගැනීමේ අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14% දක්වා 2030 වන විට අඩුකර ගන්නත් ඕනෑ.
ආණඩුවේ ආදායම් සහ වියදම් කළමනාකරණයෙන් මෙම ඉලක්ක සම්පූර්ණ කර ගන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ සාගරය, භූමිය ඇතුළු ඕනෑම දෙයක් විකුණන්න උත්සාහ කරනවා. මේ විකිණීමෙන් අරමුණු දෙකක් ඉටුකර ගන්නවා. අයි.එම්.එෆ්. එකේ නිර්ණායක තුන සම්පූර්ණ කරන අතර ඩොලර්වලට විකිණීමෙන් ආණ්ඩුවේ වියදම්වලට මුදල් උපයා ගැනීම වගේම විදේශ සංචිත ගොඩනගා ගැනීමටත් පෙළඹෙනවා. අර්බුදයක් තිබෙන මොහොතක රටට ආයෝජකයන් එන්නේ නැහැ. එනවා නම් එන්නේ දේශපාලනික මැදිහත්වීම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විදේශ ආයෝජකයන් පමණයි. විකිණීමට යන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් එක් උදාහරණයක් හැටියට ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ගතහොත් 2023 රුපියල් බිලියන 40ක මෙහෙයුම් ලාභයක් අත්කර ගෙන තිබෙනවා. මේ ආයතනය පාඩු ලබන්නේ කළමනාකාරිත්වයෙන් ගන්නා වැරදි තීන්දු තීරණ සහ දේශපාලන තීන්දු නිසයි. මේ ආයතනය සේවකයන්ගේ ප්‍රශ්න නිසා පාඩුවෙනවා නොවෙයි. සේවක පිරිවැය ගත්තත් මේ ආයතනයේ සමස්ත වියදම්වලින් 6%යි. අවුරුදු ගණනාවක් තුළ මේ ආයතනයේ අලාභය රුපියල් බිලියන 612ක් විතර එකතුවී තිබෙනවා. පළමුවෙනි මොහොතේ සිට කළමනාකාරිත්වය ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තා නම් මේ වැනි තත්වයකට වැටෙන්නේ නැහැ. සැඟවුණු කතාව ඇතුලේ මෙන්න මේ වගේ කරුණු රැසක් තිබෙනවා.

මේ පිටුපස තිබෙන්නේ ආර්ථික අපරාධ. ඒ අතරේ තවත් තක්කඩි වැඩ කරන්න සූදානම් වෙනවා. ගිණුම්කරණ විජ්ජා මගින් බිලියන 102ක් භාණ්ඩාගාරයෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමට ආයෝජනය කිරීමේ සූදානමක් තිබෙනවා. මහජනතාවගේ මුදල් තමන්ට රිසිසේ යොදවන මේ ආකාරයේ සාපරාධී ක්‍රියා රැසක් තිබෙනවා. මේ උදාහරණය පමණක් ගත්තත් ආර්ථිකය වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන මහජනතාවගේ ජීවිත උසස් මට්ටමට පත්නොකරන බව තහවුරු වෙනවා. අනවශ්‍ය පුද්ගලීකරණය කිරීමෙන්, මහජන දේපළ විකිණීමෙන් විශාල බිඳවැටීම් සිදුවී ඇති බව ගෝලීය උදාහරණ මගින් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම බලශක්ති, මූල්‍ය, වගේ ක්ෂේත්‍රවල රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉතාමත්ම වැදගත්. සමස්ත ආර්ථිකයටම සහ මහජනතාවගේ ජීවිතවලට මේ ක්ෂේත්‍ර ඍජුවම බලපානවා. අයි.එම්.එෆ්. එකට හිරවුණු ග්‍රීසිය ඔවුන් සතුව තිබූ දුම්රිය, වරාය, වැනි ආයතන විකුණා උත්තර සොයන්න උත්සාහ කළා. නමුත් විශාල මහජන විරෝධයක් ඒ රටවල ඇතිවී තිබෙනවා. අපි උත්සාහ කළ යුත්තේ කෙසේ හෝ විකුණා දැමීමට මේ දූෂිත කණ්ඩායම ගෙනයන උත්සාහය කෙසේ හෝ පරාජය කිරීමටයි. එය පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට එහා ගොස් දේශපාලන තීන්දු මහජනතාව විසින් ගත යුතු වෙනවා. නීත්‍යානුකූල හෝ සදාචාරමය වැනි කිසිම පැත්තකින් බලයේ සිටීමට අයිතියක් නැති ආණ්ඩු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරනවා. මේ සියලු ක්‍රියාමාර්ගවල අවසානය වී තිබෙන්නේ ඔවුන් විසින් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී අපරාධ සිදුකිරීමයි. මේ තත්වයෙන් මිදීමේ සාමූහික මෙහෙයුමක් අපි සියලුම දෙනා විසින් සිදු කළ යුතු වෙනවා.

Show More