Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“කඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, January 21, 2024- අපේ රටේ විශාලතම කාන්තා නැගිටීමක් අද බදුල්ලෙන් සිදුකර තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපිට එරෙහිව මේ දවස්වල නගන අවලාද ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. කළුතර පැත්තේ රත්තරංවලට සම්බන්ධ කෙනෙක්, ගම්පහ පැත්තේ කප්පම් ගත්ත කෙනෙක්, මීගමුව පැත්තේ කුඩුවලට සම්බන්ධ කෙනෙක්, කුරුණෑගල පැත්තේ බදු පොලු තැබූ කෙනෙක්, ඒ වගේම ඇලෝසියස් සාධාරණීයකරණය කරන්න පොත් ලියලා සල්ලි ගත්ත […]

-Colombo, January 21, 2024-

අපේ රටේ විශාලතම කාන්තා නැගිටීමක් අද බදුල්ලෙන් සිදුකර තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපිට එරෙහිව මේ දවස්වල නගන අවලාද ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. කළුතර පැත්තේ රත්තරංවලට සම්බන්ධ කෙනෙක්, ගම්පහ පැත්තේ කප්පම් ගත්ත කෙනෙක්, මීගමුව පැත්තේ කුඩුවලට සම්බන්ධ කෙනෙක්, කුරුණෑගල පැත්තේ බදු පොලු තැබූ කෙනෙක්, ඒ වගේම ඇලෝසියස් සාධාරණීයකරණය කරන්න පොත් ලියලා සල්ලි ගත්ත කෙනෙක් තව පැත්තකින් ආදී වශයෙන් අවලාද විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. මෙහෙම වැඩිවෙන්න හේතුව අපේ රටේ සහෝදරියන්, අම්මලා, තාත්තලා, රවටන්න පුළුවන් කියලා ඔවුන් හිතාගෙන හිටිය තත්වය අවසන් කරමින් මාතරින් පටන් ගත් ගැහැනු සුනාමිය සතුරන් කලබලයට පත්කරමින් රට පුරා හඹාගෙන යනවා. අද බදුල්ල දැක්කාම තවත් කලබල වෙනවා. ගම්වල තිබෙන විවිධ තිබෙන සමිති සමාගම්වල සක්‍රියවම කාන්තාවන් සිටියත් දේශපාලනයේදී එය මහත්තයාට බාරදී මුළු ගන්වා තිබුණා. අද ඒ පවුරු, මිථ්‍යා මත බිඳ දමා ජාතික ජන බලවේගය යටතේ ලංකාවේ ප්‍රබලම කාන්තා නැගිටීම සිදුවෙමින් තිබෙනවා. සහෝදරියන්, කාන්තාවන් අවදි වුණා කියන්නේ ඔවුන්ගේ දේශපාලන මළගම අවසන් කරන බව පැහැදිලියි.

ගැහැනු පරපුර ලංකාවේ ඉදිරියටම එන්න ඕන බව අපිත් හිතනවා. අපේ රටේ තිබෙන්නේ ආර්ථික වශයෙන් කඩා වැටුණු, අපරාධවලින් ගහණය වුණු, මත්ද්‍රව්‍ය පැතිරුණු, සෞඛ්‍යය සහ අධ්‍යාපනය කඩා වැටුණු, ග්‍රාමීය ජනතාව විශාල ණය උගුලක හිරවුණු දුක්බර කතාවක්. ලෝකයේ රටකට වීසා නොදෙන තත්වයට පත්වී තිබෙනවා. පුහුණුවකට එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන් පිරිසකුත් පැනලා ගිහිල්ලා. ඉතිං වීසා දෙන්නේ නැහැ. ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වී තිබෙනවා. රටේ කතාව පමණක් නොවෙයි, ජනතාවගේ කතාවත් දුක්බරයි. රටේ කතාවටත් ජනතාවගේ පොදු කතාවටත් වඩා වැඩියෙන්ම දුක්බර වී තිබෙන්නේ අපේ රටේ කාන්තාවගේ කතාව. ගැබිණි මව්වරුන්ගෙන් 20%කට ආසන්න පිරිසක් ලේ හිඟකමින් පෙළෙනවා. හරිහමන් ආහාර වේලක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණාම වැඩියෙන්ම දුක් විඳින්නේ අම්මලා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ කල්පනා කරන්නේ අම්මලා. නමුත් ඒ දරුවන්ගෙන් 54%කට අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම අඩුකර හෝ නවත්වා දමා තිබෙනවා. දරුවන්ගෙන් 19%ක් අමතර පංති යෑම නතර කරලා. ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිවිපාක හෙණයක් වගේ දරුවන් මත කඩා වැටීමෙන් වැඩිම ප්‍රතිවිපාක විඳින්නේ අම්මලා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැඩිම වේදනා විඳින්නෙත් අම්මලා. සිරගෙවල් ආසන්නයේ උසුළු විසුළුවලට ලක්වෙමින් වේදනා විඳින්නෙත් අම්මලා. අපරාධවලින් පිරුණු රටක ගැහැනියට නිදහසක් නැහැ. අපේ රටේ දැරිවියන්ගෙන් විශාල පිරිසක් කවර වර්ගයක හෝ ලිංගික අඩම්තෙට්ටම්වලට ලක්වීමෙනුත් වේදනා විඳින්නේ අම්මලා.

රැකවරණයක් නැති මේ රට හොඳද? මේ විදිහට ගැහැනුන් ජීවත් වෙන්න ඕනෑද? නගරවල ආරක්ෂිතව යන්න පුළුවන් කාන්තා වැසිකිලි නැහැ. මේ නිසා විශාල වශයෙන් රෝග පීඩාවන්ට ලක්වී සිටිනවා. මේ විදිහට වේදනා විඳින සතුටක් නැති, විනෝදයක් නැති, අපේ අම්මලා, අක්කලා මියැදෙනවා. අපේ ගම්වල අම්මලා, අක්කලාට සතුටක් නැති, වියලි දර කැබලි වගේ ජීවිත අත්කර දුන්නත් ඒ ගොල්ලන්ට එහෙම නැහැ. ශිරන්ති නෝනා ඇවිදින කොට හත්අට දෙනෙක් වටෙන් යනවා. පාලකයන් ඇති කරන ලද ව්‍යසනයේ ප්‍රධානම ගොදුර බවට පත්වී සිටින්නේ කාන්තාවන්. මෙය වෙනස් කිරීමට ධෛර්යය සම්පන්නව නැගිටින්න ඕනෙ අපේ රටේ කාන්තාවන්. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6ක පමණ වැඩිම විදේශ විනිමය ප්‍රමාණය උපයා දී තිබෙන්නේ කාන්තාවන්. ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින්නෙත් අපේ සහෝදරියන්. ඊළඟට වැඩිම විදේශ විනිමය උපයන තේ කර්මාන්තයේ වැඩිම පිරිසක් සිටින්නෙත් අම්මලා සහ සහොදරියන්. මේ රටේ ආර්ථිකය තිබෙන්නේ ගැහැනුන් අතේ. අනෙක් පැත්තෙන් පාසල්වල වැඩිියෙන්ම සිටින්නෙත් ගුරුවරියන්. මේ විදිහට වැඩිම කාර්යයන් ප්‍රමාණයක් සිදුකරමින් ක්‍රියා කළත් වැඩියම දුක්විඳින කානාතාවන්ගේ තත්වය වෙනස් කළ යුතුයි. මෙතනට ඒකරාශීවී සිටින ඔබ සියලු දෙනාම අන්කවරදාටත් වඩා වැඩියෙන්, වේගයෙන් ඉදිරියට එමින් මේ තත්වය වෙනස් කළ යුතුයි.

වෙනදා ජනාධිපතිවරණය පැවැත්වූවොත් ඔවුන් දිනනවා. මහා මැතිවරණය පැවැත්වූවත් ඔවුන් දිනනවා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ ජනාධිපතිවරණය මුලින් පවත්වනවාද, මහා මැතිවරණය මුලින් පවත්වනවාද, යනුවෙන් ඔවුන් දෙලොවක් අතර අතරමං වෙන තරමට එන්පීපී එක බලවත් වෙලා ඉන්නේ. බඹරා වැල්ලෙත් කැරකෙන කාලේ අඛණ්ඩව මැතිවරණ තිබ්බා. අද බඹරට වැල්ලට බහින්නවත් බැරිවෙලා තිබෙන්නේ. මෙය වෙනස් කිරීම සඳහා හොඳම අවස්ථාව උදාවී තිබෙනවා. එළාර – දුටුගැමුණු දෙපැත්තේ සිටි රනිල් සහ මහින්ද වේදිකාවේ කඩදාසි කඩුවලින් යුද්ධකර ගන්නකොට ගම්වල අපේ අය පොලුවලින් ගහගත්තා. නමුත් අද වෙනකොට මේ දෙගොල්ලෝම එකම පිරිසක් බව හොඳින්ම ඔප්පු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ රට සවාරි යනකොට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මහජන මුදල්වලින් ගෙන්නාගෙන යනවා. උගන්ඩාවට යනකොට පොළොන්රුවේ ස.ජ.බෙ. කිංස් නෙල්සන්. බදුල්ලේ චාමර සම්පතුත් එක්කගෙන ගිහිල්ලා. එහෙ නතර කරලාම එයිද දන්නේ නැහැ. 75 වසරකට වඩා රට පාලනය කරමින් ආර්ථිකය කඩා වට්ටා හිඟන රටක් බවට පත් කළේ මේ දෙපිරිසම එකතු වෙලා. රටේ කර්මාන්ත කඩා වැට්ටුවා. ගම්වල අපි සතෙක් කන බොන දේවල්වලටවත් වස දෙන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්ජෙක්ෂන් කියලා අරගෙන තිබෙන්නේ දිලීර තිබුණු වතුර. දිලීරවලින් පිරුණු වතුර ඉන්ජෙක්ෂන් කියලා රෝගීන්ට ලබාදුන් සෞඛ්‍ය ඇමති අදටත් නිදැල්ලේ ඉන්නවා. හැම අතින්ම කඩා වට්ටන ලද රටක් අපට තිබෙන්නේ. ලංකාවේ රාජ්‍ය සේවය කඩා වට්ටලා, ස්ථිර පොලිස්පතිවරයෙක් නැති තරමට බංකොලොත් කරලා.

අපේ රටේ සියලු සමාජ සංස්ථා කඩා වට්ටලා. එහෙම රටක පන්සල විතරක් බේරෙන්නේ නැහැ. එක එක වර්ගයේ නාඩගම්කාර බෝධි සත්වයෝ ඇවිත් බහිනවා. සියල්ල කඩා වැටුණු තැනක මිනිස් සමාජයක් කඩා වැටිලා. රත්නපුරයේ ප්‍රේමලාල් ජයසේකර කියන පුද්ගලයා මිනිස් ඝාතන වරදකට මහාධිකරණයෙන් එල්ලුම් ගහට නියම කළා. ඒ ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප දුන්නේ ජනතාව. නුවර පොලී මුදලාලි කෙනෙකුගෙන් ණයට සල්ලි ගත්ත කෙනෙක්ගේ සල්ලි දෙන්න ප්‍රමාද වීම නිසා අර මුදලාලිගේ අත්දෙක කපාගෙන මෝටර් සයිකලයෙන් පොලීසියට ගියා. ජනතාව එයාව මහනුවර නගර සභාවට යැව්වා. කළුතරෙන් රෝහිත, මහනුවරින් මහින්දානන්ද, කුරුණෑගලින් ජොන්ස්ටන් පාර්ලිමේන්තු යවන තරමට මිනිස් සමාජය වැටිලා තිබෙන්නේ. මොනවා හරි දෙයක් ලබාගන්න තමන්ගේ මුළු ජීවිතයම උගස් තියන මිනිස්සු ඉන්නේ. මේ රටේ කිසි තැනක් ඉතිරිවෙලා නැහැ. පාරේ විකුණන අඹගෙඩියක් ගත්තත් විශ්වාසයෙන් ආහාරයට ගන්න බැහැ. මුළු මිනිස් ශිෂ්ටාචාරයම කඩා වැටිලා තිබෙන්නේ. කඩා වැට්ටූ මේ රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන්න නැවුම් දේශපාලන පරිවර්තනයක් රටට අවශ්‍යයි. සහකම්පනයක් සහිත මිනිස් සමාජයක් අවශ්‍යයි. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා රන් ගෙල බැඳි කන්‍යාවකට ආරක්ෂිතව යන්න පුළුවන් තත්වයක් එදා තිබුණා. අද කඩා වැටී තිබෙන මුළු සමාජ පද්ධතියම ගොඩගන්නා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. සාහිත්‍යය, ගීත, රසවිඳින, චිත්‍රපට බලන, නාට්‍ය බලන, පවුල් වගේම එක මේසයේ වාඩිවෙලා පවුලේ සියලු දෙනා කෑම කන සමාජයක් අපට අවශ්‍යයි.

ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ හුදු නායකයන් මාරුවක්, ආණ්ඩු මාරුවක් වෙනුවට මුළු සමාජ පද්ධතියම යළි නඟා සිටුවීමේ නව ජාතික පිබිදීමක් අවශ්‍ය බවයි. නව ජාතික නැගිටීමක් අවශ්‍යයි. නව ජාතික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. නව ජාතික ඒකමතියක් අවශ්‍යයි. නව ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. අපට අවශ්‍ය වෙන්නේ හුදු දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි; සියලු දෙනා ඒකාබද්ධ කරගෙන රාජ්‍යය ගොඩනැගීමේ දැක්මක් සහිත ව්‍යාපාරයක්. ඉන්දියාවේ නේරු, පාතෙල්, ගාන්ධි, සුභාෂ් චන්ද්‍රබෝස් වගේ සියලු දෙනා ඉන්දියාව එක්සත් කර, ජාතික අභිමානයකින් නැගිට්ටවා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළා. ඒ ජයග්‍රහණවල පිම්ම ජාතික න්‍යාය පත්‍රයක් අනුව හසුරුවන ඉන්දියාව අද හඳට යනවා. නමුත් අපේ රටේ සවස හයෙන් පස්සේ රිදීමාලියැද්දට යන්න බස් එකක් නැහැ. පාරේ යනකොට අලි ගහනවා. ඉන්දියාවේ අබ්දුල් කලාම් වගේම කුලහීන කාන්තාවක් ජනාධිපති වුණා. ලෝකයේ රටවල් නැගිට්ටේ ජයග්‍රහණවලදී විතරක් නොවෙයි. පරාජයන්හිදිත් නැගිට්ටා. පරමාණු බෝම්බවලින් විනාශ වුණු ජපානය ආසියාවේ දැවැන්තම තාක්ෂණික රාජ්‍ය බවට පත්වී නැගී සිටියා.

අපේ රටේ නායකයන් 1948 නිදහස ලැබුණු වහාම පුරවැසි පනත ගෙනැත් වතුකරයේ දෙමළ ජනතාව පළවා හැරියා. 1956 භාෂා පනත ගෙනැත් කෝලාහල පටන් ගත්තා. 2019 පාස්කු ප්‍රහාරය දක්වා මේ විදිහට ගමන් කළා. වෙනත් රටවල් පිබිදීමේ ඉතිහාසයක් තිබෙන කොට, අපේ රටේ කුලල් කා ගැනීමේ ඉතිහාසයක් තිබෙනවා. නායකයන්ට ජාතික දැක්මක් තිබුණේ නැහැ. විමලසුරේන්ද්‍ර වැනි ඉංජිනේරුවන්, විශාල දැක්මක් සහිතව 1917දී පමණ ජල විදුලි බලාගාර සැලසුම් කළා. නමුත් අපේ නායකයෝ ඒ දියුණු චින්තනයට ඉඩක් දුන්නේ නැහැ. අතීතයේ තිබුණු දේවල් ගැන පුරාජේරු දොඩවන නායකයන් හිටියා. මෙයින් රට මුදා ගන්නා නව පිබිදීමක් අපට අවශ්‍යයි. මේ විනාශකාරී, චෞර කණ්ඩායම දෙපැත්තට පැන පැන භූත වළල්ලක් වගේ මේ දක්වා ඇවිත් තිබෙනවා. ඒ භූත වළල්ලෙන් මිදීම සඳහා ධෛර්ය සම්පන්නව කැපවීමෙන් අපි වැඩකරනවා කියන හැඟීමක් ඇතිවීමම විශාල තෘප්තියක් නොවෙයිද? මේ සාපයෙන් ගැලවුනහම කොතරම් සැනසීමක් අතිවෙයිද? අන්න එවැනි නැගිටීමක් අවශ්‍යයි. ගමේ පක්ෂ භේද තියාගන්න එපා. උඩ ඉන්න නායකයෝ එක්ක ඒ භේද තියාගන්න. එක්සත් ජාතික පාක්ෂිකයා, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා වගේ බෙදීම් පැත්තකින් තියලා ජාති, කුල භේද පැත්තකින් තියලා මේ භූත පාලකයන්ගෙන් මේ රටත් සමාජයත් බේරා ගන්න නව පිබිදීමකින් ඉදිරියට එන්න.

මේ වසරේ එන කවර හෝ මැතිවරණයකදී ඒ නව පිබිදීම වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වී වැඩ කරමු. අපේ දරුවන්ට නව අධ්‍යාපනයක් ලබාදී, කර්මාන්තකරුවන්, ධීවරයන්, ගොවීන් නඟාසිටුවා රට ගොඩනඟන්න එක්වෙමු. පුරවැසියන්ට සෞඛ්‍ය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න ඕනෑ. රටේ සියලුම ජනතාවට පෝෂ්‍යදායී ආහර වේලක් ලබාදීම තහවුරු කරන්න ඕනෑ. අපරාධකරුවන්ගෙන් තොර රටක් හදන්න ඕනෑ. වංචාවේ, දූෂණයේ යෙදුණු අයට දඬුවම් දෙන්න ඕනෑ. මෙතෙක් මේ රටේ ජනතාව විඳි දුක් සුසුම් නිමාකර, මේ රට හොඳ රාජ්‍යයක් බවට පත්කිරීමේ පොදු සිහිනයේ කොටස්කරුවන් වෙන්න ඕනෑ. ඒ රට ගොඩනැගීමේ නව පුනරුද යුගයක ක්‍රියාකාරී කොටස්කරුවන් වෙන්න ඕනෑ. අපි ආරම්භය ගනිමු. ඉතා හොඳ ප්‍රතිඵල අපේ දරුවන් භුක්ති විඳීවි. අපි ඡන්දය දිනනවා කියන්නේ මේ වැඩේ අවසානය නොවෙයි, ආරම්භයයි. අපි හැමදෙනාම ධෛර්යයෙන් මේ කාර්යයට මැදිහත් වෙමු කියලා ආරාධනා කරනවා.

“අපි මේ ගමන යන්නේ අපේ අනාගත දරුවන්ට යහපත් ලෝකයක් තනන්නයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-

බදුලු දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ බලවේගය දකින විට, මේ එකමුතුව ගොඩනගන්න කැපවුණු සහෝදරියන්ගේ විඩාව, නැතිවෙලා යනවා. ප්‍රශ්න මතින්, කඳුළු මතින් ගොඩනැගුණු මේ බලවේගය නවත්වන්න කිසිවෙකුට බැහැ. බදුලු පුරවරයෙන් ආරම්භ කළ මේ ගමන ජයග්‍රහණය තෙක් අපි යනවා. අපි මේ ගමන දැඩි අධිෂ්ඨානයෙන් යන්නේ අපේ අනාගත දරුවන්ට යහපත් ලෝකයක් තනන්න.

ලංකාව තුළ ඔබ කොතරම් හුදකලා වෙලාද?, නිවස තුළ ඔබ කොයිතරම් පීඩාවට පත්වෙලාද? ගැහැනියට තිබෙනවා ඕනෙම අභියෝගයකට මුහුණ දීමේ හැකියාවත්, දරාගැනීමේ ශක්තියත්. ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමේ හැකියාව ඇයට තිබෙනවා. වසර 75ක් තුළ නිවසේ ඔබ විශාල පීඩාවක් වින්දා. දරුවන්ගේ සිහිනවලට පණ දෙන්න බැරිවුණාට පස්සේ කොතරම් පසුතැවෙන්න ඇත්ද? අපි පසුතැවිය යුතු නැහැ. අපට තිබෙනවා අරමුණක්, මාවතක්, හෙටක් තිබෙන තැන තමයි ජාතික ජන බලවේගය. එතැනදි අපි ධෛර්යයෙන් එකතු වෙමු.

අද කැරට් මිල අහස උසට ගිහින් තියෙනවා. බදුල්ලේ ගොවියන්, ගෙවිලියන්ගේ අපි ඇහුවා කැරට් මිල ඉහළ ගිය නිසා අතමිට සරු ඇති නේද කියලා. කොළඹ එවැනි මිලක් වුණාට ඔවුන්ට ඒවායේ ලාභය ලැබෙන්නේ නැහැ. ඉදිරියේ එන්නේ බඩ ඉරිඟු නෙළන කාලය. මේ අවස්ථාව වෙනවිට පිටරටින් බඩ ඉරිඟු මෙට්්‍රක් ටොන් 15,000ක් ගෙන්නවන්න ඇමතිවරයා සූදානම් වෙනවා. කණකර උගස් තියලා බඩඉරිඟු වගාකළ ගොවියාට තමන්ගේ අස්වැන්නට හොඳ මිලක් ලබාගන්න නොහැකි වෙනවා. පාලකයන් හිතන්නේ කොමිස් මුදල ගැන. අපේ දුක, පීඩාව ගැන හිතන්නේ නැහැ. අපට ඕනෙ හොඳ නිෂ්පාදන හා සේවා ආර්ථිකයක්. මාලිමාවේ අපි හදන්නේ එවැනි ආර්ථිකයක්. අපිට වගකීමක් තිබෙනවා. අද මේ අපේ පටන් ගත් ගමන ජයග්‍රහණය දක්වා යා යුතුයි. ඔබ වඩ වඩාත් දැනුවත් වෙන්න. ගේ තුළ ප්‍රශ්න සමාජයට ගෙනයන්න. තවත් කාන්තාවන් හමුවෙන්න, ඔවුන් දැනුවත් කරන්න. අලුත් අනාගතයක් ගොඩනැගීම සඳහා මාලිමාව දිනවන්න.

“නිධන්ගත ශක්තියක්, ජවයක්, හැකියාවක් කාන්තා ඔබට තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්න-

මෙතනට සිටින දහස් ගණනක් වන මෙම කාන්තාවන් යමක් බලාපොරොත්තුව පැමිණි අය නොවෙයි. මේ දුෂ්ට දේශපාලනය මේ රටින් තුරන් කළ හැකි එකම බලය තිබෙන ව්‍යාපාරය ජාතික ජන බලවේගය නිසයි. මේක ඓතිහාසික තත්වයක්. ස්වාමියා මිය ගියාම බිරිඳට, තාත්තා මිය ගියාම දුවට, සහොදරයා මිය ගියවිට සහෝදරියට නායකත්වය ලැබිලා තිබෙනවා. සිරිමාට, චන්ද්‍රිකාට, හේමාට, පවිත්‍රාට නායක්තවය ලැබුණේ එහෙම. 2024 මේ මහපොළොවේ කාන්තා නායිකාවන් බිහිවෙන තිඹිරිගෙය බවට පත්වෙලා තිබෙන්නේ ජාතික ජන බලවේගය බව මේ වේදිකාවේ සපථ කර තිබෙනවා. සමහරු අහනවා නායකයෝ නැතිව මේ රට හදන්න පුළුවන්ද කියලා. නායකයෝ ඉන්න ඕනෙ හොරකම් කරන්න, ගණිකා මඩම් දාන්න, ඉස්කාගාර දාගන්න, නම්, මේ රට වනසන්න නම්, කුමකටද ඒ නායකත්වය. නම ගිය නායකයෝ මේ රටේ මතුවෙලා නෑ වගේ පෙනුනට ජනතාවට නායකත්වය දෙන්න මේ ආදරණීය සහෝදරියන් සූදානම් කියා පෙන්වලා තිබෙනවා. රට ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ අවංකකම, ධෛර්යමත්භාවය, නායකත්වය. ඒ නායකත්වය තිබෙන එකම දේශපාලන ජාතික ජන බලවේගය පමණයි, කියා ඔප්පුකර තිබෙනවා.

ලෙන්දොර ඇරගෙන එළියට පැන්නාය
හැත්තෑ හය වසරක් රටට නුඹලා දුක් දුන්නාය
උන්ගේ වේදිකා උන්ගේ බලකොටු අද දින සින්දාය
අද දින බදුල්ලෙත් ජයකොඩි නැංගාය

අද කාන්තාවන්ගෙ හැටි පෙන්නලා තිබෙනවා. මේ පාලකයෝ කාන්තාවන් පැත්තකට දාලා තිබුණේ. තමන් තේරුම් ගත්තේ නැති නිධන්ගත ශක්තියක්, ජවයක්, හැකියාවක් කාන්තා ඔබට තිබෙනවා. මේ රටේ ලොකුම වැඩ බිම කර්මාන්ත ශාලා නොවෙයි. ලොකුම වැඩ බිම ගෙවල්. ඒ ගෙවල්වල, වැඩිම ශ්‍රමය වගුරන කෙනා කාන්තාව. එයාලා වැඩ කරන්නේ පැය අටක් නොවෙයි. අතිකාල, අමතර දීමනා, උසස්වීම් නෑ. අපේ රටේ දෙකෝටි විසිලක්ෂයක් වන ජනතාව රැක්කා. බිහි කළා, ඇතිදැඩි කළා. කාන්තාවට මේ රට ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා කියන එක 2024 ගොඩනැගෙන පාර්ලිමේන්තුවේදිත් පෙන්වන්න සූදානම්.

කාන්තාවන්ට සටන තිබෙන්නේ පිරිමින්ට එරෙහිව නොවෙයි. හිංසනය තිබෙන්නේ ගෘහස්ත හිංසනය පමණක් නොවෙයි. මේ රටේ ගැහැනු, පිරිමි හැමෝටම හිංසනය උපද්දවන්නේ ජනාධිපති, පාර්ලිමේන්තුව. හිංසනය උපද්දන තැන නැතිකරලා, අතුගා දමන වර්ෂය 2024 බවට සනිටුහන් කරගන්න. ජනතා බලයට පත්වෙන අයගේ ප්‍රධාන කාර්යභාරය තමයි ජනතාවට හොඳ ආහාර වේලක් දෙන එක. මේ පාලකයෝ තෙල් මිල, පිටිකිරි මිල, පොහොර නැති කළා, බී ළුෑණු මිල, සීනි මිල, වැඩිකළා. මිල වැඩිකිරීමට සමානව අපි අකුළා ගන්න ඕනැද? අකුලන්න ඕන නැහැ. මේ රටේ සමස්ත ජනතාව එකතු වෙලා, වැඩිකරන එවුන් ගෙදර යවලා ජනතාවට ජීවිතයක් දෙන්න පුළුවන්, දරුවන්ට රටක් හදන්න පුළුවන් මාලිමාවත් එක්ක එකතු වෙලා විශාල කාර්යභාරයක් කරන්න ඕනෙ. මේ රටේ වටිනාම සංචිතය තමයි ඔබ. මේ රට ගොඩනගන්න ඔබට පුළුවන්. මේ රට හදන්න ජාතික සැලැස්මක් තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. ඔබත් අපත් එකතු වුණාම මේ විනාශ කරපු රට හදන්න පුළුවන්. ලොකුම වේදනාව ප්‍රසූත වේදනාව කිවුවට, ඒ බිහි කළ දරුවාට කන්න ටික දෙන්න නැතිවෙනකොට ඇති වෙන වේදනාව, දරුවට අධ්‍යාපනය දෙන්න බැරිවෙන කොට, බෙහෙත් හේත් ටික දෙන්න බැරිවෙන කොට ඇතිවෙන වේදනාව බරපතළ නැද්ද? මේ නිල්, කොළ, පාලකයෝ ඔබට දීල තිබෙන වේදනාව ප්‍රසූත වේදනාවට වඩා වැඩි බව ඔබට තේරම් ගන්න පුළුවන්. මේ වේදනාව නිම කරලා, අලුත් බිහිකිරීමක් කරන්න ඕනෑ. ජනතා බලයක් වන ජාතික ජන බලවේගයේ අලුත් දේශපාලන පොතක්, අලුත් ආණ්ඩුවක්, අලුත් ජනාධිපති කෙනෙක් බිහිකරන්න කවුරුත් කටයුතු කරන්න. ඔබට අයිතියක් තිබෙනවා, දරුවන් බිහි කළා වගේ දරුවන්ට හොඳ ආණ්ඩුවක් බිහිකරන්න.

අද කැරට් අධි සුඛෝපභෝගී ආහාරයක් වෙලා. ජනතාව කන්න නැතිව අපා දුක් විඳිනකොට රනිල් වික්‍රමසිංහ පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් රට සවාරි යන්න ලක්ෂ 2000ක් වෙන්කර ගත්තා. පසුගිය දිනෙක සුඛෝපභෝගී නෞකාවක නැගලා මධුවිත තොලගාමින් රස බොජුන් වැළඳුවා. ගහන්න පුළුවන් සියලුම බදු ගහලා මිරිකලා අරගෙන උන් රට සවාරි යනවා. රනිල් පත්වෙලා කෙටි කාලෙට රට සවාරි, එංගලන්තෙට හතර වතාවක්, ජපානෙට දෙපාරක්, මේ දිනවල දින 11ක සවාරියක් යනවා. උඹලගේ කාලෙ ඉවරයි. ජනතාවට වද දුන් කාලෙ ඉවරයි. ඔබෙන් ලබාගන්න බදු මුදලෙන්, 2024 අයවැයෙන් පස්දෙනෙකුට වෙන් කළා ලක්ෂ එක්දහස් එකසියයක්, පස්දෙනෙකුට පඩිනඩි ගෙවන්න. ඒ කවුද? චන්ද්‍රිකා, සජිත්ගේ අම්මා හේමා, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය, මහින්ද රාජපක්ෂ. අපි අද බලය ගත්තොත් ඔය ලක්ෂ එක්දහස් එකසියයම ඉතිරියි. ඔය ජනතාව මිරිකලා ගන්න බදු මුදල්වලින් කනබොන කෑම 2024 වසරෙන් මකලා දානවා. අපි ශක්තිය ගනිමු. ඔබට ගරුත්වයක් තිබෙන රටක් හදන්න, රට නිදහස් කර ගන්න, කාන්තාවට බයක් සැකක් නැතිව යන්න එන්න හැකි රටක් හදන්න සිතට ගනිමු. ඒ වෙනුවෙන් ගමට යන්න. ගමේ බිමේ වැඩ කරන්න. අනෙක් අයට කතා කරන්න. තව තවත් දැනුවත් කරන්න.

හෙට මේ රටට නව හිරු පායා ඒවී
ඒ සුබ පෙරනිමිති දැන් මතුවී ඒවී
ගැහැනුන්ගේ වෙනස ජය මඟුලක් වේවී
සත්තයි දරුවනේ ලක්මව් හිනැ හේවී

“කාන්තාවන් ජාතික ජන බලවේගයට රොද බඳින්නේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයීතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ්-

මේ අද පවත්වන්නේ පස්වෙනි කාන්තා සමුළුව. ඉතා ආඩම්බරයෙන් කියනවා අපි ජයග්‍රහණය කරලා ඉවරයි. අද වතුකරයේ, ඇඟලුම් ක්ෂේත්‍රයේ, මැදපෙරදිග ගෘහ සේවය, රාජ්‍ය ආයතනවල වැඩිම ශ්‍රම දායකත්වයක් සපයන්නේ කාන්තාවන්. මේ ශ්‍රම බලකාය ඇතුලේ විශාල දායකත්වයක් දක්වන්නට කාන්තාවන්ට හැකියාව තිබියදීත් ඔවුන් ගෙවල් ඇතුලේ ගාල් කර තිබෙනවා. අපේ කාන්තාවගේ ශ්‍රමය, නුවණ, ආකල්ප, දැනුම එකතු කරලා මේ රට ගොඩනඟන ඉදිරි ගමන් මාර්ගයට ගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි.

අද මේ රට කාන්තාවන්ට, දරුවන්ට යහපත් රටක් නොවෙයි. පාසල් පොත් බෑගයක මිල රු:4500ක් පමණ වෙනවා. සපත්තු දෙකට රු:4000ක්. එක දරුවෙකුට අවශ්‍ය පාසල් පොත්පත්, උපකරණ, නිල ඇඳුම්, පොත් බෑගය, සපත්තු සූදානම් කරන්න රුපියල් 20,000ක් අවශ්‍ය වෙනවා. ග්‍රාමීය ආර්ථිකය කඩා වැටිලා, එදිනෙදා ආදායම් මාර්ග සියල්ල නැතිවෙලා, තුන්වේල කන්න නැතිව ඉන්න මිනිසුන්ට, දරු පැටව් දෙතුන් දෙනෙක් ඉන්න පවුල්වල දරුපැටව් පාසල් යවන්නෙ කොහොමද? එය විශාල වේදනාවක් දෙන ප්‍රශ්නයක්. දරුවා ප්‍රසූත කිරීමේදී දැරුවාට වඩා වේදනාවක් තමන්ගේ දරුවාගේ අනාගතය අඳුරුවෙනවා පෙනි පෙනී විඳදරා ගැනීමට සිදුවෙනවා නම් එය මොනතරම් වේදනාවක්ද? අපේ වටිනාම සම්පත අපේ දරුවෝ. රටේ ජනගහනයෙන් 70%ක් සාපේක්ෂ දරිද්‍රතාවයට කඩා වැටිලා. ඒ ඇතුලේ ඔබ අපි හැමදෙනාම ඉන්නවා. බිත්තරයක්, මස්-මාළු කෑල්ලක්, චීස් ටිකක්, බිත්තරයක් තමන්ගේ පොඩි එකාට දෙන්න බැරිව තැවෙන අම්මලාගේ වේදනා බර මුහුණු අපිට පේනවා. අපි මේ දුක විඳින්නේ අපි ගහපු කතිරයේ ප්‍රතිඵල නිසා බව අපි හැමෝම තේරුම් ගෙන ඉවරයි.

මෙතෙක් වැට් බදු අය නොකරපු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 97කට, ආහාර වර්ගවලට, පොත්පත්වලට, ඉන්ධනවලට වැට් බදු ගැහීම නිසා අපි කබලෙන් ලිපට වැටී තිබෙනවා. මේ නිසා එක පවුලකට ජනවාරි මාසයේ සිට රු:20,000ක මුදලක් වැට් බදු ගෙවන්න සිදුවෙන බව රජයේ සංඛ්‍යා ලේඛනවලින්ම කියනවා. 2024 අධ්‍යයන වර්ෂයට පෙළපොත් මුද්‍රණය සඳහා ගෙවිය යුතු මුදල් භාණ්ඩාගාරය සතුව නැති බව පුවත්පත්වල වාර්තා වුණා. ඔබේ පාසල් දරුවාට පෙළපොත් ලැබීම අභියෝගයක් නම්, අපි ගෙවන වැට් බදුවලට සිදුවන්නේ කුමක්ද? පිළිකා රෝගීන්ට එන්නත් ගෙනල්ලා රුපියල් කෝටියක් ගසාකාලා තිබෙනවා. ඉමිනොග්ලොබින් නමැති එන්නත වෙනුවට පාටකරපු වතුර විදින පාලකයෝ. මේ විදිහේ පාලකයන්ටද අපි කතිර ගසා පත්කර ගත්තේ කියලා හිතන කොට හැබෑම කනගාටුවක් ඇති වෙන්නේ.

අපි කොහොමද දරුවන්ට අනාගතයක් ගොඩනගන්නේ. ජාතික ජන බලවේගයට එකතු වෙන්නේ අන් කිසිවක් සඳහා නොවෙයි මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. ඒ වගේම දුක්විඳින ජනතාවගෙන් සූරාකන ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ. ලක්ෂ දහයකට ආසන්න කාන්තාවන් සහ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා. ඒ වගේම 56,000ක් දරුවෝ බඩගින්නට බඩඉරිඟු කනවා කියල පුවත්පත්වල පළවී තිබුණා. මේ දුක්විඳින ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ඕනෑ. පීඩාවට පත් ජනතාවට තවත් බදු ගහලා ජනතාව අසරණ කරන ආණ්ඩුවක් තවදුරටත් ඕන නැහැ කියලා 56%ක් වුණු කාන්තාවන් තීරණය කරලා ඉවරයි. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න, මේ පාලකයන් පලවා හරින්න ඕනෑ. ඒ සඳහා නායකත්වය දිය හැකි, ජනතාව සමග අත්වැල් බැඳගන්න පුළුවන්, පරමාදර්ශී නායකත්වයක් දිය හැකි බලවේගය තමයි ජාතික ජන බලවේගය. අපි අපේ දරුවන්ට කෙලින් හිටගෙන තමන්ගේ අභිමානවත් අනාගතය කරා පිය නගන්න, අනාගතයක් ගොඩනගන්න නම්, අම්මාවරු, සහෝදරියන් ලෙස, මේ රටට වගකියන පුරවැසියන් හැටියට මේ බලවේගය අපි අතට ගන්න ඕනෑ. “ගැහැනු අපි එක මිටට” කියන මාතෘකාව තේරුවේ ඒ නිසයි. මොකද, තවදුරටත් දූෂිත පාලකයෙකුට මේ රටේ ජනතාව සූරා කන්න ඉඩ තියන්නේ නැහැ කියන එක ජාතික ජන බලවේගය හැටියට අපි කියනවා. 56%ක් වූ කාන්තා බලය සුළුපටු බලයක් නොවෙයි.

අපේ ආර්ථික ක්ෂේත්‍රය ඇතුලේ, කර්මාන්ත ක්ෂේත්‍රය, ගොවිතැන, සුළු කර්මාන්ත හා ව්‍යාපාර තුළ කාන්තාවන්ට විශාල දායකත්වයක් ලබාදෙන්න ඕනෑ. නිෂ්පාදන ආර්ථියකක් ඒ ආර්ථිකයට ජන සහභාගිත්වයත් එහි ප්‍රතිලාභ ගැහැනුන් වන ඔබ සියලු දෙනාටම සාධාරණව බෙදී යන විදිහේ සක්‍රීයව දායක විය හැකි ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. එක ඇතුලේ තමයි ඔබේ අතමිට සරුවෙන්නේ. ඔබේ අපේ දරුවාට හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවයක්, අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි අනාගතය ගොඩනගා ගන්න පුළුන් වෙන්නේ. පසුගිය අවුරුදු දෙක ඇතුලේ ලක්ෂ 15කට ආසන්න පිරිසක් රැකියාවක් නැතිව කුමක් හෝ රැකියාවක් සොයමින් ඉබාගාතේ යන තත්වයට පත්වී තිබෙනවා. මේ හැම එකකට උත්තර සපයන්න හැකි, අනාගතය අහිමි වුණු, අපේක්ෂාභංගත්වයට පත්වුණු අපේ පරපුරට වගකියන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. ඒ වෙනුවෙන් අපි අත්වැල් බැඳ ගනිමු. ජාතික ජන බලවේගය වටා රොද බඳිමු.

ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් පීඩා විඳින ජනතාව බදු නිසා තවත් පීඩා විඳිනවා, ණය ගෙවා ගත නොහැකි මිනිසුන් සියදිවි නසා ගන්නවා. ඒවට උත්තර ලබාදී නැහැ. මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ. මේ පීඩනය, සූරාකෑම කර මත පටවන ගමන් ගැහැනු අපව දේශපාලනයෙන් නෙරපා හැර තිබෙනවා. කතිරය ගැසීමෙන් පමණක් දේශපාලනයට දායක වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළත් කාන්තා නියෝජනය තිබෙන්නේ 5%කට පමණයි. තීන්දු තීරණ ගන්නා තැන්වලින් අපව ඉවත්කොට තිබෙනවා. අපි තීන්දුව ගන්න ඕනෙ මහපොළොවේදී. අපට මේ තීන්දුව ගන්න තිබෙන්නේ තව මාස 08ක් පමණයි. මහපොළොවේදි අප ගන්නා තීන්දුවෙන් මේ දේශපාලන බලකොටු සුණුවිසුනු කරලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි පිහිටුවන බවට පොරොන්දු වෙනවා. ඒක අපේ ඉලක්කය. අපේ දරුවන්ගේ සිනහව ගේන තැන. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අම්මලා හැටියට අපි කළ යුතු මහඟු යුතුකම එයයි. මේ පණිවිඩය ගෙන් ගෙට අරගෙන යන්න. ඒ පුරවැසි වගකීම ඉටුකිරීමට අපි සියලු දෙනාම එකතු වෙමු.

Show More

“රට යළි පුබුදුවන නව දේශපාලන ගමනට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගයයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, January 20, 2024- හෘදය සාක්ෂියක් තිබෙන, රටට නීතියක් විනයක් අපේක්ෂා කරන ජනතාව මෙවර පැහැදිලි වෙනසක් කිරීමට අප වටා එකතු වී සිටිනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේම නියෝජිතයෙක් ලෙස අලි සබ්රි රහීම්ව පාර්ලිමේන්තුවට තෝරා යැව්වා. එවැනි අය පුත්තලම දිස්ත්‍රික්කයෙන් යැවීමට ඡන්දය දුන් ඔබ, ඔබේ ඡන්දය ගැන ආඩම්බර වෙනවාද? මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේ මන්ත්‍රී කෙනෙක් […]

-Colombo, January 20, 2024-

හෘදය සාක්ෂියක් තිබෙන, රටට නීතියක් විනයක් අපේක්ෂා කරන ජනතාව මෙවර පැහැදිලි වෙනසක් කිරීමට අප වටා එකතු වී සිටිනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේම නියෝජිතයෙක් ලෙස අලි සබ්රි රහීම්ව පාර්ලිමේන්තුවට තෝරා යැව්වා. එවැනි අය පුත්තලම දිස්ත්‍රික්කයෙන් යැවීමට ඡන්දය දුන් ඔබ, ඔබේ ඡන්දය ගැන ආඩම්බර වෙනවාද? මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේ මන්ත්‍රී කෙනෙක් කියලා පාර්ලිමේන්තු යැවූ අලි සබ්රි රහීම් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද උපයෝගී කරගෙන රත්රං ජාවාරම් කර, අහුවුණා. නමුත් පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් නීති හදන්නත් අත ඉස්සුවා. ඊයේ නීති කඩලා එයාර් පෝර්ට් එකේදී අහුවුණු කෙනා අද නීති හදන්න පාර්ලිමේන්තුවේදී අත උස්සනවා. මේ සමාජය, ආර්ථිකය, නීතිය විතරක් නොවෙයි කඩා වැටිලා තිබෙන්නේ. මිනිසුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, ඇතුළු මුළු සමාජ දේහයම කඩා වැටිලා. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණයේ වැරදිකරු වූ ප්‍රේමලාල් ජයසේකර රත්නපුරයෙන් අංක එකට එවනවා. ගම්පහෙන් ප්‍රසන්න රණතුංග එවනවා. කළුතරින් රෝහිත අබේගුණවර්ධන එවනවා. මහනුවරින් මහින්දානන්ද එවනවා. කුරුණෑගලින් ජොන්ස්ටන් එවනවා. අනුරාධපුරෙන් මාවිල්ආරු එස්.එම්. චන්ද්‍රසේන එවනවා. මිනිස්සු හිතන පතන විදිහ කඩා වැටී තිබෙන ආකාරය මේ තුළින් පැහැදිලියි. “හොරෙක් වුණත් කමක් නැහැ, මට කීයක් හරි දෙනවා නම්” කියලා මිනිස්සු කල්පනා කළා.

එහෙම හිතලා රටක් හදන්න බැහැ. ඒ නිසා රාජ්‍ය සේවය මහජනයාට ගෞරවාන්විතව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ. දේශපාලනය පිරිසිදු වී මිනිසුන් මීට වඩා ගුණයහපත් අනෙකා ගැන කල්පනා කරන අය බවට පත්වෙන්න ඕනෑ. බුදු දහම, ක්‍රිස්තු ධර්මය, නබිනායකතුමාගේ ධර්මය, හින්දු ධර්මය කියන ප්‍රධාන ආගම් හතරකින් මේ සමාජයට මග පෙන්වනවා. මේ සියලු ආගම්වලින් අනෙකාට මෛත්‍රීය දක්වන්නත්, ආදරය කරන්න, සහෝදරත්වය පළ කරන්න, දේශනා කර තිබුණත් ඒ ආගම් අදහන පුරවැසියන්, හොරුන්ව පාර්ලිමේන්තුවට යවනවා. ඒ නිසා දැන් දේශපාලනයේ විතරක් නොවෙයි, සමාජයේත් ප්‍රශ්නයක් තිබෙනවා. නාරම්මලදී රියදුරෙකුට වෙඩි තැබූ පොලිස් නිලධාරියා “මූ මැරිලාද දන්නේ නෑ” කියලා කියනවා. වෙඩි පහරට ලක්වුණේ මිනිහෙක් නොවෙයිද? කම්පනයක් තිබෙනවාද? රටකට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. විශේෂයෙන්ම 1978න් පසුව අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිවිපාකය බවට පත්ව තිබෙන්නේ අපේ ඇස් ඉදිරිපිට මුළු සමාජ දේහයම කඩා වැටීමයි. වැඩිම දැරියන් ප්‍රමාණයක් ලිංගික අඩම්තේට්ටම්වලට ලක්වී තිබෙන්නේ තමන්ගේ කිට්ටුම ඥාතීන්ගෙන්. අපි ඉස්සරහා තිබෙන්නේ එහෙම සමාජයක්. ආර්ථිකය හරි ගියොත් මේ සමාජය ගොඩයන්නේ නැහැ. නීතියේ විධානය ආධිපත්‍යය, තහවුරු කිරීමෙන් පමණක් ගොඩයන්නෙත් නැහැ. මේ සමාජ දේහයම අලුත් පරිවර්තනයකට ලක්කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ක්‍රියාකරන්නේ ඒ වෙනුවෙන්. මානවවාදී සමාජයක් වෙනුවෙන් සියලු අංශ පරිවර්තනය නොකර අපේ රටට ඉස්සරහට යන්න බැහැ. අපි යෝජනා කරන්නේ ඒ සමාජ පරිවර්තනය වෙනුවෙන් අවශ්‍ය බලයක් ලබා දෙන්න කියලයි.

නව පරිවර්තනයක් ගැන රනිල් වික්‍රමසිංහට හැඟීමක්වත් නැහැ. මිනිසුන්ට කන්ඩ නැතත් ආර්ථිකය හොඳ බව එයත් එයාගේ ගොලයෝ කියනවා. බෙහෙත් නැති, අධ්‍යාපනය ලබාගන්න බැරි, මිනිසුන්ට ප්‍රතිලාභ නැති ආර්ථිකයකින් ඇති ඵලය කුමක්ද? ඒ ගොල්ලෝ ආර්ථිකය දත්ත ඇතුලේ මිස ජීවිත. ඇතුලේ බලන්නේ නැහැ. සමහර අය සිතනවා බෙදන එක දේශපාලනය කියලා. දැන් කොච්චර නම් බෙදුවාද? දේශපාලන ව්‍යාපාරයක් නම්, ජනතාව ව්‍යසනයන්ගෙන් මුදාගන්න මැදිහත් වෙන්න ඕනෑ. අපි පෙනී සිටින්නේ ඒ පුළුල් සමාජ, ආර්ථික, දේශපාලනික මැදිහත්වීම වෙනුවෙන්. ඒ පරිවර්තනය වෙනුවෙන් ජනතාව අවදිකරන, ජනතාව පෙළගස්වන ජාතික ජන බලවේගයේ දේශපාලන කඳවුර එක පැත්තක සිටිනවා. අනෙක් පැත්තේ ජනතාව පීඩාවට පත් කළ, ජීවත්වීමට නොහැකි තත්වයක් ඇති කළ ජනතාව යාචකයන් බවට පත්කළ, බෙදන දේශපාලනය ක්‍රියාත්මක කරන, මහජනයාගේ ධනය සොරකම් කරන, දේශපාලනය තිබෙනවා. මේ රට යළි පුබුදුවන නව දේශපාලන ගමනට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගයයි.

ඉන්දියාවේදී සුද්දා පලවා හැරීමේ ජාතික ව්‍යාපාරය සුද්දා පලවා හැරීමෙන් පසුව ඉන්දියාව හඳට ගෙනයාම දක්වා ක්‍රියාත්මක වී තිබෙනවා. මේ සියවසේ ලෝකය ගැන පුරෝකථනය කර, ඊට ගැලපෙන ආර්ථික, දේශපාලන, සමාජ පරිවර්තනය ඒ රට, සමාජය තුළ සිදුකළා. අබ්දුල් කලාම් ජනාධිපති වීම, කුලහීන කාන්තාවක් ජනාධිපතිවරියක වීම, දක්වා පරිවර්තනයක් සිදුකර ගනිමින් ලෝකයේ පස්වෙනි බලවත්ම ආර්ථිකය බවට ගොඩනංවා තිබෙනවා. ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් අළුදූවිලි බවට පත්වුණා. ලක්ෂ ගණන් මිනිසුන් මිය ගියා. පැරදීම ජයග්‍රහණය සඳහා පියවරක් බවට පත්කරගෙන ජපානය නැගී සිටියා. අපේ නායකයන්ට එවැනි දැක්මක් නැතිව ඔහේ හිටියා. සුද්දට එරෙහි වුණෙත් ජාතිකත්ව හැටියට බෙදිලා. සුද්දා ගියාට පස්සේ පුරවැසි පනත ගෙනැවිත් කඳුකරයේ ජනතාව අයින්කර දැම්මා. 1956 භාෂා පනත ගෙනත් 1958 කෝලාහල පටන් ගත්තා. 70ව අවසානයේ උතුරේ සන්නද්ධ නැගිටීමක් පටන් ගත්තා. 2019 පාස්කු ප්‍රහාරය එල්ල කළා. සුද්දාගේ අතින් පාලන බලය ගත්දා සිට අපි කුළල් කා ගත්තා. අවසානයේ ලෝකයේ හිඟන රාජ්‍යයක් බවට පත්කර විනාශයේ පතුළටම ගිල්වා දැම්මා. මේ තත්වය වෙනස් කරන නව ජාතික පිබිදීමක්, නව ජාතික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකට එකතු වී මේ චෞර පාලනය පළවා හැරිය යුතුයි. ඉන්දියාව සුද්දාට එරෙහිව එක කොඩියක් යට එකතු වුණා හා සමානව මේ රට විනාශ කළ පාලකයන්ට එරෙහිව අපි හැමෝම එකට එකතු වෙන්න ඕනෑ. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ සහෝදර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි එකට එක්වී ගැම්මක් අරගෙන පෙරට එන ලෙසයි.

සෑම පුරවැසියෙකුටම ආගමක් ඇදහීමට ඇති අයිතිය, තමන්ගේ භාෂාවෙන් රාජ්‍යය සමග කටයුතු කිරීමට ඇති අයිතිය, තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය සමග ජාතිය ඒකාබද්ධ කිරීමට ඇති අයිතිය පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයක් තමයි ජාතික ජන බලවේගය. එංගලන්තයේ කළු, සුදු හැමෝම, ඇමෙරිකාවේ කළු, සුදු හැමෝම ඒ වගේම ප්‍රංශයට, ජර්මනියට ගියත් ඔවුන් රට සමග අනන්‍ය වූ ජාතියක් හැටියට හඳුන්වනවා. නමුත් ලංකාවේදී ලාංකිකයා හමු නොවී තම්බියා, දෙමළා, සිංහලයා වශයෙන් ඉන්නේ. ලෝකයේ බෙදුණු කිසිම රටක් ඉස්සරහට ගිහින් නැහැ. මේ විනාශයට එරෙහිව මූලික වශයෙන් අපි එකතු වෙමු. මේ පාලක පංතිය පළවා හැරීමේ ආරම්භය එයයි. ඒ පළවා හැරීමෙන් ඇතිවෙන හැඟීම, ජවය මේ රට ගොඩනැගීමට දිගුකාලීන ලෙස පවත්වා ගත යුතුයි. ලංකා ඉතිහාසයේ මෑතකාලීනව සිදුකළ නින්දිතම කුමන්ත්‍රණය වූ පාස්කු ප්‍රහාරය තුළින් සමාජයට හෙළිදරව් වූ කුමන්ත්‍රණකරුවන් අධිකරණයට ගෙනයන්න ඕනෑ. හොරා කෑ දේපළ පවරාගෙන හොරුන්ට දඬුවම් දෙන්න ඕනෑ. දේශපාලකයාට ලබාදී තිබෙන අනවශ්‍ය වරප්‍රසාද සියල්ල ඉවත් කරන්න ඕනෑ. අනෙක් පුරවැසියන් හා සමානව දේශපාලකයාද ක්‍රියාකරන්න ඕනෑ. පොලීසියේ මහත්තයා, දොස්තර මහත්තයා, ඉංජිනේරු මහත්තයා රජයේ සේවයේ නියුතු සියලු දෙනා වගේම දේශපාලකයන් තමන්ගේ වැඩකොටස නිවැරදිව ඉටු කරන රට නව පරිවර්තනයකට ගෙනයාමේ පුනරුද යුගයක් ආරම්භ කරන්න ඕනෑ. දශක ගණනාවක් විනාශ කළ රට අවුරුද්දෙන් දෙකෙන් ගොඩගත හැකි යැයි සිතන්න එපා. නමුත් ආරම්භය ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය, සම්බන්ධයෙන් ක්ෂණික මැදිහත්වීම් කරන්න ඕනෑ. නමුත් ජීවිතය කියන්නේ කෑම, බෙහෙත් ගැනීම, දරුවන්ට ඉගැන්වීම, විතරක් නොවෙයි. අපේ රටේ සම්පත් ඉතා හොඳින් කළමනාකරණය කර, නව නිෂ්පාදන යුගයක් ඇති කිරීම පුනරුදයේ එක් කොටසක්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට නැවත පණ දෙන්න ඕනෑ. නව පුනරුද යුගයක් කරා ගෙනයාමේ ආරම්භය ජාතික ජන බලවේගය අතට බලය ලබාගැනීමයි. පියවරෙන් පියවර පරිවර්තන සිදුකරමින් රට ගොඩනැගීම සැලසුම් සහගතව දියත් කරනවා. ඒ වෙනුවෙන් මේ දක්වා විවිධ දේශපාලන පක්ෂවලට විවිධ නායකයන්ට ඡන්දය දුන් සියලු ජනතාව ඒකරාශී කරගනිමු. මහා මැතිවරණයක් වුණත්, ජනාධිපතිවරණයක් වුණත් මුලින් එන ඕනෑම ඡන්දයකදී ජාතික ජන බලවේගයේ පාලන බලයක් වෙනුවෙන් සියලුම ජනතාවට පෙළගැසෙන ලෙස ආරාධනා කරනවා.

“අපේ වැඩපිළිවෙළ නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් ධනය උත්පාදනය කරගැනීමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න-

පුත්තලම ආසනයට වගේම පුත්තලම දිස්ත්‍රික්කයට සුවිශේෂී දවසක්. දිස්ත්‍රික්කයේ ආසන පහේම ජාතික ජන බලවේගයේ සංවිධාන ගොඩනැගීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමේ අවස්ථාවයි මේ. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය බිහිකිරීමට ප්‍රබල මෙහෙවරක් ඉටුකරන ලද ප්‍රදේශයක් මේ පුත්තලම් ප්‍රදේශය. ලංකාවේ දේශීය ජනතාවත් ඉන්දියාවෙන් පැමිණි ජනතාවත් සමග සම්මිශ්‍රණය වෙලා නව ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට පදනම දැමුවේ මේ දිස්ත්‍රික්කයට ආසන්න තම්බපන්නියේ. අලුත් ශිෂ්ටාචාරයකට පදනම දැමූ ශිෂ්ටාචාරය වර්තමානයේ මේ රටේ නව දේශපාලන සංස්කෘතියක්, නව ආර්ථික වැඩ පිළිවෙලක් නව පුනරුදයක් ඇති කිරීමේ දැවැන්ත මෙහෙවරකට උරදීම සඳහා සූදානම් කියන පණිවිඩය තමයි අපි මේ දෙන්නේ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධනය වගේම ජාතික සංවර්ධනය සඳහා ලබාදිය හැකි දායකත්වය පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කොට තිබෙනවා. මේ ආසන්නයේ තිබෙන කලපුව ඩොලර් ආකරයක්. මේ කලපුව හරියට කලමනාකරණය කර ගන්න මේ රටේ පාලකයන්ට වුවමනාවක් තිබී නැහැ. මාලිමාව ආණ්ඩුවක් යටතේ මේ කලපුව ඩොලර් උත්පාදනය කරන ස්ථානයක් විදිහට වැඩපිළිවෙළක් අපි සකස් කොට තිබෙනවා. මෙතනින් එහා පැත්තේ තිබෙන කල්පිටිය අර්ධද්වීපයත්, දැවැන්ත මුහුදු කලාපයෙනුත් අපේ රටේ පාලකයන් අරගෙන තිබෙන ප්‍රයෝජන ඉතාම අල්පයි. මාලිමාවේ ආර්ථික වැඩපිළිවෙළ ඇතුලේ පුත්තලම් මුහුද, රටට විදේශ විනිමය ගෙන එන මහා දැවැන්ත ධන ආකරයක් බවට පත්කිරීමේ සැලසුම් අපි සකස් කර තිබෙනවා. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය විල්පත්තු අභය භූමිය, මේ රටට අවශ්‍ය විදේශ විනිමය උත්පාදනය කර ගැනීමේ හැකියාව තිබෙන ස්ථාන. විල්පත්තුවට පුත්තලමෙන් ප්‍රවේශවෙන්න හැකියාව තිබෙන්නේ හොර ජාවාරම්කරුවන්ට පමණයි. සංචාරකයන්ට ප්‍රවේශ විය නොහැකියි. අපේ ආර්ථික වැඩපිළිවෙළ ඇතුලේ මේවා වෙනස් කරලා විල්පත්තු අභය භූමිය පුත්තලම දිස්ත්‍රික්කයට ධනෝපායන මාර්ගයක් හැටියට විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ස්ථානයේ සිට මන්නාරමට තිබෙන්නේ කිලෝමීටර් සියයක දුරක්. ජනතාවට මන්නාරමට යාමට කිලෝ මීටර් දෙසීයකට වැඩි දුරක් ගෙවා යාමට සිදුවී තිබෙනවා. ප්‍රධාන නගරයේ සිට ප්‍රධාන වරායක් වෙත යාමට තිබෙන පාලමත් පාරත් කැඩිලා. පාලකයන්ට මේ පාර හදාගන්න තාමත් බැරිවෙලා.

අපිට ඡන්දයෙන් දිනලා ආණ්ඩුවක් හදාගන්න එක පමණක් නොවෙයි තිබෙන්නේ. මාලිමාවේ ආණ්ඩුවකින් මේ නිෂ්පාදන මාර්ග සියල්ල විවෘත කරලා නිෂ්පාදන මාර්ගවලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අපි යෝජනා කර තිබෙන වැඩපිළිවෙළ ක්‍රියාවට නැගිය යුතුව තිබෙනවා. පුත්තලම නගරයේ තිබෙනවා පානීය ජල ප්‍රශ්නය. තබ්බෝවෙන් ගලාගෙන යන ජලය ගංවතුර හැටියට මහ මුහුදට ගියා. මේ ජලය හොඳින් කළමනාකරණය කළා නම් පානීය ජල ප්‍රශ්නය පමණක් නොවෙයි, දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වාරි ජලය සම්පාදනය කර ගැනීමේ දැවැන්ත හැකියාවක් තිබෙනවා. මේ අපතේ යන ජලය දිස්ත්‍රික්කයේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කොහොමද යොදවන්නේ කියන වැඩපිළිවෙල අපේ වැඩපිළිවෙළ ඇතුලේ තිබෙනවා. දිස්ත්‍රික්කය තුළ තිබෙන ස්වභාවික සම්පත් හරියට කළමනාකරණය කර ගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිඟා කන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නැහැ. ජනතාව මත පීඩාකාරී බදු පටවන්නේ නැතිව නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් ධනය උත්පාදනය කරගැනීමේ වැඩපිළිවෙළක් තමයි අපි ඔබ ඉදිරියට අරගෙන එන්නේ.

අපේ ආසනය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු සියලු ජන කණ්ඩායම් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. පුත්තලම ආසනයේ තිබෙන ආගමික සහනශීලීතාව, ජාතික ඒකාග්‍රතාව මුළු රටටම ආදර්ශයක්. මෙහි තිබෙන ස්වභාවික සම්පත්, මානව සම්පත් සමග කළමනාකරණය කර ගතහොත් මුළු රටටම නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් අප ලබාදෙන දායකත්වය තුළින් දරිද්‍රතාවය තුරන් කර, රටේ මිනිසුන්ට අවශ්‍ය කරන ආහාර ටික නිෂ්පාදනය කිරීමේ පළමු පියවර මෙතනින් ආරම්භ කරන්න ඕනෑ. අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් අපි ජනතාවට ලබාදිය යුතුයි. මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා තමයි මාලිමාවේ අපි ඔබ ඉදිරියට එන්නේ. මේ උත්සාහය ඔබ සැමගේ ශක්තිය හා ධෛර්යයි. මේ ධෛර්යය එකමිටට එළඹෙන මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය කිරීම සඳහා එකතු කරන්න. ජයග්‍රහණයෙන් පස්සේ මාතෘ භූමිය ගොඩනැගීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු සහෝදර ජනතාව එකාවන්ව අධිෂ්ඨාන සහගතව පෙළගැසෙන්න කියා ආරාධනා කරනවා.

“සැමට සාධාරණව සලකන පාලනයක් අපට අවශ්‍යයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය වසන්තා සුබසිංහ-

ජාතික ජන බලවේගය මහජන ව්‍යාපාරයක් ලෙසට ජනගත කිරීම මීට වසර හතරකට කලින් අපි ආරම්භ කළා. අපි සෑම ජන හමුවකදීම ආර්ථික, සංස්කෘතික, පාරිසරික, සෞඛ්‍යය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළවල්, අපේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කළා. ඒ වගේම ඒ සමුළුවලදී අපි කිවුවා, තව අවුරුදු තුන හතරකින් සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික වශයෙන් විශාල කඩා වැටීමක් සිදුවන බව. අද ඒ ප්‍රශ්න අපේ ගේ ඇතුළටම ඇවිත් තිබෙනවා. අද උදාවී ඇති තත්වය හැමෝම අත්විඳිමින් ඉන්නවා.

අද ජනතාවගෙන් 65%කට වැඩි පිරිසක් වේල් දෙකක්, එක හොද්දක් කන තැනට පත්වෙලා. තමන්ගේ දරුවන්ට පෝෂණීය ආහාරයක් දෙන්න අම්මාට, තාත්තාට නොහැකිවෙලා තිබෙනවා. 15%කට වැඩි දරු පිරිසක් අධි මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා. අද අම්මලා තමන්ගේ කණකර උගස් තියලා තමයි, දරුවන්ගේ කෑම ටික, පාසල් පොත්පත් ටික අරගෙන දෙන්න සිදුවෙලා තිබෙන්නේ. මේ තත්වය පාලකයන්ට දැනෙන්නේ නැත්තේ ඇයි?

අද විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණ දරුවෝ ඉච්ඡාභංගත්වයට පත්වෙලා. තමන්ට රැකියාවක් සොයා ගන්න, කැමති ඇඳුමක් ගන්න, ගෙයක් දොරක් හදා ගන්න, විවාහයක් කර ගන්න මේ පාලකයෝ ඉඩක් දෙන්නේ නැද්ද? මේ දුෂ්ට පාලකයෝ උන්ගෙ හීන ඔක්කෝම මරල දාලා. දරුවන්ගේ ජීවිතය උදුරාගෙන ඉවරයි. වැට් බද්ද 8%යි, 12%යි, 15%යි, 18% දක්වා වැඩි කළා. ඖෂධවලට හා පාසල් උපකරණවලට අලුතෙන්ම 18%ක බද්දක් ගැහුවා. ගේ ඇතුලේ අම්මා, තාත්තා, දරුවන් පමණක් නොවෙයි, මේ අපහසුවට අසුවුණු, අතරමං වුණු විශාල පිරිසක් පාරවල්වල ඉන්නවා. මෙවැනි ආණ්ඩු මොකටද? ආණ්ඩුවක් සැමට සාධාරණ වෙන්න ඕනෙ. අද පාරවල්වල ඉන්න මානසික රෝගීන් වැඩිවෙලා. ඒ අය අපේ සමාජයේ අය. මෙවැනි ජන කණ්ඩායමක් විශේෂ රැකවරණය දීලා බලාගත යුත්තේ ආණ්ඩුව. මේවට තමයි අපි බදු ගෙවන්නේ. අපි නිකම් බෙහෙත් ගත්තේ, නිකම් ඉගෙන ගත්තේ නිකම් කියනවා නම් කියන්න, අපි ඉගෙන ගත්තේ අම්මලා, තාත්තලා ගෙවපු බදුවලින් කියලා. අපි එයාලගේ සල්ලිවලින් කිසිවක් ගත්තේ නැහැ, එයාලා අපේ සල්ලිවලින් ජීවත්වෙනවා. මොනවටද මේ වගේ ජීවිත? අපි ආස දෙයක් කන්න නැතිනම්, ආස ඇඳුමක් අඳින්න නැතිනම්, අවශ්‍ය ගමනක් යන්න නැතිනම්, සංස්කෘතික ජීවිතයක් නැතිනම් මේ ජීවත්වීමක්ද?

අපේ දියණියන්ට ආරක්ෂාවක් නැහැ. අම්ම, විදේශවල කුස්සිවල වැඩට කරන්න යැවුවා. තාත්තලත් යැවුවා. දියණිවරුන්ට රැකවරණයක් නැහැ. 2023 සැප්තැම්බර් 01 දා සිට 31 කාලය තුළ අවුරුදු 16ට අඩු දියණිවරු 168ක් දූෂණයට ලක්කර 22ක් ගැබ්ගෙන තිබෙනවා. මේ දරුවන් අනාරක්ෂිත වුණේ කොහොමද? මොනතරම් ඛේදජනක අවස්ථාවක්ද මේ? මේවා තවදුරටත් ඉවසිය යුතුද? මේ රට අපි වෙනස් කරන්න ඕනේ. සියලුම ජනතාවට සමානව ජීවත් වෙන්න මේ රට හදන්න ඕනේ. පාලකයන්ට තිබුණෙ ඔවුන්ට හදාගන්න න්‍යාය පත්‍රයක්. දේශීය කර්මාන්ත විකුණා දැමුවා. කොමිස් ගත්තා. දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්කර ගත්තා. ලංකාව කුඩු තිප්පොලක් කළා. සහන මුදලක් ලැබුණා නම් ඒකත් හොරකම් කළා. මේ විශාල බදු ගහමින් ඉදිරි මැතිවරණ ව්‍යාපාර ශක්තිමත් කරගන්න උත්සාහ ගන්නවා. ඉදිරි මාසවල ඔවුන් දිව්‍ය ලෝකයක් මවාවි. වැඩිහිටියන් වන අපට වගකීමක් තිබෙනවා මේ තත්වයන්ගෙන් අපේ දරුවන් මුදා ගන්න. සැමට සාධාරණව සලකන රජයක් අපට ඕනෙ. මේ මෑතකදි කිවුවා අත්‍යවශ්‍ය සැත්කම් පමණක් කරන්න කියා. ඒ ගොල්ලෝ තෝරා ගන්නවා අත්‍යවශ්‍ය පුද්ගලයෝ කවුද කියලා. හැමෝටම සමානව සලකන, සහයෝගය සලසන, සම අවස්ථාවන් ලබාදෙන, රටක් නිර්මාණය කර ගන්න ඕනෙ. පාට, පක්ෂ, කුල, ආගම් සියලුම බේද අතහැරදාලා, එකාවන්ව සක්‍රීයව දායක වෙමු. මේ පණිවිඩය ගමින් ගමට අරගෙන යමු.

“හොරා කෑ මහජන මුදල් ආපසු ගත හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර-

අපේ රටේ ඉන්නවා පවුල් ලක්ෂ 55ක්. මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්තා අනුව හතරදෙනෙක් සිටින ගෙවල්වලින් 40%කට ලැබෙන ආදායම රු:27,000ට වඩා අඩුයි. පහළම ඉන්නම 20%කට ලැබෙන්නේ රු:17,000/-කට අඩු ප්‍රමාණයක්. රටට වැඩියෙන්ම ඩොලර් ගෙනත් දෙන, තේ දළු නෙළන කාන්තාවන් හතර දෙනෙක් සිටින පවුලකට රු:41,000ට අඩු ප්‍රමාණයක්. මේ මුදලින් ජීවත් වෙන්න පුළුවන්ද? හතර දෙනෙක් සිටින පවුලකට පෝෂණීය ආහාර අරගෙන ජීවත්වෙන්න ලක්ෂයක මුදලක් මාසයකට අවශ්‍ය වෙනවා.

ආසන්නයේ තිබෙන කලපුව කළමනාකරණය කළා නම්, ඩොලර් බිලියන 200ක් පමණ සොයාගන්න හැකි බව අප කළ පර්යේෂණවලින් පෙනී යනවා. මාලිමාව ජයග්‍රහණය කරන ලද සමුපකාර තිබෙන ප්‍රදේශවල අපි නිෂ්පාදනය ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. මේ ණය අර්බුදයටත්, විදේශ විනිමය අර්බුදයටත් තවත් ණය ගැනීමවත් සම්පත් විකුණන එකවත් නොවෙයි. දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කර, අන්තර් ජාතිකව කොටසක් අත්පත් කරගෙන ඩොලර් මෙහේට ඇදීමයි කළ යුත්තේ.

අපේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා. පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය නතර කිරීම හොඳ දෙයක්. ඒ සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගයේ සහයෝගය තිබෙනවා. නමුත් යුක්තිය කියන මුවාවෙන් වැඩ බලන පොලිස්පතිවරයා ගෙන යන ක්‍රියාකලාපයෙන් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. පොලිස් කොමිසමත්, මානව හිමිකම් කොමිසම කියනවා මිනිසුන්ට හිරිහැර නොවෙන ලෙසට රටේ් නීතිය අනුව කටයුතු කරන්න කියා. තව දෙයක් කියන්නම්. කන් හැන්දෙන් කුඩු බොන මිනිහාව අල්ලාගෙන, කිලෝ ගණන් ගෙන්වන මිනිහාව අතහැරලා ඒක නවත්වන්න බැහැ. ඊයේ පෙරේදා නාරම්මලදී සිවිල් ඇඳගත්ත මනුස්සයෙක් පිස්තෝලයක් අතේ තියාගෙන වාහන නවත්වන්න අණ කළාලු. නැවැත්තුවේ නැහැ කියලා ඔළුවට වෙඩි තබා මරා දැම්මා. ඒ මරණයට වැඩ බලන පොලිස්පති වගකියන්න ඕනෑ. පොලිස් ඇමතිත් වගකියන්න ඕනෑ. පවුලේ අයට සල්ලි ටිකක් දුන්නා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. යම් හෙයකින් වීඩියෝ කරගන්න බැරි වුණා නම්, නාරම්මල ප්‍රදේශයේ ‘කුඩු වැඩ්ඩා’ නමැත්තා හෙරොයින් රැගෙන පළා යද්දී සිදු වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව මාධ්‍ය ප්‍රකාශක කියනවා. මෙවැනි තත්වයන් සිදුනොකරන්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ එක නීතියක් රටේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම හොරා කෑ මහජන මුදල් ආපසු ගත හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. දැන් අපේ ප්‍රතිපත්ති ගැන ජනතාව අහන්නේ නැහැ. දැන් ඒ වෙනුවට අපෙන් අහන්නේ අනුර සහෝදරයාගේ ආරක්ෂාව ගැන බලනවා නේද? ජාතික ජන බලවේගයට බලය ගන්න කටයුතු කරනවා වගේ දේවල් තමයි දැන් කියන්නේ.

“ජනතාව බෙදා වෙන්කළ යුගය ජාතික ජන බලවේගය යටතේ අවසන් කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්-

මෙතෙක් රට පාලනය කළ හොරු ජනතාව බෙදන කොට අපිට මේ රට හදන්න පුළුවන්. සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජනතාවගේ බලය ඒකරාශී කරනවා. මේ දිස්ත්‍රික්කයේ අනෙක් පක්ෂවල නායකයන් කුඩුකාරයන්ව, මංකොල්ලකාරයන්ව, හොරුන්ව තෝරා ගන්න අතර, ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙන්නේ මේ දිස්ත්‍රික්කයට ආදරය කරන මහාචාර්ය චන්දන අබයරත්න වැනි විද්වතුන් බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්. එවැනි විද්වතුන්ගෙන් සමන්විත ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරා, ගෙනයන බව අවධාරණය කරනවා. අපිව ජාතීන් වශයෙන්, භාෂාමය වශයෙන්, ආගමිකමය වශයෙන් විතරක් නොවෙයි ප්‍රාදේශීය වශයෙන් පවා බෙදා වෙන්කළ යුගය ජාතික ජන බලවේගය යටතේ අවසන් කරනවා.

Show More

“නාරම්මල පොලිස් වෙඩි තැබීමට වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමති වගකියන්න ඕනෑ…” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

-Colombo, January 20, 2024- පසුගිය 18දා නාරම්මල ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසිය නිරායුද සිවිල් වැසියෙකුට වෙඩිතබා ඝාතනය කිරීම අපි පිළිකුලෙන් හෙළාදකිනවා. ඒ වගේම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාම, උද්ඝෝෂණවලට පහරදීමට පැමිණීම කාලයක් තිස්සේ සිදුවන බව අපි දකිනවා. නිල ඇඳුමක් තිබියෙදී සිවිල් ඇඳුමෙන් සැරසී පොලීසිය ක්‍රියාකිරීම අතිශය බරපතළ තත්වයක්. මේ ආකාරයෙන් ක්‍රියාකිරීම නිසා […]

-Colombo, January 20, 2024-

පසුගිය 18දා නාරම්මල ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසිය නිරායුද සිවිල් වැසියෙකුට වෙඩිතබා ඝාතනය කිරීම අපි පිළිකුලෙන් හෙළාදකිනවා. ඒ වගේම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාම, උද්ඝෝෂණවලට පහරදීමට පැමිණීම කාලයක් තිස්සේ සිදුවන බව අපි දකිනවා. නිල ඇඳුමක් තිබියෙදී සිවිල් ඇඳුමෙන් සැරසී පොලීසිය ක්‍රියාකිරීම අතිශය බරපතළ තත්වයක්. මේ ආකාරයෙන් ක්‍රියාකිරීම නිසා පොලීසිය සහ පාතාලය වෙන්කර හඳුනාගන්නේ කෙසේද? මේ තත්වය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්වයක්. නාරම්මලදී සිදුවී තිබෙන්නේ වාහනය නතර කළේ නැහැ කියලා පිටුපසින් එලවාගෙන පැමිණ, නතර කර තිබූ වාහනයේ රියදුරාට වෙඩිතබා ඝාතනය කිරීමයි. කවුරුහරි වරදක් කළා නම් දඬුවම් කරන්න අයිතියක් පොලීසියට නැහැ. පොලීසියට තිබෙන්නේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීතිමය ක්‍රියාමාර්ගයයි. නමුත් මෙතන සිදුවී තිබෙන්නේ රටම අරාජික කරමින් මෙවැනි ඝාතන සිදුකළ පසු වැඩබලන පොලිස්පති ඒ පවුලේ සාමාජිකයන්ට මුදල් ලබාදී ඝාතනයේ බරපතළකම සාමාන්‍ය තත්වයක් දක්වා හෑල්ලුවට ලක්කිරීමයි. පොලීසිය සිදුකර තිබෙන පැහැදිලි කිරීම්වත් මේ සිදුවීමේ බරපතළ බව ඒ බරෙන් බාරගෙන නැහැ.

මේ තත්වයට පොලීසිය පත්කර තිබෙන්නේ මේ දක්වා ආණ්ඩු කළ උදවිය තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් අනීතිකව පොලීසිය පාවිච්චි කිරීම විසිනුයි. නීතියක් නැතිව වැඩ කළ හැකි මානසිකත්වයක් පොලීසිය තුළ නිර්මාණය කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටි කාලයේ ප්‍රකාශ කළේ චක්‍රලේඛ, නීතිරීති පැත්තකට දමා තමන් කට වචනයෙන් කියන දේ ක්‍රියාත්මක කරන ලෙසයි. රනිල් වික්‍රමසිංහත් නුවරඑළියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පවරා ගන්න ඒ ආකාරයෙන්ම බලය යෙදවූ හැටි අපි දැක්කා. ජනාධිපතිලා පාතාල නායකයෝ වගේ හැසිරීම ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් නිලධාරීන්ටත් බෝවෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් අත්විඳින්නේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක. මැති ඇමතිවරුන්ම පොලීසියත්, නීතියක් නැති, වගවීමක් නැති කොල්ල කල්ලියකගේ තත්වයට පත්කර තිබෙනවා. මීට පෙර වැලිගම ප්‍රදේශයේදී මෙවැනිම වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මිය ගියා. තව කෙනෙකුට තුවාල සිදුවුණා. ඒ වෙඩි තැබීමෙන් පසුවත් වෙඩි වැදුණු අයව ළඟම රෝහලට ගෙන යන්න නීත්‍යානුකූල ලෙස කටයුතු නොකර, කොළඹ රැගෙන එන්න ආවා. පොලීසිය මේ තත්වයට පත් කළේ, පොලිස් නිලධාරීන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගත් ආණ්ඩුවල මැති ඇමතිවරුන්.

ලංකාවට ඉතිහාසයේ පළමුවෙනි වතාවට රීලෝඩ් පොලිස්පතිවරයෙකුගෙන් පසුව දැන් ඉන්නේ වැඩබලන පොලිස්පති කෙනෙක්. ඒ තත්වයට පත්වුණේ ඉහළ පොලිස් නිලධාරීන් සියලුම දෙනාටම මානවහිමිකම්, මූල්‍ය අපරාධ හෝ වෙනත් කුමන හෝ චෝදනා සමබන්ධයෙන් නඩු පවතින නිසයි. පොලිස්පති කෙනෙක් පත්කර ගන්න බැරි තරමට ඉහළ නිලධාරීන්ට නඩු තිබෙනවා නම් මෙයින් පීඩාවට පත්වෙන සිවිල් පුරවැසියන්ට මහමගදී වෙඩිකාලා මැරෙන්නත් සිදුවී තිබෙනවා. මේ තත්වයට වගකියයුතු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. වැඩබලන පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා පොලීසිය භාර ඇමතිවරයාත් වගකියන්න ඕනෑ. යුක්තියේ මෙහෙයුම නමින් ගෙන යන ක්‍රියාවලිය නීතියට පිටින් ගෙන යන බවට මානව හිමිකම් කොමිසමේ පෙන්වා දීම පොලිස් කොමිසමට පිළිගන්න සිදුවුණා. වැඩබලන පොලිස්පතිලාම නීතිය කඩලා පහළ නිලධාරීන්ට ආදර්ශ දී තිබෙන්නේ. ඒ නිසා දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ සුරතලුන් බවට පත්වුණු, වැඩබලන පොලිස්පති වගේ කණ්ඩායමක් අතිශය බරපතළ තත්වයක් නිර්මාණය කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්න උත්සාහ කරන්නේ මාර්ගයේ ගමන් කරන සාමාන්‍ය පුරවැසියාත් ඒ අයගේ ඕනෑකමට ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්නයි. ඉතිහාසයේ කවරදාවත් නොතිබූ ආකාරයට මේ රටේ ජනතාවට තුන්වේල කන්න බැරි තත්වයක් මේ ආණ්ඩුවෙන් ඇතිකර තිබෙනවා. කර්මාන්තකරුවන් කඩාවට්ටා විශාල බදුබරක් පටවමින් 2048 රට සංවර්ධනය කරන තුරු ඉන්න කියනවා. ඒ අතරේ රනිල් වික්‍රමසිංහ අයවැයෙන් ජනාධිපතිට වෙන්කර ගත් මුදලට අමතරව මේ ජනවාරි මාසයේදීම අලුතින් කෝටි 20ක් වෙන්කරගෙන තිබෙනවා. අමාරුවෙන් ජීවත්වෙන පොදු ජනතාවට බදු ගහලා එකතු කර ගන්න සල්ලි ටිකත් රට සවාරි යන්න, පුද්ගලික ආරක්ෂාවට, වාහන ගන්න වියදම් කරනවා. නැව්වල ගිහින් මුහුද මැදදි පාටි දානවා. මේ වගේ වෙලාවක ජීවත්වීම වෙනුවෙන් වෘත්තිය කර ගන්න පාරේ බැහැලා යන අයට පොලීසියෙන් ඇවිත් වෙඩි තබා ඝාතනය කරනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ දැන් මේ තත්වය දරාගෙන ඉවසාගෙන හිටියා ඇති, වෙනස් කරන්න එකතු වෙන්න කියලයි. වෙඩි තැබූ පොලිස් නිලධාරියාට විතරක් දඬුවම් කර මේ ප්‍රශ්න විසඳන්න බැහැ. නීතිය ස්වාධීනව, සාධාරණව, ක්‍රියාත්මක කෙරෙන ආර්ථික හයිය තිබෙන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. මිනිසුන්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගෙන යහපත් සමාජීය ජීවිතයක් ගත කළ හැකි මනුෂ්‍යත්වය තිබෙන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. පවතින මේ විනාශකාරී තත්වය වෙනස් කර, රට ගොඩනැගීම වෙනුවෙන් අපි සියලු දෙනාම පෙළගැසෙන්න ඕනෑ. නාරම්මලදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සහ පොලීසිය බාර ඇමති වගකිව යුතු බව අවධාරණය කරන අතර, එවැනි තත්වයන් ඇති කරන මේ ආර්ථික දේශපාලනික ක්‍රමය වෙනස් කිරීමත් අත්‍යවශ්‍ය බව අවධාරණය කරනවා.

“මෙපමණ කලක් රාජකාරිය හරියට කළා නම්, පොලීසියට මාධ්‍ය සංදර්ශන අවශ්‍ය වෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර-

රටේ කුඩු ව්‍යාප්තිය, පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කිසිවෙකුත් දශමයකින් හෝ විරුද්ධ නැහැ. අපේ පාලනයක් යටතේ නීතියට අනුකූලව අපි මේ ක්‍රියාවලිය ගෙනයනවා. නමුත් මෙතන ‘යුක්තිය’ යනුවෙන් නම් කළාට, පොලීසිය මෙපමණ කලක් තම රාජකාරිය හරියට කළා නම්, මාධ්‍ය සංදර්ශන පවත්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩබලන පොලිස්පතිට පොලිස්පතිවීමේ හීනයක් තිබෙන බව අපි දන්නවා. අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට ක්‍රෑරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් මේ වැඩබලන පොලිස්පති අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වූ පුද්ගලයෙක්. එවන් පුද්ගලයෙකු වැඩබලන පොලිස්පති ලෙස පත්කළ දේශපාලන නායකත්වය යන පාර අපට හිතාගන්න පුළුවන්. ප්‍රධානියා ක්‍රෑරත්වයට කැමති පුද්ගලයෙක් නම් ඒ තත්වය පහළට ගලායාම වළක්වන්න බැහැ. නාරම්මල වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ යම් පුද්ගලයෙක් විඩියෝ ගත කර තිබුණේ නැතිනම් අපට අහන්න වෙන කතාව මොකක්ද? ප්‍රබල පාතාල අපරාධකරුවෙකු කුඩු රැගෙන පලා යන විට අණ නොතකා ධාවනය කළ නිසා වෙඩි තැබූ බවට ප්‍රබන්ධයක් ගොතනනවා. යුක්තිය යනුවෙන් නම් කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් සාම්පල් විශාල ප්‍රමාණයක් පාන්පිටි බව රස පරීක්ෂක හෙළි කර තිබෙනවා. දැන් ජීවිත කීයක් මේ මෙහෙයුමෙන් අහිමි කළාද? මේක නවත්වන්නේ කොතනින්ද?

යුක්තිය නමින් සිදුකරන මාධ්‍ය සංදර්ශනය තුළ කන්හැන්දෙන් කුඩු ගෙනා අය අල්ලනවා. මහාපරිමාණ ජාවාරම්කරුවන් අල්ලා නැහැ. මේ තත්වය තුළ ‘ඔන්ලයින් පනත’ 23වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එක් දිනයකින් සම්මත කර ගන්න උත්සාහ කරනවා. මේ පනතට මූලික කරුණු ලබාගත් සිංගප්පූරුව වැනි රටවල භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අදහසට බාධා සිදු කර නැහැ. නමුත් අපේ රටේ මේ පනත ගෙන එන්නේ ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නයි. මේ කෙටුම්පතේ වගන්ති 31ක් වෙනස් කරන්න නීතිපතිවරයා එකඟ වෙලා ඉන්නවා. ඒ වෙනස්කම් මොනවා දැයි පාර්ලිමේන්තුවටත් දැනගන්න ලැබෙන්නේ නැහැ. යෝජිත කෙටුම්පත අනුව සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නියාමනයට පත්කරන, කොමිසමේ සාමාජිකයන් පත්කරන්නේත්, ඉවත් කළ හැක්කේත් ජනාධිපතිට. මේ පනතේ තිබෙන වගන්තිවලින් වැඩි ප්‍රමාණයක් අපේ විවිධ අණපනත්වලින් ආවරණය වී තිබෙනවා. මේ පනතට සමගාමීවම ඉදිරිපත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. හදිසියේ මේ පනත් දෙකම ගෙන එන්නේ ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයන් ඇපත් නැතිව පරදින නිසයි. සමස්ත සමාජයක් තුවාල වී වේදනා විඳින පසුබිමක ජාතික ජන බලවේගය මේ සමාජය සුවපත් කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ මතවාදය වේගයෙන් සමාජගත කරමින් සිටිනවා. මේ රට වෙනස් කරන්න ඉදිරියට එන්න. මර්දනකාරී නීතිරීතිවලට එරෙහිව රටක් වශයෙන් පොදු ජනතාව වශයෙන් එක්වෙමු.

මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් :

ප්‍රශ්නය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ජාතික ජන බලවේගය සාකච්ඡා කිරීම ගැන සමගි ජන බලවේගයෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ?

පිළිතුර: මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපේ කාර්යාලයට පැමිණ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඒ ගොල්ලෝ කලබලවීම අපට පිළිගන්න පුළුවන්. ඒ නිසා ඔය මහත්වරුන්ගේ හීන් කෙඳිරිලි අපි ගණන් ගන්නේ නැහැ. අපි අපේ ප්‍රතිපත්තිය ගැන රටට කියලා තිබෙන්නේ. තමන්ගේ ප්‍රතිපත්තියක් නැතිව කුණු එකතු කරමින් ඉන්න, ඒ අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා. අප සමග විවෘතව සාකච්ඡා කරන්නේ ජාතික ජන බලවේගය බලයට පත්වෙන බව මූල්‍ය අරමුදල පවා පිළිගෙන ඇති නිසයි. අපේ රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් රට ගොඩනැගීමට ගෙනයන ප්‍රතිපත්ති පිළිබඳව අපි ඇති තරම් රටට හෙළි කර තිබෙනවා. ඒ අයට අපේ ප්‍රතිපත්ති තේරෙන්නේ නැති එකට අපට කරන්න දෙයක් නැහැ. අපට තිබෙන්නේ කණගාටුයි මහත්වරුනි කියලා කියන්නයි.

ප්‍රශ්නය: ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ක්‍රියාකරන බව ජාතික ජන බලවේගයේ නායිකාවක් ප්‍රකාශ කර ඇතැයි මාධ්‍යවල පළවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවතින තත්වය මොකක්ද?

පිළිතුර: ජාතික ජන බලවේගය විශාල මහජන ප්‍රසාදයක් දිනාගනිමින් මීළඟ මැතිවරණයෙන් බලයට පත්වීම සම්බන්ධයෙන් කලබලයට පත්වුණු පිරිසක් ඉන්නවා. ඒ අය අපේ යම් කෙනෙකුගේ ප්‍රකාශ කපාකොටා විකෘති කරමින් විවිධ ව්‍යාජ මත ගෙනයනවා. යම් ප්‍රකාශයක සමස්ත හරය මොකක්දැයි ගන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණයට අපි අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. එවැනි ක්‍රියාමාර්ගයක් ඇතුළත් කර නැහැ. ඉතා පැහැදිලිව අපේ ප්‍රතිපත්තිය වෙන්නේ විනාශ කළ රට ගොඩනඟන්න ජාතික නිදහස ලබාගන්නත්, ජාතික එකමුතුව සහ ජාතික ඒකාග්‍රතාවය දිනාගන්නා පුනරුද ව්‍යාපාරයක් අවශ්‍ය බවයි. ඒ වෙනුවෙන් අපේ රටේ කාන්තාවන් පෙළගස්වා දැවැන්ත සමුළු පවත්වනවා. ඒ සමුළුවල කාන්තා ප්‍රඥප්තියත් අනුමත කර ගන්නවා. ඒ කිසිම එකක ඔවැනි අදහසක් නැහැ. මෙතන තිබෙන්නේ යමක් පැහැදිලි කිරීමේදී මතුවන වචනයක් අල්ලාගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රචාර ලබාදීමයි.

අපි කැමති වුණත් අකමැති වුණත් ඇඟ විකුණන කාන්තාවන් අපේ රටේ ඉන්නවා. ඔවුන් එය කරන්නේ කැමැත්තෙන් නොවෙයි. ආර්ථික සහ සමාජ අර්බුදය විසින් ඔවුන් එතැනට ඇද දමා තිබෙනවා. අපේ ප්‍රතිපත්තිය සියලුම ස්ත්‍රීන්ට ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි. ඇඟ විකිණීම ගෞරවයක් නොවෙන බව කවුරුත් දන්නවා. අපේ ප්‍රතිපත්තිය ඇඟ විකුණන්න සිදුනොවෙන ආර්ථිකයක් සහ රටක් ගොඩනැගීමයි. ජාතික ආර්ථිකයට සක්‍රීය ලෙස කාන්තාවන් දායක කරගෙන එහි ප්‍රතිලාභ ඔවුන්ට ලබාදීම අපේ ප්‍රතිපත්තියයි. ස්ත්‍රීන් ආර්ථිකය ගොඩනැගීමේ බලවේගයක් බවට පත්කරගෙන ප්‍රතිලාභ ලබාදුන්නාම ඇඟ විකුණන්න සිදුවෙන්නේ නැහැ. කාන්තාවන්ට ඇඟ විකුණන්න බලකළ මේ සමාජ ක්‍රමය පරාද කිරීම අපේ ප්‍රතිපත්තියයි. ඒ අතර පසුගාමී ආකල්ප තිබෙන සමාජයක ඇඟ විකුණන කාන්තාවන් සම්බන්ධයෙන් තිබෙන්නේ මනුෂ්‍යත්වයෙන් තොර ආකල්පයක්. ඒ නිසාම ඒ අය අනාරක්ෂිත, හිංසනය සහ පීඩාවන්ට ලක්වී කර තිබෙනවා. ඒ තත්වය අවසන් කළ යුතු බව අපි කියනවා. එයින් කියන්නේ ගැහැනුන් ඇඟ විකුණන තත්වය අවසන් කර, ගෞරවයෙන් යුතුව ජීවත් වෙන රටක් ගොඩනැගිය යුතු බවයි. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගයට නැති බවයි. අපි හදන රටේ, සමාජයේ ගෞරවණීය කොටස්කාරයින් බවට ස්ත්‍රීන් පත්කර ගන්නවා.

Show More

ජාතික ජන බලවේගයේ නායකයින් මල්වතු – අස්ගිරි මහා නායක හිමිවරු හමුවෙයි…

-Colombo, January 19, 2024- ජාතික ජන බලවේගයේ නායකයින් අද දින (19) මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නාහිමිපාණන් බැහැදැක උන් වහන්සේලා සමග රටේ වත්මන් තත්වය ගැන ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලදී. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික විධායක සභික ලාල්කාන්ත යන අය මෙම අවස්ථාවට සහභාගි විය. ඉදිරි ජනාධිපතිවරණය සහ ලාංකේය දේශපාලනයේ වත්මන් […]

-Colombo, January 19, 2024-

ජාතික ජන බලවේගයේ නායකයින් අද දින (19) මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නාහිමිපාණන් බැහැදැක උන් වහන්සේලා සමග රටේ වත්මන් තත්වය ගැන ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලදී.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික විධායක සභික ලාල්කාන්ත යන අය මෙම අවස්ථාවට සහභාගි විය. ඉදිරි ජනාධිපතිවරණය සහ ලාංකේය දේශපාලනයේ වත්මන් තත්වය පිළිබඳව මෙහිදී උන්වහන්සේලා සමග වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

Show More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ NPP හමුවක්!

-Colombo, January 18, 2024- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි […]

-Colombo, January 18, 2024-

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි විය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි විය.

Show More

දේශපාලනය කලාව ජීවිතය…

-Colombo, January 14, 2024- පිටකෝට්ටේ නැගෙනහිර සහ බටහිර කොට්ඨාශ සභා විසින් සංවිධානය කළ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ සහභාගිත්වයෙන් ජනවාරි 14 දින පස්වරුවේ බැද්දගානේ දී පැවැති ගීත රසවින්දන වැඩසටහන…

-Colombo, January 14, 2024-

පිටකෝට්ටේ නැගෙනහිර සහ බටහිර කොට්ඨාශ සභා විසින් සංවිධානය කළ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ සහභාගිත්වයෙන් ජනවාරි 14 දින පස්වරුවේ බැද්දගානේ දී පැවැති ගීත රසවින්දන වැඩසටහන…

Show More