-Colombo, October 23, 2023-
රාජපක්ෂ පුතුන්ගේ මඟුල් ගෙවල්වල ලයිට් බිල් ලක්ෂ 26 වෙද්දි, ජනතාවට මළ ගෙදරක ලයිට් එකක් දාගන්නත් බැරිතරමට බිල් වැඩිකර තිබෙන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා නැගීය.
බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පසුගිය සෙනසුරාදා(21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ ද සදහන් කළාය.
“අපේ රටේ ජනාධිපති රනිල් රාජපක්ෂ එක විදේශ සවාරියක් ගියාම තෙල් මිල වැඩිවෙනවා. ඊළඟ සවාරිය ගිහින් ආවාම ගෑස් මිල වැඩිවෙනවා. ඊළඟ සවාරිය ගිහින් එනකොට විදුලි බිල වැඩිවෙනවා. මේ විදිහට වට ගණනාවකින් මිල වැඩි කිරීම් කරන බව ඔප්පු කර තිබෙනවා. තෙල්, ගෑස්, විදුලිය, මිල වැඩිවීමත් එක්කම නැවත වටයකින් භාණ්ඩ මිල වැඩිවෙන බව අපි දන්නවා. මේ වැඩිවීම් විශේෂයෙන්ම කාන්තාවන්ටත් රටේ බහුතරයක් ජනතාවටත් කිසිසේත්ම දරා ගන්න බැහැ. ඒ නිසාම අපේ තරුණ කොටස්වල සහ දරුවන්ගේ ජීවිත විශාල වශයෙන් කඩා වැටෙමින් තිබෙනවා. රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා ඊළඟට ලෝකය වටේ ගිහින් එද්දී මොනවා වැඩිවෙයිද දන්නේ නැහැ. කල්පනාවෙන් ඉන්න කියලා අපි ජනතාවට අනතුරු හඟවනවා.
අපේ රටේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ 13කට වැඩියෙන් ඉන්නවා. බඩු මිල වැඩිවීම දරාගත නොහැකි නිසා වැටුප් වැඩිකරන ලෙස දිගටම ඉල්ලීම් කළා. ඒත් වැඩි කළේ නැහැ. ඒ නිසා භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පහත වැටුණා. මහ බැංකු වාර්තාවලට අනුව 2022 තිබුණු ඒකක 133.1ක් වූ නාමික වැටුප් අනුපාතිකය මේ අවුරුද්දෙත් ඒ මට්ටමේම තිබෙනවා. නමුත් එම නාමික වැටුපෙන් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය, ඒ කියන්නේ මූර්ත අගය 2022 දී ඒකක 62ක්ව තිබී මේ අවුරුද්දේ මේ වෙනකොට ඒකක 58.7 දක්වා අඩු වී තිබෙනවා. මේ විදිහට සමස්ත ජනතාවගේම මිල දී ගැනීමේ හැකියාව අඩුවීමේ විපාක ලෙස අධි මන්දපෝෂණ තත්වයට පත්වුණු දරුවන් 52,000කට වැඩි පිරිසක් ඉන්න බව පාර්ලිමේන්තු ආංශික කාරක සභාවට පිළිගන්න සිදුවුණා. මේ විදිහට අපේ අම්මලාගේ ප්‍රශ්න වැඩිවෙනවා. දරුවාගේ කෑම වේල අඩුවෙනවා. ජීවිත මේ විදිහට කඩා වැටෙද්දීත් අයි.එම්.ෆ්. එකේ කොන්දේසි මත දුවමින් මේ වන විට ණය වාරික දෙකක් අරගෙන තිබෙනවා. මේ වාරික දෙකම ඩොලර් මිලියන 663යි. ඔවුනේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමෙන් අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 910කින් කඩා වැටී තිබෙනවා. 2022 මුල් මාස අට 08 තුළ ඩොලර් මිලියන
8912ක වෙළඳ භාණ්ඩ අපනයනය කර තිබුණත් 2023 මුල් මාස අට තුළ එම අපනයන ආදායම ඩොලර් මිලියන 8010ක් දක්වා බිඳ වැටිලා. ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ක්‍රියාවලිය නිසා ඩොලර් මිලියන 910ක් අහිමි කර ගෙන මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 663ක ණය අරගෙන තිබෙනවා.
ආර්ථිකය හැකිළීමේ ක්‍රියාවලියකින් උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ආ බව ආණ්ඩුව කියනවා. නමුත් ඇත්ත උද්ධමන අනුපාතය හොයලා දෙන්න කාට හෝ පුළුවන් නම් ලොකු දෙයක්. ආණ්ඩුව කෘත්‍රිමව නිර්මාණය කරන උද්ධමන අනුපාතය ඇත්ත ජීවිතවල උද්ධමනය නිරූපණය කරන්නේ නැහැ. ආර්ථිකය හකුළමින්, කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත කඩා වැටෙමින් රැකි රක්ෂා දස දහස් ගණනින් අහිමි කරමින් තිබෙන මොහොතක විදුලි බිල 18%කින් වැඩි කර තිබෙනවා. ගෘහස්ථ, කර්මාන්ත, වගේම සේවා කටයුතු යන සියලුම අංශවල විදුලි බිල වැඩිකිරීමෙන් තවදුරටත් ආර්ථිකය හැකිළෙනවා. විදුලි බිල වැඩිකරනවා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය තවදුරටත් කඩා වැට්ටීමක්. එවැනි තත්වයක් තුළ තවදුරටත් ඇත්ත උද්ධමනය සඟවන්න ඒ පිළිබඳව දත්ත තීන්දු කිරීම කැබිනට් මණ්ඩලය විසින් පවරාගෙන තිබෙනවා. නමුත් මේ දක්වා ඒ දත්ත තීන්දු කළේ නමට හරි ස්වාධීනයි කියන නිලධාරීන්ගෙන් සැදුම්ලත් ආයතනවලින්. නමුත් ඒ තීන්දු ගැනීමත් කැබිනට් මණ්ඩලයට පවරා ගැනීමෙන් උද්ධමන නාටකයකුත් ඉදිරියේදී බලා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවට, කැබිනට් එකට මේ දත්ත තීරණය කරන්න පුළුවන් නම්, ඉහළ වැටුප් ගෙවමින් මහ බැංකුවේ නිලධාරීන් තියාගෙන ඉන්නේ මොකටද? අපේ ආර්ථිකය වගේම ජනතාවගේ ජීවිත තවත් වටයකින් කඩා වැටීම සඟවන්න මේ වගේ තීන්දු ගන්නවා.
සති අන්තයේ දේශය පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළි කර තිබෙන්නේ රුපියල් 400ක බෙහෙත් එක රුපියල් 4000කට ගත්ත බවයි. මේ තත්වයන් මිනිසුන්ගේ සෞඛ්‍යය ප්‍රශ්නත් එක්ක දරාගන්නේ කොහොමද? බදුවලින් පීඩාවට පත්වී, විදුලි බිලෙන් කරන්ට් වැදී, ආර්ථිකය මෙතරම් කඩා වැටී තිබෙන මොහොතකද කූට මිලදී ගැනීම සිදු කරනවා. ඒ වගේම බාල බෙහෙත් ගෙන්වීම නිසා තවත් පැත්තකින් බරපතළ ප්‍රශ්න ඇති වෙනවා. මේ ආණ්ඩුවේ උපායමාර්ගය මිනිස්සු මරණ එකද? තමන්ට ඕනෑ දේවල් කර ගන්න ජනතාවගේ ජීවිත බිලිදීමද? මිනිසුන් විඳින පීඩාවලින්, වේදනාවලින් මිදීමට මේ වන විට වේදනා නාශක ඖෂධවලට වැඩිම ඉල්ලුමක් තිබෙන බව මේ පුවතපත විසින් වාර්තා කර තිබෙනවා. ඒ තරමට දරා ගන්න බැරි වේදනාවක්, පීඩාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ලැබුණා. අස්වැසුම සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව පැවසුවත් එය සම්පූර්ණයෙන් අසාර්ථක බව ඇමිනෙස්ටි ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. මේ දක්වා සමෘද්ධි ලබාගත් අයට එයත් කපා හාර, අස්වැසුමත් අහෝසි කර තිබෙනවා. මේ වගේ සෑම පැත්තකින්ම බැට කන සාමාන්‍ය ජනතාව මත ඊයේ සිට නැවත වටයකින් විදුලි බිල වැඩි කළා.
ඇත්තටම විදුලි බිල වැඩි කළේ අයි.එම්.එෆ්. එක නියෝග කර තිබෙන අමතර රුපියල් බිලියන 30ක ආදායමක් විදුලි බල මණ්ඩලයට ලබාගන්නයි. අපිට මහජන උපයෝගීතා කොමිසම හෝ වෙන ආයතන අදාළ නැහැ. අපේ විවේචනය තිබෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට. මේ සියල්ල පිටුපස ඉන්නේ අයි.එම්.එෆ්. නියෝග ක්‍රියාත්මක කරන මේ ආණ්ඩුවයි. අපි විදුලි බිල 18%ක වැඩිවීම ඍජුවම ගෙවන අතර, අපි ලබාගන්නා භාණ්ඩ හා සේවාවල මිල විදුලි බිල වැඩිවීම
හේතුවෙන් වැඩිවීමේ වක්‍ර බරකුත් දරන්න සිදුවෙනවා. මේ අනුව විදුලි බිල 18%කින් වැඩි කිරීම නිසා ජනතාවට වක්‍රව භාණ්ඩ මිල ඉහළ යාමත් ඇතුළුව 40%කට වැඩි ගෙවීමක් කරන්න සිදුවෙනවා. තමන්ගේ දරුවාට කිරි පැකට් එකක් ගැනීමට හොරකම් කළ යුතු තත්වයට අම්මලාගේ පීඩනය ඉහළ ගොස් තිබෙනවා. ජනතාවගේ මුදල් ආණ්ඩුව බලහත්කාරයෙන් ගන්නා නිසා, මේ සටනෙන් පීඩාවට පත් ජනතාවට 33,000ක අධි වෝලිටීයතාවයෙන් කරන්ට් වද්දා තිබෙනවා. මේ වන විටත් ජනතාව විදුලි පරිහරණය ඉතා අවම තත්වයකට ගෙනත් තිබියදී මේ විදිහට බිල වැඩිකිරීමෙන් අධ්‍යාපනය ලබන දරුවාගේ අනාගතයට සිදුවන්නේ කුමක්ද?. දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම මගින් නැවත වටයකින් මේ රටේ ජනතාව පීඩාවට පත්වෙනවා.
ජනාධිපතිවරයා සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් ලෝකය වටේ කරක් ගහන අතර, අපේ කාන්තාවන්ට සහ දරුවන්ට අඳුරේ ගිලී කුස්සිය වටේ කරක් ගහන්න සිදුවී තිබෙනවා. රනිල් රාජපක්ෂ මහත්තයාට ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන්න හෝ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න බැරි වී තිබෙනවා. ඒ පීඩාවෙන් අපේ ගෙදර අම්මලාට දරුවන්ගේ කැම බීම පවා අඩුකරමින් ලයිට් නිවා දමා තමන්ගේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කර ගන්න සිදුවී තිබෙනවා. අවශ්‍යතාවය මත මේ දක්වා පරිහරණය කළ විදුලි උපකරණ සියල්ල පැත්තකට දමලා, නැවත ලිප්ගල්වලට මාරුවෙන්න සිදුවී තිබෙනවා. අපේ රටේ බහුතරයක් වූ ඡන්දදායිකාවන්ට මේ ආණ්ඩුවෙන් උරුම කර දී තිබෙන්නේ ලිප්ගල් තුනයි අනෙක් පැත්තෙන්, අඳුරත් විතරයි. ආණ්ඩුව අධි වෝල්ටීයතාවයෙන් ජනතාවට කරන්ට් වැද්දුවත් සෑම දෙයක්ම දරාගන සිටි කාලය නිමා කරන ලෙස සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා. මෙ රටේ සමස්ත පුරවැසියන්ම හඬ අවදි කළ යුතුයි. විරෝධය පළ කළ යුතුයි. ආණ්ඩුව පළවා හැරීමේ පළමු පියවර විදුලි බිල වැඩිකිරීමට එරෙහිව
පාරට බැස ආරම්භ කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
රාජපක්ෂ පුතුන්ගේ මඟුල් ගෙවල්වල ලයිට් බිල ගෙවන්න යාළුවෝ හිටියා. නමුත් අපේ රටේ ජනතාවගේ මළ ගෙදරක ලයිට් එකක් දාගන්නත් බැරිතරමට වට්ටවා තිබෙනවා. අයි.එම්.එෆ්. එකේ පදයට නටන ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගවල අඳුරෙන් රට මුදා ගැනීම සඳහා රටේ බහුතරයක් ගැහැනුන් එළියට බහින්න ඕන කාලය ඇවිල්ලා. සංවිධානය වී පෙරමුණ ගන්න ඕන කාලය ඇවිල්ලා. රටම අඳුරට දැමූ ආණ්ඩුවට; මේ සමාජ ක්‍රමයට; එරෙහිව අලුත් ජීවිතයක් සහ අලුත් එළියක් ලබාගැනීමට සියලුම ජනතාව එක මිටකට එකතු වන්න. ගැහැනුන් ඇතුළු සියලු දෙනා එකතු වී විරෝධතාවය දක්වන ලෙස අපි ඉල්ලා සිටිනවා.”
මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජිකා නිමලා සිරිවර්ධන සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකා දමයන්ති බාලසූරියද එක්ව සිටියෝය.