-2023 දෙසැ. 03 දින පැවති අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ මාධ්‍ය හමුව-
විශේෂයෙන්ම රට ආර්ථික වශයෙන් කඩාවැටීමට ලක් කර තිබෙන පසුබිමක ලබන 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය අපේ කුටුම්භ ජීවිතයට කෙතරම් බලපෑම් කරනවාද යන්න අපි සමාලෝචනය කරමින් සිටිනවා. අපේ දරුවන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය යන ප්‍රධාන අත්‍යවශ්‍ය අංශවල පවා වියදම් කොතරම් කප්පාදු කරන්නට සිදුවී තිබෙනවාද කියන පීඩනය හොඳටම දැනෙනවා. දෙදහස් විසිහතර අයවැයෙන් යම් හෝ සහනයක් ලැබේවි කියලා මුළු රටක් බලාගෙන සිටියා. නමුත්, හැමදාමත් වගේ ඒ බලාපොරොත්තුව සිහිනයක්ම පමණයි. අයි.එම්.එෆ්. සමඟ එකතු වී සකස් කළ ආර්ථික න්‍යාය පත්‍රය ලබන වසරටත් හොඳටෝම ගළප්පාගෙන තිබෙනවා. අද අසීමිතව පීඩාවට පත් වී සිටින ජනතාව තවදුරටත් සමතලා කරගෙන යන්න බදු පටවන අයවැයක් ඉදිරිපත් කර තිබෙන්නේ. උදාහරණයක් හැටියට ලබන වසරේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන හාරදහස් එකසියවිසිහතක් වන විට බදු ආදායම විදියට රුපියල් බිලියන තුන්දහස් අටසියවිසිහයක් ලබා ගන්න අපේක්‍ෂා කරනවා. මුළු ආදායමේ ප්‍රතිශතයක් ලෙස සියයට අනූතුනක්ම බදු ලෙස ගන්න ඇස්තමේන්තු කර තිබෙනවා. මේ නිසා වාර්ෂික ඒකපුද්ගල බදු බර රුපියල් එක්ලක්‍ෂ හැත්තෑතුන් දහස් හයසියතිස්හයක් වෙනවා. එක් දිනකට හැම පුද්ගලයෙක් මතම රුපියල් හාරසිය හැත්තෑපහකට වැඩි බදු බරක් පැටවෙනවා.
දවසකට ඒ පුද්ගලයාට ආදායම කීයක් ලැබුණත්, එක පුද්ගලයකු විදියට රුපියල් හාරසියහැත්තෑපහක බදු බරක් දරන්න ඕනෑ. මේ විදියට ලබා ගන්නා ආදායම වියදම් කිරීමේ දී ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් විශාල මුදලක් කප්පාදු කර තිබෙනවා. ගැබිණි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට, දරුවන්ට පෝෂණ ඌණතා තිබියෙදී, තත්වය වඩාත් දරුණු වෙමින් තිබියෙදී, දෙදහස් විසිතුනට වෙන් කර තිබූ රුපියල් බිලියන එකසියපනස්දෙක දෙදහස් විසිහතරේදී රුපියල් බිලියන හැත්තෑහතක් දක්වා කපාහැර තිබෙනවා. මේ කපාහැරීම නිසා විශේෂ අවශ්‍යතා ඇති පිරිස අතුරින් ළමයින් සහ කාන්තාවන් කෙරෙහි බරපතළ පීඩනයක් ඇති කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පවත්වාගෙන යන විශේෂ අවශ්‍යතා ඇති ළමා හා කාන්තා සුරක්‍ෂිතතා මධ්‍යස්ථානවලින් ඒ අයව ඉවත් කර තම තමන්ගේ නිවෙස්වලට ගෙන යන්න බල කෙරෙමින් තිබෙනවා. රජය ලබා ගන්නා බදු ආදායමින් ඉතා අවම කොටසක් මේ වෙනුවෙන් පසුගිය කාලයේ වෙන් කර තිබුණත්, දැන් එයත් කපාහැර තිබෙනවා. දැනටමත් ඒ අයගේ පවුල් මත පැටවී තිබෙන බර මේ නිසා තවත් වැඩි කෙරෙනවා. නමුත්, විශ්‍රාමික ජනාධිපතිවරු සහ බිරින්දන් නඩත්තු කිරීම සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය දෙදහස් විසිතුනේදී රුපියල් මිලියන අසූහතරක සිට ලබන වසරේ දී රුපියල් මිලියන එකසියදහය දක්වා වැඩි කරගෙන තිබෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයට මුදල් කප්පාදු කරමින්, හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් ඉහළ දමා තිබෙනවා.
රටේ පවතින්නේ තවදුරටත් ජාවාරම් මත ගෙන යන ආර්ථිකයක්. අද ආණ්ඩුවේ පත්තරයේම මැලේසියාව හරහා යුරෝපයට අපේ ළමයි විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළි කර තිබෙනවා. මේ ජාවාරම පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන විසින් මේ රටට නව ලිබරල්වාදය හඳුන්වා දීමත් එක්කයි. බේබි ෆාම් කියලා හඳුන්වලා අපේ දරුවන් විකිණූ අතීතයම අද රනිල් වික්‍රමසිංහ යටතේත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් සුරාසල් විවෘත කර තබන කාලය දීර්ඝ කර තාත්තලාට බොන්න දෙනවා. අම්මලා පිටරට යවනවා. මේ තත්වය තුළ අනාරක්‍ෂිත කර ඇති දරුවන් සම්බන්ධ අපරාධ ඉහළ යමින් පවතිනවා. අද තියෙන්නේ දරුවන්ට පවා එපා වුණු ආණ්ඩුවක්. ඒ නිසා අද ඉතිරි වී තිබෙන්නේ ආණ්ඩුව පලවාහැරීමෙන් උත්තර සොයා ගන්න විතරයි. මේ සඳහා දෙසැම්බර් හතර වැනිදා ළමා හා කාන්තා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට නියමිත දවසේදී විශාල උද්ඝෝෂණයක් අපි සූදානම් කර තිබෙනවා. ඒ සඳහා සියලුම කාන්තාවන්ට පාර්ලිමේන්තුව අසලට පැමිණෙන ලෙස ආරාධනා කරනවා.
“අයවැයේ තිබෙන්නේ කැරට් අල දේශපාලනය ඉදිරියට ගෙන යන සුන්දර වචන ටිකක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-
කඩාවැටුණු ආර්ථිකයත් එක්ක අපේ රටේ කාන්තාවන් සහ දරුවන් විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ වාගේම රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් රැකියා කරන කාන්තාවන් සහ වතු ක්‍ෂේත්‍රයේ කාන්තාවන් විශාල ගැටලු ප්‍රමාණයකට අලුතින් මුහුණ දීමට සිදු වී තිබෙනවා. පසුගිය කාලය තුළ ඇඟලුම් කර්මාන්ත, අනෙකුත් කුඩා කර්මාන්ත වැසී යන මොහොතක ගෙන ආ අයවැයෙන් කඩාවැටුණු රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා වැඩපිළිවෙළක් වාගේම තම පවුලේ අනාගතය පිළිබඳව සුබ සිහිනයක් දකින්න ජනතාව බලාපොරොත්තු වුණා. ඒ කිසිදු කාරණාවක් සැලැකිල්ලට නොගෙන මැතිවරණය ඉලක්ක කර ගත් කැරට් අල දේශපාලනය ඉදිරියට ගෙන යන ලක්‍ෂණ, සුන්දර වචන ටිකක් මේ අයවැයේ තිබෙනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ඒ මොහොතේ ලබා දිය යුතු අවම පිළිතුරු සහිතව ඉදිරි අනාගතයේදී රට ඔසොවා තබන්නේ කොතැනටද යන්න පුරෝකථනය කළ හැකි කරුණු අයවැයක ඇතුළත් විය යුතු වෙනවා. නමුත්, වසර හැත්තෑපහක් පුරා ජනාධිපතිවරයාගේ සිට මැති, ඇමැතිවරුන් දක්වා ඔවුන්ගේ සුඛවිහරණය සහ සාක්කු පුරවා ගැනීම වෙනුවෙන් වාගේම බල අවශ්‍යතා වෙනුවෙන් මුදල් කළමනාකරණය කළ නිසයි මේ තත්වයට වැටුණේ. නමුත්, ජනතාවගේ ජීවන මට්ටම ඔසොවා තබන ඉලක්ක කිසිවක් මේ අයවැය තුළ අඩංගු කර නැහැ.
සංඛ්‍යා දත්ත හැටියට ගත්තොත්, ඔක්තෝබර් මාසය වන විට ලක්‍ෂ පනහකට රතු විදුලි බිල් ලැබී තිබෙනවා. ඔවුන් අතුරින් විශාලම පිරිසක් ආර්ථික අතින් පහළම මට්ටමේ සිටින අයයි. අනෙක් පැත්තෙන් ගෘහස්ථ මට්ටමින් හෝ සුළු පරිමාණ මට්ටමින් කරගෙන යන යම් කර්මාන්තයක් තිබෙනවා නම්, ඒ සඳහා යොදා ගත් විදුලි බිල් පවා මේ ලෙස ගෙවාගත නොහැකි මට්ටමේ පවතිනවා. අපේ ගම්වල පවා මේ කුඩා කර්මාන්තවල රැකියා කළ සහෝදරියන් බොහෝ දෙනකුට රැකියා අහිමි වී තවත් පිරිසකට අහිමි වීමේ අනතුරත් විදුලිය බිල නිසාම ඇති වී තිබෙනවා. මාසේ ආදායමත් එක්ක විදුලි බිල දරා ගන්න බැරි තත්වයකට පත් වී තිබෙනවා. ව්‍යාපාරික ආයතනවල වාගේම නිවාසවලත් ශීතකරණවල විදුලිය රාත්‍රී කාලයේ විසන්ධි කර තැබීමට බොහෝ දෙනෙක් පෙළැඹී සිටීමෙන් දරුවන්ගේ ආහාර සුරක්‍ෂිතතාව පවා අනතුරට පත් වී තිබෙනවා. විදුලි බිල වැඩි කිරීම ගෘහස්ථව සිට කර්මාන්ත දක්වා ඉතාමත් නරක ආකාරයෙන් බලපා තිබෙනවා. අයවැයෙන් මේ සඳහා යම් හෝ සහනයක් ජනතාව බලාපොරොත්තු වුණත්, සියයට පහළොවක් වන වැට් බද්ද සියයට දහඅට දක්වා වැඩි කරනවා. මේ නිසා අමුද්‍රව්‍ය මත බලපැවැත්වීම වාගේම නිමි ද්‍රව්‍ය බවට පත් වන විට භාණ්ඩ මිල ඉහළ යාම පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි වෙනවා. අමුද්‍රව්‍යවලට බදුවල බලපෑම නිසා තවත් වසරකින් තවත් කර්මාන්ත කඩාවැටීමට හේතු වෙනවා.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සාධාරණ වැටුප් වැඩි වීමක් බලාපොරොත්තු වුණත්, එය ලබා නොදී රුපියල් දහදාහක් ලබන අප්‍රේල් මාසයේ සිට ලබා දෙන බවට ප්‍රෝඩාකාරී ඡන්ද පොරොන්දුවක් දී තිබෙනවා. නමුත්, ඔවුන් ඉල්ලා සිටියේ රුපියල් විසිදහසක වැටුප් වැඩි කිරීමක්. ආණ්ඩුව ලබා දෙනවා කියන රුපියල් දහදාහක වැටුප් වැඩි කිරීමට පවා විධිමත් ක්‍රමවේදයක් යෝජනා කර නැහැ. දැන් යෝජනා කර තිබෙන වැට් බද්දෙන් තවත් විශාල ආදායමක් රජය ලබා ගන්නා අතරම සමාජ ආරක්‍ෂණ බද්ද ඇතුළු තවත් බදු වර්ග ගණනාවක් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා. තව පැත්තකින් අයි.එම්.එෆ්. යෝජනාවලිය හරහාම විශ්‍රාමිකයන් පවා බදු ගෙවන්නන් බවට තවත් ආකාරයට වක්‍රව ගොදුරු වෙනවා. රුපියල් දහදාහක වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයන් හට ලබා දෙන බව කිව්වත්. බදු වැඩි කිරීම නිසා සත්‍ය වශයෙන්ම සිදු වන්නේ වැටුප් කප්පාදුවක්. ලබා දෙන බව කියන රුපියල් දසදහසක දීමනාව ප්‍රෝඩාවක් බව රාජ්‍ය සේවකයන් හොඳ අවබෝධයකින් සිටිනවා. ගුරුවරුන්ට එක්දහස් නවසිය අනූහතේ සිටම ලබා දිය යුතු වැටුප් වර්ධකවලින් මෙතෙක් ලබා නොදුන් තුනෙන් දෙකක කොටස ලබා දීම දෙදහස් විසිහතර අයවැයේදීත් පුස්සක් බවට පත් කර තිබෙනවා. මේ නිසා දෙලක්‍ෂ පනස්තුන් දහසක් පමණ වන ගුරු, විදුහල්පතිවරුන් සියලු දෙනා ම ව්‍යාජ පොරොන්දු ලබා දෙන දුෂිත ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටිනවා.
වැට් බදු වැඩි කිරීමෙන් ලබන වසරේ දී රුපියල් බිලියන එක්දහස් හාරසියයක් වැඩි කර ගැනීමට ආණ්ඩුව අපේක්‍ෂා කළත්, ලබාගත හැක්කේ රුපියල් බිලියන නවසිය දහඅටක් බව ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දී තිබෙනවා. මේ නිසා ලබන වසරේ මැදභාගය වන විට වැට් බද්ද සියයට විසිහතර දක්වා වැඩි වීමේ අවදානමක් තිබෙන බව විශේෂඥයන් පෙන්වා දෙනවා. ක්‍ෂුද්‍ර මූල්‍ය ණයවලින් පීඩා විඳින ජනතාව, ගොවි ණය ගෙවාගත නොහැකි ජනතාව, ගංවතුර ඇතුළු උපද්‍රවවලින් පීඩාවට පත්වුණු ජනතාව සහ විශේෂයෙන් වතුකරයේ ජනතාව පිළිබඳව කිසිදු සඳහනක් මේ අයවැයේ නැහැ. මේ තත්වය තුළ නැවතත් උද්ධමනය ඉහළ ගොස් ආණ්ඩුව ලබා දෙනවා කියන සහන පවා පුස්සක් බවට පත් වෙනවා.
මේ රටේ නිෂ්පාදනය සහ රජයේ ආදායම වැඩි කරගත හැකි කිසිදු ව්‍යාපෘතියක් මේ අයවැයේ නැහැ. ලබන වසර තුළ පමණක් නොව අනාගත අරමුණු සහිත දැක්මක් ඇති කිසිවක් නැති අයවැයක් තිබෙන්නේ. කොල්ලකාරී ආර්ථිකය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යන මේ ක්‍රමයට තවදුරටත් ඉඩ දිය යුතු නැහැ. මේ අයවැයෙන් සියයට හැත්තෑනවයක්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ පවතිනවා. ඉතිරි අමාත්‍යාංශ විසිහතටම වෙන් කර තිබෙන්නේ මුළු අයවැයෙන් සියයට විසිඑකක් පමණයි. ජනාධිපතිවරයා යටතේ පමණක් මුළු වියදමින් සියයට හැටහයක් තමන් යටතේ තබාගෙන සිටිනවා. මේ දූෂිත දේශපාලනයේ තරම මෙයින් පැහැදිලියි. තමන්ගේ සැපවත් ජීවිත ගත කරන්න ජනතාවගේ බොටුව මිරිකන මේ ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා අපි දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. තවදුරටත් ජනතාව මුළා නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා.