ඔහු මේ බව අවධාරණය කළේ ජලය පෞද්ගලීකරණය සඳහා යළි ගෙන ඒමට සූදානම් වන නව පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඊයේ (11) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අපේ රටේ ජනතාවට ජලයත් සමග විශාල ආධ්‍යාත්මික බැඳීමක් තිබෙනවා. සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් පරිහරණය කෙරෙන්නේ ආහාර සහ පානීය ජලයට අමතරවයි. විශේෂ අවස්ථාවලදී පැමිණෙන අමුත්තන්ට ආරාධනා කරන්නේ ජලය වීදුරුවක් පිළිගැන්වීමෙන්. කෑම කන්න කඩයකට ගියවිට මුලින්ම ලොකු වතුර වීදුරුවක් ලබාදෙනවා. යුරෝපයේ ජලය සම්බන්ධයෙන් අභ්‍යන්තර තෙරපුම මත මිම්මක් සොයා ගන්නා විට අපේ රටේ ජනතාව ගුණාත්මකභාවය අනුව ජලයට වටිනාකමක් දුන්නා. අපේ රටේ වාෂ්පීකරණ නිසා ජලාශවල ලවණතාවය වැඩිවෙනවා. ඉහළ ස්ථානයක සිට පහළට ජලය සපයන අවස්ථාවල පහළින් ජලය ගන්නා අයට ලවණතාවය වැඩිවෙනවා. ඒ නිසාම ඉහළ සිට විල්ලුවලට ජලය මුදාහරිමින් ස්වභාවික පාරිසරික ක්‍රමය මගින් ජලය කළමනාකරණය කිරීමට කටයුතු සූදානම් කර තිබුණා. ඉහළ ගමක සිට පහළ ගමකට වතුර ලබාදුන්නේ මේ ආකාරයෙන්. ඒ වෙනුවෙන් වැව් ලේකම්වරයෙක් පත්කර සිටියා. ප්‍රමාණාත්මකව පමණක් නොවෙයි, ගුණාත්මකවත් අපේ රටේ ජලය කළමනාකරණය කළේ මේ ආකාරයට.
එවැනි ඉතිහාසයක් තිබුණු අපිට ජලය කළමනාකරණය කරන හැටි උගන්වන්න අද සෝල්හයිම් වැනි පුද්ගලයන් මෙන්ම ජාත්‍යන්තර සංවිධානත් නිර්මාණය වී තිබෙනවා. දැවැන්ත බහුජාතික සමාගම්වල මූල්‍යමය ප්‍රාග්ධනයෙන් ඒ ජාත්‍යන්තර ආයතනවලට සල්ලි පොම්ප කරනවා. ඊසාන දිග, නිරිත දිග, මෝසම් වැසි වගේම අන්තර් මෝසම් වැස්සෙන් ජලය ලැබෙන අතර, ඊට අමතරව සුළි කුණාටු නිසාද ලැබෙන ජලය මධ්‍ය කඳුකරයේ සිට පහළට ගමන් කරනවා. අපේ රට මේ ගුරුත්ව පිහිටීමත් එක්ක මතුපිට ජලය අතින් ඉතාම පොහොසත්. මතුපිට ජලයට අමතරව පොළොව අභ්‍යන්තරයේ ජල තටාකයක් තිබෙනවා. අපේ රටේ ඉතිහාසය පුරාම ජල තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය වුණු ජල සංස්කෘතියක අයිතියක් තිබෙනවා.
ජනතාව සමග ජලයට තිබෙන අධ්‍යාත්මික බැඳීම කඩා වාණිජ වටිනාකමක් දෙන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. නගර ආශ්‍රිත ඇළ මාර්ග සහ ගංඟා කුණු කාණු බවට පත්කර තිබෙන්නේ මේ ආධ්‍යාත්මික බැඳීම කඩා දැමීමේ මුල් පියවරක් හැටියටයි. කැලණි ගඟ අපවිත්‍ර කර තිබෙන්නේ කොතරම් විනාශකාරී ලෙස දැයි මේ වන විට හෙළිවී තිබෙනවා. ජලයට වාණිජ වටිනාකමක් දී මේ කරන්න යන දෙයින් ජනතාව තවත් ප්‍රපාතයකට ඇදදමා තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ඛනිජ තෙල් වගේම අද වෙනකොට ජලයත් වාණිජ වටිනාකමක් සහිත දෙයක් බවට පත්කිරීමේ ‘රිගේනින් ශ්‍රී ලංකා’ ක්‍රියාමාර්ග නැවත දියත් කර තිබෙනවා. අපි පාසල් යන අවධියේදී තිබූ “ජලය ධනය මෙන් රකිමු” කියන උදෘත පාඨය තුළින් අපේ ජනතාව ජීවිතය මෙන් ආරක්ෂා කළ ජලය වාණිජත්වයකට ලඝු කර තිබෙනවා. ජලය බේරා ගැනීමේ සටනට ජාතික ජන බලවේගයත් සමග එක්වෙන ලෙස අපි සියලු දෙනාටම ආරාධනා කරනවා.