2023.10.11 දින ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී…
රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විකිණීමට දිගින් දිගටම ගෙන යන ක්‍රියාමාර්ගවල නවතම පියවර මේ රටේ ජලය විකිණීමට අදාළව නව පනතක් සම්පාදනය කරමින් පැවතීමයි. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් නොවෙයි මේ රටට ආදරය කරන පරිසර සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන පුරවැසියන් එකතු කරගෙන මෙය පරාජයට පත්කරන්න ක්‍රියාකළ යුතුයි. අපේ රටේ වසර 3000කට ආසන්න අතීතයේ ජලය මූලික කරගත් ශිෂ්ටාචාරය ලෝකයේ අනෙක් රටවලට වඩා වෙනස් ආකාරයකට ගොඩනැගී තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල ගංඟා නිම්න පදනම් කර ගත් ශිෂ්ටාචාරයක් ගොඩනැඟුණා. නමුත් අපේ රටේ තිබෙන්නේ මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කර ගත් වාරි ශිෂ්ටාචාරයක්. ඒ කියන්නේ මිනිසා විසින් ගොඩනඟා ගත් වාරි කර්මාන්තවලින් ශිෂ්ටාචාර ඉදිකරගත් රටවල් අතළොස්ස අතරින් එකක් අපි. ඉහළම ජල කළමනාකරිත්වයක් සහිතව අපේ ශිෂ්ටාචාරය ගොඩනැගී තිබෙනවා.
එවැනි ඉතිහාසයක් සහිත ජල ශිෂ්ටාචාරයක් තිබියෙදී වර්තමාන පාලකයන් හුදෙක් වෙළඳ භාණ්ඩයක් හැටියට පමණක් ජලය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ජල සම්පත විකුණා දමන්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගෙනයමින් තිබෙනවා. නමුත් අනාගතය වෙනුවෙන් ජල සම්පත ආරක්ෂා කිරීම අප කාටත් පැවරී තිබෙන වගකීමක්. වර්තමාන ආණ්ඩුව පමණක් නොවෙයි විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ කාලයේ සිට මේ උත්සාහය දරනු ලබනවා. එදා වාරිමාර්ග ඇමතිව සිටි සරත් අමුණුගම මේ සඳහා පනත් ඉදිරිපත් කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ 2001 සිට පාලනය තුළ ‘රීගේනින්’ ශ්‍රී ලංකා වැඩසටහන යටතේත් ජලය විකුණන්න කටයුතු කළා. දැන් නවතම උත්සාහයක් දියත් කර තිබෙනවා. 2020 ඔක්තෝබර් 12දා එවකට සිටි අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් ජලය විකිණීම නැවත හඳුන්වා දීමට ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊට ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර සහ වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස අත්සන් කර තිබුණා. වක්කඩෙන් අතසෝදාගෙන නාම යෝජනා පත්‍රය අත්සන් කර පැමිණි බව කියන අය ජාතියේ මළගම කැඳවන්න ජලය විකිණීමේ පනත ගෙන ආවේ මේ විදිහට. ජලය පෞද්ගලීකරණය කිරීමට අදාළ මූලික ව්‍යුහය ‘පොදු දියබෙත්ම’ කළමනාකරණය කිරීමේ කමිටුව නමින් ගෙන එන්න උත්සාහ කළා.
මහින්ද රාජපක්ෂගේ අත්සනින් දෙවෙනි කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කර ජලය විකිණීමට අදාළ කමිටුව නම්කර තිබෙනවා. මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර සභාපතිවරයා යටතේ කමිටුවට සාමාජිකයින් දස දෙනෙකු පත් කළා. 2003 දී රනිල්ගේ ආණ්ඩුව ජලය විකිණීමේ පනත හැදුවෙත් මේ මහාචාර්යවරයා. අවුරුදු 20කට පසුවත් තාමත් ඒ අනතුර එන්නේ මේ ආකාරයෙන්. එදා සමාජවාදී ගොවි සංගමය හැටියට ජලය විකිණීමට විරුද්ධව අපි නායකත්වය දුන්නා. ලෝක ජල දිනය ලෙස නම්කර තිබෙන මාර්තු 22දා ලංකාවේ ප්‍රධාන වැව් 18ක ඉස්මත්තේ සිට දස දහස් පමණ ගොවි ජනතාව පිරිවරාගෙන මේ රට ගොඩනැගූ ජල සම්පත විකිණීමට ඉඩ නොදෙන බවට දිවුරා සපථ කළා. නමුත් අවුරුදු විසි ගණනකට පසුවත් ඒ කොඩිවිනය කපන්න අපට සිදුවී තිබෙනවා.
වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන 2023 ජූනි 28 අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. “ශ්‍රී ලංකාවේ ජාතික ජල ප්‍රතිපත්ති කෙටුම්පත” ඒ මගින් හඳුන්වා දුන්නා. කෙටුම්පතෙන් නතර නොවී ඊට අදාළ අනෙකුත් අමාත්‍යාංශත් එකතු කරගෙන පනත හදන්න දැන් මුලපුරලා තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කෙටුම්පතේ 2003 ඉදිරිපත් කළ කාර්යයන් ඒ විදිහටම තිබෙනවා. ජලය විකිණීම සඳහා වූ ආයතනික සැකැස්ම ගැන 08වැනි වගන්තියේ දක්වා තිබෙනවා. ජතික ජන බලවේගය හැටියට අපි අවධාරණය කරන්නේ ඉතිහාසයේ තිබුණා වැනි විශිෂ්ට ජලය කළමනාකරණයක් තිබිය යුතු බවයි. නමුත් කළමනාකරණයේ නාමයෙන් එන ජලය විකිණීමේ ක්‍රියාවලිය නිවැරදිව හඳුනාගෙන පරාජය කළ යුතුයි. රටකට සියලු සම්පත් ලැබීමට නම් නිසි කලට වැසි ලැබිය යුතු බව බෞද්ධ ධර්මයේත් සඳහන් වෙනවා. ලෝකයේ විශිෂ්ට ජල තේමා පාඨය ඉදිරිපත් කළේ මීට වසර 900කට පමණ පෙර පරාක්‍රමබාහු රජතුමායි. “අහසින් වැටෙන එක දිය බිඳුවකුදු මානව වර්ගයාගේ ප්‍රයෝජනයට ගෙන මිස මුහුදට යාමට ඉඩ නොතබමි” යනුවෙන් හඳුන්වා දුන්නා. ඊට අනුව යමින් එදා සිටි මෙරට පුරවැසියෝ දහස් ගණන් වැව් අමුණු බැන්දා. වැව් තිස්දහසකට වැඩි ප්‍රමාණයක් රට පුරා ඉදිකළේ ඒ අනුවයි.
අපි අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගය ලෙස අපි ජල කළමනාකරණයට පක්ෂයි. නමුත් ඒ දවටනයේ ඔතා ගෙන එන විකිණීමේ ක්‍රියාවලියට අපි ඉඩ දෙන්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවට අනුව ‘ජාතික ජල සම්පත් සභාව’ යනුවෙන් හඳුන්වන ආයතනයක් පිහිටුවනවා. ඒ වගේම ‘ජාතික ජල සම්පත් ලේකම් කාර්යාලය’ සහ ‘ජල සම්පත් අභියාචන මණ්ඩලය’ යනුවෙන් ආයතන තුනක් පිහිටුවනවා. මේ වගේ ආයතන තුනක් පිහිටුවා නිලධාරීන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට දී තිබෙනවා. ජාතික පාරිසරික කාලගුණ තත්ව පිළිබඳ විද්වතෙක් සභාපති හැටියට පත්කරන බව සඳහන් කර තිබුණත් මේ වන විටත් ඔහු පත්කර අවසන්. දේශගුණ විපර්යාස අධ්‍යයනය සඳහා රනිල් රාජපක්ෂ මේ වන විටත් පත්කර තිබෙන එම පුදගලයා අපි කවුරුත් දන්න එරික් සෝල්හයිමි. ඔහුට පඩි දෙන්නේ ඩොලර්වලින්. ඔහු මේ ආයතන ටිකටත් පත්කරාවි යැයි අපි විශ්වාස කරනවා. මාලදිවයිනේ මොහොමඩ් නසීම් තවත් උපදේශකයෙක් විදිහට පත්කරගෙන ඩොලර්වලින් පඩි ගෙවනවා. 2003 වසරේ ක්‍රියාවලිය පිටුපස සිටි කුමන්ත්‍රණකාරී එරික් සෝල්හයිම් පත්කර ගෙන සිටින්නේ දිගුකාලීන අරමුණු ඇතිවයි. කෘෂිකාර්මික විද්වතෙක්, ජල සම්පත් කළමනාකරණ විද්වතුන් දෙදෙනෙක් වශයෙන් ජනාධිපති විසින් මේ සභාවට නිලධාරීන් පත්කරනවා. ඒ අනුව බලනකොට ජනාධිපතිවරයාගේ හිතවත් කණ්ඩායමක් ජලය විකිණීමට අදාළ ක්‍රියාවලිය වෙනුවෙන් පත්කරන බව පැහැදිලියි. මේ ව්‍යාපෘතිවලට ආයෝජන වශයෙන් ගෙනෙන ඩොලර්වලින් කොමිස් ගහන පාලකයන් මෙතෙක් ගෙන ආ ක්‍රියාමාර්ගවලට වඩා මෙය භයානක බව අපි ජනතාවට අනතුරු හඟවනවා.
මීට අදාළව පසුගිය අගෝස්තු 29 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් ලිපියක අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්.ඩී.ජේ. ප්‍රනාන්දුගේ අත්සනින් ජනාධිපති, අගමැති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම සහ වැවිලි අමාත්‍යාංශවල ලේකම්වරුන් ගණනාවකට ජල පනතක් හදන්න උපදෙස් දී තිබෙනවා. ඒ පනත හැදීමේදී ඇතුළත් කළ යුතු තීන්දු කිහිපයක්ම දක්වා තිබෙනවා. කළමනාකරණය සම්බන්ධයෙන් දැනට කටයුතු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ජල සම්පත් මණ්ඩලය යන ආයතනවල කාර්යභාරය සමාලෝචනය කර වර්තමානයට ගැලපෙන ලෙස ඒ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසුව මේ ආයතන තුන ඒකාබද්ධ කළ තනි ආයතනයක් ජල කළමනාකරණය වෙනුවෙන් පිහිටුවිය යුතු බව අවධාරණය කර තිබෙනවා. ගෘහ අවශ්‍යතා, කෘෂිකර්මය, වගේම කර්මාන්ත බලශක්ති සහ සේවා යන කටයුතු වෙනුවෙන් අපේ රටේ ජලය පාවිච්චි කරනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ කෘෂිකර්මාන්තය. අගමැති දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මෙරට ජල සම්පත ගණනය කර, සංඛ්‍යා දත්ත මතුපිට ජලය ඝන මීටර් බිලියන 52ක්, භූගත ජලය ඝන මීටර් බිලියන 07ක් සහ කලපු ආශ්‍රිතව ඝන මීටර් බිලියන 07ක් තිබෙන බව සඳහන් වෙනවා. මේ අනුව අපේ රටේ ජලය බිලියන 66ක් තිබෙනවා.
ඒ අතර වර්ෂාපතනයෙන් වසරකට ඝන මීටර් බිලියන 130ක් ලැබෙනවා. ලෝකයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 750යි. නමුත් අපේ රටේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 900යි. අපි ශුෂ්ක බව නැත්නම් දුෂ්කර බව කියන ප්‍රදේශවල පවා ලෝකයේ සාමාන්‍ය තත්වයට වඩා ඉහළින් අපි ඉන්නවා. ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනය අවුරුද්දකට මිලි ලීටර් 2080ක වෙනවා.
අනාගතයේ අභිමානවත් රටක් ගොඩනඟන්න උපකාරී වන මේ ජල සම්පතේ අයිතිය ලබාගන්න බහුජාතික සමාගම් අවුරුදු තිස් ගණනක් විතර උත්සාහ කරනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලයේ ජල සම්පත මිලදී ගන්න බහුජාතික සමාගම් තුනක් මේ රටට ආවා. සති ගණනක් රැඳී සිටියා. නමුත් අපේ දැවැන්ත විරෝධතා හමුවේ ඔවුන් පලවා හැරියා. දැන් විකුණන්න හදන්නේ එසේ රැකගත් ජල සම්පතයි. ලංකාවේ ජල පරිභෝජනයෙන් 88%ක් ගන්නේ කෘෂිකර්මාන්තයට. පානීය සහ ගෘහ අවශ්‍යතාවලට 6%කුත් බලශක්ති සහ කර්මාන්තවලට 6%කුත් ගන්නවා. කෘෂිකර්මාන්තයට 88%කට ජල ප්‍රමාණයක් ලබාදෙන වාර්මාර්ග දෙපාර්තමේන්තුව අහෝසි කර වෙනම ආයතනයක් හදනවා. ඒ ආයතනයෙන් ක්‍රියාත්මක කරන්න ජල කලමනාකරණ පනත නමින් පනතක් ගේනවා. ජලය විකිණීමේ වගන්ති තිබෙන්නේ ඒ පනතේ. ඒ වගේම ‘වී වගාව සහ අනෙකුත් වගාවන් සඳහා අත්‍යාවශ්‍ය ජලය පමණක් භාවිතා කරනු බවට වගබලා ගත යුතුයි’ කියලත් සඳහන් වෙනවා. ඒ වෙනුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට ජලය පාවිච්චි කිරීමේ නිර්ණායක හඳුන්වා දෙන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්.
මේ වතුර අයිති පාලකයන්ටද? සොබාදහමින් මහජනතාවට සහ සතාසීපාවුන්ට දුන් ජලය විකුණන්න මේ පාලකයන්ට අයිතියක් තිබෙනවාද? විකිණීම ගැන කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ “ජල වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුළුල් ලෙස අධ්‍යයන කිරීම” යනුවෙන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මේ කැබිනට් පත්‍රිකාවල ඇත්ත අරමුණ එළියට පනින්නේ මෙතනින්. ජල වෙළඳපොළ කියන්නේ මොකක්ද? වෙළඳපොළෙන් ජලය ගන්න ඉන්නේ කවුද? මේ රටේ ජලය 88%ක ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයට භාවිතා කරන බව කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ අය සඳහන් කර තිබෙනවා. කෘෂිකර්මාන්තයට පාවිචචි කරන ජලයෙන් අය කරන්න සූදානම් වෙනවා. ජල වෙළඳපොළ තිබෙන්නේ මෙතනනේ. ගෘහස්ථ අවශ්‍යතාවලට ගන්න 6%ක ජලයට දැනටමත් බිලක් ගෙවනවා. බලශක්ති සහ කාර්මික අවශ්‍යතා සඳහාත් දැනටමත් ගෙවනවා. කෘෂිකර්මාන්තයට ගන්නා 88%ක ප්‍රමාණයට මිලක් අය කරන්නයි මේ ලැහැස්තිය. මේ උත්සාහය ලප්තැනම ලොප් කරන්න ඕනෑ. ජාතියට මළගම කැඳවන මේ ජල පනතට ඉඩදෙන්න එපා කියලා අපි මේ රටේ මහජනතාවට කියනවා.
මේ කැබිනට් පත්‍රිකා විතරක් නොවෙයි, ජලය අලෙවි කරන්න පෞද්ගලික සමාගම්වලට දීලා ඛේදවාචකයන් බවට පත්වුණු ලෝකයේ රටවල් ගැන අපි දන්නවා. කොලොම්බියාව, බොලීවියාව වගේ රටවල්වලට වුණු දේ අපි දන්නවා. දැන් තුන්වේල කන්න බැරිව ඉන්න ජනතාවගේ ළිඳේ වතුරවලටත් ගාණක් ගෙවන්න, වක්කඩේට මීටර් හයිකරන්න ආවාට පස්සේ කෑ ගහලා බැහැ. දැන්ම තේරුම් අරගෙන අනතුර වළක්වන්න අපි කවුරුත් ක්‍රියාකරන්න ඕනෑ. ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න අපි සූදානම්. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා දේශගුණික අරමුදල පෞද්ගලික අංශයෙන් යොදවන අතර, ජාත්‍යන්තර කළමනාකරණ ආයතනයද එකතුර කර ගන්න නියමිතයි. 70 දශකයේදී ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, එකතු වී ජලය විකිණීමට ලෝක මට්ටමින් ආයතනයක් පිහිටුවන් සූදානම් වුණා. ඒ වෙනුවෙන් ලතින් අමෙරිකාවට, අප්‍රිකාවට, වගේම ආසියාවේ තැන් තැන්වලටත් ගිහින් ඒ ආයතනය පිහිටුවා ගන්න ඉඩම් සොයා ගන්න බැරිවුණා. නමුත් ඒ ආයතනය දාන්න ලංකාවේ ආණ්ඩුව ඉඩ දුන්නා. ජලය පෞද්ගලික කිරීමේ ආයතනය බත්තරමුල්ල පැලවත්තේ පිහිටුවා තිබෙනවා. ‘ඉමි’ කියන්නේ ඒ ආයතනය. සෝල්හයිම්ලත් දාගෙන ලෝක බැංකුවේ උපදෙස්වලට අනුව කරන්න යන මේ විනාශය ගැන තොරතුරු අධ්‍යයනය කරලා මේ පළමු මාධ්‍ය හමුවේදී අපි රටට තොරතුරු හෙළිකරනවා. 2001 රිගේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ගෙන ආ රනිල්ගේ ආණ්ඩුවේ ආයුෂ කෙටි වී ගෙදර යන්න වුණා. ඒ රනිල් අද රාජපක්ෂලාගේ අතිනත් ගෙන ජල සම්පත විකුණන්න කරන උත්සාහය පරාජය කරන්න ඕනෑ. මේ පනත වහ වහා පරාජය කරන්න සමස්ත ජනතාවට අප හා එක්වන ලෙස ඉල්ලා සිටිනවා.