Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“රාජ්‍ය සේවකයින්ගේ, විශ්‍රාමිකයින්ගේ ගැටලු විසඳන්න මේ අයවැයෙන් කිසිදු ප්‍රතිපාදනයක් නැහැ…” -පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

-Colombo, November 28, 2023-

අපේ රටේ රාජ්‍ය සේවකයන් ජීවත්වීමේ අපහසුතාවයකට පත්වී තිබෙනබා. බිත්තරයක් රුපියල් 12/-ට තිබුණා. පෙට්‍රල් ලිටරය 117/-ට තිබුණා. අද බිත්තරයක් රුපියල් 45/-යි. පෙට්‍රල් ලීටරයක් රුපියල් 356/-යි. රුපියල් 105/ට තිබුණ ඩීසල් ලීටරය අද රුපියල් 356/-යි. රුපියල් 87/-ට තිබුණ භූමිතෙල් අද 249/-යි. ආදායම ශත පහක්වත් වැඩි නොවී, සෑම දෙයකම මිල වැඩිවෙලා තිබෙනවා. බඩු මිල හා සේවා මිල වැඩිවුණා. රුපියල් 98/-ට තිබුණු සීනි කිලෝ එක අද රුපියල් 340/-යි 350/-යි. රුපියල් 65/-ට තිබුණු හාල් කිලෝ එක අද රුපියල් 235/-යි 240/යි. ආදායම වැඩි නොවී වියදම තුන් හතර ගුණයකින් වැඩිවී තිබෙනවා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දිනවල වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ ඉතා පැහැදිළිව කියනවා හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 74000/- ක් අවශ්‍ය බව. එවැනි වැටුපක් ලබන රාජ්‍ය සේවකයන් කී දෙනෙක්ද සිටින්නේ. උපාධිධාරී රජයේ සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 31900/-යි. එයිනුත් වැන්දඹු අනත්දරු මුදලට කපා ගැනීම 6% තිබුණු මුදල 8% දක්වා වැඩි කළා. රුපියල් 30,000/-ක් වැටුපක් ලබන කෙනෙකුගෙන් අනිවාර්යයෙන් මාසයකට රුපියල් 600/-ක් කැපෙනවා. රුපියල් 60000/-ක වැටුපක් ලබන අයෙකුගෙන් රුපියල් 1200/-ක් කැපෙනවා. වැන්දඹු අරමුදලට මුදල් කප්පාදු කළාට එහි ප්‍රතිලාභ ලැබෙන්නේ ඔහු විශ්‍රාම ගියාට පසුව. එහෙම නැතිනම් ඔහු මියගියාට පසුව කලත්‍රයාට ලැබෙයි. එහෙම නැතිනම් ලැබෙන්නෙත් නැහැ. ආණ්ඩුව කර තිබෙන්නේ රජයේ සේවකයාගේ සල්ලි ටික කොල්ලකාපු එක.

සොච්චම් 10,000/-ක් දෙනවා කිව්වා. භාණ්ඩ හා සේවා බද්දෙන් ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 1094යි. රජයේ සේවකයාට 10,000/- දෙන්න යන්නේ බිලියන 133යි. පරරිප්පු, සීනි, තේ කොළවල මිල වැඩිකරලා ආණ්ඩුව උපයා ගන්නවා. මේක සාධාරණ නැහැ. ඒ නිසා රජයේ සේවකයන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ජනවාරි මාසයේ සිට රුපියල් 20,000/ක දීමනාවක් වැටුපට එකතු කරන ලෙස. මුදල් රාජ්‍ය ඇමති, සියඹලාපිටිය ඇමතිතුමා එළියෙදී කිව්වා රුපියල් 5000/-ක් ජනවාරියේදී දෙනවා කියා. නමුත් පාර්ලිමේන්තුවේදී එවැන්නක් ප්‍රකාශ කළේ නැහැ. වතු කම්කරුවන් පසුගිය දිනවල අරගල කරලා, දවසකට රුපියල් 1000/-ක් දිනා ගත්තා. අද ජීවත් වෙන්න ඒ මුදල ප්‍රමාණවත්ද? අවම වශයෙන් අද වැටුප රුපියල් 2000/-ක් වත් විය යුතුයි.

මේ සොච්චම් පැටුපෙන් රාජ්‍ය සේවකයාට ජීවත්වෙන්න අපහසුයි. ඒ නිසා ජනවාරි මාසයේ සිට රුපියල් 20,000/-ක අවම දීමනාවක් ලබාදීමට අයවැයේදි තීන්දුව ගන්න කියලා අවධාරණය කරනවා. ඒ වගේම, රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර වෙලා තිබෙන්නේ. 2016 සිට අලුතින් බඳවා ගන්නා අයට පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකමක් නැහැ. රනිල් වික්‍රමසිංහ එදා අගමැතිවරයා ලෙස එදා කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා; 2006 සිට බඳවා ගන්නා රාජ්‍ය සේවකයන්ට පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම නැහැ කියා. ඒ වෙනුවට පත්වීම් ලිපියේ වාක්‍යයක් දමා තිබෙනවා, “දායක විශ්‍රාම වැටුප හිමිකම තිබෙන බවත්, විශ්‍රාම වැටුප් පිළිබඳ ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවක් මත තීරණය කරනු ලැබේ.” යනුවෙන්. සත්‍ය වශයෙන් මෙය අවිනිශ්චිතයි. රාජ්‍ය සේවකයෝ ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් අද සේවය කරන්නේ මේ තත්වය තුළ තමයි. ඔවුන්ට තෘප්තියක් නැහැ. සේවාව හරිහැටි සැපයිය හැක්කේ තෘප්තියක් තිබෙනවා නම් පමණයි. එම සේවාව නිවැරදිව නොලැබීමට එය ප්‍රධාන හේතුවක්. බොහෝ ආයතනවල පුරප්පාඩු පුරවන්නේ නැතිව තිබෙනවා. ඒ නිසාම ඉන්න නිලධාරියාට ඒ වැඩ සියල්ල ආවරණය කිරීමට සිදුවී තිබෙනවා. ග්‍රාමසේවා නිලධාරීන්ගේ තනතුරු 14,000කින් 3000ක් තවමත් පුරප්පාඩු තිබෙන බව අගමැතිතුමා අද කිව්වා. 2016 විතර පැවැත්වූ ග්‍රාමසේවා විභාගයේ ප්‍රතිඵල ඇවිත් විශාල කාලයක් වෙනවා. නමුත් බඳවා ගැනීම් කළේ නැහැ. අද වනතුරුත් එයට පිළිතුරක් නැහැ. හැමදාම පත්වීම් දෙන බව කියමින් ‘කැරට් අලේ’ පෙන්වමින් යනවා. ගමේ ප්‍රධාන පරිපාලන නිලධාරියා තමයි ග්‍රාම නිලධාරී. 1963 මැයි මාසයේ පටන්ගත් ග්‍රාම සේවා වෘත්තිය අද ඒ නෝනාවරුන්ට මහතුන්ට එපාවෙන තත්වයට ඇවිත් තිබෙනවා. නාගරික ග්‍රාම නිලධාරී කාර්යාලය පවත්වාගෙන යන්න, කාමරයකට මාසෙකට රු:1500/-ක් ගෙවනවා. බස්නාහිර පළාතේ කාර්යාලයක් පවත්වාගෙන යන්න රු:1500/-ට කාමරයක් දෙන්නේ කොහේද? මුළු අවුරුද්දටම ලිපි ද්‍රව්‍ය සඳහා රු:1500/-යි දෙන්නේ. මේ මුදලට පොත්, පෑන් ටිකක් ගන්න හැකිද? 2002න් පස්සේ ග්‍රාම නිලධාරී කාර්යාලවලට උපකරණ ලැබී නැහැ. මේ ග්‍රාම නිලධාරී සේවාව අතෘප්තියෙන් කරන්නේ. පැය 24ක සේවාවක් මේ නිලධාරීන්ට තිබෙන්නේ. නමුත් ඉතාමත් නොසැලකිලිමත් ආකාරයෙන් මේ අයට සලකන්නේ. ඒ අය ඉල්ලන දෙයක් තමයි එයාලගේ සේවා ව්‍යවස්ථාව පිළිගෙන ඵභ 5 වැටුප් තලයේ පිහිටුවලා, විශ්‍රාම වැටුප් කොමිසමේ එකඟතාවය අරගෙන ඒ අයගේ රැකියාවේ ගරුත්වය ආරක්ෂා කිරීම. අද වනතුරු ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබී නැහැ. මේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා අයිතිවාසිකම අනුමත කර, නිශ්චිත සේවා ව්‍යවස්ථාවක පිහිටුවලා, නිවැරදි වැටුප් තලයක පිහිටුවා ලංකාව පුරා තිබෙන පුරප්පාඩු පිරවීමට මැදිහත් වෙන්න කියන ඉල්ලීම මම අවධාරණය කරනවා.

ඒ වගේම විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නය කාලයක් තිස්සේ දිග්ගැසෙමින් තිබෙනවා. 1997 විශ්‍රාම ගත් ගුරු විදුහල්පති විශ්‍රාම වැටුප් ප්‍රශ්නය තවමත් විසඳා නැහැ. එන සෑම ආණ්ඩුවක්ම පොරොන්දු දෙනවා. නමුත් විසඳන්නේ නැහැ. විශ්‍රාමිකයන්ට ලැබුණු හිමිකමක්, 2016-2020 කාලය තුළ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට ප්‍රධාන පත්‍රයකින් දෙනලද අයිතියක් තමයි ඔවුන්ගේ දීමනාව. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණු ගමන් 2020 ජනවාරි සිට ආණ්ඩුව තීන්දුවක් අරගෙන චක්‍රලේඛ ගසමින් එය නවතා දැමුවා. මේ වෙනවිට වසර හතරක් වෙනවා. මේ වන විට ගොඩක් විශ්‍රාමිකයන් මිය ගොස් තිබෙනවා. හිටපු විශ්‍රාමික වැටුප් අධ්‍යක්ෂකත් මෙතන ඉන්නවා. මේ අයටත් මේ විශ්‍රාම වැටුප අහිමිවී තිබෙන්නේ. ඒක ඒ අයට ලැබිය යුතු අයිතියක්. ඒ ප්‍රශ්නයත් අද වනතුරු නොවිසඳුණු ප්‍රශ්නයක්. අදත් අගමැතිවරයා ලෙසට පොරොන්දුවක් දුන්නා මෙය විසඳන බවට. වසර ගණනක් සේවය කළ රාජ්‍ය සේවකයා එයාලගේ පාරිතෝෂිකය ගන්න මාස ගණන් පෝලිමේ ඉන්න සිදුවෙලා තිබෙනවා. සේවකයා විශ්‍රාම ගිහින් කෙටි කාලයක් තුළ ලැබිය යුතුයි. එය නිවැරදිව කළමනාකරණය කොට විසඳීමට ආණ්ඩුව සමත් වී නැහැ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බැංකුවලින් යම්කිසි සහනයක් ලබාදුන්නා. බැංකු පොලිය 15% කර, තමන්ගේ විශ්‍රාම වැටුප බැංකුවේ දමා වයෝවෘද්ධ අවසථාවේ පුංචි හෝ සහනයක් ලබාගත්තා. නමුත් මේ ආණ්ඩුව මොකද කලේ. ඒ 15% පොලිය අහෝසි කළා. මේ පාර්ලිමේන්තුවේදී මෙය මම ප්‍රශ්න කළා. එවිට එය නැවත ඇති කරන බවට පොරොන්දුවක් දුන්නා. නමුත් අද ඒ පොලිය වැඩිකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් තවම ගත්තේ නැහැ. ඒකට මැදිහත්වී එය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මම අවධාරණය කරනවා.

විවිධ ආයතනවලට බඳවා ගැනීමේදී පුරප්පාඩු පිරවීමට වහාම මැදිහත් වෙන්න ඕනෑ. කඳුකරයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, උප කාර්යාල පිහිටුවා නැහැ. සමහර තැනක ගොඩනැගිලි පිහිටුවා තිබෙනවා. නමුත් ප්‍රමාණවත් නිලධාරීන් පත්කර නැහැ. දෙමළ භාෂාවෙන් රාජකාරි කළ හැකි නිලධාරීන් නැහැ. අඹගමුව, නුවරඑළිය, තලවාකැලේ, නූන්ට් වගේ ප්‍රදේශවල විශාල ජනගහනයක් ඉන්නවා. දෙලක්ෂ විසිපන්දහසක් පමණ අඹගමුව, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉන්නවා. තිබෙන්නේ එක කාර්යාලයයි. තමන්ගේ රාජකාරි කර ගැනීමට බොහෝ දුරක් ගෙවාගෙන යන්න ජනතාවට සිදුවෙලා. එහෙත් ප්‍රමාණවත් නිලධාරීන් නැති ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවෙලා. මෙම ප්‍රශ්න විසඳීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් යනවා. පළාත් පාලන ඡන්දය කල්දමා මාස ගණනාවක් වෙනවා. අයවැයෙන් බිලියන 11ක් මුදල් වෙන්කොට තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ඡන්දය පැවැත්වීම. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය එයයි. පළාත් පාලන ආයතනයේ විෂය පථය තමයි නිසි කලට මේ ඡන්දය පවත්වන එක. ආණ්ඩුවට මුදල් නැතැයි කියා ඡන්දය කල්දැමීමට කිසිදු හේතුවක් නැහැ. ඊළඟ වසරේ ජනාධිපතිවරණය, ඊළඟට මහා මැතිවරණය පවත්වන බවට ජනාධිපති ප්‍රකාශ කරනවා. එතුමා එය කිවයුතු නැහැ. එය ව්‍යවස්ථානුකූල නීතිය. ලබන වසරේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. ජේ.ආර්. ජයවර්ධන මාමාණ්ඩියටත් බැරි වුණා එයට වංගු ගහන්න. ලාම්පු-කළගෙඩි සෙල්ලම් පවත්වමින් පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමුවාට ජනාධිපතිවරණය කල්දමන්න බැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කිසිදු හෝ බාධාවක් නැහැ. මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන්කොට තිබෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. වහාම මැතිවරණය පවත්වන ලෙසට මම අවධාරණය කරමින් ඉල්ලා සිටිනවා.