Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“දූශිත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කළ යුතුයි. පත්කරන අය ගැනත් ගැටලු තිබෙනවා” – විජිත හේරත්-

-Parliment, November 10, 2023-

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 9 දින පැවති පාර්ලිමේන්තු විවාදයේදි ක්‍රීඩා අමාත්‍යවරයාගේ උත්සාහය අගය කළ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, ඇමතිවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පිළිබඳ සිය කනස්සල්ල පළ කළේය.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කර, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළද, එම අතුරු පාලක මණ්ඩලය අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවකින් බල රහිත කලේය.

වත්මන් පාලනය දැඩි ලෙස විවේචනය කරන අර්ජුන රණතුංග මහතා අතුරු පාලක මණ්ඩලයේ ප්‍රධානියා හැටියට පත්කර ගැනීම තුළම ප්‍රශ්නකාරී තත්වයක් ඇතිවන බව විජිත හේරත් මහතා විවාදයේදී පෙන්වා දුන්නේය. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ මහතාගේ පත්කිරීම මෙන්ම ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල් මහතාගේ පුත්‍රයා ඇතුළත් කිරීම සම්බන්ධයෙන්ද හේරත් මහතා ප්‍රශ්න කළේය. මෙම ක්‍රියාවන් තුළින් ක්‍රිකට් පිරිසිදු කිරීමට ඇමතිවරයා ගන්නා උත්සාහය පිළිබඳ සැකයක් ඇති කරන බවද විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාවේ අරමුණ වූයේ, ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමත්, ක්‍රිකට් පාලක මණ්ඩලයට තනතුරුවලින් ඉවත් වන ලෙස බල කිරීමත්‍ ය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කල විට ඡන්ද විමසීමක් සිදු නොවෙයි. එම නිසා බොහෝ මන්ත්‍රීවරු සිය කථා අවසානයේ සභාවෙන් ඉවත්ව යාම සාමාන්‍ය තත්වයකි. විවාදය අවසානයේ බෙදීමක් අවශ්‍ය බව විපක්ෂය යෝජනා කලත්, ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කලේ එය ඒකාබද්ධ යෝජනාවක් වූ බැවින් ඡන්දයක අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ අනුව යෝජනාව ඒකමතිකව සම්මත වූ බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

ආණ්ඩු පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් 83ක් සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 59ක් එකතුව මන්ත්‍රීවරුන් 142 ක් සභා ගැබේ සිටි අතර උදෑසන පැමිණ සිටි ජාතික ජන බලවේගය (NPP) මන්ත්‍රීවරුන් දෙදෙනා ඔවුන්ගේ දිවා කාලයේ වෙනත් කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේ ඡන්දයක් නොපැවත්වෙන බව දැනුම් දුන් නිසාය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ඔවුන්ගේ කතාවලදී ජාතික ජන බලවේගය ඡන්දය දීමට නොසිට සභාවෙන් පිටවී ඇත්තේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩල නිළධාරීන්ගේ මූල්‍ය ආධාර ලබා තිබෙන නිසා විය හැකි බවට ජනතාවට පණිවිඩයක් දීමට දුර්වල උත්සාහයක් ගන්නා බවක් පේන්නට තිබුණි. මෙම කරුණම ඇතැම් මුද්‍රිත මාද්‍ය සහ සමාජ මාද්‍ය පුන පුනා හුවා දක්වමින් ජාතික ජන බලවේගය අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රචාරයන් ගෙනයනු ලැබුණි.

මේ වනවිට ජාතික ජන බලවේගය කෙරෙහි වැඩිවෙමින් පවතින පුලුල් ජනතා ප්‍රසාදය දුබල කිරීම මෙම ප්‍රචාරයන්ගේ අරමුණ බව පැහැදිලි යයි දේශපාලන විචාරකයෝ පවසති.