(-Colombo, January 31, 2025-)
මෙරට දේශපාලඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතාව තැබු විශ්වාසය ආරක්ෂා කරමින් මේ රටේ හොරකම සහ නාස්තිය නවතන බවත් හොකරම් කළ අයට අනිවාර්යයෙන් දඩුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පසුගිය මැතිවරණවලදී විවිධ දේශපාලන වේදිකාවල සිටි අය අද එක්වී තමන් සිදු කළ වංචා සහ දූෂණවලට දඩුවම් ලැබීමෙන් බේරීමට සාකච්ඡා පවත්වන නමුත් මේ රටේ ජනතාව ආණ්ඩුව සමඟ සිටින තුරු ඔවුන්ගේ අරමුණු ඉටුකරගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය, වැල්වැටිතුරේ ප්‍රදේශයේ ඊයේ (31) පැවති සුහද හමුව අමතමිනි.
දූෂිතයන්, හොරුන්ට සහ අපරාධකරුවන්ට නැවත මේ රටේ ඉඩක් නොතැබිය යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව අපේක්ෂා කළ යහපත් දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මතු පරපුර වෙනුවෙන් අත්නොහැර ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජාතිවාදය සහ ආගම්වාදය යළිත් මේ රටට අවශ්‍ය නැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු ජනතාව ජාතිකත්වයෙන් එක්වන දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම තම රජයේ අරමුණ බවද කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
පසුගිය ජනාධිපතිවරණයේදී මේ යාපනයේ දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් අප කෙරෙහි විශ්වාස තබා ඡන්දය ලබා දුන්නා. ඒ ඡන්දය ජාතික ජන බලවේගය ආණ්ඩුව හදන්න ශක්තියක් වුණා. හැබැයි ඊට වඩා ලොකුම ශක්තිය වන්නේ අපේ රටේ ජනතාව එකට එක් කිරීමට ඔබ සියලු දෙනා ඡන්දය ලබා දීමයි. උතුරේ, දකුණේ, නැගෙනහිර, කඳුකරයේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් ලංකාවේ පළමු වතාවට නිර් මාණය වුණා. දශක ගණනාවක් තිස්සේ අප රටේ මොන වගේ දේශපාලනයක්ද තිබුණේ? උතුරේ වෙනම දේශපාලනයක්, දකුණේ වෙනම දේශපාලනයක්, නැගෙනහිර සහ කඳුකරයේ වෙනම දේශපාලනයක් වශයෙන් බෙදී තිබුණා.
අපේ රටේ පැරණි දේශපාලනඥයන් රටේ ජනතාව බෙදන දේශපාලනයක නිරත වුණා. එම බෙදීම යුද්ධයක් ඇති වන තුරු සිදු වුණා. ඒ නිසා අපේ පරම්පරාව යුද්ධ කරගත්තා. අපේ පරම්පරාව අවිශ්වාසය, සැකය, ක්‍රෝධය වපුරමින් ජීවත් වුණා. අපිට තවත් බෙදෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදුණා ජනතාව බෙදෙන එක නවත්වා ජනතාව එකට එක්වන දේශපාලනයක් වෙනුවෙන්.
මේ ගම්වලට මීට පෙර රාජ්‍ය නායකයෝ, ජනාධිපතිවරු පැමිණ තිබෙනවද? නැහැ. ඇයි ඒ? බෙදුණු ආණ්ඩුවක් තිබෙන විට එහෙමයි. හැබැයි දැන් තිබෙන්නේ බෙදීම් අවසන් කළ, එකතු කරපු ආණ්ඩුවක්. ඒ නිසා තමයි අපි වැල්වැටිතුරේ ප්‍රදේශයට පැමිණ දහස් ගණන් අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් මුණ ගැසෙන්නේ. මේ ශක්තිය, මේ එකතුවීම අපි යළි වෙන් කිරීමට ඉඩ දිය යුතු නැහැ. අපි සියලු දෙනා එක්විය යුතුයි.
අපි මෙවර අයවැය ලේඛනයට අලුත් යෝජනාවක් ඇතුළත් කරනවා. අපේ රටේ හැම අවස්ථාවකම තිබෙන්නේ එකිනෙකාට වෙනස් වූ උත්සවයි. දෙමළ සහ හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සමරනවා. බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සමරනවා. ක්‍රිස්තියානි ජනතාව නත්තල සමරනවා. ඉස්ලාම් ජනතාව රාමසාන් සමරනවා. හැබැයි සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් අපි සියලු දෙනා එකතුවෙලා සමරන දිනයක් අපට ඕනෑ. ඔක්තෝබර් මාසයේ මේ සියලු ජන ප්‍රජාවන්ගේ සංස්කෘතින්, ආහාර රටා, ජීවන රටා, විලාසිතා, සංගීත, නාට්‍ය මේ සියල්ල එකට එක් කර ජාතියේ මහා මංගල්‍යය සැමරීමට අපි සැලසුම් කර තිබෙනවා. අපි ඈත් වෙලා හිටියට අපේ දරුවන්ට ඈත් වෙන්න දෙන්න හොඳ නැහැ. අපේ පරම්පරාවන් යුද්ධ කරගත්තට අපේ අනාගත පරම්පරාවන්ට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. උතුර, නැගෙනහිර, දකුණ සියලු දරුවන් එකට එක්වන රාජ්‍යයක් බවට අපි මේ රාජ්‍යය පත් කරනවා.
ලංකාවේ පළමු වතාවට පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් හැදුණා. මීට පෙර ආණ්ඩු හැදුණේ ලොකු පවුල්වලින්. තාත්තා අගමැති, අම්මා අගමැති, දුව ජනාධිපති. අයියා ජනාධිපති, මල්ලිත් ජනාධිපති. මාමා ජනාධිපති, බෑණාත් ජනාධිපති. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරුන්ගේ දරුවෝ දෙන්නෙකුත් ජනාධිපති වීමට උත්සාහ කළා. මේ රටේ බලය තිබුණේ ඉහළින් සිටින පවුල් ළඟයි. උඩ සිටින පවුල් අත තිබු බලය පහළ සිටින පවුල් අතට මාරු කිරීමට පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා. දැන් අපි පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් හදා තියනවා. රාමලිංගම් සහෝදරයා, කුමරන් සහෝදරයා අපේ සහෝදරවරු. මේ කිසි කෙනෙක් පවුල්වල බලයෙන් ආපු අය නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ. මේ ප්‍රදේශයේ විශාල ලෙස වැඩ කරපු මේ රැස්වීම සංවිධානය කිරීමට විශාල ලෙස වෙහෙස වුණු අපේ රූබන් සහෝදරයා අපි වගේ සාමාන්‍ය මිනිස්සු. එසේ නම් දැන් හැදිලා තිබෙන්නේ අපේ ආණ්ඩුවක්. එසේ නම් අපට අභියෝග කිහිපයක් තිබෙනවා.
පළමු කොටම මේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කළ යුතුයි. හොඳ නිවාසයක් ආදායම් මාර්ගයක්, පානීය ජලය, ගමට යාමට මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සුදුසු පාසලක් නැහැ. ධීවර රස්සාව කරන්න විදියක් නැහැ. විශාල ලෙස බැටකන ජනතාවක් මේ ප්‍රදේශවල සිටිනවා. අප සියලු දෙනා එක් වී ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ සියලු ප්‍රශ්න විසඳන්න සූදානම්.
අප මුලින්ම අස්වැසුම දීමනාව වැඩි කළා. ඒ වගේම අස්වැසුම ලබන සියලු පවුල්වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමට රුපියල් හය දහසක් ලබා දුන්නා. එපමණක් නොවෙයි සිසුන් 300ට අඩු සියලු පාසල්වල දරුවන්ටත් රුපියල් හයදහසක දීමනාව ලබා දෙන්න අපි තීරණය කළා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නම් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එබැවින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඔබ උනන්දු විය යුතුයි. අපි දුප්පත්භාවයෙන් මිදෙමු. දරුවන්ට උගන්වමු.
මේ වසර තුළ පවතින සියලු ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගන්නවා. ඒ අනුව ගුරු හිඟය පවතින සියලු පාසල් සඳහා අපි ගුරුවරුන් ලබා දෙනවා. එපමණක් නොවෙයි යාපනය පුස්තකාලය තවදුරටත් දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් අප ප්‍රතිපාදන වෙන් කරනවා. ග්‍රාමීය අපට යා හැකි හොඳම මාර්ගය අධ්‍යාපනයයි. එබැවින් සිසුන් 250ට අඩු පාසැල්වල සියලු දරුවන්ට සපත්තු මිල දී ගැනීම සඳහා රුපියල් තුන් දහසක් ලබා දීමට කටයුතු කරනවා. දිවා ආහාරය සඳහා පාසල්වලින් දරුවන්ට ලබා දුන් රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කරනවා. ලබන වසරේදීත් සියලු පාසැල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීමට චීන රජය එකඟ වී තිබෙනවා. ඒ ආකාරයෙන් දරුවන්ට ඉගැන්වීමට අප උපරිම වෙහෙස දරනවා. ඔබ දරුවන්ට ඉගැන්වීමට සූදානම් වන්න. අප ඊට සහාය ලබා දෙන්නම්.
ඒ වගේම තරුණ දරුවන්ට අපි රැකියා ලබා දිය යුතුයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරෙයි, පරන්තන්, මාන්කුලම් යන ප්‍රදේශවල නව කර්මාන්තපුර 3ක් ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒවායේ ආයෝජනය කිරීමට පැමිණෙන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අප ආරාධනා කර සිටිනවා. විරැකියාව නිසා මෙම පළාත්වල ජීවත්වන තරුණයින්ගේ අපේක්ෂාව මේ රට හැර යාමයි. ඒ දරුවන්ට රැකියා ලබා දීම සඳහා මෙම කර්මාන්තපුර ආරම්භ කරනවා.
ඒ වගේම මේ වසරේදී රජයේ පුරප්පාඩු පිරවීමටත් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පොලිසිය තුළ දෙමළ භාෂාව භාවිතා කරන පිරිසෙහි විශාල අඩුවක් තිබෙනවා. මේ වසරේදී අපි පොලීසියට 2000ක් බඳවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. පොලීසියට බැඳෙන ලෙස දෙමළ තරුණයින්ට අප ආරාධනා කරනවා.
මේ පළාත්වල තරුණ පරම්පරාව විශාල ලෙස මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙමින් සිටිනවා. එය නැවැත්වීම සඳහා අප ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ සඳහා ඔබේ සහාය අවශ්‍යයයි. අපි එකතු වී මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරමු.
ඒ වගේම යාපනයේ ජනතාවට විශාල ඉඩම් ගැටලුවක් තිබෙන බව අපි දන්නවා. අපේ ප්‍රතිපත්තිය ජනතාවගේ ඉඩම් ජනතාවට ලබා දීමයි. ආරක්ෂාවට හා සංවර්ධනයට ආණ්ඩුවට ඉඩම් පවරා ගැනීමේ අයිතිය තිබුණත් බොරුවට ඉඩම් තබා ගත නොහැකියි. තවමත් පුද්ගලයන් 1500කට වැඩි ප්‍රමාණයක් අවතැන් කඳවුරුවල සිටින බව අපි දන්නවා. ඔවුන්ගේ වාසස්ථාන කඩිනමින් ලබා දීමට අප කටයුතු කරනවා.
එපමණක් නොවෙයි ගම්වල මාර්ග පද්ධතිය විශාල ලෙස කඩාවැටී තිබෙනවා. මේ වසර තුළ අලුත්වැඩියා කර සැකසිය හැකි මාර්ග සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට අප කටයුතු කරනවා. එසේම පිරිසිදු පානීය ජලය ලබා දීමට ද කටයුතු කරනවා.
අප ජනතාවගේ ආණ්ඩුවක් හදා තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි. කාලාන්තරයක් තිස්සේ උතුරු මුහුදේ විශාල ධීවර ගැටලුවක් තිබෙන බව අප දන්නවා. ඒ ප්‍රශ්නය විසඳීම සඳහා අපි ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූවා. ආරක්ෂාව තහවුරු කිරීමට අපි නාවික හමුදාවට නියෝග ලබා දුන්නා. අපි පියවරින් පියවර ක්‍රමානුකූලව මේ ධීවරයන් මුහුණදී තිබෙන ගැටලු විසදීමට කටයුතු කරනවා.
පසුගිය මැතිවරණයේදී අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජනතාවගේ විශාල වුවමනාවක් තිබුණා. අපේ රටේ තිබුණේ මහජනතාවට වඩා උඩින් තිබෙන දේශපාලනයක්. මහජනතාව සමග සමීප දේශපාලනයක් නොවෙයි. මහජනතාවගේ ධනය පාලකයන් විශාල ලෙස නාස්ති කළා. අපි ආණ්ඩුවක් ලෙස එය නතර කළා.
නායකයො මහජනතාවගේ ධනය නාස්ති කරන්න හොද නැහැ. අපි දුප්පත් රටක්. ජනතාව දුප්පත්. ඒ දේශපාලනය වෙනස්විය යුතු නැද්ද, අපි ඒ දේශපාලනය වෙනස් කර තිබෙනවා. අද අපි රට ගොඩනැගීමේ දිසාවට පය තබා තිබෙනවා. විශේෂයෙන් මේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් විශාල සංවර්ධනයක් සැලසුම් කර තිබෙනවා. කර්මාන්ත කලාප 03ක්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සැලැස්මක් වගේම මේ උතුරු පළාතේ පොල් වගා කළ හැකි අක්කර 40,000ක් තිබෙන බවට අපි හඳුනාගෙන තිබෙනවා. මෙවර අයවැයෙන් අපි ඒ සඳහා මුදල් වෙන් කරනවා. වගා කිරීමට කැමති අයට පොල් පැළ මෙන්ම භූමිය සකස් කර ගැනීමට සහ පොහොර යෙදවීමට අපි මුදල් දෙනවා. අපි සියලුදෙනා එක් වී රට ගොඩනැඟිය යුතුයි. උතුරේ ජනතාව විශාල ලෙස කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙහෙසෙන ජනතාවක්. හැබැයි නිසි මිලක් නැහැ. ඒ නිසා ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට අපි විසඳුම් ලබා දෙනවා. අපි මේ වන විටත් පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. අපට අවශ්‍ය ජනතාවගේ ජීවිත උසස් කිරීමටයි.
යුද්ධය සහ ගැටුම් පිටුපස වැඩිපුර තිබෙන්නේ ආර් ථික ප්‍රශ්නයි. ඒ නිසා මේ ආර් ථික ගැටලුවලට අපි විසඳුම් සෙවිය යුතුයි. ඒ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වගේම සිංහල, දෙමළ භාෂා කථා කරන ජන කණ්ඩායම් දෙකක් අපේ රටේ සිටිනවා. ඒ හැම පුරවැසියෙකුටම තමන්ගේ භාෂාවෙන් රාජ්‍යයත් සමඟ ගනුදෙනු කිරීමට ඇති අයිතිය සකස් කළ යුතුයි. තමන්ගේ භාෂාවෙන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් කිරීමට අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා භාෂාවෙන් ඇති වී තිබෙන අසමානතාව අප විසඳිය යුතුයි. දෙමළ භාෂාවෙන් කතා කරන රාජ්‍ය සේවයක් අපට අවශ්‍යයි. අපි ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා.
අපේ ආගමික අයිතින් පිළිබඳ සාධාරණත්වයක් තිබිය යුතුයි. ආගම් අපේ විශ්වාසයයි. ඒ පිළිබඳ කිසිවෙකුට බලපෑමක් කරන්න බැහැ. අපි එම විශ්වාසයට ගරු කළ යුතුයි. අපි අපේ රටේ යළි ආගම්වාදී, ජාතිවාදී ගැටුමක් වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පසුගිය දිනවල එවැනි ජාතිවාදී සටන් පාඨ සමඟ සමහරුන් ඉදිරියට ඒමට පටන් ගත්තා. අපි ජාතිවාදය වපුරන අයට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. අපටත් තවත් ජාතිවාදය අවශ්‍ය නැහැ. ආගම්වාදය අවශ්‍ය නැහැ. යළි අපේ රටේ ජාතිවාදයට හා ආගම්වාදයට අපි ඉඩ දෙන්නේ නැහැ.
අපි එකිනෙකා අතර සංස්කෘතික වෙනස්කම් තිබෙනවා. අපි ඒවාට ගරු කළ යුතුයි. එම සංස්කෘතින් රස විඳීමට පුරුදු විය යුතුයි. අපි එවන් රටක් ගොඩනැඟිය යුතුයි. අපිට ගහගෙන, යුද්ධ කරගෙන තවත් දශක ගණනාවක් මේ විදියට දුක් විදින්න බැහැ. අපේ පරම්පරාවන් දුක් වින්දා. අපේ දරුවන්ගේ පරම්පරාවන් යුද්ධයට තල්ලු කරන්න බැහැ. ඒ නිසා අපිට ගහගෙන මරාගෙන, ඇණ කොටාගෙන රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. අපේ රට ඉදිරියට යන්නේ අපි අතර සමගිය ගොඩනැගුණොත් පමණයි. ඒ නිසා අපේ ආණ්ඩුව සමගිය ගොඩනැඟීමට විශාල වෙහෙසක් දරනවා. එම සමගිය ඇති කිරීම සඳහා හොඳම ධෛර්ය ලබා දුන්නේ ඔබයි. පාරම්පරික දේශපාලනඥයෝ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. වෙනම රටක් අරන් දෙන්නම් කියලා ඡන්දය ඉල්ලුවා. හැබැයි ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරලා යාපනය දිස්ත්‍රික්කය තුළ අපට ජයග්‍රහණය ලබා දුන්නා. ජනතාව කැමතියි එකතු වෙන්න. ජනතාව ළඟ ජාතිවාදය, ආගම්වාදය නැහැ. හැබැයි දේශපාලනඥයා ළඟ තිබෙනවා. උතුරේත්, දකුණේත් දේශපාලනඥයන්ගේ පැවැත්ම වුණේ ජාතිවාදයයි. නැවත නැවත එය දකුණේ හිස එසවීමට උත්සහ කරනවා. නමුත් අපට ජාතික සමගිය අවශ්‍යයි. අපි එකතු වෙමු. අපි හදලා තියන ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. අපි තමුන්නාන්සේලා වගේමයි. අපි මේ රට වෙනස් කරමු. අලුත් යුගයකට ගෙන යමු. ඔබ අප කෙරෙහි තැබු විශ්වාසය අපි බිඳින්නේ නැහැ.
හැමදාම අපේ රටේ දේශපාලඥයෝ ජනතාවගේ විශ්වාසය කඩ කළා. අපි ඒ විශ්වාසය කඩ කරන්නේ නැහැ. ඔබ සියලු දෙනා ඉතා වැදගත් පියවරක් තැබුවා. සියලු දෙනා එක්විය යුතුයි කියා තීන්දුවක් ගත්තා. පසුගිය මැතිවරණයේදී ඔබ බෙදෙනවා වෙනුවට සියලුදෙනා එක් විය යුතුයි කියලා පෙන්නුවා. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපි රකිනවා. මේ රටේ හොරකම නතර කරනවා, නාස්තිය නතර කරනවා. හොරකම් කරපු අයට දඩුවම් දෙනවා.
අපේ රටේ දරුවන් ලබාදෙන එන්නතින් හොරකම් කරලා නම්, බාල බෙහෙත් ගෙනවිත් නම්, රෝහල හදන විට, පාර හදන විට සොරකම් කරලා කෝටි ගණන් දේපළ රැස්කරගෙන නම් ඒ ගැන පරික්ෂණ කළ යුතු නැද්ද? දඩුවම් ලබාදිය යුතු නැද්ද? එම දඩුවම් ලබාදෙන ආණ්ඩුව ජාතික ජන බලවේයේ ආණ්ඩුවයි. දැන් දූෂණයට සම්බන්ධ අය ඔක්කොම එකතු වෙලා. පසුගිය මැතිවරණ වේදිකාවලදී විවිධ වේදිකාවලට බෙදී සිටි අය දැන් එකතු වෙන්න සාකච්ඡා පවත්වනවා. මේ සියලුදෙනා එක් වන්නේ බේරෙන්නයි. නමුත් ඔවුන් එකතු වුණාට, ජනතාව අප සමඟ එක් වී සිටින තුරු ඔවුන්ට මේ වැඩේ කරන්න බැහැ. ඔවුන් එකතු වී උත්සාහ කරන්නේ පරීක්ෂණ කරන එක නැවැත්වීමටයි. එකතු වී දඩුවම් ලබාදීම නවත්වන්නයි. නමුත් ජනතාව අප සමග සිටිනවා. අපි දූෂිතයන්ට දඩුවම් ලබා දෙනවා. අපි මෙම වැඩපිළිවෙළ අත්නොහැර ඉදිරියට යමු. අපි නිසි සැලසුමක් ඔස්සේ වැඩ කළහොත් අපිට මේ රට දියුණු කළ හැකියි. නැවත දූෂිතයන්ට, හොරුන්ට, අපරාධකරුවන්ට ඉඩක් දෙන්න එපා. අපි සියලු දෙනා එකට එක්වී මේ රට ගොඩනඟමු.