Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මේ දුෂ්ට පාලනය තුළ ජීවත් වෙන අවසන් පරම්පරාව අපයි” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ ජන බල විරෝධය රැලිය – නුගේගොඩ-

අපි නුගේගොඩට එකතු වී සිටින්නේ, රනිල් වික්‍රමසිංහටත් මහින්ද රාජපක්ෂ කල්ලියටත් අවසන් නිවේදනය දෙන්නයි; ‘අපේ රට අපට ඉතුරු කරලා, බැහැලා යන්න’ කියන්නයි; මේ දුෂ්ට පාලනය නිමාකර, ජාතික ජන බලවේගයේ පාලනයකින් රට ගොඩනඟන බව තහවුරු කරන්නත් ඒ වෙනුවෙන් රටේම ජනතාව අත්වැල් බැඳගත් බවටත් පණිවිඩය දෙන්නයි. අපේ රටේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය වශයෙන් එකක් දෙකක් වට්ටලා තිබෙනවා නම්, ගොඩගන්න ලෙහෙසියි. නමුත් පසුගිය කාලය පුරාම රට ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් සහ සංස්කෘතික යන සියලුම අංශවලින් බිඳ වට්ටා තිබෙනවා. එවැනි රටක් ප්‍රතිපත්තිවලින් විතරක් ගොඩගන්න බැහැ. එය ගොඩගන්න අලුත් ගුණයන් ගොඩක් අවශ්‍යයි. ඒ සියල්ල තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළ පමණක් බව මේ විනයගරුක සටන්කාමී පෙළපාළියෙන් ඔප්පු කර තිබෙනවා. අපි එකම අරමුණකින් එකම සටන් පාඨ කියමින් විනය සහ සංයමය සහිතව පෞද්ගලික අරමුණු වෙනුවට පොදු අරමුණකින් පෙළපාළියෙන් මෙතනට ආවා. අපිට තිබෙන්නේ තනි තනි පුද්ගලික අරමුණු නොව, වට්ටපු රට ගොඩනඟන පොදු සහ එකම අරමුණක් බව තහවුරු කළා. වෙන පක්ෂවල පෙළපාළිවල එකිනෙකාගේ මුහුණු දමාගෙන එකිනෙකා දිනවන්න එන පිරිස් සිටින්නේ. අපි ඇවිත් තිබෙන්නේ එකිනෙකාගේ පස්සෙන් යන්න නොවෙයි. විනාශ කර තිබෙන අපේ මව්බිම ගොඩනැගීම වෙනුවෙන් සටන් කරන්න, කැපවෙන්න සූදානම් බව ඔප්පු කරන්නයි. ඊට අවශ්‍ය ගුණය, ජවය, ආධ්‍යාත්මය තිබෙන්නේ ජාතික ජන බලවේගයේ පමණයි.

රටට හෙණ ගැහුවත් අද ඉන්න පාලකයන්ට ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාව ආහාර නැතිව, ඖෂධ නැතිව, ඉගෙන ගන්න පහසුකම් නැතිව සිටියදී පාලකයන් මහා පරිමාණයෙන් වංචා-දූෂණවල යෙදී සිටිනවා. මිනිසාට මිනිසුන් ආදරය කරන, තමන්ට පෞද්ගලිකව කිසිවක් අපේක්ෂා නොකර වසර 75ක් පුරා පීඩාවට පත්කර සිටින ජනතාවට ආදරේ බව අපි ඔප්පු කර තිබෙනවා. මේ රට ගොඩනඟන්න අවශ්‍ය සියලු කැපකිරීම් කරන්න, අපි සූදානම් බව නැවත නැවතත් තහවුරු කර තිබෙනවා. මෙතන තිබෙන්නේ නිකම් ඔළුගෙඩි ටිකක් විතරක් නොවෙයි; අපේ රටේ තිබෙන හොඳම ගුණයන් සහිත ධෛර්යය සම්පන්න මිනිසුන් දස දහස් ගණනක්. කලක් බොරුවට බෙදී සිට, රංගනයන් පවත්වා, දැන් එකට එකතු වී පැරණි ඉතිහාසයේ අවසන් ජවනිකාව ඔවුන් විසින් රඟ දක්වමින් සිටිනවා. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න සමත් බලවේගය මෙතැනට එකතු වී සිටිනවා. අපි ආ, දුර ගමන වගේම සංයමයෙන්, ධෛර්යයෙන්, ඉදිරියට යාමේ වගකීමක් අපට තිබෙනවා.

අද සතුරා ජාතික ජන බලවේගයට බය වී සිටින්නේ මෙතැනට රැස්වී ඉන්නේ නිකම්ම නිකම් හුදකලා මිනිසුන් නොවෙන නිසයි; නිකම්ම ඡන්දදායකයන් නොවෙන නිසයි. මෙතනට රැස්වී ඉන්නේ තීන්දුවක් ගතහොත් ගල් පර්වත වුණත් අස්වද්දන්න හැකියාවක් තිබෙන මිනිසුන්. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, ජනමතයට බයවී ඉන්නවා. මැතිවරණ මගින් ජන මතය ප්‍රකාශයට පත්වීම ගැන බය වූ රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, ඡන්ද කල්දමා තිබෙනවා. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අපි පනවා තිබෙන නඩුවත් කල්දමමින් යනවා. ඒ අතර ආණ්ඩුව ඡන්දයට මෙපිට ජනමතය ප්‍රකාශ කරන, සමාජ මාධ්‍ය මර්දනය කරන්න පනත් ගෙනෙමින් සිටිනවා. ජන මතය ප්‍රකාශ කරන උද්ඝෝෂණවලට බයේ ත්‍රස්ත මර්දන පනතක් අලුතින ගේන්න සූදානම් වෙනවා. කවුරු සමග ඒ සෙල්ලම් කළත්, මහා දැවැන්ත ජනතා බලයක් සහිත, විනයක් සහ අධිෂ්ඨානයක් සහිත ජාතික ජන බලවේගය එක්ක ඔය සෙල්ලම් බැරි බව රනිල්ට සහ ගෝල බාලයන්ට කියනවා. රනිල් වික්‍රමසිංහට ඉතිරි වී තිබෙන්නේ උපරිම තව මාස දහයකින් කොට්ට, පැදුරු අකුළාගෙන යාමක් පමණක් බව අවධාරණය කරනවා. රාජපක්ෂලාටත් එහෙම තමයි. ආණ්ඩු මාරු කරමින්, මැච් එක ගහපු සතුරන්ගේ යුගය අවසානයි. දැන් උදාවී තිබෙන්නේ ජනතාවගේ යුගයයි. අපි මෙතනට රැස්වී සිටින්නේ මේ යුගය අපේ දෑතින් නිර්මාණය කරන බව කියන්නයි. එය නැවැත්විය හැකි කිසිදු බලවේගයක් නැහැ.

මාස ගණනකට කලින් ‘මහින්ද සමග නැගිටිමු’ කියලා දෙයක් දාලා බැලුවා. හරි ගියේ නැති පාර ‘නාමල් එක්ක නැගිටිමු’ කියලා දැම්මා. දැන් බැසිල් නැගිටින්න හදනවා, ඒත් බැහැ. ඔවුන්ගේ කාලය ගියා. දැන් ජනතාවගේ යුගය නිර්මාණය වෙලා තිබෙන්නේ. රට වට්ටලා ඉබාගාතයේ ඇවිදගෙන ගිය ජනතාවට, තමන්ට සිදුවුණේ මොකක්ද කියලා ආපසු හැරී බලන්න පාලකයන් විසින් බල කළා. ඒ බල කරන වෙලාවේ ජනතාවට ඇත්ත කියලා දීලා පාර පෙන්වන්න ජාතික ජන බලවේගය හිටියා. හොරාට හොරා කියලා රට හමුවේ හෙළි කළ එකම නායකයා අනුර කුමාර දිසානායක පමණයි. කාලයක් ඔවුන්ගේ අය “හොරකම් කළත් පාරවල් හැදුවනේ” වගේ මත පළකරමින් සිටියා. අද ජනතාවට ඒ පාරවල්වල යන්න වාහනවලට තෙල් ගහගන්නත් නැහැ. මේ නිසා නැවත හොරුන්ට අවස්ථාවක් නොදෙන්න ජනතාව අධිෂ්ඨානය කරගෙන ඉන්නවා. ජනතාව දිනාගැනීමේ සටනේ ලොකුම අවිය අදහස්. අපිට නිවැරදි අදහස් තිබෙනවා වගේම, අපි හැමෝටම එක මතයක් තිබෙනවා. අපි හැමෝම දරන ඒ නිවැරදි මතය අනිත් සෑම දෙයකටම වඩා බලවත්. ජාතික ජන බලවේගයේ අදහස් එක්ක සටන් කරන්න පුළුවන් කිසිම බලවේගයක් ලංකාවේ නැහැ. සංවිධාන පැත්තෙන් ගත්තත් පරාදයි. තනි නායකයෙක් පිටුපස්සේ යන පිරිසක් අපි හැදුවේ නැහැ. අනුර සහොදරයාගේ නායකත්වයෙන් අපි ඔක්කෝම එකතු වී ජය පරාජය දරාගෙන විශ්වාසයෙන් ගමන් කරන සාමූහික නායකත්වයක් හැදුවා. ඒ සාමූහිකත්වයට දිනන්න පුළුවන් බව දැන් ඔප්පු කර අවසන්.

ඔවුන්ට සාමූහිකව කළ හැකි එකම දේ හොරකම් කිරීම විතරයි. මතවාදයෙන් සහ සංවිධානමය පැත්තෙන් අපි ඔවුන්ව පරාජය කර අවසන්. ඔවුන්ට බලය තිබෙන්නේ, ව්‍යවස්ථාවේ, ජනාධිපති ධුරයේ සහ පාර්ලිමේන්තුවේ පමණයි. එයිනුත් ලබන අවුරුද්දේ ඔක්තෝබර්වල ජනාධිපතිවරණයෙන් අපේ රටේ ඉතිහාසයේ පළමුවරට පොදු ජන නායකයෙක් ජයග්‍රහණය කරවන්න සියලු දෙනාම සූදානම්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම මේ දුෂ්ට, දූෂිත පාර්ලිමේන්තුව විසුරුවා හැර ඒ බලය ලබාගෙන රට හැදීම ආරම්භ කරනවා. රට හදනවා වගේම හොරු අල්ලන්නත් තිබෙනවා. හොරුන්ට අධිකරණයෙන් දඬුවම් දෙන්නත් තිබෙනවා. අපි වටා විශ්වාසය තබමින් එකතු වෙන දැවැන්ත මහජන බලය අලුත් රටක් ගොඩනැගීම අනිවාර්යයෙන් කරනවා. වැඩකරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ජනතාව, කර්මාන්තකරුවන්, තරුණ පරපුර සහ යුක්තිය ඉල්ලා හඬන ගැහැනුන්ගේ බලවේග අප වටා එකතු වී සිටිනවා. මේ රට ගොඩනැගීමේ දැනුම සහ කැමැත්ත තිබෙන, ජාවාරම්කරුවන් නොවෙන සියලුම ව්‍යාපාරිකයන්ගේ එකතු වීමත් සිදුවෙනවා. පසුගිය කාලයේ අපිට අලුතින්ම එකතු වුණේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරීන් ඇතුළු සියලුම දෙනයි. ඔවුන් මහා බලයක් ලෙස අධිෂ්ඨානයෙන් එකතු වී තිබෙනවා. මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා එක්ක සිටින හොරු ටිකි හැර අලුත් සියලුම බලවේග ජාතික ජන බලවේගය වටා එකතු වී අවසන්. මේ වන විට ජනමත සමීක්ෂණ අනුව 50%ක් ඉක්මවූ ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙන බව සනාථ වී තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රසාදය 9% දක්වා පහත වැටිලා තිබෙනවා. මේ වන විට කප්පාදු කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඇතුලේ ජයග්‍රහණ ලබන්න අපිට පුළුවන්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ නිසා තමන්ට කැමති පාලනයක් පත්කර ගන්න ජනතාවට තිබෙන අයිතියට අත තබන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි රනිල්ට කියනවා. අත තිබ්බොත් එහෙම ගෝඨාභය ගිය පාරේම රනිල් වික්‍රමසිංහවත් යවන්න ජනතාව ක්‍රියා කරන බවට කිසිම සැකයක් නැහැ.

අපි කවුරුත් දැන් වගකීම් සහගතව දේශපාලනය කරන්න ඕනෑ. ගම්බිම්වලට නව නායකත්වයන් හඳුන්වා දෙමින් ජාතික ජන බලවේගය ශක්තිමත් කරන්න ඕනෑ. බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු සියලු ආගම්වල ජනතාවන් ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු කරන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම අපේ දෑතින් ශ්‍රී ලාංකීය ජාතික ගොඩනඟනවාය කියන අධිෂ්ඨානයෙන් අපි හැමෝම එක්වෙමු. කිසිවෙකුටත් පරාජය කළ නොහැකි රට හදන දැවැන්තම ජනතා බලය අපි ගොඩනඟමු. ඒ වෙනුවෙන් සාමූහිකත්වය, සහෝදරත්වය, පරාර්ථකාමිත්වය, වගේ හොඳම ගුණයන් එකට එකතු කරමු. ලැබෙන පළමු මොහොතේම රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා පළවා හැර වට්ටපු රට ගොඩනැගීම වෙනුවෙන් බලය ගන්න අපි ලැහැස්තියි. රටේ සියලු ජනයා සතුටින් ජීවත් වන හෙටක් හදන්න අපට පුළුවන්. ඒ වෙනුවෙන් සටන් කරන්න, කැපකිරීම් කරන්න, මහන්සි වෙන්න අපි ලැහැස්තියි. අපේ දෑතින් අපේ රට ගොඩනඟනවා. අපේ පරම්පරාව අපේ රටේ ඉතිහාසය අලුතින් ලියනවා. මේ දුෂ්ට පාලනය තුළ ජීවත් වෙන අවසන් පරම්පරාව අපයි. රට හදමු. ජනතාවට ජයග්‍රහණ ගෙන එමු. සියලු දෙනාටම ජයවේවා!