Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කාල් මාක්ස්ගේ අර්ථ නිරූපණයට හරියටම ගැලපෙනවා

නීතිය පාලකයාගේ අවියක් බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ කාල් මාක්ස් කළ ප්‍රකාශය වර්තමානයේ ආණ්ඩුවේ අවශ්‍යතා අනුව පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරයෙන් මනාව තහවුරු වෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙන්වා දෙති.

එම නීතිඥ සංවිධානය ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ සුනිල් වටගල මේ බව අවධාරණය කළේය. එම මාධය හමුවට නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි සහ නීතිඥ අකලංක උක්වත්ත යන අය ද සහභාගී වූහ. මෙම අවස්ථාවේදී වැඩි දුරටත් නීතිඥ සුනිල් වටගල දැක්වූ අදහස් පහත පළවේ.

අවසානයේ බෝලය පාස්කර තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාටයි. මේ වැඩේ පටන් ගත්තේ දේශපාලන වුවමනාවකින්. ඒ දේශපාලන වුවමනාව කරපින්නාගෙන යන්න වෙලා තිබෙන්නේ මේ ආයතන දෙකටයි. නීති විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලයේ නීති විද්‍යාව සම්බන්ධයෙන් කාල් මාක්ස් කියන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයාගේ මතයක් ගෙනහැර දැක්වූවා. “නීතිය වනාහි පාලකයාගේ අවියයි.” කියලා. නීතිය කියන්නේ ගලේ කෙටූ අකුරක්වත් මඩේ හිටවූ ඉන්නක්වත් නොවෙයි කියලා අර්ථ නිරූපණයක් තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කාල්මාක්ස් කියන දාර්ශනිකයාගේ අර්ථ නිරූපණයට වැටෙන පනතක්. පාලකයන්ට වුවමනා මිනිසුන්ව දඩයම් කරන්න හැදූ පනතක්. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මේ පනත වහා අහෝසි කළ යුතු බව අපි කියන්නේ ඒ නිසයි. ආණ්ඩුවේ පටු දේශපාලන වුවමනාවන් මුදුන් පත්කර ගැනීමට මේ පනත පාවිච්චි කරන බව යළි යළිත් පැහැදිලි වෙනවා. පසුගිය 18වැනිදා වෙනකොට වසන්ත මුදලිගේටත් සිරිධම්ම හිමිටත් විරුද්ධව තිබුණු රැඳවුම් නියෝග අවසන්. දැන් ඒ දෙදෙනාම ඉන්න ඕනෑ අපි අතර. තවදුරටත් රඳවා ගැනීමේ රහස මොකක්ද? ඔවුන් රඳවාගෙන දින 81ක් පිරුණු දවසේ අපි ඔවුන් බලන්න ගියා. ඔවුන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබෙන නඩුව විභාගයට ගෙන වහාම මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් ලෙස නියෝග ලැබුණා. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මා වින්දිතයන් පෙනීසිටියා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් දවස් දෙකකට පසු තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඔවුන් ඉදිරිපත් කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි දින 90 අවසන් වූ පසු අපරාධ නීති සංග්‍රහය යටතට අදාළ වෙනවා. ඒ අනුව ඇප දීමේ අවස්ථාව නීතිපතිවරයාට ලැබෙනවා. නමුත් තංගල්ල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කර සිටි වසන්ත මුදලිගේ කොළඹ අංක 08 උසාවියට වැඩිදුර වාර්තාවක් ගොනු කිරීමේ කරුණු දක්වමින් ඉදිරිපත් කළා. නොවැම්බර් 11දා තංගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය යටතේ යළි එම උසාවියට ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අදාළ සිදුවීම් කොළඹ අධිකරණ කලාපයේ සිදුවී තිබෙන නිසා එයට ඉදිරිපත් කරන බව කීවා. නමුත් වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥතුමා තංගල්ල අධිකරණයට ඉදිරිපත් කළ යුතු ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් අදාළ පොලිස් නිලධාරීන් කිසිදු ප්‍රගති වාර්තාවක් ගෙනවිත් තිබුණේ නැහැ. අදාළ ප්‍රගති වාර්තාව කොළඹ අංක 08 අධිකරණ සේප්පුවේ දමා තිබෙන ජාතික ආරක්ෂාවට අදාළ වාර්තාවක් බව පොලීසියෙන් දන්වා තිබුණා. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කර තිබෙන්නේ 25දා අධිකරණය හමුවේ එම නිලධාරියාම පෙනී සිටිමින් අදාළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවයි. දැන් සිදුවී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවත් නීතිපතිවරයාත් ආණ්ඩුවත් හිරවී සිටීමයි. පොලීසියත් නීතිපතිවරයාත් තවදුරටත් මෙය කරගහගෙන යනවා නම්, මොකද වෙන්නේ?
තවදුරටත් කල්මරනවා නම්, ඉතාම පැහැදිලි වෙන්නේ පොලීසියත් නීතිපතිවරයාත් දේශපාලනය කරන බවයි. තංගල්ල උසාවියේ ගරු මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ “සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන්හි ප්‍රගතිය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ කාර්ය පටිපාටිය හා ප්‍රතිපාදන අනුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කළ යුතු බවට තීරණය කළෙමි.” යනුවෙනි. මේ නියෝගයට වෙට්ටු දාන්න බැහැ. පානදුරේ සිට සාමකාමී පා ගමනට පැමිණි කාන්තාවන්ට බාධා කළ පොලීසිය පොලිස් කාන්තාවන් පවා හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒ ගැන විමර්ශනය කර තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිර්භය නිර්දේශ තුනක් කර තිබෙනවා. එහි අන්තිම නිර්දේශයේ තිබෙන්නේ මේ වැනි සිදුවීම් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සිදු නොවිය යුතු බවයි. දේශීය වත් ජාත්‍යන්තර වත් ලංකා මාතාවගේ කීර්තිය පොලිස් දෙපාර්තමේන්තුවෙන් අහිමිකරමින් සිටින බව එහි දක්වා තිබෙනවා. මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුව වහාම විනයකට යටත් කරන ලෙස පොලිස්පතිට නියෝග කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් රඳවා තබාගෙන මුදා හරින අයගේ ජීවිත සම්බන්ධයෙන් නීතිපතිවරයා වේගයෙන් මැදිහත් වී වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට යුක්තිය ඉටුකරන ලෙසට අපි බලකර සිටිනවා.