(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී වන්නි දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.10 – වව්නියාව නගර සභා පිටිය-)
අපි කවුරුත් දන්නවා නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව සඳහා අලුතින් මන්ත්‍රීවරු පත් කර ගැනිමේ මැතිවරණය පැවැත්වෙනවා. අපි ඔබ හමුවීමට පැමිණියේ එම මැතිවරණයේ දී මෙම වන්නි දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවලා මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුවට එවන්න කියලා ඉල්ලන්නයි.
පසුගිය සැප්තැම්බර් 21 වනදා අපේ රටේ දේශපාලනයේ විශාල තරගයක් ඇති වී තිබුණා. එම ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිතුමා මේ වව්නියාවට ආවා. වන්නියේ ජනතාවත් යම් ප්‍රමාණයකට ඡන්දය දුන්නා. නමුත් මෙවර ඔබ ඡන්දය ලබා දෙනවද? ඒ විතරක් නොවෙයි පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂනායකතුමත් මේ වව්නියාවට ආවා. දැන් මේ ඡන්දයට එනවද? නැහැ. ඇයි ඒ, ඒ අය දිනන්න විතරයි ඡන්ද කරන්නේ. පසුගිය ජනාධිපතිවරණයේදී මේ වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව අපට 21,000ක් ඡන්දය ලබා දුන්නා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට එය විශාල පිටිවහලක් වුණා. හැබැයි අපි එදා වන්නි දිස්ත්‍රික්කයේ පරාජය වුණා.
මේ වන්නි දිස්ත්‍රික්කයේ විවිධ ජන කණ්ඩායම් අනුව දේශපාලනය බෙදී තිබෙනවා. මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් මුස්ලිම් පක්ෂ තිබෙනවා. ඒ අය පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂනායකතුමාට සහාය දුන්නා. දෙමළ ජනතාව ඉලක්ක කරගත් දෙමළ පක්ෂ තිබෙනවා. ඔවුන්ත් විපක්ෂනායතුමාගේ වේදිකාවට නැග්ගා. ඒ වගේම දෙමළ ජනතාව කේන්ද්‍ර කරගත් තවත් පක්ෂ තිබුණා. ඔවුන් හිටපු ජනාධිපතිතුමාගේ වේදිකාවට නැග්ගා. හැබැයි දෙමළ, මුස්ලිම් කිසිදු භේදයකින් තොරව එක තනි පක්ෂයක් මේ වන්නියට තරග වැදුණා. ඒ තමයි ජාතික ජන බලවේගය. ඔබ ජාතික ජන බලවේගයට ඡන්ද 21,000ක් ලබා දුන්නා. එය ජාතික ජන බලවේගය ලබාගත් විශාල ජයග්‍රහණයක්.
අපේ රට හැම අතින්ම බෙදිලා තිබෙන රටක්. සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් බෙදිලා. හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධ කියලා බෙදිලා ඉන්නවා. විවිධ කුල බේදීම්ද තිබෙනවා. මේ විදියට බෙදලා අපේ රටට ඉදිරියට යන්න බැහැ. ජාතික ජන බලවේගය අපේ ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කිරීමයි. කථා කරන භාෂාව අනුව, අදහන ආගම අනුව තමන්ගේ සංස්කෘතිය අනුව ජනතාව බෙදුණු යුගය අපි අවසන් කළ යුතුයි. එහි ආරම්භක පියවර තමයි දේශපාලන මතවාදයක් ලෙස, දේශපාලන ව්‍යපාරයක් ලෙස සියලු ජනතාව එක කොඩියක් යටතට එන්න ඕනෑ. ජාතින් හැටියට බෙදිලා දේශපාලනය කරලා එකතු වෙන්න බැහැ.
එකතු කරන්න නම් සියලු ජාතින් සිටින සහ ඔවුන්ගේ නායකයින් සිටින එක ව්‍යාපාරයක් හදන්න ඕනෑ. එම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. ඔබ මේ වන්නි දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපට එවනවා නම් සහතික වශයෙන් එම තුන්දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් නියෝජනයන කරන බව අපට විශ්වාසයි. අප ජයග්‍රහණය කළ යුත්තේ එලෙසයි. සිංහල අය සිංහල පක්ෂ තෝරන, මුස්ලිම් අය මුස්ලිම් පක්ෂ තෝරන යුගය අපි අවසන් කළ යුතුයි. අපි සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව එක කොඩියක් යටතේ සමගි කරවිය යුතුයි. එය කළ හැකි බවට විශාල විශ්වාසයක් අපට තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දී මේ වන්නි දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට අපි ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. අපේ කැමැත්ත නොවුණට අපේ ව්‍යාපාරය විශාල වශයෙන් දකුණේ සිංහල ජනතාව කේන්ද්‍ර කරගෙන පැවතියා. දෙමළ භාෂාව කථා කරන ජනතාව වෙත අපේ පණිවිඩය ලැබුණේ නැහැ. දෙමළ, මුස්ලිම් ජනතාව ජීවත්වන ගම්වල අපේ දේශපාලන ක්‍රියාකාරිත්වය ප්‍රබලව තිබුණේ නැහැ. දෙමළ භාෂාව කතා කරන ජනතාව බලන රූපවාහිනි නාලිකා, පුවත්පත් තුළ අපි ඒ තරම් හිටියේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණදී අපි ජයග්‍රහණය කරන ව්‍යාපාරය බවට එම ජනතාවට හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා එම ජනතාව තුළ අලුත් අපේක්ෂාවක්, අලුත් බලාපොරොත්තු සහිත ව්‍යාපාරයක් බවට අප පත්ව තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් පැරණි ඒවා තෝරා ගත්තා.
නමුත් සැප්තැම්බර් 21 වනදා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර දිනන පක්ෂය, ආණ්ඩු හදන පක්ෂය ජාතික ජන බලවේගය කියලා ජනතාව තුළ විශ්වාසයක් ඇති කළා . මා හිතනවා එම ජයග්‍රහණයෙන් වැඩිම උද්දාමයට පත් වුණේ, වැඩිම අවධානයක් යොමු වුණේ උතුරේ ජනතාවගේයි. ඔවුන් අවදිවීමට පටන් ගත්තා. මේ රට ගොඩනැගීම සඳහා සමත්වන ව්‍යාපාරයක් තිබෙන බවට විශ්වාසය දැන් ඔවුන් තුළ ගොඩනැගී තිබෙනවා. ඒක කොච්චරද කියනවා නම් දැන් අනිත් පක්ෂවලටත් කියන්න වෙලා තිබෙනවා දිනුවට පස්සේ මාලිමාවේ ආණ්ඩුවට යනවා කියලා. අද ජාතික ජන බලවේගය ජනතාවගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරය බවට පත්වෙලා තිබෙනවා. වෙනම ආණ්ඩු හදනවා, වෙනම අමාත්‍ය ධුර ගන්නවා, හිටපු ජනාධිපතිතුමාට සහාය දෙනවා, විපක්ෂ නායකතුමාට සහාය දෙනවා කියලා දැන් ඔවුන්ට කියන්න බැහැ.
අපිට එක දෙයයි කියන්න තියෙන්නේ. දැන් බස් එක මිස් වුණා පරක්කුයි. ඒ නිසා දැන් අපට තිබෙන්නේ උතුර, දකුණ, නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාව සියලුදෙනා සමගි කරන සියලුදෙනා එක තැනකට ගේන දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරවීමයි. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය. මාලිමාවේ ජයග්‍රහණය යනු පෞද්ගලිකව මගේ ජයග්‍රහණයක් නොවෙයි. මේ වේදිකාවේ සිටින අපේ ජයග්‍රහණයක් නොවෙයි. මේ රටේ සියලු ජනතාවගේ ජයග්‍රහණයක්. මේ රටේ ජයග්‍රහණයක්. ඒ නිසා රටේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරේ ජනතාව, මේ වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව ගත යුතු තීන්දුව වන්නේ ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවීමයි.
අපට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. අපි දන්නවා අපේ රට ගොඩනගන්න නම් ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. මම හිතනවා උතුරේ ජනතාවගේද, දකුණේ ජනතාවගේද, නැගෙනහිර ජනතාවගේද විශ්වාසය දිනාගත් පක්ෂයක් ජයග්‍රහණය කරනවා කියන්නේ ජාතික ප්‍රශ්නයෙන් භාගයක් විසඳීමයි. වෙනදා වුණේ දෙමළ ජනතාව දෙමළ පක්ෂයක් තෝරා ගන්නවා, මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්ෂයක් හා සිංහල ජනතාව සිංහල පක්ෂයක් තෝර ගන්නවා. මේ විදිහට බෙදිලා දේශපාලන කළා. බෙදිලා දේශපාලනය කරලා එකතුවෙලා රටක් හදන්න බැහැ. ජාතික ජන බලවේගය සිංහල, මුස්ලිම්, දෙමළ සියලුදෙනාගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට සියලු ජනතාව එක කොඩියක් යටතට ඇවිත් තිබෙනවා. සමගියේ මාවත එයයි. එවන් ආණ්ඩුවක් ගොඩනගාගත් විට අනෙක් ප්‍රශ්න විසඳීමට පහසුයි.
එහෙම නැත්නම් උතුරේ ජනතාවට ඉඩම් දෙන විට දකුණේ ජනතාව කෑ ගහනවා. දකුණේ ජනතාවට ඉඩම් දෙන විට උතුරේ ජනතාව කෑ ගහනවා. මේ සියලුදෙනාගේ නායකත්වය ගත හැකි ව්‍යාපාරයක් තිබෙනවා නම් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. විවිධ ආරක්ෂක හේතුන් මත පවරාගෙන තිබෙන උතුරේ ජනතාවට හිමි ඉඩම් අපි යළි එම ජනතාවට ලබා දෙනවා. දකුණේ ජනතාවගේ විරෝධයක් එයිද? නැහැ. ඔවුන් අපිව විශ්වාස කරනවා. මේ රට ගොඩනැගෙන්නේ එවිටයි.
ඒ විතරක් නෙවෙයි අපි දන්නවා. උතුරේ යුද්ධයක් තිබුණා. විශාල විනාශයක් සිදු වුණා. හැබැයි දේශපාලන සිරකරුවන් ඉන්නවා. නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්. දකුණ විරුද්ධ වෙයිද? නැහැ. සමඟි සම්පන්න දකුණක්. එදා එහෙම නෙවෙයි. උතුරේ එහෙම එකක් වෙනකොට දකුණ විරුද්ධ වෙනවා. ඇයි බෙදිලා තියෙන්නේ. බෙදිලා දේශපාලනය කරලා තියෙන්නේ. වෙන් වෙලා දේශපාලනය කරලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න දිහා බලන්නේ වෙන වෙනම.
දැන් අපි එකතුවෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මන්නාරමේ එහා කෙළවරේ පේසාලේ පැත්තේ විශාලම රැකියාව තමයි ධීවර රැකියාව. හැබැයි මොකක්ද සිදු වී තිබෙන්නේ? විශාල ප්‍රමාණයකින් ඒ මත්ස්‍ය සම්පත ඩැහැ ගන්නවා. විනාශකාරී ආම්පන්න ක්‍රම භාවිත කරනවා. අපේ මත්ස්‍ය සම්පත බිහි වීමේ පරිසරය මුළුමණින්ම විනාශ කරනවා. අපි ආණ්ඩුවක් ලෙස පෙනී සිටින්නේ අපේ ධීවර ජනතාවගේ අයිතිය වෙනුවෙන්. උතුරේ ධීවර ජනතාවගේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. එය ඉටු කිරීමට අප සමත් වෙන්නේ නැත්නම් ඔවුන් හිතනවා දකුණේ ආණ්ඩු ඔවුන් ගැන හිතන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ආරක්ෂාව අපි තහවුරු කළ යුතුයි.
ඒ වගේම අපි දන්නවා විවිධ සමාගම් සමඟ ඉතා අහිතකර ගිවිසුම් අත්සන් කර තිබෙනවා. සූර්යාලෝකය ඉස්සර වාණිජ සම්පතක් නොවුණත් මේ වන විට වාණිජ සම්පතක් බවට පත් වෙමින් තිබෙනවා. සූර්යාලෝකය යනු සියලු නිමැවුම්වල ආරම්භකයායි. අද ප්‍රධාන දේ පුනර්ජනනීය බලශක්තිය. සෝලා පවර්. මේ ඉර පායන්නේ අපේ භූමිය උඩින්. මේ සූර්යාලෝකය අපේ බලය. එය තුට්ටු දෙකට විකිණීමට අපි ඉඩ දෙන්නේ නැහැ ඒ ගිවිසුම් යළි සමාලෝචනය කරනවා. මේ සම්පත් මේ රටේ සංවර්ධනයට, අපේ රටේ ජනතාවගේ අභිවෘද්ධියට අපි උපයෝගී කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි සූදානම්.
ඒ වගේම අපි දන්නවා මේ වන්නි දිස්ත්‍රික්කය විශාල කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. නමුත් වතුර ප්‍රශ්නයක් තිබෙනවා. යම් දේශපාලන ප්‍රශ්නත් තිබෙනවා. ආරම්භයක් ලෙස උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය අපි නැවත ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය උතුරටත් වතුර දිය හැකි ව්‍යාපෘතියක්. ඉරණමඩු ජලාශයත් වතුරෙන් පුරවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා. ඉරණමඩුවට වතුර එපා කියලා එහේ දේශපාලකයෝ කියනවා. ඉරණමඩුවට වතුර දෙන්න එපා කියලා දකුණෙනුත් කියනවා. සාධාරණ නැහැ. මේ බිම් අපේ බිම්. මේ අපේ ගොවි ජනතාව. ඒ නිසා ඔවුන්ගේ වතුර ප්‍රශ්නය විසඳීමට අපි කටයුතු කරනවා.
මේ වන විටත් අපි ගොවි ජනතාවට පොහොර සහනාධාරය රුපියල් පහළොස් දහසේ සිට විසිපන්දහස දක්වා වැඩි කළා. විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් තුන් දහසකින් වැඩි කළා. අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා. මුහුදු යන ධීවර ජනතාවට අපි ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි. අසාධාරණයට ලක් වෙලා අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. නැවත සමාලෝචනයට ලක් කර ඔවුන්ට ඒ ආධාර ලබා දෙනවා. අපි දන්නවා ආදායම් මාර්ග නැති , දරුවන්ට උගන්වන්න තරම් වත්කමක් නැති ජනතාව දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල වේදනාවකින් ඉන්නවා. ඊළඟ වසරේ පළමු වාරය පටන් ගන්නේ ජනවාරි 27 වැනිදායි. එදිනට පෙර ඒ පාසල් දරුවන්ට පාසල් පොත්, උපකරණ මිල දී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා.
හැබැයි මේ සහනාධාරවලින් හැමදාම ජනතාව ජීවත් විය යුතු නැහැ. ඔවුන්ට ආර්ථික හැකියාවක් හදන්න ඕනෑ. ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතිය ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගැනීමයි. ඒ සඳහා විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා.පෞද්ගලිකව මම ගත්තත් දුප්පත්භාවයේ වේදනාව දන්නවා. හරිහමන් ආහාර වේලක් නැත්නම් , බෙහෙත් හේත් ගන්න විදියක් නැත්නම්, දරුවන්ට උගන්වන්න විදියක් නැත්නම්, මානසික නිදහසක් නැත්නම්, මූණේ හිනාවක් නැත්නම් ඒ ජීවිතවලින් ඇති ඵලය මොකක්ද? ඒ නිසා මේ දුප්පත්භාවය අපේ රටෙන් තුරන් කළ යුතුයි.
හැබැයි ඔවුන්ට කවදාවත් ඒ ඕනෑකම තිබුණේ නැහැ. ඒ පාලකයාගේ පැවැත්ම වුණේ දුප්පත්භාවයයි. ජනතාව දුප්පත්. ඡන්දයකදී හාල් කිලෝ දෙකක්, වැසිකිළි පෝච්චියක්, තහඩු දෙන්නම් ඡන්දය දෙන්න කියා කියනවා. ඔවුන්ගේ බලයේ රහස දුප්පත්භාවයයි. ජනතාව දුප්පත් නම් ඔවුන්ට ඡන්ද ගන්න ලේසියි. ඒ නිසා අපේ රටේ දුප්පත්භාවය කවදාවත් ඔවුන් තුරන් කළේ නැහැ. ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව දුප්පත්භාවය තුරන් කරනවා. ඒක අපි කරන්නේ නැත්නම් කවුද කරන්නේ? අපි දුප්පත්භාවය දන්න, එහි වේදනාව දැකපු මිනිස්සු. මේක වෙනස් කළ යුතුයි. ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවයෙන් ජනතාව මුදා ගැනීමයි.
ග්‍රාමීය දුප්පත්භාවයත්, අධ්‍යාපන පසුගාමීත්වයත් නිසා අපේ ජනතාව විවිධ අපචාරයන්ට ගොදුරු වෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්පැන් ගම් විනාශ කරමින් පැතිරෙනවා. එවැනි දේට ඇබ්බැහි වූ දරුවෙක් ගෙදරක හිටියොත් ඒ පවුලම ඉවරයි. ඒ ගමම ඉවරයි. ඒ නිසා අපි ඔවුන් මෙයින් මුදා ගත යුතුයි. අපි සහතික වශයෙන් මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. අපේ දරුවන්ගේ අනාගතය අපි බලා ගන්නවා. අපේ රටේ මත්ද්‍රව්‍ය හදන්නේ නැහැ. මේ එන්නේ පිටින්. මේ සියල්ල වළක්වනවා. දරුවන්ගේ අනාගතය පිළිබඳ වගකීමක් සහිත රටක් හදන්න ඕනෑ. දෙමාපියන්ට දරුවන් පිළිබඳ සැකයක් නැති රටක් අපි හදන්න ඕනෑ. ඒ රට අපි හදනවා.
ඒ වගේම දුප්පත්භාවයත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය ගැට ගැසී තිබෙනවා. දෙමව්පියෝ දුප්පත් නම් දරුවන්ට අධ්‍යාපනයක් නෑ. ඒ අනුව ගම්වල දුප්පත්භාවයෙන් මුදවා ගන්න නම් හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අධ්‍යාපනය තිබුණොත් ගමේ දුප්පත්භාවයෙන් ඒ දරුවාගේ පවුලට උඩට එන්න පුළුවන්. දුප්පත්භාවය තුරන් කිරීමට අධ්‍යාපනය ප්‍රධානම මෙවලමක්. අපි අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය දෙමව්පියන්ගේ බරෙන් අපි නිදහස් කර ගන්නවා. දුප්පත්භාවය තුරන් කිරීමේ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා.
අපි එකක් දන්නවා. පැරදුන අය කවදාවත් හිතුවේ නැහැ පරදියි කියලා. අපේ රටේ පාලන බලය සීමිත පවුල් කිහිපයක් අතරයි තිබුණේ. හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඒ දූෂිත , විනාශකාරී පවුල් සංස්ථාවෙන් පොදු ජනතාව අතට බලය මාරු වුණා. ඔවුන් එය කවදාවත් සිතුවේ නැහැ. ඒ නිසා ඔවුන්ට එය දරා ගන්න බැහැ. වේදනාවෙන් කෑ මොර දෙනවා. සති තුනෙන්, මාස තුනෙන්, අවුරුද්දකින් වට්ටනවලු. නමුත් මේ ආණ්ඩුව මේ රට හදලා මිස ආපසු හැරෙන්නේ නැති බව මතක තියා ගන්න. මේ දේශපාලන ව්‍යාපාර සියල්ල දිය වෙන්න පටන් ගන්නවා. ජනාධිපතිවරණයේදී ගත්තාට වඩා එක ඡන්දයක් වැඩියෙන් අරන් පෙන්නන්න කියලා මම ඔය වට්ටනවා කියන අයට කියනවා. මොන වැට්ටිලිද? ජනාධිපතිවරණයටත් වඩා බිමට එයාලා වැටෙනවා.
හැබැයි ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේ දී ගත්තාට වඩා වැඩියෙන් ඡන්දය ගන්නවා. වන්නි දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේදී තිබුණේ ඡන්ද 21,000යි. මහ ඡන්දේ කොහොමද? ඉතිං වට්ටන්න පුළුවන්ද? ජනතාවගේ විශ්වාසය වැඩියෙන් දිනා ගන්නා පක්ෂය. ඡන්දය නොදුන් ජනතාවත් විශ්වාස කරන පක්ෂය. ඒ නිසා වට්ටන කතා ඔවුන් හිත හදා ගන්න කියන කතා. ජනතාවගේ ගැටලු විසඳමින්, දේශපාලනය පිරිසිදු කරමින්, ජාතික ජනබලවේගය මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් මේ කටයුත්ත කරනවා.
නොවැම්බර් මාසයේ 14 වෙනිදා තිබෙන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයයි. අවංක, අදූෂිත, ජනතාවගේ දුෂ්කරතා අසළ සිටි මිනිස්සු නොවැම්බර් මාසේ 14වැනිදාට පාර්ලිමේන්තුවට යවන්න. අපි අලුත් රටක් හදමු. අපි අලුත් දිශාවකට මේ රට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්ව පොර බදමු. මේ සැරේ දිනන්න ඕන දිනිල්ලක් අනිත් අයගේ ඇහැට කඳුළු එන්න. ඇඬෙන්න දිනන්න ඕනෑ.