Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අපිට අවශ්‍ය ජාතික සමගිය තිබෙන සියලු දෙනා සහෝදරත්වයෙන් ජීවත්වන රටක්” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – සයින්දමරුදු – 2024.09.13-)

Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Saindamarudu

දීර්ඝ කාලයක් මේ අපේ රට මේ පාලකයෝ පාලනය කළා. රටත් ජනතාවත් දුප්පත්කමේ පතුළටම වැටුණා. පාලකයෝ ගොඩනැගුණා, රට වැටුණා. අපි සැප්තැම්බර් 21ක ජනාධිපතිවරණය දිනා ආණ්ඩුවක් හදාගමු. මේ රට ගොඩනගන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි හදාගනිමු. මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියතයි. දකුණේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ජාතික ජන බලවේගයත් සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. මේ සයින්දමරදුවල ජීවත්වන මුස්ලිම් ජනතාවගේ තීන්දුව මොකක්ද? ඔබලා හඬගා කියන පරිදි ජාතික ජන බලවේගය දිනවීම ස්ථිරයි.

අපේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා අද අපිට විරුද්ධ පාර්ශ්වයන් අපට එරෙහිව අවලාද මඩ සහ අසත්‍ය තොරතුරු පතුරුවමින් ඉන්නවා. ළඟදී මෙහෙට ආවාද හිස්බුල්ලා. එතුමා ඇවිත් අපි ගැන අවලාද බොරු ගොඩක් ප්‍රකාශ කරළා තිබෙනවා. මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් සමරන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් රාමසන් උත්සවය. අනික හජ්ජි උත්සවය. හිස්බුල්ලා කියල තියෙනව අපි ආවහම එකක් නතර කරනවා කියල. හිස්බුල්ලාගෙ ඔළුව පරීක්ෂා කරලා බලන්න ඕනෑ. එයා තව කියල තියෙනවා ජනතාවට පල්ලි යන්න දෙන්නෙ නෑලු. මේ ගොල්ලො මුස්ලිම් ජනතාව ළඟට ඇවිල්ල එහෙම කථාවක් කියනවා. ඒ ස.ජ.බ. තිස්ස අත්තනායක මහනුවරදි කියනවා අපි බලයට ආපුවහම පෙරහර කරන්න දෙන්නෙ නෑලු. ඒ ගොල්ලන්ගේ වේදිකාවට ගොඩවෙන සමහර හාමුදුරුවරු කියනවා අපි ආපුවහම දානවේල හම්බවෙන්නෙ නැතිලු. ඒව දේශපාලන කථාද? ඒව දේශපාලන විවේචනද? ඒවාට කියන්නෙ අවලාද. ඒවට කියන්නෙ අසත්‍යය. ඇත්තටම ආගම් පිළිබඳ ගෞරවයක් තිබෙනවා නම් ආගම් පිළිබඳ නිදහස ඇත්තටම අපේක්ෂා කරනවා නම් දේශපාලන වේදිකාවෙ කියන්න ඕන නැති කරුණු ඒවා. ඒවා ආගම්වාදය අවුස්සන කථා. අපි සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාව ජීවත්වන රටක් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි කියල ආගම් ගණනාවක් අදහන රටක්. දෙමළ, සිංහල ප්‍රධාන භාෂා දෙකක් කථාකරන ජනතාවක් ඉන්න රටක්. සිංහල අයට තමන්ගේම වූ අනන්‍යවූ සංස්කෘතියක්. දෙමළ අයට අනන්‍යවූ සංස්කෘතියක්, මුස්ලිම් අයට අනන්‍ය වූ සංස්කෘතියක් සහිත සංස්කෘතීන් ගණනාවක් එක්ක ජීවත්වන රටක්, අපේ රට. ඒ නිසා මේ රටේ අනාගතය පවතින්නෙ මෙම විවිධත්වයන් සහිත ජනකණ්ඩායම් අතර සමගිය හැදුණොත් විතරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ පාලනයක් එන්නේ ඔබේ ආගම ඇදහීමේ අයිතිය, භාෂාව කථා කිරීමේ අයිතිය ලබාදෙන පාලනයක්. ඔබේ සංස්කෘතික අනන්‍යතාවය පිළිගන්න නිදහස් රටක් හදන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව.

Crowd At The Victory Rally Of Saindamarudu

දැන් හිස්බුල්ලා බොරු අසත්‍ය පතුරුවන්නට පටන් අරගෙන තිබෙනවා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. කවර හෝ ආගමක් පිළිබඳව, සංස්කෘතියක් පිළිබඳව, භාෂාවක් පිළිබඳ කවුරුහරි අන්තගාමී අදහසක් ඉදිරිපත් කරනවා නම්, එයාට විරුද්ධව පැමිණිලි කරල නීත්‍යානුකූල දඬුවම් ලබාදීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් දේශපාලනයට ආගම්වාදී ප්‍රකාශ ජාතිවාදී ප්‍රකාශ කියන, කරන එක නතර කරන එක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වගකීම.

අපිට ඕන ජාතික සමගිය තිබෙන රටක්. ඔක්කොම සහෝදරත්වයෙන් ජීවත්වන රටක්. ඒ නිසාම තමයි අපි ඔබව හමුවෙන්න ආවේ. සැප්. 21 අපි දිනන්න ඕනෑ. දකුණේ ඉන්න ජනතාවගේ විශ්වාසයෙන් විතරක් නොවෙයි නැගෙනහිර තමුන්නාන්සේලාගේ විශ්වාසයත් අපිට ඕනෑ. උතුරෙ ජනතාවගේ විශ්වාසයත් අපිට ඕනෑ. ලංකාවේ පළමු වතාවට දකුණේ ජනතාවද නැගෙනහිර ජනතාවද උතුරේ ජනතාවද කඳුකරයේ ජනතාවද පිළිගන්න ආණ්ඩුවක් හදමු. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත්තු ආණ්ඩුවක් අපි හදනවා.

The Victory Rally Of Saindamarudu Crowd

ඔයගොල්ලො දන්නවා මීට කලින් දේශපාලන පක්ෂ තරගෙට එන්නෙ කොහොමද, සජිත් එන්නෙ හකීම් කරේ තියාගෙන. රනිල් එන්නෙ අතාවුල්ලා කරේ තියාගෙන. අපි එන්නෙ ජනතාව කරේ තියාගෙන, ඔබගේ විශ්වාසයෙන්. අන්න එහෙම එකමුතුවේ ව්‍යාපාරයක් අද හදා තියෙනවා. ඒක දෙමළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂයක් නායකයෝ නියෝජනය කරන එකක් නොවෙයි. ඒක තමයි ජාතික ජන බලවේගය. අද මෙතන දහස් සංඛ්‍යාත මුස්ලිම් ජනතාව අපේ සහෝදරියන් සහෝදරවරු එකතුවෙලා අපිට කියන්නෙ මොකක්ද? ඔබලාට ස්තුතියි අපිව විශ්වාස කිරීම ගැන. මම ඔබට එක සහතිකයක් දෙනවා, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින්වත් හානි නොකොට එය ආරක්ෂා කරන බවට.

ඔබ දන්නවා 2015 මහින්ද රාජපක්ෂලා පැරදුණා. ඔවුන්ට නැවත දේශපාලනයෙන් ගොඩ එන්න පාරක් හොයමින් හිටියා. ඔවුන්ට හොරකම නතරකරනවා, කියල නැවත බලය ගන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය හදනවා කියල බලය ගන්න බැහැ. 2015න් පස්සෙ රාජපක්ෂලට. ඉන් පස්සෙ රටේ ජනතාවගෙ ප්‍රශ්නය විසඳනව කියල ඔවුන්ට බලය ගන්න බැහැ. ඒ නිසා රාජපක්ෂලා මාර්ග සිතියමක් එළුවා බලය ගැනීම සඳහා. ඒ සඳහා මුස්ලිම් ජනයට එරෙහිව ජාතිවාදී ව්‍යාපාරයක් පටන් ගත්තා. කාපුවහම වඳවෙන කොත්තු හදනවා කිවුවා. නැවත බලයට එන්න ජාතිවාදය වපුරන්නට පටන් ගත්ත. මුස්ලිම් කඩවල වඳ ඇඳුම් විකුණනවා කිවුවා. ඒව ඇන්දහම වඳවෙනවා කියලා, ජාතිවාදය ඇවිස්සුවා. සිංහල කාන්තාවො වඳ කරවන වඳ දොස්තර ඉන්නව කිවුවා. 2019දී ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ කිවුව ජාතිය බේරගන්න ආගම බේරගන්න ඔහුව දිනවන්න කිවුවා. සිංහල ජනතාව පොදි බැඳගෙන ඡන්දෙ දීල දිනෙව්වා. දැන් ඒ පොහොට්ටුව කෝ ඒ පොහොට්ටුවේ ආණ්ඩුව තමයි කෝවිඩ් වසංගතය වෙලාවේදී මුස්ලිම් අය මියයන විට, භූමදානය කරන්න නොදී ආදාහනය කරන්න කිවුවේ. දැන් ඒ පොහොට්ටුවේ බහුතරයක් ඉන්නෙ රනිල් වික්‍රමසිංහ ගාව. අද පොහොට්ටුවේ නායකයා රනිල්. අනෙක් කට්ටිය ඉන්නෙ කාගාවද? පොහොට්ටුවේ සභාපති ජී. එල්. පීරිස් ඇතුළු ජාතිවාදය වපුරමින් හිටපු කට්ටිය මුස්ලිම් ජනතාව ආදාහනය කරන්න කියල තීන්දුව ගන්න කොට, කැබිනට් එකේ හිටපු ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා අද කොහෙද ඉන්නෙ. සජිත් ප්‍රේමදාස ළඟ. ජාතිවාදී නඩ ඔක්කොම අද ඉන්නෙ ඒ ගොල්ලො ගාව. ඒ නිසා ඔබ රනිල් දිහා බැලුවත් පොහොට්ටුවේ පලුවක් එතන. සජිත් දිහා බැලුවත් පොහොට්ටුවේ පලුවක් එතන. ඒ ඔක්කොම ජාතිවාදය වපුරපු අය. අන්න ඒ ජාතිවාදයට නොවැටුනු ඒ මඩ ගොහොරුවේ නොගිලිණු එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. මම ඔබගෙන් අහන්නෙ කාවද තෝර ගන්නෙ. තෝරගන්න තියෙන්නෙ ජාතික ජන බලවේගය විතරයි.

People At The Victory Rally Of Saindamarudu

මේ දේශපාලනයේ කැත සූදුවක් තිබෙනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙන් කුට්ටිය ගන්නවා මෙහෙන් කුට්ටිය ගන්නවා. දැන් අතාවුල්ල කොයි පැත්තෙද? මේ එහෙට මෙහෙට පනින දේශපාලනය නතර කරන්න ඕන නැද්ද? අපේ රට විනාශයට පත්වුණේ මේ කැත මජර දේශපාලනය නිසා. ගිය මාසේ බනිනවා මෙ මාසේ ගිහින් බදාගන්නවා. මේක වෙනස් කළ යුතු නැද්ද? ඕන. දැන් අර ගීත නෝන බලන්නකො. ගිය සතියෙ කියනව රනිල් තමයි ටොප් කියල. මේ සතියෙ කියනව සජිත් තමයි ටොප් කියල. එන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ.

මහරගම බොදු බලසේනාවෙ වේදිකාවෙ නැග්ග චම්පික රණවක, දැන් සජිත් ප්‍රේමදාස එක්ක. රිසාද් බදියුද්දීන් එයත් සජිත් ප්‍රේමදාස එක්ක. සජිත් ප්‍රේමදාස නැගෙනහිරට එනකොට හකීම්ව අරගෙන එනවා, චම්පික හංගල එන්නෙ. මාතරට යනකොට හකීම්ව හංගල චම්පිකව අරගෙන යනවා. මන්නාරමට යනකොට රිසාද් බදුද්දීන්ව අරගෙන යනව චම්පිකව හංගල යනවා. ගාල්ලට යනකොට රිසාද්ව හංඟලා චම්පිකව අරන් යනවා. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක්. අද උතුරට ගිහිල්ලත්, දකුණට ගිහිල්ලත් නැගෙනහිරට ගිහිල්ලත් එකම කථාවක් කියන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. අපි මේ සෙල්ලම කොලේ හංගල ‘ප්ලේ’ කරන්නේ නැහැ. ඒ ගොල්ලො කොල හංගල ගහන්නෙ. මේ ජරා දේශපාලනයම ඇති මේ ගොල්ලන්ව පරාජය කරන්න. මේ ඔක්කොම සලකා බලල අපි සැප්තැම්බර් 21 වෙනිදාට හොඳ තීන්දුවක් ගන්න ඕනෑ. ඉතිං ඒ ගොල්ලෝ බෙදා ගන්නනේ එන්නේ. අපි ආණ්ඩුවක් හදනවා, වරප්‍රසාද අත් හරින දේශපාලකයෝ ඉන්න.

Anura Kumara Dissanayake On Stage At The Victory Rally Of Saindamarudu

ඔබ දන්නවා මේ රටේ කුඩු ජාවාරම, පාතාලය පිටුපස ඉන්නේ දේශපාලකයන්. මේ මැතිවරණයට ඒ ගොල්ලෝ වියදම් කරන්නේ කුඩු ව්‍යාපාරිකයන්ගේ සල්ලි. අපේ රටේ නීතිය හා සාමය රකින්න ඕනැ. කුඩු ව්‍යාපාරය තුරන්කරන්න ඕනෑ. අන්න ඒ වැඩකරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි මේ රටේ ආර්ථිකය හදනවා. නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. මේ පාලකයෝ කිසිදාක ඒවා කරන්නේ නැහැ. මේ ගොල්ලෝ කැමති හැම දෙයක්ම රටන් ගෙන්වලා මෙහෙ විකුණන්න ක්‍රමයට. එතකොට තමයි පාලකයන්ට කොමිස් කුට්ටිය එන්නේ. රනිල්ලගෙ ආණ්ඩුවෙදි බෝට්ටු වැල්ලෙ ගොඩගහලා, කරවල මේ මාලදිවයිනෙන් ගේනවා. මාලුන්ට ඡන්දෙ තිබ්බා නම් දෙන්නෙ රනිල් වික්‍රමසිංහට.

අපි මේ රටේ මුහුදු යන සියලු ධීවරයන්ට අවශ්‍ය සියලු සහන ලබාදෙනවා. මේ පැත්තේ මුහුදු ඛාදනය වැඩිවෙලා කඩාගෙන කඩාගෙන ගොඩබිමට එනවා. සමහර පොල් වතු, බිල්ඩින් මුහුදට යටවෙලා. ඒ නිසා මේ වෙරළ සංරක්ෂණය කරලා මුහුදු ඛාදනය නතර කරන්න අවශ්‍ය පරිසර පරීක්ෂාවක් කළ යුතුයි. එසේ කරලා ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අනිවාර්යයෙන්ම එය කරනවා. මේ රටේ තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගැනීම සිහිනයක් පමණයි. පුළුවන් අය රැකියා සොයාගෙන රට දාලා විදෙස්ගත වෙනවා. අපි මිනිසුන්ට හොඳින් ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් හැදිය යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවමු. රට හදන ආණ්ඩුවක් ගොඩ නගමු. හොරකම් නතර කරන, ජනතාවගේ ධනය හොරාකාපු දේශපාලුවන්ට දඬුවම් දෙන ආණ්ඩුවක්, හොරා කාපු මහජනතාවගේ දේපොළ යළි පවරා ගන්න ආණ්ඩුවක්, සැබෑ ලෙසම ජනතාවාදී ආණ්ඩුවක් අපි මේ රට තුළ ගොනගනවා. සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිරයි. සහතිකයි.