(-මහා මැතිවරණය 2024 – රත්නපුර දිස්ත්‍රික් රැලිය – 2024.10.26-)
ජනාධිපතිවරණයේදී අප ඔබට පොරොන්දු වුනා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් දින කිහිපයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා කියලා. ඒ ආකාරයෙන්ම අපි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රට පාලනය කිරීම සඳහා ජනාධිපති ධුරය වගේම ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් සහ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන්නත්, ඉන් පසු පළාත් පාලන මැතිවරණ පවත්වන්නත් අපි අපේක්‍ෂා කරනවා. අනේකවිධ දුක්ඛ, දෝමනස්සයන්ට ගොදුරු වී සිටින ජනතාවගේ ජීවිත ගොඩනැඟිය හැකි වන්නේ මෙම ආයතනවල ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණයක් තහවුරු කිරීමෙන් අනතුරුවයි. එම දේශපාලන යාන්ත්‍රණයේ ජනාධිපති ධුරය ජාතික ජන බලවේගය වෙත ලබාගෙන තිබෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕනෑ. යහපත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න නම්, පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනෑ. අපේ රටේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් කෙරෙහි පවතින්නේ සුබදායී ආකල්පයක් නොවෙයි. ඇමැතිවරයකු කී සැණින් දූෂිතයකු, චණ්ඩියකු එහෙමත් නැත්නම් අපරාධකාරයකු පිළිබඳ අදහසක් එනවා. රටක් පාලනය කිරීමේ දේශපාලන නායකත්වය දරන්නේ අපරාධකරුවන්, චණ්ඩින්, දූෂිතයන් නම්, එවැනි රටකට විපත් පමණයි සිදු වන්නේ. රට එම තත්වයෙන් මුදාගෙන මුලින්ම දේශපාලනය කෙරෙහිත්, දේශපාලකයන් කෙරෙහිත් මහජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න ඕනෑ. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. ජනතාව ආණ්ඩුව කෙරෙහි තිබෙන බැඳීම සහ විශ්වාසය වැඩිකර ගනිමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ අප වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම ඔබ, අප කෙරෙහි තැබූ විශ්වාසය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමයි. එය මැනැවින් ඉටු කරන බව ඔබ හමුවේ තහවුරු කරනවා.
රට ගොඩනැඟීම සඳහා සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. ඒ වෙනුවෙන් මහා මැතිවරණයේ දී තව පිම්මක් ගැනීම අවශ්‍ය වෙනවා. සියලු පද්ධති කඩාවැටී සමහර සංවර්ධන සැලැසුම් අහිතකර ප්‍රතිවිපාක ගෙනැවිත් දෙන සම්පත් අපතේ යවන තත්වයක් පවතින්නේ. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නම්, එය ගොඩනැඟීමට සමත් සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. වෙනත් දෙපාර්තමේන්තුවක් ගොඩ ගැනීමට නම්, ඒ වෙනුවෙන් හැකියාව තිබෙන සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. ශක්තිමත් මාලිමාවේ ආණ්ඩුවක් ගොඩනඟාගත යුත්තේ ඒ වෙනුවෙන්. රාජ්‍ය යාන්ත්‍රණයෙන් පමණක් රට ඉදිරියට ගෙන යන්න බැහැ. එය මෙහෙය වන්න, සැලැසුම් හදන්න, ඉදිරියට ගෙන යන්න නිවැරැදි දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණය මේ මහා මැතිවරණයෙන් සම්පූර්ණ කර ගන්නවා. ඒ වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය සමඟ සමීප අවබෝධයක් තිබෙන මහජන නියෝජිතයන් දේශපාලන යාන්ත්‍රණයට අවශ්‍ය වෙනවා. ස්වාභාවික විපත්වලට මුහුණ දීම, මැණික් කර්මාන්තය ආදී මෙම දිස්ත්‍රික්කයට ආවේණික ආර්ථික ක්‍රියාමාර්ග නිවැරැදිව සැලැසුම් කරන්න සහ මෙහෙයවන්න ඒ පිළිබඳ සමීප අවබෝධයක් තිබෙන දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි.
හිටපු මුදල් ඇමැතිවරයාට, සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා ගෙනාවා. බහුතර මන්ත්‍රීවරුන් ඒ මුදල් ඇමැති සහ සෞඛ්‍ය ඇමැති සුදනන් බව නම් කරමින්, අත ඉස්සුවා. ජනතාව දන්නවා ඔවුන් දූෂිතයන් බව. නමුත්, මන්ත්‍රීවරුන් ඔවුන් රැක ගැනීම වෙනුවෙන් අත උස්සනවා. මේ නිසා ක්‍රමානුකූලව පියවරෙන් පියවර පාර්ලිමේන්තුව කෙරෙහි තිබුණු ජනතාවගේ විශ්වාසය බිඳවැටුණා. ඒ නිසා ජනතාවට අප්‍රසන්න තැනක් බවට පාර්ලිමේන්තුව පත් වුණා. තව දුරටත් නරක පාර්ලිමේන්තුවක් ඕනෑ නම්, පරණ කට්ටිය ඉන්නවා. නමුත්, ලංකාවේ මෙතෙක් ගොඩනැඟුණු හොඳම පාර්ලිමේන්තුව ඕනෑ නම්, මාලිමාව නියෝජනය කරන සහෝදර, සහෝදරියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඒ සඳහා හොඳම පිරිසක් තෝරාගෙන ඉදිරිපත් කර තිබෙනවා.
මේ රට ගොඩනැඟීම සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කරනවා වාගේම විනයක් සහිත නීතිගරුක පිරිසක් ඕනෑ නම්, ඒ වෙනුවෙන් ඉන්නේ මාලිමාවේ කණ්ඩායම විතරයි. ඒ වාගේම ජනතාව සමඟ සමීපව කටයුතු කරන පිරිසක් ඉන්නෙත් මාලිමාවේ විතරයි. ගම්වල පවත්වන ශ්‍රමදානවලට වඩා ලොකුම ශ්‍රමදානයක් මඟින් පාර්ලිමේන්තුව පිරිසිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙනවා. තව පිරිසක් කියනවා, විපක්‍ෂයක් ඕනෑ කියලා. නමුත්, අප මැදිහත් වෙන්නේ ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවීමටයි. නොවැම්බර් 21වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. ඊට පෙර 25කට අඩු සංඛ්‍යාවකින් යුත් විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය හදනවා. කැබිනට් ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරයෙක් සහිත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙන යාන්ත්‍රණයක් හදනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම රට ගොඩ නැගීම වෙනුවෙන් දායක කර ගන්නවා. පියවරෙන් පියවර නිවැරැදි තීන්දු ක්‍රියාත්මක කරමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරනවා.
ජනාධිපතිවරණයෙන් පසු ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන තෙක් පාලනය බිඳනොවැටී පවත්වාගෙන යාමට තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කළා. ඒක ලංකාවේ වගේම ලෝකයෙත් වාර්තාවක්. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත් වුවහොත්, ඩොලරය රුපියල් හාරසියට යන බව සමහර අය කිව්වා. නමුත්, ඩොලරය රුපියල් තුන්සීයට අඩුවෙන් පවත්වාගෙන යාමට අපට හැකි වී තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛනයක් 2025 වසර සඳහා සකස් කරනවා. මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සාකච්ඡා කරමින් ඉන්නවා. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ප්‍රචාරය කළ ආකාරයේ ව්‍යසනයකට අපේ රටත්, ජනතාවත් ගොදුරු වීමට ඉඩ නොදී සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාමට අප සමත්වී සිටිනවා.
ඊට අමතරව අපේ ඉදිරි ඉලක්ක සැලැසුම් කිරීමට අවශ්‍ය තීන්දු-තීරණත් ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා කැබිනට් මණ්ඩලයකින් අනුමත කරගෙන පොහොර සහනාධාරය දෙන්න හිටියනම් මාස් කන්නය අවසන් වෙනවා. ඒ නිසා තුන්දෙනාගේ කැබිනට් මණ්ඩලයෙන් වී වගාව සඳහා හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩිකළා. ඒ වාගේම ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයත් වැඩි කර දුන්නා. විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක අමතර දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ලබා දෙන්නත් ක්‍රියා කළා. අපේ පළමු අය වැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නත් සැලැසුම් කර තිබෙනවා. පාසල් දුවා දරුවන් සඳහා යම් දීමනාවක් දෙන්නත් අපි කල්පනා කරමින් ඉන්නවා. සාමාන්‍ය ජනතාව බලාගෙන ඉන්න සහනාධාර ලබාදීමටත් සැලැසුම් කර තිබෙනවා. මේ සියල්ල අතරේ රට ගොඩනැඟීම වෙනුවෙන් කෘෂි, ධීවර ක්‍ෂේත්‍ර මෙන්ම සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත් සැලැසුම් සකස් කර තිබෙනවා. රත්නපුරය විශේෂයෙන්ම මැණික් කර්මාන්තය සමඟ ගැටගැසී තිබෙන නිසා එම කර්මාන්තය බිඳවැටීමට ඉඩ නොදී, පාරිසරික බිඳවැටීමකටත් ඉඩනොදී ක්‍රමානුකූලව තිරසර ආකාරයෙන් මැණික් කර්මාන්තය දියුණු කිරීමට සැලැසුම් සකස් කරනවා. ඒ තුළ සාම්ප්‍රදායික මැණික් කර්මාන්තය ආරක්‍ෂා කර ගනිමින්, පරිසරය ආරක්‍ෂා කර ගැනීම මූලිකම ඉලක්කයක්. වර්තමානයේ ජීවත් වන අපි සියල්ල කාබාසිනියා කරමින්, කටයුතු කරනවා වෙනුවට තිරසර සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස මැණික් කර්මාන්තය සංවර්ධනය කරන්න කටයුතු කරනවා. අනාගත පරපුර වෙනුවෙන් සම්පත් ආරක්‍ෂා කර දෙමින්, විධිමත්ව පරිහරණය කරනවා.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින විශාල ඛේදවාචකය අවසන් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෑතක දී සාකච්ඡා පැවැත්වූවා. සමහර පාසල් තිබෙනවා, ඉගෙන ගන්න දරුවන් නැති. ඒ වාගේම දරුවන්ට පාසල් නැති ප්‍රශ්නයකුත් තිබෙනවා. මේ සියල්ල විධිමත් කරමින්, ක්‍රමවත්ව රට ඉදිරියට ගෙන යාම ආරම්භ කරනවා. නමුත්, අපේ ප්‍රතිවිරෝධී පාර්ශ්ව ආණ්ඩුව මාස තුනෙන්, හයෙන් වැටේවි යැයි ප්‍රචාර යවනවා. නමුත්, ජාතික ජන බලවේගය මේ රට ගොඩනඟා මිස ආපසු හැරෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශක්තිමත්ව මේ ක්‍රියාමාර්ග දියත් කිරීමට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මාලිමාවේ මහජන නියෝජිතයන් වැඩිම පිරිසක් තෝරා පත් කර යවන ලෙස ඉල්ලා සිටිනවා.
“මැරිච්ච රටට පණ දෙන්නේ මේ පණ තියෙන කතිරයෙන්”
-ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික, විශ්‍රාමලත් විදුහල්පති, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, ඩබ්ලිව්. කරුණාතිලක-
පසුගිය 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අපේම ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමෙන් පසුව නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ බහුතර බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් අප සියලු දෙනා පෙළගැසී සිටිනවා. පසුගිය ජනාධිපතිවරණය වාගේම එළැඹෙන මහා මැතිවරණයත් තීරණාත්මකයි. අප මෙතෙක් කල් දැක්කේ ආණ්ඩු නෙවෙයි. මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවාදී ආණ්ඩුවක් දකින්නේ ලබන මස 14 වැනිදා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් ශක්තිමත් බහුතර බලයක් සම්පූර්ණ කරගත් පසුවයි. මේ දක්වා අපි ආණ්ඩු කියලා දැක්කේ අවුරුදු පහෙන් පහට මේ රට මංකොල්ල කන කල්ලි දෙකක්. එයට එරෙහිව ලබන මාසයේ 14 වැනිදා ඔබේ ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා. ඒ නිසයි, එළැඹෙන මහා මැතිවරණය තීරණාත්මක ඡන්දයක් වෙන්නේ. මේ පවත්වන්නේ ඡන්දයක් විතරක් නෙවෙයි, පින්කමක්. සියලු ජනීජනයා දුකට පත්වී සිටින අවස්ථාවේ ඒ දුකින් මුදාගැනීමේ පින්කමයි, මහා මැතිවරණයේදී අප ඉටු කරන්නේ. වෙනදා ගැසූ අජීවී කතිරය නෙවෙයි මෙවර ඔබ ගහන්නේ. පණ තියෙන කතිරයක්. මැරිච්ච රටට පණ දෙන්නේ මේ පණ තියෙන කතිරයෙන්. පසුගිය 21වැනිදා අපේ ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ, සියලු වාද බේද පැත්තකකින් තියලා. ඒ වාගේම සියල්ලන්ගේ සහභාගීත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් අපේ ජීවමාන ඡන්දයෙන් පත්කර ගමු. මියගිය රටට යළි පණදී ගොඩනඟන, සංවර්ධනය කරා ගෙනයන ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් අපි මේ මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරමු.
“අපේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගත් ධෛර්යවන්ත තීන්දුව දිගුකාලීන, ස්ථාවර ජයග්‍රහණ කරා යොමු කරමු!”
-ප්‍රවීණ රංගන ශිල්පිනී, නදී කම්මැල්ලවීර-
අපේ සුන්දරලිංගම් සහෝදරයා භාෂා දෙකෙන්ම කතා කළා. නමුත්, මට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක්වත් කතා කරන්න බැරිවීම ගැන අවංකවම ලැජ්ජා වෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ වඩාත් හොඳින් අපි එකිනෙකා අවබෝධ කරගත හැකි වන පරිදි භාෂා දැනුම වර්ධනය කර ගැනීමට ක්‍රියා කරනවා. ඉතිහාසයේ ප්‍රශස්තම ජනතා තීන්දුව පසුගිය 21 වැනිදා ගනිමින්, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ රටේ ජනාධිපති ලෙස පත්කර ගත්තා. ඒ තීන්දුව නිවැරැදි බව දිනෙන් දිනම දැන් තහවුරු වෙමින් තිබෙනවා. පරම්පරා කිහිපයක් අප මත පටවා තිබුණු අසීමිත බරෙන් නිදහස්වීමේ හැඟීමක් මට මෙන්ම ඔබ සියලු දෙනාටත් දැනෙනවා ඇති. ප්‍රබෝධයක්, බලාපොරොත්තුසහගත බවක් වාගේම අපේක්‍ෂා සහිතව දල්වා ගත් දෑස් හැම දෙනාටම තිබෙනවා.
නීතිය සියලු දෙනාට එක ලෙස ක්‍රියාත්මක වන රටක පුරවැසියන් වීමේ අභිමානය දැනෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ සුවය මහා අසිරියක්. ඇරැඹූ මේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් ව්‍යවස්ථාදායකයේ බලයක් ජාතික ජන බලවේගයට ලබාදෙන්න. උසාවිවලින් මිනීමරුවෝ බවට තීන්දු කළ අය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ, හොරු ඇතුළු අපරාධකරුවන් පාර්ලිමේන්තුවේ සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ මුදලින් සියලු වරප්‍රසාද ලබා ගනිමින්, මහජනතාව නොතකා සිටින පිරිසක් වාගේම පිල් පනින පිරිසක් බවට පත්වී සිටියා. ඒ අප්‍රසන්න තත්වය වෙනස් කිරීමේ අවස්ථාව දැන් ලැබී තිබෙනවා. මන්ත්‍රීවරයා සහ මහජනතාව අතර සම්බන්ධතාව පැහැදිලි කර දෙන සැබෑ පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමේ ශක්තිමත් බහුතර ජයක් ලබාගැනීම අත්‍යවශ්‍යයි. අපේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැප්තැම්බර් 21වැනිදා ගත් ධෛර්යවන්ත තීන්දුව දිගුකාලීන, ස්ථාවර ජයග්‍රහණ කරා යොමු කරවමු. ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් රටක් බවට පත් කරන්න සියලු දෙනාම පෙළගැසෙමු. ලස්සන ජීවිතයක් ගොඩනඟා දෙන්න අවශ්‍ය ශක්තිය, බලය ජාතික ජන බලවේගයට ලබා දෙමු. ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා!
“මේ ජනතාවාදී පාලනය තුළ ආබාධ සහිත අපව අත්නොහරින බව අපිට විශ්වාසයි”
-විශ්‍රාමික දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක, සුගත් වසන්ත ද සිල්වා-
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක සහෝදරයාට ආබාධිත පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයකු ලෙස ආබාධිත පුද්ගලයන් නියෝජනය කරමින්, මාව ඉදිරිපත් කර තිබෙනවා. ලක්‍ෂ දහහතකට වැඩි ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කිරීමේ අවස්ථාව මේ මඟින් ලබාදී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු හැත්තෑහය තුළ විවිධ පක්‍ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ආබාධිත පුරවැසියන් කෙරෙහි අවධානයක් යොමුකර තිබුණේ නැහැ. ඔවුන් වෙනුවෙනුත් ප්‍රතිපත්තියක් සකස් කිරීමයි ජාතික ජන බලවේගයේ හැඩය. රත්නපුර දිස්ත්‍රික්කයෙහි ජනතාව පෙළගැසී සිටින්නේ එවැනි පළල් අර්ථයක් සහිත වැඩපිළිවෙළක් පවතින ජාතික ජන බලවේගය වටා.
ජරාජීර්ණ දේශපාලනය අවසන් කර මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ අපේක්‍ෂා ඉටු කරන දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටයි. ඒ වෙනුවෙන් විශාල මහජන නියෝජිතයන් පිරිසක් පත්කර යැවීමේ වගකීම තිබෙන්නේ ඔබට. සියයට තුනට තිබුණු මහජන කැමැත්ත සියයට 43 දක්වා පසුගිය ජනාධිපතිවරණයේ දී ගෙන ආවා වාගේම ජනතාවාදී රජයක් පත්කර ගන්නා බව ස්ථිරයි. මේ දේශපාලන ව්‍යාපාරය කිසිම දාක ජනතාවට පිටුපාන්නේ නෑ. ජනතාවාදී පාලනයක් තුළ ආබාධ සහිත අපව අත්නොහැර ඉදිරියට ගමන් කරමින්, ලස්සන ජීවිතයක් උදා කරගත හැකි බව ස්ථිරයි. තමන්ගේ අයිතිවාසිකම් වාගේම සුබසාධනය බලගැන්වෙන ආයතනික රටාවක් ගොඩනැඟීම සිදු කරනවා. අප හැමදෙනාම එකට හිනාවෙන, එකට අත්පොළසන් දෙන වෙනස්කමකට භාජනය නොකරන පිරිසක් බවට ආබාධිත ජනතාවත් ඔසොවා තබන රටක් තමයි, පොහොසත් රටක් කියන්නේ. එවැනි ජනතාවක් තමයි, ලස්සන ජීවිත ගත කරන ශිෂ්ටසම්පන්න ජනතාවක් කියන්නේ.
“ජනාධිපති සහෝදරයෙක් ආදරණීය අග්‍රාමාත්‍යවරියක් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් එක්ක රටට ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි-
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන්න ජාතික ජන බලවේගයෙන් විශිෂ්ට අපේක්‍ෂකයන් 14 දෙනෙක් ඉදිරිපත් කර සිටිනවා. මේ ඉන්න අපේක්‍ෂකයන්ට නඩු නැහැ. ඇප පිට ඉන්න අය නෙවෙයි. දූෂණ චෝදනා නැහැ. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ඔබට මේ 14දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමේ කිසිදු දෙගිඩියාවක් තියෙන්න හේතුවක් නැහැ.
හැත්තෑහය වසරක් රට පාලනය කළ පාලකයෝ අපේ ජීවිතවල ගැටලු සම්පූර්ණයෙන්ම ඉතිරි කර තිබෙනවා. පොහොට්ටුවෙන් යවපු 134 දෙනකුගේ ඡන්දයෙන් මහ බැංකුව කොල්ලකෑමට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා. ජනතාවට පීඩනය ගෙනැවිත්, අසරණ කළ මේ ක්‍රමය වෙනස් කිරීමටයි, අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ. මේ ආසන්නයේ පවතින ඉස්ලාම් පල්ලියකට ගිය අවස්ථාවේ ඔවුන් කළ එකම ඉල්ලීම සුසාන භූමියක් ලබා දෙන ලෙසයි. හැත්තෑහය වසරක් රට පාලනය කළ අය මේ රටේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් ලබා නොදුන්නා සේම ගෞරවනීය අවසන් ගමනක් අත්කර දී නැහැ. ඒ නිසා දූෂිත, දුෂ්ට පාලනය අවසන් කළ යුතුයි. මෙයට මොහොතකට පෙර මේ රටේ ආබාධිත ජනතාව නියෝජනය කරමින් කතා කළ සුගත් සහෝදරයා වෙනුවෙන් අපේ පාර්ලිමේන්තුවේ අසුනක් වෙන් වේවි. ඉන් පසුව මුළු ලෝකයම අපේ පාර්ලිමේන්තුව ගැන කතා කරාවි. ජාතික ජන බලවේගය මුළු රටටම ජයක් දෙනවා මෙන්ම සුගත් සහෝදරයා දෘශ්‍යාබාධිත පමණක් නොවෙයි, සියලුම ආබාධිත ජනතාවට ආලෝකය ලබා දේවි. ජාතික ජන බලවේගය නිර්මාණය කළ ජනාධිපති සහෝදරයෙක් සමඟ මහා මැතිවරණයේ අපේක්‍ෂකයන් 14 දෙනකු මේ වේදිකාවේ සිටිනවා. මගේ වැඩිහිටි පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් දැකපු හීනයක් වාගේම මගේ පරම්පරාවත් දැකපු හීනයක් සැබෑ වීමක් ඒක. විශාල වගකීම් සම්භාරයක් අප හැම දෙනාටම පැවරී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන අටම නියෝජනය කරමින්, මේ අපේක්‍ෂකයන් අතුරින් බහුතරයක් තෝරා පාර්ලිමේන්තුවට යවන්න. අපේ ජනාධිපතිවරයෙක් ආදරණීය අග්‍රාමාත්‍යවරියක් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් එක්ක ඓතිහාසික ජයග්‍රහණ ලැබීමට සියලු දෙනාම ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.
“විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන ශක්තිමත් කණ්ඩායමක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ශාන්ත පද්මකුමාර-
පසුගිය ජනාධිපතිවරණයේදී මාධ්‍ය ආයතන කිහිපයක් සහ වෙනත් මඩ, අවලාද නඟන්නන් විශාල පිරිසක් වාගේම භික්‍ෂුන් වහන්සේලා දෙතුන් නමක් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරවලට හසු නොවී රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව අප ජයග්‍රහණය කරවූවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරා පත්කර ගැනීමෙන් පසුවයි ඔබ මේ විජයග්‍රාහී රැලියට සහභාගී වන්නේ. දෙවැනි ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද ලක්‍ෂ 13කින් අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස ඔසවා තැබුවා. ආදරණීය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුදෙනා එක්වී අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත්කර ගත්තා. ජනාධිපති සහෝදරයෙක් නිර්මාණය කළේ ඔබේ ඡන්දයෙන්. එයින් ලබාගත් පළමු ජයග්‍රහණය තවදුරටත් තහවුරු කරමින් එන මාසයේ 14 වැනිදා අප ලබන ජයග්‍රහණය කහවත්ත රැලියෙන් තහවුරු කර අවසන්. මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවරුන්, කලාකරුවන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදර ජනතාවත් එකමිටට එක්කර ගත් පිරිසක් ඉදිරිපත් කර සිටිනවා. මේ පිරිස අතුරින් ඔබ කැමැති ඕනෑම තුන්දෙනකුට මනාප අංකය ලබාදී පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන්න. මේ සියලු දෙනා පාර්ලිමේන්තුවේ ඔබ නියෝජනය කරන්න සුදුසුකම් සම්පූර්ණ කරපු අයයි.