Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පවතින මජර දේශපාලනය අතුගා දමනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – හිරියාල, මැල්සිරිපුර – 2024.09.17-)

ඡන්ද ව්‍යාපාරය අවසන් වේගෙන එන විට අද ඒකේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගයයි. මේ සිද්ධ වෙන්න යන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි. දශක ගණනාවක් අපේ රට පාලනය කළ මේ පාලකයෝ අපිට අවසානයේ ඉතුරු කරලා තියෙන්නේ හැම අතින්ම කඩා වැටුණු රටක්. ජනතාවගෙන් 68%කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ කියලා මහා බැංකු වාර්තාවෙම තිබෙනවා. හරිහමන් අධ්‍යාපනයක් නැති දරුවෝ, සිහින කඩා වැටුණු තරුණයෝ, හරිහමන් බෙහෙතක් හේතක් ගන්න බැරි හව්හරණක් නැති මව්පියෝ ඉන්න රටක් බවට අපේ රට පත්වෙලා.

නීතියක් නැති, විනයක් නැති, අපරාධවලින් ගහන රටක්, සියල්ල විනාශයට පත්වෙච්ච රටක්, බවට අපේ රට පත්වෙලා තිබෙනවා. මේක තමයි අපි කියන 76 වසරක ශාපය. මේ සැප්තැම්බර් 21 වැනිදා එළඹෙන්නේ අපේ රට අන්න ඒ ශාපයෙන් මුදා ගන්නා දිනයයි. මීට කලින් ආණ්ඩුව හැදුවේ මාධ්‍ය විසින්. ඔවුන් විසින් ගොතන ලද ප්‍රබන්ධ මගින්. වැඩකරන විරුවෝ, මොළ හතේ නායකයෝ, කියලා මාධ්‍ය විසින් ප්‍රබන්ධ නායකයන් හදනවා. මාධ්‍ය විසින් බිය, සැකය, අවලාද පතුරුවනවා. එහෙම කරලා තමයි මෙතෙක් ආණ්ඩු හැදුවේ. අද සමහර මාධ්‍යවලින් යම් තරමකට අපිට සහයක් තිබෙනවා. හැබැයි ඊට එහා ගිය ජනතාවගේ ස්වයං ක්‍රියාකාරිත්වය මගින් තමයි අපිට ජයග්‍රහණය ගෙන දෙමින් සිටින්නේ. ඒ නිසා ලංකාවේ පළමු වතාවට මැර බලය, රාජ්‍ය බලය, ධන බලය, මාධ්‍ය බලය පරදමින් ජනතා බලය පෙරට පැමිණ තිබෙනවා.

Crowd At The Victory Rally Of Malsiripura

ජාතික ජන බලවේගයේ අරමුණ අපේ රටටත්, රටේ ජනතාවටත් යහපත් තත්වයක් උදාකර දීම තමයි. මම කියන්නේ මේ උදාර කර්තව්‍යයේ කුඩා කොටසක් පමණයි. ඔබ සියලු දෙනා තමයි විශාලම කොටස. අසාධාරණයට, අයුක්තියට එරෙහිව මේ රටේ ජනතාව දිගු කාලයක් තිස්සේ සටන් කරමින් ඉන්නවා. නමුත් අපිට ජයග්‍රහණය අත්පත් කර ගන්න බැරිවුණා. අද අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාව ලැබී තිබෙනවා. අපේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් තබා ගන්න එපා. මෙවර අපි ජයග්‍රහණය කරනවා. නියතයි. සැප්තැම්බර් 21 උදාවන්නේ ජාතික ජන බලවේගය මේ රටේ ආණ්ඩු බලය ගැනීමේ ආරම්භයයි. අපි පියවරෙන් පියවර මේ රට හදනවා. පළමුව දේශපාලනඥයන් ඒ සඳහා ආදර්ශය ලබාදිය යුතුයි. අපේ රටේ දේශපාලනය කිවුවේ බදා ගැනීමට. බැකෝ යන්ත්‍රවලින් විශාල විදිහට බෙදා ගැනීමට. එහෙම කළේ වෙන කිසිවක් කරලා නොවෙයි. භාණ්ඩාගාරයේ ධනය හොරකම් කරලා. මහජනතාවට ලැබිය යුතු ධනය හොරකම් කරලා.

අපේ රට හදන්න නම් පළමුව මේ රටින් මේ මජර දේශපාලනය අතුගා දැමිය යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහතික ලෙසම එය ඉටුකරනවා. පාර්ලිමේන්තුවට ගියාම අවුරුදු 05ටම දින 20යි සහභාගි වෙන්න ඕනෑ. ඊට පස්සේ ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. අපේ ගොවි ජනතාව කොන්ද කුදුවෙලා, හම ඇකිළිලා, අවුරුදු 70 – 75ක් වෙලත් අමාරුවෙන් කුඹුරු කොටනවා. විශ්‍රාම වැටුපක් නැහැ. මේක සාධාරණද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපා හරිනවා. ජනතාවට නැති සියලු වරප්‍රසාද අපි අහෝසි කරනවා. ජනාධිපතිවරයාගේ සිට එය කරනවා. හිටපු ජනාධිපතිවරුන් ජනතා මුදලින් නඩත්තු කරන එක හා ඔවුනට දෙන වරප්‍රසාද කපා හරිනවා. සජිත් ප්‍රේමදාස අපි කරන කියන හැම දෙයක්ම කොපි කරනවා. හැබැයි මේවා නම් කොපි කරන්නේ නැහැ. එයා කිවුවොත් මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් අහෝසි කරනවා කියලා ඔක්කොම වේදිකාවෙන් බැහැලා යනවා.

Anura Kumara Dissanayake At The Victory Rally Of Malsiripura

ජනතාවට දේශපාලකයා කෙරෙහි විශ්වාසයක් ගෞරවයක් තිබෙන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා. ලෝකය දිනන්න පුළුවන් විදියට අපි අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සැලසුම් කරනවා. මේ විනාශයේ මුවදොරට රැගෙන ගිහින් තිබෙන රට, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ඉන් මුදාගෙන දියුණුව කරා රැගෙන යන දිනය තමයි සැප්තැම්බර් 21. මේ කිසි දැක්මක් නැති අපේ රටේ දේශපාලකයන් පැරණි ජාතිවාදී, ආගම්වාදී මඩ ගොහොරුව නැවත අවුස්සන්න පටන් අරගෙන තිබෙනවා.

නුවර දළදා පෙරහැර කියන්නේ සජබ හෝ පොහොට්ටුවට හෝ යූඑන්පී එකට ලියලා දිපු එකක් නොවෙයි. ඒවා අපේ රටේ සංස්කෘතික උරුමයන්. අපේ රටේ ජනතාවගේ ඓතිහාසික උරුමයන්. ජාතියේ උරුමයන්. නමුත් මේ දේශපාලකයෝ කරන්නේ මොකක්ද? ඒවා ගේනවා ඡන්ද වේදිකාවට. අපි ආපුවහම පෙරහැර නතර කරනවලු. හැබැයි කට්ටිය පෙරහැරේ බලා ඉන්න, අපි ආපුවහම උසාවි යන්න. හිරගෙවල් ඇතුළට යන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපුවහම පන්සල්වලට දානය නැති වෙනවලු. දාන දෙන්නේ පක්ෂද? ආණ්ඩුද? ගැසට් ගහලද? ඒවා අපේ ශිෂ්ටාචාරයට අයිති දේවල්. ආගම පිළිබඳ ශ්‍රද්ධාව. සජබ වේදිකාවේ ඒව දේශපාලන සටන් පාඨ බවට පත්කරගෙන. ඒවා ජාතික උරුමයන්. ජාතික කොඩිය පවා ඡන්ද වේදිකාවට ගේනන ඕනෑ එකක් නොවෙයි. ඒවා රටේ ජාතික උරුමයන්. ඒවාට නිසි ගෞරවය අපි ලබා දෙන්න ඕනෑ. ජාතික කොඩිය අයිති පක්ෂවලට නොවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම අයිති ජාතික දෙයක්. ඒ ගොල්ලන් කියනවා අපි ආපුවහම ජාතික කොඩිය වෙනස් කරන්න යනවලු. සජබ වේදිකාවේ අද තිබෙන්නේ මඩ, අවලාද පමණයි.

The Victory Rally Of Malsiripura Crowd

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අතේ තියාගෙන කියනවා අපේ පාලනයක් යටතේ අපි නිරාගමික රාජ්‍යයක් හදනවලු. එක හාමුදුරු නමක්, පොතේ නැති පට්ටපල් බොරු දෙසාබානවා. අපි ඒ පොඩි හාමුදුරුවන්ට නම් යැව්වා එන්තරවාසියක්. අපි කවදාවත් හාමුදුරුවන් වහන්සේලා සමග නඩු කියන්න කැමති අය නොවෙයි. නමුත් මේ කැත වැඩය කොතනදි හරි නතර විය යුතුයි. හිස්බුල්ලා එරාවුර්වලට ගිහිල්ලා ඒ වගේම බේගල් මුස්ලිම් ජනතාවට කියනවා. මුස්ලිම් ජනතාවගේ අවුරුද්දකට රාමසාන් සහ හජ්ජි කියලා ප්‍රධාන ආගමික උත්සව දෙකක් තිබෙනවා. අපි ආපුවහම එකක් කරනවාලු. මුස්ලිම් ජනතාව දවසකට පස්වතාවක් වන්දනා කරනවා. අපි බලයට ආවොත් ඒක නතර කරනවලු. අපිට වෙන වැඩ නැහැනෙ. අපි ආපුවහම මුස්ලිම් ජනතාවට රැවුල් වවන්න දෙන්නෙ නැතිලු. මම එරාවුර්වලටත් ගිහිල්ලා කිවුවා මමත් රැවුල වවාගෙන ඉන්නෙ කියලා.

ජාතිය, ආගම වැනි දේවල් කිසි දිනෙක දේශපාලන වේදිකාවට ගත යුතු දේවල් නොවෙයි. ඒවා ජාතික උරුමයන්. අපේ ශිෂ්ටාචාරය. ඒවා දේශපාලනික සටන් පාඨ කරගත යුතු නැහැ. නමුත් සජබ මුළු වේදිකාවම අද ඒවා අතට අරගෙන. මේ රට ගොඩනඟන හැටි, ආර්ථිකය ගොඩනඟන හැටි, විදේශ සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟන හැටි වැනි ගැඹුරු දේවල් සජිත්ට සාකච්ඡා කරන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා තමයි අර වගේ පහත් ගණයේ කතා එයාගෙ වේදිකාවල කියන්නේ. ඉස්කෝල ටික විදෙස් කෝටිපතියන්ට බාරදෙනවාලු. ප්‍රාදේශීය සභා ටික ලෝකෙ වෙන පළාත් පාලන සභාවලට බාර දෙනවලු හදන්න. අන්තිමට සජිත් කියයි මුළු රටම විදේශවලට බාර දෙනවා කියලා. ඒ වගේ සිඟිති ආතල් කතා තමයි සජිත් කියන්නේ.

The Victory Rally Of Malsiripura Addressing By Anura Kumara Dissanayake

ඊළඟට රනිල් කියනවා එයා ආවේ නැතිනම් ගෑස් ටික නැතිවෙයිලු. ඒ කියන්නේ රනිල් ළඟ වෙන්න ඇති ගෑස් නිධිය තියෙන්නේ. ආයිමත් කියනවා එයා ආවෙ නැතිනම් තෙල් නැති වෙයිලු. ඒ කියන්නේ රනිල් අරාබියේ සුල්තාන්ද? තෙල්, ගෑස් නැති කළේ රනිල් වික්‍රමසිංහලා. අපේ රට ලෝකයේ වාණිජ වෙළඳපොළෙන් ඩොලර් කෝටි 1500ක් අරන් තිබෙනවා. මේ 1500න් ඩොලර් කෝටි 300ක් ගත්තෙ මහින්ද. ඩොලර් කෝටි 1200ක් ගත්තා රනිල්. එයා පාලනය කළ අවුරුදු 4 1/2ට ආසියානු සංවර්ධන බැංකුව ණයවලට අයකරන පොලිය 1%යි, 2%යි. රනිල් වික්‍රමසිංහ වාණිජ වෙළඳපොළෙන් ගත්ත ණයවලට පොලිය 6%යි. 7%යි. එහෙමයි රනිල්ලා මේ රට උගස් තිබ්බේ. මේ රට බේරා ගන්න තමයි මාලිමාවේ ආණ්ඩුව එන්නේ. අපිට විශ්වාසයි. මේ රටේ ජනතාව මේ 21වැනිදාට තියෙන ජනාධිපතිවරණයේදී ඡන්ද පෙට්ටි මාලිමාවේ ඡන්දවලින් පුරවනවා. දැන්නම් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කිසිවෙකුටත්, මොන දේ කළත් වළක්වන්න බැහැ. ඒක ඒ තරමටම සහතිකයි. අපේ ජයග්‍රහණයෙන් පස්සේ අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදමු.

Fred Senevirathne Addressing The Victory Rally Of Malsiripura

“මේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවට නව පුනරුද යුගයකට පා තබනවා”
-ජාතික ජන බලවේගයේ ‘අදිටන’ සාමූහිකයේ රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-

දූෂිත දේශපාලන පක්ෂ තමන්ගේ රැස්වීම් සඳහා මහජනතාව එකතු කර ගැනීමට අරක්කු කාලක්, බත් පැකට් එකක්, අතට මුදලක් දී රැලිවලට කැඳවා ගන්නා පරිසරයක් තුළ කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර මෙතනට රැස්වී සිටින දස දහස් සංඛ්‍යාත ඔබ දුටු විට මා තුළ විශාල ගෞරවයක් ඇති වෙනවා. ඔබ අපිට ශක්තියක්. මගේ කතාවට ප්‍රථම ඔබට සුභ ආරංචියක් දැනුම් දීමට තිබෙනවා. මම අදිටන සමූහයේ ක්‍රියාකාරිකයෙකු ලෙස පසුගිය අවුරුදු 1 1/2ක පමණ කාලය තුළ ලංකාව වටේම ඇවිද්දා. අපේ ව්‍යාපාරය වෙනුවෙන් අපි ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් හමු වුණා. ඒවගේම ඔවුන්ගේ පවුල්වල උදවියත්, වටපිටාවේ මහජනතාවත් සමග කතා බහ කළා. ඒ අනුව අපේ දේශපාලන ගණන් බැලීමට සහ ඒ ලද අත්දැකීම්වලට අනුව මේ වන විට ජාතික ජන බලවේගය දිනවීම සඳහා කෝටියකට ආසන්න ජනතාවක් පෙළගැසී සිටින බව මම නිර්භයවම ප්‍රකාශ කර සිටිනවා.

ඔබේ ආසනයත් ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 30,000කට වඩා වැඩි ප්‍රමාණයකින් අපේ අනුර සහෝදරයා ජයග්‍රහණය කරන බව මම ස්ථිරවම ප්‍රකාශ කර සිටිනවා. එහෙම කියන්නේ මිනිසුන්ගේ සිතුම් පැතුම්වලින් මම උකහා ගත් දේවල්වලින්. මම ඔබගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒක නිසා මා සමග අමනාප වෙන්න එපා. පළමු ප්‍රශ්නය ඔබලා මේ දවස්වල කන්නේ බොන්නේ කොහොමද? මේකට උත්තර දන්න බොහෝ අයට අපහසුයි කියලා මම දන්නවා. අම්ම තාත්තා නොකා හිටියත් දරුවට කන්න දෙන මව්පියන් ඉන්න රටක් මේක.

Malsiripura Victory Rally

මගේ දෙවැනි ප්‍රශ්නය මෑතදී ඔබ අලුත් ඇඳුමක් පැළඳුමක් ගත්තද, පවුලේ අයට එහෙම අරන් දුන්නාද? ඒකටත් දැන් ඔබේ හිතේ තිබෙන උත්තරය මම දන්නවා. මම ඊළඟට අහනවා ඔබ කොපමණ කලකින් චිත්‍රපටයක් බැලුවාද? කියලා. පවුලේ අය සමග නාට්‍යයක් බලන්න ගියාද? ඒකට ඔබේ උත්තරයත් මම දන්නවා. ඔබ විනෝද ගමනක්, වන්දනා ගමනක් ගියාද? ඒ ගැන හිතන්නවත් පුළුවන්ද? අපි කවුරුත් ආසයි පිටතට ගිහිල්ල හෝ ගෙදරට ගෙන්නා ගෙන විශේෂිත කෑමක් බීමක් පරිභෝජනය කරන්න. නමුත් අද අපිට එහෙම කරන්න පුළුවන්ද? මේවට උත්තර ඔබේ හිත ඔබට කොඳුරා කියාවි. ඇයි අපිට මෙහෙම වුණේ. මේකට මෙතෙක් මේ රට පාලනය කළ දේශපාලනඥයන් මෙන්ම මහජනතාව හැටියට අපිත් වගකිව යුතු නොවේද?

නැවතත් මේ පාලකයෝම පත්වුණොත් මේ රටට කුමක් වේවිද? හැබැයි හොඳ වෙලාවට මේ සැරේ එහෙම වෙන්නේ නැහැ. මේ සැරේ ඒ ඔක්කෝම ගෙදර. මේ 21 වැනිදායින් පසු ජාතික ජන බලවේගයේ රජයක් මේ රට තුළ ගොඩ නගනවා නියතයි. ඒ සඳහා අපිට තිබෙන සහතිකය කුමක්ද? ඒ තමයි ජාතික ජන බලවේගයේ නායකයාගේ සිට පහළම සාමාජිකයා දක්වා තිබෙන දේශපාලන භාවිතය. ඔවුන්ට නිවැරදි දැක්මක් තිබෙනවා රට හදන්න ඔවුන්ට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අවසාන වශයෙන් අපි ඔබට එකක් කියනවා. මේ 21 අපේ අනුර සහෝදරයා ස්ථිර ලෙසම ජනාධිපති වෙනවා. ඊළඟට එන මහ මැතිවරණයත් අපි දිනනවා. ඒ වගේම මේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවට නව පුනරුද යුගයකට පා තබනවා.