Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා ආණ්ඩුව නැවත දූෂිතයින් අතට පත්වන්නේ නැහැ” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී කුරුණෑගල දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.08 – සත්‍යවාදී පිටිය-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Kurunegala

අධික වර්ෂාව වෙලාවේදී අද කුරුණෑගලට ගලලා තියෙන්නේ මහා ජන ගඟක්. මේ ජනතාව විශ්වාසයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව මෙතනට පැමිණ තිබෙන්නේ අප කෙරෙහි තිබෙන ලෙන්ගතුභාවය නිසාමයි. එම ලෙන්ගතු භාවය කිසිදු ලෙසක පළුඳු කිරීමට අප කටයුතු කරන්නේ නැහැ. ඒ පිළිබඳ අප සහතිකයක් දෙනවා. තව තවත් ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි කිරීමට අප කටයුතු කරනවා.

පහුගිය ජනාධිපතිවරණයේදී තීරණාත්මක බල හැරවුමක් සිදුවුණා. මැතිවරණ ඉතිහාසයේදී හැමදාම ජාතික වශයෙන් පවුල් කිහිපයක් අතේ, දිස්ත්‍රික්ක වශයෙන් තවත් පවුල් කීපයක් අතේ බලය ඒකරාශි වී තිබුණා. රට පාලනය කරන සුක්කානම හැසිරෙව්වේ පවුල් කීපයක් පමණයි . එක වෙලාවකට රට පාලනය කරනවා තාත්තා, තව වෙලාවක අම්මා, තව වෙලාවක දියණිය. තව කාලෙක මාමා බලය හසුරනවා, ඊට පස්සේ බෑනා බලය හසුරවනවා. තව කාලෙක අයියා බලය හසුරනවා, මල්ලි බලය හසුරනවා, පුතා ජනාධිපති කරවන්න උත්සාහ කරනවා . විපක්ෂයේ සිට තරග වැදුණු කෙනා තාත්තගෙන් පුතාට බලය ගන්න උත්සාහ කළා. විපක්ෂ නායකවරයා තාත්තගෙන් තමාට බලය හුවමාරු කරගන්නා බැලුවා.

Crowd At The Victory Rally Of Kurunegala

සැප්තැම්බර් 21 වැනිදා දූෂිත පවුල් පරදා පොදු ජනතාව අතට බලය පත් කරගත්තා. එම දූෂිත ප්‍රභූ පවුල් සංස්ථාව තමන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමක් අත්වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඔවුන් පාලන බල සිතියම ඇඳලා තිබුණේ තාත්තාගෙන් පුතාට, පුතාගෙන් මුණුබුරාට යන විදිහටයි. නමුත් පොදු ජනතාව පෙළගැහිලා දූෂිත ප්‍රභූ පාලනය ඉවත් කර පොදු ජනතාව අතට පාලන බලය ලබා ගත්තා. දැන් ඒ කණ්ඩායමට ගොඩක් රිදිලා තියෙනවා. ඒක නිසා දැන් ඔවුන් වේදිකාවට ඇවිත් මාස තුනෙන් ආණ්ඩුව වැටෙයි මාස හයෙන් ආණ්ඩුව වැටෙයි කියලා කියනවා. මතක තියාගන්න මේ රටේ බලය නැවත ඒ අය අතට පත්වෙන්නේ නැහැ.

ඒ නිසාම ඒ අය දැන් නැවත වරක් ජාතික ජන බලවේගයට අවලාද කියන්න පටන් අරන් තිබෙනවා. ඒ අය හිතන සිහිනයට ළඟා වෙන්න මේ රටේ පොදු ජනතාව කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. මේ වර්ෂාවෙ තෙමෙමින්, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඔබ කියා පාන්නේ මේ ආණ්ඩුව කෙරෙහි තිබෙන ඔබේ විශ්වාසයයි. මේ ආණ්ඩුව කෙරෙහි තියෙන බලාපොරොත්තුවයි.

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Kurunegala From Back

පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපට ජනාධිපතිවරණයේදී ඡන්ද නොදුන් පිරිසක් හිටියා. සමහර අයට අපි ගැන පොඩි සැකයක් අවිශ්වාසයක්, දෙගිඩියාවක් තිබුණා. ඒක සාධාරණයි. සමහරු වේදිකාවල නැගලා ජාතික ජන බලවේගයට විවිධ අවලාද ගැසුවා. නමුත් එහෙම අවලාද කියද්දිත් අපට පාලන බලය ලබා දෙන්න ධෛර්වන්ත මිනිස්සුත් මේ රටේ හිටියා. එදා දෙගිඩියාවෙන් සිටි ජනතාවට අද අපි ගැන විශ්වාසයක් ඇතිවෙලා. ජාතික ජන බලවේගයේ වැඩිම රැස්වීම් සංවිධානය කරන්නේ ඒ අයයි.

ප්‍රචණ්ඩකාරී මැතිවරණවලට කුරුණෑගල කප් ගහපු ඉතිහාසයක් තියෙනවා. 1998 පළාත් සභා මැතිවරණයේදී මේ පළාතේ ඉන්න අය ප්‍රචණ්ඩකාරී මැතිවරණයක් පැවැත්වුවා. කාර්යාල ගිනි තියෙන, වෙඩි තියන කැත පන්නයේ ඡන්ද ඉතිහාසයක් තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය ඉතාම සාමකාමීයි. අපි හැමදෙනාටම ඡන්ද රැස්වීම් තැබීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එදා ලේ වැගිරීම් ඇතිවෙනවා කිව්වට ජාතික ජන බලවේගය මැතිවරණ ඉතිහාසයේ සාමකාමීව ජයග්‍රහණය සැමරුවා. මැතිවරණ ව්‍යාපාර නැවත චණ්ඩින්ට ලබා දෙන්න ජනතාව සූදානම් නැහැ. මේ සාමකාමී බව නිසාම නොවැම්බර් මාසයේදී වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් එන බවට පුරෝකථනය කර තිබෙනවා. නොවැම්බර් 14 වැනිදා ලබන ජයග්‍රහණය සමඟ ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපට හැකියාව තිබෙනවා. මේක ජනතාවගේ විශ්වාසය තව තවත් දිනා ගන්න පුළුවන් ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් වට්ටවන්න ලැබෙන්නෙ නැහැ.

The Crowd At The Victory Rally Of Kurunegala

රටක් වෙනස් කරන්න දේශපාලන අධිකාරියේ මෙහෙයවීමක් අවශ්‍යයි. අපේ රටේ විනය හදන්න, නීති සම්පාදනය කරන්න සමීප දේශපාලනයක් අවශ්‍යයි. ආර්ථික වශයෙන් දේශපාලන තීන්දු ගන්න සමීප දේශපාලනයක් අවශ්‍යයි. මේ රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දේශපාලන බලයක් අවශ්‍යයි. දැන් බලය තිබෙන්නේ ජනාධිපති ගාව පමණයි. දේශපාලන බල කේන්ද්‍රයක් වුණු පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගැනීම මේ නොවැම්බර් මාසයේ 14 වැනිදා සිදුවෙනවා.

ගල්ගමුව, ගිරිබාව, මීගලාව පැත්තේ මහා වන අලි කරදරයක් තිබෙනවා. ඒවා විසඳීමට ඒ පැත්තේ මාලිමාවේ කට්ටිය පාර්ලිමේන්තුවට එවිය යුතුයි. හක්වටුනා ව්‍යාපාරයේ, දැදුරුඔය ව්‍යාපාරයේ, තිබෙන ගැටලු විසඳන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කුරුණෑගල නගරය සංවර්ධනය කිරීමට අපි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමීප දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කුරුණෑගල සිසාරා පාර්ලිමේන්තුවට මාලිමා නියෝජිතයන් එවිය යුතුයි. සමහරු කියනවා විපක්ෂයටත් එවන්න ඕනලු ආණ්ඩුව හරි මඟ යවන්න. කවුද දැන් අපිව හරි මඟ යවන්න ඉන්නෙ. එයාලට අපිට කියලා දෙන්න තියෙන්නේ එතනෝල් බිස්නස් කරන්නේ කොහොමද? ආණ්ඩු බලය උපයෝගී කරගෙන සතොසෙන් හොරකම් කරන්නේ කොහොමද? පොලිසිය යටත් කරගෙන පාලනය කරන්නේ කොහොමද? ජාතික ජන බලවේගයට පෙන්නන්න ඒ අයට හරි මඟක් නැහැ.

President AKD Addressing The Crowd At The Victory Rally

මේ සැරේ විපක්ෂ ගැන කතා වැඩක් නැහැ.මේ රට ව්‍යසනයෙන් ගොඩ ගන්න, සංවර්ධන සැලැස්ම විධිමත්ව ග්‍රාමීය මට්ටමේ සිට ගොඩනගන්න ඒ සඳහා මන්ත්‍රීවරු එවන්න. ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් පිරවිය යුතුයි. විපක්ෂයට ඔය එන කට්ටියට කරන්න පුළුවන් දේ තමයි ආණ්ඩුව ගෙනයන හොඳ වැඩපිළිවෙළට කකුල් මාට්ටු දාන එක. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කළ යුතුයි. මේ අය කළේ සිතු සිතු සේ මහජන ධනය නාස්තිකරපු එකයි. ඒ නිසා දේශපාලන ප්‍රමිතියක් අවශ්‍යයි. රාජ්‍ය සේවකයෙකුට ප්‍රමිතියක් තියෙනවා. ජනාධිපති පැරදිලා ගෙදර යනකොට වාහන 15-30 අරගෙන යනවා . ප්‍රමිතියක් නැහැ. පැරදුනාම ඉල්ලන කෝකියො බැලුවම හිතෙන්නේ රෙස්ටුරන්ට් එකක් දාන්නද කියලා. හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබා දුන්නු දේවල් ටිකක් තිබෙනවා. ඒවා අපි වෙනස් කළේ නැහැ. දැනට වෙනස් කලේ නීති විරෝධීව ළඟ තබා ගන්නා දේවල් පමණයි. ඉදිරියේදී ව්‍යවස්ථාවෙන් සහ පනත්වලින් තිබෙන ඒවා වෙනස් කිරීමට කටයුතු කරනවා. හිටපු ජනාධිපතිවරුන් අනීතිකව ලබාගෙන තිබෙන සියලු දේවල් මේ වනවිට ආපහු ගත්තා.

ඕනම කෙනෙකුට ආණ්ඩුවෙන් මොනවා හරි දෙනවනම් ඒ සඳහා අයදුම් පතක් ලබා දි යුතුයි . ජනාධිපති අරමුදලෙන් මොනවාහරිි ඕනේ නම් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා ජනාධිපතිවරුන්ට නිවසක් ඕනේ නම් එය ඉල්ලුම් කළ යුතුයි. එතකොට ඒ අයදුම්පතේ අසා තිබෙන දේවල්වලට පිළිතුරු දෙන්න ඕනෑ. ඒ අයත් අස්වැසුම ලබාගන්න මට්ටමේද ඉන්නේ කියලා බලලා තාවකාලිකව ගෙයක් දෙනවා. මිරිහානේ ගෙවල් තියාගෙන බෞද්ධාලෝක මාවතේ ගෙවල් දෙන්නේ නැහැ. ඒවා කිසිසේත්ම පළිගැනීම නෙවෙයි. ඒවා කිසිසේත්ම වෛරයට කරන වැඩ නෙවෙයි. දේශපාලනයට ප්‍රමිතියක් ගේනවා. කවුරුත් එය ප්‍රමිතියට යටත්. අපේ ඇමතිවරු අපේ මන්ත්‍රීවරු ඒ ප්‍රමිතියට යටත්. අපේ රටේ දේශපාලනය ප්‍රමිති ගත කරනවා.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ලොකු ජයග්‍රහණයක් ඕනෑ. එයින් පසුව මේ රට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනගන්න පටන් ගන්නවා. රට යම්කිසි තැනකට එනතුරු ජනතාව බලාගැනීම අපි සිදු කරනවා. සමහර භාණ්ඩ කිහිපයක අපි වැට් බද්ද ඉවත් කරනවා. පාසල් දරුවන්ගේ පාසල් උපකරණ සහ පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා. සියලුම දරුවන්ට නොමිලේ රෙදි ලබාදීමට චීන රජය එකඟ වී තිබෙනවා.

The Victory Rally Of Kurunegala Crowd

පහුගිය අවුරුද්දේ රජය වී අරගෙන තියෙන්නේ මෙට්‍රික් ටොන් 119යි. දවසක සහල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 6500යි. මෙහෙම තත්වයක් තමයි සහල් ක්ෂේත්‍රයට සිදු කර තිබෙන්නේ. එමනිසා සහල් පාලන මිලකට ලබාදීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. පහුගිය පාලකයන්ගේ බලයේ රහස ජනතාව දුප්පත් වී සිටීමයි. ජනතාව දුප්පත් උනාම සාරි බෙදලා, වැසිකිලි පෝච්චි බෙදලා ඡන්දේ ගන්න පුළුවන්. එහෙම නිසා ඒ ආණ්ඩු ලංකාවේ දුප්පත්භාවය නැති කරන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවය තුරන්කිරීමයි. දුප්පත් භාවය තුරන් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඉතාම වැදගත් වෙනවා. තාත්තා දුප්පත් උනාට උගත් බුද්ධිමත් තාරුණ්‍යය තුළින් දුප්පත්කම තුරන් කළ හැකියි. එය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අපේ රට තුළ පිරිසිදු වැසිකිලි පද්ධතියක් අවශ්‍යයි. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ විනයගරුක සමාජයක් ඇතිකරනවා. ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා.

නව සංචාරක කලාප සඳහා නව විභවතාවන් සොයා බලමින් තිබෙනවා. යාපහුව සහ උතුරු පළාතේ සංචාරක විභවතාවයන් මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබාදෙමින් ලබන වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකින් පැමිණෙන වසර බවට පත් කරනවා.

ශ්‍රී ලංකාව නූතන ලෝකයට සම්බන්ධ කිරීමට ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. පුරවැසියෙකුට ගෙදර සිට ඩිජිටල්කරණය ඔස්සේ තමන්ගේ පහසුකම් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා. එය සඳහා දැනුමැති වෘත්තියවේදීන් ආණ්ඩුව සමඟ එකතු වී තිබෙනවා. එම ඉදිරි මඟ සකස් කිරීමට ලබන නොවැම්බර් මස 14 වැනිදා මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියා ආරාධනා කරනවා.

Pujya Thissawa Sunanda Himi Addressing The Crowd At The Victory Rally Of Kurunegala

“රට අස්වද්දන්න වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවමු” -ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනන්ද හිමි-

පිං කරනවා කියන්නේ තමන්ගේත් අනුන්ගේත් යහපතට කරන කටයුත්තක්. බෞද්ධයන් හැටියට අපි විවිධ පිංකම් කරනවා. මේ දවස්වල අපි විශේෂයෙන් කඨින පිංකම් කරනවා. ජනාධිපතිවරණයට කලින් සමහරු කීවේ මාලිමාව යටතේත් කඨින පිංකම් කරන්න වෙන්නේ නැහැ කියලා. අපි මේ අවස්ථාවට සහභාගි වෙන්නේ කඨින පිංකම් අවසන් කරලා. ඒ විවිධ පිංකම් අතරේ අපි හැමෝම එක්වී සැප්තැම්බර් 21 වැනිදා විශාල පිංකමක් කළා. මේ රට යහපත් දිසාවකට ගමන් කරවිය හැකි ජනතාවාදී නායකයෙක් පත්කර ගැනීම ඒ මහඟු පිංකමයි. එහි ප්‍රතිඵලයක් හැටියට මේ මාස් කන්නයේ කුඹුරු අස්වද්දන අතර, මුළු රටම අස්වද්දන්නත් ඕනෑ. දුසිරිත නැතිකරලා හොරකම, දූෂණය, වංචාව නැති කරලා හැමදෙනාටම සමාන වූ අයිතිවාසිකම් හා යහපත් වූ සමාජයක් හදන්න රට නමැති කුඹුර අස්වද්දන්නත් ඕනෑ.

ඒ වෙනුවෙන් අපව නියෝජනය කරන අපේ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙන්නේ ඇත්ත, හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ 18 දෙනාගෙන් සුදුසු කෙනෙකුට මනාපය ලබාදී පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා සිටිනවා. මේ රට අස්වද්දන්න මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන අතරේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් යැවීමට සියලු දෙනාටම යෝධ බලය, යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Ashshed Mohommad Mawulawi Addressing The Crowd At The Victory Rally Of Kurunegala

“යුක්තිය වෙනුවෙන් සිදු වන දැවැන්ත පරිවර්තනය සමග එක්වීම මුස්ලිම් ජනතාවගේ වගකීමක්”
-නීතිඥ අස්ෂේඩ් මොහොමඩ් මවුලවිතුමා-

ජාතික ජන බලවේගයට මුස්ලිම් සමාජයේ සහයෝගය ලබාදිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට ප්‍රධාන උත්තර දෙකක් තිබෙනවා. මුස්ලිම් සමාජයේ සියලුම අය සියලුම අවස්ථාවලදී යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන දේ අල් කුරානයේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ආගමෙන් එවැනි නියෝගයක් ලැබුණු සමාජයක් කිසිදු විටෙක අයුක්තිය හෝ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා යුක්තිය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවන අවස්ථාවේ ඒ සමග එක්වීම මුස්ලිම් අපගේ දැවැන්ත වගකීමක් වී තිබෙනවා. ඒ නිසා මෙරට මුස්ලිම් සමාජය අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය සමග එක්විය යුතු බව මම ඔබ හමුවේ කියා සිටිනවා.

ජාතික ජන බලවේගය සමග මුස්ලිම් සමාජය එක්විය යුතු දෙවැනි කරුණ, වී තිබෙන්නේ රට ඉදිරියට ගෙනයන ගමනේදී කිසිදු කොන්දේසියක් නොමැතිව අපගේ සහයෝගය ලබාදිය යුතු නිසයි. එම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එළඹෙන මහා මැතිවරණයේදී තරග වදින ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම සඳහා අවශ්‍ය ශක්තිය සියලු දෙනාට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

G D Sooriyabandara Addressing The Crowd At The Victory Rally Of Kurunegala

“අපේ දරුවන්ට පැහැබර අනාගතයක් ලබාදීම වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕනෑ”
-අදිටන සාමූහිකයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර-

අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනා අපට ශක්තියක්. එළඹෙන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවට මේ එකතු වී සිටින ජනතාව දැක්කාම ස්ථිර වෙනවා. අපේ රටේ දුවා දරුවන්ට නව පැහැබර අනාගත කාල පරිච්ඡේදයක් ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් පිහිටුවන්න ඕනෑ.

දේශපාලන භූමියේදී අනෙකුත් කණ්ඩායම් ජනතාව රවටමින් අසත්‍ය ප්‍රචාර ගෙනයන අතර, ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඔවුන් ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින තරමට අසරණ වී සිටිනවා. ඔවුන් ශක්තිමත් විපක්ෂයක් ඉල්ලන්නේ දූෂිත ප්‍රභූවාදී දේශපාලන සංස්කෘතියේ කාලය අවසන් බව දන්නා නිසයි. නමුත් ගිලිහී යන වරප්‍රසාද රැකගන්න ශක්තිමත් විපක්ෂයකින් හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙවර මහා මැතිවරණයේදී ජනතාව ඔවුන්ට ප්‍රබල පාඩමක් උගන්වනවා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පොළොවේ පය ගසා සිටින හොඳම කණ්ඩායමක් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කිරීම නිසා ඔවුන් තවදුරටත් බංකොලොත් වී සිටිනවා. ජනතාවගේ බදු මුදල්වලින් අනිසි සුඛවිහරණයන් ලබාගත් දේශපාලනය අවසන් කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳව සිහිනය යථාර්ථයක් කර ගන්න අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල තරුණයන් පිරිසක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ සටනේදී මිය ගියා. අපගේ දෙවන මෙහෙයුමේදී එම කැපකිරීම රට ගොඩනැගීමට යොදවමු කියලා ඉල්ලා සිටිනවා.

Geetha Herath Addressing The Crowd At The Victory Rally Of Kurunegala

“අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම ඇරඹෙනවා”
-ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නීතිඥ සංගමයේ විධායක සභික නීතීඥ ගීතා හේරත්-

නිදහස ලබා ගත් පසු 76 වසරක් රට පාලනය කළ පිරිස් කඩා වැට්ටූ රට ගොඩ ගත හැකි බවට විශ්වාසය සියලුම ලාංකිකයන් තුළ දැන් තහවුරු වී තිබෙනවා. දූෂිත ප්‍රභූ දේශපාලනය අපට උරුමකර දී තිබෙන්නේ සියලු ක්ෂේත්‍රවලින් කඩා වැට්ටූ රටක්. එය ගොඩනැගිය හැකි බව විශ්වාස කරන ජාතික ජන බලවේගය ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. තව දින කිහිපයකින් පාර්ලිමේන්තුව ශුද්ධ කිරීම වෙනුවෙන් ශක්තිමත් බලයක් ගොඩනැගිය යුතු වෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කර, මෙතෙක් කාලයේ වැලිතලාවට යටකර තිබූ දේශපාලන අපරාධ විමර්ෂණය කළ යුතු වෙනවා. අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම එයින් ආරම්භ කරනවා. අපි දුප්පත් වී ඉපදුනත් ඒ ලෙසම ජීවත් වී මිය යා යුතු නැහැ. ජාතික ජන බලවේගය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සංකල්පය ඉටුකර ගන්න ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඔබ සියලු දෙනාට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.

Dr Jagath Gunawardena Addressing The Crowd At The Victory Rally Of Kurunegala

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධනීය පියවර ගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තුළින් පමණයි”
-ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍ය සාමූහිකයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ජගත් ගුණවර්ධන-

අද වන විට රෝහල් තුළ වෛද්‍ය සහ බරපතළ ඖෂධ හිඟයක් පවතිනවා. ඒ වගේම රසායනාගාර පහසුකම්, සහ පරීක්ෂණවල බරපතළ අඩාල වීම් දිනපතාම වාර්තා වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 3%ක් වත් සෞඛ්‍යයට යොදවන්න ඕනෑ. අපේ ඉදිරි ක්‍රියාමාර්ග තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සාධනීය පියවර ගණනාවකින් ඔසවා තැබීමේ සැලසුම් සකස් කර අවසන්. ඒ වගේම ජනතාවට පහසුවෙන් ඖෂධ ලබා ගන්න රාජ්‍ය ඔසුසල් සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කරන්නත් ක්‍රියා කරනවා. ඒ වගේම පවුලේ වෛද්‍යවරයෙක් හඳුන්වාදීමේ ක්‍රියාමාර්ගයත් ඊට අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පිහිටුවා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට මුල්තැන දෙනවා. මෙවැනි සාධනීය කරුණු බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදීමෙන් පමණයි.

ජනාධිපතිවරණයේදී අපිට ලැබුණු බහුතර බලය මහ මැතිවරණයෙන් 60% ඉක්මවා ගොස් මේ වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දිය හැකියි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් අය ඒකරාශී කර ගනිමින් විශාල ගමනක් යන්න තිබෙනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.

Ananda Wijepala Addressing The Crowd At The Victory Rally Of Kurunegala

”අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ වගකීම් ඉටුකරන්න අපි සියලු දෙනා බැඳී සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල-

දීර්ඝ කාලයක් අපේ රටේ ගොවියා, ධීවරයා, කම්කරුවා, වෘත්තිකයා ආදී වශයෙන් මෙන්ම තරුණ සහ කාන්තාවන් වශයෙන් නොසැලෙන වීර්යයෙන් යුතු මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැපවීම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවි පවුලක පුතෙකු අපේ ජනාධිපති ලෙස පත්කර ගන්න හැකි වුණා. මේ රටේ දැවැන්ත දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් දැන් මුල පුරා තිබෙනවා. අපි ඔබට ලබාදෙන්නේ පොරොන්දු නොවෙයි. අපි පවරා ගත් වගකීම් පිළිබඳව ප්‍රතිපත්ති පමණයි. මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඒ වගකීම් දැරීම වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමයක් හැටියටයි. අපේ අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ ක්‍රියාමාර්ග වෙනුවෙන් වගකීම් ඉටකරන්න මේ සියලු දෙනා බැඳී සිටිනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.

ලබන ජනවාරි මාසයෙන් පසුව පාසලට ඇතුල්වෙන කිසිදු දරුවෙකුට අධ්‍යාපනයෙන් පිටමං නොවන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මූලික වගකීම ලෙස සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය තහවුරු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගෙන් 80%ක් දෙනා නියැලී සිටින කෘෂිකර්මාන්තය ලාභදායී තත්වයකට ගෙනැවිත් රටේ ජනතාව වෙත ගුණාත්මක ආහාර ලබාදීම සහතික කරනවා. දූෂිතයන් සහ මූල්‍ය අපාරධකරුවන් පැහැරගත් ජනතාවගේ සෑම රුපියලක්ම ආපසු අයකර ගැනීම වෙනුවෙන් දැනටමත් ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. අවසාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව නියෝජනය කරන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම අපේ පාලනය තුළ යථාර්ථයක් බවට පත්කරනවා ඒ වෙනුවෙන් රටට ජයග්‍රහණ ගෙන එන පාර්ලිමේන්තු බහුතර බලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

Namal Karunathilaka Addressing The Crowd At The Victory Rally Of Kurunegala

“අවුරුදු 76ක් රට කාපු අයගේ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න-

ඇදහැලෙන මහා ධාරානිපාත වර්ෂාව හමුවේත් නොසැලී සිටින ජනතාව මහා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව දැනටමත් තහවුරු කර අවසන්. අපේ විරුද්ධවාදීන් මේ වන විට සහල් මිල ඉහළ යාම ගැන කතා කළත් අපේ ජනාධිපති සහෝදරයා වැඩ බාර ගන්නකොට රජයේ වී ගබඩාවල වී ඇටයක්වත් තිබුණේ නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් ටික දෙනෙක් පොහොට්ටුවෙන් සහ සජබෙන් ඡන්දය ඉල්ලන අතර, ඔවුන් ළඟ වී තොග රැස්කරගෙන තිබෙනවා. එන මහ කන්නයේ අස්වනු නෙලීමේ සිට රජයේ වී ගබඩා පුරවා ගොවියාට සාධාරණ මිලක් ලබාදී පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදෙන ස්ථාවර ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මෙන්ම මහා පරිමාණ මෝල් හිමියන් සියලු දෙනාත් සහල් ව්‍යාපාරය තුළ සිටිය යුතුයි. නමුත් කිසි කෙනෙකුට ජනතාව පීඩාවට පත්කිරීමේ බඩ පිනුම්, හිටි පිනුම් ගහන්න දෙන්නේ නැහැ. ඊට අදාළ සැලසුම් අපි සකස් කර තිබෙනවා. වී නිෂ්පාදන වියදම අඩුකර සහල් නිෂ්පාදන පිරිවැයත් අඩු කරනවා. ඊට පසුව සහල් වෙනුවෙන් පාලන මිලක් නියම කරනවා. ඒ ආකාරයටම එළවළු ගොවියාත්, ළුෑණු ගොවියා වගේම පශු සම්පත් ගොවියා වෙනුවෙනුත් නිසි විද්‍යාත්මක සැලසුම් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩපිළිවෙළ සකස් කරගෙන යන අතරේ සතුරු බලවේග ජනතාව නොමඟ යැවීමේ ප්‍රචාර දියත් කර තිබෙනවා. අපි මේ පටන් ගත්තා විතරයි. අවුරුදු 76ක් රට කාපු අය අපට ඇඟිල්ල දික්කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ.

කාබාසිනියා කර තිබූ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ලාභ ලබන්න පටන් ගත්තා පමණක් නොවෙයි, කිරි නිෂ්පාදක ගොවි මහත්වරුන්ට නිසි වෙලාවට මුදල් ගෙවන්නත් කටයුතු කර තිබෙනවා. බංකොලොත් කර විකුණන්න දමා තිබු මිල්කෝ ආයතනය 2004 අනුර සහෝදරයා කෘෂිකර්ම ඇමතිවරයා ලෙසට සිටි කාලයේ ලාභ ලබන්න පටන් ගත්තා. ඒ ලාභවලින් කොටසක් කිරි ගොවියන්ටත් ලබාදුන්නා අන්න ඒ ආකාරයටම වර්තමානයේදී මිල්කෝ ආයතනය ඉන්දියාවේ ‘අමුල්’ සමාගමට විකුණන්න සැලසුම් කර තිබීම පරාජය කර, ලාභ ලබන තත්ත්වයට ගෙනත් තිබෙනවා. ඒ ආකාරයට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ ලබා ගන්න දැනටමත් මුල පුරා තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන්න තිබුණු සියලු සැලසුම් නවත්වා ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ගන්න ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් සුවිශේෂී අපේක්ෂක කණ්ඩායමක් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් මහ මැතිවරණයට මාලිමාව යටතේ ඉදිරිපත් කර සිටිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ කවුරු යැව්වත් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. මහ මැතිවරණයෙන් මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න එක්වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.