Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ජනතාව සිටින්නේ ලංකාවේ අලුත් දේශපාලන පෙරළියක් පිළිබඳ අපේක්ෂාවෙන්” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – කෑගල්ල – 2024.09.10-)

Anura Kumara Dissanayake At The Victory Rally Of Kegalle

සැප්තැම්බර් 21 ඡන්දය එනතෙක් ඔබ ඇඟිලි ගනිමින් බලා සිටින බව මම දන්නවා. හෙට ඡන්දෙ තිබ්බා නම් තවත් හොඳයි කියලා මේ රටේ ජනතාව දැන් හිතනවා. අනෙක් දේශපාලන කඳවුරු සියල්ල දැන් කඩා වැටිලා. අපිට එරෙහිව අවලාද, අසත්‍ය තොරතුරු කරුණු විකෘති කිරීම් හැර දැන් ඔවුන්ට කිසිවක් ඉතිරි වෙලා නැහැ. අද අනාගත සැලැස්මක් සහිත ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්ව තිබෙනවා. ඒ වගේම ඉදිරි ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙනවා. තව දින කිහිපයයි ඡන්දයට තිබෙන්නේ. ඒ දින කිහිපය තුළ කැපවෙලා මහන්සි වෙලා වැඩිම ජයග්‍රහණයක් මේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අරන් දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.

දැන් රාත්‍රි 8.00ටත් කිට්ටුයි. ඔබේ දැස් බලාපොරොත්තුවලින් බරවෙලා බලාගෙන සිටිනවා. ඔබ දශක ගණනාවකට පසු ලංකාවේ අලුත් දේශපාලන පෙරළියක් පිළිබඳව අපේක්ෂාවෙන් බලා සිටිනවා. මේ රටේ ජනතාව අවස්ථා ගණනාවකදීම ආණ්ඩු හදලා, ආණ්ඩු පෙරළලා ඇති තරම් හෙම්බත් වෙලා සිටිනවා. මේ සැප්තැම්බර් 21 මේ රටේ ජනතාව ගන්නේ රට අලුත්ම මාවතකට හරවන තින්දුවක්. අපි ඔබට එකක් කියනවා. ඔබේ බලාපොරොත්තු බිඳකින්වත් බිඳවැටෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ බලාපොරොත්තු ජයග්‍රාහී ලෙස කෙළවර කිරීම සඳහා අපි මැදිහත් වෙනවා. මේ විනාශකාරී දේශපාලනයේ විපාක අපි දශක ගණනාවක් තිස්සේ දැක්කා. මන්ත්‍රීවරු ඇමතිලා වෙනවා. ගල් කොරි දාගන්නවා. පාරට පස් දාගන්නවා. තේ වතු ගන්නවා. පුතාලට අනාගතය සඳහා පාර හදාගන්නවා. රටේ ජනාධිපති පුටුවේ වාඩි කරන්නේ කොහොමද කියලා සැලසුම් හදනවා. මේක තමයි දිගටම වුණේ.

Crowd At The Victory Rally Of Kegalle

කෑගල්ලෙන් ඡන්දෙ කරන්න ගෙවල් තියා ගන්නවා. කොළඹින් ඉන්න ගෙවල් තියා ගන්නවා. නුවරඑළියට ගිහිල්ලා හුළං වදින්න ගෙවල් ගන්නවා. වෙරළ තීරයට ගිහිල්ලා හුළං වදින ගෙවල් ගන්නවා. දරුවන්ට උගන්වන්න එංගලන්තේ ගෙවල් ගන්නවා. ඒ විදිහට තමයි ඒ ගොල්ලෝ දේශපාලනය කළේ. ඒ නිසා දීර්ඝ කාලයක් මේ පාලක කණ්ඩායම් ජනතාවගේ සතුරන් බවට පත්වෙලා මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස්කරමින් මේ රටත් ජනතාවත් විපතට පත්කළා. ඒ ගොල්ලෝ සැපත උරුම කර ගන්න රට වැට්ටුවා. ජනතාව දුප්පත් වුණා. ඒ ගොල්ලෝ පොහොසත් වුණා. මෙය වෙනස් කළ යුතුයැයි ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව අපි කාලාන්තරයක් තිස්සේ දේශපාලනය කරමින් ඉන්නවා. මේ ඉතාමත් දූෂිත පවුල් කිහිපයක් අතේ, පරම්පරා කිහිපයක් අතේ ගොනු කරගෙන තිබෙන දේශපාලනය, අතිශය දූෂිත මේ පාලකයන්ගෙන් මේ රටත් ජනතාවත් මුදා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් අපි දේශපාලනය කළා. එහි ජයග්‍රහණය මේ සැප්තැම්බර 21 වැනිදාට නියතයි; සහතිකයි.

අපි ඉතාමත් සැලසුම් සහගතව මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ පිටුපස්සේ සජිත් ප්‍රේමදාස ගාට ගාට එනවා. රට ගොඩගැනීම පිළිබඳව නොවෙයි. අඩුම තරමේ තමන්ට අනන්‍ය වූ ඡන්ද ව්‍යාපාරයක්වත් ඔවුන්ට කර ගන්න බැහැ. අපි එකක් කළොත් ඒක එයත් කරනවා. අපි වැඩේ මෙගා සයිස් එකට කරනවා. එයා මයික්‍රෝ සයිස් එකට කරනවා. මැතිවණ ව්‍යාපාරයකදි ජනතාව ඉතා හොඳින් සංවිධානය කරන්න ඕනෑ. ඉන් පස්සේ රට හදන බලවේග එකතු කරන්න ඕනෑ. ඒ බලවේග අතරට තමයි මේ බලය මාරු වෙන්නේ. රට හදන්න දැනුම, ඥානය තිබෙන කණ්ඩායම් අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා රටේ විවිධ ක්ෂේත්‍රවල සංවිධාන අපි ගොඩනැගුවා. විවිධ කෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන්, අත්දැකීම්, දැනුම පලපුරුද්ද තිබෙන අය අපි එකතු කළා. මේ රට බාරගන්න සූදානම්, බාරගත් පසු රට ගොඩනගන්න සමත් දැනුම තිබෙන කණ්ඩායම් අපි එකතු කළා. ඒ වගේම අපි වෘත්තිය සමිති ගොඩනගලා ආයතන බිඳවට්ටන වැඩ නොකර අනාගතයේ එම ආයතන හා වෘත්තිය සමිති ව්‍යාපාරය එක්ව නිෂ්පාදනය වැඩි දියුණු කර, රට ගොඩනඟන්න හැකිවන ආකාරයේ වෘත්තිය සමිති ව්‍යාපාර හාවිතයක අපි නිරත වී සිටිනවා. ගොවි ජනතාව එකතු කරලා දැවැන්ත ගොවි ව්‍යාපාරයක් ගොඩනැගුවා. ව්‍යාපාර හා කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර ගොඩනැගුවා. ඒ නිසාමේ මැතිවරණය අපි ගෙනියන්නේ මැතිවරණයෙන් පසු රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන ශකිත්මත්ම බලවේගය ඒකරාශී කරගෙනයි.

Anura Kumara Dissanayake Gifted A Wooden Art

ජාතික ජන බලවේගය මේ ඡන්දයට අවතීර්ණ වෙලා තිබෙන්නේ එය ජයග්‍රහණය කරන්නයි. මෙතෙක් මේ රටේ දියත් වුණු කැත පන්නයේ දේශපාලනය අපි නතර කරන්න ඕනෑ. ඡන්දයක් එනකොට එහෙට පනිනවා. මෙහෙට පනිනවා. එහෙන් ගාණ ගන්නවා. මෙහෙන් ගාණ ගන්නවා. ලංකාවේ තිබෙන්නේ මොන තුට්ටු දෙකේ දේශපාලනයක්ද? ලෝකයේ කොහෙවත් මේ වගේ කැත ලැජ්ජාසහගත දේශපාලනයක් නැහැ. මේ දවස්වල රනිල්ගේ වේදිකාවේ, සජිත්ගේ වේදිකාවේ සිද්ධ වෙන දේවල් දිහා බලන්න. සජිත් ප්‍රේමදාස කියන්නේ මෙලෝ දේශපාලන විග්‍රහයක් නැති හාදයෙක්. සමාජයටම දැන් මේ එහෙන් මෙහෙන් ගන්න එක එපාවෙලා තිබෙන්නේ. ඒක තිත්තවෙලා තිබෙන්නේ. ඒක වත් සජිත්ට තේරෙන්නේ නැහැ. අද පොහොට්ටු දේශපාලනයෙන් කොටසක් රනිල් ළඟ. කොටසක් නාමල් ළඟ. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් 1994 ඉඳලා ඇමති, චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙත් ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති, මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. ගෝඨාභයගේ ආණ්ඩුවෙත් ඇමති. දැන් ඔන්න සජිත්ගේ වේදිකාවේ. මොන තුට්ටුදෙකේ දේශපාලනයක්ද, නාලක ගොඩහේවා ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරපු, කොටස් වෙළඳපොළ භාරව ඉන්න කොට ඒකෙ සල්ලි හොරකම් කරපු, රිමාන්ඩ් වෙලා හිටපු කෙනෙක්. එයා දැන් සජිත්ගේ ගාව. මේ මොන දේශපාලනයක්ද?. ගීතා කුමාරසිංහ ගිය සතියේ එකක් කියනවා. මේ සතියේ තව එකක් කියනවා. ගිය සතියේ කියනවා රනිල් තමයි උතුමා කියලා. මේ සතියේ කියනවා සජිත් තමයි උතුම් කියලා. මේ වගේ දේශපාලනයක් මේ රටට ඕනැද?

ආනමඩුවේ ගුරුවරියක් දණ ගස්සලා ගුරු පරපුරට නින්දා කරපු මිනිහෙක්, දැන් සජිත්ගේ වේදිකාවේ. ක්‍රිකට් කෑව කියලා සජිත්ට කෑගහපු තිලංග සුමතිපාලත් දැන් සජිත්ගේ වේදිකාවේ. පසුගිය කාලේ මහා පරිසර විනාශයක්, කැලෑ විනාශයක් කළැයි කියපු සජිත්ම කිවුව රිෂාද් බදියුද්දීනුත් දැන් සජිත්ගේ වේදිකාවේ. රිෂාද් බදියුද්දීන්ට විරුද්ධව සී.අයි.ඩී.යට ගිහිල්ලා පැමිණිලි කරපු පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන්වහන්සේත් අද සජිත් ගාව. ගස් කපපු කෙනත් එතන. ගස් රකින්න ගිය කෙනෙත් එතන. මොන නිර්ලජ්ජිත දේශපාලනයක්ද මේ? අර්ජුන රණතුංග ක්‍රිකට්වල ආරක්ෂකයා හැටියට පෙනී සිටියා. තිලංග සුමතිපාල ක්‍රිකට් විනාශ කළා කියලා ඔහු කිවුවා. දැන් දෙන්නම එකට සජිත්ගේ වේදිකාවේ. දැන් මාසෙකට විතර කලින් චම්පික රණවක කිවුවේ මොකක්ද? සජිත්ට තිබෙන්නේ ලාමක ටිං ටිං අදහස් කිවුවා. දැන් ඒ චම්පික රණවක අන්න සජිත්ගේ වේදිකාවේ. රිෂාද්ට එරෙහිව ජාතිවාදී වේදිකාවල නැග්ග චම්පික දැන් රිෂාද්ලා සමග එකම වේදිකාවේ.

A Poem Gifting To Anura Kumara Dissanayake

සජිත් මාතර රැස්වීමක් කර තිබ්බා. සජිත් මාතර රැස්වීම්වලට යනකොට රිෂාද් බදියුද්දීන්ව හංගලා චම්පික අරගෙන යනවා. නැගෙනහිර රැස්විම්වලට යනකොට චම්පිකව හංගලා රිෂාද්ව අරගෙන යනවා. මේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයද? ඒ නිසා මේ ඡන්ද කාලෙ බැලුවත් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තිබෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි. අපි ඔය පාර්ලිමේන්තුවේ අපරාධවලට හවුල් වුණු, වංචාවලට හවුල් වුණු එහෙට මෙහෙට පැනපු, ජාතිවාදය අවුස්සපු ඒ කිසිවෙකු ජාතික ජන බලවේගයේ වේදිකාවට අපි ගන්නෙත් නැහැ.

ඒ නිසා මේ ටිකම ඇති කවුද හොඳ, කවුද නරක කියලා තෝරා ගන්න. සැප්තැම්බර් 21 අපි දිනමු. ඊළඟට පාර්ලිමේන්තු ඡන්දයෙත් දිනමු. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලවත් සංශෝධනයක් ගේනවා. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. මේ විකිණෙන, විකුණන දේශපාලනය නතර කරන්න ඕනෑ. දැන් රනිල් කියනවා අනුර යාළුවා මගේ මිත්‍රයා. ඔය එන්නේ ෂේප් එකක් දාගන්න. එයා දන්නවා අපි දිනන බව. හැබැයි ඔයා දීපු ගේම් ගැන අපි පරීක්ෂණ තියනවා. යාළුවාගේ තරම 21 වැනිදායින් පස්සේ ඔයාට බලාගන්න පුවළුන්. ඔයාට ගැලවෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග අපි අනිවාර්යයෙන්ම ගන්නවා. අපිට අවලාද ගහන්න කියන ඩීල් කතාව ඇත්තටම තියෙන්නේ රනිල්ලා, සජිත්ලා අතර, කබීර් හෂීම් ඔයා මීට සති දෙකකට කලින් රනිල්ව හම්බ වුණේ නැද්ද? තලතත් එක්ක ගිහිල්ලා හම්බ වුණේ. මේගොල්ලෝ එකට එකතු වෙලා ඉන්නේ. රෑට රෑට හමුවෙන අය. එල්.ආර්.සී. එකේ ඉඩම් ගත්ත අය. බාර් ලයිසන් ගත්ත අය. කාර් පර්මිට්, පෙට්්‍රල් ෂෙඩ් බෙදා ගත්ත අය.

මහජනයාගේ ධනය නාස්ති කරමින් එකට රට ගිය අය. එකට තියල පරාජය කරන්න සැප්තැම්බර් 21 වැනිදා රටේ මහජනතාව එකට එකතුවෙලා තීන්දු කර හමාරයි. ඉන්පසු මේ කැත මජර දේශපාලන පොරපිටිය, මේ ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය අපි ශුද්ධ කර දානවා. ඊට පස්සේ පියවරෙන් පියවර මේ රට ගොඩනගන්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි සැලසුම් කර තිබෙනවා.

Dr Dhammika Patabendi At The Victory Rally Of Kegalle

“ජාතික ජන බලවේගයේ රාජ්‍ය පාලනයක් ඔබේ ජීවිත ලස්සන කරන බවට සහතිකයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය ධම්මික පටබැඳි-

පක්ෂ දෙකක් මේ රට මෙතෙක් පාලනය කර රට බංකොලොත්භාවයට පත් කළාට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණය තමයි මේක. ඒ වගේම මේ රට බංකොලොත්භාවයෙන් මුදාගන්නා නායකයෙකු එනම් අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරයා වෙන ජනාධිපතිවරණයත් මේක. මේ ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ මෙතෙක් කල් ඡන්දය පාවිච්චි කරපු විධියට නොවෙයි. ජනතාව විශාල ලෙස දේශපාලන ක්‍රියාකාරිත්වයට පැමිණ තිබෙනවා. අවුරුදු 76ක් මේ රට පාලනය කරපු මේ විනාශකාරී පාලකයන් පලවා හැර අනුර සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ රැස්වීම් භූමිය එකම හිස්ගොඩක් බවට පත්වී තිබෙනවා. ඔබ මේ ලබාදී තිබෙන්නේ, කෑගල්ල ජනතාව එක සිතින් අනුර සහෝදරයාව දිනවනවා කියන පණිවුඩය හා සහතිකයයි. සැප්තැම්බර් 21 වැනිදාට මේ රටේ මෙතෙක් පැවැති ඛේදවාචකය අවසන් කර ‘පොහොසත් රටක්, ලස්සන රටක්’ කරන ගමන අපි ආරම්භ කරනවා. ඒ පණිවුඩය අපි අද කෑගල්ල ජනතාව හැටියටත් ලබා දෙනවා.

මේ ජනාධිපතිවරණය අපේ රටට සුවිශේෂී මැතිවරණයක්. අපේ රටේ ඉතිහාසයේ දැවැන්ත ජන අරගලයකින් පසුව පැවැත්වෙන පළමු මැතිවරණය තමයි මෙය. පසුගියදා අපේ රටේ ඇතිවූ අරගලය කියන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගිවූ අරගලයක්. නමුත් ඒ අරගලය අවසන් වුණේ එහි අරමුණු සාක්ෂාත් කරගෙන නොවෙයි. මේ රට වංචාවෙන්, දූෂණයෙන් විනාශ කළ මේ පාලක කල්ලි පලවා හරින එකයි; ඔවුන් කළ මහා අපරාධවලට නීත්‍යානුකූලව දඬුවම් දෙන එකයි; මේ හොර පාලක කල්ලි මේ රටෙන් කොල්ල කාපු මහජන මුදල් හා දේපොළ ආපසු පවරා ගන්න එකයි අරගලයේ ප්‍රධාන අරමුණු අතර වුණා. නමුත් ඒ අරගලය මගින් ඒවා ඉටුකර ගන්න අපිට නොහැකි වුණා. ඒ නිසා ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අද මේ රටේ ජනතාව මේ සැප්තැම්බර් 21 වැනිදාට අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරවන්න එකා වගේ පෙළගැහිලා ඉන්නවා.

මේ මැතිවරණය තමයි ප්‍රතිඵල එන්නත් කලින් ජයග්‍රාහකයා තීරණය කරපු මැතිවරණය. තැපැල් ඡන්දවලින්ම මේ රටේ වැඩකරන ජනතාව එය ඔප්පු කර හමාරයි. මේ මැතිවරණයේ ජයග්‍රාහකයා අනුර කුමාර දිසානායක සහෝදරයා බව දැනටමත් තීරණය වී හමාරයි. නමුත් අපේ කාර්යභාරය මෙතනින් අවසන් නැහැ. මේ 21 වැනිදා දක්වා වෙහෙස නොබලා වැඩ කරලා අනුර කුමාර දිසානායක සහෝදරයා විජයග්‍රහණයක් දක්වා රැගෙන යා යුතුයි. අපේ රටේ ජනාධිපතිවරණයක වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරයෙකු ජයග්‍රහණය කරන මැතිවරණයත් මෙය වෙනවාට සැකයක් නැහැ. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරලා ජනාධිපති වෙලා වාර්තාවක් තියනවා සහතිකයි. ඒ වගේම මේ මැතිවරණය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ශූන්‍ය වූ මැතිවරණයක් බවට පත්වෙන බවත් සහතිකයි.

මට මේ ළඟදි තරුණයෙක් හමුවුණා. ඔහු දැන් නීති විද්‍යාලයේ විභායට සූදානම් වෙමින් ඉන්නේ. මම ඇහුවා ‘කොහොමද’ කියලා. ඔහු කිවුවා ‘හොඳයි’ කියලා. මම ඇහුවා ‘කොහොමද හොඳ වුණේ’ කියලා. ‘මාලිමාවට හොඳයි. ඒ නිසා මටත් හොඳයි’ කිවුවා. ‘මමත් මගේ යාළුවොත් ඡන්දය දෙන්නේ මාලිමාවට තමයි’ කිවුවා. මම ඇහැව්වා මාලිමාවට ඡන්දය දෙන ප්‍රධාන හේතු මොකක්ද කියලා. ඔහු කිවුව දේ තමයි, ‘අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාව විතරයි එහෙට මෙහෙට පනින එවුන් තමන්ගේ තුරුළට ගත්ත නැති එකම පක්ෂය. ඒ නිසා තමයි අපි මාලිමාවට ඡන්දය දෙන්නේ’ කියලා.

මාලිමාව කියන්නේ අනෙකුත් පක්ෂවලට සම කළ හැකි පක්ෂයක් නොවෙයි. වෙනස් දේශපාලන සංස්කෘතියක් සහිත දේශපාලන ව්‍යාපාරයක්. මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙළක් තිබෙන, එය ක්‍රියාවට නගන්න පුළුවන් නිශ්චිත බලවේගයක් සිටින දේශපාලන ව්‍යාපාරයක්. මේ රටේ විද්වතුන් ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ජනතාව විවිධ බලවේග අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා පිටුපස ඉන්නවා. ජාතික ජන බලවේගයේ රාජ්‍ය පාලනයක් තුළ අපි මේ රට පොහොසත් කරනවා, ඔබේ ජීවිත ලස්සන කරනවා කියලා අපි ස්ථිර ලෙසම ඔබට සහතික වෙනවා.