Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අපි හදන්නේ ජනතාවගේ ආත්මගරුත්වය ආරක්ෂා කරන ආණ්ඩුවක්” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී කන්තලේ රැලිය – 2024.08.28-)

Anura Kumara Dissanayake At The Victory Rally Of Kanthale

මේ ලංකාවේ පළමුවැනි වතාවට පැවැත්වෙන්නේ, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ස්වේච්ඡාවෙන් වැඩ කර, ජාතික ජන බලවේගය දිනවන්න වෙහෙසෙන ඡන්දයක්. ඉතිහාසයේ මෙතෙක් ඡන්ද කළේ සල්ලිවලට, බඩුවලට, අරක්කු බෝතලයට, සිල් රෙද්දට. මේ පෙළගැසෙමින් තිබෙන ජනතාවගේ බලය කිසි ලෙසකින් හෝ ආපස්සට හරවන්න බැහැ, මෙය ජයග්‍රහණයෙන් කෙළවර කරන බව සහතිකයි. රාජ්‍ය නිලධාරීන්, පොලීසිය, හමුදාව ජාතික ජන බලවේගයේ බලයක් අපේක්ෂාවෙන් ඉන්න අයයි. මේ ජනතාවගේ බලාපොරොත්තවෙන් යන මේ ගමන මොන ජගතෙකුටවත් ආයේ නම්, නතර කරන්න බැහැ. අපට අවශ්‍ය ශක්තිමත් ජයග්‍රහණයක්. මේ ගමන වෙනස් කරලා, රට ගොඩනඟන, ජනතාවගේ ජීවිතය උසස් කරන දිසාවකට ආණ්ඩු පත්කරන්න ශක්තිමත් තීන්දු තීරණ ටිකක් ගන්න ඕනෑ. එහෙම තීන්දු ගන්න ජනතාවගේ සහාය අවශ්‍යයි. මම ඔබට ආරාධනා කරන්නේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා සැප්තැම්බර් 21 දක්වා වැඩ කරන්න විතරක් නොවෙයි. ආණ්ඩුව හැදුවාට පස්සේ, රට ගොඩනැගීමටත් හැමෝම එකතු වෙලා උරදෙමු. මහන්සි වෙමු. අපේ ජයග්‍රහණයෙන් පස්සේ අපට සහාය නොදුන් කිසිදු වෙනත් පාර්ශ්වයකට නිය තුඩකින්වත් හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. අපට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.

ඉතිහාසයේ හැමදාම අපට ගහගන්න ඉඩ සැලැස්සුවා. හැබැයි රනිලුයි, මහින්දයි කවදාවත් ගහ ගත්තේ නැහැ. ජනතාව දෙකට බෙදිලා ගහ ගත්තා. ඒගොල්ලෝ අතර කවදාවත් වෛරයක් තිබුණේ නැහැ. රනිලුයි මහින්දයි එකතු වෙලා ආණ්ඩු හැදුවා. අපි හැමදාම ගහගත්තා. සැප්තැම්බර් 21 දක්වා අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න වැඩ කරනවා. 22 දායින් පස්සේ පක්ෂ පාට භේදයකින් තොරව අපි හැමෝම එකතු වෙලා රට හදන්න මැදිහත් වෙන ආණ්ඩුවක් හදනවා. ඒ මිත්‍රශීලිත්වය තියෙන්නේ ජනතාවත් එක්ක. ඉහළ අයත් එක්ක නොවෙයි. හැබැයි මහජනයාගේ දේපළ හොරකම්, අපරාධ කර තිබෙනවා නම්, නිීතිය හමුවට ගොස් දඬුවම් දෙනවා. එය පළිගැනීමක් නොවෙයි; යුතුකමක්. ඒ වගේම සොරකම් කරපුවා ආපහු ගන්නත් කටයුතු කරනවා.

80 දශකයේ අග භාගයේ ඉන්දියාව නිෂ්පාදනයෙන් දියුණුව තිබූ රටක් නොවෙයි. ඒ රටේ නායකයන්ට දැක්මක් තිබ්බා නිෂ්පාදනයෙන් ආර්ථිකය උඩට ගේන්න. අද මේ කලාපෙට අවශ්‍ය ඖෂධ, බීජ, ආහාර, ත්‍රී විලර්, බයිසිකල් නිෂ්පාදනය විතරක් නොවෙයි අද හඳට යන්න තරම් දියුණු ආර්ථිකයක් ගොඩනඟා තිබෙනවා. අපේ පාලකයන්ට නිෂ්පාදනය ගැන උනන්දුවක් තිබුණේ නැහැ. ‘බයින් ඇන්ඩ් සෙලින්’ ආර්ථිකයක් තමයි තබුණේ. කන්තලේ සීනි කම්හල, වාලච්චේන, ඇඹිලිපිටිය කඩදාසි කම්හල, තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ රෙදි කම්හල් වැනි සියලුම කර්මාන්ත ශාලා වසා දැමුවා. බඩු ගේනවා, විකුණනවා. ඒක ලාභයි. ඉන්දියාව බයිසිකල්, ත්‍රී විලර්, බෙහෙත්, බිත්තර හදනවා. අපි ගේනවා; පාවිච්චි කරනවා. ඉන්දියාව නිෂ්පාදනයට පණ දුන්නා. අපි නිෂ්පාදනය කඩා වට්ටලා බඩු ගේනවා. විකුණනවා. එහෙම ගේනකොට එයාලට ලාභයි. බිත්තරයකින් රුපියල් 8ක කොමිස් මුදලක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් කෝටි 1500යි. පොල්තෙල්වල බදු වංචාව කෝටි 350යි. පොහොර නැවක් ගෙනවා. එක පොහොර ඇටයක් බෑවේ නැහැ. ඒ වුණාට ඩොලර් ලක්ෂ 60ක් ගෙව්වා. රුපියල් දශලක්ෂ 1800ක් නිකම් ගෙව්වා. ආර්ථිකය හදන්න ඒගොල්ලන්ට වුවමනාවක් තිබුණේ නැහැ. නිෂ්පාදනය කඩා වැටුණාම රට දුප්පත් වෙනවා. වෙන රටවල්වලින් ගේන්න වෙන කොට රට දුප්පත් වෙනවා.

AKD Reading On Stage At The Victory Rally Of Kanthale

අපේ ගම්වල දුප්පත්භාවය පැතිරිලා තිබෙනවා. මේ දුප්පත් බව කොයිතරම් ද කියනවා නම්, අතේ, කරේ, කණේ තිබුණු වළලු, මාල, කරාබු බැංකුවට සින්න වෙලා. ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් ගොඩගන්න ආර්ථික වැඩපිළිවෙළක් ඕනෑ. ඒකෙ ප්‍රධාන වැඩක් තමයි අධ්‍යාපනය. දුප්පත් රේඛාවයි, නූගත් රේඛාවයි තිබෙන්නේ එකට. මේ දුප්පත්භාවයෙන් එළියට එන්න දරුවන්ට හොඳට උගන්වන්න ඕනෑ. අපි ප්‍රධාන වගකීම බාර ගන්නේ අපේ රටේ අධ්‍යාපනය. අද දෙමව්පියන්ට දරුවන්ගේ අධ්‍යාපනය බරක් වෙලා. මෙවැනි තත්වයක් ලෝකේ කොහේවත් නැහැ. අපේ අම්මලා ජීවිත කාලය වැඩිපුර ගෙවන්නේ දරුවන්ට උගන්වන්න. දරුවා හොඳ පාසලකට දාගන්න ඕන වුණහම දෙමව්පියන්ට පදිංචිය මාරු කරන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි සෑම දරුවෙකුටම කිලෝ මීටර් තුනකට මෙහා තිබෙන පාසල් හොඳ පාසලක් බවට පරිවර්තනය කරනවා. විශාල ලෙස ගුරු පුරප්පාඩු තිබෙනවා. ඒ සියල්ල පුරවලා හැම පාසලකටම අවශ්‍ය වන ගුරුවරුන් ලබාදෙනවා. ළමයි 50කට වඩා අඩුවෙන් ඉන්න පාසල් ගැන සලකා බැලීමක් කර පාසල් පද්ධතිය වෙනස් කරනවා. සෑම දරුවෙකුටම නවය, දහය වසරවලට ආසන්නයේදී තේරීමේ විභාගයක් පවත්වනවා. ගුරුවරයා, ළමයා, දෙමව්පියන් සමග සාකච්ඡාවක් කොට ළමයට ඉදිරියට යන්න පාර හදාදෙනවා. සෑම දරුවෙකුටම අධ්‍යාපනයෙන් නිපුණතාවකට යන හෝ වෘත්තිමය නිපුණතාවකින් ඉස්සරහට යන්න මාර්ගය සකසා දෙනවා. එකම දරුවෙකුට හෝ පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. සෑම පවුලකම උගත් දරුවෙක්, ආර්ථිකය සරුකරන දරුවෙක් ඉන්නවා. දුප්පත්භාවයෙන් ගොඩඑන්න නම් හැමෝම අධ්‍යාපනය ලබන්න ඕනෑ.

මේ ප්‍රදේශයේ ජනතාවගේ වැඩි දෙනෙකුගේ ජීවන ආර්ථික මාර්ගය කෘෂිකර්මාන්තය. මේ ගොවි ජනතාව විශාල ණය බරකින් පෙළෙනවා. ජාතික ජන බලවේගයේ අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගොවි ජනතාව ණය බරින් මුදා ගැනීම සඳහාත්, බැංකුවලින් අරගෙන තිබෙන ණයවලින් යම් ප්‍රමාණයක් කපා හරිනවා. ඒ වගේම නැවත ණය නොවෙන්න සංවර්ධන බැංකුවක් ඇති කරනවා. ඉන්දියාවේ, චීනයේ, වියට්නාමයේ හැම රටකම සංවර්ධන බැංකු තිබෙනවා. ගොවීන්ට 1%,- 2% ඉතා අඩු පොලියකට ණය දෙනවා. අපි ක්‍රමානුකූලව ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්නවා. ඒ වගේම අපේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න ඕනෑ. ඉන්දියාවේ බිත්තරයක් ලංකාවේ බිත්තරයකට වඩා මිල අඩුයි. හේතුව නිෂ්පාදන පිරිවැය අඩු වීම. අපේ අස්වැන්න වැඩි කළොත් නිෂ්පාදන පිරිවැය අඩු කරන්න පුළුවන්. අක්කරයකට අස්වැන්න වැඩි කළොත් වී බුසලකට යන වියදම අඩු වෙනවා. අපේ සැලැස්මක් තිබෙනවා වී අස්වැන්න වැඩිකිරීමට. හොඳ බිත්තර වී ලබා දෙන්න ඕනෑ. අපේ බීජ පර්යේෂණායතන සියල්ලම වසා දමා තිබෙනවා. අපි මේ බීජ පර්යේෂණායතනවලට පණ දෙනවා. කන්තලේ ගොවි කණ්ඩායමක් ඉන්නවා. එයාලගේ වැඩේ බිත්තර වී හදන එක. ඒ ගොවි කණ්ඩායමට බිත්තර වී හදන්න බාර දෙනවා. ආණ්ඩුව බීජ ගොවිපළවල් හදනවා, බීජ හදනවා. ගොවියාට සාධාරණ මිලකට බිත්තර වී කිලෝ එකක් ලබා දෙන්න සැලසුමක් හදනවා. අද බිත්තර වී කිලෝ එකක් රුපියල් 500කට වැඩියි. බීජවලින් විතරක් මිල අඩු කරන්න බැහැ. වී වගාවට වතුරත් ඕනෑ. ඒ සඳහා අපේ තිබුණු සුළු හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ. පැරණි වැව් 32,000න් ඉතිරි වෙලා තිබෙන්නේ වැව් 14,000ක් පමණයි. සතියක් වහින කොට ඒ වැව් පිටාර ගලනවා. සති දෙකක් පායන කොට වැව හිඳෙනවා. රොන් මඩවලින් පිරුණු මේ වැව් සුද්ද කරලා, කිසිදු බාධාවකින් තොරව යල කන්නයත් මහ කන්නයත් වගා කරන්න වතුර දෙනවා. ඒ විතරක් නොවෙයි අතර මැද කන්නයක් ගැනත් හිතන්න ඕනෑ. යළි අපේ රටේ කුඹුරේ කන්න තුනක් අස්වැන්න නෙළන්න පුළුවන් විදිහට කෘෂිකර්මාන්තයට අපි උර දෙනවා. කුඹුරට අවශ්‍ය තෙල්, පොහොර ලබා දෙන්න ඕනෙ. අපි ඒ වැඩේ කර දෙන්නම්. ඊළඟට නෙළන අස්වැන්න රැක ගන්න ඕනෑ. සාධාරණ මිලක් දෙන්න ඕනෑ. ඒ සියල්ලම සඳහා අපි සැලසුම් හදා තිබෙනවා. මේවා කරන්න පුළුවන්. අපේ නායකයන්ට කවදාවත් එය කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපි ඒ විදිහට ගොවි ජනතාවගේ ජීවිතය උසස් කරනවා. ඒ විතරක් මදි. තවත් ගම්වල රස්සා ඇති වෙන්න ඕනෑ. කන්තලේ සීනි සමාගම ඒ සඳහා හොඳ තැනක්. යළි ඒක අපි පටන් ගන්නවා.

AKD On Stage At The Victory Rally Of Kanthale

මම ඉඩම් ඇමති කාලෙ, ඕකෙ ඉඩම් අයිතිය තිබුණේ මට. ෆැක්ටරිය අයිතිවෙලා තිබුණේ කර්මාන්ත ඇමති අනුර බණ්ඩාරනායකට. චීන ආයෝජකයෙක් ආවා. අනුර බණ්ඩාරනායකගෙන් මම ඇහුවා මේ වැඩේ අපි කරමුද කියලා. එයා හොරෙක් නොවෙයි. එයා කිවුවා අනුර ඔයාට කැමති දෙයක් කරන්න කියලා. මම ආයෝජකයාට කිවුවා කළු ගඟේ අත්තක් තිබුණා. ඒක ප්‍රතිසංස්කරණය කරලා වගාවට අවශ්‍ය වතුර ගන්න. මම චීන ආයෝජකයාට කිවුවා, ඒ ව්‍යාපෘතිය කරලා, මේ ෆැක්ටරිය පටන් ගන්න කියලා. චීන ආයෝජකයා හා කිවුවා. මම අමාත්‍යාංශය දාලා ආවා. චීන ජාතිකයා චීනෙට ගියා. ඊට පස්සෙ ආව අය පගා ඉල්ලන්න, කොමිස් ඉල්ලන්න පටන් ගත්තා. අපි මේ සීනි සමාගම යළි ආරම්භ කරලා ගොවි ජනතාවගේ ජීවිතයට තවත් ආදායම් මාර්ගයක් ඇති කරනවා.
ඒ වගේම ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්්‍රක් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙට්්‍රක් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්. ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව ආරම්භ කරලා, තෙල් පිරිපහදු කරලා, ගබඩා කරලා, ළඟම තිබෙන වරායෙන් මාර්කට් එකට යවන්න පුළුවන්. ඒ වැඩේ කරන්න පුළුවන් ජාත්‍යන්තර සමාගමකුයි, තෙල් සංස්ථාවයි ඒකාබද්ධ වෙලා නැවත මේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට පණ දෙනවා. දැන් ඒක මළකඩ කමින් තිබෙනවා. අපි ඒක ගොඩ ගන්නවා. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තිබෙනවා. දශක ගණනාවක සිට කුඩා නිස්සාරණයක් කොට අමු වැලි පටවනවා. ජාතික ජන බලවේගයේ අපි අලුත් රසායනික කර්මාන්ත ශාලාවක් ගෙනවිත් වැඩි වටිනාකම් සහිත ඛනිජ නිෂ්පාදනය කරලා, ලෝකෙට විකුණන සැලැස්ම අපි හදනවා. ඒ ඇතුලේ රස්සා ඇති වෙනවා. කන්තලේ ඉන්න දරුවා රස්සා කරන්න කොළඹ යන්න ඕනෑ නැහැ. ඒක ලොකු ව්‍යසනයක්. අද චීනයේ, ෂැංහයි, ඩැකා, චෙන්නායිවලට නාගරික ජනාවාස ප්‍රශ්නයක් වී තිබෙනවා. ගමේ අය ගමේ ඉන්න ගමන් ආර්ථික තත්වයත්, සමාජ ජීවිතයත් උසස් කරන වැඩපිළිවෙළක් තමයි ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්ම වී තිබෙන්නේ. මහ මුහුදේ තිබෙන මාළු සම්පත නෙළා ගන්න අපි වැඩපිළිවෙළ හදනවා. මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම තුළින් රටත් පොහොසත් වෙනවා, ජනතාවත් පොහොසත් වෙනවා.

මේ වැඩේ අද බලය අරගෙන හෙට සිදුවෙන්නේ නැහැ. අපි කවුරුත් අවුරුදු කිහිපයක් දරාගෙන, මහන්සි වෙලා මේක ගොඩගනිමු. එතෙක් ආහාර ගන්න, බෙහෙත් ගන්න, අධ්‍යාපනය ලබන්න, ආබාධිත වී ඉන්න අයට අවම වශයෙන් 10,000 සිට අමාරුම අය සොයා බලා වැඩි මුදලක් සහනාධාර ලෙස ලබා දෙනවා. අපි ණයක් වෙන්න බය, ලැජ්ජා තිබුණු මිනිස්සු. අපි ගෞරවාන්විත විදිහට ගම්වල ජීවත් වුණ මිනිස්සු. පාලකයන් තමා මිනිස්සු නැති බැරි කළේ. හාල් කිලෝ 10ට පොලිමේ ඉන්න සිද්ධ කළා. රනිල් වික්‍රමසිංහ කිව්වේ ‘ෆ්‍රී වයිෆයි’ දෙනවා කියලා. ‘ෆොක්ස්වැගන්’ ගේනවා කිවුවා. ‘බ්‍රේස්ලට්’ දෙනවා කිවුවා. අන්තිමේට හාල් කිලෝ 10ක් දුන්නා. මේ පාලකයෝ අපේ ආත්මගරුත්වය නැති කළා. අපේ කුඹුරුවල ලියැද්දක් විතර කුරුල්ලන්ටත් කන්න ඇරලා දුන්නා. අපි නෙළන අස්වැන්නේ පළමු කොටසින් දානය පන්සලට පූජා කළ මිනිස්සු. එහෙම අපිට අතපාන්න සිදුවෙලා තිබෙනවා. නැවත මේ ගම්වල ජනතාවගේ ආත්මගරුත්වය, පෞරුෂය, බලය ගෙනත් දෙන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපේ යුද්ධය වෙලාවේ විශාල වැඩ කොටසක් කළ සිවිල් ආරක්ෂක බලකායේ ඉන්න අයගේ තෘප්තිමත්භාවය ඇති කරන, ඔවුන්ගේ ශ්‍රමය රටේ ආර්ථිකයට උපයෝගී කර ගත හැකි විදිහටත් අපි සැලැස්ම හදනවා. අපි හැමෝම එකතු වෙලා, පොර බදලා මේ රට දියුණු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුව හදමු. ඒ වෙනුවෙන් මැදිහත් වෙමු.

Aloka Sampath At The Victory Rally Of Kanthale

“තක්කඩි දේශපාලන ක්‍රමය අවසන් කිරීම සඳහා අපි නිවැරදි තීරණයක් ගනිමු”
-රංගන ශිල්පී අලෝක සම්පත්-

මගේ දේශපාලන මතය ප්‍රකාශ කරන්න මම තෝරාගත් මාධ්‍යය තමා කලාව. නමුත් ඒ කලාව විඳින්න පුළුවන් ආර්ථික ශක්තියක්, මානසික සුවයක් අපේ රටේ මිනිසුන්ට තිබෙනවාද කියන එක මට ප්‍රශ්නයක්. අපි මොනතරම් නිර්මාණ කළත් වැඩක් නෑ. ඒ නිර්මාණ රසවිඳින්න ප්‍රක්ෂකාගාරයක් නැත්නම්. ඔබ පොඩ්ඩක් හිතල බලන්න. ඔබේ දූදරුවන් සමග, බිරිඳ සමග, ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග, යාළුවො සමග චිත්‍රපටයක් බැලුවේ කොච්චර කාලෙකින්ද කියල. එච්චර එපා. මේ කන්තලේ වැව් ඉස්මත්තේ ඉඳගෙන ඔබේ දුවට, පුතාට අයිස් ක්‍රීම් එකක්, වඩේ එකක් අරන්දීලා විවේකයෙන් මදක් හෝ ගතකරන්න ඔබට ආර්ථික ශක්තියක් තිබෙනවාද? ඒ අතින් අපි කොච්චර අසරණද? අපි මොනතරම් බලාපොරොත්තු හීන තියාගෙන ජීවත්වන පරම්පරාවක කොටස්කරුවෝද? තමන්ගේ දරුවන්ගේ අනාගතය, මගේ අනාගතය ගැන මම වගේම ඔබත් කොච්චර වද විඳිනවද? තමන්ගේ මව්පියන්ට, නෑදෑයන්ට යුතුකම් ඉටුකර ගන්න බැරිව අපි කොච්චර වද විඳිනවද? ඒක මේ දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනද, නැද්ද කියා ඔබම තීරණය කළ යුතුයි. අපි මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුමයි. අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මේ ක්‍රමය වෙනස් කරන්න සැප්තැම්බර් 21ක අපිට අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ හොර තක්කඩි දේශපාලන ක්‍රමය අවසන් කිරීම සඳහා එදාට අපි නිවැරදි තීරණයක් ගනිමු. මම දන්නවා ඒ වෙනුවෙන් තමයි මගේ ගමේ, කන්තලේ මිනිස්සු, මගේ මිත්‍රයෝ, හිතවතුන් අද වෙනකොට එකතුවෙලා ඉන්නේ කියල.

මම විශ්වාස කරනවා අපිට සතුටින් නිදහසේ ඉන්න පුළුවන් හොඳ ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි කියලා. ඔබත් එය විශ්වාස කරන නිසා තමයි අද මෙම ස්ථානයට රැස්වෙලා ජාතික ජන බලවේගය දිනවන් ඔබේ ශක්තිය එකතු කර තිබෙන්නෙ. ජාතික ජන බලවේගය අපට අපේ දරුවන්ට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දෙන්නට පෙරමුණ ගෙන තිබෙනවා.

Crowd At The Victory Rally Of Kanthale

අපේ රට හා අපේ මිනිස්සු දුප්පත් කළේ ඔබද? මමද? නැහැ. ඒ තත්වයට අපිව හා රට පත් කළේ මේ රට පාලනය කරපු හොර තක්කඩි දේශපාලන රැළක්. ඒ හොර තක්කඩි දේශපාලන කඳවුරු ගෙදර යවන්න සුදුසුම කාලය තමයි මේක. ඒක කරන්න තමයි අපි දැන් ඔක්කොම එකතුවෙලා ඉන්නේ. අපෙන් හොරකම් කරපු ධනය ආපසු ලබාගන්න, හොරුන්ට දඬුවම් දෙන්න, අපේ රටේ දරුවන්ට යහපත් හෙටක් ගොඩනගන්න මේ රටේ මේ වතාවේ පත්වෙන ජනාධිපතිවරයා ඉන්නෙ අපිත් එක්ක.

මේ සැප්තැම්බර් 20දා අපේ නායක, ඔබේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන අපි රට අලුත් දිසාවකට හැරවීම සඳහා පෙරමුණ ගමු කියන ඉල්ලීම මම ඔබට කරනවා. සැප්තැම්බර් 21 මෙරටට බිහිවෙන්නේ 9වෙනි ජනාධිපතිවරයා නෙවෙයි. 21වැනි සියවසට ගැලපෙන දියුණුම නායකයායි. ඔහු අපේ ජනාධිපතිවරයෙක්. මහජනතාවගේ ජනාධිපතිවරයෙක්. ඒ සහතිකය මම ඔබට දෙනවා.

මගේ තාත්තා පට්ට යුඑන්පීකාරයෙක්. මගේ තාත්තා යුඑන්පී වුණ හින්දා මගේ අම්මත් යුඑන්පී වුණා. ඒ දෙන්න යුඑන්පී වුණ නිසා අපේ පවුලේ අනිත් අයත් යූඑන්පී වුණා. හැබැයි මම, 3% කාලයේත් හිටියේ ජාතික ජන බලවේගය එක්ක. අද ඉන්නේත් ඒකත් එක්ක. හෙට ඉන්නේත් ඒකත් එක්ක. දැන් ඇත්ත වටහාගත්තු අපේ පවුලේ අයත් අද ජාතික ජන බලවේගය දෙසට හැරෙමින් තිබෙනවා.

ලබන සැප්තැම්බර් 21වැනිදාට ඔබේ වටිනා ඡන්දය අනුර කුමාර දිසානායක සහෝදරයාට ලබාදී ඔහුව මේ රටේ ප්‍රථම මහජන ජනාධිපතිවරයා කර, ලස්සන රටක් නිර්මාණය කිරීමේ මහඟු කාර්යයට දායක වෙන්න කියල මම මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Sunil Handunneththi At The Victory Rally Of Kanthale

“‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දිය හැක්කේ මාලිමාවට පමණයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගිය නියෝජනය සංකේතවත් කරන දිස්ත්‍රික්කයක්. ඒ වගේම අපි ඉදිරිපත් කරලා තිබෙන සංවර්ධන සැලැස්මට අනුව මෙම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් දිය හැකි බව අපේ දැඩි සැලකිල්ලට ලක්වෙලා තිබෙනවා.
අර පුළුවන් කියන නායකයයි, එයාගේ මාමයි එකතු වෙලා මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වටිනා ස්ථාන හා සම්පත් රාශියක් කුණු කොල්ලයට විදේශවලට විකුණා දමා තිබෙනවා. සමහර ඒවා විනාශ කර දමා තිබෙනවා. රනිල්ට බැරි බව මුළුරටම දන්නවා. ඒ නිසා තමයි පුළුවන් කියන කෑල්ල බලෙන්ම දාගෙන තිබෙන්නේ. අපේ ත්‍රිකුණාමලේ කන්තලේ තිබුණු සීනි කර්මාන්ත ශාලාව අක්කර 2500ක භූමි ප්‍රමාණයක්. ආසියාවේ විශාලම සීනි කර්මාන්ත ශාලාව බවට පත්කරන්න තිබුණු තැන. ඒක නැති කළේ කවුද? රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසලාගේ හවුල් ආණ්ඩු. සුද්දා හදාපු තෙල් ටැංකි ටික අපිට විශාල සම්පතක්. ඒක අපට නැති කළේ කවුද? දැන් ඔය පුළුවන් කියන රනිල්ලාම තමයි. අද අපිට කොටසක් බැරි කරලා, ඉන්දියාවට කොටසක් කරන්න දීලා.

අපේ ජාතික නිෂ්පාදන සැලැස්මේ බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේදී අපේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ඉතා වැදගත්. එය යළි ප්‍රතිසංස්කරණය කර, ඔබට ප්‍රතිලාභ ලබාදීමට අපේ පාලනයක් තුළ අපි ඉක්මනින්ම පියවර ගන්නවා. අනෙක් අතට ත්‍රිකුණාමල වරාය අපේ රටට විශාල සම්පතක්. ඒකෙ පිහිටීම අතින් ලෝකයේම අති විශේෂ වරායක්. එකෙන් අපේ ආර්ථිකය ගොඩනැගීම සඳහා දායක කරගත හැකි අවස්ථාව අපට නැති කළේ කවුද? ඔය රනිල්ලා, රාජපක්ෂලා, ප්‍රේමදාසලා තමයි. ඒ වගේම ඉල්මනයිට් නිධිය මගින් එකතු කළ අගය මත නව නිෂ්පාදන ක්‍රමවේදයකට සකස් කරලා එම ඛනිජ සම්පතින් විදේශ විනිමය උපයා ගන්න තිබුණ අවස්ථාව අපේ රටට ලබා දෙන්න බැරි කළේ මේ පාලකයන් තමයි. අනුර සහෝදරයා ජනාධිපති වූ පසු ජනතාවගේ සහභාගිත්වයත් සමග නවීන තාක්ෂණය යොදා එම සම්පත වැඩිදියුණු කර, රටට විදේශ විනිමය උපයා ගන්න අපි සැලසුම් කර තිබෙනවා. කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය වැනි මහ ගොවි ජනපද ව්‍යාපාර වැඩි දියුණු කරලා, අස්වද්දලා මේ ප්‍රදේශයේ ජනතාවට වගේම රටේ ජනතාවටත් ප්‍රතිලාභ අත්පත් කරලා දෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපි සැලසුම් කර තිබෙනවා.

The Victory Rally Of Kanthale Crowd

පොහොර ටික, බීජ ටික, වතුර ටික වෙලාවට දෙනවා නම් මේ ප්‍රදේශය අස්වද්දලා රටේ ජාතික නිෂ්පාදනයටත් කොටසක් දායක කර දෙන්න සූදානම් බව අපි දන්නවා. මේ දේවල්වලින් ප්‍රයෝජනය ගන්න රනිල්ට, සජිත්ලට, රාජපක්ෂලාට බැහැ කියලා දැන් ඔප්පු කරලා හමාරයි. කිරි කර්මාන්තය ගැන කථා කරනකොට කන්තලේ කිරි කියලා කියන්නේ රට පුරාම ප්‍රසිද්ධ එකක්. ඒ විතරක් නොවෙයි, ධීවර කර්මාන්තය ගත්තත්, මිරිදිය ධීවර කර්මාන්තය කන්තලේ වැව හා ගොඩබිම් ජලාශ ආශ්‍රිතව තිබෙනවා. අනෙක් පැත්තෙන් කින්නියාව වගේ පැතිවලට යන කොට කරදිය ධීවර කර්මාන්තය කරනවා. ත්‍රීකුණාමලයට ගියත්, මුතූර්වලට ගියත් මාළු ටික, කරෝල ටික රටට සපයනවා. ඒ මහා මත්ස්‍ය සම්පත ආර්ථිකයට විශාල වටිනාකමක් එකතු කරන්න පුළුවන් එකක්. නමුත් මේ පාලකයෝ ඒවා සැලකිල්ලට අරන් නැහැ. ඒ ගොල්ලන්ට කරන්නත් බැහැ. දැන් පුළුවන් කිවුවාට එයාලට ඒක කරන්න බැහැ. දැන් ඒ ගොල්ලන්ගේ කාලය ඉවරයි. ඓතිහාසික වටිනාකමක් සහිත සංචාරක ස්ථාන, බෞද්ධ, හින්දු, ඉස්ලාම් පූජනීය ස්ථානවලින්ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අඩුවක් නැහැ. ඒ ආශ්‍රිත විධිමත් සැලැස්මක් යටතේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හැකි වුණොත් අපේ රටට ඩොලර් උපයා ගැනීමේ හැකියාව ඒ තුළින් ලැබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ අපි ඒ දේවල් කරන්න පුළුල් සැලසුම් හදා තිබෙනවා. ත්‍රීකුණාමලය කියන්නේ සංචාරක පුරයක් බවට පත් කරන්න පුළුවන් භූමි ප්‍රදේශයක්. ඒ අනුව අපේ රටේ ආර්ථිකයට විශාල පංගුවක් එකතු කරන්න ඒ මගින් පුළුවන්. මේක ඉතාම සුන්දර දිස්ත්‍රික්කයක්. ඒකෙන් රටට ප්‍රයෝජන අත්කර දෙන්න රනිල්ට බැහැ. සජිත්ටත් බැහැ. රාජපක්ෂලාටත් බැහැ. බැරි බව අමුතුවෙන් කියන්න දෙයකුත් නැහැ. ඔවුන් බැරි බව ඔප්පු කර හමාරයි.

ජාතික ජන බලවේගයට වැඩපිළිවෙළක් නැහැ. ඒ ගොල්ලෝ බලයට ආවොත් රට කරන්නේ කෙහොමද කියලා අසමින් සිටි අයගේ දැන් දෙකොණ පූට්ටු වෙලා. කට උත්තර නැතිවෙලා. දැන් ඒ ගොල්ලෝ තමන්ගේ ප්‍රතිපත්ති හැදීම පැත්තක තියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අල්ලාගෙන කියෝනවා. සමහරු පොටෝ කොපි ගහගෙන කියෝනවා. මේ දවස්වල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරන්නේ සජබයේ කට්ටිය. ඒ ගොල්ලෝ අගෝස්තු 22වැනිදා ප්‍රතිපත්ති දාන්න බලාගෙන හිටියේ. ඒත් දැම්මෙ නැහැ. මේ දවස්වල අපේ එක බලාගෙන පිටපත් කිරීම කරනවා. අපි බලමු කවදාද ඒක එළියට දාන්නේ කියලා. ඒ ගොල්ලන්ට වැඩපිළිවෙළක් නැහැ. මේ කාටවත් එහෙම එකක් නැහැ. මේ රට ගොඩනගන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජනතාවට උරුම කර දිය හැකි විද්‍යාත්මක හා දියුණුව ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.