Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අලුත් පාර්ලිමේන්තුව රැස් වන තුරු ව්‍යවස්ථානුකූලව රට පාලනය කරනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – ජාඇල – 2024.09.04-)

Anura Kumara Dissanayake At The Victory Rally Of Ja-Ela

පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ අපයි. දැන් අපේ ජයග්‍රහණය සහතික කරන්නේ ඔවුන් විසින්මයි. සතියකට කලින් සජබයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ සජිත්-රනිල් එකතු නොවුනොත් ඒ ගොල්ලෝ පරාදයි කියලා කිවුවා. අද (04) අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ කෑ ගහලා කියනවා එකතු වුණේ නැතිනම් පරාදයි කියලා. ඒ නිසා ඊට විරෝධය පා අද සිට ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රිවරයෙක් වෙන බව කියනවා. ඊළඟට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියලා රනිල් කියනවා. ඒ නිසා ‘සජිත්ට ඡන්දය නොදී තමන්ට ඡන්දය දෙන්න’ කියලා එයා කියනවා. ‘රනිල් කොහොමත් පරදිනවා. ජාතික ජන බලවේගය දිනන එක වළක්වන්න නම් සජිත්ට ඡන්දය දෙන්න’ කියලා සජිත්ගේ කට්ටිය කියනවා. දැන් මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? දැන් ඒ ගොල්ලෝ පරාජය බාරගෙන ඉවරයි කියන එකයි. ඒ නිසා අපිට විරුද්ධව කතා ගොතන්න, අවලාද නගන්න, අසත්‍ය චෝදනා කරන තත්වයකට ඒ ගොල්ලෝ පත්වී තිබෙනවා. ඒ මොනවා කළත් ජාතික ජන බලවේගය මේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය මොන ජගතෙකුටවත් ආපසු හරවන්න බැහැ.

අද අපේ ඡන්ද ව්‍යාපාරය කරන එක පොදු ජනතාව බාරගෙන ඉවරයි. කලින් ඒ ගොල්ලෝ කිය කියා හිටියා ‘අයියෝ ජාතික ජන බලවේගය 3%යි නේ. ඒක කොහොමද 51% වෙන්නේ’ කියලා. දැන් රනිල් කියන්න පටන් අරන් අපි දිනුවොත් රට අනතුරේ කියලා. කුරුණෑගල පැත්තේ මන්ත්‍රීවරයෙක් කියනවා ජාතික ජන බලවේගය දිනුවොත් 22දාට රටේ මහා කලබලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා කියලා. සජබෙ තව කාන්තාවක් කියනවා, අපි දින්නොත් මාස 6ක්වත් ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා. දිනන්න තියා හිතන්නවත් බැහැ කියලා ඔවුන් කලින් කිවුවා. දැන් කියනවා ‘දිනුවොත්’ කියලා. ‘ජාතික ජන බලවේගය දිනුවොත් ඔබගේ ඌරු කොටුව නැතිවෙනවා’ කියනවා. ඒ කියන්නේ කොටුවට ඒ ගොල්ලෝ එනවා කියලා හිතලාද දන්නේ නැහැ. ජාඇල තිබෙන ඌරුකොටු වහලා ඒ ගොල්ලෝ ඌරු කොටුවල ගැටගහයි කියලා බයද දන්නේ නැහැ. ඡන්ද ව්‍යාපාරය ආරම්භයේදී ඔවුන් කිවුවා, අපට දිනන්න බැහැ කියලා. මැදදි කියනවා දිනුවොත් කියලා. 22දාට කියයි ‘අපෝ අප්පච්චියේ ඒ ගොල්ලෝ දිනන්නේ’ කියලා. මේ ජයග්‍රහණය දැන් කාටවත් ආපසු හරවන්න බැහැ. ඒ නිසා ජයග්‍රහණයෙන් පස්සේ අපි යන මාවත ගැන අපි පොඩ්ඩක් කථා කරමු.

People At The Victory Rally Of Ja-Ela

අපි ජයග්‍රහණය කළාට පස්සේ අපේ ජනවරමයි, පාර්ලිමේන්තුවේ ජනවරමයි අතර ක්ෂණික විකෘතියක් නිර්මාණය වෙනවා. පොහොට්ටුවට කතිරේ ගහලා නාලක ගොඩහේවාට මනාපෙ ගැහැව්වා. දැන් එයා සජිත් ළඟ. දැන් එතකොට 2020 ජනවරම කෝ. ඒක අහෝසියි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරම්භයේදීම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට කට්ටිය අහනවා එහෙම කරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්වන තුරු කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කලබල වෙන්න එපා. ව්‍යවස්ථානුකූලව අපි ඒ අන්තර් කාලයේ රට පාලනය කරනවා. කොහොමද? එකක් තිබෙනවා. අපි දිනුවම පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරය හිස්වෙනවා. තව කෙනෙකුට එතනට පත්වෙන්න පුළුවනි. හතර දෙනාගෙන් කැබිනට් මණ්ඩලය හදනවා. ඒක ව්‍යවස්ථාවට එකඟයි. එහෙම නැතිනම් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පුළුවනි සියලුම විෂයයන් තමන්ගේ යටතට ගන්න. එහෙමත් නැතිනම් භාරකාර ආණ්ඩුවක් හදන්නත් පුළුවන්. කළ හැකි ආකාර තුනක් තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්නා තුරු ව්‍යවස්ථානුකූලව අපි රට පාලනය කරනවා.

AKD At The Victory Rally Of Ja-Ela

ඊළඟට පාර්ලිමේන්තු ඡන්දය එනවා. දැන් රටේ විශාල කථාබහක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවන්න ඕනෑ කියලා. දැන් ඉන්න අයගෙන් 2/3ක් ඊළඟ පාර්ලිමේන්තුවේ නැති බව අපි දන්නවා. අද පාර්ලිමේන්තුව රැස්වෙලා ආයි කල්තිබ්බෙ ඔක්තෝබර් මාසෙ පළමු වැනිදාට. ඒ අනුව අර 2/3 අයගෙ අන්තිම පාර්ලිමේන්තු දවස අද. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල බහුතරයක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එනවා. ඊළඟට උපරිම 25ක් වූ ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් අපි හදනවා. ඊට විද්‍යාත්මකව විෂයයන් බෙදනවා. මෙතෙක් කල් අමාත්‍යාංශ බෙදුවේ රට ගොඩනගන්න නොවෙයි. තම තමන්ට බෙදා ගන්නයි. අපි ඒ ඒ විෂයන්ට ගැලපෙන ඒකාබද්ධ කිරීම් කරලා අමාත්‍යාංශ බෙදනවා.

අපි මැති ඇමතිවරුන්ට දෙන කාර් පර්මිට් අහෝසි කරනවා. ‘මරික් කාර් පර්මිට්’ද අහෝසි කරනවා. මේ සැරේ කතිරය හරියට ගහන්න. ගෙදර යැවිය යුතු අය ගෙදර යවන්න පුළුවන් එවිටයි. මේ 21 වැනිදා ගහන කතිරයෙන් ගෙදර යන්නේ රනිල් විතරක් නොවෙයි. මේක හරි බලවත් කතිරයක්. අපි දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ යෙදිලා තිබෙනවා. දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. අවලාදවලට ලක්වෙලා තිබෙනවා. මාස 06න් ගෙදර යන්න අපි ආණ්ඩු හදනවාද? නැහැ. මතක තියා ගන්න අපි මේ රටේ ස්ථාවරම ආණ්ඩුව හදනවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ස්ථිරභාවය දැනටම මේ රටේ ජනතාව තහවුරු කරලා ඉවරයි.

Mahinda Pathirage At The Victory Rally Of Ja-Ela

“පාලකයෝ විහිළු සපයනකොට කලාකරුවො වුණු අපිට සිද්ධ වුණා දේශපාලනය කරන්න”
-ප්‍රවීණ රංගන ශිල්පී මහින්ද පතිරගේ-

ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මම රාජ සභාවේ පුරෝහිත. හැබැයි අද මම ආවේ විහිළු කරන්න නොවෙයි. දැන් දවස ගානෙ පාලකයෝ විහිළු සපයමින් යනවා. ඒ නිසා දැන් අපේ ජොබ් එක කැන්සල්. ඉතිං ඒ ගොල්ලෝ විහිළු කරන කොට කලාකාරයෝ වුණු අපිට සිද්ධ වෙලා තිබෙනවා දේශපාලනය කරන්න. අතීතයත්, වර්තමානයත්, අනාගත වුවමනාවත් විසින් නිවැරදි වේදිකාවක් තෝරා ගන්න කියලා අපට බලකර සිටියා. හොඳ තැනක් තෝරා ගන්න අපට ඕනෑ වුණා. අන්න ඒ නිසයි ජාතික ජන බලවේගයේ, මාලිමාවේ වේදිකාව අපි තෝරා ගත්තේ. ජන නියමු කලාකරුවන් හැටිය අපි හැමෝම දැන් මේ වේදිකාවට එකතු වෙලා අවසානයි.

මේ එන සැප්තැම්බර් 08 වැනිදා කලාකරුවන්ගේ රැස්වීමක් පැවැත්වෙනවා. එදාට කලාව ගැන අපේ ප්‍රතිපත්තිය එළි දක්වනවා. එදාට ජාඇල ප්‍රදේශයේ කලාකරුවන්ටත් මම ආරාධනය කරනවා එයට සහභාගි වෙන්න කියලා. එළඹෙන 08 වැනිදා සවස 7.00ට කොළඹ තැප්‍රොබේන් හෝටලයට එන්න, කලාකරු ප්‍රඥප්තිය එළිදක්වන උත්සවයට සහභාගි වෙන්න. අප සමග අදහස් හුවමාරු කරගන්න. මම මගේ කථාව රාජ සභාවෙන්ම කියන්නම්. 2003 වර්ෂයේදී තමයි අපි රාජ සභාව පටන් ගත්තේ. ඒ, දැනට අවුරුදු 21කට පෙරයි. රට යන අත වැරදියි කියලා එදා අපිට කලාකාරයෝ හැටියට තේරුණා. අන්න ඒ නිසා තමයි අපි මාලිමාවේ වේදිකාව තෝරා ගත්තේ. මේ වන විට අපේ “ජන නියමු කලාකරුවෝ ” ව්‍යාපාරය වටා මේ රටේ කලාකරුවන්ගෙන් බහුතරයක් එකතු වී හමාරයි.

Crowd At The Victory Rally Of Ja-Ela

අපි රාජ සභාවෙන් කියන්න හැදුවේ කුමක්ද? පාලකයෝ අපිව රවටපු හැටි. අපි රැවටුණු හැටි, රැවටෙන හැටි හා ඉදිරියටත් එය සිදුවිය හැකි බවට අපි ඒ ප්‍රහසනය හරහා මේ රටේ ජනතාවට අනතුරු අඟවා සිටියා. එදා ඒ ප්‍රහසනය බලලා ඔබ යම් වින්දනයක් ලැබුවාට ඒ පිටුපස තිබුණු දේශපාලන පණිවුඩය ගැන ඔබ එතරම් උනන්දු වුණේ නැහැ. කියන්න සතුටුයි අද අපේ රටේ ජනතාව ඒ පණිවුඩය හොඳින්ම තේරුම් අරන් ඉන්නවා. ඒ ජනතාව මේ දූෂිත පාලකයෝ පන්නා දමන්න දැන් ජාතික ජන බලවේගය වටා රොද බඳිමින් ඉන්නවා. මෙතෙක් රට පාලනය කළ පාලකයෝ ඉන්දියාවේ යාචකයෝ හිඟා කාලා ආධාර පිණිස සල්ලි එවන රටක් බවට අපේ රට පත් කළා. ඒ ඔබ මෙතෙක් කල් ආදරයට කතිරේ ගහපු පාලකයෝ අපිට උරුමකර දුන් රටයි. ඒ කරුමක්කාර උරුමය වෙනස් කරලා ලබන 21 වැනිදාට මේ රට නව පුනරුද යුගයකට රැගෙන යන ගමන අරඹන්න දැන් මේ රටේ මහ ජනතාව තීරණය කර හමාරයි.

JMK Mark At The Victory Rally Of Ja-Ela

“නව පරිවර්තනයකට ජනතාව හදවතින්ම සූදානම්ව සිටිනවා”
-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ.එම්.කේ. මාර්ක්-

මා අවුරුදු 40ක පමණ පොලිස් සේවයේ නියුතු වුණා. මා රටේ සෑම පළාතකම වාගේ සේවය කළා. හොඳ සමාජ, දේශපාලන අත්දැකීම් සම්භාරයක් මට එහිදී ලබා ගන්න පුළුවන් වුණා. අපේ ප්‍රමුඛ රාජකාරිය වුණේ මහජනතාව වෙනුවෙන් නීතිය හා සාමය රැකීම. ඒත් අද නීතිය කඩා වැටෙන තත්වයක් උදාවෙලා. ඒ පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා. සෑම තැනම අපරාධ සිදුවෙනවා. මහ දවාලේ ස්වයංක්‍රීය අවි භාවිතා කරලා අමු අමුවේ මිනිසුන් මරා දමනවා. මේ සත්තු නොවෙයි මිනිස්සු. ඔබට මතක ඇති කටාන සහ මීගමුව ප්‍රදේශවල සිදුවූ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය. ඒක ඉබේ ඇති වූ එකක් නොවෙයි. ඒක පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා. බලයට ගිජු, ජරාජීර්ණ වූ මනස් ඇති දේශපාලනඥයන් තමයි පිටුපස සිට එය මෙහෙය වූයේ. සමස්ත ලෝකෙම එය දැන සිටියා.

සැප්තැම්බර් 21න් පස්සේ බිහිවෙන ජාතික ජන බලවේගයේ රජය මගින් ඒ විෂය පිළිබඳ අත්දැකීම් ඇති විශේෂඥ නිලධාරීන් යොදවලා එම ම්ලේච්ඡ සිදුවීම පිටුපස සිටි සියලු දෙනාටම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවට මම මේ වේදිකාවේ ඉඳන් අද පොරොන්දු වෙනවා. මේ ජාඇල ඉන්න ක්‍රිස්තියානි ආගම අදහන ජනතාවට අපි මේ බව පොරොන්දු වෙනවා. මේක දේශපාලන වේදිකාවක ඡන්දය බලාගෙන දෙන ප්‍රතිඥාවක් නොවෙයි. සත්‍ය වශයෙන්ම හදවතට එකඟව දෙන ප්‍රතිඥාවක්.

අද මෙම ජන රැලියට සහභාගි වී සිටින අති විශාල ජන ගඟ දුටුවහම මට ඇති වෙන්නේ විශාල සතුටක්. මේකෙන් ප්‍රකාශ වෙන්නේ නව පරිවර්තනයකට ජනතාව හදවතින්ම සූදානම්ව සිටින බවයි. අර කන්න බොන්න දීලා ගෙන්නපු ජන කොටසක් නොවෙයි මෙතන ඉන්නේ ඉතාම සංවර ජනතාවක්. මීට වසර දහස් ගණනකට පෙර අපේ රටට කිවුවේ වැව් බැඳි රාජ්‍යය කියලා. වී ගොවිතැන අතින් බව භෝග අතින් රට සශ්‍රීක වුණා. හොඳ ජල කළමනාකරණයක් එදා අපේ රට තුළ තිබුණා. අපේ රටේ සමස්ත භූමියම ගත්තහම අපේ රට සතුවෙලා තිබෙන්නේ ඕනෑම බීජයකට පණ දෙන්න පුළුවන් භූමි ප්‍රමාණයක්. මේ තත්වයට අද මේ පාලකයෝ පත් කරලා තිබෙන්නේ එවැනි සශ්‍රීක රාජ්‍යයක්.

තමන් තමයි මේ රටට යමක් කළේ කියලා මේ පාලකයෝ කියනවා. මොනවාද එයාලා කළේ? දෙගොල්ලක් එකතු වෙලා තට්ටු මාරු ක්‍රමයට බලය බෙදාගෙන මේ රටේ සම්පත්, මහජන ධනය කොල්ලකාලා රට වනසපු එක පමණයි. අපිට මැජික් පෙන්නුවා; ගොනාට ඇන්දුවා. අද අපේ රටේ මහා මාර්ග පද්ධතිය ත්‍රාසජනක අත්දැකීම්වලින් පිරිලා. ගමනක් ගියොත් ගෙදර එනකම් ෂුවර් නැහැ. ආරෝග්‍ය ශාලාවල දෙන බෙහෙත් ගැන ජනතාවට තිබූ විශ්වාසය නැති වෙලා. අද හිටපු සෞඛ්‍ය ඇමති යකඩ කූරු ගණිනවා. මේ මහ හොර කණ්ඩායම් එකතු වෙලා අපිව විකුණනවා. අපේ රටේ දේපොළ විකුණන් කනවා.

අද තැපැල් ඡන්දය ආරම්භ වුණා. පොලීසියෙන් අපට ලැබුණු විශ්වාසනීයම ආරංචිය අනුව අද පොලීසිවල වැඩි ඡන්ද ප්‍රතිශතයක් අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් පාවිච්චි කර තිබෙනවා. දැන් අපිට නිවැරදි දිසාව පෙන්වන මානයක් ලැබී තිබෙනවා. ඒ ලාංඡනය තමයි මාලිමාව. මේ 21 වැනිදාට මේ රටේ සාතිශය බහුතරයක් ජනතාවගේ කතිරය මාලිමාව ඉදිරියේ වදින බව අද මම සහතික කර ප්‍රකාශ කරනවා.