(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී ගම්පහ දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.11 – ගම්පහ නගර සභා පිටිය-)
නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පවත්වනවා. මොකක් වෙයිද? මම දවස් දෙක තුනකට කලින් කිවුවා මේ ඡන්දය දිනනවා. ඇඬෙන්න දිනනවා කියලා. මම දැක්ක දිනන්න කලින්ම කට්ටිය අඬනවා. අඬන්න ඕනෑ. මේ රටට කරපු අපරාධයට. ජනතාව දුක් පීඩාවන්ට හෙළීමට එයාලා අඬන්න ඕනේ. තවම අඬන්න පටන් ගත්තේ නැහැ. මේ රටේ දේශපාලන බලය තිබුණේ පවුල් කිහිපයක් අතේ. සාමාන්‍ය පුරවැසියන් නොසැලකිල්ලට භාජනය කරමින් ඔවුන් රට පාලනය කරගෙන ගියා. දශක හතකට වඩා වැඩි කාලයක් ඔවුන් විරාජමානව මේ රට පාලනය කළා. ඒ පැරණි දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය යටතේ තිබුණු බලය සැප්තැම්බර් 21වැනිදා පොදු ජනතාව අතට මාරු වුණා. එම බල හුවමාරුවේදී විශාලතම පිම්ම අරන් දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි. එය සාමාන්‍ය බල හුවමාරුවක් නොවෙයි. අපේ රටේ දේශපාලන බලය තාත්තා, බිරිඳ, දුව පාලනය කරපු කාලයක් තිබුණා. තව කාලයක තාත්තලා පුතාලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක මාමලා බෑනලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක අයියලා මල්ලිලා අතේ දේශපාලන බලය තිබුණා. ඒ දූෂිත ප්‍රභූ යාන්ත්‍රණයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු කරන්නම් මේ රටේ ජනතාව සමත් වුණා.
ඔවුන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමකට ලක්වේ යැයි ඔවුන් කිසිදා හිතන්න නැතුව ඇති. ඔවුන් හැමදාම හිතුවේ තමන්ගේ පවුලෙන් අනෙකාගේ පවුලට සිදුවන බල පෙරළියක් විතරයි. ඒ නිසා අද ඔවුන් විශාල වේදනාවකට, කෝපයට පත්ව සිටිනවා. මූණ කාගේද බලන්නේ නැතුව ටීවී එක දිහා බලාගෙන ඇහුවොත් මේ දවස්වල කියන්නේ එකම කතාවක්. මොකක්ද ඒ කතාව. සති තුනකින් ආණ්ඩුව වැටෙනවා කියලා. අවුරුද්දයි ආණ්ඩුව වැටෙනවා කියලා. මේ ආණ්ඩුවට පුරුදු නෑ කියලා. ලකුණු ගොඩයි, මූණු ගොඩයි, පාට ගොඩයි. හැබැයි එකම කතාව. එයාලට මේ පරාජය දරාගන්න බැහැ. ඒගොල්ලෝ පරාජයෙන් කම්පනයට පත් වී සිටිනවා. ගම්පහ දේශපාලන බලය හසුරවපු හැටි ඔබ දන්නවා. මිනුවන්ගොඩ පැත්තේ දේශපාලන බලය හසුරවපු අය අද ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. සමහරු හිතනවා මේ පාලනය බිඳ වට්ටන්න පුළුවන් කියලා. මේ රට ගොඩනැගීමකින් තොරව අපි බලය අත්හරින්නේ නැහැ.
සමහරු 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයට මේ පරිවර්තනය දරාගන්න බැහැ. මේ පරිවර්තනය බිඳ දැමීමට ඒගොල්ලෝ කල්පනා කරනවා. ජනතාව කල්පනා කරන්නේ රට දියුණු කරන්නයි. ඒ නිසා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්දය නොදුන් විශාල ප්‍රමාණයක් නොවැම්බර් 14 වැනිදා ඡන්දය ලබා දෙනවා. විපක්ෂයේ කල්පනාව ලංකාව වට්ටන්න. ජනතාවගේ කල්පනාව රට දිනවන්නයි. අපි ඒ අයට අභියෝග කරනවා සැප්තැම්බර් මාසේ 21වැනිදා ගත්ත ඡන්ද ප්‍රමාණවත් ලබා ගන්න කියලා.
මම ඊයේ හිටියේ යාපනය දිස්ත්‍රික්කයේයි. ඒ ජනතාව දීර්ඝ කාලයකට පසුව අපිව වැළඳගෙන තිබෙනවා. සහෝදරයෙක් පණිවිඩයක් එවා තිබෙනවා ඊයේ යාපනයට අවුරුදු වගේ කියලා. උතුරු, දකුණු නැගෙනහිර භේදයකින් තොරව පොදු ජනයාගේ බලාපොරොත්තු අපේ පාලනය කෙරෙහි තබා තිබෙනවා. පැරණි පාලකයාට තිබෙන්නේ මේ රට වට්ටන්නේ කොහොමද කියන බලාපොරොත්තුවයි. ඒ අය කොච්චර ප්‍රතික්ෂේප වෙලාද කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද රැස්වීමක් තිබ්බේ නැහැ. එයාලා සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විශාල අවලාද නැගුවා. අද ඒවා අසත්‍ය බවට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙන්න ඉඩ නොදී ජයග්‍රහණයකින් කෙළවර කිරීම අපේ අරමුණයි.
දේශපාලන බලය කේන්ද්‍ර වී තිබෙන්නේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාව තුළයි. මේ බල ව්‍යුහයන් ඇතුලේ සමීපව දේශපාලන නායකත්වයක් ලබාදීම අවශ්‍යයි. ඒ සඳහා ජාතික ජන බලවේගය කණ්ඩායම් මේ දේශපාලන ව්‍යුහය තුළට ඇතුළත් කළ යුතුයි. අපි පසුගිය දින 48ක කාලය තුළ සිදු කළේ, මේ රට අස්ථාවරභාවයට වැටෙන්න ඉඩ නොදී පවත්වාගෙන යාමයි. රට ඉදිරියට ගෙන යාමට ඉහත කී දේශපාලන ව්‍යුහය සඳහා සමීප දේශපාලන නායකයන් ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට පිරිස් යැවිය යුතුයි. ඒ වෙනුවෙන් මාලිමාවෙන් මේ පාර්ලිමේන්තුව පිරවිය යුතුයි.
එතකොට කට්ටිය කියනවා අපිට හරි පාර පෙන්වන්න ඒගොල්ලොත් පාර්ලිමේන්තු එවන්නලු. ඇති තරම් කැලෑ පාරවල්වල ගිහිල්ලා දැන් කියනවා අපිට හරි පාර පෙන්නන්න පාර්ලිමේන්තු යවන්නලු. මේවා දුකට කියන කතා. මේ පාර හදන්න ඕනෑ ශක්තිමත් ආණ්ඩුවක්. මේ පාර පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුත්තේ ඒ නිසයි.
අපේ රටේ දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. අපේ රටේ දේශපාලකයා බලය ලැබුනහම රිසි රිසිසේ ජනතා මුදල් පාවිච්චි කර තිබෙනවා. වාහන ආනයනය කිරීම තහනම් කාලයේ ඒ අයට වාහන ගෙන්වන්න පුළුවන්. ඒ අය හිතු හිතු දේ කරනවා. එයාලට ලියාපදිංචි නොකර වාහන පාරේ පදවන්න පුළුවන්. එම දේශපාලන අධිකාරියේ හිතුවේ තමන්ට රිසි රිසි දේ කිරීමට දේශපාලනය බලය ලැබී තිබෙනවා කියලයි. තමන්ට හිතුනාම කාබනික එළවලු කන්න ඕනේ කියලා නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ ඉඩමේ මිනිස්සු දාලා එළවළු වගා කරනවා. ජනාධිපති කාර්යාලයේ වාහන 863ක් තියෙනවා. ජනාධිපති ධූරය අතහැර යනකොට වාහනත් අරගෙන යනවා. සේවකයොත් අරගෙන යනවා. ඔවුන් හැමදාම හිතාගෙන හිටියේ ඔවුන්ට රිසිරිසි දේ කරන්න පුළුවන් කියලා.
ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේ රටේ දේශපාලනය ප්‍රමිතිගතකරණය කරනවා. කප්පම් දේශපාලනය නවතා දැමීමට කටයුතු කරනවා. දේශපාලනය පිරිසිදු කරනවා. දේශපාලන පිරිසිදු කරන්න ආරම්භක තැන පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමයි. දැනට තිබුණ පාර්ලිමේන්තුව එහෙට මෙහෙට විකිණෙන පාර්ලිමේන්තුවක්. සභා ගර්භය මැද එකිනෙකා රණ්ඩු කරන පාර්ලිමේන්තුවක්. පාසල් දරුවන්ට නැරඹිය නොහැකි පාර්ලිමේන්තුවක්. එහෙම පාර්ලිමේන්තුවක් මේ රටට ඕනෙද?
අප හදන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නත් පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නත් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතුයි.
මලිමාවෙන් මේ ඉදිරිපත් කර තියෙන කණ්ඩායම හැමදාම ජනතාවගේ පැත්තෙ ඉඳලා සටන් කරපු කණ්ඩායමයි. ඉඳ හිට හරි අනෙක් පැත්තෙන් කෙනෙක් එවනවා නම් එයත් අලුත් කෙනෙක් එවන්න. පරණ නරක ඇබ්බැහි වුණු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට එවීමෙන් පාර්ලිමේන්තුව අපිරිසිදු විය හැකියි.
දැනටමත් අපි තුන්දෙනාගේ ආණ්ඩුව වැදගත් තීරණ කිහිපයක් ගැන තිබෙනවා. මේ රටේ ආර්ථික හීන් නූලකින් ගැටගහලා තියෙන්නේ. ඒ නිසා මෙය සීරුවෙන් පියමන් කරගන්න ඕනෑ. ඒ නිසා අපි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය සමනය කරමින් සිටිනවා. ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන මේ වෙනවිටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් සමග තුන්වන සමාලෝචනය සිදු කරමින් තිබෙනවා. ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් එවිට අපිට අත්පත් කරගන්න පුළුවන්. දෙසැම්බර් මාසය වන විට ඉදිරි මාස හතර සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ලබන වසරේ ඉදිරිපත් කරන අයවැය මගින් ආර්ථික නව දිශානතියක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000ක් වැඩි කර තිබෙනවා. අස්වැසුම තව ලැබිය යුතු කණ්ඩායමක් සිටිනවාද කියා සමාලෝචනය කරමින් තිබෙනවා. ඊළඟ අයවැයෙන් උපයන විට බද්ද සාධාරණ අඩු කිරීමකට ගෙන එනවා. ආහාර පාන කිහිපයක වැට් බද්ද ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදායම් මාර්ග අහිමි පවුල් වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා යම් දීමනාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ලබන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම දීමනාව ලබාදෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 15,000ක පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදී තිබෙනවා. සහනාධාර දීමනාවන් හැමදාම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් වනතුරු යම් දීමනාවක් යම් සහනාධාරයක් ලබාදීමට අප කටයුතු කරනවා.දුප්පත්භාවයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති අපේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආර්ථික, අධ්‍යාපනික වැඩපිළිවෙක් සකස් කිරීමට කටයුතු කරනවා.
‘පිරිසුදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ හැම අතින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. කඩේකට ගියාම හොඳ ආහාර වේලක් ගැනීමේ හැකියාව, පාරෙන් පලතුරු එළවළු ගන්නවනම් එහි ප්‍රමිතිය පිළිබඳව විශ්වාසය, මිනිස්සුන්ට ජරාව කන්න දෙන එක නවත්වනවා. රට පුරා පිරිසිදු වැසිකිලි පද්ධතියක් නිර්මාණය කිරීම, විනයගරුක සමාජයක් ඇති කිරීම, පරිසර පද්ධතිය ආරක්ෂාව මෙම වැඩසටහන යටතේ තිබෙනවා. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ යටතේ ක්‍රියාත්මක කරනවා. කුණු ප්‍රතිචක්‍රීය කිරීම සඳහා කර්මාන්ත ශාලා ඇති කරනවා. මේ කලාපයේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. ඒ සඳහා අරමුදලක් ස්ථාපිත කරනවා.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය පිළිබඳ විශාල සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. දැනට අපේ රටේ රාජ්‍ය සේවය පවතින්නේ මීට දශක දෙකකට පෙර තිබෙන තැනකයි. තවමත් අපේ රටේ උප්පැන්න, ඔප්පු ලබා ගන්න රජයේ ආයතනවල පෝලිමේ ඉන්නවා. මේක දශක දෙකක පෙර ලෝකයයි. ඒ නිසා පෝලිමක් නැතිව ගෙදර සිට පුරවැසියෙකුට තමන්ගේ ඉල්ලීම රජයෙන් කළ හැකි පරිදි ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. ඉදිරි වසර තුන ඇතුළත ලංකාව ඩිජිටල්කරණය කරනවා. මේ සඳහා හාන්ස් විජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. වැටුපක් ගැනීමකින් තොරව එතුමා වැඩ කරනවා. හොඳ මිනිස්සු ආවහම හොඳ මිනිස්සු එකතු වෙනවා.
සංචාරක කර්මාන්තය ආර්ථිකය සංවර්ධනය කරන හොඳ විභවතාවයක් පවතින ක්ෂේත්‍රයක්. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ලබන වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන වසර බවට පත් කරනවා. මේ සම්බන්ධයෙන් හෝටල් හිමිකරුවන් සමඟද සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ රට නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් කරනවා. ඉහළ සිට පහළ පුරවැසියා දක්වාම මේ රටේ නීතියට යටත්. මත්ද්‍රව්‍යයෙන් තොර රටක්, අපරාධවලින් තොර රටක් අප නිර්මාණය කරනවා. රාජ්‍ය දේහය පුරා පැතිරී තිබෙන වංචාව දූෂණය ජාතික ජන බලවේගය විසින් අවසන් කරනවා. ජාතික ජන බලවේගය කණ්ඩායම තමන්ගේ පෞද්ගලික වුවමනාවක් නිසා දේශපාලනය කරන්නේ නැහැ. ණය ගෙවා ගන්න බැරුව, බංකොලොත්භාවයට පත්වී තිබෙන මේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට ජාතික ජන බලවේගය විසින් පත් කරනවා.
මෙච්චර කල් දේශපාලකයා කියන චරිතය පිළිබඳව ජනතාව හිතන් හිටපු ආකාරය වෙනස් වී තිබෙනවා. ජනාධිපති කියලා ලොකු ලෝගු පෙරවාගෙන හිටියේ. දැන් ජනතාවට තේරෙන්න ගන්නවා ජනාධිපතිවරයා, ඇමතිවරයා, මන්ත්‍රීවරයා කියන්නෙත් පොදු ජනතාව සමග වැඩ කරන මිනිස්සු කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැදගත්ම තීන්දුව ගන්න තියෙන්නේ නොවැම්බර් මාසයේ 14වැනිදායි. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
“ජාතික ව්‍යාපාරයක් සමඟ එක් වී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ආඩම්බරයක්”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර-
ද්වේෂසහගත, අසත්‍ය සහ භීෂණකාරී චෝදනා අපට එල්ල කර තිබුණු අවස්ථාවක ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන්න විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය හැටියට අප විශාල දායකත්වයක් ලබා දුන්නා. පෞද්ගලිකව මාව ජනාධිපතිවරණයට පෙර සිටි ඇතැම් බලවේග විසින් හැඳින්වූයේ ත්‍රස්ත කල්ලියක නායකයෙක් හැටියටයි. වවුනියාව, ත්‍රිකුණාමලය ඇතුළු සියලුම දිස්ත්‍රික්කවල පාහේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 50,000ක් පමණ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සමඟ ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරනවා. සැප්තැම්බර් 22 වැනිදා භික්‍ෂුන් ඝාතනය කර මහා ලේ විලක් ඇති කිරීමේ ත්‍රස්ත කල්ලියක නායකයෙක් ලෙස මාව හැඳින්වූවා. අපට තිබෙන්නේ, පණ අදින මිනිසුන්ට අපේ අතින් පණ දෙන්න ගිනි ගන්න තැන ගිනි නිවන්න යෙදවූ දෑත්. යුද්ධය නිමා කළ පසුත් පන්සල්, පල්ලි, කෝවිල් ගොඩනඟන්න වෙහෙස වුණු දෑත් අපට තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් සියුම් ආඩම්බරයක් අපට තිබෙනවා. රට වට්ටා තිබෙන අවස්ථාවක මෙවැනි ජාතික ව්‍යාපාරයක් සමඟ එක් වී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ගැන සියුම් ආඩම්බරයක් තිබෙනවා.
දශක ගණනාවක් පුරා රටට කළ හැකි සියලුම අපරාධ සිදු කළ පිරිස් විසින් හෙළන ලද ප්‍රපාතයෙන් මේ රට ගොඩගැනීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය සහ සාමකාමීම බලහුවමාරුව සිදු කරමින්, ජාතික ජන බලවේගයේ විනය රට හමුවේ ඔප්පු කර තිබෙනවා. අප වාගේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එක් වී සිටින්නේ එවැනි විනයක් සහිත ව්‍යාපාරයක් සමඟයි. ඝාතන රැල්ලක්, මත්කුඩු ඇතුළු ජාවාරම්කාරී රැල්ලක්, කාන්තා හිංසන ඇතුළු අනාරක්‍ෂිත රට නැවත ආරක්‍ෂිත කිරීමට අප කැපවීමෙන් ක්‍රියා කරනවා. මේ රටට අවංකව වැඩ කරලා, කැපවීමෙන් වැඩ කර ලබා ගත් අත්දැකීම් රැසක් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් සියලු දෙනාටම තිබෙනවා. ඒ අත්දැකීම් සමඟින් අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දේශපාලන නායකත්වය දිය යුතු කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් උපරිම ඡන්ද ලබා දී පත් කර ගනිමු කියලා ඉල්ලා සිටිනවා.
“සුදු රෙදි හොරුන්ට රැවටුණු කාන්තාවන් 2023දී ‘ගැහැනු අපි එකමිටට මාලිමාවට’ එකතු වූවා”
-ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික, මහා මැතිවරණ අපේක්‍ෂිකා හිමාලි වීරසේකර-
අද අපට දේශපාලන පිටියේ තරග කරන්න කිසිවෙක් නැහැ. ඒ වාගේම ආණ්ඩුව පිහිටුවන්න මාලිමාව හැර වෙන කිසිවකු ඇත්තෙත් නැහැ. මේ දක්වා වෙනත් පක්‍ෂවලට ඡන්දය දුන් ගම්, දනවු පිටින් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක්වෙමින්, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් ක්‍රියා කරන්න පෙරට එමින් සිටිනවා. මෙපමණ කාලයක් අපේ බහුතර කාන්තාවන් පිරිසක් සුදු රෙදි හොරුන්ට රැවටුණා. ඒ යුගය නිමා කරන්න 2023දී ආරම්භ කළ ‘ගැහැනු අපි එකමිටට’ එකතු වූවා. සක්‍රිය දේශපාලනයට අවශ්‍ය දේශපාලන ඥානය ලබා ගනිමින්, ලංකාව පුරා කාන්තාවන් තවදුරටත් ඒකරාශී වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ඉටු කරන කාර්යභාරය ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි. එහි හැරවුම් ලක්‍ෂ්‍යයන් ලෙස සැප්තැම්බර් 21 වැනිදාත්, නොවැම්බර් 14 වැනිදාත් ලියැවෙන බව ස්ථිරයි. නොවැම්බර් 14 වැනිදා ලබා ගන්නා ශක්තියෙන් පුරවැසියාගේ වැඩ කොටස ඉටු කරමින්, ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවන රටක් හැටියට ශ්‍රී ලංකාව ඔසොවා තබමු. ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දුන් ගම්පහ දිස්ත්‍රික්කය තව දුරටත් ශක්තිමත් කරමින්, මාතෘභූමියේ ජයග්‍රහණයට එක් වෙමු.
“උත්තරීතර පාර්ලිමේන්තුව වචනවලට සාධාරණය ඉටු කරන මිනිසුන් බහුතරයක් පාර්ලිමේන්තු යවමු”
-ප්‍රවීණ රංගන ශිල්පී, රොඩ්නි වර්ණකුල-
ගම්පහට නෑකම් කියන හෙන්රි ජයසේන නම් විශිෂ්ට නාට්‍යවේදියා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘හුණුවටය’ වේදිකා නාට්‍යය මෙරටට හඳුන්වා දුන්නා. ඒ නාට්‍යයේ “දෙයක් වේ නම්, යම් සුදුස්සාටම අයිති විය යුතුයි – ගොවි දන මනා වූ දිනිය යුතු සේම ගම්බිම්” කියන පද අපටම කීවා වාගෙයි. රජරට ගොවි බිමෙන් උපන් පුතකුට මේ රටේ ගොවි බිම් පමණක් නොවෙයි, මුළු රටේම වගකීම් පවරන්න ඔබත්, මමත් පියවර ගත්තා. සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඔබේත්, මගේත් අනුර සහෝදරයා නව වැනි විධායක ජනාධිපති ධුරයට පත් වුණා. විධායකයේ ක්‍රියාකාරීත්වය ගැන සතුටු වන අපට ඊළඟට පැවරී තිබෙන්නේ ශක්තිමත් ව්‍යවස්ථාදායකයක් පත් කර ගන්න. අපේ ජීවිත කාලය තුළ මහා මැතිවරණ කීයක් පසු කළාද? ඒ බොහෝ මැතිවරණ මැතිවරණ නොවෙයි, යුද්ධ. අපේ ආදරණීය පුරවැසියන්ට. යාන-වාහන ඇතුළු දේපොළවලට පමණක් නොවෙයි, ජීවිතවලටත් කොයි තරම් හානි සිදු කළා ද? යුද්ධවලින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ පුද්ගලයන් දිහා බැලුවාම අපි මෙතෙක් කරලා තිබෙන්නේ හොඳම දූෂිතයන් පාර්ලිමේන්තුවට යැවීමයි. ඒ නිසාම දූෂිත ආයතන මඟින් රටට යහපතක් වුණේ නැහැ.
නොවැම්බර් 14වැනිදා කියන්නේ යහපත්, මහත්මා දේශපාලන සංස්කෘතියක පහස විඳිමින්, අපූරු මහා මැතිවරණයක් ලබා ගන්නා දිනයයි. ආසනයේ නැත්නම්, දිස්ත්‍රික්කයේ හොඳම මිනිසුන් තෝරා ගැනීමට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර තිබෙනවා. උත්තරීතර පාර්ලිමේන්තුව කියන ලස්සන සිංහල වචනයට සාධාරණය ඉටු කළේ තුන්දෙනයි. ඉදිරි අනාගතයේ දී උත්තරීතර පාර්ලිමේන්තුව කියන වචනවලට සාධාරණය ඉටු කරන හොඳම මිනිසුන් විශාල බහුතරයක් පාර්ලිමේන්තුවට යවමු. ඒ වෙනුවෙන් ලොකු ගැම්මක් ගම්පහෙන් ලබා දෙන බව ස්ථිරයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කියමන තරමක් වෙනස් කර “රටක් වේ නම් යම්, සුදුස්සන්ටම අයිති විය යුතු” කියන චේතනාවෙන් අපි සියලුම දෙනා වැඩ කරමු.
“මම ජීවත් වන අයර්ලන්තය වැනි තත්ත්වයට අපේ රට ඔසොවා තබන්න ශක්තිමත් පාලනයක් ගොඩනඟමු”
-ජාතික ජන බලවේගයේ අයර්ලන්ත ශාඛාවේ විධායක සභික රුවන් සමරතුංග-
මම අවුරුදු තිස්පහකට වැඩි කාලයක් විදේශගතව ජීවත් වන අතර, එයින් අවුරුදු විස්සකට වැඩි කාලයක් අයර්ලන්තයේ ජීවත් වෙනවා. හොඳ සෞඛ්‍යයක්, හොඳ අධ්‍යාපනයක්, හොඳ ප්‍රවාහනයක් තිබෙනවා වාගේම නීතියේ විධානයේ ආධිපත්‍යය සහ ආර්ථික සාධාරණත්වය පවතින රටක්. මේ 14 වැනිදා අපි ගොඩනඟන ආණ්ඩුවෙන් අපේ රටත් ඒ මට්ටමට ගෙන යාවි කියලා මම විශ්වාස කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා දුන් ශක්තිමත් අත්තිවාරම සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ඔබ සැමට ගෞරවය පුද කරනවා. ඒ වාගේම වාර්තාගත ජයග්‍රහණයක් මේ 14වැනිදා ජාතික ජන බලවේගයට ලබා දෙයි කියලත් විශ්වාස කරනවා. මේ බලවේගය ජයග්‍රහණය කරා ගෙන යන්න නොපසුබස්නා ධෛර්යයෙන් ක්‍රියා කළ සියලු දෙනාටත් ගෞරවය පුද කරනවා.
“දෑස් පෙනෙන ඔබත් එක්ක මාලිමාවට කතිරය ගහන්න දෑස් නොපෙනෙන ලක්‍ෂ නවයක් ඡන්දපොළට එනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක සුගත් වසන්ත ද සිල්වා-
ජාතික ජන බලවේගය මේ වන විට ජයග්‍රහණය කර තිබෙන්නේ හැත්තෑහය වසරක යුද්ධයක්. අපෙන් බලය උදුරාගෙන, අපෙන් බලය කොල්ලකාලා, අපව දුකෙන් දුකට පත් කර සැප වින්ද දූෂිත ප්‍රභූ පංතියක දේශපාලනය අවසන් කළ යුද්ධය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා. ඒ නිසාම ජාතික ජන බලවේගයේ සහෝදරයෙක් විදියට මම ආඩම්බර වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ රටේ මා ඇතුළු ලක්‍ෂ 17ක් පමණ වන ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ඇතුළු කර තිබෙනවා. පොහොසත් රටේ ලස්සන ජීවිතයක් අප හැම දෙනාටම ලබා දෙනවාය යන පොරොන්දුව යථාර්ථයක් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන විසිනව දෙනා අතරට ආබාධ සහිත පුද්ගලයෙක් ඇතුළත් කර තිබෙනවා. එයට ස්තුතිය පළ කරමින්, දෑස් පෙනෙන ඔබත් එක්ක දෑස් නොපෙනෙන ලක්‍ෂ නවයක් ඡන්ද පොළට ඇවිත්, මාලිමාට කතිරය ගහනවා. ඒ වාගේම ශ්‍රවණාබාධිත ලක්‍ෂ ගණනක් දෙනා මාලිමාවට කතිරය ගහන්න එකතු වෙනවා. බුද්ධිවර්ධන ඌණතා තිබෙන පිරිසත් එකතු වෙනවා. ඔවුන් මේ දක්වා තහවුරු කර තිබෙන විශ්වාසයේ ක්‍රියාමාර්ගවලට තවදුරටත් ශක්තිමත් වෙමින්, සියනෑ කෝරලයේ ජනතාව 14 වැනිදා තවත් විශාල බලයක් ලබා දෙනවා. පොහොසත් රටක් අපි බලාපොරොත්තු වෙනවා. පොහොසත් රටක් නම්, ඒ රට ශිෂ්ටසම්පන්න වෙන්න ඕනෑ. අපේ ආබාධිත බව උසුලුවිසුළුවලට ලක් කරන, කොන් කරන රටක් සල්ලිවලින් පොහොසත් වුණොත්, ශිෂ්ටසම්පන්න බවෙන් පොහොසත් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය සල්ලිවලින් වාගේම මනුෂ්‍යත්වයෙන් පොහොසත් රටක්, පිරිපුන් රටක් උරුම කර දෙන බව ඒකාන්තයි. එහෙම නම්, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන සහ වෙනත් ආබාධ සහිත ලක්‍ෂ 17කට අධික ජනතාවටත් ඔබට වාගේම ලස්සන ජීවිත උදා වෙනවා. ඒ තරම් ගැඹුරු හැඟීමක් ආබාධ සහිත ජනතාවගේ ඇති වී තිබෙනවා.
“ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩනඟා ප්‍රතිපත්තිගරුක පුරවැසියන් බිහි කරමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහා මැතිවරණ ජාතික ලැයිස්තු අපේක්‍ෂිකා, මහාචාර්ය වසන්තා සුභසිංහ-
ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින්, සුඛෝපභෝගී ජීවිත ගත කළ දූෂිත දේශපාලකයන් රැළ සහ ඔවුන්ගේ සමීපතම නිලධාරී පැලැන්තියත් ඇතුළු චෞර වළල්ල මේ දක්වා රට විනාශයට ඇද දැම්මා. එය වෙනස් කරන්න නම්, දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව අපි අවධාරණය කළා. පසුගිය අවුරුදු දෙක, තුන තුළ අපි ඔබ හමුවට ඇවිත්, මේ බව තහවුරු කර දුන්නා. අපේ දරුවන්ට බෙහෙත් වෙනුවට වතුර, වස විෂ සහිත ආහාර ලබා දෙන අතර, ඔවුන්ගේ දරුවන්ට සිංගප්පූරුවෙන්, එංගලන්තයෙන් ගෙන්වන බෙහෙත් ලබා දී, වස විෂවලින් තොර ආහාර ලබා දුන්නා. යටිතල පහසුකම්වලට, දේශීය කර්මාන්ත නඟාසිටුවීමට යෙදවිය යුතු අපේ බදු මුදල් ඔවුන් විනාශ කළ නිසා ලක්‍ෂ පනස්හතක් අන්ත දුප්පත්කමට වැටී සිටිනවා. හොරාකමින්, පරිසරය දූෂණය කරමින් අවුරුදු ගණනාවක් දූෂිත පාලනයක් ගෙන යන කොට මහජනතාවත් තම තමන්ගේ පටු අරමුණුවලට ඇදී යනවා. ඒ නිසාම අපි සතුටින් ජීවත් වුණු ජාතියක් නොවෙයි. රෑට නින්දට යන්නේ හෙට උදේට දරුවන් පාසල් යැවීම, ආහාර ලබා දීම, රස්සාවක් ලබා දීම පිළිබඳ ගැටලුවලින් පිරිලයි.
ලස්සන ජීවිත තිබෙන රටක් බවට අපේ රට ගොඩනැඟිය යුතුයි කියන අදහස වටා අපි එක් වූවා. මත්ද්‍රව්‍යවලින් තොර ආරක්‍ෂිත සමාජයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව අපි හැම දෙනාටම දැනුණා. ඒ නිසාම සැප්තැම්බර් 21 වැනිදා නිර්භීත තීන්දුවක් ලබාගෙන එය වඩාත් ශක්තිමත් කිරීමේ අවස්ථාව මේ මස 14 වැනිදාට එළැඹී තිබෙනවා. පිරිසිදු ශ්‍රී ලංකාවක් බිහි කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පිරිසිදු දේශපාලකයන් ජයග්‍රහණය කරවා, ඊ ළඟ පියවර තබන්න අපි සියලු දෙනාම සූදානම්. ශිෂ්ටත්වය පිරි දේශපාලනයක් අපි ඇති කරමු. ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩනඟා ප්‍රතිපත්තිගරුක පුරවැසියන් බිහි කරමු.
“පැරැණි දේශපාලනයට සමු දී නව පුනරුද යුගයක් වෙනුවෙන් පෙළගැසෙමු”
-ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද ජයසිංහ-
දේශපාලන පරිවර්තනවල දී සුවිශේෂී කාර්යභාරයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉටු කර තිබෙනවා. සැප්තැම්බර් 21 සිදු කළ පරිවර්තනයේ දී වැඩිම දායකත්වයක් දැක්වූ ගම්පහ දිස්ත්‍රික්කය මෙම මස 14 වැනිදා තවත් පෙරළිකාරී, විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙනවා. ගම්පහ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, අපනයන කර්මාන්තය වාගේම සංචාරක කර්මාන්තය සහ ක්‍රීඩාව, අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් දරාපු දිස්ත්‍රික්කයක්. අපේ රට ගොඩනැඟීමේ දී සුවිශේෂී දායකත්වයක් මේ දිස්ත්‍රික්කයෙන් ලබා දිය හැකි බව එයින් පැහැදිලියි. පන්, ගිනිකෙළි, පිත්තල, මැටි වාගේම සාම්ප්‍රදායික ලෝහ කර්මාන්තයත් මේ දිස්ත්‍රික්කයට කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ කර්මාන්ත ගොඩනඟන්න පසුගිය පාලන කාලවල දී කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ගම්පහ දිස්ත්‍රික්කය ගොඩනඟන සංවර්ධන සැලැස්ම සකස් කර අවසන්. එහි දී සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කමත් මූලිකව අරගෙන තිබෙනවා. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉහළට ඔසොවා තබා සියනෑ ජනතාවගේ ආර්ථිකය ඉහළට ගෙන ඒම වෙනුවෙන් අප කටයුතු කරනවා. මේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් හතරක් පිහිටා තිබුණත්, අත්‍යවශ්‍ය මූලික පහසුකම් කිසිවක් ලබා දී නැහැ.
අපේ දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම තුළ අංග සම්පූර්ණ රෝහල් බවට සංවර්ධනය කරනවා. ක්‍රීඩාව පැත්තෙන් ගත්තත්, ඉහළින්ම ඔසොවා තැබිය හැකි පිරිසක් වෙනුවෙන් අපේ ක්‍රියාමාර්ග දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට අසාධාරණයට ලක් වී සිටින සණස තැන්පත්කරුවන් ඇතුළු පිරිසගේ ගැටලු විසඳන්නත් අපි සැලැසුම් කර තිබෙනවා. ‘සියනෑව’ කියන්නේ සියක් නෑයන් සිටින දිස්ත්‍රික්කයක්. දමිළ සහ මුස්ලිම් ප්‍රජාවත් නියෝජනය කිරීමේ අපේක්‍ෂකයන් අප ඉදිරිපත් කර සිටිනවා. මේ සියලු දෙනා අතුරින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් වැඩිම නියෝජිතයන් පිරිසක් තෝරා පත් කර යවමු. පැරැණි දේශපාලනයට සමු දී නව පුනරුද යුගයක් වෙනුවෙන් අපි හැම දෙනාම පෙළගැසෙමු. ඒ වෙනුවෙන් මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
“අපි හිටගන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මවුලවි මුනීර් මුලෆ්ෆර්-
මේ රට විනාශ කළ දූෂිතයන් පාර්ලිමේන්තුවට නැවත නොයවන ලෙස මෙතැනට නොපැමිණ සිටින සියලු ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. මේ රට විනාශ කිරීමට මූලික වූ පුද්ගලයන් වෙනත් පක්‍ෂවලින් වාගේම ස්වාධීන කණ්ඩායම්වලිනුත් ඉදිරිපත් වී සිටිනවා. මොන වෙස්මුහුණු බැඳගෙන ආවත්, අපි රැවටෙන්නේ නැහැ. අපි හිටගන්නේ, අපි යන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා. විදේශගත වී සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහත් ශක්තියක් ලබා දුන්නා. ඔවුන් එයින් ඔප්පු කළේ ඔවුන්ගේ හදවත හැම විටම මේ මහ පොළොවත් එක්ක බද්ධ වී තිබෙන බවයි. ඔවුන් හැම අවස්ථාවකදීම මේ රට හොඳ, යහපත්, නිවැරැදි තැනකට පත් කරන්න කල්පනා කරන බවයි. ඒ නිසාම ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් වියදම් කරගෙන පැමිණියා. එසේ පැමිණිය නොහැකි අය ඔවුන්ගේ ඥාති, මිත්‍රාදීන් දැනුම්වත් කර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළා. සිංහල, දෙමළ, මුස්ලිම් වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සියලුම දෙනා එක් වී ශ්‍රී ලාංකිකයි කියන රටක් අපි ගොඩනඟමු. අපි මාලිමාවේ එකට මේ මැතිවරණයට මුහුණ දෙමින්, මේ දක්වා ගොඩනඟා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. අපි ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනඟන්න කැප වී ක්‍රියා කරමු.
“ජාතික සමඟියේ සහ ජාතික විමුක්තියේ ආණ්ඩුව බිහි කර ගනිමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අමාත්‍ය විජිත හේරත්-
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මුළු රටම පාලනය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ අප තුන්දෙනෙක් අතට. කැබිනට් ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති වාගේම කාර්යභාරයක් නොමැති ඇමැති කියලත් ඇමැතිවරුන් එකසිය ගණනක් හිටියා. ඒ ජාතියේ ඇමැතිවරුන් නැවත සදහටම බිහි කරන්නේ නැහැ. ඒක මේ රටේ ජනතාව ලැබූ එක් ජයග්‍රහණයක්. අද මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් දවස. මැතිවරණයක් තිබෙනවාද කියලාවත් දැනගන්න නැහැ. ඉස්සර නම් කොහොමද? මැතිවරණයේ අන්තිම දවස් වෙන කොට ප්‍රතිවාදීන්ට එරෙහිව යුද්ධ කරනවා වාගේම එකම පක්‍ෂයේ හාදයෝත් මනාපවලට යුද්ධ කර ගන්නවා. ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි නිදහස්, සාධාරණ, සාමකාමී මැතිවරණයක් පවත්වන්න ලැබී තිබෙන්නේ මාලිමාවට ඔබ එදා ලබා දුන් කතිරයේ ප්‍රතිඵලය ලෙස ජනතාවට ජයග්‍රහණ ලැබීමෙනුයි. ඒ විතරක් නොවෙයි, ඇමැතිවරුන්, ඔවුන්ගේ ගෝලබාලයන්, පවුලේ අය, ඥාති මිත්‍රාදීන් පාවිච්චි කළ වාහනවල නාස්තිකාර වියදම් සියල්ල නතර වී තිබෙනවා. ඒකත් ජනතාව ලැබූ ජයග්‍රහණයක්. මේ සති හයට ජනතාවට සහනාධාර දීම ඇතුළු ගොඩක් දේවල් සිදු කර තිබෙනවා. අවුරුදු පහක වැඩ ආණ්ඩුව පිහිටුවා තවදුරටත් වේගවත් කරනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස කීවේ, මාලිමාව ජයග්‍රහණය කළහොත්, ඩොලර් එක රුපියල් හාරසියයට නඟින බවයි. දැන් තිබෙන්නේ දෙසිය අනූතුනට. මාලිමාවේ ආණ්ඩුව යටතේ රුපියල ඩොලරයට සාපේක්‍ෂව සියයට දහයකින් ශක්තිමත් වී තිබෙනවා. අප යටතේ කඩාවැටෙනවා කී කොටස් වෙළෙඳපොළ පසුගිය නොවැම්බර් පළමුවැනිදා මේ වසරේ ඉහළම වර්ධනය අත්පත් කර ගත්තා. අයි.එම්.එෆ්. නියෝජිතයන් එක්ක සාකච්ඡා කරමින්, බදු බර අඩු කරන්න, වැටුප් වැඩි කරන්න අදාළ සැලසුම් සකස් කරමින් සිටිනවා.
අපේ පාලනයක් යටතේ ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා ප්‍රචාරයක් යැව්වා. නමුත්, මේ වන විටත් ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, ජපානය විතරක් නොවෙයි, මැදපෙරදිග සහ ඇමෙරිකානු රටවල් මෙන්ම අප්‍රිකානු රටවල් සමඟ පවා ඉතාම හොඳ සම්බන්ධතා පවත්වාගෙන යනවා. අපේ පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දෙන්න චීන රජයෙන් අවශ්‍ය ආධාර හැටියට රුපියල් කෝටි 520ක් ලබා දී තිබෙනවා. පෑලියගොඩ, මොරටුව, කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසක අඩු අදායම්ලාභී පවුල් සඳහා නිවාස 1,996ක් නොමිලේ ඉදි කර දීමේ ව්‍යාපෘතිය අද උදේ ආරම්භ කළා. ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 200ක ආධාරයක් ලබා දෙන්න පොරොන්දු වී තිබෙනවා. ඉන්දියාවත් නව ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් ආධාර කරන්න පොරොන්දු වී සිටිනවා. නතර කර තිබූ ව්‍යාපෘති ගණනාවක් ජපානයෙන් ආරම්භ කරන්න සූදානමින් සිටිනවා. මහනුවර ජලසම්පාදන ව්‍යාපෘතිය, ගුවන්තොටුපොළ ඉදි කිරීම, රූපවාහිනී ඩිජිටල්කරණය ඒ අතුරින් මූලිකයි. ඒ වාගේම ගම්පහ නගරය ජලගැල්මෙන් මුදා ගන්න ලබන අවුරුද්දේ අයවැයෙන් රුපියල් මිලියන 7,500ක් යොදවන්න සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන නිවැරදිව කළමනාකරණය කර ගනිමින්, රටට වාසිදායක ලෙස ඉදිරියට ගෙන යනවා.
රටක් ලෙස ජනතාවාදී ක්‍රියාමාර්ග වේගයෙන් ඉදිරියට ගෙන යන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි. ඉන් පසුව ලබන වසරේදී ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වනවා. පළාත් සභා මැතිවරණත් පවත්වනවා. පළාත් පාලන වාගේම පළාත් සභා මැතිවරණත් ජයග්‍රහණය කර ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල අලුත්ම අලුත් මාලිමාවේ කණ්ඩායමකින් පිරිසිදු කිරීම් ආරම්භ කරනවා. ඒ නිසා රනිල්ලා, සජිත්ලා කියූ බොරු හෙළි වී අවසන්. ශක්තිමත් කරන්න විපක්‍ෂයක් ඉතිරි වෙලත් නැහැ. දැන් තිබෙන්නේ දුක් විඳින ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු කරමින්, ජයග්‍රහණ ලබාගෙන මාලිමාවේ බලය තහවුරු කිරීමයි. නොවැම්බර් 13 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක, සදාදරණීය රෝහණ විජේවීර සහෝදරයාත් ඇතුළු වීරෝදාර සගයන් ඝාතනය කළත්, අවුරුදු තිස්පහකට පසුව ඒ දිවිපිදූවන්ගේ උත්තරීතර බලාපොරොත්තුව ඉටු කිරීමේ දිනය නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. ඒ වීරෝදාර සටන් සගයන්ට උත්තමාචාර පිරිනමමින්, මේ රට ගොඩනඟමු; ශක්තිසම්පන්නව ඉදිරියට එමු. ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික සමඟියේ සහ ජාතික විමුක්තියේ ආණ්ඩුව බිහි කර ගනිමු.