Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ජාතික ජනබලවේග ආණ්ඩුවේ හයිය රදා පවතින්නේ ජනතාව තබන විශ්වාසය මතයි2024දී රට පරිවර්තනය කිරීමට ලැබුණු අවස්ථාව ජයග්‍රහණයකින් තොරව අවසන් කරන්නේ නැහැ”-ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-රට හදන අපි එකට මාලිමාවට – කොළඹ දිස්ත්‍රික් විජයග්‍රාහී ජනරැලිය-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Colombo

අද මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩවල අවසන් දිනයයි. මේක දිනන්නම ඕන ඡන්දයක්. මේ දිනන මැතිවරණය අනෙක් අයට ඇඬෙන්න දිනන්න ඕන. පහුගිය සැප්තැම්බර් මාසේ 21 වැනිදා මේ රටේ සිදුවුණේ සාමාන්‍ය දේශපාලන බරපෙරළියක් නොවෙයි. දූෂිත ප්‍රභූ පැලැන්තියෙන් පොදු ජනතාව අතට බලය හුවමාරු වීම සිදුවුණා. එයාලා හැමදාම කල්පනා කළේ ඒ පවුල් අතරම බලය රඳවා ගැනීමටයි. පහුගිය ජනාධිපතිවරණයදීත් එයාලා හිතුවේ එයාලගේ පවුලේ කාට හරි බලය යයි කියලා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එම කණ්ඩායම් දිහා බැලුවිට ඒක පේනවා. එක් කෙනෙක් ජනාධිපති මාමාගේ බෑනා, තව කෙනෙක්ගෙ තාත්තයි බාප්පයි ජනාධිපති පුතා ජනාධිපති වෙන්න උත්සාහ කළා. තව කෙනෙක්ගේ තාත්තා ජනාධිපති පුතා ජනාධිපති වෙන්න බැලූවා. නමුත් සිද්ධ වුණේ පළමු වතාවට දූෂිත ප්‍රභූ තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට බලය මාරුවෙන එකයි.

එයාලා එයාලගේ ජීවිත කාලේ ඇතුළත මෙවැනි බල හුවමාරුවක් වේ යැයි හිතුවේ නැහැ. ඒ අයගේ පවුල් අතේ බලය කේන්ද්‍ර කරගෙන ඉන්න පුළුවන් කියලා තමයි ඒ අය හිතුවේ. ඒ නිසා මේ ඡන්ද ප්‍රතිඵලය ඒ අය මානසික ආතතියකට පත් කරල තිබෙනවා.

එයාල දැන් කියන කතා හොඳ සිහියෙන් කියන කතා බව පේන්න නැහැ. ඔවුන්ට පරාජය දරා ගන්නත් බැරි තත්වයක් උදාවෙලා. ඒනිසා මොවුන් කියනවා සති තුනෙන් මාස හයෙන් ආණ්ඩුව වැටෙයි කියලා. ඒ සියල්ලම දුකට කියන කතා. මේ දේශපාලන පරිවර්තනය අපි දශක ගානක් බලාගෙන හිටියා. ඒ නිසාම රට ගොඩනැගීමකින් තොරව මේ ගමන ආපස්සට හරවන්න ඉඩ දෙන්නේ නෑ.

අද උතුරේ ජනතාවත් විශාල බලාපොරොත්තුවක් තබාගෙන අප දිහා බලාගෙන සිටිනවා. උතුර, දකුණ නැගෙනහිර, බටහිර මෙන්ම සියලු ආගම් නියෝජනය කරන ජනතාවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අද වන විට ගොඩනැගී තිබෙනවා. එනිසා මේ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් අප බලාපොරොත්තු වෙනවා.

The Crowd At The Victory Rally Of Colombo

දකුණේ දේශපාලන කඳවුරු උතුරට එරෙහිවත් උතුරේ දේශපාලන කඳවුරු දකුණට එරෙහිවත් අපේ රටේ දේශපාලන කඳවුරු බෙදී තිබුණා. රටේ දේශපාලනය බෙදී තිබුණේ එකිනෙකා කෙරෙහි කෝපය, වෛරය, අවිශ්වාසය, සැකය ව්‍යාප්ත කිරීමටයි. නමුත් රටේ ඕනෑම පුරවැසියෙකුට සමගියෙන් දේශපාලනය කිරීමට හැකි දේශපාලන ව්‍යාපාරයක් අද නිර්මාණය වී තිබෙනවා. විවිධ ආකාරයෙන් බෙදී තිබුණු රට, විවිධාකාරයෙන් සැකයෙන් බැලු රට, එක්සත්ව එක්සිත්ව ජාතික ජන බලවේගය කෙරෙහි අපේක්ෂාවකින් බලාගෙනන සිටිනවා. අපේ පාලනය ශක්තිය රඳා පවතින්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය මතයි.

අපේ රටේ දේශපාලන බලය කේන්ද්‍ර ගණනාවකට ව්‍යූහගත වී තිබෙනවා. පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රදේශීය සභාවට දේශපාලන ව්‍යූහය බෙදී ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නොවැම්බර් 14 වැනිදායි. ඉතිරි සෑම ව්‍යූහයකම දේශපාලන බලය අත්පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එමගින් සමීප දේශපාලන නායකත්වයක් සැපයීමට කටයුතු කරනවා. පැරණි දිශාවට දේශපාලනයේ ගමන් කරන්නට අවශ්‍ය නම් සමීප දේශපාලනයක් අවශ්‍ය නැහැ. රට සුබදායි දිශාවකට පරිවර්තනය කරන්න නම් සමීප දේශපාලනයක් අවශ්‍යයයි. නීතියේ විධානයේ ආධිපත්‍ය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට සමීප දේශපාලනයක් අවශ්‍යයයි. ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතුයි.

President AKD Addressing The Victory Rally Of Colombo

විනාශකාරී අත්දැකීම්වලින් පිරී තිබෙන රාජ්‍යයක්, එයින් මුදා ගැනීමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් තහවුරු කළ යුතුයි. ඒ සඳහා ජනතාවට මේ නොවැම්බර් 14දාට අවස්ථාව ලැබෙනවා. එහෙම කියනකොට හිටපු ජානාධිපතිවරයා කියනවා පුරුදු අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. අපි එතුමාට අභියෝග කරනවා එතුමට ඉන්න පුරුදුකාරයෝ දහ දෙනෙක්ගේ නම් කියන්න කියලා. එහෙම කියනවනම් අපි ඒ අය පුරුදු මොනවටද කියලා කියනවා. අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් උනාට දේශපාලනයට අලුත් නෑ. මේ අය තමන්ගේ ජීවිතයම කැප කරලා තිබෙන්නේ දේශපාලනයටයි. මේ රටේ සුගතිය වෙනුවෙන් ඒ අය කටයුතු කරලා තිබෙනවා. ඉඳ හිට හරි විපක්ෂයෙන් කට්ටිය එවනවා නම් අලුත් අය එවන්න. මොකද ඒ අයට අපි පාර්ලිමේන්තුවේ අලුත් පුරුදු කියලා දෙන්නම්.

මේ රට අලූත් දිශාවකට පරිවර්තනය කරන්න, මේ පාර්ලිමේන්තුව ක්ලීන් කරන්න ඕන. අපරාධකාරයෝ හිටිය පාර්ලිමේන්තුවක්, මිරිස් කුඩු කාරයෝ හිටපු පාර්ලිමේන්තුවක්, වංචනිකයෝ හිටපු පාර්ලිමේන්තුවක්, මුදලට විකිණෙන පාර්ලිමේන්තුවක්, දරුවන්ට බලන්න බැරි පාර්ලිමේන්තුවක්. මේ වගේ පාර්ලිමේන්තුවක් රටකට ඕනද? මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕන නැද්ද?
අපි හදන කැබිනට් එක ඇමතිවරු විසිපහට අඩුයි. ඊට අනුරූපී නියෝජ්‍ය ඇමතිකම් පමණයි. ක්‍රමානුකූලව මේ රට අලූත් පරිවර්තනයකට යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රට දේශපාලනයේ ප්‍රමිතිගත කිරීම සිදුකරනවා. මීට පෙර පාලකයින් රිසි රිසි සේ රට පාලනය කළා. වාහන ආනයනය නතර කර තිබියදීත් ඔවුන්ට වාහන ගෙන්වන්න පුළුවන්. වාහන ලියාපදිංචි නොකර මාර්ගය ධාවනය කරන්න පුළුවන්. නුවරඑළියේ ජනාධිපති මන්දිරයට අයත් ඉඩමේ කාබනික එළවළු වගා කරලා වාහන දාලා කොළඹට ගෙනත් ජනාධිපතිට වෙනම පරිභෝජනය කරන්න පුළුවන්. එතකොට කොහෙද දේශපාලනයට ප්‍රමිතියක්. ඒ නිසා දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. පැරදිලා යනකොට වාහන තිහ හතළිහ අරගෙන යනවා. ආරක්ෂාවට 200ක් 300ක් අරගෙන යනවා. පැය විසි හතරෙම තමන්ගේ ගෙදර මිදුලේ ගිලන් රථයක් නවත්තගෙන ඉන්නවා. හමුදා රෝහලට ලියාපදිංචි වෙලා විටමින් වර්ග ගණනාවක් අරගෙන තිබෙන බව ළඟදි හෙළිදරව් වී තිබෙනවා. එම විටමින් වර්ග ප්‍රමාණය බීල නෙමෙයි තියෙන්නේ කාලා. ජනාධිපති ධූරය කියන්නේ තමන්ට ඔරොත්තු දෙන ලෝගුවක් නොවෙයි කියලා ඒ අය පෙන්වලා තිබෙනවා. මේ කැත පන්නයේ දේශපාල සංස්කෘතිය අපි වෙනස් කරනවා. අපේ රටට නව ප්‍රමිතිගත දේශපාලනයක් අප හඳුන්වා දෙනවා.

President Anura Kumara Dissanayake Waaving At The Victory Rally Of Colombo

අපි බලය ගන්නකොට ලැබුණු ආණ්ඩුව ආර්ථිකය වශයෙන් හීන් නූලකින් එල්ලී තිබුණේ. කුඩා හෝ වැරදි දෙයක් සිදුවුණොත් කඩා වැටෙනවා. ඒ නිසා අපේ පළමු අභියෝගය බවට පත්වුණේ ආර්ථිකයට විශාල කම්පනයක් ඇති නොකර ආර්ථික දේහය සමනය කිරීමටයි. ආර්ථිකය යම් සමනයක් අත්පත් කරගන්නේ නැතුව මහා ජයග්‍රහණයකට හරවන්න බැහැ. අපි එම අභියෝගය ජය ගනිමින් තිබෙනවා. ඕනෑම අලූත් ආණ්ඩුවක් පැමිණි විට යම් දෙදරීමක් ඇතිවෙනවා. 2015දී නව ආණ්ඩුවක් බලයට පත්වූ විට කොටස් වෙළඳපල බින්දුවටම කඩා වැටුණා. නමුත් ඊටත් පහළ ආර්ථිකයක් තමයි අපට ලැබුණේ. අපි නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගත්තා. අපි ණය ප්‍රතිව්‍යූහගත කිරීම ආරම්භ කරලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. ලංකාවේ ආර්ථිකයේ ශ්‍රේණිය ඉහළ තලයකට ගෙනයෑමට කටයුතු කරමින් තිබෙනවා. ආර්ථිකය පිළිබඳ ස්ථාවරභාවයක් ඇති නොකර රටක් ලෙස ඉදිරියට ගෙන යන්න බැහැ. ආයෝජකයෝ, කර්මාන්තකරුවන් සැකෙන් ඉන්නවනම් ආර්ථිකය ස්ථාවර වෙන්නේ නැහැ.

එතෙක් ජනතාව බලා ගැනීමේ පියවර ගණනාවක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් මේ වන විටත් ලබා දෙනවා. පෙබරවාරි අග වෙනකොට නව අයවැයක් ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එතෙක් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වනතෙක් කෘෂිකර්මාන්තය පණ ගැන්වීමට කටයුතු කර තිබෙනවා. පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. ධීවරයන් සඳහා ඉන්ධන සහරාධාරයක් ලබා දුන්නා. රාජ්‍ය සේවකයන්ට මීළඟ අයවැයෙන් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දෙනවා. වෘත්තියවේදීන්ට විශාල බරක්ව පවතින උපයන විට බද්ද අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා.

Crowd At The Victory Rally Of Colombo

අපේ රටේ රාජ්‍ය පාලනයේදී, රාජ්‍ය සේවයේදී අප සිටින්නේ ලෝකය සමග බැලු විට ඉතා පිටුපසින්. බදාදට රාජ්‍ය සේවාවන්වල පෝලිම් වැඩිවෙන, තවමත් ලිය කියවිලි සහ ලිපිගොනු, අල්මාරි පවත්වාගෙන යන රාජ්‍ය සේවාවක් තිබෙන්නේ. පුරවැසියාට ගෙදර සිට තමන්ගේ අයදුම්පත යොමු කරමින් සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය අප ඩිජිටල් කරනය තුළින් ඇති කරනවා. ඒ සඳහා ඩිජිටල් ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයෙක් අප සමග ස්වේච්ඡාවෙන් එකතු වී සිටිනවා. රාජ්‍ය ආයතනවලට පත් කරපු සභාපතිවරු ගණනාවක් වැටුප් නොලබා අප සමග වැඩ කරනවා. එයාර් ලංකා එකේ සභාපතිවරයා වැටුපක් ගන්නේ නැහැ. නමුත් හිටපු එයාර් ලංකා එකේ සභාපතිවරයා තමන් එනකම් ගුවන් යානාත් නවත්තගෙන හිටියා.

අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. උතුරේ සමහර ප්‍රදේශ මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වෙමින් තිබෙනවා. ඒ වගේම මේ රටත් නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ගොදුරු බවට පත්වී තිබෙනවා. කේරල ගංජත් එහෙමමයි. මත්කුඩු විශාල ලෙස පැතිරෙමින් තිබෙනවා. මේ රට කුඩුවලින්, මත්ද්‍රව්‍යවලින් ගලවා ගන්නා බවට අපි සහතිකයක් දෙනවා. අපි දන්නවා අපේ රටේ මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පිටුපස ඉන්නේ දේශපාලකයෝ කියලා. මේක නතර කරලා දරුවන් මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්වෙන එක වළක්වන්න අපි කටයුතු කරනවා. අපි ආර්ථික වශයෙන් කඩා වැටිලා තියෙන්නේ. ඒ නිසා රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩ නැගිය යුතුයි.

President AKD With Harshana Nanayakkara And Lakshman Nipuna Arachchi At Stage Of The Victory Rally Of Colombo

පරන්තන් රසායනාගාරය නැවත අරඹනවා. එප්පාවල පොස්පේට් නිධිය භාවිතා කරලා පොහොර නිෂ්පාදනය ආරම්භ කරනවා. ඊට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයට පරන්තන් කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. යාපනයේ සිමෙන්ති කම්හල ආරම්භරනවා. වාලච්චේන කඩදාසි කම්හල අපි ආරම්භ කරනවා. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය නිස්සාරණය කරනවා. කර්මාන්තවල නව අවධියක් ඇති කරනවා.

අපේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය විශාල ප්‍රමාණයකින් වැඩිවෙලා තිබෙනවා. අමාරුවෙන් ආහාර වේලක් සපයා ගන්න මිනිස්සු, දුගීභාවය පෙන්නුම් කරන මිනිස්සු, මම හොඳට දැක තිබෙනවා. අපි අවුරුදු 75ක් අසූවක් ජීවත් වෙනවා, මේ අයට හොඳ ආහාර වේලක්, හොඳ සෞඛ්ය සම්පන්න දිවියක්, නිවසක් ලබාදීම, මානසික සුවයක් ලබාදීම, මුහුණේ සිනාවක් සහිත මිනිසුන් බවට පත්කිරීමට අපි කටයුතු කරනවා. දුප්පත්භාවයේ වේදනාව දැකපු මිනිස්සු හැටියට අපි ඒක කරන්නේ නැත්නම් කවුද කරන්නේ? දුප්පත්භාවයේ ඛේදවාචකයෙන් අපි මේ රටේ ජනතාව මුදා ගන්නවා.

මේ රට වෙනස් කිරීමට පරිවර්තනය කිරීමට අප සූදානම් නැත්නම් වෙනස් කරන්න කිසිවෙක් නැහැ. 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට මේ රට වෙනස් කරගන්න අවස්ථාව ලැබුණා. එතුමිය අවුරුදු 11ක් රට පාලනය කළා නමුත් රට වෙනස් කළේ නෑ. ඊළඟ අවස්ථාව ලැබුණේ 2019 වසරේදීයි. එහිදී රට වෙනස් කරන්න තියා ගෝඨාභය රාජපක්ෂටත් වෙනස් වෙන්න විදියක් නැති වුණා. එතුමා වසර දෙකහමාරෙන් ගෙදර ගියා. ඊළඟ අවස්ථාව ලැබුණේ 2024 දී අපිටයි. අපි මේ රට පරිවර්තනය කරන එක ජයග්‍රහණයකින් තොරව අවසන් කරන්නේ නැහැ.