Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජනාධිපතිවරයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරනවා. බලයේ ඉන්නකොටත් මහජනයාගෙන්ම යැපිලා, විශ්‍රාම ගිය පසුත් මහජන මුදලින් යැපෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරනවාජනාධිපති අනුර කුමාර දිසානායක

(-රට හදන අපි එකට මාලිමාවට බදුල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී ජනතා රැලිය 2024.11.03-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Badulla

ජනාධිපතිවරණයේදී අප ඉතාමත්ම අසීරු කඩයිම පැන්නා. දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ තිබුණා. ඒ හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළේ ඒ අයයි. ඒ අය බෙදිලා ඡන්ද කරලා පස්සේ එකට එකතුවෙලා ආණ්ඩුව හැදුවා. දීර්ඝ කාලයක් එහෙට මෙහෙට දේශපාලන බලය මාරුණා. නමුත් පහුගිය ජනාධිපතිවරණයේදී බලය ජනතාව වෙත මාරු වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී බදුල්ලට කොළඹින් නායකයෝ ආවා. ජනාධිපති ආවා. හිටපු ජනාධිපතිලා ආවා. දැන් එනවද? මැයි දිනයට ඇවිත් කිව්වා වතු ජනතාවට රුපියල් 1700ක් දෙනවා කියලා. රජයේ සේවකයින්ට වැටුප් වැ ඩිකරනවා කිව්වා. කළාද? ඒ වගේම ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් වෙන දේවල් පිළිබඳ විශාල අවලාද ප්‍රමාණයක් කිව්වා. ඔවුන් තමන්ගේ අතින් බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා සෑම ශතයක්ම වියදම් කළා. ඒවට මාධ්‍ය භාවිතා කළා. ඔවුන්ගේ අතේ බලය තියාගන්න උපරිම වෙර වීරිය දැම්මා. ඔවුන්ගේ උපරිම බලය පරාජය කරලා මහජන බලය ඉස්මතු කිරීමට සැප්තැම්බර් 21 වන සමත් වුණා. දීර්ඝ කාලයක් ඔවුන් අතේ තිබුණු බලය මේ රටේ ජනතාවගේ මැදිහත්වීම මත පරාජයට පත් කළා.

සමහර අය කියනවා ඡන්දෙ ටිකක් කම්මැලයි වගේ කියලා. දැන් හාල් බෙදන්න එනවද? බස් බෙදන්න එනවද? නැහැ. ඒ අය ස්වේච්ඡාවෙන්ම පරාජය බාරගෙන ඉවරයි. ඉස්සර කොළඹින් බදුල්ලට ආපු නායකයෝ දැන් කොළඹ ඉඳන් තමන්ගේ ඡන්දය කරනවා. සමහර නායකයෝ 1977 පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නේ. මන්ත්‍රීකම, ඇමතිකම, කතානායකකම, විපක්ෂනායකකම, අගමැතිකම, ජනාධිපති ධුරය ඒ සියල්ල දැරුවා. නමුත් ඡන්ද පැරදුනා. අවුරුදු 47ක් පාර්ලිමේන්තු ඉදලා විශාල මන්ත්‍රීකම්, ඇමතිකම්, විපක්ෂයනායකකම් අරගෙන නැවත නැවත ආයි එන්න හදනවා. ඒ අයට පරාජය දරාගන්න බෑ. මීට කලින් පැරදුනාට අවුලක් නෑ. මොකද පැරදුනේ ඒගොල්ලන්ගේම පැලැන්තියේ අයටයි. එයාලා හැමදාම හිතුවේ එයාලගේ පන්තිය අතේ බලය තියාගන්න පුළුවන් කියලයි. මේ වසර 76ම ඒගොල්ලන්ගේ පන්තිය අතේ බලය තිබුණේ. පවුලෙන් පවුලට බලය මාරු වුණා මිස ජනතාව අතට බලය මාරු වෙලා නැහැ. වෙනදා පරාජයන් දරාගන්න පුළුවන්. පරදින්නේ තමන්ගේ කෙනෙක්ටමයි. දිනන්නේ තමන්ගේ කෙනෙක්මයි නිසා. නමුත් මේ පරාජය ඔවුන්ට දරාගන්න බැහැ. ඔවුන් හිතනවා ඔවුන් ඉපදිලා ඉන්නෙම මේ රට පාලනය කරන්න කියලා. පොදු ජනතාව ඉන්නේ එයාලව නඩත්තු කරන්න කියලා. ඒ අය වේදිකා ගානේ ඇවිල්ල කියන්නේ දුක. ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ රට හදලා මිසක් නැවත හැරෙන්නේ නැහැ.

The Victory Rally Of Badulla Crowd

ඇතැම් ආණ්ඩු ඉතිහාසයේ අතරමග වැටිලා තියෙනවා. 2002 හදපු ආණ්ඩුව 2004 වැටුනා. මතක තියාගන්න ඒ වැටුන නෙමෙයි අපි එකතුවෙලා වැට්ටුවා. 2020 හදපු ආණ්ඩුව 2022 ජනතාව පලවා හැරියා. අතරමඟ ආණ්ඩු වට්ටල තියෙන්නේ ජනතාවයි. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබුණා. කැබිනට් මණ්ඩලයේ ඥාතීන් අටදෙනෙක් හිටියා. ලක්ෂ හැට නමයක් ඡන්දය දුන්නා. නමුත් 2022 වෙනකොට ජනතාව ආණ්ඩුව වැට්ටුවා. ඡන්දෙ දීල දවසෙන් දෙකෙන් ඒ ආණ්ඩුවෙන් ජනතාව ඉවත් වුණා. ජාතික ජන බලවේගය ආණ්ඩුව පසුගිය සැප්තැම්බර් 21වෙනිදා ඡන්දය ලබාදුන් ජනතාවට වඩා දැන් මාලිමාව වටා ජනතාව එකතු වෙමින් තිබෙනවා. ජනාධිපතිවරණයේදී ඡන්දය නොදුන් ජනතාවත් අප සමග එකතුවෙමින් තිබෙනවා. අප ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යන ආණ්ඩුවක්. එය කිසිසේත් වට්ටන්න බැහැ. ඒගොල්ලෝ කවුරුත් ඇවිල්ලා ආණ්ඩුව ඉල්ලනවද? දැන් ඉල්ලන්නේ විපක්ෂය. එයාලම පිළිඅරගෙන තිබෙනවා නියත පරාජය. ඔවුන්ට ආණ්ඩුවක් හදන්න හිතන්නවත් බැහැ.

ජනාධිපතිවර්ණයේදී ඒ අය අපට නැගූ අවලාද නිසාම දැන් වෙනකොට වේදිකාවක දේශපාලන ව්‍යාපාරයක් කරන්න බැරි තැනට ඔවුන් පත්වෙලා. මොකද වේදිකාවට නැගල ඒගොල්ලෝ ඡන්ද ව්‍යාපාරය කරද්දී ජනතාව ඔවුන්ගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න විදිහක් නැහැ.
ශක්තිමත් දේශපාලන නායකත්වයක් ජනතාවට දෙන්න ඕනේ.

Samantha Vidyarathna Kitnan Selvaraj And President Anura Kumara Dissanayake On Stage At The Victory Rally Of Badulla

පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභා හරහා තමයි එම දේශපාලන බලය ගොඩනැගෙන්නේ. ගමේ ප්‍රශ්න විසඳන්න, රටට විනයක් හදන්න, රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න සමීප දේශපාලන නායකත්වය අවශ්‍ය වෙනවා. දේශපාලන නායකත්වයක් තිබෙන තැන්වලින් අපිට තවම බහුතර බලයක් නැහැ. අපට දැනට තියෙන්නේ ජනාධිපති පුටුව පමණයි. පාර්ලිමේන්තු බලය තවම නැහැ. ඒනිසා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පාර්ලිමේන්තුවට එවිය යුතුයි. ඒකට විපක්ෂයෙන් ගිහිල්ලා හරියන්නෙ නැහැ. ඒකට යන්න ඕනේ ආණ්ඩු පක්ෂයෙන්. මේ සැරේ බලවත් ආණ්ඩුවක් හැදිය යුතුයි. අපගේ සැලසුම් ප්‍රාදේශීය වශයෙන් ඉදිරියට ගෙන යෑමට එවැනි බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. අපේ රටට යහපත් දේශපාලන විනයක් අවශ්‍යයි. අප හැමදෙනාම නාස්තිය අවම කරමින්, දූෂණය අවම කරමින් රටේ ජනතාව බලා ගනිමින් කටයුතු කරනවා.
ඇමතිවරුන්ට ලබාදී තිබෙන වරප්‍රසාද අපි ඉවත් කරනවා. ඉන්න ජනාධිපතිවරණයාට පමණක් නෙවෙයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාදත් අවම කිරීමට අප කටයුතු කරනවා. මහජන ධනය නිරපරාදේ වියදම් කිරීමට අප ඉඩ තියන්නේ නෑ. ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරනවා. අපි කිසි කෙනෙකුගෙන් පළිගන්නවා නොවෙයි. යහපත් දේශපාලන ප්‍රමිතියක් සකස් කරනවා. එහෙම ප්‍රමිතියක් ඕන නැද්ද? තමන්ට රිසිසේ රට පාලනය කරන යුගය අපි අවසන් කරනවා. ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරනවා. දැනට තිබෙන අයාලේ යන දේශපාලනය ප්‍රමිතිගත කරනවා. දැනට තිබෙන පාර්ලිමේන්තු ප්‍රමිතියෙන් තොර පාර්ලිමේන්තුවක්. මුදලට විකිණෙන මන්ත්‍රීවරු ඉන්න, අපරාධකරුවන් ඉන්න පාර්ලිමේන්තුවක්. මෙවැනි පාර්ලිමේන්තුවක් ප්‍රමිතිගත කරන්න ඕන නැද්ද?

මහජනයාගෙන්ම යැපිලා, මහජන ධනයෙන් ගත්ත වාහන පැරදිලා යනකොටත් අරගෙන යනවා. මේ පරපුටු දේශපාලන නවත්තන්න ඕන. ඒ සඳහා පාර්ලිමේන්තු බලය ඇති කිරීමට බදුල්ල දිස්ත්‍රීක්කයෙන් වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ පිරවිය යුතුයි.

Crowd At The Victory Rally Of Badulla

ගැඹුරුතම ආර්ථික අර්බුදයට ලක්වී තිබෙන රටක් අපට දුන්නේ. ඒ නිසා මේ ආර්ථික තත්වය යටතේ ජනතාවගේ අවශ්‍යතාවන් ලබාදෙමින් පවත්වාගෙන යාම තමයි අපි මේ කාලයේ සිදු කළේ. මේ දින ගණනට ආයෝජකයන්ගේ විශ්වාසය, ගොවි ජනතාවගේ විශ්වාසය, ධීවර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අප සමත් වුණා. ඩොලරය තුන්සියට අඩුවෙන් පවත්වාගෙන යාමට අප සැලසුම් හැදුවා. ගෑස් හිගයකින් තොරව ලබාදීමට අපි සැලසුම් හැදුවා. ආර්ථිකය කඩා නොවැටි ඉදිරියට යාමට අප මැදිහත් වී තිබෙනවා. පාර්ලිමේන්තු බලයත් සමග ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් ඇති කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට, රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. 2025 වසර ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි වසර බවට අප පත් කරනවා. ආර්ථිකයට පණ පොවන්න අප සැලසුම් හදනවා. ග්‍රාමීය ජනතාව දුප්පත් භාවයෙන් මුදා ගැනීම සඳහා සැලැස්ම අප සකස් කර තිබෙනවා. අධ්‍යාපනය විශාල ප්‍රතිසංස්කරණයක් ඇතිකිරීමට අපේක්ෂා කරනවා. සෑම දරුවෙක්ම හැකියාව නිපුණතාවය සහිත දරුවෙක් ලෙස පාසලෙන් එලියට ඒම සඳහා අප වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කැළි කසළ නැති දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරනවා. විනයක් ඇති ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කරනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝදයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. කඩා වැටුණු රට, ලෝකය ඉස්සරහ අසරණභාවයට පත්වී තිබුණු රට, යළි පුනරුදය කරා කැඳවීම අප ආරම්භ කර තිබෙනවා. ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා මේ රටේ එම ක්ෂේත්‍රයේ ඉහළම දැනුමක් තියෙන පුද්ගලයා අප සමග වැටුප් රහිතව ස්වේච්ඡාවෙන් එකතුවී සිටිනවා. එහෙමයි අප වැඩ කරන්නේ. මේ රටේ ජනතාව සමග පොර බඳිමින් මේ රට ගොඩනැගීම සිදු කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රට හදන ගමන් ජනතාව බලාගන්න ආණ්ඩුවක් බවට පත්වී තිබෙනවා. එහෙම ආණ්ඩුවක් කවදාවත් පත් වුණේ නැහැ. අනාගත පරම්පරාව දුක් විඳින්නේ නැති රටක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට එක්වෙන ලෙස ආරාධනා කරනවා.

Sudath Balagalla Addressing The Crowd At The Victory Rally Of Badulla

“1994 සිට අපි ඉල් විරුවන්ගේ කොඩිය මේ ජයග්‍රහණය දක්වා විවිධ මර්දන සහ අපහාස, අවලාද තුළින් අරගෙන ආවා.”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික සහ බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක, සුදත් බලගල්ල-

පසුගිය කාලයේ අපට මඩ, අවලාද ගසන අය විශේෂයෙන් වැඩිහිටි අම්මා, තාත්තලා බය කළා. ඒ වුනාට එයාලගේ පාලනය නිසා මේ වැසි සමයේ අවුරුදු හැත්තෑව, අසූව වුණු අපේ ආදරණීය අම්මලා, තාත්තලාට සහ ආච්චිලා, සීයලාටත් කැත්ත උදැල්ල අරගෙන හේනට යන්නට සිදු වී තිබෙනවා. නමුත්, අපේ පාලනයක් තුළ ඒ වැඩිහිටි අම්මා, තාත්තලාට සුවපහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වටාපිටාව, පහසුකම් සලසා දෙනවා. දේශපාලන ඉතිහාසයේ නොවැම්බර් මාසය කියන්නේ අපේ පක්ෂය සුවිශාලම මර්දනයකට ලක් කරපු කාලයක්. අපේ පක්ෂයේ හැටදහසකට වැඩි පිරිසක් ඝාතනය කළා. ඒ විරුවන් සමරන ඉල් මාසයයි මේ. අපට වඩා හොඳ ජීවිතයක් ගොඩනඟා දෙන්න බිහි වුණු ආදරණීය සගයන් වධවේදනාවලට ලක් කර ඝාතනය කළා. ඉන් පසුව 1994 සිට අපි ඒ සගයන්ගේ කොඩිය මේ ජයග්‍රහණය දක්වා විවිධ මර්දන සහ අපහාස, අවලාද මැද අරගෙන ආවා.

ඌව වෙල්ලස්සට කුඩාපොළ හාමුදුරුවෝ, ගොංගාලේ ගොඩ බණ්ඩලා, දොරේසාමිලා, මඩුගල්ලේලා, වීර කැප්පෙට්ටිපොළලා වාගේ ජීවිත පරිත්‍යාග කළ වීරයන්ගේ පසුබිමකුත් තිබෙනවා. ඔවුන්ගෙන් පැවත එන අපි දොළොස් දෙනකු මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්න මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. මේ වේදිකාවේ ඉන්න අපි කවුරුත් වාගේම වේදිකාව ඉදිරිපිට වැස්සේ නොසෙල් වී සිටින ඔබ කවුරුත් සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳුණ අයයි. ඒ ජයග්‍රහණය නොවැම්බර් 14 වැනිදා තවත් ශක්තිමත්ව පාර්ලිමේන්තු බලයක් බවට ගෙන යාමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ අප හැමෝටම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට තිබෙනවා. 14 වැනිදා ඓතිහාසික ජයග්‍රහණයකට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට දායක වන ලෙස ඉල්ලා සිටිනවා.

Ambiga Samuwel Addressing The Crowd At The Victory Rally Of Badulla

“සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජය නොවැ. 14 තවත් ශක්තිමත් වන බව මේ ජනතාවගේ උද්යෝගයෙන් සහතික වෙනවා”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂිකා, අම්බිකා සැමුවෙල්-

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම අරමුණු කරගෙන සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජයග්‍රහණය නොවැම්බර් 14 වැනිදා තවත් ශක්තිමත් කරන බව මේ ජනතාව දකින විට සහතික වෙනවා. මාගේ දෙමාපියනි, සහෝදර, සහෝදරියනි, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන් සහ සියලු ආගම්වල අප සියලු දෙනා එකම පරමාර්ථයකින් එකමුතු වී රට ගොඩනැඟීමේ ශ්‍රමදානයට එකතු වෙමු කියන පණිවුඩය ඔබ සියලු දෙනාටම මා ලබා දෙනවා. අවුරුදු හැත්තෑහයක් පුරා ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, අප බේදකරලා ඔවුන් පාලනය ගෙන ගියා. ඒ තත්වය පරාජය කරමින්, ජාතික ජන බලවේගයේ සෙවණට අප හැමෝ ම එකතුවී එකමුතුභාවයේ බලය පෙන්වමින්, නොවැම්බර් 14 වැනිදා ජයග්‍රහණය කරනවා. ඊට පසුව මේ දේශපාලනය, සමාජය, සංස්කෘතිය, ආගමික යන සියලු ආකාරයෙන් නව පුනරුද යුගයකට පා තබන්න අප සියලු දෙනා එකමුතු විය යුතුයි. ඒ වාගේම ජාතික ආර්ථිකය ගොඩනඟන්න ඉතා ඉක්මනින්ම අත්වැල් බැඳගෙන කැප වෙමු කියන පණිවුඩය මම ඔබ සියලු දෙනා හමුවේ තබනවා.

Dinadasa Rathnayake Addressing The Crowd At The Victory Rally Of Badulla

“එදා අපිට ඔරවපු ගොරවපු අයත් අද අපේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා…”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, මහා මැතිවරණ අපේක්‍ෂක, දිනදාස රත්නායක-

මේ වේදිකාවේ දී පුංචි කතාවක් කියන්න කල්පනා කළා. දහවල් දොළහෙන් පස්සේ ගමකට හිරු එළිය වැටෙන එක බාධාවක්වී තිබුණු කන්දක් ඉවත් කරන්න ගමේ කිහිප දෙනෙක් විතරක් මුලින් එකතු වුණා. කන්ද කපලා, හිරු එළිය වැටෙන්න සලස්වන්න ඕනෑ බව මුලින්ම කිව්ව පුද්ගලයා කෙරෙහි මුළු ගමේම පිරිස අවඥාවෙන් බැලුවා. නමුත්, ඔහු අවලාද, අවඥා මැද්දේ ඒ කන්ද කපන්න ක්‍රියා කළා. ඒ අතරේ ටික කාලයකට පසුව තවත් පිරිසක් එකතු වී දැවැන්ත ශ්‍රමදානයකට මුලපිරුවා. අන්න ඒ වාගේ තමයි අපේ දේශපාලනයත්. ඉදිරියේ තියෙන දැවැන්ත ශ්‍රමදානයකට සූදානමින් අප වටා එක් වූ මහා සෙනඟක් මෙතැනට රැස් වී සිටිනවා. එළැඹෙන 14 වැනිදා මේ ගමට, මේ රටට, අපේ රටේ සමස්ත ජනතාවට හිරු උදා කිරීමේ දැවැන්ත ශ්‍රමදානයට අපි සූදානමින් සිටිනවා. 1994 බණ්ඩාරවෙල නගරයේ කැට හොල්ලමින්, ආධාර එකතු කළ අපිට ඔරවපු, ගොරවපු පිරිසක් හිටියා. එදාත් අපි මේ කැප කිරීම් කළේ මේ සමස්ත රට පොහොසත් රටක් කරමින්, සියලුම ජනතාවට ලස්සන ජීවිතයක් උදාකර දීම වෙනුවෙන් ඇප-කැප වීමෙන් බව මතක් කර දෙනවා. ඒ වෙනුවෙන් එළැඹෙන 14 වැනි දින සියලුම දෙනා පෙළගැසී ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

Upeksha Wijethunga Addressing The Crowd At The Victory Rally Of Badulla

“පාට, පක්‍ෂ විදියට අප බෙදා සිටි යුගය නොවැම්බර් 14 වැනිදා සදහටම අවසන් කරමු.”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභිකා, ‘එන්.පී.පී. කාන්තාවෝ’ සංවිධානයේ විධායක සභිකා, මැතිවරණ අපේක්‍ෂිකා, නීතිඥ උපේක්‍ෂා විජේතුංග-

අප සියලු දෙනාම මේ අවස්ථාවේ දී එකම ඉනිමඟක කොටස් හැටියට රට ගොඩනැඟීම වෙනුවෙන් ඒකරාශී වී සිටිනවා. විශේෂයෙන් ම ආදරණීය කාන්තාවාන්ගෙන් මා ඉල්ලා සිටින්නේ 1931 සර්වජන ඡන්ද බලය ලැබුණු දා ඉඳලා දේශපාලන අයිතිය ලැබුණත්, තවමත් දේශපාලනයේ දී දෙවැනි පුරවැසියෙක් ලෙස සැලැකීම අවසන් කරන්න එක් වන ලෙසයි. ඒ දෙවැනි පෙළ සිටින කාර්යභාරයක් ඉටු කළ අවසන් කර රට ගොඩනැඟීමේ කාර්යභාරයට ප්‍රමුඛම නායකත්වයක් ලබා දෙන්න පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රබලතම ජනාධිපතිවරයෙක් පත් කර ගන්න සැප්තැම්බර් 21 වැනිදා ලබා දුන් දායකත්වය තවත් කිහිප ගුණයකින් වර්ධනය කර ගනිමින්, නොවැම්බර් 14 වැනිදා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න දායක වෙමු. පාට, පක්‍ෂ විදියට අප බෙදා සිටි යුගය නොවැම්බර් 14 වැනිදා සදහටම අවසන් කරමු. ජාතික ජන බලවේගය අප සියලු දෙනාම එකම කඳවුරකට ගෙන ආවා. ඒ අප තුළ ඇති ශක්තිය අවදි කරමින්, රට ගොඩනඟමු. ඒ වෙනුවෙන් හොඳම තැන ජාතික ජන බලවේගය බවත්, සාධාරණ සමාජයක නිදහස් කාන්තාවන් ලෙස ජීවත් වීම වෙනුවෙන් අපි හැමෝ ම එකතු වෙමු. ලොව ශක්තිමත්ම පාර්ලිමේන්තුව ගොඩනැඟීමට අප සියලුම දෙනා එකතු වෙමු.

Bandra Vissundara At The Victory Rally Of Badulla

“බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබා දිය යුතු ලොකුම ශක්තිය අපි ලබා දෙනවා.”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, ‘අදිටන’ විශ්‍රාමික සාමුහිකයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්‍ෂක, විශ්‍රාමික නාවික හමුදා කමාන්ඩර්, බණ්ඩාර විස්සුන්දර-

අහිංසක ජනතාවගේ ඡන්දයෙන් මෙතෙක් බලය ලබා ගත් අය මේ රටේත්, බදුල්ල දිස්ත්‍රික්කයේත් පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැහැ. නමුත්, ජාතික ජන බලවේගයේ අපි මේ වන විටත් බදුල්ල දිස්ත්‍රික්කය සංවර්ධනය කරමින්, ජනතාවගේ ජීවන තත්වයන් උසස් කිරීමට සැලැසුම් සකස් කර අවසන්. එම සැලැසුම් සහ ප්‍රතිපත්ති වටා පසුගිය ජනාධිපතිවරණයේ දීත් ඒකරාශී වූ අය තවත් දෙතුන් ගුණයකින් වර්ධනය කරමින්, බදුල්ල දිස්ත්‍රික්කය ජය ගන්නා බව විශ්වාසයි. අප මෙම මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ අබමල් රොණක තරමින්වත් පෞද්ගලික ලාභ, ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් නොවෙයි. මේ ප්‍රදේශයට, රටට ඉටු කළයුතු වගකීමක් ඉටු කිරීමටයි අප ඉදිරිපත් වී සිටින්නේ. අඹ ඇටයක් සිටවූ සීයා වගේ යුතුකම පමණක් ඉටු කරනවා. අප සියලු දෙනාම ඒ වගේ යුතුකම ඉටු කිරීමට කැපවී සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් සිටි දූෂිතයන්ගේ දේශපාලනය මෙම 14 වැනිදා සදාකාලිකව අවසන් කරනවා. රටේ ප්‍රගතිය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබාදිය යුතු ලොකුම ශක්තිය ලබා දෙනවා. ඒ වෙනුවෙන් මන්ත්‍රී ආසන වැඩිම ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබාදීමට පෙළගැසෙන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

Ruwan Ranasinghe Addressing The Crowd At The Victory Rally Of Badulla

“ගුරුවරු දණගස්වන නූගත් දේශපාලකයන් වෙනුවට අපි වැදගත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා”
-ජාතික ලැයිස්තු අපේක්‍ෂක, මහාචාර්ය රුවන් රණසිංහ-

මෙතෙක් කාලයක් සංවර්ධනයේ නාමයෙන් ජනතාව රවටා දූෂිත දේශපාලන සංස්කෘතියක් පවත්වාගෙන ගිය තත්වය අවසන් කරන්න පසුගිය 21 වැනිදා අපේ අම්මලා, තාත්තලා ඇතුළු සියලුම දෙනා නිර්භීත තීරණයක් ගත්තා. ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ දුක් විඳින ආදරණීය අම්මා, තාත්තලාට හොඳ ආර්ථිකයක් ගොඩනඟා දෙන්න, දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න, ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබාදෙන්න අවස්ථාවක් මේ 14වැනිදා මහ මැතිවරණයෙන් උදා වෙනවා. බදුල්ල කියන්නේ ලස්සන දිස්ත්‍රික්කයක්. නමුත්, මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිත මෙතෙක් සිටි පාලකයන් අවලස්සන කර තිබෙනවා. ගුරුවරු දණගස්වන නූගත් දේශපාලකයන් වෙනුවට ජාතික ජන බලවේගයෙන් අදූෂිත, රට ගැන ජනතාව ගැන ආදරයක් තිබෙන, උගත්, වැදගත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කණ්ඩායම ඉදිරිපත් වී සිටින්නේ මුළු රටේම සිදු කළ යුතු සමාජ-ආර්ථික පරිවර්තනයේ බදුල්ල දිස්ත්‍රික්කයට අදාළ වැඩ කොටස සිදු කිරීමටයි.

ජනතාව පීඩාවට පත් කරමින්, පාලකයන් සුර සැප විඳි කාලය අවසන් කිරීමේ කාර්යභාරයත් 14වැනිදා ගොඩනඟන පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් ජාතික ජන බලවේගය තුළින් පාර්ලිමේන්තුවට යවමු. සංවර්ධනයේ අරුණලු මේ රටට ගෙනා හැක්කේ මාලිමාවේ අපේක්‍ෂකයන්ට පමණයි. තාත්තා කියපු පණිවුඩය අහිංසක ජනතාවට නොකියා මේ රටේ ජනතාවගෙන් තුන්සීයකට ආසන්න පිරිසක් බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වීමට ඉඩහැරපු අය දැන් මනාප හොයන්න දිස්ත්‍රික්කය පුරා යනවා. ඒ අය වෙනුවට ජනතාව වෙනුවෙන් උපරිම කැප වීමෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තෝරා යවමු. මෙතෙක් පාලන බලයේ සිටියේ ඔවුන් ඉදිරියේ දණින් වැටෙන ජනතාවක් හැමදාමත් නඩත්තු කරගෙන යාම වෙනුවෙන් ක්‍රියා කළ පිරිසක්. එම තත්වය වෙනස් කිරීම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩි ම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවමු.

Samantha Vidyarathna Addressing The Crowd At The Victory Rally Of Badulla

“අවුරුදු හැත්තෑහයක විනාශය මාසයක කෙටි කාලයකින් නිවැරැදි කරන්න බැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක, සමන්ත විද්‍යාරත්න-

අද වෙන කොට මේ රටේ නිල්, කොළ දේශපාලනය බිම ඇදවැටී හමාරයි. දූෂිත දේශපාලකයන්ගේ කාලය හමාර කර ජනතාවාදී පාලනයක ආරම්භක පරිච්ඡේදය ලියන්න සැප්තැම්බර් 21වැනිදා පටන් ගත්තා. සාම්ප්‍රදායික දූෂිත දේශපාලනයට මේ මාතෘභූමියේ ඉඩක් නැති බව ස්ථිර කරන දවස නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බදුල්ල පුරවරය සූදානම් කිරීමේ මහා රැලියක් වෙනුවෙන් වැසි නොතකා මේ ජන ගඟ එකතු වී සිටිනවා. මේ වේදිකාවේ සිටින අපේක්‍ෂකයන් දොළොස් දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් කරන බව ස්ථිරයි. ඒ වාගේම ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂක, මහාචාර්ය රුවන් රණසිංහත් මේ වේදිකාවේ ඉන්නවා.

අපට හැමදාම දුප්පත්කම උරුම කළ උන්ගේ යුගය අවසන්. දළ ජාතික නිෂ්පාදිතයට අඩුම දායකත්වය ලබා දෙන්නේ ඌව පළාතෙන් බව මුදල් අමාත්‍යාංශයේ පසුගිය වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා. ඒ ප්‍රමාණය සියයට හතරයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 72ක් සහනාධාර මතයි ජීවත් වෙන්නේ. පවුල් 115,689ක් ‘අස්වැසුම’ ලබනවා. නිමල් සිරිපාලලා, හරීන් ප්‍රනාන්දුලා මේ දිස්ත්‍රික්කයේ මොනවද කළේ කියලා අපි අහනවා. අපේ මිනිස්සු හැමදාමත් දුප්පත්කමේ තියලා හාල්, කොපි පොත්, ත්‍රිවීල් ටයර්, අරක්කු, සල්ලි බෙදලා ඡන්ද කාලයේ දී දුප්පත් මිනිසුන්ව රැවැට්ටුවා. ඒ රැවටූ යුගය මෙවර සදහටම අවසන් බව මෙතෙක් සිටි පාලකයන්ට මතක් කරනවා. අප අපේ දෑත්වලින් මේ දිස්ත්‍රික්කය, මේ පළාත, මේ රට ගොඩනඟන්න ඕනෑ. අප දුප්පත් වී සිටින්නේ උන්ගේ වරදින් මිස ජනතාවගේ වරදින් නොවෙයි. උමා ඔය නිම්නය, බදුලු ඔය නිම්නය, ලොක්ගල් ඔය නිම්නය, මැණික් ගංගා නිම්නය මේ දිස්ත්‍රික්කය කිරිවලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ස්වාභාවික සම්පත් ආකරයක්. දැනට අපේ කිරි අවශ්‍යතාවෙන් සියයට 65ක් ආනයනය කරනවා. අපේ පාලනයේ මුල් වසර පහ අවසන් වන විට ලංකාවට අවශ්‍ය කිරි සම්පූර්ණයෙන් ම මේ රටේ නිෂ්පාදනය කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් බදුලු නිම්නය කිරි නිම්නයක් කරන්න අප ක්‍රියා කරනවා. එළවළු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දෙන්න අවුරුදු හැත්තෑහයක් පුරා සිටි පාලකයන්ට බැරි වුණා. ජනාධිපති සහෝදරයා දිවුරුම් දීලා අදට දවස් හතළිස්දෙකයි. අවුරුදු හැත්තෑහයක විනාශය කෙටි කාලයකින් නිවැරැදි කරන්න බැහැ.

The Crowd At The Victory Rally Of Badulla

අද බදුල්ලේ මේ ක්‍රීඩාංගණය අතුරුසිදුරු නැතිව පිරී යන කොට මෙතෙක් සිටි පාලකයන්ට මැතිවරණ ව්‍යාපාරයක්වත් කරන්න බැරිව සිටිනවා. මේ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින වී ගොවීන්, එළවළු ගොවීන් ඇතුළු සමස්ත ගොවි ජනතාව ගොඩ ගන්න ජාතික ජන බලවේගයට හැකියි. නිමල් සිරිපාලලා කොමිස් මුදල් බලාගෙන චාමර දසනායකලත් එක්ක වැඩ කළ හැටි බොහෝ දෙනෙක් දන්නවා. ඔවුන්ට මේක ධන උල්පතක් කරගෙන ජනතාව හැමදාමත් දුප්පත් බවේ ගිල්වාගෙන සිටියා. නමුණුකුල කඳුවැටියේ සිට නාරංගල කඳු දක්වා මනරම් පරිසරය වාගේම ඇදහැලෙන දියඇලි මුල්කරගෙන සංචාරක කර්මාන්තයට යෝග්‍ය ප්‍රදේශයක් බවට මේ බදුල්ල පත් කරනවා. ඒ වෙනුවෙන් සියලු සැලැසුම් සකස් කර අවසන්. විදේශ සංචාරකයන් හට මේ අවුරුදු හැත්තෑහයක පාලකයන් ඉදි කළ කිසිවක් නරඹන්න නැහැ. ඔවුන් බංකොළොත් රටක් විතරයි ඉතිරි කළේ. මේ රට පෙරළා දාපු බංකොළොත් රියැදුරන්ට නැවත ජනතා වරමක් ලැබෙන්නේ නැහැ.

ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැඟිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ජනතාවාදී මහජන ආණ්ඩුවක් මෙම 14වැනිදා පිහිටුවාගෙන මේ කපේට නොවැටෙනා පාලනයක් ස්ථාපනය කරනවා. ඒ පාලනය වැටෙන්නේ නැත්තේ ජනතාවට දීපු සියලු පොරොන්දු ඉෂ්ට කරන නිසයි. අපට ඡන්දය නොදුන් කෙනාත් ඊ ළඟ වතාවේ අපට ඡන්දය ලබාදෙන තත්වයට රට ගොඩනඟනවා. සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනතාව වෙනුවෙන් පොහොසත් රටක් ගොඩනඟන්න අප සූදානම්. ඒ වාගේම මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්‍ෂයේ සියලු දෙනාත්, වෙනත් සකලවිධ බලවේග සියල්ලත් ජාතික ජන බලවේගය වටා එකමිටට එකතු වී සිටිනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් වට්ටන්න කිසිවකුට බැහැ. අපේ සංවිධාන බලය ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව තවත් තර කරනවා. කොට්ඨාස සභා දැවැන්ත බලයක් සහිත සංවිධාන බවට පත් කරනවා. අපට විරුද්ධව ගෙන ගිය සියලු බොරු ප්‍රචාර ජනතාව හෙඳින්ම තේරුම්ගෙන සිටිනවා. අලුතින් මොන ප්‍රචාර ගෙන ගියත්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව කිසි දිනක නැවත රැවටෙන්නේ නැහැ. වසර හැත්තෑහයක් දස අතේ පටළවපු නූල් බෝලය එකින් එක හෙමිහිට ලිහන්න ඕනෑ. මහා භාණ්ඩාගාරය හිස් කරලා තියෙන්නේ. ඒ තත්ත්වය තුළ සල්ලි අච්චු ගහන බවත්, ණය ගන්නා බවත් කියමින්, කෑගහගෙන යනවා. ලංකාවට ඕනෑ වෙලාවට සල්ලි අච්චු ගහන්නත් ඕනෑ. ණය ගන්න අවශ්‍ය වෙලාවට ණය ගන්නත් ඕනෑ. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කිසිම ගසාකෑමකින් තොරව ඒ ආර්ථික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කරනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනඟන්න බදුල්ල දිස්ත්‍රික්කයෙන් උපරිම දායකත්වයක් ලබන 14 වැනිදා ලබාදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.