Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ඡන්දයෙන් ගොඩනැගෙන්නේ රටේ ජනතාවත් සමඟ ඒකාබද්ධ වුණු ආණ්ඩුවක්” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අම්බලන්තොට – 2024.09.12-)

Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Ambalanthota

වෙනදා ඡන්දයක් එනකොට ඡන්දෙ කවදාද කියලා ගැන ගැන හිටියේ මේ රට පාලනය කළ පාලක කල්ලි. නමුත් මෙවර ඡන්දය එනතුරු බලාගෙන ඉන්නේ මේ රටේ ජනතාව. 21 නොවෙයි, හෙට ඡන්දෙ තිබ්බත් අපි දිනනවා. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මේ ඡන්දය බලාගෙන හිටියා. මේ සම්ප්‍රදායික බල රටාව වෙනස් කරන්න 21 වැනිදා උදාවන තුරු මේ රටේ ජනතාව පුල පුලා බලා සිටිනවා. මේ දින කිහිපය අපි හොඳට වැඩ කරමු. වැඩ කරලා මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරමු.

අපිට අවශ්‍යයි වැඩ කිහිපයක් කර ගන්න. අපේ රටේ දේශපාලන බලය දූෂිත දේශපාලන පවුල් කිහිපයක් අතේ කේන්ද්‍ර ගත වෙලා තිබුණා. ඒ ගොල්ලෝ හැමදාම දේශපාලනය කළේ ඒ ගොල්ලෝ වෙනුවෙන්; පරම්පරාවෙන් පරම්පරාවට බලය ගලාගෙන යන විදිහට. දේශපාලනය වගේම රටේ සම්පත් පවුල් කිහිපයක් අතේ කේන්ද්‍රගත කර ගත්තා. රටේ මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් ඒ ගොල්ලන්ගේ මලුවලට පුරවා ගත්තා. මේ දූෂිත පවුල් පාලනය අතින් මෙරට පොදු ජනයා අතට බලය එන මේ අවස්ථාව ඔබ, අපි කිසිසේත්ම අත්හැරියේ නැහැ. මේ අවස්ථාව අපි මඟ හරින්නේ නැහැ. දැන් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් හොඳටම කලබල වෙලා ඉන්නේ. ඒ ගොල්ලන්ට හොඳටම රිදිලා තියෙන්නේ. ඒ ගොල්ලෝ සැලකිය යුතු ප්‍රමාණයකින් වියරුවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා ඉදිරි දින කිහිපය ඇතුළත ඒ ගොල්ලන්ගෙන් ගිලිහී යන බලය ආරක්ෂා කර ගැනීම සඳහා මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා ඒ ගොල්ලෝ කල්පනා කරමින්, සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ ගොල්ලෝ මෙනවා කළත් වැඩක් නැහැ.

Ambalanthota Victory Rally Crowd

ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරය දැන් තියෙන්නේ ජනතාව අතේ. ජනතාව දැන් අපේ දේශපාලන ව්‍යාපාරය ඒගොල්ලන්ගේ අතට අරගෙන ඉවරයි. අවලාද නැගීමේ වියරු ප්‍රතිචාරවලින් මේක ආපසු හරවන්න බැහැ. කාට හරි හෝ සැකයක් තිබෙනවා නම් අපි මෙම කරුණු ටික නිරාකරණය කර ගත යුතුයි. පසුගිය කාලයේ අපේ රටේ දේශපාලන වේදිකාවේ විශාල ලෙස සාකච්ඡාවට බඳුන් කළේ ජාතිය, ආගම, දේශය බේරා ගැනීම ගැන. මහින්දලා, ගෝඨාභයලා, බලය ගැනීම සඳහා පාවිච්චි කළේ ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ. දෙමළ, සිංහල, මුස්ලිම් ජනයා එකිනෙකාට එරෙහිව තබා තම බලය තහවුරු කර ගන්නා ජාතිවාද සටන් පාඨ තමයි ඔවුන් වැඩිපුර පාවිච්චි කළේ. තම බලය රැක ගැනීම වෙනුවෙන්,කෑම, ඇඳුම්වල සිට පාස්කු ප්‍රහාරය දක්වා ඒ ගොල්ලෝ ජාතිවාදය පාවිච්චි කළ ජාතිවාදය ඔස්සේ ගියොත් මේරට වැටෙන්නේ අඳුරු අගාධයකට කියලා දැන් ජනතාව ක්‍රමානුකූලව තේරුම් ගනිමින් ඉන්නවා. දැන් මේ රටේ ජනයා ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ කොඩිය අතට අරන් තිබෙනවා. නමුත් අද වෙනකොට යළිත්, ජාතිවාදය, ආගම්වාදය සහ කරළියට ගේන්න පටන් අරන් තිබෙනවා.

දැන් කියනවා අපි කලබල ඇති කරන්න හදනවා කියලා. කවුද, දිනන ඡන්දෙකට කලබල ඇති කරන්නේ. අපිට ඕන සාමකාමී ඡන්දයක්. පරදින අයට තමයි කලබල ඕනෑ, ඒ අයට තමයි ගැටුම් ඕනෑ, සමාජය අස්ථාවර කරන්න ඕනෑ. දිනන අපිට සාමකාමිත්වය ඕනෑ. එනිසා මැතිවරණය දක්වාත් මැතිවරණ දිනයේදිත් ඉන් පසුවත් උපරිම ලෙස සාමකාමිත්වය සඳහා මැදිහත් වෙන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. නමුත් ඒ ගොල්ලෝ නැවත නැවතත් මේක කියන කොට මේක පිටුපස්සේ කිසියම් කුමන්ත්‍රණයක් තියෙනවාද කියන සැකය අපිට එනවා. අපේ සාමාජිකයින්ට අපි කියා සිටිනවා ගල් කැටයක්වත් අතට ගන්න එපා කියලා. පොලීසියේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ රටේ ජනතාවගේ කැමැත්ත මගින් ආණ්ඩුවක් මාරුකර ගැනීමේ අවස්ථාව දැන් තිබෙනවා. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ පොලීසිය, හමුදාව, විශේෂ කාර්ය බලකාය මේ සියල්ල අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න බැඳී සිටිනවා. ඒ නිසා පරදින පාර්ශ්වයන් විසින් යම් කුමන්ත්‍රණයක් ඇති කිරීමේ සූදානමක් තිබෙනවා නම්, දේශපාලන ව්‍යාපාරයක් හැටියට එය වැළැක්වීමට අපි වැඩකරනවා.

Anura Kuamra Dissanayake At The Victory Rally Of Ambalanthota

ඊළඟට කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපුවහම ආර්ථිකය වැටෙයිලු. කොහෙටද රනිල් මහත්තයෝ තවත් ආර්ථිකය වැටෙන්න තිබෙන්නේ. ලෝකයේ ණය ගෙවන්නේනැති රටක්, ලෝකයත් ණයක් දෙන්නේ නැති රටක්. රෝහල්වල බෙහෙත් නැති රටක්. තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගන්න බැරි රටක්. රැකියාවක් සොයා ගන්න රට අත්හැරලා යන්න සිද්දවෙලා තිබෙන රටක්. ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයෙන් නිසි ආදායමක් ලැබෙන්නේ නැති රටක්. මුහුදු යන්න බැරිව ධීවර බෝට්ටු වැල්ලේ ගොඩගසා තිබෙන රටක්. ව්‍යාපාරිකයන්ට තමන් ගත්ත ණය ගෙවා ගන්න බැරිව හිරවෙලා තිබෙන රටක්. ත්‍රීවිල් එක අරගෙන ලිසිං වාරිකයක් ගන්න බැරි රටක්. ජනතාවට තුන්වේල කන්න බැරි රටක්. මත්ද්‍රව්‍යවලින් ගහන වුණු රටක්. කොහේටද රනිල් මහත්තයෝ මේක තවත් වැටෙන්න තියෙන්නේ. වැටිලා ඉවරයි. ජාතික ජන බලවේගය බලයට එන්නේ මේ වැටුණු රට ගොඩගන්නයි. අවුරුදු 76ක් තිස්සේ ඔයගොල්ලෝ මේ රට වැට්ටුවා. දැන් අපිට ගෙවා ගන්න බැරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.5යි. මේ ඩොලර් බිලියන 12.5 රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ ගත්ත ණය. ඔන්න රට වට්ටපු හැටි. ඒ අතර සජිත් කියනවා රනිල් රාජ්‍ය ආයතන විකුණනකොට අපි කෑ ගැහුවේ නැහැලු. හම්බන්තොට වරාය විකුණලා චෙක් එක ගන්න කොට සජිත් ප්‍රේමදාස චෙක් එකට වැඳගෙන ඉන්නවා. ඔය ගොල්ලෝ දකින්න ඇති. එහෙව් පුතාණෝ කියනවා අපි ගෑ ගහන්නේ නැහැලු. එයා වැඳගෙන ඉන්නවා. අපි කෑ ගහන්නේ නැහැලු. මොනවද මේ කියන්නේ. දැන් එයා අන්ද මන්ද වෙලා. අපේ වේදිකාවේ කියන්න ඕන සමහර දේවල් එයා එයාගේ වේදිකාවේ කියනවා. එයාට පැටලෙනවා. එයාට හිතාගන්න බැහැ මොනවාද කියන්නේ කියලා.

අපි ආණ්ඩුව අරන් මාස 03-04 තුළ කරන වැඩ කොටස දැක්කම අපිට ඡන්දය නොදුන් අයටත් හිතේවි අපරාදෙ අපි ජාතික ජන බලවේගයට ඡන්දෙ නොදුන්නේ කියලා. අපි හදන්නේ මාස 06න් අවුරුද්දෙන් වැටෙන ආණ්ඩුවක් නොවෙයි. වට්ටන්න පුළුවන් ආණ්ඩුවක් නොවෙයි. මේ ගොඩනැගෙන්නේ රටේ ජනතාවත් එක්ක ඒකාබද්ධ වුණු ආණ්ඩුවක්. අද අපේ ඡන්ද ව්‍යාපාරය කරන්නේ ජනතාව. ඔය ගොල්ලන් මේ රැස්වීමට ඇවිල්ලා අත්පුඩි ගහලා 21 වැනිදා වෙනකල් අත් බැඳගෙන ඉන්නවාද නැහැ. කට්ටිය හමුවෙනවා. අපේ පණිවුඩය යනවා. අපිට තවමත් හැරිල නැති කෙනා හරවා ගන්නවා. ඒ ව්‍යායාමය අත් නොහැර ඔබ කරනවා. ඒ ගැන සැකයක් නැහැ. මෙච්චර ජනතාවක් අපිත් එක්ක ස්වේච්ඡාවෙන් එකතු වෙලා ඉන්නෙ මාස 6න් දාලා යන්නද? මාස හයෙන් වට්ටන්නද? නැහැ. මේ රටට අවශ්‍ය කරන සියලු ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගන්න. ඒ නිසා සැප්තැම්බර් 21 අපේ රටේ ඓතිහාසිකම දිනය වෙනවා. 21 දිනය තමයි මෙතෙක් ඒ ගොල්ලෝ අපේ තිබූ බලය පොදු ජනතාව අතට මාරුවෙන දිනය.

දැන් රනිල් වික්‍රමසිංහ මොනවදෝ කියමින් රට වටේ යනවා. මට අභියෝග කරනවා. එයා එක එක දේවල් කියලා මට කියනවා උත්තර දෙන්නලු. මේක හිටිවන කවිමඩුවක්ද? එයාට ආර්ථිකය ගැන විධිමත් සාකච්ඡාවක් ඕනෑ නම්, රූපවාහිනී නාලිකාවක් තෝරා ගනිමු. මම එන්නම්. රට ඉදිරියේ ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ විවාද කරමු. එක තැනක ඉඳගෙන. අයි.එම්.එෆ්. එකක් අරගෙන එන්න ඕන නැහැ. අයි.එම්.එෆ්. එක ඡන්දෙ ඉල්ලනවාද? මිනිහා කියන්නේ පොඩි ආටක නාටක ගණයේ කතා. කිසි වගකීමක් නැහැ. එයා කියන දේ එයා දන්නේත් නැහැ. එයා කියන ඒවා අහගෙන ඉන්න අයට තේරෙන්නෙත් නැහැ. ඡන්දෙක තියෙන සංකීර්ණතාවයවත් එහි වගකිම්සහගත බව වත් එයා දන්නේ නැහැ. සජිත් ගැන නම් කතාකරල වැඩක්ම නැහැ. මේ අම්බලන්තොට ජනතාව එයා ගැන හොඳටම දන්නවානේ. අපි සැප්තැම්බර් 21 දා ජයග්‍රහණය කරනවා, ස්ථිරයි. අපිට අම්බලන්තොටිනුත් හොඳම ප්‍රතිඵලයක් ඕනෑ. හම්බන්තොට දිස්ත්‍රික්කය තමයි අපිට හැමදාමත් ජයග්‍රහණ ගෙනැල්ලා දුන්නු දිස්ත්‍රික්කය. අපිට ඉහළම ජයග්‍රහණය ඔබ ලබා දෙනවා නිසැකයි.

අපි බලය ගත් පසු මේ රටේ වගා කළ හැකි සියලු බිම් වගා කරන්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එක බිම් කඩක් මුඩුබිමක් වෙන්න දෙන්න එපා. අපි ඔබට වගා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා. අද පාතාලය, කුඩු ව්‍යාපාරය මේ රටට වසංගතයක් වෙලා. මේවා පිටුපස ඉන්නේ මේ රටේ දේශපාලුවෝ. එක සැරයක් කොළඹදී මන්ත්‍රිවරයෙකුගේ වාහනේ තිබිලා කුඩු කිලෝ 8ක් හමුවුණා. කැගල්ලේ හිටපු මහ ඇමතියෙකුගේ ජීප් එකෙන් තමයි අනුරාධපුරයට ගංජා ඇද්දේ. පොලිසියට අහුවුණා. මේගොල්ලෝ දේශපාලනඥයො නොවයි. අපරාධකාරයෝ. අපේ රටේ එක දරුවක්වත් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙන්න ඕන නැහැ. අපි ඒකට ඉඩ තියන්නේත් නැහැ. අපේ පාලනයක් යටතේ අපි කුඩු, අපරාධවලින් තොර රටක් නිර්මාණය කරනවා. අපි කාටවත් ණයත් නැහැ. බයත් නැහැ. පොලීසියේ මහත්වරුන්ට අපි පාතාලය සහ කුඩු මඩින්න අවශ්‍ය බලය දෙනවා. අපි එකතු වෙලා මේ රට මේ විනාශයෙන් ගලවා ගනිමු.

හැම දෙයින්ම අලුත් වෙන, වෙනස් වන රටක් හැම ක්ෂේත්‍රයේම අලුත් දේවල් නිර්මාණය වන රටක්, හැම පැත්තෙන්ම ලෝකයත් සමග ඉදිරියට යන රටක් අපි ගොඩනගනවා. අන්න ඒ සඳහා මේ සැප්තැම්බර් 21 වැනිදා මාලිමාව ජයග්‍රහණය කරවමු. ඒ වෙනුවෙන් ඉහළින්ම මැදිහත් වෙන්න එකතු වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

Crowd At The Victory Rally Of Ambalnthota
Anura Kumara Dissanayake Addressing The Ambalanthota Victory Rally
The Victory Rally Crowd At Ambalanthota
The Victory Rally Of Ambalanthota Crowd