Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

කතානායකට එරෙහි විශ්වාසභංගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අනුර දිසානායක සහෝදරයාගේ කතාව

(-Colombo, March 20, 2024-)

මේ විශ්වාසභංගය ඉදිරිපත් කර තිබෙන්නේ කථානාකයවරයාට එරෙහිව. මෙහි තිබෙන පදනම තමයි කථානායකවරයා පක්ෂග්‍රාහී ලෙස සහ ඔහුගේ වගකීමට අනුව හැසිරෙන්නේ නැතිකම. අද අපේ රටේ වගකීම් විරහිතව හැසිරෙන්නේ කථානාකයවරයා විතරද? ජනාධිපතිවරයා වගකීම් විරහිතව හැසිරෙනවා. පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණා, ඔහු බලය පාවිච්චි කරමින් සල්ලි දෙන්නේ නැතිව ඡන්දය කල් දැමුවා. ඔහු අනීතිකව හැසිරෙනවා. මේ කැබිනට් මණ්ඩලයත් අනීතිකව හැසිරෙනවා. නීත්‍යානුකූලව හැසිරෙනවා නම්, කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරයේ නොසිට මා ඉදිරිපිට මෙහි වාඩිවී සිටිය යුතුයි. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, මේ පාර්ලිමේන්තුව ගැන පවා ජනතාවගේ විශ්වාසය භංගවෙලා තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ තිබෙන ඔළුගෙඩි ගණනින් මේ කථානාකවරයා කෙරෙහි විශ්වාසය පළකළ හැකියි. නමුත් මේ පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, කථානායකවරයා, ජනාධිපතිවරයා මේ සියල්ලන් කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ සියල්ල ඉවත් කිරීම සඳහා මාස හය හතකින් ජාතික මැතිවරණයක් එනවා, ඒ නිසා කථානායකවරයා හෙට ඡන්දෙදි සමත් වුණත් තව මාස හයකින් අනිවාර්යයෙන් ගෙදර යන්න සිදුවෙනවා. විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙන නිසා කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

මේ සමස්ත දේශපාලන සංස්කෘතියටම එරෙහි දේශපාලනයක් අද අවශ්‍යවී තිබෙනවා. මහින්ද යාපා කථානායකවරයා 1987දී ගෙන එන ලද 13වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය අහිමි වුණා. ඒ මීට අවුරුදු 37කට විතර කලින්. ඒ තීන්දුව හරිද වැරදිද යන්නට වඩා මම කතා කරන්නේ ඔහුගේ හෘදසාක්ෂිය ගැන. ඒ මොහොතේ ඔහු සහ තව එක් අයෙක් ඡන්දය ප්‍රකාශයට පත්කොට මන්ත්‍රී ධුර අහිමි කරගත්තා. ඒ කියන්නේ ඔහුට යම් හෘද සාක්ෂියක් තිබුණා. කාලයාගේ අවෑමෙන් මහින්ද යාපාට සිදුවුණේ කුමක්ද? තමන් සතුව තිබූ හෘදසාක්ෂිය මුළුමනින්ම බිඳ වට්ටවා, ආණ්ඩු පක්ෂයේ උවමනාව මත කටයුතු කරන පරපෝෂිතයෙක් වුණේ කොහොමද? එකක් මේක යාපාගේ දියවීමක් විතරක් නොවෙයි, අපේ රටේ දේශපාලනයේ දියවීමක් මෙතන තිබෙනවා. අපේ රටේ දේශපාලනයේ ඇතිවී තිබෙන තත්වය විසින් අද කිසි තනතුරක් ඒ තනතුරට වගකියන්නේ නැහැ. මම පළමුදා වව්නියාවේ ගියා. එහි විශාල ඡායාරූප, බැනර්, කටවුට් ප්‍රමාණයක් දුටුවා. මේ පොලිස්පතිවරයාගේ හැසිරීම කොහොමද? ඒ සියල්ල කඩා වැටිලා තිබෙන්නේ. අපේ බිඳවැටීම් පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙන්නේ. ඒ නිසා පද්ධතියක් ලෙස ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒ බිඳ වැටීමට මහින්ද යාපා ද ගොදුරුවී තිබෙනවා.

ඒ නිසා තමයි වේදිකාවල බඩ ගගා වඳින මන්ත්‍රීවරු ඇමතිවරු අපි දකින්නේ. ඒ නිසා තමයි සමහරු තමන්ගේ මවුබිමට ගිහින් ලංකාවට එනකොට එයාර් පෝර්ට් එකට ගිහිල්ලා බදා වැළඳගෙන, දණ ගගා වඳින ජනතා නායකයන් දකින්නේ. බැසිල් රාජපක්ෂගේ, මහින්ද රාජපක්ෂගේ සරණ යාම තමයි පක්ෂය තුළ තමන්ට පැවැත්ම කියලා කල්පනා කරන්නේ. ඒ නායකයන් තමන්ට මොනතරම් ප්‍රමාණයක් ලැදිද, කොච්චර ප්‍රමාණයක් තමන් යටත්ද, මොනතරම් ප්‍රමාණයක් ප්‍රශස්ත ගීත ගායනා කරනවාද, මොනතරම් ප්‍රමාණයකට එම නායකයන්ගේ යටත් වැසියන් ලෙස ජීවත් වෙන්න සූදානම් ද යන්න මත තමයි, ඒ ගොල්ලන්ගේ දේශපාලනය රඳා පවතින්නේ. ඒකයි ඇත්ත. ඒ ඛේදවාචකයට මහින්ද යාපා ගොදුරුවුණා. ඒ පොදු කඩා වැටීමේ ගොදුරක් මහින්ද යාපා. ඔහු විසින් ඇති කරගන්නා ලද ප්‍රශ්නයක්ද තිබෙනවා.
කථානායකවරයා ආණ්ඩුවට පමණක් නොවෙයි විපක්ෂයටත් බය වුණා. ඔහු විශාල තනතුරු ප්‍රමාණයක් දුන්නේ කාටද? වසන්ත යාපා අබේවර්ධන, පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලික ලේකම්වරයා. ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්, සමන්ත යාපා අබේවර්ධන. ඔහුගේ මාධ්‍ය ලේකම්, ඉඳුනිල් යාපා අබේවර්ධන. ඔහුගේ තවත් නිලධාරියෙක්, චාමර සී. යාපා අබේවර්ධන. ඔහුගේ පවුල ගෙනාවා මේ පාර්ලිමේන්තුව ඇතුළට. ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දී ප්‍රකාශ කොට කිව්වා කිසිදු තනතුරකට තමන්ගේ ඥාතීන් ගන්න එපා කියලා. එසේ තිබියදී යාපා, යාපා පරම්පරාවක් මෙතනට ගෙනාවා. ඔහු නිරන්තරයෙන් බයෙන් හිටියා මේ පාර්ලිමේන්තුවේ ඒක ප්‍රශ්නයක් බවට පත්වෙයි කියලා. මේ අය විදෙස්ගත වෙනකොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියොජනය තරමින් යන්නේ. ඒ කියන්නේ අර පොදු කඩා වැටීම වගේම පාර්ලිමේන්තුවෙන් තම පවුල යැපීම සඳහා දරන උත්සාහයත් නිසා ඔහුගේ පෞරුෂය බිඳ වැටෙනවා. ඔහුගේ එක පුතෙක් ලොතරැයි මණ්ඩලයේ සභාපති බවට පත්වෙනවා. ඒ කියන්නේ මුදල් අමාත්‍යවරයා විසින් පත්කරන ලද නිලධාරියෙක්. මොනතරම් ප්‍රමාණයකට රනිල් වික්‍රමසිංහයට යටහත් ද කියන එක මත තමයි පුතාගේ තනතුර රඳා පවතින්නේ.

ඔහු සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරයා බවට පත්වෙනවා. සම්බන්ධීකරණ කමිටුව විධායකයේ කොටසක්. ව්‍යවස්ථාදායකයේ කෙනෙක් විධායකයේ සභාපතිවරයා වෙනවා. ඔහුගේ පෞද්ලික චර්යාවන්, පොදුවේ සමාජයේ බිඳවැටීම විසිනුත් මහින්ද යාපා පරපෝෂිතයෙක් බවට පත්වුණා. ඒ නිසා සෑම වෙලාවකම ආණ්ඩුව පැත්තට නැමියාවක් සහිතව කටයුතු කරන කතානායකවරයෙක් බවට පත්වුණා. වම් පස සහ දකුණු පස මැද පුටුව තිබුණාට කථානායකවරයා බරවෙලා තිබුණේ දකුණු පසට. ඔහුගේ මේ දේශපාලන වශයෙන් හැසිරීමේ තත්වයත්, සමාජයේ පොදු කඩා වැටීමත්, පෞද්ගලිකව තමන් කරන මැදිහත් වීම් විසින් ඔහු වැහැරුණු කථානායකවරයෙක් බවට පත්වුණා.

වැහැරුණු කථානායකවරයාගේ චර්යාවන් වුණේ කොහොමද? බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනකොට, කථානායක නැගිටලා තමයි බැසිල් රාජපක්ෂගේ දිවුරුම ගන්නේ. රනිල් වික්‍රමසිංහගෙන් දිවුරුම් ගන්නේ නැගිටලා. හැබැයි පොළොන්නරුවේ මන්ත්‍රීවරයෙක් වන ‘නයන වාසලගේ’ දිවුරුම ගන්නේ වාඩිවෙලා. ඔහු අර අවස්ථාවල ඉබෙන් නැගිටින්නත්, වෙනත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනකොට නොනැගිටී සිටින්නත් තමන්ට හදා තිබෙන මානසිකත්වය මොකක්ද? ඒ මානසිකත්වය තමයි යටහත්භාවය. ඒ නිසා කථානායකවරයාට සිද්ධ වුණේ මොකක්ද? අවම වශයෙන් කථනායකවරයා කියන පුටුවේ තව කෙනෙකුට වාඩිවීමට අනාගතයේ අවස්ථාව තිබෙන විදිහට පුටුව ආරක්ෂාකර ගන්න බැරිවුනා පුටුවේ වසුරු හෙලන්නේ නැතිව. ඔහු තීන්දුවක් දෙන්න සභානායක දිනේශ් ගුණවර්ධනගේ සංඥාව මොකක්ද කියලා බලමින් හිටියා. මහින්ද යාපා, පුද්ගලිකවත්, තනතුරත් වැහැරුණාට පස්සේ අපක්ෂපාතිත්වයක්, සාධාරණත්වයක් අපේක්ෂා කරමින් කටයුතු කරයි කියා බලාපොරොත්තු විය යුතු නැහැ.

හැමදාම උදේ විපක්ෂ නායකවරයාගේ භූමිකාව මොකක්ද? මම හිතනවා විපක්ෂයේ කවුරුත් එය අනුමත කරන්නේ නැහැ. පැය එකහමාරක් දෙකක් මොකක්ද කළ විගඩම. ඒකට කථානාකයවරයා ඉඩ දෙනවා. ඔහු විටෙක ආණ්ඩුවටත් විටෙක විපක්ෂයටත් බයයි, තමන්ගේ පවුලට මේ පාර්ලිමේන්තුව ඇහිරෙයි කියලා. අද නියෝජ්‍ය කථානායකවරයාට මේ සම්ප්‍රදායන් අනුගමනය කරන්න සිදුවුණේ ඇයි? අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ප්‍රශ්න අයින් කළා. මේ විවාදයට විධිමත් කාලයක් ලබාදෙන්න උවමනා නිසා. මන්ත්‍රීවරු දහදෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණා. 9.30ට පාර්ලිමේන්තුව පටන් ගත්තා. විවාදය 11.30ට පටන් ගන්න තිබුණා. ප්‍රශ්න අයින් කිරීමෙන් ඵලක් වුණාද? මේ විදිහට මේ මුළු සභාවම දියාරු බවට, විගඩමක් බවට පත්කිරීමේ වගකීම කථානායකවරයාට පැවරෙනවා. හැබැයි විපක්ෂය විසින් ඉදිරිපත් කරපු විශ්වාසභංගයේ ඒ වගන්තිය නැහැ. හරිනම් ඒකත් තියෙන්න ඕන.

ඇතැම් අවස්ථාවල කතානායකවරයාගේ මැදිහත්වීම මේ පාර්ලිමේන්තුවේ කාරක සභාවලටත් බලපෑමක් ඇති කළා. කෝප් සභාව නොවැම්බර් මස 16 වගේ කැඳෙව්වා. කැඳවපු වෙලාවේ ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර ඔහු එම සභාවේ හැසිරීම පිළිබඳව සභාවෙත්, පාර්ලිමේන්තුවෙත්, පොදුවේත් ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. ඒ වෙලාවේ කළ යුත්ත තමයි කෝප් කමිටුව යථාවත් කිරීම. කෝප් සභාවේ ක්‍රිකට් බෝඞ් එකේ විමර්ශන අවසන් කිරීමට, නෙවැම්බර් 23, 28, වශයෙන් දින පෙළගස්වා තිබුණා. මන්ත්‍රීවරු ගණනාවක් අවස්ථා ගණනාවකදී කථානායකවරයාගෙන් විමසා සිටියා කෝප් කමිටුවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම ගැන. ඔහු පිළිතුරු නොදී ස්වභාවිකව කෝප් කමිටුව අභාවයට යන්න ඉඩ දුන්නා. ජනාධිපතිවරයා තමන්ට පැවරී තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව වාර අවසාන කළා. වාර අවසාන කරනකම් මාස තුනහමාරක් කෝප් කමිටුව අක්‍රීය කළේ කථානායකවරයා. ඇයි? ඔහු රංජිත් බණ්ඩාර ගැන තීන්දුවක් ගන්න බයයි. රංජිත් බණ්ඩාර යනු බැසිල්ගේ හොඳම ගෝලයෙක්. රංජිත් බණ්ඩාර ගැන පාර්ලිමේන්තුවේ තීන්දුවක් ගත්තොත් බැසිල් තමන්ට මොනවා කරයිද කියා බයක් තිබෙනවා. පරපෝෂිතයෙකුගෙන් මෙයිට වඩා භූමිකාවක් බලාපොරොත්තු විය යුතු නැහැ. ඔහු එයට උත්තරයක් දුන්නේ නැහැ.

මුදල් කමිටුවේ ප්‍රශ්න පැන නැගුණා. මුදල් ආර්ථික කාරක සභාව වැදගත් කාරක සභාවක්. පැහැදිලිව තිබෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් එහි සභාපති ධුරය දැරිය යුතුයි කියා. නිශ්චිත සභාපතිවරයෙක් පත් නොකොට සභාව රැස්වෙනවා. ආණ්ඩුව විසින් තාවකාලික සභාපතිවරයෙක් එදාට පත්කර ගන්නවා. ඇවිත් තිබෙන බිල්ටික සියල්ල පාස්කර ගන්නවා. මුදල් කාරක සභාව එදාවේල ටුවර්ස් බවට පත් කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගෙන් සංඥාව ආවා හර්ෂට එකඟයි කියා. ඊට පස්සේ වැඬේ කෙරුණා. කථානාකයවරයා මුදල් කාරක සභාව, කෝප් කමිටුව අඩපණ වෙනකොට තමන් මැදිහත්වී එය විසඳිය යුතුව තිබුණා. කෝප් සභාවේ ප්‍රශ්නය විසඳුවේ කාරක සභාව කල් තබන තෙක් ඔහේ ඇදලා. මුදල් කාරක සභාවේ ප්‍රශ්නය විසඳුවේ රනිල් වික්‍රමසිංහගේ සංඥාව ආවාට පසුව. පඹයෙක් නෙවෙයිද? එහෙම කථානායකවරයෙකුගෙන් ඵලක් තිබෙනවාද?

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා විවිධ දේවල් ගෙනහැර පානවා පොලිස්පතිවරයා පත්කිරීම ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් කියලා. අපේ රටේ සම්ප්‍රදාය මොකක්ද? ඕනෑම එකකදී පක්ෂව ඡන්දය දීම. විරුද්ධව ඡන්දය දීම. ඡන්දය ප්‍රකාශයට පත් නොකිරීම කියන අවස්ථා තුනම තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා, ව්‍යවස්ථා සභාවේ තීන්දුව ඒකමතික වෙන්න ඕනෑ. එසේ නැතිනම් පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගෙන් අවම වශයෙන් පස්දෙනෙක් ගන්න ඕනෑ. එදා පොලිස්පතිවරයා පිළිබඳ තීන්දුවේදි හතර දෙනෙක් පක්ෂ වෙනවා. දෙදෙනෙක් විරුද්ධ වෙනවා. දෙන්නෙක් ඡන්දය නොදී ඉන්නවා. ඒකෙන් හැඟවෙනවා ඡන්දය නොදී සිටීමට හැකියාවක් තිබෙන බව. හතර දෙනා සම වුණොත් සභාපතිවරයා ලෙස, කථානායකවරයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තිබෙනවා. “මෙවන් අවස්ථාවක ව්‍යවස්ථාව අනුව මාගේ තීරණය වන්නේ නිහඬ දෙන්නාද විරුද්ධ බවය. මම මාගේ තීරක ඡන්දය පාවිච්චි කරනු ඇත.” කියලා කතානායකවරයා සභාව ඇතුලේ කියන්න ඕනෑ. තීරක ඡන්දය පාවිච්චි කර, තීන්දුව ජනාධිපතිවරයාට දැනුම් දෙන්න ඕනෑ. මේ ක්‍රියාවලිය සභාව ඇතුලේ සිදුවුණේ නැහැ.

කථානායකවරයා එම සිදුවීම ලිපියකින් ජනාධිපතිවරයාට ලියා යවන්නේ “කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඊ) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීතිය ඉදිරියේ ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම්, හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඊ5) ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණා සේ සලකන්නේ නම්, සභාපතිවරයා ලෙස මාගේ තීරක ඡන්දය ලෙස පක්ෂව ලබාදෙනු ඇත.” එතුමාට තිබෙන්නේ ව්‍යවස්ථා සභාවේ තීරණය දැනුම් දෙන්න. එතුමා ජනාධිපතිවරයාට තීන්දුවක් ගන්න දැනුම් දී තිබෙනවා. මේ තමයි යටත්වීම. දියවීම. පෞරුෂය අහිමිවීම. දේශපාලන වශයෙන් ඇතිවී තිබෙන බෙලහීනතාවය. ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ මෙතන. එතුමා ප්‍රකාශ කර තිබෙන්නේ තැපැල් ඡන්දයක්. ඒ නිසා විශේෂයෙන් රටේ ආන්දෝලනයක් වී තිබුණා පොලිස්පතිවරයා පිළිබඳ ප්‍රශ්නය.

ඔන්ලයින් බිල් එක විශාල ලෙස සමාජයට බලපා තිබෙනවා. පනතේ වගන්ති 54යි. සංශෝධන 34යි. පනත මුළුමනින්ම හරයාත්මක වෙනස්වීමකට භාජනය වී තිබෙනවා. අපේ ඉල්ලීම වුණේ ආණ්ඩුව නැවත පනත කෙටුම්පත් කොට ඉදිරිපත් කරන ලෙස. ආණ්ඩුව කිව්වේ, ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන නියෝගවලට අනුරූප වන පරිදි සංශෝධන ඉදිරිපත් කරන බව. සංශෝධන ඉදිරිපත් කළා. තීන්දුව කථානායකවරයාට එවන්නේ ඇයි? තීන්දුව කථානායකවරයාට දැන ගන්නත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත අධිකරණයෙන් ලබාදී තිබෙන නිර්දේශයන් අනුව කටයුතු කරනවාද නැද්ද යන්න පරීක්ෂාවට භාජනය කරන්නත්. එහි වගකිවයුත්තා කථානායකවරයා. ඔබගේ පාර්ලිමේන්තු සභා ගැබට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකණ තීන්දුව අනුව මෙසේය. (ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුරූපවන පරිදි ඔබ මුලසුන හොබවන පාර්ලිමේන්තුවේ මෙය සම්මත කර ගැනීමට, ඔබ වගබලාගත යුතුය.) මෙසේ ලියා නොඑවුවත් මෙම කාර්යය ඉටුකිරීම කථානායකවරයාගේ වගකීමයි. කථානායකවරයාට අත්හැරිය නොහැකි අනුල්ලංඝනීය වගකීමක් තිබෙනවා. අඩුම තරමේ ඔහුට තිබුණා කාරක සභාව කෙටිකාලයකට හෝ අත්හිටුවලා, ඇමතිවරයාගේ සංශෝධනත්, අධිකරණයේ තීන්දුවත්, විපක්ෂ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන ඒවත් විනාඩි 10කට කතා කරලා කරන්න. සංඥාව රනිල්ගේ නිසා එහෙම කරන්න බැහැ. කියන ඒව අනුව අද මේක පාස් කරන්න ඕනෑ. ඇයි? පුටුවට ඔබින්නේ නැති නායකයෙක්. අනෙකා ඉදිරියේ නැවෙන නායකයෙක්. කරත්තේ බැඳපු අම්බරුවා වගේ “ජහ්: කියන කොට යනවා, හිටු කියනකොට ඉන්නවා” ඒ සංශෝධන ඉදිරිපත් කරන්නේ නැහැ කියලා මතුකරන කොට, ඔහුට නැවත පරීක්ෂා කිරීමේ යුක්තිසහගත බලයක් තිබෙනවා. මේ කථානායකවරයා කොහොමත් මාස හත අටකින් යන්න ඕනෑ. ඉක්මනින්ම යවන්න විශ්වාසභංගය ගෙනත් තිබෙනවා. ඔහුගේ චර්යාවන් දෙස බලන විට ඔහුට මේ පුටුව උචිත නෑ.

කෝප් කමිටුවේ කඩා වැටීම සිදුවුණේ රංජිත් බණ්ඩාරගේ යුගයේ. ඒ නිසාමත් මගේ සහභාගිත්වයත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර තිබුණා. කෝප් කමිටුවේ කාර්යයන් ඉතා සාධනීය ලෙස තමයි මාධ්‍යවලට විවෘත කරන්න තීන්දුවක් ගත්තේ. ඒක අපේ පාර්ලිමේන්තුව වගේ උදේ පැය එක හමාර දෙක බවට පත්වෙන්න පටන් ගත්තා. විශාල කඩාවැටීමකට කෝප් සභාව පත්වුණා. රංජිත් බණ්ඩාරගේ හැසිරීම එහි සභාපතිට උචිත නොවෙන තත්වයක් ඇති වුණා. ඒ නිසා ඔහු ඉවත් වුණා. පාර්ලිමේන්තු කාරක සභාව අහිමි වුණාට පස්සෙ ස්වභාවිකවම ඔහුගේ තනතුර අහිමි වුණා. ඊළඟට සභාපති ලෙස රෝහිත අබේගුණවර්ධන පත් කළා. මේකේ එක සංඥාවක් තිබුණා. මේකෙ තිබුණේ ගේමට ගේම. රංජිත් එපා නම් අපි දෙන්නේ රෝහිත වගේ කෙනෙක්. හරි අපරණිත දේශපාලන ගේමක් මෙතන ප්ලේ කළා. ඔහුගේ චර්යාවන්, ඔහුට තිබෙන චෝදනා, ඔහු පිළිබඳ සමාජයේ තිබෙන මතයන්, සලකා බැලීමේදී ඔහු මුලසුන දරන කෝප් සභාවට සහභාගී වීමෙන් ඵලක් නැහැ. ඒ නිසා මම ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.