Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අප අවසන් කරන්නේ පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතියයි – කිසිවෙකුගෙන් පළි ගැනීම අරමුණ නොවෙයි” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-Colombo, January 26, 2025-)

මැති ඇමතිවරුන්ට වරප්‍රසාද ලබාදෙන දේශපාලන සංස්කෘතියට වත්මන් රජය තිත තබා තිබෙන බව පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු එලෙස කටයුතු කරද්දි හිටපු නායකයින් නාස්තිකාර ජීවිත ඔවුන්ගේ උරුමයක් ලෙස සලකන බව ප්‍රකාශ කළේය. පැරණි නාස්තිකාර කටයුතුවලට තමන් කිසිවක් නොකියන නමුත් අද සිට හෝ නව දේශපාලන සංස්කෘතියට එක්වන ලෙස තමා ඔවුන්ට පවසන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (26) පස්වරුවේ අනුරාධපුර විවේකානන්ද ක්‍රීඩාංගණයේ පැවති සුහද හමුව අමතමිනි.

මෙහිදී ජනතාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩි දුරටත් මෙසේද පැවසීය.

Crowd At The Clean Sri Lanka Meeting Anuradhapura

ජාතික ජන බලවේගය ලෙස අප පසුගිය මහ මැතිවරණට පෙර දිනයේදීඅනුරාධපුරයට පැමිණ විශාල ජනකායක් සමගින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා. ඉන් අනතුරුව පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 159ක් සහිත දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ආණ්ඩු බලය ලබා ගැනීම සිදු වූයේ පරම්පරාවෙන්. තාත්තා, අම්මා අගමැති වීම නිසා දුවට බලය ලැබුණා. අයියා ජනාධිපති නිසා මල්ලිට බලය ලබා දුන්නා. මාමා ජනාධිපති නිසා බෑනා ජනාධිපතිවුණා.

විශාල ලෙස මුදල් වියදම් කිරීම මඟින් ආණ්ඩු ගොඩ නැගූ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. කුමන්ත්‍රණ මගින් හා මාධ්‍යවල මතවාද ප්‍රචාරණය කරමින් ආණ්ඩු ගොඩනැඟුණා. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ජනතාවගේ මැදිහත්වීමෙන්. ජනතාව විසින් එක්ව ගොඩනැගුණු මෙම ආණ්ඩුවට දැනට මාස දෙකක් ගත වී තිබෙනවා. එම නිසා මෙම ජයග්‍රහණය ලබාදුන් ජනතාව සමඟ සුහදව කතා කිරීමට අපි මෙම හමුව යොදා ගත්තා.

President Anura Kumara Dissanayake Addressing At The Clean Sri Lanka Meeting Anuradhapura

පසුගිය සැප්තැම්බර් මාසයේ අප ජයග්‍රහණය ලබා ගන්නා විට පැවතුණේ ඉතා කුඩා ආණ්ඩුවක්. නොවැම්බර් මස 14 වැනිදා මහ මැතිවරණය පවත්වා නොවැම්බර් 21 වෙනිදා කැබිනට් මණ්ඩලය පිහිටුවීමට අපට හැකිවුණා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණි විට ජාත්‍යන්තර සබඳතා බිඳ වැටේ යැයි ඇතැම් කණ්ඩායම් විවිධ ප්‍රචාරයන් ගෙන ගියා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී කර්මාන්තකරුවන් ආයෝජකයින් රට හැර යනු ඇතැයි තවත් සමහරු ප්‍රචාරය කළා. ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවති ආර්ථිකය ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් නොවෙයි. එම තත්ත්වය තවත් ඉදිරියට පැවතියා නම් පාලකයින් අතින් ඩොලරයේ පාලනය ගිලිහීමට ඉඩ තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුවේ විශ්වාසය ගොඩනඟා ගැනීමට කටයුතු කළා. අද කොටස් වෙළඳපොළ වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. නමුත් කොටස් වෙළඳපලෙන් සමස්ත ආර්ථිකය පිළිබිඹු වන්නේ නැහැ. කොටස් වෙළඳපොළෙන් ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කරනවා. පහුගිය දෙසැම්බර් මාසයේ සිට කොටස් වෙළඳපළේ අගය ඉහළ යමින් තිබෙනවා.

අපේ රට විශාල ලෙස බංකොලොත්භාවයට පත්ව තිබුණා. එම තත්වය සමනය කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් කර ගැනීමට වත්මන් රජයට හැකි වුණා. ඒ සමගම ලංකාව එතෙක් පැවති බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවට හැකි වුණා. බංකොලොත්භාවය නිසාම මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබු සංවර්ධන ව්‍යාපෘති අතරමග නවතා දමා තිබුණා. ජපාන රජය විසින් එලෙස ව්‍යාපෘති 11ක් නවතා දමා තිබුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියත් ඒ අතර තිබුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ජපාන රජය එම ව්‍යාපෘති 11ම නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. එසේම චීන රජය විසින් ඉදිකරමින් තිබු සහ ඉදිකිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති 76ක් නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. මා පසුගියදා සිදු කළ චීන සංචාරයේදී මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණා. මේ වනවිට ජාතික ජන බලවේගය ආණ්ඩුව විදේශ රටවල් සමග ඇති විශ්වාසය තහවුරු කර තිබෙනවා.

Wasantha Samarasinghe Addressing At The Clean Sri Lanka Meeting Anuradhapura

චීන රජය පාසල් නිල ඇඳුම් සඳහා ලබාදුන් 80%ක ආධාරය 100%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා. එමෙන්ම 2026 වසර සඳහාත් නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟතාව පළ කළා. හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 3.7ක් ලබාදුන්නා. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය ලෙස එය ඉතිහාසයට එක් වෙනවා. කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ කොටස නැවත ආරම්භ කිරීමට අදාළව වන්දියක් ගෙවීමට සිදුව තිබුණා. එම වන්දිය 50%කින් අඩු කර ගැනීමට අප සැලසුම් කරමින් තිබෙනවා. එම මාර්ගය නැවත ඉදිකිරීම සඳහාත් චීනයේ ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

අපි පළමු සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගනු ලැබුවා. එයින් රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකි වූ අතර ණය අධාරයක් ලෙස අපට ලබාදී තිබු මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ආධාරයක් බවට පත්කර ගැනීමට එම සංචාරයේ දී අපට හැකි වුණා. එමෙන්ම නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා ප්‍රදානයක් සිදු කිරීමට ද ඉන්දියානු රජය එකග වී තිබෙනවා. ජාත්‍යන්තරය තුළ වත්මන් ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ආයෝජකයන්ට විශ්වාසනීය රටක් බවට අද ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙනවා.

The Clean Sri Lanka Meeting Anuradhapura Crowd

සාමාන්‍ය ජනතාව බලා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අප කටයුතු කළා. ඒ වගේම අස්වැසුම ලබාදෙන ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කළා. අස්වැසුම ලබාදෙන කණ්ඩායම් පිළිබඳ නැවත සමාලෝචනයක් මෙම ජුනි මාසයේදී සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ආධාර ලැබිය යුතු කොටස් ඉලක්ක කර ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ බොහෝ ආණ්ඩුවල සැලැස්ම වන්නේ ආධාර ලැබිය යුතු ජන කොටස්වලට ආධාර ලබාදීමයි. ඒ සඳහා නිවැරදි දත්ත එක් රැස් කිරීම අවශ්‍ය වෙනවා.

අපේ රටේ මෙතෙක් ආධාර ලබා දුන්නේ පුරවැසියන් බලා ගන්නා කෝණයෙන් නොව දේශපාලන කෝණයෙන් බලා බව අපි දන්නවා. එම නිසා නිසි ලෙසම ආධාර ලැබිය යුතු පුරවැසියන් රැකබලා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම අපගේ අරමුණයි. මෙම වැඩසටහන් සඳහා යොදවනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්. එම නිසා ඉලක්කගත නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි.

Wasantha Addressing The Clean Sri Lanka Meeting Anuradhapura

පාසල් උපකරණ ලබාගත නොහැකි දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් අපි සකස් කළා. නමුත් එහිදී අස්වැසුම ලබන පිරිසට අමතරව තවත් දරුවන් පිරිසක් සිටියා. එම නිසා මෙම දත්තවල යම් වියවුලක් තිබෙනවා. දරුවන් තුන්සියයට වඩා සිටින පාසල්වල දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් ලබාදීමට අප තීරණය කළා. නිවැරදි දත්ත ලැබීමෙන් පසුව ආධාර ලැබිය යුතු ප්‍රජාව ඉලක්ක කරගෙන ආධාර ලබාදීමට කටයුතු කරනවා.

අපි ජනතාව බලා ගැනීම සඳහා පසුගිය මාස දෙක තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. තවමත් අප අයවැය ලේඛනයක් ඉදිරිපත් කර නැහැ. අයවැය ‍ලේඛනය පෙබරවාරි 17 වැනිදා ඉදිරිපත්කරනවා. මේ රටේ හැමදාම සහනාධාරවලින් යැපෙන ජනතාවක් සිටිය යුතු නැහැ. අපේ රටේ සෑම පුරවැසියෙකුටම ක්‍රමානුකූලව ආර්ථික ශක්තියක් ලබාදීමට රජය කටයුතු කරනවා. ආණ්ඩුවේ ඉලක්කය එයයි. නැවත අපේ රට 2022-2023 වසර වල මෙන් ආර්ථික අර්බුදයකට ලක්වීමට අප ඉඩ තබන්නේ නැහැ. මේ රටේ ආර්ථික පදනම ශක්තිමත්ව නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා.

PMDK Palihena At The Clean Sri Lanka Meeting Anuradhapura

වරාය ඉලක්ක කර ගනිමින් විශාල ආර්ථිකයක් ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා. 2030 වනවිට කොළඹ වරායේ කන්ටේනර් ලක්ෂ 113ක මෙහෙයුම් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා. හිටපු නායකයින්ට වරාය සම්බන්ධයෙන් කිසිම සැලසුමක් තිබුනේ නැහැ. වරායේ ගේට්ටු හතරක් තිබෙනවා. නමුත් ගේට්ටු දෙකයි ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමටවත් හිටපු නායකයින් කටයුතු කර තිබුණේ නැහැ. ඒ නිසාම වරායේ තදබදය වැඩිවෙලා තිබෙනවා. නැගෙනහිර ජැටියේ වැඩකටයුතු ලබන ජූනි මාසය වන විට අවසන් කිරීමට අප කටයුතු කරනවා. එවිට කන්ටේනර් මෙහෙයුම් තවත් වැඩිවෙනවා. එවිට තදබදය තවත් වැඩිවෙනවා. ඒ නිසා කෙරවලපිටියේ බහාළුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එය ඉදිකිරීමට තව වසරක් පමණ ගත වේවි. මෙම බහලුම් මෙහෙයුම් සිදු කිරීමට කඩිනම් සැලැස්මක් අවශ්‍යයි. දැක්මක් සහිත පාලකයන් නොසිටි නිසා වරායේ තදබදය තවත් වැඩි වී තිබෙනවා. අප ටිකෙන් ටික එම තදබදය අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

සංචාරක කර්මාන්තයේදී මිලියන තුනක සංචාරකයින් ප්‍රමාණයක් අප අපේක්ෂා කරනවා. අපේ රටට සංචාරකින් පැමිණියත් සංචාරක ආකර්ෂණීය ස්ථානවල අඩුවක් තිබෙනවා. සංචාරකයින්ට තදබදයකින් තොරව නැරඹුම් ස්ථාන ඇති කිරීම කළ යුතුයි. අනුරාධපුර නගරය සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය, ශ්‍රී ලංකාවේ පළමු වැව තිබෙන්නේ අනුරාධපුරයේයි. ඒ නිසා අනුරාධපුරය සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකියාව තිබෙනවා. ලෝකයට යන විට කියවෙන්නේ රටේ නම නෙවෙයි, නගරයේ නමයි. ලන්ඩන් පැරිස් කියන්නේ ‘සිටි බ්‍රෑන්ඩ්’ කිරීමක්. අනුරාධපුරයත් ‘සිටි බ්‍රෑන්ඩ්’ කිරීමක් කළ යුතුයි. අනුරාධපුර නගරය යළි ඓතිහාසික නගරයක් බවට ප්‍රතිස්ථාපනය කළ යුතුයි. අපේ රටට සංචාරකයින් මිලියන තුනක් පැමිණෙන්නේ නම් එම සංචාරකයින් ප්‍රමාණය රට පුරා ව්‍යාප්ත කළ යුතුයි.

Mahinda Pathirage At The Clean Sri Lanka Meeting Anuradhapura

අපේ රටේ ස්වභාවික සම්පත් පිළිබඳව අවධානය යොමු කර නැහැ. අපේ ඛණිජ සම්පත්වලට අගය එකතු කිරීමට කිසිවෙකු කටයුතු කර නෑ. ඒ නිසා ඛනිජ සම්පත් සංවර්ධනය සඳහා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

පැරණි වාරිමාර්ග ක්‍රමවේද 07ක් අනුරාධපුර නගරයේ තිබෙනවා. එම වාරිමාර්ග ක්‍රමවේද හත ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කරනවා. මෙවර අයවැයෙන් වෙන් කරන මුදල් නිශ්චිත ව්‍යාපෘතිවලට වියදම් කිරීම අවශ්‍යයි. මෙම කටයුතු තුළින් ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

බලශක්තිය ආර්ථිකයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍රයක් වෙනවා. අද වන විට විදුලිබිල අඩු වී තිබෙනවා. නමුත් විදුලිබිල අඩුවීම ස්ථාවරව තබාගන්න බැහැ. වහින කාලෙට විදුලි බිල අඩුවෙන, පායනකොට විදුලි බිල වැඩිවෙන ක්‍රමයට අප තිත තැබිය යුතුයි. එහිදී පුනර්ජනනීය බල ශක්තියට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. මන්නාරම සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට අප සැලසුම් කළා. එයින් විදුලි ඒකකයක් මිලදී ගන්නා මිල රුපියල් දාහතරක් වෙනවා. නමුත් පසුගිය රජය සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ගත වී තිබෙන මිලදී ගැනීමේ මිල රුපියල් 18ක් වෙනවා. පසුගිය ආණ්ඩුව සාම්පූර් බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම අත්සන් කර තිබුණේ ආසන්න වශයෙන් රුපියල් විසි හතරකටයි. නමුත් අප එය රුපියල් දාහතක් දක්වා අඩු කිරීමට කටයුතු කළා. සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අක්කර 10,000ක් වෙන්කර ටෙන්ඩර් පටිපාටියක් හරහා ආයෝජකයන්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ආර්ථිකය සඳහා අලුතෙන් ප්‍රවිෂ්ඨ වන අයට රාජ්‍ය බැංකුවක් සමඟ ඒකාබද්ධ වී සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් සකස් කරනවා. ඒ යටතේ සහන පොළියට ණය ලබා දෙනවා. ව්‍යාපෘති වාර්තාව පෙන්වා කර්මාන්ත අමාත්‍යාංශය අනුමැතිය සහිතව බැංකුවට ඉදිරිපත් කළ විට ණය ළබාදීමේ ක්‍රමවේදයක් ඇති කරනවා. නව ගොවිපළවල්වල හිමිකාරීත්වයක් ඇති කිරීම සඳහා තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙනවා. සුළු හා මධ්‍ය පරිමාන පරිමාණ කර්මාන්ත පද්ධතියක් ඇති කිරීම මගින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අප සැලසුම් කරනවා. ගම දියුණු වී ආර්ථික වශයෙන් ඉහළ යෑම අවශ්‍ය වෙනවා.

ඒ වගේම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. නාගරිකව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පැති ගණනාවක් ඔස්සේ අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.

Singing At The Clean Sri Lanka Meeting Anuradhapura

ජනතාව අපට ඡන්දය ලබාදීමේදී සාධක කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළා. දේශපාලන සංස්කෘතිය, නාස්තිය දූෂණය අවම කිරීම, යන සාධක ජනතාව අපෙන් ඉල්ලා සිටියා. අපි පළමුවෙන්ම පැවති දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තැබුවා. අපි ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය අප අවසන් කර තිබෙනවා. ගිලන් රථ පිටුපසින් ගියපු ඉතිහාසයක් තිබුණා. අපි කිසිම ඇමතිවරයෙකුට නිල නිවාස ලබා දුන්නේ නැහැ. කොළඹ ජනාධිපති මන්දිරය හා නුවර ජනාධිපති මන්දිරය පමණක් තබාගෙන අනෙකුත් සියලුම ජනාධිපති මන්දිර රටේ ආර්ථිකයට දායක කර ගත හැකි ලෙස ආයෝජනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ජනාධිපතිවරයා හා ඇමතිවරු මෙලෙස කටයුතු කරන විට හිටපු ජනාධිපතිවරු කියනවා දේශපාලන පළිගැනීම් කරනවා කියලා. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් කොළඹ හතේ හෝටි ගණන් වටින ඉඩම්වල ඉන්නවා. වර්ග අඩි තිස්දහස් ගණනක නිවසක සිටිනවා. මේ යහපත් දේශපාලන සංස්කෘතියට එන්න කැමති අය එන්න. අපිට හිටපු පාලකයන් සමඟ ඉඩම් නඩු නැහැ. නාස්තිකාර ජීවිත ගත කරන එක අපට හුරු නැහැ. නාස්තිකාර ජීවිත ගත කරන එක එයාලගේ ජීවිතවලට උරුම දෙයක් කියා ඔවුන් කියනවා. මහජනයාගේ ධනය එහෙම දෙන්න ඕනෙද? හිටපු ජනාධිපතිනිය ඉන්නේ වර්ගඅඩී 15000ක නිවසක. පැරණි නාස්තිකාර කටයුතුවලට අපිකිසිවක් කියන්නේ නෑ. අද ඉඳන් නව දේශපාලන සංස්කෘතියට එන්න කියා අපි ඔවුන්ට කියනවා.

දේශපාලඥයා කියන්නේ මහජනතාවට වඩා ඉහළින් ඉන්න කෙනෙක් නෙවෙයි. අපි මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ලබාදෙන්නේ නැහැ, මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදෙන්නෙ නැහැ, විශ්‍රාම වැටුප් ලබාදෙන්නෙ නැහැ. දැන් සමහරු අහනවා කෝ දූෂිතයන් ඇල්ලුවද කියලා. ඊට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශක්තිය ලබා දී තිබෙනවා.

ශක්තිමත් ලෙස එම නඩු ගෙනුකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. අපි කිසිවෙක් පසුපස පෞද්ගලිකව හඹා යන්නේ නැහැ. පරීක්ෂණ අවසන් වන ආකාරයට අධිකරණයට වාර්තා කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර දාසයක් ගත වෙනවා. තාජුඩීන් ඝාතනය කර වසර දහතුනක් වෙනවා. තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව කටයුතු කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මේ වන විට මිය ගිහින්. ඒ පිළිබඳ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මේ වන විට මිය ගොස් තිබෙනවා. එබැවින්ඇතැම් පරීක්ෂණ කල්ගත වෙනවා.

From The Front Of The Clean Sri Lanka Meeting Anuradhapura

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙරට මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමට අවශ්‍ය පහසුකම් පොලිසියට ලබාදී තිබෙනවා. අනවසර ගිනිඅවි සමාජය තුළ සැරිසරනවා. ඒ නිසාම නිල නොලත් පාතාල රාජ්‍යයක් තිබෙනවා. මෙය මර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල අප සතුව තිබෙනවා. මෙම පාතාලය මේ වසර පහේදි මර්ධනය කිරීමට අප කටයුතු කරනවා.

අපට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟයි. අපි මාධ්‍ය ආයතනවලට බැඳී නැහැ. කළු කඩ ව්‍යාපාරිකයන් සමඟ අපට බැඳීමක් නැහැ. අපේ මූලික බැඳීම තිබෙන්නේ මේ රටේ ජනතාව සමග පමණයි. ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය බිඳ දැමීමට ඉඩ තබන්නේ නැහැ.

ලංකා ඉතිහාසයේ සැලකිය යුතු කාලයකට පසුව පරිවර්තනීය දේශපාලන නායකත්වයක් ඇතිවී තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යයි. පොලිසියේ, හමුදාවේ, රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අපට අවශ්‍යයි. ලෝකයේ එක කාලයක අව්ව වැස්ස දෙස බලා ගමන් කළා. නමුත් මේ වන විට ලෝකය ගමන් කරන්නේ දත්ත මතයි. එම නිසා නිෂ්පාදනය පරිභෝජනයට ප්‍රමාණවත් ද නැද්ද කියා සොයා දෙන්නේ දත්ත මගින්. එම දත්ත එක් රැස් කිරීම පරිපූර්ණ ලෙස සිදු කළ යුතුයි.

The Clean Sri Lanka Meeting Anuradhapura Address By Wasantha Samarasinghe

කෘෂිකර්ම නිලධාරියෙක් වරෙක ප්‍රකාශ කළා වී මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදහන් වෙලා කියලා. නමුත් රජයේ සහල් ගබඩාවල තිබිය හැක්කේ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ තුනක් පමණයි. මහා පරිමාණ මෝල් හිමිකරුවන්ගේ සමස්ත එකතුවත් මේට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණයි. එසේ තිබියදී නිලධාරියෙක් එලෙස ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි? නිසි ආකාරයෙන් දත්ත රැස් කර නොමැතිකම එයින් පෙනී යනවා. දත්ත නිසි ලෙස තිබෙනවා නම් අවශ්‍ය වේලාවේදී තීන්දු තීරණ ගත හැකියි. එම නිසා ලබන ජූනි මාසය වන විට සමස්ථ රාජ්‍ය සේවය තුළම දත්ත එක් රැස්කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ. වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට අපි කටයුතු කරනවා. උතුරේ පොල් වගා කිරීම සඳහා අක්කර 3000ක් හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා මුදල් මෙවර අයවැයෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඉතාම නරක, අන්තයටම කඩා වැටුණු රටක් අපි ක්‍රමාණුකූලව ගොඩ නගමින් තිබෙනවා. එම වැඩපිළිවෙළ තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අප සියලු දෙනා එක්ව කටයුතු කරමු.