(-ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – ඇල්පිටිය – 2024.09.03-)
අපේ ප්‍රතිවාදීන් මෙතෙක් කලක් කිය කිය හිටපු අපිට දිනන්න බැහැ කියන කතාව දැන් වෙනස් කරලා. දැන් රනිල් කියනවා අපි බලයට ආවොත් ගෑස් නැතිවෙයිලු; ඔක්කොම ඉවරයිලු. ඒ ගොල්ලෝ සමාජය හමුවේ බියක් නිර්මාණය කරනවා. පරාජය වන නායකයෝ හැමදාම සමාජයට බියක් හදනවා. ඒ ගොල්ලෝ දිනන්නේ නැත්නම් ජාතිය අනතුරේලු; ආර්ථිකය අනතුරේලු. හැබැයි දිනපු ඒ ගොල්ලෝම තමයි මේ රටත් ජනතාවත් මුළුමනින්ම අනතුරේ දැම්මේ. දැන් සජිත් පිලත් කියනවා අපි ආවොත් රට අනතුරේලු. මතක තියා ගන්න ඔය හැමෝටම වඩා මේ රට ගැනත් මේ රටේ ජනතාව ගැනත් ජාතික ජන බලවේගයේ අපිට වගකීමක් තිබෙනවා. ඒ ගොල්ලෝ වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. දැනුත් එහෙමයි.
මීට මාසයක එකහමාරකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල උද්ඝෝෂණයක් කළා, ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න කියලා. එතකොට රනිල් කිවුවා සතයක් වැඩි කරන්න බැහැ, වැඩි කළොත් රට කඩා වැටෙනවා කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට් බද්ද 21% දක්වා වැඩි කරන්න වෙනවා කියලා කිවුවා. මේක කිවුවේ පසුගිය ජූලි මාසයේ. දැන් කියනවා ජනවාරි ඉඳන් රුපියල් 25,000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට දෙනවලු. 24%ක වැටුප් වැඩි කිරීමක් කරනවාලු. එයාට නම් එහෙම කියන්න පුළුවන්. ඇයි? එයා මේ සැරේ පරදිනවනේ. අද කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරන් සියලු ගොවි ණය කපා හරිනවලු. මේ විදියට වෙනකොට ජනතාව හිතනවා ඇති හැමදාම ඡන්ද තිබ්බොත් හොඳයි වගේ කියලා. මේවා පරාජය හමුවේ දෙන ව්‍යාජ පොරොන්දු. රනිල්ට අපි කියන්නේ ඔයා දැන් ප්‍රමාද වැඩියි කියලා. ඔය ගොල්ලෝ මේ රට ගැන මේ රටේ ජනතාව ගැන හිතුවා නම් මේ ගොඩක් දේවල් කරන්න තිබුණේ මීට බොහෝ කාලෙකට කලින්. අද නටන්නෙ බලය ගිලිහී යනවා කියලා හිතනකොට; ජනතාව තමන් සමග නැහැ කියලා හිතන කොට. අන්න පරණ පුරුදු ඡන්ද ගුණ්ඩු දෙන්න පටන් අරන්. රනිල් තවමත් ඉන්නේ පරණ දේශපාලනයේ. මේ රටේ ජනතාව තවදුරටත් ඡන්ද ගුණ්ඩුවලට අහුවෙන්නේ නැති බව, කුඩා කුඩා දීමනාවලින් මේ රටේ ජනතාව තවදරටත් රවටන්න බැරි බව දැන් ඔප්පු වී තිබෙනවා. ඔවුන් දැන් පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා. රනිල්ලාට දැන් ඒක ආපසු හරවන්න බැහැ.
දැන් නැවත කසු කුසුවක් යනවා, සජිත්ගෙයි රනිල්ගෙයි දෙවන පෙළේ අය අතර අපි බෙදිලා ගියොත් කපෝතියි. ඒ නිසා එකතු වෙන්න ක්‍රමයක් නැද්ද කියලා. ජාතික ජන බලවේගය මෙහෙම ගියොත් දිනනවා. අපි දෙගොල්ලෝම අමාරුවෙ වැටෙනවා. ඒ නිසා එකතු වෙන්න විදියක් නැද්ද කියලා. තවම දෙවෙනි පෙළ තමයි ඒ කතාව පටන් අරගෙන තිබෙන්නේ. ඒකටත් අපිට කියන්න තිබෙන්නේ දැන් පරක්කුයි කියලා. දැන් මේ ගොඩනැගිලා තිබෙන ජනතා බලය, ඊට නායකත්වය දෙන ව්‍යාපාරය නැවත හරවන්න බැහැ. එය ජයග්‍රහණයෙන්ම කෙළවර කරනවා කියලා ජනතාව තීන්දු කරලා හමාරයි. අද අපේ ඡන්ද ව්‍යාපාරය ජනතාව අතට අරන් ඉවරයි. අපි නොදන්න විශාල මහජන බලයක් අපි වෙනුවෙන් දැන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් අරන්. ඔවුන් දැන් ස්වේච්ඡාවෙන් ලියන්න කියන්න පටන් අරන් තිබෙනවා. දැන් කොහොමද රනිල් ඔයා මේක නතර කරන්නේ. මේක නතර කරන්න බැහැ. සහතික ලෙසම අපි ජයග්‍රහණය කරනවා. හැබැයි අපිට ඕන සාමාන්‍ය ජයග්‍රහණයක් නොවෙයි. මේ රට අතිශය ගැඹුරු ප්‍රපාතයකට ඇදලාදාලා තිබෙන්නේ. ඒ නිසා රට ගොඩගන්න ස්ථාවර, ශක්තිමත් තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබෙනවා. මේ විදියටම රට ගලාගෙන යන්න ඕන නම් ලොකු ප්‍රශ්නයක්.
අපි තවදරටත් පීනන්නෙ මේ ගලන ගඟේ මේ විනාශකාරී දිසාවට නම් රට අගාධයට වැටෙන එක අනිවර්යයයි. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ විනාශකාරී මාවතෙන් රට මුදා ගන්නයි. ඒ සඳහා ශක්තිමත් තීන්දු තීරණ ගත යුතුයි. එහෙම ගන්නනම් ජනතාගෙන් ශක්තිමත් ජන වරමක් අවශ්‍යයි. මේ රට හරි පැත්තට හරවන තීන්දු තීරණ ගන්නට හේතු වෙන්නේ ජනතාවගේ ඒ ශක්තිමත් ජනවරමයි. පළමුව මේ දේශපාලන පොර පිටිය ශුද්ධ කළ යුතුයි. මේ දේශපාලනය මහජනතාවට අතිශයින් පිළිකුල්; අප්‍රසන්නයි. දැන් සමාජ මාධ්‍ය දියුණුවෙලා තොරතුරු පහසුවෙන් ගලා එනවා. ඒ නිසා මේ රට මෙතෙක් පාලනය කළේ මොන වගේ මිනිස්සුද කියලා ජනතාව දන්නවා. රිචඩ් පතිරණ පාර හදනවා පුතාට, දොඩම්ගොඩ පාර හදනවා පුතාට. එහෙම තමයි මෙතෙක් දේශපාලන ගමන සිද්ධ වුණේ. මෙතෙක් කල් පාර හදාගත්තේ, ඒ ගොල්ලන්ගේ පවුල්වලට; හිතවතුන්ට. ඒ නිසා ජනතාවට මේ දේශපාලනය අප්‍රසන්න වුණා. ජාතික ජන බලවේගයේ අපි බලය අරගෙන මේ දේශපාලන පිටිය පියවරෙන් පියවර සුද්ද කරනවා.
ගම්වල පොලීසිවල නිලධාරීන් හිඟයි. හැබැයි ප්‍රභූ ආරක්ෂාවට වැඩි පිරිසක් යොදවලා. අපි මේ සියල්ල නතර කරනවා. ලංකාව ඇතුලේ ආණ්ඩු කියලා මෙතෙක් බිහිවුණේ එක්කෝ පවුලක්. එක්කෝ කල්ලියක්. අපි ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් කියන සැබෑ අර්ථය ඇති ආණ්ඩුවක් හදනවා. එව්ට ජනතාවට විශ්වාසය හැදෙනවා. ජනතාව තම වගකීම් ඉටුකරන්න පෙළඹෙනවා. කර්මාන්තකරුවා, ව්‍යවසායකයා තමන්ගෙ වැඩ කොටස කරන්න පටන් ගන්නවා. මේ ඇල්පිටියෙ කුඩා තේවතු හිමියා තමන්ගේ වැඩේ කරන්න පටන් ගන්නවා. ඒකට ආණ්ඩුව සහාය දෙනවා. හැම ක්ෂේත්‍රයකටම අපේ ආණ්ඩුවේ සැලකිල්ල ලැබෙනවා. එතකොට ඔබේ ආදායම් වැඩිවෙනවා. රටේ ආදායම් වැඩිවෙනවා. රට පොහොසත් වෙනවා.
රටේ නිෂ්පාදන ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් පාසල් පද්ධතියක්, විශ්වවිද්‍යාල පද්ධතියක් අපි ගොඩනඟනවා. දෙමව්පියන්ට සහ දරුවන්ට බරක් වී තිබෙන මේ අධ්‍යාපන ක්‍රමය වෙනුවට ඔවුන්ට බරක් නොවෙන නවීන දියුණු අධ්‍යාපන ක්‍රමයක් අපි ගොඩනඟනවා. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට ලස්සන කරන්න. ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට උරුමකරලා දෙන්න. ඒ නිසා මේ මස 21 දිනට ජාතික ජන බලවේගය දිනවන්න පෙරට එන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.
“ඔබ ජනාධිපති කර ගන්නේ සහෝදරයා කියලා හරි නම කියලා හරි ඇමතිය හැකි කෙනෙක්”
-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ-
අනුර කුමාර දිසානායක කියන්නේ මා ඉගෙනගත් කැලණිය විශ්වවිද්‍යාලයේම සගයෙක්. ඒ කාලේ විවිධාකාර මත ගැටුම් සංවාද මධ්‍යයේ තමයි අපේ ශිෂ්‍ය ජීවිත ගෙවී ගියේ. පසු කාලෙක අපි මුණ ගැසෙන්නේ එක්තරා අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහායි. ඒ අරමුණ තමයි දශක ගණනාවක් තිස්සේ මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු ඒ වටා රොක්වී සිටින කල්ලි කණ්ඩායම් මේ රට ඇද දමා තිබූ අගාධයෙන් මේ රට ගොඩ ගැනීම. තවදුරටත් දෙවතාවක් හිතන්න අපට අවශ්‍ය නැහැ. මේ වන විටත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව සක්‍රීය ලෙස දායක වී තිබෙන අන්දම ඔබට පෙනෙනවා ඇති. මේ රටේ සමස්ත ජනතාවගෙන් සාතිශය බහුතරයේම අදහස ඒක තමයි.
ලබන 21 වැනිදා අපි අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්නවා. ඒ ජනාධිපතිවරයා සර් කෙනෙක් නොවෙයි. සහෝදරයා කියලා හරි නම කියලා හරි ඔබට ඇමතිය හැකි කෙනෙක්. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ එක්තරා කඩඉමක් සනිටුහන් කරනවා. ඒ කඩඉම තමයි මේ රටේ පවුල් දේශපාලනයට හා ප්‍රභූ දේශපාලනයට සහමුලින් තිත තබන ජයග්‍රහණය වීම. මේ වෙනස කළ හැකි, හැකියාව ඇත්තේ ඔබ අතේ. ඔබේ ඡන්ද එකතු වූ තැන මහා බලයක් නිර්මාණය වෙනවා. ඒ බලය තමයි මේ රටේ මෙතෙක් දේශපාලන බලය අවභාවිතා කළ බලය අවසන් කරන බලය. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතා ටික ඇහැව්වාම මේ රටට අත්වී ඇති මේ ඛේදවාචකය තේරුම් ගන්න පුළුවන්.
අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගෙන වෙන රටවල්වලට ගිහිල්ලා ඒ රටවල මිනිස්සු ජීවත් වෙන හැටි බලලා, ලෝකයේ අධ්‍යාපනය මේ වන විට තිබෙන්නේ කිනම් තැනකද කියලා දැකලා ආපසු මේ රටට ආවේ මේ රටට යමක් කරන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු අපි හැමෝම මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලැබූ අය. අපිට හෘදය සාක්ෂියක් තිබෙනවා. ඒ හෘද සාක්ෂියෙන් අපිට මිදෙන්න බැහැ. අනුර සහෝදරයාගේ කථාවක් අහන ඔබට දැනේනේ මොනවාද? එහි බොරු පොරොන්දු නැත. බොරු ආලවට්ටම් නැත. බොරු සෝබන කතාද නැත. ඇත්තේ එක දෙයයි. ඒ තමයි හෘදය සාක්ෂිය. අවංකභාවය සහ දේශපාලන අධිෂ්ඨානය. අපි මෙච්චර කල් අහිමි කර ගත්තේද ඒ දෙයමයි. රටක විපරිවර්තනයක් ඇති කරන්න නම් මනුෂ්‍යයෙකුට දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍යයි. එහෙම නැතිව ගෑස් සිලින්ඩරයක් පෙන්නපු පළියට දේශපාලන අධිෂ්ඨානයක් ඇති වන්නේ නැහැ. පුපුරලා මිනිස්සු ගණනාවක් මිය ගිය ඛේදවාචකයක් පිටුපස තිබෙන සංකේතයක් තමයි ගෑස් සිලින්ඩරය. අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය හැරෙන්න කිසිදු සත්‍යාවදී දේශපාලකයෙකු හෝ දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ දැන් අපිට පෙනෙන්නට නැහැ. ඒ සත්‍යවාදී දේශපාලනය සහිත මේ රට හා ජනතාව අලුත් දිසාවකට හැරවිය හැකි, අද ඉන්න එකම දේශපාලනඥයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු පමණක් නොවෙයි මේ රටේ කලාකරුවන් විශාල ප්‍රමාණයක්ද මේ වන විට ඔහු වටා රොද බැඳ අවසානයි. මේක සම්ප්‍රදායික රොද බැඳීමක් නොවෙයි.
අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඊළඟට බලයට එන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් පෞද්ගලිකව යමක් කර ගන්න නොවෙයි. ඒත් ඒ ආණ්ඩුව අපිට ආරාධනා කළොත් මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න අපේ දැනුම හා ශක්‍යතාවයන් ඒ සඳහා අපි නොපැකිලවම දායක කරනවා. දැන් අපේ ජීවිතයෙන් භාගයක්ම ඉවරයි. මේ බර අපි අනාගත පරපුරට බාර දිය යුතු නැහැ ජාතික ජන බලවේගය එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා බාරගෙන තිබෙන අභියෝගය අන් කිසිම පක්ෂයක නායකයෙකුට බාර ගත නොහැකියි. ඒ අභියෝගය සඳහා ඔබගේ ශක්තිය අවශ්‍යයි. ඒ නිසා තමයි අපි කියන්නේ අනුර දිසානායක සහෝදරයා ඡන්ද කෝටියකින් දිනවිය යුතුයි කියලා.
“අපි ස්ථාපිත කරන්නේ ජනතාවගේ පෑරුණු සිත් සුවපත් කරන පාලනයක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික රත්න ගමගේ-
මෙතනට පැමිණිලා ඉන්න සෑම මුහුණකම අමුතු ප්‍රබෝධයක් පෙනෙනවා. අපි දන්නවා අපේ රටේ ජනතාව බඩු මිලෙන්, ගෑස් මිලෙන්, ලයිට් බිලෙන්, ජල බිලෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ කියලා. ඔබට දහසක් ප්‍රශ්න තිබුණත් ඔබේ මුහුණුවල තිබෙනවා බලාපොරොත්තුවේ සේයාවක්. ඒක තමයි සැප්තැම්බර් 21 ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවේ සේයාව. ඒ වැඩේ ස්ථිරයි. දැන් අපිට හම්බවෙන බොහෝ අය කියන්නේ මම නම් මේ නොඉවසිල්ලෙන් ඉන්නේ ඡන්ද දිනේ එනකල් කියලා. මොකටද? අපේ අනුර සහෝදරයා දිනවන්න. අපට තිබෙන්නේ දින 18යි. දැන් රටේ සියලු සමීක්ෂණ ක්‍රියාවලින් කියවෙන්නේ මේ සැප්තැම්බර් 22 වන විට රටේ නියත ජනාධිපති ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා වන බවයි.
සැප්තැම්බර් 22 මේ රට අලුත් ගමනක් ආරම්භ කරනවා. මේ ගමන ආරම්භ කරන කොට අපිට කරන්න වැඩ ගණනාවක් තිබෙනවා. ඔබ ගාල්ලෙන් පාර්ලිමේන්තුවට කී දෙනෙක් තෝරා යැව්වා මතකද? පොහොට්ටුවෙන් 07යි. ටෙලිෆෝනය පැත්තෙන් දෙකයි. දැන් කට්ටියක් අලියා ගාව. කට්ටියක් ටෙලිෆෝන් එක ගාව. මේ ගොල්ලෝ ජන වරම කෙළෙසපු මිනිස්සු. ඒ නිසා දැන් රටේ ජනතාව තීරණය කරලා තිබෙනවා මින් පස්සේ මේ පල් හොරුන්ට ඡන්දය දෙනවා වෙනුවට ඔවුන් එලවලා දාලා මේ රට ජාතික ජන බලවේගයටයි, එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයාටයි බාර දෙන්න. ජාතික ජන බලවේගයට මේ රට තනියෙන් හදන්න බැහැ කියලා අපි නිහතමානීව පිළිගන්නවා. ඒක අපි හැමෝගෙම සාමූහික වැඩක්. අපිට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම, අපිව විවේචනය කළ සියලු දෙනාවම අපි ආරක්ෂා කරන බවට ඔබට සහතික වෙනවා. සැප්තැම්බර් 22 අපි සාමූහිකව ජයග්‍රහණය සමරමු. අපේ සැමරීම කිසිවෙකු පීඩාවට පත් කළ යුතු දෙයක් නෙමෙයි.
මේ පාලකයෝ මෙතෙක් කල් අපේ ජනතාවගේ හිත් බින්දා; රැවැට්ටුවා. පිඩාවෙන් පීඩාවට පත් කළා. ජාතික ජන බලවේගයේ පාලනයක් අපි මේ ස්ථාපිත කරන්නේ මේ රටේ ජනයාගේ පෑරුණු, බිඳ වැටුණු, කඩා වැටුණු සිත් සුවපත් කරන්න. ශක්තිමත් කකරන්න. හැලුණු සිත් නැවත යථාවත් කරන්න. මේ රට නව පුනරුද යුගයකට ඔසවා තබන්න. ඒක තමයි අපේ පළමු අධිෂ්ඨානය සහ ආදර්ශය. මිහිඳු මා හිමි ලංකාවට වැඩම කළ පසු අපේ රටේ පුනරුද යුගයක් ආරම්භ වුණා. 14 – 15 වන සියවස්වල යුරෝපයේ පුනරුද යුගයක් ආරම්භ වුණා. අපේ රටේ වර්තාන පාලකයේ එවැනි යුගයක් නිර්මාණය කරන්න අසමත් වුණා. සැප්තැම්බර් 21න් පස්සේ මේ රටේ සමාජ, ආර්ථි, දේශපාලන, සංස්කෘතික පුනරුදයක් නිර්මාණය කිරීමට සමත් එකම බලවේගය වන්නේ ජාතික ජන බලවේගයයි. ඒකට නායකත්ව දෙන්නෙ. අපේ රටේ මීළඟ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයායි. 21න් පස්සේ ගොඩ නැගෙන අපේ පාලනය යටතේ වැඩකරන දේශපාලනඥයන් මේ රෙට් පොදු ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් බුක්ති විඳින්නේ නැහා කියන සහතිකය අපි ඔබට දෙනවා.