Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“පාසලේදී ඉතාම සමීපව සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න මම අද මෙතන නැහැ” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය – 2024.08.02-)

Teachers-Summit

රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණත් මෙය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ජනාධිපතිවරණයේදී පැහැදිලි ජයග්‍රහණයක් ලබාදෙයි කියා බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේ දියුණු වූ හැම රටකම දියුණුවෙ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනයෙනුයි. නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත් අවස්ථාවේ කන්නන්ගර මැතිතුමා කළ කතාවක් අපගේ අවධානයට නැවත ගත යුතු වෙනවා. “ගඩොලින් තනා තිබූ රෝමය කිරිගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසූවා. මිල අධිකව තිබූ අධ්‍යාපනය මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් ලෙස අපට දිස්වූ අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත්කළ බවත් ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත්කළ බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි වූයේ නම් එම ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨද?” එක් සමාජ කණ්ඩායමකට පමණක් විවෘත කර තිබූ රාජ්‍ය අධ්‍යාපනය සියලු දෙනාට විවෘත කිරීම රෝමය කිරිගරුඬින් නිර්මාණය කළා යැයි කීමට වඩා ශ්‍රේෂ්ඨ බව එතුමා දක්වා තිබෙනවා. මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය අවශ්‍ය මහා වෙනස්කම් කිරීමෙන් පමණයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එක් අවස්ථාවක ප්‍රකාශ කළේ, සිංගප්පූරුව සතු එකම සම්පත මිනිස් සම්පත බවයි. ඒ මිනිස් සම්පත දියුණු කිරීමකින් තොරව සිංගප්පූරුවට අනාගතයක් නැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය තුළින් ඇත කරන මහා වෙනස්කම්වලින් පමණයි. සිංගප්පූරුවේ ශ්‍රම බලකායෙන් 41% උපාධිධාරීන්. එරට ශ්‍රම බලකායෙන් 21%ක් වෘත්තියමය ඩිප්ලෝමාධාරීන්. ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%යි වෘත්තිමය ශ්‍රමය තිබෙන්නේ. අධ්‍යාපනික වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනඟන්න අපි කැපවෙනවාද යන්න මත මේ රට ඉදිරියට යාම තීරණය වෙනවා. 2017 වර්ෂයේ 9900ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොට ඔවුන්ගෙන් 83%ක් ඉගෙනගෙන තිබෙන්නේ සාමාන්‍ය පෙළට අඩුවෙන්. 64%ක් අටේ පංතියට අඩුවෙන්. නූගත්කම අපරාධවලට හුරුවීමේ සහ අපරාධ කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් 74%ක් අටේ පංතියට පහළ අධ්‍යාපනයක් තිබෙන අතර, දුප්පත්භාවයේ රේඛාව සහ නූගත්බවේ රේඛාව එකට ගමන් කරන්නේ. ඒ නිසා අපේ රට ඉදිරියට ගෙන යන වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව ජාතික ජන බලවේගයේ පිළිගැනීමයි. අපේ සැලසුම්වල අංක එක හිමිවෙන්නේ අධ්‍යාපනයටයි. අසල්වැසි ඉන්දියාව දැනුම උපයෝගී කර ගන්නා අයි.ටී. ක්ෂේත්‍රයේ පංගුව ඩොලර් බිලියන 253ක් කරගෙන තිබෙනවා. අපේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 72යි. ඉන්දියාව ඩොලර් බිලියන 199ක් උපයා ඇත්තේ අයි.ටී. කර්මාන්තයේ අපනයන ආදායම ලෙසයි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. සිංගප්පූරුවේ අයි.ටී. කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 47යි. දකුණු කොරියාවේ එම කර්මාන්තයේ ඩොලර් බිලියන 233යි. වියට්නාමයේ ඩොලර් බිලියන 137යි. මෙයින් කියැවෙන්නේ අධ්‍යාපනය අපේ රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධානතම මෙවලම බවයි.

Teachers-Summit

අපේ රටට අධ්‍යාපනය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අවුරුදු 2000කට වඩා පැරණි සංවිධිත අධ්‍යාපනයක් තිබෙනවා. එනිසා අපට මුවහත් කරමින් ඉදිරියට ගෙන යා හැකි අධ්‍යාපනය ඓතිහාසික වශයෙනුත් අපට සම්බන්ධයි. දියුණු කළ හැකි, මුවහත් කළ හැකි අධ්‍යාපනයට අදාළ මානව සම්පතක් අපට තිබෙනවා. ඔබේ පාසලට පැමිණෙන දරුවා ලෝකයේ මහා දැනුමත් එක්ක සටන් කළ හැකි ආකාරයෙන් මුවහත් කළ හැකියි. ඈත ගම හෝ නගරය වැනි බෙදීමක් මේ මානව සම්පතට නැහැ. ඒ නිසයි අපි කියන්නේ අපේ ප්‍රමුඛතම කාර්යභාරය අධ්‍යාපනය කියලා. අද ලෝකය පාලනය කරන්නේ වැඩිම අවි බලය, මූල්‍ය බලය තිබෙන අය වුවත් අනාගත ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණික හිමිකාරිත්වය තිබෙන අයයි. ඒ නිසා පැරණි විනාශකාරී මාර්ගයෙන් මිදෙන්න නම්, අධ්‍යාපනය නැවත නැවතත් මුල්තැන ලෙස ගෙන ජාතික ජන බලවේගය යටතේ ප්‍රමුඛතම රාජ්‍ය වගකීම ලෙස බාර ගන්නවා. ලෝකයේ තිබෙන අලුත් දැනුම ලංකාවට ගෙන එන එක රජයේ වගකීමක්.

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් සේ ගත යුතු බව සමහර අය කියනවා. අපි ඒකට එකඟ නැහැ, දැනුම වෙළඳ භාණ්ඩයක් නොවෙයි. අධ්‍යාපනය ලාභ උපයන මාධ්‍යයක් නොවෙයි. අපේ රටේ 68%කට හරිමහන් ආහාර වේලක් නැතිව තිබියෙදී සල්ලි දීලා අධ්‍යාපනය ගන්න කියන්න පුළුවන්ද? දරුවාට අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ තාත්තාගේ ආර්ථික හැකියාව අනුව නම් එය කිසිසේත්ම යුක්තිසහගත සමාජයක් නොවෙයි. ජාතික ජන බලවේගය තව තවත් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරමින් නිදහස් අධ්‍යාපනය රැක ගන්නවා. යම් කෙනෙකුට පෞද්ගලික අධ්‍යාපනය ලබාගත යුතු නම් රාජ්‍යය විසින් නියාමනය කරන ලද අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබාදෙනවා. විදේශවල තිබෙන නව දැනුම සපයා ගැනීමට කල්පනා කරනවා නම්, ඒ සඳහා ඉඩකඩ තිබිය යුතුයි. කුමන තත්වයක් යටතේ වුවත් අධ්‍යාපනයේ මූලික වගකීම රාජ්‍යය සතු විය යුත්තේ ඇයි කියන්න මූලික දත්ත කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

Teachers-Summit

ඉතියෝපියාව දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.4%ක් අධ්‍යාපනයට වෙන්කරනවා. කෙන්යාවේ එය 4.6%යි. කිර්ගිස්තානයේ 6.21%යි. ශ්‍රී ලංකාවේ 1.2%යි. ඉතියෝපියාවටත් වඩා තුනෙන් පංගුවකටත් අඩුවෙනුයි අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරන්නේ. මේ කලාපයේ ඇෆ්ගනිස්ථානය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.3%ක්, පාකිස්ථානයේ 1.7%යි, ඉන්දියාව 4.9%යි. නේපාලය 3.6%යි. භූතානය 8.1%යි. බංග්ලාදේශය 2.1%යි. මාලදිවයින 7.6%යි. සාක් රටවල් අතරින් අධ්‍යාපනයට අවම මුදල වෙන්කරන රට ශ්‍රී ලංකාව බවට පත්වී තිබෙනවා. අපේ ආර්ථික උපායමාර්ගය තවත් කරුණු මෙන්ම අධ්‍යාපනය මත පදනම් වෙනවා නම්, නුපුහුණු ශ්‍රමය වෙනුවට වෘත්තිමය රැකියාවක් සඳහා විදේශ අවස්ථා සොයාගත යුතුයි. අපි ලෝකයෙන් අත්පත් කරගෙන තිබෙන්නේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රමයක් වෙනුවෙනුයි. ලෝකයේ දියුණු ශ්‍රම වෙළඳපොළේ මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක් ඉන්නවා. 2030 වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා. මේ නව ඉල්ලුමක් ලැබෙන මිලියන 20න් අපට කොච්චර අත්පත් කර ගත හැකිද කියන දේ එක්කයි අපේ රට ඉස්සරහට යන්නේ. අධ්‍යාපනයට වැය කරන මුදල ක්‍රමානුකූලව වැඩි කරමින් වසර කිහිපයක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.6% ඉක්මවන වැඩපිළිවෙලක් අපි සකස් කර තිබෙනවා. අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම මෙතෙක් අධ්‍යාපනයට වෙන්කරන ලද වැඩිම ප්‍රමාණය වෙන්කරනවා.

ඒ වගේම අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අධ්‍යාපනයේ අලුත් පියවරක් ගන්න නම්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන දක්වා පුළුල් අවකාශයක් සලසනවා. ප්‍රාථමික උපාධියේ සිට තව තල ගණනාවකට ගුණාත්මක උපාධියක් ලබාදීමේ පියවර ජාතික ජන බලවේගය සැලසුම් කර තිබෙනවා. එහි විශාලතම කාර්යභාරය පැවරී තිබෙන්නේ ගුරුවර ගුරුවරියන් වන ඔබ සැමට. ඔබ ඉදිරියට එන සිසු දරුවා සමාජයට වැඩදායී කෙනෙක් බවට පත්කරනවාද, කියන වගකීම තිබෙන්නේ ඔබේ අතේ. මගේ පාසල් අධ්‍යාපනයේදී ඉතාම සමීපව ආදරය, සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න මම අද මෙතන නැහැ. ඒ බව හොඳින් මතක තබා ගන්න. අදත් අප ගැන සතුටු වෙන ඒ ගැන සුබ පතන මගේ දෙකේ පන්තියේ ටීචර් ඉන්නවා. අපි හැදුණේ අධ්‍යාපනය සඳහා යෝග්‍ය පරිසරයක නොවෙයි. ඉතාමත් සීමාසහිත හැකියාවක් සහිත පරිසරයකයි ඉපදුණේ. එයින් ගලවා අපිව ඔසවා තැබුයේ අපේ ගුරු පරම්පරාවයි. අද රට ගිලී තිබෙන ග්‍රාමීය දුප්පත්භාවය විශාල ඛේදවාචකයක්. සතුට නැති, කලහකාරී ග්‍රාමීය ජීවිතයක් තිබෙන්නේ. මේ ව්‍යසනයට ගොදුරු වූ දරුවා එතනින් ඉදිරියට ගෙන එන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන එකම මාර්ගය ඔබ අතේ තිබෙන අධ්‍යාපනය පමණයි. ගුරු මාතාව, ගුරු පියාණන් වශයෙන් ගෞරව ආමන්ත්‍රණය ලබන එකම වෘත්තිය ගුරු වෘත්තිය පමණයි. එනිසා තමයි ඇය මව් වෙන්නේ. ඔහු පියාණන් බවට පත්වෙන්නේ. දරුවෙක් ඉහළින් සමත් වුණාම සතුටු වෙනවා වගේම අසමත් වුණාම කොතරම් දුක් වෙනවාද? වෘත්තියෙන් මනින්න බැරි, වැටුපෙන් මනින්න බැරි සෙනෙහසක් තිබෙනවා. ආදරය මිශ්‍ර බැඳීමක් තිබෙනවා. ඒ ගුරුවරුන්ට කඳුළු ගෑස් එල්ල කරන්න, පහර දෙන්න බැටන් පාලු මෙහෙයවන ආණ්ඩු මොන වගේ ආණ්ඩුද, අනික් ගොඩක් වෘත්තීන් කල්පනා කරන්නෙ දරුවන්ව තමන්ට වඩා යටින් තියන්න. ගුරු වෘත්තියේදී කල්පනා කරන්නේ දරුවන් තමන්ට වඩා ගෞරවයක් තිබෙන වෘත්තියක තියන්න. ගුරුවරු කියන්නෙ ඒ වෙනුවෙන් නිර්ලෝභීව මැදිහත් වෙන පිරිසක්.

Teachers-Summit

දරුවන් මෙහෙයවීමෙ නියමු කාර්යභාරය තිබෙන්නේ ගෞරවණීය ගුරු වෘත්තිය තුළයි. ගුරුවර ගුරුවරියන් හටත් අනාගත බලාපොරොත්තු තිබෙනවා. ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, ඇඳුම පැළඳුම් ගන්න වගේ දෛනික වියදම් රැසකුත් තිබෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය මේ රටේත් මුල් පෙළේ වෘත්තීන්ගෙන් එකක බවට ගුරු වෘත්තිය පත් කිරීමයි. නීති රීති, චක්‍රලේඛ හදලා තිබෙන්නේම හොරෙක් අල්ලන්න වගේ ගුරුවරයා දිහා බලන්නයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගුරුවරුන් කෙරෙහි පනවා තිබෙන ‘චෙක් කිරීමේ සංස්කෘතිය’ වෙනුවට ‘අවංකව රට ගොඩනැගීමේ කොටස්කරුවන්ගේ සංස්කෘතියක්’ බවට පරිවර්තනය කරනවා. ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම දරුවාගේ දැනුම වර්ධනය කිරීම වුවත් කොතරම් බාහිර බර පටවා තිබෙනවාද? අපි ක්‍රමානුකූලව ඒ අමතර බර අයින් කරනවා. අධ්‍යාපනයේ නියැලෙන සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අපි ගුරු සභාවක් නිර්මාණය කරනවා. අධ්‍යාපනයේ ප්‍රමිතිය, මාවත, තීරණය කිරීම එයට පවරනවා. ඒ වගේම මේ යුගයේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ, කිසිදු පාසලක් හෝ පාසල් දරුවන් දේශපාලන පක්ෂයක අවශ්‍යතා වෙනුවෙන් උපයෝගී කර ගන්න ඉඩ තබන්නේ නැහැ. වරාය, ලං.ග.ම., ඛනිජ තෙල්, දුම්රිය මේ හැම එකකම දේශපාලනය පටවා තිබීමේ තත්වයෙන් පාසලවත් වෙන් කරන්න ඕනෑ නැතිද? අපේ දැඩි ස්ථාවරය පාසලත් පාසල් දරුවනුත් දේශපාලන මධ්‍යස්ථානය නොකර ගන්නා බවයි. ගුරුවරු මාරු කිරීම, උසස් කිරීම ඇතුළු කටයුතු දේශපාලනයෙන් ඉවත් කරනවා. මැති ඇමතිවරුන් සමග එකට හිටගත හැකි සම වගකීම් සහිත තත්වයට ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මන්ත්‍රීලා, ඇමතිලා ඔය සඳලුතලවලින් බිමට බස්සන්න ඕනෑ. පුම්බාගත්, ආරූඪකර ගත් පුරවැසියාට වඩා ඉහළින් ඉන්නවාය කියන ජීවිත පුරවැසියාට සමාන තත්වයට පත්කරනවා. ඒ සියල්ල වෙනුවෙන් මේ සැප්තැම්බර් 21දා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් විය හැකි සමූහයන් අතර, ප්‍රධානම වී තිබෙන්නේ ගුරුවරුන්. පුනරුද යුගයක් බිහි කිරීමේ මූලික ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස නොබලා වැඩකරමු කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

Teachers-Summit

“ගුරු සමුළුවට රොද බැඳි ඔබ සැප්තැම්බර් 21 ජයග්‍රහණය සහතික කළා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත-

අපේ රටේ ගුරුවරු තමයි, ගෝඨාභය රාජපක්‍ෂව ගෙදර යැවීමේ අරගලය ආරම්භ කළ කට්ටිය. දේශපාලන විචාරකයෝ පහුගිය කාලයේ ලියලා තිබුණා, ගෝඨාභයගේ පාලනයට එරෙහිව ගුරුවර, ගුරුවරියෝ, විදුහල්පතිවරු ආරම්භ සටන කළ බව. ඒ වාගේ ම අපට විශ්වාසයි අවුරුදු හැත්තෑහයක දුෂ්ට පාලනය අවසන් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේත් ගුරුවරු සහ ගුරුවරියන් කියන එක. අද මේ සමුළුවට පැමිණි ඔබ මේ රටේ දේශපාලනඥයන් ගොඩක් දෙනකුව බය කළා. ඉස්සෙල්ලාම බය වුණේ සජිත් ප්‍රේමදාස. ඊළඟට රනිල්ලාව බය කළා. ප්‍රතිගාමී බලවේග ඔක්කොම අද බය වුණා. ප්‍රගතිශීලී බලවේග සියලු දෙනාම අද සතුටට පත් වෙනවා. සැප්තැම්බර් 21 ජයග්‍රහණය ඔබෙන් සහතික කළා. මෙපමණ කලක් ජයග්‍රහණය නොකළ ප්‍රගතිශීලීන්ගේ සහ පීඩිතයන්ගේ ජයග්‍රහණය තහවුරු කළේ මේ ගුරු සමුළුවෙන් බව සහතිකයි. ගුරු වැටුප් සහ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් පසුගිය කාලයේ අපි අරගල ගොඩක් කළා. මැතිවරණය නමැති සටන් භූමියට මීට කලින් අපට ඊනියා ප්‍රභූවරුන් එන්න දුන්නේ නැහැ. සමහර වාමාංශික බලවේගවලට පොඩි පොඩි දේවල් දීලා මෙල්ල කර ගත්තා. මෙල්ල කර ගන්න බැරි වුණු නායකයන් ඝාතනය කළා. ලංකාවේ පළමුවැනි වතාවට මැතිවරණ සටන් භූමියට පීඩිත සහ ප්‍රගතිශීලී බලවේග එක්ක ‘මාලිමාව’ ඇතුළු වී ඒ සටන් භූමියේ කොඩිය ඔසොවා ජයකෙහෙළි නංවමින් ඉන්න වෙලාවකයි, අද මේ සමුළුව පවත්වන්නේ. මැතිවරණ සටන් භූමිය වෙනුවෙන් තමන්ගේ ගමේ තිබෙන සංවිධානවලට සම්බන්ධ වී ඡන්ද පෙට්ටියේ තුනෙන් දෙකක් මාලිමාවෙන් පුරවන්න. ඒ ඡන්ද භූමියේදී ඉදිරියෙන්ම ජයග්‍රහණය කර ‘පුනරුද යුගයට’ අත්තිවාරම සලසා දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

Teachers-Summit

“ගුරුවරුන් ලෙසත් මව්වරුන් ලෙසත් රටේ තිබෙන ප්‍රශ්නය අපට වැඩියෙන් දැනෙනවා”
-ලංකා ගුරු සේවා සංගමයේ උප සභාපති විශාකා අබේරත්න-

අද සමාජය පත්වී තිබෙන තත්වය පිළිබඳව පොදුවේ අප කාටත් අවබෝධයක් තිබෙනවා. ගුරු වෘත්තිය තුළ බහුතර පිරිසක් ඉන්නේ ආදරණීය ගුරු සහෝදරියෝ. ඔවුන් මේ රටේ ජීවත් වන මව්වරු. ගුරුවරුන් ලෙසත් මව්වරුන් ලෙසත් රටේ තිබෙන ප්‍රශ්නය අපට වැඩියෙන් දැනෙනවා. අපි ඒ ප්‍රශ්න ගැන වැඩිපුර සංවේදියි. කුස්සියේදී ලිපේ ගිනි ඇවිළෙනවාට වඩා හදවතේ ගිනි ඇවිළෙන බව අපි දන්නවා. ඇස් දෙකෙන් කඳුළු නොහෙළා පාසලට ගියාම දෙවන මවක් ලෙස ඉටුකළ යුතු තවත් භූමිකාවක් තිබෙනවා. පංති කාමරයේදී අපි දකින්නේ දුක කියා ගන්නවත් බැරිව සිටින දරුවන්. සමාජ මාධ්‍යවල පසුගිය කාලයේ මේ දරුවන්ගේ කෑම වේල් පිළිබඳව තොරතුරු හෙළිකර තිබුණා. දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලක අධ්‍යාපනය ලබා දෙන්නේ කුමන දරුවාටද යන ප්‍රශ්නය මතුවී තිබෙනවා. පාසල් යා යුතු වයසේ දරුවන් 40%කට පාසල් යාමට නොහැකි වී තිබෙනවා. කෙනෙකුගෙන් ඉල්ලා ගෙන ඇඳුම් අඳින 20%ක් දෙනා සිටිනවා. කොළඹ පමණක් නොවෙයි, ඈත එපිට ප්‍රදේශවලදී පවා මේ පීඩා විඳින ගුරුවරියන් තමන්ගේ දරුවාට මවක් වෙනවාට වඩා පාසලේදී ඒ දරුවන්ට මවක් වෙනවා. රටේ දරුවන්ගේ අනාගතය ගොඩනැගිය යුතු බවට ඒකායන බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව පොදි බැඳගෙන මෙතනට පැමිණ නව පුනරුදයක් වෙනුවෙන් තවත් ධෛර්යයෙන් රොද බඳිමු කියා ඉල්ලා සිටිනවා.

Teachers-Summit

“වෘත්තිය අරගල කළත් රට හමුවේ යෝධ වගකීමක් අපට පැවරී තිබෙනවා”
-ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ-

ගුරුවරයා පීඩාවට පත්කර නැත්තේ කොතනද? මුළු ජනතාව වගේම ගුරුවරයාත් පීඩාවට පත්කිරීමට එරෙහිව එක රෑනකට එකතු වී පසුගිය කාලය පුරාම අරගල කරමින් එනවා. ඒ සමගිය බිඳ වට්ටන්න වත්මන් ආණ්ඩුවත් විපක්ෂයත් විවිධ කුමන්ත්‍රණ දියත් කළා. ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කර ඇති බවයි මේ මහා ජාතික සමුළුවෙන් තහවුරු වී තිබෙන්නේ. විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ එකම හිස් ගොඩක් බවට මේ පිටිය පරිවර්තනය වී තිබෙන්නේ ඒ ජයග්‍රාහී පණිවිඩය නිසයි. සකල විධ පීඩාවන්ගෙන් එළියට එන්න මාර්ගයක් සොයමින් සිටින ගුරු පරපුරට නිවැරදි මඟ කියන්නයි මේ මහා ජාතික සමුළුව පවත්වන්නේ.

ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව ලෙස මෙය පැවැත්වූවත් මෙය සියලු ගුරුවරුන් නියෝජනය කරන ජාතික මහා සමුළුවක්. පාලකයන් ඉදිරියේ දණින් නොවැටී, පාලකයන් ඉදිරියේ අතරමැද සමාදානවලින් තොරව, පාලකයන් දෙන දෙයක් අරගෙන නිහඬ වෙනවා වෙනුවට අභියෝග කරමින් පසුගිය කාලය පුරාම අපේ අරමුණු කරා පැමිණ තිබෙනවා. ඉතිහාසය පුරා වෘත්තිය අරගල කළත් රට හමුවේ යෝධ වගකීමක් අපි කාටත් පැවරී තිබෙනවා. වෘත්තිය අරගලවලට පමණක් සටන් සීමා කරන්න ලෝකයේ හයවැනි තැනට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින රටක අපට අයිතියක් නැහැ. හැම පැත්තකින්ම බිඳ වට්ටවා තිබෙන රටක අධ්‍යාපනය පමණක් වෙන්කර ගන්න බැහැ. රට සමස්තයක් ලෙස ගොඩනැගීමේ එක පංගුවක් අධ්‍යාපනයට පැවරී තිබෙනවා. පාසල් මට්ටමින් පාසල් සභා ගොඩනඟා පුනරුද යුගයට ආරම්භය ලබාදෙන සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනාම කැපවෙමු. අපේ රටේ සමස්ත ගුරු බල ඇණිය සාධාරණ වැටුපක් ඉල්ලා වීදි පුරා සටන් කළ යුගය අවසන් කර, ගෞරවණීය ගුරු සේවයක් තහවුරු කර ගැනීම වෙනුවෙන් සියලු දෙනාම පෙළගැසෙමු.