අපට අවශ්‍ය ඉතාමත් දැනුවත්ව, සැලසුම් සහගතව මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වෙහෙස වෙන නව තරුණ පරම්පරාවක් බවත්, රැඩිකල්භාවය යනු තිබෙන තැනින් නවීනත්වය කරා සමාජය ඉදිරියට ගෙනයාම බවත් අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වශයෙන් පරිවර්තනයක් පමණක් නොවෙයි; සාධාරණ, යුක්තිසහගත මිනිස් ක්‍රියාකාරිත්වයක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කලේය. ඔහු මේ අදහස් පළ කළේ පසුගිය ඔක්තෝබර් 08 දා කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති චේ සමරු වැඩසටහනේදීය.
ජාත්‍යන්තරවාදියෙක් මෙන්ම විප්ලවවාදියෙකු වූ අර්නස්ට් චේ ගුවෙරා ඇමරිකානු CIA සංවිධානයේ මෙහෙයවීම මගින් 1967 ඔක්තෝබර් 08 වෙනි දින බොලීවියාවේදී ඝාතනය කරන ලදී. චේ ගේ 56 වෙනි සමරුව ඔක්තෝබර් 08 දිනට යෙදී තිබුණි. චේ සමරුව සඳහා සමාජවාදී තරුණ සංගමය (07) දින උදෑසන යහල කැලේ චේ උද්‍යානයේදී චේ දින සැමරුමකුත් (08) දින කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී සමරු උළෙල සහ සංස්කෘතික වැඩසටහනකුත් පවත්වන ලදි.
යහලකැලේ චේ උද්‍යානයේ පැවති චේ සමරුව සඳහා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නලින්ද ජයතිස්ස, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන අංජන සම්පත් අමරසිංහ, මහේෂ් අඹේපිටිය යන සහෝදරවරු ඇතුලු තරුණ පිරිසක් එක්ව සිටියහ.
ඔක්තෝබර් 08 දා විහාරමහාදේවි උද්‍යානයේදී පැවති සමරු උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් තරුණ තරුණියන් අති විශාල පිරිසක් සහභාගී වූහ. එහි ප්‍රධාන සමරු දේශනය අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් පවත්වන ලදි. එසේම අර්නස්ට් චේ ගුවෙරාගේ විප්ලවවාදී ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් ප්‍රදර්ශනයක්ද මෙම උළෙලේදී සංවිධානය කර තිබූණි. තවද එම අවස්ථාවේදී ඇමරිකානු සම්බාධක විසින් කියුබානු ජනතාව මත ඇති කරන පීඩනයට එරෙහිව කියුබානු ජනතාවට සහය පල කරන “කියුබානු ප්‍රකාශනය”, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ වෙත පිලිගන්වන ලදි.