Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පිරිනමනු ලැබූ රාජ්‍ය භෝජන සංග්‍රහයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද කතාව

(-Colombo, December 17, 2024-)

President Anura Kumara Dissanayake's Speech at the State Banquet hosted by Her Excellency Droupadi Murmu, President of India

ඉන්දීය ජනරජයේ ජනාධිපතිනිය අතිගරු ද්‍රෞපදි මුර්මු මහත්මියනි, අග්‍රාමාත්‍ය අතිගරු නරේන්ද්‍ර මෝදි මහත්මාණනි, ගරු ඇමතිවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන්!, වනක්කම්!, නමස්තේ!, සුබ සන්ධ්‍යාවක්! ,

ජනාධිපතිතුමියනි, ඔබගේ කාරුණික අදහස් මම ඉතා ඉහළින් අගය කරමි.

ඔබේ රට තුළ දී මාගේ කණ්ඩායම සහ මා වෙනුවෙන් ඉතාමත් සුහදශිලීව සිදු කරනු ලැබූ ආගන්තුක සත්කාර පිළිබඳව ඔබතුමියට සහ ඉන්දීය රජයට මෙන්ම ජනතාවටද මගේ අවංක ස්තුතිය සහ ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට අවසරයි. අපගේ ඉන්දියානු මිතුරන් වෙත ශ්‍රී ලාංකේය ජනතාවගේ උණුසුම් සුබ පැතුම් ද මම මෙහිදී ගෙන එනු කැමැත්තෙමි.

President Anura Kumara Dissanayake Speaking at the State Banquet hosted by Her Excellency Droupadi Murmu, President of India

අතිගරු ජනාධිපතිතුමියනි,

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැඳීම් රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ භූගෝලීය සමීපත්වය ඉක්මවා යනු ලබයි. අපගේ සම්බන්ධතාව ශිෂ්ටාචාරමය වශයෙන් බැඳී ඇති අතර එය අන්‍යෝන්‍ය ගෞරවය, සහයෝගීතාව සහ හවුල් ඉරණමක් ලෙස නිර්වචනය කොට තිබේ. ඉන්දියන් සාගරයේ වෙරළේ සිට උප මහද්වීපයේ ප්‍රධාන ස්ථානය දක්වා, අපගේ රටවල ශක්තිමත් සබඳතාවලට ආවේණික වූ සම්ප්‍රදායන්, සාරධර්ම සහ අනාගතය සඳහා වූ දැක්මකින් යුත් පොදු උරුමයකින් අපි බැඳී සිටිමු. එබැවින්, මගේ පළමු නිල රාජ්‍ය සංචාරය සඳහා ඉන්දියාවට පැමිණීම පුදුම විය යුත්තක් නොවේ.

මෙම ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මගේ පරිපාලනය කැපවී සිටී. මගේ රට ආර්ථික ප්‍රකෘතිය, වර්ධනය සහ ස්ථාවරත්වය කරා යන ගමනේ දී, ඉන්දියාව ඔවුන්ගේ නොමඳ සහයෝගය ලබා දෙමින් අපගේ විශ්වාසවන්ත මිතුරෙකු, ස්ථීර හවුල්කරුවෙකු සහ සමීපතම අසල්වැසියා බවට පත්ව සිටී. අවශ්‍ය අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සහ නොසැලෙන සහයෝගීතාව පිළීබඳව මම මෙහිදී බෙහෙවින් අගය කරමි.

President Anura Kumara Dissanayake at the State Banquet hosted by Her Excellency Droupadi Murmu, President of India

ශ්‍රී ලංකාව නව යුගයක එළිපත්ත මත සිටගෙන සිටින බැවින්, එහි ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, මිනිසුන් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට රැගෙන යාම ඉතාමත් වැදගත්ය. අනාගතය තුළ අතිමහත් විභවතාවක් තිබේ. ඉන්දියන් සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා අප දෙරටේ කාර්යභාරය ඉතා වැදගත් වේ.

අපගේ හවුල්කාරිත්වයේ ශක්තිය පවතින්නේ සාමූහික ක්‍රියාකාරිත්වය තුළය. පාරිසරික ගැටලු විසඳීමේදී, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී හෝ ගෝලීය වශයෙන් සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනයක් සහතික කිරීමේදී අපට දේශසීමා ඉක්මවා යන නව සහ විකාශනය වන අභියෝගවලට විසඳුම් ලබා දිය හැක්කේ සහයෝගී ප්‍රයත්නයන් හරහා පමණි. අනාගත පරපුරට අන්තර් සම්බන්ධිත සහ අන්තර් පරායත්ත ලෝකයක් තුළ දියුණු වීමට 21වන සියවසේ අවස්ථා උපයෝගී කර ගැනීම සඳහා ගෝලීය දකුණේ නායකයෙකු ලෙස ඉන්දියාව සමඟ ගැඹුරු සහයෝගීතාවක් ඇති කරගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී.

President Anura Kumara Dissanayake Speaking at the State Banquet hosted by Her Excellency Droupadi Murmu, President of India

අතිගරු ජනාධිපතිතුමියනි,

මෙම සන්ධ්‍යාව, සාමය සහ ප්‍රගතිය ලුහුබැඳීම සඳහා අපව සමීප කරවන, කාලය සමඟ නොනැසී පවතින, අපගේ ජාතීන් දෙක අතර සමෘද්ධිමත් වෙමින් පවතින බැඳීමෙහි දිගුකාලීන මිත්‍රත්වයේ සැමරුමක් වේවා! යැ’යි මම ප්‍රාර්ථනා කරමි.

ඉන්දියානු රජය සහ ජනතාව අප කෙරෙහි දක්වන නොසැලෙන සහයෝගය සහ මිත්‍රත්වය සඳහා මම මාගේ ඉමහත් කෘතඥතාව පුද කරමි. අපගේ සහයෝගිතාව තව තවත් ශක්තිමත් වනු ඇතැ’යි අපේක්ෂා කරන අතර අප එක්ව යන ගමන අපගේ ජාතීන්ට මෙන්ම මුළු කලාපයටම සමෘද්ධිය ගෙන එනු ඇතැ’යි මම විශ්වාස කරමි.

ස්තූතියි!