-Colombo, February 13, 2024-
මෙරට සිටින රුසියානු නියෝජ්‍ය තානාපති Alexander Dyagilev අද (13) ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවී තිබෙනවා. ඒ අංක 404, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරන තැන පිහිටි සිය තානාපති කාර්යාලයේ දී යි. මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන චමින්ද ජයසූරිය සහ මුදිත නානායක්කාර එක්ව තිබුණා. රුසියානු තානාපති කාර්යාලයේ උපදේශක German Fedorov ද එක්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, දෙරට අතර වන දීර්ඝ කාලීන මිත්‍රත්වය, දෙරට අතර සහයෝගය සහ මෙරටේ මෙන්ම ජාත්‍යන්තර දේශපාලන තත්වය පිළිබඳවද මෙම හමුවේ දී සාකච්ඡා වී ඇත. එමෙන්ම ඉදිරි මැතිවරණයන් පිළිබඳවද තානාපති නිලධාරීන්ට කරුණු පැහැදිලි කළ බව වාර්තා වේ
“දුෂණයෙන් තොර රාජ්‍ය පාළනයක් ගැන ඔවුන් විශ්වාසය තබමින් සාකච්ඡා කළා. ඒ වගේම මෙරට තේ සඳහා රුසියානු වෙළඳපල තව තවත් පුළුල් කිරීම සම්බන්ධව ඔවුන් අපට සහය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ වගේම රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත එවීමට හැකි උපරිම දායකත්වය ලබා දෙන්නත් ඔවුන් කැමැත්තෙන් පසුවෙනවා. මෙරට බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත් අපි සාකච්ඡා කළා.
දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය මේ රටේ වර්ධනයවීම මෙන්ම එහි ජනප්‍රියත්වය පිළිබඳව ඔවුන් නිරීක්ෂණය කරන බව පවසුවා. අපගේ ඉන්දීය සංචාරය පිළිබඳවත් ඔවුන් සතුට පළකලා”යි මෙම හමුවට එක්වූ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් සඳහන් කරනවා.