Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“පොලීසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් අපි ස්ථාපිත කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව – 2024.06.09 – ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරය-)

Retiered-Police-Community

මීට ප්‍රථම අපි ඔබ ලිප්ටන් වටරවුමේදී, කොටුව ස්ටේෂන් එක ඉදිරියේදී හමුවෙන්න ඇති. එදා අපි අත සටන් පාඨ පුවරුවක්. ඔබ අත සමහර විට බැටන් පොලු, කඳුළු ගෑස් තිබෙන්න ඇති. ඒ ඔබගේ රාජකාරිය. අද අපි මේ එකතු වි සිටින්නේ ඒ රාජකාරිය ඉක්මවා යන ලද යුතුකමක් වෙනුවෙනුයි; අපි ඉදිරියේ තිබෙන මේ රට වෙනස් කළ යුතුයි කියන අධිෂ්ඨානයෙන් යුතුවයි. ඔබගේ හමුවීම අපට විශාල ධෛර්යයක් හා විශ්වාසයක් ගෙනදෙනවා.

රවි සෙනෙවිරත්න මැතිතුමාට ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොවෙයි විපක්ෂයෙනුත් විශාල බලපෑමක් ආවා. ආණ්ඩුව සහ විපක්ෂය යන කණ්ඩායම් දෙකම, එතුමාට වෙලාවක මිත්‍රශීලිත්වයෙන්, විටෙක ආයාචනාවක ස්වභාවයෙන්, තවත් විටෙක තර්ජනාත්මකව මේ වේදිකාවට ගොඩවෙන්න එපා කියා තිබෙනවා. එපමණක් නොවෙයි මේ වන විටත් එතුමා පිළිබඳ අභූත චෝදනා ඉදිරිපත් කරමින් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. මේ වේදිකාවේ ඉඳගෙන මම සාගල රත්නායකට කියනවා ඔබේ කැත වැඩේ නතර කරන්න කියා. ඕනෑම පුරවැසියෙකුට මේ රටේ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැඩකරන්න ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. ඒ කිසිම දේකට සාගලගේ හෝ සජිත්ගේ කැමැත්ත අකමැත්ත අවශ්‍ය නැහැ.

රවි සෙනෙවිරත්න මහත්මා යනු අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමායි. ශානි අබේසේකර යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂවරයායි. ඒ නිසා මේ පක්ෂ දෙකේම පැටිකිරිය හොඳට ඒ අය දන්නවා. මේ තර්ජනය පිටුපස තිබෙන්නේ එයයි. ඒ කිසිදු තර්ජනයකට බිය නොවී, පලා නොයා ඔවුන් මේ වේදිකාවට ගොඩවී සිටිනවා. මේ රටේ ජනතාව ආමන්ත්‍රණය කර, ඔවුන්ට තිබෙන අත්දැකීම්වලින් අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යයට කවරක්ද සිදුවෙලා තිබෙන්නේ කියා රටේ ජනතාවට හඬනඟා කියා තිබෙනවා. ඔවුන් නිර්භීත මිනිස්සු. කියනවා පමණක් නොවෙයි මේ තත්වය වෙනස් කිරීම සඳහා සක්‍රීය ලෙස මැදිහත්වීම සඳහා සපථකොට තිබෙනවා.

බොහෝ අය අපෙන් අහනවා, ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවාම කරන්නේ කවුද කියා. අපේ පාලනයකදී නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කරන්නේ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතාමත්ම නීතිගරුකව වැඩ කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අත්දැකීම්, උපදේශ, මැදිහත්වීම් මගින් බව මම ප්‍රකාශ කරනවා. මේ රටට, අපේ පුරවැසියන්ට ඇති වී තිබෙන ප්‍රතිවිපාක අපි හැමෝම අත්විඳිමින් ඉන්නවා. දිගු ඉතිහාසයකට නොගොස් මේ අවුරුදු දෙක තුන දෙස බැලුවත් රටට, පුරවැසියන්ට සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න වැටහෙනවා. ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වුණු රාජ්‍යයක්. ඉස්පිරිතාලෙට බෙහෙත් පෙත්ත ලබාදෙන්න බැරි වුණු රාජ්‍යයක්. අපි ඉදිරියේ තිබෙන්නේ, දරුවන්ට නිසි පරිදි අධ්‍යාපනයක් ලබාදෙන්න බැරිවුණු, ආදායම් සහිත රැකියාවක් නිර්මාණය කරන්න බැරි වුණු, අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගේ ග්‍රහණයට යටත් වුණු, රාජ්‍යයක්. මේකෙ ප්‍රතිවිපාක මුළු මහත් සමාජයම අත්විඳිමින් තිබෙනවා. මෙය වෙනස් කළ යුතුයි.

මෙය වෙනස් කරන්න නම් අනෙක් හැම ප්‍රතිසංස්කරණයක් සේම වැදගත්ම දේ තමයි නීතියේ විධානයේ ආධිපත්‍යය සහිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කළ යුතුයි. අපේ රටේ සෑම පුරවැසියෙකුටම නීතිය ඉදිරියේ තමන්ට වූ අසාධාරණයක් පිළිබඳව දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් සැලසිය යුතුයි. අපි නීතිය ඉදිරියේ සමානද? නැහැ. බලය, ධනය තිබෙන අයට එක නීතියක්. පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය උසුළුවිසුළුභාවයට පත්කළ පාලකයන් මේ ඉන්නේ. සංචාරක වීසාවලින් ලංකාවට ආ බව ඩයනා ගමගේ දන්නවා. ඒ වීසා කාලය ඉකුත් වූ බව ඇය දැනගෙන තිබියෙදීත් ඇය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කළා. පුරවැසිභාවය නැති ඇයට විශ්වාසයක් තිබෙනවා, ඇයගේ දේශපාලන බලය අනුව නීතිය ක්‍රියාත්මක නොවෙන බව. ලයිසන් එක නැතිව බයිසිකලයක් පදින්න බය සමාන්‍ය පුරවැසියන් සිටින රටක, පුරවැසිභාවය නැතිව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇය අමාත්‍ය ධුරයක් හොබවනවා. ඩයනාට පුරවැසිභාවය නැති බව ඊළඟට දන්නේ රනිල්. එහෙම රටකට ඉස්සරහට යන්න බැහැ. නීතියේ ආධිපත්‍යය විධානය නිසි පරිදි ආරක්ෂා කෙරෙන රාජ්‍යයක් අපට ඕනෑ. පුද්ගලිකව මට හෝ අපේ ව්‍යාපාරයට ආරක්ෂා කරන්න අපරාධකරුවන්, දූෂිතයන්, පාතාලයින්, මූල්‍ය අපරාධකරුවන් හෝ ඝාතකයන් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවට අනපනත්වලින් ලබාදී තිබෙන බලය මදි නම්, ඒ සඳහා පහසුකම් සලසා දී නිතියේ ආධිපත්‍යය සහ විධානය නිසි පරිදි ආරක්ෂා කරන බව අපි සහතික වෙනවා.

Retiered-Police-Community

බොහෝ අය පොලීසියට චෝදනා කරනවා. නමුත් නූරි වත්තේ වතු අධිකාරීවරයාගේ ඝාතනය කිරීම හෝකන්දර හය දෙනෙකු ඝාතනය කිරීම, සරත් අඹේපිටිය විනිසුරුවරයා ඝාතනය කිරීම ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි ක්‍රියාකර, අධිකරණය මගින් අපරාධකරුවන්ට දඬුවම් ලබාදුන්නා. නමුත් ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම පිළිබඳ පරික්ෂණය, පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණය, කීත් නොයාර්ට පහරදීම පිළිබඳ පරීක්ෂණය, උපාලි තෙන්නකෝන්ට පහර දීම සහ පොද්දල ජයන්තගේ අතපය කඩාදැමීම වැනි පරීක්ෂණ අවසන් නොවෙන්නේ ඇයි? ඒ අපරාධ පිටුපස දේශපාලන හස්තයන් තිබෙනවා. අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ලබාදෙන පුහණුව පමණක් නොවෙයි, හොඳ ඉවක් තිබෙනවා. නමුත් මේ සියල්ල බිඳ වට්ටන්නේ දේශපාලන මැදිහත්වීම්වලින්. රවි සෙනෙවිරත්න මැතිතුමා, ශානි අබේසේකර පිළිබඳව කළ කතාවෙන් අපි සියල්ලන්ගේම හදවත් මොහොතකට නතර වුණා. රාජකාරිය ඉටුකිරීම සම්බන්ධයෙන් දඬුවම් කරනවා නම්, ඒ දේශපාලනය මොකක්ද? ශානි අබේගුණසේකරට අපි එක සහතිකයක් දෙනවා. අපේ පාලනයක් යටතේ අනිවාර්යයෙන්ම අපි ඔබට සාධාරණය ඉටුකරනවා. අසාධාරණයට සහ පලිගැනීම්වලට ලක්වූ ඔහු ඇතුළු සියලු නිලධාරීන්ට යුක්තිය සාධාරණය ඉටු කළ යුතුයි.

සමාජයේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීමේදී පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මිනිස් ශිෂ්ටාචාරය මේ දක්වා පැමිණියේ විශාල අරගලවල ප්‍රතිඵලයක් හැටියට. ගෝත්‍රික නායකයා අත තිබුණු නීති සම්පාදනය කිරීමේ බලය මිනිසුන්ගේ අරගලවල ප්‍රතිඵලයක් හැටියට විකාශනය වෙමින් ඇවිත් පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ගෝත්‍රික නායකයන් අත තිබූ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද විධායකයට පැවරුවා. ගෝත්‍රික නායකයාට තිබූ දඬුවම් දීමේ බලය පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතියක් වෙත පැවරී තිබෙනවා.

නමුත් අපේ රටේ නැවත පාර්ලිමේන්තුව ජනාධිපතිගේ සිග්නල් කණු බවට පත්වී තිබෙනවා. නීතිය පසිඳලීම සඳහා තිබෙන ආයතන ක්‍රමානුකූලව ඔහුගේ ග්‍රහණයට නතුකර ගනිමින් යනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ මේ ආයතනවලට ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යාමේ අවස්ථාව ලබාදෙනවා. විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට නිසි උසස්වීමේ ක්‍රියාපටිපාටියක් ලබාදෙනවා. පොලීසියට බැඳෙනකොට, බඳිනකොට වගේම විශ්‍රාම යන අවස්ථාවෙත් කොස්තාපල් තනතුරේම ඉන්න අය විශාල පිරිසක් සිටීමේ තත්වය වෙනස් කර, රැකියාවේ ඉදිරියට යාමේ හැකියාවට මූලිකත්වය දෙනවා.

අද පොලීසියේ බොහෝ පිරිසක් යොදවා සිටින්නේ ප්‍රභූ ආරක්ෂාවටයි. නමුත් ඔවුන් යෙදවිය යුතුව තිබෙන්නේ මහජන ආරක්ෂාවටයි. මා 2000 වසරේදී මහජන නියොජිතයෙක් ලෙස පත්වී මේ දක්වා කිසිදු පොලිස් නිලධාරීයෙක් මගේ ආරක්ෂාවට ලබාගෙන නැහැ. ප්‍රභූ ආරක්ෂාවට යොදවාගෙන සිටින අයගේ දුක අපි දන්නවා. අයවැය විවාද කාලවලදී පැය 12කට වඩා එක දිගට රාජකාරියේ යොදවා සිටිනවා. මේ තත්වය වෙනස් කරන අතරම, පොලිස් සේවයේ යෙදී සිටින සියලු දෙනාගේ ජීවිත පිළිබඳව ආරක්ෂා කරන්නත්, ජාතික ජන බලවේගය බැඳී සිටිනවා. අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ ඉන්න මම අපේ හිතවතෙකු හෙල්මට් එකක් නැතිව ගිහින් ඇල්ලූ වෙලාවකවත් පොලීසියට කෝල් එකක් දීලා නැහැ. වැරදිකරුවන් නිදහස් කිරීම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් බවට පත්කර ගෙන තිබෙන සංස්කෘතිය අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ අතරම තව දෙයක් ඉතා පැහැදිලිව කියනවා. අපරාධකරුවන් සහ දූෂිතයන් සම්බන්ධ පරීක්ෂණවලදී ඉතා සමීප අවබෝධයකින් කටයුතු කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සෑම දෙපාර්තමේන්තුවකට අදාළ වන ලෙස රාජ්‍ය යාන්ත්‍රණය කිසිසේත්ම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නේ නැහැ. පොලීසියේ අයිතිකාරයා දේශපාලනඥයන් නොවෙයි. පොලීසියේ කොටසක් පුහුණුවීම් ලැබුවත් තමන්ගේ නිල ඇඳුමේ, තරුපටියේ ගෞරවය තබාගෙන රාජකාරි කරන්න අවස්ථාවක් මේ දක්වා ලබාදී නැහැ. සෑම පොලිස් නිලධාරියෙකුගේම නිල ඇඳුමේ ගරුත්වය, පටියේ ගරුත්වය, තරුවේ ගරුත්වය සහ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් අපි ස්ථාපිත කරනවා.

Retiered-Police-Community

කාලයේ වැලිතලාවේ යටවීමට ඉඩහැර තිබෙන අපරාධ ජාතික ජන බලවේගයට නම් අමතක වෙන්නේ නැහැ. 1994දී වේදිකාවට නැගලා චන්ද්‍රිකා කුමාරතුංග කීවේ 17වසරක් හොරකම් කර තිබෙන දූෂිතයන්ව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනත් හමගහන බවයි. පොල් අක්කරය රුපියල් දෙක ගණනේ ගත් විජේපාල මෙන්ඩිස්ලාට දඬුවම් දෙන බව කීවත් අවුරුදු හතක් යනකොට ඒ විජේපාල මෙන්ඩිස් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක් බවට පත්කර ගත්තා. බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු, පාස්කු ප්‍රහාරයේ චූදිතයන් ලෙස නම් කළ රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ ජනාධිපති ලෙස පත්කරගෙන සිටිනවා. රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජපක්ෂලාට මෙන්ම අපට විරුද්ධව පෑන මෙහෙයවූ ලසන්ත වික්‍රමසිංහගේ ඝාතනය රනිල් වික්‍රමසිංහ විසින්ම යටපත් කර තිබෙනවා. ඡන්ද වේදිකාවට පමණක් සීමාකරගෙන තිබූ අපරාධ චෝදනා, දූෂණ චෝදනා වේදිකාවට පමණක් සීමා කර, ඔවුන් දෙපැත්තම එකිනෙකා බදා සිප වැළඳ ගැනීමේ දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපරාධ සහ දූෂණයෙන් තොර රාජ්‍යයක් බවට මේ රට පරිවර්තනය කිරීමේ වගකීම බාර ගන්නවා. රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වගේම මූලික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපට කොරතම් සැලසුම් තිබුණත් නීතිය කඩා වැටී වල්වැදිලා නම්, වැඩක් වෙන්නේ නැහැ. අපේ රටේ යහපත් අනාගතය පිළිබඳ කාටහෝ අරමුණක් තිබෙනවා නම්, නීතියේ විධානයේ ආධිපත්‍යය අනිවාර්යයෙන්ම ස්ථාපිත කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් කළ හැකි විශාල කාර්යභාරයක් ඔබ වෙත පැවරී තිබෙනවා. මොනවා කළත් දූෂණය නතර කරන්න, අපරාධ වළක්වන්න බැරි බවට සමහරු මතයක් පළකරමින් යනවා. නමුත් එවැනි තත්වයකට ඇද දැමූ දේශපාලනය වෙනස් කිරීමෙන් මේ මතය සම්පූර්ණයෙන්ම අපි පරාද කරනවා. විටෙක මිත්‍රශීලී ලෙස, විටෙක ආයතනික ස්වභාවයෙන් සහ තවත් විටෙක තර්ජනාත්මක ස්වභාවයෙන් පොලීසියට සිදුවන දේශපාලනඥයන්ගේ මැදිහත්වීම සම්පූර්ණයෙන් අවසන් කරනවා.

තවත් සමහර පිරිසක් “පොලීසිය නම් හදන්න බැහැ” කියා කියනවා. නමුත් සෑම නිලධාරියෙකුටම තමන් ඉටුකරමින් සිටින කාර්යයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳ උන්නතිකාමී හැඟීමක් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යම් පරීක්ෂණයක් බාරදුන්නාම ඒ වෙනුවෙන් පොර බදමින් අවසානය දක්වා යන හැඟීමක් බහුතර නිලධාරීන්ට තිබෙනවා. පුරවැසියෙකුගෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබුණු විට ඒ පුරවැසියාට සාධාරණය ඉටුකර දීමේ හැඟීමක් සාතිශය බහුතරයකට තිබෙනවා. නමුත් ඒ හැඟීම් සියල්ල, මානවවාදී හැඟීම්, වෘත්තිය ගෞරවය, අයිස් වතුරේ ගිල්වා මරාදමා තිබෙනවා. පොදු පුරවැසියාට සාධාරණත්වය ඉටුකළ යුතුය යන හැඟීම වගේම රැකියාවේ උන්නතිකාමිත්වය, වෘත්තිය ගෞරවය යළි ස්ථාපිත කරනවා. අසාධාරණයකට ලක්වී තමන් ඉදිරියට එන කෙනෙකුට සාධාරණය ඉටුකිරීමෙන් ඇතිවන හැඟීම මුදලට ගත නොහැකි තෘප්තිමතිභාවය යළි ඇති කරනවා. රාජ්‍ය ආයතනවලට පොදුවේ එල්ලවී තිබෙන අප්‍රියජනක හැඟීම වෙනස් කළ හැකි, පුනරුද යුගයක් සියලුම රාජ්‍ය අංශවල යළි ඇති කරනවා. අපේ සමාජයේ ඇති විය යුතු ආකල්ප සහ සිතුම් පැතුම් පරිවර්තනය කර ගත යුතු වෙනවා. එවැනි පරිවර්තනයක් කර ගැනීම පිළිබඳව හැඟීමක් නැතිනම් දුෂ්කරතාවයන් විඳ ගනිමින් දුර ඈත ප්‍රදේශවල සිට ඔබ අද මෙතැනට එන්නේ නැහැ. කෙතරම් දුෂ්කර වුවත්, ඔබගේ මානවවාදී ගුණාංග විසින් මේ රටේ ජනතාවට යහපත් ජීවිතයක් ලබාදීමේ කොටස්කරුවන් වීම වෙනුවෙන් පොළඹවා තිබෙනවා. ඔබ මෙතනට පැමිණීමේදී අප කෙරෙහි තැබූ විශ්වාසය අබමල් රොණක තරමින් වත් පලුදු වෙන්න ඉඩ නොතබන බවට ඔබට සහතික වෙනවා.

Retiered-Police-Community

“ජාතික ජන බලවේගය සමග එකතු වූයේ කඩා වැටී ඇති නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමටයි”
-අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී රවි සෙනෙවිරත්න-

විශ්‍රාමික පොලිස් සාමූහිකය සත්‍ය වශයෙන්ම නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක්. නැවත පොලිස් රාජකාරි කිරීමට හෝ එවැනි කිසිම අරමුණක් අපට නැහැ. මෙතනට රැස්වී සිටින පිරිසකට පසුගිය දිනවල විවිධ දුරකථන ඇමතුම් ලැබුණා. සමහර ඇමතුම් තර්ජනාත්මකයි. මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී මහත්මාට දුරකථන ඇමතුමකින් තර්ජනාත්මකව කතාකර තිබුණා. බැරිම තැන ඒ සම්බන්ධයෙන් මොනරාගල පොලීසියට පැමිණිලි කළා. ඉන්පසු ඒ තර්ජනය කළ කෙනා ඉන්න ආයතනයක් සඳහන් කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස බැගෑපත් වුණා. අපේ රටේ ජාතික මට්ටමේ ආයතනයකින් ඒ තර්ජනය කර තිබුණු බව පමණක් මම සඳහන් කරන්නම්. ඒ නිලධාරීන්ගේ නම් මම හෙළිකරන්නේ නැහැ.

අපි මෙවැනි දෙයකට යොමු වුණේ ඇයි කියලා පැහැදිලි කිරීමක් කර ගනිමු. මෙයට වසර දෙකකට පමණ පෙර සිට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. අපේ ගැටලු ඉදිරිපත් කළා. එහිදි අපට ඔවුන්ගේ අවංකභාවය, අරමුණු වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව පෙනී ගියා. අපි ඉදිරිපත් කළ ගැටලුවලට පැහැදිලි පිළිතුරු ලැබුණු බවත් සඳහන් කරන්න ඕනෑ. ඉන්පසු රට පුරා විහිදි සිටින විශ්‍රාමික පොලිස් ප්‍රජාව මේ කටයුත්තුට එකතු කර ගන්න අපි තීරණය කළා. තමන්ගේ ජීවිතයෙන් හොඳම කාලය කැපකිරීමකින් යුතුව රාජකාරිය වෙනුවෙන් යෙදවූ පිරිස එකතු කරගෙන නීති ගරුක රටක් නිර්මාණය කරන්න විශ්‍රාමික පොලිස් සාමූහිකය ගොඩනැගුවා. අද අපේ රට නීතිගරුක රටක්ද කියන එක ඔබම තීරණය කරන්න. පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන ආයතන තුන ස්වාධීනව ක්‍රියාත්මක වීමෙන් නීතිගරුක රටක් ගොඩනැගිය හැකියි. මේ අවස්ථාවට සහභාගී වී සිටින ඇතැම් අයට විදේශයන්ගේ අත්දැකීම් ඇති. පොලිස් නිලධාරියෙක් පාරේ දකින්න වත් නොමැතිව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ඒ අය දැක තිබෙනවා.

Retiered-Police-Community

අපේ පොලීසිය නිර්මාණය වුණේ 1868දීයි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ දේපොළ සහ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පොලීසිය පිහිටවූවා. ඒ වන විට කැරලි දෙකකට මුහුණ දීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිට වූවත් ආරම්භයේදී ස්වදේශිකයන් පොලීසියට බැඳුණේ නැහැ. බි්‍රතාන්‍යයේ හමුදාවලින් ගම්වලට ගිහින් හැඩි දැඩි තරුණයන් බලහත්කාරයෙන් ගෙනැවිත් පොලීසියට බඳවා ගත්තා. ඒ වගේම නිලධාරීන් හැටියට ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්, මැලේසියාවෙන් රැගෙන ආවා. ඉහළම නිලධාරීන් බි්‍රතාන්‍යයෙන් රැගෙන ආවා. මේ පොලීසිය තුළින් දේශීය තත්වයක් පිළිබිඹු නොවූ නිසා එදා සිට මහජන විරෝධයක් ඇති වුණා. නමුත් නිදහස ලබාගෙනත් අවුරුදු 75ක් පමණ ගියත් ඉංග්‍රීසීන්ගේ ප්‍රතිපත්ති තාමත් වෙනස් වී නැහැ. මේ තත්වය වෙනස් කර, ජනතාව ආරක්ෂා කරන පොලීසියක් පිහිට විය යුතුයි. ජනතාව සතු පරමාධිපත්‍යය බලය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම පෙරළා පාවිච්චි කිරීමට කණ්ඩායමක් පත්කර ගත්තා. එවැනි වූ පොලීසියෙන් අද මහජනතාව අපේක්ෂා කරන්නේ මොකක්ද? රහස් පොලීසියට ලබාදී තිබෙන බලය සාධාරණ ලෙස ක්‍රියාවේ යොදවා තමන්ව ආරක්ෂා කරාවි යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රියාදාමය අද පොලීසියෙන් සිදුවෙනවාද?

එයට පිළිතුරක් නොදී මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් ගැන මම කෙටියෙන් ඔබට පැහැදිලි කරන්නම්. නඩු අංක 505/2019 තීන්දුවට පාදක වුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු සොයාගෙන ඉමදූව ප්‍රදේශයට ගොස් ඒ සැකකරු නොසිටි නිසා ඔහුගේ බිරිඳත්, මාස කිහිපයක ළදරුවාත්, බිරිඳගේ අම්මාත් රැගෙන ඇවිත් පැය 12කට අධික කාලයක් රඳවා තබා ගැනීමයි. ඔහුන්ගෙන් ප්‍රශ්න කරමින් මානසික පීඩාවන්ට ලක්කරමින් ප්‍රකාශ ලබාගෙන තිබුණා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූයේ එය පැහැර ගැනීමක් ලෙසයි. මේ අය රැගෙන ආ නිලධාරීන්ගේ ප්‍රධානියා කරුණු දැක්වූයේ එය පැහැර ගැනීමක් නොවෙයි, ඒ අය කැමැත්තෙන් ආ බවයි. පැහැර ගැනීමක් කරනවා නම්, එය කරන හැටි දන්නා බවත්, මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඒ නිලධාරියා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තදබල විවේචනය එල්ල කළා.

Retiered-Police-Community

මේ වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරමින් ඒ නිලධාරී “රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙස” ක්‍රියාකර ඇති බව ප්‍රකාශ කර තිබුණා. මහජනතාව පොලීසියට බලය දී තිබෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙස ඒ බලය ක්‍රියාත්මක කරන්නද? එවැනි සිදුවීම් බොහොමයක් ගැන කතා තිබෙනවා. තරුණයන් කණ්ඩායමක් ගෝල්ෆේස් පිටියේ 2022 අප්‍රේල් මාසයේ සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජන කණ්ඩායමක් ඒ තරුණ පිරිසට පහර දුන්නා. මහජනතාව මෙවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් බලා සිටියදී පහරදීමත් සමග මුළු රටම ගිනිගත්තා. මහජනතාව තමන්ගේ බලය තමන්ගේ අතට ගත්තා. තත්වය සමනය වෙන්න දින දෙකක් පමණ ගියා. පොලීසියේ බලය ක්‍රියාත්මක නොකිරීම නිසා, එවැනි තත්වයක් ඇති වුණා. අධිකරණයේ නඩුවක් තිබෙන නිසා මා ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ. ප්‍රතිඵලය වුණේ අගමැතිට සහ ඇමතිවරුන්ට සහ රජයට ඉල්ලා අස්වීමට සිදුවී අලුත් කණ්ඩායමක් බලයට පත්වීමයි. අන්තිමේදී ජනාධිපතිවරයාට රටෙන් පලා යාමට පවා සිදුවුණා. පොලිස් නිලධාරීන්ට පවරා තිබූ රාජකාරිය හරියාකාරව ඉටුනොකළ නිසා එවැනි තත්වයක් ඇති වුණා.

මම මේ කිවූ උදාහරණ දෙකේදීම වගකිවයුතු නිලධාරීන් තාමත් තනතුරු දරමින් රාජකාරි කරනවා. නීතිගරුක සමාජයක වෙන්න ඕනෑ මේකද? අධිකරණයෙන් වරදකරුවෙකු බවට තීන්දු කළ පුද්ගලයෙකු ඒ තනතුරේ තවමත් ඉන්නවා නම් මේ රටේ නීතියේ ආධිපත්‍යය මොකක්ද? මළමිනියක් ගෙදර තියාගෙන බූරුවා ගහනවාට වැඩි දෙයක් මෙතන නැහැ. 2015 ජනවාරි 08වැනිදා ජනාධිපතිවරණය පවත්වා පසුදින අලුයම ප්‍රතිඵල නිකුත් කරමින් තිබෙන අතර ඉහළම රාජ්‍ය නිලධාරීන් අරලියගහ මන්දිරයට ගෙන්වා තිබුණා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව නතර කර, රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර, හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කළා. එවකට සිටි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්මා පළාත් නවයේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හට කතා කොට ආරක්ෂක තත්වය ගැන විමසා සිටියා. කිසිම නීතිය කඩවීමක්, සිදුනොවී සාමකාමීව තිබුණු බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර, හදිසි නීතිය පැනවීම අනවශ්‍ය බව ප්‍රකාශ කළා. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, අලුත් ජනාධිපතිවරයෙක් තේරී පත්වුණා. ඒ පොලිස්පතිතුමා ඒ තීරණය ගත්තේ නැත්නම් මේ රට අරාජික වී ලේ වැගිරීම් ඇතිවෙන්න ඉඩ තිබුණා. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙමින් තිබියෙදී හදිසි නීතිය පනවා වෙනත් ක්‍රියාමාර්ගයකට ගියා නම්, ලෝකයා ඉදිරියේ අපවාදයකට ලක්වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ නිර්භීත නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා ලොකු පැසසුමක් සමාජයෙන් ලැබුණා.

නිවැරදිව, ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කිරීම ලොකු දෙයක් නොවෙයි, නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න යාමේදී අයහපත් දේවලට මුහුණ දීමට සිදුවීම පිළිබඳව එක උදාහරණයක් මම කියන්නම්. පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහොමයක් කරුණු මම කතාකර තිබෙනවා. එතන කුමන්ත්‍රණයක් තිබුණු බව පැහැදිලියි. ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු කෙරෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන බාරව සිටියේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහත්මයා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ සංවේදී විමර්ශන ගණනාවක් වන, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම, කීත් නොයාර්ට පහරදීම, ශිෂ්‍යයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම වැනි පරීක්ෂණ ගණනාවක් ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුකළා. අවංකව, ස්වාධීනව කටයුතු කළ නිසාම ඔහුව පලිගැනීමට ලක්වුණා. 2019 අලුත් ආණ්ඩුව පත්වුණු වහාම තනතුරෙන් පහළ වෙනත් තනතුරකට පත්කළා. අගමැති, කැබිනට් ඇමතිවරු හෝ අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම පෙර ශානි අබේසේකර මාරුකර හැර ඔහු යටතේ සේවය කළ නිලධාරීන් 700ක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් පවා නොමැතිව රටෙන් පිටවීම තහනම් කළා. ඒ නිලධාරීන් 700ම අපරාධ විමර්ශකයන්. ශානි අබේසේකරව හඹා යාම එතනින් නතර වුණේ නැහැ. වැඩ තහනම් කර, අසත්‍ය සාක්ෂි නිර්මාණය කර, මාස 11ක් හිරගෙයි රඳවා සිටියා. අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බව අභියාචනාධිකරණය ඉදිරියේ ඔප්පු වුණා. ඔහුගේ විශ්‍රාම වැටුප ලබාදුන්නෙත් නැහැ. නමුත් මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් ශානි අබේසේකර පිටුපස සිට ඔහුගේ සියලු කටයුතු සොයා බැලූ බවයි. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, විරාජ් කොරයා වගේම මියගිය ගෞරී සංඝරාසා මැතිනිය, ශාන්ත ජයවර්ධන, චමින්ද අතුකොර්ල ආදී නීතිඥ මහත්වරුන් නොමිලයේ ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටියා. විශ්‍රාම වැටුප නොගෙවා සිටීම සම්බන්ධයෙන් පැමිණිලි කළ අවස්ථාවේ පොලිස් කොමිෂන් සභාව එතනට ගෙන්වුවා. නමුත් ස්වාධීන පොලිස් කොමිසම එහිදී ප්‍රකාශ කළේ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් විමසා පිළිතුරක් ලබාගෙන බවයි. ස්වාධීන කොමිසමක් අමාත්‍යාංශ ලේකම්ගෙන් අහන්නේ ඇයි දැයි එහිදී ප්‍රශ්න කෙරුණා. විශ්‍රාම වැටුපේ හිඟ මුදල් ලබාගත්තේ ඒ ආකාරයටයි. පොලීසිය ස්වාධීන කිරීමට පිහිටුවා තිබෙන පොලිස් කොමිසම කොතෙක් දුරට ස්වාධිනද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.

Retiered-Police-Community

පාස්කු ප්‍රහාරය පිළිබඳ අධිකරණ තීන්දුවලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කළා. විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චෝදනා පත්‍ර පිළිගත් කටාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් පහ කළා. පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු වන ඔවුන් දෙදෙනාට පමණයි දඬුවම් දී තිබෙන්නේ. නීතිය ඉදිරියේ සැමදෙනාම සමානයි කියන සංකල්පය මේකද? අපි මේ එකතු වී සිටින්නේ මේ දේවල් නිවැරදි කරන්න. කරන දේ පිළිබඳ සැලසුමකුත් ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන කණ්ඩායමකුත් අපට සිටින්න ඕනෑ. දූෂණ, වංචා පිළිබඳ අපි ආරම්භ කළ පරීක්ෂණ සියල්ල ඇනහිට තිබෙන අතර සමහර විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. ඒ අතර විමර්ශන නිලධාරීයා හිරේට යවන තත්වයක් තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය අද තිබෙන්නේ එතන. අපි වෙනස් කළ යුත්තේ එයයි. එය වෙනස් කිරීම වෙනුවෙනුයි ජාතික ජන බලවේගය සමග අපි එකතු වූයේ. ඒ කටයුත්ත ඉතා ඉක්මනින් කළ හැකිවේවි යැයි දැඩි විශ්වාසයක් සහ අධිෂ්ඨානයක් අපට තිබෙනවා. සොච්චම් විශ්‍රාම වැටපක් ලබාගන්නා අතර, අයහපත් කාලගුණය පවා නොතකා, ඊයේ රෑ 12ටත් පෙර ඈත ප්‍රදේශවල සිට පිටත්වී පැමිණි ඔබ සියලු දෙනා විශාල ශක්තියක්. අද ආරම්භ කළ මේ ව්‍යාපාරය අපි ඉදිරියටම ගෙන යනවා. පොලීසියේ රාජකාරි කරන ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකුත් රාත්‍රියේ මට කතා කොට, මේ වෙනස අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ප්‍රකාශ කළා. ඒ වෙනස සිදුකිරීමට දිවිහිමියෙන් කටයුතු කරන බව ඔබ ඉදිරියේ ප්‍රකාශ කරනවා.