Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙනවා

(-Colombo, October 15, 2024-)

– බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් ජනපති පවසයි

President At The Discussion Of Responsibility to safeguard public wealth.jpg

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය.

අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට අක්‍රමිකතා සිදු විය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිතා කර තිබෙන බවත් එම ජනවරමට වගවීමට තමන් බැදී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Power Team At The Discussion Of Responsibility to safeguard public wealth

පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, පුරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියාගේ අතෘප්තිමත්භාවය ආදී හේතු නිසා පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබා දී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

President Anura Kumara Dissanayake At The Discussion Of Responsibility to safeguard public wealth.jpg

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙවර ජනවරමේ සංයුතිය , අරමුණ හා අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ දේශපාලන නායකත්වය තම කණ්ඩායම ලබාදීමට සූදානම් බවත් කියා සිටියේය.

And The Team At The Discussion Of Responsibility to safeguard public wealth

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදු කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරිණි.

President Dissanayake At The Discussion Of Responsibility to safeguard public wealth

ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබාදිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ජී.ආර්.එ‍ෆ්.කොමෙස්ටර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා යන මහත්වරු ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.