-Colombo, January 20, 2024-
හෘදය සාක්ෂියක් තිබෙන, රටට නීතියක් විනයක් අපේක්ෂා කරන ජනතාව මෙවර පැහැදිලි වෙනසක් කිරීමට අප වටා එකතු වී සිටිනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේම නියෝජිතයෙක් ලෙස අලි සබ්රි රහීම්ව පාර්ලිමේන්තුවට තෝරා යැව්වා. එවැනි අය පුත්තලම දිස්ත්‍රික්කයෙන් යැවීමට ඡන්දය දුන් ඔබ, ඔබේ ඡන්දය ගැන ආඩම්බර වෙනවාද? මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේ මන්ත්‍රී කෙනෙක් කියලා පාර්ලිමේන්තු යැවූ අලි සබ්රි රහීම් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද උපයෝගී කරගෙන රත්රං ජාවාරම් කර, අහුවුණා. නමුත් පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් නීති හදන්නත් අත ඉස්සුවා. ඊයේ නීති කඩලා එයාර් පෝර්ට් එකේදී අහුවුණු කෙනා අද නීති හදන්න පාර්ලිමේන්තුවේදී අත උස්සනවා. මේ සමාජය, ආර්ථිකය, නීතිය විතරක් නොවෙයි කඩා වැටිලා තිබෙන්නේ. මිනිසුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, ඇතුළු මුළු සමාජ දේහයම කඩා වැටිලා. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණයේ වැරදිකරු වූ ප්‍රේමලාල් ජයසේකර රත්නපුරයෙන් අංක එකට එවනවා. ගම්පහෙන් ප්‍රසන්න රණතුංග එවනවා. කළුතරින් රෝහිත අබේගුණවර්ධන එවනවා. මහනුවරින් මහින්දානන්ද එවනවා. කුරුණෑගලින් ජොන්ස්ටන් එවනවා. අනුරාධපුරෙන් මාවිල්ආරු එස්.එම්. චන්ද්‍රසේන එවනවා. මිනිස්සු හිතන පතන විදිහ කඩා වැටී තිබෙන ආකාරය මේ තුළින් පැහැදිලියි. “හොරෙක් වුණත් කමක් නැහැ, මට කීයක් හරි දෙනවා නම්” කියලා මිනිස්සු කල්පනා කළා.
එහෙම හිතලා රටක් හදන්න බැහැ. ඒ නිසා රාජ්‍ය සේවය මහජනයාට ගෞරවාන්විතව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ. දේශපාලනය පිරිසිදු වී මිනිසුන් මීට වඩා ගුණයහපත් අනෙකා ගැන කල්පනා කරන අය බවට පත්වෙන්න ඕනෑ. බුදු දහම, ක්‍රිස්තු ධර්මය, නබිනායකතුමාගේ ධර්මය, හින්දු ධර්මය කියන ප්‍රධාන ආගම් හතරකින් මේ සමාජයට මග පෙන්වනවා. මේ සියලු ආගම්වලින් අනෙකාට මෛත්‍රීය දක්වන්නත්, ආදරය කරන්න, සහෝදරත්වය පළ කරන්න, දේශනා කර තිබුණත් ඒ ආගම් අදහන පුරවැසියන්, හොරුන්ව පාර්ලිමේන්තුවට යවනවා. ඒ නිසා දැන් දේශපාලනයේ විතරක් නොවෙයි, සමාජයේත් ප්‍රශ්නයක් තිබෙනවා. නාරම්මලදී රියදුරෙකුට වෙඩි තැබූ පොලිස් නිලධාරියා “මූ මැරිලාද දන්නේ නෑ” කියලා කියනවා. වෙඩි පහරට ලක්වුණේ මිනිහෙක් නොවෙයිද? කම්පනයක් තිබෙනවාද? රටකට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. විශේෂයෙන්ම 1978න් පසුව අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිවිපාකය බවට පත්ව තිබෙන්නේ අපේ ඇස් ඉදිරිපිට මුළු සමාජ දේහයම කඩා වැටීමයි. වැඩිම දැරියන් ප්‍රමාණයක් ලිංගික අඩම්තේට්ටම්වලට ලක්වී තිබෙන්නේ තමන්ගේ කිට්ටුම ඥාතීන්ගෙන්. අපි ඉස්සරහා තිබෙන්නේ එහෙම සමාජයක්. ආර්ථිකය හරි ගියොත් මේ සමාජය ගොඩයන්නේ නැහැ. නීතියේ විධානය ආධිපත්‍යය, තහවුරු කිරීමෙන් පමණක් ගොඩයන්නෙත් නැහැ. මේ සමාජ දේහයම අලුත් පරිවර්තනයකට ලක්කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ක්‍රියාකරන්නේ ඒ වෙනුවෙන්. මානවවාදී සමාජයක් වෙනුවෙන් සියලු අංශ පරිවර්තනය නොකර අපේ රටට ඉස්සරහට යන්න බැහැ. අපි යෝජනා කරන්නේ ඒ සමාජ පරිවර්තනය වෙනුවෙන් අවශ්‍ය බලයක් ලබා දෙන්න කියලයි.
නව පරිවර්තනයක් ගැන රනිල් වික්‍රමසිංහට හැඟීමක්වත් නැහැ. මිනිසුන්ට කන්ඩ නැතත් ආර්ථිකය හොඳ බව එයත් එයාගේ ගොලයෝ කියනවා. බෙහෙත් නැති, අධ්‍යාපනය ලබාගන්න බැරි, මිනිසුන්ට ප්‍රතිලාභ නැති ආර්ථිකයකින් ඇති ඵලය කුමක්ද? ඒ ගොල්ලෝ ආර්ථිකය දත්ත ඇතුලේ මිස ජීවිත. ඇතුලේ බලන්නේ නැහැ. සමහර අය සිතනවා බෙදන එක දේශපාලනය කියලා. දැන් කොච්චර නම් බෙදුවාද? දේශපාලන ව්‍යාපාරයක් නම්, ජනතාව ව්‍යසනයන්ගෙන් මුදාගන්න මැදිහත් වෙන්න ඕනෑ. අපි පෙනී සිටින්නේ ඒ පුළුල් සමාජ, ආර්ථික, දේශපාලනික මැදිහත්වීම වෙනුවෙන්. ඒ පරිවර්තනය වෙනුවෙන් ජනතාව අවදිකරන, ජනතාව පෙළගස්වන ජාතික ජන බලවේගයේ දේශපාලන කඳවුර එක පැත්තක සිටිනවා. අනෙක් පැත්තේ ජනතාව පීඩාවට පත් කළ, ජීවත්වීමට නොහැකි තත්වයක් ඇති කළ ජනතාව යාචකයන් බවට පත්කළ, බෙදන දේශපාලනය ක්‍රියාත්මක කරන, මහජනයාගේ ධනය සොරකම් කරන, දේශපාලනය තිබෙනවා. මේ රට යළි පුබුදුවන නව දේශපාලන ගමනට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගයයි.
ඉන්දියාවේදී සුද්දා පලවා හැරීමේ ජාතික ව්‍යාපාරය සුද්දා පලවා හැරීමෙන් පසුව ඉන්දියාව හඳට ගෙනයාම දක්වා ක්‍රියාත්මක වී තිබෙනවා. මේ සියවසේ ලෝකය ගැන පුරෝකථනය කර, ඊට ගැලපෙන ආර්ථික, දේශපාලන, සමාජ පරිවර්තනය ඒ රට, සමාජය තුළ සිදුකළා. අබ්දුල් කලාම් ජනාධිපති වීම, කුලහීන කාන්තාවක් ජනාධිපතිවරියක වීම, දක්වා පරිවර්තනයක් සිදුකර ගනිමින් ලෝකයේ පස්වෙනි බලවත්ම ආර්ථිකය බවට ගොඩනංවා තිබෙනවා. ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් අළුදූවිලි බවට පත්වුණා. ලක්ෂ ගණන් මිනිසුන් මිය ගියා. පැරදීම ජයග්‍රහණය සඳහා පියවරක් බවට පත්කරගෙන ජපානය නැගී සිටියා. අපේ නායකයන්ට එවැනි දැක්මක් නැතිව ඔහේ හිටියා. සුද්දට එරෙහි වුණෙත් ජාතිකත්ව හැටියට බෙදිලා. සුද්දා ගියාට පස්සේ පුරවැසි පනත ගෙනැවිත් කඳුකරයේ ජනතාව අයින්කර දැම්මා. 1956 භාෂා පනත ගෙනත් 1958 කෝලාහල පටන් ගත්තා. 70ව අවසානයේ උතුරේ සන්නද්ධ නැගිටීමක් පටන් ගත්තා. 2019 පාස්කු ප්‍රහාරය එල්ල කළා. සුද්දාගේ අතින් පාලන බලය ගත්දා සිට අපි කුළල් කා ගත්තා. අවසානයේ ලෝකයේ හිඟන රාජ්‍යයක් බවට පත්කර විනාශයේ පතුළටම ගිල්වා දැම්මා. මේ තත්වය වෙනස් කරන නව ජාතික පිබිදීමක්, නව ජාතික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකට එකතු වී මේ චෞර පාලනය පළවා හැරිය යුතුයි. ඉන්දියාව සුද්දාට එරෙහිව එක කොඩියක් යට එකතු වුණා හා සමානව මේ රට විනාශ කළ පාලකයන්ට එරෙහිව අපි හැමෝම එකට එකතු වෙන්න ඕනෑ. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ සහෝදර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි එකට එක්වී ගැම්මක් අරගෙන පෙරට එන ලෙසයි.
සෑම පුරවැසියෙකුටම ආගමක් ඇදහීමට ඇති අයිතිය, තමන්ගේ භාෂාවෙන් රාජ්‍යය සමග කටයුතු කිරීමට ඇති අයිතිය, තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය සමග ජාතිය ඒකාබද්ධ කිරීමට ඇති අයිතිය පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයක් තමයි ජාතික ජන බලවේගය. එංගලන්තයේ කළු, සුදු හැමෝම, ඇමෙරිකාවේ කළු, සුදු හැමෝම ඒ වගේම ප්‍රංශයට, ජර්මනියට ගියත් ඔවුන් රට සමග අනන්‍ය වූ ජාතියක් හැටියට හඳුන්වනවා. නමුත් ලංකාවේදී ලාංකිකයා හමු නොවී තම්බියා, දෙමළා, සිංහලයා වශයෙන් ඉන්නේ. ලෝකයේ බෙදුණු කිසිම රටක් ඉස්සරහට ගිහින් නැහැ. මේ විනාශයට එරෙහිව මූලික වශයෙන් අපි එකතු වෙමු. මේ පාලක පංතිය පළවා හැරීමේ ආරම්භය එයයි. ඒ පළවා හැරීමෙන් ඇතිවෙන හැඟීම, ජවය මේ රට ගොඩනැගීමට දිගුකාලීන ලෙස පවත්වා ගත යුතුයි. ලංකා ඉතිහාසයේ මෑතකාලීනව සිදුකළ නින්දිතම කුමන්ත්‍රණය වූ පාස්කු ප්‍රහාරය තුළින් සමාජයට හෙළිදරව් වූ කුමන්ත්‍රණකරුවන් අධිකරණයට ගෙනයන්න ඕනෑ. හොරා කෑ දේපළ පවරාගෙන හොරුන්ට දඬුවම් දෙන්න ඕනෑ. දේශපාලකයාට ලබාදී තිබෙන අනවශ්‍ය වරප්‍රසාද සියල්ල ඉවත් කරන්න ඕනෑ. අනෙක් පුරවැසියන් හා සමානව දේශපාලකයාද ක්‍රියාකරන්න ඕනෑ. පොලීසියේ මහත්තයා, දොස්තර මහත්තයා, ඉංජිනේරු මහත්තයා රජයේ සේවයේ නියුතු සියලු දෙනා වගේම දේශපාලකයන් තමන්ගේ වැඩකොටස නිවැරදිව ඉටු කරන රට නව පරිවර්තනයකට ගෙනයාමේ පුනරුද යුගයක් ආරම්භ කරන්න ඕනෑ. දශක ගණනාවක් විනාශ කළ රට අවුරුද්දෙන් දෙකෙන් ගොඩගත හැකි යැයි සිතන්න එපා. නමුත් ආරම්භය ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය, සම්බන්ධයෙන් ක්ෂණික මැදිහත්වීම් කරන්න ඕනෑ. නමුත් ජීවිතය කියන්නේ කෑම, බෙහෙත් ගැනීම, දරුවන්ට ඉගැන්වීම, විතරක් නොවෙයි. අපේ රටේ සම්පත් ඉතා හොඳින් කළමනාකරණය කර, නව නිෂ්පාදන යුගයක් ඇති කිරීම පුනරුදයේ එක් කොටසක්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට නැවත පණ දෙන්න ඕනෑ. නව පුනරුද යුගයක් කරා ගෙනයාමේ ආරම්භය ජාතික ජන බලවේගය අතට බලය ලබාගැනීමයි. පියවරෙන් පියවර පරිවර්තන සිදුකරමින් රට ගොඩනැගීම සැලසුම් සහගතව දියත් කරනවා. ඒ වෙනුවෙන් මේ දක්වා විවිධ දේශපාලන පක්ෂවලට විවිධ නායකයන්ට ඡන්දය දුන් සියලු ජනතාව ඒකරාශී කරගනිමු. මහා මැතිවරණයක් වුණත්, ජනාධිපතිවරණයක් වුණත් මුලින් එන ඕනෑම ඡන්දයකදී ජාතික ජන බලවේගයේ පාලන බලයක් වෙනුවෙන් සියලුම ජනතාවට පෙළගැසෙන ලෙස ආරාධනා කරනවා.
“අපේ වැඩපිළිවෙළ නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් ධනය උත්පාදනය කරගැනීමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න-
පුත්තලම ආසනයට වගේම පුත්තලම දිස්ත්‍රික්කයට සුවිශේෂී දවසක්. දිස්ත්‍රික්කයේ ආසන පහේම ජාතික ජන බලවේගයේ සංවිධාන ගොඩනැගීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමේ අවස්ථාවයි මේ. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය බිහිකිරීමට ප්‍රබල මෙහෙවරක් ඉටුකරන ලද ප්‍රදේශයක් මේ පුත්තලම් ප්‍රදේශය. ලංකාවේ දේශීය ජනතාවත් ඉන්දියාවෙන් පැමිණි ජනතාවත් සමග සම්මිශ්‍රණය වෙලා නව ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට පදනම දැමුවේ මේ දිස්ත්‍රික්කයට ආසන්න තම්බපන්නියේ. අලුත් ශිෂ්ටාචාරයකට පදනම දැමූ ශිෂ්ටාචාරය වර්තමානයේ මේ රටේ නව දේශපාලන සංස්කෘතියක්, නව ආර්ථික වැඩ පිළිවෙලක් නව පුනරුදයක් ඇති කිරීමේ දැවැන්ත මෙහෙවරකට උරදීම සඳහා සූදානම් කියන පණිවිඩය තමයි අපි මේ දෙන්නේ.
පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධනය වගේම ජාතික සංවර්ධනය සඳහා ලබාදිය හැකි දායකත්වය පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කොට තිබෙනවා. මේ ආසන්නයේ තිබෙන කලපුව ඩොලර් ආකරයක්. මේ කලපුව හරියට කලමනාකරණය කර ගන්න මේ රටේ පාලකයන්ට වුවමනාවක් තිබී නැහැ. මාලිමාව ආණ්ඩුවක් යටතේ මේ කලපුව ඩොලර් උත්පාදනය කරන ස්ථානයක් විදිහට වැඩපිළිවෙළක් අපි සකස් කොට තිබෙනවා. මෙතනින් එහා පැත්තේ තිබෙන කල්පිටිය අර්ධද්වීපයත්, දැවැන්ත මුහුදු කලාපයෙනුත් අපේ රටේ පාලකයන් අරගෙන තිබෙන ප්‍රයෝජන ඉතාම අල්පයි. මාලිමාවේ ආර්ථික වැඩපිළිවෙළ ඇතුලේ පුත්තලම් මුහුද, රටට විදේශ විනිමය ගෙන එන මහා දැවැන්ත ධන ආකරයක් බවට පත්කිරීමේ සැලසුම් අපි සකස් කර තිබෙනවා. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය විල්පත්තු අභය භූමිය, මේ රටට අවශ්‍ය විදේශ විනිමය උත්පාදනය කර ගැනීමේ හැකියාව තිබෙන ස්ථාන. විල්පත්තුවට පුත්තලමෙන් ප්‍රවේශවෙන්න හැකියාව තිබෙන්නේ හොර ජාවාරම්කරුවන්ට පමණයි. සංචාරකයන්ට ප්‍රවේශ විය නොහැකියි. අපේ ආර්ථික වැඩපිළිවෙළ ඇතුලේ මේවා වෙනස් කරලා විල්පත්තු අභය භූමිය පුත්තලම දිස්ත්‍රික්කයට ධනෝපායන මාර්ගයක් හැටියට විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ස්ථානයේ සිට මන්නාරමට තිබෙන්නේ කිලෝමීටර් සියයක දුරක්. ජනතාවට මන්නාරමට යාමට කිලෝ මීටර් දෙසීයකට වැඩි දුරක් ගෙවා යාමට සිදුවී තිබෙනවා. ප්‍රධාන නගරයේ සිට ප්‍රධාන වරායක් වෙත යාමට තිබෙන පාලමත් පාරත් කැඩිලා. පාලකයන්ට මේ පාර හදාගන්න තාමත් බැරිවෙලා.
අපිට ඡන්දයෙන් දිනලා ආණ්ඩුවක් හදාගන්න එක පමණක් නොවෙයි තිබෙන්නේ. මාලිමාවේ ආණ්ඩුවකින් මේ නිෂ්පාදන මාර්ග සියල්ල විවෘත කරලා නිෂ්පාදන මාර්ගවලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අපි යෝජනා කර තිබෙන වැඩපිළිවෙළ ක්‍රියාවට නැගිය යුතුව තිබෙනවා. පුත්තලම නගරයේ තිබෙනවා පානීය ජල ප්‍රශ්නය. තබ්බෝවෙන් ගලාගෙන යන ජලය ගංවතුර හැටියට මහ මුහුදට ගියා. මේ ජලය හොඳින් කළමනාකරණය කළා නම් පානීය ජල ප්‍රශ්නය පමණක් නොවෙයි, දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වාරි ජලය සම්පාදනය කර ගැනීමේ දැවැන්ත හැකියාවක් තිබෙනවා. මේ අපතේ යන ජලය දිස්ත්‍රික්කයේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කොහොමද යොදවන්නේ කියන වැඩපිළිවෙල අපේ වැඩපිළිවෙළ ඇතුලේ තිබෙනවා. දිස්ත්‍රික්කය තුළ තිබෙන ස්වභාවික සම්පත් හරියට කළමනාකරණය කර ගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිඟා කන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නැහැ. ජනතාව මත පීඩාකාරී බදු පටවන්නේ නැතිව නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් ධනය උත්පාදනය කරගැනීමේ වැඩපිළිවෙළක් තමයි අපි ඔබ ඉදිරියට අරගෙන එන්නේ.
අපේ ආසනය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු සියලු ජන කණ්ඩායම් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. පුත්තලම ආසනයේ තිබෙන ආගමික සහනශීලීතාව, ජාතික ඒකාග්‍රතාව මුළු රටටම ආදර්ශයක්. මෙහි තිබෙන ස්වභාවික සම්පත්, මානව සම්පත් සමග කළමනාකරණය කර ගතහොත් මුළු රටටම නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් අප ලබාදෙන දායකත්වය තුළින් දරිද්‍රතාවය තුරන් කර, රටේ මිනිසුන්ට අවශ්‍ය කරන ආහාර ටික නිෂ්පාදනය කිරීමේ පළමු පියවර මෙතනින් ආරම්භ කරන්න ඕනෑ. අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් අපි ජනතාවට ලබාදිය යුතුයි. මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා තමයි මාලිමාවේ අපි ඔබ ඉදිරියට එන්නේ. මේ උත්සාහය ඔබ සැමගේ ශක්තිය හා ධෛර්යයි. මේ ධෛර්යය එකමිටට එළඹෙන මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය කිරීම සඳහා එකතු කරන්න. ජයග්‍රහණයෙන් පස්සේ මාතෘ භූමිය ගොඩනැගීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු සහෝදර ජනතාව එකාවන්ව අධිෂ්ඨාන සහගතව පෙළගැසෙන්න කියා ආරාධනා කරනවා.
“සැමට සාධාරණව සලකන පාලනයක් අපට අවශ්‍යයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය වසන්තා සුබසිංහ-
ජාතික ජන බලවේගය මහජන ව්‍යාපාරයක් ලෙසට ජනගත කිරීම මීට වසර හතරකට කලින් අපි ආරම්භ කළා. අපි සෑම ජන හමුවකදීම ආර්ථික, සංස්කෘතික, පාරිසරික, සෞඛ්‍යය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළවල්, අපේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කළා. ඒ වගේම ඒ සමුළුවලදී අපි කිවුවා, තව අවුරුදු තුන හතරකින් සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික වශයෙන් විශාල කඩා වැටීමක් සිදුවන බව. අද ඒ ප්‍රශ්න අපේ ගේ ඇතුළටම ඇවිත් තිබෙනවා. අද උදාවී ඇති තත්වය හැමෝම අත්විඳිමින් ඉන්නවා.
අද ජනතාවගෙන් 65%කට වැඩි පිරිසක් වේල් දෙකක්, එක හොද්දක් කන තැනට පත්වෙලා. තමන්ගේ දරුවන්ට පෝෂණීය ආහාරයක් දෙන්න අම්මාට, තාත්තාට නොහැකිවෙලා තිබෙනවා. 15%කට වැඩි දරු පිරිසක් අධි මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා. අද අම්මලා තමන්ගේ කණකර උගස් තියලා තමයි, දරුවන්ගේ කෑම ටික, පාසල් පොත්පත් ටික අරගෙන දෙන්න සිදුවෙලා තිබෙන්නේ. මේ තත්වය පාලකයන්ට දැනෙන්නේ නැත්තේ ඇයි?
අද විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණ දරුවෝ ඉච්ඡාභංගත්වයට පත්වෙලා. තමන්ට රැකියාවක් සොයා ගන්න, කැමති ඇඳුමක් ගන්න, ගෙයක් දොරක් හදා ගන්න, විවාහයක් කර ගන්න මේ පාලකයෝ ඉඩක් දෙන්නේ නැද්ද? මේ දුෂ්ට පාලකයෝ උන්ගෙ හීන ඔක්කෝම මරල දාලා. දරුවන්ගේ ජීවිතය උදුරාගෙන ඉවරයි. වැට් බද්ද 8%යි, 12%යි, 15%යි, 18% දක්වා වැඩි කළා. ඖෂධවලට හා පාසල් උපකරණවලට අලුතෙන්ම 18%ක බද්දක් ගැහුවා. ගේ ඇතුලේ අම්මා, තාත්තා, දරුවන් පමණක් නොවෙයි, මේ අපහසුවට අසුවුණු, අතරමං වුණු විශාල පිරිසක් පාරවල්වල ඉන්නවා. මෙවැනි ආණ්ඩු මොකටද? ආණ්ඩුවක් සැමට සාධාරණ වෙන්න ඕනෙ. අද පාරවල්වල ඉන්න මානසික රෝගීන් වැඩිවෙලා. ඒ අය අපේ සමාජයේ අය. මෙවැනි ජන කණ්ඩායමක් විශේෂ රැකවරණය දීලා බලාගත යුත්තේ ආණ්ඩුව. මේවට තමයි අපි බදු ගෙවන්නේ. අපි නිකම් බෙහෙත් ගත්තේ, නිකම් ඉගෙන ගත්තේ නිකම් කියනවා නම් කියන්න, අපි ඉගෙන ගත්තේ අම්මලා, තාත්තලා ගෙවපු බදුවලින් කියලා. අපි එයාලගේ සල්ලිවලින් කිසිවක් ගත්තේ නැහැ, එයාලා අපේ සල්ලිවලින් ජීවත්වෙනවා. මොනවටද මේ වගේ ජීවිත? අපි ආස දෙයක් කන්න නැතිනම්, ආස ඇඳුමක් අඳින්න නැතිනම්, අවශ්‍ය ගමනක් යන්න නැතිනම්, සංස්කෘතික ජීවිතයක් නැතිනම් මේ ජීවත්වීමක්ද?
අපේ දියණියන්ට ආරක්ෂාවක් නැහැ. අම්ම, විදේශවල කුස්සිවල වැඩට කරන්න යැවුවා. තාත්තලත් යැවුවා. දියණිවරුන්ට රැකවරණයක් නැහැ. 2023 සැප්තැම්බර් 01 දා සිට 31 කාලය තුළ අවුරුදු 16ට අඩු දියණිවරු 168ක් දූෂණයට ලක්කර 22ක් ගැබ්ගෙන තිබෙනවා. මේ දරුවන් අනාරක්ෂිත වුණේ කොහොමද? මොනතරම් ඛේදජනක අවස්ථාවක්ද මේ? මේවා තවදුරටත් ඉවසිය යුතුද? මේ රට අපි වෙනස් කරන්න ඕනේ. සියලුම ජනතාවට සමානව ජීවත් වෙන්න මේ රට හදන්න ඕනේ. පාලකයන්ට තිබුණෙ ඔවුන්ට හදාගන්න න්‍යාය පත්‍රයක්. දේශීය කර්මාන්ත විකුණා දැමුවා. කොමිස් ගත්තා. දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්කර ගත්තා. ලංකාව කුඩු තිප්පොලක් කළා. සහන මුදලක් ලැබුණා නම් ඒකත් හොරකම් කළා. මේ විශාල බදු ගහමින් ඉදිරි මැතිවරණ ව්‍යාපාර ශක්තිමත් කරගන්න උත්සාහ ගන්නවා. ඉදිරි මාසවල ඔවුන් දිව්‍ය ලෝකයක් මවාවි. වැඩිහිටියන් වන අපට වගකීමක් තිබෙනවා මේ තත්වයන්ගෙන් අපේ දරුවන් මුදා ගන්න. සැමට සාධාරණව සලකන රජයක් අපට ඕනෙ. මේ මෑතකදි කිවුවා අත්‍යවශ්‍ය සැත්කම් පමණක් කරන්න කියා. ඒ ගොල්ලෝ තෝරා ගන්නවා අත්‍යවශ්‍ය පුද්ගලයෝ කවුද කියලා. හැමෝටම සමානව සලකන, සහයෝගය සලසන, සම අවස්ථාවන් ලබාදෙන, රටක් නිර්මාණය කර ගන්න ඕනෙ. පාට, පක්ෂ, කුල, ආගම් සියලුම බේද අතහැරදාලා, එකාවන්ව සක්‍රීයව දායක වෙමු. මේ පණිවිඩය ගමින් ගමට අරගෙන යමු.
“හොරා කෑ මහජන මුදල් ආපසු ගත හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර-
අපේ රටේ ඉන්නවා පවුල් ලක්ෂ 55ක්. මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්තා අනුව හතරදෙනෙක් සිටින ගෙවල්වලින් 40%කට ලැබෙන ආදායම රු:27,000ට වඩා අඩුයි. පහළම ඉන්නම 20%කට ලැබෙන්නේ රු:17,000/-කට අඩු ප්‍රමාණයක්. රටට වැඩියෙන්ම ඩොලර් ගෙනත් දෙන, තේ දළු නෙළන කාන්තාවන් හතර දෙනෙක් සිටින පවුලකට රු:41,000ට අඩු ප්‍රමාණයක්. මේ මුදලින් ජීවත් වෙන්න පුළුවන්ද? හතර දෙනෙක් සිටින පවුලකට පෝෂණීය ආහාර අරගෙන ජීවත්වෙන්න ලක්ෂයක මුදලක් මාසයකට අවශ්‍ය වෙනවා.
ආසන්නයේ තිබෙන කලපුව කළමනාකරණය කළා නම්, ඩොලර් බිලියන 200ක් පමණ සොයාගන්න හැකි බව අප කළ පර්යේෂණවලින් පෙනී යනවා. මාලිමාව ජයග්‍රහණය කරන ලද සමුපකාර තිබෙන ප්‍රදේශවල අපි නිෂ්පාදනය ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. මේ ණය අර්බුදයටත්, විදේශ විනිමය අර්බුදයටත් තවත් ණය ගැනීමවත් සම්පත් විකුණන එකවත් නොවෙයි. දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කර, අන්තර් ජාතිකව කොටසක් අත්පත් කරගෙන ඩොලර් මෙහේට ඇදීමයි කළ යුත්තේ.
අපේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා. පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය නතර කිරීම හොඳ දෙයක්. ඒ සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගයේ සහයෝගය තිබෙනවා. නමුත් යුක්තිය කියන මුවාවෙන් වැඩ බලන පොලිස්පතිවරයා ගෙන යන ක්‍රියාකලාපයෙන් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. පොලිස් කොමිසමත්, මානව හිමිකම් කොමිසම කියනවා මිනිසුන්ට හිරිහැර නොවෙන ලෙසට රටේ් නීතිය අනුව කටයුතු කරන්න කියා. තව දෙයක් කියන්නම්. කන් හැන්දෙන් කුඩු බොන මිනිහාව අල්ලාගෙන, කිලෝ ගණන් ගෙන්වන මිනිහාව අතහැරලා ඒක නවත්වන්න බැහැ. ඊයේ පෙරේදා නාරම්මලදී සිවිල් ඇඳගත්ත මනුස්සයෙක් පිස්තෝලයක් අතේ තියාගෙන වාහන නවත්වන්න අණ කළාලු. නැවැත්තුවේ නැහැ කියලා ඔළුවට වෙඩි තබා මරා දැම්මා. ඒ මරණයට වැඩ බලන පොලිස්පති වගකියන්න ඕනෑ. පොලිස් ඇමතිත් වගකියන්න ඕනෑ. පවුලේ අයට සල්ලි ටිකක් දුන්නා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. යම් හෙයකින් වීඩියෝ කරගන්න බැරි වුණා නම්, නාරම්මල ප්‍රදේශයේ ‘කුඩු වැඩ්ඩා’ නමැත්තා හෙරොයින් රැගෙන පළා යද්දී සිදු වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව මාධ්‍ය ප්‍රකාශක කියනවා. මෙවැනි තත්වයන් සිදුනොකරන්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ එක නීතියක් රටේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම හොරා කෑ මහජන මුදල් ආපසු ගත හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. දැන් අපේ ප්‍රතිපත්ති ගැන ජනතාව අහන්නේ නැහැ. දැන් ඒ වෙනුවට අපෙන් අහන්නේ අනුර සහෝදරයාගේ ආරක්ෂාව ගැන බලනවා නේද? ජාතික ජන බලවේගයට බලය ගන්න කටයුතු කරනවා වගේ දේවල් තමයි දැන් කියන්නේ.
“ජනතාව බෙදා වෙන්කළ යුගය ජාතික ජන බලවේගය යටතේ අවසන් කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්-
මෙතෙක් රට පාලනය කළ හොරු ජනතාව බෙදන කොට අපිට මේ රට හදන්න පුළුවන්. සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජනතාවගේ බලය ඒකරාශී කරනවා. මේ දිස්ත්‍රික්කයේ අනෙක් පක්ෂවල නායකයන් කුඩුකාරයන්ව, මංකොල්ලකාරයන්ව, හොරුන්ව තෝරා ගන්න අතර, ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙන්නේ මේ දිස්ත්‍රික්කයට ආදරය කරන මහාචාර්ය චන්දන අබයරත්න වැනි විද්වතුන් බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්. එවැනි විද්වතුන්ගෙන් සමන්විත ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරා, ගෙනයන බව අවධාරණය කරනවා. අපිව ජාතීන් වශයෙන්, භාෂාමය වශයෙන්, ආගමිකමය වශයෙන් විතරක් නොවෙයි ප්‍රාදේශීය වශයෙන් පවා බෙදා වෙන්කළ යුගය ජාතික ජන බලවේගය යටතේ අවසන් කරනවා.