(මාධ්‍ය හමුව – ජාතික ජන බලවේගය-2024.03.24 – බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී)
ද මාර්තු 24 ගොක් ඉරිදා. ශුද්ධ වූ සතිය ආරම්භ වෙන්නේ අදයි. පාස්කු ඉරිදාට පෙර උදාවන ශුද්ධ වූ සතිය ආරම්භයේදීම මෛත්‍රිපාල සිරිසේන බෝම්බයක් අතහැර තිබෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ ජීවිත සිය ගණනක් බිලි ගත්ත, දහස් ගණනක් ජීවිතවලට සෘජුවම බලපෑ ඛේදනීය සිදුවීමක්. අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්‍ෂයක් ලෙසත් පාස්කු ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. එම බෝම්බ ප්‍රහාරය සිදුවන වෙලාවේ රටේ ආරක්‍ෂක ලේකම් මෛත්‍රිපාල සිරිසේනයි. ඒවගේම රටේ ජනාධිපතිවරයාත් සේනාධිනායකයාත් ඔහුයි. මේ පාස්කු ප්‍රහාරයත් සමග රටේ ජනතාවගේ කැළඹීමක් ඇතිවුණා. ඒ වගේම මෙම ප්‍රහාරය බලය ලබාගැනීම වෙනුවෙන් කළ කුමන්ත්‍රණයක් බවට ජනතාව තුළ සැකයක් ඇතිවුණා. මේ සම්බන්ධයෙන් විවිධ පරීක්‍ෂණ සිදුවුණා. විවිධ අයට චෝදනා එල්ල වුණා. නමුත් අද වන තුරුත් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කවුද කියලා නිවැරදිව හෙළිදරව් කරගෙන නැහැ. ඒ පිළිබඳව තවමත් නඩු විභාග වෙමින් තිබෙනවා. එවැනි තත්වයක් තළ තමයි මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ඉතාමත් බලරපතල වන්නේ. මෙපමණ කාලයක් ඒ පිළිබඳව කිසිවක් හෙළි නොකර ඉඳලා දැන් ඔහු කියනවා, පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුද කියලා ඔහු දන්නවා කියලා. මෙතරම් ඛේදවාචකයක් සිදුකළ මෙම සිදුවීම සේනාධිනායකයා ලෙස ඔහු වසන්කරගෙන සිටීම බරපතල තත්වයක්. මෙම ප්‍රකාශය හිටපු ජනධිපතිවරයෙක් ලෙස ඔහු කිසිදු වගකීමකින් තොරව සිදුකළ එකක්. ජීවිත ගාණක් බිළිගත්ත ප්‍රස්කු ප්‍රහාරය වැනි බරපතල සිදුවීමක් සැහැල්ලුවෙන් සලකන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේනට වගකීමක් තිබෙනවා, මේ සිදුවීම පිළිබඳ ඔහු දන්න තොරතුරු රටට හෙළිදරව් කිරීමට. වගකිව යුතු හිටපු ජනාධිපතිවරයෙක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවලට වොයිස් කට් එකක් ලබාදීම නෙවෙයි ඔහු කළ යුතු වන්නේ. ඔහු වගකීම් සහගතව වැඩකළ යුතු පුද්ගලයෙක්. ඔහු ඒ පිළිබඳව ඇතත් තත්වය දන්නවා නම් මාධ්‍යවලට වොයිස් කට් ලබාදීම වෙනුවට ඒ සම්බන්ධයෙන් රහස් පොලීසියට කට උත්තරයක් ලබාදිය යුතුයි. එසේ නොමැති නම් නීතිඥයින් මගින් අධිකරණයට තොරතුරු ලබාදෙන්න පුළුවන්. ඒ නිසා මෙම ප්‍රකාශය පාස්කු ප්‍රහාරය ඉතා සැහැල්ලුවෙන් සලකා කටයුතු කිරීමක් ලෙසයි අපි දකින්නේ.
හිටපු ජනාධිපතිවරයෙක් ලෙස මෙවැනි අවස්ථාවක සිදුකළ යුත්තේ කුමක්ද කියා ඔහුට අවබෝධයක් තිබිය යුතුයි. ඔහු පොඩි බබෙක් නෙවෙයි. නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගෙන අවශ්‍ය කටයුතු කරන්න තිබුණා. හිටපු ජනාධිපතිවරයෙක් කියන්නේ මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් පාලනය කළ කෙනෙක්. එවැනි නායකයෙක් මාධ්‍ය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කිරීම විහිළුසහගතයි. ඒ නිසා අපි ජාතික ජන බලවේගය ලෙස දැඩි ලෙස කියා සිටිනවා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් කඩිනමින් ගන්න කියලා. එය කිසි ලෙසකින්වත් කල් නොදැමිය යුතුයි. රජයේ මෙන්ම පොලිස් ඇමතිවරයාගෙත් වගකීමක් මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීම. නමුත් අපි තවමත් දකින්නේ නැහැ මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන මේ කරුණු දැනගෙන සිටියා නම් සඟවාතබාගෙන සිටීම බරපතල තත්වයක්. ඒ වගේම අපරාධයක්. අපේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් බලාගෙන ඉන්නවා පාස්කු ප්‍රහාරය කළේ කවුද කියල දැනගන්න. එම අපරාධය සිදුකළේ කවුද කියලා, සිදුකළේ මොකටද කියලා දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ ජනතාව සිය ගණනක් බිලි ගත්තා පමණක් නොව මේ රටේ ජනතාවගේ ඉරණම වෙනස්කළ සිදුවීමක්. ඒ නිසා එය ර හසිගත සිදුවීමක් වෙන්න බැහැ. ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේනටත් බලකර කියා සිටිනවා තමන් දන්නා දේ රටට හෙළිදරව් කරන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් ආරම්භ කරන්න කියලා. මුලින් මෛත්‍රීපාල සිරිසේන කිව්වේ තමන් ඒ පිළිබඳව දන්නා බවයි. දින දෙකකට පසුව ඔහු කියනවා, වෙනත් පුද්ගලයෙක් තමන්ට ඒ පිළිබඳව තොරතුරු ලබා දුන්නා කියලා. මේ ප්‍රකාශවල පරස්පරයක් තිබෙනවා. ඒ නිසා එම ප්‍රකාශ ඉතාම සාහසිකයි. පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට නම් මේ පිළිබඳ පරීක්‍ෂණ කඩිනම් විය යුතුයි. මේ රටේ ජනතාවට ඇත්ත දැන ගැනීම වෙනුවෙන් සාධාරණය යුක්තිය ඉටුවීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් කඩිනම් පරීක්‍ෂණයක් සිදු කරලා ආණ්ඩුව ඇත්ත හෙළිදරව් කළ යුතුයි. මේ ශුද්ධ වූ සතිය ආරම්භයේදීම සහ එළඹෙන පාස්කු ඉරු දිනට පෙර මෙම පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි කියලා අපි ආණ්ඩුවට බලකර කියනවා.
“වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්න තියෙන එකම ක්‍රමය පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව් කිරීම පමණයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන-
පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර 5ක් සම්පූර්ණවීමට මාසයක් තිබෙන මේ මොහොත වනවිටත් කතෝලික සභාව වගේම ජාතික ජන බලවේගයේ අපිත් සෑම මොහාතෙකදීම පෙනී සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයිනට සාධාරණත්වය ඉටුවිය යුතු බවටයි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාවටත් ආබාධිත වූ පිරිසටත් යුක්තිය ඉටු වීමට නම් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යතාවය දැන ගන්නවා හැර වෙන කළ යුතු දෙයක් නැහැ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විවිධ කොමිසම් පත් කළා. ඒවට කෝටි ගණන් වියදම් කළා. ඒත් අද වන තුරුත් පිළිගත හැකි විසඳුමක් ලැබී නැහැ. කතෝලික සභාවට බාර දුන්නු කොමිෂන් වාර්තාවේ පිටු 1500ක් අඩුයි කියලා වාර්තා වෙනවා. එවැනි සිදුවීම්වලින්ම මේ පිළිබඳ පරීක්‍ෂණවල තත්වය පැහැදිලි වෙනවා. කතෝලික සභාවත් ජාතික ජන බලවේගයේ අපිත් 2019 ඉඳලම කිව්වා මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. ඒ වගේම අපිත් මේ පරීක්‍ෂණ සම්බන්ධයෙන් ඉතාම ඕනෑකමින් බලාගෙන හිටියා.
පාස්කු ප්‍රහාරය සිදුවුණේ යහපාලන ආණ්ඩු කාලයේ ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන පාලන කාලයේ. අගමැති රනිල් වික්‍රමසිංහ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මෛත්‍රීපාල සිරිසේනත් රනිල් වික්‍රමසිංහත් චූදිතයෝ බවට පත්වුණා. ඒ මොහොතේ කැබිනට් මණ්ඩලයට වගකීමෙන් මිදෙන්න බැහැ. ජනාධිපතිවරයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉතාමත් දුර්වල පුද්ගලයෙක්. මීට කලින් ඔහු කිව්වේ මාව පාස්කු ප්‍රහාරයට පටලවන්න හැදුවොත් සියල්ල හෙළි කරනවා කියලා. දැන් දින දෙකකට පෙර ඔහු කියනවා මම සියල්ල දන්නවා කියලා. ඊට පස්සේ කියනවා සති 3කට කලින් වෙන කෙනෙක් ඔහුට මේ පිළිබඳව කිව්වා කියලා. මේ සියල්ලෙන්ම අපිට හෙළිදරව් වෙන්නේ මෙම පාස්කු ප්‍රහාරයට නිශ්චිතවම දේශපාලන සම්බන්ධයක් තිබෙනවා කියලා.
අපේ රටේ තිබෙන්නේ ඉතාමත් නරක දේශපාලන සංස්කෘතියක්. එදා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු ආපු හරින් ප්‍රනාන්දු කිව්වා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ඔහුගේ පියා යම් තොරතුරක් ලබා දුන්නා කියලා. එහෙම නම් ඒ තොරතුර සජිත් ප්‍රේමදාස නොදැන ඉන්න බැහැ. දැන් හරින් ප්‍රනාන්දු ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක. රනිල් වික්‍රමසිංහත් මේ පිළිබඳව නොදැන ඉන්න බැහැ. මේ සියලු දෙනා දවල් මිගෙල් රෑ දනියෙල් චරිත රඟපානවා. එවැනි දේශපාලන සංස්කෘතියක් තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙයිද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාවට බෙහෙත් වෙනුවට වතුර දීපු කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්න කොයි තරම් කාලයක් ගත වුණාද. එවැනි වටපිටාවක් තුළ මෛත්‍රීපාලගේ මේ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනීද? ඒ නිසා අපි ආණ්ඩුවට බලපෑම් කරනවා, මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනත් දේශපාලනීකරණය වෙලා. එනිසා මේවා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට නම් රාජ්‍ය නිලධාරීන් හා ආයතන නිර්දේශපාලනීකරණය විය යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් යුක්තිය කෙටි කාලයකින් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීමට ආණ්ඩුවට බල කරනවා වගේම අපි හිතනව ඉදිරි මාස 6-7ක කාලය තුළින් නව පාලනයක් බිහි කරලා හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කරලා රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන ජරා ජීර්ණ දේශපලන සංස්කෘතියෙන් මුදවාගෙන මේ රටේ හැම පුරවැසියෙකුටම හැම ජීවිතයකටම සාධාරණය ඉටු කිරීමට හොඳ ජීවිතයක් ලබා දීමට අපිට හැකි වෙයි කියලා.