(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.02.29)
මේ අවුරුද්දේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල ජනාධිපතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම ක්‍රියාකළ යුතු වෙනවා. මැතිවරණයක් එනකොට අපේ රටේ ජනතාව මේ දුෂ්ට පාලනය වෙනස් කර ගැනීම සඳහා විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. බඩු මිල ඉහළ යාම, තුන්වේලට ආහාර ලබාගත නොහැකි වීම, මන්දපෝෂණය ඉහළ යාම වගේම ආණ්ඩුව පසුගිය කාලයේ ක්‍රියාත්මක් කළ බදු ප්‍රතිපත්තීන් හා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩාගෙන වැටිලා. මේ සියල්ල නිසා ජනතාවගෙන් විශාල පිරිසක් අතිශය පීඩාවට පත්වී සිටිනවා. බෙහෙත් නැතිකම, බාල බෙහෙත් ප්‍රශ්න වගේම අධ්‍යාපන ප්‍රශ්න, දැවැන්ත බදු බර වගේ තත්වයන් වෙනස් කර, ජනතාවට ජීවත් විය හැකි රටක් ගොඩනඟාගන්න හැමකෙනාම බලාගෙන ඉන්නවා. තව පිරිසක් මේ පීඩාව නිසා රට අත්හැර යනවා.
ජනතාව හිතන්නෙත් සරල වෙනස්කම් සඳහා ආණ්ඩුවක් හැදීමට නොවෙයි. පසුගිය 76 වසර පුරාම සරල සටන්පාඨවලට ආණ්ඩු හදලා තිබෙනවා. රු:3.50ට පාන්, ඇට රාත්තල් අට, හඳෙන් හාල් ගෙනත් දීම වගේ තත්වයක් නොවෙයි දැන් තිබෙන්නේ. ආර්ථිකය බිංදුවට වට්ටා, දරාගත නොහැකි ණය බරක් පටවා රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අනෙක් පැත්තෙන් සමාජයේ බිඳ වැටීම, නීතියේ ආධිපත්‍යයක් නොමැතිකම, ආණ්ඩුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වගේ තත්වයන් තුළ පවතින්නේ අතිශය බරපතළ සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගන්න රට තුළ ගැඹුරු පරිවර්තනයක් අවශ්‍යයි. ජනතාවත් දූෂිත පාලනය වෙනස් කිරීම වෙනුවෙන් පෙළගැසී සිටිනවා. ආර්ථික සංවර්ධනය තිබෙන, සාධාරණත්වය තිබෙන, සමාජයක් ගැන ජනතාව බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. තමන්ට ලැබෙන කුඩා වාසි පැත්තකින් තබා සමාජයේ ගැඹුරු වෙනස්කම් වෙනුවෙන් මාලිමාව සමග අත්වැල් බැඳගෙන ජනතාව පෙරට එමින් සිටිනවා.
මේ තුළ පරාජය පිළිබඳව දැනුණු බලය අත්හැරීම පිළිබඳව හිතන්නවත් බැරි දූෂිත පාලක කණ්ඩායම් විවිධ උපක්‍රම යොදමින් බොරු ප්‍රචාර දියත් කරමින් මේ තත්වය මගහැර ගන්න උත්සාහ කරනවා. විකාරරූපී දේශපාලන රංගනයන්ගෙන් සමන්විත සන්ධාන ගොඩනඟමින් තිබෙනවා. අලුත් පෙනුමක් පෙන්වා පරණ මිනිසුන්ව ජනතාව නැවත වතාවක් රවටන්න උත්සාහ කරනවා. රට බංකොලොත් කළ අයම සුන්දර රටක් හැදීම පිළිබඳව ජනතාවට පොරොන්දු දෙමින් ඉන්නවා. පසුගිය කාලයක් තිස්සේ එකට ආණ්ඩුවේ සිටි අයත් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරමින් වෙනත් සාකච්ඡා ඇති කර, ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා. ජනතාව ඒ දිහා බලන්නේ නැහැ. ඒ නිසාම ඡන්ද මඟහැර යන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගේ කතා කියමින් ඉන්නවා. ජනතාවගෙන් විශාල විරෝධයක් ආණ්ඩුවට ආව වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඒ අයට මතක් වුණේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණයෙන් ඒ ගොල්ලන්ට දිනන්න බැරි බව පැහැදිලි වුණාම කඩිමුඩියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මතක් වෙනවා. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දිගටම අරගල කරමින් බොහෝ දේවල් කැප කළ අය. ඔවුන් දිගටම බොරු පොරොන්දු දෙමින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන ආ අය. විධායක ජනාධිපති ධුරය අහෝසි කර, ජනතා පරමාධිපත්‍යය බලය තහවුරු කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර, මහ මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පියවර ගන්නවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබෙන බිය නිසා, හදිසි මහා මැතිවරණයක් පිළිබඳ කතාකරමින් යනවා. මහ මැතිවරණයක් ආවත් දූෂිත හොර නඩය ඉවත් කර, අලුත් පාලනයක් ගොඩනඟන්න මහජනතාව තීන්දු කර අවසන්, මැතිවරණ කාලයක් කිට්ටුවෙනකොට සෑමදාම කරනවා වගේ බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. හොරා කෑ මහජන මුදල්, බදු බර පටවා මහජනතාවගෙන් කොල්ලකාගත් මුදල්, අමාත්‍යාංශවලට වෙන් කර ගත් මුදල් පාවිච්චි කරමින් ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. සින්නක්කර ඔප්පු දෙන බව කියමින් අපේ රටේ මහජනතාව ජනාධිපතිවරයා විසින් දඹුල්ලට එකතු කළා. ඔප්පු දෙන්න ඕනෑ ජනාධිපති විසින් නොවෙයි; ඒ අදාළ රාජ්‍ය නිලධාරීන් විසිනුයි. රට වටේ ජනතාව විවිධ දේවල් දෙන බව කියමින් එකතැනකට එකතු කර, ඡන්ද කැම්පෙන් කරනවා. ඒ වගේම හාල් කිලෝ 20ක් බෙදන්නත් පටන්ගෙන තිබෙනවා. අතීතයේත් ගිනිපෙට්ටියේ සිට බොහෝ දේවල් බෙදුවා, බෙදුවේ නැත්තේ මිනී පෙට්ටි විතරයි. ඒ ඡන්දය අරගෙනයි, රනිල්ලා රට හොරා කෑවේ. රට ණය කළේ. ජනතාවට ජීවත් වෙන්නට බැරි තැනට වැට්ටුවේ. ඒ සෙල්ලමට ආයෙත් ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවට අවධාරණය කරනවා. බෙදන දේවල් අරගෙන රටේ අනාගතය පාවා නොදීමේ තීන්දුව ගත යුතුව තිබෙනවා.
තමන්ගේ එකම ප්‍රතිවාදියා ජාතික ජන බලවේගය නිසා, අලුත් වටයකින් අවලාද නගන්නත් පටන්ගෙන තිබෙනවා. පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, එයින් කැඩී ගිය සමගි ජන බලවේගය සහ වෙනත් කල්ලි කණ්ඩායම්වල වේදිකා මතදී වචන සීයක් කතා කළොත් අනූවක්ම තිබෙන්නේ ‘මාලිමාව, ජාතික ජන බලවේගය, අනුර දිසානායක’ කියන වචනයි. තමන්ගේ ප්‍රතිපත්ති කියන්නේ නැහැ. මේ හැමදෙනාටම අභියෝගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය බව එයින් යළි යළිත් තහවුරු වෙනවා. ඒ නිසා අපට සතුටක් දැනෙනනවා. අලුත් සන්ධාන හැදුවත්, අලුත් නම් දැම්මත්, ඉන්නේ පරණ මිනිස්සුමයි. ඔවුන් අලුතින් කියාගෙන යන්නේ “මේක අලුත් අත්හදා බැලීම් කරන්න කාලයක් නොවෙයි” කියලා. එකෙන් කියන්නේ පරණ කට්ටියම තියාගන්න කියලා. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇති වෙන්නම අත්හදා බලලයි තිබෙන්නේ. ඒගොල්ලෝ ෆේල්, රට විනාශ කළ අය බව කවුරුත් දන්නවා. අලුතින් අත්හදා බලන්න දෙයක් නැහැ. විදුලි ගාස්තු අඩු කළ හැකි බව හොඳටම දැනගෙනත් රනිල් වික්‍රමසිංහලා ගෙනයන උපක්‍රම පිළිබඳව නලින්ද ජයතිස්ස සහෝදරයාත්, වසන්ත සමරසිංහ සහෝදරයාත් මහජන උපයෝගීතා කොමිසමේදී පෙන්වා දුන්නා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවෙලා ගෙවී ගිය මාස 19 තුළ 19 වතාවක් රට ගියේ බදු බර පටවලා ජනතාව පීඩාවට පත්කරමින් ලබාගත් රජයේ ආදායම්වලින්. විදේශ ඇමති යා යුතු උත්සවවලට රනිල් වික්‍රමසිංහ තමන්ට දිනාගත යුතු නඩ පිරිවරාගෙන යනවා. ඔවුන් තවදුරටත් රට විනාශ කරමින් පරණ පාරේම යනවා මිස, අලුත් පාරක යන්න සූදානම් නැති බව දැනුත් තහවුරු කරමින් සිටිනවා.
පසුගිය දෙසැම්බර් 15දා පොහොට්ටු පක්ෂයේ සමුළුවක් පවත්වා 16දාම ඇමෙරිකාවට ගිය බැසිල් රාජපක්ෂ ලබන මාසේ 05දා ලංකාවට එන බව අපට ආරංචි වී තිබෙනවා. එයාලාගේ ඇත්ත ගෙදරට ගිහිල්ලා කොන්ත්‍රාත් කරන්න මෙහෙට එනවා. පොදු අපේක්ෂකයෝ වෙන්න, හීන මවන හැමෝම ආණ්ඩුවල ඉඳලා රට බංකොලොත් කළ විනාශයට වගකිවයුතු අයයි. මේ හැමෝම පරණ පාරේ යන අය. ඒ අයට රට ගොඩනඟන්න බැහැ. රටට අවශ්‍ය ගැඹුරු වෙනස්කම් කරමින් රට ගොඩනැගීමට ඉන්නේ, අලුත් දේශපාලන සංස්කෘතියක් තිබෙන, කැපකිරීම් කළ හැකි දැක්මක් තිබෙන මාලිමාව පමණයි. මෑත කාලයේ පැවැත්වූ සියලුම ජනමත සමීක්ෂණවලින් ඔප්පු වී සමීක්ෂණවලින් කලබල වෙලා. අපි කරන දේවල් කොපි කරන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාසගේ පක්ෂය මෑත කාලයේ ආණ්ඩුව ගැන විවේචන එල්ල කරනවා වෙනුවට ජාතික ජන බලවේගයට ප්‍රහාර එල්ල කරනවා. අනෙක් කුඩා කල්ලි කණ්ඩායම් පවා එහෙමයි. ප්‍රභූ පෙළැන්තියට තිබූ බලය පොදු ජනතාව අතට මාරු වන බව ඒ සියලු දෙනාට පැහැදිලි වී තිබෙනවා. මේ නිසා රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව කඩමින් විවිධ අවස්ථාවල ක්‍රියාකර තිබෙනවා. පොලිස්පතිවරයා පත්කර ගැනීමේදී කථානායක ක්‍රියාකළ ආකාරය ව්‍යවස්ථාවට පටහැණි බව හෙළි වී තිබෙනවා. ඡන්දය කිට්ටු වෙන කොට තවත් කුමන්ත්‍රණ, විවිධ උපක්‍රම පාවිච්චි කරනවා වගේම හොරා කෑ සල්ලි පාවිච්චි කර, විවිධ අවලාද අපට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. ඒ කිසිවකට යටත් නොවී, ලෝකය ඉදිරියේ අපේ රට ගෞරවණීය තත්වයට ඔසවා තබන්න, ආර්ථිකය ගොඩගෙන නව ජාතික පිබිදීමක් රට තුළ ඇති කරන්න ක්‍රියාකරමු කියා ජනතාවගෙන් ඉල්ලනවා.
“ඉදිරි ඕනෑම මැතිවරණයකදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට පෙළගැසෙන්න”
-ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ-
එකම දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අය විවිධ බෙදීම්වලින් ජනතාව ඉදිරියේ පෙනී සිටියා. මෙතෙක් රට විනාශය කරා ගෙන ගිය ඒ සියලු දෙනාගෙන් මිදී රට ගොඩනැගිය හැකි ජාතික ජන බලවේගයට බලය ලබාදීමේ සුවිශේෂී අවස්ථාවක් ජනතාවට ලැබී තිබෙනවා. මේ රටේ ප්‍රගතිශීලී, වාමාංශික දේශපාලනයක අවුරුදු 50කට වැඩි කාලයක් කැපවීමෙන් කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය තුළ ක්‍රියාකරන අතර ජාතික විද්වත් සංවිධානය වැනි බහුජන සංවිධාන, විකල්ප කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායම්, එක්සත් වාමාංශික බලවේගය, වැනි පක්ෂවල අදූෂිත, නායකයන් ජාතික ජන බලවේගය වටා එකතු වී සිටිනවා. ප්‍රභූ පංතියේ නොවෙන තමන්ගේම වූ දේශපාලන ව්‍යාපාරයක් තෝරා ගැනීමේ අවස්ථාව මෙවර ජනාධිපතිවරණය සහ අනෙකුත් මැතිවරණවලදී ජනතාවට ලැබී තිබෙනවා. රට තුළ වංචා, දූෂණ සහ නාස්තිය, පවුල්වාදය, දුර්වල කළමනාකරණය පවත්වාගෙන ගිය පසුබිම වෙනස් කරන්න පවතින්නේ ජාතික ජන බලවේගය පමණයි.
ජනතාව ඉතාමත් පීඩාවට පත්වී සිටියත්, උද්ධමනය අඩුවී ඇති බව පෙන්වන්නේ මේ වන විටත් ඉහළටම පැමිණ තිබෙන බඩු මිල ඒ ආකාරයෙන්ම පවතින අතරතුරයි. සියලු ජනතාවට පීඩනය දරාගත නොහැකි තත්වයක් ඇතිකර තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යය ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීම් ගණනාවකට ලක්කර තිබෙනවා. ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම, ප්‍රමිතියෙන් තොර ඖෂධ, පරීක්ෂණ ගාස්තු ඉහළ යාම, පෞද්ගලික සේවයේ විවිධ ගාස්තු අයකිරීම වගේ ගැටලු ගණනාවක් තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සිට සියලු සෞඛ්‍ය සේවකයන් රට හැර යමින් සිටිනවා. මේ නිසාම මන්දපෝෂණය, බෝනොවෙන රෝග ඉහළ යාම, බෝවන රෝග පැතිරීම, වැනි සියල්ල සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් විඳදරා ගනිමින් ජනතාව ඉන්නේ. ඒ වගේම දරුවන් 3%ක් පමණ පාසල් යාම අත්හැර තිබෙනවා. පාසල් අධ්‍යාපනය කඩා වැටී තිබෙනවා වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය විශාල වශයෙන් කඩාවැටෙමින් තිබෙනවා. මේ නිසා අනාගතයේ රටේ ශ්‍රමදායකත්වයට පිවිසෙන තරුණ පරම්පරාවට දැනුම ඇතුළු ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවෙනවා. පවුල් තුළ මානසික ආතතිය ඉහළ යමින් තිබෙනවා. මේ සියල්ල තුළින් ආර්ථිකය තිබෙන්නේ නැවත නැවතත් කඩා වට්ටන චක්‍රයකයි. මේ නිසාම ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී බුද්ධිමත් තීරණයක් ගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට පෙළගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ප්‍රශ්නය: පොලිස්පතිවරයා පත්කිරීමේදී ක්‍රියාකළ ආකාරය රිවස් කිරීමේ හැකියාවක් තිබෙනවාද?
පිළිතුර: ඔහු තෝරාගෙන තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුකූල නොවන ලෙස බව ඉතා පැහැදිලිව හෙළිවී තිබෙනවා. කථානායකගේ තීරණය දී තිබෙන්නේ ව්‍යවස්ථා සභා රැස්වීම අවස්ථාවේ නොවෙයි. ඒ වගේම කථානායකගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙන්නේ පක්ෂව සහ විපක්ෂව සමානව ඡන්දය ලැබුණු අවස්ථාවක. මෙතන එවැන්නක් සිදුවී නැහැ. කථානායකගේ ඡන්දය ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයා ප්‍රතිඵල විමසූ අවස්ථාවේදීයි. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මෙය නිවැරදි කරාවි යැයි අපි හිතනවා.
ප්‍රශ්නය: සියලුම පක්ෂ එකතු වී ආණ්ඩුව පළවා හැරිය යුතු බව ඩිලාන් පෙරේරා මාධ්‍ය හමුවකදී කීවා. ඔබලාත් එවැනි සංවිධානයකට එකතු වෙනවාද?
පිළිතුර: ඔය වගේ සන්ධානවලට ලොකු ඉතිහාසයක් තිබෙනවා. දේශපාලනිකව අවතැන් වුණු අය ඔය වගේ සන්ධාන හදාගන්නවා. ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවත් එක්ක ලොකුම සන්ධානය හදා තිබෙන්නේ. වාමාංශික, ප්‍රගතිශීලී, දේශප්‍රේමී සියලුම බලවේග එකතු කරමින් සන්ධානයක් හදලා තිබෙන්නේ. තවත් එකතු කරමින් ජනතාවත් එක්ක සන්ධාන ගත වෙනවා. මෙයට අවුරුදු දෙකකට කලින් පැරණි දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කළා. ජනතාව ප්‍රතික්ෂේප කළ අය එකතු කරගෙන අපි ජනතාවත් එක්ක ගොඩනඟාගෙන තිබෙන සන්ධානය කැතකර ගන්න අපට ඕනෑ කමක් නැහැ.
ප්‍රශ්නය: ඔබ හිතන්නේ ආණ්ඩුව රේස් එකට එන්නෙ නැහැ කියලාද?
පිළිතුර: ඇත්තටම ආණ්ඩුව විදිහට රේස් එකේ නැහැ. රනිල් වික්‍රමසිංහත් ජනාධිපතිවරණයට ලැහැස්තියි වගේ අපට පෙනෙනවා. සමගි ජන බලවේගයත් ලැහැස්තියි වගේ පේනවා. නමුත් ජාතික ජන බලවේගයට රනිල් වික්‍රමසිංහ හරි සමගි ජන බලවේගය හරි අභියෝගයක් නොවෙයි. අපේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රහණය කරනවා, මැතිවරණ සමීක්ෂණවලින් පවා ඒ බව හෙළිවී තිබෙනවා. ඒ නිසා අපිට ඔය කිසි කෙනෙක් අභියෝගයක් නොවෙයි.