Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ලබා දුන් බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වනවා” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.11.15-)

Tilvin Silva Speaking At The Press Conference Of NPP

පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මේ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඓතිහාසික දේශපාලන හැරවුමේ තීන්දුවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව දේශපාලන පක්ෂයක් මේසා විශාල ජයග්‍රහණයක් ලබාගත් පළමු වැනි අවස්ථාව මෙයයි. මේක අපේ රටේ ජනතාව එක පාලන යුගයක් නිමා කර නව යුගයක් ආරම්භ කිරීම අරමුණු කරගෙන දී තිබෙන ජන වරමක්. මේ ජනවරම තුළ තිබෙන දේශපාලනය අපට පැහැදිලිව පෙනෙනවා. ආසන 225ක් තිබෙන පාර්ලිමේන්තුවේ ආසන 159ක් ජයග්‍රහණය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. මඩකලපුව හැර සෑම දිස්ත්‍රික්කයක්ම ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කර තිබෙනවා. උතුරේ යාපනය හා වන්නි දිස්ත්‍රික්ක දෙකම ජයග්‍රහණය කිරීමෙන් දේශපාලනයේ කැපී පෙනෙන විශේෂයක් පෙන්නුම් කර තිබෙනවා. නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක දෙක ජයග්‍රහණය කර තිබෙනවා. පසුගිය කාලයේ එක්තරා දේශපාලනයේ ආධිපත්‍යය දරාගෙන සිටි කඳුකර ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. අපේ රටේ සමස්ත ජනයා එක අරමුණකට ඇවිත් ජයග්‍රහණය සඳහා අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ අනුව මේ ලබාගත් ජයග්‍රහණය අති විශේෂ ජයග්‍රහණයක් කොට අපි සලකනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නියුතු අයත් 80%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදෙමින් මේ ජයග්‍රහණයට දායක වී තිබෙනවා. අපි මේ ලබා තිබෙන ජනවරම අංග සම්පූර්ණ, දේශපාලන බරක් සහිත ජනවරමක්. මෙතෙක් ආණ්ඩු පක්ෂ කිහිපයක් එකතු කර සන්ධානවලින් ගොඩනගාගත් ජයග්‍රහණයන්ට වඩා මේ ජයග්‍රහණයේ දේශපාලන ගැඹුරක්, හරයක් තිබෙනවා.

මේ නිසා අපිට වගකීමක් තිබෙනවා පළමුවෙන්ම ජනතාවට ස්තුති කරන්න. මේ ජයග්‍රහණය දක්වා මේ ව්‍යාපාරය මෙතෙක් රැගෙන ඒමේදී මුහුණ දුන් දුෂ්කරතා අමාරුකම් දරාගෙන සිටි බොහෝ දෙනෙක් සිටියා. කැපකිරීම් කළ, වෙහෙස වුණු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම උදව් කළ අය, ඡන්දෙ දුන් අය ඉන්නවා. දිගු කලක් තිස්සේ අමාරුකම් දරාගෙන මේ ව්‍යාපාරය අල්ලාගෙන ආ අය, ව්‍යාපාරයට උදව් කළ අයට ජාතික ජන බලවේගය විදිහට අපි ඒ සියලු දෙනාටම අපේ ආචාරය පුදකරනවා; ස්තුතිය පුදකරනවා. ඒ සියලු දෙනාගේම ධෛර්යය තමයි අපිට අලුත් රටක් හැදීම සඳහා අවස්ථාව උදාකර දී තිබෙන්නේ. මේ ජයග්‍රහණයේදී නන් අයුරින් සහයෝගය දක්වපු, ඡන්දය දුන්, උදව්කරපු, සියලු දෙනාටම අපේ ස්තුතිය, ගරුත්වය, ශීර්ෂ ප්‍රණාමය පුදකරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම උතුරේ ජනතාව ඉතිහාසයේ පළමු වැනි වතාවට අනෙක් ප්‍රදේශයකින් ඉදිරිපත් වූ නායකයෙක් ගැන විශ්වාසය තබා තිබෙනවා. උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව, කඳුකර ජනතාව ජාතිවාදය පසෙක දමා දකුණේ ජනතාව සමග අත්වැල් බැඳගැනීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ජාතිවාදී නායකයන් විසින් පතුරවපු බොරු, බේගල්, වැරදි මත, නොමඟ යැවීම් විශ්වාස නොකර, රටක් ලෙස එකට සිතලා අප සමග අත්වැල් බැඳ ගැනීම ගැන අපේ ස්තුතිය පුද කරනවා. අපේ මතය සමාජගත කිරීම සඳහා, තමන්ට කිසිවක් බලා පොරොත්තු නොවී අපට මුදල් ලබාදෙමින් උදව් කළ අයත්, මාධ්‍යවේදීන්, තමන්ගේ රැකියාවට තිබෙන අනතුරු පවා නොතකමින්, රට වෙනස් කිරීමේ අරමුණු සහිතව පොදු අරමුණකින් උදව් කළ විශාල පිරිස් හිටියා. ඒ හැමෝටමත් අපේ ස්තුතිය පුදකරනවා.

TilvinSilva At Press Conference of NPP Speaking

අපට ලැබී තිබෙන ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගෙන තිබෙනවා. ජනතාව විශාල විශ්වාසයක් අපි කෙරෙහි තබා තිබෙනවා. අපි ඒ විශ්වාසය ඒ වගේම රැකිය යුතුව තිබෙනවා. අවුරුදු 76ක කාලයක් පුරා රටේ දේශපාලන බලය හොබවපු දේශපාලන පක්ෂ පරාජයට පත්කර තමයි, මේ ජයග්‍රහණය අත්පත් කර දී තිබෙන්නේ. අපේ ජයග්‍රහණයේ වේගය බැලූ විට, පසුගිය ජනාධිපතිවරණයේදී අපි ලබාගත්තේ දළ වශයෙන් ඡන්ද 56,34,000ක ප්‍රමාණයක්. අපි එය මේ මහ මැතිවරණයේදී 68,63,000ක් දක්වා වැඩිකර ගැනීමට සමත් වී තිබෙනවා. මාස එකහමාරක් තුළ ලක්ෂ 12කින් වැඩිකර ගැනීමට අපි සමත් වෙලා තිබෙනවා. සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේදී 43,63,000ක පමණ ප්‍රමාණයක් ලැබුවා. නමුත් මේ මැතිවරණයේදී 19,68,000ක් දක්වා අඩුවී තිබෙනවා. ඔවුන්ගෙන් ලක්ෂ 24කට කිට්ටු ඡන්ද ප්‍රමාණයක් ගිලිහී තිබෙනවා. ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්දවලින් අඩක්වත් ලබාගැනීමට ඔවුන් අසමත් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ඡන්ද 22,99,000ක් පමණ ලබාගත්තා. මෙවර මැතිවරණයේදී ඔහුට ලක්ෂ 05 පමණ ප්‍රමාණයක් පමණයි, ලබාගත හැකිවී තිබෙන්නේ. ඔහුගෙන් ලක්ෂ 17ක් පමණ ගැලවී ගොස් තිබෙනවා. මේ මාස එකහමාරක් තුළ මේ දේශපාලන පක්ෂ බිඳවැටීමක් සිදුවී තිබෙනවා.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා, සමගි ජන බලවේගයේ අය සමාජය ඉදිරියේ කිවුව බොරු, බියවැද්දීම්, නිසා ජනතාව කිසියම් දෙගිඩියාවකට පත්වුණා. නමුත් ගෙවුණු මාස එකහමාර තුළදී ඔවුන්ගේ බොරුවල ප්‍රමාණය ජනතාව තේරුම් ගත්තා. අපි ආවොත්, ආර්ථිකය, කොටස් වෙළඳපොළ, කඩා වැටෙයි, දේපොළ පවරා ගනියි, කිවුවා, රුපියල බාල්දු වෙනවා කිවුවා. කාර් දෙකකින් එකක් ගනියි, ලේ වැගිරීම් සිදුවෙයි, අස්වැසුම කපයි, රටේ විශාල විනාශයක් වෙයි කිවුවා. ආගම අදහන්න දෙන්නේ නැහැ කිවුවා. එවැනි බිය වැද්දීම් කළ සමාජයක් ඇතුලේ තමයි අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ. නමුත් එයින් පසුව ගෙවුණු මාස එකහමාර තුළ ජනතාව තේරුම් ගත්තා ඒ ප්‍රකාශයන් සියල්ලම බොරු බව. ඒ නිසා අපිට උදව් කරන්න ජනතාවට ලෙහෙසි වුණා. බොරුවෙන් ජය ගන්න උත්සාහ කළ අය බොරුව නිසාම පරාජයට පත්වෙලා තිබෙනවා. පැරණි, වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත, ප්‍රභූ, ජනතාව මත ආධිපත්‍යය පටවාගෙන හිටපු, මහජන මුදලින් යැපුණු දේශපාලනය දැන් අවසන් වී තිබෙනවා. අපි ජනතාවට කියනවා පැරණි යුගය අවසන්. දැන් තිබෙන්නේ පොදු ජනතාවගේ දේශපාලනයක්. එය තේරුම් ගත් ජනතාවගේ සහයෝගයක් මේ ජයග්‍රහණය තුළ තිබෙනවා.

Tilvin Silva At The Press Conference Of NPP

අපේ රටේ ජනතාව ජාතිවාදය ප්‍රතික්ෂේප කොට තිබෙන බව, මේ ප්‍රතිඵලයෙන් දකින්න පුළුවන්. උතුරට ගොස් උතුරේ ජාතිවාදී නායකයන් ජාතිවාදය අවුස්සන්න උත්සාහ කළා. අපේ සමහර ප්‍රකාශයන් විකෘති කර, ඒවා දෙමළ ජනතාවට එරෙහිව කළ ප්‍රකාශයන් බවට තහවුරු කරන්න උත්සාහ කළා. ඒ වගේම ජාතික ජන බලවේගයට එරෙහිව මුස්ලිම් ජනතාව පොළඹවන්න, මුස්ලිම් ජනතාව තුළ ජාතිවාදය වපුරවන්න කටයුතු කරමින් සිටියා. ආගම්වාදය අවුස්සන්න පටන් ගත්තා. එහෙත් ප්‍රතිඵලය විසින් පෙන්වා තිබෙනවා ඔවුන්ගේ එවැනි ප්‍රකාශයන් දෙමළ ජනතාව හෝ මුස්ලිම් ජනතාව බාරගෙන නැහැ. දේශපාලන නායකයන්ට වඩා ජනතාව ඉදිරියෙන් ඉඳිමින්, අවබෝධයෙන් කටයුතු කර තිබෙනවා. ජාතිවාදය, අන්තවාදය මත යැපුණු පැරණි දේශපාලනය අවසන් කොට තිබෙනවා.

ඒ වගේම ගතවුණු දින 50කට වැඩි කාලය තුළ, ජාතික ජන බලවේගයේ භාවිතය අපේ රටේ ජනතාව පිළිගෙන තිබෙන බව පේනවා. අපි සරල රාජ්‍ය පාලනයක් පටන් ගත්තා. මහජන මුදල් නාස්ති නොකර වැඩකරන්නේ කොහොමද කියා ඔප්පුකොට පෙන්නුවා. ජනතාවට වඩා උඩින් ඉන්න ප්‍රභූත්වයක් පෙන්නුවේ නැහැ. ජනතාව සමග වැඩ කරන සරල මිනිස්සු බව, අවංකව වැඩ කරන බව පෙන්නුවා. ඒවත් අපේ ඡන්ද වැඩිකර ගැනීමට හේතු කාරක වෙන්න ඇති කියා අපි හිතනවා. අපේ ජනතාව මේ ආකාරයෙන් අපව විශ්වාස කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කිරීමේ අභියෝගය අපට තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලය අපිට 2/3ක ඉක්මවා ගොස් තිබෙනවා. මේ ලැබී තිබෙන අධික බලය පරෙස්සමට පරිහරණය කරන්න අපි පරෙස්සම් වනවා. පාර්ලිමේන්තුවට 2/3ක වැඩි බලයක් දෙන්න එපා යන මතයක් ගොඩනැගී තිබුණේ ඇයි? 1977න් පස්සේ ලැබුණු අධික බලය පාලකයන් පාවිච්චි කළේ, ජනතාව මර්දනය කර, යටපත් කරලා, ජනතා හඬට ඇහුම්කන් නොදෙන, මහජන දේපොළ ඇති තරම් භුක්ති විඳින්නයි. ජනතාවට වඩා උඩින් ජීවත් වෙන, බලයෙන් ඉදිමෙන, මත්වෙන දේශපාලනයක් අතීතයේ තිබුණා. ඒක පරද්දන්න ඕනෑ.

TilvinSilva At Press Conference Speaking

අපි දේශපාලන බලයෙන් මත්වෙන්න යන්නේ නැහැ. මේ බලය ජනතාව දුන් බලයක්. එය අතිශය පරෙස්සමින් ජනතාවගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන වගකීමක අපි ඉන්නවා. ජනතාව පීඩාවට පත්කිරීමට හෝ බලයට පත්වුණු අයගේ පැවැත්ම සඳහා හෝ නොව මේ රට ගොඩනගන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, වංචා දූෂණවලින් තොර හොඳ පාලනයක් නිර්මාණය කරන්න, ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා මේ බලය පාවිච්චි කරන බවට අපි සහතිකයක් ජනතාවට දෙනවා. මේ ජනවරමේ ගැඹුර, බර අපට හොඳින්ම තේරෙනවා. අපි බාරගෙන තිබෙන්නේ සරල රටක් නොවෙයි. මේක විනාශ කරපු රටක්. ආර්ථික වශයෙන් බංකොලොත් කරපු, ණය බරින් මිරිකුණු, ණය බර නිසාම මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගහන්න සිදුවුණු රටක්, දුප්පත්කමින් පිරුණු තුන්වේල කන්න බැරි වුණු, අපරාධ වැඩි වුණු, මත්ද්‍රව්‍ය වැඩි වුණු, සෑම පැත්තකින්ම විනාස වුණු, ජාත්‍යන්තරය තුළ අපේ ප්‍රතිරූපය විනාශ වුණු රටක් අපි ඉදිරියේ තිබෙනවා. අපේ රට පාලකයන් මුළු ජීවිත කාලයම මහජන මුදල්වලින් ජීවත්වීමේ ක්‍රමය කර ගත් රටක්.

ඒ ක්‍රමය වෙනුවට හොඳ රටක් අපි හදන්න ඕනෑ. අපි හොඳ රටක් හදන්න ඕනෑ. අපි ඉදිරියේ ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අසාධාරණත්වය, ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න විසඳන්න, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම, පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, විනයගරුක රටක්, ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම, ණය ගෙවා, වැටුණු ආර්ථිකය ගොඩනගා ගැනීම, ජනතාවට ගෞරවයෙන් ජීවත් වීමට රටක් නිර්මාණය කිරීම, අභියෝග ලෙස අප ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝග දිනන්න මේ බලය පාවිච්චි කරනවා මිසක්, පක්ෂයක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැහැ කියන සහතිකය අපි ජනතාවට දෙනවා.

Saroja Polraj Speaking At Press Conference Of NPP

පසුගිය ජනාධිපතිවරණයේදි සහ මෙවර මැතිවරණයේදී, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. අපට ඡන්දයක් නොදුන් කෙනාව පීඩාවට පත් කරන ජය සැමරීමේ සංස්කෘතියක් අපි නිර්මාණය කළේ නැහැ. ඒ නිසා අපිට ඡන්දය නොදුන් අයට පවා මෙවර අපට ඡන්දයක් දෙන්න ලේසි වුණා. අපි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අපි උද්දාම වුණේ නැහැ. මේ ජයග්‍රහණයට අපි වගකියන්න ඕනෑ. මෙතනින් පස්සේ ජයග්‍රහණය කළ අය හා පරාජිතයන් කියා කණ්ඩායම් දෙකක් නැහැ. දේශපාලකයන් පැරදිලා. අපේ රටේ දේශපාලනයට ඒ අය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම මේ රටේ පුරවැසියන්. මේක රටේම ජයග්‍රහණයක්. මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර්, මැලේ, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු අපි හැමදෙනාම එකට එකතු වෙලා මේ වට්ටපු රට ගොඩගැනීම අපේ වගකීමයි. ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න. අපට තිබෙනවා ජාතික පුනරුද කාර්යභාරයක්. ජාතික පුනරුදයක්, ආර්ථික පුනරුදයක්, දේශපාලන පුනරුදයක්, සංස්කෘතියේ පුනරුදයක්, මිනිස් චින්තනයේ පුනරුදයක් නිර්මාණය කර, ලෝකය තුළ අපේ රට බැබලෙන රටක් බවට පත් කරන්න මෙතැන් සිට හැමදෙනාම වැඩ කරමු. පොදු ජනතාව අපට ලබාදුන් ජන වරම රට ජයග්‍රහණය කරවීමේ අරමුණ වෙනුවෙන් පමණක් පාවිච්චි කරන බවට සහතික කරනවා. මේ ජයග්‍රහණයට සියලුම අයුරින් සහයෝගය දුන් සියලුම දෙනාට සහෝදරාත්මක ස්තුතිය පළ කරනවා.