(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.09.11-)
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක කළ යුතු ක්‍රියා සහ නොකළ යුතු ක්‍රියා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ පැහැදිලිව සඳහන් වෙනවා. රජය නියෝජනය කරන අපේක්‍ෂකයා සහ තවත් පිරිස් විසින් මේ පනත දිගින්දිගටම උල්ලංඝනය කිරීම පිළිබඳව මුළු පැමිණිලි 358ක් ලැබී තිබෙනවා. නීති විරෝධී ප්‍රචාරක කටයුතු පැමිණිලි 178ක්, නීත්‍යනුකූල මැතිවරණ ව්‍යාපාරවලට බාධා කිරීම් සම්බන්ධ පැමිණිලි 6ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 26ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 104ක්, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 62ක්, රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ව්‍යාපාරයට අනිසි ලෙස යොදා ගැනීම් සම්බන්ධ පැමිණිලි 33ක් ආදී වශයෙන් ලැබී තිබෙනවා.
මේ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරගෙන යනවා. රාජ්‍ය දේපොළ යන්නට මැතිවරණ පනත අනුව නිලධාරීනුත් අයිති වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් යොදා ගැනීම කැපීපෙනෙන දෙයක් වී තිබෙනවා. රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරුවන් කැඳවා ඔහුගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් වන බව තහවුරු වී තිබෙනවා. හෙට (12දා) දින රණවිරු සේවා අධිකාරියේ සභාපති විසින් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා සමුළුවක් පැවැත්වීමට යොදාගෙන තිබෙනවා. රජයේ වාහන, නිලධාරීන් යොදාගෙන තිබෙනවා. මෙය සංවිධානය කරන්නේ රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා. ඒ වාගේම රජයට අයත් නිවාස සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ එල්.ආර්.ඩී.සී. ආරක්‍ෂක සමාගමේ සේවකයන් සේවයට වාර්තා කිරීමෙන් පසුව මේ සමුළුවට සහභාගි වන ලෙසත්, ප්‍රවාහන පහසුකම් සපයන බවත් දන්වා තිබෙනවා.
“කූට ලේඛන සකස් කළ අයට පමණක් නොව, ප්‍රචාරණය කළ සමාජ මාධ්‍යවලටත් වගකියන්න වෙනවා”
-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත-
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටියත්, ස්වාධීනත්වයක් පිළිබිඹු නොකරමින්, රාජ්‍ය සම්පත්, දේපොළ, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන්, ගුවන්තොටුපොළ නිලධාරීන් දිගින්දිගටම යොදා ගනිමින් සිටිනවා. අදාළ කරුණු මැතිවරණ කොමිසමට සහ පොලිස් මූලස්ථානයට අප දිගින්දිගටම පැමිණිලි කරමින් පවතිනවා. නමුත්, ඒ ක්‍රියා නැවැත්වීමට සාධනීය ප්‍රතිචාරයක් පෙනෙන්නේ නැහැ. සමඟි ජන බලවේගය මෙන්ම ස්වාධීන අපේක්‍ෂක යන දෙදෙනාම සමාජ මාධ්‍ය යොදා ගනිමින්, දිගින්දිගටම අසත්‍ය කරුණු සහ මඩ ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. එවැනි ක්‍රියා ඡන්දය ආරම්භ කළ මුල් කාලයේ ඉඳහිට වාර්තා වුවත්, මේ වන විට දිනපතා කිහිපයක් ගැන වාර්තා වෙනවා. ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉතිරි වී තිබෙන සතියක කාලය තුළ මෙම තත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින බවට අපට වාර්තා වී තිබෙනවා.
අපට තිබෙන්නේ එම කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමයි. විමර්ශනය කිරීම මැතිවරණ කොමිසමට සහ පොලිසියට භාරයි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර කඩිනමින් නොගන්නේ නම්, 22 වැනිදාට පසුව හෝ ලබා ගැනීමට සිදු වෙනවා. කූට ලේඛන ප්‍රචාරය කිරීම් දැඩිව සිදු වනවා. මේවා දණ්ඩනීති සංග්‍රහයේ 154 සිට 159 දක්වා වගන්තිවලින් ආවරණය වන බරපතළ කරුණු. මැතිවරණ කාලයෙන් පසුව මේ සම්බන්ධයෙන් ගැටලුවක් නොවන බව සමාජ මාධ්‍ය භාවිත කරමින්, මේ අනීතික ක්‍රියා කරන අය සිතාගෙන ඉන්නවා නම්, ඒක එහෙම නොවෙයි. කූට ලේඛන සකස් කළ අය පමණක් නොවෙයි, ඒවා ප්‍රචාරණය කළ සමාජ මාධ්‍යවලටත් වගකියන්න වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උදෑසන වැඩසටහන ගැනත් විශේෂ අවධානය දීර්ඝ කාලයක් සමාජය දුර්ගන්ධ හමන ක්‍රියාවක් ලෙස හඳුනාගෙන තිබුණා. දැන් එය ඉතාමත් පිළිකුල්සහගත ආකාරයකට ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා විසින් ජාතික ජන බලවේගයේ නායකයා සහ දේශපාලන ව්‍යාපාරය පාදක කරගෙන අසත්‍ය කරුණු සහ මැතිවරණය පදනම් කරගෙන ජන මනස විකෘති කිරීමට ක්‍රියා කරනවා. මේ සම්බන්ධයෙන් සුවිශේෂී පැමිණිල්ලක් හෙට දිනයේ දී සිදු කරනවා. ඔහුට සභාපති භූමිකාව මැතිවරණ සමයේදී නිසි පරිදි කළ නොහැකි නම්, නිසි බලධාරියකු යටතට පත් කරන ලෙස ඉල්ලීම් කරන්න සිදු වෙනවා. මේ දුර්ගන්ධය සමාජයට දරා ගන්න අමාරුයි. එය ඉවත් කරන්න ඕනෑ. රාජ්‍ය ආයතනයක් වන ගුවන්විදුලි සංස්ථාවේ මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනටමත් අවවාද කර ඇති බව අපට දැනගන්නට ලැබෙනවා. මැතිවරණ නීතිය පමණක් නොවෙයි, අපරාධ නීතියත් උල්ලංඝනය කරමින්, ගුවන්විදුලියේ සභාපතිවරයා කරන මේ ක්‍රියාමාර්ග නිදහස් හා සාධාරණ ඡන්දය භාවිත කිරීමට බාධාවක් වී තිබෙනවා.
“මහජනතාව බලාපොරොත්තු වෙන්නේ නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක්”
-ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න-
පසුගිය 30 වැනිදා තෙක් අපට වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාංශයට පැමිණිලි කළා. ඒ පැමිණිලි පිළිබඳව සාධනීය පියවරක් ගනීවි යැයි අප බලාපොරොත්තු වෙනවා. මහජනතාව බලාපොරොත්තු වෙන්නේ නිදහස් හා සාධාරණ, සාමකාමී මැතිවරණයක්. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපත් නිදහස්, සාධාරණ, සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් සඳහා පූර්ණව කැප වී සිටිනවා. නමුත්, සමහර අවස්ථාවල දී ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන බවට වාර්තා වී තිබෙනවා. ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට ගොස් මේ විදියට තර්ජනය කර තිබුණා. රාජගිරියේ සහ මරදාන මුද්‍රණාල දෙකක ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා ඉලක්ක කර ගනිමින්, මඩ පෝස්ටර් මුද්‍රණය වන බව අද උදයේ වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානමින් සිටිනවා.
ඒ වාගේම ගෙවී ගිය අවසන් දින හත තුළ සිදු වූ නීති විරෝධී ක්‍රියා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්නම්. සැප්තැම්බර් 3 වැනිදා මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලබැද්ද කොට්ඨාසයේ තිබූ මැතිවරණ කාර්යාලයට ගිනි තබා, අලාභහානි සිදු කර තිබෙනවා. එදිනම නෝනාගම, උහපිටගොඩ ජාතික ජන බලවේගයේ කාර්යාලයේ ඉදිරිපිට තිබූ පතාකය කඩා රැගෙන ගොස් තිබෙනවා. සැප්තැම්බර් 07 වැනි දින හාරිස්පත්තුව, උගුරැස්සපිටිය කාර්යාලයටත්, ගම්පොළ, දැල්පිටිය කාර්යාලයටත් අලාභහානි සිදු කර තිබෙනවා. එදිනම බිබිල පොලිස් වසමේ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයකුගේ නිවසට ගල් ගසා අලාභහානි සිදු කර තිබෙනවා. ඒ වාගේම සැප්තැම්බර් 08 වැනි දින නාත්තණ්ඩිය, ඉරණවිල ප්‍රදේශයේ කාර්යාලයට පහර දී තිබෙනවා. සැප්තැම්බර් 10 වැනි දින ගම්පොළ, අටබාගේ කාර්යාලයට පහර දී තිබෙනවා. එදිනම තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ දී සමඟි ජන බලවේගයේ ආධාරකරුවන් විසින් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට පහර දී තිබෙනවා.
මේ පැමිණිලි දෙස බැලූ විට අපට පැහැදිලි වන්නේ මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවල පැහැදිලි වර්ධනයක් තිබෙන බවයි. විශේෂයෙන් ම ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන දියත් කරන ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ සිටින අපගේ සම්පූර්ණ සහයෝගය මැතිවරණ ලේකම් කාර්යාලයටත්, පොලිසියටත් ලබා දෙනවා. නිදහස් සහ සාධාරණ වාගේම සාමකාමී මැතිවරණයක් පැවැත්වීම අප කාගේත් බලාපොරොත්තුවයි. මැතිවරණ කොමිෂන් සභාව ඒ බලාපොරොත්තුව ඉටු කරාවි යැයි අපේක්‍ෂා කරනවා.